වෙබ් ලිපිනය:

Sunday, November 17, 2019

නව ජනාධිපතිට සුබපැතුම්!


මේ වන විට, ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිල වශයෙන්ම නිකුත් වී අවසන්. මෙතෙක් ලංකාවේ පැවැති අනෙකුත් ජනාධිපතිවරණ සියල්ලේදීම සිදු වූ අයුරින් මෙවරත් ජයග්‍රාහකයා විසින් පහසුවෙන් 50% ඉලක්කය පසු කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රතිශතය 52.25%ක්. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතය 41.99%ක් පමණයි. ජවිපෙ ඡන්ද ප්‍රතිශතය මීට පෙර ජනාධිපතිවරණ වලදී එම පක්ෂයේ අපේක්ෂකයින් විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශත වල මට්ටමින් පහතට වැටී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය, ඉතා පැහැදිලිව නොවූවත්, මුල සිටම පෙනෙන්නට තිබුණු දෙයක්. පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ හා එම පෙරමුණ සමඟ එක්ව කටයුතු කළ අනෙකුත් කණ්ඩායම් විසින් 43%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. එජාපය හා සජිත්ට සහයෝගය දුන් දෙමළ, මුස්ලිම් පක්ෂ හා කණ්ඩායම් සියල්ලම විසින් ලබා ගත්තේ 36%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ශ්‍රීලනිපය/එජනිසය විසින් 12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ජනාධිපතිවරණයේදී එම ඡන්ද වලින් 75%ක් පමණ ගෝඨාභය රාජපක්ෂ විසිනුත් ඉතිරි 25% සජිත් ප්‍රේමදාස විසිනුත් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව ජවිපෙ ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක්ද සජිත් ප්‍රේමදාස වෙත විතැන් වී තිබෙනවා.

ඡන්ද ප්‍රතිඵලයේ තිබෙන කණගාටුදායකම කරුණ ජනවාර්ගික ධ්‍රැවීකරණයයි. ගෝඨාභය රාජපක්ෂ විසින් මුළුමනින්ම වාගේ ලබාගෙන තිබෙන්නේ සිංහල බෞද්ධ ඡන්දයි. උතුරු නැගෙනහිර මෙන්ම, පුත්තලම හා මාවනැල්ල වැනි තැන් වලත්, මීගමුවේ හා වත්තලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් දැකිය හැක්කේ වෙනත්ම රටාවක්. ගෝඨාභය රාජපක්ෂට දිවුරුම් දෙන්න සිදු වී තිබෙන්නේ බෙදුණු රටක ජනාධිපති ලෙසයි. සුළුතර වාර්ගික කණ්ඩායම් වල සහයෝගය නොලබා ජනාධිපති වීම සතුටු විය හැකි කරුණක් නෙමෙයි. අනෙක් අතට බහුතර කණ්ඩායමේ සහාය නොලබන අයෙකු සුළුතරයේ බහුතර කැමැත්තෙන් ජනාධිපති සේ පත් වූවානම් එය ඊටත් වඩා අවුලක්.

ජනාධිපතිවරණ සමයේ කවුරු මොනවා කිවුවත් ගෝඨාභය රාජපක්ෂට භාරගන්න වෙන්නේ මෙතෙක් තිබුණු රට මිස අමුතු අලුත් රටක් නෙමෙයි. ජනාධිපති හෝ ආණ්ඩුව වෙනස් වුනා කියා රට හමුවේ තිබෙන අභියෝග වල ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. පහුගිය ආණ්ඩුව අවුරුදු හතර හමාරක් තිස්සේ ආර්ථිකය වැටෙන්න නොදී අල්ලාගෙන හිටියත් එහි ආකෘතිමය ප්‍රශ්න තවමත් එසේම තිබෙනවා. ආණ්ඩුව වෙනස් වුනා කියා ඒ ප්‍රශ්න වල ස්වරූපය එක රැයින් වෙනස් වන්නේ නැහැ.

දේශපාලනිකව බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ හමුවේ තිබෙන ලොකුම අභියෝගය වන්නේ අත පුච්චා නොගනිමින් ඔහුව බලයට පත් කළ සිංහල බෞද්ධ බහුතර කණ්ඩායමේ අපේක්ෂාවන් ඉටු කිරීමයි. එක් වැරදි තීරණයකින් වීරයා ද්‍රෝහියකු වෙන්න පුළුවන්. තවත් කියන්න බොහෝ දේවල් තිබෙනවා. ඒවා පසුවට තියමු.

අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපේ සුබ පැතුම්!



13 comments:

  1. ඇමරිකාවට තව 1st lady කෙනෙක් හම්බ උනා නේද ? මෙහි නීතිමය තත්ත්වය කුමක්ද? ගෝටාභය ගේ බිරිඳ ඇමරිකානු ජාතිකයෙක් වීම හරහා ලංකාවට ඇමරිකානු බලපෑමක් ඇතිවිය හැකිද?

    ReplyDelete
    Replies
    1. පළමු කාන්තාව යන යෙදුමට නීත්‍යානුකූල භාවයක් නැහැ. ඒ වගේම, පවුලේ කෙනෙක් නෙමෙයි රටක රාජ්‍ය නායකයාම ඇමරිකන් පුරවැසියෙකු වුනා කියා වුවත්, ඇමරිකාව විසින් ඒ හේතුව මත එවැනි රටවල් වලට බලපෑම් කරන්න ගිහින් නැහැ. උදාහරණයක් විදිහට 2017 පෙබරවාරි සිට සෝමාලියාවේ ජනාධිපති ලෙස කටයුතු කරන මොහොමඩ් අබ්දුල්ලාහි ඇමරිකානු පුරවැසියෙකු වුවත් ඒ හේතුව මත සෝමාලියාවට ඇමරිකාව බලපෑම් කර නැහැ. (තමන්ගේ ඇමරිකන් පුරවැසිකම ස්වේච්ඡාවෙන් ඉවත් කර ගන්නා බව මාස කිහිපයකට පෙර ඔහු විසින් ප්‍රකාශ කර තිබුණා. ඒ තමන්ගේ ජනාධිපති වැටුපෙන් ඇමරිකාවට බදු ගෙවන එක එපා වෙලා වෙන්න ඇති!)

      Delete
    2. ජනාධිපති වුනාට පස්සේ ආපහු පුරවැසිකම ගන්න පුළුවන්ද?

      Delete
    3. ඇමරිකන් පුරවැසිකම අත් හැරීමෙන් පසුව එය නැවත ලබා ගැනීමට නීතිමය බාධාවක් ඇති බවක් මම දන්නේ නැහැ. එහෙත්, එසේ කළ අයෙකු ගැන දන්නේත් නැහැ. ඇමරිකන් පුරවැසිකම අත හැරීමෙන් පසුව රටට ඇතුළු වීමේ අයිතිය පවා නැති වෙනවා. රටට තාවකාලිකව එන්න වුවත් වීසා අයදුම් කළ යුතුයි.

      Delete
    4. ,ඇමරිකාවට තවත් first lady කෙනෙක් හම්බුනා කියලා හිතනවනම් ඒක බොහොම පහසුවෙන් ලංකාවෙ උසාවියෙ අභියෝගයට ලක්කරලා පරාජය කරන්න පුළුවන් කම තිබියදී ඒක නොකර නහින් අඬ අඬ යන්නෙ මුග්ද කමද?

      Delete
    5. පැහැදිලි මදි. මෙහි උසාවියේ අභියෝගයට ලක් කළ හැකි දෙයක් ඇතැයි මම හිතන්නේ නැහැ. ලංකාවේ ජනාධිපතිගේ බිරිඳට ලංකාවේ පුරවැසිකම නොතිබුණත් එහි නීතිමය ගැටලුවක් නැහැ.

      Delete
  2. දැන් ඉකොනෝ මහත්තයා මොකද කරන්නේ? එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයෙන් ඉල්ලා අස්වෙනවද? දැන්ම ගෝටා සර් ලගට එක්කාසු උනොත් ජනාධිපති මාධ්‍ය ඒකකයට එකතු වෙන්න පුළුවන් වෙයි ඉකොනෝ මහත්තයට.

    ReplyDelete
  3. ඉකොනෝ වගේ උදවිය ගෝටා එනවට අකමැති උනා. හැබැයි තියෙන උද්දච්ච කම හරි වෙන මොකක් හරි දෙයක් නිසා ගෝටාව පරාජය කිරීමේ හැකියාව තිබුන සජිත්ට සහය දුන්නේ නැහැ. වෙනින් බයිලා කියමින් හිටියා. වඩා නරක දේ ඉවත් කිරීමේ අවස්ථාව දැන් අහිමිව ඉවරයි. යහපාලන රජය යටතේ තිබුන නිදහස නිසා ඔබ වැනි අය අධිතක්සේරැවෙන් සිටියා විය හැකියි. දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. 2025 වසර වෙන තෙක් ගෝටාභය ජනපති. ඒ වන තෙක් අගමැති මහින්ද රාජපක්ෂ විය හැකියි. වහල්ලු වගේ ඉමු ඉතිං, වෙන කරන්න දෙයක් නෑ. මොකද ජිවිතේ රැක ගන්න එපයි ලංකාවේ ඉන්න අපි මොනා කරන්නත්..

    ReplyDelete
  4. රටකට පත්වෙන නායකයෙකු ඔහුට කැමති- අකමැති හැම දෙනාගේම නායකයායි! හැම දෙනාටම ඒක පිළිගන්න වෙනවා, බහුතරේ කැමත්තනේ!

    ReplyDelete
  5. උහුලන්න බැරි ණය කඳක්
    පැහැදිලිව බෙදුන ජාතියක්
    සිහළ බොදු නායකත්වයක්
    ඒකීය රාජ්‍යය නම්
    සදාකාලික හීනයක්!

    ReplyDelete
  6. මා සිතන ආකාරයට, මෙතෙක් ලංකාවේ ඡන්දයෙන් තේරීපත් වූ සියලුම අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් බලය ලැබුණු පසු වෙනස් වූ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ ද තනතුරේ වැඩ භාර ගෙන ටික කලක් යනවිට වෙනස් වෙන බවයි.

    නමුත් හොඳ නරක රේඛාවේ එක අන්තයක සිටින ඔහුට වෙනස් විය හැක්කේ හොඳ පැත්තට පමණයි. එසේ වෙනස් වන විට ඔහුට ඡන්දය දුන් කපටියන්, ජාතිවාදීන් සහ මැරයින් අපේක්ෂා භංගත්වයට පැමිණ ගෝඨාභයට එරෙහි වන්නට ඉඩ තිබෙනවා.


    https://rasikalogy.blogspot.com/2019/11/mostly-innocent-fools.html

    ReplyDelete
  7. බෙදුනු රටක්... ඒ සිදුවීම 2010 දිත් වුණා නේද?

    ReplyDelete
  8. mage nam adahasa sajith hithuwata wadaa chanda gattha saha gotata hithunu tharam lebune nehe. bombe patthuwunata passeth 2015 balawega ekata hitiyanam gota paradinawa kiyana eka pehedili. sulu jathika chanda epamana bakawath.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: