වෙබ් ලිපිනය:

Wednesday, July 28, 2021

කෝටි දෙදාහේ මැණික


රත්නපුරේ පතලයකින් රුපියල් කෝටි දෙදාහක් වටිනා මැණිකක් හමු වී තිබෙන කතාව ගොඩක් අයට අහන්න ලැබෙන්න ඇතිනේ. ඇතැම් වාර්තා අනුව මැණික ඒ තරම්ම වටින්නේ නැහැ. ලිපිය ඉදිරියට ගෙන යාමේ අරමුණ පමණක් පෙරදැරිව මේ මැණික ඇත්තටම රුපියල් කෝටි දෙදාහක් වටිනවා කියලා අපි උපකල්පනය කරමු. අපට සාකච්ඡාවට බඳුන් කරන්න අවශ්‍ය අදහස් බොහොමයක්ම ඉදිරිපත්ව තිබුණේ එම උපකල්පනය මත පදනම්වයි.

පළමු ප්‍රශ්නය මේ වගේ වටිනා මැණිකක් මැණික් ව්‍යාපාරිකයෙකුගේ වත්තෙන්ම මතු වුනේ කොහොමද කියන එක. ඇතැම් අය මේ ප්‍රශ්නය මතු කර තිබෙනු මම දැක්කා. බොහෝ විට රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයින්ට අනෙක් සාමාන්‍ය අයට වඩා වැඩියෙන් විශාල ලොතරැයි දිනුම්ද ඇදෙනවා. ඔය වගේ ප්‍රවෘත්ති ප්‍රචාරය වෙද්දී කුණු තියෙන තැනටමයි කුණු ඇදෙන්නේ කියලා සමහරු හූල්ලනවා. මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා දන්නෝ දනිති කියා මම හිතනවා. මේ මැණික ඇතැම් විට ඇත්තටම අදාළ පුද්ගලයාගේ වත්තෙන්ම ලැබුණු එකක් විය හැකි නිසා, හරියටම කරුණු නොදැන මම වැඩිදුර මුකුත් කියන්නේ නැහැ.

මීටත් වඩා වැදගත් ප්‍රශ්නය දෙවන ප්‍රශ්නයයි. මහ පොළොවෙන් හමු වන මේ වගේ වටිනා මැණිකක තනි අයිතිය ඉඩමේ හිමිකරුට ලැබෙන එක සාධාරණද? ලංකාවේ හැමෝටම රුපියල් පන්සීය බැගින් බෙදලා දුන්නත් ඔය කෝටි දෙදාහෙන් කෝටි දාහක්ම ඉතුරු වෙනවනේ. 

වටිනා මැණිකක් කියා කියන්නේ වසර කෝටි ගණනක් තිස්සේ ස්වභාවිකව හැදුනු දෙයක් මිසක් ඉඩම අයිතිකරුගේ ශ්‍රමයෙන් හදපු දෙයක් නොවන බවට තර්ක කළ හැකි නිසා මේ අදහසට කිසියම් පදනමක් තිබෙනවා. එහෙමනම්, පොළොවෙන් ලැබෙන මැණිකක් වැනි වටිනා දෙයක් ඉඩම අයිතිකරුට හිමිවීම වැරැද්දක් නොවන්නේ කොහොමද?

කෝටි ගණනක් වටිනා, පොළොවෙන් හමු වූ මැණිකක් ඉඩම අයිතිකරුටම අයිති වීම පවතින සමාජ-ආර්ථික ක්‍රමයේ වරදක් ලෙස දකින ගොඩක් අයට පහසුවෙන් අමතක වන දෙයක් වන්නේ එම මැණිකට කෝටි ගණනක වටිනාකමක් ලැබෙන්නේ කොහොමද කියන එකයි. මෙවැනි මැණිකකට එපමණ වටිනාකමක් ලැබෙන්නේම ඒ වෙනුවෙන් විශාල මුදලක් ගෙවන්න සූදානම් අය සිටින නිසයි. එසේ නැතුව මේ වගේ මැණිකක බොහෝ විට කිසිදු නෛසර්ගික වටිනාකමක් නැහැ.

ලෝකයේ මිනිසුන් අතර අද මෙන් ගනුදෙනු සිදු නොවන කාලයකදී දුප්පත් ගැමියෙකුගේ වත්තෙන් මේ වගේ මැණිකක් ලැබුණා කියා හිතන්න. ඒ මැණිකෙන් ඔහුට තිබෙන ප්‍රයෝජනය කුමක්ද? 

පිළිතුර ඉතාම සරලයි. පැහැදිලියි. මේ වගේ මැණිකකින් ඔහුට කිසිම වැඩක් නැහැ. ඕනෑනම් එය මිදුලේ තිබෙන්න හැර හවසට ඒ මත වාඩි වී විටක් හපන්න පුළුවන්. බොහෝ විට කවුරුවත් ඔය මැණික රෑට ඇවිත් හොරකම් කරගෙන යන එකක් නැහැ. එහෙම ගෙනිච්චා කියලා ගෙනියන කෙනෙකුටත් එයින් ඇති වැඩක් නැහැ.

කාලයකට පෙර තමන්ගේ වත්තෙන් මැණිකක් වගේ වටිනා දෙයක් හොයාගත් කෙනෙක් බොහෝ විට කළේ එය රජ තුමාට හෝ වෙනත් ප්‍රාදේශීය ප්‍රධානියෙකුට තෑගි කරන එක. මෙය මහ පොළොවෙන් හමු වන දෙයෙහි අයිතිය රජතුමා සතු වූ නිසා කළ දෙයක් කියා කියන්න පුළුවන් වුනත් එහි ඊට වඩා දෙයක් තිබෙනවා. ඔය වගේ දෙයක් රජ තුමාට තෑගි කිරීමෙන් පසුව බොහෝ විට ධාන්‍ය කරත්තයක් හෝ හරක් බානක් වැනි වෙනත් යමක් ආපසු තෑගි සේ ලැබෙනවා. මැණිකෙන් සෘජු ප්‍රයෝජනයක් නැතත් ධාන්‍ය කරත්තයෙන් හෝ හරක් බානෙන් ගැමියාට සෘජු ප්‍රයෝජනයක් තිබෙනවා. අනෙක් අතට රජතුමා සතුව අදාළ මැණිකට වටිනාකමක් දිය හැකි තරමට ධාන්‍ය, හරකා බාන වැනි මූලික මට්ටමේ සම්පත් අඩුවක් නැතිව තිබෙනවා.

අද රත්නපුරේ පතලයකින් හමු වන මැණිකක් ලෝකයේ කොහේ හෝ අයෙකු විසින් මැණික් වෙන්දේසියකින් මිල දී ගනිද්දී සිදු වන්නේත් සංකල්පීය ලෙස යම් තරමකින් ඔය වගේම දෙයක්. මේ වගේ මැණිකක් මුදල් ගෙවා මිල දී ගන්නට කැමති අය මහ ගොඩක් නැහැ. බොහෝ විට මෙය මිල දී ගන්නේ සමරු අයිතමයක් (collector's item) ලෙසයි. එසේ මිල දී ගන්නේ කිසියම් ධන කුවේරයෙකු හෝ කෞතුකාගාරයක් විසින් විය හැකියි. මිල දී ගන්න මැණික් ගල සමරු අයිතමයක් ලෙස තබා ගන්නවා හෝ ප්‍රදර්ශනය කරනවා හැර එය මිල දී ගන්නා අයෙකු විසින් එයින් වෙනත් සෘජු ප්‍රයෝජනයක් ලබා ගන්නේ නැහැ.

කන්න අඳින්නවත් සල්ලි නැති කෙනෙකුට මැණික් මිල දී ගන්න පුළුවන්කමක් හෝ අවශ්‍යතාවයක් නැහැ. එවැන්නක් කරන්නේ සැලකිය යුතු වත්කමක් තමන් සතුව තිබෙන කෙනෙක්. එවැනි විශාල වත්කමක් යමෙකු සතුව තිබිය හැක්කේ වෙනත් අය විසින් වටිනා සේ සලකන මොනවා හෝ දෙයක් නිර්මාණය කර හුවමාරු කළේනම් පමණයි. මැණික් ගල විකුණා මුදල් ලබා ගන්නා පුද්ගලයා පොහොසතෙක් වන ආකාරයේම ක්‍රියාවලියක් එය මිල දී ගන්නා පුද්ගලයා පොහොසතෙකු වීමේ ක්‍රියාවලිය තුළත් තිබෙනවා. මැණික් ගලට වටිනාකම දෙන්නේ ඔහු විසින් වනවාක් මෙන්ම ඔහු පොහොසතෙකු වී තිබෙන්නේ වෙනත් අය වටිනාකම් දෙන කවර හෝ දෙයක් නිවැරදිව හඳුනා ගැනීම නිසා.

තමන්ට අවශ්‍ය නැති මැණික් වැනි දෙයක් සෙවීම සඳහා කිසියම් අයෙකු විසින් තමන්ගේ ශ්‍රමය යොදවන්නේ මැණිකකට වටිනාකමක් දෙන කවුරු හෝ අයෙකු සිටින නිසා. එවැන්නෙකුගේ ශ්‍රමයට වටිනාකමක් ලැබෙන්නේම ධනවාදය තුළ සිදුවන නිදහස් හුවමාරුව නිසා. හුවමාරු කිරීමේ හැකියාවක් නැත්නම් ඔහු ගොවිතැනක් බතක් කරගෙන ඉන්නවා මිස මැණික් හොයන්න වෙහෙසෙන්නේ නැහැ. 

හුවමාරුවක් සිදු වන හැම විටකම අලුතෙන් වටිනාකමක් ජනනය වෙනවා. වී ගොවියෙක් වී විකුණා අත් ට්‍රැක්ටරයක් මිල දී ගන්නේ ඔහුට සාපේක්ෂව අත් ට්‍රැක්ටරයයේ වටිනාකම වී වල වටිනාකමට වඩා වැඩි නිසා. අත් ට්‍රැක්ටර් හදන ජපන් සමාගම එය යම් මිලකට විකුණන්නේ ඔවුන්ට එම මිලට එය විකිණීමෙන් ලාබයක් තිබෙන නිසා. මේ වැඩෙන් දෙපාර්ශ්වයටම සිදු වන්නේ ලාබයක්. එම ලාබය අලුතෙන්ම ජනනය වන වටිනාකමක්. රුපියල් කෝටි දෙදාහකට මැණිකක් මිල දී ගන්නා අයෙක් එහිදී වැය කරන්නේත් මේ ආකාරයෙන් ජනනය කරගත් වටිනාකම් වල මුදල් අගය. එවැන්නෙක් එසේ කරන්නේ ඔහුට සාපේක්ෂව අදාළ මැණික අවම වශයෙන් රුපියල් කෝටි දෙදාහක් වටින නිසා. වෙනත් අයෙකු විසින් එම මුදල ගෙවා එය මිල දී නොගන්නේ වෙනත් කිසිවෙකුට මැණික එපමණ නොවටින නිසා. මැණිකේ වටිනාකම රුපියල් කෝටි දෙදාහක් වන්නේම එපමණ මිලක් ගෙවා එය මිල දී ගන්නා පුද්ගලයෙකු සිටින නිසා.

හුවමාරුවක් සිදු වන හැම විටකම අලුතෙන් වටිනාකමක් ජනනය වෙනවා. කෝටි දෙදාහක මැණිකකට එම වටිනාකම ලැබීම තුළ පියවරෙන් පියවර වටිනාකම් එකතු වීමේ ක්‍රියාදාමයක් තිබෙනවා. මැණික වසර ලක්ෂ හෝ කෝටි ගණනක් තිස්සේ ස්වභාවිකව මහ පොළොවේ හැදී තිබෙනවා විය හැකි වුවත්, කිසිම නෛසර්ගික වටිනාකමක් නැති එවැනි මැණිකකට කෝටි ගණනක වටිනාකමක් ලැබෙන්නේ ධනවාදය තුළ නිදහස් ගනුදෙනු හරහා සිදුවන වටිනාකම් එකතු වීමේ ක්‍රියාවලිය නිසා මිසක් එය හැදෙන්න විශාල කාලයක් ගත වූ නිසා හෝ එවැනි මැණික් දුලබ වීම නිසාම නෙමෙයි. මැණික ලැබුණේ මහ පොළොවෙන් වුනත් මැණිකේ වටිනාකම මහ පොළොවෙන් ලැබුණු දෙයක් නෙමෙයි. 

17 comments:

  1. ගහ කොළ සතා සීපාවා - ඇළ දොළට
    ජීවත් වෙන්න සවි දෙන - නළ රැල්ලකට
    ගරු නොකළත් - කළ යුතු තරමින් ඊට
    අපි අගයමු - පලක් නැතිදේ බොහෝ විට!

    ReplyDelete
  2. පසු විපරමකට කදිම පුවතක්!

    ReplyDelete
  3. නියම පැහැදිලි කිරීමක්.

    ReplyDelete
  4. ඉකොනො,

    මේ මැණිකේ සිද්ධිය වගේම මේ දවස් වල ලංකාවේ වාමාංශික වෘත්තීය සමිතිවලට රැවටී ඇතැම් බංකොලොත් දේශපාලන ව්‍යාපෘති වල අතකොලු වී ඇති ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමෙන් වැළකී සිටීමත් රටටම, විශේෂයෙන්ම අපවැනි තරුණයන් අතර සෑහෙන විහිළුවක් වී ඇත්තේ මේ 21 වන සියවසේ ජීවත් වන අද දරුවන්ට ඉගෙන ගැනීමට ගුරුවරුන් අත්‍යාවශ්‍යම නොවන්නේ මානව දැනුම අන්තර්ජාලයේ විවෘතව නිදහස්ව ඇති නිසාත් ගණිතය විද්‍යාව තාක්ෂණය කලාව ඉතිහාසය ආගම දර්ශනය භාෂා ආදී ඕනෑම විෂය දැනුමක් සරල මට්ටමේ සිට ගැඹුරු මට්ටම දක්වා අන්තර්ජාලයේ ඇති නිසාත්. ඕනෑම දෙයක් ගැන දැන ගැනීමට කළ යුත්තේ එයට අදාළ වචන Google හී ලියා සෙවීම් එබීමයි. ඊට අදාළ සියලු තොරතුරු ඇතුළත් මිලියන ගණන් වෙබ්ස් ක්ෂණයකින් අපට ලැබේ. ඒවා ඉගැන්වීමට සාම්ප්‍රදායික ගුරුවරුන් අවශ්‍ය නැහැ. මන්ද ඒවා කළ හැකි හොඳම ආකාරයෙන් පැහැදිලි කරන වීඩියෝ YouTube වල තියෙනවා. ජනප්‍රියතාවය අනුව පෙළගැස්වීමෙන් ලක්ෂ ගණනක් ලෝවැසියන් විසින් බලා අනුමත කළ වීඩියෝ අපට තත්ත්පරයෙන් සොයා ගත හැකියි. තමන්ට අපැහැදිලි දෙයක් ඇත්නම් Quora වැනි සමාජ මාධ්‍යයක විවෘතව ඇසිය හැකියි, පැය ගණනකින් පිළිතුරු ලැබේ. කිසියම් නිර්දේශයක් අනුව සකස් කළ පාඩම් ලෝකයේ හොඳම ගුරුවරුන් විසින් උගන්වා දැනුම පිරික්සා බලන Khan Academy වැනි ඔන්ලයින් පාසල් ඇත. සාම්ප්‍රදායික පාසල සහ එහි සාම්ප්‍රදායික පංති කාමරයේ සාම්ප්‍රදායික ගුරුවරයා 21 වන සියවසේ අන්තර්ජාලය විසින් ප්‍රතිස්ථාපනය කර ඇත. එය මානව ශිෂ්ටාචාරයේ නොවැළක්විය හැකි දියුණුවකි. කෙතරම් විරෝධතා කළත් මේ පරිවර්තනය නැවැත්විය නොහැකියි.

    කෙසේ නමුත් ලාංකීය ජනයා වෙනුවෙන් මෙය සාර්ථක කරගැනීමට ලංකාවේ තවත් කළ යුතු දේ කිහිපයක් ඇති අතර ඒවා එතරම් අපහසු දේ නොවේ, ඒ කළ යුත්තේ අන්තර්ජාලයේ ඇති දැනුම ලබා ගැනීම පහසු කිරීමයි. මිනිසා උපතින්ම ගවේෂණාත්මක සතෙක්. කුඩා දරුවන් කුතුහලය පිරි උන්. දේවල් සොයා ගැනීමට ඔවුන්ට අමුතුවෙන් කියා දිය යුතු නැහැ. අප කළ යුත්තේ ඒ ගවේෂණාත්මක දරුවාට සහාය දීමයි. දරුවාටම දරුවාගේ වේගයෙන් දරුවාට කැමති ලෙස දැනුම සොයා යෑමට සැලැස්වීමයි. දරුවන්ට ඉගැන්විය යුත්තේ අන්තර්ජාලය භාවිතා කරන ආකාරයයි. එහි තමන්ට අවශ්‍ය දැනුම ඉක්මණින් ලබාගත ආකාරය කියා දීමයි. එම පර්යේෂණ ක්‍රම පවා අන්තර්ජාලයේ තිබේ. එනම් ඉගෙන ගන්නා ආකාරය පවා අන්තර්ජාලයෙන්ම ඉගෙන ගත හැකියි. විවිධ සමාජ අවශ්‍යතාවයන් සඳහා එම දැනුම පිරික්සා බලන සංස්ථාපිත ක්‍රමවේද අලුත් ලෝකයට අලුත් කළ යුතුයි.

    මෙසේ අන්තර්ජාලයෙන් ඉගෙන ගැනීමට ඉංග්‍රීසි භාෂාවේ අවශ්‍යතාවය එන්න එන්න අඩු වෙමින් තිබේ. දැනටත් ඕනෑම සිංහල වචනයක් වාක්‍යයක් ක්ෂණයකින් ඕනෑම භාෂාවකට පරිවර්තනය කරගත හැකිය. එමෙන්ම ඕනෑම ඉංග්‍රීසි වචනයක් වාක්‍යයක් ක්ෂණයකින් සිංහලට පරිවර්තනය කරගත හැකිය. අන්තර්ජාලයේ සිංහල බසට වඩා සාපේක්ෂව දෙමළ බස දියුණු වී තිබේ. එයට හේතුව එය භාවිතා කරන මිනිසුන් සංඛ්‍යාව වැඩි වීමයි. උදාහරණයක් ලෙස Khan Academy පාසලේ වීඩියෝ සඳහා දෙමළ පරිවර්තනය ඇති මුත් සිංහල පරිවර්තන නැත. ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතන සහ වෘත්තිකයන් කළ යුත්තේ සිංහල භාෂාව අන්තර්ජාලයේ පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයෙන් අවශ්‍ය මෘදුකාංග සැකසීමයි. ඒවා පහසුවෙන් කළ හැකිය. අවශ්‍ය වන්නේ නිසි සැලසුම් සහ අනුග්‍රහයයි. ඉතිරිය දරුවන් විසින් කරගනීවි.

    ReplyDelete
    Replies
    1. මේ වගේම ලංකාවෙ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් අදාල පුද්ගලික සමාගම් වලට අවශ්‍ය රාජ්‍ය සහය ලබා දී අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය පරිගණක සහ දත්ත සම්ප්‍රේෂණය සඳහා වියදම අඩු කළ යුතුයි. ඒ ගැන දැනට රජය කරගෙන යන ක්‍රියාවලිය තවත් වේගවත් කිරීමට අවශ්‍යයි, සෑම දරුවෙකුටම අධ්‍යාපනයට පරිගණකයක් ලැබෙන වැඩපිළිවෙලක් සැලසුම් කළ යුතුයි.

      දැනට ලංකාවේ දූෂිත රාජ පක්ෂ ආණ්ඩුවේ දේසපාලුවන්ගේ මැදිහත්වීමෙන් කරන පාරවල් කාපට් කිරීම, අධිවේගී මාර්ග, නගර අලංකරණය, පහත්බිම් ගොඩකර නාගරික ප්‍රදේශ වල ඇවිදින මංතීරු හැදීම, උසම/ පළලම/ හැඩම සුඛෝපභෝගී රාජ්‍ය සේවා බිල්ඩින් හැදීම, මන්ත්‍රීවරුන්ට සැප වාහන ගෙන්වීම ආදී යල් පැන ගිය දේසපාලුවන්ගේ පරණ සංවර්ධන වැඩ සඳහා අනවශ්‍ය වියදම් නොකර නූතන මිනිසුන්ගේ නූතන සමාජ ආයෝජන ක්‍රම යොදා ගනිමින් දරුවන්ගේ අතට අත්‍යවශ්‍ය මෙවලම් ලබා දිය යුතුයි, 21 වන සියවසේ දරුවන් ඉතිරිය කරගනීවි.

      ඒහා සමගාමීව සාම්ප්‍රදායික ගුරුවරයා මිය යෑම වැළැක්විය නොහැකියි. අද ඔය පාරවල් ගානේ රස්තියාදු වීමෙන් පෙනෙන්නේ ඒ අවසානයයි. අලුත් තත්ත්වයන්ට වෙනස් වීමට නොහැකි සතා වඳ වීම වැළැක්විය නොහැකියි. අනිත්‍ය ස්වභාවය ධර්මතාවයකි. අද ගුරුවරයා යනු පහසුකම් සපයන්නෙක්, උනන්දු කරවන්නෙක් පමණයි. මාවත පෙන්වා දෙන්නෙක් පමණක්ම වන ගුරුවරුන්ට කළ හැකි එකම දෙය වන්නේ අන්තර්ජාලයේ දැනුම තවත් හොඳාකාරයෙන් සකස් කර විවෘතව පළ කිරීමයි. ඒවායේ හොඳ නරක අනුව දරුවන් ඒවා භාවිතා කරාවි. දරුවන් විසින් සාර්ථක ගුරුවරයා තෝරා ගනීවි. මේ වෙනස්කම ලංකාවේ සටකපට රාජපක්ෂ හිතවාදී සේරිවාණිජ ව්‍යාපාරිකයන් විසින් තම ලාභය සඳහා අත්පත් කරගැනීමට පෙර අප ඉක්මන් විය යුතුයි. අප්‍රමාදීව කටයුතු කළ යුතුයි. මේ ගැන ඔබට විදේශීය ඇසකින් මේ දෙස බලා යම් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි.

      Delete
  5. මේ ගැන ඉකොනෝ මොකක්ද හිතන්නේ,

    https://www.lankanewsweb.net/sinhala/102-business-news/89524-%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-213%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%94-%E0%B6%9C%E0%B7%90%E0%B7%84%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7-%E0%B6%92%E0%B7%80%E0%B7%8F-%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F-%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%91---%E0%B6%86%E0%B6%A7%E0%B7%92%E0%B6%9C%E0%B6%BD

    ඊළඟ පාර Tbill/Tbond auction එකක් ගියාම මේ සල්ලි ටික සංසරණයට එක් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් කියන කතාව නිවැරදියි කියා මම හිතනවා. ස්වෛරිත්ව බැඳුම්කර ණය පියවීම සඳහා මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක් මිල දී ගත් බව උපකල්පනය කළොත්, එම ගනුදෙනුව හරහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 200ක් සංසරණයෙන් ඉවත් වී (ඩොලර් 1 = රුපියල් 200 ලෙස සලකා) නැවත මහ බැංකුව වෙත යනවා. එදිනම මහ බැංකුව විසින් රුපියල් 200ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තොත් එම මුදල සංසරණයට නැවත එකතු වී මුදල් සැපයුම පෙර මට්ටමටම එනවා. ඩොලරයක් මිල දී ගත්තේ රුපියල් 200ට වඩා තරමක් වැඩියෙන් බවත්, ඩොලර් බිලියනයේ බැඳුම්කරයේ පොලිය ගෙවීම සඳහාද ඩොලර් මිල දී ගත් බවත් සැලකුවොත් රුපියල් බිලියන 213ම නැවට ආපසු මහ බැංකුවට ගියා වෙන්න පුළුවන්. දත්ත ප්‍රකාශයට පත් කෙරෙන තුරු හරියටම කියන්න බැහැ. ඊළඟ වෙන්දේසියේදී සිදුවන දෙය කුමක් වුවත් එය මෙයට සෘජුව සම්බන්ධ නැති වෙනම දෙයක්.

      Delete
    2. නමුත් මෙහිදී මහා බැංකුව සතු ඩොලර් වත්කම් රුපියල් බිලියන 213 කින් අඩුවෙලා, රුපියල් වත්කම් බිලියන 213 x 2 කින් වැඩි වෙන්නේ නැද්ද? මොකද ගනුදෙනුව ඉවර වෙනකොට මහා බැංකුව ළඟ රුපියල් වලින් බිලියන 213 ක් සහ බිලියන 213 ක භාණ්ඩාගාර බිල්පත් තිබෙනවා. තිබුණ ඩොලර් වලින් බිලියනයක් නැති වෙලා.

      Delete
    3. නැහැනේ, ඇනෝ. රුපියල් එනවා ඩොලර් යනවා. රුපියල් යනවා භාණ්ඩාගාර බිල්පත් එනවා. අන්තිමට භාණ්ඩාගාර බිල්පත් ඇවිත් ඩොලර් ගිහින්. රුපියල් වල වෙනසක් නැහැ.

      Delete
    4. යන රුපියල් වලින් වැඩි ප්‍රමාණයක් අලුත් රුපියල් නෙමෙයි ද

      Delete
  6. මේ ඊනියා මැණික් ඔය කියන තරම් වටිනා බවක් මා නම් සිතන්නේ නෑ; එසේ වුවත් මොකක් හෝ ගල් ගෙඩියක් රටින් පිට කර ඒ වෙනුවෙන් අතිවිශාල ඩොලර් සම්භාරයක් මෙරටට ගෙන ඒම මේ "ප්‍රොපගැන්ඩා" වල අරමුණ යැයි අනුමාන කරමි.

    සුද්දන් චීනුන් සහ නිත්‍යානුකූල මාර්ග වලින් මුදල් ඉපැයූ විදේශිකයන් නිකං ගල් ගෙඩියකට මුදල් යෙදවීම බලාපොරොත්තු නොවිය හැකි බැවින් මා සිතන්නේ නිර්නාමික විදේශීය මූලාශ්‍රයක් වශයෙන් පෙනී සිටින ශ්‍රී ලාංකිකයෙකුගේ නිත්‍යානුකූල නොවන විදෙස් වත්කම් නිත්‍යානුකූල යැයි පෙනී යන මාර්ගයකින් රට තුලට ගෙන ඒමේ තැතක් මේ අහේතුක ගල් පුවත් වාර්ථාකරණය තුල ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. බොහෝ විට එසේ විය හැකියි. මා ලිපියේ යාන්තමින් සඳහන් කළ පරිදි, මැණික් ව්‍යාපාරිකයින් විසින් විශාල ලොතරැයි දිනුම් ඇදුණු අයගෙන් එම දිනුම් මුදලට වඩා වැඩි මිලක් ගෙවා ලොතරැයිපත් මිල දී ගැනීම අනාදිමත් කාලයක සිට සිදු වූ දෙයක්. මෙයත් එවැනි දෙයක් විය හැකියි. රටට ඩොලර් හිඟ මේ වෙලාවේ එවැන්නක් සිදු වෙනවානම් ඉහළ තැන් වල යම් සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. මැණික් ගල චීනයේ වෙන්දේසි කරන්න යාමත් සිතා බැලිය යුතු කරුණක්. මේ වගේ මැණික් ගල් හෝ කළු ගල් විස්සක් ඩොලර් මිලියන සීය බැගින් වෙන්දේසි කර ගත්තොත් රටේ ඩොලර් ප්‍රශ්නය දැනට ගොඩ දාගන්න පුළුවන්. කවුරුවත් ඩොලර් මිලියන සීයක් වැනි මිලකට කළු ගලක් මිල දී ගන්නේ නැත්නම් ඉල්ලුම වැඩි කර ගැනීම සඳහා කළු ගල මිල දී ගන්නා අයෙකුට කොළඹ නගර මධ්‍යයේ වටිනා ඉඩමක් හෝ ප්‍රයෝජනයට නොගන්නා වෙනත් කිසියම් වත්කමක් නිකම් දෙන එක වගේ වෙළඳ උපක්‍රමයක් ගැන සලකා බලන්න පුළුවන්.

      Delete
  7. //මැණික් ව්‍යාපාරිකයින් විසින් විශාල ලොතරැයි දිනුම් ඇදුණු අයගෙන් එම දිනුම් මුදලට වඩා වැඩි මිලක් ගෙවා ලොතරැයිපත් මිල දී ගැනීම අනාදිමත් කාලයක සිට සිදු වූ දෙයක්//
    මෙහෙම කරන එකේ අරමුණ මොකක්ද

    ReplyDelete
    Replies
    1. මුදල් විශුද්ධිකරණය. පහළ ඇනෝ කෙනෙක් විස්තරාත්මක පැහැදිලි කිරීමක් කර තිබෙනවා. මේ නිශ්චිත කාරණයේදී මෙය කරන්නේ කාලයක් තිස්සේ බදු නොගෙවා එක්රැස් කළ ධනය විධිමත් ලෙස එළියට දැමිය හැකි ක්‍රමයක් ලෙසයි. එසේ කළ හැකි වන්නේ විවිධ ආදායම් ප්‍රභව සඳහා අය කරන බදු අනුපාතික අතර සැලකිය යුතු වෙනස්කම් ඇති විටයි.

      Delete
  8. ඉකොනොමැට්ටා මෙහිදී මැණික් සහ ලොතරැයි හරහා පවසන්නේ මුදල් විශුද්ධි කරණය ගැන, එහෙම නැත්නම් කුප්‍රකට කළු සල්ලි සුදු කරන එක ගැන. රාජ පක්ෂ චෞරයන් විසින් සොරකම් කළ මුදල් ඩේසි ආච්චිගේ මැණික් මල්ලක් ඉදිරියට දැමූ අයුරින් රවී ඇතුළු එක්සත් ජාතික පක්ෂයද මට මතක නෑ දන්නේ නැහැ කියලා ජනතාවට කොකා පෙන්නුවා.

    මෙතනදි මම මේ කළු සල්ලි ලෙස අදහස් කරන්නේ රජයේ මූල්‍ය නීතිරීතිවලට හා රෙගුලාසිවලට පටහැනිව අයථාකාරයෙන් උපයා ගත් මුදල් හෝ නියමිත ආකාරයට රජයට ගෙවිය යුතු බදු පැහැර හැරීමෙන් වංචා කරන මුදල්. කළු සල්ලි ඉපයීම ඕනෑම ආර්ථික ක්‍රමයක් තුළ නිරන්තරයෙන් සිදුවන දෙයක්, මෙසේ යමෙක් උපයන කළු මුදල් ප්‍රමාණය සුළු මුදලක සිට රුපියල් බිලියන ගණන් ඉක්මවන මහා ධනස්කන්දයක් වියහැකියි.

    මේ කළු සල්ලි උපයන ආකාරය හා උපයන ක්‍රමය එම පුද්ගලයා/ සමාගම් දරන බලය, තත්ත්වය, නිලය, සමාජ සම්බන්ධතා, බලපෑම් කිරීමේ හැකියාව යන සාධක අනුව වෙනස්, අල්ලස හා දුෂණය මෙන්ම කළු සල්ලි ව්‍යාපාරයද බලය සමඟ ඉතාම කිට්ටුවෙන් බැඳී ඇති නිසා සාමාන්‍ය මිනිසුන්ට වඩා දේශපාලනඥයින් හා බලවත් ව්‍යාපාරිකයින් වැනි අය කළු සල්ලි ඉපයීමේ අපචාර ක්‍රියාවේ ප්‍රමුඛයින් වූවද කළු සල්ලි ඉපයීමේ හොර ජාවාරමට සමාජයේ ඕනෑම පුද්ගලයකු සම්බන්ධ විය හැකියි.

    උදා: ඇමතිවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැතිනම් විධායක මට්ටමේ රාජ්‍ය සේවකයෙක් යම් කාර්යයක් ඉටුකර දීමට යම් අයකුගෙන් යම් මුදල් ප්‍රමාණයක් අයථා ලෙස ලබා ගැනීමත් අයත් වන්නේ කළු සල්ලි ජාවාරම් ගණයට, යම් ව්‍යාපාරිකයෙක් හෝ වෙළෙන්දෙක් නියමිත ආකාරයට ගණන් හිලව් සඳහන්/ වාර්තා නොකර යම් පාරිභෝගිකයකුට නියමිත මිලට වඩා වැඩි මිලකට යම් භාණ්ඩයක් විකුණා අයථා ආකාරයට උපයා ගන්නා මුදල් අයත් වන්නේත් කළු සල්ලි ගණයටයි.

    ඔය වගේම රාජ්‍ය සේවකයකු රාජකාරී කටයුත්තක් සඳහා දුම්රියේ දෙවන පන්තියේ ගමන්කොට පළමු පන්තියේ ගමන් කළ බව පෙන්වමින් නියමිත මුදලට වඩා වංචනිකව ලබා ගන්නා මුදලත් කළු සල්ලි. මෙයින් පෙනී යන්නේ ආර්ථික ක්‍රමයක් තුළ කළු සල්ලි උපයන ආකාරය විවිධාකාර අයුරින් ක්‍රියාත්මක වෙමින් බැලූ බැල්මට පෙනී යන්නේ අල්ලස සහ කළු සල්ලි ඉපයීම අතර එතරම් කැපී පෙනෙන වෙනසක් නොමැති බවත් සහ ඒ දෙක අන්නෝන්‍ය වශයෙන් එකිනෙකට සමාන වන බවක්.

    හැබැයි ඒකේ යම් සත්‍යයක් තිබුණට ඒ දෙක එකක් නෙවේ, මොකද අල්ලසට සම්බන්ධ මූලික ලක්‍ෂණය ඒක ඉල්ලීම සහ ගැනීම. නැතිනම් දීම සහ ගැනීම. මේ මොන ක්‍රමයකට ලබා ගත්තත් අන්තිමට අල්ලස් ලෙස ලබා ගන්නා මුදල් කළු සල්ලි වෙනවා. නමුත් කළු සල්ලි ඉල්ලීම සහ ගැනීම මෙන්ම දීම සහ ගැනීම යන ද්විත්ව ක්‍රියාවන් ඉක්මවා ගොස් තමන් විසින් වංචනිකව උපයා ගැනීම හරහා ද අයත් කරගත හැකි දෙයක්. ඒ නිසා ඒ දෙවන හා තුන්වන නිදසුන් මගින් අප කතා කලේ එම තත්ත්වයයි.

    අතීතයේ II වන ලෝකයුධ සමයේ ලොව නිදහස් වෙළඳාමට පැනවූ විවිධ මිල පාලන ක්‍රම, කෝටා ක්‍රම, කූපන් ක්‍රම නිසා බිහිවන කළු කඩ ක්‍රමය ආශ්‍රයෙන් මේ කළු සල්ලි ජාවාරම පටන් ගත් නමුත් අද කළු සල්ලි යන පදයෙන් අර්ථවත් වන දෙය කළුකඩ හරහා කරන අයථා ඉපයීම් ඉක්මවා යමින් නූතනයේ කළු සල්ලි යනු ගණන් නොතැබූ නැතිනම් ප්‍රකාශයට පත් නොකළ අයථා ආකාරයෙන් උපයා ගත් මුදල් සහ මුදල් වෙළඳපොලේ විවෘත සංවරණයට නොදමමින් සඟවා ගෙන තිබෙන මුදල්. මෙය ඉතාම කෙටියෙන් කියනවා නම් කළු සල්ලි යනුවෙන් අදහස් කරන්නේ බදු වංචා කිරීම මගින් සඟවා ගෙන තිබෙන මුදල්. කළු සල්ලි ඉපයීම නීත්‍යානුකූල අයුරින් මෙන්ම නීති විරෝධීව ද කරතහැකි.

    ReplyDelete
    Replies
    1. රටක නීත්‍යානුකූල කළු සල්ලිකියන්නේ නීත්‍යානුකූල මාර්ගවලින් ඉපැයූ නමුත් බදු ගෙවීම පැහැර හරිමින් වංචා කරන මුදල්. ලංකාවේ මේ ජාතියේ කළු සල්ලි ඉපයීමේ ප්‍රමුඛයින් වෛද්‍යවරුන්, නීතිවේදීන්, ගණකාධිකාරීවරුන්, නිවාස සැළසුම් ශිල්පීන්, ටියුෂන් ගුරුවරුන් වගේ වෘත්තීය කොටස්. නීති විරෝධී කළු සල්ලි උපයන මාර්ග රාශියක් අතර අල්ලස් ගැනීම, කළුකඩ, හොරබඩු ආනයනය හා අපනයනය, පාලිත මිලට වඩා වැඩි මිලකට විකිණීම වගේ ගොඩක් ඒවා.


      සාමාන්‍යයෙන් විධිමත් ආර්ථික ක්‍රමයක කළු සල්ලි ජාවාරම් වෙන්නේ හේතු සාධක කිහිපයක් නිසා, මෙයින් ඇතැම් සාධක අල්ලස් හා දුෂණ ඇතිවීමේ සාධකවලට බෙහෙවින් සමාන නමුත් මේ සාධක අතර ඉතාම වැදගත් එකක් තමයි රට තුළ පවතින බදු ව්‍යුහය. රටක බදු ව්‍යුහය යථාර්ථවාදී නොවන සහ අක්‍රමවත් ආකාරයට විවිධ ආණ්ඩු හෝ එකම ආණ්ඩුව විටින් විට විවිධ ප්‍රභේදවල බදු වැඩි කරනවානම් මිනිස්සු බදු ගෙවීම පැහැර හැරීමට නිතැතින්ම පෙළඹෙනවා. මේ නිසා රටක ස්ථාවර දීර්ඝකාලීන යථාර්ථවාදී මට්ටමක බදු ව්‍යුහයක් තියෙනවිට මිනිසුන් මුදල් සැඟවීමට දැඩි උනන්දුවක් නොදක්වන බවටත්, වැඩි වැඩියෙන් බදු ගෙවීමට පෙළඹෙන බවටත් සමහරු තර්ක කරනවා, විශේෂයෙන්ම මේක ලංකාවේ නූතන ජනපති වෙනුවෙන් පෙනී සිටි වියත් මග කල්ලියේ ප්‍රධානතම අදහසක්.

      විශේෂයෙන් යම් කිසි රටක ආයාත හා නිර්යාත සඳහා ගෙවීම් කිරීමේදී තීරුබදු පනවන හා අයකරන ආකාරය කළු සල්ලි ජාවාරම් වලට බලපාන තවත් සෑහෙන ප්‍රබල හේතු සාධකයක්.

      ඒ අනුව රටක තීරුබදු ඉතාම ඉහළ අගයක් ඇතිවිට ආනයන හා අපනයන භාණ්ඩවල මිල අඩුවෙන් සඳහන් කරමින් නියමිත තීරු බදු ගෙවීම පැහැර හැරීමට ආනයන/අපනයන කරන අය කටයුතු කරද්දී කළු සල්ලි ඇතිවීම ස්වාභාවිකයි. මේ කළු සල්ලි බිහිවීමට බලපාන තවත් හේතුවක් ආණ්ඩුව පනවන මිල පාලන ක්‍රම, මොකද මිල පාලන ක්‍රමයේ ප්‍රධානම දුර්වලතාවයක් වෙළඳ පොලේ ක්‍රියාත්මක ඉල්ලූම් හා සැපයුම් බලවේග ගැන සැළකිලිමත් නොවීම නිසා මිල පාලනය අනිවාර්යයෙන්ම වගේ භාණ්ඩ සැඟවීම, කෘතීම හිඟ නිර්මාණය, වැඩි මිලට රහසේ විකිණීම වගේ දුෂණ ක්‍රියා වලට බලපාන නීසා ඒ දුෂණයන් නිසාත් කළු සල්ලි බිහිවෙනවා.

      රටක ආණ්ඩුව ඇතැම් විට අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් කරන කෝටා ක්‍රම කළු සල්ලි බිහිවීමේ තවත් මූලාශ්‍රයක්. ඒ කෝටා ක්‍රමය ක්‍රියාවට නංවන්නේ භාණ්ඩ සැපයුමේ හිඟයක් ඇති විට නිසා එතෙන්දී නියමිත මිලට වඩා වැඩියෙන් අයකරමින් හොර රහසේ භාණ්ඩ විකිණීමට වෙළඳුන් ක්‍රියා කරන අතර පාරිභෝගිකයන්ට කළහැකි වෙනත් දෙයක් නැති නිසා තමයි වැඩි මිලට භාණ්ඩ මිල දී ගැනීමට පෙළඹීමේ ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය කළු සල්ලි බිහිවීම.

      මේ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේදී මැතිවරණ කළු සල්ලි උත්පාදනය වීමේ තවත් මූලාශ්‍රයක්. හැබැයි මේක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් පවතින රටවල්වලට විතරයි. මැතිවරණ අතිශය වියදම් සහගත දෙයක් නිසා සෑම දේශපාලන පක්‍ෂයක් පමණක් නොව සෑම ඡන්ද අපේක්‍ෂකයෙක්ම නීතියෙන් නියම කොට ඇති මුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මැතිවරණවල දී වියදම් කිරීම සාමාන්‍ය සිරිතක්. මැතිවරණ සඳහා ව්‍යාපාරික කොටස් දේශපාලන පක්‍ෂවලට මෙන්ම අපේක්‍ෂයන්ටද මුදල් ආධාර සැපයීම මැතිවරණ ආශ්‍රිතව දැකිය හැකි සාමාන්‍ය දෙයක් නිසාම ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයන් අතර පවතින මෙම ශූද්ධ සන්ධානය දැඩි ලෙස කළු සල්ලි භාවිතයට බලපානවා.

      මේ නිසා දේශපාලඥයන් සඳහා ව්‍යාපාරිකයන් තමන්ගේ කළු සල්ලි වියදම් කරන්නේ එසේ දේශපාලඥයන් බලයට පත්වූ පසු ඔවුන්ගෙන් විවිධ ආර්ථික ප්‍රතිදාන සහ වෙනත් අනුග්‍රහ ලබා ගැනීම ඉලක්ක කර ගෙන. මෙම ක්‍රියාදාමය ව්‍යපාරිකයන්ට තව තවත් කළු සල්ලි උපයා ගැනීමට උපකාරයක්.

      මේ වගේම property market දේපල වෙළඳාම කළු සල්ලි ඉපයීමට උපකාරී වන තවත් මූලාශ්‍රයක්. හේතුව නියම මිලට වඩා අඩුවෙන් මිල ගණන් දැක්වීම මගින් කරන වංවනික ක්‍රියා මගින් කළු සල්ලි ඉපයීමට මග පෑදීම.

      ඔය වගේම තමයි රටක කළු සල්ලි ඉපයීමට බලපාන ඉතාමත්ම ප්‍රබල මූලාශ්‍රයක් දේශපාලඥයින් සහ රජයේ ඉහළ නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවත් සම්බන්ධව සිදුවෙන මහා පරිමාණ කොමිස් මුදල් හුවමාරුවන රාජ්‍ය ව්‍යාපාර සහ ගණුදෙනු තමයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: