වෙබ් ලිපිනය:

Saturday, March 9, 2024

මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය


පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව, අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුව ස්වාධීන කිරීම බලපා තිබෙන්නේ කෙසේද?

මෙම පණත සම්මත වන තුරු නීතිමය අර්ථයෙන් "ශ්‍රී ලංකා මහ බැංකුව" කියා දැන් තිබෙන ආකාරයේ ආයතනයක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව නම් වූ "සංස්ථාවක්" පිහිටවනු ලබන්නේ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පණතේ විධිවිධාන යටතේයි. 

මහ බැංකු පණතේ 4 වන වගන්තිය අනුව, එහි ප්‍රාග්ධනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව විසින් දරනු ලැබිය යුතුයි. එමෙන්ම, ඒකාබද්ධ අරමුදලෙන් වෙන් කරන ලද අරමුදල් වලින් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වරින් වර වැඩි කළ හැකියි. වෙනත් විදිහකින් කිවුවොත් මෙම ආයතනය සියයට සියයක් ජනතා බදු මුදල් යොදවා පිහිටුවා තිබෙන රාජ්‍ය සංස්ථාවක්. 

විවිධ කාර්යයක් සඳහා පිහිටුවා තිබෙන මෙවැනි රාජ්‍ය සංස්ථා ගණනාවක් තිබෙනවා. ඒ රාජ්‍ය සංස්ථා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර තිබෙන වෙනස කුමක්ද?

පණතේ 5 වගන්තිය අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව පරිපාලනමය හා මූල්‍ය ස්වාධීනත්වයක් ඇති ආයතනයක්. මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ පාලක මණ්ඩලය පත් කරන්නේ අමාත්‍යවරයාගේ නිර්දේශය මත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින්. පණතේ 21 වගන්තිය අනුව, මෙම පාලක මණ්ඩල සාමාජිකයින්ට ගෙවිය යුතු වැටුප්, දීමනා ආදිය ඔවුන්ව පත් කරන අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් තීරණය කරනවා. ඉන් පසුව එම වැටුප්, දීමනා ආදිය අඩු කළ නොහැකියි. එමෙන්ම, පණතේ නිශ්චිතව සඳහන් කර ඇති පරිදි ඔවුන්ගේ වැටුප්, දීමනා ආදිය (පාරිශ්‍රමික) මහ බැංකුවේ ආදායම් හෝ ලාබ මත නිර්ණය නොවිය යුතුයි. 

ඉහත කොන්දේසිය පණතටම ඇතුළු කර තිබෙන්නේ ඇයි කියන කරුණ අපගේ පෙර ලිපිය කියවා අවබෝධ කරගත හැකි විය යුතුයි. මහ බැංකුවේ ආදායම් වලින් හෝ ලාබ වලින් එම ආයතනයේ පාලක මණ්ඩලයේ හෝ සේවකයින්ගේ කාර්යක්ෂමතාවය හෝ ඵලදායීත්වය පිළිබිඹු කරන්නේ නැහැ. මෙම වෙනස නිසා මහ බැංකුවක් එහි ව්‍යාපාරික ස්වභාවයෙන් වෙනත් ඕනෑම ව්‍යවසායකට වඩා වෙනස් ආයතනයක්. ඒ වගේම, මහ බැංකු සේවකයින්ට වැටුප් ගෙවන්නේ බදු මුදල් වලින් නොවේ කියන එක තේරුමක් නැති තර්කයක් කියන එකද මෙයින් තහවුරු වෙනවා. 

මහ බැංකුවේ සේවා නියුක්තයින් පත් කිරීම හා ඉවත් කිරීම පිළිබඳව නෛතික තත්ත්වය පණතේ 23 වගන්තිය විස්තර කරනවා. එම වගන්තිය අනුව, මහ බැංකුවේ සේවකයින්ගේ වැටුප්, දීමනා ආදිය නිර්ණය කරන්නේ මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින්. එම වැටුප් හා දීමනා මහ බැංකුවේ ආදායම් හෝ ලාබ මත නිර්ණය නොවිය යුතු බව නැවතත් විශේෂයෙන් සඳහන් වෙනවා. 

නැවතත් පනතේ 5 වගන්තිය වෙත ගියොත්, පණතෙන් ලබා දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී, කිසිවෙකුට මහ බැංකුවේ අධිපතිවරයාට හෝ එහි පාලක මණ්ඩලයට බලපෑම් කළ නොහැකියි. පණතේ 23 වගන්තිය අනුව සේවකයින් බඳවා ගැනීම සහ ඔවුන්ගේ වැටුප්, දීමනා ආදිය නිර්ණය කිරීම එසේ පනත මගින් එහි පාලක මණ්ඩලයට ලබා දී තිබෙන බලතලයක්. ඒ නිසා, වෙනත් කිසිවෙකුට ඒ සම්බන්ධව පාලක මණ්ඩලයට බලපෑම් කිරීමේ අයිතියක් නැහැ.

අලුත් මහ බැංකු පණත සම්මත වීමට පෙර මහ බැංකුවට මේ මට්ටමේ ස්වාධීනත්වයක් තිබුණේ නැහැ. ඊට පෙරද මහ බැංකුවේ සේවකයින්ට වැටුප් ගෙවුවේ මහ බැංකුවේ අරමුදල් වලින්ම තමයි. ඒ වගේම, මීට පෙරද මහ බැංකු සේවකයින්ගේ වැටුප් විශාල ලෙස වැඩි කළ අවස්ථා තිබෙනවා. අප මෙහි කතා කරන්නේ ඒ ගැන නෙමෙයි. මෙය වෙනම කාරණාවක්.

දැනටත් රාජ්‍ය සංස්ථා වල සේවකයින්ට වැටුප් ගෙවන්නේ එම ආයතන වල අරමුදල් වලින් මිසක් ඒකාබද්ධ අරමුදලින් නෙමෙයි. නමුත් මෙම රාජ්‍ය සංස්ථා මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට යටත්. මුදල් අමාත්‍යාංශ අනුමැතියක් නැත්නම් එම ආයතන වලට අලුත් බඳවා ගැනීම් කිරීමට හෝ වැටුප් වැඩි කිරීමට නොහැකියි. සාමූහික ගිවිසුම් වලට එළැඹිය නොහැකියි. නමුත් මහ බැංකුව දැන් මෙම සීමාවන්ගෙන් නිදහස්.

මහ බැංකුවට මේ බලය ලබා දී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින්. නමුත්, පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවේ පාලක මණ්ඩලයට බලය ලබා දීමෙන් පසුව පාර්ලිමේන්තුවට එම බලය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කිරීම වැළැක්විය හැක්කේ නීතිය වෙනස් කර දුන් බලය ආපසු ලබා ගැනීමෙන් පමණයි. වත්මන් මහ බැංකු පණත බලාත්මකව තිබෙන තුරු මහ බැංකුවේ පාලක මණ්ඩලයට අභිමතය පරිදි සේවක වැටුප් වැඩි කළ හැකියි. (සාමූහික ගිවිසුම් කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව ගැන පසුව වෙනම කතා කරමු.)

අනෙකුත් රාජ්‍ය ව්‍යවසායයක් සැලකුවහොත්, මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණය පැත්තකින් තිබ්බත්, සේවක වැටුප් වැඩි කිරීමේ හැකියාව අදාළ ආයතනයේ ආදායම් හා ලාබ හරහා නියාමනය වෙනවා. එසේ නැත්නම් වෙළඳපොළ විසින් නියාමනය කරනවා. අදාළ ආයතනය ඒකාධිකාරයක් වූ විට සහ නිපදවන භාණ්ඩය හෝ සේවාව අත්‍යාවශ්‍ය එකක් වීම මත මෙවැනි ආයතනයකට රිසි සේ ලාබ වැඩි කර ගැනීම සඳහා සැලකිය යුතු අවකාශයක් ලැබිය හැකි වුවත්, මහ බැංකුවට මෙන් "අසීමිත" අවකාශයක් ලැබෙන්නේ නැහැ.

මහ බැංකුව සතු නෛසර්ගික මූල්‍ය ස්වාධීනත්වය සම කළ හැක්කේ ව්‍යවස්ථාදායකයේ මූල්‍ය ස්වාධීනත්වයට පමණයි. ව්‍යවස්ථාදායකයට තමන්ට "රිසි සේ" බදු වැඩි කර ආදායම් වැඩි කරගන්න පුළුවන්. මහ බැංකුවට තමන්ට "රිසි සේ" සල්ලි අච්චු ගසා ආදායම් වැඩි කරගන්න පුළුවන්. වෙනත් කිසිම ආයතනයකට එවැන්නක් කළ නොහැකියි. තෙල්, විදුලි ගාස්තු වැඩි වෙද්දී එය කොපමණ පීඩනයක් වුවත්, එක්තරා අයෙක් පසුගිය දිනෙක කියා ඇති පරිදි, "කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න" පුළුවන්. බර කරත්ත වලින් ගමන් යන්න පුළුවන්. නමුත් බදු, විශේෂයෙන්ම වක්‍ර බදු, නොගෙවා ඉන්න බැහැ. උද්ධමනයෙන් බේරෙන්න කොහොමටවත් බැහැ.

ව්‍යවස්ථාදායකය විසින් තමන්ට "රිසි සේ" බදු වැඩි කර ආදායම් වැඩි කර ගැනීම සහ මහ බැංකුව විසින් තමන්ට "රිසි සේ" සල්ලි අච්චු ගසා ආදායම් වැඩිගැනීම නියාමනය විය හැකි එකම ආකාරය සෘජු ජනතා මැදිහත් වීම් පමණයි. ජනතා විරෝධය ප්‍රශ්නයක් වන තුරු ඔය දෙකම වෙන්න පුළුවන්. ජනතාවට ව්‍යවස්ථාදායකය පිළිබඳව ප්‍රශ්න ඇති විට එහි නියෝජිතයින් වෙනස් කළ හැකියි. එය වරින් වර සිදු වෙනවා. එහෙත්, මහ බැංකුව හා අදාළව ජනතාවට මේ විකල්පය හෝ නැහැ. 

ඉහත හේතුව නිසා සෘජුව ජනතාවට වගවීමට පාර්ලිමේන්තුවේ සිටින ජනතා නියෝජිතයින්ට තිබෙන වගකීමටද වඩා වගකීමක් මහ බැංකුවට තිබෙනවා. නෛතික අයිතිය අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද අවශ්‍ය පමණ වැඩි කරගන්න පුළුවන්. ඒ සඳහා වෙනත් කිසිවකුගෙන් අනුමැතියක් අවශ්‍ය වන්නේ නැහැ. අලුත් මහ බැංකු පණත හරහා මහ බැංකුවටද එවැනිම, පාර්ලිමේන්තුවට සම, නෛතික අයිතියක් ලැබී තිබෙනවා. ඇතැම් විට එම අයිතියේ බර දරා ගැනීමට මහ බැංකුවට තවමත් හැකියාවක් නැතුවා විය හැකියි. 

මේ වෙලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද 100%කින් වැඩි කරගත්තොත් ඇති වන තත්ත්වය කුමක්ද? ඔවුන්ට එසේ කර ගැනීමට පූර්ණ නෛතික හැකියාවක් තිබෙනවා. නමුත්, ඔවුන් එසේ නොකරන්නේ ඒ සමඟ ඇති වන මහජන ප්‍රතිචාරය ගැන අවබෝධයක් තිබෙන නිසා. අලුත් පණත සම්මත වීමෙන් පසුව මහ බැංකු සේවකයින් සිටින්නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉඳගෙන සිටින ආකාරයේම උණුසුම් පුටු වලයි. 

කෙසේ වුවත්, මේ ලිපිය අනාගතවාදීව ලියන්නක් මිසක් සිදුව ඇති වැටුප් වැඩිවීම පමණක් ඉලක්ක කරගෙන ලියන්නක් නෙමෙයි. ඒ වගේම, මහ බැංකුවට සුවිශේෂී මානව ප්‍රාග්ධනයක් අවශ්‍යද කියන කරුණ ඇතුළු කතා නොකළ කරුණු පසුව කතා කරමු. 

Friday, March 8, 2024

මහ බැංකුව පඩි ගෙවන්නේ කොහොමද?


මහ බැංකුව විසින් මහ බැංකු සේවකයන්ගේ වැටුප් විශාල ලෙස වැඩි කර ගැනීම ගැන රටේ සැලකිය යුතු විරෝධයක් ඇති වෙලා තිබෙනවා. මම පෞද්ගලිකව දකින විදිහට මෙය සාධාරණ විරෝධයක්. වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වන අය විසින් ගෙන එන යම් පදනමක් තිබෙන තර්ක ගණනාවක් තිබෙනවා.

මේ කාරණයේදී ආණ්ඩු පක්ෂය වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂයත් එකම මතයක සිටිමින් මහ බැංකුවට ප්‍රතිපක්ෂව සිටින බවකුයි පෙනෙන්න තියෙන්නේ. විවිධ කරුණු මත දිගින් දිගටම මහ බැංකුව විවේචනය කරමින් සිටි වාමාංශික පක්ෂ මේ කාරණය හා අදාළව හඬක් නගන බවක් මට නිරීක්ෂණය වුනේ නැහැ. ඇතැම් විට ඒ අය මෙය සේවකයින් විසින් හෙට්ටු කර වැටුප් වැඩි කර ගැනීමක් කියන පැත්තෙන් ගන්නවා වෙන්න ඇති. 

මේ වැටුප් වැඩි කිරීම සාධාරනීකරණය කරමින් මහ බැංකුව විසින් හෝ ඒ වෙනුවෙන් පෙනී සිටින වෙනත් අය විසින් පහත තර්ක ගෙන එනවා.

- තමන්ගේ වැටුප් වැඩි කරගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව 

- වැටුප් වෙනුවෙන් වැය කරන්නේ මහ බැංකුව විසින් උපයන මුදල් මිස බදු මුදල් නොවන බව 

- මහ බැංකුවට විශේෂිත ශ්‍රමයක් අවශ්‍ය වන නිසා එම ශ්‍රමය මිල දී ගෙන රඳවා තබා ගැනීම පිණිස මෙවැනි ඉහළ වැටුප් ගෙවන්නට සිදු වන බව

තර්ක විදිහට මේවා හරි. නමුත් මේ තර්ක සියල්ලේම නොකියන දේවල් තිබෙනවා. ඒ වගේම, මහ බැංකුව ස්වාධීන කළාට පස්සේ මුලින්ම කළේ තමන්ගේ වැටුප් වැඩි කරගන්න එක කියන කතාවත්, තාක්ෂණිකව කොහොම වුනත්, පදනමක් නැති කතාවක් නෙමෙයි.

පළමු කරුණ සම්බන්ධවද මතභේද ඇතත් එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි කියා කියන්න පුළුවන්. ඒ නිසා මම දෙවන කරුණ වෙත අවධානය යොමු කරන්නම්.

මහ බැංකු සේවකයින්ගේ වැටුප් වෙනුවෙන් හෝ මහ බැංකුවේ වෙනත් වියදම් වෙනුවෙන් රජය විසින් එකතු කරන බදු මුදල් වැය කරන්නේ නැහැ. මේ වියදම් වෙනුවෙන් වැය කරන්නේ මහ බැංකුව විසින් උපයන ආදායම්. ඇත්තටම වෙන්නේ එම ආදායම් වලින් අවසානයේදී ඉතිරි වන කොටස රජයට ලබා දෙන එකයි. 

මේ කතාව තර්කයක් විදිහට නිවැරදියි වගේම මහ බැංකුවට අමතරව තවත් බොහෝ රාජ්‍ය ආයතන හා අදාළවද නිවැරදියි. ශ්‍රීලංකන්, ලංවිම, තෙල් සංස්ථාව වගේ ආයතන පාඩු ලබද්දී රජය එම ආයතන වලට බදු මුදල් පොම්ප කරන බව ඇත්ත. නමුත්, යම් හෙයකින් එම ආයතන ලාබ ලැබුවේනම් සහ එසේ ලාබ ලබන අතර සේවකයින්ගේ වැටුප් වැඩි කරගත්තේනම් මහ බැංකුව කියන කතාවම ඔය ආයතන වලටත් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකු එහෙම ලාබ ලබනවා. ඒ නිසා එම ආයතන වෙනුවෙන් බදු මුදල් වැය වෙන්නේ නැහැ. 

නමුත්, ඉහත කී අනෙකුත් ආයතන විසින් කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරනවා. එහෙම කරලා ආර්ථිකයට අගය එකතු කිරීමක් කරනවා. ඒ ආයතන වල ලාබ විදිහට ඉතිරි වෙන්නේ (එහෙම ඉතිරි වෙනවානම්) ඒ අගය එකතු කිරීම. මේ සඳහා ආයතනයේ කළමනාකරණය වගේම සේවකයින් විසින්ද සැලකිය යුතු පරිශ්‍රමයක් දැරිය යුතුයි. ඔවුන් කාර්යක්ෂම වන තරමට ආයතනයේ ලාබ ඉහළ යනවා.

මෙන්න මේ කාරණය හා අදාළව මහ බැංකුව වෙනස්ම ආයතනයක්. මහ බැංකුවේ ලාබ ඉහළ යන්නේ එම ආයතනයේ කාර්යක්ෂමතාව වැඩි වීම නිසා නෙමෙයි. ඒක වෙනම කතාවක්.

මහ බැංකුව ආදායම් උපයන්නේ කොහොමද?

කෙටි පිළිතුර මහ බැංකුව ආදායම් උපයන්නේ සල්ලි අච්චු ගැසීම මගින්. ඊට වඩා සංකීර්ණ දිගු පිළිතුරක් තිබුණත් ඒ දිගු පිළිතුරෙන් අවසාන වශයෙන් කියැවෙන්නේද ඔය කතාවම තමයි.

ඔබට ආදායම් ඉපැයිය හැකි මාර්ග මොනවාද?

- ඔබේ ශ්‍රමය යොදවා කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කිරීමෙන් ඔබට ආදායම් උපයන්න පුළුවන්.

- ඉහත ක්‍රමයට උපයන ආදායම් වලින් කොටසක් ඉතිරි කරගෙන හෝ එසේ ඉතිරි කළ අයෙකුගේ උරුමකරුවෙකු ලෙස ලැබුණු ප්‍රාග්ධනය කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කිරීම වෙනුවෙන් ආයෝජනය කර ඔබට ආදායම් උපයන්න පුළුවන්.

ඔය ක්‍රම දෙකෙන් කොයි ක්‍රමයට ආදායම් ඉපැයුවත් එහිදී සෘජුව හෝ වක්‍රව කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු වෙනවා.

ඔය ක්‍රම දෙක හැර වෙනත් ක්‍රම නැද්ද? 

අපි හිතමු ඔබ රුපියල් ලක්ෂ කිහිපයක් වැය කර හොඳ මුද්‍රණ යන්ත්‍රයක්, කඩදාසි සහ තීන්ත මිල දී ගෙන රුපියල් 5000 නෝට්ටු අච්චු ගහනවා කියලා. රුපියල් 5000 නෝට්ටුවක් අච්චු ගහන්න යන වියදම රුපියල් 50ක් කියමු. දැන් ඔබ මේ නෝට්ටුවක් මාරු කරන වාරයක් පාසා ඔබට රුපියල් 4950ක ශුද්ධ ආදායමක් ලැබෙනවා. 

ඔය වැඩේ කරන අය නැතුව නෙමෙයිනේ. හැබැයි වැඩි කාලයක් ඔය වැඩේ එක දිගට කරන්න බැහැ. අපරාධ විමර්ශන අංශයෙන් හෝ වෙනත් එවැනි අංශයකින් ඇවිත් කුදලාගෙන ගිහින් හිරේ දමනවා. තාත්තා රටේ හිටපු ලොක්කෙක්නම්, ඉන්න ලොක්කා ඒ යාලුකමට මැදිහත් වුනොත්, සමහර විට හිරේ නොගිහින් බේරෙන්න ඉඩ ලැබෙන්න පුළුවන්. හැබැයි ඔය වැඩේ දිගටම කරන්න බැහැ. මොකද මේ විදිහට සල්ලි අච්චු ගහන එක රටේ නීතිය අනුව නීති විරෝධී වැඩක්.

අපි හිතමු මෙය කියවන ක්‍රිෂ්ණා රාමනායකගේ සුළු ව්‍යාපාරයට පමණක් මොකක් හෝ හේතුවක් නිසා රජය ඔය විදිහට සල්ලි අච්චු ගහන්න ඉඩ දුන්නා කියලා. දැන් ඔහුට පුළුවන් තමන්ගේ අනෙක් ව්‍යාපාරික කටයුතු පැත්තක තියලා සල්ලි අච්චු ගහන වැඩේ ආයතනයේ ප්‍රමුඛ කාර්යය විදිහට කරගෙන යන්න. ඔය ක්‍රමයට හොයන්න පුළුවන් ලාබ වල සීමාවක් නැති තරම්. රුපියල් 5000 නෝට්ටුවක් අච්චු ගහලා එළියට දමන වාරයක් පාසා ඔහුගේ ආයතනයට රුපියල් 4950ක ලාබයක් ලැබෙනවා. ඒ නිසාම ඔහුගේ ආයතනයේ සේවකයන්ට කැමති තරම් ඉහළ වැටුපක් ගෙවන්නත් ඔහුට පුළුවන්. එහෙම වැඩි වැටුප් ගෙවුවා කියලා ආයතනයේ ලාබ අඩු වෙන්නේ නැහැ. මොකද යම් හෙයකින් ලාබ අඩු වෙන්න යනවානම් තව සල්ලි ටිකක් වැඩිපුර අච්චු ගහලා ලාබය වැඩි කරගන්න පුළුවන්. අවශ්‍ය ලාබය තීරණය කරගන්නේ තමන් විසින්ම මිසක් වෙළඳපොළ විසින් නෙමෙයි.

ක්‍රිෂ්ණා රාමනායකගේ සහ ඔහුගේ ආයතනයේ සේවකයින්ගේ අවාසනාවට ඔහුගේ ආයතනයට රජයෙන් එවැනි අවසරයක් ලැබී නැහැ. නමුත් මහ බැංකු සේවකයින්ගේ වාසනාවට මහ බැංකුවට රජයෙන් එවැනි අවසරයක් ලැබී තිබෙනවා. ඒ අවසරය තියෙන්නේ මහ බැංකුවටම පමණයි.

සියලුම ආරක්ෂක විධිවිධාන එක්ක නියම ප්‍රමිතියේ රුපියල් 5000 නෝට්ටුවක් අච්චු ගහන්න යන වියදම රුපියල් 50ක්නම් මේ නෝට්ටුවක් මුද්‍රණය කරලා එළියට දමන වාරයක් පාසා මහ බැංකුවට රුපියල් 4950ක ශුද්ධ ආදායමක් ලැබෙනවා. ඔය වැඩේ දිගින් දිගටම කිරීම මගින් මහ බැංකුවට විශාල ශුද්ධ ආදායමක් උපයා ගන්න පුළුවන්. ඒ ආදායමෙන් සේවක වැටුප් බේරලා ඉතිරි වන කොටසක් ඇත්නම් රජයට දෙන්නත් පුළුවන්. ඒ නිසා මහ බැංකුවට වැටුප් ගෙවීම සඳහා රජය විසින් එකතු කරගන්න බදු මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. 

සල්ලි කියා කියන්නේ මුදල් නෝට්ටු පමණක් නෙමෙයිනේ. දැන් ගොඩක් ගනුදෙනු සිදුවෙන්නේ විද්‍යුත් ක්‍රමයට. එහෙම කියලත් ඔය කතාවේ වෙනසක් වෙන්නේ නැහැ. මුද්‍රණ යන්ත්‍රය, මුද්‍රණ කඩදාසි හා තීන්ත වෙනුවට පරිගණක හා මෘදුකාංග ආදේශ වෙනවා. පරිගණකයේ බොත්තමක් ඔබන සැණින් නැති මුදල් අලුතෙන් මැවී කාගේ හෝ ගිණුමකට බැර වෙනවා. මුදල් නෝට්ටු මුද්‍රණය කරන්න යන වියදමවත් යන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් රටක ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී ගනුදෙනු කිරීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රමාණයද ඉහළ යනවා. ඒ නිසා රටක මුදල් ඉල්ලුම සාමාන්‍යයෙන් වසරින් වසර ඉහළ යනවා. ඒ ඉල්ලුමට සරිලන තරමට මුදල් අලුතෙන් නිකුත් කළා කියලා උද්ධමනයක් ඇති වෙන්නේ නැහැ. නමුත්, ඒ නිකුත් කරන මුදල් ප්‍රමාණයෙන් වුනත් මහ බැංකුවට සෑහෙන තරමක ශුද්ධ ආදායමක් ලබන්න පුළුවන්.

මුදල් නෝට්ටු ලෙස හෝ විද්‍යුත් ක්‍රමයට ඉහත කී ප්‍රමාණයට වඩා සල්ලි අච්චු ගසා එළියට දැම්මොත් සල්ලි බාල්දු වෙනවා. රට ඇතුළේ භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ කියන්නේ උද්ධමනය. ඩොලර් වැනි විදේශ මුදල් වල මිල ඉහළ යනවා. නමුත් ඔය ඉහළ යාම ගොඩක් ලොකුවට දැනිලා මිනිස්සු පාරට බහින තත්ත්වයක් ඇති නොවන තුරු මහ බැංකුවට අලුතෙන් සල්ලි අච්චු ගහන්න පුළුවන්. ඒ සීමාව ඇතුළේ වුනත් මහ බැංකුවට සල්ලි අච්චු ගැසීම මගින් විශාල ශුද්ධ ආදායමක් උපයා ගන්න පුළුවන්. 

ඔය හේතුව නිසා මහ බැංකුව විසින් සේවකයින්ට වැටුප් ගෙවද්දී ඇත්තටම කරන්න වෙන්නේ ඔවුන්ගේ ගිණුම් ශේෂය අවශ්‍ය ප්‍රමාණයෙන් ඉහළ දමන එක පමණයි. වෙනත් ආයතනයකට වගේ ඒ වෙනුවෙන් සල්ලි එන්නේ කොහෙන්ද කියන ප්‍රශ්නය ගැන මහ බැංකුවට හිතන්න අවශ්‍ය නැහැ. ගෙවන වැටුප් ප්‍රමාණය කීය වුනත් ඒ ප්‍රමාණයෙන් රටේ මුදල් සැපයුම ඉහළ යනවා. වැඩේ ඒ තරම්ම සරලයි.

මහ බැංකුව විසින් අලුතෙන් සල්ලි අච්චු ගහලා කරන එකම වැඩේ හෝ ප්‍රධානම වැඩේ සේවකයින්ට වැටුප් ගෙවන එක නෙමෙයි. ඒ විදිහට අච්චු ගහන සල්ලි වලින් මහ බැංකුව ඩොලර් වැනි විදේශ විණිමය වෙළඳපොළෙන් මිල දී ගන්නවා. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නවා.

ඔය විදිහට මිල දී ගන්න ඩොලර් තමයි මහ බැංකුවේ සංචිත කියන්නේ. එම සංචිත විදේශ රටක ආයෝජනය කරලා ඩොලර් වලින් ආදායම් උපයන්න පුළුවන්. ඔය වැඩෙන් සමහර වෙලාවට පාඩු වෙන්නත් පුළුවන්. මතක ඇතිනේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය. 

විදේශ සංචිත වලින් වගේම භාණ්ඩාගාර බිල්පත් ආයෝජන වලිනුත් මහ බැංකුවට ආදායම් ලැබෙනවා. වැඩියෙන් සල්ලි අච්චු ගහලා වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත් තරමට මහ බැංකුවේ ආදායම් ඉහළ ගිහින් ලාබ වැඩි වෙනවා. පොලී අනුපාතික ඉහළ යන තරමටත් මහ බැංකුවේ ආදායම් ඉහළ යනවා. ඩොලරයක මිල ඉහළ යන තරමට විදේශ වත්කම් වල රුපියල් අගය ඉහළ යනවා. කෙටියෙන් කිවුවොත් රුපියල බාල්දු වෙන තරමට මහ බැංකුවේ ලාබ ඉහළ යාමේ ඉඩකඩද ඉහළ යනවා. මහ බැංකුවට අවශ්‍ය ලාබය කීයද, රුපියල අවශ්‍ය පමණ බාල්දු කිරීම මගින් ඒ අවශ්‍ය ලාබය හොයා ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ආයතනයක ලාබ ඉහළ යනවා කියා කියන්නේ ඒ ආයතනයේ කටයුතු හොඳින් සිදු වෙනවා කියන එක. නමුත් ඔය කතාව මහ බැංකුවකට හරියන්නේ නැහැ. ඇතැම් විට මහ බැංකුවක ලාබ ඉහළ යාමෙන් පෙනෙන්නේ මහ බැංකුව විසින් තමන්ගේ රාජකාරිය හරියට නොකිරීම වෙන්න පුළුවන්. ඒ නිසා, මහ බැංකුවක ලාබ කියා කියන්නේ කිසිසේත්ම එහි කාර්යක්ෂමතාවය පිළිබඳ නිර්ණායකයක් නෙමෙයි. ඒ හේතුව නිසාම මහ බැංකුවක ලාබ ඉහළ යාම හෝ පහළ යාම එහි සේවකයින්ගේ වැටුප් වැඩියෙන් හෝ අඩුවෙන් වැඩි කිරීමට හේතුවකුත් නෙමෙයි. මහ බැංකුවක ලාබ කියන්නේ වෙනත් ආයතනයක ලාබ වලට සාපේක්ෂව නිකම්ම අංකයක් පමණයි. මහ බැංකුවක කාර්යක්ෂමතාව මැනිය හැක්කේ මුදලේ අගය කොයි තරම් දුරකට සංරක්ෂණය කර තිබෙනවාද යන්න මතයි. 

ඔය විදිහට සල්ලි අච්චු ගැසීම මගින් තමන්ටම අවශ්‍ය තරම් අරමුදල් හොයාගන්න පුළුවන් නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ නඩත්තුව වෙනුවෙන් බදු මුදල් වැය කළ යුතු නැති බව පැහැදිලියිනේ. හැබැයි ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය ලෙස යොදවා තිබෙන්නේ බදු මුදල්. ඒ නිසා, මෙය රාජ්‍ය ආයතනයක්.

අනෙක් රාජ්‍ය ආයතන වගේම මහ බැංකුවද විගණනයට ලක් වෙනවා. මහ බැංකුවේ ලාබ වලට අනෙක් ආයතන වල ලාබ වලට මෙන් අර්ථයක් නැතත්, අනෙක් ආයතන වල ගිණුම් වාර්තා හදන ක්‍රමවේද අනුවම මහ බැංකුවේ ගිණුම් වාර්තාද හදනවා. ඒ අනුව, මහ බැංකුවේ ලාබ හෝ පාඩුද වාර්තා වෙනවා. පහත තිබෙන්නේ පසුගිය වසර දහයක කාලය තුළ මහ බැංකුවේ ලාබ (හෝ පාඩු).  

2013 - රුපියල් බිලියන (-24.3)

2014 - රුපියල් බිලියන (-32.3)

2015 - රුපියල් බිලියන (-19.6)

2016 - රුපියල් බිලියන 22.2

2017 - රුපියල් බිලියන 48.4

2018 - රුපියල් බිලියන 137.9

2019 - රුපියල් බිලියන 55.6

2020 - රුපියල් බිලියන 63.4

2021 - රුපියල් බිලියන 158.2

2022 - රුපියල් බිලියන (-374.3)

ඉහත පෙන්වා ඇති පරිදි, 2022 වසර මහ බැංකුව විසින් විශාල පාඩුවක් ලැබූ වසරක්. එයට හේතුව එම වසරේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ අගයක් ගෙන තිබියදී ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාමයි. මහ බැංකුව සතුව ශුද්ධ විදේශ සංචිත ඇති විට, ඩොලරයක මිල ඉහළ යාමෙන් (රුපියල් වලින් බැලූ විට) වෙන්නේ වාසියක්. එහෙත්. මහ බැංකුව ණය වී ඇති විට සිදු වන්නේ එහි අනෙක් පැත්තයි. 

පසුගිය වසරේදීද මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් පැවතුණේ සෘණ පැත්තේ වුවත්, එසේ තිබියදී ඩොලරයක මිල පහළ යාම නිසාත්, පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පැවති නිසාත් මහ බැංකුව විසින් සැලකිය යුතු ලාබයක් වාර්තා කර ඇති සිතිය හැකියි.

කෙසේ වුවත්, එවැනි ලාබයක් වාර්තා වී තිබීම පෙර විස්තර කළ පරිදි මහ බැංකුවේ කාර්ය සාධනය පිළිබඳ මිනුමක් හෝ සේවකයින්ට බෝනස් ගෙවීමට හේතුවක් නෙමෙයි. මහ බැංකුවට ආදායම් ලැබෙන්නේ සල්ලි අච්චු ගැසීම සඳහා එම ආයතනයට ලබා දී තිබෙන ඒකාධිකාරී බලය නිසා. එම බලය ලබා දී තිබෙන්නේ ව්‍යවස්ථාදායකය විසින්. එනම් පාර්ලිමේන්තුව විසින්. පාර්ලිමේන්තුව විසින් එහිදී ක්‍රියාත්මක කර තිබෙන්නේ රටේ මහජනතාව සතු බලයයි. ඒ අනුව, මහ බැංකුව විසින් ආදායම් එක් රැස් කරන්නේ මහජනතාව විසින් ලබා දී තිබෙන සුවිශේෂී බලයක් නිසා මිස එහි සේවකයින්ගේ කාර්යක්ෂමතාවය නිසා නෙමෙයි. 

මෙය යම් ආකාරයකින් දේශීය ආදායම්, සුරාබදු, රේගුව වැනි ආයතන වලටද අදාළයි. එම ආයතන විසින් වියදමට සාපේක්ෂව විශාල ආදායමක් උපයනවා. එහෙත්, ඒ ආදායම උපයන්නේ රටේ බදු නීතියේ උදවුවෙන් මිසක් සේවකයින්ගේ මහන්සියෙන් හෝ දක්ෂ කමෙන් නෙමෙයි.

ඉහත කී ආයතන වල හා මහ බැංකුවේ සේවකයින්ගේ කාර්ය සාධනය නොවැදගත් බව හෝ එය එම ආයතන වල කාර්යක්ෂමතාවය කෙරෙහි බල නොපාන බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එය එසේයි. එහෙත්, ඉහත ආයතන වල වගේම මහ බැංකුවේද ආදායම් නිර්ණය කරන ප්‍රධාන සාධකය රටේ නීතියයි. ඒ නිසා, එවැනි ආයතනයක ආදායම් ඉහළ යාම (හෝ පහළ යාම) සේවක වැටුප් වැඩි කිරීම (හෝ අඩු කිරීම) සාධාරණීකරණය කළ හැකි හේතුවක් නොවෙයි.

දේශීය ආදායම්, සුරාබදු, රේගුව වැනි ආයතන වලට, කොපමණ ආදායම් ඉපදවූවද, තමන්ගේ වැටුප් වැඩි කරගැනීමේ හැකියාවක් නැහැ. (නිල නොවන අයුරින් එසේ කර ගැනීම වෙනම කරුණක්). එහෙත්, මහ බැංකුවට මුල සිටම එවැනි නීතිමය හැකියාවක් තිබුණා. මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සිටීම නිසා මෙය යම් නියාමනයකට ලක් වෙන්න ඇති. අලුත් මහ බැංකු පණතින් මහ බැංකුව ස්වාධීන කිරීමෙන් පසුව ඒ බාධකයද ඉවත් වී තිබෙනවා.

මහ බැංකුව ස්වාධීන කිරීමට අවශ්‍ය වූයේ ඒ සඳහා සාධාරණ හේතු පැවති නිසා. පෙර පැවති තත්ත්වය තුළ, රජයට මහ බැංකුවට බලපෑම් කර ඕනෑවට වඩා සල්ලි අච්චු ගස්සවා එම සල්ලි වියදම් කිරීමට අවස්ථාවක් ලැබුණා. ඇතැම් විට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා නිල බලයෙන් මුදල් මණ්ඩල සාමාජිකයෙකු කරන්නට ඇත්තේ මහ බැංකුව විසින් බලය අපහරණය කර හිතුමතේ කටයුතු කිරීම පාලනය කරන්නට වෙන්න පුළුවන්. එහෙත් ඇත්තටම වුනේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් එම නිල බලය (රජය වෙනුවෙන්) අපහරණය කිරීමක්. මෙය වැළැක්වීම සඳහා මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති තීරණ සම්බන්ධව ස්වාධීනත්වයක් අවශ්‍ය වෙනවා.

එහෙත් එයින් අදහස් කරන්නේ රජය වෙනුවෙන් සල්ලි අච්චු ගැසීම නවත්වා තමන්ගේ වැටුප් වැඩි කර ගැනීම වෙනුවෙන් සල්ලි අච්චු ගසා ගැනීම නිවැරදි බව නෙමෙයි. මහ බැංකුවට සල්ලි අච්චු ගැසීමේ බලය ලැබී තිබෙන්නේ රටේ මහජනතාවගෙන්. එසේ සල්ලි අච්චු ගසන තරමට රටේ ජනතාවට ඒ වෙනුවෙන් මිලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, මහ බැංකුවට ජනතාවගෙන් ලැබුණු බලය ක්‍රියාත්මක කර තමන්ගේ වැටුප් වැඩි කර ගැනීමේදී, එහි නීතිමය වැරැද්දක් නොතිබුණත්, පාරදෘශ්‍ය ලෙස සහ ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් නොවන පරිදි එය කිරීම මහ බැංකුවේ වගකීමක්. මහ බැංකුවේ වැටුප් වැඩි වීම් හා අදාළ ජනතා ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ඔවුන්ට සෑහීමකට පත් විය හැකි පරිදි මේ කටයුත්ත සිදු වී නොමැති බවයි.

මහ බැංකුවේ අලුත් වැටුප් ඕනෑවට වඩා වැඩිද නැද්ද යන ප්‍රශ්නය මම මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ නැහැ. එය එසේ වුනත් නොවුනත්, මෙහිදී ජනතාවගේ පැත්තෙන් බැලූ විට වැරැද්දක් සිදු වී තිබෙනවා. ඒ වගේම, මේ වැරැද්ද නැවත නැවත සිදු වීම වලක්වන යාන්ත්‍රණයක් මේ වන විට නැහැ. 

Thursday, March 7, 2024

ලංවිම බිලියන 58 ක් ලාබ ලාබයි!


පසුගිය (2023) වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 58.1ක ලාබයක් වාර්තා කර තිබෙනවා. මීට පෙර ලංවිම විසින් අවසන් වරට ලාබ ලැබුවේ 2015 වර්ෂයේදීයි. ඉන් පසුව, දිගින් දිගටම වසරින් වසර පාඩු වාර්තා වුනා. 2022 වසරේ අලාභය පමණක් රුපියල් බිලියන 309.2ක් වූ අතර, ඒ සමඟ ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 598.0 දක්වා ඉහළ ගියා. මෙය 2023 මාර්තු අවසානය වන විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාභය වූ රුපියල් බිලියන 612.4ට ඉතා ආසන්න අගයක්. (ඩොලර් වලින්නම් බිලියන දෙකක් පමණ)

වසර ගණනක් තිස්සේ එකතු වී ඇති ඉහත සඳහන් විශාල සමුච්ඡිත අලාභය නිසා මෙම වසරේ ලැබූ ලාභයෙන්  පසුවද ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 541.3ක්. මෙම සමුච්ඡිත අලාභය අනාගතයේදී විදුලි ගාස්තු ගෙවන්නන්ට හෝ බදු ගෙවන්නන්ට පොලියත් සමඟ ගෙවන්නට සිදු වන මුදලක්. එසේ ගෙවන දිනය කල් දැමිය හැකි වුවත් කවදා හෝ මෙම මුදල විදුලි ගාස්තු ගෙවන්නන්ට හෝ බදු ගෙවන්නන්ට පොලියත් සමඟ ගෙවන්නට සිදු වෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාභය වගේම තමයි. 

පසුගිය වසරේදී ලංවිම ලාබ ලැබුවේ කොහොමද?

මම හිතන්නේ ඉහත ප්‍රශ්නයට පිළිතුර කිසිවකුට රහසක් නොවෙයි. කාලයකට පසුව පසුගිය වසරේදී ලංවිම නැවත ලාබ ලැබුවේ විදුලි ගාස්තු එකවර විශාල ලෙස වැඩි කිරීම මගින්. මේ තර්කයේම දිගුවක් ලෙස, පෙර වසර වල ලංවිම පාඩු ලැබුවේ පිරිවැයට වඩා අඩුවෙන් විදුලිය අලෙවි කළ නිසා කියාත් කෙනෙකුට කියන්න පුළුවන්. එවැනි ප්‍රකාශයක වරදක් නැහැ. 

පසුගිය වසරේදී ලංවිම ආදායම රුපියල් බිලියන 606.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට පෙර වසරේදී (2022) එම ආදායම රුපියල් බිලියන 308.5ක් පමණයි. මෙය වසරක් තුළ ලංවිම ආදායම් 97%කින් ඉහළ යාමක්. ලංවිම ආදායම් එසේ විශාල ලෙස ඉහළ ගියේ ලංවිම කාර්යක්ෂමතාවය විශාල ලෙස ඉහළ ගියා නිසා හෝ නිෂ්පාදන පිරිවැයද විශාල ලෙස ඉහළ ගිය නිසා නොවන බවද අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. මෙය සිදු වූ විදිහ ගැන කියවන සියල්ලන්ම මෙන් හොඳින් දන්නවා.

කියවන බොහෝ දෙනෙකු විසින් නොදන්නා දේවල් කිහිපයක් පමණක් සටහන් කරන්නම්.

පසුගිය (2023) වසරේදී ලංවිම විසින් තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා රජය විසින් ලංවිම කොටස් ආයෝජන ලෙස රුපියල් 126.3ක මුදලක් ලබා දී තිබෙනවා. මෙය එම වසරේ ලංවිම ලාබය වූ රුපියල් බිලියන 58.1 මෙන් දෙගුණයකට වඩා වැඩි මුදලක්. මේවා බදු මුදල්.

මේ අයුරින්ම ඊට පෙර (2022) වසරේදී, ලංවිම විසින් තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 80ක් සහ තවත් රුපියල් බිලියන 251.6ක ණය කපා හැරීමක් ලෙස රුපියල් බිලියන 331.6ක කොටස් ආයෝජන සිදු කර තිබෙනවා. ඊට අමතරව, පුත්තලම ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 120.5ක මුදලක් වැය කර තිබෙනවා. මේ සියල්ල බදු ගෙවන්නන් විසින් ගෙවා ඇති හෝ ඔවුන්ට අනාගතයේදී ගෙවන්නට සිදු වන මුදල්. 

රජය මැදිහත් වී විදුලි බිල සුබසාධනය කළ යුතුද?

ඉහත ප්‍රශ්නය රටේ මහජනතාව විසින් තීරණය කළ යුතු දේශපාලනික කරුණක්. එවැන්නක් කිරීම සාධාරණීකරණය කළ හැකි විවිධ හේතු තිබෙන්නට පුළුවන්. කෙසේ වුවත්, රජය මැදිහත් වී විදුලි බිල සුබසාධනය කරනවා කියන්නේ එම පිරිවැය වෙනත් කවරෙකුගෙන් හෝ අය කරගන්නට සිදු වෙනවා යන්නයි.

රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිව ව්‍යාපාරික කටයුතු කරන ලංවිම වැනි රාජ්‍ය ආයතනයක් හෝ ලාබ ලැබීම ඉලක්ක නොකරන වෙනත් පෞද්ගලික ආයතනයක් ගැන සිතමු. එවැනි ආයතනයකට වුවද, සිය වියදම් පියවා ගැනීමට හා අනාගත ආයෝජන වෙනුවෙන් අරමුදල් සපයා ගන්නට වෙන්නේ ලාබ ලැබීම මගිනුයි. එවැනි ආයතනයකට එහි "ආර්ථික පිරිවැයට" වඩා අඩුවෙන් විදුලිය සැපයිය හැක්කේ බදු මුදල් යොදවා එවැනි ආයතනයක් සුබසාධනය කරන්නේනම් පමණයි. කෙටිකාලීනව ණය විය හැකි වුවත්, යම් දිනක එම ණය බදු ගෙවන්නන් මත පැටවෙනවා. 

උදාහරණයක් විදිහට, රජය මැදිහත් වී සහන මිලකට විදුලි බලය සැපයීම මගින් අපනයන නිෂ්පාදන වල පිරිවැය අඩු කර විදේශ වෙළඳපොළෙහි එම අපනයන වල තරඟකාරිත්වය වැඩි කරන්න පුළුවන්. එහෙත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් කවර අයෙකු මත හෝ බදු පනවා අය කර ගන්නට සිදු වෙනවා. එහි ප්‍රතිඵලය එම පිරිවැයෙහි බදු බර දරන ආයතන වල නිෂ්පාදන පිරිවැය ඉහළ යාමයි. මෙහිදී වෙන්නේ රජය මැදිහත් වී එක් අයෙකුගේ වියදමින් තවත් අයෙකු සුබසාධනය කිරීමක්. මෙවැන්නක් කිරීමෙන් ලැබිය හැකි කිසියම් ශුද්ධ වාසියක් ඇත්නම් එය නිර්ණය කළ හැක්කේ පුළුල් හා සංකීර්ණ අධ්‍යනයකින් පසුව පමණයි.

Wednesday, March 6, 2024

ශ්‍රීලංකන් ණය බරත් බදු ගෙවන්නන්ට!


පසුගිය (2023) වසරේ ජනවාරි 2 දින අප විසින් ලියා පළ කළ, "කවුද ගන්නේ ශ්‍රීලංකන්?" ලිපිය මා නැවත මෙහි උපුටා දක්වන්නම්.

***

වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාබ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය 2008 මාර්තු 31 දින සිට නැවතත් රජයට පවරා ගනු ලැබුවා.

පහතින් තියෙන්නේ 2008 මාර්තු අවසානයේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.

වත්කම් - රුපියල් බිලියන 51.3යි.

බැරකම් - රුපියල් බිලියන 28.5යි.

ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන 22.8යි.


රජයට පවරාගත් මෙම ආයතනයේ අද මූල්‍ය තත්ත්වය කෙසේද? 

පහතින් තියෙන්නේ 2021 මාර්තු අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.

වත්කම් - රුපියල් බිලියන 154.4යි.

බැරකම් - රුපියල් බිලියන 443.6යි.

ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන සෘණ 289.3යි.

පොදු අරමුදල් වලින් ආයෝජනය කර ඇති ප්‍රාග්ධනය - රුපියල් බිලියන 82.5යි. (මෙම ගණනට 2020/21 මූල්‍ය වර්ෂය තුළ රජය විසින් ශ්‍රීලංකන් සමාගම වෙනුවෙන් යෙදවූ රුපියල් බිලියන 27.7ක මුදලක් සහ ඊට පෙර යෙදවූ මුදල් ඇතුළත්.)

රජය විසින් යෙදවූ මුදල් වාෂ්ප වී අවසන් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ මුදල් වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙවන්න සිදු වී තිබෙන්නේ රටේ බදු ගෙවන ජනතාවටයි. වත්කම් හා බැරකම් අතර රුපියල් බිලියන 289.3ක හිඟයක් තිබෙන්නේ ඊට අමතරවයි.

මුදල් අමාත්‍යංශයට අනුව 2021 වසර තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් රුපියල් බිලියන 170.6ක ශුද්ධ අලාභයක් ලබා ඇති අතර, 2022 පළමු මාස හතර තුළ තවත් රුපියල් බිලියන 248.4කශුද්ධ අලාභයක් ලබා තිබෙනවා. මේ අනුව, සමාගමේ ශුද්ධ සෘණ වටිනාකම මේ වන විට රුපියල් බිලියන 700ක් පමණ විය හැකියි. 

ශ්‍රීලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරනවානම් කළ හැක්කේ මෙසේ එකතු වී ඇති ණය ආපසු ගෙවීමේ බර බදු ගෙවන ජනතාව මත පැටවිය හැකිනම් පමණයි. නිකම් දුන්නත් ණයකට කර ගහන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ. 

ඇතැම් අය යෝජනා කරනවාක් මෙන් තෙල් සංස්ථාව, ශ්‍රීලංකන් ගුවන් සේවය වැනි ආයතන විකුණා ලැබෙන මුදලකින් රජයට ණය ගෙවන්න පුළුවන්කමක් නැහැ. මේ ආයතන විකිණුවත්, තියා ගත්තත් මේ ආයතන වල ණය ගෙවන්න සිදු වී තිබෙන්නේත් අනාගතයේදී බදු ලෙස එකතු කරගන්නා මුදලකින්ම තමයි. ඒ විදිහට හෝ ණය නොගෙවුවොත් වෙන්නේ මේ ආයතන කඩා වැටෙනවාට අමතරව මේ ආයතන වලට ණය දී තිබෙන රාජ්‍ය බැංකුත් කඩා වැටෙන එකයි. 

***

කෙටියෙන් කිවුවොත්, ඉහත ලිපියෙහි අප විසින් පෙන්වා දුන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමෙහි ණය බර සමඟ එම ආයතනය කිසිවකු විසින් මිල දී නොගනු ඇති බව සහ එම ආයතනය විකිණීමටනම් ආයතනයේ ණය බරෙන් සැලකිය යුතු කොටසක් බදු ගෙවන්නන් මත පටවන්නට සිදු වනු ඇති බවයි. මෙහිදී ඇතැම් අය ශ්‍රී ලංකා ගුවන් සේවයේ "කීර්ති නාමයේ" මුදල් වටිනාකම හා එය ජාතික ගුවන් සේවයක් වීම නිසා ලැබෙන වරප්‍රසාද වල වටිනාකම ආදිය ගැන පෙන්වා දෙමින් මෙම ආයතනය මිල දී ගැනීම සඳහා ඉල්ලුම්කරුවන් තරඟ කරනු ඇති බවට තර්ක කළා. ඇතැම් අය කියා සිටියේ කොමිස් ලබා ගෙන කුණු කොල්ලයට විකිණුවේ නැත්නම් මෙම ආයතනය පහසුවෙන්ම විකුණා දැමිය හැකි බවයි. 

ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි ණය බරද සමඟ මිල දී ගැනීමට කිසිවකු ඉදිරිපත් වී නැති බව මේ වන විට පැහැදිලියි. රොයිටර්ස් පුවත් සේවය උපුටා දක්වමින් වාර්තා කර ඇති පරිදි, ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ගෙවීම පැහැර හැර ඇති ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර බැඳුම්කරයෙහි බරද, රාජ්‍ය බැංකු වලට ගෙවිය යුතු ඩොලර් මිලියන 378ක ණය හා බැංකු අයිරා වල බරද ලෙස ඩොලර් මිලියන 553ක ණය බරක් නුදුරු කාලයේදී බදු ගෙවන්නන් මත පැටවීමට නියමිතයි.

පහතින් තියෙන්නේ 2023 මාර්තු අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍ය තත්ත්වයයි.

වත්කම් - රුපියල් බිලියන 199.5යි.

බැරකම් - රුපියල් බිලියන 708.6යි.

ශුද්ධ වටිනාකම - රුපියල් බිලියන සෘණ 506.2යි.

රුපියල් බිලියන 612.4ක සමුච්ඡිත අලාබයක් එක්ක වටිනාකම රුපියල් බිලියන සෘණ 506.2ක් වූ ආයතනයක් සල්ලි වලට තියා නිකම් දුන්නත් කවුරු හෝ එය ගන්න තිබෙන ඉඩකඩ ඉතා අඩුයි. මේ වෙද්දී මෙම සෘණ අගය තවත් නරක අතට හැරී තියෙන්න පුළුවන්. රජය විසින් ශ්‍රීලංකන් ණය වලින් සැලකිය යුතු කොටසක් බදු ගෙවන්නන් මත පටවන්න යන්නේ එම පසුබිම තුළයි.

ඩොලර් මිලියන 553ක් කියන්නේ එක පවුලකට ඩොලර් 100ක පමණ බරක්. ඒ කියන්නේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩු වෙනුවෙන් සෘජු හා වක්‍ර බදු ලෙස එක පවුලකට රුපියල් 30,000ක් පමණ ගෙවන්න සිදු වෙනවා. එහෙත් එසේ කිරීමෙන් පසුවද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ණය බර අවසන් වන්නේ නැහැ. මෙම මුදල ණයෙන් කොටසක් පමණයි.

Sunday, March 3, 2024

ඇමරිකාවේ උසස් අධ්‍යාපන අවස්ථා


ඇමරිකාවේ අධ්‍යාපන සංඛ්‍යාති ජාතික මධ්‍යස්ථානයේ නිල දත්ත අනුව, 2022/23 අධ්‍යයන වර්ෂයේදී ඇමරිකාවේ අධ්‍යාපන ආයතන 2,710ක් විසින් වසර-4 (හෝ වැඩි) උපාධි ප්‍රදානය කළා. තවත් ආයතන 1,550ක් විසින් වසර-2 (වසර 4ට අඩු) උපාධි ප්‍රදානය කළා.

වසර-4 උපාධි (Bachelor's Degree) ප්‍රදානය කළ ආයතන පහත පරිදියි.

රාජ්‍ය - 803

පෞද්ගලික ලාබ ඉලක්ක නොකරන - 1,587

පෞද්ගලික ලාබ ඉලක්ක කරන - 320

මේ අනුව, වසර 4ක කාලයක් ගත වන සාමාන්‍ය උපාධියක් ප්‍රදානය කළ ආයතන වලින් වැඩි ප්‍රමාණයක් (59%ක්) ලාබ ඉලක්ක නොකරන පෞද්ගලික අධ්‍යාපන ආයතනයි. එහෙත් වසර-2 උපාධි ප්‍රදානය කළ ආයතන වැඩි ප්‍රමාණයක් (58%ක්) රාජ්‍ය ආයතනයි.

වසර-2 උපාධි (Associate Degree) ප්‍රදානය කළ ආයතන පහත පරිදියි.

රාජ්‍ය - 897

පෞද්ගලික ලාබ ඉලක්ක නොකරන - 126

පෞද්ගලික ලාබ ඉලක්ක කරන - 527

මෙම ආයතන වල උසස් අධ්‍යාපනය ලබන මිලියන 20ක් පමණ වන සිසුන්ගෙන් ආසන්න වශයෙන් මිලියනයක් පමණ විදේශ සිසුන්. ඔවුන්ගෙන් අඩකට වඩා චීනයෙන් හා ඉන්දියාවෙන් පැමිණි අයයි. ඊට සාපේක්ෂව ලොකු ප්‍රතිශතයක් නොවුනත්, ශ්‍රී ලාංකික සිසුන් සැලකිය යුතු පිරිසක්ද මේ අතර සිටිනවා.

පහත තිබෙන්නේ නිදහස ලැබීමෙන් පසුව ගෙවුනු පළමු දශක හතරක කාලය තුළ ඇමරිකාවට උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණය ක්‍රමිකව හා සීඝ්‍රයෙන් වර්ධනය වූ ආකාරයයි.

1949/50 - 13

1954/55 - 34

1959/60 - 73

1964/65 - 96

1969/70 - 159

1974/75 - 230

1979/80 - 490

1984/85 - 1,480

1989/90 - 2,210

එහෙත්, ඉන් පසුව, මෙම ප්‍රවණතාවයේ වෙනසක් දැකිය හැකියි. මීට හේතුව පාසැල් වල ඉගැන්වීමේ මාධ්‍යය වෙනස් කිරීමේ පසුකාලීන බලපෑම හා අනෙකුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විය හැකියි.

1994/95 - 2,097

1999/00 - 1,968

2004/05 - 1,992

කෙසේ වුවත්, 2005-2009 අතර  කාලයේදී මෙම ප්‍රමාණය නැවත වර්ධනය වෙනවා.

2005/06 - 2,157

2006/07 - 2,373

2007/08 - 2,591

2008/09 - 2,976

ඉන් පසුව දැකිය හැක්කේ බොහෝ දුරට ස්ථාවර මට්ටමක්.

2009/10 - 2,957

2010/11 - 2,965

2011/12 - 2,902

2012/13 - 3,046

2013/14 - 2,917

2014/15 - 2,882

2015/16 - 3,080

2016/17 - 3,263

2017/18 - 3,309

2018/19 - 3,334

2019/20 - 3,206

2020/21 - 2,770

2021/22 - 2,928

2022/23 - 3,106

ඉහත දත්ත වලින් පෙනෙන පරිදි පසුගිය කාලය තුළ ආසන්න වශයෙන් ශ්‍රී ලාංකික සිසුන් තුන් දහසක් පමණ ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිට ඇති අතර එම ගණන විශාල ලෙස වෙනස් වී නැහැ. එහෙත්, පසුගිය කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණයේ විශාල වර්ධනයක් දැකිය හැකියි. 

ඇමරිකාවේ සරසවි වල 2022/23 අධ්‍යයන වර්ෂය තුළ ඉගෙනුම ලැබූ විදේශ සිසුන් ප්‍රමාණය 1,057,188ක්. එම ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණය 0.3%ක් පමණයි. 2012/13 හා 2022/23 අධ්‍යයන වර්ෂ අතර වසර දහයක කාලය සැලකුවහොත් ඇමරිකාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ 2%කින් පමණයි. එහෙත්, එම කාලය තුළ ඉන්දියානු සිසුන් ප්‍රමාණය 96,754 සිට 268,923 දක්වා 178%කින්ද, පකිස්තානු සිසුන් ප්‍රමාණය 4,772 සිට 10,164 දක්වා 113%කින්ද, නේපාල සිසුන් ප්‍රමාණය 8,920 සිට 15,090 දක්වා 69%කින්ද, බංග්ලා දේශ සිසුන් ප්‍රමාණය 3,828 සිට 13,563 දක්වා 254%කින්ද වර්ධනය වී තිබෙනවා.

කලාපයේ අනෙකුත් සියලුම රටවලින් ඇමරිකාවට උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන් ප්‍රමාණය පසුගිය දශකයක කාලය තුළ විශාල ලෙස වර්ධනය වී තිබීම සැලකූ විට ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණයේ වර්ධනයක් නොවීමට හේතුව ඇමරිකාවේ සරසවි වල පාඨමාලා ගාස්තු අධික වීම කියා හිතන්න බැහැ. ඇමරිකාවේ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළු කර ගැනීමේදී සලකා බලන නිර්ණායක අනුව කලාපයේ අනෙකුත් රටවල් ශ්‍රී ලංකාව පසු කර ඉදිරියට යමින් සිටිනවා වෙන්න පුළුවන්. 

රැකියා හා විවාහ මත පදනම්ව මෙන්ම හා සරණාගතයින් ලෙසද ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් ඇමරිකාවට පැමිණියත් ඇමරිකාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයින් එසේ පැමිණෙන ප්‍රධානම ක්‍රම දෙක වන්නේ ග්‍රීන්කාඩ් ලොතරැයිය හරහා පැමිණීම සහ උසස් අධ්‍යාපනය සඳහා පැමිණීමයි. ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා පැමිණෙන අය ඇමරිකාවට පා තබන්නේම ස්ථිර පුරවැසියන් ලෙස නිසා රැකියාවක් සොයා ගැනීමට නීතිමය බාධාවක් නැතත්, අවශ්‍ය කුසලතා නොමැතිව තරඟකාරී ශ්‍රම වෙළඳපොළ තුළ රැඳී සිටීම සැලකිය යුතු අභියෝගයක්. එහෙත්, ඇමරිකාවේ උසස් අධ්‍යාපනය අවසන් කරන සිසුවෙකුට රැකියා වෙළඳපොළට පිවිසී තමන්ගේ ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගැනීම ඒ තරම්ම අපහසු කාර්යයක් නෙමෙයි. ඇමරිකානු අධ්‍යාපන සුදුසුකම් ඇති අයට සාමාන්‍යයෙන් ඇමරිකාවේ රැකියා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට උනන්දුවක් දක්වන ශිෂ්‍යයන්ට ඒ සඳහා අවශය උපදේශක සේවා හා පුස්තකාල පහසුකම් ඇතුළු නිවැරදි තොරතුරු කොළඹ 5, ගවර් වීදියේ (විශාඛා විද්‍යාලය ආසන්නයේ) පිහිටි "එඩියුකේෂන් යූඑස්ඒ" (EducationUSA) ආයතනය මගින් සපයනවා. 

ඩොලර් බිලියනයේ තෑග්ග (තෙවන කොටස)


රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වෙත සිදු කළ ඩොලර් බිලියනයක පරිත්‍යාගය ගැනත්, එයින් වෙළඳපොළ සමතුලිතතාවයට සිදු වන බලපෑම ගැනත් පෙර ලිපි දෙකෙන් කතා කළා. මෙම පරිත්‍යාගය නිසා දිගුකාලීනව වැඩිම වාසියක් ලබන්නේ ආයතනයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයි. පරිත්‍යාගයේ උදවුවෙන් වඩා හොඳ සිසුන් මෙන්ම වඩා හොඳ ආචාර්ය මණ්ඩල සාමාජිකයින්ද ආකර්ෂණය කර ගත හැකි බැවින් දිගුකාලීනව එම වෛද්‍ය විද්‍යාලයට සිය කීර්ති නාමය බොහෝ සේ ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය ලාබ ලැබීම අරමුණු නොකරන ආයතනයක්. ලාබ ලැබීම අරමුණු නොකරන ආයතන කියන්නේ ලාබ නොලබන හෝ පාඩු ලබන ආයතන නෙමෙයි. ලාබ ලැබීම ඕනෑම ලාබ ලැබීම අරමුණු නොකරන ආයතනකද ඉලක්කයක්. එහෙත්, එය ප්‍රධාන අරමුණ නෙමෙයි. මෙවැනි ආයතනයකට ලාබ ලැබීමේ ඉලක්කයට වඩා උඩින් තිබෙන වෙනත් අරමුණක් තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ආයතනයක් ලබන ලාබ වැය කරන්නේද එම ප්‍රධාන අරමුණ වෙනුවෙන්.

"Our founding mandate has been to combine the pursuit of scientific excellence with the social mission to improve human health through engagement in our local, national, and global communities."

ඇල්බට් අයින්ස්ටයින්ගේ පෞද්ගලික එකඟත්වය මත ආයතනයක නමට ඔහුගේ නම එකතු කර ගෙන ඇති ලෝකයේ එකම ආයතනය ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයි. මෙම වෛද්‍ය විද්‍යාලයය බිහිවන්නේ ඇමරිකාවේ පිහිටි යුදෙවු විශ්ව විද්‍යාලයක් වන යෙෂිවා විශ්ව විද්‍යාලයේ කොටසක් ලෙසයි. ආයතනයේ අරමුණ විද්‍යාවේ ප්‍රගමනය හඹා යමින් මානව සෞඛ්‍යය දියුණු කිරීමේ සමාජ මෙහෙවර ඉදිරියට ගෙන යාමයි. 

කවුද මේ  රූත් ගොටස්මන්?

ඇල්බට් අයින්ස්ටයින්ට මෙන්ම ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වෙත ඩොලර් බිලියනයක් පරිත්‍යාග කළ රූත් ගොටස්මන්ටද තිබෙන්නේ යුදෙවු සම්භවයක්. ඇය ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග දෙපාර්තමේන්තුවේ සේවය කළ සේවාර්ජිත මහාචාර්ය වරියක්. එමෙන්ම, එම වෛද්‍ය විද්‍යාලය පාලනය කරන භාරකාර මණ්ඩලයේ සභාපතිනිය වන්නේද ඇයයි. 

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක ආචාර්ය මණ්ඩලයකට එකතු වන බොහෝ අය තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ මුදල් සෙවීම කරගත් අය නෙමෙයි. එවැන්නෙකු විසින් බොහෝ විට තමන්ගේ ජීවත් වීමේ අරමුණ ලෙස සලකන්නේ දැනුම ප්‍රවර්ධනය කිරීම හා දැනුම බෙදා හැරීම වැනි දෙයක්. මෙම කරුණ හා අදාළව, රූත් ගොටස්මන් කියන්නේද වෙනස් අයෙකු නොවෙයි. ඇය වෙනත් බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින්ද අරමුණු කරන ඉලක්ක තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණු බවට පත් කරගත් තැනැත්තියක්. 

විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකුට එම සුදුසුකම් හා පළපුරුද්ද තිබෙන වෙනත් රැකියා කරන අය තරමටම වැටුපක් ලැබෙන්නේ නැතත්, වෙළඳපොළ මත පදනම් වූ සැලකිය යුතු වැටුපක් ලැබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාල වල. 

ඇමරිකාවේ ජීවත් වන, ජීවත් වීම සඳහා මුදල් සෙවීමේ ප්‍රධාන අරමුණෙන් රැකියාවක් කරන්නන් බොහෝ දෙනෙකු අවශ්‍ය තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර ගැනීමෙන් පසු රැකියාවෙන් විශ්‍රාම ගන්නවා. එහෙත්, ඇමරිකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බොහෝ දෙනෙකු තමන්ගේ රැකියාවට තිබෙන කැමැත්ත නිසාම ඉක්මණින් විශ්‍රාම ගන්නේ නැහැ. ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශ්‍රාම ගැනීමෙන් පසුවද ස්වේච්ඡා පදනමෙන් පර්යේෂණ වල නිරත වීම හා ඉගැන්වීම දැකිය හැකියි. 

බොහෝ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සරල ජීවිත ගත කරන අයයි. මේ කරුණ හා අදාළවනම්, ඇමරිකාවෙන් මෙන්ම ලංකාවෙන්ද වැඩි අපහසුවක් නොමැතිව උදාහරණ සොයා ගත හැකියි. ඒ හේතුව නිසාම ඇමරිකාවේ මහාචාර්යවරයෙකුට, විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාලයක මහාචාර්ය වරයෙකුට, වෙළඳපොළ මත පදනම්ව වැටුප් ලෙස ලැබෙන ආදායම තමන් අපේක්ෂා කරන ජීවිතය ගත කිරීම සඳහා ඕනෑවටත් වඩා ප්‍රයෝජනවත්. 

ඇමරිකාවේ බොහෝ සේවාර්ජිත මහාචාර්යවරුන් විසින් ජීවිතයේ අවසාන කාලයේදී තමන් සතු වත්කම් වලින් කොටසක් තමන් සේවය කළ විශ්ව විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. එවැනි පරිත්‍යාග අදාළ මහාචාර්යවරයාගේ අභිලාෂය පරිදි සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම සඳහා හෝ පර්යේෂණ ආධාර ලෙස වැය කෙරෙනවා. රූත් ගොටස්මන්ගේ පරිත්‍යාගය සේවාර්ජිත මහාචාර්යවරුන් බොහෝ දෙනෙකු විසින් සිදු කරන මෙවැනි පරිත්‍යාග වලින් වෙනස් වන එකම හේතුව පරිත්‍යාගයේ ප්‍රමාණය පමණයි.

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු තමන්ගේ ජීවන අභිලාෂය කරගන්නේ පුළුවන් තරම් මුදල් හෙවීම නොවන නිසා, ඩොලර් බිලියනයක් වැනි විශාල මුදලක් පරිත්‍යාග කළ හැකි තරමේ වත්කමක් ඔවුන් වෙත ඉතිරි වන්නේ නැහැ. මෙම කාරණය හා අදාළව වුවද, රූත් ගොටස්මන් වෙනස් තැනැත්තියක් නොවෙයි. ඇයට මුදල් එකතු කිරීම තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ කර නොගත් තැනැත්තියක්. එසේනම්, ඇයට මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ඉඩ සැලසෙන්නේ කොහොමද?

ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ වත්මන් සිසුන්ට පමණක් නොව, රූත් ගොටස්මාන්ටද මෙම මුදල ලැබෙන්නේ අනපේක්ෂිත ලෙසයි. ආර්ථික විද්‍යා අර්ථයෙන් එහිදී වෙන්නේ ඇයට ලොතරැයියක් ඇදීමක්. එම ලොතරැයියනම් ඇගේ සැමියා වූ ඩේව්ඩ් ගොටස්මාන් විසින් ඇයගේ අභිලාෂය පරිදි වියදම් කිරීමට ඉඩ සලසමින් විශාල ධනස්කන්ධයක් ඈ වෙත උරුම කර මිය යාමයි.

සෘජුව හෝ වක්‍රව දැනුම නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වූ රූත් ගොටස්මාන් මෙන් නොව ඇගේ සැමියා වූ ඩේව්ඩ් ගොටස්මාන් ධනය නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වූ අයෙක්. එමෙන්ම තමන්ගේ අභිලාෂ සාක්ෂාත් කරගත් අයෙක්. වත්කම් කළමනාකරණ ආයතනයක් ස්ථාපනය කරන ඔහු දශක ගණනාවක් තිස්සේ එම ආයතනය වැඩි දියුණු කර බිලියනපතියෙකු බවට පත් වෙනවා. රූත් ගොටස්මන්ට උරුම වන්නේ එම වත්කමයි.

වත්කම් කළමනාකරණ ආයතනයක් කියන්නේ සෘජුව පරිභෝජන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් නොකරන,  අතරමැදි ව්‍යාපාරයක්. ඒ වගේම ඉතා අඩු ශ්‍රමයක් යෙදවුම් ලෙස භාවිතා කරමින් බොහෝ දුරට ප්‍රාග්ධනය මගින් ප්‍රාග්ධනය නිර්මාණය කරන ව්‍යාපාරයක්. සෘජුව පරිභෝජන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන අයෙකුට සාපේක්ෂව වත්කම් කළමනාකරණ ආයතනයක් ස්ථානගත කළ හැක්කේ කවර ආකාරයෙන්ද?

සැබෑ ධනය නිර්මාණය වීමක් සිදු වීමටනම්, අවසාන වශයෙන් පරිභෝජනය කළ හැකි ආකාරයේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු විය යුතුයි. එසේ නිපදවන භාණ්ඩ හෝ සේවාවන් වලට පාරිභෝගිකයෙකු විසින් කොපමණ මිලක් ගෙවන්නට සූදානම් වන්නේද යන්න මත සිදු වූ නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකම තීරණය වෙනවා.

භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු කරන නිෂ්පාදකයෙකුට ඒ සඳහා ප්‍රාග්ධනය අවශ්‍ය වෙනවා. අවශ්‍ය තරම් අඩු "කුලියකට" ප්‍රාග්ධනය සපයා ගත නොහැකි වුවහොත් එවැන්නෙකු විසින් සිදු කෙරෙන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය සීමා වෙනවා. 

අනෙක් අතට, යමෙකු තමන් විසින් උපයන ආදායම් එසැණින්  පරිභෝජනය කර අවසන් කිරීම හෝ අනාගත පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කිරීම නිර්ණය වන්නේ ආදායම් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කිරීම මගින් ලබා ගත හැකි "කුලිය" කොපමණද යන්න මතයි. මෙම "කුලිය" ඉහළ යන තරමට රටක වැඩි ප්‍රාග්ධන සමුච්ඡනයක් සිදු වෙනවා. රටක ප්‍රාග්ධන සමුච්ඡනය වැඩි වෙද්දී, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ප්‍රාග්ධනය යෙදවීමේ හැකියාව ඉහළ ගොස් රටේ නිෂ්පාදනය ඉහළ යනවා.

වත්කම් කළමනාකරණ ආයතනයක් විසින් කරන්නේ රටේ ප්‍රාග්ධන වෙළඳපොළ වඩා කාර්යක්ෂම කිරීම මගින් ඉතිරි කරන්නන්ට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන අතරම, නිෂ්පාදකයින්ට අඩු පිරිවැයකට ප්‍රාග්ධනය සපයා ගැනීමටද අවස්ථාවක් ලබා දීමයි. මේ හරහා එවැනි ආයතනයක් විසින් වක්‍ර ලෙස රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කරනවා. එහිදී අලුතෙන් ධනය නිර්මාණය වීමක් සිදු වෙනවා.

නිෂ්පාදකයෙකු නිෂ්පාදනය කරන්නේ එමගින් තමන්ට ලැබෙන ලාබ නිසා. ඉතිරි කරන්නෙකු ඉතිරි කරන්නේද එයින් තමන්ට ලැබෙන ප්‍රතිලාභ නිසා. ඒ දෙදෙනා සම්බන්ධ කරන වත්කම් කළමනාකරණ ආයතනයක් විසින් එසේ කරන්නේද තමන්ට ලබාගත හැකි ලාබ නිසා. එහෙත්, මේ යාන්ත්‍රනය තුළ තවත් බොහෝ දෙනෙකුට යහපතක් සිදු වෙනවා.

යමෙකු ලෝකයට එකතු කරන්නේ ධනය වුවත්, දැනුම වුවත්, වෙනත් යම් දෙයක් වුවත් අවසානයේදී එසේ එකතු කරන දේ ඉතිරි කර මිය යන්නට සිදු වෙනවා. ඉතිරි කර යන දෙයක ප්‍රතිලාභ ජීවත් වන්නන්ට ලැබෙනවා. ඩේව්ඩ් ගොටස්මාන් විසින් මිය යන්නට පෙර ඔහු විසින් ඉපැයූ ධනය නාස්ති කර හෝ විනාශ කර නැහැ. කොපමණ විශාල ධනයක් උපයන අයෙකු වුවද සිය ජීවිත කාලය තුළ පරිභෝජනය කරන්නේ එයින් කොටසක් පමණයි. මෙසේ යමෙකු ඉතිරි කර යන දෙයකු උරුමකරුවෙකු වන අය ලොතරැයියක් දිනන වාසනාවන්තයෙක්.

කෙසේ වුවත්, වයස අවුරුදු 93 ඉක්මවා සිටින රූත් ගොටස්මාන්ට අහම්බෙන් ලැබුණු ඩොලර් බිලියන ගණනක විශාල ධනයකින් කළ හැකි විශේෂ දෙයක් නැහැ. එබැවින් එය එම මුදලෙන් සැලකිය යුතු කොටසක් තමන්ගේ ජීවන අභිලාෂ හා ගැලපෙන අරමුණක් වෙනුවෙන් වැය කර තිබෙනවා. මෙහිදී ඩේව්ඩ් ගොටස්මාන් මෙන්ම රූත් ගොටස්මාන් විසින්ද කර තිබෙන්නේ තමන්ට සතුටු විය හැකි පරිදි, තමන්ගේ ජීවන අභිලාෂ ශාක්ෂාත් කර ගැනීමයි. කෙනෙකුගේ ජීවන අභිලාෂය කුමක්ද යන්න පෞද්ගලික කාරණයක්. 

ඩේව්ඩ් ගොටස්මාන් විසින් ධනය නිර්මාණය කරන වෙනත් එවැනි අය මෙන්, තමන්ගේම වත්කම් කළමනාකරණ ආයතනයක් පිහිටුවා ඒ මගින් ධනය නිර්මාණය කිරීමට ජීවිතයේ වැඩි කාලයක් යොදවා තිබෙනවා. ඒ කාර්යය සාර්ථක ලෙස නිමා කර ජීවිතයෙන් සමු ගෙන තිබෙනවා. තමන්ගේ ජීවිත කාලය තුළ විශාල ධනයක් එක්රැස් කර තබා මිය යන ඩේව්ඩ් ගොටස්මාන් වැනි අයෙකුගේ ප්‍රධාන අභිලාෂයක් වන්නේ තමන් මිය යාමෙන් පසු තමන්ගේ උරුමකරුවන්ගේ අභිලාෂ පරිදි එම ධනය භාවිතා කිරීමයි. මෙහිදී ඔහුගේ එම අභිලාශය ඉටු වී තිබෙනවා.

මීට අමතරව, ඩේව්ඩ් ගොටස්මාන් වැනි ඇතැම් අය ජීවත්ව සිටියදීම තමන්ගේ ධනය තමන් සතුටු වන විවිධ දේ වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මේවාත් අනෙකුත් වෙළඳපොළ ගනුදෙනු වැනිම ගනුදෙනු. එකම වෙනස ගනුදෙනුවේ අභිලාශය මූල්‍ය ලාභයක් නොවීම පමණයි. 

රූත් ගොටස්මාන් ඇයගේ ජීවිතයේ වැඩි කාලයක් යොදවා තිබෙන්නේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ උන්නතිය ඇගේ ජීවිතයේ ප්‍රධාන අභිලාශයක් ලෙස සලකමිනුයි. ඇයට අනපේක්ෂිතව ලැබුණු විශාල ධනය ඈ ඇගේ මෙම දිගුකාලීන අභිලාශය සාක්ෂාත් කර ගැනීම පිණිස වැය කර තිබෙනවා. එයද සාර්ථක ගනුදෙනුවක්! 

Saturday, March 2, 2024

ඩොලර් බිලියනයේ තෑග්ග (දෙවන කොටස)


නිවු යෝර්ක් ප්
රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයට ඉදිරි වසරේදී ඇතුළු වන සිසුවෙකු විසින් එහි අධ්‍යාපනය ලබන වසර හතරක කාලය තුළ ගාස්තු ලෙස ඩොලර් 287,122ක මුදලක් ගෙවිය යුතුව තිබුණා. රූත් ගොටස්මන් විසින් එම වෛද්‍ය විද්යාලයට ඩොලර් බිලියනයක ධන පරිත්‍යාගයක් කිරීම නිසා ඉදිරි වසර තුළ හා ඉන් පසුව මෙම වෛද්‍ය පීඨයට ඇතුළු වන සිසුන් විසින් දැන් මෙම ගාස්තුවෙන් නිදහස් කෙරෙනවා.

අලුත් සිසුන්ට අමතරව දැනට මෙම වෛද්‍ය විද්‍යාලයෙහි ඉගෙන ගන්නා සිසුන්ද, ඉදිරි වාරයේ සිට පාඨමාලා ගාස්තු වලින් නිදහස් කෙරෙනවා. මේ බැව් දැන ගන්නා සිසුන් එයින් උද්දාමයට පත් වන ආකාරය අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝවක දැක ගත හැකියි. මේ සිසුන් අතර විදේශික සිසුන් හා සංක්‍රමණික පවුල් වල සිසුන් ගණනාවක් සිටිනවා. ඔවුන් හරහා මේ පුවත දැන ගන්නා ඇමරිකාවෙන් පිටත සිටින ඔවුන්ගේ දෙමවුපියන් හා වෙනත් ඥාතීන්ද උද්දාමයට පත් වන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා.

දැනට මෙම වෛද්‍ය විද්‍යාලයෙහි ඉගෙන ගන්නා සිසුන් හා අදාළව මෙය ලොතරැයියක් ඇදීමක්. ඔවුන් මෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට තීරණය කර තිබෙන්නේ ශිෂ්‍ය ණය ලබා ගෙන හෝ වෙනත් ක්‍රමයකින් තමන්ගේ පාඨමාලා ගාස්තු පියවීමට සූදානම්වයි. ඒ, එසේ කිරීම වුවද ඔවුන්ට වාසිදායක නිසා. දැන් පාඨමාලා ගාස්තු ඉවත් වීම නිසා ඔවුන්ට අමතර වාසියක් ලැබෙනවා.

මෙසේ යම් අයෙකුට හදිසියේ අනපේක්ෂිත වාසියක් ලැබීම ආර්ථික විද්‍යාවේදී ලොතරැයියක් ඇදීමක් ලෙස හැඳින්වෙනවා. එහි අරුත සාමාන්‍ය ලොතරැයි දිනුමකින් ඔබ්බට යන පුළුල් එකක්. හදිසියේ වැස්සට පොළොව සේදුණු තැනකින් වටිනා මැණිකක් මතු වුවහොත් එය මෙම අර්ථකථනය අනුව ලොතරැයියක් ඇදීමක්. කාත් කවුරුවත් නැති දුර ඥාතියෙකුගේ ලොකු දේපොලක් හදිසියේ අයිති වුවහොත් එය ලොතරැයියක් ඇදීමක්.

කෙසේ වුවත්, මෙම වාසිය ලොතරැයියක් ඇදීමක් වනුයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයේ වත්මන් සිසුන්ට පමණයි. එම වෛද්‍ය විද්‍යාලයට ඉදිරි වසරේ සිට ඇතුළු වීමට නියමිත සිසුන්ට මෙම සහනය ලොතරැයියක් වන්නේ නැහැ. එය ඔවුන් විසින් තරඟ කර ලබා ගත යුතුව තිබෙන දෙයක්.

ඇමරිකාවේ තිබෙන වෛද්‍ය විද්‍යාල දෙසීයක ප්‍රමාණ ප්‍රමාණය අතරින් එකක් හෝ කිහිපයක් විසින් මෙවැනි පාඨමාලා ගාස්තු සහනයක් ලබා දුන් විට එම වෛද්‍ය විද්‍යාලයට ලැබෙන අයදුම්පත් ප්‍රමාණය විශාල ලෙස ඉහළ යනවා. නමුත් සාමාන්‍ය මූලධර්මයක් ලෙස වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු කර ගන්නා සිසුන් ප්‍රමාණය එකවර හිතුමතේට වැඩි කරන්නේ නැහැ. ඒ නිසා, සිදු වීමට නියමිතව තිබෙන්නේ මෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීම වඩා අසීරු වීමයි. පසුගිය වසරේදීද මෙම අවස්ථාව ලැබී තිබෙන්නේ අයදුම්කරුවන්ගෙන් 3.3%කට පමණයි. දැන් මෙය තවත් අසීරු කාර්යයක් බවට පත් වෙනවා.

වෛද්‍ය විද්‍යාලයකට හෝ වෙනත් විශ්ව විද්‍යාලයකට ඇතුළු වීම වඩා අසීරු වෙනවා යන්නෙන් අදහස් වන්නේ අවසාන වශයෙන් එහි ඇතුළු වන සිසුන්ගේ ගුණාත්මක භාවය ඉහළ යනවා කියන එකයි. මෙය එවැනි උසස් අධ්‍යාපන ආයතනයක ගුණාත්මක භාවය වැඩි කරනවා. කීර්ති නාමය ඉහළ යවනවා. එහි ප්‍රතිඵලය වන්නේ ඉල්ලුම තවත් ඉහළ ගොස් ප්‍රවේශය තවත් අසීරු වීමයි.

පසුගිය වසරේ USNews ශ්‍රේණිගත කිරීම් අනුව, ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලය පැවතියේ 42වන ස්ථානයේයි. පහත තිබෙන්නේ එම ශ්‍රේණිගත කිරීම් අනුව ඇමරිකාවේ හොඳම වෛද්‍ය විද්‍යාල දහය.

1. හාවඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

2. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

3. පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලයේ පෙරල්මාන් වෛද්‍ය විද්‍යාලය

4. කොලම්බියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

5. ඩියුක් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

6. ස්ටෑන්ෆඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

7. සැන් ෆ්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

8. වැන්ඩර්බිල්ට් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

9. සෙන්ට් ලුවිස්හි වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය

10. කොනෙල් විශ්ව විද්‍යාලයේ වීල් කොනෙල් වෛද්‍ය විද්‍යාලය

ඉහත විශ්ව විද්‍යාල අතරින් සැන් ෆ්‍රැන්සිස්කෝහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය හැර අනෙකුත් සියල්ල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයි. ශ්‍රේණිගත කිරීම් අනුව උඩින්ම තිබෙන වෛද්‍ය විද්‍යාල 21 සැලකුවද (20 ස්ථාන දෙකක් ඇති නිසා), ඒ අතර රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අයත් වෛද්‍ය විද්‍යාල තිබෙන්නේ හතරක් පමණයි. සාමාන්‍ය කරුණක් ලෙස ඇමරිකාවේ හොඳම විශ්ව විද්‍යාල බොහොමයක් පෞද්ගලික විශ්ව විද්‍යාලයි. එහෙත් එම විශ්ව විද්‍යාල ලාබ ලැබීම ඉලක්ක කරන ආයතන නෙමෙයි.

වෙනම ලිපියක දීර්ඝ ලෙස කතා කළ යුතු කරුණක් වුවත්, ඉතිහාසය පුරා විධිමත් අධ්‍යාපනය ගොඩ නැගී තිබෙන්නේ බොහෝ දුරට අධ්‍යාපනය ලබා ගැනීමේ අවශ්‍යතාවයට වඩා අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාවය මත පදනම්වයි. යම් කිසිවෙකුට වෙනත් අයෙකුට හෝ අයට අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය වූ විට එහි පිරිවැයද එසේ අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය තැනැත්තාට පෞද්ගලිකව දරන්නට සිදු වෙනවා. කාලය වැය කරමින් අප විසින් මේ ලියන ලිපියද ඒ සඳහා උදාහරණයක්.

එයින් වෙනස්ව, යම් අයෙකුට අධ්‍යාපනය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඇති විට එහි පිරිවැය අධ්‍යාපනය ලබා ගන්නා තැනැත්තාට පෞද්ගලිකව දරන්නට සිදු වෙනවා. මෙම ලිපිය කියවීම වෙනුවෙන් කාලය යොදවන ඔබ ඒ සඳහා උදාහරණයක්. බොහෝ විට මෙම අවශ්‍යතා දෙකම සමපාත වීමක් සිදු වන බැවින් පිරිවැයද අවශ්‍යතාවයේ අනුපාතයට දෙපාර්ශ්වයක් හෝ පාර්ශ්ව වැඩි ගණනක් අතර බෙදී යනවා.

ඇමරිකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් නඩත්තු වන්නේ රූත් ගොටස්මන් වැනි අයගේ පරිත්‍යාග වල උදවුවෙන්. පරිත්‍යාගශීලීන්ගේ අරමුණ තමන්ගේ වියදමෙන් වෙනත් අයට තමන් කැමති ආකාරයේ අධ්‍යාපනයක් ලබා දීමයි. මෙසේ පරිත්‍යාග ලෙස ලැබී ඇති මුදල් ආයෝජනය කරමින් එම විශ්ව විද්‍යාල ආදායම් උපයනවා. එය කරන්නේ හැකි උපරිම ලාබයක් ලබා ගත හැකි ආකාරයෙනුයි. ඊට අමතරව, මෙම විශ්ව විද්‍යාල විසින් සිසුන්ගෙන් මුදල් අය කරනවා. අය කරන මුදල තීරණය වන්නේ වෙළඳපොළ මතයි. ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලය විසින් වුවද ඉදිරියේදී කරනු ඇත්තේ සිසුන්ගේ ගිණුම් වෙත පළමුව පාඨමාලා ගාස්තු බැර කර එම මුදල විශ්ව විද්‍යාලය විසින්ම ශිෂ්‍යත්ව අරමුදලකින් පීයවීම විය හැකියි.

පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් වෙනස්ව, රාජ්‍ය විශ්ව විද්‍යාල විසින් බදු මුදලින් පාඨමාලා ගාස්තු සුබසාධනය කරනවා. ඇමරිකාවේ අධ්‍යාපනය ෆෙඩරල් රජයේ කාර්යයක් නොවන නිසා මේ වෙනුවෙන් වැය කෙරෙන්නේ ප්‍රාන්ත රජයයන්ගි බදු ආදායමෙන් කොටසකුයි. ඒ නිසාම, ප්‍රාන්තයෙන් පිට පදිංචි බදු නොගෙවන්නන් හෝ ඔවුන්ගේ යැපෙන්නන් සුබසාධනය කෙරෙන්නේ නැහැ.

ඉහත වෙනස්කම නිසා ඇමරිකාවේ සිසුවෙකුට තමන්ගේ ප්‍රාන්තයේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට හෝ අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වුවහොත් සැලකිය යුතු මූල්‍යමය වාසියක් ලැබෙනවා. එහෙත්, ඇතැම් ප්‍රාන්ත වල වෛද්‍ය විද්‍යාල නැහැ. ඒ වගේම, තවත් ප්‍රාන්ත ගණනාවක වෛද්‍ය විද්‍යාල තිබෙන්නේ එකක් හෝ දෙකක් පමණයි. ඒ නිසා, මේ අඩු පිරිවැය විකල්පය පසුපස යන සිසුන්ට තිබෙන්නේ සීමිත තේරීමක්.

ප්‍රාන්ත බදු මුදලින් පාඨමාලා ගාස්තු සුබසාධනය කෙරෙන බැවින්, රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තමන්ගේ ප්‍රාන්තයේ හොඳම සිසුන් ආකර්ෂණය කර ගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනවා. මෙහිම අතුරු ප්‍රතිඵලයක් ලෙස වෙනත් ප්‍රාන්ත වල හොඳම සිසුන් ආකර්ෂණය කර ගැනීමේ අවස්ථාව ගිලිහී යනවා.

මෙයින් වෙනස්ව, පෞද්ගලික විශ්ව විද්‍යාල විසින් සියලුම ප්‍රාන්ත වල හොඳම සිසුන් පිරිස වෙනුවෙන් තරඟ කරනවා. එසේ කිරීමේදී, ප්‍රාන්ත සරසවි වල අඩු පාඨමාලා ගාස්තු වලට වඩා ආකර්ෂණීය වන පරිදි ශිෂ්‍යත්ව මගින් පාඨමාලා ගාස්තු සුබසාධනය කරනවා. බොහෝ විට මෙම තරඟය ඇමරිකාවෙන් පිටතටද දිගු වන අතර, ඇමරිකාවෙන් පිටත සිට අයදුම් කරන දක්ෂ සිසුවෙකුටද මෙවැනි පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමේදී හා ශිෂ්‍යත්ව ලබා ගැනීමේදී සම අවස්ථා හිමි වෙනවා. එහිදී ඉටු වන්නේ අදාළ විශ්ව විද්‍යාලයට ධනය පරිත්‍යාග කර ඇති අයගේ අභිලාශයනුයි.

රූත් ගොටස්මන් විසින් ලබා දුන් අරමුදල් වල උදවුවෙන් ඉදිරි වසර වලදී ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයය ඇතුළු වන සිසුන්ගේ පාඨමාලා ගාස්තු සුබසාධනය වෙද්දී, බොහෝ දුරට සිදු වනු ඇත්තේ එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වන සිසුන්ගේ ගුණාත්මක භාවය විශාල ලෙස ඉහළ යාමයි. මෙහිදී, එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වනු ඇත්තේ වෙනත් වෛද්‍ය විද්‍යාලයකින් වුවද සෑහෙන තරමක ශිෂ්‍යත්වයක් දිනා ගත හැකි තරමේ සිසුනුයි. ඒ නිසා, ඒ බොහෝ සිසුන්ට මෙම වෛද්‍ය විද්‍යාලයෙන් ලබා දෙන ශිෂ්‍යත්වයේ ආවස්ථික වටිනාකම ශිෂ්‍යත්ව මුදල තරම්ම ලොකු එකක් වන එකක් නැහැ.

උදාහරණයක් ලෙස ගුණාත්මක භාවය අතින් ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයයට වඩා ඉදිරියෙන් සිටින හා සමාන වෙනත් වෛද්‍ය විද්‍යාල දෙකකට ඇතුළු වීමේ අවස්ථාව තිබෙන සිසුවෙකු ගැන සිතමු. රූත් ගොටස්මන්ගේ පරිත්‍යාගය නොවන්නට ඔහු හෝ ඇය ඉදිරියේ තිබෙන තේරීම මෙවැන්නක්.

1. ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයය - ඩොලර් 280,000ක පාඨමාලා ගාස්තුවක්.

2. ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන් සිටින වෛද්‍ය විද්‍යාලය - ඩොලර් 290,000ක පාඨමාලා ගාස්තුවක්.

3. ශ්‍රේණිගත කිරීම් අනුව සමාන වෛද්‍ය විද්‍යාලය - 50%ක ශිෂ්‍යත්වයකින් පසු ඩොලර් 140,000ක පාඨමාලා ගාස්තුවක්.

දැන් මේ සිසුවා විසින් බොහෝ විට ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයය තෝරා ගන්නේ නැහැ. එක්කෝ අඩු මුදලක් ගෙවා සමාන ගුණාත්මක භාවයක් තිබෙන අනෙක් වෛද්‍ය විද්‍යාලයට යනවා. එසේ නැත්නම්, ඩොලර් 10,000ක් වැඩියෙන් ගෙවා වැඩි ගුණාත්මක භාවයක් තිබෙන වෛද්‍ය විද්‍යාලයට යනවා.

ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයය විසින් පාඨමාලා ගාස්තු මුළුමනින්ම සුබසාධනය කිරීමෙන් පසුව මෙවැනි සිසුවෙකු විසින් අනෙක් විකල්ප දෙක අත හැර ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයය තෝරා ගන්නට ඉඩ තිබෙනවා. එහිදී එම සිසුවා වෙනුවෙන් ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයය විසින් ඩොලර් 280,000ක මුදලක් වැය කළත් සිසුවාට එයින් ඇත්තටම ලැබෙන වාසිය ඩොලර් 140,000ක් පමණයි. ඉතිරිය තෙවන විකල්පය තෝරා ගත්තේ වුවද ලැබෙන දෙයක්. අලුත් ශිෂ්‍යත්වය නිසා ආකර්ෂණය වන බොහෝ සිසුන් මෙවැනි විකල්ප තිබෙන අය විය හැකියි. ඒ නිසා, ඒ බොහෝ සිසුන්ට ලැබෙන ශිෂ්‍යත්වයේ ආවස්ථික වටිනාකම ශිෂ්‍යත්ව මුදල තරම්ම ලොකු එකක් වන එකක් නැහැ.

අනෙක් අතට, මෙවැනි වෙනත් විකල්ප තිබෙන සිසුන් විසින් ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයය තෝරා ගනිද්දී ඔවුන් විසින් ලබා ගත හැකිව තිබුණු විකල්ප අවස්ථාවන් වෙනත් පිරිසකට ලැබෙනවා. උදාහරණයක් ලෙස, ශ්‍රේණිගත කිරීම් අනුව සමාන වෛද්‍ය විද්‍යාලයේ 50%ක ශිෂ්‍යත්වය වෙනත් සිසුවෙකුට ලැබෙනවා. ඒ ක්‍රමයට රූත් ගොටස්මන්ගේ පරිත්‍යාගයේ වාසිය ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයයෙන් පිටත වෙනත් වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වන සිසුන් වෙතද ගලා යනවා.

අවසාන වශයෙන් මේ හරහා සිදුවන වෙනස්කම් වලින් වැඩිම වාසියක් ලබන්නේ ආයතනයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයයි. ඒ ඔවුන්ට බඳවා ගත හැකි සිසුන්ගේ ගුණාත්මක භාවය විශාල ලෙස ඉහළ යන නිසා. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශ වල වෙළඳපොළ තරඟය සරල ලාබ වැඩි කර ගැනීමේ තරඟයක් නෙමෙයි. ලාබ වැඩි කිරීම හා ගැට ගැසුණු ගුණාත්මක භාවය වැඩි කර ගැනීමේ තරඟයක්ද එහි තිබෙනවා. අලුත් ශිෂ්‍යත්ව ක්‍රමය නිසා ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයට අනෙකුත් වෛද්‍ය විද්‍යාල හා තරඟ කොට හොඳම සිසුන් බඳවා ගැනීමට ඉඩ ලැබෙනවා.

විශ්ව විද්‍යාලයක ගුණාත්මක භාවය තීරණය කරන ප්‍රධානම සාධකය එහි සිසුන් නොව ආචාර්ය මණ්ඩලයයි. හොඳ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් සඳහා විශ්ව විද්‍යාල අතර තරඟයක් තිබෙනවා. අරමුදලේ උදවුවෙන් වඩා හොඳ සිසුන් බඳවා ගැනීමට මෙන්ම, වඩා හොඳ ආචාර්ය මණ්ඩල සාමාජිකයින් බඳවා ගැනීමටද ඇල්බට් අයින්ස්ටයින් වෛද්ය විද්යාලයට අවස්ථාව ලැබෙනවා. තමන්ට ලැබෙන වැටුපට අමතරව සිසුන්ගේ ගුණාත්මක භාවය වැනි කරුණුද ආචාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් සැලකිල්ලට ගන්නා බැවින් මේ දෙක එකිනෙකටද සම්බන්ධයි.

වෙබ් ලිපිනය: