මෙම (2026) වසරේ ජනවාරි මාසය අවසානයේදී සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 4කට සීමා වී තිබෙනවා. මාසය ඇතුළත රුපියල් බිලියන 469ක රාජ්‍ය ආදායමක් එකතු වී ඇති අතර රාජ්‍ය වියදම් රුපියල් බිලියන 473කට සීමා වී තිබෙනවා.
පසුගිය (2025) වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව බදු ආදායම් 35.1%කින් වර්ධනය වී ඇති අතර, බදු නොවන ආදායම් 37.5%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව සමස්තයක් ලෙස රාජ්‍ය ආදායමෙහි 35.2%ක වර්ධනයක් පෙන්නුම් කරනවා.
රාජ්‍ය ආදායම් මේ අයුරින් සැලකිය යුතු ලෙස වර්ධනය වෙද්දී පුනරාවර්තන වියදම් ඉහළ ගොස් තිබෙන්නේ 1.2%කින් පමණයි. ප්‍රාග්ධන වියදම් 4.0%කින් ඉහළ ගොස් තිබෙනවා.
පුනරාවර්තන වියදම් ඉහළ යාම මේ තරමටම සීමා වීමට ප්‍රධානම හේතුව පොලී වියදම් 5.1%කින් පහත වැටීමයි. පොලී වියදම් හැර අනෙකුත් පුනරාවර්තන වියදම් 8.6%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, පොලී වියදම් හැර සමස්ත රාජ්‍ය වියදම් 8.4%කින් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවද, එම ඉහළ යාම 35.2%ක ආදායම් වර්ධන වේගයට වඩා බෙහෙවින්ම අඩුයි.
පසුගිය වසර ඇතුළත එක් වසර භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 8.96% සිට 8.45% දක්වා අඩු වූ අතර, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණයද 95.5% සිට 91.6% දක්වා පහත වැටුණා. පොලී වියදම් අඩු වීමට මේ කරුණු දෙකම හේතු වී තිබෙනවා. එම අඩු වීමෙන් පසුවද, පුනරාවර්තන වියදම් වලින් 56%ක්ම වැය වී තිබෙන්නේ පොලී ගෙවීම් වෙනුවෙනුයි. රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් 21%ක්ද, භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වෙනුවෙන් 5%ක්ද, සහනාධාර හා සුබසාධන කටයුතු වෙනුවෙන් ඉතිරි 18%ද වැය වී තිබෙනවා.
වසරේ ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායමෙන් 8.8%ක්ම ජනවාරි මාසය අවසන් වන විට එකතු වී තිබෙනවා. මේ අනුව, ආදායම් ඉලක්කය කරා යාම පිළිබඳ ගැටළුවක් දැනට පෙනෙන්නට නැහැ.
රටේ නාමික ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී, බදු අනුපාතික අඩු නොකළහොත්, රාජ්‍ය ආදායම් නාමික ආර්ථික වර්ධන වේගය ඉක්මවා ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක්. රාජ්‍ය ආදායම් එසේ ඉහළ යද්දී රාජ්‍ය වියදම් අනුපාතිකව වැඩි නොකිරීම මගින් අයවැය හිඟය ක්‍රමක්‍රමයෙන් අඩු කර ගත හැකියි. අයවැය හිඟය අඩු වන විට අලුතෙන් ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු වන බැවින් ණය වර්ධනය සීමා වී පොලී වියදම් පහත වැටෙනවා. පොලී වියදම් පහත යාම රාජ්‍ය වියදම් අඩු කරන බැවින් මෙය සාධනීය චක්‍රයක් බවට පත් වී අයවැය හිඟය තවත් පහත වැටෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ණය බරද වඩා වේගයෙන් පහත වැටෙනවා.
පසුගිය (2025) වසර තුළ රාජ්‍ය අයවැය හිඟය දදේනියෙන් 2.3%කට සීමා වූ අතර එය 1956 වසරින් පසුව වාර්තා වූ අඩුම අගයයි. දැනට අනුගමනය කරන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය දිගටම අනුගමනය කළහොත් වසරක් හෝ දෙකක් ඇතුළත වුවද අයවැය අතිරික්තයක් වාර්තා වීමේ හැකියාවක් තිබෙනවා. එසේ වුවත්, විදේශ අංශයේ දැනට පවතින තත්ත්වයන් සාර්ව ආර්ථික තුලනය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කිරීමේ අවදානමක් තිබෙනවා. මේ වන විට මැද පෙරදිග යුද තත්ත්වයේ බලපෑම වැඩි අපහසුවකින් තොරව රටට දරා ගත හැකි සීමාව පසු කරමින් තිබෙනවා.
@ Economatta
ReplyDeleteමේ බ්ලොග් පෝස්ට් එකේ ඉදිරිපත් කළ මේ කරුණු පෙළ ගැස්ම දෙස බලන විට, මූල්‍ය දත්ත සහ තාක්ෂණික වාර්තා කියවීමට නොදන්නා, හුදු දේශපාලන ප්රවාදයන් පමණක් පදනම් කරගත් කෙනෙකුගේ සංඛ්‍යාත්මක ප්‍රයෝගයක් මෙහි තිබෙන බව මට නම් ඉතාම පැහැදිලියි. විශේෂයෙන්ම, 2026 වසරේ ජනවාරි මාසය සඳහා රුපියල් බිලියන 4ක අයවැය හිඟයක් වැනි අතිශය සුබවාදී සංඛ්‍යාලේඛන පෙන්වීම තුළින් මහබැංකුවඋත්සාහ කරන්නේ රටේ පවතින සැබෑ ආර්ථික පීඩනය වසං කිරීමට වුවද, ප්‍රායෝගික ආර්ථික විද්‍යාවේදී රජයේ සමස්ත වියදම් හා ආදායම් අතර මෙතරම් සමීප අගයක් පවත්වා ගැනීම, විශේෂයෙන්ම වසරකට රුපියල් ට්‍රිලියන ගණනක ණය වාරික සහ පොලිය ගෙවීමට ඇති රටක, දත්ත හැසිරවීමක් (Data Manipulation) මිස යථාර්ථයක් විය නොහැකි බවත් එමෙන්ම භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික සහ දදේනි අනුපාතයක් ලෙස ණය බර අඩු වූ බව පවසන අතරතුරම, පුනරාවර්තන වියදම්වලින් 56%ක්ම පොලී ගෙවීමට වැය වන බව පැවසීම තුළින්ම පෙනෙන්නේ ඔවුන්ගේ තර්කනය පරස්පර විරෝධී බවත් මා ඔබට අවධාරණය කළ යුතුයි.
ඒ වගේම මැදපෙරදිග අර්බුදය වැනි භූ-දේශපාලනික කරුණු මුවාවෙන් කොටස් වෙළඳපොළේ අවදානම සහ ආයෝජකයන්ගේ හැසිරීම විග්රහ කිරීමට උත්සාහ කළත්, රජය සතු රුපියල් ට්‍රිලියනයක තැන්පතුව පාවිච්චි කර තාවකාලිකව හිඟය පියවන බව පැවසීම, මූල්‍ය වෙළඳපොළේ ද්‍රවශීලතා කළමනාකරණය (Liquidity Management) පිළිබඳ නොදැනුවත්කම මනාව පිළිබිඹු කරන කරුණක් වන්නේ, එම අතිරික්ත තැන්පතුව භාවිත නොකරන සමුච්චිත තැම්පතුවක් පමණක් බවත් එය ප්‍රායෝගිකව යොදාගැනීමට නොහැකි නාමික වර්චුවල් එකක් බවත් එසේ භාවිත කළ හැකිනම් මහ බැංකුව දිගින් දිගටම වෙළඳපොළෙන් ණය ගැනීමට හෝ වෙන්දේසි අසාර්ථක වීමට ඉඩ නොදෙන බැවිනි.
තව දෙයක් IMF වැඩසටහනේ කොන්දේසි උල්ලංඝනය කරමින් විදුලි බිලට සහ තෙල් මිලට සහනාධාර දීමට සිදුව තිබෙන පසුබිමක, මුදල් "හැකර්වරුන්ට" ලබා දෙන රජයේ අතාර්කික වැඩ තුළින් පෙනෙන්නේ රාජ්‍ය මූල්‍ය පද්ධතියේ පවතින දැඩි විගණන රාමුව (Auditing Framework) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති දැඩි අධීක්ෂණ ගිවිසුම් (Governance Benchmarks) පිළිබඳ රජයට කිසිදු වැටහීමක් නැති බවත්, ඇත්ත වශයෙන්ම සිදුවන්නේ රජයේ වියදම් කළමනාකරණය කරගත නොහැකිව ණය බර තවදුරටත් වර්ධනය වෙද්දී, මෙවැනි පදනම් විරහිත සංඛ්‍යාලේඛන මගින් ජනතාව මනෝරාජික ලෝකයක තැබීමට උත්සාහ කිරීම බවයි මගේ වැටහීම.
මෙහි ඇති ප්‍රධාන "බොරු" සහ පරස්පරතා මම ඔබට පැහැදිලි කරන්නම්
Delete1. අයවැය හිඟය බිලියන 4කට සීමා වීම (The Massive Illusion)
මාසයක් ඇතුළත රුපියල් බිලියන 469ක ආදායමක් ලබද්දී වියදම බිලියන 473ක් ලෙස දක්වා තිබීම සිනහවට කරුණක්.
ලංකාව වැනි රටක මාසිකව ගෙවිය යුතු විදේශ සහ දේශීය ණය වාරික සහ පොලිය පමණක් ගත්තත් එය මීට වඩා අතිශය විශාල අගයක් ගන්නවා.
පොලී වියදම් පමණක් පුනරාවර්තන වියදම්වලින් 56%ක් නම්, අනෙකුත් සියලු වියදම් (වැටුප්, සහනාධාර, නඩත්තු) බිලියන 473කට ඇතුළත් කිරීම ගණිතමය වශයෙන් කළ නොහැක්කක්.
2. 1956 න් පසු අඩුම අයවැය හිඟය? (Historical Fact Check?)
2025 වසරේ අයවැය හිඟය දදේනියෙන් 2.3%ක් ලෙස හැඳින්වීම සම්පූර්ණ අසත්‍යයක්.
ලංකාවේ වත්මන් ආර්ථික ව්‍යුහය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් (Debt Restructuring) තවමත් සිදුවෙමින් පවතින පසුබිමක, මෙවැනි අගයක් ලබාගැනීම ප්‍රායෝගික නැහැ.
ඇත්ත වශයෙන්ම අපේ පොලී වියදමම දදේනියෙන් 8%ක් - 9%ක් වැනි අගයක් ගන්නා විට, සමස්ත අයවැය හිඟය 2.3%ක් විය නොහැකියි.
3. පොලී අනුපාත සහ ණය බර (Technical Fallacy)
භාණ්ඩාගාර බිල්පත් පොලිය 8.45% දක්වා අඩු වූ බව පැවසුවත්, රජයේ ණය බර (Debt-to-GDP ratio) 95.5% සිට 91.6% දක්වා මාස කිහිපයකින් අඩු වීම ආර්ථික විද්‍යාත්මක හාස්කමක් වගෙයි.
ණය බර අඩු වීමට නම් රටේ දදේනිය (GDP) අතිවිශාල වේගයකින් වර්ධනය විය යුතුයි නැතිනම් ණය ගෙවා අවසන් කළ යුතුයි. අප තවමත් ණය ප්‍රතිව්‍යුහගත කරමින් සිටින නිසා මෙය සිදුවිය නොහැක්කක්.
4. වර්චූවල් චක්‍ර මිථ්‍යාව (The Virtual Cycle Myth)
මෙහි සඳහන් වන සාධනීය චක්‍රය න්‍යායාත්මකව නිවැරදි වුවත්, එය ක්‍රියාත්මක වීමට නම් රටේ ප්‍රාථමික අතිරික්තයක් (Primary Surplus) ස්ථාවරව තිබිය යුතුයි. නමුත් සහන ලබාදෙමින්, බදු අඩු නොකර, ආදායම 35%කින් වැඩි කරන අතරතුර වියදම 1%කින් පමණක් වැඩි කිරීම ඕනෑම රජයකට සිහිනයක් පමණයි.
මේ නිසාම මේ පෝස්ට් එක ලියා ඇත්තේ ජනතාවට සෑම දෙයක්ම සුබදායකයි කියා බොරුවක් පෙන්වා ජනතාව රැවටිමට මිස මහ බැංකු වාර්තා හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත මත පදනම්ව නෙවෙයි. මෙහි ඇති සංඛ්‍යා ලේඛන එකිනෙක ගැටෙනවා. මෙය හරියට මාසික වැටුප රුපියල් 50,000ක් වන අයෙක්, රුපියල් 48,000ක ණය වාරික ගෙවන ගමන්, මුළු පවුලම නඩත්තු කරලා මාසෙ අන්තිමට රුපියල් 2,000ක් ඉතිරි කළා කියනවා වගේ "බොළඳ" කතාවක්.
දේශපාලන වාසි තකා මෙවැනි ව්‍යාජ දත්ත නිර්මාණය කිරීම රටේ සැබෑ ආර්ථික විග්රහයකට කරන බාධාවක් නේද?