විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි මාසය තුළ ඩොලර් මිලියන 751.1ක ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් රටට පැමිණ තිබෙනවා. මෙය පසුගිය වසරේ ජනවාරි මාසය එක්ක බලද්දී 31.1%ක වර්ධනයක්. ජනවාරි මාසයකදී ලැබුණු වැඩිම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය මෙය විය යුතුයි.
ජනවාරි මාසය තුළ රටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණයද 277,327ක් ලෙස වාර්තා වෙනවා. මෙයද ජනවාරි මාසයකදී පැමිණ ඇති වැඩිම සංචාරකයින් ප්‍රමාණය. ඒ වගේම එම පැමිණීම් වල පසුගිය වසර එක්ක බලද්දී 9.7%ක වර්ධනයක් දකින්න පුළුවන්. නමුත්, සංචාරක කර්මාන්තයේ ආදායම් වලනම් පසුගිය වසරට සාපේක්ෂව 5.6%ක අඩු වීමකුයි දකින්න තියෙන්නේ.
මහ බැංකුව විසින් ජනවාරි මාසය තුළ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 200.3ක් මිල දී ගෙන තිබෙනවා. ඒ අනුව, මේ වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා තියෙන්න පුළුවන්.
ජනවාරි ශ්‍රමික ප්‍රේෂණ වලද දිත්වා බලපෑම යම් තරමකින් තිබෙනවා විය හැකියි. එය එසේ නොවන්නේනම්, මෙය ඉතාම හොඳ තත්ත්වයක්. පෙබරවාරි මාසයේදී ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අනුව මේ ගැන වඩා හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි.
ආර්ථික අර්බුදයෙන් පසුව සිදු වූ විදේශගත වීම් ප්‍රමාණය සලකද්දී ශ්‍රමික ප්‍රේෂණ වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වීම අනපේක්ෂිත තත්ත්වයක් නෙමෙයි. පසුගිය වසරේ ලැබුණු මුළු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 8,076.2ක් තරම් ප්‍රමාණයක්. ජනවාරි මාසයේ 31.1%ක වර්ධනයට හේතුව දිත්වා බලපෑම කියා සැලකුවත්, මේ වර්ධනය මුළුමනින්ම දිත්වා බලපෑම සේ සලකන්න බැහැ. ඒ බලපෑම ඉවත් කළ පසු සාමාන්‍ය ඓන්ද්‍රීය වර්ධනය 11.4%ක් ලෙස සැලකුවත් මේ අවුරුද්ද ඇතුළත ඩොලර් බිලියන 9 ඉක්මවන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබීමේ විභවයක් තිබෙනවා.
ලංකාවේ විදේශ අංශය මත ශ්‍රමික ප්‍රේෂණ වල බලපෑම එන්න එන්නම වැඩි වෙමින් තිබෙනවා. මෙහි හොඳ පැත්තක් වගේම නරක පැතිත් තිබෙනවා. ශ්‍රමික ප්‍රේෂණ වැඩි වෙනවා කියන්නේ ඩොලර් සැපයුම වැඩි වී ඩොලරයක මිල පහළට තෙරපෙනවා කියන එක. එසේ වෙද්දී මහ බැංකුව විසින් ප්‍රමාණවත් මැදිහත් වීමක් කළේ නැත්නම් ඒ විදිහට රටට එන ඩොලර් ප්‍රමාණය ආනයන ලෙස නැවත රටෙන් එළියට යනවා. රටේ අපනයන අංශ ශක්තිමත් වීමක් වෙන්නේ නැහැ.
ප්‍රායෝගිකව කරන්න අමාරු වැඩක් වුනත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට එන ඩොලර් බිලියන 9ක් මහ බැංකුව විසින් අවුරුද්දකට එකතු කරගත්තොත් අවුරුදු හතරකින් රජයේ මුළු විදේශ ණය ප්‍රමාණයම ගෙවලා දමන්න වුනත් ඒ විදේශ විණිමය ප්‍රමාණය ප්‍රමාණවත්. නමුත් කාලයක් තිස්සේ මේ විදිහට රටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ බිලියන 6ක් පමණ ආනයන වෙනුවෙන් වැය කරන්න පුරුදු වී තිබෙන නිසා ඒ විදිහට රටට එන ශ්‍රමික ප්‍රේෂණ සියල්ලම මහ බැංකුවට මිල දී ගන්න බැහැ. එහෙත්, බිලියන 6ක් පමණ ආනයන වෙනුවෙන් ඉතිරි කරලා බිලියන තුනක් පමණ මිල දී ගන්න බැරිකමක් නැහැ. එසේ කිරීම මගින් වැඩි වන ශ්‍රමික ප්‍රේෂණ වල උදවුවෙන් ආනයන වැඩි වීම වලක්වා ගන්න පුළුවන්.
වැඩි වන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය මහ බැංකුව විසින් එකතු කර ගන්නවානම්, ආනයන වර්ධනය වෙන්නේ අපනයන වර්ධනය වීමට සමාන්තරවයි. ඒ මගින් ස්වභාවික ලෙසම අපනයන දිරි ගැන්වීමක් සිදු වෙනවා. එසේ නොකර, වැඩි වන ශ්‍රමික ප්‍රේෂණ ආනයන සඳහා යොදා ගත හැකි පරිදි බැංකු පද්ධතිය තුළ ඉතිරි වෙන්න ඇරියොත් එයින් වෙන්නේ අපනයන වර්ධනය සීමා වෙන එකයි. මාසයකට ඩොලර් මිලියන 250 පමණ බැගින් මිල දී ගත්තොත් මහ බැංකුවට වසර ඇතුළත ඩොලර් බිලියන 3ක් පමණ මිල දී ගෙන වසර අවසන් වෙද්දී ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණයෙන් 80%-90% වගේ මට්ටමකට ඉහළ දමාගන්න පුළුවන්.
යහපත් ලෙසට සිදු වේවා හැම දෙයම
ReplyDeleteඑතකොට ඉහළ නැංවෙයි මුළු සිරිලකම
දුරුකොට අපේ සමහරුනගෙ අමනකම
නැණ හිරු උදා වේවා දැන් හනිකටම!
@ ඉකොනොමැට්ටා
ReplyDeleteලංකාවේ Customs Import Duty ලෙස තිබූ CIF අගය මත 20% අගයට තවත් 50% ක් එකතු කරමින් ජනාධිපතිවරයා විසින් වාහන ආනයන තහනම ඉවත් කරමින් එකතු කළ නව අධිභාරය පසුගිය ජනවාරි 31 වැනි දින දක්වා වලංගු ලෙස පනවා තිබූ අතර, එම වලංගු කාල සීමාව දීර්ඝ කර ඇත.
මෙම අධිභාරයේ වලංගු කාල සීමාව ඉකුත් වී බදු අඩු වේ යැයි සමහරුන් බලාපොරොත්තුවෙන් සිටියද එය එසේ නොවන අතර මෙම අප්‍රේල් මස 1 දින සිට SSCL බද්දේ එකතු වීමත් සමග පුද්ගලික ආනයන සඳහා අදාළ වන බදු සැකැස්ම 2025 වර්ෂයට සාපේක්ෂව 2026 දී වැඩි කර ඇත. මේ බදු බර තවත් තීව්ර වීම නිසා වාහන ආනයනය සීමා වීමත් සමගම රජයට ලැබෙන බදු ආදායම තවත් පහළට ඇද වැටීම පාලනය කළ හැක්කේ කෙසේද?
"නමුත්, සංචාරක කර්මාන්තයේ ආදායම් වලනම් පසුගිය වසරට සාපේක්ෂව 5.6%ක අඩු වීමකුයි දකින්න තියෙන්නේ.."
ReplyDeleteමම ඔබගේ ලිපි වල සංචාරක ආදායම් වලනම් පසුගිය වසරට සාපේක්ෂව අඩු වීම ගැන ගොඩක් උනන්දුවෙන් පෙන්නනවා පේනවා. මේ වගේ කරුණක් ඔබ නොදැන ඉන්නවා හිතන්න බැ මොකද ඔබගේ ලිපි මම බලන්නේ වසර ගණනාවක සිට මහින්ද ආණ්ඩු කරන දවස් වල ඔබ සමහර දේවල් සුක්ෂමව අද්යනනවා කර තිබිම එක්ක බැලුවම මේක ඔබ නොදන්නවා ඉන්න බැ...ඔබගේ දේශපාලන කණ්ණාඩියේ පශ්නයක් බව මට පැහැදිලි කරුණක්...
සංචාරක ආදායම් හදන්නේ අනුපාතයක් අරගෙන එහෙම නැතුව හරියටම කියන්න බැ මේක තමා ලැබුණු ආදායම් කියල...
පසුගිය රජය පසුගිය වසර වල සංචාරක ආදායම් හැදුවේ විශේෂ හොටෙල් වල ඉන්න බොහොම පොඩි සංචාරක නියැදියක් ලබාගෙන එකේ ගොඩක් වැරදි තිබුණා. ඒ විදියට බැලුවොත් 2025 තමා වැඩිම සංචාරක අදායම.
නමුත් මෙමෙ රජය පසුගිය අනුපාතයට වැඩ ගොඩක් හොද අනුපාතයක් හැදුවා මේකෙන් අදායම අඩු උනත් කලින්ට වඩා හොද අදහසක් රජය එනවා (මේක 95% 100% නිවැරදි කියලා මම කියන්නේ නැ. මේකෙත් අඩුපාඩු තියනවා...)
නියැදිය පොඩිනම් මිනුම් වරද වැඩියි. නියැදිය වැඩි වෙද්දී මිනුම් වරද අඩු වී ඇස්තමේන්තු වඩා නිවැරදි වෙනවා. ඒ නිසා දැන් ගණන වඩා නිවැරදියි, නමුත් එයින් අදහස් වන්නේ නැහැ කලින් ප්‍රමාණය වැඩියෙන් ඇස්තමේන්තු වුනා කියලා. එම ඇස්තමේන්තු වැඩි වෙන්න වගේම අඩු වෙන්නත් පුළුවන්. ඒ වගේම, ගෙවුම් ශේෂ ගිණුම් වල රටට මොන ක්‍රමයකින් හෝ ලැබෙන හා රටෙන් යන විණිමය තුලනය වෙනවා (යම් මිනුම් වරදක් එක්ක). එතකොට ඔය පෙන්නපු ප්‍රමාණය රටට ඇවිත් නැත්නම් වෙන ක්‍රමයකින් හෝ ඇවිත් තියෙන්න ඕනෑ. නැත්නම් වියදම් කරන්න බැහැනේ.
Deleteඊකොනො ඔය කතාවේ තියෙන ආර්ථික විද්‍යාත්මක පැත්ත ගැන පොඩ්ඩක් විග්රහ කළොත්, අපිට පෙනෙන මතුපිට කතාවට වඩා යටින් ලොකු තාක්ෂණික ගැටලු ටිකක් තියෙනවා. අපි මේක හරිම සරලව, හැබැයි ගැඹුරින් බලමු.
Deleteඔයා කියන කතාවේ තර්ක කිහිපයක් තියෙනවා,
විශේෂයෙන්ම නියැදි (Sampling) සහ ගෙවුම් ශේෂය (Balance of Payments) ගැන. හැබැයි ඒ තර්ක ඇතුළේ පොඩි පරස්පරතා කිහිපයක් තියෙනවා. අපි ඒවා මෙහෙම වෙන් කරලා බලමු
නියැදිය විශාල වූ පමණින් දත්ත "අඩු වීම" සාධාරණීකරණය කළ හැකිද?
ඔයා කියනවා නියැදිය (Sample size) වැඩි වුණාම දත්ත නිවැරදි වෙනවා, ඒ නිසා ආදායම අඩු වුණා කියලා. සංඛ්‍යාලේඛන විද්‍යාවේදී නියැදිය විශාල වීමෙන් වෙන්නේ Standard Error (සම්මත දෝෂය) අඩු වීම පමණයි.වැරැද්ද නියැදිය නිවැරදි වුණාම අගය "අඩු වෙන්නම" ඕනෑ කියලා නීතියක් නැහැ. කලින් තිබුණේ වැරදි ක්‍රමවේදයක් නම්, අලුත් ක්‍රමවේදයෙන් අගය මීට වඩා වැඩි වෙන්නත් ඉඩ තිබුණා.
උදා: හිතන්න අපි වැවක ඉන්න මාළු ගණන මනින්න දැලක් දානවා කියලා. දැල ලොකු කළාම අහුවෙන මාළු ගණන වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ඒකෙන් කියවෙන්නේ දත්තයේ විශ්වාසනීයත්වය (Reliability) වැඩි වුණා මිසක්, ආදායම අඩු වීම "හරි" කියන එක නෙවෙයි.
මේදත්ත හරියට සසඳන්නේ කොහොමද? (Comparability Issue) අපි නම් ආර්ථික විද්‍යාවේදී අපි වසර දෙකක දත්ත සංසන්දනය කරද්දී (YoY Comparison), ඒ අවුරුදු දෙකේම දත්ත මැනපු ක්‍රමවේදය (Methodology) සමාන විය යුතුයි.
රජය 2024 දී එක ක්රමයකටත්, 2025 දී තවත් ක්රමයකටත් ආදායම් ගණනය කරනවා නම්, ඒ දෙක සසඳලා "5.6%ක අඩු වීමක්" තියෙනවා කියලා කියන එක විද්‍යාත්මකව සම්පූර්ණයෙන්ම වැරදියි.
ඇත්තටම කරන්න ඕනේ අලුත් ක්‍රමවේදය පාවිච්චි කරලා පරණ අවුරුද්දේ දත්තත් නැවත ගණනය කිරීමයි (Back-casting). එහෙම නැතුව ඇපල් සහ දොඩම් සසඳන්න බැහැ.
ගෙවුම් ශේෂය සහ විදේශ විනිමය ගලා ඒම (Foreign Exchange Leakages)
ඔයා කියනවා "රටට සල්ලි ඇවිත් නැත්නම් වියදම් කරන්න බැහැ, ඒ නිසා කොහෙන් හරි සල්ලි ඇවිත් ඇති" කියලා. මේක ආර්ථික විද්‍යාත්මකව හරිම භයානක තර්කයක්.
යථාර්ථය සංචාරකයන් වියදම් කරන හැම සතයක්ම ලංකාවේ බැංකු පද්ධතියට (Formal Channels) එන්නේ නැහැ.
සමහර හෝටල් වෙන් කරන්නේ විදේශීය වෙබ් අඩවි හරහා (Booking.com/Agoda). ඒ සල්ලි පිටරටදීම රැඳෙන්න පුළුවන්.
සංචාරකයන් "උණ්ඩියල්" හෝ "හවාලා" වැනි කළු කඩ ක්‍රම හරහා සල්ලි මාරු කරනවා නම්, ඒවා සංචාරක ආදායම් ලෙස වාර්තා වෙන්නේ නැහැ.
ඒ නිසා "සල්ලි කොහෙන් හරි එන්න ඕනේ" කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ සල්ලි "සංචාරක ආදායම්" විදිහටම ආවා කියලා. ඒක වෙනත් ප්‍රේෂණ හෝ ණය වෙන්නත් පුළුවන්.
මේ ප්‍රකාශය දේශපාලනිකව තමන්ගේ පැත්ත සාධාරණීකරණය කරන්න හදපු එකක් මිසක්, ශුද්ධ ආර්ථික විද්‍යාත්මක පදනමක් නෙවෙයි. නියැදිය නිවැරදි කිරීම හොඳ දෙයක්. හැබැයි ඒකෙන් දත්ත අඩුවීම සාධාරණීකරණය කරන්න බැහැ. අපි දත්ත විග්රහ කරද්දී බලන්න ඕනේ සංචාරක පැමිණීම (Arrivals) වැඩි වෙලා තියෙද්දී ඒකක ආදායම (Earnings per Tourist) අඩු වුණේ ඇයි කියලා. ඒක ක්‍රමවේදයේ ප්‍රශ්නයක්ද, නැත්නම් ඇත්තටම සංචාරකයා වියදම් කරන එක අඩු වෙලාද? එහෙමත් නැත්නම් සල්ලි බැංකු පද්ධතියෙන් පිට පාරවල් වලින් ගලාගෙන යනවාද? අන්න ඒකයි අපි හොයන්න ඕනේ ඇත්තම ප්රශ්නය. මේකට ඔයාට උත්තරයක් තියෙනවා ද?
/රජය 2024 දී එක ක්රමයකටත්, 2025 දී තවත් ක්රමයකටත් ආදායම් ගණනය කරනවා නම්, ඒ දෙක සසඳලා "5.6%ක අඩු වීමක්" තියෙනවා කියලා කියන එක විද්‍යාත්මකව සම්පූර්ණයෙන්ම වැරදියි.//
Deleteදෙකම අහඹු නියැදි සමීක්ෂණනම්, වෙනස නියැදි වල ප්‍රමාණ වල පමණක්නම්, කිසිම වැරැද්දක් නැහැ. මෙය මූලික සංඛ්‍යාන පාඨමාලාවක වුනත් උගන්වන ප්‍රාථමික කරුණක්.
//ඒක වෙනත් ප්‍රේෂණ හෝ ණය වෙන්නත් පුළුවන්.//
ඔබ කියන්නේ මේ අවුරුද්දේ පේන තරමට ප්‍රේෂණ වැඩි වෙලා නැහැ කියලද? පසුගිය අවුරුද්දේ වැඩියෙන් ප්‍රේෂණ ඇවිත් තියෙනවා කියලද?
//යථාර්ථය සංචාරකයන් වියදම් කරන හැම සතයක්ම ලංකාවේ බැංකු පද්ධතියට (Formal Channels) එන්නේ නැහැ.//
Deleteඑහෙම එන්නේ නැති කොටස සංචාරක ආදායමක් නෙමෙයි. සංචාරක ආදායම කියන්නේ රටට එන විදේශ විණිමය ප්‍රමාණය.
ඊකොනෝ මෙතන ප්‍රධාන ගැටලු 3ක් තියෙනවා
Delete1. නියැදි ප්‍රමාණය වෙනස් වීම සහ දත්ත සංසන්දනය (Sampling Error vs. Bias) කියන දේ
ඊකොනෝ කියනවා "දෙකම අහඹු නියැදි නම්, නියැදි ප්‍රමාණය විතරක් වෙනස් වීම ප්‍රශ්නයක් නෙවෙයි" කියලා. ඒක ප්‍රාථමික සංඛ්‍යාලේඛන විද්‍යාවට අනුවත් වැරදියි.
විද්‍යාත්මක පදනම තමයි නියැදියක් කුඩා වන විට එහි Margin of Error (දෝෂ සීමාව) ඉතා වැඩියි. උදාහරණයක් විදිහට, කුඩා නියැදියක දෝෂය ±10% ක් නම් සහ විශාල නියැදියක දෝෂය ±2% ක් නම්, ඔය කියන 5.6% ක වෙනස කියන්නේ නිකම්ම "නියැදි දෝෂයක්" (Statistical Noise) විතරක් වෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට හිතන්න ඉස්කෝලෙක ළමයි 10 දෙනෙක්ගෙන් අහලා "සාමාන්‍ය බර" බලනවා. ඊළඟ අවුරුද්දේ ළමයි 500ක් අරගෙන බලනවා. ඒ දෙකේ අගයන් දෙක සසඳලා "ළමයින්ගේ බර අඩු වෙලා" කියලා නිගමනය කරන්න බැහැ, මොකද මුල් මිනුමම අතිශය අස්ථිර (Unstable) එකක් නිසා.
අනෙක නියැදිය විශාල කරද්දී මනින ක්‍රමවේදය (Methodology) වෙනස් වුණොත්, ඒ දත්ත දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. ඒක හරියට අඩි රූලකින් මැනපු එකයි, මීටර් රූලකින් මැනපු එකයි සසඳනවා වගේ වැඩක්.
2. ගෙවුම් ශේෂය සහ ප්‍රේෂණ (Double Counting & Classification) ගැනත් "ප්‍රේෂණ වැඩි වෙලා නැහැ කියලද ඔයා කියන්නේ?" කියන ප්‍රශ්නයෙන් මතු කරන්නේ ඔයාගෙ ඇති නොදැනුවත්කමයි.
විද්‍යාත්මක පදනම තමයි සංචාරක ආදායම් (Tourism Receipts) සහ විදේශ ප්‍රේෂණ (Worker Remittances) කියන්නේ ගෙවුම් ශේෂ ගිණුමේ වෙනස් "අයිතම" දෙකක්. සංචාරකයෙක් කළු කඩෙන් සල්ලි මාරු කරලා, ඒ සල්ලි වෙනත් අයෙක් හරහා ප්‍රේෂණයක් විදිහට බැංකුවට ආවොත්, ඒක වාර්තා වෙන්නේ "ප්‍රේෂණ" විදිහට මිසක් "සංචාරක ආදායම්" විදිහට නෙවෙයි.
වැරැද්ද තමයි එතකොට සංචාරක කර්මාන්තය හරහා රටට ලැබුණු ඇත්තම වටිනාකම (Economic Value) යටපත් වෙලා, දත්ත විකෘති වෙනවා. සංචාරක ආදායම 5.6% කින් අඩු වුණා කියද්දී ඒක "වෙන තැනකින් ආවා" කීමෙන් සංචාරක ක්ෂේත්රයේ දත්ත නිවැරදි වෙන්නේ නැහැ.
3. සංචාරක ආදායම යනු කුමන මගූලක්ද? (Definition of Tourism Receipts)
"බැංකු පද්ධතියට එන්නේ නැති කොටස සංචාරක ආදායමක් නෙවෙයි" කියන එක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්.
විද්‍යාත්මක පදනම තමයි ලෝක සංචාරක සංවිධානය (UNWTO) සහ IMF අත්පොත්වලට අනුව, සංචාරක ආදායම (Tourism Receipts) කියන්නේ සංචාරකයෙකු විසින් අදාළ රට තුළදී භාණ්ඩ හා සේවා ලබා ගැනීමට වැය කරන මුළු මුදල කියන දේ. ඒක බැංකුව හරහා ආවත්, අතේ තියෙන ඩොලර් ටික හෝටල් අයිතිකරුට දුන්නත් ඒක ආදායමක්.
උදාහරණ ලෙස සංචාරකයෙක් හෝටලයකට ඩොලර් 100ක් දීලා ඒ හෝටල් අයිතිකරු ඒක බැංකුවට නොදා තියාගත්තොත්, ඒක සංචාරක ආදායමක් නොවී තියෙන්නේ නැහැ. ඒක වාර්තා නොවූ (Unrecorded) සංචාරක ආදායමක්.
ගැටලුව තමයි දත්ත ගණනය කරන්නේ "ඇස්තමේන්තු" (Estimates) හරහා මිසක් බැංකු රිසිට් බලලා විතරක් නෙවෙයි. බැංකු පද්ධතියට එන සල්ලි විතරක් බැලුවොත්, ඒකෙන් පෙන්වන්නේ සංචාරක ආදායම නෙවෙයි, "බැංකුගත වූ විදේශ විනිමය" විතරයි.
ඊකෝනෝ උත්සාහ කරන්නේ සංඛ්‍යාලේඛනවල ඇති තාක්ෂණික වෙනස්කම් පාවිච්චි කරලා ලංකාවේ සංචාරක ආදායමේ ඇති බරපතල අඩුවීම වහන්නයි. හැමතිස්සෙම මතක තබා ගන්න, සංඛ්‍යාලේඛන නිවැරදි කිරීම සහ ආර්ථිකයේ ඇත්තම වර්ධනය කියන්නේ දෙකක්. දත්ත මනින ක්‍රමය වෙනස් කරලා ඒක නිසා "ආදායම අඩු වුණා" කීම විද්‍යාත්මකව කොහෙත්ම සාධාරණීකරණය කරන්න බැහැ. ඇත්තටම රටේ සංචාරක ව්‍යාපාරයේ ආදායම් බරපතල ලෙස කඩා බිඳ වැටීමක් තියෙනවා. ඒකට හේතු කාරණා ගැඹුරින් අධ්‍යයනය කරලා බලන්න ඕනේ මනින විදිය වෙනස් නිසා අඩු වුණා වගේ අතේ පැලවෙන බොරු කතා කියලා ඒක වහන එකෙන් වෙන්නේ ප්රශ්නය තව දුරටත් ඔඩු දුවන එකයි. අන්තිමට වැඩේ තවත් බරපතල තත්ත්වයක් වුණාම විසඳන්න ලේසි නෑ. මේකේ බරපතල කම ගැන ආණ්ඩුවටත් කිසිම අවබෝධයක් නෑ බොරු බයිලා කියලා රවට්ටන්න හදනවා. අන්තිමට මහත් විනාශයක් පමණයි නේද සිදුවෙන්නේ?