වෙබ් ලිපිනය:

Thursday, May 18, 2023

අට ගසා අවසන් කිරීම


මෝටර් සයිකල් පදින්න පුරුදු වෙද්දී අට ගහනවා කියලා එකක් කරනවා. නොදන්නා දෙයක් නොවන නිසා අමුතුවෙන් විස්තර කරන්න යන්නේ නැහැ. කිහිප වරක් දෙපැත්තටම නමලා, වංගු ගහලා, හරියට අට ගැහුවට පස්සේ නවතින්නේ මුලින් හිටපු තැනමයි. මේක පටන් ගත්තු දේ මග නොනවත්වා අවසන් කිරීමක් කියන්නත් පුළුවන්. හැබැයි අට ගහලා ඉවර කළාට පස්සේ ඔය පාරේම තවත් ඉස්සරහට ගියොත් වෙන්නේ කලින් ගිය පාරේම නැවත යාමක්.

මේ වියුණුව පටන් අරගෙනත් දැන් අවුරුදු අටක් අවසන් වෙලා. ඒ කියන්නේ අපිත් කොහොම හරි අට ගහලා!

ඔය අවුරුදු අට ඇතුළත කොයි තරම්නම් දේවල් වුනාද? ඇමරිකාවේ වගේම ලංකාවෙත් ජනාධිපතිවරුන් තුන් දෙනෙක්ගේ යුග ගෙවුනා. ලංකාවේනම් දැන් ඉන්නේ අටවන ජනපති. ඔය අතර දරුණු වසංගත කාලයක් ගෙවුනා. යාන්තමින් අපෙත් පණ බේරුණා. ඒ නිසා ඉකොනොමැට්ටා සන්නාමයත් නොමැරී බේරුණා.

වියුණුව පටන් ගනිද්දී ලේඛකයාගේ ඉලක්කය වුනේ අවුරුදු පහක්, ලිපි දාහක්, හිට්ස් මිලියනයක් කියන එක. පටන් ගනිද්දී කිවුවට පටන් ගනිද්දීම නෙමෙයි. පටන් ගත්ත අවුරුද්දේ එක්තරා නිශ්චිත අවස්ථාවකදී. මුල්ම ඉලක්කය වුනේ ලිපි සීයක් ලියන්න. ඔය ඉලක්කය ගැන හිතුවේ ඊට පස්සේ. 

ඔය ඉලක්ක වලට ගිහින්නම් දැන් කාලයක් වෙනවා. මේ වෙද්දී ලිපි 1,325ක් පළ කර තිබෙනවා. මේක 1,326. හිට්ස් මිලියන 1.4කට කිට්ටු වෙලා තිබෙනවා. පීක් එක ඉවර වෙලා කාලයක් වුනත්, තවමත් දවසකට හාර පන්සීයක් මෙහි පැමිණ මෙය කියවනවා. නමුත්, මේ වෙද්දී වත්පොත හරහා අප ලියන දේ කියවන පිරිසට සාපේක්ෂව මෙහි පැමිණ කියවන්නේ අඩු පිරිසක්.

වියුණුව පටන් අරගෙන කෙටි කලක් යන තුරු කියවන්නන් වැඩි පිරිසක් මෙහි පැමිණියේ වෙනත් වියුණු හා සින්ඩි හරහා වුනත් ඉන් පසු දිගටම මෙන් වැඩි වැඩියෙන් කියවන්නන් මෙහි පැමිණියේ වත්පොත හරහා. මෙහි පළ කරන ලිපි වත් පොත හරහා ප්‍රසිද්ධ කිරීම අවහිර කරනු ලැබීමෙන් පසුව ඒ පීක් එක ඉවර වුනා. 

ඉන් පසුව, ආසන්න වශයෙන් පසුගිය වසරකට වැඩි කාලය තුළ, අප විසින් අපගේ ලිපි සෘජු ලෙසම වත්පොතෙහි පළ කරනු ලැබුවා. මේ වෙද්දී මෙම ලිපි වියුණුවෙහි පළ කිරීමේ ප්‍රධානම අරමුණ ලිපි සංරක්ෂණය කිරීමයි. වසර හත අතකට පෙර මෙන් නොව, මේ වන විට වත්පොත සංවාද සඳහා හොඳ වේදිකාවක්. මෑතකදී වියුණුව හරහා වැදගත් සංවාද සිදු වී නැහැ. 

කෙසේ වුවත්, අපට මේ වන විට මුහුණ දෙන්නට සිදු වී තිබෙන ප්‍රධානම ප්‍රශ්නය මෙහි පළ කරන ලිපි සංරක්ෂණය කිරීම පිළිබඳ තාක්ෂණික ගැටළුවකට මුහුණ දීමට සිදු වී තිබීමයි. ලිපි ප්‍රමාණය ඉතා විශාල නිසාත්, එම ලිපි බොහොමයක්ම දිගු ලිපි නිසාත්, පසුගිය සැප්තැම්බර් පමණ සිට වියුණුව එකවර බැකප් කර ගබඩා කර ගැනීම අසීරු වී තිබෙනවා. මේ වගේ දේවල් එක පැත්තකින් බැලුවහම වෙනස් වීම සඳහා කරන සංඥා කියා කියන්නත් පුළුවන්.

පහත තිබෙන්නේ අපගේ ඡායා වියුණුව:

https://econometta.blogspot.com/

ඒ වගේම, පහත තිබෙන්නේ අපගේ අනෙකුත් ප්‍රධාන වියුණුව:

http://emgesathapaha.blogspot.com/

ඉදිරි කාලයේදී මෙම වියුණුව යාවත්කාලීන නොවුවහොත් කරුණාකර ඉහත වියුණු දෙකට පිවිසෙන්න. 

වසර අටක් හෝ අඩු කාලයක් අප හා රැදී සිටි ඔබට අපගේ ප්‍රණාමය!

18 comments:

  1. ඉකොනෝමැට්ටා, මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්නේ ඇයි? ඔබගේ අරමුණු කුමක්ද?.

    ReplyDelete
    Replies
    1. මගේ සතුට වෙනුවෙන්, මා ලියන දේ සංරක්ෂණය කිරීමට සහ එසේ ලියන දේවල් වලින් සතුටු වන හෝ ප්‍රයෝජනයක් ගන්නා අය සිටීනම් ඔවුන්ට කියවීමට සහ මට ප්‍රයෝජනයක් තිබෙන වෙනත් අයගේ අදහස් දැක්වීම් ලබා ගැනීමට.

      Delete
  2. අට වසරක් සම්පූර්ණ කිරීමට සහ ලිපි 1300 ලිවීමට හැකිවීම ගැන සුභ පැතුම්.

    ReplyDelete
  3. සුභ පැතුම් ඉකොන්. 'අට ගසා අවසන් කිරීම' කියල කිව්වට අවසන් කරන්න නැතුව තව අටක් ගහන්න එහෙනං

    ReplyDelete
  4. මිනිස්සුන්ට පදින්න හැකි ඩේ‍රා්න් සුලබ වෙච්චදාක ලයිසන් ගන්න ත්‍රිමාන අවකාශයේ අටගහන්න වේවි.

    ReplyDelete
  5. සුභ පැතුම් !!!

    ReplyDelete
  6. Thank you for your time and effort to educate us. Personally I learned a lot. Perhaps, a book might be in order!

    ReplyDelete
  7. ස්තූතියි ඉකොන් ගැන සරල ලියමනට. නවයේදී මොනවා වෙයිද බලා ඉමු.

    ReplyDelete
  8. සිංහාවලෝකනයේ තතු දෙයි සතුට
    සුපැතුම් ඔබට! මෙහෙමම යන්නට පෙරට

    ReplyDelete
  9. අටවන ඉකොනොමැට්ටා බ්ලොග් එකට අටවන ජනපති රනිල් වික්‍රමසිංහරන්ගේ නාමයෙන් සුබ අටවන සංවත්සරයක් වේවා කියලා සුබ පැතුම් එක් කරන්නට අපත් කැමතියි. ඔබේ අදහස් සමග එකඟ නොවුණත් ඔබේ බ්ලොග් එක රස වින්දා හොඳටම... දිගටම ලියන්න කියලා ඉල්ලා සිටිමි හිතමිතුරු ඉකොනොමැට්ටා සහෝදරයාගෙන්... ජයවේවා සහෝදරයා ඔබට අපේ විප්ලවීය ආචාරය....!

    ReplyDelete
  10. උණුසුම්සු බ පැතුම්!!!

    ReplyDelete
  11. Thank you very much for your effort. I know personally, many people learnt a lot from this blog including myself.

    ReplyDelete
  12. එකොනෝ මැට්ටාට මගෙත් විප්ලවීය ආචාරය 😀. අටවන මැට්ටා වීම පිළිබඳව සුභ පැතුම් 💐

    ReplyDelete
  13. ඉකෝන්, ඔබගේ වටිනා කාලයට හා කැපවීමට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම වසර අටක් තිස්සෙ අපවෙත බෙදා දුන් අතිවිශාල දැනුම් සම්භාරයටත් බොහොම ස්තුතියි. තව තවත් වැඩි වැඩියෙන් සාර්ථකව මේ කාර්්‍යය කරගෙන යනන් ඉඩප්‍රස්තාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  14. සුබ පැතුම් ඉකොන් !!!

    නිතර කොමෙන්ට් නොකලත් ලිපි 1000 කට වඩා කියවලා ඇති... යෝජනාවක් කරන්න කැමතියි. economics වලට අමතරව කලාව, සාහිත්‍යය, ඉතිහාසය, nostalgia වැනි මාතෘකා ඔස්සේ ටිකක් වැඩියෙන් ලියන්න. ඔබ වැනි ලේඛකයෙක් එක් මාතෘකාවකට කොටු වීම අපරාධයක්.

    අට ගැහුවම අවසන් වෙන්නේ නෑ... දැන් හැටට පාගලා යමු... ජය !!!

    ReplyDelete
  15. Ikono,

    මේක ගොන් ප්‍රශ්නයක්ද දන්නේ නෑ. ඕනිම රටක උද්දමනය (inflation) පාලනය කරන්න interest rate එක යොදාගන්නවා මහබැංකු වලින්. මන් අහල තියනවා Arab countries වල තැම්පතු වලට පොලි ගෙවන්නේ නෑ කියල.
    එතකොට එයාල කොහොමද උද්දමනය පාලනය කරන්නේ?

    ReplyDelete
    Replies
    1. පළමුව, ඉස්ලාමික බැංකු ක්‍රමයේ පොලී නැතත් වෙනත් ආකාර වලින් පොලී ගෙවීමටම සමාන දෙයක් සිදු වෙනවා. දෙවනුව, හැම අරාබි රටකම වගේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තිබෙනවා. කොහොම වුනත්, බොහොමයක් අරාබි රටවල් උද්ධමනය පාලනය කරන්නේ වෙනම ක්‍රමයකට. අරාබි රටවල් බොහොමයක මුදල් ඒකක ඩොලර් එකට පෙග් කරයි තියෙන්නේ. විණිමය අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, එම රටවල උද්ධමනය වෙන්නේ ඇමරිකාවේ උද්ධමනය. එය ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් පාලනය කරද්දී අරාබි රටවල උද්ධමනයද නිකම්ම පාලනය වෙනවා. එම රටවල් විසින් කළ යුතු එකම දෙය පෙග් එක තියා ගැනීම. ඒ සඳහා ඇමරිකාව පොලී අනුපාතික වැඩි කරන විට අරාබි රටවල් වලටත් පොලී අනුපාතික වැඩි කරන්න වෙනවා.

      Delete
  16. Keep up the good work !!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: