වෙබ් ලිපිනය:

Wednesday, December 24, 2025

ඒක පුද්ගල ආදායම පළාත් අනුව වෙනස් වන හැටි...


ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පළාත් අනුව වෙනස් වෙන්නේ කොහොමද? 2024 දළ දේශීය නිෂ්පාදිතය සහ පසුගිය සංගණනයේ ජනගහණ දත්ත අනුව, ලංකාවේ එක් එක් පළාතේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වන ආකාරය මේ සමඟ පළ කරන වගුවෙහි තිබෙනවා.

බස්නාහිර පළාත හැරුණු විට අනෙකුත් සෑම පළාතකම ඒක පුද්ගල දදේනිය ලංකාවේ සාමාන්‍ය අගයට වඩා අඩුයි. එහෙත්, බස්නාහිර පළාත හැරුණු විට වැඩිම ඒක පුද්ගල දදේනියක් වාර්තා කරන්නේත්, ලංකාවේ සාමාන්‍ය අගයට වඩාත්ම ආසන්නව සිටින්නේත් වයඹ පළාතයි. 

ශ්‍රී ලංකාව - ඇමරිකන් ඩොලර් 4,543

බස්නාහිර පළාත - ඇමරිකන් ඩොලර් 6,852

වයඹ පළාත - ඇමරිකන් ඩොලර් 4,411

මධ්‍යම පළාත - ඇමරිකන් ඩොලර් 3,906

උතුරු පළාත - ඇමරිකන් ඩොලර් 3,806

සබරගමුව පළාත - ඇමරිකන් ඩොලර් 3,757

ඌව පළාත - ඇමරිකන් ඩොලර් 3,404

දකුණු පළාත - ඇමරිකන් ඩොලර් 3,393

උතුරු මැද පළාත - ඇමරිකන් ඩොලර් 3,216

නැගෙනහිර පළාත - ඇමරිකන් ඩොලර් 2,777

Monday, December 22, 2025

පශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය


මේ වෙද්දී අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත් වෙලා මාස 15ක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔහුගේ ධුර කාලයෙන් 25%ක් දැනටමත් ඉවරයි. මේ කාලය ඇතුළත ආණ්ඩුව විසින් කළ හා නොකළ දේවල් ගැනනම් කතා කරන්න සෑහෙන පරාසයක කරුණු තිබෙනවා. නමුත් මෙම සටහනෙහි අවධානය යොමු කරන්නේ පශ්චාත්-ආපදා සන්දර්භය තුළ මේ ආණ්ඩුවේ සාර්ව ආර්ථික කළමනාකරණය කියන තනි කාරණයට පමණයි. 

සාර්ව ආර්ථික කළමනාකරණය කියද්දී එයින් රටේ මූර්ත අංශය, විදේශ අංශය, බැංකු හා මුදල් අංශය සහ රාජ්‍යමූල්‍ය අංශය කියන අංශ හතර අදහස් වෙනවා. මේ අංශ හතරෙන් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තිබෙන, ප්‍රජාතන්ත්‍රවාදී රටක රජයකට සෘජුව කළමනාකරණය කළ හැක්කේ රාජ්‍යමූල්‍ය අංශය පමණයි. එහෙත් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හරහා අනෙක් අංශ තුනට බලපෑම් කළ හැකියි. එවැන්නක් හිතාමතාම නොකළේ වුවද, රාජ්‍යමූල්‍ය කළමනාකරණය කරන ආකාරය ආර්ථිකයේ අනෙකුත් අංශ වලට බලපෑමක් කරනවා.

බැංකු හා මුදල් අංශය කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙන්නේ මහ බැංකුවටයි. ස්වාධීන මහ බැංකුවක් තිබෙන රටක ආණ්ඩුවට මහ බැංකුවේ තීරණ වලට සෘජු මැදිහත්වීමක් කරන්න බැහැ. ඒ නිසා, බැංකු හා මුදල් අංශය හොඳින් ක්‍රියාත්මක වේනම් එහි ගෞරවය ලැබිය යුත්තේත්, හොඳින් හොඳින් ක්‍රියාත්මක නොවේනම් එයට වගකිව යුත්තේත් මහ බැංකුව මිස ආණ්ඩුව නෙමෙයි. එය එසේ නොවන්නේ මහ බැංකුව සතුව අවශ්‍ය පමණ ස්වාධීනත්වයක් නොමැති විටෙක පමණයි. 

විශේෂයෙන්ම ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රාජ්‍යයක විදේශ අංශය කෙරෙහි රජයට හෝ මහ බැංකුවට කළ හැක්කේ ඉතා සීමිත බලපෑමක් පමණයි. ගොඩක් දේවල් තීරණය වෙන්නේ රටෙන් බාහිරව. අනෙක් අතට, මූර්ත අංශයේ ක්‍රියාකාරිත්වය රටේ හැම දෙනෙකුගේම ක්‍රියාකාරකම් වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලයක් විදිහට තීරණය වන දෙයක්. මහ බැංකුවට සහ රජයට ඒ මත කළ හැකි බලපෑමද සීමිතයි. 

මූර්ත අංශයේ වඩාත්ම වැදගත් සාර්ව ආර්ථික විචල්‍යය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රමාණය සහ එහි වර්ධන වේගය. එහෙමත් නැත්නම් ආර්ථික වර්ධන වේගය. රටක ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ ආණ්ඩුවකට සෘජුව පාලනය කළ හැකි දෙයක් නෙමෙයි. එසේ වුවත්, මෑතකදී මේ ආණ්ඩුව විසින් 7%ක ආර්ථික වර්ධන වේගයක් ඉලක්ක කරන කතාවක් කිවුවා. ඒ වගේ කතා එක්කෝ හිතාමතාම ගැලරිය චූන් කරන්න කියන කතා. එහෙම නැත්නම් වැරදි අවබෝධ වල ප්‍රතිඵල. වෙළඳපොළ ආර්ථිකයක් තිබෙන රටක ආණ්ඩුවකට ඒ විදිහට ආර්ථික වර්ධන වේගය තමන්ට අවශ්‍ය මට්ටමකට ගන්න බැහැ. 

ආර්ථික වර්ධන වේගය ඉලක්ක කරන අදහස එන්නේ පැරණි සමාජවාදී ක්‍රමයෙන්. වඩාත් නිවැරදිව කිවුවොත්, රටේ සමස්ත නිෂ්පාදනයම මධ්‍යගත ලෙස සැලසුම් කළ සෝවියට් සමාජවාදී ක්‍රමයෙන්. ඒ ක්‍රමය තුළ පෞද්ගලික අංශයක් නැහැ. නිෂ්පාදනය සිදු වන්නේ විවිධ රාජ්‍ය ආයතන තුළයි. ඒ නිසා රජයට තමන්ගේ සෘජු පාලනය යටතේ තිබෙන එක් එක් ආයතනයට නිෂ්පාදන ඉලක්ක ලබා දෙන්න පුළුවන්. එහෙම ඉලක්ක ලබා දුන්නත්, අදාළ ආයතන වලට ඒ ඉලක්ක ලඟා කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අඩු වශයෙන් යම් නිෂ්පාදන මට්ටමක් ඉලක්ක කරන්න පුළුවන්. ඒ අනුව, සමස්ත ආර්ථික වර්ධන වේගයද ඉලක්ක කරන්න පුළුවන්. 

නූතන වෙළඳපොළ ආර්ථිකයක් තුළ, රජයකට ඔය වැඩේ කරන්න බැහැ. චීනය වැනි, නිෂ්පාදන ආර්ථිකය තුළ සැලකිය යුතු රාජ්‍ය භාගයක් තිබෙන රටක රජයකට වුවද, සැලසුම් කර තමන්ට අවශ්‍ය වර්ධන වේගයක් ලබා ගන්න බැහැ. රටේ නිෂ්පාදනය තීරණය කරන්නේ තනි තනි ආයතන සහ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් විසිනුයි. මේ එක් එක් ආයතනයට වගේම ඇතැම් විට තනි පුද්ගලයින්ට පවා වර්ධන ඉලක්ක තියෙන්න පුළුවන්. නමුත් ඒ වර්ධන ඉලක්ක අතර පූර්ණ සම්බන්ධීකරණයක් නැහැ. 

මධ්‍යගත සැලසුමක් තුළ වර්ධන වේගය සැලසුම් කළේ වුවද රටක සැබෑ වර්ධන වේගය විවිධ භෞතික කරුණු මත තීරණය වන්නක්. ඒ කරුණු සියල්ල රජයට පාලනය කළ නොහැකියි. ඒ නිසා, ඉලක්කයක් ලඟා කර ගැනීමේ හැකියාව එවැනි ඉලක්කයක් කොයි තරම් ප්‍රායෝගිකද කියන එක මත තීරණය වෙනවා. තනි පුද්ගලයින්ගේ හා ආයතන වල ඉලක්ක සැලකුවත් එය එහෙමයි. 

රටක පවතින ප්‍රායෝගික භෞතික තත්ත්වයන් මත කෙනෙකුට රටේ ආර්ථික වර්ධනය පුරෝකථනය කළ හැකියි. මෙවැනි පුරෝකථන ආසන්නව නිවැරදියි. නමුත් ආර්ථික වර්ධනය හරියටම පුරෝකථනය කරන්න අමාරුයි. 

රාජ්‍යමූල්‍ය හා මුදල් කළමනාකරණ ප්‍රතිපත්ති සකස් කරද්දී ආර්ථික වර්ධනය වැනි විචල්‍ය පිළිබඳ යම් පුරෝකථන අවශ්‍ය වෙනවා. ඒ පුරෝකථන සියයට සියයක්ම නිවැරදි විය යුතු නැහැ. මේවා පුරෝකථන මිසක් ඉලක්ක නෙමෙයි. 

පසුගිය වසර 74 තුළ, ඒ කියන්නේ 1951-2024 අතර, ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 4.1%ක් පමණයි. 1977න් පසු කාලය සැලකුවොත්, මෙම වේගය 4.4%ක්. ඒ කියන්නේ ඉතිහාසය දිහා බැලුවොත් ලංකාවේ දිගුකාලීන වර්ධන විභවය තියෙන්නේ ඔය ආසන්න මට්ටමක. ඊට වඩා වැඩි වර්ධන ඉලක්කයක් නිකම්ම ඉලක්කයක් පමණයි. 

නමුත් ඔය වර්ධන වේගය පවත්වාගෙන ගිහින් තියෙන්නේත් දිගින් දිගටම විශාල වශයෙන් විදේශ ණය අරගන්නා අතරයි. ඒ විදේශ ණය වලින් ලැබුණු තල්ලුව මේ වර්ධන වේග ඇතුළේ තිබෙනවා. රටේ ආර්ථිකය විශාල අර්බුදයකට ගියේ මේ ණය චක්‍රය දිගින් දිගටම පවත්වා ගත නොහැකි නිසා. ආර්ථික අර්බුදයෙන් පසුව, මූල්‍ය අරමුදල විසින් ඇස්තමේන්තු කර තිබුණු දිගුකාලීන වර්ධන වේග විභවය 3.1%ක් පමණයි. ඔවුන් එම ඇස්තමේන්තුව තවමත් වෙනස් කර නැහැ. 

පසුගිය (2024) වසරේදී ලංකාවේ ආර්ථිකය 5.0%කින් වර්ධනය වුනා. මේ (2025) අවුරුද්දේ පළමු මාස නවය තුළද 5.0%ක වර්ධනයක් දකින්න තිබෙනවා. නමුත් මේ සාපේක්ෂව ඉහළ වර්ධන වේගයෙන් පෙන්නුම් කරන්නේ පසුගිය වසර වලදී සංකෝචනය වූ ආර්ථිකය නැවත පෙර පැවති මට්ටමට පැමිණීම මිසක් සැබෑ වර්ධනයක් නෙමෙයි. ලංකාවේ ආර්ථිකය 2018 පැවති මට්ටමට නැවත පැමිණෙනු ඇත්තේ ඉදිරි (2026) වසරේදී හෝ ඇතැම් විට ඊටත් පසු (2027) වසරේදීයි. සැබෑ ආර්ථික ප්‍රසාරණයක් දකිනු හැකි වනු ඇත්තේ ඉන් පසුවයි. මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව, ඉන් පසුව ලඟා කරගත හැක්කේ 3.1%ක වර්ධන වේගයක් පමණයි. 

අනෙක් අතට මේ 3.1% වර්ධන වේගය නෛසර්ගික වර්ධන වේගයක්. ඒ වර්ධන වේගය ලඟා කරගැනීම සඳහා රජය විසින් කිසිවක් කළ යුතු නැහැ. රාජ්‍ය මැදිහත්වීම් නිසා කෙටිකාලීනව වර්ධන වේගය ඉහළ යන්න වගේම අඩු වෙන්නත් පුළුවන්. නමුත් එවැනි මැදිහත්වීම් වලින් දිගුකාලීනව වෙනසක් සිදු වන්නේ නැහැ.

ඉහත හේතුව නිසාම, දිත්වා සුළි කුණාටුව වැනි ස්වභාවික ව්‍යසනයකින් ආර්ථික වර්ධනය කෙරෙහි ඇති වන බලපෑමද තාවකාලික එකක්. වැඩිම වුනොත් මාස නවයකින් පමණ එම බලපෑම අවසන් වෙයි. රාජ්‍ය මැදිහත්වීම් වල උදවුවෙන් මේ කාලය තවත් කෙටි වෙන්න පුළුවන්. එසේ වුවද, මාස හයක් පමණ යන තුරුවත් සුළි කුණාටුව නිසා සිදු වූ හානියේ බලපෑම තිබෙනවා. 

සුළි කුණාටුව පැමිණීමට පෙර රජය විසින් ගත් හෝ නොගත් ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ විවේචන තිබෙනවා. ඒ විවේචන පිළිබඳව විචාරයක් කිරීමට තරම් තොරතුරු මා සතුව නැහැ. කෙසේ වුවද, ආපදාවෙන් පසුව සාර්ව ආර්ථික කළමනාකරණය සැලකුවහොත්නම් ආණ්ඩුවට වරදක් කියන්න අමාරුයි. මේ කාරණයේදී ආණ්ඩුව වේගවත්ව කටයුතු කර තිබෙනවා.

හානිය හා අදාළ නිවැරදි හා පරිපූර්ණ තක්සේරුවක් තවමත් සිදු කර නැතත්, මීට පෙර සිදු වූ මෙවැනි ආපදා වල හානිය මත පදනම්ව මෙහි හානිය දදේනියෙන් 2.5%-5.0% අතර විය හැකි බව මූල්‍ය අරමුදල විසින් සලකා තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 2.5-5.0 අතර හානියක්. මෙය ඇතැම් අය සඳහන් කරන ඩොලර් බිලියන 6-7ක හානියට වඩා අඩුයි. මාධ්‍ය වාර්තා අනුව, හානිය පිළිබඳ ලෝක බැංකු තක්සේරුව ඩොලර් බිලියන 4.1%ක් වන අතර එයින් ඩොලර් බිලියන 1.735ක් පමණ යටිතල පහසුකම් වලට සිදු වී ඇති හානියයි. 

ආපදාව වැඩිපුර බලපාන්නේ කෘෂිකාර්මික හා සංචාරක කර්මාන්ත වලටයි. එහෙත් මේ අංශ දෙකටම මාස හයක් ඇතුළත නැවත හිස එසැවිය හැකියි. ඒ අතරවාරයේ ආර්ථික වර්ධන වේගයේ අඩුවක් විය හැකියි. ඉදි කිරීම් කටයුතු ඉහළ යාම නිසා එම අඩුවෙන් කොටසක් නිශේධනය විය හැකියි. රටේ ආර්ථිකය නැවතත් දිගුකාලීන වර්ධන පථයට ලඟා වුවත්, එය සිදු වන අතරවාරයේ පහත යන නිෂ්පාදනය නිසා මම වසරේ අවසන් කාර්තුවේ සහ ඉදිරි වසරේ මුල් කාර්තු දෙකේ වර්ධන වේගයන් සීමා වීම පැහැදිලිව පෙනෙන්න තිබෙන දෙයක්. එහෙත් ඉදිරි වසරේ දෙවන භාගය තුළ නැවත ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙයි. ඒ නිසා, 2027හා ඉන් පසුව රටේ වර්ධන විභවයට මෙම සුළි කුණාටුවේ බලපෑම ඉතිරි වන්නේ නැහැ.

රජය සතුව ප්‍රමාණවත් ද්‍රවශීල රුපියල් සංචිතයක් ඇති බැවින් රුපියල් බිලියන 700ක පමණ රාජ්‍ය මැදිහත්වීම මුදල් වෙළඳපොළ අස්ථාවර කිරීමට හේතුවක් නැහැ. ඉදිරි වසරේ මුල් භාගය තුළ උද්ධමනය ඉහළ යාමක් සිදු විය හැකි වුවත් එම තත්ත්වය දිගුකාලීනව පවතින එකක් නැහැ. ඒ නිසා, මහ බැංකුවට විශේෂ මැදිහත් කිරීම් කිරීමට අවශ්‍ය වන්නේද නැහැ. කෙසේ වුවත්, රටේ විදේශ අංශයට දැනෙන බලපෑමක් තිබෙනවා. 

මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව දිත්වා හානියේ ප්‍රතිඵලයක් ලෙස ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 720කින් හෙවත් දදේනියෙන් 0.7%කින් පමණ ඉහළ යාමට නියමිතයි. ඒ මේ විදිහටයි.

සංචාරක ආදායම් පහත වැටීම - ඩොලර් මිලියන (-350)

ආනයන වියදම් වැඩි වීම - ඩොලර් මිලියන (-420)

ප්‍රේෂණ ඉහළ යාම - ඩොලර් මිලියන 50

එකතුව - ඩොලර් මිලියන (-720)

මේ අනුව, පශ්චාත්-ආපදා සාර්ව ආර්ථික කළමනාකරණය තුළ වඩාත් අසීරුම කාර්යය ඉහත ඩොලර් මිලියන 720ක මුදල සොයා ගැනීමයි. එය සිදු වන්නේ මේ ආකාරයටයි.

මූල්‍ය අරමුදලෙන් - ඩොලර් මිලියන 205

අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් - ඩොලර් මිලියන 400

විදේශ සංචිත වලින් - ඩොලර් මිලියන 115

එකතුව - ඩොලර් මිලියන 720

මේ අනුව, ඉහත විදේශ විණිමය ලැබීම් වල උදවුවෙන් ආපදාවෙන් පසුව විදේශ අංශයද ස්ථාවරව තියාගන්න පුළුවන්. යම් හෙයකින් විදේශ අංශය අස්ථාවර වුවහොත් ඩොලරයක මිල සැලකිය යුතු ලෙස ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනයද ඉහළ යනවා. ඉතා ඉක්මණින් මූල්‍ය අරමුදලේ සහාය පැතීම මගින් මෙම ආපදාවෙන් පසුව නැවත ආර්ථිකය අස්ථාවර වීමේ විභවය රජය විසින් වළක්වාගෙන තිබෙනවා. 

මෙවැනි තත්ත්වයක් තුළ මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලක වාසිය ඒ වෙනුවෙන් ගෙවිය යුතු පොලියේ පිරිවැය මත පමණක් පදනම්ව විනිශ්චය කිරීම නිවැරදි නැහැ. මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ මූල්‍ය අරමුදලෙන් ලැබී ඇති සහතිකය සමඟ ලැබෙන ස්ථාවරත්වයයි. දෙවනුව, අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින් ලැබෙන මුදල් ලැබෙනු ඇත්තේද එකම පැකේජයක කොටසක් ලෙසයි. 

මෙම තත්ත්වය තුළ ඉදිරි දෙවසර සඳහා දැනට මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති විදේශ සංචිත ඉලක්ක ඒ අයුරින්ම ලඟා කරගැනීමට හැකි වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. එම ඇස්තමේන්තු බොහෝ විට ඉදිරි විමර්ශනයේදී යාවත්කාලීන වෙයි. මේ අතර නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ස්ටිග්ලිට්ස් විසින් ආපදාව හමුවේ ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දිය යුතුයැයි යෝජනා කර තිබෙනවා. මගේ අදහස වනුයේ එවැනි ණය සහනයකින් දිගුකාලීනව රටේ ණය තිරසාරත්වය මත ඇති විය හැකි බලපෑම අනුව එවැනි සහනයක් සැබෑ සහනයක් නොවිය හැකි බවයි.

ඉහත විස්තර කළ සැලසුම අනුව ඉදිරි වසරේ ජංගම ගිණුම තුලනය කර ගත හැකිනම් රටේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ අවදානමක් නැහැ. යම් හෙයකින් විදේශ සංචිත වල සුළු අඩු වීමක් සිදු වුවද එමගින් 2022 ආර්ථික අර්බුදය වැනි තත්ත්වයක් නිර්මාණය වන්නේ නැහැ. එම අවස්ථාවේදී ප්‍රශ්නය ඔඩු දිවීමට හේතු වූයේ අවශ්‍ය අවස්ථාවේදී මූල්‍ය අරමුදලේ සහාය නොපැතීම, විණිමය අනුපාතය නිදහස් නොකිරීම, පොලී අනුපාතික වැඩි නොකිරීම වැනි සාධකයි.

Saturday, December 20, 2025

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද?


මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් සම්මත කරගෙන තිබෙනවා. මේ විදිහට අතුරු අයවැයක් සම්මත කර ගැනෙන්නේ ඉදිරි වර්ෂය සඳහා අයවැය සම්මත කරගෙන ආපහු හැරෙන්නත් කලින්. නමුත් එම අයවැය සම්මත කර ගන්නා අවස්ථාවේදී දිත්වා සුළි කුණාටුව ඇවිත් තිබුණේ නැහැ. එම සුළි කුණාටුවෙන් අනපේක්ෂිත සහ සැලකිය යුතු ආර්ථික බලපෑමක් සිදු වුනා.

ලංකාවේ රාජ්‍ය මූල්‍යනය ඔය මට්ටමේ අනපේක්ෂිත ආපදාවකට මුහුණ දිය හැකි පරිදි කලින් සැලසුම් කරලා නැහැ. ඒ නිසා, ඔය වගේ සිද්ධියකින් පසුව අතුරු අයවැයක් ඉදිරිපත් කරන්නට සිදු වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. දැන් එය සිදු වී තිබෙනවා.

රජය විසින් තවමත් ආපදාවේ හානිය පිළිබඳ නිල ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා නැහැ. අතුරු අයවැය සම්මත කරගෙන තියෙන්නේ එවැන්නක් කරන්න කලින්. නමුත් හානියේ ආසන්න අගය පිළිබඳ අදහසක් ආණ්ඩුවට ඇති. අතුරු අයවැයක් හදන්න හානිය හරියටම තක්සේරු කරනකම් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. 

ආපදාව වෙනුවෙන් වෙන් කර තිබෙන රුපියල් බිලියන 500ක මුදල ඕනෑවට වඩා වැඩි මුදලක්ද? එසේ නැත්නම් මේ මුදලත් මදිද? 

මේ වගේ ප්‍රශ්නයකට දිය හැක්කේ දේශපාලනික පිළිතුරක් පමණයි. මෙම නිශ්චිත මුදල දේශපාලනික තීරණයක ප්‍රතිඵලයක්. එසේ කීමෙන් අදහස් කරන්නේ එය හොඳ හෝ නරක බව නෙමෙයි. කෙසේ වුවත්, මෙම අතුරු අයවැය කෙටි කාලයක් ඇතුළත සකස් කර සම්මත කර ගැනීමනම් හොඳ දෙයක්. ආර්ථික ක්‍රියාකාරකම් හා අදාළව නරකම දෙය මෙවැනි තීරණ ප්‍රමාද වීම නිසා ඇති වන අවිනිශ්චිතතාවයයි. ආර්ථික බලපෑම කුමක් වුවත් දැන් මේ හා අදාළ අවිනිශ්චිතතාවයෙන් සැලකිය යුතු කොටසක් ඉවත් වෙලා.

රුපියල් බිලියන 500ක මුදල තීරණය කරද්දී ආණ්ඩුව විසින් යොදාගත් නිර්ණායකය කුමක්ද කියන එකනම් සෑහෙන තරමකට පැහැදිලියි. මෙහිදී ආණ්ඩුව විසින් කර තිබෙන්නේ මූල්‍ය අරමුදලේ රාමුව තුළ රැඳී සිටින අතරම එයින් තාවකාලිකව දුරස් විය හැකි උපරිම සීමාව දක්වාම දුරස් වීමයි. එහිදී පසුගිය වසර තුළ මෙම ආණ්ඩුව විසින් මෙන්ම ඊට පෙර වසර වලදී පෙර ආණ්ඩුව විසින්ද වාර්තා කළ අතිරික්ත කාර්ය සාධනයේ වාසිය මේ වෙලාවේ ආණ්ඩුව විසින් උපරිම වශයෙන්ම ප්‍රයෝජනයට අරගෙන තිබෙනවා. 

අතුරු අයවැය යෝජනා හේතුවෙන් ඉදිරි වසරේ රාජ්‍ය වියදම දදේනියෙන් 20.5% සිට 21.9% දක්වා 1.4%කින් ඉහළ යනවා. ඒ අතර, සුළි කුණාටුවෙන් පසුවද අපේක්ෂිත රාජ්‍ය ආදායම් එලෙසම ලැබෙනු ඇතැයි උපකල්පනය කර තිබෙනවා. මේ අනුව, ඉදිරි වසරේ රාජ්‍ය අයවැය හිඟය දදේනියෙන් 5.1% සිට 6.5% දක්වා 1.4%කින් ඉහළ යනවා. ප්‍රාථමික අයවැය අතිරික්තය කලින් සැලසුම් කළ 2.5% සිට දදේනියෙන් 1.0% දක්වා පහත වැටෙනවා. රජයේ ප්‍රාථමික වියදම් ව්‍යවස්ථාපිත උපරිම සීමාව වන 13.0% ඉක්මවා 14.3% දක්වා ඉහළ යනවා. 

මෙම අතුරු අයවැය යෝජනා සම්මත වීම මගින් පැහැදිලි වන පරිදි, රජයේ ප්‍රාථමික වියදම් හා අදාළ ව්‍යවස්ථාපිත උපරිම සීමාව වන 13.0% සුවිශේෂී තත්ත්වයක් යටතේ සීමාකාරී සාධකයක් වන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී සීමාව ඉක්මවා යාම සඳහා අදාළ පණතෙහි ප්‍රතිපාදන සපයා තිබෙනවා. මේ අවස්ථාවේදී දදේනියෙන් 14.3% දක්වා ප්‍රාථමික වියදම් වැඩි කිරීමට පණත වෙනස් කළ යුතු නොවූයේ ඒ නිසා. 

රජය විසින් මෙලෙස ඉදිරි වර්ෂයේ වියදම් වැඩි කරන්නේ ආපදාව හමුවේ ගන්නා තාවකාලික පියවරක් ලෙසයි. ඉන් පසු වර්ෂ වලදී ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 2.6% මට්ටමේ පවත්වා ගැනීම මගින් අදාළ "පාඩුව පියවා ගැනීම" සැලසුමයි. 

රුපියල් බිලියන 500ක මුදල වැය කරන්නේ මේ විදිහටයි.

කැඩුණු නිවාස පිළිසකර කිරීමට - රුපියල් බිලියන 100

කැඩුණු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට - රුපියල් බිලියන 250

අනෙකුත් සෘජු සහනාධාර - රුපියල් බිලියන 150

මෙම වියදම් වලින් මුල් ප්‍රවර්ග දෙක ප්‍රාග්ධන වියදම් ලෙසත්, අවසන් ප්‍රවර්ගය පුනරාවර්තන වියදමක් ලෙසත් සලකා තිබෙනවා. ඒ අනුව, පුනරාවර්තන වියදම් දදේනියෙන් 0.4%කින් වැඩි වෙද්දී ප්‍රාග්ධන වියදම් දදේනියෙන් 1.0%කින් ඉහළ යනවා. 

එසේ වුවත්, ආර්ථික අර්ථයකින්, අනෙකුත් සෘජු සහනාධාර මෙන්ම කැඩුණු නිවාස පිළිසකර කිරීමද සැලකිය හැක්කේ පරිභෝජන වියදමක් ලෙසයි. ආයෝජන වියදමක් සේ සැලකිය හැක්කේ කැඩුණු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් වෙන් කෙරෙන මුදල පමණයි. ඒ නිසා මෙහිදී අවම වශයෙන් දදේනියෙන් 0.7%කින් පරිභෝජන වියදම් සෘජුව ඉහළ යනවා. මෙම වියදම් මගින් උද්ධමනකාරී බලපෑමක් මිස ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් සිදු කෙරෙන්නේ නැහැ. 

කැඩුණු යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම ආයෝජන වියදමක් වුවත් එමගින් රටේ ප්‍රාග්ධන සංචිතය ආපදාවට පෙර පැවති මට්ටම ඉක්මවා ඉහළ නැංවෙන්නේ නැහැ. මෙම වියදම් මගින් සිදු කෙරෙන්නේ පහත වැටී ඇති ප්‍රාග්ධන සංචිතය නැවත ප්‍රතිපූරණය කිරීමයි. ඒ නිසා, මෙයින්ද ආර්ථිකය ප්‍රසාරණය වීමක් සිදු වන්නේ නැහැ. එහෙත් ආර්ථිකය සංකෝචනය වීමේ විභවය සීමා කෙරෙනවා. 

රාජ්‍ය වියදම් මේ අයුරින් වැඩි කිරීමේදී එම වියදම් රටේ කිසියම් පිරිසකගේ ආදායම් බවට පත් වීම නිසා දෙවන වටයකින්ද පරිභෝජන ඉල්ලුම ඉහළ යාමක් සිදු වෙනවා. මීට අනුරූපව නිෂ්පාදනයද ඉහළ යාමට හේතු වන යාන්ත්‍රණයක් නොමැති නිසා පරිභෝජන ඉල්ලුම ඉහළ යාම බොහෝ දුරට ආනයන ඉල්ලුම ඉහළ යාමක් බවට පත් වෙනවා. ආයෝජන වියදම් වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙසද ආනයන ඉල්ලුම ඉහළ යනවා. මේ සියල්ලේ ප්‍රතිඵලය ජංගම ගිණුමේ හිඟය ඉහළ යාමයි.

ජංගම ගිණුමේ හිඟය ඉහළ යද්දී විණිමය අනුපාතය මත ඇති වන පීඩනය සීමා කර ගැනීම සඳහා අමතර විදේශ ණය ලබා ගැනීමට සිදු වෙනවා. මේ සඳහා අවම වශයෙන් අමතර ඩොලර් මිලියන 500ක් අවශ්‍යයැයි රජය විසින් තක්සේරු කර ඇති බව පේනවා. ඒ කියන්නේ දදේනියෙන් 0.5%ක පමණ අමතර ආනයන වියදමක් සිදු වනු ඇතැයි රජය විසින් සලකා ඇති බවයි. රුපියල් වලින් බිලියන 150ක් පමණ. අවම අගයක් ලෙස මෙය නරක ඇස්තමේන්තුවක් නොවුනත් මෙම අවශ්‍යතාවය මීට වඩා වැඩි විය හැකියි. 

මේ තත්ත්වය හමුවේ රජයට තිබෙන ලොකුම වාසිය රජය සතු රුපියල් සංචිතයයි. මේ ආණ්ඩුව බලයට පත් වෙද්දී එකතු කර තිබුණු රුපියල් බිලියන 650ක පමණ රුපියල් සංචිතයට මේ ආණ්ඩුව විසින් තවත් රුපියල් බිලියන 600ක පමණ මුදලක් එකතු කර තිබෙනවා. මේ රුපියල් සංචිතයේ තිබෙන්නේත් ණයම තමයි. නමුත් මේ විදිහට කලින්ම ණය අරගෙන තිබෙන නිසා රුපියල් බිලියන 500ක අමතර වියදම පියවා ගන්න තවත් වැඩිපුර ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් රුපියල් සංචිතය යොදා ගන්න පුළුවන්.

ඔය විදිහට රුපියල් ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් වුනත් එයින් ඩොලර් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ආනයන සඳහා අවශ්‍ය වන්නේ ඩොලර්. රුපියල් තිබුණු පලියටම ඩොලර් මිල දී ගන්න බැහැ. ඒ ඩොලර් රටට කොහෙන් හෝ පැමිණිය යුතුයි. මූල්‍ය අරමුදලෙන් අමතර ණයක් ගන්න අවශ්‍ය වී තිබෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. නමුත් ඒ ණය සහ වෙනත් ණය වලින් පසුවත් විණිමය අනුපාතය මත යම් පීඩනයක් ඇති වෙන්න පුළුවන්. එය ඉන්ධන, විදුලි ගාස්තු ආදිය කෙරෙහි බලපෑමක් කරන්න ඉඩ තිබෙනවා. ඒ වගේම, ඉදිරි මාස වලදී එළවලු වැනි දේවල් වල මිල ගණන් ඉහළ යාමකුත් අපේක්ෂා කළ හැකියි. මේ කරුණු නිසා ඉදිරි මාස වලදී උද්ධමනයේ යම් වැඩිවීමකුත් වෙන්න පුළුවන්.

Friday, December 19, 2025

මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 206ක ණයක්!


"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර්වලින් උපයාගත යුතුයි. එසේ නොවුණහොත් විනිමය අනුපාතය පිළිබඳ බලපෑමක් ඇති වෙනවා. එය වැළැක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපි අපේක්ෂා කරන්නේ.

අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය රැස් වෙනවා. අපි විශ්වාස කරනවා අපිට සාධාරණයක් ඉටු කර දෙයි කියලා. අපි ඒ සඳහා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහාය අපේක්ෂා කර තිබෙනවා. ඒ නිසා 2026 සැලැස්මේ තිබු ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක්වත් අපි අලුතෙන් කැඳවාගත යුතුයි."

-ජනාධිපති අනුර කුමාර දිසානායක 

මෙය මේ විදිහටම දමන්නේ රුපියල් බිලියන 500කින් රාජ්‍ය වියදම් වැඩි කළ විට එයින් විදේශ අංශයට ඇති වන බලපෑම මෙහි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ම කෙටියෙන් පැහැදිලි කර තිබෙන නිසා. 

මේ වන විට මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 206ක හදිසි ණයක් අනුමත කර තිබෙනවා. එහෙත්, ජනාධිපති දිසානායකටම අනුව, උද්ධමනය සහ විණිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා, අවම වශයෙන් තවත් ඩොලර් මිලියන 300ක් පමණවත් අවශ්‍ය වෙනවා. ඒ කලින් අපේක්ෂා කළ විදේශ විණිමය ලැබීම් වලට අමතරවයි.

මූල්‍ය අරමුදල විසින් ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ පුරෝකථනය 2.9% දක්වා පහත හෙළා ඇති අතර වර්ෂාවසාන විදේශ සංචිත අපේක්ෂාව ඩොලර් මිලියන 6,550 දක්වා පහත හෙළා තිබෙනවා. එයට අද අනුමත වූ ඩොලර් මිලියන 206ක ණය මුදලද ඇතුළත්. 

මෙම තත්ත්වය තුළ ඉදිරි දෙවසර තුළ ශ්‍රී ලංකාවට ඉතා අසීරු විදේශ සංචිත ඉලක්කයක් ලඟා කර ගැනීමට සිදු වී තිබෙනවා. ඒ අනුව, 2026දී ඩොලර් බිලියන 3.7කින්ද, 2027දී ඩොලර් බිලියන 4.5කින්ද විදේශ සංචිත වැඩි කර ගැනීමට සිදු වෙනවා. ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ඉදිරි දෙවසර තුළ මහ බැංකුව විසින් ඩොලර් බිලියන 8.2 ඉක්මවන අමතර විදේශ සංචිත ප්‍රමාණයක් එක්රැස් කරගත යුතුයි. 

Thursday, December 18, 2025

සංචාරක පැමිණීම්, ප්‍රේෂණ සහ IMF හදිසි ණය


මෙම වසර තුළ, ඊයේ (දෙසැම්බර් 17) දිනය දක්වා, ශ්‍රී ලංකාවට සංචාරකයින් 2,219,909 දෙනෙකු පැමිණ තිබෙනවා. මෙතෙක් ලංකාවට සංචාරකයින් වැඩිම දෙනෙකු පැමිණි වසර වූ 2018 වසර තුළ රටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2,333,796ක් වූ අතර, මේ අනුව, එම ගණන ඉක්මවීම සඳහා මෙම වසරේ අවසන් දින 14 තුළ තවත් සංචාරකයින් 113,887 දෙනෙකු රටට පැමිණිය යුතුයි. 

වසරේ අවසාන දෙසතිය තුළ සාමාන්‍යයෙන් සංචාරක පැමිණීම් වැඩි නිසා මෙම වසර, යාන්තමින් වුවත්, වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් රටට පැමිණි වසර ලෙස වාර්තා වීමට ඉඩ තිබෙනවා. එසේ වුවද, මෙම සංචාරකයින් ප්‍රමාණය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ශුභවාදී ඇස්තමේන්තුව වූ මිලියන 3 තබා අවම ඇස්තමේන්තුව වූ 2,415,000 මට්ටමට හෝ නොයන බව දැන් ඉතාම පැහැදිලියි.

නොවැම්බර් මාසය අවසානය දක්වා ඩොලර් මිලියන 7,197.1ක මුදලක් ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ලැබී තිබෙනවා. සාමාන්‍ය ප්‍රවණතාවය අනුව මෙන්ම, ආපදාව නිසා ඇති වූ සුවිශේෂී තත්ත්වයේ බලපෑම නිසාද, දෙසැම්බර් මාසය තුළ සැලකිය යුතු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් රටට ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් මෙම වසර තුළ පළමු වරට ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් ප්‍රමාණය ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවා යාමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා.  

මෙවැනි තත්ත්වයක් පැවතියද, විණිමය අනුපාතික වල මෑතකාලීන හැසිරීම අනුව පෙනී යන්නේ විණිමය වෙළඳපොළ තුළ යම් ආතති තත්ත්වයක් ගොඩ නැගී ඇති බවයි. මෙයට හේතුව ආපදා තත්ත්වය මෙන්ම ඉදිරි වසර තුළ පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර රුපියල් බිලියන 500ක අමතර මුදලක් වැය කිරීමට රජය තීරණය කිරීම හේතුවෙන්ද ඇති වූ අවිනිශ්චිතතාවය විය හැකියි. කෙසේ වුවද, මෙම මුදල වැය කිරීමේදී එයින් වැඩි කොටසක් සඳහා දැනටමත් වෙනත් කටයුතු සඳහා වෙන් කර තිබෙන මුදල් යෙදවීමට රජය විසින් අදහස් කරන බවක් පෙනෙන්නට තිබෙනවා.

මේ වන විට රජය විසින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති අතර ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය හෙට (දෙසැම්බර් 19 දින) රැස් වෙනවා. එම රැස්වීමෙන් පසුව අදාළ ණය මුදල ශ්‍රී ලංකාවට ලැබෙන්නට ඉඩ තිබෙනවා.

ඉහත ණය මුදල ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ සඳහා වාරික වශයෙන් ලැබෙන ණය වලට සම්බන්ධයක් නැති, රජය විසින් අලුතෙන් ඉල්ලා තිබෙන, අමතර ණය මුදලක්. මෙම ණය මුදල ලබා දීමේදී සාමාන්‍ය "කොන්දේසි" අදාළ වන්නේ නැහැ. හදිසි ගෙවුම් ශේෂ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ලබා දෙන මෙම ප්‍රවර්ගයේ ණය වසර 3.5 සිට 5 දක්වා කාලයක් ඇතුළත ආපසු ගෙවිය යුතු අතර, ලංකාවේ වත්මන් ණය අවදානම් තත්ත්වය අනුව, 5.4%ක් පමණ වන වාර්ෂික පොලියක් ගෙවන්නට සිදු විය හැකියි.

හෙට දිනයේ ඉහත සඳහන් ඩොලර් මිලියන 200ක ණය මුදල ලැබුණහොත් රටේ නිල විදේශ සංචිත වල එපමණක වැඩි වීමක් සිදු විය හැකියි. කෙසේ වුවද, මේ අයුරින් මූල්‍ය අරමුදලේ ණය හේතුවෙන් රටේ දළ නිල විදේශ සංචිත ඉහළ යද්දී ශුද්ධ විදේශ සංචිත වල ඉහළ යාමක් සිදු වන්නේ නැහැ. ඊට හේතුව මහ බැංකුවේ විදේශ වත්කම් වැඩි වීමට සමානව විදේශ බැරකම් ඉහළ යාමක්ද සිදු වීමයි.

Monday, December 15, 2025

ආර්ථික වර්ධනය 5.4% මට්ටමට!



තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක් වාර්තා කර තිබෙනවා. කෘෂිකාර්මික අංශය 3.6%කින් වර්ධනය වී ඇති අතර, කර්මාන්ත අංශය 8.1%කින්ද, සේවා අංශය 3.5%කින්ද වර්ධනය වී තිබෙනවා. මෙම (2025) තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 2017දී 6.0%ක වර්ධන වේගයක් වාර්තා වීමෙන් පසුව තුන්වන කාර්තුවකදී වාර්තා වන ඉහළම ආර්ථික වර්ධන වේගයයි. 

වසරේ පළමු හා දෙවන කාර්තු වල ආර්ථික වර්ධන වේගයන් පැවතුණේ පිළිවෙලින් 4.8% හා 4.9% මට්ටම් වලයි. මේ අනුව, සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5.0%ක් ලෙස වාර්තා වෙනවා.

ආපදා තත්ත්වයේ බලපෑම හේතුවෙන් හතරවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වීමට ඉඩ ඇතත්, පළමු කාර්තු තුනේ ප්‍රතිඵල අනුව, මෙම වර්ෂයේ ආර්ථික වර්ධන වේගය 4.0%-4.5% සීමාවෙන් පහතට වැටීමේ ඉඩක් නැහැ. ආර්ථික වර්ධනය කෙරෙහි ස්වභාවික ආපදා හේතුවෙන් ඇති වන බලපෑම තාවකාලික බැවින් එමගින් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් සිදු වන්නේ නැහැ. 

Monday, December 8, 2025

ඉන්දියාවේ 8.2%ක ආර්ථික වර්ධනයක්!


මෙම වසරේ දෙවන කාර්තුවේදී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 8.2% දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෘෂිකාර්මික කටයුතු 3.5%කින් වර්ධනය වෙද්දී ඉදිකිරීම් අංශය 7.2%කින්ද නිෂ්පාදන අංශ 9.2%කින්ද වර්ධනය වී ඇති අතර සේවා අංශ (මූල්‍ය, නිවාස හා දේපොළ සහ වෘත්තීය සේවා) 10.2%කින් වර්ධනය වී තිබෙනවා. පළමු කාර්තුවේ 7.8%ක වර්ධන වේගය හා එක්ව ගත් විට වසරේ පළමු අර්ධයේ වර්ධන වේගය 8.0%ක් ලෙස වාර්තා වෙනවා. 

Sunday, December 7, 2025

ආපදා කළමණාකරණය

ආපදා කළමණාකරණය හා අදාළව පසු ගිය දවස් වල බොහෝ දෙනෙකු විසින් කතා කර තිබෙනු දැක්කා. ඒ කතාබහ අතරතුර ඇතැම් දුර්මතද ප්‍රචාරය වෙමින් තිබුණා. මෙහිදී දුර්මත කියන එකෙන් මම අදහස් කරන්නේ පසුගිය ආපදාව හා අදාළ කරුණු නෙමෙයි. පොදුවේ ආපදා කළමනාකරණ මූලධර්ම පිළිබඳ කරුණු ගැන.

පසුගිය ආපදාව පිළිබඳව බොහෝ දෙනෙකු තුළ උනන්දුවක් ඇති වී තිබෙන මේ මොහොතේ මෙම ස‍ටහන තුළද එම ආපදාව ගැන කතා කළත්, එසේ කරන්නේ පොදුවේ ආපදා කළමනාකරණය පිලිබඳව කතා කිරීම සඳහා ප්‍රවේශයක් ලෙස පමණයි. ඒ හැර, මෙම ආපදාව හමුවේ විවිධ පාර්ශ්වයන් විසින් ගත් හෝ නොගත් ක්‍රියා මාර්ග ගැන කතා කිරීම මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ නෙමෙයි. 

මෙම ආපදාවෙන් පසුව රජයට එල්ල වූ ප්‍රධාන විවේචනයක් වුනේ ආපදාව පිළිබඳ තොරතුරු ඉදිරිපත්ව තිබියදී අවශ්‍ය ක්‍රියා මාර්ග නොගත්තේය යන්නයි. එයට රජයේ හෝ රජය ආරක්ෂා කරන පාර්ශ්ව වල ප්‍රතිචාරයක් වී තිබෙන්නේ එවැනි නිශ්චිත තොරතුරු නොතිබුණු බව පෙන්වා දීමයි. අනෙක් පැත්තෙන්, විවේචකයින් විසින් එවැනි තොරතුරු තිබුණු බවට කරුණු ඉදිරිපත් කරමින් තර්ක කරනවා. අප‍ට පෙන්වා දෙන්නට අවශ්‍ය වන්නේ මේ තර්ක දෙවර්ගයම එකම කාසියක දෙපැත්ත බවයි. 

මෙවැනි සුළි කුණාටුවක් පිළිබඳව සති ගණනකට පෙර නිශ්චිතව පුරෝකථනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා එවැනි නිශ්චිත පුරෝකථනයක් සිදු වී තිබුණාද නැද්ද යන්න පිළිබඳව තර්ක කිරීම තේරුමක් නැති දෙයක්. පුරෝකථන මූලධර්ම අනුව කළ හැක්කේ සුළි කුණාටුවක විභවය පිළිබඳව කලින් පුරෝකථනය කිරීම පමණයි. එම සුළි කුණාටුව ඇති වෙන්න හෝ නොවෙන්න පුළුවන්. හොඳ ආපදා කළමණාකරණයක් තුළ සිදු විය යුත්තේ එම විභවය පිළිබඳව විනිශ්චය කර හානි අවම කෙරෙන ක්‍රියාමාර්ග ගැනීමයි. 

සුළි කුණාටුවක් පිළිබඳව සති ගණනකට පෙර නිශ්චිතව දැනගත හැකිනම් ඒ සඳහා සූදානම් වීම යාන්ත්‍රිකව වුවද කළ හැකි දෙයක්. ඒ සඳහා කළමනාකරණ විනිශ්චයක් ලොකුවට අවශ්‍ය වන්නේ නැහැ. තනි තනි පුද්ගලයින්ට වුවද අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන හානිය අවම කරගන්න පුළුවන්. මෙවැනි අවස්ථා වලදී පූර්ව මැදිහත්වීම් අවශ්‍ය වන්නේම අදාළ ආපදාවට මුහුණ දෙන්නට සිදු වීම හෝ නොවීම හා අදාළව අවිනිශ්චිතතාවයක් තිබෙන නිසා. එවැනි පූර්ව මැදිහත්වීමකදී හැම විටම යම් අවදානමක් ගන්න වෙනවා. ආපදා කළමණාකරණය කියන්නේ යම් මිලක් ගෙවිය යුතු දෙයක්. ඒ මිල නොගෙවා, ආපදාවක් ප්‍රශස්ත ලෙස කළමනාකරණය කර ගත නොහැකියි.

අනෙක් පැත්තෙන් මෙම ආපදාවේ හානිය වෙනත් රටවල හා වෙනත් කාලවකවානු වල සිදු වූ ආපදා වල හානි හා සංසන්දනය කිරීමක් දකින්න පුළුවන්. රජයට පක්ෂපාතී පිරිස් වගේම රජය විවේචනය කරන පිරිස් විසින්ද මේ වැඩේ කරනවා. එහෙත්, මේ සංසන්දන ඒ තරම් තේරුමක් තිබෙන සංසන්දන නෙමෙයි. 

ඇත්තටම සිදු කළ යුත්තේ කිසියම් ප්‍රතිපරිසිද්ධික තත්ත්වයක් හා සංසන්දනය කිරීමයි. මෙම ආපදාවට පෙර කිසියම් පූර්ව ක්‍රියා මාර්ග ගත්තේනම් හානිය කොපමණ දුරකට අඩු කර ගත හැකිව තිබුණේද? කෙසේ වුවද, මෙවැනි විශ්ලේෂණයක් සිදු කළ යුත්තේ ආපදාවට පෙර පැවති තත්වයන් මත පදනම්ව මිස ආපදාව සිදු වීමෙන් පසුව දැන් අප දන්නා කරුණු මත පදනම්ව නෙමෙයි. 

ආපදාවේ හානිය ඩොලර් බිලියන 6-7ක් පමණ බව ඇතැම් අය විසින් ඇස්තමේන්තු කර තිබෙනු දැක්කා. අප විසින් එවැනි ඇස්තමේන්තුවක් සිදු කර නැහැ. එමෙන්ම මේ පිළිබඳ පිළිගත හැකි විස්තරාත්මක ඇස්තමේන්තුවක් දකින්න ලැබුණේත් නැහැ. නමුත් අප‍ට අවශ්‍ය පැහැදිලි කිරීම සඳහා මෙම ගණන හරියටම නිවැරදි විය යුතු නැහැ. 

යම් හෙයකින් නිවැරදි පූර්ව ක්‍රියාමාර්ග ගත්තේනම් මේ හානිය මුළුමනින්ම වලක්වා ගත හැකිව තිබුණේද? කිසිසේත්ම නැහැ. නමුත් යම් පූර්ව ක්‍රියාමාර්ග ගත්තේනම් මේ හානිය මීට වඩා අඩු කරගත හැකිව තිබුණේය යන්න අපට බැහැර කළ නොහැකි තර්කයක්. මෙම කරුණ හා අදාළව ඉදිරිපත් කෙරෙන ශක්තිමත්ම තර්කය වන්නේ ආපදාවට පෙර ජලාශ හිස් කළේනම් හානිය විශාල ලෙස අඩු වන බවයි. මෙය කරුණක් ලෙස සත්‍යයක්.


පහත තිබෙන්නේ ජල විදුලිය නිපදවීම සඳහා යොදා ගන්නා ලංකාවේ ප්‍රධාන ජලාශ වල ජල ධාරිතාව ඝන මීටර මිලියන වලින්.

සමනලවැව - 278.00

කාසල්රී -  48.30

මාඋස්සාකැලේ - 123.30

කොත්මලේ - 170.90

පොල්ගොල්ල - 4.11

වික්ටෝරියා - 723.20

රන්දෙණිගල - 801.50

රන්ටැඹේ - 7.00

බෝවතැන්න - 23.50

එකතුව 2,179.61

අවශ්‍යනම් අපි මෙයට කුඩා ජලවිදුලි බලාගාර සඳහා ජලය සපයන ජලාශ ටිකත් එකතු කරමු.

උඩවලව - 279.20

චන්ද්‍රිකාවැව - 27.71

මාදුරුඔය - 596.60

දඹුළුඔය - 11.70

මොරගහකන්ද - 557.90

කළුගඟ - 248.00

එකතුව - 1,720.11

මුළු එකතුව - 3,899.72

ජල විදුලිය නිපදවීම සඳහා යොදා නොගන්නා ජලාශ හා වාර්මාර්ග පද්ධති වල ධාරිතාවන්ද එකතු කළහොත් මෙම අගය ඝන මීටර මිලියන 5,538.35 දක්වා ඉහළ යනවා. නමුත් අපි ඒ කොටස නොසලකා හරිමු. ඒ ජලාශ හිස් කරනවා කියන එක ප්‍රායෝගිකව වඩා අසීරු කාර්යයක්. 

ඇත්තටම කියනවානම් ඉහත දෙවන ලැයිස්තුවේ ජලාශ හිස් කරන එක වුවත් ප්‍රායෝගිකව ගන්න අමාරු තීරණයක්. ඊට හේතුව එම ජලය කෘෂිකාර්මික අවශ්‍යතා සඳහාද අවශ්‍ය වීම සහ එම කෘෂිකාර්මික ජල අවශ්‍යතාව සඳහා වෙනත් විකල්ප නොමැති වීම. ප්‍රායෝගිකව වඩා පහසුවෙන් හිස් කළ හැක්කේ පළමු ලැයිස්තුවේ තිබෙන ජලාශ නවයයි.

පළමු ලැයිස්තුවේ ජලාශ නවය හිස් කිරීම සෛද්ධාන්තිකව කළ නොහැක්කක් නෙමෙයි. මෝසම් වැසි එන්න කලින් සැලසුම්සහගත ලෙස ඔය ජලාශ හිස් කිරීම කාලයක් තිස්සේම සාමාන්‍යයෙන් කරන දෙයක්. හිස් කරනවා කියන්නේ අඩියටම හින්දනවා කියන එක නෙමෙයි. ප්‍රායෝගික සීමාවක් දක්වා ජල මට්ටම අඩු කරනවා කියන එක. එහෙම කරන එකේ කිසිම ආවස්ථික පිරිවැයක් නැහැ. ඒ ඇයි?

ඉහත ජලාශ වල ජලය කියන්නේ විභව ශක්තිය ලෙස ගබඩා කරගෙන තිබෙන විද්‍යුත් ශක්තිය. සැලසුම්සහගත ලෙස ජලාශ හිස් කරද්දී ඒ විභව ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙලා එම විද්‍යුත් ශක්තිය රුපියල් බවට පරිවර්තනය වෙනවා. මෝසම් වැසි වසිද්දී නැවත ජලාශ පුරවා ගන්න පුළුවන්. කලින් ජලාශ හිස් කර තියාගත්තේ නැත්නම් මෝසම් වැසි එක්ක ලැබෙන වතුර නිකම්ම මුහුදට ගලාගෙන යනවා. 

ඉහත පරිදි සැලසුම්සහගත ලෙස ජලාශ හිස් කිරීමේ ප්‍රධාන අරමුණ ප්‍රශස්ත ජල කළමනාකරණය මිසක් ආපදා කළමනාකරණය නෙමෙයි. අහසින් වැටී එම එම ජලාශ වල එකතු වන එක් වතුර බිඳුවක් හෝ ජල විදුලිය හැදීම සඳහා ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයැවීම අරමුණ කියා කියන්න පුළුවන්. 

යම් හෙයකින් අපේක්ෂිත පරිදි මෝසම් වැසි නොලැබුණොත් වෙන්නේ කුමක්ද? එහෙම වුනොත් ජල විදුලිය හදන එක සීමා වෙනවා. විදුලිය නිපදවීම සඳහා පොසිල ඉන්ධන දහනය කරන්න වෙනවා. ඒ වෙනුවෙන් වැඩි පිරිවැයක් වැය වෙනවා. නමුත් කලින් සැලසුම් කර ජලාශ හිස් කරද්දී හදන සෑම ජල විදුලි ඒකකයකින්ම ඉන්ධන විදුලිය ඒකකයක් ඉතිරි වී තිබෙන නිසා මෝසම් වැසි ආවේ නැතත් කලින් ගත් තීරණයේ ආවස්ථික පිරිවැයක් නැහැ.

ආපදා කළමනාකරණ අරමුණ පෙරදැරිව අන්තිම මොහොතේ හදිසියේ ජලාශ හිස් කරන්න වුනොත් මේ වාසිය ගන්න බැහැ. හිස් කරන වතුර වලින් ජල විදුලිය හදලා ඒ මගින් ඉන්ධන විදුලිය හැදීම සීමා කර ගත හැකි සීමාවක් තිබෙනවා. ඒ සීමාව පැන්නුවොත් වතුර ජල විදුලිය සෑදීම සඳහා ප්‍රයෝජනයට නොගෙන නිකම්ම මූදට යවන්න වෙනවා. ඒ වෙනුවෙන් ආවස්ථික පිරිවැයක් දරන්න වෙනවා. එය ආපදා කළමනාකරණය වෙනුවෙන් ගෙවන්න සිදු වෙන මිලක්. ඒ මිල ගෙවීම මගින් දැන් සිදු වී තිබෙන ආකාරයේ ව්‍යසනයක හානිය අඩු කරගන්න පුළුවන්. නමුත් එය නොමිලේ ලැබෙන දෙයක් නෙමෙයි. ඒ නිසාම, මෙවැන්නක කවුරු හෝ විසින් චේතනාන්විතව ගත යුතු තීරණයක් තිබෙනවා.

වැසි වැටීම තීරණය කරන්නේ ස්වභාව ධර්මය විසින්. එහි හඳුනාගත හැකි රටා තිබෙනවා. නමුත් වැසි වැටෙන ආකාරය පිළිබඳව අපට තිබෙන්නේ අසම්පූර්ණ දැනුමක් නිසා අවිනිශ්චිතතාවය වැඩියි. මේ අවිනිශ්චිතතාවයට සමාන්තරව ජල විදුලි සැපයුමද විචලනය වන නමුත් ඊට අනුරූපව විදුලි ඉල්ලුම විචලනය වන්නේ නැහැ. මේ ඉල්ලුම් සැපයුම් නොගැලපීම තුලනය කරගන්නේ අභිමත පරිදි ඉන්ධන විදුලි ජනනය වෙනස් කිරීම මගින්.

නමුත් ඉහත තත්ත්වය පසුගිය වසර කිහිපය ඇතුළත විශාල ලෙස වෙනස් වී තිබෙනවා. ඒ සූර්ය බල විදුලි ජනනය විශාල ලෙස ඉහළ යාම නිසා. ජල විදුලි ජනනය වගේම සූර්ය බල විදුලි ජනනය තීරණය කරන්නෙත් ස්වභාව ධර්මය විසින්. ඒ නිසා, විදුලි ඉල්ලුම හා සැපයුම තුලනය කිරීම සඳහා කවුරු හෝ පරිපාලකයෙකුට කලින් තිබුණු හැකියාව දැන් ඒ විදිහටම නැහැ. ඒ නිසාම, ආපදා කළමනාකරණ අරමුණ පෙරදැරිව ජලාශ හිස් කරන්න සිදු වුනොත් එහි ආවස්ථික පිරිවැය පෙර කාලයට වඩා වැඩියි.

කලින් තත්ත්වය තුළ වැඩියෙන් ජල විදුලි ඒකකයක් හදද්දී ඉන්ධන විදිහට රුපියල් ඉතිරි වෙනවා. නමුත් සූර්ය බල විදුලිය රුපියල් විදිහට ඉතිරි කරගන්න බැහැ. ඒ නිසා එක්කෝ ජලය නිකම්ම නාස්ති වෙනවා. එහෙම නැත්නම් සූර්ය බලය නිකම්ම නාස්ති වෙනවා. ඔය දෙකෙන් කොයි එක වුනත් එහි ආවස්ථික පිරිවැයක් තිබෙනවා. එතකොට ඉතිරි වෙන ප්‍රශ්නය වන්නේ ආපදා හානියේ අපේක්ෂිත හානිය මගින් ඒ ආවස්ථික පිරිවැය ආවරණය වෙනවාද නැද්ද කියන එකයි. හොඳ ආපදා කළමණාකරණයක් කියා කියන්නේ ඔන්න ඔය තීරණය නිවැරදිව ගන්න එකට. 


දැන් අපි පසුගිය සුළි කුණාටුව එක්ක වැටුණු වැස්ස දෙස බලමු. කුණාටුවේ බලපෑම වැඩිපුරම දැකිය හැකි වූයේ නොවැම්බර් 26, 27 හා 28 යන දවස් තුන තුළයි. දකුණු පළාත හැර අනෙකුත් සෑම පළාතකටම මෙන් එම දින තුනෙන් කිසියම් දින දෙකක් තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණා. දළ ඇස්තමේන්තුවක් විදිහට දින තුනක කාලය ඇතුළත දිවයිනට වැටුණු සමස්ත වර්ෂා ජල ප්‍රමාණය ඝන මීටර මිලියන දස දහසක් පමණ වෙන්න පුළුවන්. 

රටේ ඕනෑම තැනක එකතු වන වර්ෂා ජලය ඉහත කී ජලාශ වල රඳවා ගන්න බැහැ. එසේ රඳවා ගත හැක්කේ එම ජලාශ වල ජලපෝෂක ප්‍රදේශ වලට වැටෙන වර්ෂා ජලය පමණයි. පහත තිබෙන්නේ ඉහත ප්‍රධාන ජලාශ නවයේ ජල පෝෂක කලාපය පිළිබඳ දළ ඇස්තමේන්තුවක්.

මහවැලි සංකීර්ණයේ ජලපෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර 3,118

කාසල්රී (කැළණි) ජලපෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර 115

මාඋස්සාකැලේ (මස්කෙළිඔය) ජලපෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර 130

සමනලවැව (වලවේ) ජලපෝෂක ප්‍රදේශය - වර්ග කිලෝමීටර 342

එකතුව - වර්ග කිලෝමීටර 3,705

වර්ෂාපතන දත්ත දෙස බැලූ විට ඉහත ජලපෝෂක ප්‍රදේශ වලට අදාළ දින තුනක කාලය තුළ, ප්‍රධාන වශයෙන්ම නොවැම්බර් 26 හා 27 දින වල, මිලි මීටර 500ක පමණවත් වර්ෂාපතනයක් ලැබී ඇති බව පේනවා. මේ අනුව, එම ජලාශ වලට එකතු වූ (පිටාර ගිය ජලයද ඇතුළුව) මුළු ජල ප්‍රමාණය ඝන මීටර මිලියන 1,852ක් පමණ සේ සැලකිය හැකියි. එය එම ජලාශ වල මුළු ධාරිතාව වන ඝන මීටර මිලියන 2,179.61ට ආසන්න අගයක්. මෙම ජලාශ මුළුමනින්ම හිස් කිරීම අපහසු බැවින් ඉහත ජල ප්‍රමාණය රඳවා ගැනීම සඳහා අදාළ ජලාශ හැකි උපරිම මට්ටමින් හිස් කර තබා ගන්නට සිදු වෙනවා. එසේ කළේනම් හානියෙන් සැලකිය යුතු කොටසක් අඩු කර ගත හැකිව තිබුණා.

කෙසේ වුවද, රටේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝ මීටර 65,610ක් බැවින්, රටට වැටුණු සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර 150ක් සේ සැලකුවහොත්, සුළි කුණාටු දින වල වැටුණු මුළු ජල ප්‍රමාණය ඝන මීටර මිලියන 9,842ක් පමණ වෙනවා. ඒ අනුව, උපරිම වශයෙන් ඉහත ජලාශ වල එක්රැස් කර ගත හැකි වන්නේ එම ප්‍රමාණයෙන් 19%ක් පමණයි. එයින් ඔබ්බට පාලනයක් කර ගත හැකි වනුයේ කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා පවත්වාගෙන යනු ලබන ජල සංචිතද හිස් කළේනම් පමණයි. මේ අනුව පෙනී යන්නේ ප්‍රශස්තම ක්‍රියාමාර්ග ගනු ලැබුවද මෙම සුළි කුණාටුවෙන් විශාල හානියක් සිදු විය හැකිව තිබුණු බවයි.

කෙසේ වුවද, මෙවැනි ස්වභාවික ආපදාවක හානිය ඉහළ යන්නේ ආපදාවේ පරිමාණය සමඟ රේඛීයව නොව ඝාතීය ලෙස බව අප‍ට අමතක කළ නොහැකියි. සරලව කිවුවොත්, අඩි දහයක ගංවතුරක හානිය අඩි පහක ගංවතුරක හානිය මෙන් දෙගුණයකට වඩා බොහෝ වැඩියි. ඒ නිසා, වැසි වැටෙන්නට පෙර ජලාශ හිස් කර ගංවතුර යම් තරමකින් හෝ අඩු කර ගත්තේනම් එයින් ආපදාවේ විනාශය අනුපාතිකව කිහිප ගුණයකින් අඩු වෙනවා. 

පෙර සූදානම්ව, යම් මට්ටමක් දක්වා ජලාශ හිස් කිරීම මගින් වැටුණු ජල ප්‍රමාණයෙන් 10% පමණ, එනම් ජලය ඝන මීටර මිලියන 1000ක් පමණ රඳවා ගත්තේයැයි අපි හිතමු. මෙලෙස එක්රැස් වනුයේ අහසින් වැටුණු වැහි වතුර වලින් වැඩිම විභව ශක්තියක් ඇති, ඒ නිසාම වැඩිම හානියක් කිරීමේ විභවයක් ඇති ජලයයි. ඒ නිසා, වැටුණු ජලයෙන් 10%ක් පමණ රඳවා ගත්තේනම් වුවද, ඩොලර් බිලියන 6-7ක් ලෙස සඳහන් කරන හානියෙන් 30%-35%ක් පමණවත් අඩු කරගත හැකිව තිබුණු බව මගේ අදහසයි. අපි මෙම ගණන ඩොලර් බිලියන 2ක් සේ සලකමු. ඒ කියන්නේ ආසන්නව රුපියල් බිලියන 600ක පමණ ඉතිරියක්. 

නමුත් මෙවැනි තීරණයක් ගැනීමේ ආවස්ථික පිරිවැයක් තිබෙනවා. ඒ විදුලි බලය නොනිපදවා නිකම්ම මුහුදට යවන්නට සිදු වන වතුර ප්‍රමාණයයි. ඇත්ත වශයෙන්ම අපේක්ෂිත පරිදි වැස්ස ලැබුනේනම්, එවැනි ආවස්ථික පිරිවැයක් නැහැ. ආවස්ථික පිරිවැයක් තිබෙන්නේ යම් හෙයකින් අනාවැකිය වැරදී වැස්ස නොලැබුණේනම් පමණයි. එම ආවස්ථික පිරිවැය කොපමණද? 

දළ ඇස්තමේන්තුවක් ලෙස ජලය ඝන මීටර මිලියන 1000ක් නිකම්ම මුහුදට යැවීම නිසා ජල විදුලිය ගිගාවොට් පැය 500ක් නිපදවීමේ අවස්ථාව අහිමි වූයේයැයි සිතමු. මෙම අහිමි වූ ජල විදුලි ඒකක ප්‍රමාණය ඉන්ධන දවා නිපදවීම සඳහා ඒකකයකට රුපියල් 30ක අමතර මුදලක් වැය වේයැයි සිතමු. එසේනම්, මෙම තීරණයේ ආවස්ථික පිරිවැය උපරිම වශයෙන් රුපියල් බිලියන 15ක් පමණ විය හැකියි. 

දැන් මෙහි තිබෙන්නේ රුපියල් බිලියන 600ක් බේරා ගැනීම සඳහා රුපියල් බිලියන 15ක් වැය කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. නමුත් මෙහි ඇති ගැටලුව වන්නේ රුපියල් බිලියන 600 බේරෙන්නේ ඇත්තටම හානිය සිදු වුවහොත් පමණක් වීමයි. නමුත් රුපියල් බිලියන 15ක පාඩුව අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒ නිසා, තීරණය ගන්නා අයෙකුට ඒ පිළිබඳ වගකීම ගන්නට සිදු වෙනවා. 

කාලගුණ අනාවැකිය මත පදනම්ව සිදු විය හැකි ආපදාවේ හානිය පිලිබඳව නිවැරදි විනිශ්චයක් කළ යුත්තේ මේ නිසායි. ඒ සඳහා, සුළි කුණාටුවක් ඇති වන බව නිශ්චිතව දැන ගන්න අවශ්‍ය නැහැ. සුළි කුණාටුවක් ඇති වීමේ විභවයක් සහිත අඩු පීඩන තත්ත්වයක් ඇත්තටම සුළි කුණාටුවක් බවට පත් වීමේ සම්භාවිතාව කුමක්ද?

අඩු පීඩන තත්ත්වය සුළි කුණාටුවක් බවට පත් වීමේ අවදානම අවම වශයෙන් 2.5%ක්නම්, ඒ කියන්නේ හතළිහෙන් එකක්නම්, මෙම පැහැදිලි කිරීම සඳහා යොදාගත් සංඛ්‍යා අනුව, හොඳම තීරණය වනුයේ ජලාශ හිස් කිරීමයි. එයින් අනිවාර්යයෙන්ම මූල්‍යමය පාඩුවක් සිදු වෙනවා වගේම බොහෝ විට සුළි කුණාටුව ඇත්තටම එන්නේ නැහැ. නමුත් මේ තීරණය ගැනීමේ වාසිය තේරෙන්නේ කවදා හෝ සුළි කුණාටුවක් ඇත්තටම ආපු දවසටයි. ආපදා කළමණාකරණය කියන්නේ එයටයි. 

දැන් ලියන්නට තියෙන්නේ මෙතෙක් ලියූ කොටස කැමැත්තෙන් කියවූ සැලකිය යුතු පිරිසක් කියවන්න අකැමැති විය හැකි කොටසක්. නමුත් ඒ කොටසේ මම පෙන්වා දෙන්නේ පෙන්වා දිය යුතු වැදගත්ම දෙයක්. 

වෛද්‍ය විද්‍යාවේ හෝ ඉංජිනේරු විද්‍යාවේ සිට ආර්ථික විද්‍යාව දක්වා විවිධ විෂය පථයන්ට අයත් ආපදා කළමණාකරණ ක්‍රියාවලීන්ට මෙහි සඳහන් මූලධර්ම අදාළයි. අති මූලික කරුණක් ලෙස, ආපදා කළමණාකරණය වෙනුවෙන් මිලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ මිල නොගෙවා හානිය ප්‍රශස්ත මට්ටමකට අඩු කරගන්න බැහැ. රුපියල් බිලියන 600ක පාඩුවක් වලක්වා ගැනීම සඳහා කටයුතු කරද්දී අවස්ථා 40කින් 39කදීම සිදු වන්නේ රුපියල් බිලියන 15ක පාඩුවක් සිදු වීමයි. වාසියක් සිදු වන්නේ එක් අවස්ථාවකදී පමණයි. අවදානමේ ස්වභාවය අනුව මේ සම්භාවිතා වෙනස් වෙන්න පුළුවන්.

පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ හෙජිං ගනුදෙනුව වගේම ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවද ප්‍රශස්ත ලෙස අවදානම් කළමනාකරණය කිරීම සඳහා ගත් උත්සාහයන් දෙකක්. හෙජිං ගනුදෙනුව මගින් උත්සාහ ගත්තේ ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමට මුහුණ දීමටයි. ඉන්ධන මිල පහළ යාම නිසා සිදු වූ අලාභයද එහිම ප්‍රතිඵලයක්. ඒ වගේම, ග්‍රීක බැඳුම්කර ආයෝජනයෙන් සිදු වූ පාඩුව සිදු වුනේ සමස්තයක් ලෙස ආයෝජන ප්‍රතිලාභ වැඩි කර ගැනීමේ උත්සාහයක් තුළයි. පාඩු විදින්නට සිදු වීමේ අවදානම නොගෙන ලාබ ලබන්නට හෝ අවදානම් අඩු කරගන්නට බැහැ.

මෙම සුළි කුණාටුවට පෙර,  සුළි කුණාටුව ඇති වීමේ සම්භාවිතාව අඩු මට්ටමක පැවතියද, ජලාශ වල වතුර නිදහස් කළේනම් බොහෝ විට එය ප්‍රශස්ත තීරණයක්. නමුත් එසේ කිරීමෙන් පසුව සුළි කුණාටුව පැමිණියේ නැත්නම්, එයින් පාඩුවක් සිදු වෙනවා. වත්මන් සන්දර්භය තුළ එවැනි ක්‍රියාමාර්ගයක් අර්ථදැක්වෙන්නේ වතුර ටික නිකම්ම මුහුදට යවා වැඩි මිලට ඉන්ධන විදුලිය නිපදවීම මගින් අයථා ලෙස මුදල් ඉපැයීමක් ලෙසයි. එවැනි චෝදනාවකට ලක් වීමට අකැමැති නිසා, මේ වගේ අවස්ථාවක ගත යුතු හොඳම තීරණය ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නැහැ. මෙය හොඳ තත්ත්වයක් නෙමෙයි.

මේ ලිපියේ සඳහන් දළ ඇස්තමේන්තු පිළිබඳ ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් පෙන්වා දෙන්න අවශ්‍ය වන්නේ එම සංඛ්‍යා නෙමෙයි. සංඛ්‍යා වෙනස් වුනා කියා මෙහි පැහැදිලි කරන කරුණු වෙනස් වෙන්නේ නැහැ.

Saturday, December 6, 2025

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය


ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය වෙත විවිධ පාර්ශ්ව වලින් මූල්‍යාධාර ලැබී තිබෙනවා. පහත තිබෙන්නේ මාධ්‍ය වාර්තා වලින් සොයා ගත හැකි එවැනි මූල්‍යාධාර ලැබීම් පිළිබඳ තොරතුරු කිහිපයක්. 

1. රටවල් 33ක විදේශගත ශ්‍රී ලාංකිකයින් 30,470 දෙනෙකුගෙන් මුල් දින කිහිපය තුළ "රීබිල්ඩින් ශ්‍රී ලංකා" අරමුදලට ලැබී ඇති මුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් වලට ලැබී ඇති මුදල - රුපියල් මිලියන 696ක් පමණ (ඇමරිකන් ඩොලර් මිලියන 2.2ක් පමණ)

2. ඕස්ට්‍රේලියානු රජයෙන් ලැබී ඇති මුදල - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3.5 (ඇමරිකන් ඩොලර් මිලියන 2.3ක්  පමණ)

3. ඇමරිකන් රජයෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 2.0ක් 

4. එක්සත් රාජධානියේ රජයෙන් - පවුම් මිලියනයක් (ඇමරිකන් ඩොලර් මිලියන 1.3ක් පමණ)

5. චීන රජයෙන් සහ ජනතාවගෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 1.1ක් පමණ

6. මාල දිවයින් රජයෙන් සහ ජනතාවගෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 2.4ක් පමණ 

7. නේපාල රජයෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 0.2ක්. 

ශ්‍රී ලංකාව වැනි දුර්වල ආර්ථිකයක් මෙවැනි ආපදාවකට මුහුණ දීමෙන් පසුව රටට හා රජයට ලැබෙන හැම ඩොලරයකටම වටිනාකමක් තිබෙනවා. ළූණු බිකත් බඩට කියා කියනවනේ. නමුත් ඉහත අයිතමයින් කිසිවක් රුපියල් බිලියනය ඉක්මවන ලැබීම් නෙමෙයි. ඉහත ලැබීම් සියල්ලේ එකතුව ඩොලර් මිලියන 11.5ක් පමණයි. ධනවත් රටවලින් මෙවැනි අවස්ථා වලදී විශාල ලෙස ආධාර කරනු ලැබූ යුගය දැන් අවසන්. අද තිබෙන්නේ 1957දී පැවති ලෝකය නෙමෙයි. 

ඉහත ලැයිස්තුව රජයට ලැබී ඇති අරමුදල් පිළිබඳ සවිස්තර හෝ නිල වාර්තාවක් නෙමෙයි. ඒ වගේම, තවත් යම් කාලයක් යන තුරු රජයට මෙවැනි මූල්‍යමය ආධාර ලැබෙයි. නමුත් ඉහත ලැයිස්තුව ඇසුරෙන් දැනට ලැබී ඇති හා ඉදිරි කාලයේදී ලැබෙන්නට ඉඩ තිබෙන මූල්‍යමය ආධාර වල පරිමාණය ගැන පහසුවෙන්ම අදහසක් ගන්න පුළුවන්. ද්‍රව්‍යමය ආධාර ලැබීම් සහ වෙනත් පාර්ශ්ව හරහා ලැබෙන මූල්‍යමය ආධාර ප්‍රස්තුත කරුණට අදාළ නැහැ. මෙහි අවධානය යොමු කෙරෙන රාජ්‍ය මූල්‍යනය හා අදාළව වැදගත් වන්නේ රජයට අභිමත පරිදි වැය කළ හැකි මූල්‍යමය ආධාර පමණයි.

රාජ්‍ය මූල්‍යනය හා අදාළව වැදගත් වන අපේක්ෂිත මුළු ලැබීම් ප්‍රමාණය ඉහත එකතුව මෙන් තෙගුණයක් පමණ සේ සැලකුවත් එය ඩොලර් මිලියන 34ක පමණ මුදලක් පමණයි. ඒ කියන්නේ රුපියල් බිලියන 10ක පමණ මුදලක්. එම මුදල සහ ආපදාව වෙනුවෙන් රජය විසින් වැය කරන්නට සැලසුම් කර තිබෙන රුපියල් බිලියන 572ක මුදල සසඳද්දී මතක් කර ගත හැක්කේ කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් යාමේ කතාවයි. ඒ අනුව, රජයේ ආපදා වියදම් වලින් ඉතා සුළු ප්‍රතිශතයක් හැර අනෙක් සියලුම වියදම් වල බර පැටවෙන්නේ රටේ බදු ගෙවන ජනතාව මත බව පැහැදිලියි. 

ජනාධිපති දිසානායකගේ කතාව අනුව, මෙම වසරේ අවසන් දින 25 තුළ රජය විසින් ආපදා වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 72.2ක මුදලක් වෙන් කර තිබෙනවා. එම මුදලෙන් රුපියල් බිලියන 22.2ක් අයවැයෙන් කලින්ම වෙන් කර තිබෙන මුදල් වන අතර ඉතිරි රුපියල් බිලියන 50 අලුතෙන් වැය කෙරෙන මුදලක්. ඒ අනුව, මෙම වසරේ රාජ්‍ය වියදම් කලින් ඇස්තමේන්තු කලාට වඩා රුපියල් බිලියන 50කින් ඉහළ යනවා. එයින් අදහස් වන්නේ මෙම වසරේ ප්‍රාථමික අතිරික්තය කලින් ඇස්තමේන්තු කළාට වඩා එපමණකින් අඩු වන බවයි.

පසුගිය අයවැය ඇස්තමේන්තු සකස් කරද්දී රුපියල් බිලියන 1,202ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇස්තමේන්තු කර තිබුණා. එම මුදල දදේනියෙන් 3.8%ක්. මෙම අතිරික්තය රුපියල් බිලියන 50කින් අඩු වුවද අවම වශයෙන් දදේනියෙන් 3.6%ක ප්‍රාථමික අතිරික්තයක් ඉතිරි වෙනවා. මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතා අනුව අවශ්‍ය වන්නේ දදේනියෙන් 2.3%කට නොඅඩු ප්‍රාථමික අතිරික්තයක් බැවින් මෙය ස්ථායීකරණ වැඩ පිළිවෙළ හා අදාළව කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. පරිපූරක ඇස්තමේන්තුවෙන් පසුවද තව දුරටත් දදේනියෙන් 1.3%ක පමණ වාසියක් ඉතිරි වෙනවා. එහි වටිනාකම තේරෙන්නේ ඉදිරි (2026) වසරේ රාජ්‍ය මූල්‍යනයේදීයි. 

මෙම වසරේ තත්ත්වයට සාපේක්ෂව බලද්දී ඉදිරි වසර හා අදාළව දැකිය හැක්කේ වෙනස් තත්ත්වයක්. අයවැයෙන් සැලසුම් කර තිබුණේ දදේනියෙන් 2.5%ක ප්‍රාථමික අතිරික්තයක් පමණක් බැවින් දැනට සැලසුම් කර ඇති රුපියල් බිලියන 500ක වියදම අමතර වියදමක් ලෙස එකතු වුවහොත්, ප්‍රාථමික අතිරික්තය 2.3% මට්ටමෙන් පහතට වැටෙනවා. මෙම අමතර වියදම දදේනියෙන් 1.5%කට ආසන්න වියදමක්. ඒ අනුව, ඉදිරි වසරේ ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 1.0%කට නොඅඩු මට්ටමක් දක්වා පහත වැටීමේ විභවයක් තිබෙනවා. ඒ කියන්නේ අවශ්‍ය මට්ටමට වඩා 1.3%කින් අඩු මට්ටමක්. කෙසේ වුවද, එවැනි තත්ත්වයක් යටතේ වුවත්, මේ වසරේ 1.3%ක අමතර ඉතිරිය නිසා, දිගුකාලීනව රටේ ණය තිරසාරත්ව ඉලක්කය පවත්වා ගැනීමට නොහැකි වන්නේ නැහැ. එකම ප්‍රශ්නය යම් හෙයකින් නැවතත් මෙවැනි කම්පනයක් ඇති වුවහොත් එයට ඔරොත්තු දීම අසීරු වීම පමණයි.

රුපියල් බිලියන 500ක අමතර මුදල සොයා ගන්නා ආකාරය හරියටම දැනගන්නට ලැබෙන්නේ රජය විසින් අදාළ පරිපූරක ඇස්තමේන්තුව පිළියෙළ කර ඉදිරිපත් කිරීමෙන් පසුවයි. දැනටම අයවැයෙන් වෙන් කර තිබෙන වියදම් නවත්වා එම අරමුදල් මේ වෙනුවෙන් යෙදවීම මගින් අවශ්‍ය වන රුපියල් බිලියන 500ක මුදලින් යම් ප්‍රමාණයක් ආවරණය කර ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස අලුත් මාර්ග හෝ ගොඩනැගිලි වෙනුවෙන් වෙන් කර ඇති මුදල් කැඩී ගිය මාර්ග හා ගොඩනැගිලි වෙනුවෙන් යොදවන්න පුළුවන්. ඒ නිසා, ඉදිරි වසරේ ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 1.0% මට්ටම දක්වාම පහත වැටෙන එකක් නැහැ. එහෙත් මේ ක්‍රමයට රුපියල් බිලියන 500ක් වැනි විශාල මුදලක් සොයා ගන්න බැහැ. රාජ්‍ය සේවක වැටුප් වැනි බොහෝ වියදම් වෙනස් කළ නොහැකි වියදම්. 

මෙවැනි ආපදාවකින් පසුව රාජ්‍ය ආදායම් යම් තරමකින් හෝ අඩු වනු මිස වැඩි වන්නේ නැහැ. ඒ නිසා, ඒ පැත්තෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නෙත් නැහැ. මේ අනුව, ප්‍රායෝගිකව බොහෝ විට ඉදිරි වර්ෂයේ ප්‍රාථමික අයවැය හිඟය 2.3% මට්ටමට වඩා අඩු, දදේනියෙන් 1.5%-1.8% ආසන්න මට්ටමක් වෙන්න පුළුවන්. රජය විසින් පරිපූරක අයවැය සකස් කිරීමෙන් පසුව මේ ගැන හරියටම දැනගන්න පුළුවන්.

රජයේ ප්‍රාථමික වියදම් හා අදාළව ව්‍යවස්ථාපිත සීමාවක් තිබෙනවා. එම වියදම් දදේනියෙන් 13.0% ඉක්මවා යා නොහැකියි. එහෙත් මෙවැනි විශේෂ තත්ත්වයන් යටතේ සීමාව ඉක්මවා වියදම් කිරීම සඳහා ප්‍රතිපාදන තිබෙන නිසා එම නීතිය මේ අවස්ථාවේදී සීමාකාරී සාධකයක් වෙන්නේ නැහැ. මූල්‍ය අරමුදලේ 2.3% ඉලක්කය හා අදාළව කියන්නට තියෙන්නේත් මේ කතාවමයි. මගේ තක්සේරුව අනුව පවතින තත්ත්වය සුවිශේෂී තත්ත්වයක් බව මූල්‍ය අරමුදල විසින් හඳුනා ගන්නා බවට සැකයක් නැහැ. 

ආපදා තත්ත්වයක් යටතේ කෙටිකාලීනව රාජ්‍ය වියදම් වැඩි කිරීම සහ ආකෘතිමය වෙනස්කම් හරහා දිගුකාලීනව රාජ්‍ය වියදම් වැඩි කිරීම කරුණු දෙකක්. පළමුවැන්නෙහි තිබෙන්නේ තාවකාලික බලපෑමක් පමණයි. ඒ බව මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, එක් වසරක වියදම් වුවද සැලකිය යුතු ලෙස වැඩි වුවහොත් එයින් ණය තිරසාරත්වය විශ්ලේෂණයට බලපෑමක් සිදු වෙනවා. ඒ නිසා, ස්ථායීකරණ වැඩපිළිවෙළේ පරාමිතීන්ද වෙනස් කරන්නට සිදු වෙනවා. 

දැනට රජයේ ප්‍රවේශය බව පෙනෙන්නේ ආපදා තත්ත්වය හමුවේ ස්ථායීකරණ වැඩ සටහනෙහි පරාමිතීන් සීරුමාරු කරගැනීම සඳහා මූල්‍ය අරමුදලේ උදවු ලබා ගැනීමයි. ඒ සඳහා මාස කිහිපයක් ගත විය හැකි නමුත් එම සඳහා මූල්‍ය අරමුදලේ උදවු ලැබීම පිළිබඳව සැකයක් නැහැ. කෙසේ වුවද, මෙම ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වනුයේ රටේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ගත වන කාලය ආපදාවට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව ප්‍රමාද වීමයි. 

මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් දෙසැම්බර් 15 දින රැස් වී ශ්‍රී ලංකාවේ මීළඟ ණය වාරිකය ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත්, මේ වන විට එම රැස්වීම අවලංගු කර තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකා රජය විසින් කලින් අනුමත කරනු ලැබ වාරික වශයෙන් ලැබෙමින් තිබුණු ණය මුදලට අමතරව, ඩොලර් මිලියන 200ක හදිසි අවශ්‍යතා ණයක් සඳහා ඉල්ලුම් කර තිබෙනවා. 

මෙම ඩොලර් මිලියන 200ක ණය මුදල අනුමත වුවහොත් එම මුදල සහ දෙසැම්බර් 15 දින ලැබෙන්නට නියමිතව තිබුණු ඩොලර් මිලියන 350ක මුදල පෙබරවාරි මාසයේදී පමණ එකවර ලැබෙන්නට ඉඩ තිබෙනවා. ඊට පෙර ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකා රජය විසින් ඉදිරි වසර තුළ රුපියල් බිලියන 500ක අමතර මුදලක් වියදම් කිරීම සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම අතුරු අයවැය වුවද සකස් කෙරෙනු ඇත්තේ මූල්‍ය අරමුදලේ එකඟතාවයන්ට යටත්වයි. වෙනත් විදිහකින් කිවුවොත්, ආපදාවෙන් පසුවද රජය විසින් කරමින් සිටින්නේ මූල්‍ය අරමුදලේ රාමුව තුළම සිටිමින් විසඳුම් සෙවීමයි. 

මෙම ආපදා තත්ත්වය හමුවේ පසුගිය වසර කිහිපය තුළ යහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණයක් පවත්වා ගැනීමේ වාසිය පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා, පවතින ආතති තත්ත්වය හමුවේ වුවද රජයට රුපියල් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වී නැහැ. එහෙත්, රුපියල් හා අදාළව තිබෙන එම වාසිදායක තත්ත්වය ඩොලර් හා අදාළව නැහැ. ඊට හේතුව තවමත් ප්‍රමාණවත් විදේශ සංචිත ගොඩ නැගී නොතිබීමයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා රජයට මූල්‍ය අරමුදලෙන් ලැබිය හැකි සුළු හෝ අමතර මුදලක් පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන සිටීමට සිදු වී තිබෙනවා. 

Friday, December 5, 2025

විදේශ සංචිත පහළට!


නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,033 දක්වා පහත වැටී තිබෙනවා. මේ අනුව, නොවැම්බර් මාසය තුළ විදේශ සංචිත අඩු වීම ඩොලර් මිලියන 183ක් වන අතර, පසු ගිය මාස දෙක තුළ ඩොලර් මිලියන 211කින් සංචිත ප්‍රමාණය අඩු වී තිබෙනවා.

පෙර ලිපියෙහි විස්තර කළ පරිදි, වසරේ පළමු මාස අටක කාලය තුළ අතිරික්තයක්ව පැවති ජංගම ගිණුම් ශේෂය ඉන් පසුව සෘණ අතට හැරී තිබෙනවා. එයින් අදහස් වන්නේ උපයා ඇති ඩොලර් ප්‍රමාණය ඉක්මවා ඩොලර් වැය කර ඇති බවයි. 

ජංගම ගිණුමෙහි හිඟයක් ඇති විට, එම හිඟය පියවා ගැනීමට ප්‍රමාණවත් විදේශ ආයෝජන රටට නොපැමිණේනම්, ඒ වෙනුවෙන් විදේශ ණය ලබා ගන්නට සිදු වෙනවා. එසේ නැත්නම්, එම හිඟය පියවෙද්දී රටේ විදේශ සංචිත පහත වැටෙනවා. නොවැම්බර් මාසය අවසානයේදී රටට ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වුවත්, එම මාසය තුළද සංචාරක පැමිණීම් ආදියෙහි කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකිව තිබුණු බැවින්, සංචිත අඩු වීමට හේතුව එම ආපදා තත්ත්වය සේ සලකන්න අසීරුයි. ආපදා තත්ත්වයෙහි බලපෑම පිළිබිඹු වනු ඇත්තේ දෙසැම්බර් මාසය තුළයි.

පසුගිය මාසයේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය අවසානයේදී මහ බැංකු අධිපතිවරයා විසින් විශ්වාසයෙන් යුතුව කියා සිටියේ මෙම වසර අවසන් වෙද්දී ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා වූ වැඩිම විදේශ සංචිත ප්‍රමාණය වාර්තා වනු ඇති බවයි. ආර්ථික අර්බුදයෙන් පසුව දැනට වැඩිම විදේශ සංචිත ප්‍රමාණයක් වාර්තා වී ඇති පසුගිය මාර්තු මාසය අවසානයේදී රටේ විදේශ සංචිතය ඩොලර් මිලියන 6,531 දක්වා ඉහළ ගොස් තිබුණු අතර දැන් මට්ටමේ සිට එම මට්ටම දක්වා යාම සඳහා වුවද දෙසැම්බර් මාසය ඇතුළත ඩොලර් මිලියන 498ක් එකතු කර ගැනීමට සිදු වෙනවා. එවැන්නක් සිදු වීමේ විභවයක් මේ වෙද්දී පෙනෙන්නට නැහැ.

මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයේ පදනම වූයේ දෙසැම්බර් 15 දින ලැබෙන්නට නියමිතව තිබුණු මූල්‍ය අරමුදලේ ඊළඟ වාරික මුදලයි. එහෙත්, දැන් පවතින තත්ත්වය අනුව, එම වාරිකය මේ වසර තුළ ලැබීමේ ඉඩක් නැහැ. 

ආපදා තත්ත්වය හමුවේ මේ වන විට රජය විසින් පරිපූරක ඇස්තමේන්තු දෙකක් ඉදිරිපත් කරමින් මෙම වසරේදී යම් ප්‍රමාණයකින් හා ඉදිරි වසර තුළදී සැලකිය යුතු ප්‍රමාණයකින් රාජ්‍ය වියදම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙය එම රාජ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ විවේචනයක් නොවෙතත්, මේ තීරණය හේතුවෙන් මූල්‍ය අරමුදල සමඟ පසුගිය විමර්ශන අවස්ථාවේදී රජය විසින් ඇති කරගත් එකඟතා බිඳී යන බැවින්, රජයට නැවතත් මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර දැනට සිදු කර අවසන්ව තිබෙන විමර්ශනය නැවතත් මුල සිටම සිදු කරන්නට වෙනවා. අරමුදලේ ඊළඟ වාරිකය ලැබෙනු ඇත්තේ එම සාකච්ඡා සාර්ථක ලෙස අවසන් කර ගැනීමෙන් පසුවයි. ඒ සඳහා තවත් මාස කිහිපයක් ගත විය හැකියි.

මෙම ආපදාව සිදු වූයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික අවපාතයකින් ගොඩ එමින් සිටින අතරයි. එය සිදු වන විටද, ලංකාවට ආර්ථිකය පෙර (2018දී) පැවති මට්ටම දක්වා ප්‍රසාරණය කර ගැනීමට අවම වශයෙන් තවත් වසරක් පමණවත් බලා සිටින්නට සිදු වී තිබුණා. ආපදාව හේතුවෙන් මේ සඳහා වඩා වැඩි කාලයක් ගත විය හැකි අතර, ඒ සඳහා විනාශ වූ ප්‍රාග්ධන සම්පත් නැවත ගොඩ නගා ගත යුතුව තිබෙනවා. ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට නැවත එසැවීම තීරණය වනු ඇත්තේ මෙසේ විනාශ වූ සම්පත් නැවත ගොඩ නැගෙන වේගය අනුවයි. ඒ අතරතුර, ආර්ථික වර්ධනයෙහි කෙටිකාලීන පසුබෑමක් සිදු වන බව පැහැදිලියි.

ආර්ථිකයෙහි සිදු විය හැකි කෙටිකාලීන පසුබෑම රාජ්‍ය ආදායම් කෙරෙහිද යම් හෝ බලපෑමක් කරනවා. නැවත සිදු කෙරෙන විමර්ශනයකදී මෙය මූල්‍ය අරමුදලේ අවධානයට ලක්වන බව පැහැදිලියි. එක් පසෙකින් රාජ්‍ය ආදායම් අඩු වෙද්දී, අනෙක් පැත්තෙන් රාජ්‍ය වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යාම තුළ ස්ථායිකරණ වැඩපිළිවෙලේ පරාමිතීන් අවශ්‍ය පරිදි සීරුමාරු කර ගැනීම තරමක අභියෝගයක්.

ආපදාව නිසා අගතියට පත් පාර්ශ්වයන්ට සහන සැලසීම දේශපාලනිකව හා සමාජයීයව නිවැරදි ප්‍රවේශයක් වුවත්, එහි ආර්ථික බලපෑම වනුයේ සැපයුමෙහි වෙනසක් නොමැතිව ඉල්ලුම ඉහළ යාමයි. මෙම තත්ත්වය තුළ එක්කෝ මිල ඉහළ යාම (උද්ධමනය) හරහා මෙම සහන වල මිල සහන නොලබන අය මත පැටවෙනවා. එසේ නැත්නම්, ආනයන ඉහළ යාම හරහා ඉල්ලුම් සැපයුම් වෙනස තුලනය වෙද්දී විදේශ අංශය මත පීඩනය ඉහළ යනවා. බොහෝ විට සිදු විය හැක්කේ මේ දෙකෙහි මිශ්‍රණයක්.

මෙවැනි වියහැකියාවන් දෙකක් තිබුණත්, ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය බොහෝ දේ සඳහා දේශීය ආදේශක නොමැති බැවින් සහන සැලසීමෙහි බලපෑම වැඩිපුරම දැනෙනු ඇත්තේ විදේශ අංශයටයි. සහන ලෙස ලබා දෙන රුපියල් හේතුවෙන් ආනයන ඉල්ලුම ඉහළ යද්දී දැනට පවතින විදේශ අංශයේ තුලනයද වෙනස් වෙනවා. ඒ අනුව, ඉදිරි වසර තුළ විදේශ අංශය තුලනය කර ගැනීම වඩාත් අභියෝගාත්මක කාර්යයක් බවට පත්වී තිබෙනවා. 

Thursday, December 4, 2025

ආපදාවෙන් පසු විදේශ අංශය

අප බොහෝ දෙනෙකුට මතක තිබෙන ඉතිහාසය තුළ ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාව සුනාමියයි. සුනාමිය ජීවිත 35,000ක් පමණ බිලි ගත්තා. පසුගිය සුළි කුණාටුව සුනාමියෙන් පසුව ලංකාවට මුහුණ දීමට සිදු වූ ලොකුම ස්වභාවික ආපදාවයි. සුළි කුණාටුව විසින් බිලිගෙන ඇති, දැනට වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 500කට ආසන්න වන අතර අවසන් ගණනයේදී මෙම ගණනට තවත් මරණ සිය ගණනක් එකතු විය හැකියි. 

අහිමි වූ ජීවිත ගණන පිළිබඳව සලකන්නේනම් සුනාමියේ හානියේ මෙම සුළි කුණාටුවේ හානිය හා කිසිසේත්ම සැසඳිය නොහැකි වුවත්, ජීවිත හානිය දෙස නොබලා දේපොළ හානිය දෙස පමණක් බලන්නේනම්, සුළි කුණාටුවේ හානිය සුනාමියෙන් සිදු වූ දේපොළ හානියටද වඩා වැඩි හානියක් විය හැකියි. මෙම දේපොළ හානිය ආර්ථිකයේ සියලු අංශ කෙරෙහි දැනෙන බලපෑමක් කරන බව පැහැදිලියි. 

සුළි කුණාටුව අතර මහ බැංකුව විසින් ඔක්තෝබර් මාසයේ විදේශ අංශයේ තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කර තිබුණා. එම සංඛ්‍යාලේඛණ අනුව එම මාසය තුළ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 200ක හිඟයක් වාර්තා වී තිබුණා. ඊට පෙර සැප්තැම්බර් මාසය තුළද ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 183ක හිඟයක් වාර්තා වුනා. ඒ වසරේ පළමු මාස අට තුළ එක දිගටම ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වීමෙන් පසුවයි. 

අගෝස්තු මාසය අවසන් වන විට ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 2,039.5ක සමුච්ඡිත අතිරික්තයක් දැකිය හැකිව තිබුණත්, පිට පිටම දෙමසක් හිඟයන් වාර්තා වීමෙන් පසුව, ඔක්තෝබර් අවසානය වන විට එම අතිරික්තය ඩොලර් මිලියන 1,657.4 දක්වා පහත වැටී තිබුණා. පැවති ප්‍රවණතා අනුව, නොවැම්බර් මාසය තුළ මෙම අතිරික්තය තව දුරටත් අඩු වී තිබෙන්නට ඉඩ තිබෙනවා. සුළි කුණාටුවේ බලපෑම නිසා යම් වෙනසක් සිදු විය හැකි වුවත්, එතෙක් අපේක්ෂා කළ හැකිව තිබුණේ දෙසැම්බර් මාසය තුළද මෙම ප්‍රවණතාවය තව දුරටත් එලෙසම පැවතීමයි. 

නොවැම්බර් මාසය අවසන් වන විට ලංකාවට සංචාරකයින් 2,103,593 දෙනෙකු පැමිණ තිබුණා. මීට පෙර ලංකාවට සංචාරකයින් වැඩිම ප්‍රමාණයක් පැමිණියේ 2018 වසරේදීයි. එම ප්‍රමාණය 2,333,796ක්. ආපදා බලපෑම හමුවේ වුවද, මෙම වසර අවසන් වන විට වසරක් තුළ ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ගණන වාර්තා විය හැකියි. එම ප්‍රමාණය රජයේ ඉලක්ක හා ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින්ම අඩු විය හැකි බව වෙනම කරුණක්. 

ආර්ථිකය හා අදාළව වඩා වැදගත් වන්නේ රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය නොව ඔවුන් හරහා රටට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයයි. 2018 වසරේදී සංචාරක කර්මාන්තය තුළින් ඩොලර් මිලියන 4,380.6ක විදේශ විණිමය ප්‍රමාණයක් රටට ලැබුණා. එහෙත් මෙම වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ලැබී තිබුණේ ඩොලර් මිලියන 2,659.0ක මුදලක් පමණක් බැවින් වසර අවසානයේදී මෙම ආදායම 2018 මට්ටම ආසන්නයට යාමේ ඉඩක් නැහැ. ආපදා තත්ත්වය හේතුවෙන් මෙම ආදායම කෙරෙහි තව දුරටත් නිශේධනීය බලපෑමක් සිදු විය හැකියි.

සංචාරක ආදායම් පිළිබඳ තත්ත්වය එසේ වුවද, මෙම වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් වල සැලකිය යුතු වැඩිවීමක් දකින්නට ලැබෙනවා. ආපදා තත්ත්වය හමුවේ දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් වල සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බැවින් එමගින් සංචාරක කර්මාන්තයේ ආදායම් අඩු වීම පහසුවෙන්ම නිශේධනය විය හැකියි. කෙසේ වුවද, සංචාරක කර්මාන්තයේ බලපෑම තිබෙන්නේ විදේශ අංශයට පමණක් නෙමෙයි. මූර්ත අංශයටද, එනම් ආර්ථික වර්ධනයටද, එහි බලපෑමක් තිබෙනවා.

මෙම වසරේ පළමු කාර්තු දෙක තුළ ශක්තිමත් ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි වූ අතර, තවමත් ඇස්තමේන්තු පිළියෙල කර නැතත්, තෙවන කාර්තුව තුළද සාපේක්ෂව හොඳ ආර්ථික වර්ධන වේගයක් දැකිය හැකි ලකුණු පෙනෙන්නට තිබුණා. එහෙත්, ආපදා තත්ත්වයට පෙර වුවද, සිවුවන කාර්තුව තුල ආර්ථික වර්ධන වේගය අඩු වන ලකුණු දැකිය හැකිව තිබුණා. ආපදා බලපෑම හේතුවෙන් සිවුවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය තව දුරටත් අඩු විය හැකියි.

සුළි කුණාටුවේ බලපෑම පැවතුණේ සතියක පමණක කාලයක් වුවද, එහි ආර්ථික බලපෑම මාස හයක පමණ කාලයක් පැවතිය හැකියි. ඒ අනුව, මෙම වසරේ අවසන් කාර්තුවේ සහ ලබන වසරේ මුල් කාර්තුවේ ආර්ථික වර්ධන වේග කලින් හිතුවාට වඩා අඩු වෙන්න පුළුවන්. 

කෙසේ වුවත්, මෙවැනි ස්වභාවික ආපදාවකින් රටක දිගුකාලීන ආර්ථික වර්ධන වේගය කෙරෙහි බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිසා, සමස්තයක් ලෙස ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය ලොකුවට වෙනස් වෙන එකක් නැහැ. 2026 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වුවත්, 2025 අවසන් කාර්තුවේ වර්ධන වේගය අඩු වීම යථා තත්ත්වයට පත් වෙද්දී 2026 අවසන් කාර්තුවේ වර්ධන වේගය ඊට අනුරූපව ඉහළ ගොස් එහි බලපෑම නිශේධනය වෙයි. ඒ නිසා, මෙම වසරේදී 4.0%ක පමණ ආර්ථික වර්ධන වේගයක් සහ ඉදිරි වසරේදී 3.5%ක පමණ ආර්ථික වර්ධන වේගයක් තව දුරටත් අපේක්ෂා කරන්න පුළුවන්. 

ආපදාව හේතුවෙන් ධීවර ඇතුළු කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදිතය විශාල ලෙස අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව කර්මාන්ත හා සේවා අංශ වලටද බලපෑමක් සිදු වෙන බව පැහැදිලියි. කෙසේ වුවත්, පෙර සඳහන් කළ පරිදි, මේ බලපෑම් සියල්ල කෙටිකාලීනයි. 

නොවැම්බර් මාසයේ උද්ධමන ප්‍රවණතාව දෙස බැලූ විට පෙනී යන්නේ ආපදාවට පෙරද ආර්ථික ක්‍රියාකාරිත්වය මන්දගාමී වෙමින් පැවති බවයි. මෙයට ආපදාවේ බලපෑම එකතු වූ විට, විදේශ අංශය හා අදාළ ආනයන හා අපනයන ආදියේද තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ජංගම ගිණුම් ශේෂය සෘණ අතට හැරී ඇති තත්ත්වයක් තුළ, විදේශ අංශයේ ක්‍රියාකාරකම් සමස්තයක් ලෙස අඩු වෙද්දී එයින් සිදු වන්නේ ජංගම ගිණුම් හිඟයද අඩු වීමයි. ආර්ථික ක්‍රියාකාරකම් අඩු වීම සමස්තයක් ලෙස නරක තත්ත්වයක් වුවත්, විදේශ අංශය හා අදාළව එහි බලපෑම නරක එකක් නෙමෙයි. මෙම තත්ත්වය තුළ රටට ලැබෙන ප්‍රේෂණ වල සැලකිය යුතු ඉහළ යාමක්ද අපේක්ෂා කළ හැකි බැවින් ඇතැම් විට පැවති ප්‍රවණතාව වෙනස් වී දෙසැම්බර් මාසය තුළ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වෙන්න වුනත් ඉඩ තිබෙනවා. 

මේ ආණ්ඩුවට හා ආණ්ඩු පක්ෂයට හිතවත් බොහෝ දෙනෙකු මෙම ස්වභාවික විපත රටේ (හා බලයේ සිටින පක්ෂයේ) වාසියට හරවා ගත හැකි තත්ත්වයක් සේ දකින බවක්ද පෙනී යනවා. එහි පදනම සුනාමියෙන් පසුව රටට ලැබුණු විශාල විදේශාධාර ප්‍රමාණයයි. 

විදේශාධාර එකතු කරගැනීමේ අරමුණ පෙරදැරිව ආණ්ඩු පක්ෂය විසින් ලෝකය පුරාම සංවිධානාත්මක මෙහෙයුමක් සිදු කරමින් සිටින බවක්ද පෙනෙනවා. මේ ආණ්ඩුවේ ඉන්නේ, අනෙක් දේවල් කෙසේ වුවත්, කැට හෙල්ලීම පිළිබඳව විශේෂ ප්‍රාගුණ්‍යයයක් ඇති පිරිසක්. කෙසේ වුවද, අපට කිව හැක්කේ, මෙවැනි සංවිධානාත්මක මෙහෙයුමකින් පසුව වුවද, සුනාමියේදී ලැබුණු මට්ටමේ විදේශාධාර රටට ලැබෙන්නේ නැති බවයි. 

සුනාමි ආධාර ගලා ඒමට හේතු වූයේ එම ස්වභාවික ආපදාව නිසා අහිමි වූ විශාල ජීවිත ප්‍රමාණයයි. මරණ ප්‍රමාණය තවත් එක් සංඛ්‍යාලේඛණයක් සේ සැලකීම බොහෝ දෙනෙකුට අප්‍රසන්න දෙයක් විය හැකි වුවත්, මෙම ආපදාව හා අදාළ තිත්ත ඇත්ත වන්නේ සිය ගණනින් ගැනෙන මරණ ප්‍රමාණයක කම්පනය මරණ දස දහස් ගණනක කම්පනයකට වඩා බෙහෙවින්ම අඩු බවයි. එමෙන්ම, මෙම මරණ වලක්වා ගත හැකිව තිබුණු මරණ බවට ආණ්ඩුවට එල්ල වූ චෝදනාව හමුවේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ හිතවතුන් විසින් හානිය අවතක්සේරු කිරීමට ගත් උත්සාහයන් හේතුවෙන් සිදු වූයේද ආපදාව නිසා ඇති විය හැකිව තිබුණු කම්පනය තව දුරටත් අඩු වීමයි. 

ආපදා තත්ත්වයක් හමුවේ ලෝකයෙන් ආධාර ඉල්ලීම සෑම රටක් විසින්ම කරන දෙයක් නෙමෙයි. ඇතැම් රටවල් මෙවැන්නක් සලකන්නේ රටේ ජාතික අභිමානයට බලපාන කරුණක් ලෙසයි. ඒ වගේම, රජය විසින් රටක ආපදාවක් හා ආපදා ආධාර ලෙස ලැබෙන අරමුදල් හොඳින් කළමනාකරණය කිරීම හේතුවෙන් එම රටට ලැබෙන ආධාර ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ. ඇත්තටම සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. කිසියම් රටක රජයෙන් එම කටයුතු නිසියාකාරව සිදු නොවෙද්දී එම රටේ ජනතාව කෙරෙහි වෙනත් රටවල මිනිසුන් තුළ ඇති වන සහකම්පනය ඉහළ යනවා. මේ සියලු හේතු නිසා මෙම ආපදාව පෙන්වා විදේශාධාර ලබා ගැනීමට උත්සාහ කිරීමේ ආණ්ඩුවේ හා ආණ්ඩු පක්ෂයේ අභිප්‍රාය සහ ඒ සඳහා යොදා ගන්නා ක්‍රමෝපායයන් අතර පැහැදිලි ප්‍රති විරෝධයක් තිබෙනවා.

ලෝකය පුරා සිදු කරන සංවිධානාත්මක මෙහෙයුමක් මගින් වැඩි පිරිසකගෙන් කීය කීය හෝ එකතු කර ගන්න පුළුවන්. එහෙත් සතෙන් සතෙන් එකතු කර ධනවතෙකු වීම වෙළඳ දැන්වීම් වලින් පිට ප්‍රායෝගික ලෝකය තුළ කිරීමට අසීරු දෙයක්. මෙම ආපදාව හමුවේ ඩොලර් බිලියන් ගණන් වලින් විදේශාධාර ලංකාවට ලැබෙන එකක් නැහැ. දැනට ලැබෙන ආධාර ගැන බොහෝ විට කියැවෙන්නේ වැඩිම වුනොත් ඩොලර් මිලියනයකට තරමක් වැඩි ගණන් වලිනුයි. ඒ නිසා, බොහෝ විට මෙම ආපදාව හමුවේ රටට අමතරව ලැබෙනු ඇත්තේ ඩොලර් මිලියන සිය ගණන් වලින් කියැවෙන ගණනක්. මාසයකට ඩොලර් මිලියන දෙසීයක ජංගම ගිණුම් හිඟයක් ඇති රටක ආර්ථිකයට එයින් විශාල බලපෑමක් වෙන්නේ නැහැ.

නොවැම්බර් මාසය අවසානයේදී රටේ නිල විදේශ සංචිතය පිළිබඳ තොරතුරු මහ බැංකුව විසින් මේ වන විටද ප්‍රසිද්ධ කර නැහැ. එම ප්‍රමාණය බොහෝ විට ඔක්තෝබර් මාසය අවසානයේදී පැවති ඩොලර් බිලියන 6.2 ආසන්නයේම තිබෙනවා විය හැකියි. කෙසේ වුවද, තවත් දෙසතියකින් ලංකාවට මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ලැබීමට නියමිතව ඇති අතර මෙම මාසය තුළ අනෙකුත් ජාත්‍යන්තර ආයතන වලින්ද යම් ණය ප්‍රමාණයක් ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව, ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් බැඳුම්කර විකුණා දේශීය වෙළඳපොළෙන් ඩොලර් මිලියන 50ක මුදලක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම ලැබීම් වලට, ආපදාව හමුවේ ලැබෙන යම් විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් එකතු වීම නිසා දෙසැම්බර් මාසය තුළ රටේ දළ නිල සංචිත වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වෙන්න පුළුවන්. 

පහත වගුවේ තිබෙන්නේ ඩොලර් බැඳුම්කර වෙන්දේසිය හා අදාළ සංඛ්‍යාලේඛණයි. ණය පැහැර හැරීමෙන් පසු මුල් වරට ඩොලර් වලින් කීයක් හෝ ණයට ගැනීමට හැකි වීම නරක තත්ත්වයක් නොවෙතත්, ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 50ක් වැනි සාපේක්ෂව සොච්චම් මුදලක් දේශීය වෙළඳපොළෙන් ණයට ගැනීමට හැකි වී තිබෙන්නේද සැලකිය යුතු පොලියක් යටතේයි. එක් වසර ඩොලර් බැඳුම්කර වෙනුවෙන් රජයට 5.7%ක පොලියක් ගෙවන්නට සිදු වන අතර, දෙවසරක ඩොලර් බැඳුම්කර වෙනුවෙන් 6.1%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. මේ වන විට ශ්‍රී ලංකා රජයට එක් වසර රුපියල් බැඳුම්කර වෙනුවෙන් 8%කට ආසන්න පොලියක් ගෙවන්නට සිදු වෙනවා. මේ අනුව පෙනී යන්නේ රජය විසින් ඉදිරි වසරක කාලය තුළ ඩොලරයක මිල 2.3%කින් පමණ ඉහළ යා හැකි බව උපකල්පනය කර ඇති බවයි. 

වෙබ් ලිපිනය: