පසුගිය සියවස් දෙකක කාලය තුළ, ඉතිහාසයේ පළමු වරට, ලෝකය පුරාම තිරසාර දිගුකාලීන ආර්ථික වර්ධනයක් දැකිය හැකි වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස, මානව සංහතියේ සෞභාග්‍යය සඳහා අත්තිවාරමක් දමමින්, ලෝකයේ බොහෝ දෙනෙකු දරිද්‍රතාවයෙන් මිදුනා. මෙම ප්‍රගතිය තව දුරටත් පවත්වා ගනිමින් ඉදිරියට යාම සඳහා නවෝත්පාදන වල කාර්ය භාරය පැහැදිලි කළ විද්‍යාර්ථීන් තිදෙනෙකු වන ජොයෙල් මොකර් (Joel Mokyr), ෆිලිප් අගියන් (Philippe Aghion) හා පීටර් හවිට් (Peter Howitt) විසින් මෙවර ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගෙන තිබෙනවා.
අප සියල්ලන්ගේ ජීවිත කෙරෙහි බලපෑම් කරමින් තාක්ෂණය ඉතා වේගයෙන් වැඩි දියුණු වන අතර, නව තාක්ෂනයන්ගෙන් පැරණි තාක්ෂනය විස්ථාපනය වීම දිගින් දිගටම සිදු වෙමින් පවතිනවා. මෙම ක්‍රියාවලිය උත්පාදක නාශනය (creative destruction) ලෙස හැඳින්වෙනවා. උත්පාදක නාශනය දිගුකාලීන ආර්ථික වර්ධනය සඳහා මග තනන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සමස්ත ලෝක ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් හිමි වෙනවා.
කෙසේ වෙතත්, ඉතිහාසයේ සෑම යුගයකදීම ආර්ථික වර්ධනය හා අදාළව පසුගිය දෙසියවස තුළ දැකිය හැකි වූ ආකාරයේ අඛණ්ඩ ප්‍රගතියක් දැකිය හැකිව තිබුණේ නැහැ. ඉතිහාසයේ බොහෝ කාල වකවානු තුළ සාමාන්‍ය තත්ත්වය වූයේ අපගේ ජීවන තත්ත්වයෙහි ලොකු වෙනසක් සිදු නොවී එකම මට්ටමක පැවතීමයි. ඇතැම් කාල වකවානු වලදී වැදගත් සොයාගැනීම් හා නවෝත්පාදන නිසා ජීවන තත්ත්වයේ ඉහළ යාමක් හා ආදායම් වැඩි වීමක් සිදු වූවත්, ඉතා ඉක්මණින්ම එම වර්ධනය නැවතුනා.
ජොයෙල් මොකර් විසින් දිගුකාලීන ආර්ථික වර්ධනය සාමාන්‍ය තත්ත්වය බවට පත් වීමට හේතු වූ කරුණු අනාවරණය කර ගැනීම සඳහා ඓතිහාසික මූලාශ්‍ර භාවිතා කළා. ඔහු පෙන්වා දුන්නේ නවෝත්පාදන බිහිවීම එකින් එකට අඛණ්ඩව සිදුවන ස්වයං ජනක ක්‍රියාවලියක් බවට පත් වීම සඳහා අපිට කිසියම් නවෝත්පාදනයක් "වැඩ කරන" බව පෙනී යාම පමණක් නොව, එසේ "වැඩ කරන්නේ ඇයි" යන්න පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්ද අවශ්‍ය බවයි.
කාර්මික විප්ලවයට පෙර මෙවැනි විද්‍යාත්මක පැහැදිලි කිරීම් සුලභ නොවූ බැවින්, එක් නවෝත්පාදනයක් විසින් තවත් නවෝත්පාදන ගණනාවකට පාර පෙන්වීමක් ලොකුවට සිදු වූයේ නැහැ. මීට අමතරව සමාජය නව අදහස් සඳහා විවෘත වීමේ වැදගත්කමත්, වෙනස්කම් පිළිගැනීමට සූදානම් වීමේ වැදගත්කමත් මොකර් විසින් අවධාරණය කළා.
ෆිලිප් අගියන් සහ පීටර් හවිට් යන දෙදෙනාද දිගුකාලීන තිරසාර ආර්ථික වර්ධනය සඳහා දායක වන හේතු අධ්‍යයනය කළ විද්‍යාර්ථින් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා විසින් 1992දී, උත්පාදක නාශනය (creative destruction) යන අදහස ගණිතමය ආකෘතියක් ඇසුරෙන් පැහැදිලි කළා. මෙහි අදහස වන්නේ නවෝත්පාදන බිහි වෙද්දී පවතින දැනුම හා තාක්ෂනය වැඩකට නැති වන බැවින් නවෝත්පාදන බිහි වීමෙහි විනාශකාරී මානයක්ද ඇති බවයි. මෙහිදී ඇති වන අනිවාර්ය ගැටුම නිසි ලෙස කළමනාකරණය කර නොගතහොත්, පැරණි තාක්ෂණයේ හා ක්‍රමවේද වල වාසිය ලැබූ සංස්ථාපනය විසින් ඇති කරන ප්‍රතිරෝධය නිසා නවෝත්පාදන බිහි වීම අධෛර්යමත් වී ප්‍රගතිය නවතිනවා.
ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාග කමිටුවේ සභාපති වරයා විසින් ඉහත විද්‍යාර්ථින් විසින් පෙන්වා දී ඇති කරුණු මත පදනම්ව ප්‍රකාශ කරන්නේ ආර්ථික වර්ධනය ඕනෑම තත්ත්වයක් යටතේ ස්වයංක්‍රීය ලෙස සිදු වන දෙයක් සේ නොසැලකිය යුතු බවයි. එමෙන්ම, ඒ නිසා, නැවතත් ලෝක ආර්ථිකය වර්ධනය නොවී එක තැන පල් වෙන තත්ත්වයක් ඇති වීම වලක්වා ගැනීමටනම්, අප විසින් උත්පාදක නාශනය දිරිමත් කෙරෙන යාන්ත්‍රණයන් ආරක්ෂා කර ගත යුතු බවයි.
ජොයෙල් මොකර් නෙදර්ලන්තයේ ඉපදී, ඊශ්‍රායලයේ හීබෘ සරසවියෙන් ප්‍රථම උපාධියත්, ඇමරිකාවේ යේල් සරසවියෙන් ආචාර්ය උපාධියත් ලබා ගෙන ඇමරිකාවේ නෝර්ත්වෙස්ටර්න් සරසවියේ මෙන්ම ඊශ්‍රායලයේ ටෙල් අවිව් සරසවියේද මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන අයෙක්. ප්‍රංශයේ ඉපදී, එහිදීම මූලික අධ්‍යාපනය ලබා, ඇමරිකාවේ හාවඩ් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ෆිලිප් අගියන් ප්‍රංශයේ කොලේජ් ඩි ෆ්‍රාන්ස් සහ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්හි මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා. කැනඩාවේ ඉපදී ඇමරිකාවේ නෝර්ත්වෙස්ටර්න් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා ඇති පීටර් හවිට් ඇමරිකාවේ සහ කැනඩාවේ සරසවි කිහිපයකම සේවය කර ඇති අතර මේ වන විට බ්‍රවුන් සරසවියේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරනවා.
ස්වීඩිෂ් ක්‍රෝන මිලියන 11ක් වන (ඇමරිකන් ඩොලර් මිලියනයකට වඩා තරමක් වැඩි) ත්‍යාග මුදලෙන් අඩක් ජොයෙල් මොකර්ට හිමි වන අතර ඉතිරි අඩ ෆිලිප් අගියන් හා පීටර් හවිට් අතර බෙදී යනවා. ඔවුන් තිදෙනාටම සුබ පැතුම්!
AI වලින් වෙන්නෙත් ඒක . හරියට කළමනාකරණය කර ගන්නයි ඕනේ
ReplyDeleteඅනිවාර්යයෙන්ම.
Deleteඉකොනෝ
ReplyDeleteඋත්පාද නාශනය එක්ක ලෝකයේ සංවර්ධිත යැයි පැවසූ රටවල් වල විශේෂයෙන්ම එක්සත් ජනපදය, බටහිර යුරෝපය ඕස්ට්‍රේලියාව කැනඩාව, ජපානය සහ ඔවුන්ගේ සමීප මිතුරු රටවල සම්ප්‍රදායික ආර්ථික බලයට මොකද වෙන්නේ කියල විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
මොකද එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ මෝටර් රථ සමාගමක් වන ෆෝඩ් (Ford) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිම් ෆාර්ලි (Jim Farley) මෑතකදී චීනයේ මෝටර් රථ කර්මාන්තශාලා කිහිපයක සංචාරය කරලා ඒ ගැන කතා කළා ඔහු ගොඩක් කතා කළේ මෝටර් රථවල අලංකාරය හෝ සුවපහසුව ගැන නෙවෙයි. ඔහු කතා කළේ තමන් ලැබූ කම්පනය ගැනයි.
ඔහු දැක්කා, වෙල්ඩින් කිරීමේ සිට තීන්ත ආලේප කිරීම දක්වා, සහ ස්වයං-රිය පැදවීමේ පද්ධති (Self-driving systems) එකලස් කිරීම දක්වා සෑම දෙයක්ම පාහේ රොබෝවරුන් විසින් සම්පූර්ණයෙන්ම සිදු කරන ආකාරය.
ඔහුගේ වචනවලින්ම කිව්වොත්
"ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය සහ ගුණාත්මකභාවය මම බටහිර ලෝකයේ දකින දේට වඩා අතිශයින්ම උසස්. අපිට මේ තරඟය පැරදුණොත්, ෆෝඩ් සමාගමට අනාගතයක් නැහැ."
ඔහු පමණක් නොවෙයි; අනෙකුත් බටහිර විධායක නිලධාරීන් මේ කර්මාන්තශාලා හඳුන්වන්නේ "අඳුරු කර්මාන්තශාලා" (Dark Factories) ලෙසයි. මෙහි තේරුම, මිනිසුන්ගේ අවශ්‍යතාවක් නැති නිසා, අඳුරේ වැඩ කරන යන්ත්‍ර, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය වූ කර්මාන්තශාලා කියන එකයි.
මේඩ් ඉන් චයිනා නැත්නම් අපි හැමෝම දන්න, ටික කලකට කලින් "චීනයේ නිෂ්පාදිත" කිව්වම මතක් වුණේ අඩු මිලට, බාල තත්ත්වයේ නිෂ්පාදන. ඒ අදහස දැන් අමතක කරන්න හැමෝටම සිදුවෙලා
අද චීනයේ කර්මාන්තශාලා වල විදුලි මෝටර් රථ, බැටරි, සුළං ටර්බයින, ඩ්‍රෝන යානා සහ රොබෝ තාක්ෂණය නිපදවන්නේ බටහිර ලෝකයට ළං වීමටවත් බැරි වේගයකින්.
👉 2014 වසරේ චීනයේ කාර්මික රොබෝවරුන් තිබුණේ 200,000කට අඩුවෙන්.
👉 2024 වන විට, එම සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ගියා. එය ලෝකයේම විශාලතම රොබෝ සංඛ්‍යාවයි.
මේ රොබෝවරු දැන් ක්ෂුද්‍ර චිප්වල සිට මෝටර් රථ දොරවල් දක්වා නිෂ්පාදනයේ සෑම අදියරක්ම පාහේ හසුරුවනවා. චීන රජයේ ප්‍රතිපත්ති පවා කර්මාන්තශාලා "මිනිසුන් වෙනුවට යන්ත්‍ර ආදේශ කිරීම" වෙනුවෙන් දිරිමත් කරනවා. ඔවුන් මේ උපාය මාර්ගයෙන් උත්සාහ කරන්නේ ශ්‍රම බලකාය අඩුවුණත්, නිෂ්පාදන මට්ටම පවත්වාගෙන යන්නයි.
ඔවුන් බටහිර ලෝකයට මෙයින් කියන්නේ කුමක්ද?
බටහිර රටවල්, විශේෂයෙන් එක්සත් රාජධානිය (UK) මේ තරගයේදී ඉතාම පසුපසට ඇද වැටෙමින් සිටින බවයි විශේෂඥයන් පවසන්නේ.
උදාහරණයක් ලෙස:
👉 ගිය වසරේ බ්‍රිතාන්‍ය කර්මාන්තශාලා එකතු කර ඇත්තේ රොබෝවරුන් 2,500ක් පමණයි.
👉 චීනය 295,000ක් එකතු කර තිබෙනවා.
විශේෂඥයන්ගේ අදහස ස්වයංක්‍රීයකරණය (Automation) කම්කරුවන්ගේ සතුරා නොවේ, ඇත්තටම ක්‍රියා නොකර සිටීම තමයි සතුරා. රොබෝ තාක්ෂණය කලින් වැලඳගත් රටවල් වැඩි කාර්මික Industrial රැකියා ප්‍රමාණයක් තබා ගැනීමට සමත් වුණා. එසේ නොකළ රටවල් දැන් ඔවුන්ගේ කාර්මික වැදගත්කම රැක ගැනීමට අරගල කරනවා.මෙහි තේරුම මිනිසුන් ඉවත් කිරීම නොවේ; කර්මාන්තය තරඟකාරීව පවත්වා ගැනීමයි.
මූලාශ්‍ර: ද ටෙලිග්‍රාෆ් පුවත් සේවය
මේ කතාව ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?