වෙබ් ලිපිනය:

Friday, June 4, 2021

ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය


ධනවාදය කියා කියන්නේ කුමක්ද කියා මේ වෙද්දී පැහැදිලි කර තිබෙනවා. ධනවාදී පරමාදර්ශය තුළ ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධන හිමියාටත් ලැබෙනවා. ඔය කොටස් දෙකම හරියට දුන්නට පස්සේ අමතර යමක් ඉතිරි කර ගන්න පුළුවන් වෙන්නේ අළුත් දැනුමක් නිර්මාණය කරන ව්‍යවසායකයෙකුට පමණයි. එසේ නිර්මාණය කරන කොටස ධනවාදී පරමාදර්ශය තුළදී ව්‍යවසායකයෙකුට ලැබෙනවා.

ඉතා පැහැදිලිවම ප්‍රාග්ධන හිමියා හා ව්‍යවසායකයා කියන්නේ දෙන්නෙක්. මෙහිදී දෙන්නෙක් කියා කියන්නේ සංකල්පීය වශයෙන් මිසක් පුද්ගලයින් විදිහට නෙමෙයි. පුද්ගලයින් ලෙස ගත්තොත් එකම පුද්ගලයා ශ්‍රමිකයෙක්, ප්‍රාග්ධන හිමියෙක් හා ව්‍යවසායකයෙකු ලෙස වෙනස් සන්දර්භ වලදී වගේම එකම සන්දර්භයක වුවත් කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා, ධනවාදියෙක් ශ්‍රමිකයන් (වැඩ කරන ජනතාව), ප්‍රාග්ධන හිමියන් (ධනපතියන්) ආදී වශයෙන් මිනිස්සුන්ව වර්ග කරන්නේ නැහැ. මිනිස්සුන්ව "පංති" ලෙස බෙදා වෙනස් ලෙස සලකන්නේ නැහැ. සියල්ලන්ම නිදහස් මිනිසුන් සේ සලකනවා. 

සැබෑ ලෝකයේ අපට මේ කියන ධනවාදී පරමාදර්ශය දැකිය හැකිද? බැරි නැහැ. සෑහෙන තරම් ධනවාදී රටක සෑහෙන තරමකට මේ තත්ත්වය දකින්න පුළුවන්. එහෙත්, හැම විටම හැම තැනම නෙමෙයි.

වෙළඳපොළ අකාර්යක්ෂමතාවයක් දැකිය හැකි අවස්ථාවක ධනවාදී ආර්ථික විද්‍යාඥයෙක් ගැටළුව විග්‍රහ කරන්න පටන් ගන්නේ ධනවාදී පරමාදර්ශයට සාපේක්ෂවයි. එහිදී එම අකාර්යක්ෂමතාවයට හේතු වී තිබෙන ගැටලුව පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මෙය බොහෝ විට වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට තිබෙන ස්වභාවික හෝ කෘතීම බාධාවක්. විසඳුම වන්නේ අදාළ බාධාව ඉවත් කිරීමයි. බාධාව ඉවත් කිරීමෙන් පසුව කාර්යක්ෂමතාවය ඉහළ යනවා. මෙහිදී සිදුවන්නේ ධනවාදයට වඩා හොඳින් ක්‍රියාත්මක වෙන්න ඉඩ දීමක්.

මෙයින් වෙනස්ව ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් හොඳින් ක්‍රියාත්මක වන වෙළඳපොළකට මැදිහත් වන අවස්ථාද තිබෙනවා. මෙහිදී සිදු වන්නේ හිතාමතාම කාර්යක්ෂමතාවය අඩු වෙන්න ඉඩ හැරීමක්. එසේ කිරීමෙන් අපේක්ෂා කරන්නේ ආර්ථික වර්ධනය කැප කර වෙනත් අරමුණක් සාක්ෂාත් කර ගැනීමයි. අරමුණ ආදායම් විෂමතා අඩු කර ගැනීම හෝ ජාතික අභිලාශ වැනි දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී සිදු වන්නේ ධනවාදයෙන් බැහැර වීමක්.

සාමාන්‍යයෙන් ධනවාදී සේ සැලකෙන ඕනෑම රටක් ඔය විදිහට ධනවාදයෙන් බැහැර වෙන අවස්ථා ඉතාම සුලභයි. රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත එයනම් වෙනත් අරමුණක් වෙනුවෙන් කාර්යක්ෂමතාවය කැප කරන්න සිදු වෙනවා. හැබැයි ඒ වගේ වෙලාවක වුනත් ධනවාදී පරමාදර්ශයට සාපේක්ෂව ප්‍රතිඵලය විග්‍රහ කිරීම නරක පුරුද්දක් නෙමෙයි. එසේ කිරීමෙන් අදාළ අනෙකුත් ඉලක්කය වෙනුවෙන් විඳින්න වෙන පාඩුව හරියට දැනගෙන වැඩේ කරන්න පුළුවන්. ගඟේ මූදේ දැම්මත් ගාණක් මිම්මක් ඇතුව කියනවනේ!

ධනවාදය කියන්නේ ආර්ථික ක්‍රමයක් පමණයි. එය දේශපාලන ක්‍රමයක් නෙමෙයි. මෙයින් වෙනස්ව මාක්ස් විසින් යෝජනා කළේ ආර්ථික-දේශපාලන ක්‍රමයක්. මාක්ස්ගේ දායකත්වය වුනේ ඔය දෙක එකතු කිරීමයි. මගේ ලිපි වල මම බොහෝ විට ධනවාදය සමඟ සංසන්දනය කර තිබෙන්නේ මාක්ස්වාදයේ ආර්ථික සංරචකය. ධනවාදය දේශපාලන ක්‍රමයක් නොවන නිසා මාක්ස්වාදයේ දේශපාලන සංරචකය සමඟ එවැනි සංසන්දනයක් කිරීමේ හැකියාවක් නැහැ. 

ආර්ථික ක්‍රමයක් කියන්නේ සම්පත් බෙදා හරින ක්‍රමයක්. දේශපාලන ක්‍රමයක් කියා කියන්නේ බලය බෙදා හරින ක්‍රමයක්. ඔය දෙක දෙකක් බව පැහැදිලි විය යුතුයි. ධනවාදය දේශපාලන ක්‍රමයක් නෙමෙයිනම්, ආර්ථික ක්‍රමයක් පමණක්නම් එය ක්‍රියාත්මක කෙරෙන යාන්ත්‍රනය කුමක්ද? 

ධනවාදය කියා කියන්නේ මාක්ස්වාදය වගේ කවුරුවත් යෝජනා කරලා සැලසුමකට අනුව ක්‍රියාත්මක කරපු ක්‍රමයක් නෙමෙයි. ස්වභාවිකවම බිහි වුනු ක්‍රමයක්. ධනවාදය ගැන අහලා නොතිබුණු සමාජ වලත් ධනවාදය තිබුණා. මම ඉදිරිපත් කරපු ආකෘති වලින් කරන්නේ කොහොමටත් තිබුණු ස්වභාවික ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරන එක පමණයි. ඒ නිසා, ධනවාදයට ක්‍රියාත්මක වෙන්න අමුතුවෙන් දේශපාලන ක්‍රමයක් අවශ්‍ය වුනේ නැහැ.

මෙයින් වෙනස්ව මාක්ස්වාදය කියන්නේ මාක්ස්ගේ ඔලුවේ ඇඳුනු වියුක්ත අදහසක්. ධනවාදය ලෙස මම විස්තර කරන දෙයත් එවැනිම වියුක්ත දෙයක් වුවත්, ඒ කිසිවක් නැතත් සැබෑ ලෝකයේ ධනවාදය කියා දෙයක් තියෙනවා. නමුත් මාක්ස්වාදයෙන් යෝජනා කරන ආකාරයේ දෙයක් සැබෑ ලෝකයේ තිබුණේ නැහැ. ඒ නිසා, එවැන්නක් හැදෙන්නනම් පවතින ලෝකය වෙනස් කළ යුතුයි. ඒක කරන්න දේශපාලන බලය අවශ්‍ය වෙනවා. මාක්ස්වාදයට දේශපාලනයෙන් තොරව ආර්ථික ක්‍රමයක් ලෙස ස්වාධීන පැවැත්මක් නැත්තේ ඒ නිසා.

කොහොම වුනත් ධනවාදය ක්‍රියාත්මක වන රටවලටත් දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි. බොහෝ බටහිර රටවල අපට දැකිය හැක්කේ ධනවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය එකතු වුනු පැකේජ් එකක්. එහෙත්, මේ දෙක දෙකක්. ඒ වගේම, ධනවාදයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අරමුණු එකිනෙක ගැටෙන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය විසින් ඉල්ලා සිටින්නේ පරමාදර්ශයෙන් බැහැර වූ ධනවාදයක්. මේ බැහැර වීම යම් තාක් දුරකට සමාජවාදය පැත්තට යොමු වීමක් කියා කියන්න පුළුවන්. 

ඉලක්කය ආර්ථික වර්ධනයනම්, ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය ශ්‍රමිකයාටත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ප්‍රාග්ධන හිමියාටත් ලැබෙන්න සැලැස්වීම වඩාත්ම කාර්යක්ෂම දෙයයි. එහෙත් වඩාත්ම සාධාරණ දෙය මෙයද?

කාර්යක්ෂමතාවයට තාක්ෂණික තේරුමක් තිබුණත් සාධාරණත්වයට එවැනි තේරුමක් නැහැ. එය පුද්ගලයාට සාපේක්ෂ සංකල්පයක්. සමාජවාදී අදහස් වල පරමාදර්ශී පදනම වන්නේ සම්පත් සමානව බෙදීම වඩා සාධාරණ බවයි. එම අදහසටද ඕනෑම සමාජයක යම් පිළිගැනීමක් තිබෙනවා.

ශ්‍රමිකයෙක්ට ඔහුගේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය ලැබේනම් ඔහු විසින් නිර්මාණය කරන දෙයක් වෙනත් අයෙකු විසින් සූරාකෑමක් සිදු වෙන්නේ නැහැ. ඒ අතින් මෙහි කිසිදු අසාධාරණයක් නැහැ. එහෙත්, යමෙකුගේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය හොඳටම අඩුනම්, ඒ වෙනුවෙන් ලැබෙන කොටස ජීවිතය පවත්වා ගන්නවත් ප්‍රමාණවත් නැත්නම්, එහි සාධාරණත්වය පිළිබඳ කිසියම් ප්‍රශ්නයක් ඉතිරි වෙනවා.

කවර හෝ හේතුවක් නිසා ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය අඩු හා එහෙයින්ම අවවරප්‍රසාදිත කොටස් වලට සහන සැලසීම වෙනුවෙන් ධනවාදී පරමාදර්ශ වලින් යම් තරමකට බැහැර වීම හැම ධනවාදී රටකම සිදුවන දෙයක්. එහෙත් එසේ කිරීමේදී ගෙවන්න සිදුවන මිලක් තිබෙනවා. මෙහිදී ගෙවන්න සිදුවන මිල සේ හඳුන්වන්නේ වරප්‍රසාදිත අයගේ කොටසෙන් අඩුවන දෙය නෙමෙයි. එම කොටස සමස්තයක් ලෙස රට ඇතුළේම කොහේ හරි තියෙනවා. නමුත්, අකාර්යක්ෂමතාවය නිසා අඩු වෙන කොටස ඒ විදිහට වෙනත් අයෙකුට ලැබෙන කොටසක් නෙමෙයි. ඒ කොටස නැත්තටම නැති වෙලා යනවා.

ධනවාදී පරමාදර්ශ වලින් යම් තරමකට බැහැර වී සමාජයක අවවරප්‍රසාදිත කොටස් වලට සහන සලසන්න පුලුවන් වුනත් මේ වැඩේ දුරදිග ගිය විට සිදු වෙන්නේ හැමෝටම බෙදාගන්න තිබෙන මුළු සම්පත් ප්‍රමාණය දැනෙන විදිහට අඩු වෙන එකයි. එවිට ජනමතය ධනවාදය පැත්තට නැඹුරු වෙනවා. ආර්ථිකය වර්ධනය වෙනවා. ආර්ථිකය වර්ධනය වන විට සම්පත් බෙදී යාමේ විෂමතාද වැඩි වෙලා නැවතත් ධනවාදයෙන් බැහැරට ජනමතය වෙනස් වෙනවා. බොහෝ බටහිර රටවල දේශපාලනය කියන්නේ අවලම්බයක් විදිහට ඔය දෙපැත්තට සිදුවන ජනමතයේ දෝලනය වීමයි.

35 comments:

  1. වාද අතරෙන් කොතෙක් ලොව ඇති වාද මට නං
    එකයි උත්තම වාදෙ වෙන්නේ
    මිහිතලයටම අහිත නොකරන
    මෙත් සිතයි එහි මූලෙ වෙන්නේ

    ReplyDelete
  2. ධනවාදය සහ සමාජවාදය අතර වෙනස කුමක්ද.

    ReplyDelete
    Replies
    1. කරුණාකර පෙර ලිපි බලන්න.

      උගතුන් ඇති වීම හා මුදලාලිලා නැති වීම
      http://economatta.blogspot.com/2021/04/blog-post_24.html

      සමාජවාදී විකල්පය
      http://economatta.blogspot.com/2021/04/blog-post_6.html

      ශ්‍රමය සූරාකෑම වෙනුවෙන් සමාජවාදය!
      http://economatta.blogspot.com/2021/05/blog-post_10.html

      සූරාකෑම් නැති කරමු!
      http://economatta.blogspot.com/2021/05/blog-post.html

      වංචාව, දූෂණය නැති කරන ක්‍රමය
      http://economatta.blogspot.com/2021/04/blog-post_8.html

      ණය ගැනීමේ දෘෂ්ඨිවාදය
      http://economatta.blogspot.com/2021/04/blog-post_27.html

      Delete
  3. මේ ගැන සිපිපියගෙයි ලපිපියගෙයි අදහස මොකක්ද ?

    ReplyDelete
  4. ණයවර නිකුත් කරණවා කියන්නේ මොකක්ද පැහැදිලි කල හැකිද ??


    ලංකා බැංකුව මන්ත්‍රී වහන ගෙන්න ණයවර නිකුත් කරල කියනවා, එය දැන් නැවත්තුවොත් ලංකා බැංකුව ආසාදු ගත වෙනව කියල ප්‍රවුත්ති යනවා ?

    ReplyDelete
    Replies
    1. රටවල් දෙකක දෙදෙනෙකු අතර ගනුදෙනුවක් සිදුවෙද්දී විශ්වාසය පිළිබඳ ප්‍රශ්නය ලොකුවටම මතු වෙනවා. බොහෝ විට ගනුදෙනුව සිදු වන්නේ කවදාවත් ඇහැට දැක නැති, කලින් ගනුදෙනු කර නැති දෙදෙනෙකු අතර. උදාහරණයක් විදිහට ඇමරිකානුවෙක් චීනෙක්ගෙන් යම් දෙයක් ආනයනය කරනවා කියා හිතමු. දැන් තමන් සල්ලි ගෙවුවට පස්සේ චීනා බඩු එවයිද කියලා ඇමරිකානුවාට විශ්වාස නැහැ. ඒ නිසා ඇමරිකානුවා තමන්ට බඩු අතට ලැබෙන තුරු සල්ලි ගෙවන්න බයයි. අනික් පැත්තෙන් ඇමරිකානුවාට බඩු එව්වොත් සල්ලි නොගෙවයිද කියලා චීනා බයයි. ඒ නිසා සල්ලි අතට ලැබෙන තුරු බඩු එවන්න චීනා බයයි. මේ වගේ තත්ත්වයක් යටතේ ගනුදෙනුවක් සිදු වෙන්නේ නැහැනේ.

      මේ වගේ වෙලාවක බැංකුවකට මැදිහත් වෙන්න පුළුවන්. ඇමරිකානුවාගේ බැංකුව පොරොන්දු වෙනවා බඩු ආවට පස්සේ සල්ලි ගෙවන බවට. චිනාට ඇමරිකානුවාව විශ්වාස නැතත් ඇමරිකන් බැංකුව විශ්වාස නිසා බඩු එවනවා. බඩු ලැබුණු පසු බැංකුව සල්ලි නිදහස් කරනවා. දැන් ඇමරිකන් බැංකුව මේ සේවය සලසද්දී අවදානමක් ගන්නවා. අදාළ මුදල කලින්ම බැංකුවේ තැන්පත් කරන්න කියලා ඒ අවදානම නැති කරගන්න පුළුවන් වුනත් තමන්ගේ ගනුදෙනුකරු විශ්වාසනම් බැංකුව අදාළ මුළු මුදලම කලින් ඇපයක් ලෙස තැන්පත් කර ගන්නේ නැහැ. ගනුදෙනුකරු සමඟ තිබෙන විශ්වාසය අනුව බොහෝ විට මුළු මුදලින් 25% හෝ 50%ක් වැනි ගණනක් පමණක් ඇපයක් ලෙස තියාගෙන අදාළ සහතිකය අනෙක් පාර්ශ්වයට දෙනවා. මෙය කරන්නේ බඩු ආවාට පස්සේ ගනුදෙනුකරු මුළු මුදලම පියවනු ඇතැයි යන විශ්වාසයෙන්. යම් හෙයකින් එසේ නොකළොත් බැංකුවට තමන්ගේ කිර්ති නාමය රැකගන්න අතින් හෝ අඩුව පියවන්න වෙනවා.

      ණයවර ලිපියක් කියා කියන්නේ භාණ්ඩයක් ආනයනය කිරීම සඳහා ඇණවුම් කරද්දී ගැනුම්කරු විසින් විකිනුම්කරුට ඉදිරිපත් කරන ඉහත ආකාරයෙන් බැංකුවකින් ලබාගත් සහතිකයක්. මේ අවස්ථාව ගත්තොත් මන්ත්‍රීවරයෙක් ලංකා බැංකුවෙන් ණයවර ලිපියක් ලබාගෙන එය අදාළ වාහන සමාගමට ඉදිරිපත් කරනවා. එය එම සමාගමට මුදල් හා සමානයි. වාහනය එවපු වහාම මුදල් ලැබෙන බව ඔවුන්ට විශ්වාසයි. සමහර විට වාහනය හදන්නේම මේ විදිහට ණයවර ලිපියක් එක්ක ඇණවුමක් ලැබුණට පස්සේ වෙන්න පුළුවන්. බැංකුව මත තිබෙන විශ්වාසය මත වාහනය එවුවට පස්සේ බැංකුව මුදල් නොගෙවුවොත් එම බැංකුව පිළිබඳ විශ්වාසය මුළුමනින්ම නැති වෙනවා. ඉන්පසු ඒ බැංකුවේ ණයවර ලිපි කවුරුවත් පිළිගන්නේ නැහැ.

      Delete
  5. "සැබෑ ලෝකයේ අපට මේ කියන ධනවාදී පරමාදර්ශය දැකිය හැකිද?
    බැරි නැහැ. සෑහෙන තරම් ධනවාදී රටක සෑහෙන තරමකට මේ තත්ත්වය දකින්න පුළුවන්."

    සුපුරුදු පරිදි කොලේ වහල ගැහිල්ලක්. නැට්ට නැති කැන්ද කොළ ඉල්ලපුවම නැට්ට නැති පොල් කොළ දුන්න වගේ. "සෑහෙන තරමට" උත්තරයක්. ධනවාදේ අපුල්ලන එක ඉවසන්න පුළුවන්, බොරුව තමයි ඉවසන්න අමාරු.

    ReplyDelete
    Replies
    1. වියුක්ත සංකල්පයක් ඒ විදිහටම සැබෑ ලෝකයේ දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම දකින්න හැකි වෙන්න අවශ්‍යත් නැහැ. එහෙමනම් එය තවදුරටත් වියුක්ත අදහසක් නෙමෙයි. ඔබේ ආන්තික ඵලදායිතාවය හා ලැබෙන මාසික වැටුප අතර රුපියලක දෙකක වෙනසක් තිබීම ප්‍රායෝගිකව වැදගත් වෙනසක් නෙමෙයි. ප්‍රායෝගික සීමාවන්ට යටත්ව ඇමරිකාව වගේ රටක මේ තත්ත්වය දකින්න නොලැබෙන්නේ ඉතා අඩුවෙන්. සෑහෙන තරමකට කියන විශේෂණය මෙතැනට අවශ්‍යම විශේෂණයක් වන්නේ මේ ලිපියෙන් කතා කරන්නේම ධනවාදී සේ සැලකෙන රටවල එසේ නොවන අවස්ථා පවතින්නේ ඇයි කියන කරුණ ගැන නිසයි. රාජ්‍ය මැදිහත් වීම් ඉතා වැඩි, ලංකාව වැනි සමාජවාදී රටක වුවත් එවැනි රාජ්‍ය මැදිහත් වීම් නැති හා විශාල සැපයුම්කරුවන් ප්‍රමාණයක් වගේම විශාල ඉල්ලුම්කරුවන් ප්‍රමාණයක් ඉන්න වෙළඳපොළ වල මේ තත්ත්වය දැකිය හැකියි.

      Delete
    2. උත්තරය: නැහැ, වියුක්ත සංකල්පයක් ඒ විදිහටම සැබෑ ලෝකයේ දකින්න ලැබෙන්නේ නැහැ.

      අන්න එවිට "සැබෑ ලෝකයේ අපට මේ කියන ධනවාදී පරමාදර්ශය දැකිය හැකිද?" යන්න තේරුමක් නැති ප්‍රශ්නයක් වෙනවා. මම "කොලේ වහල ගැහිල්ලක්" මෙන්න මේ වගේ දේවල් වලට. අපිට පාසැලේදීත්, විශ්ව විද්‍යාලේදීත් ගොඩක් විට මේ වගේ අවස්ථා හමු වෙනවා.

      Delete
    3. ඉතිං ඒක තමයි සෑහෙන තරමකට කියන එකෙන් අදහස් කළේ. ප්‍රතිරෝධයක් නැති සන්නායක අපට සැබෑ ලෝකයේදී හමු වන්නේ නැහැ. නමුත්, එයින් අදහස් වන්නේ හැම සන්නායකයක්ම ප්‍රතිරෝධය අතින් සමාන බව නෙමෙයි. අපිට වෙසක් එකට බල්බ් වැලක් දමන්න ඕනෑ වුනොත් වයර් එකක් මිසක් කොහු ලණුවක් ඒ වැඩේට ගන්නේ නැහැ. ප්‍රායෝගික තත්ත්වයන් යටතේ වයර් එකේත් "පොඩි" ප්‍රතිරෝධයක් තියෙන එක මෙහිදී ප්‍රශ්නයක් නෙමෙයි. කොහු ලණුව වැඩ කළේ නැතත් වයර් එක වැඩ කරනවා. වයර් එකේ පොඩි ප්‍රතිරෝධයක් තියෙන නිසා සුපිරි සන්නායකයක් හොයන එක ප්‍රායෝගිකව අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ වගේම මොකක් හෝ හේතුවක් නිසා වයර් එක වැඩ නොකරන බව පේනවානම් ඒ ඇයි කියා හොයා බලනවා මිසක් වයර් එක වෙනුවට කොහු ලණුවක් දමන එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ.

      Delete
    4. පිලි නොගත්තට කමක් නෑ ඉකනො, හිතට ගත්තොත් ඇති. අපි වැඩිදෙනෙකුට ඕනෙ කරන්නෙ තියෙන ආර්ථික-දේශපාලන ක්‍රම වඩා සාධාරණ කරගන්නෙ කොහොමද කියල දැණගන්න. දැනට තියෙන "Best among the worst" ආර්ථික ක්‍රමය ධනවාදය බව, ඔබගේ ලිපි වලින්ම පැහැදිලි වෙනවා.

      පවතින ධනවාදයේ තියෙන ප්‍රශ්ණ සාකච්චා කරන්නෙ, ඇත්ත ඇති හැටියෙන් දැණගන්නයි. ඔබගේ හැම තර්කයක්ම සාධාරණීකරනය කිරීමෙනුත් "කොලේ වහල ගැහිල්ලෙනුත්" ඒකට එච්චර පිටුවහලක් වෙනව කියල හිතෙන්නෙ නෑ.

      Delete
    5. සාධාරණීකරනය කරන්න බැරි තර්ක මම ඉදිරිපත් කරන්නේ නැහැ. ඉදිරිපත් කරන තර්ක මම සාධාරණීකරණය කරනවා. ඒවා වැරදිනම් කළ යුත්තේ වැරැද්ද පෙන්වා දෙන එකයි.

      Delete
    6. //සාධාරණීකරනය කරන්න බැරි තර්ක මම ඉදිරිපත් කරන්නේ නැහැ//
      වැරැද්ද තියෙන්නේ ඔතනයි. ඔබ දැනටමත් උපකල්පනය කරල ඉවරයි, ඔබට වරදින්න බෑ කියලා. තර්කයකින් කෙරෙන්නේ, උගුලෙන් හරි හබකෙන් හරි තම මතය , ප්‍රතිවාදියා මත පැටවීමයි කියන දේ , ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. අපි හැමෝම හිතනව, අපි අඥාතවාදියි ,අරකයි මේකයි කියල. හැබැයි ඔව්වා නිකම්ම වචන විතරයි. ඒත් ඒ අතරෙ කියවෙනවා, අයිස්ටයින්ට සහ නිව්ටන්ටත් වැරදින්න ඉඩ තියනවා කියල.

      කතා කතුව "ධනවාදේ අපුල්ලනව" කිව්වෙ ඇයි කියල මට දැන් තේරෙන නිසා, මේ කතාව මෙතනින් නවත්තනවා. අන්තිම ප්‍රති-තර්කය ලියල, හිත රවට්ට ගැනීමෙ නිදහස ඔබට තියනවා.

      Delete
    7. //ඔබ දැනටමත් උපකල්පනය කරල ඉවරයි, ඔබට වරදින්න බෑ කියලා.

      මට වරදින්න පුලුවන් වූ පමණින් ඉර පෙන්නුවහම කිසිම පදනමක් නැතුව නෑ හඳ කියනවනම් මම බාර ගන්න ඕනෑද? දැන් ඔය ඔබේ ඉහත ප්‍රකාශයම වුනත් වැරදියිනේ. මම උපකල්පනය කරන ආකාරය ඔබම නිගමනය කරලා තීන්දුවත් දීලා ඉවරයි.

      Delete
    8. ඉකෝන්,

      මම කතා කතු හෝ ඉහත ඇනෝත් නොවන වෙනත් හාල්පාරුවෙක්... මේ ගැන මැදහත් ලෙස බැලූ විට වැටහෙන පමණින් මගේ අදහස අනුව ඔබේ පෝස්ට් වල ඇතැම් වැදගත් කරුණු තිබුණත් ඔබේ ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන ක්‍රමය ගැන ඇති අසීමිත අධිතක්සේරුව නිසා පාඨකයන්ට මහත් විහිළුවක් වී ඇති බවයි. ඇමරිකානු එක්සත් ජනපදයේ ඇත්ත ඇති සැටියෙන් දැක සාකච්ඡා කිරීමට උත්සාහ කළොත් අප හැමෝටම පවතින ක්‍රමය හොඳ අතට හරවා ගැනීමට කළ යුතු දේවල් ගැනවත් අවබෝධයක් ලබා ගැනීමට පුළුවන් වේවි. ඔබගේ මා දුටු විහිළුම කතාව තමයි අර එක පාරක් ඇමරිකානු පොලීසිය වගේ ලංකාවෙ පොලීසිය හදන්න ඕන කියලා කියපු කතාව, තාමත් හිනා. මේ බ්ලොග් එක පැරඩියක් කියලා හිතෙනවා ඒ වගේ වෙලාවට, ඇමරිකානු ධනවාදය ගැන ලියවෙන වර්ගපූර්ණිකා අංක දෙක (පළවෙනි එක අරුණි චැප්ලින්).

      ///මට වරදින්න පුලුවන් වූ පමණින් ඉර පෙන්නුවහම කිසිම පදනමක් නැතුව නෑ හඳ කියනවනම් මම බාර ගන්න ඕනෑද? දැන් ඔය ඔබේ ඉහත ප්‍රකාශයම වුනත් වැරදියිනේ. මම උපකල්පනය කරන ආකාරය ඔබම නිගමනය කරලා තීන්දුවත් දීලා ඉවරයි.///

      මට හිතෙන්නේ මෙතන වෙලා තියෙන්නෙ බහුතරයකට රාත්‍රී කාලයේ ගණ අඳුර මැදින් අඩ සඳ පායා ඇති ලෙස පෙනෙන වෙලාවක ඉකෝන් අපට ඒක පෙන්නලා අන්න ඉර පායලා කියලා පෙන්නන්නේ. ඉතින් කට්ටිය තර්ක කරනවා මේක ඉර නෙවෙයි දරුවෝ හඳ කියලා. ඒත් ඉකෝන් එතකොට රූස්වෙල්ට් නියමය, ඓසන් හවර් නියමය, ක්ලිංටං සමීකරණය, ඔබමා තියරිය, බයිඩං බයිලා ප්‍රවාදය ආදී රටේ නැති බයිලා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් මාර ගේමක් දෙනවා මහ රෑ දෙගොඩ හරියේ පායලා තියෙන "ඉර" ගැන අපට ඔප්පු කරන්න. අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ මේ කාරණා ගැන මම අමු මෝඩයෙක් නිසා වෙන්න ඇති.

      Delete
    9. මෙහි ප්‍රශ්නය වන්නේ "ඇමරිකා එක්සත් ජනපදයේ ඇත්ත" ලෙස ඇමරිකාවෙන් පිටත බොහෝ දෙනා "දන්නා" දේ ඇත්ත නොවීමයි. ශ්‍රී පාද කන්ද මුදුනේ සීබ්‍රාවන් පිරී සිටින බව එහි ගොස් නැති අය පොදුවේ පිළිගත්තා කියා එහි ගොස් සීබ්‍රාවන් එහි නැති බව දන්නා කෙනෙකුට එය පිළිගන්න පුළුවන්කමක් නැහැ. කවදාවත් ඇමරිකාවේ ජිවත් වෙන්න නොපැමිණියානම් කාලයක් තිස්සේ සමාජවාදීන් විසින් සැලසුම්සහගතව ප්‍රචාරය කර තිබෙන දුර්මත වල කිසියම් හෝ ඇත්තක් තිබිය හැකි බව මා වුවද දිගටම විශ්වාස කරනවා. ඒ නිසා මට මේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන්. එහෙම වුනා කියා ජනප්‍රියත්වය පවත්වා ගැනීම වෙනුවෙන් බොරුව වෙනුවෙන් පෙනී සිටින්න මට අවශ්‍ය නැහැ. නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටියොත් තව අවුරුදු දහයකින් පසුව හෝ මෙය කියවන අයෙකුට ඒ බව තේරෙයි. ඇත්ත හමුවේ අනෙක් අයගේ මානසික ගොඩ නැගුම් වගේම ඇතැම් අයගේ ජිවන මාර්ගයද කඩා වැටීම ගැන හිතා මට බොරුව වෙනුවෙන් පෙනී ඉන්න බැහැ. "ඉකෝන්ට වැරදෙන්න බැරිද?" කියලා අහලා වැඩක් නැහැ. වැරැද්ද පෙන්විය යුතුයි. එහිදීත්, වැරැද්දක් ලෙස පෙන්වන දෙය වැරදිනම් අප නිවැරදි දෙය වෙනුවෙන් තව දුරටත් පෙනී සිටිනවා. පසුගිය වසර හය තුළම අප ලියන දේ විවේචනය කරන්න අප ඇති තරම් අවස්ථාව ලබා දී තිබෙනවා. වෙනත් අය මෙන් අප සමඟ එකඟ නොවන අයගේ ප්‍රතිචාර වාරණය කර නැහැ. "ඇමරිකා එක්සත් ජනපදයේ ඇත්ත" ලෙස සමාජවාදීන් විසින් සැලසුම්සහගතව ප්‍රචාරය කර තිබෙන හා තවමත් ප්‍රචාරය කරන බොරු විශ්වාස කරන තරමට එසේ විශ්වාස කරන අය සිටින රටවල් හා ඇමරිකාව අතර පරතරය තව තවත් වැඩිවෙන එක පමණයි වෙන්නේ. ඇමරිකාව ගැන ඇත්ත ලිවුවා කියලා මට හෝ ඇමරිකාවේ ජීවත් වෙන කිසිවෙකුට වාසියක් වෙන්නේ නැහැ. නොලිවුවා කියලා පාඩුවක් වෙන්නෙත් නැහැ. මා ඇතුළු කිහිප දෙනෙක් මේ දේවල් ලිවුවත් ගොඩක් අය කරන්නේ "ඇමරිකාවට බැණ බැණ ඉඳලා කෙලව ගත්තම තේරෙයි" කියලා කට වහගෙන ඉන්න එකයි. නැත්නම් වාද නොකර එකඟ වෙලා පස්සේ හිනාවෙන එකයි. ඔබට අවශ්‍යනම් ඔබේ මානසික ලෝකයේ දිගටම ඉන්න. එහි වාසිය හෝ පාඩුව ලංකාවේ අනාගත පරම්පරාවට ලැබෙයි. අප සතුව තිබෙන්නේ මොන විදිහෙන් හෝ තර්ක කර දිනීමේ හැකියාවක ශක්තිය නෙමෙයි. ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමේදී ලැබෙන වාසියයි. තර්ක දහසක් අවශ්‍ය වන්නේ බොරුව ඇත්ත කර පෙන්වන අයටයි. ඔබ කියන "කෙස් පැලෙන තර්ක" අවශ්‍ය වන්නේ අපට එරෙහිව එවැනි "කෙස් පැලෙන තර්ක" ඉදිරිපත් කරන අයට ප්‍රතිචාර ලෙසයි. සරල ප්‍රශ්නයක් අහන අයෙකුට අප හැම විටම සරල පිළිතුරක් දෙනවා. එහෙත්, "කෙස් පැලෙන තර්ක" ඉදිරිපත් කරන අය සරල පැහැදිලි කිරීම් වලින් සෑහීමකට පත් වන්නේ නැහැ. ඔවුන්ට දිය යුත්තේ ඔවුන්ට ගැලපෙන පිළිතුරු.

      Delete
    10. සමාජවාදීන්ගේ සැලසුම්සහගත ප්‍රචාර හා ඒවායේ පසුකාලීන ප්‍රතිඵල වලට අමතරව ඇමරිකාව ගැන ඇමරිකාවෙන් පිටත සිටින අය විසින් වැරදි චිත්‍රයක් දකින්න ඇමරිකානු ක්‍රමය තුළ තිබෙන නෛසර්ගික ප්‍රතිවිරෝධතාවන්ට මතු වෙන්න ඉඩ දීමේ ලක්ෂණයද හේතු වෙනවා. මෙය ඉහත කතා කතුගේ ප්‍රතිචාරයෙන් අවධානය යොමු කරන කරුණටද අදාළයි. (ඇත්තටම කතා කතුගේ ප්‍රතිචාරයෙන් පෙනුනේ ඔහු හා මා අතර සන්නිවේදන ගැටළුවක්. මගේ ප්‍රතිචාර හරහා මා කළේ මා ලියූ දෙයින් අදහස් කළ දෙය පැහැදිලි කිරීමයි. මෙහිදී කතා කතු කියන දෙය කරුණක් ලෙස නිවැරදියි. එහෙත් මා කොළේ වසා ගැහීමක් කළේද නැහැ. මුල් ප්‍රතිචාරයෙන් කොළේ වසා ගැහීම කුමක්ද කියා ඔහු පැහැදිලි කර තිබුණේත් නැහැ. පැහැදිලිව කිවුවානම් මුල් වරම වඩා පැහැදිලි පිළිතුරක් දෙනවා.)

      ධනවාදී ක්‍රමයක් තුළ හැම මොහොතකම පවතින තත්ත්වය ධනවාදී පරමාදර්ශයෙන් බැහැර වෙනවා. ධනවාදය කියා කියන්නේම එසේ පරමාදර්ශයෙන් බැහැර වීම ගැන සමාජයක් ලෙස සවිඥානකව සිටිමින් එසේ පරමාදර්ශයෙන් බැහැර වන හැම විටකම නැවත හරි පාරට දමා ගන්න එකටයි. මේ හරි පාරට දමා ගැනීම සිදු වන්නේ ලාබ ලැබීමේ අවස්ථාවක් ඇති වීම හා කවුරු හෝ කෙනෙක් අනෙක් අයට පෙර එම අවස්ථාව ලබා ගැනීමත් සමඟ එම අවස්ථාව තව දුරටත් නැති වීම එක්කයි. සමහර කරුණු වලදී තත්ත්වය සංකීර්ණයි. පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදුවන ගනුදෙනු වලින් සරල ලෙස ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. එවිට යම් සාමූහික ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය වෙනවා. පාරිසරික ප්‍රශ්න වගේ දේවල් තියෙන්නේ මේ ගොඩේ. එහෙත් ඒ වගේ අවස්ථා වල සාමූහික ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව තීරණය වන්නේත් ධනවාදී පරමාදර්ශයට සාපේක්ෂවයි. මෙහිදී වෙනස් වන්නේ ක්‍රියාකාරිත්වයේ ස්වරූපයයි. පරමාදර්ශය එලෙසම තිබෙනවා. මේ අර්ථයෙන් ධනවාදී පරමාදර්ශය වියුක්ත දෙයක් වුවත් එය ඇමරිකානු සමාජය තුළ "පවතින" දෙයක් බවට පත් වී තිබෙනවා.

      භාණ්ඩ හා සේවා වෙළඳපොළේ සිදුවන ඉහත ක්‍රියාවලියට සමාන්තර දෙයක් ඇමරිකාවේ "අදහස් වෙළඳපොළේත්" සිදු වෙනවා. ඇමරිකන් සමාජය පොදුවේ සවිඥානිකව සිටින කිසිම් පරමාදර්ශී තත්ත්වයක් තිබෙනවා. එම තත්ත්වයෙන් බැහැර වෙන හැම විටකම ඇමරිකන් සමාජය ඇතුළෙන්ම විශාල ප්‍රතිරෝධයක් එනවා. ඒ ප්‍රතිරෝධයත් එක්ක වාහනේ හරි පාරට වැටෙනවා. විය යුතු පරිදිම ඇමරිකන් මාධ්‍ය වල පොඩි වැරැද්දකට ලොකු ප්‍රචාරයක් ලැබෙනවා. වැරැද්ද නිවැරදි වීම සඳහා එය අවශ්‍යයි. එය ඇමරිකන් ක්‍රමයේම කොටසක්. වාහනේ පොඩ්ඩක් ඉර කපපු එක ගැන මිසක් හැතැම්ම සිය ගාණක් ඉර නොකපා ධාවනය කිරීම ගැන ඇමරිකන් මාධ්‍ය කතා කරන්නේ නැහැ. ඇමරිකන් ක්‍රමය ඇතුළේ එහෙම කතා කරන්න අවශ්‍ය වන්නේත් නැහැ. එය සාමාන්‍ය තත්ත්වය බව ඇමරිකාවේ ජිවත් වන කවුරුත් දන්නවා. වෙනත් රටවල සිදු වෙනවා වගේ තමන්ගේ හොඳ ගැන හැමදාම රජය මුල් වී සැලසුම්සහගත මාධ්‍ය ප්‍රචාර කළ විට සිදුවන්නේ රටක වැරදි නිවැරදි වීමේ යාන්ත්‍රනය ඇන හිටීමයි. ඇමරිකාවට වැදගත් ඇමරිකාවේ සිදු වන පොඩි හෝ වැරැද්ද ගැන කවුරු හෝ කතා කිරීමයි. (ඇමරිකාව ගැන කතා කළත් මේ කරුණු අඩු වැඩි වශයෙන් වෙනත් බටහිර රටවලටද පොදුයි.)

      ඇමරිකාවේ සහ වෙනත් ඇතැම් රටවල මේ වෙනස නිසා ඇමරිකාවෙන් පිටත සිටින අයට බොහෝ විට පෙනෙන්නේ ඇමරිකාවේ වැරදි පමණයි. හැමදාම ඉර කපාගෙන වාහනේ එළවන අය ඇමරිකාවේ වාහනයක් එක දවසක් එක තැනක ඉර කපපු එක ගැන ලොකුවට කතා කරනවා. මේ විදිහට ඇමරිකාව ඇතුළෙන් වගේම රටින් පිටතද ඇමරිකන් ක්‍රමය විවේචනය වීම ඇමරිකාවට ඉතාම වාසිදායකයි. මේ විවේචන නිසා ඇමරිකාවේ පොඩි වැරදි පවා හැදෙනවා. ලොව පුරාම ඉන්න සමාජවාදීන් විසින් මේ වැරදි අතිශයෝක්තියට නගා ප්‍රචාරය කරන එකෙන්ද ඇමරිකාවට අවාසියකට වඩා වාසියක් වෙනවා වෙන්න පුළුවන්. ඔබ සඳහන් කරන පොලිස් උදාහරණයම ගත්තත් ඇමරිකාවේ පොලීසිය ලංකාවේ පොලීසියට වඩා සිය දහස් ගුණයක් හොඳ බව ඇමරිකාවේ හා ලංකාවේ පොලීසි ගැන සංසන්දනාත්මකව දැකිය හැකි ඕනෑම කෙනෙකුට ඉතාම පැහැදිලි කරුණක්. එහෙත් එයින් කියැවෙන්නේ පරිපූර්ණ බව නෙමෙයි. ඇතුළෙන් හා පිටතින් කරන විවේචන නිසා සිදුවන්නේ ඇමරිකන් පොලීසියේ තිබෙන අඩුපාඩු තවත් අඩුවෙන එකයි.

      Delete
    11. @ ඇනෝ June 6, 2021 at 1:51 AM

      මට හිතෙන්නේ ඔබ හරි කියලයි. කණගාටුයි, ඉකනො දැන් "අරුණී" බවට පත්වෙමින් ඉන්නවා. ඒ විතරක් නම් බැරියෑ, සහෝදරයන්ගෙ "මාගල්" ක්‍රමවේදෙත් කුලියට අරගෙන වගේ. මේක බොහොම කෙටියෙන් කතා කතු පැහැදිලි කලා: "ධනවාදෙ ඇපිල්ලීම" සහ "කොලේ වහලා ගැහීම"

      Delete
  6. හොඳයි, මෙන්න මේ කතාව වැදගත්.
    "ධනවාදී ක්‍රමයක් තුළ හැම මොහොතකම පවතින තත්ත්වය ධනවාදී පරමාදර්ශයෙන් බැහැර වෙනවා. ධනවාදය කියා කියන්නේම එසේ පරමාදර්ශයෙන් බැහැර වීම ගැන සමාජයක් ලෙස සවිඥානකව සිටිමින් එසේ පරමාදර්ශයෙන් බැහැර වන හැම විටකම නැවත හරි පාරට දමා ගන්න එකටයි."

    මා සිතන්නේ ඕනෑම සමාජයක මෙය සිදු වන ස්වභාවික ක්‍රියාවලියක්. උදාහරණයක් ලෙස තලේබාන් පාලනයක් යටතේ ඇෆ්ගනිස්ථානයේ සිදු වූයේත් මෙයමයි. ඔබේ විග්‍රහයේ "ධනවාදය" යන්න වෙනුවට "ඉස්ලාමය" යන්න යෙදුවොත් එය පැහැදිළි වෙයි. මේ ක්‍රියාවලිය හේතුවෙන් ධනවාදය ලෝකයේ හොඳම වාදය වී අනෙක් ඒවා නරක වන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. //මා සිතන්නේ ඕනෑම සමාජයක මෙය සිදු වන ස්වභාවික ක්‍රියාවලියක්.//
      //මේ ක්‍රියාවලිය හේතුවෙන් ධනවාදය ලෝකයේ හොඳම වාදය වී අනෙක් ඒවා නරක වන්නේ නෑ.//

      පළමුව, ධනවාදය මගින් විස්තර කරන්නේද කොහොමටත් සිදු වන ස්වභාවික ක්‍රියාවලියක් (මේ ප්‍රකාශය වලංගු නොවන අවස්ථා තිබුණත් එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි). වෙනස් වන්නේ එම ස්වභාවික ක්‍රියාවලිය කිසියම් සමාජයක කොයි තරම් දුරට පිළි ගැනීමට ලක් වෙනවාද කියන එකයි. ධනවාදී පරමාදර්ශය මගින් යෝජනා කෙරෙන්නේ මේ ස්වභාවික ක්‍රියාවලිය සිදු වෙන්නට ඉඩ දිය යුතු බවයි. ඒ අනුව, හරි පාරට දමා ගැනීම යනු එම ධනවාදී පරමාදර්ශයෙන් බැහැර වෙද්දී නැවත ධනවාදී පරමාදර්ශය වෙත පැමිණීමයි.

      ඔබ කියනවාක් මෙන් වෙනත් පරමාදර්ශයක් මත පදනම් වූ සමාජයකද මේ ආකාරයෙන් "හරි පාරට" දමා ගැනීමේ ක්‍රියාවලියක් සිදු වෙනවා. නමුත් එම "හරි පාර" වෙනත් එකක්. මාක්ස්වාදයේදී පරමාදර්ශය වන්නේ මාක්ස් කියා ඇති දේ. එම පරමාදර්ශයේ හරය වන්නේ කොහොමටත් සිදු වන ස්වභාවික ක්‍රියාවලිය ඔහු යෝජනා කරන ආකාරයට වෙනස් කිරීම.

      වෙනස්කම තිබෙන්නේ හරි පාරට දමා ගැනීම කියන කරුණේ නෙමෙයි. දමා ගන්න හරි පාර කුමක්ද කියන කාරණයේදී. ලිපි පෙළ ආරම්භයේදීම මේ පරමාදර්ශ විස්තර කරමින් සංසන්දනය කිරීමක් කළේ ඒ නිසා.

      ධනවාදය ලෝකයේ හොඳම වාදය කියා මම කොහේවත් සාධාරණ ප්‍රකාශයක් සිදු කර නැහැ. මම එය සංසන්දනය කරන්නේ නිශ්චිත පර්යේෂණ ගැටළුවකට විසඳුම් සේ යෝජනා වී තිබෙන සංසන්දනය කළ හැකි වෙනත් විකල්ප සමඟයි. මාක්ස්වාදය එවැනි විකල්පයක්. තලේබාන් වරුන් විසින් යෝජනා කර තිබෙන වෙනත් ආර්ථික ක්‍රමයක් ගැන මම දන්නේ නැහැ. ඉස්ලාම් ආගම විසින් යෝජනා කෙරෙන ආර්ථිකය හා සම්බන්ධ ඇතැම් වෙනස් දේවල් තිබෙනවා. උදාහරණයක් විදිහට පොලිය වෙනුවට ලාබ බෙදාගැනීම වැනි දේවල්. එහෙත් මේ වෙනස්කම් බාහිර වෙනස්කම් පමණයි. ඉස්ලාමය මාක්ස්වාදය මෙන් නිදහස් වෙළඳපොළට හෝ පෞද්ගලික දේපොළ ක්‍රමයට විරුද්ධ නැහැ. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සම්පත් බෙදීම සඳහා ධනවාදය විසින් යෝජනා කරන පරමාදර්ශයට වඩා හොඳ වෙනත් පරමාදර්ශයක් තිබේනම් එය විස්තර කරන ලෙස මා කළ විවෘත අභියෝගයට තවමත් කිසිවෙකුගෙන් පිළිතුරක් ලැබී නැහැ. මේ ප්‍රශ්නයට කාගෙන් හෝ පිළිතුරක් ලැබුනොත් මිස මේ ගැන තවදුරටත් වාද කිරීමේ අවශ්‍යතාවයක් ඇතැයි මම හිතන්නේ නැහැ.

      ධනවාදයට වඩා හොඳ විකල්පයක් "තියෙන්න පුළුවන්" කියන එකත් "තියෙනවා" කියන එකත් දෙකක්. මාක්ස්ගෙන් පසුව වෙනත් කිසිවෙකු විසින් ධනවාදයට පුළුල් විකල්පයක් යෝජනා කර නැහැ. මාක්ස්වාදය පරමාදර්ශයක් ලෙසම වැරදියි. ඒ බව මම ප්‍රමාණවත් තරමින් පැහැදිලි කර තිබෙනවා. ඒ නිසා මාක්ස්වාදී පරමාදර්ශයෙන් පිට පනිද්දී "හරි පාරට" දමා ගැනීම කියා කියන්නේම වැරදි පාරට දමා ගැනීමක්. ධනවාදයට එරෙහිව ඉදිරිපත් වී තිබෙන ප්‍රධානම විකල්පය නිශේධනීය එකක්නම් සහ වෙනත් තෙවන විකල්ප කිසිවක් ඉදිරිපත් වී නැත්නම්, සාකච්ඡාව ඉදිරියට ගෙනයාම සඳහා අඩු වශයෙන් තාවකාලික කල්පිතයක් (working hypothesis) ලෙස හෝ ධනවාදී පරමාදර්ශය පිළිගන්න වෙනවා. [එසේ පිළිගැනීම අපහසු කෙනෙක් පළමුව තමන්ගේ විකල්පය ඉදිරිපත් කළ යුතුයි.]

      හරි පාරට දමා ගැනීම කියන කොටස ඔබ තේරුම් ගත යුත්තේ මේ සන්දර්භයේ සිටයි. මා මේ හරි පාරට දමා ගැනීම ගැන කතා කරන්නේම අනෙක් විකල්ප බැහැර කිරීමෙන් පසුව ධනවාදයේ ප්‍රායෝගික භාවිතාව සාකච්ඡාවට බඳුන් කරන සන්දර්භයකයි. මෙහිදී මා සංසන්දනය කරන්නේ පරමාදර්ශී ධනවාදය සහ සැබෑ ලෝකයේ (උදාහරණයක් ලෙස ඇමරිකාව වැනි රටක) දැකිය හැකි ධනවාදයයි. මෙතැනට පැමිණීමෙන් පසු අනෙක් විකල්ප ගැන කතා කිරීමේ තේරුමක් නැහැ. මෙහි අරමුණ වන්නේ පරමාදර්ශී ධනවාදය පිළිබඳ වැරැද්දක් නොදකින, එහෙත් ඇමරිකාව වැනි රටක සිදුවන ඇතැම් දේ ගැන ප්‍රශ්න තිබෙන අයට එම ප්‍රශ්න "ඇමරිකාවේ ප්‍රශ්න" හෝ "ධනවාදයෙන් බැහැර වීමේ ප්‍රශ්න" මිස ධනවාදයේ ප්‍රශ්න නොවන බව පැහැදිලි කිරීමයි.

      Delete
    2. ඔබේ මේ ලිපි මාලාව ධනවාදය ගැන ප්‍රචාරක උපකරණයක් ලෙස පමණක් සළකාගෙන සිටියේ නම් ප්‍රශ්නය පැන නගින්නේම නෑ. ඇත්ත වශයෙන් "හරි පාරට දමා ගැනීම කියන කොටස ඔබ තේරුම් ගත යුත්තේ මේ සන්දර්භයේ සිටයි. මා මේ හරි පාරට දමා ගැනීම ගැන කතා කරන්නේම අනෙක් විකල්ප බැහැර කිරීමෙන් පසුව ධනවාදයේ ප්‍රායෝගික භාවිතාව සාකච්ඡාවට බඳුන් කරන සන්දර්භයකයි. මෙහිදී මා සංසන්දනය කරන්නේ පරමාදර්ශී ධනවාදය සහ සැබෑ ලෝකයේ (උදාහරණයක් ලෙස ඇමරිකාව වැනි රටක) දැකිය හැකි ධනවාදයයි. මෙතැනට පැමිණීමෙන් පසු අනෙක් විකල්ප ගැන කතා කිරීමේ තේරුමක් නැහැ...." යනාදී වශයෙන් ඔබේ විස්තර කරන්නේ මෙයයි.

      නැවතත් මෙය අප දෙදෙනාගේ ඇදහිළි අතර වෙනස මිස වෙනකක් නොවේ. ඔබ ධනවාදය අදහන අතර මා ප්‍රශ්න අසන්නේ ඇදහිල්ලෙන් පිට සිටයි. ඇදහිල්ලෙන් පිට සිටින මා හට ධනවාදය සමාජවාදය හා තලේබාන්වාදය අතර සංකල්පීය වශයෙන් වෙනසක් නෑ.

      එසේම "ඇදහිල්ල" යන වචනය මදක් පැහැදිළි කළහොත් "ධනවාදය මගින් විස්තර කරන්නේද කොහොමටත් සිදු වන ස්වභාවික ක්‍රියාවලියක් (මේ ප්‍රකාශය වලංගු නොවන අවස්ථා තිබුණත් එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි). වෙනස් වන්නේ එම ස්වභාවික ක්‍රියාවලිය කිසියම් සමාජයක කොයි තරම් දුරට පිළි ගැනීමට ලක් වෙනවාද කියන එකයි. ධනවාදී පරමාදර්ශය මගින් යෝජනා කෙරෙන්නේ මේ ස්වභාවික ක්‍රියාවලිය සිදු වෙන්නට ඉඩ දිය යුතු බවයි." යනුවෙන් ඔබ ඔබේ ඇදහිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

      මා මෙය අදහන්නේ නැතිවා පමණක් නොව එය අතාර්කික ප්‍රකාශයක් ලෙසත් බැහැර කරනවා. "කොහොමටත් සිදු වන ස්වභාවික ක්‍රියාවලියක්" නම් එය "කිසියම් සමාජයක කොයි තරම් දුරට පිළි ගැනීමට ලක් වෙනවාද" යන්න පැන නැගිය හැකි ගැටළුවක් විය නොහැකියි. එවැනි ගැටළුවක් පැන නගින්නේම ධනවාදය කොහොමටත් සිදු වන ස්වභාවික ක්‍රියාවලියක් නොවන බැවිණි.

      Delete
    3. //ඔබේ මේ ලිපි මාලාව ධනවාදය ගැන ප්‍රචාරක උපකරණයක් ලෙස පමණක් සළකාගෙන සිටියේ නම් ප්‍රශ්නය පැන නගින්නේම නෑ.//

      මෙය තීරණය වන්නේ ඔබ ප්‍රචාරක උපකරණයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක මතයි. ඔබ හෝ මා බ්ලොග් එකේ ලියන ඕනෑම දෙයක් වගේම ඔබ හෝ මා මෙහි දමන ඕනෑම ප්‍රතිචාරයක්ද එක්තරා ආකාරයක ප්‍රචාරක උපකරණ සේ සැලකිය හැකියි. ඒ අර්ථයෙන් මා මෙහි ලියන හැම දෙයක්ම ප්‍රචාරක උපකරණයක්. ඒ හැර, මේ ලිපියේ හෝ ධනවාදය ගැන ලියා ඇති වෙනත් ලිපි වල කිසිදු විශේෂත්වයක් නැහැ. මගේ පෞද්ගලික අදහස් හා මා තේරුම් ගන්නා ආකාරයෙන් මගේ ලෝකය පිළිබඳව මෙහි ලිවීමෙන් මා කරන්නේ මගේ අදහස් හා මගේ ලෝකය ප්‍රචාරණය කිරීමක්. ධනවාදය ගැන ලියන දේවල් වලටත් මෙය වලංගුයි.

      //ඔබ ධනවාදය අදහන අතර මා ප්‍රශ්න අසන්නේ ඇදහිල්ලෙන් පිට සිටයි.//

      මා සම්බන්ධව ඔබේ නිගමනය මම ප්‍රශ්න කරන්නේ නැහැ. මා ධනවාදය අදහන්නේය යන ඔබ විශ්වාස කරන කරුණ නිවැරදි වුවත් නැතත්, ඔබ මෙය කියවීමේදී කිසිසේත්ම ධනවාදය ඇදහිය යුතු නැහැ. මා මෙම ලිපි පෙල ආරම්භ කළේ ඔබ වැනි (ඔබට අවශ්‍යනම් නිවැරදි කිරීමට යටත්ව මම තේරුම් ගන්නා හැටියට ධනවාදය හෝ එයට විකල්ප ආර්ථික ක්‍රමයක් නිශ්චිත ලෙස විශ්වාස නොකරන) අය ඉලක්ක කර ගෙන නෙමෙයි. එසේ වුවත් මෙම ලිපි පෙළ සම්බන්ධව ඔබේ උනන්දුව මම ඉතාම අගය කරනවා. මා මේ ලිපි පෙළ මගින් කරමින් සිටින්නේ කාලයක් තිස්සේ මා විසින් මාක්ස්වාදය විවේචනය කරද්දී ඉදිරිපත් වූ, මේ වන තුරු ප්‍රමාණවත් තරමින් පිළිතුරු දීමට නොහැකි වූ, අදහස් වලට පිළිතුරු දීමක්. මා ලියන දේවල් වලට ඉතා පුළුල් පරාසයක පැතිරුණු විවේචන එල්ල වෙනවා. සමහර ප්‍රතිචාර වලට කෙටි පිළිතුරක් දෙන්න අමාරුයි. ඇතැම් ලිපි වලට ප්‍රතිචාර ලෙස දිගු පිළිතුරු අවශ්‍ය ප්‍රතිචාර ගණනාවක් ඉදිරිපත් වෙනවා. ඒ සියල්ලටම එක වර පිළිතුරු ලියන්න අමාරුයි. මේ ලිපි පෙලෙන් මම කළේ එක්තරා ආකාරයකින් "ඇරියස් කවර් කිරීමක්". අදාළ මුල් ප්‍රතිචාර දැමූ අය දැන් මෙය කියවනවාද නැද්ද කියන එක මම ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. අහල තිබෙන ප්‍රශ්න පිළිතුරු සැපයිය යුතු තරම් වැදගත් ප්‍රශ්නනම් මම ඒ ප්‍රශ්න වලට පිළිතුරු සැපයිය යුතුයි. මගේ ලිපි කියවන වෙනත් අයෙකුට වුවත් පසුව එම ප්‍රශ්නම මතු විය හැකි නිසාත්, එකවර විශාල පරාසයක ප්‍රශ්න වලට කාලය මිඩංගු කළ නොහැකි නිසාත්, මේ දේවල් සටහන් කර තැබීම මට වැදගත්. එවිට නැවත එවැනිම ප්‍රශ්නයක් මතු වූ විට මට පහසුවෙන්ම අදාළ ලිපියට යොමුවක් දැමිය හැකියි.

      //ඇදහිල්ලෙන් පිට සිටින මා හට ධනවාදය සමාජවාදය හා තලේබාන්වාදය අතර සංකල්පීය වශයෙන් වෙනසක් නෑ.//

      ඔබට ඇදහිල්ලක් තිබුණත් නැතත් එක් අයෙකුට වැඩි පිරිසකගේ දායකත්වයෙන් නිපදවන දෙයක් එම පිරිස අතර බෙදී යන කිසියම් ආකාරයක් තිබෙනවා. මෙහි මා කතා කරන මූලික පර්යේෂණ ගැටළුව එයයි. ඔබ ඇදහිල්ලෙන් පිට සිටිනවා කියන එකෙන් අදහස් වෙන්නේ කුමක්ද? එය මොන විදිහට බෙදුනත් ඔබට ප්‍රශ්නයක් නැහැ කියන එකද? ධනවාදය හා මාක්ස්වාදය තුළ මේ ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරු යෝජනා කරනවා. මා ලිපි මාලාව තුළ මුලින්ම පැහැදිලි කළේ එම පිළිතුරු මොනවාද කියන එකයි. ඒ දෙක සංකල්පීය වශයෙන් සමාන නැහැ. ඔබ එසේ කියනවානම් මේ ලිපි පෙළේ මුල් ලිපි වලින් පැහැදිලි කළ දේවල් ඔබට සන්නිවේදනය වී නැහැ.

      තලේබාන්වාදය නම් වූ වෙනත් ආර්ථික ක්‍රමයක් ගැන මම හදාරලා නැහැ. ඒ නිසා එය සංකල්පීය වශයෙන් වෙනස්ද සමානද කියන එක මම දන්නේ නැහැ. එය කුමක්ද කියා ඔබට විස්තර කළ හැකිනම් ඒ ගැන කතා කළ හැකියි. ඒ වගේම ධනවාදය හා සමාජවාදය සංකල්පීය ලෙස සමාන වන්නේ කොහොමද කියන එක පැහැදිලි කළොත් ඒ ගැන වැඩිදුර කතා කළ හැකියි.

      ඔබ ධනවාදය හෝ මාක්ස්වාදය මගින් යෝජනා කරන බෙදීම් පිළිගන්නේ නැත්නම් එක්කෝ වෙනත් තෙවන ස්ථාවරයක් වෙනුවෙන් පෙනී ඉන්න වෙනවා. නැත්නම් කිසිම ස්ථාවරයක් නොගෙන ඕනෑම පවතින තත්ත්වයක් සතුටින් භාර ගන්න වෙනවා. ඔබ අදහස් කරන්නේ මේ දෙකෙන් කොයි එකද කියා මට පැහැදිලි නැහැ.

      //මා මෙය අදහන්නේ නැතිවා පමණක් නොව එය අතාර්කික ප්‍රකාශයක් ලෙසත් බැහැර කරනවා. "කොහොමටත් සිදු වන ස්වභාවික ක්‍රියාවලියක්" නම් එය "කිසියම් සමාජයක කොයි තරම් දුරට පිළි ගැනීමට ලක් වෙනවාද" යන්න පැන නැගිය හැකි ගැටළුවක් විය නොහැකියි. එවැනි ගැටළුවක් පැන නගින්නේම ධනවාදය කොහොමටත් සිදු වන ස්වභාවික ක්‍රියාවලියක් නොවන බැවිණි.//

      සිංහයින් අප්‍රිකාවේ කැලෑවක සිටීමත්, දෙහිවල සත්තු වත්තේ කූඩුවක සිටීමත් යන දෙකම එක සේ ස්වභාවිකයැයි ඔබ හිතනවානම් ඒ අර්ථයෙන් ඔබේ තර්කය නිවැරදියි.

      Delete
    4. //එසේම "ඇදහිල්ල" යන වචනය මදක් පැහැදිළි කළහොත් "ධනවාදය මගින් විස්තර කරන්නේද කොහොමටත් සිදු වන ස්වභාවික ක්‍රියාවලියක් (මේ ප්‍රකාශය වලංගු නොවන අවස්ථා තිබුණත් එය සාමාන්‍ය තත්ත්වය නෙමෙයි). වෙනස් වන්නේ එම ස්වභාවික ක්‍රියාවලිය කිසියම් සමාජයක කොයි තරම් දුරට පිළි ගැනීමට ලක් වෙනවාද කියන එකයි. ධනවාදී පරමාදර්ශය මගින් යෝජනා කෙරෙන්නේ මේ ස්වභාවික ක්‍රියාවලිය සිදු වෙන්නට ඉඩ දිය යුතු බවයි." යනුවෙන් ඔබ ඔබේ ඇදහිල්ල ඉදිරිපත් කර තිබෙනවා.//

      ඔබ මෙසේ හිතන්න හේතුව මට පැහැදිලියි. "ධනවාදය මගින් විස්තර කරන්නේද කොහොමටත් සිදු වන ස්වභාවික ක්‍රියාවලියක්" කියද්දී මා අදහස් කරන්නේ මාක්ස්වාදය විසින් ඉදිරිපත් කරන සමාජ ප්‍රගමනයේ අවධි පිළිබඳ අදහස වැනි දෙයක් ගැන නෙමෙයි. ධනවාදය තුළ කිසිසේත්ම එවැනි උපකල්පනයක් නැහැ. මා එවැන්නක් ගැන කියනවානම් ඉතා පැහැදිලිවම එය ඇදහිල්ලක්. මෙහි "ස්වභාවික ක්‍රියාවලියක්" කියන එකෙන් අදහස් කළේ නිදහස් පරිසරයකදී මිනිසුන් ස්වභාවිකවම හැසිරෙන ආකාරය යන අදහසින්. මෙය පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි දෙයක්. ඒ වගේම පිළිගැනීමට ලක්වීම කියන එකෙන් මට කියන්නට අවශ්‍ය වූ දෙය හරියටම සන්නිවේදනය වී නැහැ. මෙයින් අදහස් කළේ පුද්ගලයින් අතර සිදුවන ගනුදෙනු වලට ඔවුන්ගේ අකැමැත්තෙන් හා බලහත්කාරයෙන් මැදිහත් නොවී සිටීම ගැනයි. ස්වභාවිකත්වය කියන එක නිරවුල් අදහසක් නොවන නිසා, මෙයද ස්වභාවික තත්ත්වයම ලෙස ඔබ කරන තර්කය මට බැහැර කළ නොහැකියි. මගේ ප්‍රතිචාරයේ ඉහත කොටස, ඔබේ ප්‍රතිචාරයට පිළිතුරක් ලෙස එතරම්ම වැදගත් නොවන නිසා මම මේ ගැන මීට වඩා විස්තර කරන්න යන්නේ නැහැ.

      Delete
    5. පෙරහැරේ යන කෙනාට පෙරහැර පේන්නෙ නෑ, ඉකෝන්. පෙරහැර පේන්නෙ, පිටින් බලා ඉන්න අපිටයි. ඔබ ධනවාදයේ ඇති ප්‍රශ්ණ සාකච්චා කරන්න, මෙච්චරම අකමැති ඇයි? අදට වඩා සාධාරණ ආර්ථික ක්‍රමයකට, අනාගත ධනවාදය පරිනාමය වෙනවා දකින්න කැමතිම නැද්ද? "free economy always self regulate if not disturbed " කියන තර්කයට එකඟ වෙන්න බැරි, පරස්පර විරෝධී සාධක ඇති නිසයි. ඔබ භක්තිමත් ධනවාදියෙක්, ඒ නිසා සමබර සාකච්චාවකට ඉඩක් තියනවා කියල හිතන්න අමාරුයි.

      Delete
    6. //ඔබ ධනවාදයේ ඇති ප්‍රශ්ණ සාකච්චා කරන්න, මෙච්චරම අකමැති ඇයි? අදට වඩා සාධාරණ ආර්ථික ක්‍රමයකට, අනාගත ධනවාදය පරිනාමය වෙනවා දකින්න කැමතිම නැද්ද? "free economy always self regulate if not disturbed " කියන තර්කයට එකඟ වෙන්න බැරි, පරස්පර විරෝධී සාධක ඇති නිසයි. ඔබ භක්තිමත් ධනවාදියෙක්, ඒ නිසා සමබර සාකච්චාවකට ඉඩක් තියනවා කියල හිතන්න අමාරුයි.//

      වැරදි අදහසක්. "free economy *always* self regulate if not disturbed " කියා මම කොහෙවත් කියලා නැහැ. නමුත්, "සාමාන්‍යයෙන්" එසේ වෙනවා. එසේ නොවන අවස්ථා වල එසේ එසේ නොවන්නේ ඇයි කියන එක පරික්ෂා කරන්න වෙන්නෙත් "ideal free economy" එකකට සාපේක්ෂවයි. එහෙම නැත්නම් self regulate නොවන බව කියන්නේ කොහොමද?

      ඔබ පේලි අතර කියවන්නෙක් නොවී ඔබගේ පූර්ව නිගමන වලින් බැහැරව මා ලියා දේ ඇති එලෙසම කියවනවානම් ඔය ඔබ කියන කරුණ මේ ලිපියේම වුවත් ලියා තිබෙන බව නොපෙනෙන්න හේතුවක් නැහැ.

      "වෙළඳපොළ අකාර්යක්ෂමතාවයක් දැකිය හැකි අවස්ථාවක ධනවාදී ආර්ථික විද්‍යාඥයෙක් ගැටළුව විග්‍රහ කරන්න පටන් ගන්නේ ධනවාදී පරමාදර්ශයට සාපේක්ෂවයි. එහිදී එම අකාර්යක්ෂමතාවයට හේතු වී තිබෙන ගැටලුව පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. මෙය බොහෝ විට වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට තිබෙන ස්වභාවික හෝ කෘතීම බාධාවක්. විසඳුම වන්නේ අදාළ බාධාව ඉවත් කිරීමයි. බාධාව ඉවත් කිරීමෙන් පසුව කාර්යක්ෂමතාවය ඉහළ යනවා. මෙහිදී සිදුවන්නේ ධනවාදයට වඩා හොඳින් ක්‍රියාත්මක වෙන්න ඉඩ දීමක්."

      ඔබ කියන සාකච්ඡාව කරන්න එන ගොඩක් එය එසේ එන්නේ "free economy" එකක් කියන්නේ කුමක්ද කියා නොදැන සහ වෙනත් පරමාදර්ශයක් කෙරෙහි විශ්චාස කරමින්. ඒ වගේම, ඔබ කියන සාකච්ඡාව කරන එක දේශපාලනිකව වැදගත් වන්නේ මා එය "free economy always self regulate if not disturbed " කියා සිතන අය සමඟ කරනවානම් පමණයි. මේ විදිහට හිතන අය මේ බ්ලොග් එක කියවන අය අතර ඇත්තේම නැති තරම්. කවුරුවත් පිළිනොගන්නා දෙයක් ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ.

      මේ විදිහට හිතන ඇමරිකානුවන් සමඟ අවශ්‍ය තැන් වලදී මම මේ සාකච්ඡාව කරනවා. ලංකාව වගේ සමාජවාදී රටකට මේ සාකච්ඡාවෙන් දේශපාලනිකව වැඩක් නැහැ වගේම බොහෝ විට එයින් වෙන්නේ අයහපතක්. "free economy" එකක් නැති නිසා වල පල්ලට යමින් තිබෙන සමාජයකට "free economy" එකක තිබෙන අඩුපාඩු එම අඩුපාඩු වලට ප්‍රමුඛතාවයක් දෙමින් කතා කරලා වැඩක් නැහැ. ඒක දවස් තුනක් බඩගින්නේ හිටපු කෙනෙක් ප්ලේන්ටී එකක් බොන කොට සීනි වලින් දියවැඩියාව හැදෙන බව පැහැදිලි කර කහට බොන්න යෝජනා කරනවා වගේ වැඩක්. වත්මන් උදාහරණයක් ගත්තොත් කෝවිඩ් එන්නත් වල අතුරු විපාක හා අනාගතයේ සිදු වෙන්නට ඉඩක් තිබෙනවායැයි ඇතැම් අය විසින් පරිකල්පනය කරන හානි වලට අධි ප්‍රමුඛතාවයක් දෙනවා වගේ වැඩක්.

      ඒ වගේම පවතින ධනවාදය කියා කියන්නේ ලෝක මට්ටමෙන් ක්‍රියාත්මක වන දෙයක්. එය පරිණාමය වන්නේ එහි වඩාත්ම දියුණු අදියරේ සිටයි. ධනවාදය ඉතා අඩු මට්ටමකින් ක්‍රියාත්මක වන පරිධියේ රටක සිදුවන දෙයකින් ධනවාදය ක්‍රියාත්මක වන ආකාරය වෙනස් වෙන්නේ නැහැ. පරිධියේ රටකට එවැනි බලපෑමක් කරන්න පුළුවන් වෙන්නේ පළමුව තමන් දැන් ඉන්න තත්ත්වයෙන් මිදී ආර්ථික වශයෙන් ඉදිරියට පැමිණීමෙන් පමණයි. එය කරන්න වෙන්නේ ධනවාදයේ පවතින ස්වරූපය හඳුනා ගෙන ඒ හා අනුගත වීමෙන්. එසේ නොකරන තාක් කවදාවත් දැන් ඉන්න තැනින් ඉස්සරහට යන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඔබ කියන "අදට වඩා සාධාරණ ආර්ථික ක්‍රමය" හදන්න කිසිදු දැනෙන තරමේ දායකත්වයක් දෙන්න ලැබෙන්නෙත් නැහැ. කාර් එකක් එලවද්දී සයිඩ් කන්නාඩි හරියට සකස් කර ගත යුතුයි. බයිසිකලේක යන ගමන් එය කරන විදිහ ගැන කෙස් පැලෙන තර්ක කරලා වැඩක් නැහැ. ඉස්සෙල්ලා හිතන්න ඕනෑ කාර් එකක් ගන්න විදිහ ගැනයි.

      Delete
    7. ඉතාම හොඳ උපමාවක්! සමාජවාදීන් විසින් කරන්නේ ඉතා හොඳින් පියාඹන සුදු කොකෙකුගේ තටුවක පොඩි කළු කොටසක් පෙන්වමින් ඒ ගැන අතිශයෝක්තියෙන් කතා කරමින්, පියාඹන්න බැරි කළු තාරාවෙක් අගය කරන එකයි. මේ කළු තාරාවා පියාඹන විට උගේ සුදු කොටස පෙනෙන බව කියන නමුත් කවදාවත් එය සිදු වී නැහැ. ධනවාදය ගැන නොදන්නා අය නොදන්නා කමට මෙවැනි විවේචන කළත් ධනවාදී රටවලට සංක්‍රමණය වී ධනවාදයේ යහපත් ප්‍රතිඵල හොඳින්ම දකින, එම ප්‍රතිඵල භුක්ති විඳින අය විසින්ම මේ විවේචන කරන එකයි කණගාටුවට කරුණ. මෙයට කුහකකම කියනවා හැර වෙනත් සුදුසු වචනයක් මට මතක් වෙන්නේ නැහැ. ලංකාව විනාශ වන තුරු බලා සිටින හොරට නිදා ගෙන ඉන්න අයගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් ඇහැරෙන්නේ නැහැ.

      Delete
    8. ඔබගෙන් යමක් ඉගෙන ගත්තා වගේම, සමාජවාදීන්ගේ බොරු එලිකිරීමෙන් යම් සේවයක් සිදුවුනා කියන්න මම මැලි වෙන්නේ නැහැ. මටත් කනගාටුයි ඉකනො, මෙතන සමබර සාකච්චාවකට වේදිකාවක් නොවීම ගැන. ඔබ ධනවාදය අදහනවා, අපුල්ලන්නෙත් කොලේ වහල ගහන්නෙත් ඒ නිසයි. අප ධනවාදය දෙස සැකයෙන් බලනවා. ඒ බලන්නෙ විරුද්ධ පැත්තෙ ඉඳගෙන නෙමෙයි. මැද ඉඳගෙන.

      බයියොත් එක්ක එක්ක ඔව්වා කතා කිරීමෙන් වෙන්නෙ හානියක්( so, let's keep them in the dark) වගේ කතා වලටත් විරුද්ධයි. ඔබට අනුව ලංකාව "ධනවාදී" වෙලා මදි. ඉතිහාසෙ පුරා "අදහන්නො" හිටියා, අදත් ඉන්නවා. අන්ත සමාවාදීන්, පැසිස්ට්වාදීන්, නූතන චීන පැසිස්ට්වාදීන් සහ ආගමික අන්තවාදීන්. මේ "අදහන්නො" ලෝකෙට ගෙනාවෙ විනාසය, ඒ නිසා මම ප්‍රතිපත්තියක් හැටියට "අදහන්නොන්ට" විරුද්ධයි. ඒක ඇත්ත, ඇති සැටියෙන් දැණමේ මූලික අයිතිවාසිකටම බාධාවක්.

      Delete
    9. මේ නිශ්චිත කාරණයේදී මැදක් කියා දෙයක් නැහැ. ප්‍රායෝගික තත්ත්වයන් යටතේ ඕනෑම රටක තිබෙන්නේ සමාජවාදයේ හා ධනවාදයේ මිශ්‍රණයක් වුවත්, පරමාදර්ශී තත්ත්වයන් යටතේ මේ දෙක අන්ත දෙකක්. බටහිර රටක් ගත්තත්, සමාජවාදී රටක් ගත්තත්, පරමාදර්ශී තත්ත්වයේ සිට අනෙක් පැත්තට යන්නේ පරමාදර්ශී තත්ත්වයේ සිටයි.

      "මෙතන සමබර සාකච්චාවකට වේදිකාවක් නොවීම" ගැන ඔබ කතා කළත් දැන් ඔබ සාකච්ඡාවක් සඳහා මෙතැනට එකතු කරපු දේ කුමක්ද? ඔබ කරලා තියෙන්නේ "සමබර සාකච්ඡාවක් නැහැ" "අදහන්නොන්ට විරුද්ධයි" වගේ කතා කියන එක පමණයිනේ. මේ වගේ විවේචන වලට පිළිතුරු සපයන එක මට වැදගත් කරුණක් නෙමෙයි. මා ලියන දේ වෙනුවෙන් පෙනී සිටිනු හැර ඒවා සමබර බව හෝ මා අදහන්නෙක් නොවන බව යමෙකුට තහවුරු කරන්න මට අවශ්‍ය නැහැ. ඒ වගේ දේවල් තීරණය කිරීමේ නිදහස මෙය කියවන ඔබ වැනි පාඨකයින් සතුයි.

      මම මගේ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. එය සමබර නැති බව ඔබට පේනවානම් සහ සමබර කරගන්න අවශ්‍යනම් ඔබට ඒ සඳහා අවස්ථාව තිබෙනවා. සමබර කිරීම කියන අදහස ඇතුළේ තියෙන්නේ කියවන ගොඩක් අයට එකඟ විය හැකි දේ ලියන එක. වෙනත් විදිහකින් කිවුවොත් ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී සිටීම. මුදල් හෝ බලය ලබා ගැනීම වැනි අරමුණකින් ලියන කෙනෙකුට තමන් කැමති වුනත් නැතත් එසේ කරන්න වෙනවා. නැත්නම් පැවැත්මක් නැතිව යනවා. මට එවැනි අරමුණක් නැති නිසා කියවන අයට පහසුවෙන් එකඟ විය හැකි දේ පමණක්ම නොලියා වෙනත් දේ ලිවීමේ නිදහස මට තිබෙනවා. හැමෝම පහසුවෙන් එකඟ වන දේ ලිවීම සඳහා මගේ ශ්‍රමය නාස්ති කරන්න මට අවශ්‍ය නැහැ. මට හැකි හැම විටකම මම පෙනී සිටින්නේ නිවැරදි, එහෙත් ජනප්‍රිය හෝ ප්‍රචලිත නැති, මතය වෙනුවෙන්.

      ඔබට තව දුරටත් කතා කරන්න අවශ්‍යනම් පහත ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. මෙහි ලියන දේවල් ගැන ඔබට එකඟ විය නොහැකිනම් ඔබ කළ යුත්තේ එසේ එකඟ විය නොහැකි දේවල් ගැන සටහන් කරන එකයි. එහෙම නැතුව මෙය "සමබර නැහැ" කියා චෝදනා කළා කියා කිසිවක් වෙන්නේ නැහැ.

      1. ඔබ සිටින "මැද" කොතැනද? මෙහි අප කතා කරන්නේ සම්පත් බෙදී යාම සිදු විය යුතු පරමාදර්ශී ක්‍රමය ගැනයි. ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර සම්පත් බෙදී යා යුතු ආකාරය ගැන ඔබට තිබෙන "මැද" පරමාදර්ශය කුමක්ද?

      2. ධනවාදී පරමාදර්ශය කුමක්ද කියා මම පැහැදිලි කර තිබෙනවා. ඒ පිළිබඳව ඔබට තිබෙන "සැක" මොනවාද?

      3. ලංකාව ධනවාදී වෙලා මදි කියන එක පිළිබඳව ඔබ එකඟ නැත්නම් ලංකාව මීට වඩා සමාජවාදී විය යුතුද? තිබෙන හැටියටම දිගටම තිබිය යුතුද? (මේ ප්‍රශ්න වලට ලබා දෙන පිළිතුරු අනුව අහන්නට තවත් ප්‍රශ්න තිබෙනවා.)

      (ඔබ ප්‍රතිචාර දමන්නේ නිර්නාමිකව නිසා ප්‍රතිචාර දමන්නේ ඔබම බව පැහැදිලිව කියන්න.)

      Delete
    10. මේ කලින් ලියපු ඇනෝ:
      සෑහෙන පමණ සාධාරණ, එකඟ විය හැකි පිලිතුරක්. ඒ වගේම, වාරණය නොකර, ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ගේ කමෙන්ට් පලකිරීමත් අගය කරනවා. අවස්ථාව දුන්නාට ස්තූතියි. මම ධනවාදි/සමාජවාදී කඳවුරු දෙකටම අයිති නැති, පාවෙන චන්දදායකයෙක්. ඒත් ඔය වාද දෙකම බැහැර කරන්නේ නෑ. ආර්ථික/ දේශපාලන පරිනාමයට, ඔය ක්‍රම දෙකෙන්ම ගතයුතු දේ තියනවයි කියල හිතනවා. ධනවාදී පරමාදර්ශය ගැන කිසිම සැකයක් නෑ, සැකය තියෙන්නේ එය ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන ආකාරයේ. එක, එක රටවල ධනවාදය ක්‍රියාත්මක වන්නේ වෙනස් විදිහට. චීන ධනවාදයට වඩා හොඳ වුනත් ඇමරිකාව මගේ ධනවාදී පරමාදර්ශය නෙමෙයි. ලංකාව ඇති ආකල්ප/ සමාජ සම්මත පිලිබඳ ගැටලු, තව දුරටත් රට "ධනවාදී/සමාජවාදී" කරල විසඳන්න හැකිද කියන එක ප්‍රශ්ණයක්. එහෙම පිලිතුරක් දෙන්න තරම් දැණුමක් මට නෑ. ඒත් ඇති/නැති පරතරය සහ Two-tier healthcare ක්‍රමවේදය ගැන පැහැදීමක් නෑ.

      ඔබේ ආකල්ප මට වඩා වෙනස් නමුත් මම ඔබේ ප්‍රජාත්‍රාන්තික අයිතියට ගරු කරනවා. වෙනද වගේම කියවන්න එන්නම්. ඒත් මේ වාදය තව දුරටත් ගෙන යන්න කැමැත්තක් නෑ.

      Delete
    11. මිනිස්සු වාද කරන්නේ දිනන්න මිසක් පරදින්න බලාගෙන නෙමෙයි. මා කොහොමත් වාද වලට කැමැත්තක් නැත්තෙ, එතන සාකච්චාවක් වෙන්නෙ නැති නිසා. ඔබ මෙතෙක් කියූ දේ අනුව, මෙතන වෙන්නෙ යන්නෙ වාදයක්. අනික, නීති-රීති වලට යටත්ව එහෙම කතා කරන්න කොහොමත් කැමති නෑ. ඉංග්‍රිසි දන්නව නං, අද දැණුම සොයාගන්න බොහෝ විකල්ප මාර්ග තියෙනවා. අද,අතීතයේ වැජඹුනු බමුණු කුල බිඳ වැටෙමින් පවතිනවා. ඒ නිසා මම තීරණය කලා, මට අවශ්‍ය දේ , ඒ විකල්ප මාර්ග ඔස්සේ සොයාගන්න.

      Delete
    12. //ධනවාදී පරමාදර්ශය ගැන කිසිම සැකයක් නෑ, සැකය තියෙන්නේ එය ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන ආකාරයේ. එක, එක රටවල ධනවාදය ක්‍රියාත්මක වන්නේ වෙනස් විදිහට.//

      ඉතාම පැහැදිලිවම. එසේ වෙන්නේ ඇයි කියන එක ගැන මම තවම විස්තර කරන්න පටන් ගත්තා පමණයි. මම තවමත් විස්තරාත්මකව පැහැදිලි කළේ ධනවාදී පරමාදර්ශය ගැන පමණයි. ඕනෑම ක්‍රමයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන ආකාරය ගැන කතා කළ හැක්කේ යම් පරමාදර්ශයකට සාපේක්ෂව. පරමාදර්ශය ගැනම සැක තිබේනම් ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන ආකාරය ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. එය කිසියම් ආගමක් විශ්වාස නොකරන අය එම ආගමේ පූජකයන්/ පූජ්‍ය පක්ෂය ආගමට අනුව කටයුතු කරන්නේ නැහැ කියා චෝදනා කරනවා වගේ තේරුමක් නැති වැඩක්. ඔබ "ධනවාදී පරමාදර්ශය ගැන කිසිම සැකයක් නෑ" කිවුවත් මෙය කියවන ඇතැම් (සමහර විට බොහෝ) අයට ධනවාදී පරමාදර්ශය පිළිබඳවම ප්‍රශ්න තිබෙනවා. එවැනි අයෙකු සමඟ සාකච්ඡා කළ හැක්කේ ඒ ප්‍රශ්න මොනවාද කියා පැහැදිලිව හඳුනාගැනීමෙන් පසුවයි. තමන්ට පැහැදිලිව පෙන්විය හැකි ප්‍රශ්නයක් නැතුව ධනවාදය විවේචනය කිරීම සමාජවාදීන්ගේ ප්‍රචාර වලට රැවටී රැල්ලට යාමක් පමණයි. ඒ නිසා, ධනවාදය ප්‍රශ්න කරන කෙනෙක්ගෙන් මට මුලින්ම මේ ප්‍රශ්නය අහන්න වෙනවා. ඇත්තටම කියනවානම් "ධනවාදී පරමාදර්ශය ගැන කිසිම සැකයක් නෑ" කියා ඔබ කිවුවත් මටනම් ධනවාදී පරමාදර්ශය පිළිබඳවම ප්‍රශ්න තිබෙනවා. නමුත් ධනවාදී පරමාදර්ශය හා එහි ප්‍රායෝගික භාවිතාව එකවර ප්‍රශ්න කරන්න බැහැ. ධනවාදයේ ප්‍රායෝගික භාවිතාව ගැන ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්නේ යම් කොන්දේසි යටතේ හෝ (working hypothesis එකක් ලෙස) ධනවාදී පරමාදර්ශය පිළිගන්නා පදනමක සිට පමණයි. මාක්ස්වාදය වැනි මතවාදයක් හෝ ආගමක් ගත්තත් එහෙමයි. පරමාදර්ශයේ ප්‍රශ්න හා පරමාදර්ශයෙන් බැහැර වීමේ ප්‍රශ්න කියන්නේ තනිකරම කරුණු දෙකක්. පරමාදර්ශයෙන් බැහැර වීමේ ප්‍රශ්න වලට විසඳුම පරමාදර්ශී තත්ත්වය කරා යාම. එහෙත් පරමාදර්ශයේ ප්‍රශ්න වලට විසඳුම වෙනත් පරමාදර්ශයක් තෝරා ගැනීම. ධනවාදී පරමාදර්ශයට විකල්පයක් ලෙස දැනට යෝජනා වී තිබෙන අනෙකුත් විකල්ප පරමාදර්ශය මාක්ස්වාදය මත පදනම් වූ සමාජවාදයයි. මම පෙන්වා දී තිබෙන්නේ එය කිසිසේත්ම ධනවාදී පරමාදර්ශයට වඩා හොඳ පරමාදර්ශයක් නොවන බවයි. එය මම නිකම්ම කියන දෙයක් නෙමෙයි. හේතු සහගතව කියන දෙයක්. සමාජවාදය හොඳ පරමාදර්ශයක් වන්නේ කොහොමද කියා කවුරුවත් පැහැදිලි කර නැති නිසා අඩු වශයෙන් තවමත් මට මේ හේතු සියල්ල ඉදිරිපත් කරන්න හෝ අවශ්‍ය වී නැහැ. ධනවාදයේ ප්‍රායෝගික භාවිතාව කියන එක ගැන කතා කළ හැක්කේ ධනවාදයේ පරමාදර්ශය පිළිබඳ කිසියම් එකඟතාවයකට පැමිණීමෙන් පසුවයි. ඒ ගැන යමෙක් එකඟ නැත්නම් සහ සමාජවාදී පරමාදර්ශය සමඟද එකඟ වන්නේ නැත්නම් කවර හෝ තෙවන පරමාදර්ශයක් තිබිය යුතුයි. එහෙම නැත්නම් සාකච්ඡාවක් ඉදිරියට ගෙනයන්න කිසිම පදනමක් නැහැ.

      //ඔබේ ආකල්ප මට වඩා වෙනස් නමුත්...//

      මේ වෙනස්කම් මොනවාද කියා පුළුවන්නම් පැහැදිලිව කියන්න. එවිට අඩු වශයෙන් සාකච්ඡාවක් ආරම්භ කළ හැකියි. "ඔබ ධනවාදය අදහනවා" වගේ ප්‍රකාශයක් නිශ්චිත ප්‍රකාශයක් නෙමෙයි. එවැනි දෙයක් ගැන වාද කර එකඟතාවයකට පැමිණීමේ හැකියාවක් නැහැ වගේම එහි කිසිම තේරුමක්ද නැහැ.

      //මා කොහොමත් වාද වලට කැමැත්තක් නැත්තෙ, එතන සාකච්චාවක් වෙන්නෙ නැති නිසා. ඔබ මෙතෙක් කියූ දේ අනුව, මෙතන වෙන්නෙ යන්නෙ වාදයක්.//

      ඔබ මේ නිගමනයට එන්නේ සාකච්ඡාවක් ආරම්භ කර එය බිඳ වැටීමෙන් පසුව නෙමෙයි. පූර්ව නිගමන වලට එන්න කලින් ඔබ පළමුව ඔබේ සාකච්ඡාව පටන් ගත යුතුයි. වාද හා සාකච්ඡා අතර පැහැදිලි ඉරක් නැති නිසා ඔබට සාපේක්ෂව වාදයක් සිදු නොවෙයි කියා මට සහතික වෙන්නනම් බැහැ. මෙහි අපි කතා කරන්නේ ආගිය තොරතුරු නොවන නිසා ඔබ කියන යම් දෙයක් ගැන මට එකඟ වෙන්න බැරි වූ විට සාකච්ඡාව වාදයක ස්වරූපය ගැනීම නොවැලැක්විය හැකි දෙයක්. එය කරුණු පැහැදිලි කර ගනිමින් සාකච්ඡාවක් ඉදිරියට ගෙන යාමේ අත්‍යාවශ්‍ය පූර්ව කොන්දේසියක් මිසක් කොහොම හරි දිනන්න කරන දෙයක් නෙමෙයි. ඔබ ඉදිරිපත් කරන කරුණු වලට පදනමක් තිබේනම් මට කොහොම හරි දිනන්න බැහැනේ.

      Delete
  7. "සිංහයින් අප්‍රිකාවේ කැලෑවක සිටීමත්, දෙහිවල සත්තු වත්තේ කූඩුවක සිටීමත් යන දෙකම එක සේ ස්වභාවිකයැයි ඔබ හිතනවානම් ඒ අර්ථයෙන් ඔබේ තර්කය නිවැරදියි."

    සිංහයින් අප්‍රිකාවේ කැලෑවක සිටීමත්, දෙහිවල සත්තු වත්තේ කූඩුවක සිටීමත් යන දෙකම එක සේ ස්වභාවිකයැයි මා සිතන්නේ නෑ. මෙහි "එක සේ" යන වචනයට මා වැඩි බරක් තබනවා. එසේම සිංහයින් ලංකාවේ කළුගඟ බඩ ගමක විසීමත් ඔරුමිත්තනාඩුවේ නගරයක සිටීමත් දෙකම එක සේ ස්වභාවික යැයි මා සිතන්නේද නෑ.

    නමුත් ඔය දෙකටම වඩා වැදගත් දෙයක් තිබෙනවා. දෙහිවල සත්තු වත්තේ (හෝ ලෝකයේ ඕනෑම සත්තු වත්තක) සිටින සිංහයෙක් (හෝ ඕනෑම සතෙක්) නැවත "ස්වභාවික" යැයි අප සිතන පරිසරයට ගෙන ගොස් දැමුවොත් සිදු වන්නේ කුමක්ද ? එය ව්‍යසනයක්. අන්න ඒ අර්ථයෙන් දෙහිවල සත්තු වත්තේ සිංහයා සත්තු වත්තේම ඉන්නට ඉඩ හැරීම වෙනුවෙන් මා පෙනී සිටිනවා. එසේ පෙනී සිටියා කියා සත්තු වත්තේ සම්පත් බෙදී යාමේ ක්‍රමය ලෝකයේ හොඳම එක යැයි සිංහයා විසින් කෙරෙන දේශනා අනුගාමිකයෙක් ලෙස අසා සිටින්නට මා සූදානම් නෑ.

    ප.ලි.: සිංහයින්ගේ සාමාන්‍ය වාසය හුදෙකලා ගස් සහිත වියළි එළිමහන් තැනිතලා තණ බිම් (සැවනා) මිස වනාන්තර නෙවෙයි. මේවා වනාන්තර වලට වඩා කාන්තාර.

    ReplyDelete
    Replies
    1. //අන්න ඒ අර්ථයෙන් දෙහිවල සත්තු වත්තේ සිංහයා සත්තු වත්තේම ඉන්නට ඉඩ හැරීම වෙනුවෙන් මා පෙනී සිටිනවා.//

      සිංහයා සත්තු වත්තේම ඉන්නට ඉඩ හැරීම වෙනුවෙන් මා පෙනී සිටින්නේ නැතත්, මේ කතාවේ තේරුමක් තිබෙනවා. සෝවියට් දේශය විවෘත කිරීමෙන් පසුව තාවකාලිකව යම් පසුබෑමක් වුනේත්, නැවත යම් ආකාරයක ඒකාධිපති ක්‍රමයක් "ස්වභාවිකවම" හැදුනෙත්, එය නිරීක්ෂණය කළ චීනය කූඩුව ටික ටික විවෘත කරන්නෙත් ඒ නිසා. ලංකාවේ හැත්තෑ හතේදී සිදු වූ දෙයත් යම් තරමකින් මෙයට සමාන කළ හැකියි. ඇත්තටම කියනවානම් ඊට පෙර හතළිස් අටේ වූ දෙයත්. නමුත් නැගෙනහිර ජර්මනියේ එවැන්නක් වුනේ නැහැ. එයට හේතුව සත්තු වත්තේ සිංහයින්ගේ මුල් රැළ ඔබ නිවැරදිව කියන පරිදි "පැත්තක හුදෙකලා ගස් සහිත වියළි එළිමහන් තැනිතලා තණ බිමේ" සිටීම සහ ඔවුන් සත්තු වත්තේ සිංහයින්ව නැවත රැලට වද්දා ගන්න සූදානමින් සිටීමයි. මේ අවස්ථාවේදී බටහිර ජර්මනියේ වැසියන් ඔවුන්ගේ ආර්ථිකයේ ප්‍රමාණය 10%කින් පමණ සංකෝචනය වීම සතුටින් භාර ගත්තා. එහිදී වුනේ වෙනත් නිශ්චිත අරමුණක් (තනි ජර්මනියක්) වෙනුවෙන් ඉතා කෙටි කාලයකට ධනවාදී පරමාදර්ශයෙන් යම් තරමකින් බැහැර වීමයි. උතුරු කොරියාවේ සමාජවාදී ක්‍රමය එකවර බිඳ වැටුනොත් එහිද ඔය දෙයම වෙයි.

      Delete
    2. /*
      1. සිංහලයින් ලංකාවේ කළුගඟ බඩ ගමක විසීමත් ඔරුමිත්තනාඩුවේ නගරයක සිටීමත් දෙකම එක සේ ස්වභාවික යැයි මා සිතන්නේද නෑ.
      2. එසේ පෙනී සිටියා කියා සත්තු වත්තේ සම්පත් බෙදී යාමේ ක්‍රමය ලෝකයේ හොඳම එක යැයි සිංහයා විසින් කෙරෙන දේශනා අනුගාමිකයෙක් ලෙස අසා සිටින්නට මා සූදානම් නෑ.
      */

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: