වෙබ් ලිපිනය:

Thursday, May 13, 2021

නිදහස් දින ඉලක්කය

ඊයේ ඇමරිකාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය විසින් අවුරුදු 12-15 වයස් කාණ්ඩය සඳහාද පයිසර්-බයෝඑන්ටෙක් එන්නත අනුමත කළා. ඇමරිකානුවන් මිලියන 17ක් (5.3%ක්) මෙම වයස් කාණ්ඩයට ඇතුළත්. මේ අනුව, මේ වන විට කෝවිඩ් එන්නතක් ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා තිබෙන පිරිස ඇමරිකානු ජනගහණයෙන් 84%ක්.

දැන් ඇමරිකාවේදී කෝවිඩ් එන්නතක් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටිය යුතු නැහැ. කලින් දැනුම් දීමක් නොකර සුපිරි සැලකට ගිහින් එන්නතක් ලබා ගන්න පුළුවන්. එන්නතක් ලබා ගැනීම සඳහා කාලයක් බලාගෙන සිටි මා වැනි අය මේ වෙද්දී එන්නත් ලබාගෙන අවසන්. ඉතිරිව සිටින පිරිස එන්නත් ලබා ගැනීමට අකැමැති හෝ උනන්දුව අඩු අයයි. 


එන්නත් ලබා ගැනීම දිරිමත් කිරීම සඳහා නිවුයෝර්ක් වැනි නගර වල නාගරික දුම්රියපොළ වලදිද එන්නත් ලබා දීම ආරම්භ කර තිබෙන අතර එන්නතක් ලබා ගන්නා අයෙකුට දින හතක කාලයකට දුම්රිය වාර ප්‍රවේශපතක් නොමිලයේ ලබා දෙනවා. ඒ වගේම මේ වෙද්දී ඇමරිකාව පුරා ඌබර් හා ලිෆ්ට් ටැක්සි සේවාවන් හරහා එන්නත් ලබා ගැනීමට අවශ්‍ය අයට නොමිලේ ප්‍රවාහන පහසුකම්ද සැලසෙමින් තිබෙනවා.

ඇමරිකානු ආණ්ඩුවේ ඉලක්කය වන්නේ එන්නත්කරණය හරහා කෝවිඩ් පාලනය කර ඇමරිකානු නිදහස් දිනය වෙද්දී රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමයි. ඒ සඳහා තවත් සති හතක පමණ කාලයක් තිබෙනවා.  

ලංකාවේ නිදහස් දිනය ලංකාවේ ආණ්ඩුව විසින් උජාරුවට සමරන නමුත් රටේ සාමාන්‍ය මිනිසුන්ගේ උත්සවයක් නෙමෙයි. ලංකාවේ බොහෝ දෙනෙකුට නිදහස් දිනය කියන්නේ තවත් එක නිවාඩු දිනයක්. එහෙත් ඇමරිකාවේ නිදහස් දිනය කවුරුත් වගේ සමරන සාමාන්‍ය මිනිසුන්ගේ උත්සවයක්. ඒ අර්ථයෙන් ලංකාවේ හැමෝම පොදුවේ සමරන ජාතික උත්සව නැහැ. ජාතික උත්සවයකට ආසන්නම දෙය වන අවුරුද්දද ලංකාවේ හැම ජනවාර්ගිකයෙකු විසින්ම සමරන්නේ නැහැ. 

ස්වදේශීය ඇමරිකානුවන් හා අදාළව ගත් විට ඇමරිකානු නිදහස කියන්නේ කුමක්ද කියන එක සංකීර්ණ කරුණක්. එහෙත් මෙම උත්සවය රාජ්‍ය උත්සවයක් නොවී පෞද්ගලික සංස්කෘතික කටයුත්තක් වී තිබීම නිසා බොහෝ ස්වදේශීය ඇමරිකානුවන්ටද අපහසුවක් නැතිව ඇමරිකානු නිදහස් දිනය සැමරීමට හැකි වී තිබෙනවා. 

මේ වන විටද කෝවිඩ් සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා සම්පූර්ණ කර තිබෙන්නේ ඇමරිකානුවන්ගෙන් 35.4%ක් පමණක් වුවත්, එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා ගෙන සිටින අය ඉදිරි සති කිහිපය ඇතුළත දෙවන මාත්‍රාවද ලබා ගනු ඇති බව පැහැදිලි කරුණක්. වයස අවුරුදු 65 ඉක්මවූ ඇමරිකානුවන්ගෙන් 84%ක්ද, වයස අවුරුදු 18 ඉක්මවූ ඇමරිකානුවන්ගෙන් 59%ක්ද මේ වන විට එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබා ගෙන තිබෙනවා. මේ ප්‍රතිශත නරක නැතත්, ඉතිරිව සිටින පිරිස අතරින් බොහෝ දෙනෙක් කෝවිඩ් සඳහා එන්නතක් ලබා ගැනීමට උනන්දුවක් නැති හෝ එය සෘජුවම ප්‍රතික්ෂේප කරන අයයි.


ජනාධිපති බයිඩන්ගේ ඉලක්කය වන්නේ ජූලි 4 වන විට වැඩිහිටි ඇමරිකානුවන්ගේ 70%ක් එන්නත් කිරීමයි. මේ ඉලක්කය කරා යාම අසීරු වන එකක් නැහැ. එහෙත්, එයින් පසුව සාමූහික ප්‍රතිශක්තිය කරා යාමනම් පහසු ඉලක්කයක් නෙමෙයි. අපේක්ෂා කළ හැකි පරිදිම, අඩු වයස් කාණ්ඩ අතර එන්නත්කරණය පිළිබඳ උනන්දුවද අඩුයි. ඒ වගේම, කළු ජාතිකයින් හා හිස්පැනික් අය එන්නත් ලබා ගන්නේ සුදු ජාතිකයින් හා ආසියාතිකයින්ට වඩා අඩුවෙන්. 

මේ තත්ත්වය මුල සිටම නොදැන සිටි තත්ත්වයක් නෙමෙයි. ඇමරිකාව ඇස්ට්‍රසෙනිකා එන්නත වැනි අඩු ඵලදායී එන්නත් වෙනුවට ඉහළ ඵලදායීතාවයක් සහිත එන්නත් වැඩි වශයෙන් භාවිතයට ගැනීම වාසිදායක වන්නේ එවැනි එන්නත් මගින් සාමූහික ප්‍රතිශක්තිය ලබා ගැනීම ඇමරිකාවට ඉතාම අසීරු ඉලක්කයක් නිසයි. එහෙත්, ප්‍රමාණවත් පිරිසක් එන්නත් කළ හැකිනම් එවැනි එන්නතක් මගින් වුවත් සාමූහික ප්‍රතිශක්තිය ලබා ගත හැකියි. 

පෞද්ගලික මට්ටමෙන් ගත්තොත්නම් අනුමත ඕනෑම එන්නතක් හොඳ එන්නතක්. එන්නතක් ගැනීමෙන් පසුවද කෝවිඩ් ආසාදනය වීමට තිබෙන සම්භාවිතාව ගන්නා එන්නත අනුව අඩු වැඩි වෙනවා වුවත්, ලැබෙන කවර හෝ එන්නතක් ගැනීමෙන් කෝවිඩ් හැදී මැරෙන්න වෙන සම්භාවිතාව ශුන්‍ය මට්ටම ආසන්නයටම අඩු කර ගන්න පුළුවන්.

9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. "ලැබෙන කවර හෝ එන්නතක් ගැනීමෙන් කෝවිඩ් හැදී මැරෙන්න වෙන සම්භාවිතාව ශුන්‍ය මට්ටම ආසන්නයටම අඩු කර ගන්න පුළුවන්."
    එන්නතක් (වඩි දෙකම කියා සළකමු) විද ග‍ත් කෙනෙක් කොහේ හෝ මිය ගොස් ඇත්නම් මෙය ශුන්‍යය වන්නේ නෑ.

    මැරුණ කෙනෙක් කොවිඩ් + ලෙස සටහන් වීම නිසාම කොවිඩ් මරණයක් ලෙස ගණන් ගන්නා සමාජයක මැරුණ කෙනෙක් එන්නත් විදගෙන තිබීම හේතු කරගෙන එන්නත් මරණයක් ලෙස ගණන් නොගැනීම ගැටළුවක්. මටනම් එන්නත් ගැන ඇති විශ්වාසය ධම්මික පැණිය ගැන තිබෙන විශ්වාසයට සමානයි. එකම වෙනස ධම්මික පැණිය (නිර්දේශිත මාත්‍රාවෙන්) පානය හේතුවෙන් මරණයට පත් වීමේ සම්භාවිතාව ශුන්‍යය (ට ආසන්න වීම නොවෙයි) වන නමුත් දැනට යොදා ගැනෙන කවරම හෝ එන්නතක් ලබා ගැනීම හේතුවෙන් මරණයට පත් වීමේ සම්භාවිතාව නිශ්ශුන්ය අගයක් ගැනීමයි. [[ඔබ පෙර ලිපියන් කියා දුන් (මෙය වෙනත් මුලාශ්‍ර වලිනුත් තහවුරු කෙරුණු ප්‍රවෘත්තියක්) ඉන්දියානුවන්ගේ ගොම්බෙටි ප්‍රතිකාරයත් මෙතැනට ඈඳා ගත හැකියි. ගව මුත්‍රා විනය පිටකයේ අනුමත ප්‍රතිකාරයක් බව මා කියවා තිබේ.]]

    අපට රජය මගින් නොමිලේ ලබා දෙන එන්නත නිවසේ සිට මීටර 250 ක නුදුරකින් ලබා ගත හැකි වුවත් (එය බොහෝ දුරට චීන එන්නත විය හැකියි, රුසියානු එක වීමේ හැකියාව ඉතා අඩුයි, ඉන්දියානු එකනම් දෙවන මාත්‍රාව පමණයි දෙනු ලබන්නේ) එතැනට ගොස් එන්නත් පොකුරේ සාමාජිකයෙකු වීමට මගේ බලාපොරොත්තුවක් නෑ. මෙය එක්තරා දුරකට (ගිය අවුරුද්දේ නිකං දුන්) රුපියල් 5000 කෙරේ මා දැක්වූ සැළකිල්ලට සමාන සැළකිල්ලක්.

    ReplyDelete
    Replies
    1. //විද ග‍ත් කෙනෙක් කොහේ හෝ මිය ගොස් ඇත්නම් මෙය ශුන්‍යය වන්නේ නෑ.//

      ශුන්‍ය මට්ටම ආසන්නයටම කියා කිවුවේ ඒ නිසයි. මෙය කිසිසේත්ම ශුන්‍ය නැහැ.

      //මැරුණ කෙනෙක් කොවිඩ් + ලෙස සටහන් වීම නිසාම කොවිඩ් මරණයක් ලෙස ගණන් ගන්නා සමාජයක//

      ඔබ කියන්නේ කවර සමාජය ගැනද කියා පැහැදිලි නැහැ. මම දන්නා තරමින් ඇමරිකාවේ හෝ ලංකාවේ මැරුණ කෙනෙක් කොවිඩ් + ලෙස සටහන් වීම නිසාම කොවිඩ් මරණයක් ලෙස ගණන් ගන්නේ නැහැ. මෙයින් අදහස් වන්නේ සම්මත හරියටම සමානයි කියන එක නෙමෙයි.

      //මටනම් එන්නත් ගැන ඇති විශ්වාසය ධම්මික පැණිය ගැන තිබෙන විශ්වාසයට සමානයි.//

      විශ්වාස වලට හෝ විශ්වාස මත පදනම් වූ පෞද්ගලික තේරීම් වලට මම අභියෝග කරන්නේ නැහැ. එහෙත් මේ දෙකේ පැහැදිලි වෙනසක් තිබෙනවා. එය පිළිගැනීම හෝ නොගැනීම තනිකරම ඔබේ පෞද්ගලික තීරණයක්. විශේෂයෙන්ම ජීවිතය හා මරණය හා සම්බන්ධ මේ වගේ කරුණකදී වඩා වැදගත් වන්නේ තමන්ට හොඳම සේ තේරෙන දෙය කරන එකයි.

      //එතැනට ගොස් එන්නත් පොකුරේ සාමාජිකයෙකු වීමට මගේ බලාපොරොත්තුවක් නෑ.//

      මෙයනම් වලංගු තර්කයක්. පසුගිය දෙසැම්බර් මාසයේදී මට පොඩි සෙම්ප්‍රතිශ්‍යා ගතියක් ආවා. එය කෝවිඩ් වීමටත් යම් සම්භාවිතාවක් තිබුණා. එහෙත් මෙවැනිම හේතුවක් මත මම කෝවිඩ් පරීක්ෂාවක් කර ගන්න ගියේ නැහැ. එහිදී මට ඇත්තටම කෝවිඩ් හැදී තිබීමේ හා පරික්ෂා කර කලින් ඒ බව දැන නොසිටීමේ හානි කෝවිඩ් පරික්ෂා කරන්න ගොස් කෝවිඩ් බෝ කර ගැනීමේ හානි සමඟ සසඳා බලන්න සිදු වුනා.

      මේ වෙද්දී ලංකාවේ බොහෝ දෙනෙකු ඔවුන්ද නොදැන කෝවිඩ් ආසාදිතයින්ව සිටිනවා කියා මම හිතනවා. කලින් එවැනි තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා, එන්නතක් ලබා ගැනීමේ අවදානම් වලට සාපේක්ෂව එහි වාසි කලින් වූවාට වඩා ගොඩක් ඉහළ ගොස් තිබෙනවා. පොදු තත්ත්වය මෙසේ වුවත් මේ අවදානම් හා වාසි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඔබේ චර්යාවන් අනුව ඔබට කෝවිඩ් වැළඳීමේ හා එයින් ලොකු හානියක් වීමේ අවදානම අඩුයි කියා ඔබ සිතනවානම් එන්නතක් ලබා ගැනීමට හදිසි නොවීමේ ප්‍රශ්නයක් නැහැ.

      Delete
  3. ඉකොනෝ, දැන් නං ලංකාවේ පුරවැස්සෝ හොඳටෝම බය වෙලා.
    පහුගිය අවුරුදු හැට-හැත්තාව තිස්සෙම අපි නායකයො තෝරා ගත්තෙත් දක්ෂම විදිහට බිල්ලා මවා පා, හැබෑවක් විදිහට අපේ ඇඟට දැනෙන්න බය ගන්නපු අයවනේ.

    මීගමුවේ ඉන්න මගේ යහළුවෙක් ඊයේ කිව්වේ, දැන් මීගමුව පැත්තේ ගොඩක් අය, එයාගේ බිරිඳත් ඇතුළුව- වැක්සින් එක විදගන්න තැන් හොයනවලු. මාස කීපෙකට කලින්, ඒක විදිනකොට මිනිස්සු ගිහින් තියෙන්නේ ඉතාම අඩුවෙන්. එනවුන්ස් කරලා පළාත පුරාම කියා හිටියත් - කොරෝනා පොකුරු තියෙද්දීත් මිනිස්සු ගණන් අරන් නෑ!

    පෙරේදා කොට්ටාවේ විද්යාදාන පාසලේ එන්නත්දෙන මධ්‍යස්ථානයක් තිබිලා. අපේ නංගිලාත් අහු වෙන්නේ එතනට. මිනිස්සු පොදි කකා ගිහින්, පැය ගණන් පෝලිමේ තැපලා බේත් විදගෙන.
    ඊයේ පන්නිපිටියේ ආනන්ද මෛත්‍රිය මාවතේ මධ්‍යස්ථානයට ගිය ගවීන්ටත් වැඩේ කරවාගන්න වෙලා තියෙන්නේ වරුවකට වැඩිය බලා ඉඳලා. ඒ දෙතැනම හැමෝටම දෙන්න එන්නත් තිබිලා නෑ.

    Lockdown කරන්න තරමට දරුණු තත්ත්වයක් තියෙන පමුණුවට තවම එන්නත දෙන දවසක් නෑ!

    ReplyDelete
  4. Just to be fair to poor SL Govt, we in AUS did not get any yet.

    But here COVID is not breaking records like in US/India. Wijebahu

    ReplyDelete
  5. Thank you ඉකොනොමැට්ටා! ඔයාගේ බ්ලොග් නොවරදවා බලනවා. වටිනා වෙලාව යොදවා අපිට නොයෙක් රසවත් දේවල් කියදේනවට ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  6. පිට්සා කමින් කෝක් බොමින් ඇමරිකාවේ නිදහස සමරමු.

    ReplyDelete
  7. Ape rate angathaya gana monawath kiyanna puluwanida pls

    ReplyDelete
    Replies
    1. කෝවිඩ් ගැනද? ආර්ථිකය ගැනද? නැත්නම් වෙනත් දෙයක් ගැනද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: