වෙබ් ලිපිනය:

Wednesday, August 3, 2022

අර්බුදය හා විකල්ප ප්‍රවාද


ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විග්‍රහයන් ගණනාවක් තිබෙනවා. ගොඩක්ම ප්‍රචලිත හා ජනප්‍රිය ප්‍රවාදයක් වන්නේ රටේ මිනිස්සු ඔවුන් විසින් උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ඩොලර් වියදම් කිරීම ප්‍රධාන හේතුව බවයි. මේක බොහෝ දුරට ආණ්ඩුවට හා රජයට හිතවත් අයගේ විග්‍රහයක්. මෙහිදී මිනිස්සු කියා කියන එකෙන් අදහස් කෙරෙන්නේ පාරිභෝගිකයින්. ආණ්ඩුව කියා කිවුවේ අලුත් ආණ්ඩුව ගැන නෙමෙයි. අලුත් ආණ්ඩුව මොන වගේ එකක්ද කියන එක තවමත් අපැහැදිලියි. 

උපයන ඩොලර් වලට වඩා වැඩියෙන් ඩොලර් වියදම් කිරීම ප්‍රශ්නයක් සේ හඳුනා ගන්නා නමුත් මගේ විග්‍රහය මේකම නෙමෙයි. එය මම බොහෝ වර විස්තර කර තිබෙනවා. මේ වෙද්දී කිසියම් සුළුතරයක් අතර හෝ මගේ ප්‍රවාදයටත් යම් පිළිගැනීමක් තිබෙනවා. ඊට අඩු වැඩි වශයෙන් සමාන ප්‍රවාද වෙනත් බොහෝ අය විසින්ද ඉදිරිපත් කර තිබෙනවා. ඔය ප්‍රවාද දෙකටම අමතරව තවත් විකල්ප ප්‍රවාද ගණනාවක් තිබෙනවා. මම මෙවැනි ප්‍රවාද තුනක සරල කරනු ලැබූ වර්ෂන් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නම්.

1. ප්‍රචලිත ප්‍රවාදය - රටේ මිනිස්සු (පාරිභෝගිකයෝ) අපනයන වලින් අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන දහයක් වුනත්, ඩොලර් බිලියන විස්සක ආනයනික භාණ්ඩ පරිභෝජනය කරනවා. ඒ නිසා, රජයට වසරකට ඩොලර් බිලියන දහයක් ණය ගන්න වී තිබෙනවා. වැරැද්ද මිනිස්සුන්ගේ අධිපරිභෝජනය. ප්‍රශ්නය විසඳන්නනම් මිනිස්සු පරිභෝජනය අඩු කරන්න ඕනෑ. ආනයන සීමා කරලා දේශීය නිෂ්පාදන වලට පුරුදු වෙන්න ඕනෑ. ව්‍යාපාරිකයින්ගේ වැරැද්දක් නැහැ. ඔවුන් කරන්නේ මිනිස්සු ඉල්ලන නිසා ඉල්ලන දේ ගෙනත් දෙන එකයි. රජයත් අහිංසකයි. ආණ්ඩුවත් අහිංසකයි. රජය/ආණ්ඩුව විසින් කරන්නේ බොහොම අමාරුවෙන් කොහෙන් හෝ රටකින් ණයට සල්ලි අරගෙන පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ ගෙනත් දීම සඳහා ව්‍යාපාරිකයන්ට සල්ලි හොයලා දෙන එක. ඒ කියන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් නැහැ. වැරැද්ද තනිකරම මිනිස්සුන්ගේ අධිපරිභෝජනය. 

2. මගේ ප්‍රවාදය- රජය ආදායම ඉක්මවා වියදම් කරනවා. හිඟය පියවන්න විදේශ ණය ගන්නවා. සල්ලිත් අච්චු ගහනවා. ණයට ගත්ත ඩොලර් වෙළඳපොළේ විකුණා ලැබෙන රුපියල් ටිකත්, අච්චු ගහපු රුපියල් ටිකත් රට ඇතුළේ වියදම් කරද්දී රුපියල් වැඩි වන නමුත් ඒ තරමට රටේ නිෂ්පාදනය වැඩි වෙලා නැහැ. නමුත් වෙළඳපොළේ ඩොලර් වැඩි වෙනවා. ඩොලර් ලාබ වෙනවා. කිසියම් පිරිසක් මේ ඩොලර් මිල දී ගෙන පිටරටින් බඩු ගෙනත් ලාබෙට විකුණනවා. ඒ බඩු ගන්න අවශ්‍ය රුපියල් ආණ්ඩුව සංසරණයට දැනටමත් එකතු කරලා. ලාබෙට පිටරටින් බඩු එන නිසාත්, ඒ බඩු ගන්න ඇති තරම් රුපියල් අතේ තියෙන නිසාත් කවුරුවත් නිෂ්පාදනය වැඩි කරන්න මහන්සි වෙන්නේ නැහැ. අපනයන වලින් අවුරුද්දකට උපයන්නේ ඩොලර් බිලියන දහයක් වුනත්, ඩොලර් බිලියන විස්සක ආනයනික භාණ්ඩ පරිභෝජනය කරන්න මිනිස්සුන්ට පුළුවන් වෙනවා. මිනිස්සු ආතල් එකේ ඉන්නවා. 

මගේ මේ ප්‍රවාදයේදීත් ප්‍රචලිත ප්‍රවාදයේදී මෙන්ම වෙළඳ හිඟයක් තිබෙනවා. වෙනස එයට හේතුව මොකක්ද කියන එකයි. මගේ ප්‍රවාදය අනුව, මෙය රටේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ වැරැද්දක් මිසක් මිනිස්සුන්ගේ (පාරිභෝගිකයින්ගේ) වැරැද්දක් නෙමෙයි. මිනිස්සුන්ගේ වැරැද්ද ඒ ප්‍රතිපත්තිය අනුමත කිරීම පමණයි. 

3. විකල්ප ප්‍රවාදය - මේ නිශ්චිත විකල්ප ප්‍රවාදය අනුව ඉහත ප්‍රවාද දෙකේම කියන විදිහේ වෙළඳ ශේෂ ප්‍රශ්නයක් රටේ නැහැ. ඇත්ත අපනයන ආදායම ඩොලර් බිලියන 15ක්. ඇත්ත ආනයන වියදමත් ඩොලර් බිලියන 15ක් පමණයි. හැබැයි අපනයනකරුවෝ අඩුවෙන් ගණන් පෙන්වලා ඩොලර් බිලියන 10ක් පමණක් රටට ගෙනත් ඉතිරි ඩොලර් 5 රටින් පන්නනවා. ආනයනකරුවෝ වැඩියෙන් ගණන් පෙන්නලා ඩොලර් බිලියන 15 වෙනුවට ඩොලර් බිලියන 20ක්ම රටින් එළියට ගෙනියනවා. දැන් එතැනත් ඩොලර් බිලියන පහක් රටින් පන්නලා. එතකොට ඔක්කොම ඩොලර් බිලියන 10ක් රටින් පන්නලා. ඒ ප්‍රමාණය තමයි රටට ණය වෙන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වැරැද්ද මේ ආනයන අපනයන කරන වෙළෙන්දන්ගේ. මිනිස්සු අහිංසකයි. රජයත් අහිංසකයි. ආණ්ඩුව කරන වැරැද්ද මේ ව්‍යාපාරිකයින්ට දඬුවම් නොකර හුරතල් කරන එකයි.

මේ ප්‍රවාද තුනම මම ගොඩක් සරල කරලා තියෙන්නේ. සල්ලි පන්නන කතාව කියන අය ගණන ඩොලර් බිලියන දහයක් කියා කියන්නේ නැහැ. හැබැයි අදහස ඔය වගේ. ඔය ප්‍රවාද තුනට අමතරව කිසියම් පිරිසක් විසින් ණයට ගත් ඩොලර් හොරා කා රටින් පැන්නීම වගේ තවත් ප්‍රවාදත් තියෙනවා. 

දැන් මා ඇතුළු ඕනෑම කෙනෙකුට ඔය වගේ ප්‍රවාදයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රවාදයක් කියා කියන්නේ නිකම්ම නිකම් හිතලුවක් මිසක් ඇත්ත නෙමෙයි. ඒ වුනත්, ලංකාවේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියන එක කාටත් පේන ඇත්තක්. ඇත්තම කතාව ඒ ආර්ථික අර්බුදයට හේතු වූ කරුණු ඔය ඕනෑම ප්‍රවාදයකට වඩා සංකීර්ණයි. ප්‍රවාදයකින් කරන්නේ ඒ සංකීර්ණ අර්බුදය වඩා පහසුවෙන් තේරුම් ගන්න කරන උත්සාහ කරන එකයි.

යම් කිසි ආකාරයකින් විද්‍යාත්මක ලෙස ප්‍රතික්ෂේප කරන තුරු ඔය වගේ ඕනෑම ප්‍රවාදයකට විය හැකියාවක් ලෙස වලංගු භාවයක් තිබෙනවා. එහෙම ප්‍රතික්ෂේප කළ ප්‍රවාදයකට වුනත් ඇතැම් අය අතර පිළිගැනීමක් තියෙන්න පුළුවන්. 

මේ වගේ ප්‍රවාදයක් ස්ථිර ලෙස ප්‍රතික්ෂේප කරන එක ගොඩක් අසීරු වැඩක්. ඒ නිසා, බොහෝ විට වෙන අය මොනවා කිවුවත් තමන්ගේ ප්‍රවාදය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින කෙනෙකුට ඒ සඳහා යම් හෝ ඉඩක් ඉතිරි වෙනවා. මේ හේතුව නිසාම, තමන්ගේ ප්‍රවාදය වෙනුවෙන් දැඩි සේ පෙනී සිටින අයෙක් සමඟ තර්ක කරලා දිනන්න අමාරුයි. 

විය හැකියාවක් ලෙස වලංගු භාවයක් තිබෙනවා කියන්නේ ඇත්ත කියා කියන එක නෙමෙයි. බොරු බව ඔප්පු වී නැහැ කියන එකයි. ඒ නිසා, අවංකවම තමන්ගේ ප්‍රවාදය ඇත්තද කියා දැන ගන්න අවශ්‍ය කෙනෙක්නම් කළ යුත්තේ එය හැකි තරම් පරීක්ෂාවට ලක් කරන එකයි. තාර්කික තලයේදීම කළ හැකි මූලික පරීක්ෂාවක් වන්නේ ප්‍රවාදයේ අභ්‍යන්තර පරස්පරතා තියෙනවද කියලා බලන එකයි. එහෙම පරස්පර තියෙනවානම් එතැනින්ම වැඩේ අත ඇරලා දමන්න පුළුවන්. 

ගොඩක් වෙලාවට එවැනි අභ්‍යන්තර පරස්පරතා නැති ප්‍රවාද එකකට වඩා ඉතිරි වෙනවා. එතකොට හරි එක හෝ වඩා ගැලපෙන එක හොයා ගන්න වෙන්නේ අනුභූතික දත්ත දිහා බලලා. මුල් වටයේදී ප්‍රතික්ෂේප නොවන ප්‍රවාද සමහරක් මේ විදිහට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒකත් හරියන්නේ නැත්නම්, අවදානමක් අරගෙන, ඉතිරි වී තිබෙන විකල්ප අතරින් තමන්ට වඩා හොඳයි කියා හිතෙන ප්‍රවාදය තෝරා ගන්න වෙනවා. 

ඉහත තෙවන විකල්ප ප්‍රවාදය කරලියට එන්නේ පළමු ප්‍රචලිත ප්‍රවාදයට එරෙහි ප්‍රවාදයක් ලෙසයි. පළමු ප්‍රවාදයෙන් වැරැද්ද පාරිභෝගිකයින් වෙත දමනවා. දෙවැන්නෙන් වැරැද්ද ව්‍යාපාරිකයින් වෙත දමනවා. මේ දෙකම දේශපාලනිකයි. ඒ විවේචනය මගේ ප්‍රවාදයත් ඒ විදිහටම වලංගුයි. ප්‍රවාදයක ස්වභාවයෙන්ම ඌණිතවාදී ප්‍රවේශයක් තියෙන නිසා එය ප්‍රවාදය හදන පුද්ගලයාගේ දැක්මට සාපේක්ෂ වීම නොවැලැක්විය හැකියි. 

ප්‍රවාදයක් ඇතුළෙන් මේ විදිහට දේශපාලනික ස්වරූපයක් පෙනෙන්න තිබෙන විට සහ පහසුවෙන් බැහැර කළ නොහැකි විකල්ප ප්‍රවාද එකකට වඩා තිබෙන කොට කවුරු හෝ කෙනෙක් තමන්ගේ දේශපාලන අභිරුචියට වඩා ගැලපෙන ප්‍රවාදයක් තෝරා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටින එකත් වලක්වන්න බැහැ. විශේෂයෙන්ම මේ නිශ්චිත කාරණයේදී ප්‍රශ්නයට විසඳුම් යෝජනා කෙරෙන්නේ ප්‍රවාදයක් ඇතුළේ සිට නිසා.

උදාහරණයක් විදිහට පළමු ප්‍රවාදය පිළිගත් විට පරිභෝජනය සීමා කිරීම සඳහා පාරිභෝගිකයින් මත බදු පැනවීම සාධාරණීකරණය කෙරෙනවා. එයට එරෙහිව තෙවන ප්‍රවාදයෙන් ව්‍යාපාරිකයින්ගේ ලාබ මත බදු පැනවිය යුතුයි කියා යෝජනා කෙරෙනවා. මගේ ප්‍රවාදයට සාපේක්ෂව බැලුවොත්, ඔය කතා දෙකම එකම කාසියේ දෙපැත්ත. මේ දෙකෙන්ම කරන්නේ රජය ආරක්ෂා කරන එක. විශාල රජයක් යුක්තිගරුක කරන එක. වෙළඳපොළට විරුද්ධ වෙන එක. (පාරිභෝගිකයින්ට එරෙහිව ව්‍යාපාරිකයින්ගේ පැත්ත ගැනීම හා වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ කරුණු දෙකක්. ධනවාදය කියා කියන්නේ වෙළඳපොළ නිදහස වෙනුවෙන් පෙනී සිටීම මිසක් ව්‍යාපාරිකයින්ගේ පැත්ත ගැනීම නෙමෙයි.)

අනුභූතික දත්ත වලින් සහයෝගයක් නොලැබෙන නමුත් අපි මොහොතකට තෙවන ප්‍රවාදය පිළිගනිමු. මේ ප්‍රවාදය අනුව, ඇත්තටම වෙළඳ හිඟයක් නැහැ. ආනයන හා අපනයන කරන ව්‍යාපාරිකයින් විසින් විදේශ විණිමය රටින් පන්නන නිසා තමයි වෙළඳ හිඟයක් තියෙනවා වගේ පේන්නේ. දැන් යම් හෙයකින් මෙහෙම දෙයක් වෙනවානම් එයින් පැහැදිලිව පේන්නේ ඔවුන්ට විදේශ විණිමය රටින් පන්නන්න අවශ්‍යතාවයක් තිබෙනවා කියන එකයි. ඔය වැඩේ ඔය විදිහට සිදු නොවී වෙනත් විදිහකට සිදු වුනා කියා අපි හිතමු. ඒ කියන්නේ අපනයනකරුවෝ ඩොලර් බිලියන 15ම රටට ගේනවා. ඊට පස්සේ එයින් ඩොලර් බිලියන 5ක් රටින් එළියට ගෙනියනවා. ඒ වගේම, ආනයනකරුවෝ ආනයන කරද්දී හරියට ගනන් පෙන්නලා, ඩොලර් බිලියන පහක් විධිමත් ලෙස වෙනම රටෙන් එළියට ගෙනියනවා. ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත් ඔය කතාවේ සහ මුල් කතාවේ විශාල වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ සල්ලි ගෙන යන ආකාරයේ පමණයි.

දැන් මම මෙහි කියපු විදිහට ඔය වැඩේ වුනොත් වෙළඳ ශේෂයක් නැහැ. නමුත් ගෙවුම් ශේෂ හිඟය ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ විදේශ විණිමය අර්බුදය හා අදාළව ප්‍රශ්නය මේ ඩොලර් ටික රටෙන් යන එක මිසක් යන ආකාරය නෙමෙයි. හැබැයි හරි පාරේ නොගොස්, නීති විරෝධී ලෙස සල්ලි එළියට යන එකේ රජයේ බදු ආදායම් අහිමි වීම වැනි වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්.

ප්‍රශ්නය විදේශ විණිමය ගලනය කියා හිතුවොත්, ඇත්තටම වෙන්නේ පළමු ප්‍රවාදයේ කියන කතාව නොවී තෙවන ප්‍රවාදයේ කතාව වුනත් මගේ ප්‍රවාදය අනුව විග්‍රහයේ ලොකු වෙනසක් නැහැ. අපි හිතමු ව්‍යාපාරිකයින් විසින් වසරකට ඩොලර් බිලියන දහයක් රටින් පන්නනවා කියලා. යම් හෙයකින් එය එසේ වුවත්, ඔවුන්ට එහෙම කරන්න හැකි වී තිබෙන්නේ රජය ණය වී ඔය ඩොලර් බිලියන දහය වෙළඳපොළට පොම්ප කරන නිසා. රටේ ඩොලර් නැත්නම් රටෙන් ඩොලර් පන්නන්න බැහැ. අවසාන වශයෙන් මගේ ප්‍රවාදය හරහා හඳුනා ගන්නා ප්‍රශ්නයේ මූලික ස්වරූපය එකයි.

ආනයනකරුවෝ වැරදි ඉන්වොයිස් දමා රටෙන් ඩොලර් පන්නනවානම් ඒ විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස වෙළඳපොළෙන් මිල දී ගන්න ඩොලර්. ඔවුන් එහෙම කරන්නේ එක පැත්තකින් අතේ රුපියල් තිබෙන නිසා. අනෙක් පැත්තෙන් ඩොලර් ලාබෙට තියෙන නිසා.

අපනයනකරුවන් දිහා බැලුවත් එහෙමයි. ඔවුන් ඩොලර් රටට ගේන්නේ නැත්තේ එක පැත්තකින් මාරු කළාම ලැබෙන රුපියල් ප්‍රමාණය මදි නිසා. අනෙක් පැත්තෙන් ඒ සල්ලි නොගෙනාවත් අතේ ඇති වෙන්න රුපියල් තිබෙන නිසා.

ප්‍රශ්නයට හේතුව ව්‍යාපාරිකයින් විසින් ඩොලර් රටින් පැන්නීම කියන උපකල්පනයේ සිට පටන් ගත්තත්, පාරිභෝගිකයින්ගේ අධිපරිභෝජනය සේ සැලකුවත්,  අවසාන වශයෙන් පාදක හේතුව එකමයි. අච්චු ගහන රුපියල් සහ ලාබෙට විකුණන ණයට ගත් ඩොලර්!

ප්‍රශ්නයට විසඳුම පාරිභෝගිකයින් පාලනය කිරීමට හෝ ව්‍යාපාරිකයින් පාලනය කිරීමට රජයට තව තවත් බලතල දෙන එක නෙමෙයි. රජයේ අයවැය හිඟය පියවා ගන්න බල කරන එක. ඒ වැඩේ වුනොත් සල්ලි අච්චු ගහන එක සහ විදේශ ණය අරගෙන රුපියල් කරන එක නවතිනවා. ඒ එක්කම, ඩොලරය විදේශ ණය පොම්ප කරලා ලාබ කරන එක කරන්න බැරි වෙනවා. රුපියල් පොම්ප කරන එකත් නවතිනවා. ප්‍රශ්නය පාරිභෝගිකයින්ගේ අධිපරිභෝජනයනම් දැන් ඒ වැඩේ සීමා වෙනවා. ප්‍රශ්නය ව්‍යාපාරිකයින් විසින් සල්ලි පන්නන එකනම් ඒකත් නවතිනවා.

4 comments:

  1. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඕවාට මොනවා හරි කරයි. දැන් ගෑස් පෝලිම ඉවරයි. ගෑස් මිල අඩු කරන්නත් ලෑස්ති.

    තෙල් පෝලිමත් ගොඩක් අඩුයි. මම අද තෙල් ගැහුවා පැය දෙකක් වගේ පෝලිමේ ඉදලා. ඉස්සරම නං ෂෙඩ් එකේ ලස්සන බලලා තෙල් ගහන්න ගියපු කාලයක් තිබ්බා. ඊට පස්සේ දවස් තුන හතර ඉන්න උනානේ තෙල් පෝලිමේ. දැන් ඒක අඩු වෙලා පැය දෙකට වගේ.

    ලයිට් කැපිල්ල නං දැන් පැය 3 ට අඩුයි. සමහර දවස් වලට කැපෙන්නේත් නැහැ. පැය 13 ක් ලයිට් තිබ්බේ නැහැනේ මීට මාස දෙක තුනකට කලින් සමහර දවස් වල.

    අරක්කු, සිකරට්, ස්පා වල නං ගාන වැඩි උනා. රුපියල් 1860 බෝතලේ 2500 ක් වගේ උනානේ.

    මීට කලින් සතොසේ පාලන මිලට තිබ්බේ හාල් රු 210 න් එහා. ඒවාත් එච්චර ලකයක් නැහැ. ඒත් දැන් නං හොද සුදු හාල් නං 200 ට තියෙනවා දැන් විවෘත වෙළදපලෙත්. මම ඊයේ කිලෝ දහයක් ගත්තා. සුපිරි හාල. උණු උණු දුම් දාන සුදු බත් එක්ක පොල් සම්බෝලයක්, කට්ටා කරවල හොද්දක්,අවාරේ හම්බුනා කොස් රුපියල් 100 ක් අරං කිරි කොස් මාළුවක් හදලා ඒවා එක්ක බත් මැරුවා.

    ඉතිං මට නං පෙන්නේ රනිල් ලොක්කා මොනවා හරි කරලා අපිට කරදයක් නැතුව ඉන්න විදියට සෙට් කරලා දෙයි කියලා.

    බස් ගාස්තු මිල නං වැඩියි. ඒක අඩු කරන්න විදියක් තිබ්බා නං හරි.

    ReplyDelete
  2. දවසක් දා
    නොනගත රාත්‍රියක්
    ඇවිත් තිබුණා
    හැමදාටම නවතීවි
    යැයි මට සිතුනා..!!

    ඒක දවසක් ද මොහොතක් ද තත්පරයක් ද කල්පයක් ද කියන්න මම දන්නේ නෑ. මම තාමත් දන්නේ නෑ ඒ කාලේ කොහොම ගත වුණාද කියලා. කාලය කියන්නේ ගත වෙන දෙයක් ද මම හිතුවා. තෙල් පෝලිමක් වගේ ජීවිතය ඔහේ නතර වෙලා. සුපර්මාකට්ටුවක රාක්කයක් වගේ ජීවිතේ හිස් වෙලා. බඩ ගින්නක් දැනෙන්නේ නෑ හරියට ආර්ථික අර්බුදය බඩ තේරුන් අරගෙන වගේ.

    ඒත් ඇග හැමතැනම පලු මතුවෙලා. කසන්න ඇති. මම පස්සේ එහෙම හිතුවා. කසනවා කියන්නෙත් සැපක් නෙව. කෑලි ගැලවෙන්න කසන්න පුලුවන්. ඉසියුම් කේෂනාලිකාවලින් ලේ එළියට එනකොටත් කසන්න පුලුවන්නම්..

    ඔව්.. ඇත්තටම කාලය ගත වෙන්නේ නෑ.

    මම පාරට බැස්සා ඉර බැහැගෙන ගියාද කියන්න මට තේරුමක් නෑ. ඒත් ආපස්සට එනකොට තැනින් තැන විදුලි බුබුළු දැල්වෙලා තිබුණා. මිනිස්සුත් පාරේ නෑ, උන් ගෙවල්වලට රිංගලා වෙන්න ඇති.. මම හිතුවා.

    තෙල් පෝලිමේ ත්‍රීවිලර් එකක් අස්සේ තුන්සීය හතර ගහනවා. මම බලාගෙන හිටියා. ගල් බෝතලයක් හෙමීට හිස් වෙනවා. ඒකට කිසිම හදිස්සියක් නෑ. ඒකත් කාලය වගේ ගත වෙන්නේ නෑ. කැලතෙන්නේ නෑ. කැලතෙනවා නම් ගතවෙනවා කියලා අපිට දැනෙනවා.

    මම රේල් පාර පැනලා බොරැල්ල දිහාට ඇවිද්දා. තෙල් පෝලිම ඉවරයක් නෑ. ඒකත් නැවතිලා. මිනිස්සු ඔහේ බලාගෙන ඉන්නවා. හිනාවක් නෑ. ඉනාවක් කාලාවත් ද? ඉසියුම් චලන ඉඟි කිසිත් නැති මූනු ඔව් ඒවා ගත වෙන්නේ නෑ. මම හිතුවා.
    ඒ ගමන නින්ද යන්නේ නෑ. නින්ද නේන රැයක් ඉවර වෙන්නේ නැත්තං ඒ කියන්නේ හෙට උදාවෙයි කියලා බලාපොරොත්තුවක් නැත්තං ජීවිතේකට මොනාද වෙන්න පුලුවන්?

    ජනේලය ඇරගෙන මූන එළියට වීසිකරගත්තාම ඈතින් කණාමැදිරි එළි ජනේල් කළුලු මන්දිරය ඔහේ බලාගෙන ඉන්නවා. ඊට ටිකක් එහායින් නෙළුම් කුලුන. ඔහේ බලාන ඉන්නයි තියෙන්නේ. සිගරැට්ටුවක් තිබුණනම්..

    ඔන්න ආයෙත් පාරට වැටෙන්න හේතුවක්. කාලය ගත වෙන්නේ නැති නිමේශයක ජීවත් වෙන්න පොඩි හරි හේතුවක් සිගරැට්ටුවක දැවටිලා හරි එනවා කියන්නේ. ඩන්හිල් සුවඳ දැනෙන්න උනා. ඩන්හිල් රස එක්ක ස්ට්‍රෝබෙරි රසත් දිවග එහෙට මෙහෙට වෙනවා. මම ඔහේ ඇවිදිනවා. බොහෝ කඩ රාත්‍රියට හුස්ම ගන්න එක අමතක කරලා. කොහේද යන පූසෙක් මීයෙක් එක්ක නිනව් නැති සෙල්ලමක. උන්ට තියෙන ජීවිතේ.. පුහ්..!

    මොකෝ කරන්නේ ?

    මොනා කරන්න ද බලන් ඉන්නවා

    තෙල් එයිද?

    දන්නේ නෑ
    දැන් කොහොමද මස් රස්සාව

    මොනා වෙන්නද? ඌරා එළුවා එනවා අපි කපනවා සුද්ද කරනවා

    මම කීවේ අඩුවක් නැද්ද

    ආවොත් කපනවා එච්චරයි

    ඒක ඇත්ත

    දෙමටගොඩ හැමදාම මෙහෙමද?

    ඔව් අපි දන්න කාලේ ඉඳලා මස් මැරුවා මුලු කොළඹටම මස් දුන්නේ මෙහෙන් තමයි

    මස් මඬුව..

    ඔව්..

    මස් වත්ත කියලත් එකක් තියේනේ
    ඔව් ඔය පාර තමයි ඒ..

    ඩන්හිල් එකක් බොනවද?

    බොමු..

    අරං එන්නම්..

    මම නැඟිට්ටා ආයෙත් ගමන. ගුවන් පාලම දිහාට. බේකරිය නම් ඇරලා. බනිසක් කනවානම් තැන. මාළු පාන් එකක් කන්න හිතුනා. ඉතිං මාළු පාන් එකක් කෑවා. ඔන්නොහේ ඩන්හිල් ඕනීනෑ කියලා ආයෙත් අනෙක් පාරෙන් ගෙදර එන්න පාරට වැටුණා.

    පන්සල් හැමතැනම. නිවන තමයි හොයාගන්න නැත්තේ. මගේ නිවනත් අතුරුදන්. කොළඹ සීසීඩී එක ළඟට ගිහිං ටිකක් වෙලා ඉන්න හිතුනා. ඒකත් මරු තැන. බලං ඉන්න හිතෙන තැනක්. ගුහාවක්.

    මේකේ ඇතුල මොනවගේ ඇද්ද? කෙළවර මොන වත්තටද මායිම් වෙන්නේ? වධකාගාරත් තියෙනවද? මම ඉතිං හිතනවා. ඔන්න ටිකක් මට මාව දැනෙන්න ගන්නවා. ගාර්ඩ් එකට ඉන්න දෙන්නා ඔහේ බලාගෙන. මාත් බලාගෙන. ජීවිතේ අපි අතරින් ලාවා වගේ ගලාගෙන යනවා. ඒක මිදෙන්න ඔන්න මෙන්න..!
    මම ඉතිං ආයෙත් ගෙදරට එන්න පාරට වැටුණා. දැන්නම් ඉර ඇහැරිලා වගේ. නිදාගත්තෙත් නෑ නේද? මතක නෑ. ඇත්තටම ඇහැරලා ද හිටියේ? අනේ මන්දා..!

    There she stood in the doorway
    I heard the mission bell
    And I was thinking to myself
    This could be Haven or this could be Hell
    Then she lit up a candle
    And she showed me the way
    There were voice down the corridor
    I thought I heard them say

    ඒක ලස්සන සිංදුවක්. කවුරු උනත් උදේට ඒවගේ සිංදු අහන එක හොඳයි. ඉන්ටර්ලෝග් ගල්කැටයම් උඩින් ගෙදරට ආවා. ඇත්තටම කොහේද ගියේ? මොනාද වුණේ? මට තේරෙන්නේ නෑ. ඒක නොනගත වෙලාවක්..!

    ජීවිතේ නවාතැනක්
    ආදරය මිහිරි සංගීතයක්
    කෝ ඔබේ හඬ
    ගයන්න උස් හඬින්
    ජීවිතේ තව දුරක්...!!

    ඒ අස්සේ සුරුට්ටුවක් හම්බ වුණා. මේකත් අහේතුක හමුවීමක්.. මින්ට් රස සුරුට්ටුවක්..!!

    ReplyDelete
    Replies
    1. රහයි සත්තයි
      හිතට වැදුණයි
      Blog ලියනවැයි
      නම කියනවැයි?

      Delete
    2. 'Blog ලියනවැයි
      නම කියනවැයි'

      ඇයි ඒකටත් ඇවිත් කුණුහරප කවි කොමෙන්ට් දාන්නද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: