වෙබ් ලිපිනය:

Saturday, July 28, 2018

කඩුල්ලෙ ලී වැටෙන් එහා...


පසුගිය ලිපියෙන් කඩුල්ල ටෙලිනාට්‍යය ගැනත් තරමක් දුරට අවධානය යොමු කළා. එය ලංකාවේ සිංහල අනන්‍යතාවය දරන ප්‍රජාව අතර නායකයන් ගොඩ නැගුණු ආකාරය පිළිබඳ කතාවක් කියා කියන්නත් පුළුවන්. කඩුල්ලේ කතානායකයා ලෙස සැලකිය හැකි, පසුව කුරුස මුදලාලි වන, කුරුතේලිස් කළු ගං මෝයට තරමක් කිට්ටුව කරන්නාගොඩට ඉහළින් පිහිටි රයිගම් රටේ ගමකට කොහොම හරි සේන්දු වී සිටින කාත් කවුරුත් නැති තරුණයෙක්. ඔහුගේ පියා ඉන්දියාවෙන් සංක්‍රමණය වූ කොච්චියෙක් වුවත්, කුරුතේලිස් කතා කරන්න දන්නේ සිංහල භාෂාව පමණයි.

කුරුතේලිස් කඩුල්ලේ කතාව පටන් ගැන්මේදීම සිංහලයෙක් වී අවසානයි. ඔහුගේ ඉන්දීය සම්භවය හැඟීම් මාත්‍රයක් පමණයි. කුරුතේලිස් වගේම කතාවේ දිගටම වගේ රැඳෙන ජුන්ඩයියාත් ඉන්දියානු සම්භවයක් ඇති අයෙක්. ඔහුගේ පරම්පරාවේ අය කේරළයෙන් ලංකාවට ඇවිත් තිබෙන්නේ පරම්පරා කිහිපයකට පෙරයි. ජුන්ඩයියාත් සිංහලයෙක් වී සිටියත් පරම්පරාවේ අය ඉන්දියාවෙන් රැගෙන ආ ඇතැම් දේ ඔහු රැකගෙන සිටිනවා.

රයිගම් රටේ පාරම්පරික ඉඩම් හිමි ගං කාරයෙකු වන කංකානම් මහත්තයා "ඉංග්‍රීසි ක්‍රමයට" පෝසත් වීම සඳහා ඉඩකඩම් උගස් කරමින් මිනිරන් කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කරන නමුත් ඔහුට සාර්ථක වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඇවැස්ස නෑකම වෙනුවෙන් ඔහුගේ පතළ බලාගන්න ගිරිගෝරිස් ළඟ තිබුණු අන්තිම පවුම් විසිපහ හොරකම් කරන කුරුතේලිස් ඒ සම්බන්ධව ඇතිවන කතාබහක් දුර දිග යාමෙන් පසුව කුරුතේලිස් අතින් මැරුම් කනවා. කංකානම්ගේ ආයෝජන වල ප්‍රතිඵල ලැබෙන්න ඔන්න මෙන්න කියලයි මෙය සිදු වෙන්නේ. කතාවේ මුල් කොටසේ තරමක නාට්‍යමය ගතියක් තිබුණත් එයින් කතාවට ලොකු හානියක් වෙන්නේ නැහැ.

කොහොම හරි කංකානම්ගේ ඉඩම් වල හැංගිලා තිබුණු මිනිරන් මතු කර ගන්නා කුරුතේලිස් එකින් එක තවත් ව්‍යාපාර ගණනාවක ආයෝජනය කරමින් ලොකු පෝසතෙක් වෙනවා. ඔහුගේ දරුවා රිචඩ් එංගලන්තයේ ඉගෙන ගෙන ලංකාවට නැවත එන්නේ මුදල් ඇති අයගේ ඊළඟ අපේක්ෂාව වන දේශපාලන බලයට ඉව අල්ලමිනුයි. මුදල් යහමින් ඇති නමුත් අලුතින් ප්‍රභූ තත්ත්වයට පත් වූ පවුලක දැරියක වෙනුවට ඔහු විවාහය සඳහා තෝරාගන්නේ පැරණි සම්මත අනුව ප්‍රභූන් සේ සැලකුණු නුවර කලාවියේ පවුල දැරිවියක්. කඩුල්ලේ උත්සාහ දරන්නේ ජාතික අනන්‍යතාවය හෝ වෙනත් අනන්‍යතාවයක් ගැන ලොකුවට කතා කරන ගොඩක් දෙනෙක්ගේ කිල්ලෝට වල හුණු තිබෙන බව කියන්නයි.

අනන්‍යතාවයන් කියන ඒවා පරම්පරාවෙන් උරුම වෙන එක බොහෝ විට සිදුවන දෙයක් වුවත්, එය හැමවිටම එසේම විය යුතු නැහැ. ඒ නිසා, පියාට නැති අනන්‍යතාවයක් තුළ දරුවෙකු රැඳී සිටීම හෝ එවැනි අනන්‍යතාවයක් වෙනුවෙන් පෙනී සිටීම අමුතු දෙයක් නෙමෙයි. ආර්ථික වාසි වෙනුවෙන් මිනිසුන් තමන්ගේ අනන්‍යතාවයන් වෙනස් කර ගන්නවා. ඇතැම් විට වෙනස් කරගත් බව වෙනත් අයට පෙනෙන්නට සලස්වනවා.

කඩුල්ලේ කුරුතේලිස් කංකානම්ගේ දුව බිරිඳ කර ගන්නේත්, එංගලන්ත සභාවට බැඳෙන්නේත් ආර්ථික වාසි වෙනුවෙන්. කුරුතේලිස්ගේ පුතා රිචඩ් නැවත බුද්ධාගමට හැරෙන්නේත්, නුවර කලාවියේ වන්නියාර් පවුලක දැරියක් සමඟ විවාහ වන්නේත් ඒ අරමුණින්. මෙහිදී මම ආර්ථික කියන වචනය භාවිතා කළත් එයට මුදල් නොවන වෙනත් වාසිත් ඇතුළත්.

කඩුල්ලේ කතාව දුවන කාල පරාසය වගේම එහි සඳහන් වෙන ස්ථාන හඳුනා ගැනීම එතරම් අපහසු නැහැ. ඒ කාලයේ සැබෑ ලෝකයේ සිදු වූ සිදුවීම් හා පැවති තත්ත්වයන් කතාවෙත් ඒ අයුරින්ම නිරූපණය වන නිසා කඩුල්ල එක දිගටම බලන එක වෙහෙසකර නැහැ. කඩුල්ල පටන් ගන්න කොට දුම්රිය මාර්ගය කළුතරට එනකම් හැදිලා. රබර් වගාව පටන් අරගෙන. කතාව ඉවර වන විට පොන්නම්බලම් උන්නැහේ කවුන්සලේට ගිහින්.

ටෙලිනාට්‍ය ශෛලියට වඩා තරමක් සිනමාවේ ශෛලිය තිබෙන නිසා කතාව වේගයෙන් ගලායාම තවත් පහසුවක්. රෑපගත කිරීමෙන් පසුව පරණ කොටස් නැවත නැවත ඔබ්බවමින් කතාව අනවශ්‍ය ලෙස දිග් ගස්සන පුරුද්ද ලංකාවේ ටෙලිනාට්‍ය වලට ආවේ කඩුල්ල හදලා ගොඩක් කාලෙකට පස්සෙයි.

කඩුල්ල ඒ කාලයේ සමාජයට වඩා තරමක් ඉදිරියෙන් සිටි ටෙලිනාට්‍යයක් කියා කියන්න පුළුවන්. කඩුල්ල එදාට වඩා අදට වටිනවා. කඩුල්ල පෙන්නලා සියවස් කාලකටත් පස්සේ හදන, එහි තේමාවට වඩා යාන්තමින් හෝ කිට්ටුවෙන් යන ටෙලිනාට්‍යයක් කඩුල්ල පිටිපස්සේ දණ ගගා ඉන්නේ නැතිව කඩුල්ල පැනලා ඉස්සරහට යා යුතුයි. එහෙම ටෙලිනාට්‍යයකට දැන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. මිණි ගං දෑළ කියන්නේ කෙසේවත්ම කඩුල්ල පැනලා ඉදිරියට පැන පහර දෙන ටෙලිනාට්‍යයක් නොවූවත් මේ ඉල්ලුම තිබෙන නිසා එය යම් තරමකින් හෝ ජනප්‍රිය වෙන්න පුළුවන්. තිර රචනයේ අඩුපාඩු තිබුණත් එහි රඟපෑම් හා සංගීත අධ්‍යක්ෂණය ආදිය නිසා කතාවට එළිය වැටෙනවා.

කොටස් තිස් ගණනක් බැලුවත් මිණි ගං දෑළෙහි කතා කරන කාල පරාසය ගැන තවමත් මට අදහසක් ගන්න අමාරුයි. කතාවේ මේ වන විට විකාශනය වී තිබෙන කොටස් වල සිදුවීම් සියල්ල වසරකටත් වඩා අඩු කාලයකදී සිදු වූ දේවල්. එහෙමනම්, මේ සිදුවීම් සිදු විය හැකිව තිබුණේ මොන අවුරුද්දේද?

මිණි ගං දෑළ පටන් ගන්න විට (හයවන කොටසේ දඩල්ලේ මුදලාලි ඔහුගේ පාණදුරේ නිවසට අරනෝලිස් සමඟ මුල් වරට පැමිණීමෙන් පසුව කියන පරිදි) ඒ හරියේ දුම්රිය මාර්ගය හදන්න පාර මනිනවා. දුං කෝච්චිය දැම්මට පස්සේ පානදුරේ කඩයක් කරන තමන්ගේ කඩ රස්සාවෙන් හා පානදුර කේන්ද්‍ර කරගෙන කරන කරත්ත රස්සාවෙන් දැන් මෙන් ලාබ ලබන්න බැරි වනු ඇතැයි ඔහු තමන්ගේ බිරිඳ සමඟ පවසනවා.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටුවේ සිට මොරටුව දක්වා දුම්රිය ධාවනය ආරම්භ වන්නේ 1877 මාර්තු පළමුවෙනිදා. ඒ අවුරුද්දේම සැප්තැම්බර් පළමුවෙනිදා පානදුර දක්වා දුම්රියක් ධාවනය වෙනවා. 1879 සැප්තැම්බර් 22 වෙනිදා කළුතර දක්වා දුම්රිය ධාවනය ආරම්භ වෙනවා. පානදුර හරියේ දුම්රිය පාර මැනීම මේ කාලයට වඩා වසර ගණනකට කලින් සිදු වූ දෙයක්.

කඩුල්ලේ කංකානම් මහත්තයාගේ ගෙදර වගේම දඩල්ලේ මුදලාලිගේ ගෙදරත් ඇවැස්ස නෑකමට කඹුරන ගිරිගෝරිස් කෙනෙක් ඉන්නවා. කඩුල්ලේ වගේ නෙමෙයි මිණි ගං දෑළේ හොරා වෙන්නේ මේ තමන්ගේම මිනිහා. ගිරිගෝරිස් ගෙදරින් පැනල යන්නේ දඩල්ලේ මුදලාලිගේ පතලක මැණිකක් වගේම ලොකු දෝණියන්දෑවත් අරගෙනයි. මිණි ගං දෑළේ තිස් තුන් වන කොටසෙදී මේ ගිරිගෝරිස් ඔහුගේ බිරිඳ කරලැයින් එක්ක වෙන කතා බහකදී කියන විදිහට ඒ දවස් වල ධර්මපාල උන්නාන්සෙ දේශනා පවත්වනවා. ඒ වගේම, ඔහු තමන් කුඩා කාලයේදී සිදු වුන පානදුරා වාදය මතක් කරනවා.

පානදුරා වාදය සිදුවුණේ 1873 අගෝස්තු මාසයේදී. පසුව අනගාරික ධර්මපාල වන දොන් ඩේවිඩ් හේවාවිතාරණ ඉපදෙන්නේ 1864 සැප්තැම්බර් වලදී.  පානදුරා වාදය සිදු වුනු කාලයේ ගිරිගෝරිස්ට අවුරුදු දහයක් පමණ කියා හිතුවොත් කලින් කී කතාබහ වෙනකොට 1885-1890 පමණවත් වෙලා තියෙන්න ඕනෑ. අටසිය හැත්තෑ ගණන් වලදී ධර්මපාල උන්නාන්සේගේ කතා ඇහෙන්න විදිහක් නැහැ. ඒත් ඒ කාලය වෙනකොට මුහුදුබඩ දුම්රිය මාර්ගය කළුතර පහු කරගෙන තවත් සෑහෙන දුරක් යනකම් හැදිලා ඉවරයි. ඒ නිසා, මේ කාලයේදී පානදුර හරියේ පාර මනින කතාව එක්ක මේ කතාව පෑහෙන්නේ නැහැ.

මිණි ගං දෑල පටන් ගන්නේ නැපෝහාමි බෞද්ධ භික්ෂුවක් ගඟෙන් එගොඩ කරන දර්ශනයකින්. කතාවේදී නැවත නැවත හමුවන මේ හාමුදුරුවෝ ඉන්නේ ගොරොක්ගොඩ පන්සලේ. මේ පන්සල අර්නෝලිස්ලාගේ ගමේ උදවිය සාමාන්‍යයෙන් යන පන්සල. එය ගමේ සිට වැඩි ඈතක තියෙන පන්සලක් බව කතාවෙන් පෙනෙන්නේ නැහැ. ඒ නිසා මම මුලදි හිතුවේ මේ ගම ලෙස නිරූපණය කෙරෙන්නේ රත්නපුරේ ගොරොක්ගොඩ කිට්ටුව තියෙන ගමක් කියලයි. රත්නපුරේ ගොරොක්ගොඩ තියෙන්නේ සුමනා බාලිකා විද්‍යාලය කිට්ටුව වර්තමාන රත්නපුර නගරයට ආසන්නවයි. කළු ගං ඉවුරේ තියෙන අනික් ගොරොක්ගොඩ තියෙන්නේ හොරණ කිට්ටුවයි.

ගමෙන් පැනල යන අරනෝලිස් දඩල්ලේ මුදලාලිගේ කරත්තෙ යටට රිංගන්නේ ඔහුගේ අනියම් භාර්යාවගේ කඩේ ඉස්සරහදී. සයිමන් මුදලාලිගේ මැරයින් ඒ දක්වාම ඔහු පස්සෙන් එන නිසා මේ කඩය ඒ ගමේම කඩයක් බව පැහැදිලියි. මේ කඩේ ඉඳලා පානදුරට යන අතරේදී පොකුණුවිට හමු වන නිසා මේ ගම කළු ගඟේ පොකුණුවිටට පහළින් තියෙන්න විදිහක් නැහැ.

කොහොම වුනත් කලින් කී කඩේ පසුව හැඳින්වෙන්නේ ඉඩන්ගොඩ කඩේ ලෙසයි. යාන්තම් එළිය වැටීගෙන එද්දී පිටත්වෙන දඩල්ලේ මුදලාලි එළිය වැටෙන්න කලින් ඉංගිරියට යාගන්න හදන එකත් එක්ක මේ ගම ඉඩන්ගොඩ හරියේ ගමක් කියන එක ගැලපෙනවා. හැබැයි ඔය හරියේ ඉඳලා රත්නපුර කිට්ටුව තියෙන ගොරොක්ගොඩට යන්නනම් ගඟ ඉහළට කිලෝමීටර් විස්සක් විතර හබල් ගාන්න වෙනවා. හොරණ හරියේ ගොරොක්ගොඩ පන්සලට ඊටත් වඩා දුරයි. ඉඩන්ගොඩ කිට්ටුව පැරණි පන්සල් ගණනාවක් මේ කාලයට පෙර ඉඳලම තියෙද්දී ගමේ මිනිස්සු ඒ තරම් දුරක් නිතර නිතර හබල් ගාන්න හේතුවක් නැහැ. සමහර විට ඉඩන්ගොඩ කිට්ටුව මම නොදන්න වෙන ගොරොක්ගොඩක් තියෙනවද දන්නෙ නැහැ.

කතාව පටන් ගන්න කාලයේ ඉඩන්ගොඩ හරියේ රබර් හිටවනවා. ලංකාවේ රබර් කර්මාන්තය ගැන කතා කරද්දී ඉඩන්ගොඩ මඟහැර යන්න බැහැ. ගම්පහ හෙනරත්ගොඩදී පළමුවත් පේරාදෙණියේදී දෙවනුවත් ලන්ඩන් වල කිවු උද්‍යානයෙන් මුලින් ගෙනා රබර් ඇට පැල කර ගැනීමෙන් පසුව කැලෑ දෙපාර්තමේන්තුව විසින් මුලින්ම පර්යේෂණාත්මක රබර් වගාවන් පටන්ගත්තේ ඉඩන්ගොඩ හා යටිපව්වේ. ඒ 1890දී පමණ. ඉන් පසුව, 1892දී නම්බපානේ. නමුත්, මේ මුල් රබර් වගාවන් වල අරමුණ වුණේ රබර් බීජ ලබාගැනීම මිස රබර් කිරි ලබාගැනීම නෙමෙයි.


ප්‍රමාණවත් රබර් බීජ ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න හැකි වීමෙන් පසුව, කැලෑ දෙපාර්තමේන්තුව විසින් කළුතර ප්‍රදේශයේ වැවිලිකරුවන්ට බීජ 1000ක් රුපියල් 5 බැගින් බීජ 90,000ක් මුලින්ම විකුණලා තියෙන්නේ 1893දීයි.

ලංකාවේ රබර් වගාව ලොකුවටම පැතිරෙන්නේ 1903-1905 කාලයේදීයි. ඒ කාලයේ ලංකාවේ රබර් වවා ඇති අක්කර ගණන දහදාහේ සිට හතළිස් දාහ දක්වා වැඩි වෙනවා. එයින් වැඩි ප්‍රමාණයක් සපරගමු පළාතේ. ඉතිරිය බස්නාහිර පළාතේ. පසුගිය සියවසේ මුල වෙනකම් රබර් වගාව ලොකුවට ව්‍යාප්ත වෙලා නොතිබුණත් 1895 පමණ කාලය ඉඩන්ගොඩ හරියේ රබර් වැවෙන කාලයක්.

මේ කාලය වන විට කොළඹ රත්නපුර පාර (ලෝ ලෙවල් එක) සෑහෙන තරමට දියුණු වී තිබුණු පාරක්. සෑහෙන තරමට කියා කියන්නේ අශ්ව කෝච්චි වලට හා ගොන් කරත්ත වලට වැඩි අපහසුවක් නැතිව යා හැකි තරමට. මේල් කෝච්චිය (මෙය අශ්ව කරත්තයක් මිස දුම්රියක් නෙමෙයි) මේ දවස් වල සතියේ සඳුදා, බදාදා හා සිකුරාදා දවස්වල උදේ කොටුවෙන් පිටත් වී හවස් වෙද්දී රත්නපුරේට ඇවිත් පහුවෙනිදා ආපහු යනවා. පාරේ යන ගොන් කරත්ත ඇතුළු සියලු වාහන ටොල් එකක් ගෙවිය යුතුව තිබුණා. රටේ පාරවල් වල ටොල් වලින් ආණ්ඩුව සෑහෙන ආදායමක් ලැබුවා. ඔය කාලයේ ගොන් කරත්ත වලටත් ලයිෂන් එකක් තිබිය යුතුයි.

කොහොම වුවත් පසුගිය සියවස ආරම්භ වන විටත් රත්නපුර පානදුර පාර හැදිල තිබුණේ නැහැ. රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව, පානදුර සිට නම්බපාන කිට්ටුවට හැතැම්ම විසිදෙකක් සහ රත්නපුර සිට කුරුගම්මෝදර කිට්ටුවට හැතැම්ම දහතුනක් කරත්ත වලට යා හැකි සේ පාර හැදිල තිබුණත් ඔය අතර හැතැම්ම එකොළහේ කරත්ත වලට යන්න පුළුවන් කමක් තිබී නැහැ. අශ්වයෙක් පිටේ හෝ පයින් යා යුතුව තිබුණු ඒ කොටස කරත්ත වලට යා හැකි පරිදි හදල තිබෙන්නේ පසුගිය සියවසේ මුල් කාර්තුවේදී. දඩල්ලේ මුදලාලි නවාතැන් ගත් ඉඩන්ගොඩ තියෙන්නේ ඔය මැද කොටසේ.

කළු ගඟ දිගේ භාණ්ඩ ප්‍රවාහනය කාලයක් තිස්සේ ජයටම කෙරෙන්න එක් හේතුවක් වුණේ කළු ගං ඉවුර කිට්ටුවෙන් මූදුකරේ ඉඳල රත්නපුරේට එක දිගටම එන්න කරත්ත පාරක් කාලයක් යන තුරුම හැදී නොතිබීමයි. කරත්ත පාර හැදෙන කොටම  ප්‍රවාහන මාධ්‍යයක් විදිහට කළු ගඟේ වැදගත් කම අඩු වුණා. ඉන් පසුව සෑහෙන කාලයකට පස්සේ පාලම් වැටෙනකම් ගඟේ ඉවුරු දෙක අතර මගී ප්‍රවාහනය කළු ඟග අයිනේ සිටි තොටියන් විසින් දිගටම කරගෙන ආවත් කළු ගඟ දිගේ සිදු වූ ප්‍රවාහනය පසුගිය සියවසේ මුල කාර්තුවේදී ක්‍රමයෙන් අඩු වී ගියා කියන්න පුළුවන්.

මිණි ගං දෑළට අනුව, කළු ගඟ දිගේ ඉහළට එන පානදුරේ දඩල්ලේ මුදලාලි හා මොරටුවේ සේතන් මුදලාලි මැණික් කර්මාන්තයේ යෙදෙන්නේ කුරුවිට හරියේදී. කතාවේ හැටියට මේ අයට කුරුවිටට ඇවිත් පහසුවෙන් තමන්ගේ ආධිපත්‍යය පතුරුවන්න හැකි වෙනවා. කළු ගඟ දිගේම උඩහට ඇවිත් කුරුවිටට එන්න බැහැ. එහෙම එන්නනම් කුරුගම්මෝදර ඉඳල කුරු ගඟ දිගේ උඩහට එන්න ඕනෑ. ගොඩක් අය දන්න බෝපත්පිටි ඇල්ල තියෙන්නෙත් කුරු ගඟේ කුරුවිටට උඩින්. කුරුවිටට පහළින් එල්ලාවල ඔයේ වතුරත් එකතු කරගෙන කුරුගම්මෝදරින් කළුගඟට වැටෙන කුරු ගඟ රත්නපුර කළුතර අතරදී හමුවන කළු ගං කොටස වගේ පළල හෝ ගැඹුර නැති එකක්. එහි අතරමැද තැන් ගණනක්ම ගල් පර වලින් පිරිලා. කුරුගම්මෝදර සිට කුරුවිටට පාරුවකින් එන එක කළුගඟ දිගේ ඉහළට එන තරම් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

අනිත් එක සපරගමුවේ කළු ගං නිම්නයේ වගේම කුරුවිට හරියෙත් මැණික් ඉල්ලම් සහිත ඉඩම් තිබෙන ගම් යුරෝපීයයන් එන්න කලින් ඉඳලම ජනාකීර්ණව තිබුණු තැන් මිස පහළින් ගඟ දිගේ එන කෙනෙකුට පහසුවෙන් අල්ල ගන්න පුළුවන් පාළු ඉඩම් සේ පැවතුණේ නැහැ. මේ ඉඩම් බොහොමයක්ම කිසියම් පන්සලකට, දේවාලයකට හෝ සම්ප්‍රදායික ප්‍රභූ පවුලකට අයිතිව තිබුණු නින්දගම්. පසුගිය සියවස පටන් ගනිද්දී යම් තරමකින් මේවා විකිනෙන්න පටන් අරන් තිබුණත් මුදල් තිබුණු පළියටම පහළින් ආ කෙනෙක්ට හිතුමතේ ඉඩම් අල්ලගෙන පතල් කපන්න හැකියාවක් තිබුණා කියා මම හිතන්නේ නැහැ. එහෙම කරන්නනම් ගමේ ප්‍රධානියෙක් එක්ක ගිවිසුමක් ගහගන්නම වෙනවා.

කුරුවිට හරියේ වුණා කියා මිණි ගං දෑළේ චිත්‍රණය කරන ආකාරයේ සිදුවීම් සබරගමුවේ සිදු නොවුනාම නෙමෙයි. නමුත්, ඒ හරියකට අයිතිකාරයින් නැති ඉඩම් වැඩිපුර තිබුණු, එතරම් ළඟින් ළඟින් ගම් පිහිටා නොතිබුණු ඇඹිලිපිටිය කිට්ටුවට වගේ වෙන්න. ඒ වගේම පසුගිය සියවසේ මුලදී හෝ ඊට පෙර නොව මැද හරියේදී වගේ.

ඓතිහාසික පසුබිම සමඟ ගලපා බැළුවොත්නම් මිණි ගං දෑළේ තිර රචනය ඉතාමත්ම දුර්වලයි. එහි භාෂාව වුවත්, ලංකාවේ තැනින් තැනින් හොයාගෙන තිබෙන ප්‍රාදේශීය ව්‍යවහාර එකතු කරල මේ කතාව වෙනුවෙන්ම හදාගත් අමුතුම භාෂාවක් මිසක් කළු ගං දෑළේ පැරණි භාෂාවම නෙමෙයි. තිර රචනයේ වගේම ඇඳුම් පැළඳුම් ආදියේත් නොගැලපීම් එමටයි. රඟපෑම් හොඳ වුවත් මේ අඩුපාඩු නිසා රඟපෑම් නාස්ති වෙලා වගේ දැනෙනවා.

කඩුල්ල හදපු කාලයේ තරම් පහසුවෙන් දැන් මේ වගේ කතාවකට අවශ්‍ය කරන පසුතල හොයාගන්න අමාරුයි. ඒ වුණත්, නළුවෙක්ගේ ඇඳුමක ඇඟක මඩ කුණු ටිකක් තවරන එක වගේ පොඩි දෙයක්නම් කරන්න බැරිකමක් තියෙන්නේ හේතුවක් නැහැ.

කොයි තරම් අඩුපාඩු තිබුණත්, කතා කරන්න තරම්වත් දෙයක් නැති ටෙලි නාට්‍ය හැදෙන කාලයක මේ තරම් හෝ දුරකට වැඩේ ගොඩදාගෙන තිබීම අගය කළ යුතුයි. මේ කණ්ඩායමේම හෝ වෙනත් කණ්ඩායමක කවුරු හෝ කෙනෙක් ඉදිරියේදී හෝ තොටිලි වැට විතරක් නෙමෙයි කඩුල්ලෙ ලී වැටත් පැනලා කළු ගඟ දිගේ උඩු ගං පීනන වැඩේට හරියට අත ගැහුවොත් එය නාස්තියක් වෙයි කියා මම හිතන්නේ නැහැ.

(Image: https://livelearnloveeat.com/2017/05/18/big-boy/)

Friday, July 27, 2018

කළුගඟ දිගේ උඩු ගං බලා...


මාස කිහිපයකට පෙර මෙහි අපේ අනන්‍යතාවන් ගැන ලිපි කිහිපයක් ලියා පළ කෙරුණා. සිංහල අනන්‍යතාවය හා බෞද්ධ අනන්‍යතාවය වැනි මාතෘකා යටතේ ටිකක් කතා කළත් මේ හා අදාළව ලියන්න තියෙන දේවල් වලින් ඉතා විශාල කොටසක් තවමත් ලියැවී නැහැ. මෙහි ලිපියක් හෝ කිහිපයක් ලියා පළ කර තිබෙන වෙනත් මාතෘකා බොහොමයක් හා අදාළව වුවත් තත්ත්වය ඔය වගේ තමයි.

එකම දෙයක් ගැන එක දිගටම ලිපි කිහිපයක් පළ කල විට පළමුව කියවන අයට ටිකෙන් ටික එපා වෙනවා. දෙවනුව, ලියන්න මුලින් තිබුණු උද්‍යෝගය අඩු වෙනවා. ඒ වුණත්, ලියන්න වෙනස් වෙනස් මාතෘකා ඕනෑ තරම් තිබෙන නිසා එහෙම වුණා කියා මෙහි ලිපි ලියන එකනම් නැවතෙන්නේ නැහැ. හැමදාම පිටාර නොදැම්මත් කළු ගඟ ගලනවා වගේ කොහොම හරි දිගටම කෙරෙනවා.

මහානාම හිමියන්ගේ සිට සිංහල අනන්‍යතාවය ගැන කතා කරන ගොඩක් අය කරන්නේ කිසියම් නිශ්චිත ස්ථානයක සිට ඉදිරියට එන එකයි. අපට අවශ්‍යනම් එය අනෙක් පැත්තට කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අද සිට පසුපසට යන එක. කවුරුත් හරියටම නොදන්නා මුලකින් පටන් ගන්නවාට වඩා එය ප්‍රායෝගිකයි.

ප්‍රබල සිංහල අනන්‍යතාවයක් තිබෙන විශාල පිරිසක් අද ඉන්නවා. මේ අයගෙන් වැඩි පිරිසක් ඉන්නේ ලංකාවේ වුවත්, සැලකිය යුතු පිරිසක් ලෝකයේ හතර දිග් භාගයේම විසිරිලා ඉන්නවා. අද දකින්නට හැකි සිංහල අනන්‍යතාවය දැන් තිබෙන තැනට පැමිණි ගමන් මඟ දිගේ ආපසු ගියොත් අපට හමුවන ප්‍රධාන මඟ සලකුණක් හා හන්දියක් වන්නේ උඩරට සිංහල හා පහතරට සිංහල කියන අනන්‍යතා වල වැදගත්කම අඩු වී දිය වී යාම.

අද තමන් සිංහල සේ හඳුන්වා ගන්නා බොහෝ දෙනෙක් උඩරට හෝ පහතරට කියන අනන්‍යතා වැදගැම්මකට ඇති දේ සේ සලකන්නේ නැහැ. විවාහ සම්බන්ධතා වැනි අවස්ථා වලදී මේවා තවදුරටත් එතරම් සීමාකාරී සාධක නෙවෙයි. ඒ නිසා, ගොඩක්ම තරුණ අයෙකුට මේ කියන දේ ඇඟට දැනෙන එකක් නැහැ.

කාල වකවානු අනුව බැලුවොත්, උඩරට පහතරට භේදය පසුගිය සියවසේ මුල් අර්ධය තුළ හෙමිහිටත්, දෙවන අර්ධය තුළ වේගයෙනුත් දිය වී ගියා කියා සැලකිය හැකියි. ඊට පෙර සියවස් දෙක තුනක කාලය තුළ මේ උඩරට පහතරට අනන්‍යතා වල භූමිකාව ඉතා ප්‍රබල එකක්.

යුරෝපීයයන් එන්න කලින් ඔහොම භේදයක් තිබුණේ නැහැ කියා කාට හෝ කියන්න පුළුවන්. ඒක ඇත්ත. සියවස් ගණනක් තිස්සේම ලංකාවේ කුල අනන්‍යතා හා ප්‍රාදේශීය අනන්‍යතා වලට ලොකු වැදගත්කමක් ලැබුණත් උඩරට පහතරට සේ සිදු වුනු බෙදීම යුරෝපීයයන් පැමිණීමෙන් පසුව සිදුවුණු දේශපාලනික බෙදීම හේතුවෙන් සිදු වූ දෙයක්. කොහොම වුනත්, උඩරට පහතරට අනන්‍යතා දියවී යන රැල්ලට කුල හා ප්‍රාදේශීය අනන්‍යතාවනුත් ගසා ගෙන යනවා.

පෘතුගීසින් හා ලන්දේසීන් විසින් ලංකාවේ උඩරට පළාත් පාලනය කළේ නැහැ. ඇතැම් ඓතිහාසික තත්ත්වයන් තරමක් වෙනස් වූවානම් ඉංග්‍රීසින් විසිනුත් උඩරට ප්‍රදේශ යටත් කර නොගනු හැකිව තිබුණා. වත්මන් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ ඉංග්‍රීසීන් විසින් පාලනය කලේ නැහැ. එහෙම වුනානම් අද වන විට මොන වගේ තත්ත්වයක් දකින්න ලැබෙයිද?

ආර්ථික වාසි හමුවේ තමන්ගේ චර්යාවන් වෙනස් කර ගැනීම මිනිස්සුන්ගේ ස්වභාවයක්. කලින් ඉහළ ස්ථරයේ සිටි රජු හා ඔහුගේ පාලනය වෙනුවට යුරෝපීයන් යටතේ ජීවත් වන්නට සිදුවීමෙන් පසුව පහතරට පෙදෙස් වල සිටි අය මේ අලුත් තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ඔවුන්ගේ ආගම, ආහාර, ඇඳුම් පැළඳුම්, රැකියා, සමාජ චර්යාවන් ආදිය වෙනස් කරගත්තත් උඩරට ප්‍රදේශ වල එවැන්නක් සිදු වුණේ නැහැ. එයට සමාන්තරව මේ කණ්ඩායම් දෙක අතර ආවාහ විවාහ සිදුවීම පවා නැවතීම නිසා මේ සමාජ දෙක කාලයක් පරිණාමය වුණේ වෙන වෙනමයි. ඒ නිසා, භාෂා ව්‍යවහාර පවා යම් තරමකින් වෙනස් වුණා.

ඉංග්‍රීසින් විසින් උඩරට පළාතුත් එකතු කර ගැනීමෙන් පසුව උඩරට පහතරට කණ්ඩායම් වෙන් කළ දේශපාලන තාප්පය බිඳ වැටුණා. එහෙත්, ඒ වන විට මේ සමාජ දෙක කාලයක් තිස්සේ වෙනම ගමන් කර තිබුණු නිසා නැවත එකතු වෙන්නත් සෑහෙන කාලයක් ගියා. මතු පිටින් එකතු වීමක් වගේ පෙනුණත්, මෙහිදී වැඩිපුර සිදුවුණේ පහතරට සංස්කෘතිය උඩරටට ගලායාමක්. එහෙමත් නැත්නම් පහතරට ප්‍රදේශ වල කලින්ම සිදුවූ වෙනස්කම් කාල පමාවකින් පසුව උඩරට ප්‍රදේශ වල සිදු වීමක්.

මේ මිශ්‍ර වීමේදී ඇත්තටම සිදු වුණේ කුමක්ද කියා පැහැදිලි කරන්න උදාහරණයක් සේ අපට උඩරට මුල් ඇඳුම ගන්න පුළුවන්. අද ලංකාවේ පහතරට පෙදෙස්වල බොහෝ පිරිමින් විවාහ අවස්ථා වලදී උඩරට මුල් ඇඳුම අඳිනවා. එහෙත්, දැනට අවුරුදු තිහ හතළිහකට කලින් එවැනි අවස්ථා දැකගන්න ලැබුණේ නැහැ. දැන් මෙහි බැලූ බැල්මටම පේන්නේ උඩරට සංස්කෘතික අංගයක් පහතරටට පැමිණි බවයි. එහෙත්, මේ බැලූ බැල්මටම පෙනෙන වෙනසට යටින් තිබෙන්නේ වෙනස් කතාවක්.

ඔය උඩරට මුල් ඇඳුම කියන එක උඩරට පළාත් වල හැමෝම ඇඳපු ඇඳුමක් නෙමෙයි. එය ඇන්දේ කුල ධුරාවලියේ ඉහළින් සිටි අය පමණයි. කතාවට කිවුවේ මේ ඇඳුම එය ඇඳිය නොයුතු කෙනෙක් ඇන්දොත් වස් වදින බවයි. ඒ නිසා, වෙනත් ඇතැම් දේවල් වගේම මේ ඇඳුමෙනුත් කළේ උඩරට පළාත් වල සමාජ ධුරාවලියේ මැදින් ඉරක් අඳින එකයි. ඒ ඉරට යටින් හිටපු කෙනෙක්ට ධනවතෙකු වූ පමණින් ඉර පනින්න පුළුවන්කමක් තිබුණේ නැහැ. උඩරටට සාපේක්ෂව පහතරටදී යමෙකුට ධනවතෙකු විය හැකිනම් සමාජ ස්ථරයේ ඉහළට පහසුවෙන් නැඟ ප්‍රභූවරයෙකු වීමේ හැකියාවක් තිබුණා.

උඩරට හෝ පහතරට ඕනෑම පිරිමියෙකුට මුල් ඇඳුමක් කුලියට ගන්න මුදල් ගෙවන්න සූදානම්නම් දැන් ඒ අවශ්‍යතාවය සපුරාගන්න බාධාවක් නැහැ. කලින් ප්‍රභූවරුන්ට පමණක් මේ ඇඳුම ඇන්දවූ පරම්පරා වල දරුවෝ වගේම වෙනත් අලුත් අයත් දැන් මුදල් ගෙවන ඕනෑම කෙනෙකුට මේ ඇඳුම අන්දනවා. මතුපිටින් පෙනෙන දේ කුමක් වුවත් ඇත්තටම සිදු වෙලා තිබෙන්නේ උඩරට සම්මත බිඳ වැටී පහතරට සම්මත උඩරටටත් පැතිරීමයි.

ආගම ගත්තත් සිදු වුණේ මේ වගේම දෙයක්. පානදුර ප්‍රදේශය ආශ්‍රිතව ඇති වුනු බෞද්ධ පුනරුදය ගැන ගොඩක් අය කතා කරනවා. මෙහිදී ප්‍රචලිතම අදහස වන්නේ පානදුරා වාදය, අනගාරික ධර්මපාලගේ දේශනා ආදිය නිසා මේ පුනරුදය ඇති වූ බවයි. එය බොරුවක් නොවූවත්, මෙය සිදුවීම් කිහිපයක් හෝ පුද්ගලයින් කිහිප දෙනෙක් නිසා පමණක් ඇති වූ "සැපයුම මත" පමණක් පදනම් වී උඩ සිට පහළට පැමිණි දෙයක් නෙමෙයි. පානදුරා වාදය ඇති වන්නේත්, අනගාරික ධර්මපාල වැනි කෙනෙක් බිහිවන්නේත් ඒ සඳහා අවශ්‍ය "ඉල්ලුම" ඒ කාලය වන විටත් තිබුණු නිසයි. එය පසුපස සිංහලයින් අතරින් කිසියම් පිරිසක් වෙළඳ පංතියක් සේ හිස ඔසොවන්න දැරූ උත්සාහයත් තිබෙනවා වෙන්න පුළුවන්.

උදාහරණයක් ලෙස, අනගාරික ධර්මපාල චරිතය මතුවෙන්න දශකයට හෝ දෙකකට පෙර සිටම පානදුර පැත්තේ තැබෑරුම් එකින් එක වැහෙන්න පටන් ගෙන තිබුණු බව අදාළ කාලයේ ප්‍රාදේශීය සංඛ්‍යාලේඛණ පරීක්ෂා කර දැනගත හැකි දෙයක්. අනගාරික ධර්මපාල වැනි අයට මේ ඉල්ලුම සපුරාලන ප්‍රකාශකයෙකු වෙමින් පානදුර පැත්තෙන් පටන්ගත් රැල්ල රටපුරා පතුරුවන්න හැකි වුණා.

යුරෝපීයයන් යටතේ සිටියදී ආගම වෙනස් කර පසුව නැවත බෞද්ධයින් වූ පිරිස් එසේ ආපසු පැමිණියේ උඩරට පළාත් වල සිටි බෞද්ධයින් සිටි තැනටම නෙමෙයි. උඩරට පහතරට නැවත එකතු වන විට පහතරට නැවතත් බෞද්ධ වන බව මතුපිටින් පෙනුණත් පහතරට නැවත උපන් බෞද්ධයින්ගේ බුද්ධාගම උඩරටට ව්‍යාප්ත වීමක් ඒ අතර සිදු වූ බව අමතක කළ නොහැකියි. ඒ වගේම, පහතරට මිනිස්සුන් මෙන් වාණිජ භෝග වවන්නට උඩරට මිනිස්සුත් පටන් ගැනීමත් මේ සම්මිශ්‍රණය සමඟ සිදු වූ දෙයක්.

උඩරට පහතරට මිශ්‍ර වුණා කිවුවත් මෙය සිදුවන ක්‍රමයක් තිබිය යුතුයිනේ. කළුගඟ කියන්නේ පහතරට සංස්කෘතිය උඩරටට ගෙන ආ ප්‍රධාන නාලිකාවක්.

යාබද උස් කඳු ගණනක් තිබුණත්, සබරගමුවේ ප්‍රධාන නගර දෙකෙන් එකක් වන රත්නපුර නගරය මුහුදු මට්ටමේ සිට වැඩි උසක පිහිටි නගරයක් නෙමෙයි. රත්නපුරේට නිතරම ගංවතුර එන්නත් එය හේතුවක්. රත්නපුර නගරය ආසන්නයේදී වේ ගඟ කළු ගඟට එකතු වන දෙමුවාවත හරියෙන් පටන් ගත්තහම කළුතර දක්වාම වගේ කළු ගඟ ගලන්නේ ලොකු බෑවුමක් සහිතව නෙමෙයි. ඒ වගේම, මේ කොටසේ කළු ගඟේ සැලකිය යුතු තරමේ පළලක් හා ගැඹුරක් තිබෙනවා. ගල්පර, බාධක ආදිය අඩුයි. මේ හේතුව නිසා කළුගඟට කාලයක්ම ප්‍රවාහන මාර්ගයක් සේ විශාල වටිනාකමක් ලැබුණා.

මේ ප්‍රවේශ මාර්ගය පහතරට සංස්කෘතිය උඩරටට මුලින්ම වාගේ ගෙන ආ තැනක්. සියවස් කිහිපයකට පස්සේ උඩරට හා පහතරට අතර මිශ්‍ර විවාහ නැවතත් ආරම්භ වන විට රත්නපුර ඉදිරියෙන්ම සිටියා. [කළු ගඟේ සම්බන්ධයක් නැතත්, ලංකාවේ පසුකාලීන දේශපාලනය තීරණාත්මක ලෙස වෙනස් කරමින් බණ්ඩාරනායක හා රත්වත්තේ පවුල් සම්බන්ධ වීමත් මේ කතාවේ කොනකට ගෑවිය හැකියි.] අනෙක් උඩරට ප්‍රදේශ වලට වඩා කලින් කළු ගඟ දිගේ රත්නපුරේට පහතරට ඇඳුම්, කෑමබීම හා වචන ආදිය ආවා.

කළු ගඟ හරහා උඩු ගං බලා පාරු පදිමින් උඩරට හා පහතරට නැවත යා කිරීමේ පුරෝගාමී කාර්යයට දැන හෝ නොදැන මුල පිරුවේ කළු ගඟ දිගේ උඩු ගං බලා පාරු පැදපු කළුතර, පානදුර පැත්තේ මිනිස්සු. අදාළ දිශාවට නාභිගත වෙමින් නොවූවත්, මිණි ගං දෑළ ටෙලි නාට්‍යයේ කතා කරන්නේ මේ පුරෝගාමී මිනිස්සු ගැනයි.

රසික ඇතුළු සමහරු ප්‍රතිචාර හරහා කඩුල්ල ටෙලිනාට්‍යය ගැනත් කතා කරලා තිබුණා. කඩුල්ල කියන්නේ මට අනුව ලංකාවේ ටෙලිනාට්‍ය ඉතිහාසය තුළ හැදුණු හොඳම ටෙලි නාට්‍යයක්. එහි මුල් කොටස් වල කළු ගඟ ආශ්‍රිත ජන ජීවිතය ගැනත්, මිනිරන් කර්මාන්තය ගැනත් කතා කෙරෙනවා. ලංකාවේ ව්‍යාපාරික පන්තියේ නැගීම ගැනත්, මම මෙහි කතා කර ඇති පහතරට හා උඩරට සම්මිශ්‍රණය වීම ගැනත්, සිංහල අනන්‍යතාවය ගැනත් කඩුල්ලේ සාකච්ඡා වෙනවා..

කොහොම වුණත්, කඩුල්ල මිණි ගං දෑළ වගේ කළු ගඟ ඉහළට යන කතාවක් නෙමෙයි. එය කළුගඟේ මෝය කිට්ටුවෙන් පටන් අරගෙන එතනින් ගොඩ වී කොළඹ හරහා එංගලන්තය දක්වාම යන පසුගිය සියවසේ මුල් කාර්තුව ආවරණය කරමින් දශක තුනක පමණ කාලයක් පුරා දිවෙන කතාවක්. කඩුල්ල තිර පිටපත ලියන්න කලින් අදාළ කාලයේ ඉතිහාසය ගැන සැලකිය යුතු තරමේ හැදෑරීමක් කර තිබෙන නිසා එය බැලීම වෙහෙසකර නැහැ.

විචාරක දියණිය විසින් මැණික් නදිය ගලා බසී ටෙලිනාට්‍යය ගැනත් මතක් කර තිබුණා. මුලින්ම සෝමවීර සේනානායකගේ නවකතාව කියවීමෙන් පසුව මේ ටෙලිනාට්‍යයත් මම ඒ දවස් වලම බැලුවා. එය රත්නපුරේ මැණික් කර්මාන්තය ආශ්‍රිත ජීවිතය ගැන කතා කරන ටෙලි නාට්‍යයක් මිස කඩුල්ල වැනි අතීතයකට දිවෙන කතාවක් නෙමෙයි.

මිණි ගං දෑළේ චරිත කළු ගඟ දිගේ උඩහට, රත්නපුරය දක්වාම හෝ ඒ කිට්ටුවටම පාරු පදිනවා. කළු ගඟ දිගේ ඇවිත් නම්බපාන හරිය පහු කළ වහාම දිස්ත්‍රික්කය හා පළාත මාරුවෙනවා වගේම නිල වශයෙන් පහත රට සිට උඩරටට ප්‍රවේශ වෙනවා. ඒ සමඟ ක්‍රමක්‍රමයෙන් ගොඩක් දේවල් වෙනස් වෙන්න ගන්නවා. ඒත් ඒ දේවල් කෙරෙහි තිර රචකයා විසින් අවශ්‍ය පමණ අවධානය හෙළා ඇති බවක් පෙනෙන්නේ නැහැ.

මෙහිදී මගේ අරමුණ මඩ බිංදුවක් ඇඟේ නැතිව පතල් පොළෙන් එළියට පැමිණ, අපටත් මතක ඇති කාලයේ වෙළඳපොළට ආ වෛවර්ණ සරමක් ඇඳගෙන සිමෙන්ති බෝක්කුවක් උඩ වාඩි වී සිටින චරිත ගැන කතා කිරීම හෝ අඩු වශයෙන් මේ ටෙලි නාට්‍යයේ ගුණාගුණ කතා කිරීම නොවෙයි. මෙහි සඳහන් සිදුවීම් පාදක කර ගනිමින් පසුගිය සියවසේ මුල කළු ගං නිම්නයේ මේ මේ කොටසේ සිදු වූ වෙනස්වීම් ගැන කතා කිරීමයි. දැනගන්නට ලැබුණු පරිදි ප්‍රියාල් වීරසිංහ තිර පිටපත ලියන්නට පෙර කළු ගං නිම්නයේ පතල් ආශ්‍රිත ජන ශ්‍රැති ආදිය ගැන කිසියම් අධ්‍යයනයක් කර තිබුණත්, ගූගල් සෙවුමක දුරින් තිබෙන ඇතැම් ඓතිහාසික කරුණු මඟ හැර ගොස් ඇති බව පෙනීම එයට හේතුවයි.

කොහොම වුනත්, අදත් අවශ්‍ය තැනට එන්න කලින් වෙනත් දේවල් ගොඩක් ලියැවුණු නිසා ඒ දේවල් ගැන කතා කරන එක තවත් දවසකට ඉතිරි කරමු.

Wednesday, July 25, 2018

කාල නදිය හා මිණි ගං දෑළ

මිණි ගං දෑළ මේ දින වල සිරසේ විකාශනය වන ටෙලි නාට්‍යයක්. අද (ජූලි 25) වන විට ටෙලි නාට්‍යයේ කොටස් 33ක් විකාශනය වී අවසන්. මේ ටෙලි නාට්‍යය නරඹන්න පෙළඹවීමක් ඇති වුනේ අරූගේ අඩවියේ බ්ලොග් පෝස්ට් එකකිනුයි. අරූ විසින් මීට පෙර මේ අයුරින් හඳුන්වා දී තිබුණු ටෙලි නාට්‍ය, චිත්‍රපටි හා ගීත බොහොමයක්ම මගේ රුචිකත්වය සමඟ පෑහී තිබුණු නිසා මෙයත් මොන වගේද කියා බලන්න මම දෙවරක් හිතුවේ නැහැ.

ලංකාවෙන් පිට ජීවත් වන, අන්තර්ජාලය හරහා සිංහල ටෙලි නාට්‍ය නරඹන අප වැනි රසිකයින්ට ටෙලි නාට්‍යයක් විකාශනය වන නාලිකාව එතරම් වැදගත් කරුණක් නෙමෙයි. ඒ වුණත්, සිරසේ සාමාන්‍ය වට්ටෝරුවෙන් වෙනස් මේ වගේ ටෙලි නාට්‍යයක් එහි විකාශනය වීම මුලින්ම අවධානයට ලක් වූ දෙයක්.

මිණි ගං දෑළේ දිග හරින්නේ ඉතිහාසයේ එක්තරා අවදියක කළු ගං දෑළේ සිදු වූ සිදුවීම් සමුදායක්. බැලූ වනම මේ ටෙලිනාට්‍යයෙහි  සමීප බවක් දැනුණේ ඒ නිසා වෙන්න ඇති. මේ ටෙලිනාට්‍යය තුළ ජීවත් වන චරිත බොහොමයක් එක්කෝ මට හමු වී තිබෙන චරිත. එසේ නැත්නම් මා අසා දැන සිටි චරිත.

පළමුවෙනි කථාංගයේදීම හමු වෙන නැපෝහාමි කළු ගඟ අයිනේ ජීවත් වන තොටියෙක්. ඔහු තොටියෙක් වෙන්නේ ඔහුගේ පියාත්, පියාගේ පියාත් තොටියන් වූ නිසා. කතාවේ කියන කාලයට වඩා අවුරුදු හැත්තෑ පහකට නැත්නම් සීයකට පසුව පසුගිය සියවසේ තුන්වන කාර්තුවේදීත් නැපෝහාමිව මට හමු වී තිබෙනවා. එවිට මා කුඩා දරුවෙක්.

සයිමන් මුදලාලි හා දඩල්ලේ මුදලාලි වැනි අය ආර්ථික වාසි සොයමින් පහතරට සිට කළුගඟ දිගේ උඩහට පැමිණි අය. මෙවැනි ඇතැම් අය කලුගඟ ඉහළ ගම් වල බින්න බැස කතාවේ කාලයට වඩා සියවස් කාලකට පමණ පසුවත් පාලම් පාරු රස්සාව, රබර් කර්මාන්තය හා පතල් කර්මාන්තය වැනි රැකියා කරගෙන ගියා. ඔවුන් මට හමුවන විට සිටියේ ඔවුන්ගේ ජීවිත වල සැන්දෑ කාලයන්හියි.

කතාවේ හමුවන ගිරිගෝරිස් මැණික් පතලයකින් මැණිකක් ගෙන පැන ගොස් එය මුදල් කර පෝසතෙක් වන අයෙක්. ගිරිගෝරිස්ව මට ඔහුගේ තරුණ කාලයේදී හමු වී තිබෙනවා. ඒ වගේම, කුරුවිට නොවුණත්, ඇළහැර ඔක්කම්පිටිය වගේ පැති වල මැණික් ඉල්ලම් සහිත ඉඩම් චන්ඩි කමෙන් අයිතිකරගෙන සිටි උණ්ඩියාලාවත් මට ඔවුන්ගේ මැදි වයසේදී හමු වී තිබෙනවා.

අර්නෝලිස්ලාගේ පතල් පොළ මම දකින විට එහි වතුර ඉවත් කිරීම සඳහා ඉන්ධන වලින් ක්‍රියා කරන මෝටරයක් තිබුණත් වෙනත් කිසිම වෙනසක් වී තිබුණේ නැහැ. රත්නපුරේ පතල් පොළවල් වල ආකෘතිය ලොකුවට වෙනස් වෙන්න ගත්තේ නමසිය හැත්තෑ ගණන් වල තායි ජාතිකයින් මේ කර්මාන්තයට අත ගැසීමෙන් පසුවයි.


මා කුඩා කාලයේදී හමු වුණු මේ ගොඩක් දෙනෙක්ව මිණි ගං දෑළ හරහා දකින්න ලැබීම සතුටක්. මම හිතන්නේ මේ ටෙලිනාට්‍යයෙන් ස්පර්ශ කරන්නේ පසුගිය කාලයේ ටෙලිනාට්‍යකරුවන්ට මඟ හැරී තිබුණු කාල අවකාශයක්.

ටෙලි නාට්‍යයක්  නොවූවත් මෑතකදී මේ චරිත කෙරෙහි අවධානය හෙලා තිබුණු සාහිත්‍ය කෘතියක් වන්නේ 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම නවකතාව සේ තේරුණු නෝබට් අයගමගේගේ "කාල නදී ගලා බසී" කෘතියයි. ඒ ගැන බොහෝ දෙනෙක් අතින් ලියැවී තිබෙනවා. එසේ ලියැවුණු බ්ලොග් සටහන් කිහිපයක් පහත තිබෙනවා.

http://sandunsevana.blogspot.com/2015/03/blog-post_13.html

http://me-and-err.blogspot.com/2015/06/blog-post_25.html

http://iranamvila.blogspot.com/2014/11/blog-post_20.html

http://nirmalaya.blogspot.com/2016/05/blog-post_24.html

මිණි ගං දෑළ ටෙලි නාට්‍යයේ චරිත ගොඩ නැඟීමේදී "කාල නදී ගලා බසී" කතාවෙන් කිසියම් ආභාෂයක් ලබා ඇති බවක් පෙනෙනවා. අරූගේ ලිපියේ විශේෂයෙන්ම අවධානය යොමු කර තිබුණේ සමන් ලෙනින් විසින් ගායනා කරන මිණි ගං දෑළ ටෙලි නාට්‍යයේ තේමා ගීතයටයි. එය නැවත නැවතත් අහන්නට හිතෙන ගීතයක් බව කිව යුතු නැහැ.

ජගත් ජේ එදිරිසිංහ විසින් ලියා සමන් ලෙනින් විසින්ම සංගීතවත් කර තිබෙන මේ ගීතය ඔවුන් මේ ටෙලි නාට්‍යය වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කර තිබෙන ගීතයක්. මුල් ගීතය සඳහා උත්තේජනය සපයා තිබෙන්නේ "කාල නදී ගලා බසී" කෘතියයි. පසුව මුල් ගීතයේ සංගීතයම යොදාගනිමින්, වචන සංශෝධනය කර ඔවුන් විසින්ම මිණි ගං දෑළ ගීතය ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මුල් ගීතය හා මිණි ගං දෑළ තේමා ගීතය යන දෙකම පහත තිබෙනවා.



මිණි ගං දෑළ සුන්දර නිර්මාණයක්. එහි චරිත පිළිබඳව මට ලොකු ගැටළු නැහැ. නමුත්, මේ කතාවේ පසුබිමේ තිබෙන්නේ සිංහල අනන්‍යතාවය අද පවතින තැනට විකාශනය වීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක්. අදාළ වකවානුවේ සැබෑවටම සිදුවූ ඓතිහාසික සිදුවීම් ගණනාවක් ගැන කතාවේදී සාකච්ඡා වෙනවා.

කතාවේ චරිත තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමේ අයිතිය ටෙලිනාට්‍යකරුවෙක්ට තිබුණත් එහි පසුබිමේ තිබෙන ඉතිහාසය හැකිතාක් නිවැරදිව නිරූපණය කිරීම එවැන්නෙකු විසින් අමතක නොකළ යුතු දෙයක්. ඒ සඳහා ප්‍රමාණවත් අධ්‍යනයක් කළ යුතුයි. මෙහිදී එයනම් සිදු වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා, මිණි ගං දෑළ සුන්දර නිර්මාණයක් වුවත් එහිදී කළු ගඟ මතුපිටින් හබල් ගාගෙන යනු මිස කළු ගඟේ පතුළ අතගාන බවක්නම් පෙනෙන්නේ නැහැ.

ලිපිය දිග් ගැසෙන නිසා මේ අඩුපාඩු පෙන්වා දීම ඉදිරි කොටසකට ඉතිරි කරන්නම්. එය කළ හැක්කේ මේ ටෙලිනාට්‍යය පසුබිමේ ඇති ක්‍රියාවලියේ ඓතිහාසික වැදගත්කම ගැන මුලින් පෙන්වා දීමෙන් පසුවයි.

Tuesday, July 24, 2018

වූල්වර්ත්ස් ලාබ අසාධාරණද?

ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගම් සමූහයේ මාර්ක්-අප් එක ගැන අපි පෙර ලිපියෙන් කතා කළා. නමුත්, එම සමාගමේ ලාභ ගැන හරියටම කතා කළේ නැහැ. වූල්වර්ත්ස් සමාගම ඇමරිකාවේ වෝල්මාර්ට් සමාගමට හෝ ලංකාවේ කාර්ගීල්ස් සමාගමට වඩා ලොකු මාර්ක්-අප් එකක් තබා ගන්නා බව පෙනුනත් ඒ හේතුව නිසාම ඒ සමාගම අධික ලාභ උපයන බවක් අදහස් වෙන්නේ නැහැ.

වූල්වර්ත්ස් වැනි සමාගමක සේවක වියදම්, ගොඩනැගිලි හා වාහන කුලී හෝ නඩත්තු වියදම්, ප්‍රවාහන වියදම්, ණය පොලී, විදුලි බිල් වැනි ගෙවීම් ඇතුළු අටෝරාසියක් වියදම් ආවරණය කරගන්න වෙන්නේ මේ මාර්ක්-අප් එකෙනුයි. ඒ සියලු වියදම් පියවීමෙන් පසුව ඉතිරිවන ශුද්ධ ලාභයෙනුත් කොටසක් රජයට බදු සේ ගෙවීමෙන් පසුවයි සමාගම වෙනුවෙන් ආයෝජනය කර ඇති කොටස් හිමිකරුවන්ට එහෙමත් නැත්නම් සමාගමේ අයිතිකරුවන්ට තමන්ගේ ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභ ලබාගත හැක්කේ.

තවත් දෙයක් කිවයුතුයි. අප මේ ලිපිමාලාවේදී අවධානයට ලක්කළ ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස්, ඇමරිකාවේ වෝල්මාර්ට් හා ලංකාවේ කාර්ගීල්ස් වැනි සුපිරි වෙළඳසැල් කර්මාන්තයේ නියැලෙන ප්‍රධාන සමාගම් හැම එකක්ම වගේ අදාළ රටවල කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කර තිබෙන පොදු සමාගම්. ඒ නිසා, මෙවැනි සමාගමක අයිතිකරුවෙකු වෙන්න ඕනෑම පුද්ගලයෙකුට පුළුවන්කම තිබෙනවා. යම් හෙයකින් කිසියම් ලැයිස්තුගත සමාගමක ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ඉතා ඉහළ බව පෙනෙනවනම් ඒ ප්‍රතිලාභ තමන්ටත් ලබා ගන්න කිසිවෙකුට බාධාවක් නැහැ. ඒ නිසා, එකම පුද්ගලයෙකු එක වරම මෙවැනි සමාගමක පාරිභෝගිකයෙකු, සේවකයෙකු හා අයිතිකරුවෙකු විය හැකියි. ඒ හැර, සමාගම් අයිතිකරුවන් කියා ඉරකින් වෙන්කළ හැකි නිශ්චිත පුද්ගලයින් කණ්ඩායමක් නැහැ.

සමාගමක කොටස් හිමිකරුවෙකුට තමන්ගේ ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ ලාභාංශ වශයෙනුයි. ශුද්ධ ලාභය මත රජයට බදු ගෙවීමෙන් පසුව ඉතිරි වන මුදල හෝ එයින් කොටසක් මෙසේ ලාභාංශ සේ කොටස්කරුවන් වෙත ලබා දෙනවා. එහෙත්, ඇතැම් විට සමාගමට ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා අමතර ප්‍රාග්ධනය අවශ්‍යනම් මේ ලාභ වලින් කොටසක් හෝ මුළු මුදලම ලාභාංශ සේ මුදා නොහැර සමාගම වෙතම තබාගන්නත් පුළුවන්. එය අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කළමණාකාරිත්වයේ තීරණයක්.

සමාගමක කොටස් හිමිකරුවෙකුට ප්‍රතිලාභ ලබාගත හැක්කේ ලාභාංශ හරහා පමණක් නෙමෙයි. සමාගමේ කොටසක වෙළඳපොළ මිල ඉහළ ගිය විටෙක ගැනුම් මිලට වඩා වැඩි මිලකට කොටසක් එකවර විකුණා ප්‍රාග්ධන ලාභයක් ලබන්නත් පුළුවන්. නමුත්, කොටස් මිල පහළ වැටෙන්නත් ඉඩ තිබෙන නිසා මෙය ප්‍රාග්ධන අලාභයක් වෙන්නත් බැරි නැහැ. මේ අනුව, සමාගමක කොටස් හිමිකරුවෙකුට තමන්ගේ ආයෝජනය වෙනුවෙන් ලැබෙන සමස්ත ප්‍රතිලාභය කියන්නේ ලැබුණු ලාභාංශ වල හා ප්‍රාග්ධන ලාභයේ හෝ අලාභයේ එකතුවයි.

සමාගමක ලාභ ඉහළ යන විට සාමාන්‍යයෙන් කොටස් හිමිකරුවන්ට ගෙවන ලාභාංශත් ඉහළ යනවා. දිගින් දිගටම සමාගමක ලාභ හා ලාභාංශ ඉහළ යන විට සමාගමේ අනාගත ලාභ හා ලාභාංශ පිළිබඳ අපේක්ෂාවන්ද ඉහළ යන නිසා එහි කොටස් මිලත් වැඩි වෙනවා. මෙවැනි අවස්ථාවක කොටස්හිමියෙකුට තමන්ගේ කොටස් විකුණා ලොකු ප්‍රාග්ධන ලාභයක් ලැබිය හැකි වුවත් එය රන් බිජු දමන කිකිළියකගේ බඩ පලනවා වැනි දෙයක් වෙන්න පුළුවන්. කොටස් විකුණා නොදැම්මොත්, අතට මුදල් නොලැබෙන නමුත් මුදල් නොකළ ප්‍රාග්ධන ලාභ නිසා කොටස් හිමිකරුවෙකුගේ වත්කම් ඉහළ යනවා. ඇමසන් සමාගමේ කොටස් මිල ඉහළ යද්දී ජෙෆ් බෙසෝස් ලෝකයේ ලොකුම වත්කම්හිමියා බවට පත් වුණේ මේ විදිහටයි.

සමාගමක ලාභ ලාභාංශ සේ බෙදා නොහැර සමාගමේ ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහා වෙන් කරන්නේ එසේ කිරීමෙන් එහි අනාගත ලාභ තවත් වැඩි කර ගත හැකි බව පෙනෙන විටයි. ඒ නිසා, සමාගමක ලාභ ඉහළ ගොස් ඒවා ලාභාංශ ලෙස බෙදා නොහැර සමාගමේම ඉතිරි කරගත් විටත් එහි අනාගත ලාභ හා ලාභාංශ පිළිබඳ අපේක්ෂාවන් ඉහළ කොටස් මිල වැඩි වීම නිසා කොටස් හිමිකරුවන්ගේ වත්කම් ඉහළ යනවා. කොටස් හිමිකරුවෙකුට අවශ්‍යනම් තමන්ගේ වත්කම් වලින් කොටසක් මුදල් කිරීමේ හැකියාව තිබෙන නිසා සමාගමේ ලාභ ලාභාංශ ලෙස ලබා නොදී සමාගමේම රඳවාගත්තාය කියා දිගුකාලීනව එවැන්නෙකු විසින් ලබන ප්‍රතිලාභ වල ලොකු වෙනසක් වෙන්නේ නැහැ.

පහත වගුවේ හා රූප සටහන් තුනේ පෙන්වා තිබෙන්නේ පසුගිය වසර දහය තුළ වූල්වර්ත්ස් කොටස්හිමිකරුවන්ට ගෙවූ ලාභාංශ, එම සමාගමේ කොටස් මිල විචලනය වූ ආකාරය හා කොටස් මිලට සාපේක්ෂව ලාභාංශ වල ප්‍රතිලාභ අනුපාතිකයයි.

වූල්වර්ත්ස් සමාගම සාමාන්‍යයෙන් වසරකට දෙවරක් ලාභාංශ ගෙවා ඇති බව පෙනෙනවා. ඒ වසරේ පළමු හා තෙවන කාර්තු අවසානයේදී. පුරුද්දක් ලෙස තෙවන කාර්තුව අවසානයේදී සුළුවෙන් වුවත් තරමක් වැඩි මුදලක් ලාභාංශ සේ ගෙවා තිබෙනවා.





ඉහත කී සේ සයමසකට වරක් ලාභාංශ වශයෙන් කොටස් හිමිකරුවෙකුට ගෙවා ඇති මුදල කොටසක වෙළඳපොල වටිනාකමේ ප්‍රතිශතයක් සේ ගත්තොත් මධ්‍යන්‍ය අගයක් ලෙස 2% කට වඩා තරමක් අඩුයි. ඒ කියන්නේ, කොටස් හිමියන්ගේ ආයෝජන වෙනුවෙන් ලාභාංශ සේ වසරකට ලැබී ඇති ප්‍රතිලාභය 4% මට්ටම ඉක්මවා නැහැ. 2008 මාර්තු හා 2018 මාර්තු අතර කාලය සැලකුවොත් වූල්වර්ත්ස් කොටසක මිලෙහි අඩුවීමකුයි දැකිය හැක්කේ. එම මිල ඕස්ට්‍රේලියානු ඩොලර් 29.35 සිට 26.29 දක්වා පහත වැටී තිබෙනවා. මේ වන විට මේ කොටස් මිල නැවතත් ඕස්ට්‍රේලියානු ඩොලර් 30.99 මට්ටමට පැමිණ තිබෙන බව සැලකුවත් එය වසරකට 0.5% කට වඩා නොවැඩි වර්ධනයක්. ඒ නිසා, වූල්වර්ත්ස් කොටස් හිමියකු විසින් ලබා තිබෙන සාමාන්‍ය ප්‍රතිලාභය වසරකට 4.5% කට වඩා නැහැ.

වසර දහයකට පෙර, එනම් 2008 වසරේ මුල් අර්ධය තුළ ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කළ දස අවුරුදු බැඳුම්කර වෙනුවෙන් ලැබිය හැකිව තිබුණු ප්‍රතිලාභය 6% මට්ටමටත් වඩා වැඩියි. මේ බැඳුම්කර කොටස් ආයෝජන මෙන් අවදානම් ආයෝජන නෙමෙයි. ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කරන දස අවුරුදු බැඳුම්කරයක් වෙනුවෙන් පොරොන්දු වන ප්‍රතිලාභය නොලැබී යන්න ඉඩක් නැති තරම්. මේ පදනම මත බැලුවොත් වූල්වර්ත්ස් කොටස්හිමිකරුවෙක් 2008 මුලදී තමන්ගේ කොටස් මුදල් කර ඕස්ට්‍රේලියානු රජයේ බැඳුම්කර මිල දී ගත්තානම් මේ වන විට 6% ඉක්මවන ප්‍රතිලාභයක් ලබා අවසන්. එසේ නොකර වූල්වර්ත්ස් ලාභ මත විශ්වාසය තබාගෙන සිටීම නිසා ඔවුන්ට සිදුවී තිබෙන්නේ ආයෝජනය කළ මුදලින් 1.5% ක් ඉක්මවන අලාභයක්.

තත්ත්වය මෙසේනම්, වූල්වර්ත්ස් අයිතිකරුවන් පාඩු විඳිමින් මේ ව්‍යාපාරය තුළ රැඳී සිට ඇත්තේ ඇයි? ඔවුන් අපේක්ෂා කරන්නට ඇත්තේ පසුගිය දස වසර තුළ එම සමාගමේ ලාභ මීට වඩා වැඩි වනු ඇති බවයි. එහෙත්, සේවක වියදම් ඉහළ යාම, ඉහල ගිය තරඟකාරිත්වය හෝ වෙනත් හේතුවක් මත එය එසේ සිදු වී නැහැ. ස්වයංකරණය හඳුන්වා දෙමින් සේවක වියදම් අඩු කර ලාභ වැඩිකරගන්නට ඔවුන් උත්සාහ දරා තිබුණත්, හොරකම් වැඩි වීම හෝ වෙනත් හේතුවක් නිසා එසේ කිරීමෙන් පසුවත් ඔවුන්ට අවශ්‍ය පමණ ලාභයක් ලබන්නට හැකි වී නැහැ.

මා වූල්වර්ත්ස්හි සුළු කොටස්හිමියෙක්ව සිටියානම් මේ වෙලාවේ උනන්දුවෙන් බලා සිටින්නේ අනාගත ලාභ වැඩි කරගැනීම සඳහා සමාගමේ කළමනාකාරිත්වය විසින් කවර ක්‍රියාමාර්ග ගන්නේද යන්න දෙසයි. එවැනි ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙනෙන්නේ නැත්නම් මා කරන්නේ මගේ කොටස් විකුණා දැමීමයි. මේ වෙලාවේ ඕස්ට්‍රේලියානු රජය විසින් නිකුත් කරන දස අවුරුදු බැඳුම්කරයක ඵලදා අනුපාතිකය 2.7% පමණ මට්ටමක තිබුණත් ආසන්නම වසර කිහිපය තුළ වූල්වර්ත්ස් සමාගමේ ලාභාංශ අනුපාතික දෙස බැලූ විට අවදානම අඩු බැඳුම්කර වලට මුදල් මාරු කිරීම වුණත් නරකම නැහැ. හොයා බැලුවොත්, අවදානමට සාපේක්ෂව වැඩි ප්‍රතිලාභ ලැබීමේ ඉඩක් තිබෙන වෙනත් ඕස්ට්‍රේලියානු සමාගම් වල කොටස් ඕනෑ තරම් ඇති.

බොහෝ දෙනෙක් මෙසේ සිතා තමන් සතු වූල්වර්ත්ස් කොටස් විකුණන්න පෙළඹුනොත් සිදුවන්නේ වූල්වර්ත්ස් කොටසක මිල දැන් තිබෙන මට්ටමට වඩා පහළට වැටීමයි. එය එසේ නොවන්නටනම් එහි කළමනාකාරිත්වයට ඉතා ඉක්මණින්ම සමාගමේ ලාභ වැඩි කරගැනීමේ උපාය මාර්ගයක් ගැන හිතන්නට වෙනවා.

Monday, July 23, 2018

වූල්වර්ත්ස් මාර්ක්-අප් එක කොපමණද?


වූල්වර්ත්ස් වෙළඳසැල් සමූහය වගේ සමාගමක් පාරිභෝගිකයින් පීඩාවට පත් කරමින් අසීමිත ලාභ නොලබන බවත්, සමාගමකට එසේ කිරීමේ හැකියාවක් නැති බවත් මගේ පෙර ලිපියේ සඳහන් කළ නමුත් එහි මා නිශ්චිත සංඛ්‍යාලේඛණ කිසිවක් ඉදිරිපත් කළේ නැහැ. එම සමාගමේ මූල්‍ය වාර්තා වලින් මේ සංඛ්‍යාලේඛණ සොයා ගත හැකියි.

2017 වසර සඳහා වූ ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගමේ මූල්‍ය ප්‍රකාශන අනුව එම වසර තුළ ඔවුන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 55,475.0 ක භාණ්ඩ අලෙවි කර තිබෙන අතර මේ භාණ්ඩ වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 39,739.7ක මුදලක් ගෙවා තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස ගත් විට එම සමාගමේ මාර්ක්-අප් එක විකිණුම් මිලෙන් 28.4%ක්. එය ඇතැම් පාරිභෝගිකයින් හිතන තරමේ විශාල මාර්ක්-අප් එකක් නෙමෙයි.

සමාගමක සේවක වියදම් ආදී සියලු අමතර වියදම් පියවා ගන්න වෙන්නේ ඉහත කී මාර්ක්-අප් එකෙනුයි. කොහොම වුවත්, ඒ වියදම් පියවා ගන්න විකිණුම් මිලෙන් 28.4%ක මාර්ක්-අප් එකක් අවශ්‍යද කියන ප්‍රශ්නයට පිළිතුරක් මෙහි නැහැ. අවශ්‍යනම් අපට මේ මාර්ක්-අප් එක වෙනත් රටවල් වල මේ ආකාරයේම කර්මාන්තයක නියැලෙන සමාගම් වල මාර්ක්-අප් සමඟ සැසඳිය හැකියි.

2018 ජනවාරි 31න් අවසන් වූ මූල්‍ය වසර සඳහා වූ ඇමරිකාවේ වෝල්මාර්ට් වෙළඳ සමූහයේ මූල්‍ය ප්‍රකාශන අනුව එම වසර තුළ ඔවුන් ඇමරිකන් ඩොලර් මිලියන 485,751ක භාණ්ඩ අලෙවි කර තිබෙන අතර මේ භාණ්ඩ වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 373,396ක මුදලක් ගෙවා තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස ගත් විට එම සමාගමේ මාර්ක්-අප් එක 23.1%ක් පමණයි. මේ අනුව වෝල්මාර්ට් සමාගම තබා ගන්නා මාර්ක්-අප් එක වූල්වර්ත්ස් මාර්ක්-අප් එකට වඩා 5.3%කින් අඩුයි.

මේ ආකාරයෙන්ම අපට ලංකාවේ කාර්ගීල්ස් ආයතනයේ 2018 මාර්තු 31න් අවසන් වූ මූල්‍ය වසර සඳහා වූ මූල්‍ය වාර්තාත් පිරික්සිය හැකියි. එම වසර තුළ ඔවුන් රුපියල් මිලියන 91,293.1 ක භාණ්ඩ අලෙවි කර තිබෙන අතර මේ භාණ්ඩ වෙනුවෙන් රුපියල් මිලියන 80,718.8 ක මුදලක් ගෙවා තිබෙනවා. මේ අනුව, සමස්තයක් ලෙස ගත් විට එම සමාගමේ මාර්ක්-අප් එක 11.6%ක් පමණයි.

එහෙමනම්, ලංකාවේ කාර්ගීල්ස් ආයතනය ඇමරිකාවේ වෝල්මාර්ට් ආයතනයට හා ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් ආයතයනයට වඩා කාර්යක්ෂමද?  එසේ නැත්නම් එම ආයතන දෙකට වඩා සාධාරණ වෙළඳාමක නියැලෙනවාද? එසේත් නැත්නම් ඒ සමාගම් දෙකටම වඩා වැඩියෙන් සේවකයින්ව සූරාකනවද?

ඉහත දත්ත සසඳමින් මේ කිසිවක් කීමේ හැකියාවක් අපට නැහැ. අප සැලකිල්ලට ලක් කළ එක් එක් රටේ සේවක වැටුප් තීරණය වන්නේ රටේ සමස්ත ආර්ථිකයේ තත්ත්වය හා කම්කරු නීති ආදිය මතයි. සුපිරි වෙළඳසැල් සමූහයකට කළ හැක්කේ ශ්‍රම වෙළඳපොළේ පවතින තත්ත්වයන් අනුව ඔවුන්ගේ ව්‍යාපාරික උපාය මාර්ග ප්‍රශස්ත ලෙස සැලසුම් කර ගැනීම පමණයි.

ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටකට සාපේක්ෂව ලංකාවේ කම්කරු ශ්‍රමය ලාබයි. ඒ නිසා, සේවක වැටුප් ගෙවීමෙන් පසුවත් තමන්ගේ ප්‍රාග්ධනය වෙනුවෙන් අවශ්‍ය තරමේ ප්‍රතිලාභයක් ලැබීමට 11.6%ක මාර්ක්-අප් එක ප්‍රමාණවත්. ඒ වගේම රටේ පාරිභෝගිකයින්ගේ මිල දී ගැනීමේ හැකියාව ඇමරිකාව හෝ ඕස්ට්‍රේලියාව වැනි රටක තරමට ඉහළ නැති නිසා පවතින තරඟකාරී වෙළඳපොළ තුළ මේ මාර්ක්-අප් එක තවත් වැඩිකර ලාභ වැඩි කරගැනීමේ හැකියාවක් නැහැ. එසේ කළොත් සිදුවන්නේ භාණ්ඩ විකිණෙන එක අඩු වී ලාබ අඩු වීමයි.

ඒ වගේම අනෙක් අතට මෙවැනි එක් සමාගමකට පමණක් සේවක හෙට්ටු කිරීම් වැනි හේතුවක් මත සේවක වැටුප් ඕනෑවට වඩා වැඩි කරන්නට සිදු වුනොත් ඒ අමතර වියදම අල්ලන්නට මාර්ක්-අප් එක ඉහළ දමා පාරිභෝගිකයින් එලෙසම රඳවා ගන්න බැහැ. එවිට සිදුවන්නේ යොදන ප්‍රාග්ධනය වෙනුවෙන් අවශ්‍ය වන අවම ප්‍රතිලාභය හෝ නොලැබී යාම නිසා සමාගම වැසී යාමයි. එහෙත්, රටේ ආර්ථික වර්ධනයට හා පාරිභෝගිකයන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ යාමට අනුරූපව ශ්‍රම වෙළඳපොළ මිල ගණන් අනුව යමින් සේවක වැටුප් ඉහළ දමන්නට සිදුවීමෙන් එවැනි ගැටළු මතු වන්නේ නැහැ.

රටක එක් සමාගමක මූල්‍ය ප්‍රකාශන පමණක් පිරික්සා ලොකු නිගමන වලට පැමිණීම නිවැරදි නැහැ. ඒ බව අමතක කර, මේ සමාගම් අදාළ රටවල සුපිරි වෙළඳසැල් නියෝජනය කරන සමාගම් සේ සැලකුවොත් ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගමේ මාර්ක්-අප් එකෙහි ඇමරිකාවේ වෝල්මාර්ට් සමාගමේ මාර්ක්-අප් එකට සාපේක්ෂව වුවත් කැපී පෙනෙන තරමේ වෙනසක් දැකිය හැකියි.

මෙයට හේතුවත් දෙරටේ ශ්‍රම වෙළඳපොළ සාධක වල වෙනස්කම් වෙන්න පුළුවන්. එය එසේනම්, ඕස්ට්‍රේලියාවේ වූල්වර්ත්ස් සමාගමට වැඩි මාර්ක්-අප් එකක් තබාගන්න අවශ්‍ය වෙන්නේ එරට කම්කරු නීති නිසා හෝ ශ්‍රම වෙළඳපොළේ ස්වභාවික තත්ත්වයන්ම නිසා සේවක වියදම් ඇමරිකාවේ සේවක වියදම් වලට වඩා වැඩි වීම විය යුතුයි.

ඇමරිකාවට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් වල භාණ්ඩ වැඩි ප්‍රමාණයක් හොරකම් කරනු ලැබීමත් මෙයට තවත් හේතුවක් වෙන්න පුළුවන්. පෙනෙන විදිහට සේවකයින් අඩු කරන විට හොරකම් ඉහළ යන නිසා වක්‍ර ලෙස ගත්තොත් මෙයට හේතුවත් ඕස්ට්‍රේලියාවේදී ශ්‍රමය සඳහා ගෙවිය යුතු මිල වඩා වැඩි වීමයි.

(Image: https://www.dailymercury.com.au/news/woolworths-standing-firm-on-no-nudity-at-melbourne/3435499/)

Sunday, July 22, 2018

හොරකම් කර සමාගම් වල ලාබ අඩු කළ හැකිද?


පහතින් තිබෙන්නේ පෙර ලිපියකට අපේ පාඨකයෙකු විසින් දැමූ ප්‍රතිචාරයකින් කොටසක්.

"වුලීස් හා කෝල්ස් පමණක් නොවේ, අයි ජී ඒ , අල්ඩි ඇතුළු හැම සුපර්මාර්කට් කාරයෙක්ම 200% - 500% අතර (හෝ ඊටත් වැඩි ) මාර්ක්අප් එකක් ඇතුව බඩු විකුනනවා. ඒ මදිවට ඒ සඳහා සේවය සලසා ගැනීමත් කස්ටමර්ටම බාර දුන්නාම, කස්ටමර් තමන්ටම සේවය සලසා ගන්නවා මිසක් වුලීස් ලාට වත් වෙස්ට්ෆාමර්ස් ලාටවත් සේවය සලසා දෙන්නේ #කේ අමාරුවටද ? මේ සෙල්ෆ් සර්ව් කවුන්ටර් වලට පාර්භෝගිකයන් විරුද්ධ කොපමණද?, ඒ හා සමානව සුපර් මාර්කට් සේවක/සේවිකාවනුත් විරුද්ධයි. එක අතකින් ඔවුන්ට තම රැකියාව අහිමි වන අතර අනිත් අතින් ඔවුනට පෙනී පෙනීම කිලෝ එක $20 වන කජු අරගෙන කිලෝ එක $1.50 ට විකිනෙන ක්‍රැකර් වල කෝඩ් එක ගහලා අරගෙන යනවා. කවුන්ටර් ස්ටාෆ් එකේ පඩිය ඉතුරු වෙන නිසා කස්ටමර්ස්ලා බඩු හොරෙන් ගෙනිච්චාට කඩේ ලාබය වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මේක විශාල අර්බුදයක් කියලා ඔබ කිව්වාට ඒ අර්බුදය ඇති කලේ සුපර්මාර්කට් කාරයෝ මිසක් ගනුදෙනුකරුවෝ නොවන බව නොකීම ලොකු අඩුවක්"

ඔහු මෙහි සටහන් කර ඇති දේ නිවැරදි නොවන බව නොකියා අර්ධ සත්‍යයක් බව කීම වඩා සුදුසුයි. ඔහු මෙහි සටහන් කරන පාරිභෝගික හා සේවක ආකල්ප හා හැසිරීම් පිළිබඳ තොරතුරු නිවැරදියි කියා මා සිතනවා. වූල්වර්ත්ස්හි සියලුම පාරිභෝගිකයින් හා සේවකයින් මේ අයුරින්ම සිතන බවක් මා නොසිතන නමුත් එසේ සිතන හා හැසිරෙන විශාල පිරිසක් සිටින බව පැහැදිලියි. ඔවුන්ගෙන් අති මහත් බහුතරය ලංකාවෙන් එහි ගිය අය හෝ වෙනත් රටවලින් එහි ගිය සංක්‍රමණිකයින්ම නොවන බව මගේ අදහසයි.

ඉහත කී පරිදි හිතන හා හැසිරෙන බොහෝ දෙනෙකුට අනුව සුපිරි වෙළඳසැල් වල ලාභ පිලිබඳව ප්‍රතිචාරයේ සඳහන් අදහස් නිවැරදි වුවත්, ඇත්තටම එය එසේ නැහැ.

පළමුව, සුපිරි වෙළඳසැල් වල විකුණන ඇතැම් භාණ්ඩ වලින් 200-500%ක පමණ මාර්ක්අප් එකක් තබා ගන්නවා වුවත්, මෙවැනි සුපිරි වෙළඳසැලක ඉතා අඩු මාර්ක්අප් එකක් තබාගෙන විකුණන බඩු වගේම ගත් මිලට වඩා අඩුවෙන් විකුණන බඩුත් තිබෙනවා. ඇතැම් බඩු කල් ඉකුත් වීම වැනි විවිධ හේතු නිසා කොහොමටවත් විකුණන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා සමස්තයක් ලෙස ගත් විට මෙවැනි සුපිරි වෙළඳසැලක විකුණන සියලුම බඩු වෙනුවෙන් තබා ගන්නා සාමාන්‍ය මාර්ක්අප් එක මෙහි සඳහන් ප්‍රතිශතයට වඩා ගොඩක් අඩුයි. මේ හා අදාළ නිශ්චිත සංඛ්‍යාලේඛණ ඉදිරි ලිපියක් සමඟ පළවනු ඇති.

දෙවනුව, පාරිභෝගිකයින් විසින් තමන්ටම සේවය සලසා ගැනීමේ වාසිය මුළුමනින්ම ලැබෙන්නේ අදාල සමාගමට කියන එක නිවැරදි නැහැ. ඔවුන් එසේ නොකළේනම්, අදාළ සමාගමට සේවකයින් වෙනුවෙන් වේතන සේ වැඩි මිලක් ගෙවන්න සිදුවන බව හා එම සේවකයින් ඉවත් කිරීමෙන් කිසියම් මුදලක් ඉතිරි වන බව ඇත්තක් වුවත් එසේ කිරීමේ වාසිය තනිකරම ගන්නේ සමාගම් විසින් නොවෙයි. වාසියෙන් සැලකිය යුතු කොටසක් පාරිභෝගිකයින්ටත් ලැබෙනවා.

සුපිරි වෙළඳසැල් අතර කිසියම් හෝ මට්ටමක තරඟයක් තිබෙන නිසා ඔවුන්ට තමන්ට අවශ්‍ය ඕනෑම තරමක මාර්ක්අප් එකක් තබාගෙන බඩු විකිණීමේ හැකියාවක් නැහැ. එක් සුපිරි වෙළඳසැල් සමූහයකට කිසියම් රටක ඒකාධිකාරයක් තිබෙන්නේ වුවත්  එසේ කළ නොහැකියි.

එය එසේ වන්නේ මිල යම් සීමාවක් ඉක්මවූ පසු ඕනෑම පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිල දී නොගෙන ඉන්න නිසයි. ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ හා අදාළව මේ කරුණ පැහැදිලිව පෙනෙන්නේ නැතත්, මිල වැඩි වන තරමට විකිණෙන භාණ්ඩ ප්‍රමාණය අඩු වන බව පැහැදිලි කරුණක්. මේ මඟින් සාමාන්‍ය වශයෙන් සුපිරි වෙළඳසැලකට තබා ගත හැකි උපරිම මාර්ක්-අප් එක තීරණය වෙනවා.

සුපිරි වෙළඳසැලක් ඔවුන්ගේ සේවක වියදම් මෙන්ම ප්‍රාග්ධන ආයෝජන වෙනුවෙන් ගෙවිය යුතු ප්‍රතිලාභ ආවරණය කරගත යුත්තේත් භාණ්ඩ විකිණීමේදී තබා ගන්නා මාර්ක්-අප් එකෙනුයි. ඒ සියලු වියදම් ආවරණය නොවන්නේනම් සුපිරි වෙළඳසැලකට දිගුකාලීනව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රැඳී සිටිය නොහැකියි. මේ මඟින් සාමාන්‍ය වශයෙන් සුපිරි වෙළඳසැලකට තබා ගත හැකි අවම මාර්ක්-අප් එක තීරණය වෙනවා.

අවම වැටුප් ඉහළ යාම, සේවකයින්ගේ සාමූහික හෙට්ටු කිරීම් හෝ බාහිර වෙළඳපොල තත්ත්වයන් හේතුවෙන් සේවක වියදම් ඉහළ ගිය විට සුපිරි වෙළඳසැලක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන අවම ලාභය දිගටම පවත්වා ගන්නනම් මාර්ක්-අප් එක වැඩි කරන්න සිදු වෙනවා. එවිට මිල ඉහළ ගොස් පාරිභෝගික ඉල්ලුමත් අඩු වෙනවා. වෙළඳපොළ තරඟය වැඩි වන තරමට මාර්ක්-අප් එක වැඩි කිරීම වඩා අසීරුයි. මේ ප්‍රශ්නයට කලින්ම මුහුණ දෙන්න වෙන්නේ සේවක වැටුප් වෙනුවෙන් වැඩිම මුදලක් වෙන් කරන සුපිරි වෙළඳසැලකටයි.

ස්වයංකරණය හඳුන්වා දීමෙන් සුපිරි වෙළඳසැලකට මාර්ක්-අප් එක හා මිල ඉහළ නොදමා එලෙසම පවත්වා ගන්න ඉඩක් ලැබෙනවා. එයින් පාරිභෝගිකයින්ට සිදුවන්නේ ලාබයක්.

කෙසේ වුවත්, මෙහිදී කිසියම් සේවක පිරිසකට රැකියා අහිමි වෙනවා.  ඒ නිසා, ඉතිරිවන සේවකයින් පිරිසෙන් ඇතැම් අය අධෛර්යමත් වී හොරකම් සිදුවනු දකිද්දීත් නොදැක්කා මෙන් සිටීම විය හැකි දෙයක්.

ඒ වගේම, පාරිභෝගිකයින්ට භාණ්ඩ තමන් විසින්ම මිලදී ගන්නට සිදුවීමේ අපහසුතාවයට මුහුණ දෙන්නත් සිදුවෙනවා. එය වැඩි මිලක් නොගෙවා සිටීමේ වාසිය වෙනුවෙන් ඔවුන්ට කැප කරන්නට සිදුවන දෙයක්. ඇතැම් පාරිභෝගිකයින්ට මෙසේ සිදුවන අපහසුතාවයේ අවාසිය ලැබෙන වාසියට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම, ඇතැම් පාරිභෝගිකයින් මේ අලුත් වෙනසට විරෝධය දැක්වීමක් සේ භාණ්ඩ හොරකම් හෝ වංචා කිරීමට පෙළඹෙන්නත් පුලුවන්.

පාරිභෝගිකයින් විසින් වැඩි වැඩියෙන් භාණ්ඩ හොරකම් කිරීමත්, සේවකයින් එයට උඩගෙඩි දීමත් නිසා සිදුවන්නේ සමස්තයක් ලෙස ගණනය කළ විට සුපිරි වෙළඳසැලක මාර්ක්අප් එක අඩු වීමයි. එවිට ස්වයංකරණය හඳුන්වාදීමෙන් අපේක්ෂා කළ අරමුණ ඉටු නොවෙන්න පුළුවන්.

සමාගමක් මේ තත්ත්වයට කෙසේ මුහුණ දෙනු ඇත්ද යන්න කරුණු ගණනාවක් මත තීරණය වන දෙයක්. ඒ නිසා, සමාගමේ අවසාන උපාය මාර්ගික ප්‍රතිචාරය ලෙස නැවතත් සේවකයින් යෙදවීම සිදු විය හැකි වුවත්, එහිදී සමාගමේ පිරිවැය ඉහළ යන නිසා සමාගම විසින් අවශ්‍ය මාර්ක්-අප් එක පවත්වා ගැනීම තුළ මිල ඉහළ යා හැකියි. එහි අවාසිය පරිභෝගිකයින්ටමයි.

සමාගමක් විසින් ගන්නට ඉඩ තිබෙන අනෙකුත් විකල්පය වන්නේ හොරකම් වැළැක්වීම වෙනුවෙන් ආයෝජනය කිරීමයි. මේ වෙනුවෙන් අමතර සේවකයින් හෝ තාක්ෂනය යොදා ගන්න ඉඩ තිබෙනවා. ඒ දෙකෙන් කොයි එක කළත් අවසාන වශයෙන් සමාගම ඔවුන්ගේ මාර්ක්-අප් එක පවත්වා ගත යුතුයි. ඒ නිසා, එසේ කළත්, මිල ඉහළ යාම හරහා හොරකම් වල අවාසිය වැඩි වශයෙන්ම දරන්නට වෙන්නේ පාරිභෝගිකයින්ටමයි.

මේ පැහැදිලි කිරීම් සියල්ල කළත්, ඇතැම් පාරිභෝගිකයින්ට තිබෙන බව පෙනෙන මූලික සැක සංකාවක් මා මෙහි දුරලා නැහැ. ඒ වූල්වර්ත්ස් වැනි සුපිරි වෙළඳසැල් ඇත්තටම අධික ලාභ නොලබන්නේද කියන කරුණයි. ඒ ගැන කතා කිරීම අපි ඊළඟ ලිපියකට ඉතිරි කරමු.

(Image: https://thehighlife.com.au/woolworths-joins-qantas-mall/)

Saturday, July 21, 2018

හොරකමට හිත හදා ගන්නේ කොහොමද?

වෙනත් අයෙකුට අයත් භාණ්ඩයක් හෝ වත්කමක් එහි අයිතිකරුගේ කැමැත්තකින් හෝ අනුදැනුමකින් තොරව තමන් සන්තක කර ගැනීම අපි හොරකමක් ලෙස හඳුන්වමු. එසේ කරන්නෝ හොරු ලෙස හැඳින්වෙති. හොරකම ශිෂ්ඨ සමාජයක අනුමත කෙරෙන ක්‍රියාවක් නොවූවත් හොරකම් සිදු නොවන, හොරු නැති සමාජ ලෝකයේ කොහේවත් නැත.

හොරු නැති තැන් නැතත් හොරු අඩු හා හොරු වැඩි තැන් තිබේ. හොරු අඩු වන තරමට සමාජයක ජීවත් වන පුද්ගලයෙකුගේ පෞද්ගලික දේපොළ වඩා සුරක්ෂිතය.

හොරකමක් කරන අයෙකු බොහෝ විට තමන් හොරකමක් කරන බව දනී. ඒ නිසා, එවැන්නෙකුට හොරකමක් කිරීමේදී වරදකාරී හැඟීමක් ඇති වේ. මේ වරදකාරී හැඟීම නිසා එවැන්නෙකු යටිහිතෙන් හෝ පීඩා විඳී. එය හොරෙකු විසින් ලබන ලාභය වෙනුවෙන් ගෙවන මිලෙන් කොටසකි.

හොරකමක් කිරීම නිසා සිදුවන වරදකාරී හැඟීමෙන් මිදීම සඳහා බොහෝ හොරු තමන්ගේම හිත රවටා ගත හැකි උපක්‍රම සොයති. ස්වයං සේවා වෙළඳසැල් වලින් භාණ්ඩ සොරාගන්නා පුද්ගලයින් විසින් මෙසේ තමන්ගේ හිත රවටා ගන්නා ආකාර ගැන ඕස්ට්‍රේලියානු පුවත් අඩවියක පළ කර තිබුණු විස්තරයක් වෙත අපේ පාඨක හිතවතෙකු විසින් යොමු අපව යොමු කර තිබුණේය.

මේ විස්තරයෙහි ස්වයං සේවා වෙළඳසැල් හරහා භාණ්ඩ හොරකම් කරන හොරුන් වර්ග පහක් හඳුනාගෙන තිබේ. මෙසේ හඳුනාගෙන ඇති, පහත විස්තර කෙරෙන,  වර්ග පහක හොරුන් අපට හොරකම් සිදුවන වෙනත් තැන් වලද දැකිය හැකිය.

1. අහඹු වැරදීමක් සිදු වීමෙන් පසු ඒ "වැරදීම" දිගටම කිරීම:

මෙහිදී මුලින්ම වෙන්නේ අත්වැරදීමකින් කිසියම් භාණ්ඩයක් ස්කෑන් කරන්නට අමතක වීමයි. එය අහු නොවන, ඉතා පහසු හොරකමක් බව අවබෝධ වූ පසුව මෙය හිතාමතාම දිගටම කරයි. වෙනත් උදාහරණයක් ගත්තොත්, මුලින්ම අමතක වීමකින් කාර්යාලයේ පෑන සාක්කුවේ දමාගෙන එයි. එයින් පසුව පැහැදිලි වන්නේ මෙවැනි "පොඩි හොරකමක්" ඉතා පහසුවෙන් කළ හැකි බවයි. ඉන් පසුව, පෑනකට වඩා වටිනා දේවල්ද සාක්කුවේ රිංගා ගෙදර පැමිණේ.

"මම පැනක් වැරදිලා සාක්කුවේ දාගෙන ආවා. කිසි කෙනෙක්ට අහුවුනේ නැහැ. පෑනක් නෙමෙයි අලියෙක් දාගෙන ආවත් ඔච්චර තමයි! මේ සිකියුරිටිලගෙන්නම් සත පහකට වැඩක් නෑ. උස විතරයි!"

මේ ආකාරයේ හොරකම් කරන අය තමන්ගේම හිත රවටා ගන්නේ වරද තිබෙන්නේ හොරකම් වලක්වන්නට ප්‍රමාණවත් තරමේ වැඩ පිළිවෙලක් නැතිකමේ බවත්, එවැනි තැනකින් තමන් හොරකම් නොකළත් වෙනත් ඕනෑම කෙනෙක් හොරකම් කරනු ඇති බවත් සිතමිනුයි.

2. එක් භාණ්ඩයක් වෙනුවට වෙනත් එකක් ආදේශ කිරීම:

පුවත්පත් වාර්තාවේ උදාහරණය අනුව මෙවැන්නන් කරන්නේ අලිගැටපේර මිල දී ගැන කැරට් වෙනුවෙන් මිල ගෙවීමයි. මෙසේ අක්කාව පෙන්වා නංගිව රැගෙන යන්නේ නංගිගේ මිල අක්කාගේ මිලට වඩා වැඩි නිසයි.

"හරි. ඉතිං මම සල්ලි ගෙවන්නේ නැතුව නෙමෙයිනේ අලිගැටපේර අරං ආවේ. එතකොට කොහොමද හොරකමක් වෙන්නේ?"

මේ ජාතියේ හොරුන් තමන්වම රවටා ගන්නේ ඔය විදිහටය.
 
කොහොම වුනත් මේ වර්ගයේ හොරකම් කරන්නේ පාරිභෝගිකයින් පමණක් නොවේ. ඇතැම් සමාගම්ද කරන්නේ මේ වර්ගයේ හොරකම්ය. පසුගිය ලිපියකට අපේ පාඨකයින් කිහිප දෙනෙකු දමා තිබුණු ප්‍රතිචාර අනුව පැහැදිලි වන පරිදි අන්තර්ජාල සබඳතා ලබා දෙන ඇතැම් සමාගම් ගාස්තු අය කිරීමේදී පොරොන්දු වන දේවල් පසුව ඇත්තටම නොදීමත් මේ කාණ්ඩයටම දැමිය හැකි හොරකමකි. වෙනත් උදාහරණ ලෙස තමන්ගේ ආදායම සඟවා රජයෙන් සහනාධාර ලබා ගැනීම හා අඩුවෙන් බදු ගෙවීමද පෙන්වන්නට පුළුවන.

"හරි. ඉතිං මම බදු ගෙවුවනේ. නොගෙවා හිටිය නෙමෙයිනේ!"

මාස කිහිපයකට පෙර වික්ටර් අයිවන් විසින් ලියා තිබුණේ රාවයේ සේවය කළ ඇතැම් මාධ්‍යවේදීන් බස් වල ගොස් ත්‍රිරෝද රථ ගාස්තු වෙනුවෙන් වියදම් ප්‍රතිපූරණය කරගත් බවයි. මේ ආකාරයේ ක්‍රියාවන්ද මේ ගොඩට දැමිය හැකි වුවත් මෙවැනි හොරකම් වල ආකෘතිමය වෙනසක් තිබේ.

3. හොරකම වෙනත් අසාධාරණයකට වන්දියක් සේ සැලකීම:

සුපිරි වෙළඳසැල් හා අදාළව ගත් විට ඇතැම් පාරිභෝගිකයින් සිතන්නේ භාණ්ඩ විකිණීම සඳහා සේවකයෙකු නොයොදා ඒ කටයුත්තත් තමන්ටම කරන්නට ඉඩ හැරීමෙන් සමාගම වැඩි ලාභයක් උපයන නිසා එහි හිලවුවට සමාගමට පොඩි අලාභයක් කිරීමේ වැරැද්දක් නැති බවයි. ඇතැම් අය රජයට ගෙවිය යුතු බදු පැහැර හැරීම යුක්තියුක්ත කරන්නේත් මේ ආකාරයෙනි.

"බදු ගෙව්වත් කමක් නෑ ඔය සල්ලි වලින් ආපහු අපිට වැඩක් කරනවනම්. දැන් මුං ඔය සල්ලි අපෙන් අරන් තව කාර් ටිකක් ගෙන්වයි!"

මේ වර්ගයේ හොරකමක් දේශපාලන ක්‍රියාකාරකමක් නොවේදැයි තීරණය කිරීම ඉතා අපහසුය.

4. කුපිත වීම හෝ අපේක්ෂාභංගත්වය නිසා කරන හොරකම්:

කිසියම් භාණ්ඩයක බාර් කෝඩ් එක ස්කෑන් කරන්නට කිහිප වරක්ම උත්සාහ කර එය කළ නොහැකි වීම නිසා මුදල් නොගෙවාම භාණ්ඩය රැගෙන යාම උදාහරණයක් සේ දැක්විය හැකියි.

"බදු ගෙවන එකේනම් ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ ආදායමේ හැටියට බදු කියල මහ ලොකු මුදලක් ගෙවන්න වෙන්නෙ නැහැනේ. ඒ වුනාට ඕක ගෙවන්න කොච්චර වදයක් වෙන්න ඕනැද? අනිත් එක ඉතිං ඔය ෆයිල් එකක් ඇරගත්තා කියන්නේ ඊට පස්සේ ඕකේ කෙළවරක් නැහැ!"

මේ වෙනත් උදාහරණයක්.

5. සතුට පතා කරන හොරකම්:

සිසුන් කිහිප දෙනෙක් සමඟ කඩේකට ගොස් මොනවා හෝ දෙයක් කා ප්ලේන්ටියක් බීමෙන් පසු මුදල් නොගෙවා පැන යාම වගේම අනුන්ගේ වතු වලින් කුරුම්බා කැඩීම ගැටවර වියේදී මමත් කර ඇති දේවල්. ඒ වයසේදී මෙවැනි දේ කළේ හොරකමක් කිරීමේ අරමුණින්ම හෝ කන්න දෙයක් නැති නිසා නෙමෙයි. එහි තිබුණු ආතල් එකටයි.

අප ගැටවර වියේදී වරක් හෝ දෙතුන් වරක් මෙසේ කළ අයුරින් වැඩිහිටියන් වූ පසුවත් ඇතැම් හොරකම් කර එසේ කළ බව වෙනත් අයට කීමෙන් සතුටක් ලබන අය සිටී.

"පවුමක් වෙනුවට ලංකාවෙ රුපියල් පහක් වෙන්ඩින් මැෂින් එකට දැම්මම වැඩේ ශේප්!"

මේ වගේ දෙයක් කරන කෙනෙක් එසේ කරන්නේ එහි තිබෙන සුළු වාසිය වෙනුවෙන්ම නෙමෙයි.

හොරකම් කරන්නට පෙළඹීමේ මානසික ව්‍යාධිය නිසා හොරකම් කරන අය ඉහත ලැයිස්තුවට ඇතුළත් නැහැ. ඔවුන්ට බොහෝ විට හොරකම් කිරීමට ඇති නැමියාව පාලනය කර ගැනීමේ හැකියාවක් නැහැ.

ඇතැම් අය විසින් ඇතැම් හොරකම් සුළු හොරකම් සේ නම් කරනවා. මෙහි ඇති ප්‍රශ්නය සුළු හොරකම් හා ලොකු හොරකම් වෙන්කළ හැකි නිශ්චිත බෙදුම් ඉරක් නොමැති වීමයි.

මොන විදිහට හිත රවට්ටගන්න හැදුවත් හොරකමක් කියන්නේ හොරකමක්. හොරකමක අලාභය අනිවාර්යයෙන්ම වක්‍ර ලෙස හෝ වෙනත් අයෙකු විසින් දැරිය යුතුයි. ඒ වුනත්, ඇතැම් අවස්ථා වලදී කිසියම් ක්‍රියාවක් හොරකමක්ද කියා නිර්ණය කිරීම තරමක් අසීරු කාර්යයක්.

(Image: https://www.thecollegefix.com/post/23884/)

Tuesday, July 17, 2018

අන්කල් සෑම්ගේ දත් ගැලවූ අපේ දත් දොස්තර


පසුගිය ලිපියෙහි මා ලියූ පරිදි ඇමරිකාවේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ඉතා මිල අධික වන අතර දන්ත වෛද්‍ය රක්ෂණයක් තිබුණද මේ වියදම් වලින් සෑහෙන ප්‍රමාණයක් අතින් ගෙවන්නට සිදු වේ. කෙසේ වුවත්, අඩු ආදායම්ලාභීන් ඇතුළු ඇතැම් සුවිශේෂී කණ්ඩායම් වලට නොමිලේ ලැබෙන ආහාරපාන, වෛද්‍ය රක්ෂණ ආදී සහනාධාර අතර දන්ත ප්‍රතිකාර රක්ෂණද වේ.

මේ කියන කාලය වන විට අප ඇමරිකාවට පැමිණ වැඩි කලක් ගත වී නැත. එය මගේ සිසු අවදිය වූ බැවින් මගේ මාසික ආදායම අර්ධකාලීන පර්යේෂණ සහකාරවරයෙකු ලෙස ලැබූ දීමනාවට සීමා වී තිබුණේය. මගේ බිරිඳ ගර්භනීව සිටි අතර ඇයද රැකියාවක් නොකළාය. එවකට අප ජීවත් වූ ප්‍රාන්තයේ අඩුආදායම්ලාභී ගර්භණී කාන්තාවකට ලැබෙන සහනාධාර අතර දන්ත ප්‍රතිකාර රක්ෂණයක්ද විය. මේ දන්ත ප්‍රතිකාර රක්ෂණයේ විශේෂත්වය වූයේ අනෙකුත් සාමාන්‍ය දන්ත ප්‍රතිකාර රක්ෂණ මෙන් නොව ගෙවිය යුතු සම්පූර්ණ මුදලම රක්ෂණය මඟින් ආවරණය කිරීමයි.

විශේෂ අවශ්‍යතාවයක් නොතිබුණත් ආරක්ෂාකාරී පියවරක් වශයෙන් මේ රක්ෂණ වරප්‍රසාදය අපි ලබා ගත්තෙමු. රක්ෂණය ලබාගැනීමෙන් පසුව වුවද, දත් වල විශේෂ ප්‍රශ්නයක් නොතිබුණු බැවින් දරු උපත දක්වාම ඇයට එයින් ප්‍රයෝජනයක් ගන්නට අවස්ථාවක් නොලැබුණේය.

කෙසේ වුවද, දරු උපතින් පසුව මේ රක්ෂණ වරප්‍රසාදය අවසන් වෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී, බිරිඳ අප ජීවත් වූ නගරයේ සිටි දන්ත වෛද්‍යවරයෙකු හමු වූවාය. පසුව ඈ මට කී පරිදි, මේ හමුවේදී මිනිත්තු විස්සක පමණ කාලයක් ගනිමින් දන්ත වෛද්‍යවරයා විසින් ඇගේ දත් පරීක්ෂා කර පිරිසිදු කරනු ලැබ තිබේ. එහෙත්, ඇගේ දත් නිරෝගී වූ බැවින් අමතර යමක් කරන්නට අවශ්‍ය වී නැත.

රක්ෂණය මඟින් වෛද්‍ය ගාස්තුව සම්පූර්ණයෙන්ම ආවරණය වන බැවින් අප මේ වෙනුවෙන් කිසිදු මුදලක් ගෙවිය යුතුව තිබුණේ නැත. අප කළ යුතු වූයේ රජය මඟින් ලබා දෙන රක්ෂණයෙන් වෛද්‍ය ගාස්තුව අය කර ගැනීම සඳහා වෛද්‍යවරයාට අනුමැතිය දීම පමණි. ඒ නැතත්, මෙවැනි සාමාන්‍ය දන්ත පරීක්ෂාවක් හා දත් පිරිසිදු කිරීමක් වෙනුවෙන් අය කෙරෙන මුදල වෙනත් දන්ත ප්‍රතිකාර වියදම් වලට සාපේක්ෂව සුළු මුදලකි.

මේ රක්ෂණ ආවරණය නොමිලේ ලැබුණත් අපට එයින් වැඩි ප්‍රයෝජනයක් ගන්නට ඉඩක් ලැබුණේ නැත. දරු උපතින් තෙමසකට පසුව රක්ෂණ වරප්‍රසාදය අවසන් විය.

කාලයක් ගත විය. බිරිඳගේ දත් වල ලොකු ප්‍රශ්න නොතිබුණත් මට එවැනි ප්‍රශ්න තිබූ නිසා ලොකු වියදමක් යන වැඩ දෙක තුනක්ම කරන්නට සිදු විය. ඒ වෙනුවෙන් වරින් වර මට මේ වෛද්‍යවරයා වෙත යන්නට සිදු විය. ඇයට ගර්භණී කාලයේ ලැබුණු රක්ෂණයෙන් මෙන් නොව මගේ රක්ෂණයෙන් වෛද්‍ය ගාස්තු මුළුමනින්ම ආවරණය නොවුණු අතර සෑම විටකම වාගේ ගෙවිය යුතු මුදලින් කිසියම් ප්‍රතිශතයක් අතින් ගෙවන්නට සිදු විය.

ඇමරිකාවේ ජීවත් වන විට වෛද්‍ය රක්ෂණයක් (හෝ දන්ත වෛද්‍ය රක්ෂණයක්) තිබීමේ ප්‍රධාන වාසිය ප්‍රතිකාර ගාස්තු වලින් සෑහෙන කොටසක් ආවරණය වීම වුවත් එය එකම වාසිය නොවේ. රක්ෂණ සමාගම් විසින් බොහෝ විට වෛද්‍යවරයා සමඟ හෙට්ටු කර වෛද්‍ය ගාස්තු අඩු කරන නිසා එහි වාසියද රෝගියාට ලැබේ.

සාමාන්‍යයෙන් මා දැන් ප්‍රතිකාර ගන්නා බොහෝ වෛද්‍යවරුන් විසින් කරන්නේ ප්‍රතිකාර ගැනීමෙන් පසු මුලින්ම බිල රක්ෂණ සමාගමට යවා ඔවුන් එය පරීක්ෂා කර ඔවුන්ගේ කොටස ගෙවා රෝගියා විසින් ගෙවිය යුතු කොටස දැනුම් දීමෙන් අනතුරුව ඒ මුදල මගෙන් අය කර ගැනීමයි. එහෙත්, මේ වෛද්‍යවරයා විසින් රෝගියාගේ කොටස කලින්ම අය කර ගත්තේය. රක්ෂණ සමාගම වෙත බිල්පත ඉදිරිපත් කළේ එයින් පසුවය. ඇතැම් විට මෙයට හේතුව ඒ කාලය වන මට ඇමරිකාවේ ක්‍රෙඩිට් හිස්ට්‍රියක්, එනම් ගෙවිය යුතු මුදල් නිසි කලට ගෙවීමේ දිගුකාලීන වාර්තාගත ඉතිහාසයක් නොතිබීම වන්නට පුළුවන. මෙසේ ක්‍රෙඩිට් හිස්ට්‍රියක් නැතිකම ඇමරිකාවට අලුතෙන් පැමිණෙන සංක්‍රමණිකයෙකුට මුහුණ දෙන්නට සිදුවන එක් ප්‍රශ්නයකි.

මෙසේ මගේ රක්ෂණ සමාගම වෙත බිල්පත ඉදිරිපත් කළ සෑම විටකම වාගේ ඔවුන් වෛද්‍ය ගාස්තු පහළට සංශෝධනය කළ නිසා බොහෝ විට සිදුව තිබුණේ මා ඒ වන විටත් වෛද්‍යවරයාට ගෙවා තිබුණු මුදල ඕනෑවට වඩා වැඩි මුදලක් වීමයි. උදාහරණයක් සේ වෛද්‍යවරයා විසින් ඩොලර් දාහක බිලක් දමා එයින් රක්ෂණ සමාගම විසින් ගෙවනු ඇතැයි අපේක්ෂිත 50% අඩු කර ඩොලර් 500ක් මගෙන් අය කර ගත්තේයැයි සිතමු. ඉන්පසුව ඔවුන් ඉතිරි මුදල අය කර ගැනීම සඳහා බිල්පත රක්ෂණ සමාගමට ඉදිරිපත් කළ විට රක්ෂණ සමාගම විසින් මුළු බිල ඩොලර් 800 දක්වා අඩු කර එයින් ඩොලර් 400ක් ගෙවයි. රක්ෂණ සමාගම හා වෛද්‍යවරයා අතර ඇති ගිවිසුම අනුව ඔහුට මගෙන් අය කළ හැක්කේද ඩොලර් 400ක් වුවත් ඔහු ඒ වන විටද මගෙන් ඩොලර් 500ක් අය කර අවසන්ය. ඒ අනුව, මා වෛද්‍යවරයාට වැඩිපුර ඩොලර් 100ක් ගෙවා තිබේ.

ඉහත කී පරිදි ඇමරිකාවේ කිසියම් සේවා සපයන්නෙකුට වැඩිපුර මුදලක් ගෙවා ඇති විටක සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ වැඩිපුර මුදල වෙනුවෙන් චෙක්පතක් තැපැල් කර එවීමයි. එහෙත්, මේ වෛද්‍යවරයා ඒ වෙනුවට කළේ නැවත ඔහු වෙත ගිය විට ගෙවිය යුතු බිලට හෝ කොටසකට මේ මුදල හිලවු කිරීමයි. ඉන්පසුව ඒ අලුත් බිල රක්ෂණ සමාගම වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නැවතත් කිසියම් ඉතිරියක් වන නිසා මේ වෛද්‍ය සායනයේ වූ මගේ ගිණුමේ හැම විටම වගේ තිබුණේ ධන ශේෂයකි. මාස කිහිපයකට වරක් කිසියම් ප්‍රතිකාරයක් හෝ පරීක්ෂාවක් සඳහා පවුලේ අයෙකු එහි ගිය බැවින් මට මෙහි ප්‍රශ්නයක් තිබුණේ නැත.

වසර කිහිපයකට පසුව අපට මේ නගරයට මෙන්ම දන්ත වෛද්‍යවරයාටද සමුදෙන්නට අවස්ථාව එළඹුනේය. දන්ත වෛද්‍යවරයා වෙත ගිය අවසන් හමුවේදී ඔහු වෙත ඕනෑවට වඩා මුදලක් ඉතිරි කර එන්නට මට අවශ්‍ය වූයේ නැත. ප්‍රතිකාර ගැනීම, බිල ගෙවීම, වෛද්‍යවරයා විසින් රක්ෂණයට බිල ඉදිරිපත් කිරීම හා ඔවුන් විසින් බිල සංශෝධනය කිරීම යන ක්‍රියාවලියට සාමාන්‍යයෙන් මාස කිහිපයක් ගත වූ අතර ඒ කාලය තුළ බොහෝ විට අපේ පවුලේ යම් කිසිවකු දන්ත වෛද්‍යවරයාව නැවත හමු වූ බැවින් ගිණුමේ නියම ශේෂය දැන ගැනීම ලංකාවේ විදුලි බිලක නියම ශේෂය දැනගන්නවා වැනිම සංකීර්ණ කටයුත්තක් විය. ඒ නිසා, මේ අවසන් වෛද්‍ය හමුවෙන් පසුව, පසුගිය කාලයේ මගේ ගිණුම් පිළිබඳ විස්තර මම විමසා සිටියෙමි. මගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම පහසු නොවූ බැවින් මේ කටයුත්ත කළ කාන්තාව විසින් ඇගේ පහසුවට කළේ මගේ සියලු ගිණුම් විස්තර මුද්‍රණ යන්ත්‍රය වෙත යවා කඩදාසි ගොනුවක් මගේ අතේ තැබීමයි.

ගෙදර යාමෙන් පසුව මම මේ ගිණුම් විස්තර අග සිට මුලට පරීක්ෂා කළෙමි. එසේ කරමින් මුල හරියට යද්දී තරමක කාලයකට පෙර මගේ බිරිඳ විසින් ලබාගත් දන්ත වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ විස්තරද හමු විය. මේ ගිණුම් විස්තර වලින් පෙනෙන පරිදි, ඇගේ මුඛයේ දත් ගණනාවක්ම වෛද්‍යවරයා විසින් පුරවා තිබේ. එහි බිල සෑහෙන මුදලකි. කෙසේ වුවද, ඒ වන විට රජයෙන් නොමිලේ ලැබුණු දන්ත වෛද්‍ය රක්ෂණයෙන් මේ මුළු මුදලම ආවරණය වී තිබේ.

"ඔන්න ඔයා හැමදාම කියනව ඔයාගෙ දත් වල මුකුත් ප්‍රශ්නයක් නෑ කියල. බැලුවහම පිටු ගාණකම තියෙන්නෙ ඔයාගෙ දත් පුරවපුවා..."

"කෝ බලන්න...."

"මගේ දත් සුද්ද කළා විතරයි. මේ මොනවත් කළේ නෑ!"

"සමහර විට චූටි චූටි ෆිලින්ග්ස් දාන්න ඇති...ඔයාට නොදැනුනාට..."

"ඔවු එහෙම වෙන්නත් බැරී නෑනම් තමයි. හැබැයි එහෙම කතාවක් කිවුවෙනම් නැහැ. අනිත් එක වැඩිම වුනොත් මම එතන විනාඩි පහළොවක් විස්සක් ඉන්න ඇති!"

නගරයේ වැදගත් පුද්ගලයෙකු වන, වසර හතළිහකට ආසන්න පළපුරුද්දක් තිබුණු මේ දන්ත වෛද්‍යවරයා වැනි අයෙකු හොරෙකු විය නොහැකි බව අපේ පූර්ව නිගමනය වුවත් ඇස් පනා පිට ඇති සාක්ෂි විසින් පෙන්වන්නේ එය එසේ නොවන බවයි. පෙනෙන ආකාරයට වෛද්‍යවරයා විසින් නොකළ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන්ද රක්ෂණයට බිල් දමා තිබේ. මේ බිල් දැම්මේ සාමාන්‍ය රක්ෂණයකටනම් බිලෙන් ප්‍රතිශතයක් අප විසින්ද ගෙවිය යුතු බැවින් මෙය අපගේ පරීක්ෂාවට අනිවාර්යයෙන්ම ලක් වන නමුත් මෙහිදී එය සිදු වී නැත. (ඇනෝ කෙනෙක් කියා තිබුණු පරිදි අපට වෙන්නේම ඔය වගේ දේවල්ය!)

මෙය සිදුවූයේ අප මේ නගරයෙන් වෙනත් නගරයකට වාසය වෙනස් කරන්නට ඔන්න මෙන්න තිබියදී බැවින් ඉන් පසුව එය අපට අමතක වී ගියේය.

තවත් වසර ගණනාවකට පසුව, දැන ගන්නට ලැබුණේ පළපුරුදු දන්ත වෛද්‍ය වරයෙකු නොකළ ප්‍රතිකාර වලට බිල් දමා අසුවී සිර දඬුවම් ලබා ඇති බවයි. ඒ වන විට අප කිහිප වරක්ම පදිංචිය මෙන්ම ප්‍රාන්තයද මාරු කර තිබුනත් කලක් ප්‍රතිකාර ගන්නට ගිය මේ දන්ත වෛද්‍යවරයාගේ මුහුණ අමතකව ගොස් තිබුණේ නැත. දැන් මෙසේ මාට්ටු වී තිබෙන්නේ මේ මනුස්සයාවය.

අපේ දන්ත වෛද්‍යවරයා ගස් රැසකට කොටමින් ගොස් අන්තිමේදී කෙහෙල් ගහකටත් කොටා තිබේ. කිසියම් රෝගියෙකු විසින් පැමිණිලි කිරීමෙන් අනතුරුව මේ වෛද්‍යවරයා විසින් නොකළ ප්‍රතිකාර වෙනුවෙන් බිල් දැමීම දැඩි විමර්ශනයට ලක් කර තිබේ. විමර්ශනය වෙනුවෙන් වෙනත් දන්ත වෛද්‍යවරයෙකුගේ සහාය ඇතිව අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් ගණනාවකගේ මුඛයේ එක්ස්රේ ඡායාරූප පිරික්සීමේදී පෙනී ගොස් තිබෙන්නේ ඒ බොහෝ දෙනෙකුගේ දත් වල කියන ආකාරයේ පිරවීම් නොමැති බවයි.

අවසානයේදී මේ දන්ත වෛද්‍යවරයාට දින 90ක කාලයක් සිරගතව සිටීම හැර ඉතිරිය අත් හිටවනු ලැබූ පස් වසරක සිර දඬුවමක්ද, ඩොලර් ලක්ෂයක දඩ මුදලක්ද, පැය 200ක පොදු වැඩද නියම වූ අතර වෛද්‍ය බලපත්‍රයද අහෝසි විය. දඬුවම නියම කරමින් විනිසුරුවරයා විසින් ප්‍රකාශ කර ඇත්තේ නගරයේ වැදගත් පුද්ගලයෙකු වන මොහුට මෙවැනි දඬුවමක් නියම කරන්නට සිදු වූ ඒ දිනය කණගාටුදායක දවසක් බවයි.

නිදහස් රටක් වන ඇමරිකාවේ හොරකමක් හෝ වෙනත් වරදක් හෝ අපරාධයක් කරන්නටද වැඩි නිදහසක් තිබේ. එහෙත්, එසේ වරදක් කර නිදහසේ සිටීම පහසු නැත.

(Image: http://alhsredcoats.weebly.com/unit-7.html)


Monday, July 16, 2018

ඇමරිකාවේ දත් ලෙඩ්ඩු


පසුගිය සටහන ආරම්භයේදී ලියූ පරිදි, ඇමරිකානුවන් ඔවුන්ගේ දත් ගැන බොහෝ සැලකිලිමත්ය. එසේ කිවුවත්, එය ලංකාවට සාපේක්ෂව සිදු කළ ප්‍රකාශයකි. ඇමරිකාවේ වුවද, දත් ගැන එසේ සැලකිලිමත් වන්නේ ආදායම් මට්ටම හා අධ්‍යාපන මට්ටම අනුව ඉහළින් සිටින අයයි. අඩු ආදායම්ලාභීන් හා අඩු ඉගෙනුමක් ලැබූවන් අතරින් බොහෝ දෙනෙකු හදිසි අවශ්‍යතාවයකදී හැර, නිතිපතා දන්ත වෛද්‍ය වරයෙකු බැහැ නොදකිති. වසරක් තුළ වරක් හෝ දන්ත වෛද්‍යවරයෙකු හමු වී ඇති ඇමරිකානුවන් ගණන රටේ වැඩිහිටි ජනගහණයෙන් තුනෙන් දෙකකට වඩා වැඩි නැත.

අඩු ආදායම්ලාභීන් බොහෝ දෙනෙකුට දරාගැනීම අපහසු තරමට ඇමරිකාවේ දන්ත වෛද්‍ය වියදම් ඉතා අධිකය. ඇමරිකාවේදී දතක් ගලවා ගැනීමට ගෙවන මුදලින් ලංකාවේදී දත් ඇන්දම ගලවා ගන්නට පුළුවන. කෙසේ වුවත්, වඩාත්ම වියදම් අධික දන්ත ප්‍රතිකාර වන්නේ ස්නායු පිරවීම්, දත් හිටවීම් හා දත් නිසි පරිදි ස්ථානගත කිරීම් ආදියයි. දතක් ගැලවීම සාපේක්ෂව වියදම් අඩු කටයුත්තකි.

ඇමරිකාවේ සෞඛ්‍ය රක්ෂණ වලින් සාමාන්‍යයෙන් දන්ත ප්‍රතිකාර ආවරණය වන්නේ නැත. ඒ සඳහා වෙනම දන්ත ප්‍රතිකාර රක්ෂණයක් අවශ්‍ය වේ. එවැනි රක්ෂණයක් තිබුණද ඒ රක්ෂණ වලින් වෛද්‍ය රක්ෂණ වලදී මෙන් විශාල වියදමක් ආවරණය කර ගත නොහැකිය. සාමාන්‍ය පුද්ගලයෙකු සතු දන්ත ප්‍රතිකාර රක්ෂණයකින් වාර්ෂිකව ආවරණය කෙරෙන උපරිම මුදල බොහෝ විට එක් වියදම් අධික ප්‍රතිකාරයක් කළ විට අවසන් වේ. එවැන්නක වියදමෙන් වුවද සැලකිය යුතු ප්‍රතිශතයක් අතින් ගෙවන්නට සිදු වේ. මේ හේතුව නිසා ලාංකිකයින් ඇතුළු ඇතැම් සංක්‍රමනිකයෝ නිවාඩුවකට තමන්ගේ මුල් රටට යන අවස්ථා වලදී අවශ්‍ය දන්ත ප්‍රතිකාර සිදුකර ගෙන පැමිණෙනු නිරීක්ෂණය කළ හැකිය.

කෙසේවුවත්, ඇමරිකානුවන් දන්ත වෛද්‍යවරයෙකු වෙත නොයන්නට එකම හේතුව වියදම් අධිකකම නොවේ. සමීක්ෂණ දත්ත අනුව වියදම් අධිකකම නිසා දන්ත වෛද්‍යවරයෙකු වෙත නොයන ප්‍රමාණය 59%කි. 22%ක් බය නිසාද, 19%ක් දන්ත වෛද්‍යවරයෙකු ලඟ පාතක නොසිටීම නිසාද දන්ත වෛද්‍ය ප්‍රතිකාර මඟ හරිති. 2014 සමීක්ෂණ දත්ත අනුව, ඇමරිකානුවන්ගෙන් 52.3%ක් අවම වශයෙන් සමසකට වරක්ද, 15.4%ක් වසරකට වරක්ද දන්ත වෛද්‍ය වරයෙකු හමු වී ඇති නමුත් ඉතිරි ඇමරිකානුවන් එසේ හමු වී වසර තිබෙන්නේ කිහිපයකට වරකි.

මෑතකාලීන පර්යේෂණ අධ්‍යයනයකට අනුව, දන්ත වෛද්‍යවරයෙකු නිතර හමු වීමේ එක් වක්‍ර වාසියක් වන්නේ ස්ථුලතාවය අඩු වීමයි. දන්ත සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස සීනි භාවිතය අඩු කරන්නට නිතර දන්ත වෛද්‍යවරයෙකු හමු වන අය වැඩියෙන් පෙළඹීම ඊට හේතුවයි.

ඇමරිකාවේ දත් දොස්තරලා


ඇමරිකානුවන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ දත් ගැන බොහෝ සැලකිලිමත්ය. ඔවුන් දන්ත වෛද්‍යවරයෙකු වෙත යන්නේ දතක ප්‍රශ්නයක් ඇති වූ විට පමණක් නොවේ. දත් වල විශේෂ ප්‍රශ්න නැති අයෙකුට දන්තාබාධ නිවාරණ පරීක්ෂාවක් සඳහා සමසකට වරක් දන්ත වෛද්‍යවරයෙකු වෙත යාම නිර්දේශ කෙරෙන අතර දත් හෝ විදුරුමස් එතරම් නිරෝගී නොවේනම් මේ නිර්දේශිත කාලාන්තරය තෙමසක් පමණ දක්වා අඩු වන්නට පුළුවන.

ඉහත ඉල්ලුම හා ගැලපෙන දන්ත වෛද්‍ය සැපයුමක් ඇමරිකාවේ තිබේ. 2017 දත්ත අනුව, සේවයෙහි යෙදෙන දන්ත වෛද්‍යවරුන් 198,517 දෙනෙකු ඇමරිකාවේ සිටියේය. මෙය ජනගහණය ලක්ෂයකට දන්ත වෛද්‍යවරුන් 61.0 ක ප්‍රමාණයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 දත්ත අනුව, ලංකාවේ සිටින්නේ දන්ත වෛද්‍යවරුන් 1340 දෙනෙකු පමණි. මේ ගණන ජනගහණය ලක්ෂයකට දන්ත වෛද්‍යවරුන් 6.3 ක පමණ ප්‍රමාණ ප්‍රමාණයකි.

කෙසේ වුවත්, ඇමරිකාව ලෝකයේ වැඩිම දන්ත වෛද්‍ය ඝනත්වයක් ඇති රට නොවේ. ස්කැන්ඩිනේවියානු රටවල් ප්‍රධානව බටහිර යුරෝපීය රටවල් ගණනාවක දන්ත වෛද්‍ය ඝනත්වය ඇමරිකාවේ එම ඝනත්වයටද වඩා වැඩිය. පහත වගුවේ ඇති දත්ත තරමක් පැරණි වුවත් ඒ හරහා වත්මන් තත්ත්වය ගැන දළ අදහසක් ගත හැකිය.


ඇමරිකාවේ දන්ත වෛද්‍යවරයෙකු විසින් 2017 වසරේදී ඉපැයූ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඩොලර් 158,120ක් විය. මෙය ඇමරිකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ වැටුප මෙන් දෙතුන් ගුණයක මුදලක් වුවත් දන්ත වෛද්‍යවරයෙකු ලෙස සුදුසුකම් ලැබීම සඳහා කළ යුතු ආයෝජනය හා ගත කළ යුතු කාලය සැලකූ විට මෙහි විශාල ආකර්ශනීයත්වයක් නැත.

ඇමරිකාවේ දන්ත වෛද්‍යවරුන් බිහි කරන විද්‍යාල 66ක් තිබේ. මේ දන්ත වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම සඳහා අයදුම් කිරීමටනම් අවම වශයෙන් වසර දෙකක් උපාධි මට්ටමේ පාඨමාලා හදාරා තිබිය යුතුය. ඉන් පසුව ප්‍රවේශ විභාගයකට (DAT) මුහුණ දී සමත්වීම හා සම්මුඛ පරීක්ෂණයක් වැනි තවත් කඩඉම් කිහිපයක්ම තිබේ.

මේ තරඟකාරීත්වය හමුවේ දන්ත වෛද්‍ය විදුහලකට ඇතුළු වන බහුතරයක් විද්‍යා විෂයකින් වසර හතරක ප්‍රථම උපාධියක් සම්පූර්ණ කළ අයයි. ඇතැම් අය ඊට අමතරව තවත් පශ්චාත් උපාධියක් හැදෑරු අයයි. අවම සුදුසුකම වන වසර දෙකක උපාධි මට්ටමේ පාඨමාලා පමණක් හදාරා ඇති අයෙකු දන්ත වෛද්‍ය පාඨමාලාවක් සඳහා ඇතුළත් නොකෙරෙන තරම්ය. ඇමරිකාවේ වෛද්‍ය උපාධියක් මෙන්ම දන්ත වෛද්‍ය උපාධියක්ද සැලකෙන්නේ දෙවන උපාධියක් වශයෙනි.

දන්ත වෛද්‍ය සිසුවෙකු දන්ත වෛද්‍ය විද්‍යාලයකදී ලබන පුහුණුවට සායනික පුහුණුවක්ද ඇතුළත්ය. කිසියම් අනු ක්ෂේත්‍රයක දන්ත වෛද්‍ය විශේෂඥයෙකු වීම සඳහා වසර 2-4 අතර කාලයක අමතර නේවාසික පුහුණුවක් ලැබිය යුතු අතර දන්ත වෛද්‍ය පර්යේෂකයෙකු හෝ දේශකයෙකු වීම සඳහා වසර 2-5 අතර කාලයක අමතර පුහුණුවක් අවශ්‍ය වේ.

මෙසේ අවශ්‍ය සුදුසුකම් සැපිරීමෙන් අනතුරුව දන්ත වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා කිසියම් ප්‍රාන්තයකින් බලපත්‍රයක් ලබා ගත යුතුය. ඒ සඳහා ඉහත කී අනුමත උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීමට අමතරව ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ සමත් වීමටද සිදු වේ.

මේ සියල්ල කර දන්ත වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා බලපත්‍රයක් ලබාගත්තද "ආණ්ඩුවෙන් රස්සා දීමක්" නැති නිසා දන්ත වෛද්‍ය සායනයක් ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ ආදිය මිල දී ගැනීමට මූලික ප්‍රාග්ධනයක්ද අවශ්‍ය වේ. එසේ කළද, අලුත් දන්ත වෛද්‍යවරයෙකුට පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීම අභියෝගයකි. ඒ නිසා, බොහෝ අලුත් දන්ත වෛද්‍යවරුන් රැකියාව ආරම්භ කරන්නේ ජ්‍යෙෂ්ඨ දන්ත වෛද්‍යවරයෙකු යටතේය. තමන්ගේම දන්ත සායනයක් ආරම්භ කර ආදායම් ඉපැයීම සඳහා දන්ත වෛද්‍යවරයෙකුට ව්‍යාපාරික කුසලතාද අවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් එක් දන්ත වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දන්ත වෛද්‍ය සහායකයින් ගණනාවක් සේවය කරන අතර එක්ස්රේ ඡායාරූප ගැනීම හා සාමාන්‍ය දත් පිරිසිදු කිරීම් වැනි මූලික කටයුතු බොහොමයක් සිදුවන්නේ මේ දන්ත වෛද්‍ය සහායකයින් අතිනි. ඇතැම් ප්‍රාන්ත වල දන්ත සහායකයෙකු වීම සඳහාද උපාධියක් අවශ්‍ය වුවත්, දන්ත වෛද්‍යවරයෙකු යට‍තේ පුහුණු වීමෙන්ද දන්ත වෛද්‍ය සහායකයෙකු විය හැකිය. 2017දී දන්ත වෛද්‍ය සහායකයෙකුගේ මධ්‍යස්ථ වාර්ෂික වැටුප ඩොලර් 37,630ක් විය. මෙය සාපේක්ෂව අඩු වැටුපකි.

(Graph: http://www.businessinsider.com/which-countries-have-the-most-dentists-per-capita-2011-2; Image: https://www.unmc.edu/dentistry/)

Sunday, July 15, 2018

අයිස්ක්‍රීම් සමඟ හෙළුවෙන්...


අවුරුද්දේ හැම දවසකම වාගේ මොකක් හෝ ජාත්‍යන්තර දිනයක් හෝ ජාතික දිනයක් සැමරේ. අදත් එහෙම දවසකි. අද ඇමරිකාවේ ජාතික අයිස්ක්‍රීම් දිනයයි. ඇමරිකාවේ අයිස්ක්‍රීම් හලකට යන අයෙකුට අද දිනයේ විශාල වට්ටමක් සහිතව හෝ නොමිලේම අයිස්ක්‍රීම් කන්නට අවස්ථාව ලැබේ.


ජූලි මාසයේ තෙවන ඉරිදා දිනය 1984දී එවක ඇමරිකාවේ ජනාධිපති වූ රොනල්ඩ් රේගන් විසින් ජාතික අයිස්ක්‍රීම් දිනය ලෙස නම් කර තිබේ.

ඇමරිකාවේ අයිස්ක්‍රීම් කර්මාන්තය ලක්ෂ දෙකක පමණ පිරිසකට රැකියා සපයන, ඩොලර් බිලියන 40ක පමණ කර්මාන්තයකි. ඇමරිකාවේ වැඩිපුරම අයිස්ක්‍රීම් විකිණෙන්නේ උත්තරාර්ධ ගෝලයේ කාලගුණය වඩාත්ම උණුසුම් ජූනි හා ජූලි මාස වලදීය. ඇමරිකාවේ සාමාන්‍ය පාරිභෝගිකයෙකු වසරකට අයිස්ක්‍රීම් රාත්තල් 23ක් පමණ පරිභෝජනය කරයි.

අද දිනයේ මෙන්ම ඊයේ දිනයේද මෙවැනිම සැමරුමක් තිබුණේය. ඒ ජාත්‍යන්තර නිරුවත් දින සැමරුමයි. මේ දිනයේ ප්‍රභවය නවසීලන්තය සේ සැලකේ.

නිරුවත් දිනය සමරන්නෝ සදාචාර විරෝධීහු නොවන අතර වඩාත්ම සුන්දර ස්වභාවිකත්වය බව හිතන අයයි. කෙසේ වුවත්, බොහෝ තැන් වල නිරුවතින් සිටින්නට නීතියෙන් අවසරයක් නැති නිසා මේ දිනය සමරන අයට එය තමන්ට රිසි සේ කළ නොහැකිය. එසේ නමුත්, ඒ වෙනුවෙන් ඉඩකඩ සලසමින් නිරුවතින් ගුහාවක් ඇතුලේ චාරිකාවක යෙදෙන්නට ඉඩ සැලසූ නිවුයෝර්ක්හි හවු ගුහාව වැනි තැන්ද ඇමරිකාවේ තිබුණේය.

ලංකාවේ ප්‍රධානම අපනයනය ඇඟලුම් වන අතර, එම ඇඟලුම් අපනයන වලින් වැඩිම ප්‍රමාණයක් මිල දී ගන්නේ ඇමරිකානුවන් විසිනි. ඊයේ දිනය වැනි විශේෂ දවසක ඇමරිකානුවන් ටික දෙනෙකු ඇඳුම් නැතුව හිටියත්, බොහෝ ඇමරිකානුවන් බොහෝ දිනවල ඇඳුම් අඳින නිසාත්, ඒ ඇඳුම් වලින් කොටසක් ලංකාවෙන් මිලදී ගන්නා නිසාත්, ලංකාවේ ආර්ථිකයට ලැබී තිබෙන්නේ විශාල තල්ලුවකි.

(Images: https://www.wfla.com/news/local-news/deals-and-freebies-for-national-ice-cream-day/1303426750, http://howecaverns.com/, https://www.youtube.com/watch?v=eB2ypBejsrU)

Saturday, July 14, 2018

සුපර් මාර්කට් හොරු


පසුගිය ලිපියකට ප්‍රතිචාරයක් ලෙස ඇනෝ කෙනෙක් විසින් දමා ඇති කමෙන්ටුවකට අනුව හා ඔහු විසින් අපව යොමු කරන පුවත් වාර්තාවකට අනුව වාර්ෂිකව ඕස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳසැල්  තුළ සිදුවන සොරකම් නිසා එම වෙළඳ ආයතන වලට සිදුවන අලාභය ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 9.3ක් හෙවත් එම කර්මාන්තයේ වාර්ෂික පිරිවැටුමෙන් 3%කට සමාන මුදලකි.

ඇමරිකාවේ 2017 සිල්ලර ආරක්ෂාව පිළිබඳ ජාතික සමීක්ෂණය (2017 National Retail Security Survey) අනුව, 2016 වසර තුළ ඇමරිකාවේ සිල්ලර වෙළඳසැල් වල වූ භාණ්ඩ තොග වලින් විකිණීම හැර වෙනත් හේතු නිසා අතුරුදහන් වූ භාණ්ඩ වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 48.9ක් හෙවත් එම කර්මාන්තයේ වාර්ෂික පිරිවැටුමෙන් 1.44%කි. ඊට පෙර වසරේදී මේ ප්‍රතිශතය පිරිවැටුමෙන් 1.38%ක් විය.

ඉහත සඳහන් අතුරුදහන් වූ භාණ්ඩ වල වටිනාකමින් 36.6%කට හේතුව පාරිභෝගිකයින් විසින් සිදුකළ කළ හොරකම් හා වංචාවන්ය. ඉතිරියට සේවක හොරකම් හා වංචාවන් (30.0%), දත්ත ඇතුළු කිරීමේ වැරදි (21.3%), භාණ්ඩ සැපයුම්කරුවන්ගේ වංචා හෝ වැරදීම් (5.4%) හා වෙනත් නොදන්නා කරුණු (6.8%) හේතු වේ. මේ අනුව, ඇමරිකාවේ පාරිභෝගිකයින් විසින් කරන හොරකම් හා වංචාවන් නිසා සිල්ලර වෙළඳසැල් වලට සිදුවන අලාභය එම සමාගම් වල පිරිවැටුමෙන් 0.53%කි. ඉහත සඳහන් ඕස්ට්‍රේලියානු පුවත් වාර්තාව නිවැරදිනම් ඕස්ට්‍රේලියාවේ සිදුවන මෙවැනි හොරකම් වල අලාභය කිහිප ගුණයකින්ම වැඩිය.

ඇමරිකාවේ සිල්ලර වෙළඳසැලකට යන පාරිභෝගිකයෙකුට ලංකාවේ එවැනි පාරිභෝගිකයකුට නැති විශාල නිදහසක් තිබේ. ඇමරිකාවේ පාරිභෝගිකයෙකු ලංකාවේදී මෙන් වෙළඳසැලකට ඇතුළු වන්නට පෙර තමන්ගේ අතේ තිබෙන සබ්බ සකල මනාවම කවුන්ටරයක තබා යා යුතු නැත. එමෙන්ම, ලංකාවේදී මෙන් සිල්ලර වෙළඳසැලකට ඇතුළු වූ තැන් පටන් පාරිභෝගිකයාගේ පස්සෙන්ම එන වෙළඳ සේවිකාවන් ඇමරිකාවේ නැත. මා දන්නා තරමින් වෙනත් බොහෝ බටහිර රටවල තත්ත්වයද මෙසේමය.

බටහිර රටක සිල්ලර පාරිභෝගිකයෙකුට ලංකාවට සාපේක්ෂව ඉහත ආකාරයේ නිදහසක් ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ නිදහස අපහරණය කරන්නන්ට හොරකම් හෝ වංචා කිරීමටද වැඩි ඉඩක් ලැබී තිබේ. ලංකාවේදී සිල්ලර පරිභෝගිකයින්ව වෙළඳ සේවකයන්ගේ දැඩි අධීක්ෂණයට ලක් වෙද්දී පවා අපමණ හොරකම් සිදුවන සන්දර්භයක එවැනි අධීක්ෂණයක් රහිත වාතාවරනයකදී හොරකම් සිදුවීමේ පුදුම වන්නට දෙයක් නැත.

අපේ පාඨකයා විසින් අපව යොමු කරන පුවත් වාර්තාවෙහිද සඳහන් වන පරිදි, ස්වයං සේවා මිලදී ගැනීම් වැඩි වන තරමට පාරිභෝගිකයින්ගේ හොරකම් හා වංචාවන්ද වැඩි වන බව පෙනේ. ඇතැම් විට ඕස්ට්‍රේලියාවේ පාරිභෝගික වංචා ඇමරිකාවට සාපේක්ෂව වැඩි වන්නට එක් හේතුවක් වන්නේ එරට ස්වයං සේවා විකිණීම් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස වැඩිවීම වන්නට පුළුවන.

පාරිභෝගික හොරකම් හා වංචා නිසා සිදුවන අලාභයෙන් සැලකිය යුතු කොටසක් අවසාන වශයෙන් අය වන්නේ පාරිභෝගිකයින්ගෙන්මය. ඒ, සිල්ලර වෙළඳසැල් විසින් හොරකම් වල අලාභය හෝ එයින් සැලකිය යුතු කොටසක් ආවරණය වන පරිද්දෙන් ලාභ ආන්තික ඉහළ දමා ගැනීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස විකිණුම් මිල ඉහළ යාමත් මඟිනි. එහෙත්, ඔවුන්ට මෙය කරන්නට වෙන්නේ සිල්ලර වෙළඳසැල් අතර තරඟයට මුහුණ දෙමින් හා පාරිභෝගික ඉල්ලුම ගැන සැලකිලිමත් වෙමින් නිසා සමස්ත අලාභයම පාරිභෝගිකයින් මත පැටවෙන්නේද නැත. පාරිභෝගික හොරකම් හා වංචා නිසා සිල්ලර කර්මාන්තයේ නියැලෙන සමාගම් වල ලාභද යම් ප්‍රමාණයකින් පහත වැටේ.

තත්ත්වය එසේනම් බටහිර රටවල් ස්වයං සේවා විකිණීම් වැඩි කරන්නට යොමු වන්නේත්, එහිදී ඕස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටින බව පෙනෙන්නේත් ඇයි?

මේ වන විට ඕස්ට්‍රේලියාවේ අවම වැටුප ඕස්ට්‍රේලියානු ඩොලර් 18.93කි. මෙය ඇමරිකන් ඩොලර් 14 ඉක්මවන මුදලකි. ඇමරිකාවේ ෆෙඩරල් නීතිය අනුව අවම වැටුප ඇමරිකන් ඩොලර් 7.25ක් පමණි. බොහෝ ප්‍රාන්ත වල අවම වැටුප ෆෙඩරල් අවම වැටුපට වඩා වැඩි වුවත් ඇමරිකන් ඩොලර් 14ක් තරම් වැඩි නැත.

ඕස්ට්‍රේලියාවේ අවම වැටුප වෙනත් බොහෝ බටහිර රටවලටද සාපේක්ෂව ඉහළ එකක් බව ප්‍රචලිත කරුණකි.

මේ වන විට ඕස්ට්‍රේලියානු ඩොලරයක මිල රුපියල් 120ක් පමණ වන අතර ඒ අනුව ඕස්ට්‍රේලියාවේ අවම වැටුප රුපියල් 2270 ඉක්මවයි. එනම් පැය අටක දවසකට රුපියල් 18,170ක් පමණ මුදලකි. මේ මුදලට ලංකාවේදී මාසයක කාලයක් වෙළඳ සේවකයෙකුගේ සේවය ලබා ගැනීම අපහසු නැත. ඒ අනුව, ඕස්ට්‍රේලියාවේදී වෙළඳ සේවකයකු බඳවා ගන්නා මුදලින් ලංකාවේදී වෙළඳ සේවකයින් 20ක් පමණ බඳවා ගන්නට පුළුවන. නමුත් ලංකාවේ සුපිරි වෙළඳසැලක විකුණන භාණ්ඩ වල මිලෙහි හා ඒ නිසා හොරකමකින් සිදුවිය හැකි අලාභයේ එතරම් වෙනසක් නැත.

ඕස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳසැලක ලංකාවේ තරම් සේවකයින් නැත්තේ ඇයිද යන්න මෙයින් පැහැදිලි වේ.

අවම වැටුප ඉහළ යන තරමට සිල්ලර කර්මාන්තයේ ලාභ අඩුවේ. එවිට කර්මාන්තයේ රැඳී සිටීමටනම් සේවක සංඛ්‍යාව අඩු කර සේවක වියදම් කපා හරින්නට සිදු වේ. මෙය කළ හැක්කේ ස්වයංකරණය වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීම මඟිනි. ඒ නිසා, අවම වැටුප් ඉහළ යන තරමට සිල්ලර වෙළඳසැලක් ස්වයංකරණය කරන්නට වැඩි වැඩියෙන් පෙළඹේ. මේ අනුව, අවම වැටුප් වැඩිම බටහිර රටක් වන ඕස්ට්‍රේලියාවේ සිල්ලර වෙළඳසැල් ස්වයං සේවා විකිණීම් ඉහළ දමන්නට වැඩි වැඩියෙන් පෙළඹීම තේරුම් ගත හැකිය.

සිල්ලර වෙළඳසැල් ස්වයංකරණය කෙරෙහි යොමුවන්නට එකම හේතුව අවම වැටුප් නොවේ. වෙනත් හේතුවක් මත සේවක වැටුප් ඉහළ ගිය විටද සිදුවන්නේ එයමය. පසුගිය දිනක මෙහි (ඇමරිකාවේ) සිල්ලර වෙළඳසැලක සේවකයින් බඳවා ගැනීම සඳහා ප්‍රදර්ශනය කර තිබුණු දැන්වීමකට අනුව ඔවුන් ගෙවන්නට සූදානම්ව සිටින පැයක වැටුප ඇමරිකන් ඩොලර් 12 ඉක්මවයි. මෙය ඇමරිකාවේ අවම වැටුපට වඩා බොහෝ වැඩි මුදලකි.

මේ දින වල ඇමරිකාවේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වන අතර විරැකියා අනුපාතය විශාල ලෙස අඩු වී තිබේ. ඒ නිසා, ශ්‍රම වෙළඳපොළේ දැකිය හැක්කේ ශ්‍රමිකයින්ට වාසිදායක තත්ත්වයකි. අඩු කුසලතා සහිත සංක්‍රමණිකයින්ට ඇමරිකාවට පැමිණ රැකියාවක් කිරීම වඩා අසීරු වී තිබීමද මේ තත්ත්වයට දායක වී තිබේ. මේ හේතුව නිසා, ඇමරිකාවේ සිල්ලර වෙළඳසැල්ද ස්වයංකරණය වේගවත් කරමින් සිටින බව පෙනෙන්නට තිබෙන දෙයකි.

මුලින් සාකච්ඡා කළ ඕස්ට්‍රේලියානු පුවත් වාර්තාවෙන් පෙන්වන පරිදි ස්වයංකරණය ඉහළ යාමට අනුරූපව හොරකම් හා වංචාද ඉහළ යන බව පෙනේ. ඕස්ට්‍රේලියාව හා අදාළ දත්ත නිවැරදිනම්, විකිණීම ස්වයංකරණය කිරීමෙන් ලැබෙන වාසිය පිරිවැටුමෙන් 1%ක් වෙද්දී හොරකම් වල අලාභය පිරිවැටුමෙන් 3%කි. එම වාර්තාවටම අනුව ස්වයංකරණය කළ වෙළඳසැල්වල හොරකම් ප්‍රමාණය 52% සිට 86% දක්වා ඉහළ ගොස් තිබේ. මේ තත්ත්වය මෙසේ පැවතීමෙන් පෙනෙන්නේ ස්වයංකරණය නොකළද හොරකම් නිසා අවම වශයෙන් පිරිවැටුමෙන් 2%ක අලාභයක් සිදුවන බවයි. එසේ නැත්නම් මේ සිල්ලර වෙළඳසැල් 1%ක වාසියක් වෙනුවෙන් ස්වයංකරණය හඳුන්වා දෙන්නට හේතුවක් නැත.

මෙයටම අදාළ තවත් කරුණක් වන්නේ එක් පැත්තකින් ශ්‍රම වෙළඳපොළේ මිල ගණන් ස්වභාවිකව හෝ අවම වැටුප් හරහා කෘතිමව ඉහළ යද්දී, තාක්ෂණයේ දියුණුව නිසා ස්වයංකරණය කිරීමේ පිරිවැය පහළ යාමයි. ඒ නිසා, ස්වයංකරණය සමඟ හොරකම් ඉහළ ගියත්, සිල්ලර වෙළඳසැල් ස්වයංකරණය කිරීමේ ප්‍රවනතාවය ආපසු හැරවෙන්නට වැඩි ඉඩක් නැත. ඒ වෙනුවට සිදුවනු ඇත්තේ මිනිස් ශ්‍රමය යොදා නොගනිමින් ස්වයංකරන ක්‍රමවේද හරහාම හොරකම් වැළැක්වීමේ ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම වෙනුවෙන් මේ සමාගම් වැඩි වැඩියෙන් ආයෝජනය කරනු ලැබීමයි.

Friday, July 13, 2018

ප්‍රශ්නය පෙම්වතිය වූ විට...


"ගුරුජී මේ ක්‍රිෂ්ට ප්‍රශ්ණ කීපයකට පිළිතුරු හොයාගන්ට උවමනා වෙලා තියනව…...ඒත්…"

"ඔව් මොකක්ද ඒත්?" ගුරුජී ඇහුව.

"ගුරුජී ක්‍රිෂ්ට මෙහෙ, අපේ ආශ්‍රමයෙ ගතකරන්න පුලුවන් පැය දෙකක් විතරයි."

"ඇයි?.... පැය දෙකකට පස්සෙ මොකද වෙන්නෙ? "

"පැය දෙකකට පස්සෙ ක්‍රිෂ් එයාගෙ පෙම්වතිය මුණ ගැහෙන්න යොදාගෙන තියනව"

"ඒ කියන්නෙ ක්‍රිෂ් ඔබට ඔබේ ජීවිතේ විසඳාගත යුතු ප්‍රශ්ණවලට වැඩිය ඔබේ පෙම්වතිය වැදගත්...එහෙමද?"

"ඇත්තම කිව්වොත් ගුරුජී මගේ පෙම්වතිය තමයි විසඳාගත යුතු ප්‍රශ්ණය.." මම බිම බලාගෙන කිව්ව.

නිදහස් සිතුවිලි ලියන රවී උන්නැහේ දැන් ටික කලක සිට කොටස් වශයෙන් පරිවර්තනය කරන චේතන් භගට් උන්නැහේගේ නවකතාවේ අලුත්ම කොටස ඉවර වී තිබෙන්නේ ඔයාකාරයෙන්ය. කතාවේ ක්‍රිෂ්ට වගේම අපි කාටත් අපි ඉන්නා ආශ්‍රම වල ගත කරන්නට අසීමිත කාලයක් නැත. ඒ නිසා ඒ ඉන්න ටික කාලය තුළ අපට තේරීමක් ඇති හැම විටකම හොටු හූල්ල හූල්ලා නාහෙන් අඬමින් ඉන්නවා වෙනුවට අප කළ යුත්තේ ටිකක් හෝ වැඩිපුර සතුටින් ඉන්නට උදවු වන විකල්පයක් ඇත්නම් එය තෝරා ගැනීමයි.

මේ ආශ්‍රමයට පැමිණි දා සිටම ප්‍රශ්න වල අඩුවක් නැත. ජීවිතය කියන්නේ ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන තේරීම් ගොඩකි. විසඳාගත යුතු ප්‍රශ්ණය පෙම්වතිය වූ විට ප්‍රශ්නය තරමක් සංකීර්ණය. ඒ තමන්ගේ සතුටට තමන්ගේ තේරීම් මෙන්ම පෙම්වතියගේ තේරීම්ද බලපාන බැවිනි.

ප්‍රශ්ණය පෙම්වතිය වූ විට ප්‍රශ්නය විසඳාගත හැකි ක්‍රම කිහිපයක්ම තිබේ. පළමුවැන්න පෙම්වතිය තමන්ට අවශ්‍ය ආකාරයට හදා ගැනීමයි. දෙවැන්න පෙම්වතියට ගැලපෙන ආකාරයට තමන් වෙනස් වීමයි. තුන්වැන්න පෙම්වතිය අතහැර දැමීමයි. මේ තුනෙන් හොඳම තේරීම කුමක්ද යන්න එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි.

මෙහි පෙම්වතිය වෙනුවට තවත් බොහෝ දේ ආදේශ කර ගන්නට පුළුවන.


(Images: https://migrationdataportal.org/themes/international-migrant-stocks, https://www.hotstar.com/movies/2-states/1000034502)

Wednesday, July 11, 2018

සිවුරු හොරු, සුදු රෙදි හොරු හා තැපැල් හොරු


"ඔබ දන්නවා ද, මා 1995 ලංකාවෙන් ආ පසු මා මගේ අම්මාට යැවූ එකදු ලිපියක්වත් ඇයට ලැබුණේ නැති බව?

ඒ එක් ලිපියක යාවත්කාලීන කිරීමට කියා යැවූ මගේ ඔටෝමොබයිල් ආයතනයේ රියදුරු බලපත්‍රයත් තිබුණා!

එරෝග්‍රෑම් නම් අතරමග දී නැති නොවී නිවසට ලැබී තිබුණා!

තුන්වෙනි ලිපිය ද නොලැබුණු පසු මා සාමාන්‍ය තැපෑලේ ලිපි යැවීම නතර කළා. ලියකියවිලි සහිත ලිපි ලියාපදිංචි කර යැව්වා. පසුව අම්මාගේ නිවසට දුරකථනයක් ලැබීම නිසා ලිපි ලිවීම අනවශ්‍ය වී ගියා!"

ඉහතින් තිබෙන්නේ මෙහි පළ වූ පෙර ලිපියකට රසික සූරියආරච්චි විසින් දමා ඇති ප්‍රතිචාරයකි. මෙය විදෙස් රටක සිට ලංකාවට ලිපි එවා ඇති හෝ එවැනි ලිපි ලැබූ බොහෝ දෙනෙකුගේ පෞද්ගලික අත්දැකීමක් බව මගේ අදහසයි.

දශක කිහිපයකට පෙර මට ලැබුණු විදෙස් ලිපි කිහිපයක්මද මේ අයුරින් අතුරුදහන් වුණේය. වරක් එසේ අතුරුදහන් වූයේ එවකට විදෙස්ගතව සිටි මගේ අනාගත බිරිඳ විසින් එවූ ඡායාරූප ගණනක් සහිත ලිපියකි. මේ ඡායාරූප අතර ඒ අවස්ථාවේදී මට අවශ්‍යව තිබූ ඡායාරූප කිහිපයක්ද විය. ලිපිය බරට තිබුණු නිසා එහි වටිනා යමක් තිබිණැයි කිසියම් තැපැල් සේවකයෙකු විසින් උපකල්පනය කරන්නට ඇත.

දැන් කොහේ හෝ නීතිඥයෙකු ලෙස කටයුතු කරන්නේයැයි මා සිතන මගේ නීති විද්‍යාල බැචෙක් ඔහුගේ සිසු අවදියේදී තැපැල් දෙපාර්තමේන්තුවේ විදේශ පාර්සල් අංශයේ සේවය කළේය. ඔහු හරහා එහි කටයුතු සිදුවන ආකාරය හොඳින් දැන සිටි නිසා ඉහත අවස්ථාවේදී නැවතත් එවැනි දේ තැපෑලෙන් නොඑවන සේ මගේ අනාගත බිරිඳගෙන් ඉල්ලා සිටිනු හැර වෙනත් යමක් මම නොකළෙමි.

ඉන් පසුව, මට ලොකු බලපෑමක් සිදු කළ තවත් මෙවැනිම අවස්ථාවක් වූයේ මගේ TOEFL විභාග ප්‍රතිඵලය තැපෑලේදී අතුරුදහන් වීමයි. ඉල්ලීමක් කිරීමෙන් පසුව දෙවන වරට මේ ප්‍රතිඵලය ලියාපදිංචි තැපෑලෙන් එවා තිබුණත් කිසියම් හෝ හේතුවක් නිසා එය අතට ලැබෙන්නට සති පහක් හෝ හයක් ගත වී තිබුණේය. ඒ වන විට කලින් නගින්නට හිතා සිටි කෝච්චි ගණනාවක්ම පිටත් වී හමාරය.

ලිපි තුළ බහා එවන වටිනා දේවල් හොරකම් කිරීමේ අරමුණින්ද, ඊර්ෂ්‍යාව හේතුවෙන් දන්නා කියන කෙනෙකුගේ රැකියා අවස්ථාවක් හෝ වෙනත් වාසියක් අහිමි කිරීමේ අරමුණින්ද තැපැල් සේවකයින් විසින් ලිපි අතුරුදහන් කිරීම ලංකාවේ බොහෝ දෙනෙකුට නුපුරුදු අත්දැකීමක් විය නොහැකිය. පහත විස්තර කරන මගේ මෑතකාලීන අත්දැකීමකින් පැහැදිලි වූ පරිදි තැපැල් සේවකයින්ගේ හොරකම් ලංකාවේ තවමත් දුලබ නැත.

මා පෙර මෙහි ලියූ පරිදි, පසුගිය මාසයේ මුල මගේ පියා වෙනුවෙන් දුන් තෙමසේ දානය පැවැත්වුනේය. මේ කටයුත්තට දින කිහිපයකට පෙර ගෙදර සියල්ලන්ම හදිසියේම කලබල වූයේ විදුලිබල මණ්ඩලය විසින් එවූ රතු බිලක් දැකීමෙනි. එහි පෙන්වන ආකාරයට පියාගේ මරණයෙන් පසුව ලැබුණු බිල්පත් තුනක්ම පියැවී නැත. ඒ හේතුව මත බණ හා දානය පැවැත්වෙන අවුඅස්සේ හදිසියේම ලයිට් කැපුවොත් වෙන්නේ මහා ජංජාලයකි!

මගේ පියා ජීවත්ව සිටියදී, ඔහු මිය යාමට පෙර මාසය දක්වාම, ගෙදර සියලු බිල්පත් නිසි වෙලාවට ගෙවා දැමූ අතර ඒවා පිළිවෙලකට ගොනු කරමින් වාර්තා තබා ගත්තේය. පියාගේ මරණයෙන් පසුව එක් එක් මාසයේ මේ කටයුත්ත කර තිබුණේ එක් අයෙක් විසින් නොවේ. ඒ නිසා, සිදුවී ඇති දෙය තෝරා බේරා ගන්නට පසුගිය මාස තුනෙහි බිල්පත් පිරික්සීමටත්, එක් එක් මාසයේ විදුලි බිල ගෙවීමේ වගකීම භාර ගෙන තිබුණු පවුලේ සාමාජිකයින් විමසන්නටත් සිදුවිය.

කියන විදිහට කවුරු හෝ විසින් සියලුම බිල්පත් ගෙවා තිබේ. ගෙවූ බිල්පත් වල රිසිට්පත්ද තිබේ.

පෙර මාස වල බිල්පත් පිරික්සීමේදී පෙනී ගියේ තැපැල් කන්තෝරුවට මුදල් ගෙවීමෙන් පසුව එය විදුලි බිල්පතේ යාවත්කාලීන වන්නට මාසයක් හෝ දෙකක් ගත වන බවයි. පියා ජීවත්ව සිටියදී සිදුකළ ගෙවීම් දෙකක්ම ඔහුගේ මරණයෙන් පසු ලැබුණු මේ බිල්පත් වල යාවත්කාලීන වී තිබුණේය. අලුත් බිලක් ලැබෙන හැම විටම වාගේ පැරණි ගෙවීමක්ද යාවත්කාලීන වී තිබුණු නිසා, හැම විටම වාගේ බිල්පත් වල මාසයක හෝ දෙකක හිඟයක් පෙන්නුවත් කවදාවත් රතු බිලක් ලැබෙන තැනට වැඩේ දිග්ගැස්සී නැත.

මෙවර අවසන් ගෙවීම් තුනක්ම යාවත්කාලීන වී නැත. ඊට අමතරව තවත් දෙයක් සිදු වී තිබේ. පියාගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණු මාසයේ විදුලි බිල සාමාන්‍ය බිල මෙන් තෙගුණයකට කිට්ටුය. ඒ නිසා, එයින් ඇති වූ සෘණ ශේෂය නිෂ්ක්‍රීය කරන්නට වෙනදා මෙන් පැරණි ගෙවීම් එකක් නොව තුනක්ම අවශ්‍ය වී ඇත. ඒ නිසා, විදුලි බිලෙන් පෙන්වන පරිදි, තෙමසකට වැඩි කාලයක් පුරා දිවෙන හිඟයක් ඇත. මේ "ලොකු බිල" යාවත්කාලීන වූවානම් අවුලක් නැත.

ප්‍රශ්නයට මුල පියාගේ අවමංගල උත්සවය පැවැත්වුණු මාසය වෙනුවෙන් ගෙවිය යුතුව තිබුණු ලොකු බිල බව පැහැදිලිය. එය යාවත්කාලීන වීම සඳහා ප්‍රමාණවත් කාලයක් මේ වන විට ගත වී ඇත. (අනෙක් මාස වල බිල් වලට සාපේක්ෂව ලොකු බිලක් කියා කිවුවත් මෙය මහා ලොකු මුදලක් නොවේ.)

කාගේත්, විශේෂයෙන්ම පෙර කී ලොකු බිල ගෙවීමේ වගකීම දරා තිබුණු මගේ බාල සොයුරාගේ, අවධානය එම බිල වෙත යොමු විය. ඔහු විසින් නිරීක්ෂණය කර පෙන්වා දුන්නේ ලදුපතෙහි ගිණුම් අංකය ලියා ඇති තැපැල් ස්ථානාධිපතිවරියගේ "0" හා "6" ඉලක්කම් වල වෙනසක් දැකීම අමාරු නිසා ගෙවූ මුදල වෙනත් ගිණුමකට බැර වී තිබෙන්නට හැකි බවයි.

මේ අනුව, තැපැල් ස්ථානාධිපතිවරියව විමසන ලදුව ඇය විසින් සහතික කර කියා තිබෙන්නේ අදාළ දිනයේදීම ගෙවූ මුදල විදුලිබල මණ්ඩලයට යවා ඇති බව හා ගිණුම් අංකය වරද්දා නැති බවත්ය. ඇයට අනුව ප්‍රශ්නය විදුලිබල මණ්ඩලයේය. විදුලිබල මණ්ඩලය විසින් ගෙවූ මුදල් යාවත්කාලීන කළ විට ප්‍රශ්නය විසඳෙනු ඇත.

කොහොම වුණත්, දානය කට ළඟ තියෙද්දී විදුලිය විසන්ධි කරනු ලැබීමේ සුළු හෝ අවදානමක් ගන්නට මගේ සොයුරිය කැමති වුණේ නැත. ඒ නිසා, මුදල් ලැබී ඇති බව විදුලිබල මණ්ඩලයෙන් තහවුරු කරගන්නට තීරණය කෙරිණි. සොහොයුරෙකු විසින් ඒ කාර්යය භාර ගත්තේය.

"අන්තිම මාස දෙකේ සල්ලි ගිහින් තියෙනවා. ඒත් අර ලොකු බිල ගිහිං නෑ. වැරදිලා වෙන එකවුන්ට් එකකට ගිහිල්ලත් නෑ..."

"ඒ කියන්නේ තැපැල් කන්තෝරුවේ ප්‍රශ්නයක්. සල්ලි ගෙවපු රිසිට් එක පෙන්නුවෙ නැද්ද?"

"ඒගොල්ලො කියන්නෙ රිසිට් මොනව තිබුණත් මණ්ඩලේට සල්ලි ලැබුනෙ නැත්නම් ඒගොල්ලන්ට කරන්න දෙයක් නෑ කියල!"

මේ අනුව, ප්‍රශ්නය විසඳාගත යුතුව තිබෙන්නේ තැපැල් ස්ථානාධිපතිවරිය සමඟ බව පැහැදිලිය. එක්කෝ ඇය විසින් වංචාවක් කර තිබේ. එසේ නැත්නම් මුදල් සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලියේදී කිසියම් තාක්ෂණික වරදක් සිදුව තිබේ.

මුලින් කිසිසේත්ම පිළිනොගත්තත්, ඉහළට පැමිණිලි කරන බව දැඩි සේ කියා සිටීමෙන් පසුව තමන් විසින් විදුලිබල මණ්ඩලයට අදාළ මුදල නොයැවූ බව පිළිගත් ඇය එම මුදල් වහාම විදුලිබල මණ්ඩලයට යැවීමට කටයුතු කළාය. ගෙවීම විදුලිබල මණ්ඩලයට ලැබුණු බවද තහවුරු කර ගත හැකි විය.  අප මුහුණ දී සිටි අවදානම දුරු විය.

ගමේ දන්නා හඳුනන පවුලක දැරිවියක වන මේ තැපැල් ස්ථානාධිපතිවරිය වංචාවක් කර තිබුණු බව ඉතා පැහැදිලිය. ඒ වංචාව කල් පසු වී වුවත් අතේ මාට්ටු වීමට නියමිතව තිබුණු බවද පැහැදිලිය. ඇතැම් විට පුරුද්දක් ලෙස ලැබෙන බිල්පත් වල ශේෂය පියවා දමනු මිස පසුගිය ගෙවීම් නිවැරදිව යාවත්කාලීන වූයේදැයි නොබලන අයගේ මුදල් ඇය විසින් මේ අයුරින් වංචා කරනවා වන්නටද පුළුවන. විදුලි බිල්පත් නිසි කලට පිළිවෙලට යාවත්කාලීන නොවන නිසා ගෙවූ මුදල් ගිණුමට බැර වූයේදැයි පිරික්සීමද සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් කළ හැකි කටයුත්තක් නොවේ. ඒ නිසා, මේ වර්ගයේ හොරකම් අහුවෙන්නේද තැපෑලෙනි. තැපෑලෙන් අහුවන ආකාරයේ හොරකම් කරන තැපැල් හොරුන් සිටින්නේ තැපැල් කන්තෝරු වල පමණක්මද නොවේ.

මගේ අදහස වූයේ හොරකම ලොකු වුවත් පොඩි වුවත් මෙය හොරකමක් බැවින් අප විසින් මේ ගැන අදාළ තැනකට පැමිණිලි කළ යුතු බවයි. එහෙත්, ඒ වන විට අපේ ප්‍රශ්නය විසඳී තිබුණු නිසා පවුලේ අනෙක් කිසිවෙකුට ඒ සඳහා උවමනාවක් නොතිබුණා පමණක් නොව මේ වගේ "පොඩි දෙයකට" අහිංසක දැරිවියකගේ රස්සාව අවදානමේ හෙලීම මහා අපරාධයක් බව ඔවුන් වැඩි දෙනෙකුගේ අදහස විය. ඒ නිසා, මට මගේ යෝජනාව අකුලා ගන්නට සිදු විය.

හොරකම් ගැන ලංකාවේ ගොඩක් දෙනෙකුගේ ආකල්පය අපේ ගෙදර අයගේ ආකල්පයට සමානය. කවුරුත් හොරකම් ගැන විවේචනය කරති. හොරුන්ට දඬුවම් දිය යුතු බව කියති. එහෙත්, ඒ වෙනුවෙන් මුල පුරන්නට හෝ පෞද්ගලිකව උදවු කරන්නට කවුරුවත් කැමති නැත.

හොරකමේ පාඩුව තමන්ටම වූ විට බොහෝ දෙනෙක් පරල වේ. එහෙත්, එය තමන්ටම නොවූ විට හෝ හොරකම නිසා තමන්ට සිදුවන පාඩුව පැහැදිලි ලෙස දෘශ්‍යමාන නොවන විට බොහෝ දෙනෙක් කරන්නේ හොරකම ගැන කතා කරන අතරම හොරාට අනුකම්පා කිරීමයි. මෙහිදී සුලබව යොදාගන්නා තර්කයක් වන්නේ මේ හොරකමට වඩා ලොකු වෙනත් හොරකම් රටේ ඕනෑතරම් සිදුවන බවයි. හොරා කිසියම් හෝ සම්බන්ධයක් ඇති කෙනෙක්නම් හොරා වෙනුවෙන් පෙනී සිටින අයගේ අඩුවක් නැත. මේ මනෝභාවය ලොකු කුඩා භේදයක් නැතිව සුදු රෙදි හොරුන්ට, සිවුරු හොරුන්ට වගේම තැපැල් හොරුන්ටද වාසියකි.

වෙබ් ලිපිනය: