වෙබ් ලිපිනය:

Saturday, March 18, 2017

අහසේ ලෝකය හා පොළොවේ ලෝකය

මිනිසුන් වන අපේ ලෝක දැක්ම සකස් වන්නේ අපේ දැනුමට සාපේක්ෂවය. අපේ දැනුම අපට ලැබෙන්නේ මූලිකවම අපේ ඉන්ද්‍රියයන් විසින් අපේ මොළයට ලබා දෙන සංඥාවන් හා අපේ මතකයේ තැන්පත්ව ඇති "පැරණි දැනුම" පාදක කරගෙන  අපට අළුතෙන් ලැබෙන සංඥා විශ්ලේෂණය කරමින් අපේ පැරණි දැනුම යාවත්කාලීන කිරීම යන ක්‍රියාවලිය හරහාය.

මිනිස් සත්ත්වයාට ඉන්ද්‍රියයන් කිහිපයක්ම තිබුණත් බොහොමයක් මිනිසුන්ට මේ ඉන්ද්‍රිය අතරින් ප්‍රධානම ඉන්ද්‍රිය වන්නේ පෙනීම හා අදාළ ඉන්ද්‍රිය පද්ධතියයි. අපේ ඇස් අප රවටන බව අප සිතන්නේ කලාතුරකිනි. අපේ අනෙකුත් ඉන්ද්‍රියයන් ගැන අප විශ්වාසය තබන්නේ ඊට වඩා අඩුවෙනි.

පෙනීම හා අදාළ ඉන්ද්‍රිය පද්ධතියෙන් පසුව දෙවන තැන ගන්නේ ස්පර්ශය හා අදාළ ඉන්ද්‍රිය පද්ධතියයි. මිනිසාගේ ලෝක දැක්ම සකස් කිරීමට ස්පර්ශය හා අදාළ ඉන්ද්‍රිය පද්ධතියද විශාල දායකත්වයක් ලබා දේ. පෙනෙන බොහෝ දේ ස්පර්ශ කර බැලීමට අපට සහජ (පරිණාමීය) ආශාවක් තිබේ.

භෞතික මිනිස් සිරුර තුළින් "පුද්ගලයෙකු" බිහිවීමේ ක්‍රියාවලියේ මූලික අදියරක් වන්නේ පෙනීම ලබා දෙන සංඥාවන් හා ස්පර්ශය (සිරුරු අවයව චලනය) හා අදාළ සංඥාවන් සම්බන්ධීකරණය කරගැනීමට (hand-eye coordination) මොළය පුහුණු කිරීමයි. මේ සංඥාවන් දෙක හොඳින් සම්බන්ධීකරණය කරගැනීමට සාපේක්ෂව ඉතිරි ඉන්ද්‍රිය පද්ධතීන් වෙතින් ලබා දෙන සංඥාවන් සම්බන්ධීකරණය කර ගැනීම අපට අපහසු නැත. නැත්නම් එතරම් වැදගත් නැත.

මගේ ඇඟිලි යතුරු පුවරුවේ කිසියම් අකුරක් ස්පර්ශ කරන මොහොතේ එහි ඇත්තේ මා ඒ මොහොතේ දකින අකුරම නොවේනම් මා අපහසුතාවයට පත්වන නමුත් රූපවාහිනියේ පෙන්වන ටෙලි නාට්‍යයක රූප හා හඬ අතර සුළු එහෙත් හඳුනාගත හැකි තරමේ පරතරයක් තිබීම එතරම්ම ප්‍රශ්නයක් නොවේ. අකුණක් දකින්නට පෙර අකුණු හඬ ඇසීම කොහෙත්ම ප්‍රශ්නයක් නොවේ. ඒ දෙක සම්බන්ධීකරගෙන එක් සිදුවීමක් ලෙස ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අපේ පරිණාමීය ක්‍රියාවලිය තුළ අපි පුහුණු වී නොසිටිමු.

වසර දහස් ගණනකට පෙර සිට මිනිසුන් දුටු ලෝකයේ ප්‍රධාන කොටස් දෙකක් තිබුණේය. ඒ අහසේ ලෝකය හා පොළොවේ ලෝකයයි. අහසේ ලෝකයේ ඇති දේ දැකිය හැකිය. එහෙත් ස්පර්ශ කළ නොහැකිය. පොළොවේ ලෝකයේ ඇති දේ දකිනවාට අමතරව ස්පර්ශ කර අවබෝධ කර ගැනීමටද පුළුවන.

අපේ ශරීර අවයව, අපට අයත් භාණ්ඩ, වෙනත් මිනිසුන් හා සතුන්, අප අවට පරිසරය ආදිය අයත් වුණේ පොළොවේ ලෝකයටය. ඉර, හඳ, තාරකා ආදිය අයත් වුණේ අහසේ ලෝකයටය. ඔලිම්පස් හෝ හිමාල කඳු පන්ති වැනි වලාකුළු වලට උඩින් පෙනුණු, මිනිසාට ළඟා වීම පහසු නොවූ කඳු පංති අයත් වුණේද අහසේ ලෝකයටය. මේ දෙක අතරමැද වූ, අහසේ ලෝකයට හා පොළොවේ ලෝකයට හවුලේ අයත් වුණු සීනායි හා ශ්‍රීපාද කඳු වැනි එතරම්ම උස් නොවූ කඳුද නොතිබුණා නොවේ.

අහසේ ලෝකයේ රිද්මයක් තිබුණේය. රටාවක් තිබුණේය. ඉතා පැහැදිලි පිළිවෙලක් තිබුණේය. මේ රිද්මය, රටාව හෝ පිළිවෙළ මිනිස් ජීවිත කාලයක් තුළ හෝ මිනිස් ජීවිත කාල සියගණනක් තුළ වුවද පැහැදිලිව පෙනෙන අයුරින් වෙනස් වුණේ නැත. අද අප දකින අහස වසර දසදහසකට පෙර අපේ මුතුන් මිත්තන් දුටු අහසට වඩා විශාල ලෙස වෙනස් නැත.

පොළොවේ ලෝකයේත් රිද්මයක් තිබුණේය. රටාවක් තිබුණේය. එහෙත් ඒ රිද්මය අහසේ ලෝකයේ තරම් පැහැදිලි රිද්මයක් නොවීය. අහසේ ලෝකයේ රිද්මය මෙන් නොව, පොළොවේ ලෝකයේ රිද්මය මුළුමනින්ම නොවූවත් මිනිසුන්ට ටිකෙන් ටික වෙනස් කරන්නට පුළුවන් විය. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අද අප දකින පොළොවේ ලෝකය වසර දහසකට, දෙදහසකට හෝ පන්දහසකට පෙර අපේ මුතුන් මිත්තන් දුටු පොළොවේ ලෝකයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ.

පොළොවේ ලෝකය මිනිසාට ස්පර්ශ කළ හැකි වුවත්, පාලනය කළ හැකි වුවත් එය මුළුමනින්ම සිය අණසකට යටත් කරගැනීමට ඔවුන්ට නුපුළුවන් විය. අහසේ ලෝකයට පොළොවේ ලෝකය මත විශාල බලපෑමක් කළ හැකි විය. පොළොවේ ලෝකයට ආලෝකය ලැබුනේ අහසේ ලෝකයේ වූ ඉරෙනි. ඉර නැති විට ආලෝකයද නොවීය. අහසේ ලෝකයට අයත් වූ ඉර ස්පර්ශ කිරීමට හෝ පාලනය කිරීමට පොළොවේ ලෝකයේ සිටි මිනිසුන්ට නොහැකි විය. පොළොවේ ලෝකයේ කලින් කලට රටාවකට මෙන් ආ වැසි, ගං වතුර, නියඟ ආදියද පොළොවේ ලෝකයේ විසූ මිනිසුන්ට පාලනය කළ නොහැකි විය.

අහසේ ලෝකය පාලනය කළ නොහැකි වුවත් අහසේ ලෝකය තේරුම්ගත් මිනිසුන්ට අහසේ ලෝකයේ සිදුවන දේ පුරෝකථනය කරන්නට පුළුවන් විය. ඉර නොපෙනෙන රාත්‍රී කාලයේ ඉර තිබෙන තැන පොළොවේ ලෝකයේ මිනිසුන්ට නොපෙනුණේය. එහෙත්,  ඒ ගැන ප්‍රවාද ගොඩ නැඟූ මිනිසුන්ට එය ඇති තැන ගණනය කරන්නටත්, ඒ අනුව පසුදින නැවත ඉර දකින්නට ලැබෙන මොහොත නිවැරදිව කියන්නටත් හැකි විය.

ඉර, හඳ, තාරකා අහසේ පෙනෙන විටත්, නොපෙනෙන විටත් ඒවා අහසේ ඇති තැන කියන්නට මෙන්ම "අනාගතයේ" ඒවා දකින්නට ලැබෙනු ඇති තැන් හා වේලාවල් හරියටම කියන්නට හැකි වීම මිනිස් දැනුමේ සුවිශේෂී සන්ධිස්ථානයකි. මේ දැනුම හරහා මිනිසුන්ට අනාගතය දකින්නට හැකිවිය. ඒ අතරම, මේ දැනුම සමාජයක සියළු දෙනාගේම පොදු දැනුමක් නොවූ නිසා අහසේ ලෝකය සමඟ ගනුදෙනු කළ හැකි සුවිශේෂී පිරිසක් පොළොවේ ලෝකයේ මිනිසුන් අතරින් බිහිවිය.

පොළොවේ ලෝකයේ පැවති ඇතැම් රටාවන් පුරෝකථනය කිරීම එතරම්ම පහසු නොවීය. එහෙත්, පොළොවේ ලෝකයට වැසි, ගංවතුර හා නියඟ ආදිය ඇතිවන රටාව අවබෝධ කරගැනීමේ වටිනාකම ඉතා විශාල විය. පොළොවේ ලෝකයේ දිගුකාලීන නිරීක්ෂණ අනුව පෙනී ගියේ පොළොවේ රිද්මයත් අහසේ රිද්මයත් අතර සමානකම් ඇති බවයි. පොළොවේ ලෝකයේ කාලගුණ රටා අහසේ ලෝකයේ චලන රටා සමඟ කිසියම් අයුරකින් සම්බන්ධ විය.

අහසේ ලෝකය හා පොළොවේ ලෝකය අතර සම්බන්ධතා අවබෝධ කරගැනීමෙන් පසු අහසේ ලෝකය ගැන හදාරන්නට මිනිසාට වූ උනන්දුව තවත් වැඩි විය. ඒ, අහසේ ලෝකය තේරුම් ගැනීමෙන් පොළොවේ ලෝකය තේරුම් ගැනීමටද, පොළොවේ ලෝකයේ අනාගතය දැකීමටද හැකි වීමයි.

අහසේ ලෝකයත් පොළොවේ ලෝකයත් අතර පැවති ඇතැම් සම්බන්ධතා ඇත්තටම හේතුඵල සම්බන්ධතා (causal relationships) වුවත්, හැම සම්බන්ධතාවක්ම එවැනි එකක් නොවීය. ඇතැම් සම්බන්ධතා හේතුඵල සම්බන්ධතා නොවූ  සහසම්බන්ධතා (associations) පමණක් විය. ඒ නිසා, මේ දෙවන වර්ගයේ සම්බන්ධතා පාදක කරගත් පුරෝකථන පළමු වර්ගයේ ඒවා මෙන් ටක්කෙටම හරි ගියේ නැත.

අහසේ අනාගතය "සිදුවිය යුතු පරිදි" හැමවිටම ගලාගියත්, පොළොවේ අනාගතය හැමවිටම "සිදුවිය යුතු පරිදි" සිදු වුණේ නැත.  උදාහරණයක් ලෙස තරු රටා අනුව වැස්ස ලැබිය යුතු අවස්ථා බොහොමයකදීම පොළොවේ ලෝකයට වැස්ස ලැබුණේය. එහෙත් හැම අවස්ථාවකදීම එය එසේ වුණේ නැත. මෙය මිනිසුන් තේරුම් ගත්තේ පොළොවේ ලෝකයේ කිසියම් වරදකින් සිදුවන දෙයක් ලෙසිනි.

පොළොවේ ලෝකයේ ඇතැම් වැරදි වලට පොළොවේ ලෝකයේ දඬුවම් ලැබුණේය. ඒ දඬුවම් දීමට පොළොවේ ලෝකයේ දඬුවම් දෙන්නෝ සිටියහ. පොළොවේ ලෝකයේදී, දඬුවම් දෙන්නා සතුටු කිරීමෙන් ඇතැම් විට දඬුවමින් මිදෙන්නට හැකි විය.

මිනිසා තමන් නොදන්නා දේ තේරුම් ගන්නේ තමන් දන්නා දේ ඇසුරිනි. දඬුවම් ලැබේනම් වරදක් වී තිබිය යුතු අතර, දඬුවම් දෙන්නෙක්ද සිටිය යුතුය. මේ දඬුවම් දෙන්නා පොළොවේ ලෝකයේ පෙනෙන්නට නැත්නම්, අහසේ ලෝකයේ සිටිනවා විය හැකිය. අහසේ ලෝකයේ සිටිනු ඇතැයි සිතිය හැකි මේ දඬුවම් දෙන්නා සතුටු කිරීමෙන් ඇතැම් විට දඬුවමින් මිදෙන්නට හැකි වන්නට පුළුවන.


(Image:http://webpage.pace.edu/nreagin/f2005ws267/amyching/stepmother.html)

6 comments:

  1. පොළවේ ලෝකය අල කරලා තියෙන නිසා ඒක දැන් අහසේ ලෝකයත් එක්ක සම්බන්ධය අඩුයි වගේ.. ඒකයි අනාවැකි වරදින්නේ...

    ReplyDelete
    Replies
    1. දැන් අනාවැකි කියන්නට වඩා හොඳ "පොළොවේ ක්‍රම" තිබෙන නිසා "අහසේ ක්‍රම" වලට ඉල්ලුම පෙරට තරම්ම නැත. ගර්භාෂයේ ඇති දරු කළලයක් ස්කෑන් කර පරීක්ෂා කරන විශේෂඥයෙකුට දරුවාගේ ස්ත්‍රී-පුරුෂ භාවය හා හැදෙන්නට නියමිත ඇතැම් ලෙඩ රෝග ගැන ඉතා නිවැරදි අනාවැකි කියන්නට පුළුවන. ඔබේ රුධිරයේ කොලෙස්ටරෝල් හෝ සීනි මට්ටම මත ඔබේ අනාගත සෞඛ්‍යය පිළිබඳ සැලකිය යුතු තරම් නිවැරදි අනාවැකි කිවහැකි විශේෂඥයෝ සිටිති. චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂා කරන කාලගුණ විද්‍යා විශේෂඥයෙකුට කාලගුණය ගැන සැලකිය යුතු තරම් නිවැරදි අනාවැකි කියන්නට පුළුවන. කලකට පෙර අනාවැකි කියන්නට "අහසේ ක්‍රම" භාවිතා කළ අය සතු වූ සිවිල් බලය දැන් වඩා හොඳ අනාවැකි කිව හැකි "පොළොවේ ක්‍රම" භාවිතා කරන විශේෂඥයින් වෙත විතැන් වෙමින් පවතී. මේ අනාවැකි වඩා නිවැරදි වුවත්, 100%ක් නිවැරදි නොවන නිසා "අහසේ ක්‍රම" භාවිතා කරන අයට ඇති ඉල්ලුම තවමත් තිබේ.

      Delete
  2. ඉනික්බිති මිනිසා විසින් දෙයියා මවන ලදී.

    ReplyDelete
  3. ඔබ හදිසි ණය අවශ්ය වන්නේ ඇයි? ඔබ හරහා අප හා සම්බන්ධ වන්න කැමති නම් අපි එළියට, ව්යාපාර ණය, පුද්ගලික ණය, ශිෂ්ය ණය, මෝටර් රථ ණය ආදිය ලබා: (dakany.endre@gmail.com)

    ණය පර්

    You need an urgent loan? Contact: (dakany.endre@gmail.com) For further information on the loan.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: