වෙබ් ලිපිනය:

Wednesday, April 20, 2022

ගෝටාගෝගම ආර්ථිකය


අධිපති මාරුවෙන් පසුව ඉතා කෙටි කාලයක් තුළ මහ බැංකුව විසින් විණිමය අනුපාතයේ පාලනය අතට ගනිමින් ඉන්නවා. මතුපිටින් බලන, විණිමය වෙළඳපොළ ගැන හා සාර්ව ආර්ථිකය ගැන පුළුල් අවබෝධයක් නැති කෙනෙකුට සිදුවන වෙනස්කම් ග්‍රහණය කර ගන්න අමාරුයි. එයත් ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන තුරුම ගොඩක් අයට එය නොපෙනුනා වගේම දෙයක්. 

අද වන විට සයමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 24.77% දක්වාත්, තෙමස් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 23.21% දක්වාත් ඉහළ යන්නට සලස්වා තිබෙනවා. කැමති අයෙකුට බැංකු වල තිබෙන තමන්ගේ රුපියල්  භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර මේ ඉහළ පොලිය ලබා ගත හැකියි. පොලී අනුපාතික මෙවැනි ඉහළ මට්ටමකට යන්නට ඉඩ සලසමින් හා එහි පීඩාව විඳ ගනිමින් භාණ්ඩාගාර ලේකම් වරයා විසින් මහ බැංකුවට ලබා දී තිබෙන සහයෝගය අගය කළ යුතුයි. මහ බැංකුවේ ඊළඟ මුදල් ප්‍රතිපත්ති තීරණය තුළද පොලී අනුපාතික තව දුරටත් සැලකිය යුතු ලෙස වැඩි කිරීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. මේ අර්බුදයෙන් ගොඩ යාම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික 30% පමණ දක්වාවත් ඉහළ දමන්නට සිදු විය හැකියි.

විණිමය වෙළඳපොළ අසමතුලිතාවන් හා සාර්ව-ආර්ථික අසමතුලිතාවන් මුලින්ම හඳුනාගන්නේ බැංකු පද්ධතියයි. මේ වන විට ආර්ථිකයේ ස්ථාවරත්වය පිලිබඳව බැංකු පද්ධතිය තුළ වූ සැක සංකා දුරු කිරීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. බැංකු අතර සිදුවන තැන් ගනුදෙනු මේ වෙද්දී සුමට හා ස්ථාවර ලෙස සිදු වෙනවා. මේ ස්ථාවරත්වය බැංකු පද්ධතියෙන් ඔබ්බට ගෙන යාම සීරුමාරුවට කළ යුතු වැඩක්. බැංකු පද්ධතිය විසින් මහ බැංකුවේ මාර්ගෝපදේශනය යටතේ වෙළඳපොළෙන් හැකි තාක් ඩොලර් එකතු කර ගනිමින් සිටිනවා. ඩොලරයේ "මිල සංඥාව" තවමත් අහු වී නැතත් ඉතා ඉක්මණින් එය අල්ලා ගත හැකි වනු ඇතැයි සිතිය හැකියි. 

ඩොලරයේ මිල අවශ්‍ය මට්ටම දක්වා ටිකෙන් ටික ඉහළ යවද්දී, ආනයනික භාණ්ඩ මිලද ඉහළ යන අතර එය එසේ ඉහළ යන්නට ඉඩ හරින්නටද වෙනවා. සහන දෙන්න ගියොත් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. එය දේශපාලනිකව කෙතරම් ශක්‍යද කියන එක ගැටලුවක්. 

ගෝටාගෝගම ජනපදය පිහිටුවා දැන් සති දෙකකට කිට්ටුයි. ඇතැම් අය එහි කොමියුනිස්ට් සමාජයක ලක්ෂණ දකිනවා. හැමෝගෙම අදහස් වලට ඉඩ ලැබෙන හැකි පමණ දී අවශ්‍ය පමණ ගන්නා සාමූහිකත්වයක් එහි තිබෙනවා. ඇතැම් අය මෙය දකින්නේ කිසිදු නිෂ්පාදනයක් නොකෙරෙන අපූරු කොමියුනිස්ට් සමාජයක් ලෙසයි. 

නලින් ද සිල්වා විසින් ටික දවසකට කලින් කියා තිබුණේ ගෝටාගෝගම නිෂ්පාදනය කරන්නේ ආතල් බවයි. මෙය සමච්චලයට කර තිබෙන ප්‍රකාශයක් විය හැකි වුවත් ඒ ප්‍රකාශය පදනම් කරගෙන ගෝටාගෝගම ආර්ථිකය වගේම ලංකාවේ ආර්ථිකයත් විස්තර කරන්න පුළුවන්. 

ගෝටාගෝගම කිසිදු නිෂ්පාදනයක් සිදු නොවන බව කියන නලින් ද සිල්වාද ඇතුළු අනෙකුත් අය එසේ කියන්නේ ද්‍රව්‍යවාදී, මාක්ස්වාදී අර්ථයකින්. ගෝටාගෝගම කවුරුවත් තක්කාලි වවන්නේ නැහැ. තණ පිඩලි ගලවා මුං වපුරන්නේ නැහැ. අඩු වශයෙන් ළඟම තියෙන මූදට ගොස් මාළු අල්ලන්නේ නැහැ. කොටින්ම ගෝටාගෝගම කිසිදු ප්‍රාථමික භාණ්ඩ නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. එහෙත්, සුළු වශයෙන් වුවත්, ද්වීතියික භාණ්ඩ නිෂ්පාදනයක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට පිටි "ආනයනය කරලා" රොටී හදද්දී එතැන නිෂ්පාදනයක් වෙනවා. අගය එකතු කිරීමක් වෙනවා.  

භාණ්ඩ නිෂ්පාදනයක් ලොකුවට සිදු නොවුනත් ගෝටාගෝගම ඇතුළේ සේවා නිෂ්පාදනයක්නම් ලොකුවටම සිදු වෙනවා. ගෝටාගෝගම පුරවැසියන් වෛද්‍ය සේවා, අධ්‍යාපන සේවා, විනෝදාස්වාද සේවා, නීති සේවා, ආහාර බෙදාහැරීමේ සේවා, සනීපාරක්ෂක පහසුකම් සැපයීමේ සේවා, පිරිසිදු කිරීමේ සේවා ආදිය සපයනවා. ඒ කියන්නේ සැලකිය යුතු සේවා නිෂ්පාදනයක් මෙහි සිදු වෙනවා. 

රටක දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ යම් කිසි කාලයක් තුළ ඒ රටේ නිපදවන භාණ්ඩ හා සේවා වල වටිනාකම. ඒ නිසා, රටක භාණ්ඩ කිසිවක් හැදුවේ නැතත්, ඒ රටේ සැලකිය යුතු දළ දේශීය නිෂ්පාදිතයක් හා ඒක පුද්ගල ආදායමක් තියෙන්න පුළුවන්. මාක්ස්-ලෙනින්වාදය මත පදනම් වූ සමාජවාදී ආර්ථික ක්‍රම අනුගමනය කළ රටවල් සේවා නිෂ්පාදන නිෂ්පාදන සේ සැලකුවේ නැහැ. ඔවුන් නිෂ්පාදන සේ සැලකුවේ භාණ්ඩ පමණයි. ඒ නිසා, ඔවුන් දළ දේශීය නිෂ්පාදිතය වෙනුවට ආර්ථික වර්ධනය මැනීම සඳහා යොදා ගත්තේ ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතය (Net Material Product -NMP) නම් වූ නිර්ණායකයක්. මේ වන විට මේ නිර්ණායකය භාවිතා කරන්නේ කියුබාව සහ උතුරු කොරියාව පමණයි. 

ගෝටාගෝගම වෙනම ආර්ථික ඒකකයක් සේ සැලකුවොත් එහි ශුද්ධ ද්‍රව්‍ය නිෂ්පාදිතයක් නැති තරම්. ගෝටාගෝගම කිසිදු නිෂ්පාදනයක් නැති බව කියන අය එසේ කියන්නේ මාක්ස්-ලෙනින්වාදී පදනමක සිටයි. එහෙත්, එහි සැලකිය යුතු දළ දේශීය නිෂ්පාදිතයක් තිබෙනවා. 

කිසිදු ද්‍රව්‍යමය නිෂ්පාදනයක් සිදු නොකර රටකට හෝ ආර්ථික කලාපයකට පැවතිය හැකිද?

ඉතා පැහැදිලි ලෙසම පුළුවන්. එසේ කළ නොහැක්කේ අදාළ ආර්ථික කලාපය සංවෘත ආර්ථික කලාපයක්නම් පමණයි. ටිකක් ලොකු ගෝටාගෝගමක් වන සිංගප්පූරුවේ කෘෂිකාර්මික නිෂ්පාදනයක් සිදු නොවන තරම්. එහෙත්, සිංගප්පූරුව ලෝකයේ රටවල් අතරින් ආහාර සුරක්ෂිතතාවය වැඩිම රටක්. එහි රහස ලෝකයට විවෘත වීමයි.

ගෝටාගෝගම ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයක්. ප්‍රාග්ධනයට හෝ ශ්‍රමයට ගෝටාගෝගමට හෝ එයින් පිටතට යාමට කිසිම බාධාවක් නැහැ. ගෝටාගෝගම පුරවැසියෝ යම් පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් බොහෝ දෙනෙක් ගෝටාගෝගමෙන් පිට රැකියා කරන අය. ඒ අය ගෝටාගෝගමෙන් පිට රැකියා කරලා ගෝටාගෝගමට ශ්‍රමික ප්‍රේෂණ එවනවා. තව ඉන්නවා ගෝටාගෝගමට එන විශාල සංචාරකයෝ පිරිසක්. ඒ අය ගෝටාගෝගමට ඇවිත් තමන්ගේ සල්ලි වියදම් කරනවා. 

නලින් ද සිල්වා කියනවා වගේ ගෝටාගෝගම වැසියන් නිෂ්පාදනය කරන ප්‍රධානම දෙය ආතල්. කොහොමටත්, මොන නමින් තිබුණත්, වෙළඳපොලක හුවමාරු වන්නේ ආතල්. මිනිස්සු ආහාර වෙනුවෙන් මිලක් ගෙවන්නේ ආහාර පරිභෝජනය කිරීමේදී ලැබෙන ආතල් එක නිසා. ඇඳුම් වෙනුවෙන් මිලක් ගෙවන්නේ ඇඳුමක් ඇඳීමෙන් ලැබෙන ආතල් එක නිසා. සිංදුවක් අහන්න හෝ චිත්‍රපටයක් බලන්න මිලක් ගෙවන්නේ එයින් ලැබෙන ආතල් එක නිසා. මොන ස්වරූපයෙන් විකිණුවත් අන්තිමට කවුරු වුනත් විකුණන්නේ ආතල්. භාණ්ඩ නිෂ්පාදනය කරන අය වගේම සේවා නිෂ්පාදනය කරන අයත් කරන්නේ ආතල් නිපදවන එක. ආතල් නිපදවිය නොහැකිනම් කවර නිෂ්පාදනයක වුවත් වෙළඳපොළ වටිනාකමක් නැහැ. 

විනෝදාස්වාද සේවා, අධ්‍යාපන සේවා ආදිය නිපදවමින් ගෝටාගෝගමින් අපනයනය කරන ආතල් ලෝකය පුරාම විකිණෙනවා. ලැබෙන අපනයන ආදායම ගෝටාගෝගම ආනයන වියදමට හොඳටම ප්‍රමාණවත්. ගෝටාගෝගම ආර්ථිකය කඩා නොවැටී දිනෙන් දිනම දියුණු වෙන්නේ ඒ නිසයි. හැබැයි අසල්වැසි රාජ්‍යයක් විසින් ආක්‍රමණය කළොත් හරි ඇතුළේ සිවිල් යුද්ධයක් ඇති වුනොත් හරි ගෝටාගෝගම ආර්ථිකය ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්. 

#ඉකොනොමැට්ටා 

51 comments:

  1. සාමාන්‍ය මනුස්සයෙක් බැන්කුවක දාල තියෙන සල්ලි භාන්ඩාගාර බිල්පත් වල දාන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. හරිම සරලයි. ලඟම තියෙන බැංකු ශාඛාවට ගිහින් වැඩේ කර ගන්න පුළුවන්. අවම රුපියල් 50,000 මම හිතන්නේ. බැංකු සාමාන්‍යයෙන් භාණ්ඩාගාර බිල්පත් සක්‍රිය ලෙස ප්‍රවර්ධනය කරන්නේ නැහැ. මිනිස්සුන්ට ස්ථිර තැන්පතු ආදියට අඩු පොලියක් දී එකතු කර ගන්න සල්ලි බැංකු විසින් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර ලාබයක් ගන්න එකයි ගොඩක් වෙලාවට සිදු වන්නේ. දන්නා අය පමණක් කෙළින්ම භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරනවා.

      Delete
    2. අම්මප මේක දැනන් හිටියෙ නැහැනෙ මෙච්චරකල්.
      තව ප්‍රශ්නයක් තියෙනව.
      ඩොලර් යම් ප්‍රමානයක් අතේ තියෙන කෙනෙක් මේ වෙලාවෙ ඒක රුපියල්කරල භාන්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම වාසිද? නැතිනම් දිගටම ඩොලර් තියන් ඉන්න එක වාසිද?

      Delete
    3. දැන් ඩොලර් එක රුපියල් 320කට පමණ විකුනන්න පුළුවන්නේ. භාණ්ඩාගාර බිල්පත් වල දැම්මොත් මාස තුනකින් (ආසන්න වශයෙන්) රුපියල් 340ක් ලැබෙනවා. අවුරුද්දකින් රුපියල් 400ක් ලැබෙනවා. දැනට පෙනෙන විදිහට තවමත් ඩොලර් අතේ තියාගෙන ඉන්න එක වාසියි. මාස තුනකින් අනිවාර්යයෙන්ම ඩොලර් එක (ගැනුම් මිල) රුපියල් 340 පන්නනවා. බොහෝ විට මේ සතියේ හෝ ලබන සතියේ. නමුත් ඉතා ඉක්මණින් මේ තත්ත්වය වෙනස් වී ඩොලරයේ මිල ස්ථාවර වෙයි කියා මම හිතනවා. (ස්ථිර වෙයි කියා නෙමෙයි. මිල ඉහළ යන වේගය අඩුවෙයි කියා).

      Delete
    4. බැන්කු හරහා බිල්පත් වල ආයෝජනය කිර්‍රීම ගැන තව ප්‍රශ්නයක් තියෙනව.
      මේ විදියට සාමාන්‍ය පුද්ගලයෙකුට ආයෝජනය කරන්න පුලුවන් බැන්කුව දැනටම මිලදී අරගෙන තියෙන බිල්පත් වලද? හැබැයි එහෙම උනොත් මාස 3 ක බිල්පතක ආයෝජනය කරන්න වෙන්නෙ ඊට වඩා අඩු දවස් ගානක්ට නේද බිල්පත නිකුත් කරල යම් දින ගානක් ගතවෙලා නිසා?

      Delete
    5. ඉකොනො
      එහෙම වැඩි පොලියක් ගෙවනවා නම් ඇයි සාමාන්‍ය ජනතාව අතර මේ ගැන දැනුවත් පැත්තෙ? භාණ්ඩාගාර බිල්පත් වලට ආයෝජනය කරන එකේ යම් රිස්ක් එකක් තියෙනවද?

      Delete
    6. AnonymousApril 20, 2022 at 6:59 PM

      බැංකු ක්‍රියාකරන්නේ රජයේ තැරැව්කරුවෙකු ලෙස. ඒ වෙනුවෙන් පොලියෙන් ඉතා සුළු ප්‍රතිශතයක් තියා ගන්නවා. එහෙත් සුළු මුදලක් ආයෝජනය කරන අයෙක් වෙනුවෙන් ප්‍රායෝගිකව බැංකුවක් අලුතෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නේ නැහැ. තියෙන එකකින් කොටසක් විකුණන එකයි කරන්නේ.

      මාස තුනක බිල්පතක් මිල දී ගත් විට ඒ වෙනුවෙන් තියෙන බිල්පතක් වෙන් කරනවා. එය මාස දෙකකින් කල් පිරුනොත් ඒ වෙනුවට වෙන එකක් වෙන් කරනවා.

      kumaraApril 21, 2022 at 5:55 AM

      මෙයට හේතුව මේ සල්ලි යන්නේ රජයට වීම සහ විකිණුම්කරු රජය නොවීමයි. රජයට සල්ලි අරන් දෙනවාට වඩා ස්ථිර තැන්පතු හරහා තමන්ට මුදල් එකතු කර ගැනීම බැංකු වලට වාසියි. ප්‍රාථමික අලෙවිකරුවන් පත් කර තිබෙන්නේ මේ හේතුව නිසා වුවත් (පසුගිය කාලයේ කතාබහට ලක් වූ පර්පෙචුවල් ට්‍රෙෂරිස් වැනි) ඔවුන්ට බැංකු වලට මෙන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් නැති නිසා ප්‍රායෝගිකව ඔවුන්ගේ සේවය ලබා ගන්නේ කොළඹ කේන්ද්‍රීය සීමිත පිරිසක්. අවම අවදානමක් ඇති ආයෝජනය සේ සැලකෙන්නේ භාණ්ඩාගාර බිල්පත්. බැංකුවක් කඩා වැටුනොත් ස්ථිර තැන්පතු ආදිය වුවත් අහිමි විය හැකියි. භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත් විට ගත් තැනට අමතරව මහ බැංකුවේද ස්වයංක්‍රීය ගිණුමක් විවෘත වෙනවා.

      Delete
    7. // භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත් විට ගත් තැනට අමතරව මහ බැංකුවේද ස්වයංක්‍රීය ගිණුමක් විවෘත වෙනවා //


      මෙම ගිණුම විවෘත වෙන්නේ ඒ භාණ්ඩාගාර බිල්පත මිල දී ගන්න පුද්ගලයා නමින් ද??

      එහෙම පුද්ගලය නමින් ස්වංක්‍රීය ගිණුමක් විවෘත වෙනවා නම් , එහී විශේෂ වාසියක් තියෙනව ද ?

      Delete
  2. අපිට බැරිද මුළු ලංකාවම ගෝටාගෝගමක් කරලා ලෝකෙට ආතල් දීලා හම්බෙන ඩොලර් වලින් සැපේ ඉන්න.



    ReplyDelete
    Replies
    1. මෙච්චර කල් කළේත් ඒකම නෙමෙයිද?

      Delete
    2. ඉතින් එහෙනං මිනිස්සු ගෝල්පේස් වල ගෝටාගෝගමක් හැදුවේ ඇයි?

      Delete
    3. ලෝකෙට ආතල් දීලා හම්බෙන ඩොලර් වලින් ලැබෙන ආතල් මදි වෙලා ණයට ආතල් ගන්න ගිහිං ඇනුණු නිසානේ ඇනෝ!

      Delete
    4. //ලෝකෙට ආතල් දීලා හම්බෙන ඩොලර් වලින් ලැබෙන ආතල් මදි වෙලා ණයට ආතල් ගන්න ගිහිං ඇනුණු නිසානේ//

      😂🤣👌

      Delete
    5. 'හැබැයි අසල්වැසි රාජ්‍යයක් විසින් ආක්‍රමණය කළොත් හරි ඇතුළේ සිවිල් යුද්ධයක් ඇති වුනොත් හරි ගෝටාගෝගම ආර්ථිකය ක්ෂණිකව කඩා වැටෙන්න පුළුවන්. '

      ඉකොනෝ ඒ කියන්නේ රට ඇනුණේ මේ උද්ඝෝෂණ නිසා කියලද?

      Delete
    6. නැහැ. උද්ඝෝෂණ ඇති වුනේ ඇනුණාට පසුවනේ. (තවමත් ඉවරයක්නම් නැහැ. පටන් ගත්තා පමණයි)

      Delete
    7. එහෙම නෙවෙයි ඉකොනොමැට්ටා මෙහෙම දේකුත් තියනවා මම උදාහරණයක් ඇසුරින් කියන්නම්, මම දන්න කෙනෙක් හිටියා (එයාව ආස්රය කරපු බහුතරයක් කොල්ලොත් මම දන්නවා), ඒ කාලයේ හරිම ප්‍රසිද්ධයි එයා කොල්ලෝ අතරේ, පස්සේ කාලයක එයා හොද කසාදයක් කරගත්තා
      (දැන් වසර කිහිපයකින් මම එයාව දැක්කේ නැහැ)

      මෙතනදි මේ සිද්ධිය මට කියුවේ අදාල පුද්ගලයාමයි, දවසක් මිනිහා එක්කරගන ගිහිං අර ඇත්තිට මහ කෙලියම කරන්ඩම හදලා
      උන්දැ ඉඩක් දීලම නෑ, පස්සේ බේරෙන්ඩ බැරිම තැන, අනේ අයියේ ඔයාට ඕනමනං ඒ පැත්තට එපා මේ පැත්තට කරන්ඩ කියුවාලු,

      ඒ නිසා ඔන්න ඕකයි තත්වේ, ලංකාවෙන් පිට සහ ලංකාවේ සිටි වසර 10 කින් කිසිම පක්ශයකට චන්දයක් පාවිච්චි කර නැති මට හිතෙන විදියට මේ මොහොතේ ඇති එකම හා නිවැරදිම විසදුම අනුර කුමාරට රට භාරදීම හා හිටපු විගනකාධිපති ගාමිණී විජේසිංහ වැනි බුද්ධිමත් මිනිසුන් සම්බන්ධ කර ගැනීමයි... රට මෙතරම් විනාශයට ගෙන ගිහිල්ලත් ජ.වි.පෙ වෙත මිනිසුන් වපර ඇසින් බැලීම ඇත්තටම රටේ අභාග්‍යක්.. සාමාන්‍ය මිනිසුන්ට පක්ෂය කෙරෙහි විශ්වාසය වැඩිකිරීමට ඔවුනට සිදුවේ.. ඒ සඳහා මගේ හැඟීමයි මේ;

      1.වසර 20 ට වැඩි කාලයක් මිනිස්සුන්ට දරාගත නොහැකි වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුවේ සිටින අනුර කුමාර ඇතුලු සාමාජිකයින් එම වරප්‍රසාද එපා කීවද? වාහන පර්මිට්වලින් ලැබුනු මුදල් පක්ශයේ හෝ කිසියම් කටයුතුවලට යෙදුවේද?

      2.අනෙකුත් මැති ඇමතිවරුන්ගේ ලමයි පිටරට ඉන්නවා යැයි කියන එතුමා ආදර්ශයක් විදියට හෝ තමන්ගේ ලමයින් අපේ රටේ අපේ මිනිසුන් සමග යොමු නොකරන්නේ ඇයි?

      3 පක්ශයේ ඉහල සිටින ඔවුන් කොතරම් වැඩ්ඩො උනත් බිම් මට්ටමේ සිටින සාමාජිකයින් ගොන්නු සේ හැසිරේනම් ඵලක් නැත... මලගෙදරකට, පාටියකට ගියවිට බොහෝදුරට සිදුවන්නෙ මෙම බිම් මට්ටමේ සාමාජිකයින්ගේ ප්‍රායෝගික නොවන ලොකූ ටෝක්, පොරටෝක් අනෙකාට අසා සිටීමට සිදුවීමයි.. පක්ශයට අලුතින් සාමාජිකයින් එකතුකරගත හැකි සංවේදීතාවක් තිබෙන තරුන කැලක් බිහිකරගැනීමට පක්ශය අසමත්වන්නෙ ඇයි?

      4.නීති පද්දතිය පිලබදව යම් පැහැදීමක් මිනිසුන්ට ඇති මේ අවස්තාවෙ තිබෙනවා යයි කියන ෆයිල් එලියට නොදාන්නෙ ඇයි? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
    8. 1.වසර 20 ට වැඩි කාලයක් මිනිස්සුන්ට දරාගත නොහැකි වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුවේ සිටින අනුර කුමාර ඇතුලු සාමාජිකයින් එම වරප්‍රසාද එපා කීවද? වාහන පර්මිට්වලින් ලැබුනු මුදල් පක්ශයේ හෝ කිසියම් කටයුතුවලට යෙදුවේද?

      I think this is what they are doing. Donating that money to the party. Some people are complaining that its a misuse of funds. In addition, when AKD was the Agriculture Minister under CBK the got a bus for staff transportation instead of a luxury SUV

      2.අනෙකුත් මැති ඇමතිවරුන්ගේ ලමයි පිටරට ඉන්නවා යැයි කියන එතුමා ආදර්ශයක් විදියට හෝ තමන්ගේ ලමයින් අපේ රටේ අපේ මිනිසුන් සමග යොමු නොකරන්නේ ඇයි?
      I think generally most of their kids do degrees in SL, or maybe India, not in expensive western countries.

      3 පක්ශයේ ඉහල සිටින ඔවුන් කොතරම් වැඩ්ඩො උනත් බිම් මට්ටමේ සිටින සාමාජිකයින් ගොන්නු සේ හැසිරේනම් ඵලක් නැත... මලගෙදරකට, පාටියකට ගියවිට බොහෝදුරට සිදුවන්නෙ මෙම බිම් මට්ටමේ සාමාජිකයින්ගේ ප්‍රායෝගික නොවන ලොකූ ටෝක්, පොරටෝක් අනෙකාට අසා සිටීමට සිදුවීමයි.. පක්ශයට අලුතින් සාමාජිකයින් එකතුකරගත හැකි සංවේදීතාවක් තිබෙන තරුන කැලක් බිහිකරගැනීමට පක්ශය අසමත්වන්නෙ ඇයි?
      No comments.

      4.නීති පද්දතිය පිලබදව යම් පැහැදීමක් මිනිසුන්ට ඇති මේ අවස්තාවෙ තිබෙනවා යයි කියන ෆයිල් එලියට නොදාන්නෙ ඇයි? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?
      Most of the cases that we were thrown out recently were filed with evidence hand over by JVP. But not much will happen unless the have enough power in the parliament.

      Delete
    9. අනුර කුමාරගෙ TV ඉන්ටවීව් එකක් ඇහැව්වා. නිවේදකයා ඇහැව්වා, ඔබ ජනාධිපති වුනොත් රට ගොඩ ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. අනුර ගැහැව්වා වංගුවක්, අහන් ඉන්න අපිවත් නන්නත්තාර වෙන්න. සමාජවාදියො තමන්වත්/ අනුන්වත් රවට්ටගෙන බොරු කියන්නම උපන් ජාතියක්. තුවක්කුවෙන් බලය අල්ලලා, හොම් බට ඇන,ඇන සමාජවාදෙ පොවන්න කැමති ඒකයි. ලෝකෙ කොහෙවත් ඔය අටමඟුල හරියට අටවගන්න/පවත්වාගන්න බැරි වුනේ ඒක නිසා වෙන්න ඇති..

      Delete
  3. ඉකොනෝමැට්ටා, ඩොලර් හිගයක් තිබුනට ලංකාවට එන නීති විරෝධී මත්ද්‍රව්‍ය වල හිගයක් නැත්තේ ඇයි?
    ඒවායේ මිල වැඩිවෙලා නැත්තෙත් ඇයි?

    අනික තමයි ලංකාවේ සෑම භාණ්ඩයකම, සේවාවකම මිල වැඩි උනත් අපේ පැත්තේ දැන් අවුරුදු ගානක් ඉදන් සුදුවා පැකට් එක රුපියල් 150 යි. බෝතලේ 600 යි. සැරේ බාල වීමක් නැහැ.

    ස්ටැම්ප් වගේ ඒවත් කලින් මිලමයි. උද්දමනයට සාපේක්ෂ වැඩි වීමක් නැහැ.

    මේ වෙළෙන්දන් විදෙස් නියෝජිතයෝ සමග කොහොමද මේ ගනු දෙනුව කරන්නේ? අදහසක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. 1. ඩොලර් හිඟය තියෙන්නේ බැංකු වල. මීට කලිනුත් මත්ද්‍රව්‍ය ගෙන්වන්න ඩොලර් ගත්තේ බැංකු වලින් නෙමෙයිනේ. උන්ඩියල් කරන අය ළඟ ඩොලර් හිඟයක් නැහැ. මත්ද්‍රව්‍ය වල විකිණුම් මිලෙන් වැඩි කොටසක් ගැනුම් මිලට සම්බන්ධයක් නැති වියදම් හා ලාබ. ඒ නිසා, ඩොලර් එක වැඩි වුනත් මිල ක්ෂණිකව වැඩි නොවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ යන්නේ සැපයුම් ප්‍රශ්න ඇති වූ විට. දැන් එවැනි ප්‍රශ්නයක් නැතිව ඇති.

      2. අවසරලත් දේශීය මත්පැන් මිල වැඩි වෙලාද? එසේ වෙලා නැත්නම් ක්ෂණිකව සුදුවා මිල පමණක් වැඩි නොවිය හැකියි. එසේ වුනත්, ආදේශනය නිසා ඉල්ලුම ඉහළ යාමෙන් පිරිවැය වැඩිවීමේ බලපෑම නිශේධනය වෙන්න පුළුවන්. අවිධිමත් අංශයේ රැකියා නැති වෙද්දී වැඩි දෙනෙක් කර්මාන්තයට ඇවිත් සැපයුම හා තරඟය වැඩි වීමේ බලපෑම වෙන්නත් පුළුවන්. කෙසේ වුවත්, වැඩි කල් නොයා යම් අවස්ථාවක මිල වැඩි වෙයි.

      Delete
    2. දේශීය මත්පැන් මිල නං වැඩි උනා. මට තාම තේරෙන්නේ නැත්තේ මේ වගේ සියලුම භාණ්ඩ සේවා වල මිල දෙගුණයකින් අවම ඉහල ගිය මේ මාස තුන ඇතුලත සුදුවා විතරක් කලින් මිලට දෙන එක.

      අනික ජොයින්ට්, ස්ටෑම්ප්. මිල ඒ කලින් ගානමයි.

      Delete
    3. උද්ධමනය වැඩි වෙනවා කියන්නේ හැම දෙයකම මිල එක සමානව ඉහළ යනවා කියන එක නෙමෙයි. උද්ධමනය වැඩි වෙද්දී සමහර දේවල් වල මිල අඩු වෙන්න වුනත් පුළුවන්.

      Delete
    4. 'උද්ධමනය වැඩි වෙද්දී සමහර දේවල් වල මිල අඩු වෙන්න වුනත් පුළුවන්.'

      අන්න ඒක මට තේරෙන්නේ නැහැ ඉකොනෝ. පැහැදිලි කරලා දෙන්න.

      Delete
    5. ඉකොනොමැට්ටා මෙතන කියන්නේ ගිෆන් (ගයිඵන්) භාණ්ඩ වගේ දේවල් ගැනද? මම හිතන්නේ සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ, සුඛෝපභෝගී භාණ්ඩ, වෙබ්ලන් භාණ්ඩ, ගිෆන් භාණ්ඩ වැනි විවිධ භාණ්ඩ ආර්ථික විද්‍යාව තුළින් අධ්‍යයනය කෙරෙන හින්දා ගිෆන් බඩු එහි මිල වැඩිවීමත් සමඟ ඉල්ලුම වැඩි වන භාණ්ඩ සහ අනෙක් අතට ඊට ප්රතිවිරුද්ධව, බාල බඩු පාරිභෝගිකයාගේ ආදායම වැඩි වීමත් සමඟ ඉල්ලුම අඩු වන භාණ්ඩ වෙනවා වගේ උද්ධමනය ඉහළ යනවිට මිල ගණන් වැඩි සුඛෝපභෝගී භාණ්ඩ වල ඉල්ලුම අඩු වෙනවා කියලා ද?

      මම හිතන්නේ ගිෆන් භාණ්ඩ හා බාල භාණ්ඩ වල ආදායම් බලපෑම negative (ඍණාත්මක) බැවින් මෙම දෙක සාමාන්‍යයෙන් එකිනෙක පටලවා ඇති බැවින්, ගිෆන් භාණ්ඩ සහ බාල භාණ්ඩ අතර වෙනස පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      මිල ඉහළ යාම සමඟ ඉල්ලුම ඉහළ යන භාණ්ඩ ගිෆන් භාණ්ඩ වන පරිදිමඅත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය අඩු අගයක් ගන්නේ අනම්‍ය ඉල්ලුමක් පවතින බව පේන හින්දා නේද? අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා නම්‍ය ඉල්ලුමක් පවතින හේතුව නම‍ය්‍යතා සංගුණක විශාල අගයක් නිසා නේද? (මේ පාරිභාෂිත වචන සමහර වෙලාවට වැරදි ඇති - මේ ගැන තේරුම් ගත්තේ Case, Karl; Fair, Ray (1999). Principles of Economics (5th ed.) හරහා, සිංහල වචන මතක විදියට දැම්මා.

      Delete
    6. මම කිවුවේ ආර්ථික විද්‍යා සංකල්ප ලොකුවට අවශ්‍ය දෙයක් නෙමෙයි. උද්ධමනයක් තිබුණත් නැතත් ඉල්ලුම, සැපයුම හා ආදේශනය සිදු වන ආකාරය අනුව භාණ්ඩ හා සේවා වල සාපේක්ෂ මිල ගණන් අඩු වැඩි වෙනවා. වාරකන් කාලෙට මාළු ගණන් යනවා. පසුව අඩු වෙනවා. ලොකු පෑවිල්ලක් ඇවිත් වී අස්වනු අඩු වුණාම හාල් ගණන් යනවා. පසුව අඩු වෙනවා. මේවා වෙන්නේ උද්ධමනය නිසා නෙමෙයි. උද්ධමනයක් නැත්නම් මේ අඩු වැඩි වීම් වල සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය ශුන්‍යයි. ඒ කියන්නේ ගෙදරකට ගේන ලොකු බඩු මල්ලක ගාණ වෙනස් වෙන්නේ නැහැ. නමුත් මල්ලේ තිබෙන සමහර බඩු වල මිල වැඩි වෙනවා. තවත් භාණ්ඩ මිල අඩු වෙනවා. තනිව ගත් විට භාණ්ඩයක හෝ සේවාවක මිල වෙනස් වීම කියන්නේ මෙවැනි සාපේක්ෂ වෙනස් වීම් වල හා උද්ධමනයේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය. දැන් හාල් මිල 100%කින් වැඩි වී තිබෙනවා. නමුත් උද්ධමනය 19%ක් පමණයි. ඉතිරි 81% හාල් වල සාපේක්ෂ මිල වැඩි වීම. උද්ධමනය 19% ලෙස තියෙද්දී වෙනත් හේතු නිසා භාණ්ඩයක සාපේක්ෂ මිල 20%කින් අඩු වුනොත් එම බඩුවේ මිල 1%කින් පහළ යනවා.

      Delete
  4. IMF ගියාට තිබෙන ණයබර දරාගත හැකි මට්ටමකට ගන්න උපදෙස් ඇරෙන්න වෙන දෙයක් නොලැබෙන පාටයි.

    ReplyDelete
    Replies
    1. IMF එක ඊට වඩා දෙයක් කරන්න හේතුවක් නැහැ. IMF යාමෙන් විසඳෙන්නේ ක්ෂණික ප්‍රශ්නය පමණයි.

      Delete
    2. එහෙම කියන්න එපා, අයි එම් එෆ් එකෙන් ලංකාවට දැනටමත් කෝටි ගණනක් වටිනා ආධාර ලබා දී තියෙනවා, ඔය ඔබ පවසන මහ බැංකුවේ ප්‍රතිපත්ති වගේම ලංකාවේ රජයට අයත් බණ්ඩාරනායක ගුවන් තොටුපල, ටෙලිකොම් ආයතනයේ කොටස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ලිට්රෝ ගෑස් සමාගම, ලංකාවේ ඛණිජ තෙල් සංස්ථාව, දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රමිති ආයතනය SLS, ලංකා සතොස, ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ආදී රජයේ පාලනය යටතේ දැනට පවතින අකාර්යක්ෂමතාවය රජයන ආයතන රාශියක් පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් ලෙස විදේශ ව්‍යවසාය සඳහා විකිණීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් එකතු කර ගැනීම සඳහා ඉතා වටිනා උපදෙස් ලබා දී තියෙනවා. දැනටමත් ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සමාගම් කීපයක් කටුනායක ගුවන් තොටුපල, රත්මලාන සහ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල මිලට ගැනීමට කැමති බව පවසන්නේ ඒකයි. කොළඹ වරාය නැගෙනහිර ජැටිය නැවතත් ආදානි සමාගමට ලබාදී විශාල බොක්ස් ටර්මිනල් එකක් සාදා ආදානි සමාගමේ ප්‍රධානතම ව්‍යාපාරය ලෙස දියුණු කරන්න සැලසුම් ගැන සාකච්ඡා කෙරෙනවා. ඒ වගේම රජය වෙනුවෙන් බදු එකතු කරන එක වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න ඉන්දියාවේ ටාටා කන්සල්ටන් ඇතුළු විශාල අයි ටී සමාගම් යටතේ රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව පෞද්ගලික අයිතිය ඇති තනි සමාගමක් ලෙස කටයුතු කර රටේ එකම තොරතුරු තාක්ෂණ පද්ධතියක් නිර්මාණය කර ඒ හරහා සියලුම විධිමත් ගණුදෙනු සියල්ලම නිරීක්ෂණය කර, අවශ්‍ය පරිදි උපරිම වශයෙන් රජයට බදු අයකර දීමටත් ඒ අයකරන බදු මුදලින් ප්‍රතිශතයක් ඩොලර් වලින් එම පුද්ගලික සමාගමට ගෙවන්න අවශ්‍ය එකඟතාවයකට දැනට කරගෙන යන සාකච්ඡා වලින් පසු පුළුවන් වෙයි.

      අයි එම් එෆ් එක මගින් දෙන ආධාර හැම එකක්ම මුදලින්ම දෙන ආධාර නෙවෙයි, ඒ ලබාදෙන උපදෙස් සහ වැඩ පිළිවෙළ ඊට වඩා විශාල වශයෙන් වටිනවා, දැනට තක්සේරු කර ඇති පරිදි අයි එම් එෆ් එකේ යෝජනා කරන වැඩ පිළිවෙළේ සේවා වටිනාකම ඩොලර් බිලියන පහකට වඩා වැඩි එකක්. මුදලින් නොලැබුණු පලියට ඒ ඉතාමත්ම වැදගත් වටිනා උපදෙස් ක්‍රියාත්මක කරමින් ඉදිරියට ලංකාව ලබා ගන්නා ආර්ථික සමෘද්ධිය ඊට වඩා විශාල වශයෙන් වටිනා එකක්.

      Delete
  5. @ ඉකොනොමැට්ටා,

    ඔබට මතක ඇති අපේ එක්සත් ජාතික පක්ෂයේ අසූ ගණන් වල නායකත්වය දැරූ ගරුතර ජේ ආර් ජයවර්ධන හිටපු ජනාදිපති මැතිතුමාගේ නිල නිවසේ පක්ෂයේ විවිධාකාර ක්‍රියාකාරී සාමාජිකයන් සඳහා රැස්වීම් වලට කට්ටිය නිතරම එනවා. ඇත්තටම ඒ කාලේ රැස්වීමක් නොමැති දවසක් නැති තරම්. පක්ෂයේ කට්ටිය, Cabinet එකේ ය, diplomats ලා, වෙළද ප්‍රජාව, ආගමික සංවිධානවල නායකයන් ආදී විවිධ ආකාරයේ පුද්ගලයන් අතිගරු ජනාධිපති ජයවර්ධන මැතිතුමා මුණ ගැසෙන්න නිතරම එනවා.

    ඒ වගේම ඔබට මතක ඇති ඒ කාලේ අතිගරු ජේ ආර් මැතිතුමාගේ ජනාධිපති නිල නිවාසයට යන එන අය හැමෝම දන්නවා එහෙ කළුවා කියලා දඩෝරි බල්ලෙක් හිටියා, මතකයි නේද? හොදට කාලා සැපට හැදුනු බල්ලෙක්. භයානක පෙනුමක් තියෙන නමුත් හරිම අහිංසකයි, කාටවත් එහෙම කරදරයක් කරන්නේ නැහැ.

    ඔහොම ඉන්නකොට මට මතකයි අපි අතිගරු ජනාධිපතිතුමා එනකම් පැය ගානක් බලාගෙන හිටපු දවසක්, එදාත් උදේ පාන්දරම පහ හමාරට විතර අපි ගිහින් උදේටත් හොඳට සුපිරි හෝටලයකින් ඕඩර් කරලා තිබුණ ෂෝට් ඊට්ස්, කිරි කෝපී ඔම්ලට් සහ රසවත් සුප් එකකින් සප්පායම් වෙලා බලාගෙන හිටියා, ඒ දවස් ජනාධිපතිතුමා හරිම බිසි කාලයක්, උදේ පාන්දර කැබිනට් ඇමතිවරු ගොඩක් ඇවිත් හිටියත් ඒ කවුරුවත් ගණන් නොගෙන ඉන්දියානු මහ කොමසාරිස් ජේ එන් දික්සිත් කාරයා කඩාගෙන බිඳගෙන ඇතුලට ගියා සද්දයක් දාලා, ඒකා ජනාධිපති තුමා එක්ක පැය ගානක් තිස්සේ කතා කර කර හිටියා, ඔහොම අපි වේලි වේලි බලන් ඉඳල දවල් වෙනකම් ඉඳලා දවල් කෑමත් (මතක හැටියට හිල්ටන් එකෙන් ලැබුණ ලම්ප් රයිස් සමග වටලප්පන් වගේ එදා තිබුණේ) ජනාධිපති මන්දිරයෙන් අරගෙන තවමත් බලං ඉන්න අතර ගාමිණී දිසානායක මහතාට හොඳටම තද වෙලා දික්සිත් කාරයාට කුණුහරුප කියලත් බැන්නා මතකයි, හරිම රසවත් සිදුවීම්, ඒ කාලේ ප්‍රබල ඇමතිවරු වූ හැරල්ඩ් හේරත්, ෂෙල්ටන් ජයසිංහ, මොන්ටේගු ජයවික්‍රම, ෆෙස්ටස් පෙරේරා, ඒ සී එස් හමීඩ්, දොස්තර රංජිත් අතපත්තු, හිටපු දියවඩන නිළමේ නිස්සංක විජේරත්න මේවගේ විශාල පිරිසක් ඇවිත් සාලේ මැද තියන විශාල මේසය මත වාඩිවෙලා අතිගරු ජේ ආර් ජයවර්ධන මැතිතුමා එනකන් බලාගෙන හිටපු අතරේ මහවැලි සංවර්ධන ඇමති ගාමිණී මහතා සහ සිරිල් මැතිව් ඇමතිතුමා ඉන්දියානු මහකොමසාරිස් දික්සිත්ගේ මවුපියන් මතක් කර කර අමු තිත්ත සිංහල කුණුහරුප වලින් බැන බැන බලාගෙන ඉන්නවා.

    ඔය විදියට අපි වේලි වේලි ඉන්න අතරෙ කලුවත් මේ අස්සේ මේ මිනිස්සු අස්සේ ඇවිල්ල මේසය යට ලැඟුම් ගෙන ඉන්නවා. සාමාන්‍ය පාක්ෂිකයන් ගත්තාම නිතර නිතර නොඑන අය තමයි ගොඩක් හීටියේ, එහෙම දුර ඈත පළාත් වල ඉඳල කලින් දවසේ රෑ ඉඳන් එවකට පක්ෂයේ දස දහස් ගණනකට රැකියා නිර්මාණය කළ විශිෂ්ටයකු වූ ජාතික සේවක සංගමයේ සිරිනාල් ද මෙල් මහතා, එවකට එජාපයේ සිටි දැනට කාලකන්නියෙක් වී ඇති ගාමිණී ලොකුගේ වගේ කට්ටිය ගොඩක් රජයේ ආයතන වල රැකියා සඳහා නිර්දේශ කරපු විශාල පිරිසක් එදා ඇවිත් හිටියා, ගොඩක් කට්ටිය සිපෙට්කෝ එකේ විවිධ වර්ගයේ රැකියා වලට විවිධ ආසන සංවිධායකයින් විසින් රැකියා වලට නිර්දේශ ලබාගෙන ආපු ඕ ලෙවෙල් ලියල ඉවර වු තරුණ තරුණියන් සිය ගණනක් හිටියා, හැත්ත හතේ ඡන්දෙට පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ පවුල් වල අය, මට හරිම සතුටුයි පුදුමාකාර ආශ්වාදයක් දැනුනා ඒ අය එක්ක කතාවට වැටිලා හිටියාම, හැබැයි ඒ ඇවිත් ඉන්න මිනිස්සු සෑහෙන දෙනෙක් දන්නේ නැහැ අර මේසය මතට ආධිපත්‍යය පතුරාගෙන හිටපු කළුවා සැරද නැද්ද කියල. වැඩිය සිංහල කතා කරන්න අකමැති අතිගරු ජනාධිපති ජේ ආර් මැතිතුමා නිතරම English වලින් කතා කරන නිසා ඇවිත් ඉන්න මිනිස්සුත් කළුවටත් ඉංග්‍රීසි භාෂාවෙන් අණ දිය යුතුය කියල හිතලා හිමින් සැරේ ගෝ ගෝ කියල කියනවා. හැබැයි කළුවා මේ කිසිම දෙයක් ඇහුනේ නැහැ වගේ මේසේ අස්සෙම රින්ගන් ඉන්නවා.

    ඔහොම ඉඳලා හවස හය හමාරට විතර යන්තම් අපේ පාක්ෂික රැස්වීම පටන් ගන්න අතිගරු ජනාධිපතිතුමා එනකොට දැක්කා කළුවා මෙසේ අස්සේ ඉන්න ආකාරයත් සහ අර ඇවිත් ඉන්න මිනිස්සු ගෝ ගෝ කියලා බල්ලාව එලවන්න උත්සහ කරන ආකාරයත්.

    මේ වෙලාවේ වහාම කළුවා ලගට ආපු අතිගරු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මැතිතුමා කේසර සිංහ ලීලාවෙන් ඉතාමත් ගාම්භීර ලෙසින් අඩිය පොලේ ගහලා තර්ජනාත්මක විදියට "කළුවා පල" කියලා හයියෙන් කිව්වා. කළුවා සුරුස් ගල නගුට පශ්චාත්භාගයේ ගහගෙන දිව්වා.

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාවෙ කට ඇරගෙන බලාගෙන හිටිය මිනිස්සු දිහා බලල මොකද වෙන්නේ කියලා බැල්මක් දාන ගමන් "දිස් ස්ටුපිඩ් බෲට්, ඕකාට.. ඉන්ග්රීෂි... තේරෙන්නේ.. නැහැ" ජේ ආර් ආපු මිනිස්සුන්ට සිනාමුසු මුහුණින් පැහැදිලි සිංහල භාෂාවෙන් කීවා මට තාමත් මතකයි.... හපොයි එහෙම අත්දැකීමක්... ජීවිත කාලයටම එකයි...

      ඇත්තටම අතීත සැමරුම් මතක් උන වෙලාවේ මම මේ කල්පනා කලේ අපි #GoHomeGota කියලා කිව්වත් නන්දසේන කියන කාලකන්නි මූසල සුනඛයත් කළුවා වගේ වෙන්න බැරිද ඉකොනොමැට්ටා? ඌට තේරෙන බාසාවෙන් අම්ම මතක් කරලා අමු තිත්ත කුණුහරුප වලින් බැනලා මේ මළ පෙරේත කාලකන්නි අමන පවුලම බලයෙන් එළවලා උපරිම වශයෙන් දඬුවම් පමුණුවමින් රට සුද්ද කරන්න ඕන උන්ගේ හත්මුතු පරම්පරාවේම ගෑවිච්ච හැම එකෙක්ගේම දේපල රාජසන්තක කර රටේ ණය ගෙවන්න ඕන. ඒකෙන් මේ දවස් වල තියෙන ණය අර්බුදය විසඳා ගැනීමට පුළුවන් වෙයි.

      #GoHomeGota2022
      #UNHumanRights
      #UNSaveSriLankaMassMurderingProtestors
      #SendUNPeaceKeeperstoSriLanka
      #UNPKFtoSL

      Delete
    2. මහත්තය බලු ජාතිකයෙක්ද

      Delete
  6. ඝෝඨාගම යනු ඉතා කුඩා පද්ධතියක්. ඒ නිසා එය සංවෘත වුනොත් ඉතා ඉක්මනින් එන්ට්‍රොෆිය වැඩිවී තාප මරණයකට ලක්වෙයි.

    ReplyDelete
    Replies
    1. @ ජගත්

      ගෝල්පේස් පිටියේ ගෝටාගෝගම ආශ්‍රිත සාමකාමී සැබෑ ජන අරගලය ඉදිරිපස සිටින්නේ සැබවින්ම ආවේගය නිසා පාරට පැමිණි පිරිස්, විරෝධතාව කානිවල් බවට පත් කර ගත් පිරිස්, සහ එම අවස්ථාව වාණිජ මට්ටමේ ලාභ ලබන ව්‍යාපෘති/ ව්‍යාපාර වලට හරවා ගැනීමට සහ දේශපාලනයට සම්බන්ධ වී ඉදිරියට පොරවල් වීමට සැලසුම් කරන සමාජ ජාල වල ප්‍රසිද්ධ සමාජ ව්‍යවසායකයින් ආදී විවිධ වර්ගයේ දාර්ශනික අදහස් ද ඇති පිරිසක්.

      කෙසේ නමුත් මේ දවස් වල ලංකාවේ රඹුක්කන ඇතුළු බොහෝ ප්‍රදේශවල කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියා දෙස බලන කල පේන්නේ නැවතත් රට යථා තත්ත්වයට පත්වීමට එරෙහි විරෝධතාවක් බවයි. එය ආරම්භ වන්නේ රටට ප්‍රමාණවත් ඉන්ධන සහ ගල් අඟුරු තොග ලැබීමත් සමගයි.

      ඒ වගේම තමයි මෙහිදී තෙල් බවුසර පිටින් සැඟවීම, තෙල් බවුසර් හරවා යැවීම, තෙල් බවුසර්වලට පහර දී ඉන්ධන ප්‍රවාහනය වැළැක්වීම, බවුසර්වලට ගිනි තැබීමට උත්සාහ කිරීම, විශාල පිරිසක් භාවිතා කරන ප්‍රධාන මාර්ග වසා දැමීම ආදී මෙවැනි දේ කිසිසේත් මේ රටේ ජනතාව දුකින් මුදා ගැනීමට කරන සටන් නෙවේ.

      ඒවා ජනතාව තව තවත් පීඬාවට පත් කිරීම උදෙසා සිදු කරන කටයුතු බව පේනවා. ඒ නිසා මේ පිටුපස සිටින මහ මොළකරුවන් වන්නේ රට නැවත යථා තත්ත්වයට පත් වුවහොත් සිය දේශපාලන සිහින බිඳ වැටේ යැයි සිතන පිරිස් බව ඉතාමත් පැහැදිලියි.

      ඒ නිසා මේ දිනවල දැන් දැන් ටිකෙන් ටික කරගෙන යන කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා එකතු වෙලා තියෙන්නේ රටේ නීතිය තමන් අතට ගෙන කිසියම් දේපළ හානියක් කර සතුටු වන පිරිස් සහ විපක්ෂ කණ්ඩායම් වල හෙංචයියෝ නැත්නම් බළල් අත්/බිලී බෝයිස්ලා ආදියයි.

      මෙවැනි විනාශයක් මගින් රට ගොඩනැගිය හැකි යැයි සිතන අවංක අතළොස්සක් ද මේ අතර සිටින නමුත් මේ පිරිසට ඒ අවංකත්වයට සෑහෙන ප්‍රඥාවක් ද තිබිණි නම් මේ රට අඟලක් ආපස්සට යන කිසිවකට ඔවුන් ඉඩ දෙන්නේ නැති බවයි මගේ හැඟීම. දැනට ඇතිවී තිබෙන ගැටුම්කාරී අරගලය පිටුපස සිටින මහ මොළකරුවන්ගේ රූකඩ බවට ඔවුන් පත්විය යුතුද නැහැ.

      ඔය වගේ දේවල් ගැන මගේ අත්දැකීම් අනුව මට කියන්න තියෙන්නේ පක්ෂ දේශපාලනය, පෞද්ගලික වාසි අවාසි, නින්දා ගැරහුම් සියල්ලට ඉහළින් මව්බිම තබා කටයුතු කිරීමට උවමනා ශක්තිය ලැබෙන්නේ ඔවුන්ගේ අවංකත්වයට ප්‍රඥාව එකතු වූ විට බවයි. එය හැමෝම හොඳින් තේරුම් ගැනීම තමයි ඉතාමත්ම වැදගත්.

      Delete
    2. //ඝෝඨාගම යනු ඉතා කුඩා පද්ධතියක්. ඒ නිසා එය සංවෘත වුනොත් ඉතා ඉක්මනින් එන්ට්‍රොෆිය වැඩිවී තාප මරණයකට ලක්වෙයි.//

      ඝෝඨාගමට වඩා ලොකු වුනත් ලංකාවත් සාපේක්ෂව කුඩා පද්ධතියක්. ලංකාවට සංවෘත විය හැකි සීමාවක් තිබෙනවා. ලෝකයේ රටවල් අතරින් සංවෘත වී පැවතිය හැක්කේ ඇමරිකාව, ඉන්දියාව, රුසියාව, චීනය හා සමස්ත යුරෝපීය යුනියනය වැනි විශාල ආර්ථික කලාපයකට පමණයි. එහෙත් ලංකාවට සිංගප්පූරුව හෝ හොංකොං තරමටම විවෘත නොවී පැවතිය හැකියි.

      Delete
  7. ගෝඨාගෝගම ආර්ථිකය ගැන මට ප්‍රශ්නයක් තියෙනව. මේකෙ ඉන්න පදිංචිකරුවන් ස්ථිර පදිංචිකරුවන් නෙමේ. ගෝගෝඨාගෝගම ආර්ථිකයේ අත්තිවාරම 'ගෝඨාභයගේ ජනාපතිකම'යි.බැරි වෙලාවත් ගෝඨාභය ඉල්ලා අස්වුනොත් (මන් දන්නෑ එහෙම එකක් බෙයිද කියල) ගෝඨාගෝගමේ ආර්ථිකය කඩා වැටෙනව නේද? මොකද ආර්ථිකය පවත්ව ගෙන යන්න අවශ්‍ය සාධක නැතිවෙලා යන නිසා. ඒත් ප්‍රශ්න ඉවර වෙන්නෙ නෑ. ඒ අතින් බැලුවාම 'ගෝඨා ගෝ හෝම්' ස්ලෝගන් එක බිඳෙන සුලුයි නේද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේශපාලනික ක්‍රියාකාරිත්වයක් මොන ආකාරයෙන් පරිණාමය වෙයිද කියා නිශ්චිතව කියන්න අමාරුයි.

      Delete
  8. @ Jagath Pathirana/ Ano 12.32/ ඉකොනොමැට්ටා

    ලංකාවේ මේ දවස්වල පවතින තත්වය මත "ගෝටා-ගෝ-ගම' ගෝල්ෆේස් සැනකෙලිය දිගටම පැවතිය යුතුයි. මොකද ලංකාවේ කොළඹ නාගරික සීමාවේ අඩු ආදායම්ලාභීන් සහ මැද පාන්තියේ අයටත් මේ දවස්වල ජීවන වියදම අධික නිසා, බූමිතෙල්, ගෑස් නැතූව කොළඹ තට්ටු නිවාසවල ඉන්න අයට උයාපිහාගන්න අමාරුයි. බඩුමිලත් හුගාක් වැඩියි. ඉතින් ඔය ඔක්කොම අමතක වෙනවා හවසට මූදූ හුලං වැදිලා, නොමිලේ කාලා බීලා ඉන්නකොට. මේ වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වියදම කරන්නේ පිටකොටුව ඇතුළු කොළඹ ආනයන ආශ්‍රිත ව්යාපාර කරලා කලින් අඩු ගානට ගෙනාපු ස්ටොක් ඉතා ඉහළ මිළ ගණන් වලට විකුණලා විශාල ලාභයක් ලබාගත් ව්යෑපාරික ප්‍රජාව, විශේශයෙන් මුස්ලිම් ජාතික ව්‍යාපාරික ප්‍රජාවේ දායකත්වය ඉතා විෂිශ්ටයි, මේ වෙලාවේ නන්දසේනයා (ගෝඨා) ගියොත් තත්වය වෙනස්. ඒ නිසා ඌව තව ටික කාලයක් මේ ප්‍රශ්න විසඳෙනකම් තියාගේන ඉන්න ගමන් සාමකාමීව උද්ඝෝෂනය කරමු,එන එන අයට කන්න බොන්න දිගටම දෙමු. විශාල අඩු අදායම් ලාභීන් මෙන්ම මැදි ආදායායම් ලාභීන්, ත්‍රීරොද රථ රියදුරන්, සංචාරක මගපෙන්වන්නන්, රැකියා අහිමි වූ තවත් විශාල පිරිසක් මේ හරහා නොමිලේ කා බී විනෝද වී හිතේ පීඩා දුරු කරගෙන සැනසිල්ලේ මහ රෑට නිදාගෙන ආයෙත් දිනපතා එනවා උද්ඝෝෂණයට, මේකේ විවිධ නැටුම්, සැනකෙළි, ප්‍රදර්ෂන වගේ අවිධිමත් කානිවල් එකක සිරියක් තිබෙනවා, එය ඉතාමත්ම වටින සහ වෙලාවේ හැටියට ලොකු දෙයක්. කොහොමටත් කවුරු නායකත්වයට ආවත් තත්වය වෙනස් කරන්න කාලයක් යනවා. ඒ නිසා මම හිතන්නේ මේක දිගටම තබාගෙන යා යුතුයි හැකි උපරිම කාලයක්, එම ව්‍යාපාරික ප්‍රජාවට මේක ඇදන් යන එක මහ ලොකු දෙයක් නෙවෙයි.

    ReplyDelete
  9. භාණ්ඩාගාර බිල්පත් වල මුදල් අයෝජනය කරන එක අවුරුද්දෙ ඕනම කාලයක කල හැකි දෙයක් ද,හරියට සමන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක සල්ලී දානවා වගේ ??



    නැත්නම් අවුරුද්දෙ නිශ්චිත කාල වකවානුවක් තුල සිදු කලයුතු දෙයක් ද?

    ReplyDelete
    Replies
    1. නිවාඩු දිනයක් නොවන සතියේ ඕනෑම දවසක කළ හැකියි.

      Delete
    2. බිල්පතක් ගත්තට පස්සෙ පොලිය තවත් ඉහල ගියොත් ඒ බිල්පත් ගත්තු කෙනා කල් පිරෙනකන් නොඉඳ ඉක්මනට විකුනුවොත් පාඩුවක් නේද වෙන්නෙ? ඔබේ ෆේස්බුබුක් එකේ එහෙම උනොත් ගත්තු කෙනාට වාසියි කියල කමෙන්ට් එකක් දැක්ක්.

      Delete
    3. ඔබ හරි. සමාවෙන්න එය අත් වැරදීමක්.

      Delete
    4. මම මේ ප්‍රශ්නෙ ඇහුවෙ, ඔබවැනි ප්‍රවීනයෙකුටත් මෙවැනි වරදක් වෙනවනම් මහ බැන්කු බැඳුම්කර නාඩගම කාලෙ ppt එක අඩු පොලියට අරගෙන පොලිය වැඩි උනාම විශාල ලාබයක් තියාගෙ වික්ක කියන කතාව සාමන්‍ය මිනිස්සු කොච්චර විශ්වාස කරන්න ඇතිද ..

      Delete
    5. මට ලියද්දී සමහර වෙලාවට අඩු/වැඩි, ඉහළ/පහළ පැටලෙන වෙලාවල් තියෙනවා. දෙවන වර කියවා එවැනි තැන් ඇතුළු වෙනත් අත් වැරදි නිවැරදි කරනවා. එය සාමාන්‍ය දෙයක්. මෙය කමෙන්ට් එකක් නිසා නැවත කියෙවුවේ නැහැ. සමහර වෙලාවට වැරැද්ද අහුවෙන්නේ වෙනත් අයෙකු විසින් පෙන්වූ විට. එවැනි අත් වැරදි සිදු වීම සහ හිතාමතා බොරු කීම තනිකරම කරුණු දෙකක්.

      Delete
    6. නෑ නෑ. වරදවා වටහගන්න එපා. ඔබ බොරු කියනවා කිව්ව නෙමෙයි.

      Delete
    7. ටොම් පචයා

      Delete
  10. දැන් ලංකාවෙ ආර්තික අර්බුදයත් එක්ක ගොඩක් අය කතා කරනවනෙ පරිභෝජනය ගැන. අපි පරිභෝජනය වැඩි ජාතියක්, නිෂ්පාදනය අඩුයි ඒක හින්ද අර්බුදය අනිවාර්යයි කියලනෙ කියන්නෙ. ඒකට විසඳුමක් විදිහට අපේ පුංචි මොළගෙඩි කල්පනා කරන්නෙ පරිභෝජනය අඩු කරන්න.

    මේ පරිභෝජනය වගේ කතාවලදි වමට හුරුවෙලා කොටුවෙලා ඉන්න අපිට පේන්නෙ මූලිකවම සුඛෝපභෝගී භාන්ඩ හා සේවා වගේ දේවල්. හරියට වෙළඳපොල කිව්වම පේන දේවල් වගේම. වෙළඳපොල කිව්වම භාණ්ඩ හා සේවා හුවමාරුව විතරක් නෙමෙයි අදහස් හා සංස්කෘතීන් හුවමාරුවත්, මිනිස්සු එහා මෙහා යන හුවමාරුවත් ඇතුලත්. ඒකෙන් තමයි ලෝකෙ රටවල් දියුණු වෙන්නෙ.

    පරිභෝජනයත් ඒ වගේමයි. පරිභෝජනය කිව්වම බඩුවක් මුට්ටුවක් ගැන හිතන්නෙ නැතුව දැනුම ගැන හිතුවොත් මේක ‍තේරෙනවා. අපි දැනුම පරිභෝජනය කරනවා. ලංකාව දැනුම් නිෂ්පාදනය කරන රටක් නෙමෙයි, පරිභෝජනය කරන රටක්. අපේ රටේ නිෂ්පාදනය කරන ඔය නලින් ද සිල්වා වර්ගයේ දැනුම අපේ රටේ මිනිස්සු පාවිච්චි කරන්නෙවත් නෑ. අපි පාවිච්චි කරන්නෙ ආනයනය කරපු දැනුම. මේ දැනුමට මිළක් ගෙවනවා. එතකොට අපි දැනුම පරිභෝජනය අඩු කලොත් මොකද වෙන්නෙ? අපිට අවශ්‍ය දැනුම විතරක් ආනයනය කරනවා කියලා හිතුවොත්? රට ඇතුලෙ අවශ්‍ය දැනුම නිර්මාණය කරගන්නවා කියල හිතුවොත්? අපි අඥානයො වීම අනිවාර්යයි.

    හැම භාණ්ඩයක් හා සේවාවක් කියන්නෙම දැනුමක්. ඒවායෙ පරිභෝජනය කරන්නෙ අදහසක්. පරිභෝජනය සීමා කරනවා කියන්නෙ අපි දැනුම අඩු කරගන්නවා කියන එකමයි. ඒත් ඉතිං බ‍ංකොලොත් රටකට කන්න ටිකක් මිස දැනුමෙන් මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. මෙයට හේතුව ඇතැම් ලිබරල් අදහස් ඇති අය පවා අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා පිළිබඳව හුවමාරු වටිනාකමක් ඇති දේ ලෙස නොසලකා අයිතිවාසිකම් ලෙස හෝ මූලික අවශ්‍යතා ලෙස පමණක් සිතීම. අධි පරිභෝජනය ගැන කතා කරන හැම කෙනෙක්ම එය කියන්නේ තමන්ට සාපේක්ෂව. තමන් පරිභෝජනය කරන මට්ටම නිවැරදි සාමාන්‍ය පරිභෝජන මට්ටම. තමන් පරිභෝජනය නොකරන දේ වෙනත් අය පරිභෝජනය කරන විට එය අධි පරිභෝජනය. තමන් පරිභෝජනය කරන දේ වෙනත් අය පරිභෝජනය නොකරන විට එය මසුරුකම හෝ සමාජ ජීවිතයක් නැති කම. ඔය අධි පරිභෝජන කතාව තමන් කැමති විදිහට අනිත් අයත් ජීවත් විය යුතුයි කියා හිතන සමාජවාදී අදහසේ තවත් දිගුවක් පමණයි.

      Delete
  11. // බිල්පතක් ගත්තට පස්සෙ පොලිය තවත් ඉහල ගියොත් ඒ බිල්පත් ගත්තු කෙනා කල් පිරෙනකන් නොඉඳ ඉක්මනට විකුනුවොත් පාඩුවක් නේද වෙන්නෙ? //


    මෙක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඉකෝන්,
    තෙමාස් භාණ්ඩාගාර බිල්පතක අයෝජනය කරලා, මාසෙකින් පොලිය වැඩි උනා කියලා හිතමුකෝ, පස්සේ මාස දෙකකින් අපහු ඒ සල්ලී ගත්තොත් පාඩු වෙන්නෙ කොහොමද ??

    ReplyDelete
    Replies
    1. අපි හිතමු 6-මසක සුරැකුම්පතක් ගන්න කොට පොලිය 24%යි කියලා. ඒ කියන්නේ මාසයකට 2%ක්. (පැහැදිලි කිරීමේ පහසුවට මෙසේ සැලකුවත් ඇත්තටම වෙන්නේ වැල් පොලී හැදෙන එකයි. කරුණ පැහැදිලි කර ගැනීම සඳහා අපි එය නොසලකා හරිමු.) මාස හයකට 12%ක් (ආසන්න වශයෙන්). ඒ කියන්නේ 100ක් ආයෝජනය කරලා මාස 6ක් බලා හිටියොත් 112ක් ලැබෙනවා. පොලී අනුපාත වෙනස් වුනේ නැත්නම් මාස 3කට පසුව මේ සුරැකුම්පතේ වටිනාකම 106ක් වෙනවා. මොකද ඉතිරි මාස 3ට ලැබිය යුතු වෙළඳපොළ පොලිය 6ක් නිසා. ඒ අවස්ථාවේම කවුරු හරි 3-මසක සුරැකුම්පතක ආයෝජනය කළොත් පොලිය 24% (මාසයකට 2%) නිසා මාස තුනට පොලිය විදිහට 6ක් ලැබෙනවා. ඒ කියන්නේ 100කට 106ක්. 106කට ආසන්න වශයෙන් 112ක්. දැන් ඔය අවස්ථාවේ අලුතෙන් නිකුත් කළ 3-මස් සුරැකුම්පත හා මාස 6කට පෙර නිකුත් කළ 6-මස් සුරැකුම්පත අතර කිසිම වෙනසක් නැහැ. මොකද දෙකෙන්ම කරන්නේ එකම දෙය. ඒ නිසා, ඔය දෙකේ මිල සමාන විය යුතුයි. නැත්නම් වෙළඳපොළේ ඔය දෙකම තියෙන්න බැහැනේ.

      දැන් අපි හිතමු තුන් මාසයකට පසුව පොලිය 12% දක්වා අඩු වුනා කියලා. ඒ කියන්නේ මාසයකට 1%ක්. මාස 3ට 3%ක්. ඒ අනුව තෙමසකට පසු 112ක් ගෙවන සුරැකුම්පතක් විකිණෙන්නේ (ආසන්න වශයෙන්) 109කට. තව මාස තුනකින් කල් පිරෙන, මාස තුනකට කලින් මිල දී ගත් සුරැකුම්පතත් ඊට සමාන නිසා එයත් එම මුදලට විකිණිය හැකියි. ඒ කියන්නේ මාස 3ට 9ක් ලැබිලා. අවුරුද්දට 36%ක පොලියක්. නමුත් කල් පිරෙන තුරු හිටියොත් ලැබෙන්නේ 24% පොලිය.

      ඕකෙම අනෙක් පැත්ත වෙලා තුන් මාසයකට පසුව පොලිය 48% දක්වා වැඩි වුනා කියලා. ඒ කියන්නේ මාසයකට 4%ක්. මාස 3ට 12%ක්. ඒ අනුව තෙමසකට පසු 112ක් ගෙවන සුරැකුම්පතක් විකිණෙන්නේ (ආසන්න වශයෙන්) 100කට. තව මාස තුනකින් කල් පිරෙන, මාස තුනකට කලින් මිල දී ගත් සුරැකුම්පතත් ඊට සමාන නිසා එයත් විකිණිය හැක්කේ එම මුදලට පමණයි. ඒ කියන්නේ මාස 3ට කිසිම පොලියක් නැහැ. නමුත් කල් පිරෙන තුරු හිටියොත් 24% පොලිය ලැබෙනවා.

      දැන් හිතන්න මාසයකට පසු පොලිය 24% සිට 48% දක්වා වැඩි වුනා කියලා. ඒ කියන්නේ මාසයකට 4 බැගින් මාස 5ට 20ක් ලැබෙන නිසා 112 සුරැකුම්පත විකිණෙන්නේ (ආසන්න වශයෙන්) 92කට. 8ක් අතින් පාඩුයි.

      හැම විටම සුරැකුම්පත් මිල දී ගැනීමෙන් පසු පොලී ඉහළ යාමෙන් වෙන්නේ පාඩුවක්. පොලී පහළ යාමෙන් වෙන්නේ ලාබයක්. ඒ නිසා පොලී අනුපාත ඉහළ යන කාල වකවානු වල ප්‍රාථමික ගැනුම්කරුවෝ විශාල අමාරුවක වැටෙනවා.

      Delete
  12. බෝතලයක් ගහලා හාන්සි වෙමු

    ReplyDelete
  13. ලංකාව තුලම කළු සල්ලි සුදු කරන්න ක්‍රම තිබුනනම්. සෑහෙන ජාතික ධනයක් ඉතිරි වෙනවා.
    ආර්ථික විද්‍යාවට අනුව රටක මොන විදියට හරි හම්බ කරපු ධනවතෙක් ඉන්නවා නම් ඔහුගේ ධනය රට තුල දුප්පත් අය අතරට යනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: