වෙබ් ලිපිනය:

Thursday, December 16, 2021

ආර්ථිකය කඩා වැටිය හැක්කේ කොතැනකටද?


ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන එක හෝ නොවැටෙන එක, බංකොලොත් වීම හෝ නොවීම, කඩා වැටෙනවානම් එය සිදු වන දවස, බංකොලොත් වෙනවානම් එය සිදු වන දවස ආදිය ගැන ඇතැම් අය අනාවැකි කියනවා. තවත් අයට මේ ගැන දැන ගන්න උනන්දුවක් තිබෙනවා. ඊට සාපේක්ෂව අඩුවෙන් කතා වෙන දෙයක් වන්නේ ආර්ථිකය කඩා වැටෙන්නේ කොතැනටද කියන එකයි. කඩා වැටෙන තැනක් ගැන කතා නොකරමින් ආර්ථිකය කඩා වැටෙන එක ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. 

ආර්ථිකය කඩා වැටෙනවා කියා කතාවට කිවුවත් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක එතරම්ම පැහැදිලි දෙයක් නෙමෙයි. ආර්ථිකය හෝ රට බංකොලොත් වෙනවා කියන එක ඊට සාපේක්ෂව තරමක් හෝ පැහැදිලියි. බොහෝ දෙනෙක් රට බංකොලොත් වීම ලෙස හඳුන්වන්නේ රටේ විදේශ ණය ගෙවා ගන්න බැරි තැනකට රට වැටෙන එකටයි. රටේ විදේශ ණය කියා කිවුවත්, මෙහිදී වැඩි අවධානයක් යොමු වී තියෙන්නේ රජයේ විදේශ ණය වලටයි.

සාමාන්‍ය ව්‍යවහාරයේ බංකොලොත් වීම කියන වචනය භාවිතා වෙන්නේ කාගේ හෝ පුද්ගලයෙකුගේ, සමාගමක හෝ වෙනත් කිසියම් නෛතික ව්‍යුහයක වත්කම් වලට වඩා බැරකම් වැඩි වී ශුද්ධ වත්කම් සෘණ පැත්තට ගිය විටයි. එහෙත්, ශුද්ධ වත්කම් සෘණ පැත්තට නොගියත්, ප්‍රමාණවත් ද්‍රවශීල වත්කම් නැති අවස්ථාවක පුද්ගලයෙකුට හෝ වෙනත් නෛතික ව්‍යුහයකට තමන් අරගෙන තිබෙන ණය ආපසු ගෙවන්න බැරි වෙන්න පුළුවන්. 

රටක වත්කම් මූර්ත වත්කම් හා මූල්‍ය වත්කම් ලෙස කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ දෙකෙන් මූර්ත වත්කම් කොටසට ගත්තොත් එය සාමාන්‍යයෙන් සෘණ පැත්තට නොයන්නක්. එහෙත්, මූල්‍ය වත්කම් කොටස සෘණ පැත්තට යන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ලංකාව ඇතුළු ලෝකයේ රටවල් වලින් බාගයක වගේ ශුද්ධ මූල්‍ය වත්කම් තියෙන්නේ සෘණ පැත්තේ. 

ශුද්ධ මූල්‍ය වත්කම් සෘණ වූ පමණින් රටක් බංකොලොත් වෙන්නේ හෝ ණය පැහැර හරින තැනකට වැටෙන්නේ නැහැ. බැරකම් දිගුකාලීන ඒවානම් සහ වත්කම් ද්‍රවශීල වත්කම්නම් රෝලක් ගහගෙන යන්න පුළුවන්. එහෙත්, රටක මූල්‍ය වත්කම් සංචිතය කෙටිකාලීන මූල්‍ය බැරකම් පියවන්න ප්‍රමාණවත් නොවන මට්ටමකට වැටුණු විට රටකට ණය පැහැර හරින්න වෙනවා.

ලංකාව තවම ණය පැහැර හැරලා නැහැ. එය සිදුවීමේ අවදානම ගොඩක් වැඩි වී තිබෙනවා පමණයි. 

ආර්ථිකය කඩා වැටෙනවා කියන එක රටක් බංකොලොත් වීම වගේ එක නිශ්චිත මොහොතක සිදු වෙන දෙයක් නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් සිදු වන දෙයක්. ලංකාව තවමත් බංකොලොත් වී නැතත්, ලංකාවේ ආර්ථිකයේ කඩා වැටීමනම් මේ වෙන කොටත් පටන් ගෙනයි තියෙන්නේ. ඒ කඩා වැටීම කවදා කොතැනින් නවතීද කියන එක තමයි සාකච්ඡා කළ යුතු ගැටළුව.

රටක ආර්ථිකය කියන්නේ සංකීර්ණ පද්ධතියක්. ආර්ථිකයක කඩා වැටීම මේ පද්ධතියේ හැම කොටසකටම එක පරිදි දැනෙන්නේ නැහැ. සමහර කොටස් වලට ඒ බලපෑම වැඩියි. සමහර කොටස් වලට අඩුයි. ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයටත් මේ කරුණ අදාළයි.

ලංකාවේ ආර්ථික අර්බුදය දරුණුවටම දැනෙන්නේ විදේශ අංශයට බව අපි දැනටමත් දන්නවා. රජයට ආනයන භාණ්ඩ සීමා කරන්න සිදු වී තිබීමෙන් පමණක්ම වුවත් පැහැදිලි වන්නේ රටේ ආර්ථිකය මේ වන විටත් කඩා වැටී ඇති බවයි. මේ කඩාවැටීමේ අනාගතය කුමක්ද?

ඉන්දීය සහන පැකේජය හා තවත් එවැනි විදේශ විණිමය ලැබීම් වල උදවුවෙන් මාස ගණනක් අල්ලාගෙන හිටියත්, ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ තියා ගන්න එක දිගටම කරන්න බැහැ. මේ විදිහට ගියොත් යම් මොහොතක ඩොලරයක මිල අනිවාර්යයෙන්ම එකවර විශාල ලෙස ඉහළ යනවා. ඊට කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියොත් මේ විදිහට එකවර කඩා වැටෙන්න කලින් ටිකෙන් ටික රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ දෙන්න කියා ලංකාවට යෝජනා කරයි. ඔය දෙකෙන් කොයි එක වුනත්, අවසාන වශයෙන් ඩොලරයක මිල සැලකිය යුතු තරම් ඉහළ යයි.

විණිමය අනුපාතය කඩා වැටුනොත් ඩොලරයක මිල කීයක් වෙලා නවතියිද? 

සරල හා කෙටි පිළිතුර ඩොලරයක මිල ඕනෑම ගණනක් විය හැකි බවයි. මොකද කිසිදු පාලනයකින් තොරව ඩොලරයක රුපියල් මිල කඩා වැටෙන තත්ත්වයක් යටතේ එය නැවතිය යුතු තැන තීරණය වෙන්නේ සමපේක්ෂනය මත මිසක් සාමාන්‍ය ආර්ථික විද්‍යා මූලධර්ම අනුව නෙමෙයි. හැබැයි මේ සමපේක්ෂකයින් විසින් ආර්ථික විද්‍යා මූලධර්ම නොසලකා හරින්නේ නැහැ. ඒ නිසා, ආර්ථික විද්‍යා මූලධර්ම අනුව නැවතිය යුතු තැනට වඩා පහළින් ඩොලරය නවතින්නේ නැහැ.

ඩොලරයක නියම මිල ගැන මීට පෙර කතා කර ඇති අවස්ථා වලදී මම ඒ සඳහා යොදාගත් ප්‍රධාන මූලධර්මයක් වුනේ ක්‍රය ශක්ති සාම්‍යය පිළිබඳ අදහසයි. පහත වගුවේ පෙන්වා තිබෙන්නේ ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය අනුව ලංකාවේ අපනයනකරුවෙකුට අඩු වශයෙන් 2001 වසරේදී පැවති මට්ටමේ අපනයන තරඟකාරිත්වයක් පවත්වාගන්නනම් ඩොලරයක මිල කීයක් විය යුතුද කියන එකයි. ඒ වගේම ලංකාවේ ජීවත් වන විදෙස් ශ්‍රමිකයෙකුගේ පවුලක සාමාජිකයින්ට 2001 තරමට පරිභෝජන මට්ටම පවත්වා ගැනීම සඳහා ඩොලරයක් වෙනුවෙන් කීයක් ලැබිය යුතුද කියන එකයි.

Year SL-CPI US-CPI Ratio PPP-Rate Actual Real Rate
2001 100.00 100.00 1.00 89.36 89.36 1.00
2002 109.55 101.58 1.08 96.37 95.66 1.01
2003 116.47 103.90 1.12         100.18 96.52 1.04
2004 125.29 106.66 1.17         104.97 101.19 1.04
2005 139.87 110.28 1.27         113.34 100.50 1.13
2006 159.03 113.83 1.40 124.84 103.96 1.20
2007 186.59 117.05 1.59         142.45 110.62 1.29
2008 228.69 121.57 1.88 168.10 108.33 1.55
2009 236.59 121.14 1.95         174.52 114.94 1.52
2010 250.66 123.13 2.04 181.92 113.06 1.61
2011 259.13 127.01 2.04 182.31 110.57 1.65
2012 278.62 129.64 2.15         192.05 127.60 1.51
2013 297.95 131.54 2.27 202.41 129.11 1.57
2014 307.70 133.67 2.30 205.70 130.56 1.58
2015 310.44 133.83 2.32 207.28 135.94 1.52
2016 322.07 135.52 2.38 212.37 145.60 1.46
2017 343.12 138.41 2.48 221.53 152.46 1.45
2018 357.82 141.79 2.52 225.51 162.54 1.39
2019 373.39 144.36 2.59 231.14 178.78 1.29
2020 390.40 146.14 2.67 238.72 185.52 1.29
Nov-21 426.33 155.94 2.73 244.30 202.05 1.21

ඉහත පදනම අනුව බැලුවොත් 2011 පමණ වෙද්දී ඩොලරයක් විකිණුනේ එහි ක්‍රය ශක්ති සාම්‍ය මිලෙන් 40%ක් පමණ දක්වා වන වට්ටමක් සමඟයි. ඒ කියන්නේ ආනයන භාණ්ඩ විකිණුනේ දේශීය ආදේශක වලට වඩා 40%ක් අඩුවෙන් කියන එකයි. රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉන්දියාවේ හා චීනයේ නිෂ්පාදකයින්ට ලබා දුන් ඔය විශාල වට්ටම නිසා ලංකාවේ එම ආනයන වේගයෙන් ප්‍රචලිත වුනා. වෙළඳ හිඟය විශාල ලෙස වැඩි වුනා. දේශීය කර්මාන්ත ගොඩනැගෙන එක වැළකුණා. අපනයන අධෛර්යමත් වුනා.

මේ වෙද්දී ඩොලරයක මිල ඒ කාලයට සාපේක්ෂව යම් තරමකින් නිවැරදි වී ඇතත් 2001 මට්ටමට යන්නනම් ඩොලරයක මිල රුපියල් 245ක් පමණවත් විය යුතුයි. මොකද ලංකාවේ සාමාන්‍ය මිල මට්ටම 4.26 ගුණයකින් ඉහළ යද්දී ඇමරිකාවේ සාමාන්‍ය මිල මට්ටම ඉහළ ගිහින් තියෙන්නේ 1.56 ගුණයකින් පමණයි. ඒ අනුව ඩොලරයක මිල 2.73 ගුණයකින් ඉහළ යා යුතු වුවත්, ඇත්තටම ඉහළ ගිහින් තියෙන්නේ 2.26 ගුණයකින් පමණයි. 

මේ මට්ටමට ඩොලරය ඉහළ ගියා කියලා ලංකාවේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නැහැ. අඩු වශයෙන් වෙළඳ හිඟය නැති වෙන්නේ හෝ නැහැ. නමුත්, බොහෝ විට තාවකාලිකව හෝ ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. මා මේ සඳහා 2001 වසර යොදා ගත්තේ එම වසර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලරය පා කරනු ලැබ ඩොලරයක මිල වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වූ වසරක් නිසයි. එහෙත්, එම වසර හා පෙර වසරවල්ද ලංකාව විදේශ ණය ලබා නොගෙන සිටි වසරවල් නොවූ බවද අමතක නොකළ යුතුයි.     

ඒ කියන්නේ දැන් මහ බැංකුව විසින් ඩොලරය පාලනය කිරීම නැවැත්තුවොත් ඩොලරයක මිල රුපියල් 245ක් වී එම මට්ටමේ ස්ථාවර වෙයිද?

එහෙම වෙන්නේ නැහැ. අපි ඉහත ක්‍රය ශක්ති සාම්‍ය ගැලපීම කළේ ලංකාවේ මිල මට්ටම නිවැරදි මිල මට්ටම සේ සලකා. එහෙත්, පසුගිය කාලයේ ලංකාවේ පැවති මිල මට්ටම ඒ මට්ටමේ තියා ගත්තේත් ඩොලරයක මිල පාලනය කිරීමේ උදවුවෙන් කියන එක අප‍ට අමතක කරන්න බැහැ. උදාහරණයක් විදිහට 2011දී රුපියල් 110 මට්ටමේ තියාගත් ඩොලරය එහි ක්‍රය ශක්ති සාම්‍ය අගය වූ 182ට ගොස් තිබුණා කියා අපි හිතමු. එසේ වුනානම්, ඉන්ධන, අත්‍යාවශ්‍ය ආහාර ඇතුළු බොහෝ දේවල් වල මිල 65%කින් පමණ ඉහළ යනවා. ඒ අනුව, රටේ සාමාන්‍ය මිල මට්ටම ඔය තිබුණාට වඩා ගොඩක් ඉහළ යනවා. හරියටම කොපමණකින්ද කියන එක තීරණය වන්නේ පාරිභෝගික මිල දර්ශකයේ තිබෙන ආනයනික භාණ්ඩ හා සේවා ප්‍රතිශතයේත්, දේශීය භාණ්ඩ හා සේවා වල ආනයනික යෙදවුම් ප්‍රතිශතයේත් එකතුව කොපමණද කියන එක මතයි.

අපි මෙම ප්‍රතිශතය 40%ක් ලෙස සලකමු. ඒ කියන්නේ ඩොලරය රුපියලකින් වැඩි වෙද්දී රටේ බඩු මිල සමස්තයක් ලෙස ශත 40කින් වැඩි වෙනවා කියන එකයි. මේ ප්‍රතිශතය මම හරියටම දන්නේ නැහැ. කෙසේ වුවත්, එය 40% ලෙස සැලකුවොත් ඩොලරය 65%කින් වැඩි වෙද්දී බඩු මිල 26%කින් වැඩි වෙනවා. ඒ අනුව, ඩොලරයක ක්‍රය ශක්ති සාම්‍ය මිලද තවත් 26%කින් වැඩි වෙනවා. 

එතැනින් නවතිනවද? නැහැ. ඩොලරයක මිල ක්‍රය ශක්ති සාම්‍ය මිල හා ගැලපෙමින් තවත් 26%කින් ඉහළ යද්දී බඩු මිල නැවතත් 10.4%කින් ඉහළ යනවා. ඩොලරයක මිල හා ලංකාවේ සාමාන්‍ය මිල මට්ටම අතර චක්‍රීය සම්බන්ධයේ ස්වභාවය අනුව මේ වැඩේ දිගින් දිගටම සිදු වෙනවා. හැබැයි යම් අගයකදී ඩොලරයක මිල ස්ථාවර වෙනවා. එතරම් සංකීර්ණ නැති ගණිතය යොදා ගෙන අපට මේ මට්ටම හොයා ගන්න පුළුවන්. 

පාරිභෝගික මිල දර්ශකයේ ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය x ලෙස සැලකුවොත් ඩොලරය කෙටිකාලීනව රුපියකින් වැඩි වීම හේතුවෙන් දිගුකාලීනව රටේ මිල මට්ටම x/(1-x) ගුණයකිනුත්, ඩොලරයේ මිල දිගුකාලීනව 1/(1-x) ගුණයකිනුත් වැඩි වෙනවා. අපි x=0.33 සේ සලකමු. ඒ කියන්නේ ඩොලරයක මිල 1%කින් ඉහළ ගිය විට මිල මට්ටම 0.5%කින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඩොලරයේ මිල 1.33%කින්ම ඉහළ යනවා. හරියටම ගණන දන්නේ නැති නිසා x=0.4 සේ සැලකුවොත් ඩොලරයක මිල 1%කින් ඉහළ ගිය විට මිල මට්ටම 0.6%කින් ඉහළ යනවා. අවසාන වශයෙන් ඩොලරයේ මිල 1.67%කින් ඉහළ යනවා. හැබැයි යම් මට්ටමක ස්ථාවර වෙනවා. පළමු වටය ඉන්ධන මිල වැඩි වීම වගේ. දෙවන වටය බස් ගාස්තු වැඩිවීම වගේ.

මේ චක්‍රය කැඩිය හැකි හෝ ආපසු හැරවිය හැකි ස්ථිරසාර ක්‍රමය සල්ලි අච්චු ගැහීම සීමා කරන එකයි. ඒ සඳහා, අයවැය හිඟය අඩු කළ යුතුයි. රාජපක්ෂ ක්‍රමය වුනේ ඒ වෙනුවට කෙටි මාර්ගයක් සොයා ගැනීම. මේ අනුව, සල්ලි අච්චු ගැසීම අඩු නොකර විදේශ ණය අරගෙන විණිමය අනුපාතය පාලනය කළා. විණිමය අනුපාතය පාලනය කිරීම හරහා උද්ධමනය පාලනය කළා. දැන් විණිමය අනුපාතය කඩා වැටුනොත් එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටමද ඉහළ යනවා. ඉන් පසු, නැවත වටයකින් විණිමය අනුපාතය අවප්‍රමාණය වෙනවා. ඔය වැඩේ දිගින් දිගටම වෙනවා. හැබැයි යම් තැනක නවතිනවා.

පවතින විණිමය අනුපාතය දැන් මිල මට්ටම අනුව රුපියල් 245 දක්වා 21%කින් අවප්‍රමාණය විය යුතුයි. එහෙත් ඒ එක් බඩු මිල ඉහළ යන නිසා නැවත වටයකින් විණිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ අරින්න වෙනවා. කලින් කී පාරිභෝගික මිල දර්ශකයේ ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය 40% සේ සැලකුවොත් අවසාන වශයෙන් ඩොලරයක මිල 35%කින් පමණ අවප්‍රමාණය විය යුතුයි. ඒ කියන්නේ රුපියල් 272ක් පමණ මට්ටමකට යා යුතුයි. ආනයනික අයිතමයන් හා යෙදවුම් අනුපාතය මීට වඩා වැඩිනම් මෙය මීටත් ඉහළ අගයක් විය හැකියි.

ඉහත උපකල්පන අනුව ඩොලරයක මිල නිවැරදි වෙන්න ඇරියොත් එය ක්ෂණිකව රුපියල් 245 පමණ මට්ට්මකටත් ඉන් පසුව රුපියල් 270-275 පමණ මට්ටමකටත් යා හැකියි. එම කාලය තුළ සමස්තයක් ලෙස බඩු මිල 15%කින් පමණ ඉහළ යා හැකියි. මේ සල්ලි අච්චු ගැසීම නිසා කොහොමටත් සිදුවන බඩු මිල ඉහළ යාමට අමතරව.

සල්ලි අච්චු ගැසීමේ බලපෑම ඉහත "කඩා වැටීමට" එකතු කරමු. පසුගිය දෙවසර තුළ සල්ලි අච්චු ගැසීම ඉතා ඉහළින්ම කෙරුණා තමයි. ඇතැම් අය විවිධ කතා කිවුවත්, මේ සල්ලි අච්චු ගැහීම තවමත් සිම්බාබ්වේ වැනි මට්ටමකට හෝ "පෙර නොවූ විරූ" මට්ටමකට ගිහින් නැහැ. පසුගිය දෙවසර තුළ පුළුල් මුදල් සැපයුම ඉහළ ගොස් තියෙන්නේ 40%කින් පමණ. මුදල් සැපයුමේ සිදුවන වසරකට 10-15%ක ඉහළ යෑමක් ලංකාවට සාමාන්‍ය දෙයක්. සල්ලි අච්චු ගැසීම නිසා වැඩිම වුනොත් මිල මට්ටම තව 10-15%කින් ඉහළ යයි. මම මේ කියන්නේ අනාගතයේ සිදු විය හැකි සල්ලි අච්චු ගැසීම් ගැන නෙමෙයි. දැන් තත්ත්වය ගැන. 

ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමේ බලපෑම එකතු කළ විට මිල මට්ටම 25-30%කින් පමණ ඉහළ යා හැකියි. ඩොලරය රුපියල් 300 පමණ දක්වා යා හැකියි. හැබැයි මේ දේවල් මේ විදිහට විය හැක්කේ ආණ්ඩුව කිසිවක් නොකර හිටියොත් බව අමතක කරන්න එපා. ආණ්ඩුව උත්සාහ කරන්නේ කොහෙන් හෝ ණයක් අරගෙන ඔය තත්ත්වය පාලනය කර ගන්න. මම මේ විග්‍රහය කරන්නේ "ආර්ථිකය කඩා වැටුනොත් අපට මොකද වෙන්නේ?" කියන බය ගොඩක් අයට තිබෙන නිසා. 

ඔය විදිහට ඩොලරය රුපියල් 300 වී බඩු මිල 25-30%කින් ඉහළ ගියා කියා අපි හිතමු. ඕක ලෝක විනාසය නෙමෙයිනේ. ඒ වගේම, තනි පුද්ගලයෝ ලෙස ගත්තොත් ඇතැම් අයට මෙහි බලපෑම වඩා හොඳ එකක් වෙන්න වුනත් පුළුවන්.

තනි පුද්ගලයෙකුගේ පැත්තෙන් බැලුවොත් මෙතැන තිබෙන ලොකුම ප්‍රශ්නය වියදම ඉහළ යාම. එය වැඩිපුරම දැනෙනු ඇත්තේ විශ්‍රාමිකයන් වැනි නිශ්චිත ආදායමක් ලබන අයට. රජයේ සේවකයින් ඇතුළු අනෙකුත් මාස් පඩි කාරයින්ටත් මෙය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අවසාන වශයෙන් ගොඩක් අයට යම් තරමකින් පටි තද කරගන්න වෙයි. නමුත්, ආහාර, ඖෂධ වගේ අත්‍යාවශ්‍ය වියදම් කපන්න බැහැනේ. ඒ නිසා, මේ වැඩෙන් වෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා වලට ඉල්ලුම අඩු වෙන එකයි.

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ නිපදවන අයට මේ කඩා වැටීමෙන් ලොකු බලපෑමක් වෙන එකක් නැහැ. ඒ වගේම, අපනයන කෘෂිකර්මයේ හෝ වෙනත් අපනයන කර්මාන්ත වල නියැලී ඉන්න අයට කොහොමටත් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් වල අයටත් වැඩේ හොඳයි.

අත්‍යවශ්‍ය නොවන සේවා ආශ්‍රිත කර්මාන්ත වල නියැලී ඉන්න අයටනම් අවුලක් වෙනවා. උදාහරණයක් විදිහට පෙදරේරුවෝ වගේ අයට. කන්න බොන්න අඩු වෙද්දී ගෙවල් හදන එක ගැන හිතන්නේ කවුද? සමස්තයක් ලෙස ඉදිකිරීම් කර්මාන්තයට ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම, වෛද්‍යවරුන්, ටියුෂන් ගුරුවරුන් වගේ අයගේත් ආදායම අඩු වෙන්න පුළුවන්. මිනිස්සු වැඩි වැඩියෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට යයි. සදාකාලිකව නෙමෙයි. ආර්ථිකය නැවත පහළ මට්ටමක ස්ථාවර වෙන්න යන කාලය ඇතුළත. ආනයන වෙළඳාමේ නියැලී ඉන්න අයට, සිල්ලර වෙළඳසැල් වලට, භෝජන ශාලා පවත්වාගෙන යන අයට බිස්නස් අඩු වෙයි. ටිකක් විතර කෝවිඩ් නිසා ඇති වූ තත්ත්වයට සමාන තත්ත්වයක්. පුරුදු නැති තත්ත්වයක් නෙමෙයිනේ.

ඔය හැම දෙයක්ම නිසා දළ දේශීය නිෂ්පාදිතය හැකිලෙයි. හැබැයි එහෙම වුනා කියලා රට හතලිස් අටේදී හිටපු තැනට හෝ හැත්තෑ හතේදී හිටපු තැනට වැටෙන්නේ නැහැ. අවුරුදු කීපයකින් පස්සට යයි. ඊට පස්සේ නැවතත් ඉස්සරහට යන්න පුළුවන්. මතක තියා ගන්න නමසිය පණහේදී ලාංකිකයෙකුගේ ඒක පුද්ගල ආදායම රුපියල් 610යි. ඩොලර් වලින්නම් 124යි. 

දැන් ඇති වී තිබෙන අර්බුදය නිදහස ලබපු දවසේ පටන් රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ඇති කළ අර්බුදයක් තමයි. හැබැයි එයින් අදහස් කරන්නේ ඒ අය මුකුත්ම කළේ නෑ කියන එක නෙමෙයි. දෙදාස් විස්සේ ලංකාව හතළිස් අටේ ලංකාවට වඩා බොහෝ දුර ගිය රටක්. දැන් තිබෙන අස්ථාවරත්වය ප්‍රශ්නයක් වුවත් එවැනි අස්ථාවරත්වයකට පාර කපමින් වුවද ලංකාව ලබාගෙන තිබෙන ජයග්‍රහණ ඉතා විශාලයි. ආර්ථිකය කඩා වැටුනා කියලා ඒ සියල්ල එක රැයින් නැති වෙන්නේ නැහැ. රැයවල් ගණනාවකින් පසුව නැති වෙන්නේත් නැහැ. විදේශ අංශයේ හා මිල මට්ටමේ යම් නිවැරදි වීමක් වෙනවා පමණයි. රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2500 පමණ මට්ටමකට වැටුණත්, එය නිදහස ලබන කොට තිබුණු මට්ටම වගේ 20 ගුණයක්!

විදේශ අංශයෙන් පටන් අරගෙන, උද්ධමනය ගැනත්, මූර්ත අංශය ගැනත් අපි කතා කළා. මේ සියල්ල වෙද්දී රාජ්‍ය අංශයට වෙන්නේ මොකක්ද?

ලොකුම ප්‍රශ්නය වෙන්නේ රජයටයි. ලොකුවට නැතත් යම් තරමකින් හෝ ආර්ථිකය හැකිලීමත්, විරැකියා අනුපාතය ඉහළ යාමත් නිසා රජයට බදු ආදායම් ඉහළ දමා ගන්න වඩාත් අසීරු වෙනවා. ඒ අතර, විදේශ ණය වල රුපියල් අගය ඉහළ ගිහින් ණය පොලී හා වාරික වල වියදම ඉහළ යනවා. මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කරන්න පොලී අනුපාතික ඉහළ දැමීමත්, රටේ දේශීය ණය සැපයුම අඩු වීමත් නිසා දේශීය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී වියදම්ද ඉහළ යනවා. මේ අතර රජයේ සේවකයෝ වැඩි පඩි ඉල්ලා පාරට බහින්න ඉඩ තිබෙනවා. 

දීර්ඝකාලීනව ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඔය වගේ තත්වයක් යටතේ රජය මහා පරිමාණයෙන් සල්ලි අච්චු ගහන්න යොමු වුනොත්. එහෙම කළොත්නම්, බේරෙන්න බැරි දිය සුළියකට අහු වෙනවා. වසර ගණනකින් පසුව සිම්බාබ්වේ මට්ටමට වුනත් යන්න පුළුවන්!

මේ තත්ත්වය වලක්වාගන්න තවත් කාලයක් යන තුරු යම් තරමකට හෝ තවත් විදේශ ණය ගන්නම වෙනවා. එසේ ණය අරගෙන තාවකාලිකව තත්ත්වය පාලනය කර ගන්නා අතරම විනිමය අනුපාතය අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරීම, මිල මට්ටම යම් තරමකින් ඉහළ යන්න ඉඩ ඇරීම හා දැඩි රාජ්‍යමූල්‍ය ප්‍රතිසංස්කරණ හරහා අයවැය හිඟය පාලනය කිරීමත් කරන්නම වෙනවා.

26 comments:

  1. වනේ ගිජිඳාය සිටියොත් වනසාය
    වළේ පනිඳාය පැන්නොත් ඌ කාය
    අතකින් කරවලය අතකින් දඬු බෑය
    මරණ තුනක් ඈති මිනිසෙක් පැණි කෑය

    ReplyDelete
    Replies
    1. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කියපු කවිය මුදල් ඇමති ලෙස පත්වීමත් සමගම... මොනවා කරන්නද ඉතින් ලංකාවේ ජීවත් වන පවුලේ අයට ඥාති මිතුරන් සහ පොදුවේ අපේම සහෝදර ජනතාවට අබ සරණයි, ඔබට ජේසු පිහිටයි පරිස්සමට ඉන්න හැමෝම හරිම භයානක කාලයක්. මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඉතින් තීරණය කරන්න වෙන්නේ, මේක ලංකාවට ලැබුණු දේව පරීක්ෂණයක්, ලංකාවේ හැමෝම දෙවියන් වහන්සේගේ වචනය අනුව ශුද්ධ වූ බයිබලයේ උපදෙස් උපරිම වශයෙන් පිළිපදිමින් නිතරම දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් අපව බේරා දෙන මෙන් දෙව් සමිඳුන් ගෙන් ඉල්ලා සිටිමු. දෙව් සමිඳාණන් වහන්සේ නායක එඬේර ස්වභාවයෙන් අපට මග පෙන්වනු මැනවි. ආමේන්!

      Delete
  2. අයිසේ ඉකොනොමැට්ටා,

    "බැටළුවෝ සහ එළුවෝ සැමදා කොටින්ට බියෙන් ජීවත් වුවත් අවසානයේදි දිනක මරණයට පත් වන්නේ ඔවුන් දැඩිව විශ්වාස කළ ආදරය කරන එඬේරැන්/ අජපාලයන් අතිනි."

    - ආචාර්ය රුඩොල්ෆ් කාල් ක්‍රිස්ෂන් ඩීසල්

    කෙසේ වෙතත් මීට වසර අසූවකට වඩා කලින් කාලේක ඩොයිස්ච්ලන්ඩෙ (ජර්මන්) ජාතික සමාජවාදී ජනරජයේ නත්සිzඕනාල් zසෝෂාලිස්ටෙ ප්ලෑන් එකට අනුව අතිගරු හ' ආඪල්ෆ් හ්යුඩ්ට්ලර් ෆ්යූහ්ර (මැතිතුමා) විසින් පාලනය කළ තත්වයට වඩා තරමක් වෙනස්ව ලංකාවෙ එළුවන් නම් කොටියන් අතින් 1% කටත් වඩා අඩු පිරිසක් මිය ගියත් 52% කගේ කැමැත්තක් ඇති අජපල් එඬේර පිරිසක් සාමුහික euthanization එකකට දක්කගෙන යනවා වගේ නේද පේන්නේ මේ දවස්වල? ලංකාවේ හ' (Herr) ත් ඉතිහාස ගතවෙන ලයින් එකක් තියෙන්නේ මේ දවස්වල ලංකාවේ?

    ReplyDelete
    Replies
    1. For the Sri Lankan Context, What about the followings?

      "The shepherd always tries to persuade the sheep that their interests and his own are the same."

      - Stendhal

      "Only two things are infinite, the universe and human stupidity, and I'm not sure about the former."

      - Albert Einstein

      "Success is no accident. It is hard work, perseverance, learning, studying, sacrifice and most of all, love of what you are doing or learning to do. "

      - Pele

      "When something is important enough, you do it even if the odds are not in your favor."

      - Elon Musk

      "If you want to shine like a sun, first burn like a sun."

      - A. P. J. Abdul Kalam

      "A dream doesn't become reality through magic; it takes sweat, determination and hard work."

      - Colin Powell

      And last but not least, these three ​quotes will be the best for the Sri Lankan perspective;

      "It's kind of fun to do the impossible."

      - Walt Disney

      "There is nothing either good or bad but thinking makes it so."

      - William Shakespeare

      "Be happy for this moment. This moment is your life."

      - Umar Khy'am

      Delete
  3. පහුගිය කාලය පුරාම ලංකාව ලබාගෙන ඇති ණය නැවත් පියවීම වසරකට 03 න් වරක් කළ යුතු බැවින් 2022 පළමු වාරිකය ගෙවීම ලබන ජනවාරි 18 කළ යුතුයි, මීට කලින් 2021 ජූලි වල මෙම ණය වාරිකය ගෙවීමට නියමිත කාලය පැමිණෙද්දී විපක්ෂය දිගින් දිගටම දේශපාලන වේදිකාවේ කියා සිටියේ ආණ්ඩුවට කිසිසේත්ම එම ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවත්, ආණ්ඩුව රට බංකොලොත් කර ඇති බව, නමුත් ඒ අවස්ථාවේ කෙසේ හෝ විදෙස් සංචිතවල ඇති මුදල් සහ යම් යම් ක්‍රමවේද ඔස්සේ සොයාගත් මුදල්වලින් අදාළ ණය වාරිකය ගෙවාදැමීමට ආණ්ඩුව සමත් වුනත් පහුගිය රාජපක්ෂ රජය 2012 ගත් US$ බිලියන් 01 ක අයි එස් බී එකක් ලබන 2022 ජූනි වලත් ඊට අමතරව යහපාලන රජය විසින් ලබාගත් ඩොලර් බිලියන 12 ක අයි එස් බීත් එති නිසා 2017 ලබාගත් වසර 5 ක අයි එස් බී එකක් මේ 2022 ජනවාරි වල ගෙව්වෙ නැත්නම් මළ කෙළියක් වෙනවා.

    ලංකාවේ විපක්ෂය පවසන පරිදිම ගත්ත ණයවාරික ගෙවන්න බැරිව රට බංකොලොත් වෙයිද? මොකද මෙවර ඩොලර් බිලියන දෙකකට අධික ණය වාරිකයක් ගෙවීමට ආණ්ඩුවට සිදුව තිබුණත් විදෙස් සංචිතවල ඉතිරිව ඇත්තේ තවත් ඩොලර් බිලියන 1.5ක මුදලක් පමණි. රත්‍රන් සංචිතය නැතුව බිලියන් 1.1 ක් විතර, ඒ අනුව යම් හෙයකින් මෙවර ණය වාරිකය පියවිමට ආණ්ඩුවට නොහැකි වුවහොත් එහිදී නිල වශයෙන් රට බංකොලොත් බව ජාත්‍යන්තරය හමුවේ ප්‍රසිද්ධියට පත්වීම වැළැක්විය නොහැකිය. ඒත් සමගම ලංකාව විශාල අර්බුද ගණනාවකට මුහුණ දීමටත්, රටේ සියලු ක්ෂේත්‍ර කඩාවැටීමකට ලක්වීමත් සිදුවනු නොඅනුමානය.

    පහුගිය කාලේ චීනය තරහ කරගෙන ඇමරිකන් එක්සත් ජනපදය සහ ඉන්දියාව දෙසට හැරුණු ලංකාවේ ආණ්ඩුව පසුගිය සතියේදී විශාල බරක් යොදා තිබුණේ මේ බරපතල තත්ත්වයෙන් එළියට ඒමටයි. ආණ්ඩුවේ ප්‍රධානීන් තැන් තැන්වල ඉතා රහසේ සාකච්ඡා පවත්වමින් මේ තත්ත්වයෙන් මිදීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන දීර්ඝව සාකච්ඡා කළ නමුත් එම සාකච්ඡාවලදී ආණ්ඩුවට පෙනී ගියේ මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඇත්තේ විකල්ප දෙකක් බවයි. ඇමරිකන් අයි එම් එෆ් එකට ගියොත් කෙළවෙන බැවින් ඉන් එක් විකල්පයක් දැනට ආණ්ඩුව දේපා නමදින ඉන්දියාව සහ අනෙක් විකල්පය මේ දවස්වල ලංකාවත් එක්ක අවුලෙන් ඉන්න චීනයයි. ඒ අනුව දැනට සති කිහිපයකට පෙර තියාම ආණ්ඩුව මේ විකල්පයන් සමග සාකච්ඡා කරමින් අවශ්‍ය මුදල් සොයාගැනීමේ කටයුත්තේ නිරතව සිටියේය. ඒ අනුව ආණ්ඩුවේ සැලසුම වී තිබුණේ ඉන්දියාවෙන් ඩොලර් බිලියන් එකක් වත් ලබාගැනීම සහ එම මුදල දැනට ආණ්ඩුවේ අධික ඉන්දීය ගැති පිළිවෙත් නිසා බොහෝ දුරට තමන්ට ලැබෙනු ඇති බවද ආණ්ඩුව සිතා සිටියේය. ඉතිරි මුදල පෞද්ගලික චීන ආයෝජකයන් කිහිප දෙනකු සමග කතාකොට ලංකාවේ ආයෝජන සිදුකිරීමට අවස්ථාව ලබා දෙමින් ඩොලර් බිලියන 1.5ක අත්තිකාරම් මුදලක් එකතු කර ගැනීම ආණ්ඩුවේ ඊළඟ සැලසුම විය.

    මෙහෙම යද්දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දියාව සමග තිරය පිටුපස සාකච්ඡා මෙහෙයවද්දී මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් චීන ආයෝජකයන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබිණි. මුදල් ඇමති බැසිල් පසුගිය සතියේ ඉන්දියාවේ විශේෂ සංචාරයක නිරත වූයේත් මෙම සාකච්ඡා හරහා ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලංකාවට රැගෙන ඒමේ අරමුණ ඇතිවය. බැසිල් ලංකාවෙන් පිටත්වීමට පෙර මෙම ණය මුදල ලැබෙන බවට මාධ්‍යවල පුවත් පළවූ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා මුණගැසී සාකච්ඡා කිරීමට සැලසුම් කොට ඇති බවද කියැවුණත් ඉන්දියාවේදී බැසිල්ට නොසිතූ බාල්දියක් පෙරලී ඇති බව දැන වාර්තා වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉන්දියාවෙන් විශාල ණය මුදලක් රැගෙන ඒමට ඉන්දියාවට ගිය බැසිල්ට එහිදී ලැබුණු ප්‍රතිචාරය පිටුපස තිබුණේ කවුරුත් නොසිතූ සිදුවීම් වැළකි. ඉන්දියාවෙන් විශාල මුදලක් රැගෙන ඒමට ගිය බැසිල්ට කිසිවකුත් නොසිතූ ආකාරයේ සිදුවීම් වැළකට මුහුණ දීමට ඉන්දීය මුදල් ඇමැතියි විදේශ ඇමැතියි එකට ඇවිත් සිරා ගේමක් දීල තියෙනවා.

      ඉන්දියාවේදී බැසිල් සැලකෙන්නේ ලංකාවේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පසුව ආණ්ඩුවේ සිටින ප්‍රබලතම බලය තියෙන ඇමති විදිහටයි, ඒ අනුව බැසිල්ගේ ඉන්දීය සංචාරය සැලසුම් කොට තිබුණේ පළමුව ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් සමග සාකච්ඡා කොට ඉන් අනතුරුව ඉන්දීය විදේශ ඇමති එස්. ජයශංකර් සමග සාකච්ඡා කිරීමටත්, අවසානයේදී ඉන්දීය අගමැති මෝදි මුණගැසීමට, ඒත් එම සාකච්ඡා වෙන වෙනම පැවැත්වීමටද සැලසුම් කොට තිබිණි. නමුත් බැසිල්ගේ සංචාරය ආරම්භ වෙද්දීම සියල්ලන්ම පුදුමයට පත්කරමින් මෙම සැලසුම හදිසියේම වෙනස් කිරීමට ඉන්දියාව පාර්ශ්වයෙන් පියවර ගෙන තිබිණි. එයද ලංකාවේ දූත පිරිසට නොදන්වා සිදුකොට තිබීම විශේෂ සිදුවීමකි.

      මෙතනදි ඉතාමත් සටකපට ආකාරයට සිරා ගේමක් දුන්නේ බැසිල් මුලින්ම ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා මුණගැසීමට යද්දී ඇයත් සමග ඉන්දීය විදේශ අමාත්‍යවරයාද අසුන්ගෙන සිටිමින් (සාමාන්‍යයෙන් එවැන්නක් ඇමැතිවරුන්ගේ රැස්වීමකදී සිදු නොවන අතර එවැනි දෙයක් සිදුවන්නේ අගමැතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකදී, සාමාන්‍යයෙන් මෝදි යම් රාජ්‍ය නායකයකු සමග හෝ අමාත්‍යවරයකු සමග සාකච්ඡා කරන්නේ නම් ඔහුගේ පසෙකින් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනකු සිටීම සාමාන්‍ය සිදුවීමකි. නමුත් බැසිල්ගේ හමුවේදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා යන දෙදෙනාම එකම සාකච්ඡා මේසයේ අසුන්ගෙන සිටීම හරහා සාකච්ඡාව අතරතුරදී බාල්දියක් පෙරළීමට නියමිත බවට වූ පළමු ඉඟිය බැසිල්ට ඉවෙන් මෙන් වැටහිණි එම ඉඟිය තහවුරු කරමින් මෙම සාකච්ඡාවේදී නිර්මලාටත් වඩා අදහස් දැක්වීම සිදුකළේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා වූ එස්. ජයශංකර්) කඩවුණු පොරොන්දු වැළක් කියාගෙන යමින් බැසිල්ව නන්නත්තාර කරමින් සිය අදහස් දැක්වීමේදී වැඩි අවධානයක් යොමුකොට තිබුණේ එදා සිට ලංකාව ඉන්දීය රජයට ලබා දුන් කඩවුණු පොරොන්දු පිළිබඳ බැසිල්ට මතක් කර දීමටය.

      මෙතනදී විශේෂයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම, 2003 රනිල් වජ්පායි ගිවිසුමේ පරිදි ට්‍රින්කෝ තෙල් ටැන්කි 101 ඉන්දියාවට ලබාදීම, ත්‍රිකුණාමල වරාය සහ කොළඹ වටිනා ඉඩම් ඉන්දීය ආයෝජන වලට ලබාදීම, උතුරේ සහ රට පුරාම සූර්ය සහ සුළං බලාගාර ඉන්දීය සමාග්ම් වලට ලබාදීම, දේශපාලන වශයෙන් උතුරු සහ නැගෙනහිර පීඩිත දෙමළ ජනතාවට පළාත් සභා බලතල වලට වඩා වැඩි 13+ විශේශ ප්‍රාන්තයක් හා සමාන දේශපාලන විසඳුමක් ලබාදීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇතුළු පොරොන්දු ගණනාවක් මෙහිදී මතක් කළ ජයශංකර්, ඉතාම මෑතකදී, එනම් ඉකුත් නොවැම්බර් 15 වැනි දින ලංකා රජය කඩ කළ පොරොන්දුව වූ පලාලි ගුවන් තොට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත්කරන එකත් බැසිල්ට මතක් කර දුන්නේ හොඳ ලුණු ඇඹුල් ඇතුවයි. ඒ හරහා ඉන්දියාව සහ පලාලි අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ලංකාව එකඟතාව පළකර තිබුණත් එම පොරොන්දුවද පරණ ඒවා මෙන්ම කඩකොට ඇති බව ජයශංකර් බැසිල්ට පෙන්වා දෙමින් ලංකාවේ රාජපක්ෂ කපටි හොර රැල කරන තක්කඩි අමන වැඩ ගැන ඉන්දියාව දැඩි කෝපයෙන් පසුවන බව ජයශංකර් නොවලහා බැසිල්ට කියා දුන්නේ බැසිල් ගේ රෙදි ගලවමින්.

      Delete
    2. ලස්සනම වැඩේ තමයි මෙතෙන්දි ජයශංකර්ට අමතරව ඉන්දීය මුදල් ඇමැතිනි නිර්මලාත් මේ සම්බන්ධයෙන් තම දැඩි අප්‍රසාදය සහ කෝපය බැසිල් ඉදිරියේ මූණටම පළකරපු එක, කොහොමද හොර බැසිලගේ මූන තියෙන්න ඇත්තේ? හිතාගන්න පුළුවන් නේද? ඒ හරහා මෙය අහම්බෙන් සිදුවූවක් නොව ඉතා සැලසුම්සහගතව හරි හමන් ණයකුත් නොදී පොඩි ගාණක් විතරක් දී ලන්ංකාවේ ගොබ්බ ආණ්ඩුවට තගක් දමා මස් රාත්තලම ගැනීමට සිදුකළ එකක් බව වටහාගැනීම අපහසු නොවීය.

      අමු කුජීත ලෙස කිචවී සිටි ගොන් බැසිල් අවසානයේදී කෙසේ හෝ තමන් පැමිණි කාරණයට පිරිසගේ අවධානය යොමුකර ගැනීමට කියා සිටියේ පවතින තත්ත්වය යටතේ ඉන්දියාවේ මුල්‍යාධාර ලංකාව බලාපොරොත්තු වන බව නමුත් ඊට කිසිම විදියකින් ඍජු පිළිතුරක් නොදුන් ඉන්දීය මුදල් ඇමතිනී කියා සිටියේ බැසිල්ගේ ඉන්දීය සංචාරය අවසන් වීමට පෙර ඒ පිළිබඳ සලකා බලලා පස්සේ දැනුම්දීමක් කරන්නම් කියල, ඒ අස්සේ අගමැති මෝධී හදිසියේම බිසි වෙලා තියෙනවා.

      අතිශය අසාර්ථක එම සාකච්ඡාව අවසන් කර බැසිල් ඊළඟට සූදානම් වූයේ කෙසේ හෝ සංචාරයේ ප්‍රධානතම හමුව වන මෝදි සමග සාකච්ජා පැවැත්වීමට නමුත් බොහෝ වේලාවක් බලා සිටියද ඉන්දීය රජය පාර්ශ්වයෙන් ඒ සඳහා කිසිම අවස්ථාවක් නොලැබුණු බැවින් ඒ පිළිබඳ විමසද්දී බැසිල්ව සත පහකට ගණන් නොගත් ඉන්දීය බලධාරීන් දැනුම්දී තිබුණේ මෝදි හදිසියේම කාර්යබහුල වී ඇති බවත්, එම නිසා මෝදි සමග හමුවක් පැවැත්වීමට කිසිම අවස්ථාවක් නැති බවත්, ඇත්තටම ඉන්දියාව බෑ නොකියා බෑ කියල ගොන් බැසිලා එලවලා තියෙනවා.

      මෙතනදි කිසිම දෙයක් කරකියාගන්න බැරුව අසරණ වූ බැසිල් නැවත වතාවක් කලින් හමුවූ කණ්ඩායමම හමුවී මුදල් පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කළ නමුත් මෙම හමුවේදීත් පෙර පරිදිම ඉන්දීය විදේශ ඇමති සහ මුදල් ඇමතිනියත් ලංකාව පැත්තෙන් කඩ කළ පොරොන්දු මාලාව බැසිල්ට මතක් කර දුන් නමුත් ඒ සියල්ලම සාවධානව අසා සිටි බැසිල් කිසිදු කලබලයක් නොපෙන්නුවත්, බැසිල් විමතියට පත්වූයේ මුදල් සම්බන්ධයෙන් ඉන්දීය පාර්ශ්වයෙන් ලබාදුන් පිළිතුරත් සමගය. එහිදී මුදල් අමාත්‍යවරිය කියා සිටියේ ලංකාවට ණය ලබාදීමට ප්‍රථම ලංකාව දැනට සිටින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගනු ලබන ආර්ථික සැලැස්ම පැහැදිලි කරන්න යැයි කියාය. මෙවැනි අර්බුදයකදී ඕනෑම රටක් අයි බී ආර් ඩී ලෝක බැංකුව සහ අයි එම් එෆ් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට ආර්ථික සැලසුමක් සකස් කරගන්නා බව කියා සිටි ඉන්දීය අමාත්‍යවරුන් ඒ අනුව ලංකාවද පළමුව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට ගොස් ඉදිරි ආර්ථික සැලැස්මක් සකස් කර ඒ අනුව කටයුතු කළ යුතුම බවත් එසේ යම් කිසි සාර්ථ්කත්වයක් වෙන්වූවොත් පමණක් ඉන්දියාවත් ආයෝජන සහ ස්වැප් වැනි දෙයක් කිරීමට සලකා බැලිය හැකි බව පෙන්වා දුන්නේ එසේ යෑමෙන් පසු අදාළ ආයතනවලින් ලබාදෙන සහතිකය ඔස්සේ තමන්ටද ලංකාවට මුල්‍යාධාර ලබාදීම පිළිබඳ සලකා බැලිය හැකි බව කියමින්, මෙසේ අසාර්ථ්ක වූ එම සාකච්ඡාව අවසන් වූයේ බැසිල් බලාපොරොත්තුවෙන් සිටි ඩොලර් මිලියන 500ක ණය මුදල කිසිසේත්ම නොලැබෙන බවට තහවුරු කිරීමෙන් පසුවයි, කොටින්ම බැසිල්ට යළිත් ලංකාවට පැමිණීමට සිදුවූයේ ඉන්දියාවට ගියා හා සමානවම හිස් අතින්.

      කබ්‍ රාල්ගේ චීනය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලදීද සිදුවූයේ මේ හා සමාන දෙයකි. ලංකාව චීනයෙන් කළ ඉල්ලීමකට අනුව ණය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීන විශේෂ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණියේ මීට සති දෙකකට පෙරාතුවය. ඔවුන් සමග පැවැති සාකච්ඡාවේදී මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් ඔවුන්ට දැනුම්දී සිටියේ තමන් ඩොලර් මිලියන 1,500ක ණය මුදලක් චීනයෙන් බලාපොරොත්තු වන බවය. නමුත් මේ වන විට ඇමරිකන් සහ ඉන්දියන් උවමනාකම් පසුපස යමින් චීනයට කැපිල්ල දැමූ ආණ්ඩුව සහ චීනය අතර හොඳ හිත පළුදු වී ඇති බැවින් මෙම ණය මුදල ලබාගැනීම සඳහා දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් දැඩි ලෙස යාප්පු වී හිඟා නොකා හිඟා කෑමට කබ්රාල්ට සිදුව තිබූ ආකාරයක්ද වාර්තා වෙලා තියෙනවා. හොඳ වැඩේ ඒකත්. :D :D :D

      Delete
    3. කබ් රාල සමග අසාර්ථක වූ සාකච්චාවෙන් පසු චීන නියෝජිත පිරිස මෑතකදී අගමැතිවරයා මුණගැසීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණ එහිදීද මෙම ණය මුදල සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර චීන නිලධාරීන් අගමැතිවරයාට පෙන්වා දුන්නේ තවමත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබී නොමැති බවත්, අවශ්‍ය ලිපි ලේඛන පවා සකස් වී නොමැති බවත්ය. ඒ අනුව එම චීන නිලධාරීන් පිරිස අගමැතිවරයා සමග සාකච්ඡාව අවසන් කළේ ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් කිසිම විදිහක ධනාත්මක ප්‍රතිචාරයක් නොදක්වමිනි. ඉන් දින කිහිපයකට පසු ඔවුන් ලංකාවෙන් පිටත් වීමට ප්‍රථම නැවත වතාවක් මහ බැංකු අධිපති කබ්රාල් ඔවුන් මුණගැසීමට ගියත් එම සාකච්ඡාවේදී ඔවුන් චීන රජයෙන් ලද පණිවුඩයක් සේ කබ්රාල්ට මෙම මුදල ලබාදිය හැකි ආකාරය පිළිබඳ දැනුම් දීමට කොන්දේසියක් ලෙස කියා සිටියේ අදාළ ඩොලර් මිලියන 1,500 ලබාදිය හැකි නමුත් එය සංචිතයක් ලෙස තබා ගැනීමට පමණක් දිය හැකි බවත් වෙනත් කිසිදු කරුණකට භාවිතයට ගත නොහැකි බවකි. තැන්පතුවක් ලෙස පමණක් තබාගත හැකි ලෙස ලබාදිය හැකි බව චීන නියෝජිත පිරිස කබ්රාල්ට දැනුම් දුන් පසු අගමැති මහින්ද චීන ණය ගැන දැනුවත් කිරීමට මේ අසුබ ආරංචිය සමග සාකච්ඡාව නිම වූ වහාම අගමැතිවරයා මුණගැසී කබ්රාල් ඒ පිළිබඳ අගමැතිවරයා දැනුවත් කිරීමේදී මහින්ද ගත් කටටම කියා සිටියේ, ‘කාටවත් ගෙවන්න බැරි සල්ලියක් අපට දීලා මොනව කරන්නද’ කියල, ඊට පිළිතුරු දුන් කබ්රාල්, ‘ඒක තමයි සර්… අපට මේ සල්ලි පාවිච්චි කරන්න බැහැලු. ඒක බැංකුවේ දාලා ඕනෙ කෙනකුට සල්ලි තියෙනවා කියලා පෙන්නන්න විතරයි පුළුවන්’ කියා මූණ නරක් කර ගත් බව සැලයි, මෙතනදි ගේම අත්නොහැරපු කබ්රාල් හදිසියේම ඩුබායි ගිහින්.

      ඉන්දියාවෙන් චීනයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙන් සුබ ආරංචියක් නොලැබුණු තැන කෙසේ හෝ ජනවාරි 18ට ප්‍රථම ණය ගෙවීම සඳහා මුදල් පියවීමේ කාර්යයට මහ බැංකු අධිපතිවරයා අත තබා ඇති ආකාරය පෙණුණේ මේ වන විට කබ්රාල් සිටින්නේ ඩුබායි නිලධාරීන් සමග මුදල් සොයාගැනීම පිළිබඳ සාකච්ඡා කරමින් නිසයි, මම හිතන්නේ මූටත් බැසිල් වගේම හිස් අතින් එන්න වෙන බවයි.

      කෙසේ හෝ මේ සිදුවීම්වලින් පැහැදිලි වන්නේ 2022 ජනවාරි 18 ලංකාවට ඉතා තීරණාත්මක බවත් යම් හෙයකින් එදිනට නියමිත මුදල් සොයාගෙන ණය වාරිකය ගෙවාගැනීමට නොහැකි වුවහොත් නිසැකවම ණය ගෙවාගැනීමට නොහැකි බංකොලොත් රටක් බවට ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත්වනු නොඅනුමාන බැවින් මේ තත්ත්වය මුදල් ඇමති අරලියගහ මන්දිරයේදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පමණක් මුණගැසී කළ සාකච්ඡාවෙන්ද පැහැදිලි වුණේ බැසිල් ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ සමග කිසිදු ගැටුමක් ඇතිකර නොගන්නා ලෙස ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට දැනුම්දී සිටී පසුව සාකච්ඡාවෙන් අනතුරුව බොහෝ දෙනා කියා සිටියේ බැසිල් ගිලෙන නැවේ තනිවම ගිලෙන්නේ නැතිව පිරිසත් සමගම එකටම ගිලීයෑමේ තියරිය එදින කතාවෙන් පෙනී ගියා යැයි කියලයි. නමුත් බැසිල්ට කුජීත ලෙස කිච වී යන පරිදි බැසිල්ට බෑ කී මෝදි දෙමළ සන්ධානයට එක පයින් "හා' කියල තියෙනවා. බිසි නිසා බැසිල්ගේ ඉන්දීය ගමනේදී කිසිසේත්ම බැසිල් හමුවීමට මෝදි කටයුතු නොකළත් බැසිල් ඉන්දියාවෙන් පිටත්ව පැය කිහිපයක් යෑමට මත්තෙන් මෝදිගේ ලේකම්වරයකුගෙන් ලංකාවේ එක්තරා විශේෂ පුද්ගලයකුට දුරකතන ඇමතුමක් දීල තිබුණා, ඒ, වෙන කවුරුවත් නොව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්ට. මෙම ඇමතුම මගින් මෝදිගේ ලේකම්වරයා සම්බන්දන්ට දැනුම් දුන්නේ හැකි ඉක්මනින් දෙමළ ජාතික සන්ධානය හමුවී සාකච්ඡා කිරීමට මෝදි සූදානමින් සිටින බවත්, හැකි නම් මේ සතියේදීම නවදිල්ලිය බලා පැමිණෙන ලෙසත්. මෝදිගේ ලේකම්වරයාගෙන් මෙම ඇමතුම ලැබීමත් සමග සම්බන්දන් ඔහුට දැනුම් දී සිටියේ මෙම සතියේ දෙමළ සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක නායකයකු වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිත බවත්, දෙමළ සන්ධාන දූත පිරිසේ අනිවාර්යයෙන්ම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් රැඳී සිටිය යුතු බැවින් මේ සතියේ නවදිල්ලියට පැමිණිය නොහැකි බවත්ය. (ප්‍රේමචන්ද්‍රන්ගේ පුත්‍රයා විවාහ වන්නේ උතුරේ තවත් ප්‍රකට දේශපාලන චරිතයක්ව සිට ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ දියණිය එක්කා නමුත් අදාළ මංගල උත්සවය නිමාවීමෙන් පසු හැකි ඉක්මනින් දිල්ලියට පැමිණෙන බවද සම්බන්දන් මෝදිගේ ලේකම්වරයාට දැනුම් දී ඇත.

      Delete
    4. පසුව මෝදිගේ ලේකම්වරයාගේ මෙම දුරකතන ඇමතුම ගැන සම්බන්දන් ටී එන් ඒ පක්ෂයේ නියෝජිතයන්ට දැනුම්දීමට කටයුතු කළ පසුව සුමන්තිරන් සම්බන්ධන් ගැටෙමින් එහිදී සම්බන්දන්ගේ ස්ථාවරයට විරෝධය පළ කරමින් මන්ත්‍රී සුමන්තිරන් සඳහන් කර තිබුණේ ඉන්දීය අගමැතිවරයාගෙන් ලද ආරාධනාවෙන් වහාම ප්‍රයෝජන ගත යුතු බවත්, සුරේෂ් නොමැතිව හෝ මේ සතිය තුළදීම ඉන්දියාවට ගොස් මෝදිව මුණගැසිය යුතු බවත්ය. නමුත් සුමන්තිරන්ගේ අදහසට දැඩිව විරෝධය පළ කළ සම්බන්දන් සිය අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ තමන්ගෙන් පසු පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වන බවත්, ඉන්දීය අගමැතිවරයා සමග සිදුකරන සාකච්ඡාවේදී ඔහු නියත වශයෙන්ම එම ස්ථානයේ සිටිය යුතු බවත්ය. මේ හරහා සම්බන්දන්ගෙන් පසු සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානයේ නායකයා වනු ඇති බවට බොහෝ තැන්වල මත පළවී තිබුණද, තමාගෙන් පසු නායකත්වය ගැනීමට සුදුස්සා වන්නේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බවට මෙහිදී කිසියම් ඉඟියක් පිරිසට ලබාදීමටද සම්බන්දන් මෙහිදී කටයුතු කළේය. එමෙන්ම මෝදිගේ ලේකම්වරයා සමග සාකච්ඡා කොට දින වකවානු වෙන්කර ගැනීම තමන් සිදුකරන බවද මෙහිදී සම්බන්දන් පිරිසට කියා සිටියේය. කෙසේ වෙතත් සම්බන්දන් මෝදි සමග පැවැත්වෙන මෙම සාකච්ඡාව තවත් දින කිහිපයකින් කල් දැමීමට බලපෑ ඇත්තම හේතුව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ පුත්‍රයාගේ විවාහයමද? එසේත් නැත්නම් වෙනත් හේතුවක්ද?

      ලංකාවේ උතුරේත් එජාප/ සජබ සහ ජවිපෙ අයත් සාමාන්‍යයෙන් උතුරේ දේශපාලන සහෘදයකු වන සම්බන්දන් ගැන සලකන්නේ වයෝවෘද්ධ වුවත් ඉතා තියුණු දේශපාලන බුද්ධියකින් සහ සටකපට දේශපාලන දැක්මකින් යුතු පුද්ගලයකු ලෙසටය. මේ බොහෝ දෙනා සම්බන්දන් සමාන කරන්නේ දකුණේ සිටි ජේ.ආර්.ගේ උතුරේ කපාපු පළුව ලෙසටය. එනම් තම්න්ගේ කෙටිකාලීන වාසි තකා සටකපට තක්කඩි වැඩ කර ඒ හරහා පොදුවේ සමස්ත රටම විසඳුමක් නැති ප්‍රශ්න වැලක හිර කිරීමයි. මෙය රාජපක්ෂ කල්ලියටද එකසේ පොදු ගතියකි. ඒ අනුව මෙහිදී සම්බන්දන් මෝදි හමුවීම තවත් සති කිහිපයකින් කල් දැමීමට සැලසුම් කළේ වෙන කිසිවක් නිසා නොව ඉදිරි සති කිහිපය ඇතුළත ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලංකාව ඉලක්ක කර බරපතළ වෙඩිමුර කිහිපයක්ම නිකුත් වීමට නියමිත බව හොඳහැටි වටහාගෙනයි.

      ජාත්යන්තරයේ ලංකාවට එරෙහි පළමු මෝටාර් වෙඩිමුරය ආණ්ඩුව මේ දවස් වල හිටගෙන කඩේ යන ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගිය සතියේ එල්ල විය. ඒ, ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවෙන් ලංකාව ඉවත් කිරීම හරහාය. කලාපයේ අනෙකුත් රටවල් වන ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය, බංග්ලාදේශය, භූතානය වැනි රටවලට එම සමුළුව සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ආරාධනා කර තිබුණත්, ලංකාවට ආරාධනා කර නොතිබීම විශේෂ සිදුවීමක් විය. ලංකාව පමණක් නොව චීනයද මෙම සමුළුවෙන් ඉවත් කිරීමට බයිඩන් කටයුතු කොට තිබිණි.

      මේ හා සමගාමේව පසුගිය මාසයේ ටී එන් ඒ සුමන්තිරන්, සානක්කියන් රාසමානික්කම් වැනි මන්ත්‍රීවරුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කොට ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලද ඉදිරි සති කිහිපයේදී එළියට ඒමට නියමිත බැවින් අමෙරිකානු බර අවි ප්‍රහාර කිහිපයක් එන ලකුණු පෙණෙන අතරම දෙසැම්බර් අවසන් සතිය පමණ වන විට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලංකාව ඉලක්ක කර බරපතළ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවටද සම්බන්දන්ට තොරතුරු ලැබී තිබේ. ඒ, ලංකාවේ පවතින බරපතල අන්දමේ මානව හිමිකම් උල්ලන්ඝ්නය වීමේ තත්ත්වය පදනම් කරගෙනය. එම නිවේදනය හරහා දැඩි ලෙස පීඩාවට පත්වී ඇති උතුරේ අන්ත අසරණ දෙමළ ජනතාවට ලබාදෙන විසඳුම සහ 2006-2009 කාලයේ ලංකාවේ සිවිල් යුද සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳවද දැඩිව අදහස් පළවනු ඇති බවක් දැනගන්නට ඇත. සම්බන්දන් මෝදි හමුවීමට මේ කල් මරමින් සිටින්නේ මෙම නිවේදනය එන තෙක්ය. ඉන් අනතුරුව එම නිවේදනයේ සඳහන් කරුණුද අතේ තියාගෙන සම්බන්දන් මෝදි හමුවීමට සූදානමින් සිටින බව ආරංචිය. මෙම ඇමෙරිකානු නිවේදනයෙන් අනතුරුව එය පදනම් කරගෙන අනෙකුත් බටහිර හා යුරෝපා රටවල්ද ලංකාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවක්ද දැනගන්නට ඇති අතර ලංකාවේ අපනයන වලට අභාග්‍ය සම්පන්න කලක් ඒ හරහා උදා කිරීමටද නියමිතයි. ඒ අනුව ලබන 2022 ජනවාරි වන විට ලංකාව මුදල් අතින් බංකොලොත් වීමේ අනතුරක් පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන් බරපතල මට්ටමේ අර්බුදයක්ද ඇතිවීමටත් ලංකාවේ දේශපාලන ස්ථාවරත්ව බිඳ වැටීමේ අනතුරක්ද මේ වන විට දැකගන්නට ඇත.

      මේ අනුව ආණ්ඩුව වැටුණොත් සජබ, එජාප, ජවිපෙ ටී එන් ඒ, මුස්ලිම් පක්ෂ ප්‍රමුඛ සංධානයකින් සහ නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 60-70ක් ද සමග අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් පසුව ලංකාවේ ආර්ථිකය ගොඩ දා ගැනීමට හැකි වෙයිද? ලංකාවේ ජනාධිපති ඉල්ලා අස් වී නව ජනපතිවරණයක් පැවැත්විය හැකිවේද?

      Delete
  4. මරා වගේ ජිල්මාට් දාන්නෙ නැතිනම් ඩොලර් වලින් බැලුවත් රුපියල් වලින් බැලුවත් ආර්තික වර්දන වේගෙ සමාන වෙන්න ඕන නේද?
    මෙහෙම ජිල්මාට් ගහපු වෙනත් රටවල් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. නැහැ. ඕනෑම රටක නාමික දදේනි වර්ධනය කොහොමටත් මූර්ත දදේනි වර්ධනයට වඩා වැඩියි. එහි මූර්ත දදේනි වර්ධනය වගේම එය මනින මුදල් ඒකකයට බලපාන උද්ධමනයද තිබෙනවා. ඇමරිකාවේම වුනත් ඩොලර් වලින් මනින නාමික දදේනි වර්ධනය මූර්ත දදේනි වර්ධනයට වඩා වැඩියි. මූර්ත දදේනි වර්ධනය මනින්නේ කිසියම් පාදක වසරක මුදලේ අගය මත පදනම්වයි. එසේ මනිනවානම් පමණක් රුපියල් වලින් මැන්නත්, ඩොලර් වලින් මැන්නත් වෙනසක් නැහැ. එය ලංකාවටද අදාළයි.

      Delete
    2. මූර්ත වර්දනය බැලුවොත් ඩොලර් වර්දන වේගය හරිනම් රුපියල් වර්දන වේගයට වඩා අඩුවීමක් නේද වෙන්න ඕන? 2005-2015 කාලෙ උනේ ඩොලර් වර්දන වේගය නාමික රුපියල් වේගයටත් වඩා වැඩි වීමක් නේද?

      Delete
    3. ප්‍රශ්නය පැහැදිලි මදි. මූර්ත වර්ධන වේගය මූර්ත රුපියල් වලින් බැලුවත් මූර්ත ඩොලර් වලින් බැලුවත් සමානයි. 2005-2015 අතර නාමික වර්ධන වේගය නාමික රුපියල් වලින් බැලූ විට වැඩියි. නාමික ඩොලර් වලින් බැලූ විට ඊට වඩා අඩුයි. 2005-2014 කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ඉහල යාම වසරකට 14.4%ක්. එම කාලය තුළ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ රුපියල් අගය වසරකට 17.4% බැගින් ඉහළ ගොස් තිබෙනවා. එහෙත් මෙම වසර දහය තුළ ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය වුනේ 6.4%ක් පමණයි.

      ගෝටාට අසූව ඩබල් කළ හැකිද?
      http://economatta.blogspot.com/2020/08/blog-post_13.html

      Delete
    4. මට වැරදීමක් උනේ. මම හිතන් හිටියෙ ඩොලර් ද්දෙනි 4 ගුනයක් වෙද්දි රුපියල් ද්දෙනි එතරම් ප්‍රමානයකින් වැඩි උනේ නෑ කියල. ඒකත් 5ගුනයක් වෙලා තියෙනව.

      Delete
    5. සල්ලි අච්චු ගැසීමෙන් ආර්ථිකය හැකිලෙන කොට වුනත් නාමික රුපියල් දදේනි වැඩි කරන්න පුළුවන්. විණිමය අනුපාතය අවප්‍රමාණය වුනේ නැත්නම් ඊට සමානව නාමික ඩොලර් දදේනිත් වැඩි වෙනවා. විණිමය අනුපාතය යම් තරමකින් අවප්‍රමාණය වූ නිසා රුපියල් දදේනි පස් ගුණයක් වෙද්දී ඩොලර් දදේනි හතර ගුණයකින් වැඩි වී තිබෙනවා.

      Delete
    6. පැහැදිලි උනා. ස්තුතී
      ඇයි එතකොට මරා ෆෑන්ස්ල ඩොලර් අගය 4ගුනයක් කලා කියන්නෙ රුපියල් අගය 5 ගුනයක් කලා නොකිය?

      Delete
    7. එහෙම කිවුවහම කාට වුනත් උද්ධමනය මතක් වෙනවනේ. ඩොලර් වලින් කිවුවහම ඕක පැටලෙනවා.

      Delete
    8. ඒකත් ඇත්ත

      Delete
  5. හර්ශගෙ අලුත්ම යූට්‍යුබ් සාකච්චාව බැලුවද අභිශේක එක්ක? සෑහෙන සාදාරනව කතා කලා.

    ReplyDelete
    Replies
    1. ඔබ කිවුවට පස්සේ හොයාගෙන බැලුවා. පාඨකයෙකුගේ යොමු කිරීම මත මීට කලින් ඔය කරුණු ටිකම කියන වෙනත් සාකච්ඡාවකුත් බැලුවා.

      Delete
    2. ඔය ආචාර්ය හර්ෂ ද සිල්වා එස් එල් වී ලෝග් එකේ කියන දේවල්වල කරුණු කාරණා ටික මීට සෑහෙන කාලෙකට කලින් ධම්මික පෙරේරා, රනිල් වික්‍රමසිංහ, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ චම්පික රණවක වගේ ගොඩක් අය සැරෙන් සැරේ කියපු දේවල් සහ කබ්රාල් පවා කියපු ඇතැම් දේවල් වල එකතුවක් නේද?

      Delete
  6. ලන්කාවෙ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000වගෙ කියල ගත්තොත් 4 දෙනෙක්ගෙ පවුලක මාසික ආදායම රු ලක්ශ 2.5 විතර වෙන්න ඕන නේද? නමුත් සපුරා වෙනස් තත්වයක් ග්‍රවුන්ඩ් එකේ තියෙන්නෙ ඇයි? ඇමෙරිකාවත් එක්ක සන්සන්දනය කරද්දි මීට වඩා වෙන්ස්ද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඒක පුද්ගල ආදායම 2020 ඇස්තමේන්තුව අනුව ඩොලර් 3,682 ක්, ඒක පුද්ගල ආදායම කියන්නේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයට ආසන්න වශයෙන් සමාන වන රටේ වාර්ෂික ආදායම ජනගහනයට සාපේක්‍ෂව එක් පුද්ගලයෙකුට ගණනය කර ඇති දෙයක්, කොටින්ම රටක වාර්ෂික ආදායම මධ්‍ය වාර්ෂික ජනගහනයෙන් බෙදූවිට ලැබෙන අගය ඒක පුද්ගල ආදායම කියලා කියන්න පුළුවන්. ඩොලර් 3,682 ක් කියලා කියන්නේ දළ වශයෙන් ලක්ෂ අටක් විතර, මාසිකව රුපියල් හැට පන්දාහක් නම් හතර දෙනෙක් ඉන්න පවුලකට සාපේක්ෂව රුපියල් ලක්ෂ 2.6 ක් විතර වෙනවා.

      නමුත් ඒක නිකම් ගණනය කිරීමක් හරහා ගන්න දළ අදහසක්. කොටින්ම ඒක පුද්ගල ආදායම සහ Gini coefficient යන දෙකම ගත්තාම පොදුවේ රටක සසම්භාවී ලෙස පුද්ගලයකු ගත් විට ඔහුගේ ආදායම ගැන දළ අදහසක් ගන්න පුළුවන් වෙයි. එච්චරයි. ඕක macro සාර්ව ආර්ථික සංකල්පයක් micro ලෙවෙල් එකට අදාළ නෑ.

      ඇමරිකානු එක්සත් ජනපදයේ GDP per capita එක දළ වශයෙන් ඩොලර් 60,000 ක් විතර වෙනවා, නමුත් ඇමරිකානු සාමාන්‍ය පවුලක හතර දෙනෙක් ඉන්නවා නම් ඩොලර් 20,000 ක් මාසෙකට. ඒත් ඇත්තටම ගණන ඩොලර් 3000 - 6000 අතර සාමාන්‍ය රස්සාවක් කරන පවුල් වල, ඒ නිසා සාමාන්‍යයයෙන් මාසෙකට ඩොලර් 5,000 විතර කියන්න පුළුවන්.

      Delete
    2. උඩ ඇනෝ හොඳ පිළිතුරක් දී තිබෙනවා. එහි සඳහන් ගණන් හා කරුණු නිවැරදියි.

      අපි හරියටම ගණන් අරගෙන බලමුකෝ. 2021 පළමු මාස නවයේ ලංකාවේ දදේනි රුපියල් මිලියන 11,943,654ක්. එතකොට මාසයකට රුපියල් මිලියන 1,327,072ක් වැටෙනවා. ජනගහණය මිලියන 21.4 ලෙසත් පවුලක ප්‍රමාණය 3.7ත් ලෙස සැලකූ විට පවුලක මාසික ආදායම රුපියල් 229,447ක් වෙනවා. නමුත් 2019 ලංකාවේ නිවාස ඒකකයක මධ්‍යන්‍ය ආදායම රුපියල් 53,333ක් පමණයි. ඒ කියන්නේ ඉහත ගණනින් 23.2%ක් පමණයි.

      ඇමරිකාවේ 2020 නිවාස ඒකකයක මධ්‍යන්‍ය ආදායම ඩොලර් 67,521ක්. ඒක පුද්ගල ආදායම ඩොලර් 63,416ක්. පවුලක සාමාජිකයින් ගණන 3.23ක්. මේ අනුව, ඉහත අනුපාතය 33.0%ක්.

      කරුණු ගණනාවක් නිසා ඒක පුද්ගල ආදායම හා නිවාස ඒකකයක සාමාන්‍ය ආදායම සමාන වෙන්නේ නැහැ. එක හේතුවක් ආදායම් විෂමතාවය. එහෙත්, ඇමරිකාව ලංකාවට වඩා ආදායම් විෂමතා වැඩි රටක්. ලංකාවේ ඉහත අනුපාතය ඇමරිකාවට වඩා අඩු එසේ තිබියදීයි. දෙවන හේතුවක් වන්නේ නිවාස ඒකක වල ආදායම් බවට පත් නොවන (එහෙත් වත්කම් බවට පත්වන) සමාගම් වල ලාබ. තෙවන හේතුව රාජ්‍ය අංශය.

      Delete
    3. //. මතක තියා ගන්න නමසිය පණහේදී ලාංකිකයෙකුගේ ඒක පුද්ගල ආදායම රුපියල් 610යි. ඩොලර් වලින්නම් 124යි. /පනස් ගණන් වල ඩොලර් 124 කියන්නේ අද වටිනාකම $1,368.59. ඒ කියන්නේ අද රේට් එකට රුපියල් 278,378.60 . අද ඒක පුද්ගල ආදායම 3682 කියන්නේ පනහේ සිට ඒක පුද්ගල අදායම වැඩි වෙලා තියෙන්නේ තුන් ගුණයකින් පමණ නේද? එතකොට ඒ කකාලේ හොඳයි කියල මේ කට්ටිය වැලලෙන්නේ මොන පදනමින්ද? දහ ගුණයකින් විතර වැඩි වුනා නම් තමයි හොඳ ඇත්තටම.

      Delete
    4. ඔව්. ඒක පුද්ගල ආදායම ඇත්තටම වැඩි වී තිබෙන්නේ තුන් ගුණයකින් පමණ තමයි. සමාජවාදී ප්‍රතිපත්ති නිසා 1977 වන තුරු ඒක පුද්ගල ආදායම ඉහළ ගියේ ගොඩක් හෙමින්. 1978 වන විටත් ඒක පුද්ගල ආදායම (නාමික) ඩොලර් 193ක් පමණයි. තරමක් වේගයෙන් වැඩි වුනේ එතැන් සිටයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: