වෙබ් ලිපිනය:

Thursday, May 22, 2025

මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි?


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික 7.75% දක්වා 0.25%කින් පහත හෙළා තිබෙනවා. මහ බැංකුවට අනුව, මේ තීරණයට ප්‍රධාන හේතු දෙකක් පාදක වී තිබෙනවා. පළමුවැන්න මහ බැංකුවේ යාවත්කාලීන කළ පුරෝකථන අනුව, අපේක්ෂිත දිගුකාලීන උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා පහත වැටී තිබීමයි. දෙවැන්න, ලෝක ආර්ථික වර්ධන පුරෝකථන පහත වැටීම හා ඒ අනුව සමස්ත ඉල්ලුමේ බාහිර සංරචකය පහත වැටී තිබීමයි. 

අප විසින් මේ තීරණය විග්‍රහ කරන්නේ ඉහත හේතු දෙක තුළ රැඳී සිටිමින් නෙමෙයි. අපගේ අදහස වනුයේ විදේශ අංශයේ ප්‍රවණතා සහ ඒ පිළිබඳව මහ බැංකුවේ අපේක්ෂාවන් වෙනස් වීම මෙන්ම ආර්ථික වර්ධන විභවය පිළිබඳ මහ බැංකුවේ පුරෝකථන මේ තීරණය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සිදු කර ඇති බවයි. 

අපගේ ඇස්තමේන්තු පරිදි, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, දැනටමත්, එනම් මෙම (2025 මැයි) මාසයේදී, අවධමන තත්ත්වය ඉවත් වී තිබිය හැකියි. එහෙත්, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ සඳහා සලකා බලන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. එම දර්ශකය අනුව, විදුලි ගාස්තු වැඩි නොකළහොත්, අගෝස්තු මාසය තෙක්ම අවධමන තත්ත්වයක් පැවතිය හැකි වුවත්, විදුලි ගාස්තු සංශෝධනයක් ඊට පෙර සිදු වීමට ඉඩ තිබෙනවා. එය සිදු වුවත් නැතත්, අගෝස්තු මාසයේ සිට උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යාමට නියමිතයි.

මේ සමඟ පළ කරන මහ බැංකුවේම පුරෝකථන අනුව, වසරක කාලයක් ඇතුළත උද්ධමනය ඉලක්ක මට්ටම වන 5% දක්වා ඉහළ යාමට නියමිතව ඇති අතර, ඉන් පසුව යම් තරමකින් 5% සීමාව ඉක්මවන බවක් පෙනී යනවා. දැන් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළද එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය කෙරෙහි බලපෑමක් ඇති වීමට වසරකට වඩා වැඩි කාලයක් යනවා. ඒ නිසා, මහ බැංකුවේ හේතු ඉදිරිපත් කිරීම් දෙකෙන් පළමුවැන්නට ශක්තිමත් පදනමක් නැහැ. එහෙත් අප එයින් අදහස් කරන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීම හේතු විරහිත ක්‍රියාවක් බව හෝ අයෝග්‍ය තීරණයක් බව නෙමෙයි. 

මූල්‍ය අරමුදල සමඟ ස්ථායීකරණ වැඩපිළිවෙල සකස් කරද්දී 2025 වසරේ පොලී අනුපාතික ඇස්තමේන්තු කර තිබුණේ 7.3% ලෙසයි. මෙම පොලී අනුපාතික 2028 වන විට ක්‍රමයෙන් 6.7% දක්වා පහත වැටෙනු ඇතැයිද ඇස්තමේන්තු කර තිබුණා. එම ඇස්තමේන්තු 5% උද්ධමන ඉලක්කය හා හොඳින් ගැලපෙනවා.

රටේ ණය තිරසාරත්ව ඉලක්ක වලට යාමටනම් පොලී අනුපාතික ඉලක්ක වලටද යා යුතුයි. ආර්ථික වර්ධනය හා උද්ධමනය ඉලක්ක වලට වඩා හොඳ මට්ටමක පැවති බැවින් ණය තිරසාරත්ව ඉලක්ක ඉක්මවා යා හැකි වුවත්, පොලී අනුපාතික අපේක්ෂිත මට්ටමට වඩා ඉහළින් පැවති බැවින් ලැබෙන්නට තිබුණු වාසියෙන් කොටසක් අහිමි වුනා. පසුගිය කාලය පුරා මහ බැංකුව විසින් පොලී අනුපාතික අඩු කර ගැනීමට උත්සාහ ගනිමින් සිටියත් එය ඒ තරම්ම පහසු වූයේ නැහැ.

පොලී අනුපාතික අඩු කර ගැනීමට බාධාවක්ව පැවතියේ මැතිවරණ ආශ්‍රිත දේශපාලන අවදානමයි. මැතිවරණ ආසන්න සති වලදී වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් විකුණා ගැනීම අපහසු වුනා. එහෙත්, මැතිවරණ අවදානම් ඉවත් වීමෙන් පසුව දැන් නැවතත් තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවා. ඒ නිසා, එක් අතෙකින්, මහ බැංකුව විසින් ගෙන තිබෙන්නේ, කාලයක් තිස්සේම ගන්නට ගන්නට අවශ්‍ය වූ, එහෙත් ගත නොහැකි වූ තීරණයක්. හැකි පළමු අවස්ථාවේදීම මහ බැංකුව විසින් එම තීරණය ගෙන තිබෙනවා. 

මේ ආණ්ඩුව විසින්ද ස්ථායීකරණ වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය රාජ්‍යමූල්‍ය විනය පවත්වා ගනිමින් සිටින අතර ඒ සඳහා ආණ්ඩුවේ කැපවීම පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මෙම කාරණයට මුල් තැන දෙමින් තමන්ගේ දේශපාලන අභිලාශ දෙවැනි තැනට දැමීමට පවා ආණ්ඩුව යොමු වී තිබෙනවා. එම තත්ත්වය තුළ, මේ වෙද්දී රාජ්‍යමූල්‍ය කළමනාකරණ අංශයෙන් ආර්ථික ස්ථායීතාවය කෙරෙහි අවදානමක් එල්ල වී නැහැ. 

ඉහත තත්ත්වය තුළ රාජ්‍ය අංශයෙන් මුදා හැරෙන අරමුදල් පෞද්ගලික අංශය වෙත සම්ප්‍රේෂණය වෙමින් තිබුණත්, එම අරමුදල් යොදා ගෙන ආයෝජන සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයෙන් අවශ්‍ය පමණ ඉල්ලුමක් ජනනය වී නැහැ. මෙයට එක් හේතුවක් වන්නේ ආර්ථික අර්බුදයේ මනෝ විද්‍යාත්මක බලපෑමයි. 2008 ආර්ථික අවපාතයෙන් පසුව ඇමරිකාවේ දැකිය හැකි වූයේද මෙවැනි තත්ත්වයක්.

පොලී අනුපාතික පහත වැටෙන්නට ඉඩ සලස්වමින් පෞද්ගලික අංශය දිරිමත් කිරීම මෙයට විසඳුමක් වුවත් මහ බැංකුව ඒ සඳහා මැලිව සිටියේ එමගින් ආනයන ඉල්ලුම සීමා ඉක්මවා ගොස් විදේශ අංශය අස්ථාවර වීමේ අවදානම ගැන සැලකිලිමත් විය යුතු බැවිනුයි. එය නිවැරදි තීරණයක්.

විදේශ අංශය හා අදාළව පැවති විශාලතම අවදානම වූයේ එම අංශය තුලනය වී පැවතුනේ ආනයන සීමාවන්ට යටත්ව වීමයි. නමුත් වාහන ආනයනයට නැවත ඉඩ සැලසීමෙන් පසුව තව දුරටත් මෙවැනි තත්ත්වයක් නැහැ. එමෙන්ම, වාහන ආනයනයට ඉඩ දීමෙන් පසුව විදේශ අංශය අස්ථාවර වීම තබා දැනෙන බලපෑමක් හෝ සිදු වූයේ නැහැ.

මහ බැංකු අධිපතිට අනුව, මේ වන විට ඩොලර් මිලියන 200ක පමණ වාහන ආනයනය කර ඇති අතර තවත් ඩොලර් මිලියන 250ක පමණ වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර තිබෙනවා. ඒ වාහන ටිකත් ඉදිරියේදී ලංකාවට එයි. අවුරුද්දේ ඉතිරි මාස හත ඇතුළත තවත් ඩොලර් මිලියන 250ක වාහන රටට ආවොත් එකතුව ඩොලර් මිලියන 750ක පමණ වාහන ප්‍රමාණයක්. ඔය වාහන වලින් 200%ක බදු ප්‍රමාණයක් එකතු වුනත්, රුපියල් බිලියන 450ක පමණ බදු ආදායමක්. ඒ අනුව, අවිනිශ්චිතතාවයන් පැවතියත්, රාජ්‍ය ආදායම් ඉලක්කයට යන්න ඒ තරම්ම අමාරු බවක් පෙනෙන්න නැහැ.

අනෙක් අතට මහ බැංකුව විදේශ අංශය පිළිබඳව සැලසුම් කර තිබුණේ ඩොලර් බිලියනයක වාහන රටට ආවත් අස්ථාවරත්වයක් ඇති නොවන විදිහටයි. වාහන ආනයන ඒ මට්ටමට යන බවක් පෙනෙන්න නැහැ. වාහන ආනයන හා අදාළව රජයේ හා මහ බැංකුවේ පුරෝකථන සෑහෙන දුරකට නිවැරදි බවයි පෙනෙන්න තියෙන්නේ. 

දැනට තාවකාලිකව අත් හිටවා තිබුණත්, ට්‍රම්ප් බද්ද නිසා යම් අවිනිශ්චිතතාවයක් ඇති වී තිබෙනවා. නමුත් මේ බදු වල ප්‍රධාන ඉලක්කය වූ චීනය සමඟ යම් සම්මුතියක් ඇති වී තිබෙන තත්ත්වය තුළ බද්දේ යම් සැර බාලවීමක් සිදු වෙන්න බැරිකමක් නැහැ. ඒ ගැන නිශ්චිතව කියන්න කල් වැඩි වුනත්, සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ වල යහපත් වර්ධනයන් එක්ක මේ අවුරුද්දේ එක දිගට තුන්වෙනි වරටත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වීමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළත්, ආර්ථික අර්බුදය වෙලාවේ ලබා ගත් චීන මුදල් හුවමාරු ණය සහ ඉන්දියානු ණය එහිදී සැලකිල්ලට ගත්තේ නැහැ. මේ රටවල් දෙකට ගෙවිය යුතු ණය මහ බැංකුවේ ශේෂ පත්‍රයේ තිබෙනවා. ජනාධිපති දිසානායක චීනයේ සංචාරය කිරීමට සමගාමීව චීන මුදල් හුවමාරු ණය අලුත් කිරීමක්ද සිදු වුනා. මෑතකදී ඉන්දියානු එක්සිම් බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්ද සිදු වුනා. එම ණය සහ මහ බැංකුව විසින් ගෙවිය යුතු ආසියානු නිෂ්කාශන සංගමයේ නොගෙවූ ණය අතර සම්බන්ධයක් තියෙනවද කියන එක හරියටම පැහැදිලි නැතත්, සමස්තයක් ලෙස ඉන්දියානු හා චීන ණය ආපසු ගෙවන්න ලොකු හදිසියක් නැති තත්ත්වයක් ඇති වී තිබෙන නිසා මහ බැංකුවට සංචිත ඉලක්ක වලට යන එකත් ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. මේ තත්ත්වයන් එක්ක, වාහන ආනයන සිදු වීම හමුවේ වුවත්, විණිමය අනුපාතය මත පීඩනයක් නැති තරම්. 

රාජ්‍යමූල්‍ය අංශයේ හෝ විදේශ අංශයේ අවදානමක් නැහැ කියා කියන්නේ මූර්ත අංශය ගැන වැඩි අවධානයක් යොදවන්න හැකියාවක් තිබෙනවා කියන එක. ගෙවුණු අවුරුද්දේ ආර්ථිකය ඇස්තමේන්තු ඉක්මවා වර්ධනය වුනා. නමුත් ඒ තත්ත්වය ඒ විදිහටම දිගටම පවතින්න විශේෂ හේතුවක් නැති නිසා, මේ අවුරුද්දේ ආර්ථික වර්ධනය පහත වැටෙන්නයි ගොඩක් ඉඩ තියෙන්නේ. පුරෝකථන හැම විටම නිවැරදි නොවුනත්, පුරෝකථන වලින් පෙනෙන්නෙත් ඒ තත්ත්වය.

රාජ්‍යමූල්‍ය අංශයේ හෝ විදේශ අංශයේ අවදානම් පාලනය වී ඇත්නම්, උද්ධමන අවදානමකුත් ළඟපාතක පෙනෙන්න නැත්නම්, මහ බැංකුවකට ආර්ථික වර්ධනයට යම් තල්ලුවක් දෙන එක ගැන හිතන්න අවකාශයක් ලැබෙනවා. පොලී අනුපාතික පහත හෙලීම මගින් ඒ සඳහා උදවුවක් කළ හැකියි. 

කාලයක් ඒ සඳහා සුදුසු මූල්‍ය වෙළඳපොළ තත්වයක් නොතිබුණත්, ඊයේ (මැයි 21) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ඉදිරිපත් කළ රුපියල් බිලියන 157.5ක බිල්පත් ප්‍රමාණය පැවති පොලී අනුපාතික වලටම හෝ ඊටත් අඩුවෙන් විකිණී තිබෙනවා. ඊට අමතරව, වෙන්දේසියේදී නිර්ණය වූ පොලී අනුපාතික වලටම තවත් රුපියල් බිලියන 15.75ක බිල්පත් විකුණා තිබෙනවා. ඒ අනුව පෙනෙන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීම මගින් වෙළඳපොළ පොලී අනුපාතිකද අනුරූපව අඩු කරගත හැකි මූල්‍ය වෙළඳපොළ තත්ත්වයක් නැවතත් ඇති වී තිබෙන බවයි. මහ බැංකුව විසින් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තිබෙනවා.

Monday, May 19, 2025

රාජ්‍යමූල්‍ය කළමනාකරණය - 2025 පළමු කාර්තුව


වසරේ පළමු කාර්තුවේ රාජ්‍ය අයවැය පිළිබඳ මූලික සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව, වසරේ පළමු මාස තුන ඇතුළත සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,067.4ක් වන අතර එයින් බදු ආදායම රුපියල් බිලියන 985.88ක්. 

මෙම වසර සඳහා අයවැය ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 4,590ක් වන අතර, මුළු ආදායම රුපියල් බිලියන 4,990ක්. මේ අනුව, පළමු මාස තුනක කාලය ඇතුළත එකතු වී තිබෙන්නේ අවශ්‍ය ප්‍රමාණයෙන් පිළිවෙලින් 21.5%ක් හා 21.4%ක් පමණයි. 

අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීමේදී එක් එක් කාර්තුව සඳහා වෙන වෙනම ඇස්තමේන්තු ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වගේම, වසර තුළ එකතු වන රාජ්‍ය ආදායම එක් එක් කාර්තුව තුළ සමානව එකතු වන්නක්ද නෙමෙයි. එහෙත්, අපට පෙර (2024) වසරේ මුල් කාර්තුව තුළ එකතු වූ ආදායම් ප්‍රතිශත සමඟ මෙම ගණන් සසඳා බැලිය හැකියි.

පසුගිය වසර තුළ එකතු වූ රාජ්‍ය ආදායමෙන් 22.4%ක්ද, බදු ආදායමෙන් 22.6%ක්ද එකතු වූයේ පළමු කාර්තුව ඇතුළතයි. එම අනුපාත සැලකුවහොත්, වර්ෂාවසාන ඉලක්ක වලට යාම පිණිස, මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 1,137.5ක පමණ බදු ආදායමක් සහ රුපියල් බිලියන 1,117.6ක සමස්ත ආදායමක් එකතු කරගන්නට සිදු වෙනවා. එකතු වී ඇති බදු ආදායම එම ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 51.7කින් අඩුයි. 

මෙම ප්‍රවණතාව මේ අයුරින්ම ඉදිරියට ප්‍රක්ෂේපණය කළහොත්, වසර අවසන් වන විට, බදු ආදායම අපේක්ෂිත ඉලක්කයට වඩා රුපියල් බිලියන 228.6කින් පමණ අඩු මට්ටමකට සීමා වීමට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, වාහන ආනයනය සඳහා පැවති සීමාවන් ඉවත් වූයේ පළමු කාර්තුව මැදදී යන්නද අපට මෙහිදී සැලකිල්ලට ගන්නට සිදු වෙනවා. ඒ නිසා, පළමු කාර්තුවට සාපේක්ෂව ඉතිරි කාර්තු තුන ඇතුළත වාහන හා අදාළ බදු වලින් යම් ආදායම් වැඩි වීමක් සිදු විය හැකි වුවත්, පළමු කාර්තුව තුළ එක වර වාහන වැඩි ප්‍රමාණයක් ගෙන්වීමේ බලපෑමද තිබිය හැකි නිසා, මෙම අපේක්ෂිත වැඩි වීම කෙරෙහි නිශේධනාත්මක බලපෑමක් සිදු වීමේ ඉඩක්ද තිබෙනවා. මේ ගැන වැඩිමනත් යමක් නිශ්චිතව කිව හැක්කේ වාහන ආනයනය පිළිබඳ දත්ත පරිශීලනය කරන්නට ඉඩක් ලැබීමෙන් පසුවයි. 

ආදායම් අඩු වීම හමුවේ, රජය විසින් පසුගිය දෙවසර තුළද කළ පරිදි, වියදම් සීමා කිරීම මගින් ප්‍රාථමික අයවැය අතිරික්තය අවශ්‍ය මට්ටමේ පවත්වා ගෙන ගොස් තිබෙනවා. පළමු මාස තුන තුළ පොලී ගෙවීම් හැර රාජ්‍ය වියදම රුපියල් බිලියන 669.92කට සීමා වී ඇති අතර එම ප්‍රමාණය වසරේ ඇස්තමේන්තුගත වියදමෙන් 15.6%ක් පමණයි. පසුගිය වසරේ පොලී වියදම් හැර අනෙකුත් වියදම් වලින් 17.4%ක්ම පළමු කාර්තුව තුළ වියදම් වී තිබීම සැළකු විට මෙහි වියදම් සීමා කිරීමක් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. 

කෙසේ වුවත්, ඉහත සඳහන් වියදම් සීමා කිරීමසිදු කර තිබෙන්නේ විශාල වශයෙන් ප්‍රාග්ධන වියදම් සීමා කිරීම මගිනුයි. පුනරාවර්තන වියදම් වල එවැනි සීමා වීමක් පෙනෙන්නට නැහැ. 

පසුගිය වසරේ පොලී ගෙවීම් හැර අනෙකුත් පුනර්වර්තන වියදම් වලින් 18.4%ක් පළමු කාර්තුව තුළ සිදු වූ අතර, මෙම වසරේ පළමු කාර්තුව තුළ අපේක්ෂිත වාර්ෂික සීමාවෙන් 20.0%ක්ම වියදම් කර තිබෙනවා. මෙවැන්නක් සිදුව තිබෙන්නේ වැටුප් වැඩි වීමේ බලපෑම එකතු වන්නට පෙරයි. ඒ නිසා, ඉදිරි කාර්තු වලදී මේ ප්‍රශ්නය තව දුරටත් උග්‍ර වීමට ඉඩ තිබෙනවා.

පළමු කාර්තුව තුළ අයවැය තුලනය කරගෙන තිබෙන්නේ ප්‍රාග්ධන වියදම් විශාල ලෙස සීමා කිරීම මගිනුයි. මෙය වෙනත් වසර වලදීද සිදු වූ දෙයක් වුවත්, පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව වුවද ප්‍රාග්ධන වියදම් වල 27.4%ක විශාල අඩු වීමක් දකින්නට ලැබෙනවා. එමෙන්ම, කාර්තුව තුළ සිදු කර තිබෙන්නේ වසරේ අපේක්ෂිත ප්‍රාග්ධන වියදම් වලින් 6.2%ක සොච්චමක් පමණයි. මේ අනුව පෙනී යන්නේ ආර්ථිකයේ විවිධ අංශ වෙනුවෙන් අයවැයෙන් ප්‍රාග්ධන වියදම් වෙන් කළද, එම අරමුදල් ලබා දීමක් සිදුව නොමැති බවයි. 

රාජ්‍ය ආදායම් ඉලක්ක වලට යා නොහැකිනම් අනිවාර්යයෙන්ම වියදම් සීමා කරන්නට සිදු වෙනවා. එහෙත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වැනි තීරණ ගැනීමෙන් පසුව පුනරාවර්තන වියදම් අඩු කිරීම පහසු කටයුත්තක් නොවන බැවින් කපා හරින්නට සිදු වන්නේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කර ඇති අරමුදල් ප්‍රමාණයයි. මේ මගින් කෙටිකාලීනව ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීමට උදවු කෙරෙන නමුත් එහි අහිතකර බලපෑම් මැදි හා දිගුකාලීනව ආර්ථික වර්ධන වේගය තුළ නිරූපණය විය හැකියි. 

ඊට අමතරව ආණ්ඩුවට මෙහි දේශපාලන බලපෑමක්ද තිබෙනවා. අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පැවසුවේ මෙම අයවැය ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම අරමුදල් ප්‍රමාණයක් වෙන් කරන අයවැයක් බවයි. එහෙත්, දැන් ඇත්තටම සිදු වී තිබෙන්නේ රට නරකම ආර්ථික අර්බුදයක පැවති කාලයට සාපේක්ෂව වුවද ප්‍රාග්ධන වියදම් සීමා වී තිබීමයි. 

පුද්ගල ආදායම් බදු සීමා ඉහළ නැංවීම සහ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වැනි බදු ආදායම් අඩු වන සහ පුනරාවර්තන වියදම් වැඩි කෙරෙන ක්‍රියාමාර්ග පසුගිය අයවැයෙන් දැනටමත් ගෙන අවසන් නිසා දැන් ඒ හා අදාළව කළ හැක්කක් නැහැ. එහෙත්, අයවැයෙන් ඉලක්ක කළ බදු ආදායම් අපේක්ෂිත පරිදි එකතු කර ගැනීමට සහ මෙම ආණ්ඩුව බලයට පත් වීමට පෙර විශාල බරක් තබමින් අවධාරණය කළ ගෙවා නොමැති බදු වඩා ඉක්මණින් හා කාර්යක්ෂම ලෙස එකතු කරගැනීමට කටයුතු කර ගනිමින් රාජ්‍ය ආදායම් අඩු වීමේ අවදානම ඉවත් කර ගතහොත්, අයවැයෙන් වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම් විශාල ලෙස කප්පාදු කරන්නට සිදු වීමේ අවදානම මග හැර ගත හැකියි. 

කෙසේ වුවත් අවසාන වශයෙන් පසුගිය වසරේ පළමු මාස තුන තුළ පැවති මට්ටමද ඉක්මවන රුපියල් බිලියන 397.47ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී ඇති අතර, එහි උදවුවෙන් සමස්ත අයවැය හිඟයද අඩු වී තිබෙනවා. ඒ නිසා, අරමුදලේ වාරිකය ලබා ගැනීමේදී රාජ්‍යමූල්‍ය තුලනය පිළිබඳව ප්‍රශ්නයක් මතු වන එකක් නැහැ. අනෙක් පැත්තෙන් ඉන්දියාවේ වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සහ ඊට පෙරම චීන මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමේ කාලය දිගු කර ගැනීම නිසා විදේශ අංශය තුළ යම් කාලයකට හුස්ම ගැනීමේ ඉඩක් ඉතිරිව තිබෙනවා.

Sunday, May 18, 2025

අදට දහයකි!

 


ඉකොනොමැට්ටා බිහි වී අදට අවුරුදු දහයක් වෙනවා. මේ කාලය පුරා අප සමඟ රැඳී සිටි ඔබ සැමට ස්තුතියි!

Saturday, May 17, 2025

ලංවිම - ලංවීම හා දුරස්වීම


ලංවිම නැවතත් පාඩු ලබන තත්ත්වයට පත් වී ඇති බව නැවත සටහන් කළ යුතු නැහැ. මේ ගැන කිහිප දෙනෙකු විසින්ම දැනටමත් කතා කර තිබෙනවා. මේ සටහන එසේ වෙනත් අය විසින් ලියා ඇති දේවල් වලට ඌණ පූරණයක්.

ලංවිම කියන්නේ කාලයක් තිස්සේ දිගින් දිගටම පාඩු ලැබූ ආයතනයක්. 2023 වසරේදී රුපියල් බිලියන 57.6ක ලාබයක් වාර්තා කරන්නට පෙර ලංවිම විසින් අවසන් වරට ලාබ ලැබුවේ 2015 වර්ෂයේදීයි. ඉන් පසුව, දිගින් දිගටම වසරින් වසර පාඩු වාර්තා වුනා. 2022 වසරේ අලාභය පමණක් රුපියල් බිලියන 298.2ක් වූ අතර, ඒ සමඟම ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 602.9 දක්වා ඉහළ ගියා. 

මෙහිදී අප ලාබ සේ හඳුන්වන්නේ ගිණුම්කරණ ලාබ මිස ආර්ථික ලාබ නෙමෙයි. ගිණුම්කරණ ලාබ හැම විටම ආර්ථික ලාබ වන්නේ නැහැ. ගිණුම්කරණ ලාබ ආර්ථික ලාබ වන්නේ ප්‍රාග්ධනයේ පිරිවැයද ආවරණය කිරීමට තරම් එම ගිණුම්කරණ ලාබ ප්‍රමාණවත් වන්නේනම් පමණයි. උදාහරණයක් ලෙස, 2023ට පෙර ලංවිම විසින් අවසන් වරට ලාබ ලැබූ 2015දී ලැබූ ගිණුම්කරණ ලාබය ඒ වන විට එහි යොදවා තිබූ පොදු අරමුදල් ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 5.1%ක් පමණයි. නමුත් එම වසරේදී රජය විසින් භාණ්ඩාගාර බිල්පත් ණය සඳහා 7.30%ක පොලියක් ගෙවුවා. එයින් අදහස් වන්නේ එම වසර තුළදී වුවද, ලංවිම විසින් ආර්ථික ලාබ නොලැබූ බවයි. ඇත්තටම වුනේ පාඩුවෙන් කොටසක් වෙනත් තැනක සටහන් වීමයි. 

2022 අවසාන වන විට ලංවිම තුළ ආයෝජනය කර තිබුණු පොදු අරමුදල් ප්‍රමාණය රුපියල් බිලියන 865.2ක්. මේවා එක්කෝ දැනටමත් ගෙවා ඇති බදු මුදල්. එසේ නැත්නම් පොලියද සමඟ අනාගතයේදී බදුගෙවන්නන්ට ගෙවන්නට සිදු වන මුදල්. ලංවිම විසින් මෙම අරමුදල් වෙනුවෙන් බදු ගෙවන්නන්ට එක සතයක හෝ ප්‍රතිලාභයක් උපයා දී තිබුණේ නැහැ. ඇත්තටම සිදු වී තිබුණේ මෙසේ යෙදවූ ප්‍රාග්ධනයෙන් රුපියල් බිලියන 602.9ක්ම ලංවිම විසින් නැති කර දැමීමයි. මෙසේ නැති කරගත් මුදල් බදුගෙවන්නන් වෙනුවෙන් ලංවිමටම කවදා හෝ උපයාගන්නට සිදු වෙනවා.

රුපියල් බිලියන 57.6ක ගිණුම්කරණ ලාබයක් ඉපයූවද, ව්‍යාපාරික කටයුතු කරගෙන යාම සඳහා 2023 වසර තුළ  ලංවීමට තවත් රුපියල් බිලියන 126.3ක පොදු අරමුදල් ප්‍රමාණයක් පොම්ප කරනු ලැබුවා. ඒ අනුව, ලංවිම තුළ පොදු අරමුදල් ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 991.4 දක්වා ඉහළ ගියා. පසුගිය (2024) වසරේදී රුපියල් බිලියන 148.6ක ලාබයක් ලැබීමෙන් පසුවද, තවමත් එහි ආයෝජනය කර ඇති පොදු අරමුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 991.4 නැවත ගොඩ නගාගන්නට ලංවිම විසින් සමත්ව නැහැ. 2024 අවසාන වන විටද ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 402.6ක් වුනා. 

දැන්, මෙම (2025) වසරේ පළමු කාර්තුවේදී ලංවිම විසින් නැවතත් රුපියල් බිලියන 18.5ක පාඩුවක් වාර්තා කරන්නේ මෙවැනි පසුබිමකයි. ඒ අනුව, රුපියල් බිලියන 602.9 මට්ටමේ තිබී, පසුව රුපියල් බිලියන 402.6 දක්වා පහත වැටී තිබුණු, ලංවිම සමුච්ඡිත අලාබය රුපියල් බිලියන 421.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ලංවිම නැවතත් පාඩු ලබන තත්ත්වයට පත් වීමට ප්‍රධානම හේතුව එහි දළ අලාබය හෙවත් විදුලිය විකුණා ලබා ඇති ආදායම සහ විදුලිය නිපදවීමේ පිරිවැය අතර ඇති වෙනසයි. මෙම දළ අලාබය (රුපියල් බිලියන 18.2) එහි සමස්ත අලාබයට (රුපියල් බිලියන 18.5) ආසන්නව සමානයි. 

2025 පළමු කාර්තුව 

විදුලිය විකුණා ලැබූ ආදායම - රුපියල් බිලියන 93.9

නිෂ්පාදන වියදම - රුපියල් බිලියන 112.1

දළ අලාබය - රුපියල් බිලියන (-18.2)

අපට මෙම තත්ත්වය 2024 පළමු කාර්තුව හා සැසඳිය හැකියි. ගිණුම් වාර්තා වලද කාර්තුවක මූල්‍ය තත්ත්වය සසඳන්නේ පෙර වසරේ අදාළ කාර්තුව තුළ පැවති තත්ත්වය සමඟයි.

2024 පළමු කාර්තුව 

විදුලිය විකුණා ලැබූ ආදායම - රුපියල් බිලියන 167.8

නිෂ්පාදන වියදම - රුපියල් බිලියන 105.0

දළ ලාබය - රුපියල් බිලියන 62.8

මූල්‍ය වාර්තා වලම සඳහන්ව ඇති පරිදි, පිරිවැය 6.8%කින් ඉහළ ගොස් ඇති අතර ආදායම 44.0%කින් පහත වැටීමේ ප්‍රතිඵලයක් ලෙස ලංවිම නැවතත් ගිණුම්කරණ අලාබ ලබන තත්ත්වයට පත් වී තිබෙනවා. 

මෙහි "කාමරයේ සිටින අලියා" විදුලි ගාස්තු අඩු කිරීම බව ඉතාම පැහැදිලි කරුණක්. නමුත් ඒ ගැන කතා කරන්නට පෙර අපි පිරිවැය කොටස ගැන විමසා බලමු. 

ආයතනයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතු දෙකක් නිසා සිදු විය හැකියි. පළමුවැන්න ඒකක පිරිවැය ඉහළ යාමයි. දෙවැන්න නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය ඉහළ යාමයි. සාමාන්‍යයෙන් වසරෙන් වසර ලංවිම නිෂ්පාදනය ඉහළ යන නිසාත්, පිරිවැය ඉහළ යාම 6.8%ක් පමණක් නිසාත් මේ කරුණ වැදගත්. 

මෙම වසරේ පළමු කාර්තුව තුළ ලංවිම විදුලි ඒකක අලෙවිය පිළිබඳව හරියටම නිවැරදි තොරතුරු සොයා ගැනීමට හැකි වූයේ නැහැ. මහජන උපයෝගීතා කොමිසමේ වෙබ් අඩවියේ ඇති දෛනික ජනන දත්ත වාර්තා අනුව, 2024 පළමු කාර්තුව තුළ ලංවිම විසින් විදුලිය ගිගාවොට් පැය 3,833.71ක් ජනනය කර ඇති අතර 2025 පළමු කාර්තුව ඇතුළත වීදුලිය ගිගාවොට් පැය 3,832.42ක් ජනනය කර තිබෙනවා. මෙම ගණන් ආසන්නව සමානයි. වසර තුළ විදුලි ජනනය ඉහළ ගොස් තිබෙන්නේ 0.2%කින් පමණයි.

සාමාන්‍ය කරුණක් ලෙස අලෙවි කරන විදුලි ඒකක ප්‍රමාණය ජනනය කරන ප්‍රමාණයට සමානුපාතික විය යුතුයි. මෙම ජනන වාර්තා අසම්පූර්ණ විය හැකි වුවත්, ඒවා මත පදනම්ව නිගමනය කළ හැක්කේ ලංවිම විසින් අලෙවි කර ඇති විදුලි ඒකක ප්‍රමාණයෙහි සැලකිය යුතු වෙනසක් සිදු වී නොමැති බවයි. ඒ අනුව, සිදුව ඇති බව පෙනෙන්නේ ඒකක පිරිවැය 6.6%කින් පමණ ඉහළ යාමයි. ඊට හේතු මොනවාද කියා මා විසින් විශ්ලේෂණය කර නැහැ. 

අලෙවි කළ විදුලි ඒකක ප්‍රමාණයේ වෙනසක් දැකිය නොහැකි නිසා ආදායම පහත වැටීමට හේතුව තනිකරම මෙන් ඒකක මිල පහත වැටීම බව පැහැදිලියි. මෙසේ මිල පහත වැටීම එකවර සිදු වූ දෙයක් නෙමෙයි. 

පසුගිය වසරේ මාර්තු මාසයේදී (2024 මාර්තු 5 සිට) විදුලි ගාස්තු 21.9%කින් පහත දමනු ලැබූ අතර, ඉන් පසුව, 2024 ජූලි 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් 22.5%කින් පහත හෙළනු ලැබුවා. ඉන් පසුව, මෙම වසරේ ජනවාරි මාසයේ සිට (2025 ජනවාරි 17) තවත් 20%කින් විදුලි ගාස්තු අඩු කරනු ලැබුවා. 

පසුගිය වසරේ පළමු කාර්තුව තුළ ලංවිම විසින් සැලකිය යුතු ආදායමක් ලබන්නේ ඉහත පළමු ගාස්තු අඩු කිරීම සිදුව තිබියදී වුවත්, එම ගාස්තු වැඩි වීම සිදු වන්නේ මාර්තු මාසයේදී බැවින් එයින් මණ්ඩලයේ ආදායමට සිදු වන බලපෑම 6.3%ක් පමණයි. ඉතිරි 15.6% ආදායම කෙරෙහි බලපාන්නේ ඉන් පසුවයි. 2024 පළමු කාර්තුවේදී ලැබු රුපියල් බිලියන 167.8ක ආදායමෙන් 15.6%ක් අඩු වූ විට එය රුපියල් බිලියන 141.6ක් වෙනවා. එයින් තවත් 22.5%ක් අඩු වූ විට මෙම ආදායම රුපියල් බිලියන 109.8 දක්වා පහත වැටෙනවා. 

ඒ අනුව, මෙම වසරේ ජනවාරි වන විට පැවතුණේ විදුලිය නිපදවීමේ පිරිවැය 6.6%කින් ඉහළ යාමෙන් පසුවද එම පිරිවැය ආවරණය කරගෙන දළ ලාබයක් ලැබිය හැකි තත්ත්වයක්. ලංවිම පාඩු ලබන තැනට වැටෙන්නේ ජනවාරි මාසයේදී සිදු කළ 20%ක ගාස්තු සංශෝධනය හේතුවෙනුයි. මෙය ඒ තරම්ම සංකීර්ණ නැති, සරල අංක ගණිතයක්.

මෙම වසරේ පළමු කාර්තුවේ අලාබය තුළද ගාස්තු අඩු කිරීම මුළුමනින්ම නිරූපණය වී නැහැ. එහි තිබෙන්නේ 16.3%ක බලපෑමක් පමණයි, ඉතිරි 3.7% බලපානු ඇත්තේ දෙවන කාර්තුවේදීයි. ඉහත සඳහන් රුපියල් බිලියන 109.8 ඇස්තමේන්තුවෙන් 16.3%ක් අඩු කර, 0.2% නිෂ්පාදන වර්ධනයද සැලකූ විට ලැබෙන පිළිතුර රුපියල් බිලියන 92.1ක්. 2024 පළමු කාර්තුව තුළ ලංවිම විසින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 93.9ක්. විවිධ කාණ්ඩ වල මිල අඩු වීම් වෙනවෙනම නොසලකා දළ ගණනයක් කිරීමෙන් පසුවද මේ ඇස්තමේන්තු ඉතාම ආසන්නයි. මේ අනුව, මේ අයුරින් ලංවිම නැවත පාඩු ලබන තත්ත්වයට පත් වීම අවසන් ගාස්තු අඩු කිරීම සිදු කරද්දී සරල අංක ගණිතය ඇසුරෙන් වුවද දැනගත හැකිව තිබූ කරුණක්. 

දෙවන කාර්තුව තුළ ලංවිම ආදායම් තවත් 3.7%කින් අඩු වනු ඇති අතර (අනෙකුත් සාධක නොවෙනස්ව ඇති තත්ත්වයක් යටතේ) ලංවිම අලාබය බොහෝ විට මීටත් වඩා වැඩි විය හැකියි. එම අලාභය රුපියල් බිලියන 20ක් පමණ වනු ඇතැයි සැලකුවහොත්, දෙවන කාර්තුව අවසන් වෙද්දී ලංවිම සමුච්ඡිත අලාබය රුපියල් බිලියන 440 පමණ දක්වා ඉහළ යනවා. මෙය සක්කරයාගේ පුතා වයිමාටවත් වැළැක්විය නොහැකි දෙයක්!

ලංවිම විසින් 18.3%ක ගාස්තු වැඩි කිරීමක් යෝජනා කර තිබෙන බව වාර්තා වී තිබෙනවා. එවැනි වැඩි කිරීමක් සිදු කළද, දළ ලාබය පවතිනු ඇත්තේ සෘණ පැත්තේම තමයි. දළ ලාබය ශුන්‍ය කර ගැනීම සඳහා පමණක් 24.0%ක පමණ ගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නට වෙනවා. එසේ නොකළහොත්, යම් ආකාරයකින් නිෂ්පාදන පිරිවැය අඩු වුයේද නැත්නම්, මෙම වසරේ තෙවන කාර්තුවේදීද ලංවිම විසින් ගිණුම්කරණ අලාබයක් වාර්තා කිරීමට නියමිතයි. 

ආයෝජනය කර ඇති පොදු අරමුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 991.4 සැලකූ විට, වත්මන් එක් වසර භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය යටතේ වුවද, රුපියල් බිලියන 80ක පමණ වාර්ෂික ගිණුම්කරණ ලාබයක් ඉපැයුවේ නැත්නම් එම ලාබය පිරිවැය ආවරණය කරන ලාබයක් සේ සැලකීමේ හැකියාවක් නැහැ. එවැන්නක් සිදු වන තුරු ලංවිම ලාබ-පාඩු තුලනය කරා ලංවීමේ ඉඩක් නැහැ. 

ලංවිම කාලයකට පසු, පසුගිය දෙවසර තුළ, ලාබ-පාඩු තුලනය කරා ලංවෙමින් සිටියා. එහෙත් දැන් නැවතත් ලාබ-පාඩු තුලනයෙන් දුරස් වෙන්න පටන් අරන්.

Tuesday, May 13, 2025

ආජන්ටිනාව තවත් IMF ගිවිසුමකට!


සති කිහිපයකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් ආජන්ටිනාවට ඩොලර් බිලියන 20ක තවත් ණය මුදලක් අනුමත කළා. මෙය ආජන්ටිනාව විසින් මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගන්නා 23 වන අවස්ථාවයි. එමෙන්ම මූල්‍ය අරමුදලේ ලොකුම ණයකරු වන්නේද ආජන්ටිනාවයි. 

අරමුදලේ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 12ක්ම ක්ෂණිකව ආජන්ටිනාවට ලැබෙන අතර, තවත් ඩොලර් බිලියන දෙකක සහ ඩොලර් බිලියනයක වාරික දෙකක් මෙම වසර ඇතුළත ලැබීමට නියමිතයි. ඩොලර් බිලියන 20ක මෙම ණය මුදල අනුමත වන විට, ආජන්ටිනාව විසින් 2022 වසරේදී ලබාගත් ඩොලර් බිලියන 31.1ක ණය මුදලක්ද ආජන්ටිනාව විසින් අරමුදලට ගෙවිය යුතුව තිබුණා. මෙම ණය මුදල ඉල්ලා සිටීම සහ එය අනුමත වීම වාර්තාගත කෙටි කාලයක් තුළ සිදු වී තිබෙනවා. 

ලංකාවට මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙද්දී ඒ සමඟම ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන්ද ණය ලැබුණු පරිදි, මූල්‍ය අරමුදලේ මෙම ණය මුදල ලැබෙද්දී ආජන්ටිනාවට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 12ක් සහ අන්තර් ඇමරිකානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 10ක් ලෙස තවත් ඩොලර් බිලියන 22ක ණය මුදලක් ලැබෙනවා. මේ අනුව, ආජන්ටිනාව විසින් ඉහත ජාත්‍යන්තර ආයතන තුනෙන් අලුතෙන් ලබා ගන්නා මුළු ණය මුදල ඩොලර් බිලියන 42ක්. 

පසුගිය 2024 වසරේදී ආජන්ටිනාවේ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 212%ක් වූ අතර එය සිම්බාබ්වේ හැරුණු විට ලෝකයේ වැඩිම උද්ධමනයක් වාර්තා වූ රටයි. වසර තුළ උද්ධමනය ක්‍රමයෙන් පහත වැටෙමින් පැවතුනද, දෙසැම්බර් මාසයේදීද උද්ධමනය වාර්තා වූයේ 118% ලෙසයි. මෙම (2025) වසර අවසන් වෙද්දී ආජන්ටිනාවේ උද්ධමනය 18%-23% සීමාව දක්වා අඩු කරගැනීම වැඩ සටහනේ ඉලක්කයයි. ආජන්ටිනාව වැනි රටවල් දෙස බලද්දී ආජන්ටිනාවට වඩා ඉතාම දරුණු ආර්ථික අර්බුදයකින් වේගයෙන් ගොඩ ආ ලංකාවේ සාර්ව ආර්ථික කළමනාකරණය කැපී පෙනෙනවා. 

ආර්ථික අර්බුදය ඇති වන විට ලංකාවේ රාජ්‍ය ආදායම් දදේනියෙන් 8.3% වැනි ඉතා අඩු මට්ටමක තිබුණත්, ආජන්ටිනාවේ රාජ්‍ය ආදායම් (2023දී) දදේනියෙන් 32.5% වැනි ඉතා ඉහළ මට්ටමක තිබුණා. එහෙත්, රජයේ ප්‍රාථමික වියදම් ඊටත් වඩා වැඩි 35.3% මට්ටමේ පැවතුනු නිසා, දදේනියෙන් 2.8%ක ප්‍රාථමික අයවැය හිඟයක් වාර්තා වුනා. මීට සාපේක්ෂව ලංකාවේ ප්‍රාථමික රාජ්‍ය වියදම් පැවතුනේ 14.0% තරම් අඩු මට්ටමකයි. එහෙත් රාජ්‍ය ආදායම් ඉතාම අඩු මට්ටමක පැවති නිසා 5.7%ක ප්‍රාථමික අයවැය හිඟයක් වාර්තා වුනා. 

ආජන්ටිනාවේ පොලී වියදම් දදේනියෙන් 2.5%ක් පමණක් වුවත්, ලංකාවේ එම අගය 6.0%ක් වූ බැවින් ලංකාවේ සමස්ත අයවැය හිඟය 11.7%ක් ලෙස වාර්තා වෙද්දී ආජන්ටිනාවේ සමස්ත අයවැය හිඟය දදේනියෙන් 5.4%කට සීමා වී තිබුණා.

මිලේ රජය බලයට පැමිණීමෙන් පසුව ආජන්ටිනාවේ ප්‍රාථමික රාජ්‍ය වියදම් දදේනියෙන් 29.8% දක්වා අඩු කළා. මෙය 16%ක පමණ වියදම් කප්පාදුවක්. 2024 වන විට ලංකාවේ රාථමික රාජ්‍ය වියදම් දදේනියෙන් 11.5% දක්වා පහත හෙළා ඇති අතර මෙය 18%ක කප්පාදුවක්. දදේනියෙන් 32.5% වැනි ඉතා ඉහළ මට්ටමක සිට 16%ක වියදම් කප්පාදුවක් කරන තරමට, 14.0 මට්ටමේ සිට 18%ක කප්පාදුවක් කරන එක පහසු නැහැ. ලංකාව කළේ එවැනි අසීරු කාර්යයක්. එහෙත්, ආජන්ටිනාවට ලැබෙන තරමේ අගය කිරීමක් ලංකාවට ලැබෙන්නේ නැහැ. 

ඉහත සඳහන් කළ පරිදි, රාජ්‍ය වියදම් 16%කින් අඩු කර ගැනීමෙන් පසුව ආජන්ටිනාවේ දදේනියෙන් 2.5%ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වූ අතර පොලී වියදම ඊට වඩා අඩු මට්ටමක පැවති බැවින් සමස්ත අයවැය අතිරික්තයක්ද වාර්තා වී තිබෙනවා. දැන් කරන්නට තිබෙන්නේ මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාම පමණයි. එහෙත්, ලංකාව විසින් දදේනියෙන් 2.2%ක ප්‍රාථමික අතිරික්තයක් කරා යාමෙන් පසුවද, ඉතාම ඉහළ  මට්ටමක ඇති පොලී වියදම් හමුවේ, දදේනියෙන් 6.8%ක සමස්ත අයවැය හිඟයක් ඉතිරි වී තිබෙනවා. 

ණය තිරසාරත්වය පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දී සිටි ලංකාවට විසඳා ගත යුතුව තිබුනේ සහ තිබෙන්නේ ආජන්ටිකාවට තිබුණු ආකාරයේ සූපිං ප්‍රශ්නයක් නෙමෙයි. බලශක්ති අංශයේ මිල ගණන් පිරිවැය හා සසඳා සුබසාධන වියදම් සීමා කර ගැනීම මගින්ම පමණක් ආජන්ටිනාවේ රාජ්‍යමූල්‍ය කළමනාකරණ ඉලක්ක කරා සෑහෙන දුරක් යා හැකිව තිබුනා. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයක් ආජන්ටිනාවට ලොකුවට තිබුණේ නැහැ. නමුත් ලංකාවේ රාජ්‍යමූල්‍ය ප්‍රශ්නය බොහෝ දුරටම ආදායම් අඩු වීමේ ප්‍රශ්නයක්. දැනට වුවත්, ලංකාවේ රාජ්‍ය ආදායම් පංගුව ආජන්ටිනාවේ එම පංගුවෙන් අඩකටත් වඩා අඩුයි. 

රාජ්‍යමූල්‍ය ප්‍රශ්නයක් ආජන්ටිනාවටද තිබුණත්, එය කිසිසේත්ම ලංකාවේ මට්ටමේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත් අයවැය හිඟය පියවා ගැනීම සඳහා විශාල ලෙස සල්ලි අච්චු ගැසීම ආජන්ටිනාව උද්ධමන අර්බුදයකට තල්ලු කළා. සල්ලි අච්චු ගැසීම නිසා මුදල් සැපයුම ඉහළ යද්දී ඊට සමානව නිෂ්පාදනය වැඩි නොවුවහොත් ආනයන ඉල්ලුම ඉහළ ගොස් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති වෙනවා. 2023 වන විට ආජන්ටිනාවේ දළ නිල සංචිත ඩොලර් මිලියන 18,654 දක්වාත්, ශුද්ධ විදේශ සංචිත ඩොලර් මිලියන 2,005 දක්වාත් පහත වැටී තිබුණා. වැඩ සටහනේ ඉලක්කය වන්නේ 2030 වන විට දළ නිල සංචිත ඩොලර් මිලියන 198,051 දක්වාත්, ශුද්ධ විදේශ සංචිත ඩොලර් මිලියන 163,197 දක්වාත් වර්ධනය කර ගැනීමයි. මේ සඳහා ආජන්ටිනාවේ මහ බැංකුවට ඉදිරි වසර වලදී විණිමය වෙළඳපොළට විශාල මැදිහත් වීමක් කරන්නට සිදු වෙනවා. 

ලංකාව මෙන්ම ආජන්ටිනාවද, සල්ලි අච්චු ගැසීම නිසා ඇති වූ උද්ධමනය හමුවේ, විනිමය අනුපාතය පාලනය කර ගත නොහැකි අදියරකට එළඹුනා. මෙම තත්ත්වය පාලනය කර ගැනීම පිණිස ලංකාව විසින් විණිමය අනුපාතයේ විචලනයන් සීමා කළත්, පසුව විණිමය අනුපාතය නිදහස් කිරීමට සමත් වුනා. එහෙත් ආජන්ටිනාව තවමත් විණිමය අනුපාතය නිදහස් කිරීමට සමත්ව නැහැ.

මිලේ රජය බලයට පත් වීමෙන් පසුව අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ විණිමය අනුපාතය විචලනය වීම සැලසුම්සහගත ලෙස පාලනය කිරීමයි. ඒ අනුව, ආජන්ටිනා පෙසෝව මුලින්ම සැලකිය යුතු තරමින් අවප්‍රමාණය කිරීමෙන් පසුව, මසකට 2%ක නිශ්චිත වේගයකින් අවප්‍රමාණය කරනු ලැබුවා. මේ අයුරින් විනිමය අනුපාතය කෘතීම ලෙස පාලනය කිරීම උද්ධමනය අඩු කර ගැනීමට උදවු වුනත්, ඊට වඩා වැඩි උද්ධමනයක් පැවතීම නිසා විණිමය අනුපාතය තුළ එහි නියම අගය පිළිබිඹු වූයේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආජන්ටිනාවට විනිමය අනුපාතය රැක ගැනීම සඳහා විදේශ සංචිත විකිණීමට සිදු වුනා. මුලින්ම පෙසෝව අවප්‍රමාණය කිරීමෙන් පසු එකතු කරගත් සංචිත ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගත්තා. හදිසියේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නැවත යන්නට සිදු වුනේ ඒ නිසයි.

අරමුදලේ උදවු ඇතිව, දැන් ආජන්ටිනාව විසින් විණිමය අනුපාතය ක්‍රමයෙන් නිදහස් කිරීමට අපේක්ෂා කරනවා. එහෙත් එය හදිසියේ සිදු වන එකක් නැහැ. මුලින්ම සිදු වන්නේ යම් සීමාවක් තුළ විණිමය අනුපාතය විචලනය වීමට ඉඩ හැරීමයි. ඉන් පසුව ක්‍රමයෙන් මෙම සීමාව පුළුල් කිරීම සැලසුමයි.

සාර්ව ආර්ථික කළමණාකරණයේදී රාජ්‍යමූල්‍ය, මුදල් හා විදේශ අංශ වල මනා තුලනයක් පවත්වා ගැනීමෙන් හොඳ ප්‍රතිපල ලබා ගත හැකියි. මේ හා අදාළව දැකිය හැකි හොඳම මෑතකාලීන උදාහරණයක් වන්නේ ලංකාවයි. රාජ්‍යමූල්ය අංශය කළමනාකරණය කරගෙන ඇතත්. තවමත් විදේශ අංශය හෝ උද්ධමනය කළමනාකරණය කරගත නොහැකිව සිටින ආජන්ටිනාවට වුවද ලංකාවෙන් උගත හැකි දේ තිබෙනවා. 

Friday, May 9, 2025

මුදල් සංසරණය 14.5% කින් ඉහළ යයි!

 

"2024 වසර තුළ භෞතික මුදල් සංසරණයේ පෙර නොවූ විරූ සියයට 14.5 ක වාර්ෂික වර්ධනයක් මහ බැංකුව වාර්තා කර ඇත."

මේ මේ වෙද්දී වේගයෙන් සංසරණය වන පුවතක්. ඔය වගේ දෙයක් දුටු විට ගොඩක් අය තල් අත්තට බෙලි ගෙඩිය වැටුණු වෙලාවේ වගේ කලබල වෙලා ඕක පස්සේ දුවනවා. මෙය ප්‍රශ්නයක් ලෙස දැකලා ප්‍රශ්නය විසඳන්න කරපු යෝජනාත් ගණනාවක්ම දැක්කා. 

පෙනෙන විදිහට මේ පුවතේ සම්භවය සාමාන්‍යයෙන් හැමදාම බැණුම් අහන සමාජ ජාලා කිසිවක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉංග්‍රීසි මාධ්‍ය ජාතික පුවත්පතක්. ඔය වගේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් වුනත් තත්ත්ව පාලනය අතින් සමාජ ජාලා වලට වඩා ලොකුවට වෙනස් නැති බව දැනගන්න මේ පුවත හොඳ උදාහරණයක්.

"Sri Lanka sees unprecedented 14.5% surge in cash in 2024" - 8 May 2025, https://www.dailymirror.lk

සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ ඔය පුවත.

2024 වසර තුළ භෞතික මුදල් සංසරණය ඇත්තටම ඔය කියන විදිහට 14.5%කින් වර්ධනය වෙලාද?

ඔව්. 14.51%කින් වර්ධනය වෙලා තියෙනවා. ඒ කරුණේ කිසිම වැරැද්දක් නැහැ. 

එහෙමනම් මේ ප්‍රවෘත්තියේ තිබෙන වැරැද්ද කුමක්ද?

වැරැද්ද තියෙන්නේ "unprecedented" කියන වචනයේ. මෙය කිසිසේත්ම "පෙර නොවූ විරූ" වර්ධනයක් නෙමෙයි. සාමාන්‍ය කරුණක් ලෙස සංසරණයේ තිබෙන මුදල් ප්‍රමාණය සෑම වසරකදීම ඔය ආසන්න ප්‍රමාණයකින් ඉහළ යනවා. පහත තිබෙන්නේ පසුගිය වසර පහ තුළ භෞතික මුදල් සංසරණය වර්ධනය වූ ආකාරය.

2020 - 23.13%

2021 - 20.40%

2022 - 2.14%

2023 - 15.58%

2024 - 14.51%

පසුගිය අවුරුදු පහෙන් එක් අවුරුද්දකදී හැර අනෙක් සෑම අවුරුද්දකදීම භෞතික මුදල් සංසරණය වැඩි වීම පසුගිය වසරේ වර්ධනයට වඩා වැඩියි. පසුගිය වසරේ වර්ධනය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. ඇත්තටම කියනවානම් භෞතික මුදල් සංසරණය මීට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙන්න වුනත් හේතු මේ වෙද්දී තිබෙනවා.

භෞතික මුදල් සංසරණයේ ප්‍රමාණය තීරණය කරන සාධක මොනවාද?

මෙය ඉතාම සරල, ඒ වගේම බොහෝ දෙනෙකු දන්නා, මූලික මට්ටමේ ආර්ථික විද්‍යා න්‍යාය කිහිපයකින් පැහැදිලි කළ හැකි දෙයක්. 

මිනිස්සු භෞතික මුදල් භාවිතා කරන්නේ ගනුදෙනු කිරීමේ මෙවලමක් විදිහටයි. ඒ නිසා, රටේ ගනුදෙනු ඉහළ යද්දී මුදල් ඉල්ලුම ඉහළ යනවා. රටේ ආර්ථිකය වර්ධනය වෙද්දී ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා. මුදල් වැඩියෙන් අතේ තියාගත් තරමට ගනුදෙනු කිරීම පහසු වෙනවා.

කෙසේ වුවත්, භෞතික මුදල් භාවිතය සීමා කෙරෙන සාධකත් තිබෙනවා. ප්‍රධානම සාධකය පොලී අනුපාතික. පොලී අනුපාතික ඉහළ යන තරමට සල්ලි අතේ තියා ගැනීමේ "ආවස්ථික පිරිවැය" ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි බැංකුවේ නොතියා අතේ තියා ගැනීම නිසා අහිමි වන පොලී ආදායම. යමෙක් අතේ තියා ගන්න භෞතික මුදල් ප්‍රමාණය තීරණය කරන්නේ පොලී ආදායම අහිමි වීමේ පාඩුව සහ ගනුදෙනු සඳහා අවශ්‍ය වන මොහොතේ අතේ සල්ලි නැති වීමේ පාඩුව කිරා මැන බැලීමෙන් පසුවයි. 

ඉහත දත්ත වල පෙනෙන පරිදි, 2022දී භෞතික මුදල් සංසරණයේ වර්ධනය ඉතා අඩු මට්ටමකට වැටී තිබෙන්නේ පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගිය නිසා. පොලී අනුපාතික ක්‍රමයෙන් අඩු වෙද්දී සල්ලි අතේ තියා ගැනීමේ ආවස්ථික පිරිවැයද නැවත ක්‍රමයෙන් අඩු වී තිබෙනවා. ඒ නිසා, මුදල් සංසරණය සාමාන්‍ය පරිදි වර්ධනය වී තිබෙනවා.

මීට අමතරව, 2022 කියන්නේ රුපියල පිළිබඳ විශ්වාසය බිඳ වැටුණු වසරක්. එවිට මිනිස්සු රුපියල් අතේ තබා ගැනීම සීමා කරනවා. ඒ වෙනුවට වාහන, ගෙවල්, ඉඩම්, රත්තරන්, ඩොලර් වගේ දේවල් මිල දී ගන්නවා. නැවත රුපියල පිළිබඳ විශ්වාසය ගොඩ නැගුනු පසුව ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා.

මේ හේතු අතරට එකතු කළ යුතු තවත් හේතුවක් වන්නේ මේ වන විට මාස අටක පමණ කාලයක් එක දිගට රටේ අවධමනයක් තිබීම. සල්ලි අතේ තියා ගැනීමේ එක් ප්‍රධාන අවාසියක් වන්නේ උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩු වීම. අව්ධමනයක් තියෙද්දී සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. ඒ කියන්නේ අතේ තිබෙන මුදල් වල වටිනාකම එන්න එන්නම වැඩි වීම.

ඔය කරුණු වලට අමතරව, රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම. බැංකු තැන්පතු පිළිබද තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දීම නිසා බදු ගොනු අරින්නට වීමේ අවදානම වගේ හේතු නිසාත් භෞතික මුදල් භාවිතය ඉහළ යන්න පුළුවන්.

ඔය වගේ හේතු ගොඩක් නිසා මේ වෙලාවේ භෞතික මුදල් භාවිතය ඉහළ යාම ඉතා සාමාන්‍ය දෙයක් වුනත්, ඇත්තටම එවැනි කැපී පෙනෙන වැඩි වීමක් වෙලා නැහැ. මේක "මහනුවරට නගරාන්තර දුම්රියක්!" වගේ ප්‍රවෘත්තියක්. හැබැයි පසුගිය දවස්වල ඔය විදිහේ ප්‍රවෘත්ති ගණනාවක්ම සමාජ ජාලා වලනම් තිබුණා.

Thursday, May 8, 2025

බොරු හොඳ වෙයිද? හොරු බොඳ වෙයිද?

 

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තරමක් අපූරු ප්‍රතිඵලයක්. හැම පාර්ශ්වයකට වගේම තමන් ජයගෙන තිබෙන බවට ප්‍රසිද්ධියේ තර්ක කරන්න පුළුවන් කිසියම් ඉඩක් ඉතිරි වී තිබෙනවා. නමුත් මේ පාර්ශ්ව බොහොමයකට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ ප්‍රතිඵලයක් ලැබී නැහැ. 

මැතිවරණයක් කොයි තරම් සාමකාමීව හෝ සාධාරණව පැවැත්වුවත්, ඡන්දදායකයින් තමන්ගේ තීරණය ගන්නේ විශාල අවිනිශ්චිතතාවයක් එක්කනම් හෝ ආවේගශීලිවනම් මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වෙන්නේ යම් විකෘතියක් සහිත ජනමතයක්. පසුගිය ජාතික මැතිවරණ වලදී මේ තත්ත්වයන් දෙකම අඩු වැඩි වශයෙන් බලපෑම් කළා. නමුත් මේ පළාත් පාලන මැතිවරණ පැවැත්වුණේ ඡන්දදායකයින්ට නිවී සැනසිල්ලේ සිතා බලා තීරණයක් ගන්න පුළුවන් වටාපිටාවක. ඒ නිසා, මේ ප්‍රතිඵලයේ වටිනාකම වැඩියි.

ඡන්දය දීමේ ප්‍රතිශතය අඩු වීම නිසා ඉහත කරුණ නිශේධනය වෙන්නේ නැහැ. ඡන්දය නොදීමත් ඡන්දදායකයෙකුට ගත හැකි තීරණයක්. එයින් අදහස් වන්නේ තමන් විසින් අනෙකුත් ඡන්දදායකයින්ගේ තීරණය කවර එකක් වුනත් එය පිළිගන්නවා කියන එකයි. ඒ වගේම, මහ මැතිවරණය එක්ක බලද්දී අඩුව ලක්ෂ හතක් පමණයි. 

අඩු වෙලා තියෙන්නේ මාලිමාවේ ඡන්ද. මාලිමාවේ ඡන්ද ලක්ෂ හැටනවයෙන් තුනෙන් එකකට වඩා අඩු වෙලා තිබෙනවා. කල්මුණේ ප්‍රාදේශීය සභාව නැති වීමේ බලපෑම සැලකුවත්, ලක්ෂ 23 ඉක්මවන අඩු වීමක්. එයින් ලක්ෂ 16ක් පමණම අනෙකුත් පක්ෂ අතර බෙදී ගිහින් තිබෙනවා.

මාලිමා ඡන්ද වලින් ලක්ෂ හයක් පමණම එකතු කරගෙන තිබෙන්නේ පොහොට්ටුව විසින්. සජබ ලක්ෂ තුනක් පමණ එකතු කරගෙන තිබෙනවා. ඉතිරි ඡන්ද ලක්ෂ හත අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් එකතු කරගෙන තිබෙනවා.

බැලූ බැල්මටම මෙය ආණ්ඩුවේ පරාජයක්. නමුත් මහ මැතිවරණයේදී ආණ්ඩුවට ලැබුණු ඡන්ද මාලිමාවේ නොවන මාලිමා ඡන්ද. මාස හයකට පසුව ඒ ඡන්ද ඒ විදිහටම ලැබෙයි කියලා එම පක්ෂයේ නායකයින්වත් විශ්වාස කළා කියලා මම හිතන්නේ නැහැ. එවැනි විශ්වාසයක් තිබුණානම් මැතිවරණ ව්‍යාපාරයට ඔය තරම්ම බර දමන්න හේතුවක් නැහැ. 

ජනාධිපතිවරණය පැවැත්වෙද්දී රටේ මිනිස්සු හිටියේ විශාල අවිනිශ්චිතතාවයක. ඒ එක්කම මහ මැතිවරණය තියද්දී මේ අවිනිශ්චිතතාවය අවසන් වෙලා තිබුණේ නැහැ. ඒ අනුව බලද්දී, මාස හයකට පසුවත් මාලිමාව විසින් මහ මැතිවරණ ඡන්ද වලින් තුනෙන් දෙකක් ලබා ගැනීමට සමත් වීම ඔවුන්ගේ ජයග්‍රහණයක් කියා කියන්නත් පුළුවන්. පොහොට්ටුවෙන් කැඩී ආ මේ ඡන්ද ස්ථිර ලෙස මාලිමාවේ නැවතී ඇති බවකුයි එයින් පෙනෙන්නේ.

අනෙක් අතට මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සහ කලින් පැවැත්වුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණ ප්‍රතිඵලය අතර විශාල සමානකමක් තිබෙනවා. මේ කරුණට වැඩි දෙනෙක් බර තබා තිබෙන බවක් මම දැක්කේ නැහැ. මෙහි පළකරන සිතියම් වල සහ ප්‍රතිඵල විශේලේෂණ වල ඇල්පිටියත් එකතු කරලයි තියෙන්නේ.

ජාතික මැතිවරණ වලට සාපේක්ෂව පළාත් පාලන මැතිවරණ වලදී ඡන්දය භාවිතා කිරීමේ පෙළඹුම අඩු වීම සාමාන්‍ය කරුණක්. මේ විදිහට පළාත් පාලන මැතිවරණ වලදී ඡන්දය භාවිතා නොකරන පිරිස අහඹු පිරිසක් නෙමෙයි. ඒ නිසාම, පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මත පදනම්ව ජාතික මැතිවරණ ප්‍රතිඵල ගැන පුරෝකථනය කරන එකේ අවුලක් තිබෙනවා. ජාතික මැතිවරණයකදී මේ ඡන්ද වැටෙද්දී සමස්ත ප්‍රතිඵලයේ සංයුතියත් වෙනස් වෙන්න පුළුවන්. 

එයින් අදහස් කරන්නේ ඒ ඡන්ද ටික මාලිමාවට වැටෙනවා කියන එක නෙමෙයි. එහෙම කියන්න හෝ එහෙම නෙමෙයි කියන්න පුළුවන්කමක් නැහැ. නමුත් මේ ගොඩේ තියෙන්නේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කළ හැකි තීරක ඡන්ද. ඊට සාපේක්ෂව, පළාත් පාලන මැතිවරණයකදී භාවිතා වෙන්නේ ස්ථිර ඡන්ද. 

චිත්‍රයෙන් මාලිමාව ඉවත් කරලා ඉතිරි කොටස දිහා බැලුවොත්, අරගලයට පෙර පැවති දේශපාලන සංයුතිය නැවතත් ගොඩ නැගෙමින් තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙක වූ පොහොට්ටුව සහ සජබ දෙවන හා තෙවන තැන් වල සිටින අතර එම පක්ෂ තමන්ගේ ඡන්ද පදනම් වර්ධනය කර ගනිමින් සිටිනවා. ඒ වගේම, වාර්ගික දේශපාලන පක්ෂ විසින්ද තමන් පෙර සිටි තැනට එමින් තිබෙනවා. ඒ අතරම, ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙක වූ එජාපය සහ ශ්‍රීලනිපයද තවමත් මියගොස් නැහැ. 2020දී මාලිමාව සිටි මට්ටමේ ඒ පක්ෂ දෙකම ඉන්නවා. 

සර්වජන බලයද ඡන්ද ලක්ෂයකට වඩා එකතු කරගෙන ඉදිරියට පැමිණ ඇතත්, එම පක්ෂය සිටින්නේ ඉහත පක්ෂ සියල්ලටම පසුපසින්. එම පක්ෂයේ ඡන්ද ප්‍රමාණවත් වන්නේ මහ මැතිවරණයකදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ගැනීමට පමණයි. ඡන්ද ප්‍රමාණය වර්ධනය කර ගැනීම ගැන කතා කරනවානම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂද සැලකිය යුතු වර්ධනයක් පෙන්වා තිබෙනවා. 

සජබ හා පොහොට්ටු ඡන්ද වර්ධනය වී ඇතත්, එම කණ්ඩායම් දෙකම තවමත් සිටින්නේ මාලිමාවට වඩා සැලකිය යුතු තරම් පසුපසින්. පොහොට්ටු ඡන්ද වල විශාල වර්ධනයක් දැකිය හැකි වෙතත්, එම කණ්ඩායමට කිසිදු පළාත් පාලන ආයතනයක මුල් තැනට පැමිණීමට හැකි වී නැහැ. ඊට සාපේක්ෂව, සජබ ආයතන යම් ප්‍රමාණයක පළමු තැනට පැමිණ තිබෙනවා. එහෙත්, ඒ එක් තැනක හෝ බහුතරය ලබා ගැනීමට සජබ සමත්ව නැහැ.


දකුණේ පළාත පාලන ආයතන විශාල ප්‍රමාණයක පළමු තැනට පැමිණ සිටින්නේ මාලිමාව වුවත්, එම ආයතන වලින් අඩක පමණ බලය පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය ලබා ගැනීමට ඔවුන් සමත්ව නැහැ. පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා මන්ත්‍රී ධුර ගණනින් හරි අඩකට සහ එකකට නොඅඩු නියෝජනයක් අවශ්‍ය වෙනවා. කෙසේ වුවත්, මේ ප්‍රශ්නය මාලිමාවටද වඩා බරපතල සේ බලපා තිබෙන්නේ ඇතැම් තැන් වල මුල් තැනට පැමිණ සිටින අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලටයි.

ඇතැම් අය මේ තත්ත්වයට හේතුව අලුත් මැතිවරණ ක්‍රමය බව සිතන බවක් පේනවා. නමුත් පැරණි මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වීනම්, බහුතරය නොමැති පළාත් පාලන ආයතන ගණන මීටත් වඩා වැඩි විය හැකිව තිබුණා.

පැරණි ක්‍රමයේදී මුල් තැනට පැමිණෙන පක්ෂයට ප්‍රසාද ආසන දෙකක් ලබා ගැනීමේ හැකියාව තිබුණා. එහෙත් එහි වාසිය ලබා ගෙන පළාත් පාලන ආයතනයක බහුතර බලය හිමි කර ගත හැක්කේ 50% සීමාවට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැක්කේනම් පමණයි. එම මට්ටමේ ඡන්ද ප්‍රතිශතයක් ඇති සෑම අවස්ථාවකදීම අලුත් ක්‍රමය යටතේද මුල් තැනට පැමිණි පක්ෂයට බහුතර බලය ලැබී තිබෙනවා. 

අලුත් ක්‍රමය යටතේ ප්‍රසාද මන්ත්‍රී ධුර නොලැබෙතත්, කොට්ඨාශ ජයග්‍රහණ මත පදනම්ව අමතර මන්ත්‍රී ධුර හිමි වෙනවා. මේ ක්‍රමයට බොහෝ විට අමතර මන්ත්‍රී ධුර දෙකකට වඩා ලබා ගත හැකියි. එවැනි අමතර මන්ත්‍රී ධුර වලින් වැඩිම ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන්නේ මාලිමාවයි. 

දැනට දැකිය හැකි ප්‍රවණතා අනුව පෙනී යන්නේ අරගලයට පෙර පැවති ද්විපක්ෂ දේශපාලන වාතාවරණය වෙනුවට, කඳවුරු තුනක් වටා ශ්‍රී ලාංකික ඡන්දදායකයා පෙළ ගැසෙමින් සිටින බවයි. ඒ පෙර සිටම ඉදිරියෙන් සිටි ලිබරල් සහ ජාතිකවාදී කඳවුරු දෙක සහ මේ මොහොතේ ඉදිරියෙන් සිටින සමාජවාදී කඳවුරයි. මේ අනුව, ඉදිරි කාලයේදී බොහෝ විට එජාපය හා සජබය නැවත සන්ධානගත වීමත්, සර්වජන බලය නැවත පොහොට්ටු කඳවුරට එකතු වීමත් සිදු විය හැකියි. ශ්‍රීලනිපයට ඔය කඳවුරු දෙකෙන් ඕනෑම එකකට එකතු වීමේ හැකියාව තිබෙනවා. 

ලිබරල් සහ ජාතිකවාදී කඳවුරු දෙක අතරින් දැනට ඉදිරියෙන් සිටින්නේ සජබ ප්‍රමුඛ ලිබරල් කඳවුර වුවත්, එම කඳවුර විසින් සමත්ව තිබෙන්නේ සම්ප්‍රදායික එජාප ඡන්ද ප්‍රමාණය ආකර්ෂණය කර ගැනීමට පමණයි. ඒ නිසා, මාලිමා ඡන්ද පදනම දුර්වල වෙද්දී ශක්තිමත් වීමේ වැඩි විභවයක් තිබෙන්නේ පොහොට්ටු කඳවුරටයි. කෙසේ වුවත්, දේශපාලන ආස්ථානාවලියේ මධ්‍යය ආසන්නයේ ස්ථානගත වීම මගින් අනෙක් කඳවුරු දෙකට ඡන්ද විතැන් වන්නට නොදී රඳවා ගැනීම මාලිමාවේ උපාය මාර්ගය බව පෙනෙනවා. මාලිමාව පසුගිය ජාතික මැතිවරණ ජයග්‍රහණය කළේද මෙම උපාය මාර්ගය අනුගමනය කරමිනුයි. 

බහුතර බලය කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට නොමැති පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා සන්ධාන ගොඩ නගා ගන්නා ආකාරය විමසිල්ලෙන් බලා සිටිය යුතු දෙයක්. එහිදී, බොරු හොඳ වෙයිද නැත්නම් හොරු බොඳ වෙයිද?

වෙබ් ලිපිනය: