වෙබ් ලිපිනය:

Tuesday, November 25, 2025

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව


මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දෙසැම්බර් 15 දින ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ පිළිබඳ පස්වන විමර්ශනය සලකා බැලීමට නියමිතයි. මෙම විමසා බැලීමෙන් අනතුරුව හයවන වාරික මුදල නිදහස් කරනු ලැබීමට ඉඩ තිබෙනවා. එය එසේ වුවහොත්, ලංකාවට තවත් ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක් ලැබෙනවා.

ඒ අතරම, ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වරට, ශ්‍රී ලංකා රජය විසින් නැවතත් ඩොලර් බැඳුම්කර වෙන්දේසි කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. දෙසැම්බර් 3 දින අදාළ වෙන්දේසිය පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නීතිය යටතේ නිකුත් කරනු ලබන මෙම ඩොලර් බැඳුම්කර මිල දී ගැනීම සඳහා ඉල්ලුම් කළ හැක්කේ ලංකාව තුළ ලියාපදිංචි කර ඇති වාණිජ බැංකු වලට පමණයි. 

මේ වන විට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ණය නිකුත් කිරීම හා කළමනාකරණය කරන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසිනුයි. වසර ගණනාවක්ම මෙම කාර්යය සිදු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හරහා වුවද, එහි වූ බැඳියා පිළිගැටුම ඉවත් කිරීමේ අරමුණෙන් මෙම අලුත් ආයතනය පිහිටුවීමෙන් අනතුරුව, මේ වන විට එම කාර්යාලය පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මකව පවතිනවා. 

අලුතෙන් නිකුත් කරන බැඳුම්කර ආකෘතිය අනුව ආර්ථික අර්බුදයට පෙර නිකුත් කළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලට සමානයි. එහෙත්, මෙසේ අලුතෙන් නිකුත් කරන ඩොලර් බැඳුම්කර සංවර්ධන බැඳුම්කර ලෙස නම් කර නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ශ්‍රී ලංකා රජය විසින් ඒ වන විට නිකුත් කර තිබුණු ඩොලර් මිලියන 837.59ක සංවර්ධන බැඳුම්කර ප්‍රමාණයක් වෙනුවට ඒවායේ හිමිකරුවන්ට රුපියල් බැඳුම්කර ලබා දුන්නා. 

දෙසැම්බර් 3 දින වෙන්දේසි කෙරෙන්නේ ඩොලර් මිලියන 50ක බැඳුම්කර ප්‍රමාණයක් පමණයි. එසේ වුවද, ප්‍රමාණවත් ඉල්ලුමක් තිබේනම්, ඩොලර් මිලියන 150 දක්වා ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරනවා. මෙම බැඳුම්කර 2026, 2027 හා 2028 වසර වලදී (වසර 1, 2 හා 3ක කාලයකින්) කල් පිරෙනවා. 

මෙම වෙන්දේසියට ඉදිරිපත් විය හැක්කේ දේශීය බැංකු වලට පමණක් බැවින් මේ හරහා රටට අලුතෙන් ඩොලර් පැමිණීමක් සිදු වන්නේ නැහැ. රජයට ලබා ගත හැකි වනු ඇත්තේ දැනට බැංකු පද්ධතිය තුළ තිබෙන ඩොලර් වලින් කොටසක් පමණයි. ඒ අනුව, මෙහිදී රජය විසින් ණයට ලබා ගන්නා ඩොලර් ප්‍රමාණයට අනුරූපව මහ බැංකුවට වෙළඳපොළෙන් මිල දී ගත හැකි ඩොලර් ප්‍රමාණය සීමා වෙනවා. කෙසේ වුවද, මේ ක්‍රම දෙකේදීම බැංකු පද්ධතිය තුළ දැනට තිබෙන ඩොලර් වලින් කොටසක් රටේ නිල විදේශ සංචිතයට එකතු වෙනවා.

රජය විසින් මේ අයුරින් දේශීය වෙළඳපොළෙන් ණයට ලබා ගන්නා ඩොලර් රජයේ ණය ගෙවීම සඳහා යොදා ගත හැකියි. මෙම ණය ආපසු ගෙවිය හැකි විකල්ප ක්‍රමයක් වන්නේ මහ බැංකුව සතු සංචිත වලින් ඩොලර් මිල දී ගැනීමයි. එහිදී මහ බැංකුවට සංචිත පවත්වා ගැනීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නට සිදු වෙනවා. ඒ අනුව, මෙහිදී සිදු වන්නේ පසුගිය කාලය තුළ වක්‍ර ලෙස සිදු වූ දෙයක් සෘජු ලෙස සිදු වීමයි. 

රජය විසින් ඩොලර් බැඳුම්කර නිකුත් කර වෙළඳපොළෙන් සෘජු ලෙසම ඩොලර් ලබා ගැනීමේදී රජයට එසේ ලබා ගන්නා අරමුදල් වෙනුවෙන් නියම මිල ගෙවන්නට සිදු වෙනවා. මහ බැංකුව හරහා ඩොලර් ලබා ගනිද්දී එය එසේ සිදු වන බවට සහතිකයක් නැහැ. ඒ වගේම, වාණිජ බැංකු වල පැත්තෙන් බලද්දී, ඔවුන් කරන්නේ ණය දීමක්. ඒ ණය නිශ්චිත දිනයක ආපසු ලැබෙනවා. මහ බැංකුවට විකුණන ඩොලර් එසේ ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට නොවිකුණන ඩොලර් යම් ප්‍රමාණයක් රජයට ණය ලෙස ලබා ගැනීමේ ඉඩක් තිබෙනවා. එය එසේ වුවහොත්, විකල්ප තත්ත්වයට සාපේක්ෂව, නිල සංචිත ඉහළ යාමක් සිදුවිය හැකියි. 

ලැබීමට නියමිත මූල්‍ය අරමුදලේ හයවන වාරිකය සහ ඉහත කී ඩොලර් බැඳුම්කර ණය වල උදවුවෙන් වසර අවසන් වීමට පෙර නිල සංචිත වල යම් ඉහළ යාමක් සිදු විය හැකි බැවින් ඩොලර් බිලියන හතේ වර්ෂාවසාන සංචිත ඉලක්කය තවමත් මුළුමනින්ම ගිලිහී ගොස් නැහැ. එය තීරණය වන්නේ අවසන් මාස දෙක තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගන්නා ඩොලර් ප්‍රමාණය මතයි. 

Sunday, November 16, 2025

ලංකාවේ ජනගහණය උපරිම මට්ටම පහු කරලා ඉවරද?


පසුගිය (2024) වසරේ දෙසැම්බර් 19 වන දින "සංගණන මොහොතේදී" ලංකාවේ ජනගහණය ලෙස පුද්ගලයින්  21,781,800 දෙනෙකු ගණන් කර තිබෙනවා. ඊට පෙර 2012 සංගණන මොහොතේදී ලංකාවේ ජනගහණය ගණන් ගැනුණේ 20,359,439ක් ලෙසයි. මේ අනුව, වසර දොළහක පමණ කාලයක් තුළ ලංකාවේ ජනගහණයේ වර්ධනය 1,422,361ක් පමණයි.

වඩා වැදගත් කරුණක් වන්නේ මේ වර්ධනයෙන් 79.8%කටම දායක වී තිබෙන්නේ වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයින් ගණන 1,135,151කින් ඉහළ යාම වීමයි. මීට සාපේක්ෂව වයස අවුරුදු 15 නොඉක්මවූ ජනගහණය 5,131,666 සිට 4,506,839 දක්වා 20.7%කින් අඩු වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි. 

වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයෙක් කියන්නේ 1959දී හෝ ඊට පෙර උපන් අයෙක්. 1959 වන විට ලංකාවේ උපත් අනුපාතිකය දහසකට 37.0ක් වැනි ඉතා ඉහළ මට්ටමක තිබුණා. 1960 පමණ සිට මෙම අනුපාතිකය ක්‍රමක්‍රමයෙන් අඩු වන්නට පටන් ගත්තා. 2024 වන විට ලංකාවේ උපත් අනුපාතිකය දහසකට 9.6 දක්වා අඩු වී තිබුණා. 

එහෙත් මරණ අනුපාතිකය 1959 වන විටද දහසකට 9.1 මට්ටම දක්වා පහත වැටී තිබුණු බැවින් මරණ අනුපාතිකයෙහි ඊට සමාන්තර වේගවත් අඩු වීමක් සිදු වීමේ අවකාශයක් තිබුණේ නැහැ. එම අනුපාතිකය අඩු වූයේ සෙමෙන්. ඒ නිසා, උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර පරතරය ක්‍රමක්‍රමයෙන් අඩු වුනා. 2024 වන විට ලංකාවේ මරණ අනුපාතිකය දහසකට 7.8ක් වූ අතර උපත් හා මරණ අනුපාතික අතර වෙනස දහසකට 1.8 දක්වා අඩු වී තිබුණා.  

ලංකාවේ ජනගහණය දිගින් දිගටම වර්ධනය වීමට හේතු වූයේ උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර වූ වෙනසයි. එම වෙනස ක්‍රමක්‍රමයෙන් අඩු වෙද්දී ජනගහණ වර්ධන වේගයද ක්‍රමයෙන් අඩු වුනා. මේ වන විට ලංකාවේ උපත් හා මරණ අනුපාතික අතර වෙනස රටේ ශුද්ධ සංක්‍රමණ අනුපාතිකයද ඉක්මවා පහත වැටී තිබෙනවා. එහි ප්‍රතිඵලය වනුයේ රටේ ජනගහණය ක්‍රමක්‍රමයෙන් අඩු වීමයි. 

ලංකාවේ උපත් අනුපාතිකය ඉතා ඉහළ මට්ටමක පැවති 1960ට පෙර කාලයේදී ඉපදුනු අය මේ වන විට වයස අවුරුදු 65 ඉක්මවා සිටින අයයි. ලංකාවේ අපේක්ෂිත ආයු කාලය ආසන්න වශයෙන් වසර 78ක් පමණ වන බැවින් ඉදිරි කාලයේදී මරණ අනුපාතිකය ක්‍රමයෙන් ඉහළ යාමේ විභවයක් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උපත් අනුපාතිකය සහ මරණ අනුපාතිකය අතර වෙනස ඉදිරි වසර කිහිපය තුළ තවත් අඩු විය හැකියි. එමෙන්ම, ශුද්ධ සංක්‍රමණ අනුපාතිකයද තවත් කාලයක් යන තුරු ධන අතට හැරීමේ විභවයක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, පසුගිය සංගණනයේදී ගණන් ගැනුණු ලංකාවේ ජනගහණය බොහෝ විට ලංකාවේ සංගණනයකදී ගණන් ගැනුණු වැඩිම ජනගහණය විය හැකියි.

සංගණනය පැවැත්වූ දින සිට 2025 ජූනි 30 දක්වා වූ මාස හයකට මදක් වැඩි කාලය ඇතුළත රට තුළ උපත් 110,652ක් හා මරණ 95,181 සිදු වෙද්දී, ශුද්ධ වශයෙන් 41,002 දෙනෙකු රටෙන් පිටතට සංක්‍රමණය වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සංගණන මොහොතේ සිට 2025 ජූනි 30 දක්වා කාලය ඇතුළත ලංකාවේ ජනගහණය 25,531කින් පහත වැටී තිබෙනවා. 

Friday, November 14, 2025

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12 දින වන විටද ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරකයින් මිලියන දෙකකට වඩා අඩු ප්‍රමාණයක් (1,972,957ක්). ඉදිරි සතිය තුළ (නොවැම්බර් 17 හෝ ආසන්න දිනක) මෙම ප්‍රමාණය යාන්තමින් මිලියන දෙක ඉක්මවා යා හැකියි. එහෙත් ඉන් පසුව වසර අවසන් වීමට තවත් ඉතිරිව තිබෙන්නේ සති හයක පමණ කාලයක් පමණක් බැවින් වසර අවසන් වෙද්දී අපේක්ෂා කළ හැක්කේ වැඩිම වුනොත් සංචාරකයින් මිලියන 2.3කට ආසන්න ප්‍රමාණයක් පමණයි.

වසර මුලදී සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ශුභවාදී තත්ත්වයන් යටතේදී සංචාරකයින් 3,000,000ක් (මිලියන තුනක්) ඉලක්ක කර තිබුණු අතර එතරම්ම ශුභවාදී නොවන සාමාන්‍ය තත්ත්වයන් යටතේදී සංචාරකයින් 2,676,596 දෙනෙකු රටට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණා. එමෙන්ම නරකම තත්ත්වයන් යටතේ වුවද සංචාරකයින් 2,415,000 දෙනෙකුගේ පැමිණීම සිදු වනු ඇති බව ඇස්තමේන්තු කර තිබුණා. දැනට පෙනෙන පරිදි ඇත්තම තත්ත්වය වසර මුලදී ඉලක්ක කර තිබෙන නරකම තත්ත්වයටත් වඩා නරක තත්ත්වයක් වනු ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සලකා තිබෙන්නේ මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 3.5%ක් වනු ඇති වුවද, ඉදිරි 2026 වසරේදී ආර්ථික වර්ධන වේගය 3.1%ක් දක්වා අඩු වනු ඇති බවයි. රටේ දිගුකාලීන ආර්ථික වර්ධන වේගය 3.1% මට්ටමට වඩා වැඩි කර ගැනීමේ උත්සාහය තුළ දැනට වැඩිම බරක් තබා තිබෙන්නේ සංචාරක කර්මාන්තය මත බැවින් සංචාරක පැමිණීම ඉලක්ක මට්ටමට වඩා බොහෝ අඩු වීම අවධානය යොමු විය යුතු කරුණක්.

ඔක්තෝබර් මාසය අවසන් වන විට රටට පැමිණ සිටි සංචාරකයින් ප්‍රමාණය 1,890,687ක් ලෙස වාර්තා වන අතර මෙම ගණන 2018 පළමු මාස දහය ඇතුළත රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වන 1,885,045ට වඩා යාන්තමින්  (0.3%කින්) වැඩියි. කෙසේ වුවත්, 2018 පළමු මාස දහයක කාලය තුල සංචාරක ඉපැයීම් ලෙස ඩොලර් මිලියන 3,495.9ක් ලැබී තිබුණද, ඩොලරයක මූර්ත අගය 22.5%කින් අඩු වී ඇති තත්ත්වයක් තුළ පවා, මෙම වසරේ පළමු මාස දහය තුළ උපයා ඇති සංචාරක ආදායම ඩොලර් මිලියන 2,659.0ක් පමණයි. මෙය, 2018 වසරට සාපේක්ෂව, සංචාරක ඉපැයීම් වල 23.9%ක නාමික අඩු වීමක් වන අතර මූර්ත පදනමින් 41.0%ක අඩු වීමක්. ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන්නේ මූර්ත ආදායමයි. 

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නරකම තත්ත්වයක් යටතේ පළමු මාස දහයක කාලය ඇතුළත සංචාරකයින් 1,942,909ක්ද, සාමාන්‍ය තත්ත්වයන් යටතේ සංචාරකයින් 2,137,227ක්ද, හොඳ තත්ත්වයක් තුළ සංචාරකයින් 2,395,462ක්ද පැමිණෙනු ඇති බව ඇස්තමේන්තු කර තිබුනත්, ඇත්තටම පැමිණ ඇති ගණන නරකම තත්ත්වයටත්  වඩා 2.7%කින්ද, සාමාන්‍ය තත්ත්වයට වඩා 11.5%කින්ද, ශුභවාදී තත්ත්වයට වඩා 21.1%කින්ද අඩුයි. පැමිණෙන සංචාරකයින් විසින් වැය කර ඇති සාමාන්‍ය මුදල විශාල ලෙස අඩු වී තිබීම හේතුවෙන් මෙහි අවාසිය වඩා විශාල වී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහාම වෙනම විශේෂ බද්දක් අය කරනවා. එය සංචාරක හෝටල්, සංචාරක නියෝජිත ආයතන, සංචාරක වෙළඳසැල් වැනි ආයතන වල පිරිවැටුමෙන් 1%ක් දක්වා වන බද්දක්. එම බදු මුදල් වලට සාධාරණයක් ඉටු වන්නේ රජය මැදිහත්ව සිදු කරන ප්‍රවර්ධන කටයුතු හේතුවෙන් කර්මාන්තයේ ආදායම් සැලකිය යුතු ලෙස වර්ධනය වන්නේනම් පමණයි.



Thursday, November 13, 2025

වතු කම්කරුවන්ට ගෙවන රුපියල් දෙසීය


තේ කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ දෛනික වැටුපට බදු ගෙවන්නන්ගේ අරමුදල් වලින් රුපියල් දෙසීයක මුදලක් එකතු කර තිබෙනවා. මේ රාජ්‍ය මැදිහත්වීම ලංකාවට අලුත් දෙයක්. මීට කලින් බොහෝ විට සිදු වූයේ රජය මැදිහත් වී අවම වැටුප ඉහළ දැමීමයි. මෙය අලුත් ආකාරයක මැදිහත් වීමක් නිසාම, මේ ගැන පැහැදිලි කිරීමක් කිහිප දෙනෙකු විසින්ම ඉල්ලා තිබෙනවා.

අපි මූලික ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථයක පැහැදිලි කෙරෙන සාමාන්‍ය තරඟකාරී ශ්‍රම වෙළඳපොලකින් මේ විග්‍රහය පටන් ගනිමු. රාජ්‍ය මැදිහත්වීමක් නැති, තරඟකාරී වෙළඳපොළක ශ්‍රමය සඳහා වන ඉල්ලුම හා සැපයුම අනුව ශ්‍රමයේ මිල තීරණය වෙනවා. ඒ කියන්නේ වැටුප තීරණය වෙනවා. 

මේ විදිහේ තරඟකාරී ශ්‍රම වෙළඳපොලවල් තියෙන්නේ ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථ වල පමණක් නෙමෙයි. සැබෑ ලෝකයේද මේ සරල ආකෘතිය හා ගැලපෙන ශ්‍රම වෙළඳපොළවල් ඕනෑ තරම් තිබෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ ආරක්ෂක සේවා රැකියාව. සාමාන්‍ය වචන වලින්නම් සිකියුරිටි රස්සාව. 

ඔය ආරක්ෂක සේවා රැකියාව කරන අවි පුහුණුව ලබපු අය එහෙමත් ඉන්නවා. නමුත් මෙහිදී කතා කරන්නේ සිකියුරිටි රස්සාව ලෙස හඳුන්වන දොරටුපාල රස්සාව ගැන. ඔය රස්සාව ඕනෑම කෙනෙක්ට කරන්න පුළුවන් රස්සාවක්. පුහුණුවක් කියලා දෙයක් අවශ්‍ය නැහැ. ගොඩක් අය ඔය වගේ රස්සාවකට යන්නේ ඊට වඩා හොඳ රස්සාවක් කිරීමේ අවස්ථාවක් නොලැබෙන නිසා. වැටුප ඒ තරම් ඉහළ එකක් නෙමෙයි. වෙන තැනක වැඩි වැටුපක් ලැබෙනවානම් අනිවාර්යයෙන්ම රස්සාව මාරු කරනවා. සාමාන්‍යයෙන් හෙට්ටු කරලා වැටුප වැඩි කරගන්න බැහැ. රස්සාවට එන්න තව ඕනෑ තරම් අය ඉන්නවා.

ඇඟලුම් කම්හල් වල රැකියාව ගත්තත් ඔය සිකියුරිටි රස්සාවට වඩා පොඩි වෙනසයි තියෙන්නේ. වැටුප බොහෝ දුරටම තීරණය වෙන්නේ වෙළඳපොළ තරඟය තුළ ඉල්ලුම හා සැපයුම අනුවයි. ඇඟලුම් කර්මාන්තය හා අදාළව අවම වැටුපක් තිබුණත්, ඒ අවම වැටුප වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම තුලනය වන වැටුපට වඩා අඩු නිසා එහි ප්‍රායෝගික බලපෑමක් නැහැ. 

යම් හෙයකින් ඇඟලුම් කර්මාන්තයේ අවම වැටුප ඔය සමතුලිත වැටුපට වඩා වැඩි කළොත් වෙන්නේ කුමක්ද? දැන් ඒ අවම වැටුප ගෙවන්නම වෙනවා. නමුත් ඒ අවම වැටුප ගෙවලා ලාබ ගන්න පුළුවන් ව්‍යාපාරයේ නිරත වන යම් පිරිසකට පමණයි. ඒ නිසා, අවසාන වශයෙන් වෙන්නේ රැකියා යම් ප්‍රමාණයක් නැති වෙන එක. නිෂ්පාදනය අඩු වෙන එක. වෙළඳපොළ සාමාන්‍ය තරඟකාරී ශ්‍රම වෙළඳපොලක්නම් ඕනෑවට වඩා වැඩි අවම වැටුපක් නිසා හැම වෙලාවකම වෙන්නේ යම් රැකියා ප්‍රමාණයක් නැති වෙන එකයි. 

රජය විසින් අවම වැටුප නිකම්ම වැඩි නොකර, අවම වැටුප සහ වෙළඳපොළ වැටුප අතර වෙනස කම්හල්හිමියාට (හෝ ශ්‍රමිකයාට) ගෙවුවොත්, මේ විදිහට රැකියා නැති වීමක් වෙන්නේ නැහැ. ශ්‍රමිකයාට වැඩි වැටුපක් ලැබුණත්, එය කම්හල්හිමියාගේ පිරිවැයට එකතු වෙන එකක් නෙමෙයි. එහි බර දරන්නේ බදු ගෙවන්නෝ. ඒ නිසා, මෙහිදී ශ්‍රමිකයාව සුබසාධනය වීමක් සිදු වෙන නමුත් අවම වැටුප් ක්‍රමයේදී වගේ වෙළඳපොළ විකෘති වෙන්නේ නැහැ.

ඉහත හේතුව නිසා, සාමාන්‍ය තරඟකාරී ශ්‍රම වෙළඳපොළ රැකියාවක් හා අදාළව, අවම වැටුප රජය විසින් නියම කිරීමේ විකල්පයට සාපේක්ෂව බලද්දී ඔය විදිහට කෙළින්ම බදු ගෙවන්නගේ මුදල් වලින් සල්ලි ගෙවන ක්‍රමය හොඳ එකක්. මෙහිදී අරමුණ සුබසාධනය. සුබසාධනය වෙනුවෙන් කාට හෝ මිලක් ගෙවන්න වෙනවා. ඔය විදිහට කෙළින්ම ඒ මිල ගෙවද්දී සල්ලි යන්නේ කොහෙන්ද කාගෙන්ද කියන එක කාට වුනත් පේනවා. අවම වැටුප් ක්‍රමයේදීත් මේ වියදම, සමහර විට මීටත් වඩා වැඩි වියදමක්, තිබුණත් ඒ වියදම පැහැදිලිව පේන්නේ නැහැ. නමුත් හානිය ඒ විදිහටම තියෙනවා. 

ඉහත හේතුව නිසා විදුලි ගාස්තු, ඉන්ධන ආදිය හා අදාළවත් පාරිභෝගිකයින් සුබසාධනය කළ යුතුනම් එය කළ යුතු ක්‍රමය ඕකයි. අදාළ රාජ්‍ය ආයතන සාමාන්‍ය පෞද්ගලික ආයතනයක් ලබන ලාබය ලැබිය යුතුයි. සුබසාධනය ඒ ව්‍යාපාරික අරමුණ සමඟ පටලවා ගත යුතු නැහැ. සුබසාධනය කළ යුතුනම් ඒ සඳහා අවශ්‍ය මුදල් අයවැයෙන් වෙන් කළ යුතුයි. එවිට අදාළ පිරිවැය බදු ගෙවන්නන්ට පැහැදිලිව පේනවා.

ඉහත පැහැදිලි කිරීම කළේ තරඟකාරී ශ්‍රම වෙළඳපොලක් හා අදාළවනේ. තේ කර්මාන්තයේ ශ්‍රම වෙළඳපොළ ඒ විදිහේ එකක්ද?

මගේ අදහසනම් එසේ නොවන බවයි. මේ ශ්‍රමිකයින්ට ප්‍රායෝගික හේතු ගණනාවක් නිසා කීයක් හෝ පොඩි ගණනක් වැඩියෙන් ලැබුණා කියලා වෙන තේ වත්තකට රස්සාව මාරු කරන්න බැහැ. එවැන්නක් වෙන්නේ ඉතා කලාතුරකින්. ඒ වගේම තේ වතුහිමියන්ට අඩු වැටුපකට ශ්‍රමිකයින් හොයාගන්න වෙන විකල්පයකුත් නැහැ. විවිධ හේතු නිසා දෙපැත්තම හිර වෙලයි ඉන්නේ. මේ වගේ ශ්‍රම වෙළඳපොළක් තරඟකාරී ශ්‍රම වෙළඳපොලක් ලෙස හඳුන්වන්න බැහැ.

වෙළඳපොළ තරඟකාරී නැති නිසාම තේ වතුහිමියන්ට ඔවුන්ගේ ශ්‍රමිකයින්ට අඩු මිලක් ගෙවා ඔවුන්ගේ සේවය ලබා ගැනීමේ සහ එමගින් තමන්ගේ ලාබය වැඩි කර ගැනීමේ විභවයක් තියෙනවා. විභවයක් තිබෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම එහෙම වෙනවා කියන එක නෙමෙයි. වෙන්න පුළුවන්කමක් තිබෙනවා. තරඟකාරී ශ්‍රම වෙළඳපොලකනම් ඔය විභවය නැහැ.

ඉහත හේතුව නිසාම තේ කර්මාන්තයේ ශ්‍රමිකයින් සංවිධානය වී සිටිනවා. ඒ මගින් ඔවුන්ට හෙට්ටු කර තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් වැඩි මිලක් ඉල්ලා සිටීමේ විභවයක්ද තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තේ වතුහිමියන්ට ප්‍රමාණවත් ලාබ නැති වී යන්න පුළුවන්. කර්මාන්තයේ ස්වභාවය අනුව පාඩු වුනත් වැඩේ අත හරින්න බැහැ. කාලයක් ඇදගෙන යන්නම වෙනවා. 

තේ කර්මාන්තයේ වැටුප් තීරණය වෙන්නේ සාමූහික හෙට්ටු කිරීම් මත මිසක් ඉල්ලුම හා සැපයුම අනුවම නෙමෙයි. ඒ නිසා, නියම මිල කියා නිශ්චිත මිලක් හඳුනා ගන්න එක තරමක් අසීරු වැඩක්. ඔය හෙට්ටු කිරීම් වලින් ඇතැම් විට දෙපාර්ශ්වයට යම් එකඟතාවයක් ඇති කරගන්න පුළුවන් වුනත්, හැම අවස්ථාවකදීම එය එසේ වෙන්නේ නැහැ. 

ඉහත තත්ත්වය තුළ, රජය විසින් ඓතිහාසිකව තේ කර්මාන්තයේ ශ්‍රමිකයින් හා තේ වතුහිමියන් අතර අතරමැදි භූමිකාවක් ඉටු කර තිබෙනවා. මෙය අවසන් වන්නේ දෙපාර්ශ්වයට එකඟ විය හැකි අවම වැටුපක් රජය විසින් නිර්ණය කිරීමෙන් පසුවයි. මේ ශ්‍රම වෙළඳපොළේ සුවිශේෂී තත්ත්වයන් සලකා බලද්දී, මෙය නරක මැදිහත්වීමක් කියා කියන්න බැහැ. තේ කර්මාන්තයේ ශ්‍රම වෙළඳපොළ ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථ වල තිබෙන සාමාන්‍ය තරඟකාරී ශ්‍රම වෙළඳපොළක් නෙමෙයි. ඒ නිසා, අවම මිල හරහා සිදු වුනේ, වෙළඳපොළ මිල "නියම මිල" ආසන්නයට තල්ලු කරන එකයි. එහි සුබසාධන භූමිකාවක් තිබුණේ නැහැ. ඒ නිසාම, වෙළඳපොළ විකෘතියක් එහෙමටම සිදු වුනෙත් නැහැ. 

මේ වෙලාවේ සිදු වෙලා තියෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ආණ්ඩුවට කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ වැටුප් වැඩි කරන්න අවශ්‍යයි. නමුත් එසේ වැටුප් වැඩි කරන්න අවශ්‍ය වීමට හේතුව ඔවුන්ට ඔවුන්ගේ ඵලදායීතාවයට සමාන වැටුපක් නොලැබීම නෙමෙයි. හේතුව ඒකනම් අවම වැටුප් වැඩි කර පහසුවෙන්ම ප්‍රශ්නය විසඳිය හැකිව තිබුණා. 

හැබැයි අයවැය කතාවේ කියලා තියෙන්නේනම් මෙහෙමයි: "වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් හිමි විය යුතුය යන්න අප රජගේ ස්ථාවරයයි."

ශ්‍රමිකයෙකු විසින් ලබා දෙන සේවයට සරිලන සාධාරණ දෛනික වේතනය කියා කියන්නේ ඒ ශ්‍රමිකයාගේ ආන්තික ඵලදායීතාවය. සරලව කිවුවොත් එකතු කරන ශ්‍රමය හේතුවෙන් එකතු වන වටිනාකම. එය ශ්‍රමිකයාට ලැබෙන්නේ නැත්නම් එහි පැහැදිලි අසාධාරණයක් තිබෙනවා. ඒ වගේම,  එයින් අදහස් වෙන්නේ ශ්‍රමිකයාට නොලැබෙන ශ්‍රමයේ පංගුව තේ වතුහිමියා විසින් තියා ගන්නවා කියන එක. එය අසාධාරණ ලාබයක්. ඒ නිසා, ශ්‍රමිකයෙකු විසින් ලබා දෙන සේවයට සරිලන සාධාරණ දෛනික වේතනය ශ්‍රමිකයාට ලැබෙන්නේ නැති බව ස්ථිරනම්, රජය විසින් කළ යුත්තේ එම වේතනය ලැබෙන පරිදි අවම වැටුප් වැඩි කරන එකයි. තේ වතුහිමියන්ට එයට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ.

මේ අවස්ථාවේදී රජයට අවශ්‍ය මට්ටමට, එනම් රජයේ තක්සේරුව අනුව සාධාරණ මට්ටමකට, වැටුප් වැඩි කිරීම සඳහා තේ වතුහිමියන්ගේ එකඟත්වය ලබා ගැනීමට රජය සමත් වී නැහැ. මීට හේතුව එක්කෝ ඔවුන් විසින් දැනටමත් එම සාධාරණ වැටුප ලබා දෙමින් සිටීම (අවම වැටුප රුපියල් 1,550 දක්වා වැඩි කිරීමෙන් පසුව). එය එසේනම්, රජය විසින් ගෙවන රුපියල් දෙසීය මේ ශ්‍රමිකයින්ගේ "සාධාරණ දෛනික වේතනය" ඉක්මවන වැඩි මිලක්. එසේ නොවේනම්, රජයට තේ වතුහිමියන්ව නම්මා ගැනීමට නොහැකි වීම නිසා ශ්‍රමිකයින්ට ලබා නොදී තේ වතුහිමියන් විසින් රඳවා ගන්නා කොටස බදු ගෙවන්නන් මත පැටවීමක්. ඒ කියන්නේ තේ වතුහිමියන්ව සුබසාධනය කිරීමක්. 

ඇත්තටම වුනේ දෙවැන්න වෙන්න ලොකු ඉඩක් තිබෙනවා. මේ ආණ්ඩුව තමන්ව හඳුන්වා ගන්නේත්, ඔවුන්ව බොහෝ පාර්ශ්වයන් විසින් හඳුනගන්නේත්, වාමාංශික ආණ්ඩුවක් ලෙසයි. එවැනි ආණ්ඩුවක් අවම වැටුප් වැඩි කිරීම වැනි "වාමාංශික" ක්‍රියා මාර්ගයක් තේ වතුහිමියන්ගේ එකඟතාවය නොමැතිව ගැනීම නිසා යම් හෙයකින් කර්මාන්තය අර්බුදයට ගියොත් ආණ්ඩුවට දේශපාලන ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. බලයට පත් වූ දවසේ ඉඳලම ආණ්ඩුව "වාමාංශික" වැඩ කරන්නේ ඉතාම පරිස්සමෙන්. විපක්ෂයේ ඉඳිද්දී මොනවා කිවුවත්  "වාමාංශික" වැඩ ගැන ආණ්ඩුවට ඒ තරම්ම විශ්වාසයක් නැති බවයි මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයෙන් පෙනෙන්නේ. සමහර වෙලාවට පරිස්සම ඕනෑවටත් වඩා වැඩියි. මේකත් ඒ වගේ අවස්ථාවක්. 

ආණ්ඩුව විසින් එක්කෝ බදු ගෙවන්නන්ගේ වියදමෙන් ශ්‍රමිකයින්ව සුබසාධනය කරලා තිබෙනවා. එහෙම නැත්නම් තේ වතුහිමියන්ව සුබසාධනය කරලා තියෙනවා. ඇත්තටම සිදු වුනේ පළමුවැන්න වුනත්, කාලයත් සමඟ මේ රුපියල් දෙසීයේ වාසිය ටිකෙන් ටික ශ්‍රමිකයින්ගෙන් තේ වතුහිමියන්ට යනවා. ඒක වෙන්නේ මෙහෙමයි.

අපි හිතමු තේ වතුහිමියන්ගේ ශ්‍රමයේ ඇත්ත වටිනාකම රුපියල් 1,550ක් කියලා. දැන් බදු ගෙවන්නගේ මුදලින් ඔවුන්ට තවත් රුපියල් 200ක් ලැබෙනවා. එය "සාධාරණ දෛනික වේතනය" ඉක්මවන අමතර මුදලක්. කාලයත් එක්ක ශ්‍රමයේ ඇත්ත වටිනාකම ක්‍රමයෙන් රුපියල් 1,750ක් දක්වා ඉහළ යනවා. ඔය අමතර රුපියල් 200 රජයෙන් ලැබුනේ නැත්නම් තේ වතුහිමියන්ට වැටුප රුපියල් 1,750 දක්වා වැටුප් ඉහළ දමන්න වෙනවා. නමුත් දැන් එහෙම කරන්න අවශ්‍ය නැහැ. වැටුප දැන් තියෙන මට්ටමේම තියාගෙන රුපියල් 200ක අතිරික්තය ඔවුන්ට තමන්ගේ පංගුවට එකතු කර ගන්න පුළුවන්. 

මෙසේ සිදුවන එක වලක්වා ගන්නනම් රජයට නැවත නැවත අවම වැටුප ඉහළ දමන්න වෙනවා. රුපියල් 200ක අමතර දීමනාව තිබියදී එහෙම නැවත නැවත අවම වැටුප වැඩි කරනවා කියන්නේ දිගින් දිගටම මේ ශ්‍රමිකයින්ව සුබසාධනය කරනවා කියන එකයි. ඒ කියන්නේ ඔවුන්ගේ සාධාරණ දෛනික වේතනයට වඩා වැඩි මුදලක් බදු ගෙවන්නන්ගේ වියදමෙන් ගෙවනවා කියන එකයි. එය එසේ කළ යුතුද  නොකළ යුතුද කියන එක බදු ගෙවන්නන් විසින් තීරණය කළ යුතු කරුණක්. බදු ගෙවන්නන් කැමතිනම්, ඔවුන්ගේ බදු මුදල් කවරෙකු හෝ සුබසාධනය කිරීම පිණිස යෙදවීමේ වැරැද්දක් නැහැ. 

Tuesday, November 11, 2025

නව ලිබරල් අයවැය සහ රුපියල් සංචිතය


අමුතුවෙන් හඳුන්වා දිය යුතු පුද්ගලයෙකු නොවන, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන විසින් රජයේ 2026 අයවැය හඳුන්වා තිබෙන්නේ "අනුර කුමාර දිසානායකගේ නව ලිබරල් අයවැය (AKD’s neo-liberal Budget)" විදිහටයි. ඔහු මේ නාමකරණය කරන්නේ ප්‍රශංසාත්මක අර්ථයකින්. 

ඉකොනොමැට්ටා විසින් කවදාවත් තමන්ව නව ලිබරල්වාදියෙක් ලෙස හඳුන්වාගෙන නැහැ. නමුත් මේ ආණ්ඩුවේ දෙවන පෙළ නායකයෙක් විසින් මැතිවරණ වලට පෙර ඉකොනොමැට්ටාව ඒ විදිහට හඳුන්වලා තිබෙනවා. ඔහු එසේ හැඳින්වූවේ නිශේධනීය අර්ථයකින්. ඔහු ඇතුළු මේ ආණ්ඩුවේ තවත් අය මැතිවරණ වලට පෙර පෙනී සිටියේ නව ලිබරල්වාදයට එරෙහිව පෙනී සිටින අභීත සෙන්පතියන් පිරිසක් විදිහටයි. එවැනි අය අයවැය පිළිබඳ විජේවර්ධන අර්ථදැක්වීමට එතරම් කැමති වෙන එකක් නැහැ.

නව ලිබරල්වාදය කියන වචනය ලංකාව ඇතුළේ දිගින් දිගටම භාවිතා කළේ නව ලිබරල්වාදයට එරෙහිව සටන් කරන්නන් සේ පෙනී සිටි වාමාංශිකයින් විසින්. ඒ හැර කවුරුවත් තමන්ව නව ලිබරල්වාදියෙකු ලෙස හඳුන්වා ගත්තේ නැහැ. නමුත් මේ වෙද්දී නව ලිබරල්වාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින යම් පිරිසක් ලංකාව ඇතුළේ ඉන්නවා. හේතුව තනිකරම ප්‍රතිවිරුද්ධ එකක් වුනත්, අයවැය පිළිබඳ විජේවර්ධන අර්ථ දැක්වීමට ඔවුන්ද එතරම් කැමති වෙන එකක් නැහැ. 

අයවැය පිළිබඳ මේ නාමකරණය මම කරපු එකක් නෙමෙයි. මට අවධාරණය කරන්න අවශ්‍ය කරුණ වන්නේ අදාළ ලියුම්කරු විසින් මේ අයවැය නව ලිබරල් අයවැයක් ලෙස හඳුන්වා දී තිබෙන්නේ ඇයි කියන කරුණයි. ඩබ්ලිව් ඒ විජේවර්ධන විසින් මේ අයවැය නව ලිබරල් අයවැයක් සේ නාමකරණය කර තිබෙන්නේ අයවැය මගින් රජයේ වියදම් සීමා කර අයවැය තුලනය කර ගැනීමේ දිශාවට ගමන් කර තිබීම යන කරුණ මත පදනම්වයි.

මෙම අයවැය මගින් ඉදිරි වසරේ රජයේ පොලී නොවන වර්තන වියදම් දදේනියෙන් 8.9%කට සීමා කර තිබෙනවා. ප්‍රාග්ධන වියදම්ද ඇතුළුව පොලී ගෙවීම් හැර රජයේ මුළු වියදම දදේනියෙන් 12.9%කට සීමා කර තිබෙනවා. කෙසේ වුවත්, පොලී වියදම දදේනියෙන් 7.6%ක් තරම් ඉහළ බැවින් අවසාන වශයෙන් දදේනියෙන් 5.1%ක අයවැය හිඟයක් ඉතිරි වෙනවා. 

විජේවර්ධන ලිපිය තුළද අවධානය යොමු කර ඇති කරුණක් වන්නේ, ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යාම ඉතා යහපත් ප්‍රවණතාවයක් වුවද, හිඟ අයවැයක් යනු තුලිත අයවැයක් නොවන බවයි. ලංකාවේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය මේ වන විට අවශ්‍ය නිවැරදි දිශාවට ගමන් කරමින් ඇතත්, අයවැය තුලනය කර ගැනීම තවමත් දුරස්ථ ඉලක්කයක්. එමෙන්ම, විජේවර්ධන ලිපියෙහිද පෙන්වා දී ඇති පරිදි, මේ අයවැයෙහි ආර්ථික අර්බුදයෙන් පසුව ක්‍රියාත්මක වූ මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩපිළිවෙළ මිස අමුතු, අලුත් දෙයක් නැහැ. පොඩි පොඩි දේවල් වල වෙනස්කම් නැතුවා නෙමෙයි. නමුත් මූලික ආකෘතිය මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩපිළිවෙළම තමයි. 

මේ වැඩපිළිවෙළ තුළ ඉදිරියට ගියහොත්, නැවත තෙල් පෝලිම් ඇති වෙන එකක් නැහැ. ඇතැම් අය හිතාගෙන ඉන්න විදිහට 2028දී ණය ගෙවා ගන්න බැරි වීමේ ප්‍රශ්නයක් ඇති වෙන එකකුත් නැහැ. නමුත් ජනාධිපති දිසානායකගේ කතාවෙහි කියැවුණු 7% ආර්ථික වර්ධන ඉලක්කයනම් මැතිවරණ වලට පෙර කියපු ඔය විදිහේ වෙනත් කතා වලම දිගුවක් පමණයි. 

මූල්‍ය අරමුදලේ ස්ථායීකරණ වැඩපිළිවෙළ සකස් කර තිබෙන්නේ දිගුකාලීනව 3.1%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කරමිනුයි. අරමුදල විසින් තවමත් ඒ ඉලක්කය හෝ ඔවුන්ගේ ඇස්තමේන්තු වෙනස් කර නැහැ. පෙර වසරේ සහ මේ වසරේ වාර්තා වූ ඊට වඩා ඉහළ වර්ධන වේගය ස්ථායීකරණ වැඩපිළිවෙළ අපේක්ෂා කළාට වඩා වේගයෙන් එහි ඉලක්ක කරා යාම නිසා ඇති වූ තාවකාලික තත්ත්වයක් පමණයි. එම වැඩ පිළිවෙළෙහි උදවුවෙන් දිගුකාලීනව ලඟා කර ගත හැක්කේ 3.1%ක ආර්ථික වර්ධනයක් බව සති කිහිපයකට පෙරද මූල්‍ය අරමුදල විසින් අවධාරණය කර තිබුණා. 

මේ ස්ථායීකරණ වැඩපිළිවෙළ ආරම්භ වුනේ අලුත් ආණ්ඩුව බලය ලබා ගැනීමෙන් පසුව නෙමෙයි. ආණ්ඩුව බලය ගන්නා අවස්ථාව වන විට වැඩ පිළිවෙල වසර දෙකක් සාර්ථකව ක්‍රියාත්මක කර අවසන්ව තිබුණා වගේම අමාරු මූලික වැඩ කටයුතු සියල්ල අවසන් වෙලා තිබුණා. නමුත් ඒ සියල්ල සිදු වුනේ හරියකට ජනමතයක් නැතිවයි. මේ ආණ්ඩුව විසින් කරපු සාධනීයම දේ ස්ථායීකරණ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජනමතය සකස් කර දීමයි. 

ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව ආදායම් වැඩි කර ගැනීම සඳහා අමාරු තීරණ ගන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වෙද්දී ආදායම් වැඩි වී සහ වැඩි වෙමින් තිබුණා. අනෙක් පැත්තෙන් පුළුවන් තරමින් වියදම්ද සීමා කරලයි තිබුණේ. මේ ආණ්ඩුව විසින් කරපු සාධනීයම දෙය කලින් ක්‍රියාත්මකව පැවති වැඩ පිළිවෙළ ඒ මාර්ගයේම තවත් ඉදිරියට ගෙන යාමයි. මේ වෙද්දී රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදල් සංචිතයක් රජය විසින් හදාගෙන තියෙන්නෙත් ඔය ක්‍රමයටයි. 

මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව රාජ්‍ය වියදම් සීමා කිරීමක් සිදු වී නොමැති බව පහත ඉදිරිපත් කර තිබෙන පොලී නොවන වර්තන වියදම් ප්‍රතිශත (දදේනි අනුපාත ලෙස) දෙස බැලූ විට පැහැදිලිව පේනවා.

2020 - 10.0%

2021 - 9.6%

2022 - 8.1%

2023 - 8.2%

2024 - 8.9%

2025 - 9.0%

2026 - 8.9%

දැඩි ලෙස වියදම් සීමා කිරීමක් ඇත්තටම සිදු වුනේ 2022 හා 2023 වසර වලදීයි. එම වසර වලදී අයවැය තුලනය කළේ, සමහර අය කියන විදිහට, වියදම් අඩු නොකර බදු වැඩි කිරීම මගින් පමණක් නෙමෙයි. බදු වැඩි කරන්න අවශ්‍ය වුනේ වියදම් ප්‍රායෝගිකව සීමා කළ හැකි උපරිම සීමාව දක්වාම සීමා කිරීමෙන් පසුවත් බදු වැඩි නොකර අයවැය තුලනය ස්ථායී කර ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා. මේ සංඛ්‍යාලේඛණත් එක්ක 2026 අයවැය පිළිබඳ නව ලිබරල් අර්ථකතනය ගැන නැවත සිතිය යුතුයි.

මේ වසරේ රාජ්‍යමූල්‍ය තුලනය ඉතා හොඳ මට්ටමක තිබෙනවා. නමුත් ඊට හේතුව කලකට පසු වාහන ආනයන සඳහා ඉඩ ලැබීම හේතුවෙන් රජයේ බදු ආදායම් අනපේක්ෂිත ලෙස ඉහළ යාමයි. එය තාවකාලික පාරිතෝෂිකයක් පමණයි. කෙසේ වුවත්, එම පාරිතෝෂිකය අහිමි වීමෙන් පසුවත්, ඉදිරි වසර තුළ ස්ථායීකරණ වැඩ පිළිවෙලේ අවම ඉලක්ක වලට යාන්තමින් හෝ යන්න පුළුවන්. ඒ, අවශ්‍ය බදු වැඩි කිරීම් කලින්ම කර ඇති නිසා. 

මහා භාණ්ඩාගාරයේ රුපියල් සංචිතය ගැන කියන්න තියෙන කතාවත් මීට කිට්ටු කතාවක්. මේ වෙද්දී (2025 ජූනි) මේ රුපියල් සංචිතය බිලියන 1,079.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඉතා හොඳ තත්ත්වයක් නමුත් මෙය තනිකරම ආණ්ඩුව වෙනස් වීමෙන් පසුව එකතු කරගත් සංචිතයක් නෙමෙයි. 2024 ජූනි වන විටත්, රුපියල් බිලියන 646.7ක සංචිතයක් එකතු කර ගෙන තිබුණා. වසරකට පසුව එම සංචිතයට තවත් රුපියල් බිලියන 433.0ක් එකතු වී තිබෙනවා. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බලය ගන්න කොට (2022 ජූනි) මහා භාණ්ඩාගාරයේ මුදල් ගිණුමේ රුපියල් බිලියන 230.3ක හිඟයක් තිබුණා. දෙවසරකට පසුව එය රුපියල් බිලියන 646.7ක අතිරික්තයක් වුනා කියා කියන්නේ රුපියල් බිලියන 877.0ක වැඩි වීමක්. 

ඒ එක්කම තව දුරටත් මතක් කළ යුත්තේ මේ වැඩේ රනිල් බලය ගැනීමෙන් පසුව අලුතෙන් පටන් ගත් වැඩක් නොවන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා වෙන්න කලින්ම, මහින්ද සිරිවර්ධනව භාණ්ඩාගාර ලේකම් ලෙස පත් කළ මොහොතේ පටන්ම, රාජ්‍යමූල්‍ය කළමනාකරණය හොඳ පැත්තට හැරුණා. 2022 වසර ආරම්භයේදී මහා භාණ්ඩාගාරයේ මුදල් ගිණුමේ රුපියල් බිලියන 831.6ක හිඟයක් තිබුණා. මාස හයකට පසුව රනිල් බලය ගන්නා විටත් එම හිඟය රුපියල් බිලියන 230.3 දක්වා අඩු වෙලා තිබුණා. ඒ කියන්නේ රුපියල් බිලියන 601.3ක එකතුවක්.

අවධානය යොමු කළ යුතු ප්‍රධානම කරුණ වන්නේ ප්‍රතිඵල පෙන්වා තිබෙන්නේ පුද්ගල කාර්ය සාධනය නොව වැඩ පිළිවෙළ බවයි. වැඩ පිළිවෙළ නිවැරදි එකක්නම් එය ක්‍රියාත්මක කරන්නේ කවුද කියන එක වැදගත් නැහැ. ප්‍රතිඵල ලැබෙනවා. මෙයින් රාජ්‍ය නායකත්වයේ කාර්ය භාරය අවතක්සේරු කරන්න අදහස් කරන්නේ නැහැ. රනිල් මේ වැඩ පිළිවෙලට නායකත්වය දුන්නා. වැඩ පිළිවෙලක් හරියට ක්‍රියාත්මක වෙන්න දේශපාලන නායකත්වය අවශ්‍යයි. දැන් අනුරත් ඒ අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දෙනවා. වැඩ පිළිවෙළ, වැඩ පිළිවෙළෙහි ඉලක්ක හා අදාළව, ප්‍රතිඵල පෙන්වනවා. 

රුපියල් සංචිතය වෙත නැවත පැමිණියහොත්, මේ රුපියල් සංචිතය එකතු වෙන්නේ රජයේ වියදමට වඩා ආදායම් වැඩි නිසා නෙමෙයි. තවමත් විශාල අයවැය හිඟයක් තියෙනවා. රුපියල් සංචිතයේ තියෙන්නෙත් ණයට ගන්න සල්ලි. පසුගිය කාලයේ දිගින් දිගටම මුදල් ගිණුම ශක්තිමත් කර ගත්තේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ණය ලබා ගැනීම මගිනුයි. මෙහි තිබෙන වාසිය වනුයේ අවාසිදායක තත්ත්වයන් යටතේ ණය නොගෙන යම් කාලයක් රජයේ කටයුතු කර ගෙන යා හැකි වීමයි. දැනට එකතු වී තිබෙන මුදලින් අලුතෙන් ණය නොගෙන වුවත් මාස තුනක පමණ කාලයක් ඇදගෙන යන්න පුළුවන්. 

කොහොම වුනත්, අර්බුදය කාලයේ කළ යුතුම වැඩක් වූ මේ වැඩේ මේ විදිහටම දිගටම කරගෙන යන එකේ තේරුමක් නැහැ. හදිසියකදී ප්‍රයෝජනයට ගන්න රුපියල් ට්‍රිලියනයක පමණ සංචිතයක් හොඳටම ඇති. දැන් කළ යුත්තේ මෙයින් එහාට පියවරක් තියන එකයි. ඒ පියවර කුමක්ද?

යහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණයක් ගැන හිතනවානම් දැන් කළ යුත්තේ විවිධ වියදම් වෙනුවෙන් වෙන වෙනම අරමුදල් හදලා ඒ අරමුදල් වලින් අදාළ වියදම් සිදු කෙරෙන යාන්ත්‍රණයක් හදන එකයි. දැනට එකතු වී තිබෙන සහ තව දුරටත් වර්ධනය කර ගැනීමේ විභවයක් තිබෙන රුපියල් සංචිතයේ උදවුවෙන් ඒ වැඩේ පටන් ගන්න පුළුවන්. 

උදාහරණයක් විදිහට මේ සංචිතයෙන් යම් රුපියල් ප්‍රමාණයක් දමලා මාර්ග සංවර්ධනය හා නඩත්තුව වෙනුවෙන් වෙනම අරමුදලක් හදන්න පුළුවන්. ඉන් පසුව, කිසියම් නිශ්චිත බදු ආදායමක්, උදාහරණයක් විදිහට, වාහන ආනයනය කිරීමේදී අය කරන බදු වලින් යම් ප්‍රතිශතයක්, කෙළින්ම ඒ අරමුදලට බැර වෙන විදිහට නීතියක් හදන්න පුළුවන්. එවිට එම බදු ආදායමෙන් හා අරමුදල ආයෝජනය කර ලැබෙන ප්‍රතිලාභ වලින් මාර්ග සංවර්ධනය හා නඩත්තුව කරගෙන යන්න පුළුවන්. වාර්ෂිකව අයවැයෙන් අමුතුවෙන් මුදල් වෙන් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම බදු ආදායම් අඩු වෙන අවුරුද්දකදී වුනත් මාර්ග සංවර්ධනය හා නඩත්තුව කරගන්න බැරි වෙන්නේ නැහැ.

ඔය විදිහට බදු ආදායම් හා වියදම් ගැලපුවාට පස්සේ ආණ්ඩුවට අභිමත විදිහට බදු ආදායම් වැය කිරීමේ හැකියාව සීමා වෙනවා. බදු ගෙවන ජනතාවට තමන්ගේ බදු මුදල් වලට සිදු වෙන දේ පැහැදිලිව පේනවා. හිඟ මුදල් ගිණුමක් තියාගෙන මේ වගේ දෙයක් ගැන හිතන්න බැරි වුනත්, රුපියල් සංචිතයක් ගොඩ නැගී තිබෙන මේ වෙලාවේ මේ සඳහා මුල් පියවර තියන්න පුළුවන්. 

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් වියදම වර්තන වියදම් වල සැලකිය යුතු කොටසක්. නමුත් ඇත්තටම විශ්‍රාම වැටුප් වියදම වර්තන වියදමක්ම නෙමෙයි. එයත් එක්තරා ආකාරයක පරන ණය ගෙවීමක්. හරිම ක්‍රමය විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වෙන් නොකර වෙනම අරමුදලකින් විශ්‍රාම වැටුප් ගෙවන එකයි. නමුත් ලංකාවේ රජය විසින් එවැනි අරමුදලක් හදලා නැහැ. අරමුදලට සල්ලි දැමිය යුත්තේ රජයේ සේවකයින් සේවය කරන කාලයේදීයි. මේ වගේ දේවල් කොයි වෙලාවක හෝ නිවැරදි විය යුතුයි. 

Saturday, November 8, 2025

විදේශ සංචිත, මහ බැංකු මැදිහත් වීම් සහ ජංගම ගිණුම් ශේෂය


ගෙවුණු ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,244 දක්වා පහත වැටී තිබෙනවා. මෙය මාසය තුළ ඩොලර් මිලියන 28ක අඩු වීමක්. මාසය ඇතුළත මහ බැංකුව විසින් ඩොලර් මිලියන 55ක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇතත්, එයින් ඩොලර් මිලියන 9.5ක් නැවත විකුණා තිබෙනවා. මිල දී ගත් විදේශ විණිමය වලින්ම සුළු කොටසක් වුවත්, මහ බැංකුව විසින් මෙසේ විදේශ විණිමය විකිණීමක් කර තිබෙන්නේ මාස ගණනාවකට පසුවයි.

වසරේ පළමු මාස අට තුළම එක දිගට ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වුවද, සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 182.6ක ජංගම ගිණුම් හිඟයක් වාර්තා වුනා. ඒ හේතුවෙන් වසරේ සමුච්ඡිත ජංගම ගිණුම් අතිරික්තය ඩොලර් මිලියන 2,039.5 සිට ඩොලර් මිලියන 1,856.9 දක්වා පහත වැටී තිබෙනවා. ඔක්තෝබර් මාසය තුළ නිල විදේශ සංචිත පහත වැටීම සහ වෙළඳපොළෙන් ශුද්ධ ලෙස මිල දී ගෙන ඇති විදේශ විණිමය ප්‍රමාණය පෙර මාස වලට වඩා අඩු වීම තුළින් පෙන්නුම් කරන්නේ ඔක්තෝබර් මාසය තුළද ජංගම ගිණුම් හිඟයක් වාර්තා වී තිබිය හැකි බවයි.

සැප්තැම්බර් මාසය තුළ ජංගම ගිණුම තුලනය වූයේ පහත ආකාරයෙනුයි.

විදේශ විණිමය ලැබීම්:
භාණ්ඩ අපනයන - ඩොලර් මිලියන 1,138.5
සේවා ආදායම් - ඩොලර් මිලියන 503.1
ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 50.7
ද්වීතියික ආදායම් - ඩොලර් මිලියන 695.7
එකතුව - ඩොලර් මිලියන 2,398.0

විදේශ විණිමය ගෙවීම්:
භාණ්ඩ ආනයන - ඩොලර් මිලියන 2,048.6
සේවා වියදම් - ඩොලර් මිලියන 322.4
ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 192.8
ද්වීතියික වියදම් - ඩොලර් මිලියන 7.7
එකතුව - ඩොලර් මිලියන 2,571.5

ජංගම ගිණුමේ ශේෂය = ඩොලර් මිලියන (-183.6)

මේ හැරවුමට හේතුව සැප්තැම්බර් මාසය තුළ වාහන ආනයන සඳහා ඩොලර් මිලියන 286.0ක මුදලක් වැය වීමයි. මේ අනුව, වසරේ පළමු මාස නවයක කාලය ඇතුළත වාහන ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 1,204ක විදේශ විණිමය ප්‍රමාණයක් වැය වී තිබෙනවා. මෙය මුලින් ඇස්තමේන්තු කර තිබුණු වාහන ආනයන වියදමට වඩා වැඩි අගයක්.

රටේ විදේශ අංශය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කර ඇතත්, රාජ්‍යමූල්‍ය අංශයෙහි ඇස්තමේන්තු ඉක්මවා යාමට උපකාරී වී තිබෙන්නේ මේ අයුරින් වාහන ආනයන ප්‍රමාණය ඇස්තමේන්තු ඉක්මවා යාමයි. කෙසේ වුවද, මේ වන විට වාහන ආනයන ඉල්ලුම සංතෘප්ත වෙමින් ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා, විදේශ අංශයේ අවාසිදායක තත්ත්වය මෙන්ම රාජ්‍යමූල්‍ය අංශයෙහි සුවිශේෂී වාසිදායක තත්ත්වයද ඉදිරි මාස වලදී ක්‍රමයෙන් වෙනස් විය හැකියි.

Friday, November 7, 2025

ජාතික අයවැය 2026


ඉදිරි (2026) වසර සඳහා වන මධ්‍යම රජයේ අයවැය පිළිබඳ යෝජනා මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. මෙය "ජාතික අයවැය" ලෙස හඳුන්වා ඇතත්, ඇත්ත වශයෙන්ම මෙය මධ්‍යම රජයේ අයවැයයි. 

අයවැය යෝජනා පිළිබඳව දැනට කෙටියෙන්ම කිව හැක්කේ මෙය මැදිකාලීනව රටේ ආර්ථික ස්ථායීතාව තහවුරු කර ගැනීමට මුල් තැන දෙන අතරම, දිගුකාලීන ආර්ථික වර්ධනය පිළිබඳවද යම් අවධානයක් යොමු කර සකස් කර ඇති, එමෙන්ම මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා හා ගැලපෙන පරිදි සකස් කර ඇති, අයවැයක් බවයි. ඊට අමතරව ප්‍රායෝගිකව ලඟා කර ගැනීමේ විභවයක් තිබෙන ඉලක්ක සහිතව සකසා ඇති අයවැයක් බවද පෙනී යනවා. 

ලංකාවේ අයවැය ඉතිහාසය ලෙස බැලුවහොත්, අයවැය කියන්නේ ඒ තරම්ම තේරුමක් නැති, හිස් ලියැවිල්ලක් පමණයි. වසරක් ආරම්භ වීමට පෙර ප්‍රදර්ශනාත්මක ලෙස ඉදිරිපත් කරන අයවැය ඇස්තමේන්තු සහ වසර අවසන් වෙද්දී දකින්නට ලැබෙන සැබෑ සංඛ්‍යාලේඛණ අතර බොහෝ විට විශාල පරතරයක් දැකිය හැකිව තිබුණා. පසුගිය ආර්ථික අර්බුදයෙන් පසුව මෙම තත්ත්වය වෙනස් වී වඩා යහපත් රාජ්‍යමූල්‍ය විනයක් ගොඩ නැගී තිබීම යහපත් ප්‍රවණතාවක්. 

රාජ්‍ය ආදායම 

වසරකට පෙර මෙම (2025) වසර සඳහා අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරද්දී රුපියල් බිලියන 4,590ක බදු ආදායමක් සහ රුපියල් බිලියන 400ක බදු නොවන ආදායම් හා අනෙකුත් ලැබීම් ලෙස රුපියල් බිලියන 4,990ක සමස්ත ආදායම් හා ලැබීම් ප්‍රමාණයක් ඇස්තමේන්තු කර තිබුණා. මේ වන විට යාවත්කාලීන කර ඇති ඇස්තමේන්තු අනුව, බදු ආදායම රුපියල් බිලියන 4,725 දක්වා ඉහළ යනවා. බදු නොවන ආදායම් හා අනෙකුත් ලැබීම් රුපියල් බිලියන 375ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව සමස්ත ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 5,100 දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. මෙය රුපියල් බිලියන 110කින් ඉලක්කය ඉක්මවා යාමක්. 

ඉදිරි (2026) වසර තුළ බදු ආදායම රුපියල් බිලියන 4,910 දක්වාත්, බදු නොවන ආදායම් හා අනෙකුත් ලැබීම් රුපියල් බිලියන 390 දක්වාත් වැඩි කර ගැනීම ඉලක්කයයි. මේ අනුව, සමස්ත ආදායම් හා ලැබීම් රුපියල් බිලියන 5,300 දක්වා ඉහළ යනවා. මෙය ප්‍රායෝගිකව ලඟා කර ගැනීමේ හැකියාවක් ඇති ආදායම් ඉලක්කයක්. 

ප්‍රාග්ධන වියදම් 

පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 1,315ක මුදලක් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කර තිබුණත්, මේ වන විට එම ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,033 දක්වා පහත හෙළා තිබෙනවා. මේ අනුව, අයවැයෙන්  වෙන් කළ අරමුදල් වලින් රුපියල් බිලියන 347ක මුදලක් ඉතිරි වෙනවා. ඉදිරි වසරේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1,380ක මුදලක් වෙන් කර තිබෙනවා. 

පොලී වියදම් 

පසුගිය අයවැයෙහි පොලී වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,950ක් වුවත්, මේ වන විට එම ඇස්තමේන්තුව රුපියල් බිලියන 2,650 දක්වා පහත වැටී තිබෙනවා. මෙය රුපියල් බිලියන 300ක ඉතිරියක්. 

අනෙකුත් පුනරාවර්තන වියදම් 

වැටුප් හා වේතන වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,290 සිට රුපියල් බිලියන 1,220 දක්වා පහත වැටී ඇති අතර, ඉදිරි වසරේ එම වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1,323ක මුදලක් වෙන් කර තිබෙනවා. රුපියල් බිලියන 1,290ක් වූ සහනාධාර හා සුබසාධන වියදම් ඇස්තමේන්තුවද රුපියල් බිලියන 1,280කට සීමා වී තිබෙනවා. එය ඉදිරි වසරේදී රුපියල් බිලියන 1,347 දක්වා ඉහළ යනවා. අනෙකුත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වෙනුවෙන් වෙන් කර තිබුණු රුපියල් බිලියන 405ක මුදලද රුපියල් 380 ලෙස වෙනස් වී තිබෙනවා. ඉදිරි වසර සඳහා අදාළ වෙන් කිරීම රුපියල් බිලියන 401ක්. මේ අනුව, සමස්තයක් ලෙස රජයේ පුනරාවර්තන වියදම් කොටසද මුල් අයවැය ඇස්තමේන්තු වලට වඩා පහළින් පවත්වා ගෙන යමින් ඇති ආකාරය දැකිය හැකියි. 

ප්‍රාථමික අයවැය අතිරික්තය 

ඉහත සඳහන් පරිදි බදු ආදායම් ඉහළ යද්දී සියලුම ප්‍රධාන වියදම් ශීර්ෂයන් මුල් ඇස්තමේන්තු වලට වඩා අඩු මට්ටමක පැවතීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 1,210ක් දක්වා ඉහළ යා හැකි බවක් පෙනෙන්නට තිබෙනවා. මෙය අපේක්ෂිත දදේනියෙන් 3.8%ක් වන අතර අවශ්‍ය අවම මට්ටම වන 2.3% බෙහෙවින්ම ඉක්මවන්නක්. එබැවින් ඉදිරි වසර සඳහා සැලසුම් කර ඇති එම අනුපාතය 2.5% වුවද, යහපත් රාජ්‍යමූල්‍ය විනයක් පවත්වාගෙන යාම මගින් එම මට්ටම ඉක්මවා යාමේ විභවයක් වත්මන් ආණ්ඩුව විසින් මේ වන විට ප්‍රදර්ශනය කර තිබෙනවා.

සමස්ත අයවැය හිඟය 

යාවත්කාලීන ඇස්තමේන්තු අනුව මෙම වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 1,448ක් වන අතර, අයවැය ඇස්තමේන්තු අනුව ඉදිරි වසරේදී එය රුපියල් බිලියන 1,787 දක්වා ඉහළ යනවා. දදේනි අනුපාත ලෙස මෙය අයවැය හිඟය 4.5% සිට 5.1% දක්වා ඉහළ යාමක්. කෙසේ වුවද, මීට ප්‍රධාන හේතුව මෙම වසරේ දදේනියෙන් 14.8% මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බදු ආදායම ඉදිරි වසරේදී නැවතත් දදේනියෙන් 14.2% මට්ටම දක්වා අඩු වීමයි. මේ වසරේ බදු ආදායම අනපේක්ෂිත මට්ටමකට ඉහළ යාම කලකට පසු වාහන ආනයන තහනම ඉවත් කිරීම නිසා ඇති වූ සුවිශේෂී තත්ත්වයක් බැවින්, ඉදිරි වසරේදී මෙවැනි අඩුවීමක් අපේක්ෂා කරමින් අයවැය ඇස්තමේන්තු සකස් කිරීම අනිවාර්යයයෙන්ම සිදුවිය යුත්තක්. 


Thursday, November 6, 2025

තෙල් සංස්ථාවේ ලාබය අඩු වෙලා!


ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (තෙල් සංස්ථාව) විසින් මෙම (2025) වසරේ පළමු මාස හයක කාලය ඇතුළත රුපියල් මිලියන 17,018ක ලාබයක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශය විසින් වාර්තා කර තිබෙනවා. පසු ගිය (2024) වසරේ පළමු මාස හයක කාලය ඇතුළත තෙල් සංස්ථාව විසින් ලැබූ ලාබය රුපියල් මිලියන 20,706ක්. ඒ අනුව, පෙර වසරට සාපේක්ෂව ලාබය 17.8%කින් පහත වැටී තිබෙනවා වගේම එම කරුණ කෙරෙහි විශාල මාධ්‍ය අවධානයක්ද යොමු වී තිබෙනවා. මේ සටහන මේ හා අදාළව අප වෙත යොමු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරක්. 

1. මේ ලාබ සැබෑ ලාබ නොවේ!

පළමුවෙන්ම පැහැදිලි කළ යුතු කරුණ වන්නේ මෙම අඩු වූ ලාබය මෙන්ම පසු ගිය වසරේ ලාබයද හුදෙක් ගිණුම්කරණ ලාබ පමණක් වන අතර ආර්ථික ලාබ නොවන බවයි. මේ අයුරින් තෙල් සංස්ථාවට යාන්තමින් හෝ ගිණුම්කරණ ලාබ පෙන්වීමට හැකි වී තිබෙන්නේ 2022දී තෙල් සංස්ථාව වෙත රජය විසින් මහජන අරමුදල් විශාල ප්‍රමාණයක් පොම්ප කිරීම නිසායි.

මේ වන විට (2024 වසර අවසානය) තෙල් සංස්ථාවෙහි ආයෝජනය කර තිබෙන මහජන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 912,580.51ක් වන අතර එයින් රුපියල් මිලියන 884,093.39ක්ම ආයෝජනය කළේ 2022දීයි. ඒ, වන විට තෙල් සංස්ථාව විසින් විවිධ පාර්ශ්වයන්ට ගෙවිය යුතුව තිබුණු ණය එපමණ ප්‍රමාණයක් රජය විසින් පවරා ගැනීම මගිනුයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස තෙල් සංස්ථාව වෙනුවෙන් යොදවා තිබුණු රජයේ කොටස් ප්‍රාග්ධනය රුපියල් මිලියන 28,487.13 සිට රුපියල් මිලියන 884,093.39 දක්වා ඉහළ ගියා.

කොටස් ආයෝජන සැලකෙන්නේ දිගුකාලීන ආයෝජන ලෙසයි. අදාළ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන ආයෝජනයක ප්‍රාග්ධන පිරිවැය (cost of capital) අවම වශයෙන් 22.42%ක්. මෙය ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාව විසින් නිකුත් කර තිබුණු දිගුකාලීනම භාණ්ඩාගාර බැඳුම්කරයේ ඵලදා අනුපාතිකයයි. ඊට වඩා අඩු කල් පිරීමක් තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර වල ඵලදා අනුපාතික සියල්ලම තිබුණේ මීට වඩා වැඩි මට්ටමකයි. 

ඉහත සදහන් කර ඇති, 2022ට පෙර තෙල් සංස්ථාවෙහි ආයෝජනය කර තිබුණු රුපියල් මිලියන 28,487.13ක මුදලෙහි 2022 දක්වා ආවස්ථික පිරිවැය නොසලකා හැර, ඉන් පසු කාලය සඳහා රජයේ අරමුදල් වල ප්‍රාග්ධන පිරිවැය වන 22.42% සලකා ගණනය කළහොත් තෙල් සංස්ථාව තුළ ආයෝජනය කර ඇති පොදු අරමුදල් වල වටිනාකම මෙසේයි.

2022 අවසානයේදී - රුපියල් මිලියන    912,580.51

2023 අවසානයේදී - රුපියල් මිලියන 1,117,181.06

2024 අවසානයේදී - රුපියල් මිලියන 1,367,653.05

2025 අවසානයේදී - රුපියල් මිලියන 1,674,280.87

මේ අනුව, 2025 වසර තුළදී තෙල් සංස්ථාව විසින් යාන්තමින් පාඩු පියවාගෙන ඇතැයි සැලකිය හැක්කේ අවම වශයෙන් රුපියල් මිලියන 306,627.81ක ලාබයක් ලබා ඇත්නම් පමණයි. පළමු මාස හයේ රුපියල් මිලියන 17,018ක ලාබය ඊට කිට්ටුවෙන්වත් යන්නේ නැහැ. ඒ නිසා මේ ලාබය කිසිසේත්ම සැබෑ ලාබයක් නෙමෙයි. 2022 වසරේදී තෙල් සංස්ථාව වෙනුවෙන් වැය කළ පොදු අරමුදල් රජයේ ණය අඩු කර ගැනීම පිණිස යෙදවූයේනම් වසරකට රුපියල් බිලියන 300ක පමණ මුදලක් ඉතිරි වෙනවා.

ඉහත ගණනයේදී යොදාගත් 22.42% යනු ප්‍රාග්ධන පිරිවැය (cost of capital) සඳහා ඕනෑවට වඩා විශාල ඇස්තමේන්තුවක් බව කෙනෙකුට කියන්න පුළුවන්. එම අවස්ථාව පොලී අනුපාතික සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වී තිබුණු අවස්ථාවක්. ඒ නිසා, අපි භාණ්ඩාගාර බැඳුම්කර ඵලදා අනුපාතික වෙනුවට එක් වසර භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික යොදා ගතහොත් ඉහත ඇස්තමේන්තු මීට වඩා අඩු වෙනවා. කෙසේ වුවද, භාණ්ඩාගාර බිල්පත් යනු කෙටිකාලීන ආයෝජනයක් බැවින්, මෙම ගණනයේදී දිගුකාලීන කොටස් ආයෝජනයක අවදානම් අධිභාරය නොසලකා හැරීමක් සිදු වෙනවා. ඒ නිසා, වඩා නිවැරදි වන්නේ මුල් ගණනය වුවත්, අපි මේ ගණනයද කරමු. 

2022 අවසානයේදී - රුපියල් මිලියන    912,580.51

2023 අවසානයේදී - රුපියල් මිලියන 1,178,506.47

2024 අවසානයේදී - රුපියල් මිලියන 1,330,887.36

2025 අවසානයේදී - රුපියල් මිලියන 1,450,401.04

මෙම ඇස්තමේන්තුව අනුව වුවද, ආර්ථික ලාබයක් ලැබීම සඳහා රුපියල් මිලියන 119,513.68ක අවම ගිණුම්කරණ ලාබයක් ලැබිය යුතු වෙනවා. මෙය ආයෝජනයේ අවදානම මුළුමනින්ම මෙන් නොසලකා හැර කරන ගණනය කිරීමක් නිසා අවම වශයෙන් මේ මට්ටමේ ලාබයක්වත් නොමැතිව තෙල් සංස්ථාවට දිගුකාලීනව පැවතිය නොහැකියි. ඊට හේතුව අවම වශයෙන් මේ මට්ටමේ ලාබයක්වත් නැත්නම්, මූර්ත පදනමින්, තෙල් සංස්ථාවේ ප්‍රාග්ධනය ක්ෂය වී යාමයි. මෙම ලාබය ලබා ගන්නේනම් යොදවා ඇති ප්‍රාග්ධනය වෙනුවෙන් 8.98%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. එය 2024 වසර අවසානයේදී එක් වසර භාණ්ඩාගාර බැඳුම්කරයකඵලදා අනුපාතිකයයි. 

2. ලාබ වැඩි කර ගැනීම සඳහා තෙල් මිල වැඩි කළ යුතුද?

තෙල් සංස්ථාවට තවමත් ලංකාවේ තෙල් වෙළඳපොළ තුළ ඒකාධිකාරයක් ඇති නිසා (ඔව්, ඒකාධිකාරයක්!) තෙල් මිල වැඩි කිරීම මගින් පහසුවෙන්ම අවශ්‍ය ලාබය ලබාගන්න පුළුවන්. එසේ කළ යුතුද නැද්ද යන්න තරමක් දුරට දේශපාලනික ප්‍රශ්නයක්. කෙසේ වුවත්, තෙල් සංස්ථාවට තෙල් මිල වැඩි කිරීම මගින් පහසුවෙන්ම අවශ්‍ය ලාබය ලබාගන්න පුළුවන් නිසාම, තෙල් සංස්ථාවේ ලාබය එම ආයතනයේ කාර්ය සාධනය පිළිබඳ හොඳ නිර්ණායකයක් සේ සලකන්න බැහැ. 

තෙල් සංස්ථාව විසින් අවම වශයෙන් ශුන්‍ය ආර්ථික ලාබයක් (එනම් අවම වශයෙන් ප්‍රාග්ධන පිරිවැය ඉක්මවන ගිණුම්කරණ ලාබයක්) ලබා නොගන්නවා කියන්නේ රටේ සාමාන්‍ය ජනතාවට වෙනත් බදු ලෙස එම මිල ගෙවන්නට සිදු වෙනවා කියන එකයි. ඒ කියන්නේ තෙල් මිල අඩු මට්ටමක තියා ගැනීම මගින් ජනතාවට සහනයක් ලැබෙනවා කියන එක බොරු කතාවක්. 

කාලයක් පිටකොටුවේ පදික වේදිකාවේ කලිසම් බඳ පටි විකිණීමේ ජාවාරමක් තිබුණා. මෙහිදී කළේ රුපියල් සීයක් වැනි සාමාන්‍ය මිලට වඩා බෙහෙවින්ම අඩු මිලකට බඳ පටියක් විකුණන එක. 1988 පමණ කාලයේදී රුපියල් 100ක් කියන්නේ කලිසම් බඳ පටියකට සෑහෙන්න අඩු මිලක්. සාමාන්‍ය වෙළඳසැලක මිල රුපියල් 150ක් පමණ. රුපියල් සීයයි කියා කෑ ගහද්දී පාරිභෝගිකයෝ මෙවැනි වෙළෙන්දෙක් ළඟට ආකර්ෂණය වෙනවා. පාරිභෝගිකයෙකු විසින් බඳ පටියක් තෝරා ගත් ගමන්ම වෙළෙන්දා විසින් කරන්නේ එය පාරිභෝගිකයාගේ ඉනට තබා මිනුම ගෙන ඔහු අතේ තිබෙන යන්ත්‍රයකින් එහි හිල් විදින එක. ඊට පස්සේ රුපියල් දෙසීයක් ඉල්ලනවා.

"රුපියල් දෙසීයක් වෙන්නෙ කොහොමද? රුපියල් සීයයි කියලනේ කලින් කිවුවේ?"

"රුපියල් සීය පටියට. හිලකට විස්සයි. හිල් පහත් එක්ක දෙසීයයි"

"කලින් එහෙම කතාවක් කිවුවේ නැහැනේ. දෙසීයටනම් එපා!"

"එහෙම කොහොමද? දැන් ඉනේ සයිස් එකට හිල් විදලනේ තියෙන්නේ. වෙන කාටවත් විකුණන්නත් බැහැ!"

කතාව දිගට ඇදුනොත් තව කට්ටිය වට වෙනවා.

"මහත්තය ඕක සල්ලි දීල ගන්න!"

ඔය පාරිභෝගිකයින්ට තෙල් අඩුවට දෙන කතාවේදී වෙන්නෙත් හරියටම ඔන්න ඔය වැඩේ. පටිය ලාබයි. හැබැයි හිල් වලට වෙනම ගෙවන්න වෙනවා!

පාරිභෝගිකයින්ට කොහොමටත් තෙල් වල නියම මිල ගෙවන්නම වෙනවා. නමුත් එයින් කොටසක් ගෙවන්න වෙන්නේ වෙනත් කුමක් හෝ බද්දක් විදිහටයි. එකම වෙනස මේ වැඩෙන් වැඩිපුර තෙල් පරිභෝජනය කරන අයට වාසියක් වෙන එක. ඒ අයගේ මිලෙන් කොටසක් ගෙවන්නේ අඩුවෙන් තෙල් පරිභෝජනය කරන අය. ඒ නිසා, බදු ගෙවන්නන් මත මිලෙන් කොටසක් පටවන වත්මන් ක්‍රමයට සාපේක්ෂවනම් තෙල් මිල වැඩි කරන එක හොඳ ක්‍රමයක්. 

තෙල් සංස්ථාව මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ කාලයක් තිස්සේ පාඩුවට දුවපු නිසා. රුපියල් මිලියන 912,580.51ක් තරම් විශාල මුදලක් පොදු අරමුදල් වලින් තෙල් සංස්ථාවට පොම්ප කරලා තිබුණත් ඒ සල්ලි දැන් තෙල් සංස්ථාවේ නැහැ. ඒ නිසාම, ඒ නැති සල්ලි වලින් ප්‍රතිලාභ උපයන්නත් බැහැ. ඒ වගේම, පරණ පවු සියල්ලම එක පාරම වත්මන් පාරිභෝගිකයින් පිටින් යවන එක සාධාරණත් නැහැ. ඔය සියල්ලම ඇත්ත වුනත්, තෙල් මිල වැඩි නොකර වෙනත් බදු විදිහට ඒ මුදල අය කර ගනිද්දී වුනත් ඔය අසාධාරණය ඔය විදිහටම වෙනවා. එහෙම බලද්දී, ඔය තත්ත්වයන් යටතේ වුනත්, තෙල් මිල වැඩි කරන එක නරක විකල්පයක් නෙමෙයි. 

හැබැයි තෙල් මිල වැඩි කරන එක හොඳම විසඳුම නෙමෙයි.

මෙම (2025) වසරේ පළමු මාස හය තුල තෙල් සංස්ථාවේ ලාබය රුපියල් මිලියන 17,018ක් බව කලින්ම කිවුවනේ. ඔය මාස හයක කාලය ඇතුළතම ඉන්දියන් තෙල් සමාගම විසින් රුපියල් මිලියන 5,632.50ක ලාබයක් උපයාගෙන තිබෙනවා. ඉන්දියන් තෙල් සමාගම වෙනුවෙන් කොටස්හිමියන් විසින් යොදවා තිබෙන ප්‍රාග්ධනය රුපියල් මිලියන 7,576.57ක් පමණයි.

වෙනස පේනවනේ. ඉන්දියන් තෙල් සමාගමේ කොටස්හිමියන් විසින් යොදවා තිබෙන ප්‍රාග්ධනය මෙන් 120 ගුණයක මුදලක් පොදු අරමුදල් වලින් තෙල් සංස්ථාව වෙනුවෙන් යොදවා තිබෙනවා. නමුත් තෙල් සංස්ථාවේ ලාබය ඉන්දියන් තෙල් සමාගමේ ලාබය වගේ 2.25 ගුණයක් පමණයි. 

තෙල් සංස්ථාවට ආර්ථික ලාබ ලැබෙන මට්ටමට තෙල් මිල වැඩි කළොත් ඉන්දියන් තෙල් සමාගමේ ලාබ විශාල ලෙස ඉහළ යයි. එය ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ලාබයෙන් කොටසක් රජයට බදු විදිහට ගන්නත් පුළුවන්. නමුත් සැබෑ ප්‍රශ්නය ඉන්දියන් තෙල් සමාගමට ගන්න පුළුවන් ලාබය ලංකාවේ තෙල් සංස්ථාවට ගන්න බැරි ඇයි කියන එකයි. ඉන්දියන් තෙල් සමාගම ඔය තරම් විශාල ලාබයක් ලබන්නේ වැඩි මිලට තෙල් විකුණලා නෙමෙයි. (මේක මේ ආණ්ඩුවේ ප්‍රධානීන් විසින්ම කලකට පෙර ගෙන ආ තර්කයක්!)

සමහර අයට අනුව තෙල් සංස්ථාව පාඩු ලබන්නේ හොරකම් හා අකාර්යක්ෂම කළමනාකරණය නිසා. මෙය ප්‍රතික්ෂේප කළ නොහැකි තර්කයක්. හැබැයි හේතු ඕවානම්, ඔය තත්ත්වයන් තවමත් එක දශමයකින් හෝ වෙනස් වෙලා කියලා පෙනෙන්නේ නැහැ. 

3. තෙල් ඉල්ලුම අනම්‍ය ඉල්ලුමක්ද? තෙල් සංස්ථාව නැත්නම් තෙල් මිල විශාල ලෙස ඉහළ යයිද?

මිල කීයක් වුනත් ඉල්ලුම එක ලීටරයකින් හෝ අඩු වෙන්නේ නැත්නම් එය පූර්ණ අනම්‍ය ඉල්ලුමක්. තෙල් ඉල්ලුම එවැන්නක් නෙමෙයි. මිල ඉහළ යද්දී ඉල්ලුමත් අඩු වෙනවා. නමුත් සාමාන්‍යයෙන් මිල 1%කින් වැඩි වෙද්දී ඉල්ලුම 1%කින් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉල්ලුම් නම්‍යතාවය අඩුයි. ඉල්ලුම් නම්‍යතාවය අඩුයි කියන්නේ ඉල්ලුම් නම්‍යතාවයක් නැහැ කියන එක නෙමෙයි.

දැන් තියෙන ප්‍රශ්නය වෙළඳපොළ තරඟයක් නැති වීම. සමාගම් කිහිපයකට පිරවුම්හල් යම් ප්‍රමාණයක් දුන්නා කියලා වෙළඳපොළ තරඟයක් ඇති වෙන්නේ නැහැ. තවමත් මේ සියලුම සමාගම් වලට කටයුතු කරන්න සිදු වී තිබෙන්නේ රජයේ මධ්‍යගත සැලසුමක් ඇතුළේ. පරිභෝගිකයෙක්ට අඩු මිලට තෙල් තිබෙන පිරවුම්හලක් හොයාගෙන කිලෝමීටර් දෙක තුනක් යන්න පුළුවන්. නමුත් කිලෝමීටර දහයක් පහළොවක් ගිහින් පොඩ්ඩක් අඩුවට ඉන්ධන මිල දී ගත්තා කියලා ලාබයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම, ඉන්දියන් තෙල් සමාගම පොඩ්ඩක් අඩුවෙන් තෙල් විකිණුවා කියලා ඔවුන්ගේ ඉල්ලුම ලොකුවට වැඩි වෙන්නේ නැහැ. ඒ නිසාම, ඔවුන් මිල තරඟයකට යන්නේ නැහැ.

මේ තත්ත්වය වෙනස් වෙන්නනම් ලෝකයේ ඕනෑම සමාගමකට කිසිදු බාධාවකින් තොරව රටේ ඕනෑම තැනක ඕනෑම තරමක් පිරවුම්හල් අරින්න අවස්ථාව ලබා දිය යුතුයි. සුරක්ෂිතතාව, පාරිසරික ප්‍රශ්න වගේ දේවල් හා අදාළව නියාමනයක් විය යුතු වුවත්, මිල හෝ සැපයුම නියාමනයට ලක් නොවිය යුතුයි. ඔන්න ඔය වැඩේ වුනොත් පාරිභෝගිකයින්ට තෙල් සංස්ථාවේ මිලටත් වඩා අඩුවෙන් තෙල් ලැබෙයි. එතෙක් ඔය වැඩේ වෙන්නේ නැහැ. ඒක වෙළඳපොළක් නැතිකමේ ප්‍රශ්නයක් මිසක් වෙළඳපොළේ ප්‍රශ්නයක් නෙමෙයි. තෙල් සංස්ථාව මගින් විසඳන්න හදන ප්‍රශ්නය එම ආයතනය පවත්වා ගෙන යාම වෙනුවෙන්ම හදාගෙන තිබෙන කෘතීම ප්‍රශ්නයක් පමණයි. 

මම පෞද්ගලිකව රජය විසින් වෙළඳපොළට කිසිදු මැදිහත්වීමක් නොකළ යුතුයි කියා හිතන්නේ නැහැ. නමුත් යම් මැදිහත්වීමක් කරන්නේනම් ඒ සඳහා පැහැදිලි හේතුවක් තිබිය යුතුයි. තෙල් නිපදවන සහ එම තෙල් සම්පත් රජය සතු රටවල තෙල් කර්මාන්තය රජය විසින් මෙහෙයවීමේ යම් හෝ තර්කානුකූල බවක් තිබෙනවා. නමුත් ලංකාව තෙල් නිපදවන රටක් නෙමෙයි. රජය විසින් ඉන්ධන ගෙන්වූවත්, පෞද්ගලික සමාගම් හරහා ඒ වැඩේ වුනත්, ඉන්ධන සඳහා රටෙන් එළියට යන විදේශ විණිමය ප්‍රමාණය රටෙන් යනවා. 

රට තුළ තෙල් පිරිපහදු කරන එකේ යම් වාසියක් තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවන්. මම දන්නා තරමින් තෙල් පිරිපහදු කර්මාන්තය ශ්‍රමමූලික කර්මාන්තයක් නොවන නිසා, යම් වාසියක් තිබුණත්, එය ලොකු වාසියක් වෙන්න විදිහක් නැහැ. එවැනි ලොකු වාසියක් තිබෙනවානම්, කළමනාකරණයත් දැන් කාර්යක්ෂම වෙලානම්, ඉන්දියන් තෙල් සමාගම විසින් දැනටත් ගන්න මට්ටමේ ලාබ තෙල් සමාගමටත් ගන්න පුළුවන් වෙන්න ඕනෑ.

වෙබ් ලිපිනය: