වෙබ් ලිපිනය:

Tuesday, October 7, 2025

දළ නිල සංචිත - සැප්තැම්බර් 2025


සැප්තැම්බර් මාසය අවසන් වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,243 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය මාසයක් ඇතුළත ඩොලර් මිලියන 65ක වැඩිවීමක්. එහෙත්, පසුගිය සැප්තැම්බර් මාසය ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 177.3ක් මිල දී ගෙන තිබෙනවා.

මේ අනුව පෙනී යන්නේ එසේ මිල දී ගත් විදේශ විණිමය වලින් වැඩි කොටසක් ණය ආපසු ගෙවීම සඳහා වැය කර ඇති බවයි. මේ අනුව, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වල මීට වඩා වැඩි වැඩිවීමක් සිදු වී තිබිය යුතුයි. මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් යනු මහ බැංකුව සතු විදේශ වත්කම් වලින් මහ බැංකුවේ විදේශ බැරකම් අඩු කළ පසු ඉතිරි වන කොටසයි.

9 comments:

  1. ඉකොනොමැට්ටා

    ඇත්තටම 2025 සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව (CBSL) මුදල් කළමනාකරණය කරන ආකාරය දෙස බලන විට පැහැදිලි වන්නේ, ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ ගමන දැඩි මන්දගාමීත්වයකින් යුතු බවයි. නිල දත්ත අනුව, 2025 අගෝස්තු වන විට දළ නිල සංචිත (Gross Official Reserves) ඇ. ඩො. බිලියන 6.1 ක් පමණ වන අතර, සැප්තැම්බරයේ දී වාර්තා වූයේ ඩොලර් මිලියන 65 ක පමණ ඉතාමත්ම කුඩා නොසැලකිලිමත් වර්ධනයකි. 2025 වසර අවසානයේ IMF කොන්දේසිවලට යටත්ව ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 7 ක වසර අවසාන ඉලක්කය වෙත ළඟා වීමට අවශ්‍ය වේගවත් විදේශ සෘජු ආයෝජන (FDI) සහ අපනයන වර්ධනය තවමත් කිසිසේත්ම සැබෑ වී නොමැත. රජය තවමත් ප්‍රතිපත්තිමය අස්ථාවරත්වය සහ දූෂිත නිලධාරීවාදී බාධක ඉවත් කිරීමට අසමත් වී ඇති බැවින්, විදේශ ආයෝජන විශ්වාසය (Investor Confidence) අඩාල වී තිබේ. මෙය, මහ බැංකුවේ ශේෂ පත්‍රයේ විදේශ වත්කම් ඉහළ නැංවීමට ඇති සැබෑ හැකියාව සීමා කරයි. වඩාත් බරපතල අභියෝගය වන්නේ, ඉදිරියේදී එන දැවැන්ත ණය වාරික ගෙවීමට ඇති නොහැකියාවයි. වසර 2028-2030 වන විට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ඇතුළු ප්‍රධාන විදේශ ණය නැවත ගෙවීම් ආරම්භ වන විට, වත්මන් සංචිත ගොඩනැගීමේ වේගය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පෙනී යයි. මූලික ආදායම් මාර්ග ශක්තිමත් නොකර, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් (SOE) ප්‍රතිව්‍යුහගත කිරීම වැනි අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාද කිරීම හරහා, රජය කෙටි කාලීන දේශපාලන සහන පසුපස හඹා යන්නේ, රට 2028 න් පසු නැවතත් ණය අර්බුදයේ දොරටුව වෙත තල්ලු කරමිනි. මේ අනුව, ආර්ථික පාලනයේ දීර්ඝ කාලීන දැක්මක් නොමැති වීම, සමස්ත ආර්ථික පුනර්ජීවනයට ඇති ප්‍රධාන බාධාව බවට පත්ව ඇත. මේ තත්ත්වය දෙස බලන විට ලංකාවේ මහබැංකුව සහ අදාල බලධාරීන්ට මේ තත්වයන්ට මුහුණ දී මෙය නිවැරැදි ලෙස කළමණාකරණය කරගෙන නිසි මාවතට අවතීර්ණ වීමට කළ යුතු දේවල් පිළිබඳව විස්තර සහිතව ලියන්න පුළුවන්ද?

    ReplyDelete
  2. @ Economatta

    ලංකාවේ ජනමාධ්‍ය වල වාර්තා කර තිබෙන මේ කතාව ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?

    //ලංකාවේ ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන විදේශීය සෘජු ආයෝජන (FDI) ප්‍රමාණය අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් පහළ අගයක පවතින බව ලෝක බැංකුව පෙන්වා දෙයි.

    මේ පිළිබඳව ඔවුන් අනතුරු අඟවන්නේ, ආර්ථික ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් කඩිනම් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාවට නැංවීම අනිවාර්ය බව අවධාරණය කරමිනි.

    ලෝක බැංකුව පවසන පරිදි, රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 1.5ක මට්ටමක FDI තිබිය යුතු වුවත්, දැනට ළඟා කරගෙන ඇත්තේ සියයට 0.5කටත් වඩා අඩු ඉතාමත්ම සුළු අගයකි. රටේ සංවර්ධන අභිලාෂයන් වෙනුවෙන් මෙම අගය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ මතයයි.

    මීට පෙර පවා FDI ප්‍රවාහය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1ක් පමණ වුවද, එය තවදුරටත් පිරිහීමකට ලක්ව ඇති බව ලෝක බැංකු නියෝජිතයෝ පෙන්වා දෙති. තවද, වියට්නාමය සහ මැලේසියාව වැනි සම කලාපීය රටවල් GDP යෙන් සියයට 3ක් වැනි ඉහළ FDI අගයන් වාර්තා කරන බවද ඔවුහු සඳහන් කළහ.

    අද දින මෙරට තත්ත්වය යාවත්කාලීන කිරීමේ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මාලදිවයින සහ ශ්‍රී ලංකාව භාර රිචඩ් වෝකර් මහතා ප්‍රකාශ කළේ, 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක FDI ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ රජයේ ඉලක්කය කරා ලඟා වීමට නම් ශ්‍රී ලංකාවට විශාල වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට සිදුවන බවයි.

    ඔහු විශේෂයෙන්ම අවධානය යොමු කළ පරිදි, ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේදී ඇති ප්‍රධානතම බාධාව වන්නේ ඉඩම් සඳහා ප්‍රවේශවීමේ දුෂ්කරතාවයයි. මෙරට ඉඩම්වලින් 80%ක්ම රජය සතු වීමත්, ඒවා නිලධාරිවාදය සහ අමාත්‍යාංශ පාලනය යටතේ පැවතීමත් නිසා විදේශීය ආයෝජකයෝ අධෛර්යමත් වෙති. මෙම තත්ත්වය කෘෂිකාර්මික අංශයේ ආයෝජන සඳහා විශේෂයෙන්ම අහිතකර ලෙස බලපා ඇත.

    මීට අමතරව, දශක හයකටත් වඩා පැරණි කම්කරු නීති හේතුවෙන් ව්‍යාපාරික කටයුතු වල නම්‍යශීලීභාවය සීමා වීම තවත් ගැටලුවකි. මෙම නීති මගින් සමහර ක්ෂේත්‍රවල කාන්තාවන් සඳහා වන රැකියා අවස්ථා සීමා කිරීමද ආර්ථික වර්ධනයට බාධාවක් බව වෝකර් මහතා පෙන්වා දුන්නේය.

    වෝකර් මහතා දැඩිව අනතුරු අඟවා සිටියේ, මෙම ව්‍යුහාත්මක ගැටලු නොවිසඳන්නේ නම්, විදේශ ආයෝජන සඳහා ගෝලීය වශයෙන් තරඟ කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇති බවයි.

    එබැවින්, FDI ප්‍රවාහය වැඩි කිරීමට සහ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම්, ඉඩම් පාලනය වැඩිදියුණු කිරීම, කම්කරු රෙගුලාසි නවීකරණය කිරීම සහ වඩාත් ආයෝජක හිතකාමී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම අතිශය තීරණාත්මක පියවරයන් බව ලෝක බැංකුව අවධාරණය කර සිටී.///

    ලංකාවේ භූමිය විදේශීය ආයතන වලට විකිණීම මගින් මේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකි වේවිද? 2019 පමණ යෝජිත MCC ගිවිසුම හෝ ඒ හා සමාන වෙනත් ආකාරයක ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සිදු කිරීමට හැකි වෙයිද?

    ReplyDelete
  3. අජිත් කීර්තිසේනOctober 7, 2025 at 10:34 PM

    මේ කතාව දන්නා දකුණු පළාතේ, දැන් වයෝවෘද්ධ බොහෝ දෙනෙක් ඇතැයි සිතමි. 1960 ගණන් වල දකුණු පළාතේ, පිරිමි දරුවන් පස් දෙනෙකුගෙන් සහ ගැහැණු දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පොහොසත් ඉඩම් හිමි ගොවි පවුලක් විය. තම දේපළ දරුවන්ට නිත්‍යානුකූලව පැවරීමකින් තොරව පියා මියගියේය. තරමක් ඉහලට අධ්‍යාපනය ලබා සිටි වැඩිමල් සොහොයුරන් මෙන්ම සහෝදරියන්ද වාද විවාද මැද තම පියාගේ ඉඩම් අත්පත් කරගත්තේය. ඔවුන්ගේ තරඟය තිබුනේ සාරවත් කුඹුරු ඉඩම් සහ කුරුඳු වත්තේ කොටස් අත්පත් කරගැනීමටයි. අඩු අධ්‍යාපනයක් ලද තරමක සෙල්ලක්කාර පුද්ගලයෙකු වූ බාලයාව ඔවුන් නොසළකා හැරියේය. අවසානයේදී තමන් ජීවත්වූ නිවසත් එක සොයුරියක විසින් අත්පත් කරගන්නා ලද අතර කිසිවෙක් උනන්දු නොවූ නිසරු මුඩු බිමක් පමණක් බාල පුතාට හිමිවිය. එහි කිසිඳු වගාවක් කල නොහැකි වූ අතර අඩියක් පමණ වූ පස් තට්ටුවට යටින් විශාල ගල් පරයක් තිබූ බැවින් නිවසක් තැනීමටද නොහැකි විය. මේ නිසා මුඩු බිමේ පැල් කොටයක් තනා ගත් බාල පුතා කරකාරයක්ද කරගත්තේය. ඔහුගේ ජීවිකාව වුයේ අසල්වැසියන්ගේ මෙන්ම තම සොයුරු සොයුරියන්ගේද ඉඩකඩම් වල කුලී වැඩ කිරීමයි.

    1970 දශකයේ මැද භාගයේදී ඔහුගේ ඉරණම එක වරම වෙනස් විය. මෙම ප්‍රදේශයෙන් ගමන් ගත් කොළඹ ප්‍රදේශයෙන් පැමිණි ව්‍යාපාරිකයෙක්ට මෙම ඉඩමේ ගල් කොරියක් ලෙස ඇති වටිනාකම පෙනී ගියේය. ඔහු ඉඩමේ අයිතිකරු සමග කතා කර හවුලේ ගල් කොරියක් පටන් ගත්තේය.

    ඉතා කෙටි කාලයකදී බාල පුතා ප්‍රදේශයේ පොහොසත්ම පුද්ගලයෙක් විය. අද ඔහුගේ දරු මුණුපුරන් ලංකාවේ සිටින ධනවත්ම ව්‍යාපාරිකයන්ය. අදද ඔබට පරණ ගාලු පාරේ ගමන් කරන විට මේ ගල් කොරියේ කොටස් දැක ගත හැකැයි සිතමි.

    ------------------------------

    ලංකාව වටා ඇති ලංකාව මෙන් 8 ගුණයකට වඩා විශාල සාගර ප්‍රදේශයක් ලංකාව සතුව පවතී (Extended Continental Shelf). මෙහි වටිනාකම පිළිබඳව තවමත් කිසිවෙකුටත් නිවැරදි වැටහීමක් නැත. සමහර විට අප නොදන්නවාට මේ වන විට ලෝකයේ ඇති ධනවත්ම රාජ්‍ය ශ්‍රී ලංකාව විය හැක.

    මෙම මුහුදු තීරයේ ඇති ස්වභාවික සම්පත් පිළිබඳව අපට තවමත් හරි අවබෝධයක් නැත. ඉතා විශාල කොබෝල්ට් නිධියක් පවතින බව පමණක් අපි දනිමු. නමුත් මීට අමතරව මෙම මුහුදු තීරය අනාගත ලෝකයේ ශක්ති-ජීවනාලිය වන හයිඩ්‍රෝකාබන් මුලාශ්‍ර සහ දුර්ලබ ලෝහ (hydrocarbon and mineral potential) වලින් අනුන බව ලාංකිකයා නොදන්නවාට ලෝකයේ ඇති mining industry එකේ අති දැවැන්ත බහුජාතික කොම්පැණි හොඳින් වටහාගෙන ඇත. එම ආයතන හා මා අත්සන් කර ඇති NDA නිසා මට මීට වඩා දෙයක් කිව නොහැක.

    මීට අමතරව මෙම මුහුදු තීරයෙන් අපට ගත හැකි ප්‍රයෝජන අනුනය. පාවෙන ඉන්ධන ගබඩා (floating fuel storages), පාවෙන භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන (floating exchange centres), මුහුදු මංකොල්ලකරුවන්ට සහ සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජනවලට එරෙහි ජංගම ආරක්‍ෂක මධ්‍යස්ථාන (mobile security posts against ocean piracy and non-traditional security threats), පාවෙන මත්ස්‍ය තොරතුරු අංගනයක් සහ කාලගුණ මධ්‍යස්ථානයක් (floating fisheries information hub and weather surveillance centre) මෙන්ම පාවෙන සමුද්‍ර පර්යේෂණ මධ්‍යස්ථාන හෝ විශ්වවිද්‍යාල (flaoting maritime research centres or universities) සහ ගැඹුරු කිමිඳුම් පුහුණු පාසැල් (deep diving training schools) මෙම ප්‍රදේශය තුල ඇති කල හැක.

    මෙම සියලු කටයුතු සඳහා ලංකාවට Indian Ocean Maritime Diplomacy පිළිබඳව විශේෂඥ දැනුම ඇත්තන් දැඩි ලෙස අවශ්‍යය. මා දන්නා තරමින් මේ පිළිබඳව පශ්චාත් උපාධිධාරීන් අපට ඇත්තේ අතලොස්සකි. ඔවුන්ද බොහෝ දෙනෙක් රට හැර ගොස් ඇත. මේ නිසා අවාසනාවන්ත ලෙස අපට ඉන්දීය විශේෂඥයන්ගේ සහය ගැනීමට සිදු වී ඇත. නමුත් ඔවුන්ගේ අභිප්‍රාය ඉන්දියාවට උපරිම වාසි අත්කර දීමයි.

    මේ බව අවබෝධ කරගෙන හැකියාව සහ අත්දැකීම් ඇති diplomatic නිලධාරින් අදාළ පශ්චාත් උපාධි සඳහා නොපමාව යොමු කිරීම රජයේ යුතුකම බව මතක් කර දෙමි

    ReplyDelete
    Replies
    1. අජිත් ගෝමස් ඇවිත් මළ ගෙදරවල්වල දෙන පොර ටෝක්ස් වගේ ගෝමස්ගේ තවත් එක් සුරංගනා කතාවක් කියලා නේද?

      Delete
    2. @ Mr Keerthisena

      ඔයා කියනවා ලෝකේ ඉන්න දැවැන්ත බහුජාතික කොම්පැණි ලංකාවේ තියෙන "අමිල" අසීමිත මිල කළ නොහැකි සම්පත් ගැන දන්නවා, නමුත් මේකේ ප්‍රකාශකයාට NDA (Non-Disclosure Agreement - රහස්‍යතා ගිවිසුම්) එකක් නිසා වැඩි විස්තර කියන්න බැහැලු. 🤣😂😅

      මේක සම්පූර්ණයෙන්ම ස්වයං-උදම් ඇනීමක් (Self-Aggrandizement) සහ තමන්ගේ බොරු පුරාජේරු පුරසාරම් දොඩවා පුද්ගලික වැදගත්කම ඉස්මතු කරන්න දරන උත්සාහයක්.

      ශ්‍රී ලංකාවේ කොබෝල්ට් සහ තෙල්/ගෑස් වැනි සම්පත් තියෙනවා වෙන්න පුළුවන් බව ඇත්ත. ඒ ගැන ලෝකේ බහුජාතික සමාගම් උනන්දු වීමත් ඇත්ත. හැබැයි, ඒ සියලු විද්‍යාත්මක තොරතුරු අඩංගු ලිපි ලේඛන ශ්‍රී ලංකා රජය විසින් 2009 දී UNCLCS වෙත නිල වශයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ තොරතුරු බොහෝ ප්‍රමාණයක් රහස් නෙවෙයි.

      එහෙම තියෙද්දි, "මට මේ ගැන කියන්න බැහැ, මොකද මම NDA අත්සන් කරලා තියෙන්නේ" කියන එකෙන් වෙන්නේ, තමන්ගේ ප්‍රකාශය වඩාත් බලවත් සහ විශ්වාසනීය එකක් විදියට පෙන්වන්න හදන එක විතරයි. එහෙම NDA තියෙනවා නම්, ඒ රහස්‍ය තොරතුරු ඇයි මේ මුලින්ම ප්‍රසිද්ධියේ කතා කරන්නේ? ඒකෙන් පේන්නේ මේක කතාවට අතින් දාපු අභිරහස් ප්‍රෞඩාකාරී කොටසක් බවයි.

      ඉන්දියාවට චෝදනා කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික බොළඳකම
      අවසානයේ තියෙන කතාව තමයි ඉන්දීය විශේෂඥයන් ගැන සහ අපේ දේශීය විශේෂඥයන් රට හැර යාම ගැන.

      ඇත්ත යථාර්ථය Indian Ocean Maritime Diplomacy ගැන අපේ රටේ විශේෂඥයන්ගේ හිඟයක් තියෙන බව තරමක් ඇත්ත. දක්ෂයෝ පිටරට යන එකත් ඇත්ත. මේ නිසා රාජ්‍ය මට්ටමේදී ඉන්දියාවේ හෝ වෙනත් රටක විශේෂඥ සහාය පතන්න වෙන එකත් තරමකට ඇත්ත තමයි.

      නමුත් "ඔවුන්ගේ අභිප්‍රාය ඉන්දියාවට උපරිම වාසි අත්කර දීමයි" කියන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඕනෑම රටක විශේෂඥයෙක් මුලින්ම වැඩ කරන්නේ තම රටේ ජාතික අවශ්‍යතා වෙනුවෙන්. ඒක තමයි රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ (Diplomacy) ස්වභාවය. අපේ විශේෂඥයෝ ඉන්දියාවට ගියොත්, ඔවුන්ත් ඉන්දියාවට උපරිම වාසි ලැබෙන්න වැඩ කරාවි.

      සැබෑ ගැටලුව නම් මේ වෙලාවේ අපේ ECS හිමිකම් පෑම UNCLCS එකේ ඇනහිටලා තියෙන්නේම, ඉන්දියාව මේ ප්‍රදේශයට අදාළව විරෝධයක් ඉදිරිපත් කරලා තියෙන නිසයි. ඒ කියන්නේ, අපිට ඉන්දියාවත් එක්ක මේ ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රිකව විසඳාගන්න සිදුවෙලා තියෙනවා. මේ වගේ තීරණාත්මක වෙලාවකදී, ඉන්දියාවේ විශේෂඥයන්ට මේ විදියට කේළාම් ඇසීමෙන් වෙන්නේ මේ සියුම් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් නරක අතට හැරවීම පමණයි.

      මේ ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාවට අතිවිශාල විභවයක් ඇති බව කියනවා නමුත් යම් තරමකට එහෙම විභවයක් සහිත බව ඇත්ත. හැබැයි ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ අසත්‍ය තොරතුරු (අයිතිය තහවුරු නැතිකම), අතිශයෝක්තිය ("ධනවත්ම රාජ්‍යය") සහ පුද්ගලික අභිරහස් (බොරු NDA කතා) මිශ්‍ර කරලයි. අපිට මේකෙන් ගන්න තියෙන්නේ, අපේ රටට මේ ECS ප්‍රදේශය නිල වශයෙන් හිමි කරගෙන, ඒකෙන් ප්‍රයෝජන ගන්න නම්, මේ වගේ බොරු කට කතා නවත්වලා, දැන්ම දක්ෂ නිලධාරීන් පුහුණු කරලා පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වලට ඉඩ සලසමින් රාජ්‍ය තාන්ත්‍රිකව මේ ගැටලු විසඳාගන්න ඕනේ කියන එක විතරයි.

      Delete
  4. ඉකොනොමැට්ටා මෙම දත්ත ලබා ගත්තේ කොහෙන්ද

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවෙන් ගන්න පුළුවන්.

      Delete
  5. ඉකොනො, සංචිත වාහන කියන්නේ මොනාද

    ReplyDelete
    Replies
    1. අර්ථය තීරණය වෙන්නේ මෙය සඳහන්ව තිබුණු සන්දර්භය අනුවයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: