වෙබ් ලිපිනය:

Monday, January 11, 2016

සිංදු තුනක්, පොතක් සහ ප්‍රශ්න පහක්

ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩිම කොළඹ දිස්ත්‍රික්කයේ වැසියන්ගේය. අනෙකුත් දිස්ත්‍රික්ක වලින් හරි අඩකම වැසියෙකු සාමාන්‍යයෙන් ලබන ආදායම කොළඹ වැසියෙකුගේ සාමාන්‍ය ආදායමින් අඩකට අඩුය. කලකට පෙර 'කොළඹට කිරි- අපට කැකිරි' සටන් පාඨ ජනප්‍රිය වූයේ මේ ආදායම් විෂමතාවය නිසාය. කෙසේවුවද, කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත ආදායම් විෂමතාවය අනෙක් දිස්ත්‍රික්ක සියල්ලටම වඩා වැඩිය. ඉතා ඉහළ ආදායම් ලබන සුළුතරයක් නිසා දිස්ත්‍රික්කයේ සාමාන්‍ය අගය ඉහළින් පෙනුණද දෛනික කැලරි අවශ්‍යතාවය අඩුවෙන්ම සැපිරෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභීන්ගේය.

කොළඹ කියන්නේ තවදුරටත් සිහින පාරාදීසියක් නොවේ. දැන් කොළඹ වගේම ඈත ගම් දනවු වලත් බොහෝ දෙනෙකුගේ සිහිනය බටහිර රටකට නොහැකිනම් අඩුගානේ කොරියාව වැනි රටකට හෝ පැනගැනීමයි. එහෙත්, පසුගිය ශතවර්ෂ එකහමාරක හෝ දෙකක කාලය තුළ ලංකාවේ දුර බැහැර පෙදෙස් වල ජීවත් වූ බොහෝ දෙනෙකු කොළඹ දුටුවේ සුරපුරයක් ලෙසිනි. සිය දරුවන් වැඩි අවස්ථා ඇති කොලොම්තොටට යවාගැනීම ඇතැම් මවු වරුන්ගේ සිහිනයක් විය.

"මගෙ පුතු හරි හපනා -හෙට කොළඹට යනවා
පනම් තුනක් ලබලා- මටත් එකක් දෙනවා"

ෂෙල්ටන් පෙරේරාගේ සංගීතය හා මුසුව රූපා ඉන්දුමතීගේ හඬින් ගීතවත් වන දයා ද අල්විස්ගේ ගී පදවැල් වලින් මතුවන්නේ මේ කතාවයි.


අද බටහිර රටවල් ආකර්ශනීය වන්නා සේ එදා කොළඹ රට ආකර්ශනීය තැනක් වුණේ මහන්සි වී කීයක් හෝ හොයාගන්නට ගමේ නොතිබුණු ඉඩ ප්‍රස්තාවන් කොළඹ රටේ තිබුණු නිසාය. මෙසේ කොළඹට සංක්‍රමණය වූයේ ගම් පළාත් වල තමන්ගේ මහන්සියට හිමිතැන නිසි පරිදි නොලැබෙන බව තේරුම් ගත් අයයි.

"පනම් අටින් මට වැඩිකර දුන්න
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මට හිමි තැන දෙනවාදෝ"

දැන් බොහෝ විට නීලා වික්‍රමසිංහගේ හඬින් ඇසෙන, කළු දිය දහර චිත්‍රපටයේ තේමා ගීතය වූ, මේ ගීතයෙන් කියවෙන්නේ මේ කතාවයි. මුලින්ම, සිය පෞද්ගලික අත්දැකීමක් ඇසුරින් මේ ගීතය ඉංග්‍රීසි බසින් ලියා සංගීතය යෙදූ නිමල් මෙන්ඩිස් විසින් පසුව කරුණාරත්න අබේසේකර ලවා එය සිංහලට පරිවර්තනය කරගෙන තිබේ.



ගමේ තමන්ට හිමිතැන නොලැබෙන නිසා කොළඹට සංක්‍රමනය වුණත් ගෙන්දගම් පොළොව එක්ක හැප්පෙන එක ලේසි පාසු වැඩක් නොවේ. තුට්ටුවක් හෝ වැඩිපුර උපයාගැනීම මහා ලොකු අරගලයකි.

"හෙට්ටු කරලමයි වලව්වේ හාමුගෙ නෝනා නිතරම ගන්නේ
තුට්ටුවෙ වාසියවත් මට ලැබෙන්නෙ ඔහෙලා වගෙ අයගෙන්නේ"

ඇන්ටන් රුද්‍රිගුගේ මේ ගීතයෙන් කියවෙන්නේ කොළඹම නොව වෙනත් මුහුදුබඩ නාගරික ප්‍රදේශයක් ගැන වෙන්නත් පුළුවන.

"සිලිං තුනයි වැල උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ
සත දහයක් අඩු කරලා දෙන්නම් ගන්නවාද මැගී අක්කේ"



***
(Image: books.lk)

කුමරතුඟු මුණිදසුන්ගේ හත්පණ අමුතුවෙන් හඳුන්වා දියයුතු පොතක් නොවේ. මෙහි කථානායකයා කිරිහාමිය. දශක කිහිපයකට පෙර මේ පොත ඇසුරෙන් තැනූ ටෙලි නාට්‍යයද ඉතා ජනප්‍රිය විය. හත්පණ කතාව ගලායන්නේ කිරිහාමිගේ අනුවණ ක්‍රියාවන් වටාය.

"දිනක් පනම් අටක් දී වලන් ගෙනෙන්නට කිරි හාමි යවන ලදී. කිරි හාමි කඩයට ගොස් වලන් ඉල්වීය. කඩ කාරයා වලන් ගොඩක් පෙන්වා, "එකක් තුට්ටු දහය" යි කීයේය. කිරි හාමි කිපුණේය. "මා නුපුරුදු නිසා රවටන්නට සිතුවාද? මේ වලඳ තුට්ටු දහයක්...? හැබෑවටම මෙය තුට්ටු දහයක් දී ගන්නා අයෙක් ඇද්ද? කැමති නම් මෙය පණම් අටකට දෙනවා. මා ළඟ ඇත්තේ එපමණයි". කිරි හාමි මෙසේ කී කල, "එහෙනම් ඇරගෙන යනවා. ඉතින් එපමණ කියන කල නොදී පුළුවන්දැයි" කී කඩකාරයා පණම් අට ගෙන වලඳ දුන්නේය."

(http://boondi4kids.blogspot.com/2010/04/5.html)


***

දැන් මෙන්න ප්‍රශ්න:

1. පුතා කොළඹට ගොස් උපයනු ඇතැයි අම්මා බලාපොරොත්තු වන මුදල සත වලින් කොපමණද? එයින් අම්මාට ලැබේයැයි සිතන මුදල සත වලින් කොපමණද?

2. මාස්ටර් සර්ගෙන් ලැබුණු වැටුප් වර්ධකය සත වලින් කොපමණද?

3. වලව්වෙ හාමුගෙ නෝනාගෙන් ලබා ගැනීමට අපහසු තුට්ටුවෙ වාසිය සත වලින් කොපමණද?

4. මැගි අක්කාට ලැබුණු වට්ටම සියයට කීයද?

5. කඩකාරයාට කිරිහාමි නිසා ලැබුණු අමතර වාසිය කොපමණද?


උපකාරයක් අවශ්‍යනම් මෙය කියවන්න:

සතපහ ඇගේ බාප්පලා හා සීයලා

14 comments:

  1. //"පනම් අටෙන් මට වැඩි කර දුන්න" කියන විට කතා කරන්නේ සහ පණහක වැටුප් වර්ධකයක් ගැනය. "තුට්ටුවෙ වාසියවත් මට ලැබෙන්නේ ඔහෙලා වගේ අයගෙන්නේ" කියන විට ලැබෙන වාසිය සත 1 9/16කි. "සිලිං තුනයි වැල උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ- සත දහයක් අඩු කරලා දෙන්නම් ගන්නවාද මැගි අක්කේ" කියන විට මැගි අක්කාට ලැබෙන වට්ටම 6.67%කි.// උත්තර ටික හම්බ උනානේ :)
    ඉස්සර අපේ අම්මලා කට පාඩමෙන් ඔය ටික කියනවා අහගෙන ඉඳල මටත් ටික ටික මතක තිබ්බ.. පනම් අට/ තුට්ටුව/ අලුක්කාල වගේ ඒවා.. එත් මෙච්චර පැහැදිලිව ඉගෙන ගත්තමයි. අපරාදෙනේ බ්ලොග් දෙකක්.. මේකටම මර්ජ් කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඒකේ දාන්නේ ආර්ථික විද්‍යාවට අදාළ අධ්‍යාපනික වැදගත්කමක් තියෙන ඒවා පමණයි. එහි මුලින් පළ කරන වැඩිපුර නොකියැවෙන ඒවා පසුව මේකටත් ඇදලා දානවා.

      Delete
  2. 1. සත 18 හා 6
    2. සත 50
    3. සත 1 1/2
    4. සත 6.7 %
    5. සත 35

    ReplyDelete
    Replies
    1. පිළිතුරු නිවැරදියි, තිලංක.

      Delete
  3. දොයිතු (Duits) 4 =තුට්ටු කාසි 1
    තුට්ටු කාසි 4 = පනම් (Fanams) 1 = 06 Cents (approx.)
    පනම් 8 = Shillings 01 = 50 Cents (Approx.)
    පනම් 12 = රිදී 5 හෙවත් පතාග 1 ( Rix-Dollar රීක්ස් ඩොලර්)

    Answers;

    01. 18 cents & 06 cents
    02. 50 cents (approximately)
    03. 1.5 Cents (6/4 Cents)
    04. 6.67% (1/15%)
    05. 35 Cents

    Just approx. calculations. Sorry if any calculation errors occurs.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඇනෝ. ඔව්, පිළිතුරු නිවැරදියි.

      Delete
  4. ඔන්න එකොනොමැට්ට විතරයි කාට කාටත් එකඟ වෙන්න පුළුවන් උත්තර තියන ප්‍රශ්න ටිකක් ඇහුවේ‍. -තුට්ටුදෙක කටත් අඩු එකකුත් නම් තිබ්බා :)

    ReplyDelete
    Replies
    1. ඉකොනොමික්ස් වල කාටත් එකඟ වෙන්න පුළුවන් දේවලුත් තියෙනවා. :)

      Delete
  5. ඕනෑම ඒකකයකට ශත සීයක් ඇත. අඩු නැත. වැඩි නැත.

    ReplyDelete
    Replies
    1. ඒකනේ සමහර අය කියන්නේ රුපියලට එදත් සත සීයයි අදත් සීයයි, රුපියලේ වටිනාකම එක සතේකින්වත් අඩුවෙලා නැහැ කියලා.

      Delete
  6. මගේ මැටි මොලෙන් ඕක හදා ගන්න කොච්චර වෙලා යනවද කියලා බැලුවා.

    ReplyDelete
  7. මේ ගණං සෑදීමට මහන්සි වීමෙන් මට පනමකවත් වාසියක් නොවන නිසා අතහැර දමමි. හැක්...

    පෝස්ටුව අගනේ ය.

    ReplyDelete
    Replies
    1. පෝස්ටුව තරමට මට මේ කමෙන්ට් එකද අගනේය.
      මේ ගනන් හදන්න වැයකරන්න තිබුනා කාලය සිනාසීමට වැය වූ නිසා අතහැර දමමි ( නැතුව බැරුව එහෙම නෙවෙයි)

      Delete
  8. ඉතා හොඳින් නැවත දැනුම අලුත් කරගත්තා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: