වෙබ් ලිපිනය:

Thursday, February 6, 2020

කොරෝනා බිය මාධ්‍ය වලින් හැදූ එකක්ද?

කොරෝනා භීෂණය මාධ්‍ය මගින් හදපු එකක් කියා ඇතැම් අය කිවුවත් එය නිවැරදි නැහැ. එය සැබෑ ප්‍රශ්නයක්. නව කොරෝනා වෛරසය වැළඳුනු අයගෙන් මිය යන්නේ 2%කට මඳක් වැඩි ප්‍රමාණයක් පමණක් බව ඇත්ත. නමුත්, කොරෝනා වෛරසය භයානක වන්නේ මරණ අනුපාතය නිසා නෙමෙයි. පැතිරෙන වේගය නිසයි.


රෝගය පැතිරීම වලක්වන්න චීනය කොයි තරම් උත්සාහ කළත් තවමත් දවසෙන් දවසම තත්ත්වය දරුණු වෙන එකයි වෙන්නේ. සෑම දවසකම පෙර දවසේ මැරුණු ගණනට වඩා වැඩි ගණනක් මිය යනවා. නිල සංඛ්‍යාලේඛන අනුව මේ වන විට මිය ගොස් ඇති ගණන 638ක්. වෛරසය වැළඳුනු ගණන 31,481ක්. චීනයෙන් පිටතත් රෝගය ක්‍රමයෙන් පැතිරෙමින් තිබෙන බව පේනවා. සතියක් ඇතුළත ආසාදිත ගණන වගේම මරණ ගණනත් තුන් හතර ගුණයකින් ඉහළ ගිහින්.


සිකුරාදා (පෙබරවාරි 7) අලුයම නව කොරෝනා වෛරසය නිසා මිය ගිය වෛද්‍ය වෙන්ලියාන් ලී ගැන මේ වෙද්දී සමාජ මාධ්‍ය වල විශාල ලෙස කතා වෙනවා. වුහාන් කේන්ද්‍ර කරගෙන පැතිරෙන සාර්ස් වැනි වෛරසයක් ගැන අවධානය යොමු කරමින් එයින් ප්‍රවේශම් විය යුතු බව පැවසීමෙන් පසුව චීන රජය විසින් කර තිබෙන්නේ අසත්‍ය ප්‍රචාර කිරීමේ චෝදනාව මත වෙන්ලියාන් ලීව අත් අඩංගුවට ගැනීමයි. දෙසැම්බර් 30 වනදා ඔහු විසින් පෙන්වා දී තිබෙන්නේ මුහුණු වැසුම් පැළඳීමේ හා විෂබීජ නාශක භාවිතා කිරීමේ වැදගත්කම ගැනයි. මේ වෙද්දී ඔහු චීන්නුන්ගේ ජාතික වීරයෙක් වෙලා.

මේ වෙද්දී නව කොරෝනා වෛරසය පැතිරෙන්නේ චීන රජයේ වැරැද්දක් නිසා කියා කියන්න බැහැ. චීන රජය වෛරසය පැතිරීම වලක්වන්න කළ හැකි හැමදේම වගේ කරනවා. නමුත්, චීන රජයේ තොරතුරු වාරණය හා නිලධාරීවාදය නොවන්නට මුලදීම තත්ත්වය පාලනය කර ගැනීමට කිසියම් ඉඩක් තිබුණු බවත් බැහැර කරන්න බැහැ. දැනටත් චීන රජය විසින් රෝගය හා අදාළ තොරතුරු වාරණය කිරීමක් කරනවා.

මීට පෙර, 2013-2015 කාලයේ පැතිරුණු මර්ස් කොරෝනා වෛරසයේ මරණ අනුපාතය 37%ක් වුවත් එයින් මිය ගියේ 449 දෙනෙකු පමණයි. නව කොරෝනා මරණ ගණන දැනටමත් ඊට වැඩියි. 2002-2003 වසර වලදී ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනා මරණ අනුපාතය 9.6%ක් වුනා. එයින්, 774 දෙනෙකු මිය ගියා. දැනට පවතින ප්‍රවණතාව අනුව තව දින දෙකකින් නැත්නම් තුනකින් නව කොරෝනා මරණ ප්‍රමාණය මේ ගණනද ඉක්මවන බව පැහැදිලියි.

6 comments:

  1. පැස්බරුවෝ කොහෙත් ඉන්නවනේ.

    ReplyDelete
  2. මම ලියන්න කියල හිතනකොටම එකොන් ලියල. මගේ අදහසත් මිනිස්සු පරිස්සම් වෙන්න ඕනේ කියල. අනික් අදහස මේක හදපු එකක් වෙන්න ඉඩ වැඩියි කියල. (බයෝ වෙපොන් )

    ReplyDelete
    Replies
    1. හදපු එකක්නම් අවධානම අඩුයි. බේතත් හදලා ඇතිනෙ එහෙනම්..

      එහෙම නැත්නම් දැනට ලැබෙන තොරතුරු වල හැටියට මේක මානව වර්ගයාටම තර්ජනයක් වෙන ලෙවල් එකට යයිද කියලා හිතෙනවා...

      Delete
  3. මම ලියන්න කියල හිතනකොටම එකොන් ලියල.////// පිස්සෙක් නේවෙයි මෙයැයි තමයි ලංකාවේ සාරුක්කාන්..ජෝක් උනත් ඕනවට වඩා සමාජ ගත කරපුවම ඕම වෙනව බං නාඩ හිටපං

    ReplyDelete
  4. හත් අට දාහක් මැරුණත්
    චීනට ගානක් නැහැල්ලු
    හත් අට සීයක් මියගිය
    ලෙසට චීන ඉන්නවාලු

    දුරට හිතල බලපුවාම
    ඒකෙත් ඇත්තක් තියේලු
    මොකද දන්නවාද යාලු
    හැම චීනම එකවගේලු!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: