වෙබ් ලිපිනය:

Monday, September 9, 2019

පොත් මිල වැඩිද?


සාහිත්‍ය මාසයේදී පොත් ගැන වැඩිපුර කතාබහ කෙරෙනවා. ඒ කතාබහ අතරතුරේදී බොහෝ විට පොත් වල මිල ගැන මැසිවිලි නැගෙනවා. ඒ එක්කම, පොත් මිල වැඩි වීමට හේතුව පොත් ප්‍රකාශකයින් බවටද අදහස් පළ වෙනවා.

ලංකාවේ පොත් ප්‍රකාශකයින් තමන් විසින් කරන ආයෝජනයට හා ගන්නා අවදානමට සරිලන ලාබයක් මිස සුපිරි ලාභ උපයන පිරිසක් නොවන බව මා මීට සිවු වසරකට පෙර ලියා තිබෙන කරුණක්. අදාළ තත්ත්වයන් තවමත් ලොකුවට වෙනස් වී ඇතැයි මා හිතන්නේ නැහැ. පෙර ලිපියට සබැඳියක් පහත තිබෙනවා.

පොත් ප්‍රකාශනයේදී අතරමැදියා ගසා කනවාද?

පොත් පළ කිරීමෙන් සුපිරි ලාබ ලැබිය හැකිනම් අලුත් ව්‍යාපාරිකයින් විශාල වශයෙන් මේ ව්‍යාපාරයට ආකර්ශනය විය යුතුයි. එහෙත්, එය එසේ වෙන්නේ නැහැ. සිංහල කියවන්නන් සිටින්නේ ලංකාවේ හෝ ලංකාවෙන් බැහැරව ජීවත්වන ශ්‍රී ලාංකික ඩයස්පෝරිකයින් අතර පමණයි. මේ ප්‍රමාණය ගොඩක් ලොකු නැහැ. ඉංග්‍රීසි හෝ  ස්පාඤ්ඤ වැනි බසකින් ලියන පොතකට තිබෙන වෙළඳපොළ හා සසඳන විට මේ වෙළඳපොළ ඉතාම කුඩා එකක්. බෙංගාලි හෝ දෙමළ වැනි බසකින් ලියන අයටත් විශාල වෙළඳපොළක් තිබෙනවා.

සාපේක්ෂව ඉහළ ස්ථිර පිරිවැයක් හා අඩු විචල්‍ය පිරිවැයක් ඇති නිෂ්පාදන කාර්යයකදී වෙළඳපොළ පරිමාව විසින් එයට ඔරොත්තු දිය හැකි ප්‍රසස්ථ නිෂ්පාදකයින් ප්‍රමාණය තීරණය කෙරෙනවා. ඒ ප්‍රමාණය ඊට වඩා වැඩි වුවහොත්, කිසිවෙකුට තමන් විසින් සිදු කරන ආයෝජනයට හා ගන්නා අවදානමට සරිලන ලාබයක් ලැබිය නොහැකි වෙනවා. මෙවැනි වෙළඳපොළකට අලුත් නිෂ්පාදකයින් එකතු වෙන්නේ වෙළඳපොළ පරිමාව ප්‍රසාරණය වීමට සාපේක්ෂවයි.

ලංකාවේ පොත් ප්‍රකාශනයෙහි යෙදෙන්නේ සමාගම් සීමිත ගණනක්. ඒ කියන්නේ ලංකාවේ පොත් ප්‍රකාශනය කතිපයාධිකාරී වෙළඳපොළක්. නමුත්, මෙය ස්වභාවික තත්ත්වයක් මිස කෘතීම තත්ත්වයක් හෝ නිවැරදි කළ යුතු දෙයක් කියා මා හිතන්නේ නැහැ.

ලංකාවේ මුද්‍රිත පොත් සඳහා තිබෙන වෙළඳපොළ තවමත් ක්‍රමයෙන් ප්‍රසාරණය වෙනවා කියන එක මගේ අදහසයි. එයට හේතු තිබෙනවා. වෙළඳපොළ ප්‍රසාරණය වීමට සාපේක්ෂව අලුත් පොත් ප්‍රකාශකයින් බිහි වන බව වගේම, වඩා කාර්යක්ෂම පොත් ප්‍රකාශකයින් මතු වී අකාර්යක්ෂම පොත් ප්‍රකාශකයින් වෙළෙඳපොළෙන් විසිවන බවත් පෙනෙන්නට තිබෙනවා.

මේ යුගය විද්‍යුත් මාධ්‍ය වල යුගය මිස මුද්‍රිත ප්‍රකාශන වල යුගය නෙමෙයි. කලක් ජනප්‍රියව තිබූ මුද්‍රිත පුවත්පත් වගේම මුද්‍රිත පොතුත් ඉවත් කරමින් විද්‍යුත් මාධ්‍ය ප්‍රකාශන ආදේශ වීම ලොව පුරාම දැකිය හැකි ප්‍රවණතාවක්. එසේ තිබියදීත්, ලංකාවේ මුද්‍රිත පොත් සඳහා වන වෙළඳපොළ ප්‍රසාරණය වීමට ප්‍රධානම හේතුව ලංකාවේ ආදායම් මට්ටම් ක්‍රමයෙන් ඉහළ යාමයි.

රටක ආදායම් මට්ටම අඩු ආදායම් මට්ටමේ සිට පහළ මැදි ආදායම් මට්ටම දක්වා ඉහළ යාම බොහෝ විට පිළිබිඹු වන්නේ ආහාර, ඇඳුම් පැළඳුම් වැනි මූලික අවශ්‍යතා මිල දී ගැනීමට ඇති ඉල්ලුම වැඩි වීමෙන්. එහෙත්, රටක් පහළ මැදි ආදායම් මට්ටමේ සිට ඉහළ මැදි ආදායම් මට්ටම දක්වා එසැවෙන විට රටේ බොහෝ දෙනෙක් මේ මූලික අවශ්‍යතා සපුරා ගත හැකි මට්ටම ඉක්මවා ගොස් සිටින නිසා පොත් පත් වැනි ද්වීතියික අවශ්‍යතා වෙනුවෙන් මුදල් වැය කිරීම ඉහළ ගොස් ඒවාට ඉල්ලුම වැඩි වෙනවා. ලංකාව දැන් ඉන්නේ මෙවැනි අදියරකයි.

අනෙක් අතට විද්‍යුත් මාධ්‍ය නිසා මුද්‍රිත පොත් ප්‍රවර්ධනය වීමකුත් යම් තරමකින් හෝ සිදු වෙනවා. ටික දවසකට කලින් අජිත් ධර්මා විසින් පොතක් එළියට දැම්මා. මේ විදිහට පොතක් විදිහට පළ කෙරුණේ ඔහු තමන්ගේ බ්ලොග් එකේ කොටස් වශයෙන් පළ කළ කතාවක්. මීට පෙරත් ඔහු බ්ලොග් එකේ පළ වූ ඔහුගේ ලිපි එකතුවක් පොතක් විදිහට පළ කළා. මීට කලින් රසික සූරියාරච්චි, තිලකසිත ලියන තිලකසිරි ඒකනායක වගේ අයත් මේ වැඩේම කළා. මෙතැනදී වුනේ විද්‍යුත් මාධ්‍ය නිසා මේ අයට පාඨකයින් පිරිසක් හදා ගන්න පුළුවන් වීම හා ඒ මත පොතක් මුද්‍රණය කර එළියට දැමිය හැකි වෙළඳපොළක් බිහි වීමයි. අජිත් ධර්මාගේ බ්ලොග් එක නොවන්නට ඔහුගේ පොත් පළ නොවන්නට ඉඩ තිබුණා.

වෙළඳපොල ප්‍රසාරණය වන තරමට පොත් ප්‍රකාශකයින් ගණන වැඩිවීමත්, පොතක මිල පහළ යෑමත් සිදු වෙනවා. විකිණෙන පිටපත් ප්‍රමාණය වැඩි වන තරමට පොතක් මුද්‍රණය කිරීමේ ස්ථිර පිරිවැය වැඩි දෙනෙකු අතර බෙදී යාම හා පළ වන පොත් ප්‍රමාණය වැඩි වන තරමට පොත් ප්‍රකාශකයෙකුගේ ස්ථිර පිරිවැය වැඩි පොත් ගණනක් අතර බෙදී යාම මීට හේතුවයි.

මගේ අදහසනම් ඇත්තටම ලංකාවේ පොත් මිල දැන් සාපේක්ෂව ගොඩක් අඩුයි කියන එකයි. මා එසේ කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආදායම් මට්ටම් වලට සාපේක්ෂවයි. අවශ්‍ය කෙනෙකුට කියවන්න අවශ්‍ය පොතක් මිල දී ගන්න ලැබෙන ආදායම ලොකු බාධාවක් නෙමෙයි.

හොඳින් කල්පනා කර බැලුවොත් මේ ලිපිය කියවන ගොඩක් අය ළඟ නොකියවූ අලුත් පොත් එකක් හෝ කිහිපයක් තිබෙනවා. පොතක් මුදල් ගෙවා මිල දී ගෙන එය නොකියවනවා කියා කියන්නේ පොත වෙනුවෙන් ගෙවූ මිලට සාපේක්ෂව පොත කියවීම වෙනුවෙන් වෙන් කළ යුතු කාලයේ ආවස්ථික පිරිවැය වැඩියි කියන එකයි. සිසුන්, රැකියා විරහිත තරුණයින් හා විශ්‍රාමිකයින් හැරුණු විට ලංකාවේ බොහෝ දෙනෙකුගේ තත්ත්වය මෙයයි. පොත් ගන්න සල්ලි තිබෙනවා. කියවන්නත් ආසයි. ඒත් වෙලාව නැහැ.

කියවන්න වෙලාවක් නැති බව දැන දැනම පොත් මිල දී ගන්නා විශාල පිරිසක් සිටීමෙන් පෙනෙන්නේ ලංකාවේ පොත් මිල එතරම්ම වැඩි නැති බවයි. මා ළමා හා තරුණ වියේදී ලොකු පොත් ලෝලියෙකු වුවත්, ඒ කාලයේදී පවා මුදල් ගෙවා මිල දී ගෙන නොකියැවූ පොත් මගේ පොත් රාක්කයේ තිබුණා. සෝවියට් දේශය විසින් විශාල ලෙස සුබසාධනය කර කඩදාසි වල මිල තරමටවත් නොවටිනා ඉතා අඩු මිලකට විකිණූ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය පොතේ වෙළුම් උදාහරණ සේ දැක්විය හැකියි. ඊට අමතරව මරදානේ පදික වේදිකාවෙන් ඉතා අඩු මිලකට මිලදී ගත් ඇතැම් පාවිච්චි කළ ඉංග්‍රීසි පොත්ද මා කියවා නැහැ.

විවිධ ශානර වලට අයත් මේ පොත් සියල්ල එකතු කළ හැකි පොදු සාධකය ඒවා මිල දී ගැනීම වෙනුවෙන් මා විසින් වැය කළ මිලයි. ඒ මිල ඉතා සුළු මිලක් නොවූවානම් මා මේ පොත් මිල දී ගන්නේ නැහැ. නමුත්, විකිණුනු මිල අනුව යම්හෙයකින් ඉඩක් ලැබුණොත් කියවන්න හිතාගෙන මෙවැනි පොතක් මිල දී ගැනීමට පෙළඹුමක් ඇති වුනා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිල දී ගෙන නොකියවා ගොඩ ගසා ගෙන සිටින මධ්‍යම වයසේ මධ්‍යම පාන්තිකයින් බොහෝ දෙනෙක් කරන්නේත් මෙයයි.

ඉහත හේතුව මත ලංකාවේ පොත් මිල එතරම් වැඩි නැතැයි මා කිවුවත් මෙය සාධාරණ ප්‍රකාශයක් නෙමෙයි. පොත් කියවන්න ඕනෑ තරම් වෙලාව තිබෙන සිසුන්, රැකියා විරහිත තරුණයින් හා විශ්‍රාමිකයින් වැනි බොහෝ දෙනෙකුට පොත් වෙනුවෙන් වැය කළ හැකි තරමේ ආදායමක් නැහැ. ඔවුන්ට සාපේක්ෂව බැලුවොත් පොත් වල මිල තවමත් වැඩියි. නමුත්, රජය මැදිහත් වී පොත් වෙළඳපොළ සුබසාධනය කිරීම වැනි සමාජවාදී පන්නයේ මැදිහත්වීම් මෙයට විසඳුමක් නොවන්නේ එමඟින් අනවශ්‍ය අය අතේ පොත් ගොඩ ගැසීම තව දුරටත් ධෛර්යමත් වන නිසයි.

මේ අසමතුලිතතාව සමනය කළ හැකි ධනවාදී විසඳුමක් ගැන ඉදිරි ලිපියක කතා කරමු.

3 comments:

  1. Too many assumptions, too little facts. I'd love to see the facts behind these assumptions. Thanks.

    ReplyDelete
  2. එකඟයි.. මාත් දැක්ක තැන පොත් ගන්නවා.. පහුගිය අවුරුදු විස්ස වගේ ඇතුලත ගත්ත පොත් වලින් සියයට දහයක්වත් කියවලා නෑ.. පොතක මිල දැක්ක ගමන් මට නම් මතක් වෙන්නේ අරක්කු බෝතලේක සිගරට් පැකට් එකක මිල.. එහෙම මතක් උන ගමන් එකක් ගන්න ගිය එකේ පොත් දෙක තුනක්ම අරන් එනවා.. :)))

    ReplyDelete
  3. අතේ සෑහෙන්න සල්ලි තියාගෙන මිසක් මං පොත් සාප්පුවකට ගොඩවෙන්නේ නැහැ. පොත් දැක්කම නොගෙන බැරි නිසා. එහෙම අරගෙනත් තවම කියවන්න බැරිවුණු පොතුත් තියෙනවා.

    අනේ, බොන හැමෝටම 'කමි'ට වගේ හිතේවා!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: