වෙබ් ලිපිනය:

Friday, February 5, 2021

අපි කොයි තරම් නිදහස්ද?


රටවල් වලට, විශේෂයෙන්ම ලෝක දේශපාලනයේ පර්යන්තයේ පිහිටි ලොකු ආර්ථික ශක්තියක් නැති කුඩා රටවල් වලට, ස්වාධීන තීරණ ගන්න කොයි තරම් නිදහසක් තියෙනවද? මේක පසුගිය දවස් වල ලංකාවේ ටිකක් කතා වුනු මාතෘකාවක්. ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව බලය කියන සාධකය මත වෙනස් වෙනවා කියන එක පැහැදිලියි.

මේ කතාව රටවල් වලට වගේම ඒකීය පුද්ගලයින්ටත් අදාළයි. පුද්ගලයෙකුට ස්වාධීන තීරණ ගන්න තිබෙන හැකියාව එම පුද්ගලයාට බලය පැතිරවිය හැකි හා එමගින් පාලනය කළ හැකි සීමිත අවකාශයකට සීමා වෙනවා. එතැනින් එහාට ස්වාධීන කැමැත්තක් නැහැ. 

මිනිහෙක්ට මොන විදිහක හෝ නිදහස් කැමැත්තක් නැති වෙන්න බැරිද? මේ වගේ ප්‍රශ්න දර්ශනයේ ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හොයන එක පහසු නැහැ. සමහර විට කරන්නම බැහැ. 

මිනිසෙකුට කිසිම නිදහස් කැමැත්තක් නැති විය හැකි බව ප්‍රතික්ෂේප කිරීම අසීරු වුවත් වුවත්, පූර්ණ නිදහස් කැමැත්තක් නැති බවනම් ඉතාම පැහැදිලියි. මෙය පෙන්වා දෙන එක අපහසු නැහැ. අපි හිතමු එක් පුද්ගලයෙකුට පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙනවා කියලා. එහෙමනම් ඒ පුද්ගලයාට එම පූර්ණ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරමින් වෙනත් අයෙකුගේ නිදහස් කැමැත්තට බාධා කරන්න පුළුවන්. ඒ නිසා, දෙවැන්නෙකුට කිසිසේත්ම පූර්ණ නිදහස් කැමැත්තක් තියෙන්න විදිහක් නැහැ. ඒ නිසා, පූර්ණ නිදහස් කැමැත්තක් තිබිය හැක්කේ උපරිම වශයෙන් එක් අයෙකුට පමණයි. අනෙක් අයගේ නිදහස් කැමැත්ත හැම විටම ඒ පූර්ණ නිදහස් කැමැත්ත තිබෙන පුද්ගලයාගේ නිදහස් කැමැත්තට යටත් සීමිත නිදහස් කැමැත්තක්. හැබැයි එවැනි පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙන කෙනෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතු නැහැ.

අපි හිතමු එසේ පූර්ණ නිදහස් කැමැත්තක් වගේම ඒ කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ බලයක්ද තිබෙන කෙනෙක් ඉන්නවා කියලා. එහෙමනම්, ඇත්තටම අනෙක් ඕනෑම කෙනෙකුගේ නිදහස් කැමැත්ත කියන එක මායාවක් පමණයි. මොකද වෙනත් ඕනෑම කෙනෙකු තමන්ගේ නිදහස් කැමැත්ත ලෙස ක්‍රියාත්මක කරන්නේත් පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙන පුද්ගලයාගේ කැමැත්ත. ඒක එහෙමද නැද්ද කියලා දැන ගන්න පුළුවන් වෙන්නේත් පූර්ණ නිදහස් කැමැත්තක් තිබෙන පුද්ගලයාගේ කැමැත්තට යටත්ව පමණයි.

ඒ කියන්නේ එක දෙයක් පැහැදිලියි. එක්කෝ අපට සීමිත නිදහස් කැමැත්තක් තිබෙනවා. එහෙම නැත්නම් කිසිසේත්ම නිදහස් කැමැත්තක් කියා දෙයක් නැහැ. අපේ නිදහස් කැමැත්ත කියා අපි හිතාගෙන ඉන්න දෙය වෙනත් කෙනෙකුගේ කැමැත්තට යටත්. 

මේ වගේ දාර්ශනික ගැටළුවක් තිබීම අපේ එදිනෙදා ජීවිත වලට ප්‍රශ්නයක්ද? පැහැදිලිවම නැහැ. අපට තිබෙන නිදහස් කැමැත්ත සැබෑ නිදහස් කැමැත්තක්ද නැද්ද කියන ගැටළුව ගැන අඥේයවාදීව සිටින අතරම ඔය ප්‍රශ්නයට පිළිතුර කුමක් වුවත් කළ යුතු හොඳම දෙය අපට තිබෙන හෝ ඇත්තටම නොතිබෙන එහෙත් තිබෙනවාක් සේ පෙනෙන නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන එක කියන නිගමනයට අපට පහසුවෙන්ම එන්න පුළුවන්. ඒ කොහොමද?

අපට යම් තරමක හෝ නිදහස් කැමැත්තක් ඇත්තටම තිබෙනවානම් කළ යුතු හොඳම දෙය ඒ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කරන එකයි. අපට දැනෙන නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේ හැකියාව හරහා සිදු වන්නේ වෙනත් අයෙකුගේ කැමැත්තක් ක්‍රියාත්මක වීමනම්, අපට එයින් ගැලවෙන්න විදිහක් කොහොමටවත් නැත්නම්, ඒත් කළ යුතු හොඳම දෙය ඒ නිදහස් කැමැත්ත සේ පෙනෙන දෙය ක්‍රියාත්මක කරන එකයි. 

ඒකීය පුද්ගලයින් සේ අප විසින් හැම විටම කළ යුතු හොඳම දෙය අපේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමනම් මේ කතාව වෙනත් අයටත් පොදු විය යුතුයි. ඒ නිසා, අපට වෙනත් අයට ඔවුන්ගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමට තිබෙන අයිතියත් පිළිගන්න වෙනවා. ගොඩක් වෙලාවට මේකේ අවුලක් නැතත් එක් අයෙකුගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමේදී තවත් අයකුගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක කිරීමට බාධා වන අවස්ථාවක මේ වැඩේ අවුලක් ඇති වෙනවා. දෙකෙන් එකක් මිසක් දෙකම කරන්න බැහැ. එක් අයෙකුට පරාජය භාර ගෙන අනෙක් තැනැත්තාගේ නිදහස් කැමැත්තට ඉඩ දෙන්න සිදු වෙනවා.

මේ ප්‍රශ්නයට හැම විටම හරියන (universal) විසඳුමක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියා කියන්නේ මේ වගේ අවස්ථාවකදී හැමෝම කතාබහ කරලා එකඟත්වයක් ඇති කර ගැනීම. නමුත්, හැම තත්ත්වයක් යටතේදීම ඒ ආකාරයට කතා බහ කරලා විසඳුමක් ඇති කර ගත හැකි බවට සහතිකයක් නැහැ. ඒ වගේ වෙලාවක ක්‍රියාත්මක වන්නේ කාගේ නිදහස් කැමැත්තද කියන එක අවසාන වශයෙන් තීරණය වන්නේ බලය කියන සාධකය මත.

ඒකාධිපති ක්‍රමයකදී වෙන්නේ එක් පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත අනෙක් සියලු දෙනා විසින්ම පිළිගැනීමක් හෝ එම නිදහස් කැමැත්තට අනෙක් හැම දෙනෙක්ම යටත් වීමක්. තමන්ගේ නිදහස් කැමැත්ත අමතක කර ඒකාධිපතියාගේ නිදහස් කැමැත්ත ක්‍රියාත්මක වීමට ඉඩ හැරීම අනෙක් හැම දෙනෙකුගේම නිදහස් කැමැත්තනම් මෙහි පරස්පරයක් ඇති වන්නේ නැහැ. 

"මොනවද අපි ඕඩර් කරන්නේ?"

"ඔයා කැමති දෙයක්!"

"අද අපි කොහෙද යන්නේ?"

"ඔයා කැමති දිහාවක යමු!"

ආදරය මත ගොඩ නැගෙන ලෝකයක් වගේ සුන්දර කතා කියන්න පුළුවන් වුනත් ඔය වැඩෙන් වෙන්නේත් තමන්ගේ නිදහස් කැමැත්ත වෙනුවට වෙනත් කෙනෙකුගේ කැමැත්ත පිළිගැනීම. මේ වගේ ක්‍රමයක තර්කානුකූල දිගුව වන්නේ අනෙක් හැම දෙනෙක්ම ඒකාධිපතියෙකුගේ නිදහස් කැමැත්ත පිළිගැනීමයි. ප්‍රායෝගිකව මේ වගේ දෙයක් සැබෑ ලෝකයේ වෙන්නේ නැහැ. බොහෝ දෙනෙකුට අකැමැත්තෙන් තමන්ගේ කැමැත්ත ඒකාධිපතියෙකුගේ කැමැත්තට යටපත් කරන්න සිදු වෙන එකයි වෙන්නේ.

නීතියේ පාලනය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එකම නෙමෙයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් නිසා ඇති වන ප්‍රශ්න අඩු කර ගත හැකි ක්‍රමයක්. මෙහිදී වෙන්නේ ඒකාධිපතියෙකු වෙනුවට නීතිය ආදේශ වීම. බලය කියන සාධකය තවමත් එලෙසම තිබෙනවා. දැන් එය ඒකාධිපතියාගෙන් නීතිය වෙත මාරු වෙලා.

සමහර වෙලාවට ඒකාධිපතිත්වයක් යටතේ වුවත් නීතියේ පාලනයක් තියෙන්න පුළුවන්. ලී ක්වාන් යූ ක්‍රමයේ තිබුණේ ඒ වගේ එකක්නේ. මේ වගේ ක්‍රමයකදී නීතිය හදන්නේ ඒකාධිපතියාගේ කැමැත්ත පරිදි වුනත්, ඒකාධිපතියාට අවශ්‍ය විදිහට නීතිය නැමීමක් වෙන්නේ නැහැ. සමහර විට නීතියේ පාලනයක් නැති ප්‍රජාතන්ත්‍රවාදයකට වඩා නීතියේ පාලනයක් තිබෙන ඒකාධිපතිත්වයක් හොඳ වෙන්න වුනත් පුළුවන්. මොකද තිබෙන තත්ත්වය රටේ මිනිස්සු කැමතිම තත්ත්වය නොවුනත්, එම තත්ත්වය කුමක්ද කියා පැහැදිලි නිසා අවිනිශ්චිතතාවය අඩුයිනේ.

සමහර ඒකාධිපතිත්ව ක්‍රියාත්මක කරන්නේ තනි පුද්ගලයෙක් විසින් නෙමෙයි. කල්ලියක් හෝ දේශපාලන පක්ෂයක් විසින්. නීතිය කියා කියන්නේ මේ කල්ලියේ සාමාජිකයින්ගේ කැමැත්ත. අනෙක් අතට කොයි රටක වුනත් රටේ හැම මිනිහෙක්ම නීති හදන්න එක විදිහට දායක වෙන්නේ නැහැ. බොහෝ විට ප්‍රායෝගිකව ඔය වැඩේට සම්බන්ධ වෙන්නේ කිසියම් සීමිත පිරිසක්. ඔය කණ්ඩායම විශාල වන තරමට හා ඕනෑම කෙනෙකුට කණ්ඩායමට සම්බන්ධ විය හැකි තරමට විවෘත වූ තරමට කිසියම් රටක ප්‍රජාතන්ත්‍රවාදය හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් කියා කියන්න පුළුවන්.

මිනිස්සු ජාති, ආගම්, දේශපාලන පක්ෂ විදිහට නොහිතා ස්වාධීනව තමන්ගේ නිදහස් තීරණ ක්‍රියාත්මක කරන තරමට ප්‍රජාතන්ත්‍රවාදයක් වඩා ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ මේ වගේ දේවල් නොසලකා හැරිය යුතුයි කියන එක නෙමෙයි. තමන්ගේ ජාතියේ, ආගමේ හෝ දේශපාලන පක්ෂයේ සාමූහික කැමැත්ත සමඟ තමන්ගේ පෞද්ගලික කැමැත්ත අතිපිහිත වන්නේනම් පමණක් සාමූහික මතය සමඟ සිටිය යුතුයි කියන එක. අවසානයේදී සාමූහික තීරණය පිළිගන්න එක වෙනම කරුණක්. හැබැයි එය කළ යුත්තේ තමන්ගේ අදහස ඉදිරිපත් කරලා සාකච්ඡාවට ලක් වෙන්න ඉඩ ඇරීමෙන් පසුව පමණයි.

ලෝකයේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටවල් මොනවාද? සෑම අවුරුද්දකම වාගේ "දී ඉකොනොමිස්ට්" සඟරාවේ ආර්ථික බුද්ධි අංශය විසින් පිළියෙල කරන ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක සහිත වාර්තාව 2020 වසර සඳහාත් පළ කරලා තිබෙනවා. මෙහි රටවල් 167ක් අතරින් නියම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස හඳුනාගෙන තිබෙන්නේ රටවල් 23ක් පමණයි. ඇමරිකාව වගේම ලංකාවත් වර්ග කර තිබෙන්නේ අඩුපාඩු සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන රටවල් ලෙසයි. 

ලකුණු 98.1%ක් අරගෙන ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ නෝර්වේ රාජ්‍යය. පහළින්ම ඉන්නේ ලකුණු 10.8%ක් පමණක් අරගෙන තිබෙන උතුරු කොරියාව. ඇමරිකාව ඉන්නේ 25 වන ස්ථානයේ. ලකුණු 79.2%යි. ලංකාව ලකුණු 61.4%ක් අරගෙන 68 වන ස්ථානයේ ඉන්නවා. 



19 comments:

  1. This so called democracy index is just another fluke stuff. This type of rankings serve no practical purpose. Even if they do, the criteria that has been used to prepare this specific index is very simple and anyone can easily do such an exercise using a spreadsheet in less than half an hour. The results of an index like this depend on the indicators you use and the counties you pick. The rankings are based on some countries out of 220+ and many countries will reach the top if added even based on their criteria.
    I think that Sri Lanka has managed the democracy well compared most countries including the United States. So called dictator of the rank 68 country, that bloody Raja pakse rascal in 2015 has behaved light years (few hundred thousands of miles) better than of those so called rank 25th idiotic head of state (Trumpf) and his brainless henchmen whome were a joke to entire universe. So do many high ranking countries in EU and Oceania as well. Funny rankings, LoLs.

    However, this ranking does not provide any political or scientific evidence to say so. A Low number of democracy related cases do not necessarily mean that the constitution or policies to manage the political affairs have been effective, unless you control for various other factors which improves the quality of governance and life of the communities. Also, the approaches to manage the political processes varied substantially across countries based on their political ideologies and social preferences. For example, if you use a criteria like the decision to vaccination of entire population as much as possible and implement it, based on the vaccination rate Israel should reach the top. But it doesn't make any sense.

    Who are the freaks who made this useless and biased indexing which is obviously hilarious? Better to find some other practical ways to measure the quality of governance and lifestyle of commoners of each country comparatively.

    ReplyDelete
    Replies
    1. "Even if they do, the criteria that has been used to prepare this specific index is very simple and anyone can easily do such an exercise using a spreadsheet in less than half an hour."

      I am not a big fan of this index. However, this is not a simple index anyone can prepare using a spreadsheet in less than half an hour like the Covid performance index of Lowy institute which is misinterpreted with political motivations in addition to being a simple and useless one. I challenge you to replicate this results in 24 hours using an Excel spreadsheet, if you can. That is 48xhalf an hour periods.

      "The rankings are based on some countries out of 220+ and many countries will reach the top if added even based on their criteria."

      I also challenge to show this if you can.

      Delete
    2. මමත් හිතන්නේ මේ ඇනෝ කියන කතාව බොහෝ දුරට ඇත්ත වෙන්න පුළුවන් කියල. ඔය කියන නූතන සභ්‍යත්වයේ ප්‍රමුඛ රටවල්, එහෙමත් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංකල්ප මත පදනම්ව ඇති 'බටහිර' සභ්‍යත්වයේ ප්‍රධාන රටවල් මූලික වශයෙන් පහක් විතර තියෙනවා නේද? හැබැයි ඒ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික අර්ථයෙන් ගත්තම ප්‍රංශය බටහිර සභ්‍යත්වයේ කලාවට සහ සූපවේදය ගැන ප්‍රධාන වුවත්, ජර්මනිය දර්ශනයට හා සංගීතයට ප්‍රධාන වුවත් එංගලන්තය සමස්ත බටහිර සභ්‍යත්වයේ ම ප්‍රධාන රට බවට පත් වූවා දහනව වන සහ විසි වන සියවසේ මුල් භාගයේ නාවික බලයත් සමග. ඒ වගේම දෙවැනි ලෝක යුද්ධයෙන් පසු එංගලන්තය වෙනුවට ඇමරිකා එක්සත් ජනපදය ඒ තැන ගත්තා. ඒ කුලකයේ රටවල් පහ අතර සුළු සුළු ප්‍රශ්න තිබුණත් ඒ රටවල් පහ අතර සමානත්වය ඒ සුළු වෙනස්කම් අභිබවා යනවා වගේ නේද?

      ප්‍රධාන වශයෙන් ඔය රටවල් පහ තමයි මේ මොඩර්නිස්ම් නූතනත්වය හෙවත් (බටහිර) සභ්‍යත්වය මෙහෙය වූ හා මෙහෙයවන රටවල්. පෝස්ට් මොඩනිස්ම් (පශ්චාත් නූතන වාදය කියන එක ) මෙහෙයවනු ලබන්නෙත් ඔවුන් විසින්. නූතනත්වයත්/ පශ්චාත් නූතනත්වයත් අද එකට පවතින අතර ඇංග්ලිකන් සංස්කෘතිය ප්‍රංශ විප්ලවයේ අදහස් රාශියක් බටහිර සභ්‍යත්වය තුළට ගත්ත බව පේනවා. ඒ සමගම මේ කියන එක එක නිර්ණායක සහ රෑන් කින් කියන ඒවා නිකන් වචනහරඹ/ සංඛ්‍යා හරඹ විතරයි. මේ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදය ගැන ranking index කියල කියන්නෙ අමු ගොං concept එකක්. තව අවුරුදු 10 කින් බැලුවත් මේකෙ fundamental theory එක එහෙමමයි. ඒත් ඕකට සුරංගනා කථා කියන මිනිස්සු ඕනතරම් ඉඳී. ගොඩක් මිනිස්සු තමන් ඇන්දුන වග තේරුම්ගත්ත නම් කියල දෙන්න පුලුවන්. වැඩේ තියෙන්නෙ තමන් ඇන්දිලා කියල හිතාගන්න බැරි තරම් උන් ගොං වෙන එකනේ. ඒක තමයි ඉතින් අවුල තියෙන්නෙ.

      Delete
  2. ඉකොනොමැට්ටා දන්නවා ඇතිනේද අප්‍රිකානු රටවල් වල ජල විදුලි බලාගාර වලට ලංකාවේ හැදෙන ජල විදුලි ටර්බයින සවි කිරීමට මේ දවස් වල කටයුතු සූදානම් වන බව?

    ඒ අනුව අපනයන තත්ත්වයේ ඇති වාණිජමය ජල විදුලි ටර්බයින නිපදවන ලංකාවේ ප්‍රමුඛ ආයතනයක් වන VS Turbo ආයතනයේ කාර්මික තාක්ෂණික අංශයේ කණ්ඩායම් මගින් උගන්ඩාවේ ජල විදුලි ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය ජලවිදුලි ටර්බයින ලංකාවේ දී නිපදවා ඇති අතර මධ්‍ය උස ජල මූලාශ්‍ර සඳහා භාවිත වන එකක් කිලෝවොට් 2,300 ක් වූ Francis ටර්බයින මෙලෙස නිපදවා තියෙනවා.

    ඔබ දන්නවා ඇති VS (විද්‍යා ශිල්ප) යනු දශක 4ක් තිස්සේ විද්‍යා පර්‍යේෂණ උපකරණ, ජල විදුලි ක්ෂේත්‍ර උපකරණ සහ තොරතුරු තාක්ෂණ අංශයන්හී නිෂ්පාදන හා සේවා සපයන ආයතනයක් බවට. දැන් දශක කිහිපයක සිට අප්‍රිකානු විදුලි ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති වල ලංකාවේ ඉංජිනේරුවන්, තාක්ෂණික නිලධාරින්, ප්‍රමාණ සමීක්ෂණවරු, සර්වේයර්වවරු, කියු. ඒ ක්යු. සී වරු විශාල වශයෙන් සේවය කරන නිසා දැන් ඔවුන්ට Made in Sri Lanka සන්නාමය යටතේ නිපදවෙන යන්ත්‍රෝපකරණ ඒ රටවලට හඳුන්වා දෙමින් තම සේවා සැපයිය හැකි වෙයි නේද ඉකොනොමැට්ටා? මේ හරහා ලංකාවට විදේශ විනිමය උපයන්නට ආරම්භ කළ හැකියි. දැනටමත් ලංකාවේ බොහෝ දෙනෙක් මේ දිනවල චීන ආධාර යටතේ වේගයෙන් දියුණු වන අප්‍රිකාවේ රැකියා අවස්ථා සහ කොන්ත්‍රාත් වැඩ වලට අවධානය යොමු කරගෙන සිටින නිසා බොහෝ විට ලංකාවේ වෘත්තිකයන්ගේ මීළඟ මැද පෙරදිග හෝ දකුණු කොරියාව වනු ඇතැයි සිතිය හැකියි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
  3. මේක බ්ලොග් ලියන ඉයන් විසින් එව්ව එකක් . ආතර් කවුද කියල දන්නේ නැහැ. :)//මෙහේ නිදහසක් නෑ
    --------------------------------
    මම අවුරුදු තුනක් තිස්සේ ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ තාවකාලික පුරවැසියෙක් විදිහට. ලංකාවේ තියෙන නිදහස මෙහේදි නැතිවෙලා තියෙන හැටි ටිකක් ලියන්න හිතුණා . අපිට හිතෙන හිතෙන තැන්වල පාරේ වාහන නවත්තලා යන්න බෑ. අවසර ඇති තැන්වල විතරයි නවත්තන්න පුළුවන් . පොලිසියට පගාව දෙන්න බෑ. වැරැද්දක් කරපු ගමන් දඩ කොලේ ගෙදරට එනවා. හෙඩ් ලයිට් ගහගෙන, පාට පාට ලයිට් දාගෙන, ඉරි කපාගෙන යන්න බෑ.
    සැකකරුවෙක් අත් අඩංගුවට ගද්දි හිතේ හැටියට පහර දෙන්න බෑ. බොරු චෝදනා හදලා අපිට ඕන අය හිරේ යවන්නත් නිදහසක් නෑ. කෙටියෙන්ම කියනවානම් තව කෙනෙකුට පහරක් ගහන්න නිදහසක් නෑ.
    මහජනතාවගේ මුදල්වලින් දේශපාලකයින්ට ඕන විදිහට පිස්සු කෙළින්න නිදහසක් නෑ. රජයේ කොන්ත්‍රාත්තුවලින් මිලියන ගණන් ගසාකන්න නිදහසක් නෑ.
    ජනතාවගේ මුදල් හොරකම් කරලා හැංගිලා ඉන්න කිසිම නිදහසක් නෑ. කොහොම හරි අල්ලලා දඩුවම් දෙනවා. අන්තවාදී කණ්ඩායම් හදාගෙන අපිට හිතේ හැටියට ජනතාව අතර කල්ලි භේද හදන්න බෑ. එතකොට අල්ලලා දඬුවම් කරනවා.
    බස් රථවලදී රියැදුරුට උවමනා විදිහට (කොන්දොස්තරලා නැහැ) මගීන්ට ගහන්න බණින්න පීඩා කරන්න නිදහසක් නෑ.
    හැබැයි අනුන්ගේ ගහකින් බඩගින්නට කන්න ඇපල් ගෙඩියක් වගේ දෙයක් කඩා ගන්න නම් නිදහසක් තියෙනවා . එහෙම දෙයක් කරලා අහු උනත් ඒ මිනිස්සු ඒ දිහා සානුකම්පිතව බලනවා.
    විවිධ ආයතනවල තනතුරුවලට බඳවා ගනිද්දී මැති ඇමතිවරුන්ට ඕන විදිහට තමන්ගේ හෙංචයියන් පත් කරගන්න නිදහසක් ඇත්තෙම නෑ. මහජන සංඛ්‍යාත පාවිච්චි කරලා විද්‍යුත් මාධ්‍ය මගින් ජනතාව නොමග යවන්නත් බෑ. එතකොට වාරණ පැනවෙනවා.
    මේ විදිහට තව කොච්චර නම් කියන්නද? මට නම් දැන් ඇතිවෙලා තියන්නේ. මේ අවුරුද්දේ බැරි උනත් ලබන අවුරුද්දේ හරි අපේ අභිමානවත් නිදහස සමරන්න සත්තයි මම නං එනවා ලංකාවට.//

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අජිත් ඔයාත් නිකම් තොත්ත බබා වගේ නේද? ඔය ලියලා තියෙන්නේ තණකොළ කන බයිලා කාරයෙක් වගේ. වාහන ගැන කියනවා නම් ලංකාවේත් ඔය කියන දේවල් කරන්න බැහැ. ගොඩක් ඉස්සර වගේ නම් පුළුවන්. කොළඹ විතරක් නෙමෙයි ගොඩක් නගර වල එහෙමයි. ඔන්න ඈත පිටිසර ජනශුන්‍ය ගම්මානවල නම් පුළුවන් වෙයි. අනික ඕස්ට්‍රේලියාවේ ඉතාම සීමිත නාගරික ප්‍රදේශ චුට්ටක් ඇරුණම අනෙක් අතිමහත් බහුතර පළාත් වල ලංකාවේ ඉතාම පිටිසරබද ගම්මානවලටත් වඩා අන්ත දුෂ්කරතා මධ්‍යයේ මිනිසුන් ජීවත් වෙනවා. විශේෂයෙන් ඇබ්බෝ හෙම උන්ගේ පිටිසර පළාත් වල ලංකාවේ වැද්දන්ටටත් වඩා අමු කුජීත විදිහට ජීවත් වෙන්නේ. ජාතිවාදී සටකපට ඔසී සුදු ආණ්ඩු උන්ට හැමදාමත් කෙළවන එක කරන්නේ. කාලකන්නි ඔසී සුද්දන් ගේ ඩිසිප්ලින් ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඔබට ඉතාම සරලව ඔසී සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් වල හැසිරීම් දිහා බැලූ බැල්මට පෙනෙන ආකාරය නිරීක්ෂණය කරලා බලන්න.

      You can see below link about road rage in Australia,

      https://www.youtube.com/watch?v=smnlC30HUdE

      There are many other video footage about Australian & other stupid drivers. Drivers in Australia / USA also not that good as you think, only thing is they have much better roads and space for roads as Australia & USA etc. are much larger countries. Aus is one of the largest countries with much less population to its size as opposed to the congested urban areas of SL & they have enough resources & excessive income to develop infrastructure. Still, Aus has worst drivers & SL seems much better comparing the circumstances. Thus we must appreciate Sri Lankan drivers with their limited facilities, non safe cheap vehicles they drive & much smaller compact roads they use for transport, I can tell you, as the conclusion, I had to say Sri Lankan drivers are much better than stupid Australian drivers considering the facts, that's the bitter truth.

      This is very informative video for Aussies and the ones who willing to migrate oz;



      www.youtube.com/watch?v=sCXtcXD17qU

      These ones also might informative I guess -
      www.youtube.com/watch?v=ZmI3iN4Djfg

      www.youtube.com/watch?v=J_8iREBOs2c

      www.youtube.com/watch?v=ZCuFaXswzG8

      www.youtube.com/watch?v=al5kPWpXLmA

      Delete
    2. ඒ වගේම මේ වසංගතයට පෙර කාලේ ලංකාවට ඇවිත් ලංකාවේ පළාත් 6ක වත් සැරිසැරුවානම් දකුණු වෙරළ තීරය, නුවර දඹුල්ල වැනි පළාත්වලදී මෙන්ම කොළඹදීත් සංචාරක සුදු ජාතිකයින් ස්කූටර්, මහීන්ද්‍රා මැක්සිට්‍රක්/ බොලෙරෝ, ඩිමෝ බට්ටන් (ටාටා ඒස්) / ටාටා කැබ් ආදිය පදවනවා දකින්න ඇති. ඔවුන්ගේ ධාවනය කෙසේද? දඹුල්ල පැත්තෙනම් අත්ට්‍රැක්ටර්/ කුබෝටා රෝද හතරේ ට්‍රැක්ටර් හෙමත් එලවනවා. ඔවුන්ගේ ප්‍රියතම වාහනය හොන්ඩා ඩියෝ ස්කූටර් බයික් එකයි. (වෙරළ තීරය දිගේ සර්ෆ් බෝඩ් හෙම බැඳන් ඇරල යන්නෙ,) ඔවුන් ලාංකිකයින්ටත් වඩා වෙට්ටු කාපර්ලා, මාර යෑමක් යන්නෙ. හරිම භයානකයි.

      කොහොම වුණත් මට හමුවූ "සුදු හම ඇති" විදේශිකයින් නම් ලංකාවේ වාහන පැදවීමට බොහෝ ප්‍රියයි, ටුවරිස්ට් බස් වල නම් ඉදිරිපස වම් සීට් එකට ඔවුන් පොරකන්නේ ලංකාවේ ඇඩ්වෙන්චරස් මාර්ග අත්දැකීමට ඔවුන් බොහෝ ආස නිසයි. මේ ගැන ටුවරිස්ම් ෆීල්ඩ් එකේ අය සාක්ෂි දරාවි. ඔවුන් ලංකාවේ රිය පැදවීම සොෆ්ට් රෝලර් කෝස්ට් රයිඩ් එකක් මෙන් එන්ජෝයි කරන බව එක සුදු විදේශිකයෙක් මා හා පැවසුවා.

      කෙසේ නමුත් තලෙලු සම ඇති (ලාංකීය සංක්‍රමණික) විදේශිකයින් නම් නිතර ලංකාව දෙස බලන්නේ නුහුරට බව මගේ පුද්ගලික නිරීක්ෂණයයි. විශේශයෙන්ම ඔස්ට්‍රේලියා/ එංගලන්තය වැනි රටවල අප මෙන්ම ලෙෆ්ට් හෑන්ඩ් ට්‍රැෆික් ඇති නිසා ඔවුන්ට මෙහි පැදවීම ගොඩක්ම අමාරු නැතිවුණත් බොහෝවිට කරුණු අතිශයෝක්තියෙන් දක්වමින් අවමන් සහගත කතා කීම සුලභයි. ඇතැම් ලාංකිකයින්ද ඒවාට හූමිටි තබමින් අනුමත කරන අතර ඔවුන් ඇතැම්විට ලංකාවෙන් පිට රටවල් ගැන එතරම් දන්නා අයත් නොවෙයි. මටනම් එය තරමක් ගැටලුකාරීයි. තවත් සමහරු කියන්නේ මෙය හීනමානය නිසා කියන කතාවක් බවයි.

      කොහොම වුණත් ඔබ ඇතැම් වාහන පාර මැදි ඇවිත් හෙඩ්ලයිට් ගහන බව කීවා, ලංකාවේ ඇතැම් පුද්ගලයින් මෙසේ කරන බව ඇත්ත, නමුත් බොහෝ විට පාර පටු නිසාද වාහන මැදින් එනවා මෙන් පෙනෙන්නටත් පුළුවන්. මෙවන් පටු මාර්ග ජපානය (උදා: ශිබමතා/ චිබාකෙන් - ජපානයේ ඇතැම් නාගරික මාර්ග ලංකාවටත් වඩා ඉතාම පටුයී) මෙන්ම එංගලන්තය/ අයර්ලන්තය වැනි රටවලත් මෙවැනි පටු මාර්ග තියෙනවා මා දැක තිබෙනවා.

      ලංකාවේ සාමාන්‍යයෙන් ත්‍රීරෝද රථ සහ ඇතැම් යතුරු පැදි/ බස්/ ටිපර් සහ ඇතැම්විට කාර්/ වෑන් ද පාර පුරා අන්තුරුදායක ලෙස යාම පාලනය කිරීමට පොලීසිය විවිධ ක්‍රියාමාර්ග ගත්තත් තවමත් ඇතැමුන් අවිධිමත් ලෙස ධාවනය නවතා නැහැ. ඒ වගේම ඔබ ලංකාව හැර වෙනත් රටවල් කීයක වාහන පදවා තිබේද යන්නත් (රියදුරු බලපත්‍ර සහිතව) එම රටවලට සාපේක්ෂව ලංකාවේ මාර්ගවල ඇති බරපතල වැරදි මොනවාදැයි පැහැදිලි කල හැකිද? සාමාන්‍යයෙන් මෝටර් සයිකල් සහ ත්‍රීරෝද රථ වමෙන් ඉස්සර කිරීම, පාර හරහා ලේන් කපමින් වෙට්ටු දමා ඉස්සර කිරීම / හැරවීම සහ බස් පාර මැද නැවැත්වීම වැනි කොමන් වැරදි හැරුණු විට ලංකාවේ පළපුරුදු රියදුරෙකු මුහුණදෙන බරපතල අවුල් මොනවද? (ඉකොනොමැට්ටා වැනි විදේශිකයින් නුහුරු බව නිසා ගැටලු වලට මුහුණ දිය හැකියි )

      එමෙන්ම ඔබගේ රථයට හෝ හෙල්මට් එකට කැමරාවක් (ඩෑෂ් කැමෙරා) සවි කර එමගින් ලැබෙන වීඩියෝ ශ්‍රී ලංකා ට්‍රැෆික් වයලේශන්ස් ((https://www.facebook.com/srilankantrafficviolations) සමූහයට හෝ එවැනි ක්‍රියාකාරී ස්ථානයකට යොමුකිරීම මගින් මේ සම්බන්ධයෙන් ඔබට ක්‍රියාකල හැකියි.

      ලංකාවේ ධාවනය වන සියළු වාහන සඳහා බලපැවැත්වෙන පරිදි අධික ශබ්දය නිකුත් කරන නලා භාවිතය තහනම්, එම පනත අනුව ඩෙසිබල් 105 ඉක්මවන ශබ්ද නිකුත් කරන රිය නළා සඳහා නීති මාර්ගයෙන් කටයුතු කළ හැක, එමෙන්ම පොලිස් සහ ඇම්බියුලන්ස් සයිරන් අනොතෝරයිස්ඩ් ලෙස යොදාගැනීම තහනම් වේ. ඇම්බියුලන්ස් එකක් වුණත් ලෙඩෙක් නැතුව ආතල් එකට සයිරන් දැමීම ලංකාවේත් දඬුවම් ලැබෙන වරදකි.

      එමෙන්ම හදිසි සංඥා එළි සහ අනතුරු ඇඟවීමේ නලා හඬවල් සහිත පොලිස් වාහන හා අනෙකුත් හදිසි වාහන ධාවනය වන විට මාර්ගයේ ධාවනය වන අනෙකුත් සියලුම රථවල වේගය පැයට කිලෝ මීටර් 40 ක් උපරිම වේගයකට යටත් විය යුතු බව දැනටමත් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඊට එරෙහිවූ විට දඩ මුදලක් එම ස්ථානයේදීම ගෙවීමට සිදු වන අතර නැතහොත් අධිකරණය තෙක් ගිය විට දඩ මුදලකට යටත් වීමට සිදු වන බවත් වාර්තා වේ. මීට අමතරව ධාවනය කරන විට පාපැදි සහ යතුරු පැදිකරුවන් තම ජංගම දුරකථනය භාවිතා කළහොත් එම ස්ථානයේම දඩ මුදලක් ලබා දීම වැනි නව නීති මේ වන විටත් ප්‍රසිද්ධ කර තිබේ. කෙසේවෙතත්, මෙම නව නීති ද ඇතුළත් සම්පූර්ණ මාර්ග නීති 408 ක් ඇතුළත් පිටු 547 ක පොතක් මේ වන විට සම්පාදනය කර තිබෙන බව ටීවී නිව්ස් වල දැක්කෙන් නැද්ද? මේ ගැන සොයා බලා දැනුවත්වන්න.

      අනෙක් කරුණ නම් දැන් ඔය කියන තරම් ලෙහෙසියෙන් ලංකාවේ පොලිස් කාරයින්ට පගාව දීම කළ නොහැකි බවයි. මීට කලකට ඉහත නම් පගා ගන්නා පොලිස් නිළධාරීන් බහුල වුණත් දැන් පගා දීම ඉතාම අසීරුය, ඇතැම් පොලිස් නිලධාරීන් පගා දීමට ගිය අයව වීඩියෝ කර ෆේස්බුක් පවා දමා තිබුණි.

      Delete
    3. ඒ වගේම පොලිස්කාරයින්ට පගාව දීම පිළිගත් සදාචාරයට අනුව මෙන්ම "සැමට සමාන" වියයුතු නීති ක්‍රමයකට බාධාවකි. ඒ වැරද්ද කර ඒ ගැන යමෙක් ඔබ ඉදිරියේ උජාරුවෙන් කතාකරොත් "පගාව දීමේ" වරදට ඔහුව නීතිය ඉදිරියට පැමිණවියහැකි බව ඔබ දනීද? අනෙක් අතින් දේශපාලුවන්ගේ වංචා දූෂණ යනු ලංකාවේ පමණක් නොව බොහෝ රටවල අඩුවැඩි වශයෙන් මැතිවරණ ව්‍යාපාරවල ප්‍රධාන ප්‍රචාරක අංගයකි. ඇමරිකා එක්සත් ජනපදයේද ඔසීවලද දේශපාලුවන්ගේ විවිධ පදනම් වලට යහමින් මුදල් දෙන "දානපතියන්" හිඟ නැත. ලංකාවේද කළ යුත්තේ එවැනි දේශපාලුවන්ට මුදල් ලබාගතහැකි නීත්‍යානුකූල ක්‍රම පාලනයකින් යුතුව ඇතිකොට අතයටින් මුදල් ගැනීමට ඇති අවස්ථා සීමා කිරීමයි.

      //// For many in Sydney and Melbourne, groups of dangerous, criminal gangs are causing trouble within local communities. Despite irrefutable proof of the violence unleashed on communities, police have denied African gangs even existed for a long time.

      Serious crimes like home invasions, violent armed robberies, vicious assaults and lawless rampages have been committed. Many of the young criminals are from the war-torn African country of South Sudan.//

      මේ මෑතදී ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති වාර්තා වල සටහන් වූ පුවතක්.

      ඒ වගේම ඕස්ට්‍රේලියා රටේ ප්‍රසිද්ධ සුපර්මාකට්වල වල හයිකර ඇති (Self Service Checkout) නම් ස්වයං සේවා භාණ්ඩ ස්කෑන් කර ගෙවීමට හැකි ඔවුට්ලට් ඔස්සේ භාණ්ඩ සොරකම් කරන පිරිස සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බව නිව්ස් වල කියනවා. අනෙක ලංකාවේ මිනිස්සු ඕස්ට්‍රේලියාවට යන්න බලාගෙන හිටියට, එහේ ගියා කියලා වැඩි වාසියක් නෑ. එහේ කට්ට කාගෙන වැඩ කරන්න ඕනේ, කපටි සුද්දෝ නිකම් කන්න තියා වතුරවත් දෙන්නේ නෑ, හරියට මහන්සි වෙන්න ඕනේ, බදු ලංකාවට වඩා අම්බානක වැඩියි, පොඩ්ඩක් වත් නිකම් ඉන්න බෑ, වාසිනම් ටිකක් නැත්තේම නෑ. නමුත් මෙහෙම හිතන්න, සාමාන්‍යයෙන් ඕස්ත්‍රේලියාවට නීත්‍යානුකුලව යන්න පුලුවන් දැනටම ලංකාවේ හොද ජොබක් කරන එකෙක්ට උන් work experience බලනකොටත් අවුරුදු 2,3 වගේ කපනවා එතකොට අපි මෙහේ අවුරුදු 5,6 වගේ වැඩ කරලා තියෙන්නේ ඕනේ. එහෙම ජොබ් එකක් තියෙන එකෙක්ට ලංකාවේ ලක්ෂ දෙක හමාරක් තුනකට එහා මුදලක් මාසෙකට හොයලා සුපිරියට ඉන්න පුලුවන් නේද?

      Delete
    4. ඕස්ට්‍රේලියාවේ නම් දැන් දැන් රැකියා නැහැ. ලංකාවෙන් ගිය බොහෝ අයගේ රැකියා අහිමි වෙලා තියනවා. පෙරට සාපේක්ෂව බොහෝ දීමනා කප්පාදු කරලා. බොහෝ අමතර අදායම් මාර්ග වැහිලා. බදු වැඩිවෙලා. ජොබ් ඒජන්සිවල රැකියා පෝලිම් දිගට. හ්ම්ම්, හරිම දුෂ්කර කාලයක් මේක. ඔබ දන්න කියන කෙනෙක් ඕස්ට්‍රේලියාවට එන්න හිතනවා නම් දෙපාරක් හිතන්න කියන්න. මේ කාලයේ එනවා නම් ඔබව තමන්ගේ ගෙදර තියාගෙන අවුරුදු දෙක තුනක් වත් නඩත්තු කිරීමේ හැකියාවක් ඇති ඥාති හෝ හිතවතෙක් පළමුවෙන්ම සොයා ගන්න. රැකියා තත්වය ඒ තරම් දරුණුයි. ඕස්ට්‍රේලියාවේ ඇත්ත තත්වය කිව්වට ලංකාවේ උදවිය පිළිගන්නේ නැහැ. හිතන්නේ අපි වෙන කවුරුවත් එනවාට ඊර්ෂ්‍යාවේ කියලා. ඔස්ට්‍රේලියාවේ සිටින මගේ ලාංකික මිතුරෙකුට රැකියාව අහිමි වෙලා අවුරුද්දක් . තවම කම්කරු රැකියාවක් වත් හොයා ගන්න බැරි වුනා.

      (කොහෙට ගොඩ බැස්සත් දකුණු ඔස්ට්‍රේලියාවට නම් එන්න එපා. ලඟදි ආපු ලාංකිකයන් ට පෙර පව් පල දීලා කියලා කියන්නේ. හොඳට හොයලා බලලා එන කෙනෙක් එන්න. පවුල් පිටින් ඇවිල්ලනම් අමාරුවේ වැටෙන්න එපා.)

      මගේ සහෝදරයෙකුත් ඕස්ට්‍රේලියාවට ඇවිත් අවුරුද්දකට කිට්ටු වෙන්න එනවා. ඔහු ගේ වෘත්තියට ගැලපෙන රැකියාවක්‌ හොයන්න මාස අටක් නවයක් විතර ගියා. මගේ යහළුවෝ ඉන්නවා ජොබ් එක අරගෙනම මෙහෙට ගොඩ බැහැපු අය. තවත් සමහර අය ඉන්නවා රස්සාවල් නැතුව අවුරුදු ගණන් ඉන්න අය. තවත් කොටසක් ඉන්නවා තියෙන රස්සාව අහිමි වෙච්ච අය. ඕස්ට්‍රේලියාවේ නම් රස්සාවල් කියන්නේ "(අ)වාසනාව" මත සහ තමුන්ගේ වෘත්තීය අනුව තීරණය වන දෙයක්. කම්කරු රැකියාවල් හොයා ගන්න අමාරු වෙනත් රටවල් වලින් ඇවිත් අඩු පඩියට වැඩ කරන උදවිය නිසයි. ඒ රටවල් මොනාද කියල කියන එක සදාචාර නැති නිසා නොකියමි. ඒ වගේම තමයි තවත් සමහර වෘත්තීන්. ඔබ වාසනාවන්ත නම් මෙහෙ ඔබට වරදින්නේ නැත.

      ඕස්ට්‍රේලියා එනවනම් හරි ක්‍රමයට නීත්‍යානුකුලව විසා අරගෙන එන්න. හැබැයි ලංකාවේ කවදාත් පවතින රැකියා පිලිබඳ මහන්තත්ත කම නම් මෙහෙ අරන් එන්න එපා. මෙහෙ කසල ශෝධකයාත් විධායක නිලධාරියාත් දෙන්නා අතර වෙනසක් නැති තරම්. මම ලංකාවේ ශීත කාමරයේ කැරකෙන පුටුවේ ගෝල බාලයන් පිරිවරා හිටියා එම නිසා මට ඕස්ට්‍රේලියාවෙත් එම තැනම ගොඩ බැහැපු සැනින් ලැබේවි කියා නම් හිතන්න එපා. කල්පනාවෙන් ඉවසීමෙන් අවංකව ජීවත් වෙන්න හිතාගෙන අවොත් මේ නරක කාලය ඉවර වුනාම සැනසීමක් ලැබේවි.

      ඕස්ට්‍රේලියාවට ඇවිත් ලැබෙන ඕනෑම ජොබ් එකක් කරන්න ලෑස්ති නම් මෙහෙට නීත්‍යානුකුලව ආවාට කමක් නැහැ. වසර දෙකකින් පසු පී ආර් ලබාගත්තොත් තවත් වසර දෙකකට පසු (රැකියාව නැති වුණොත් ) ඩෝල් එකට හිමිකම ලැබෙනවා. ඒ වගේම මෙහෙ සාමාන්‍ය රැකියාවකට පැයකට ඩොලර් 18-20 (මං හිතන්නේ වැඩිහිටියෙකුගේ අවම වැටුප පැයකට ඩොලර් 15 කට වැඩියි.) ඩෝල් එකත් ළමයි දෙන්නෙක් ඉන්න පවුලකට සති දෙකකට ඩොලර් 750-800 කියලා තමා මට හිතෙන්නේ. මේක ලිව්වේ මෙහෙ ගැන හරි වැටහීමක් දෙන්න මිසක් සෝබනේටවත් ඊරිසියාවටවත් නොවේ.

      ඕස්ට්‍රේලියාවේ ගිය පලියට හැම දෙයක් ම හරි යන්නේ නැහැ. නීත්‍යානුකුල විසා අරගෙන ගිය උදවියටත් රැකියා හොයාගන්න අපහසුයි. බටහිර ඕස්ට්‍රේලියාවේ පතල් කර්මාන්තය අඩපන වේගන යනවා. දකුණු ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ශාලා එකින් එක වැහීගෙන යනවා. සංක්‍රමිකයන්ට තියා එහෙ ඉපදුන අයටත් දුෂ්කර කාලයක් මේක. මේ ලංකාවේ මෝඩ මිනිස්සු මෙතරම් දැනුවත් කරලත් තේරුම් ගන්නේ නැහැනේ.

      ඉකොනොමෑට්ට අප ඔය විදියට කිව්වාට අපේ සමහරු ඔස්ට්‍රේලියා ගිහින් රජ වෙලා ඉන්නවා කියලා තමයි ලංකාවේ උදවියට අඟවන්නේ. ඒවා අහල මේ අහිංසක මිනිස්සු බෝට්ටු වල නැගලා හරි යන්න හදනවා. කරන්නේ කම්කරු රැකියා, නමුත් කියන්නේ විදායක තනතුරු කියලා. ලංකාවේ කල වැදගත් රැකියා දාලා ගිහිල්ල බොරු සෝබන පෙන්නගෙන ඉන්නවා. හැබැයි හැමෝම නෙවෙයි, පනින්න පෙර සිතා බලනු කියල තමයි මමනම් කියන්නේ.

      ඕස්ට්‍රේලියාවේ විතරක් නෙවෙයි යුරෝපයේත් දැන් රැකියාවක් හොයා ගන්න අමාරුයි. අවුරුදු ගාණක් හිටපු අයටනම් ප්‍රශ්නයක් නෑලු, හැබැයි අළුතින් යන අයට තමයි ප්‍රශ්නෙ.

      Delete
  4. ඉකොනොමැට්ටා මේ ගැන ඔබට අදහසක් තියෙනවා ද?
    නැග්ග_කොටස්_වෙළඳපොළ_වැට්ටුවේ_බලධාරීන්_තිදෙනෙක් – මුදල් අමාත්‍යංශය නිදි කිරද්දී නිලධාරීන් දුන්න ගේම මෙන්න

    කොළඹ කොටස් වෙළෙඳපොළේ “සියලු කොටස් මිල දර්ශකය” ඉතිහාසයේ තනි දිනක් තුළ දැවැන්ත ම කඩා වැටීම ඊයේ පෙබරවාරි දෙවෙනි දා වාර්තා වුයේ බලධාරීන් විසින් නිකුත් කළ වැරදි චක්‍රලේඛයක් නිසා බව වාර්තා වනවා.

    ඒ අනුව ඊයේ දින ඒකක 561.5කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබෙනවා.

    දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ 8,005.31ක් ලෙසයයි.

    S & P SL20 මිල දර්ශකය 5%කට වැඩියෙන් පහළ බැසීම මත ඊයේ දිනය තුළ දෙවතාවක්ම කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු අත්හිටුවීමට ද සිදු වුණා.

    ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 561.75කින් පහළ ගොස් තිබූ අතර එක් දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 500කින් පහළ වැටුණු පළමු අවස්ථාව ද වෙයි.

    එක්ස්පෝ ලංකා,LOLC, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්, පිරමල් ග්ලාස් යන ආයතනවල ණය නොදෙන ලෙස තැරැව්කාර සමාගම්වලට උපදෙස් දෙමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබුණා.

    එම සමාගම්වල කොටස් මිල පසුගිය කාලයේ විශාල වශයෙන් ඉහළ යාම නිසා නිලධාරීන් තිදෙනෙක්ගේ උවමනාවට මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය සීමා කිරීමත් සමග මෙම ආයතන විශාල ලාභයක් ලැබූවා.

    මෙරටට වාහන සහ වෙනත් භාණ්ඩ විකිණීම සඳහා ආනයනය කළ ව්‍යාපාරිකයන්ද අදාළ සමාගම්වල කොටස් මිලට ගැනීම කර ඇති අතර ස්ථාවර තැන්පතුවල පොලී අඩු කිරීම නිසා තැන්පතුකරුවන් ද විශාල වශයෙන් බැංකු තැන්පතු යළි ලබාගෙන කොටස් වෙළඳපොලේ මෙම ආයතනවල තැන්පත් කර තිබෙනවා.

    මෙරටට ගුවනින් භාණ්ඩ ප්‍රවාහනය කරන එක්ස්පෝ ලංකා සමාගමේ රුපියල් 3ක් ලෙස පැවතුණු කොටසක අගය ඒ අනුව රුපියල් 65 දක්වා ඉහළ ගියා.

    එම සමාගම කොවිඩ් සමයේ අධික ලාභයක් ඒ අනුව ලබා තිබෙනවා.

    2019 පළමු කාර්තුවේ මිලියන 290 කට ආසන්න වූ වූ එම සමාගමේ ලාභය, කොවිඩ් ඇරඹුණු 2020 පළමු කාර්තුවේ බිලියන 1.4 දක්වා ඉහළ ගොස් තිබුණා.

    2020 දෙවන කාර්තුව වන විට රුපියල් බිලියන 4.4 ක පමණ ලාභයක් ඔවුන් ලැබූ අතර එම වසරේ තෙවන කාර්තුව වන විට ඔවුන් බිලියන 4.5ක පමන ලාභයක් ලබා ගත්තා.

    තමන් විසින් ඉදිරිපත් කළ චක්‍රලේඛය අත්හිටුවීමට පසුගිය අඟහරුවාදා බලධාරීන් කටයුතු කර තිබුන ද ඒ වන විටත් සියල්ල සිදුවී අවසන්ව තිබු අතර ඊයේ කොටස් වෙළඳපොල හාන්සි කරමින්ම එහි විපාක අත්විඳීමට සිදු වුණා.

    2011 සිට 2020 දක්වාම දිගින් දිගටම කඩා වැටුනු කොළඹ කොටස් වෙළෙඳපොළ මහත් පරිශ්‍රමයකින් ඉහළ ට පැමිණි අතර එය නියාමනය කරනු ලබන බලධාරීන්ගේ
    අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් පහළ වැටේ නම් මුදල් අමාත්‍යංශය මේ පිළිබඳව පරීක්ෂණයක් කර අදාල පුද්ගලයන්ට දඩුවම් දිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. තුන් දෙනෙක්ට කොටස් වෙළඳපොළ වට්ටන්න පුළුවන්නම් දෙතුන් දෙනෙකුට නග්ගන්නත් පුළුවන් කියා හිතන එකේ වැරැද්දක් නැහැනේ ඇනෝ. ලංකාවේ කොටස් වෙළඳපොළ වගේම පොදුවේ ප්‍රාග්ධන වෙළඳපොළත් රටේ හැම තරාතිරමකම අය සහභාගී වන තැන් නෙමෙයි. එසේ වන තුරු කොටස් වෙළඳපොළ දර්ශක වලින් ඒ තරම්ම වැඩක් නැහැ. කොටස් වෙළඳපොළ ශුද්ධ විදේශ ආයෝජන දිහා බැලීමෙන් ලංකාවේ කොටස් වෙළඳපොළ ගැන රටින් පිට සිටින අය හිතන ආකාරය ගැන අදහසක් ගන්න පුළුවන්.

      Delete
  5. Cobb Douglas ආකෘතිය, (මෙතැන් පටන් C-D ආකෘතිය) ගැන ඉස්සෙල්ලාම මම නම් දැන ගත්තේ එකොනොගෙන්.  මම හිතන්නේ අපේ කොදෙව් බසින් ඉස්සෙල්ලාම මෙම ආකෘතිය ඉදිරිපත් කලේ ඔහුයි. (මම වැදි නම් ඒ ප්‍රකාශය හකුලා  ගනිමි.) කොදෙව් බසින් කොටන අපි  හැමෝම  ඔහුට ස්තුතිවන්ත විය යුතුයි. අපි කවුරුත් කැම්පස් එකකදී යම් මට්ටමින් හෝ රේඛීය වීජ ගණිතය කරලා තිබේ නම් Leontief in put/out put model එක ගැන  කතා කරලා හෝ අහලා  ඇති. නමුත් එය තවත් එක  ගණනක්  ලෙස මිසක් එවන් ආකෘති මගේ හිතේ නම් එතරමි තදින් කා වැදුනේ නැහැ. විභාගයට තවත්  ලකුණක් දා ගන්න පුලුවන් නම් විතරක් මිසක් නැත්නම් මොන කෙහෙල්මලකටද මේ වාගේ කටු ඔලුවේ ඇණ ගන්නේ කියලා තමයි  ඒ දවස්වල හිතුවේ. Leontief  රුසියානු ජාතිකයෙක්. විප්ලවයට වෛර කල කෙනෙක්. රුසියානු අගමැතිව සිටි කෙරෙන්ස්කිගේ ලේකම් කෙනකුව සිටි, කොමියුනිස්ට් රුසියාවක් බිහි වෙන එකට විරුද්ධව වැඩ කල Pitirim Sorokin ගේ අනුගාමිකයෙක් සහ ඔහුව තදින්ම අගය කල අයෙක් තමයි මේ ලියොන්තිෆ් කියන්නේ. නමුත් කම්කරු  පන්තියේ සතුරකු වුනත්, එම  සතුරු list එකේ ඉහලින්ම හිටියත් චෙකා පොලිසියට බෝලේ දාලා ස්තාලින්ගේ  රුසියාවෙන් පැන ගන්න Leontief  සමත් වුනා. අපිට ගනං උගන්නන්න ආපු එකා ගණිතයට වඩා කතා කලේ මේ වාගේ දේවල්. ම⁣ට ඒක නිසා Leontief  ගැන දැන ගන්න ඕනැ වුනේ නැහැ. ඒක නිසාම තමයි මට C-D ආකෘතිය එදා  හමුවුනේ නැත්තේ කියලා මට හිතෙන්නේ. නමුත්, Leontief යනු පොරක්මැයි! 1973 දී නොබෙල්ගේ තෑග්ග ආර්ථික විද්‍යාව සඳහා ඔහු හිමි කර ගත්තේ ධනේශ්වරයේ නිදහස් වෙළඳ පොල තව තවත් ඔප දමමින්. නමුත් එකල  නොබෙල්ගේ තෑග්ගේ මහා අනිකා වුනු ලෙනින්ගේ සම්මානය /lenin premiya එක කාටවත් සමිමානයක් දුන්නේ නැහැනේ සමාජවාදී ආර්ථිකයක් හදලා එය ගොඩ දාන ක්‍රමයකුත් හොයා ගත්ත කෙනකුට කියලා. මේක නම් හිතන්න වටිනා කාරණයක්, මට නම්. ඇයි එහෙම නොවුනේ කියලා..Leontief  ගැන එකොනෝ අනාගතයේදී හෝ ප්‍රසාරිතව  ලියාවී කියලා මම හිතනවා. ඒ වන විට ලන්ඩන් අජිත් මාක්ස්ගේ ප්‍රාග්ධනය දෙවැනි volume එක නැවත කියවලා , ජීර්ණය කරගෙන එයි කියලාත් මම හිතනවා. Contd...1/3

    ReplyDelete
    Replies
    1. මම කලින් ලිපියේ සොලෝ ආකෘතිය ගැන ලිවුවනේ. සොලෝගේ ශාස්ත්‍රාලයීය පියා (ආචාර්ය උපාධි උපදේශකවරයා) තමයි ලියෝන්ටිෆ්. සොලෝ කියන්නේ ලියොන්ටිෆ්ගේ ශාස්ත්‍රාලයීය දරුවෙක්.

      Delete
  6. [  ] අද දවසේදී මූලිකආර්ථික විද්‍යාව /Introduction to Microeconomics මුල සිටම හදරන්නට යන ඕනෑම  අයකුට උගන්වන්නේ ධනේශ්වර වෙළඳපොල ගැන. මම හිතන්නේ එකොනෝ වුනත් එය පිලිගන්නවා ඇති. එහා උගන්වන මෙම Market economy එක  පදනම් වෙලා තියෙන ප්‍රධාන උපකල්පනයක් තමයි එහි පාරිභෝජනයට එන පාරිභෝගිකයන් මෙම වෙළඳපොල ගැන පූර්ණ අවබෝධයක් සහිත අයයි කියලා. මේ අනුව එම වෙළඳපොල ගැන කාටවත් දොස් කියන්න බැහැ.. මොකද කියනවා නම් පාරිභෝගිකයන් යනු ඉහලම දැනුවත් පිරිසක් නිසා. තමන් යම්කිසි භාණ්ඩයක්/සේවාවක් ගැනීමට තීරණය කරන්නේ හොඳටම දැනගෙනයි. ඒ අනුව වෙළඳපොලේ තීරණ වරදින්න බැහැ. (මේ එම වෙළඳපොල රසායන විද්‍යාවෙි උගන්වන පරිපූර්ණ වායු/ideal gas වාගේ කියලා තමයි මට මොහොතකට හෝ හිතුනේ. නමුත් ideal gas කෙහේද තියෙන්නේ? එයත් වියුක්ත දෙයක්.)

    නමුත් පොතේ එන ඒ වෙළඳපොලේ  ප්‍රායෝගිකව තත්ත්වයත් පරිපූර්ණ ද? පාරිභෝගිකයන් මෙම වෙළඳපොල ගැන තෘප්තිමත් ද? කොපමණ ප්‍රමාණයකට, කොපමණ පාරිභෝගිකයන් ප්‍රමාණයක් මේ වෙළඳපොල ගැන තෘප්තිමත් ද? දැන් මේ,ප්‍රශ්නයට අපිට පිලිතුරක් දෙන්න වෙනනේ යම් අවිනිශ්චිතතාවයක් සහිතවයි. දැන් එවිට එකොනෝ කියයි සංඛ්‍යානය භාවිතා කර අපට මේ අවිනිශ්චිතතාව බොහෝ දුරකට මඟ හරවා ගත හැකියි කියලා. ඒ කතාව ඇත්ත වුනත් C-D ආකෘතිය නරියටම වැඩ කරන්නේ පූර්ණ තරඟකාරී, එහෙයින්ම පූර්ණ තෘප්තිමත්, වෙළඳපොලක විතරයි නේද?....contd 2/3

    ReplyDelete
    Replies
    1. //එහා උගන්වන මෙම Market economy එක පදනම් වෙලා තියෙන ප්‍රධාන උපකල්පනයක් තමයි එහි පාරිභෝජනයට එන පාරිභෝගිකයන් මෙම වෙළඳපොල ගැන පූර්ණ අවබෝධයක් සහිත අයයි කියලා.//

      නැහැ. එවැනි උපකල්පනයක් කිසිසේත්ම නැහැ. වෙළඳපොළ ගැන දැනුමක් තිබුණත් නැතත් එක ලෙසටම වෙළඳපොළ ක්‍රියාත්මක වෙනවා. එහෙත් තමන් මිල දී ගන්නා භාණ්ඩය හෝ සේවාව පිළිබඳ පූර්ණ අවබෝධයක් සහිත අය කියන උපකල්පනය මූලික ආර්ථික විද්‍යා ආකෘති වල තිබෙනවා. එසේ නොවන වෙළඳපොළවල් හා අදාළව වඩා සංකීර්ණ ආකෘති තිබෙනවා.

      //නමුත් පොතේ එන ඒ වෙළඳපොලේ ප්‍රායෝගිකව තත්ත්වයත් පරිපූර්ණ ද?//
      ප්‍රායෝගිකව වෙළඳපොළක් පරිපූර්ණ වෙන්න අවශ්‍ය තත්ත්වයන් ඇමරිකාව වගේ රටක බොහෝ විට තිබෙනවා. එසේ නැති තැන් වලදී යම් වෙළඳපොළක් පරිපූර්ණ නොවන්නේ ඇයි කියා හඳුනාගෙන පිළියම් යෙදිය හැකියි.

      //කොපමණ ප්‍රමාණයකට, කොපමණ පාරිභෝගිකයන් ප්‍රමාණයක් මේ වෙළඳපොල ගැන තෘප්තිමත් ද?//
      තෘප්තිමත් වීම හෝ නොවීම 1/0 ලෙස වෙනස්වන බයිනරි විචල්‍යයක් නෙමෙයි. තෘප්තිමත් වීමේ සීමාවක් නැහැ. නිදහස් ගනුදෙනුවක යෙදෙන ඕනෑම කෙනෙක් එය කරන්නේ එසේ නොකරනවාට වඩා තෘප්තිමත් නිසා. ඒ නිසා, කවර හෝ නිදහස් ගනුදෙනුවක් කරන 100%ක්ම ඒ හේතුව නිසාම තෘප්තිමත්. එහි කිසිදු අවිනිශ්චිතතාවයක් නැහැ.

      //C-D ආකෘතිය නරියටම වැඩ කරන්නේ පූර්ණ තරඟකාරී, එහෙයින්ම පූර්ණ තෘප්තිමත්, වෙළඳපොලක විතරයි නේද?//
      C-D ආකෘතිය ධනවාදයට හෝ සමාජවාදයට සම්බන්ධ දෙයක් නෙමෙයි. එය නිෂ්පාදන ක්‍රමවේදය හා අදාළ දෙයක්. ධනවාදය හෝ සමාජවාදය අනුව වෙනස් වන්නේ K සහ L අතර Y බෙදී යා යුතු සාධාරණ ආකාරය පිළිබඳ අදහසයි. මම මේ ආකෘතිය ඇසුරෙන් විස්තර කළේ ධනවාදී අදහස. සමාජවාදී අදහස වන්නේ K වෙනුවෙන් කිසිවක් නොදී L වෙනුවෙන් සියල්ල වෙන් කළ යුතු බවයි. සාධාරණත්වය පිළිබඳ ධනවාදී අදහස අනුව K සහ L අතර අතිරික්තය බෙදී යා යුතු ආකාරයට හරියටම බෙදී යන්නේ පූර්ණ තරඟකාරී වෙළඳපොලක. ඒකාධිකාර ඇති විට අමතර අතිරික්තයක් ඉතිරි වෙන්න පුළුවන්. එය බෙදී යන්නේ හෙට්ටු කිරීම් මත. එහෙත්, පූර්ණ තරඟකාරී වෙළඳපොලක එවැනි හෙට්ටු කිරීම් අවශ්‍ය වන්නේ නැහැ. මේ සියලුම කරුණු C-D ආකෘතියෙන් පිට අමතර දේවල්. C-D ආකෘතිය ඇසුරෙන් මාක්ස්වාදී අදහස වුවත් පැහැදිලි කළ හැකියි.

      Delete
  7. [  ] එහෙම වෙළඳපොලක් අයිති වන්නේත් වියුක්ත චින්තනයකට පමණයි නේද? ඒ නිසා මේ පූර්ණ තරඟකාරී , නිදහස් වෙළඳපොල යනු approximation එකක් විතරයි. එය තුල ශ්‍රමිකයා වාගේම, ප්‍රාග්ධන හිමියාත් සිටින්නේ අරගලයක. මේ වැඩකට නැති අරගලය නිසා මිනිසාට සිදුවන්නේ තමාව අහිමි වී යාමක්. නිශ්පාදන ක්‍රියාවලියකට ඇදී ඇවිත් මේ පිරිස කරන්නේ,පූර්ණ නිශ්පාදනයක් නොවේ. එහි fraction එකක් පමණයි. මේ නිශ්පාදන අඩුව පිරිමසා ගන්න පිලිවෙලින් w සහ r බෙදී යාම තීරණය කරන්නේ කවුද? එයත් පාලනය වන්නේ කේන්සියානු වෙළඳපොල අදිසි හස්තයකින්ද? පැහැදිලිවම නැහැ.  ප්‍රාග්ධන හිමියා α කොටසක් පළමුව r සඳහා වෙන් කරගෙන, පසුවට  (1-α) ප්‍රමාණයක් තමයි w සඳහා වෙන් කරන්නේ. මෙය පෙන්වන indicator එකම එකොනොත් පිලිගන්න සාමුහික කේවල් කිරීම නේද? Bargaing එකක් එන්නේම මේ ධනේෂ්වර  ප්‍රාග්ධනය නිවැරදියි කියන අඩමාන තර්කය අපි නියතයක් ලෙස පිලිගන්නා නිසානේ.   ප්‍රාග්ධන accumilation එකේ ගැටලුව මූලික වසයෙන් එයයි කියලායි මට හිතෙන්නේ. අජිත් මේ ගැන යමක් කියයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    මගේ මූලික තර්කය මෙයයි: ධනේශ්වරය විසින් යෝජනා කරන  පූර්ණ තරඟකරී වෙළඳපොලක් ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර ඇති ඵෙන්ද්‍රීය ගැටුම්කාරී තත්ත්වය නිසා අපට  ඇති කර ගන්න බැහැ. (ශ්‍රිතයක් ශුන්‍යයට සමාන වීම සහ ශුන්‍යයට ආසන්න වීම යනු සම්පූර්ණයෙන්ම entities දෙකක්. ඒක නිසා සංඛ්‍යානය යොදා මේ කරන ශ්‍රම-ප්‍රාග්ධන විශ්ලෙෂකයන් තුල නිවැරදි ප්‍රතිපල නැහැ.). මේ නිදහස් වෙළඳපොල යනුම බලහත්කාරකමක්. ස්වභාවයට එරෙහිව යාමක්. නිදසුනක් ලෙසට ස්කන්ධයකට ගුරුත්ව ක්ෂේත්‍රයට එරෙහිව යන්න බැහැ. ආරෝපණයකට විද්‍යුත් ක්ෂේත්‍රයකට එරෙහිව යන්න බැහැ වාගේ. ඒක නිසා C-D ආකෘතියෙන් අපට  යෝජනා කරන  ශ්‍රමිකයාට වැටුප් සහ ප්‍රාග්ධන හිමියාට ලාභාංශ ලෙස යන මේ අති සරල බෙදීම යනුම තවත් එක් වියුක්ත සංරචකයක් පමණයි කියලායි මම කියන්නේ.

    End 3/3

    CP-C

    ReplyDelete
    Replies
    1. //එහෙම වෙළඳපොලක් අයිති වන්නේත් වියුක්ත චින්තනයකට පමණයි නේද? ඒ නිසා මේ පූර්ණ තරඟකාරී , නිදහස් වෙළඳපොල යනු approximation එකක් විතරයි.//

      පැහැදිලිවම නැහැ. ඇමරිකාව වැනි රටක බොහෝ වෙළඳපොළවල් හා අදාළව පූර්ණ තරඟකාරී තත්ත්වයක් ප්‍රායෝගිකව දැකිය හැකියි. රාජ්‍ය මැදිහත්වීම් වැඩි රටවල ඒ තත්ත්වය විකෘති වන නිසා පැහැදිලිව පෙනෙන්නේ නැහැ.

      //නිශ්පාදන ක්‍රියාවලියකට ඇදී ඇවිත් මේ පිරිස කරන්නේ,පූර්ණ නිශ්පාදනයක් නොවේ. එහි fraction එකක් පමණයි.//

      කිසිසේත්ම නැහැ. තරඟකාරී වෙළඳපොළ තත්ත්වයකදී පමණක් සිදුවන වෙනත් ඕනෑම තත්වයක් යටතේ සිදු නොවන අතුරුදහන් වන නිෂ්පාදිතයක් තිබෙනවා. එම කොටස ශ්‍රමයට හෝ ප්‍රාග්ධනයට ප්‍රතිලාභ ලෙස හිමි වන්නේ නැහැ. fraction එකක් පමණක් නිෂ්පාදනය වනවා කියන්න පුළුවන් එම තත්ත්වයටයි. සමාජවාදී බෙදීමක් අකාර්යක්ෂම වීමට ප්‍රධාන හේතුව මේ කාටවත් නොලැබෙන කොටසයි.

      //ප්‍රාග්ධන හිමියා α කොටසක් පළමුව r සඳහා වෙන් කරගෙන, පසුවට (1-α) ප්‍රමාණයක් තමයි w සඳහා වෙන් කරන්නේ.//
      α කියන්නේ කවුරුවත් තීරණය කරන පරාමිතියක් නෙමෙයි. අදිසි හස්තය විසින් තීරණය කෙරෙන දෙයක්ද නෙමෙයි. එය නිෂ්පාදන තාක්ෂනය හා අදාළ තාක්ෂණයේ විශාල වෙනසක් සිදු වුනොත් මිස වෙනස් නොවන පරාමිතියක්. අදිසි හස්තය මගින් තීරණය කරන්නේ මේ අනුපාතයට හරියට බෙදෙනවද කියන එකයි.

      //මෙය පෙන්වන indicator එකම එකොනොත් පිලිගන්න සාමුහික කේවල් කිරීම නේද? Bargaing එකක් එන්නේම මේ ධනේෂ්වර ප්‍රාග්ධනය නිවැරදියි කියන අඩමාන තර්කය අපි නියතයක් ලෙස පිලිගන්නා නිසානේ.//
      පූර්ණ ධනවාදී රටකට සාමූහික කේවල් කිරීම් අවශ්‍ය වන්නේ නැහැ. ඇමරිකාව වැනි ආසන්න ධනවාදී රටකට සාමූහික කේවල් කිරීම් අවශ්‍ය වන්නේ ඉතාම අඩුවෙන්. කේවල් කිරීම් අවශ්‍ය වන්නේ ලංකාව වැනි සමාජවාදී පැත්තට වඩා බර, ප්‍රමාණවත් තරඟකාරිත්වයක් නැති රටවල් වලට.

      //ධනේශ්වරය විසින් යෝජනා කරන පූර්ණ තරඟකරී වෙළඳපොලක් ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර ඇති ඵෙන්ද්‍රීය ගැටුම්කාරී තත්ත්වය නිසා අපට ඇති කර ගන්න බැහැ.//

      ඵෙන්ද්‍රීය ගැටුම්කාරී තත්ත්වය මාක්ස්වාදී අදහසක්. ධනවාදය දියුණු වන තරමට එවැනි ගැටුම් නැති වෙනවා. ගැටුම් ඇති වෙන්නේ පුද්ගලයින් විදිහට ශ්‍රමය ලබා දෙන අය සහ ප්‍රාග්ධනය ලබා දෙන අය කණ්ඩායම් දෙකක් වීමෙන්. මාක්ස්ගේ පංති විග්‍රහය පදනම් වෙන්නේ මේ කණ්ඩායම් දෙක කවදාවත් අතිපිහිත නොවන කණ්ඩායම් දෙයක් කියන අදහස මතයි. නමුත් දියුණු ධනවාදයක පුද්ගලයින් ලෙස ගත් විට ශ්‍රමය හා ප්‍රාග්ධනය දෙකම ලබා දෙන්නේ එකම පිරිසක්. ඒ නිසා, ඵෙන්ද්‍රීය ගැටුම්කාරී තත්ත්වයක් ඇති වන්නේ නැහැ. මගේ කඩේ වැඩ කරලා ලාබ විදිහට සල්ලි ගත්තත් වැටුප් විදිහට සල්ලි ගත්තත් කිසිම වෙනසක් නැහැ. වඩා සංකීර්ණ සාමූහික නිෂ්පාදන ක්‍රමයකදී වෙන්නේත් ඒකමයි.

      //ඒක නිසා C-D ආකෘතියෙන් අපට යෝජනා කරන ශ්‍රමිකයාට වැටුප් සහ ප්‍රාග්ධන හිමියාට ලාභාංශ ලෙස යන මේ අති සරල බෙදීම යනුම තවත් එක් වියුක්ත සංරචකයක් පමණයි කියලායි මම කියන්නේ.//

      මෙය සරලයි තමයි. මීට වඩා සංකීර්ණ ආකෘති තිබෙනවා. නමුත්, flavor එක වෙනස් වෙන්නේ නැහැ.

      Delete
  8. ඉකෝන් ඔබ දන්නව ඇති මේවන විටත් බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට යාපනය අර්ධද්වීපයේ පිහිටි දූපත් තුනක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධය පළ කර ඇති බව.

    ඒ වගේම ශ‍්‍රී ලංකා රජය වෙත ඉන්දියාව විසින් මෙසේ විරෝධය පළ කර ඇත්තේ උතුරේ පිහිටි ඩෙල්ෆ්ට්, නයිනතිව් හා අනලතිවු යන දූපත්වල අදාළ බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට චීන සමාගමකට ඉඩදීම සම්බන්ධයෙන් තමයි.

    ඇත්තටම පසුගිය ජනවාරි මාසයේ 18 වැනිදා මෙම බලශක්ති ව්‍යාපෘති සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති අතර ඉන්දියාව මෙම ව්‍යාපෘතියට විරෝධය දැක්වීමට හේතු වී ඇත්තේ රාමේෂ්වරම ආසන්න දුරකින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම මත ආරක්ෂාව පිළිබඳ කාරණාව මතු කරමින් නමුත් මෙම ව්‍යාපෘතියට චීන සමාගම හවුල් වී ඇත්තේ නිසි පරිදි සිදු කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලියට යටතේ ටෙන්ඩර් කැඳවීමකින් පසුව බවට මාධ්‍ය වාර්තා කලා. මේ ගැන ඔබට වැඩි විස්තර පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. මම වැඩි විස්තර තියා කිසිම විස්තරයක් දන්නේ නැහැ, ඇනෝ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: