වෙබ් ලිපිනය:

Tuesday, August 30, 2022

අතුරු අයවැය


අතුරු අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා. කතා කළ යුතු ගොඩක් දේ ඒ තුළ තිබුණත්, අයවැයක වැදගත්ම දෙය අය හා වැයයි. ඒ නිසා, එතැනින් පටන් ගනිමු. 

2022 අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 2,094යි.

2022 අපේක්ෂිත වියදම - රුපියල් බිලියන 4,427යි 

2020 අපේක්ෂිත අයවැය හිඟය - රුපියල් බිලියන 2,333යි.

සාමාන්‍යයෙන් ලංකාවේ අයවැය ඇස්තමේන්තු කියා කියන්නේ නිකම්ම ඉලක්කම් ටිකක් පමණයි. විශේෂයෙන්ම ආදායම් ඇස්තමේන්තු කියන්නේ බොරුවට වැඩියෙන් පෙන්වන ගණනක්. මෙවර එය එසේ නොවන බවට කිසිසේත්ම සහතික විය නොහැකි වුවත්, මේ ඇස්තමේන්තු පෙර අයවැය ඇස්තමේන්තු වලට සාපේක්ෂව තරමක් යථාර්ථවාදී බව පෙනෙනවා. 

වසර මුල ඉදිරිපත් කළ ඇස්තමේන්තුව අනුව 2022 අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2,223ක්. බදු වැඩි කිරීමෙන් පසුවත් අලුත් ඇස්තමේන්තුව ඊට වඩා අඩු එකක්. ඉලක්කය රුපියල් බිලියන 2,223ක් වුනත්, පළමු මාස පහ ඇතුළත එකතු වී තිබෙන්නේ රුපියල් බිලියන 813ක් පමණයි. ඇස්තමේන්තුවේ ඉලක්කයට යන්නනම් අවසන් මාස හත තුළ තවත් රුපියල් බිලියන 1,410ක් එකතු කර ගත යුතුයි. එවැනි මුදලක් එකතු වීමේ ඉඩක් කොහොමවත්ම තිබුණේ නැහැ.

සංශෝධිත ඇස්තමේන්තු අනුව, ඉතිරි මාස හත ඇතුළත රුපියල් බිලියන 1,281ක් එකතු විය යුතුයි. පළමු මාස පහේ අනුපාතය අනුව බැලුවොත් එකතු වෙන්නේ රුපියල් බිලියන 1,138ක් පමණයි. ඒ ගණන තවත් රුපියල් බිලියන 143කින් වැඩි කර ගන්න එක අසීරු වුවත් ප්‍රායෝගික ඉලක්කයක්. 

මුල් ඇස්තමේන්තුව අනුව වියදම රුපියල් බිලියන 3,851ක්. පළමු මාස පහේ වියදම රුපියල් බිලියන 1,449ක්. ඒ අනුපාතය අනුව බැලුවොත්නම් වියදම රුපියල් බිලියන 3,478කට සීමා විය යුතුව තිබුණා. වර්තන වියදම් අඩු වී නොතිබුණත් ආයෝජන වියදම් විශාල ලෙස සීමා කර තිබීම මේ වෙනසට හේතුවයි. 

සංශෝධිත ඇස්තමේන්තු අනුව, වසරේ වියදම රුපියල් බිලියන 4,427 දක්වා ඉහළ යනවා. මේ වැඩිවීමට ප්‍රධානම හේතුව සහනාධාර ඇස්තමේන්තුව රුපියල් බිලියන 1,021 දක්වා විශාල ලෙස වැඩි කර තිබීමයි. පොලී වියදම්ද ඉහළ ගොස් තිබෙන අතර ආයෝජන වියදම් ඇස්තමේන්තුවත් කලින් ඇස්තමේන්තුවට වඩා වැඩියි. 

ඉදිරිපත් කර තිබෙන සැලසුම අනුවනම් මුළු අයවැය හිඟයම පියවා ගන්න යන්නේ බැංකු අංශයෙන් ණය නොගෙන. බැංකු අංශයෙන් අරගෙන තිබෙන ණය වලින් කොටසක් ආපසු ගෙවීමටද නියමිතයි. 

ඇස්තමේන්තු එසේ වුවත්, අයවැය කතාවේ මෙහෙම කොටසකුත් තිබෙනවා.

"කෙසේ වෙතත්, දුර්වල රාජ්‍ය ආදායම සහ අයවැයේ ශුද්ධ විදේශ මූල්‍යනයේ (Net Foreign Financing) හිඟකම අනුව, බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මගින් රජයේ මුදල් ප්‍රවාහය යහපත් වන තුරු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හරහා අයවැය සඳහා විදේශ මූල්‍යනය විවෘත වන තෙක්, මහ බැංකුවෙන් සීමිත මුදල් ප්‍රමාණයක් ලබා ගැනීම වළක්වන්නට අපහසුයි."

රුපියල් බිලියන 2,333ක් වන වසරේ ඇස්තමේන්තුගත අයවැය හිඟයට අමතරව වසර තුළ රුපියල් බිලියන 1,510ක ණය වාරික ප්‍රමාණයක් ආපසු ගෙවීමටද තිබෙනවා. මේ අනුව වසර තුළ සොයා ගත යුතු මුළු මුදල රුපියල් බිලියන 3,844ක්. 

බැංකු අංශයෙන් ණය නොගෙන හෝ ඉතා අඩුවෙන් ණය ගෙන මේ හිඟය පියවනවා කියන්නේ පොලී අනුපාතික තවත් කාලයක් ඉහළ මට්ටමක තියෙනවා කියන එකයි. උද්ධමනය අඩු වෙන තුරු පොලී අනුපාතික අඩු නොවෙන එක හොඳයි.

අතුරු අයවැයේ හොඳ යෝජනා ගණනාවක්ම තිබෙනවා. වයස අවුරුදු 18ට වැඩි හැම කෙනෙකුටම බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය කිරීම ගොඩක් හොඳ යෝජනාවක්. රාජ්‍ය ණය කළමනාකරණය මහ බැංකුවෙන් ගලවලා වෙනම ආයතනයක් හදන එකත් හොඳ යෝජනාවක්. හැබැයි මේ එක දෙයක්වත් සිදුවෙනකම් විශ්වාස නැහැ. 

අගෝස්තු උද්ධමනය 64.3% මට්ටමේ රැඳී තිබෙනවා. එය හොඳ ලකුණක්. බොහෝ විට සැප්තැම්බර් මාසයෙන් පසුව උද්ධමනය අඩුවෙන්න පටන් ගන්න ඉඩ තිබෙනවා. දැන් තත්ත්වය අනුව උද්ධමනය 70% නොඉක්මවන්න පුළුවන්.

නිල නොවන තොරතුරු අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවක් පිළිබඳ නිවේදනය ඉතා ඉක්මණින් නිකුත් වීමට නියමිතයි. ඒ සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යාධාරයක් පිළිබඳ බලාපොරොත්තුවක්ද තිබෙනවා. එය එසේනම් නරකම තත්ත්වය මේ වෙද්දී පහුවෙලා. 

16 comments:

  1. I saw capital expenditure. why do we need a massive allocation for capital ? What is the real expenditure on education ? what do you think about 6% for education? Do you know how to calculate the total expenditure on education?

    ReplyDelete
  2. //බැංකු අංශයෙන් ණය නොගෙන හෝ ඉතා අඩුවෙන් ණය ගෙන මේ හිඟය පියවනවා කියන්නේ පොලී අනුපාතික තවත් කාලයක් ඉහළ මට්ටමක තියෙනවා කියන එකයි.//
    මේ කෑල්ල තේරුනේ නෑ. පොලී මට්ටම ඉහල තියෙනකොට ණය ගැනීම අනවශ්‍ය මුදල් අච්චු ගහල වියදම පියවගන්නව කියන එකද?

    ReplyDelete
    Replies
    1. සල්ලි අච්චු ගහන්නේ නැත්නම් දැනට මිනිස්සු අතේ තිබෙන සල්ලි ණයට ගන්න වෙනවා. එය කළ හැක්කේ ඔවුන්ව ණය දීමට පොළඹවන ඉහළ පොලියක් ගෙවීමෙන් පමණයි.

      Delete
    2. බැන්කු වලින් ණය ගන්නෙ නෑ කියන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි ණයට ගන්නෙ නෑ කියන එකම නේද?ඒ කියන්නෙ ඉතිරි වෙන්නෙ අච්චු ගහන ඔප්ශන් එක විතරයි.

      Delete
    3. තව ප්‍රශ්නයක්.
      අයවැය පරතරය නම් මූලොක ප්‍රශ්නය, මේ අයවැයෙන් තවත් පරතරය වැඩි වෙලානම් අර්බුදය හොඳ අතට හැරෙන්නේ කොහොමද?

      Delete
    4. //බැන්කු වලින් ණය ගන්නෙ නෑ කියන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි ණයට ගන්නෙ නෑ කියන එකම නේද?ඒ කියන්නෙ ඉතිරි වෙන්නෙ අච්චු ගහන ඔප්ශන් එක විතරයි.//

      නෑ. බැංකු වලින් සල්ලි ණයට ගැනීමේදී සල්ලි අච්චු ගැසීමක් (මහ බැංකුවෙන්නම්) හෝ මුදල් මැවීමක් (වාණිජ බැංකුවකින්නම්) සිදු වෙනවා. ඒ සල්ලි අලුතින් සංසරණයට එකතු වෙන සල්ලි. ඔබේ අතේ තියෙන සල්ලි ණයට අරගෙන වෙනත් කෙනෙකුට දුන් විට රටේ සල්ලි ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැනේ.

      //තව ප්‍රශ්නයක්.
      අයවැය පරතරය නම් මූලොක ප්‍රශ්නය, මේ අයවැයෙන් තවත් පරතරය වැඩි වෙලානම් අර්බුදය හොඳ අතට හැරෙන්නේ කොහොමද?//

      හොඳ අතට හැරෙනවා කියන්නේ මේ මොහොතට සාපේක්ෂව. පෙනෙන විදිහට මේ අයවැය IMF එක එකඟ වී තිබෙන වැඩ සටහනේ කොටසක්. එය එසේනම්, IMF උදවුද ඇතිව ණය ප්‍රතිව්‍යුහකරණය සඳහා පියවර ගන්න පුළුවන්.

      Delete
    5. //නෑ. බැංකු වලින් සල්ලි ණයට ගැනීමේදී සල්ලි අච්චු ගැසීමක් (මහ බැංකුවෙන්නම්) හෝ මුදල් මැවීමක් (වාණිජ බැංකුවකින්නම්) සිදු වෙනවා. ඒ සල්ලි අලුතින් සංසරණයට එකතු වෙන සල්ලි. ඔබේ අතේ තියෙන සල්ලි ණයට අරගෙන වෙනත් කෙනෙකුට දුන් විට රටේ සල්ලි ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැනේ//
      එහෙම වෙන්න නම් ජනතාව කෙලින්ම භාණ්ඩාගාර බිල්පත් ගන්න ඕනේ නේද? බැංකු ජනතාවගේ මුදල් තැන්පත් බාරගෙන ඒවගෙන් බිල්පත් ගන්නවා කියන්නේ මුදල් මැවීමක් නේද? බැංකු තැන්පත් බාරගෙන පොඩි කොටසක් අතේ තියාගෙන, ඉතුරු කොටස ණයට දෙනව කියන්නේ මුදල් මැවීම ම නෙමෙයි ද?

      Delete
    6. ඔබ කියන දේ කළොත් එය බැංකු අංශයෙන් ණය ගැනීමක්. මුදල් මැවීමක්. බැංකු නොවන අංශයෙන් ගන්නවා කියන්නේ ජනතාව කෙලින්ම භාණ්ඩාගාර බිල්පත් ගන්න එක. මේ වැඩේ වෙන්නේ බැංකුවක් ඇතුළේ වෙන්න පුළුවන්. නමුත් එහිදී බැංකුව කටයුතු කරන්නේ රජයේ නියෝජිතයෙකු ලෙස (බ්‍රෝකර් කෙනෙකු ලෙස) පමණයි. සල්ලි කෙළින්ම යන්නේ රජයට.

      Delete
    7. ඒකම තමයි මගෙත් ගැටලුව. බැංකු වැඩි පොලියක් දීලා ජනතාවගෙන් තැන්පත් අරන් ඊටත් වැඩි පොලියට ආණ්ඩුවට ණයට දෙන එක නේ දැන් වැඩිපුරම වෙන්නේ. මොකද බැංකු හරහා කෙලින්ම බිල්පත් වල ආයෝජන කරන්න ගියාම, හිතා මතාම ද මන්දා, අනවශ්‍ය විදිහට ප්‍රමාද වෙනවා කියන එක තමයි මගේ අද්දැකීම.
      REPO ගිවිසුම් මගින් බැංකු හරහා බිල්පත් ගන්න එකත් මුදල් මැවීමක් වෙනවද?

      Delete
    8. //REPO ගිවිසුම් මගින් බැංකු හරහා බිල්පත් ගන්න එකත් මුදල් මැවීමක් වෙනවද?//

      මෙහිදී රජය අළුතෙන් ණය ගැනීමක් වෙන්නේ නැහැනේ. දැනටමත් විකුණා තිබෙන බිල්පතක අයිතිය මාරු වෙන එක පමණයි වෙන්නේ.

      Delete
    9. මහ බැන්කුවේ සල්ලි අච්චු ගහන එක්ව් තේරෙනව.
      වානිජ බැන්කු මුදල් මවන්නෙ කොහොමද? මොකක් හරි පරන ලිපියක් තියෙනවද මේ ගැන ලියපු

      Delete
  3. ඉලක්කම් ගොඩකි අයවැය ලේඛනය
    කවියෙන් කිව්වෙ මැතිඳුන් සෝමවීරය
    තවමත් වලංගුද මන්දා ඒ කවිය
    අයවැය දැන් හරිම සිල්ලර නැටුමක්ය

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා,

    අගමැති රනිල් වික්‍රමසිංහ ලංකාවේ මාධ්‍ය වලට පැවසූ පරිදි ලංකාව වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමුළුවක් පැවැත්වීමට ජපාන රජය සූදානම් වන බවට කරන ප්‍රකාශ ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කර ඇති බව - https://www.ft.lk/front-page/Japan-denies-preparations-to-host-debt-restructuring-conference-for-SL/44-739348

    ලංකාවේ Financial Times පුවත්පත වාර්තා කර තිබෙනවා නේද?

    මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි කියන්නේ ශ්‍රී ලංකාව සමඟ එවැනි සමුළුවක් පැවැත්වීමට සූදානමක් නොමැති බවත් ජපානය ශ්‍රී ලංකාව සමඟ විවිධ අන්තර් සම්බන්ධතා පවත්වමින් සිටින නමුත් ශ්‍රී ලංකාවේ බරපතළ ආර්ථික තත්ත්වය පිළිබඳව ද අපි හොඳින් නිරීක්ෂණය කරමින් සිටියත් එරට පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ ඖෂධ නිෂ්පාදන සහ ආහාර වශයෙන් මානුෂීය ආධාර රටට ලබාදීමේ සැලසුම් අපි මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටිනවා පමණයි.

    කෙසේ වෙතත් ලංකාවේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ඓMF) සහ පැරිස් සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් විනිවිදභාවය සහතික කරමින් මූල්‍ය හා ආර්ථික විසඳුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙන අතර ජපානය ශ්‍රී ලංකාවේ තත්ත්වය හොඳින් නිරීක්ෂණය කර ශ්‍රී ලංකාව හෝ වෙනත් ජාත්‍යන්තර පරිත්‍යාගශීලී සංවිධාන සමඟ සාකච්ඡා කරනු ඇතත් මෙහෙම සමුලුවක් පවත්වා චීනය ණය කපා හැරීමට පොළඹවාගැනීමට ජපානය කටයුතු කරන බව හෝ ජපන් රජයෙන් 0.5% පොළියට ණය ලබා දී චීන ණය ඇතුළු සියලුම ලංකාවේ ණය ජපානයෙන් ගෙවල ඉවර කරන බවට පැවසෙන ප්‍රචාරය අසත්|ය පදනම් විරහිත ප්‍රචාරයක් පමණක් බවයි ඔහු තහවුරු කර තිබෙන්නේ. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

    ලංකාවේ කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය හා තවත් ඇමරිකානු පුද්ගලයෙකු ලංකාවේ කැබිනට් අමාත්‍යවර සුසුල්ගේ අතට කව්පි ඇට වගයක් හලමින් ශ්‍රී ලංකාව හිඟන්නකු බවට ඒත්තු ගන්වා පාච්චල් කරපු බවට සමාජ මාධ්‍ය වල ලංකාව විහිලුවක් වෙලා තියෙනවා නේද? මේක ලංකාවේ අයවැය විවාදයට පාර්ලිමේන්තුවේදී සුසිල් ප්‍රේමජයන්තද හිඟන්නෙකු සේ අත පා සිටි බවත් පැවසූ විපක්ෂ මන්ත්‍රීවරු ජාත්‍යන්තරය විසින් අප වැනි රටවල් පාච්චල් කරන්නේ ඒ ආකාරයෙන් යැයි අයවැයේදී පැවසූ අදහස නිවැරැදිද?

    ReplyDelete
  5. 'අතුරු අයවැයේ හොඳ යෝජනා ගණනාවක්ම තිබෙනවා. වයස අවුරුදු 18ට වැඩි හැම කෙනෙකුටම බදු සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය කිරීම ගොඩක් හොඳ යෝජනාවක්.'

    මේ හදන්නේ හැමෝගෙන්ම බදු ගන්න. මේවාට ඉඩ නොදිය යුතුයි. මෙහි ලියාපදිංචි වීම අපි ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න ඕනි. මොකද බලෙන් ලියාපදිංචි කරන්න ඇයි.

    ReplyDelete
    Replies
    1. //මේ හදන්නේ හැමෝගෙන්ම බදු ගන්න. මේවාට ඉඩ නොදිය යුතුයි. මෙහි ලියාපදිංචි වීම අපි ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න ඕනි. මොකද බලෙන් ලියාපදිංචි කරන්න ඇයි.//

      ලංකාවේ දේශපාලකයන් ගේ ලොකු අඩුපාඩුවක් තාමා දෙයක් පැහැදිලි ලෙස ජනතාවට ඉදිරිපත් නොකිරීම.
      මෙය ඇත්තටම බදු සදහා ලියාපදිංචිය නොව ආදායම් විස්තර ප්‍රකාශ කිරීම සදහා ලියාපදිංචිය විය යුතුය. එමගින් වැඩි ආදායම් සහිත පුද්ගලයන් ගෙන් බදු අය කිරීම මෙන්ම අඩු ආදායම් සහිත පුද්ගලයන් වෙත සහන ලබාදීමටද හැකිය.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: