පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නැවතත් කතාබහක් ඇති වෙලා තියෙනවනේ. මේ ගැන ලිපියක් ලියන්න හිත හිතා ඉන්න අතරේ ලියන්න හිතපු ගොඩක් දේවල් අජිත් පැරකුම් විසින් ලියා තිබෙන බව දැක්කා. ඒවා නැවත ලියන්න අවශ්‍ය නැහැනේ. පැරාගේ ලිපියට ලින්ක් එකක් මේ ලිපිය අන්තිමට තියෙනවා. කොහොම වුනත්, එහි නැති මගේ අත්දැකීම් හා අදහස් ටිකක් සටහන් කරන්නම්.
පටන් ගන්න වෙන්නේම පොර ටෝක් ටිකකින්. පොර ටෝක් වුණත් බොරු නොවන නිසාත්, මාතෘකාවට අදාළ නිසාත් ලියන්නම වෙනවා.
ඉකොනොමැට්ටා පහේ ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වූ කෙනෙක්. ඒ දවස් වල විභාග ප්‍රතිපල දීමේ ක්‍රියාවලිය පරිගණකගත කරලා තිබුණේ නැහැ. ඒ නිසා මගේ ලකුණු ප්‍රමාණය ලංකාවෙන් කී වැනි තැනද කියා දැනගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. හරියටම දන්නේ එය දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ප්‍රමාණය වූ බව පමණයි.
ඒ කාලයේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම හා ප්‍රතිඵල ලේඛණ සකස් කිරීම දිස්ත්‍රික් මට්ටමින් හෝ ප්‍රාදේශීය අධ්‍යාපන කොට්ඨාශ මට්ටමෙන් සිදුවුණා කියලයි මම හිතන්නේ. ප්‍රතිඵල ලැබුණු දවසේම ප්‍රාදේශීය අධ්‍යාපන කොට්ඨාශයේ වැඩිම ලකුණ බවත් සතියකට පමණ පස්සේ දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණ බවත් දැනගන්න ලැබුණා.
මා ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ අවුරුද්දේ ලංකාවේ ඕනෑම පාසැලකට ඇතුළු වීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණයත් වඩා ගොඩක් වැඩියි. මුළු ලකුණු ප්‍රමාණයෙන් අඩු වෙලා තිබුණේ බොහොම ටිකයි. හැබැයි එවැනි ලකුණු ප්‍රමාණයක් ගැනීමේ ඉලක්කයක් ඒ දවස්වල මට තිබුණේ නැහැ. දෙමවුපියන් මේ වෙනුවෙන් ලොකු බරක් දැම්මෙත් නැහැ. කොහොමටත් ඒ කාලයේ දැන් වගේ පහළ පන්තිවල ළමුන් ටියුෂන් ගියේ නෑනේ.
ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල අනුව, ඒ කාලයේ මෙන්ම දැනටත් ලංකාවේ ජනප්‍රියම පාසැලට ඇතුළු වීමේ අවස්ථාව මට හිමි වන විට මම මා පහේ ශිෂ්‍යත්වය ලියූ ප්‍රාථමික පාසැලේ සිට දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ මධ්‍ය මහා විද්‍යාලයකට ඇතුළත් වෙලා. ඒ ඇතුළත්වීමේ විභාගයක් හරහා. ජනවාරි මාසයේ එහි ඇතුළු වී සති කිහිපයකින් ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ලැබෙන්නට නියමිත පාසැල ගැන දැනුම් දීම ලැබුණා.
මේ වන විට මගේ වයස අවුරුදු එකොළහක් වෙලා. වයස අවුරුදු එකොළහක ගොඩක් දරුවන්ට වගේම ඒ කාලයේදී මටත් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා හිමි වන්නේ කුසලතා අනුව පමණක් නොවන බව අවබෝධ වී තිබුණේ නැහැ. එය මට මුලින්ම දැනුනේ ශිෂ්‍යත්වය කොයි තරම් ඉහළින් සමත් වුණත් ඒ හේතුව නිසා මට ලැබෙන කිසිම කෙහෙම්මලක් නැති බව අවබෝධ වීමත් සමඟයි.
ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල අනුව යා හැකිව තිබුණු අගනුවර පාසැලට යාමේ අවස්ථාව මට ලැබුණේ නැහැ. එයට හේතු වූ කරුණු අතරින් ප්‍රධාන කරුණක් වුණේ මාව කොළඹ බෝඩින් කර ඉගැන්වීමේ වියදම දැරීමේ හැකියාවක් මගේ පියාට නොතිබීමයි. ඔහුට එවැනි හැකියාවක් නොතිබීමට ඔහුගේ ආදායම් සීමාවන් තරමටම වාගේ ඔහුගේ මූල්‍ය කළමනාකරණයේ වූ දුර්වලතාවයනුත් හේතු වුණා.
මේ ගැන මගේ පසුකාලීන ආකල්පය උදාසීන එකක්. ඇතැම් විට මා එකී කොළඹ පාසැලට මාරු වුනානම් සරසවි ප්‍රවේශය වඩා අසීරු වෙන්න තිබුණා.අනෙක් අතට මා පසුකාලීනව ඉතා අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණයන් වඩා පහසුවෙන් හා/හෝ වඩා කලින් ලඟා කරගන්න ඉඩ ලැබෙන්නත් තිබුණා. සිදු වූ දේ මිස සිදු නොවූ දේ දැන ගැනීමේ හැකියාවක් අපට නැහැනේ. කොහොම වුණත් ශිෂ්‍යත්වයෙන් මට "අයිති වූ" පාසැලට යන්න නොලැබීම ගැන ඒ කාලයේ මට තිබුණේ විශාල කණගාටුවක්.
ශිෂ්‍යත්වය සමත්වීම නිසා දරුවෙකුට ලැබෙන අනික් වාසිය අදාළ මාසික දීමනාවයි. මගේ පියාගේ ආදායම් මට්ටම අනුව මට එය ලැබුනෙත් නැහැ. රජයේ සේවකයක් වූ ඔහුට ඔහුගේ ආදායම සැඟවීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත්, අපට වඩා ගොඩක් හොඳින් ජීවත් වුණු, "මුදලාලිලාගේ" දරුවන් වූ මගේ ඇතැම් මිතුරන්ට ශිෂ්‍යත්ව ආධාර මුදල් හිමි වුණා.
පසුකාලීනව මහපොළ ආධාර හා අදාළවත් තිබුණේ මෙවැනි තත්ත්වයක්. ව්‍යාපාර, වතුපිටි ආදියෙන් ලොකු ආදායම් ඉපැයූ දෙමවුපියන්ගේ දරුවන් වූ මගේ ඇතැම් මිතුරන් ශිෂ්‍යත්ව ආධාරය වගේම මහපොළ ආධාර මුදලත් ලබා ගන්න සමත් වුණා. බොහෝ විට මේ අවස්ථාවන් අහිමි වුණේ රජයේ සේවකයන්ගේ දරුවන්ට. ආදායම පිළිබඳ සැඟවිය නොහැකි වාර්තා නොතිබුණු අයෙකුට පවුලේ ආදායම අවශ්‍ය තරමට වඩා අඩු බවට ග්‍රාමසේවක සහතිකයක් ලබා ගැනීම අසීරු වුණේ නැහැ. ප්‍රායෝගිකව ඒ වගේ වෙලාවක ග්‍රාමසේවක කෙනෙක් බලන්නේ දරුවාගේ පැත්තයි.
"ළමයෙක්ට ඉගෙන ගන්න කීයක් හරි ලැබෙන එකනේ!"
කොහොම වුණත් යම් කිසි අයුරකින් මට ඒ වෙලාවේ ශිෂ්‍යත්ව ආධාර ලැබුණානම් මගේ ජීවිතයේ ලොකු වෙනසක් විය හැකිව තිබුණද? මම හිතන්නේ නැහැ.
මම දන්නා තරමින් දැනට මාසික ශිෂ්‍යත්ව ආධාර මුදල සේ ලැබෙන්නේ රුපියල් පන්සීයක් වැනි මුදලක්. ඇතැම් විට මා වැරදි වෙන්න පුළුවන්. මෙය රුපියල් දාහක් වුනත් මා කියන කතාව අවලංගු වෙන්නේ නැහැ. ඒ කාලයේ මේ මුදල රුපියල් පනහක් හෝ අද රුපියල් පන්සීයකට සමාන කළ හැකි එවැනි මුදලක්.
අඩු ආදායම්ලාභී දරුවෙකුට මේ වගේ සොච්චම් මුදලක් ලැබුණා කියලා දරුවාගේ දෙමවුපියන්ට දරුවාව රටේ හොඳම පාසැලකට යැවීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා, එවැනි දරුවෙකුට අදට වුවත්, ශිෂ්‍යත්ව ප්‍රතිඵලය කුමක් වුවත්, ශිෂ්‍යත්ව ආධාරය ලැබුණත් නොලැබුණත්, දෙමවුපියන් සතුව ප්‍රමාණවත් ආර්ථික ශක්තියක් නැත්නම්, අධ්‍යාපනයේ සම අවස්ථා හිමි වෙන්නේ නැහැ. වැඩි කැමැත්තක් තිබෙන දෙයක් නොවූවත්, පෞද්ගලිකව මගේම අත්දැකීම් සටහන් කළෙත් මේ කරුණට බරක් දමන්නයි.
පහේ ශිෂ්‍යත්ව විභාගයේ ආරම්භක අරමුණ වෙලා තියෙන්නේ ගම් වල ඉන්න දක්ෂ සිසුන්ට මධ්‍ය මහා විද්‍යාල වලට ඇතුළු වී ඉහළට ඉගෙන ගන්න අවස්ථාව සැපයීම කියා කියනවනේ. මම හිතන්නේ මුල කාලයේ ඒ අරමුණ සෑහෙන තරමකින් ඉටු වුනා. හැබැයි දැන්නම් එවැන්නක් වෙන්නේ නැහැ.
ආර්ථික දුෂ්කරතා තිබෙන දක්ෂ දරුවෙකුට තමන්ගේ දක්ෂතාවය අනුව කැමැති ඉලක්කයකට යන්න ඉඩ සැලසීම තහවුරු කරන්නනම් එවැන්නකුට දැන් ගෙවනවාට වඩා සැලකිය යුතු මුදලක් ගෙවිය යුතුයි. ඒ මුදලින් නේවාසික ගාස්තු, ප්‍රවාහන ගාස්තු, අමතර පොත්පත් සඳහා වියදම්, පාසැලේ අධ්‍යාපන චාරිකා ආදිය වැනි වෙනත් දේ සඳහා වියදම් ආදිය වගේම ටියුෂන් ගාස්තුත් ආවරණය නොවනවානම් සම අවස්ථා සැලසීමක් සිදු වෙන්නේ නැහැ.
මේ විදිහට බැලුවහම තේරුමක් වෙන්නනම් දරුවෙක්ට මාසයකට රුපියල් පන්දාහක මුදලක්වත් ගෙවිය යුතුයි. එය දැන් මුදල වගේ දහ ගුණයක මුදලක්.
ශිෂ්‍යත්ව ආධාර සඳහා දැනට වෙන් කරන මුදලින් ආධාර ලබන එක් දරුවෙකුට දැන් මුදල මෙන් දහගුණයක මුදලක් දෙන්නනම් ශිෂ්‍යත්ව ආධාර ලබන සිසුන් ගණන දහයෙන් එකක් දක්වා අඩු කරන්න වෙනවා. දැනටත් ශිෂ්‍යත්වය සමත් වෙන්නේ වැඩිම ලකුණු ගන්න 10% පමණක් නිසා එයින් අදහස් වෙන්නේ වැඩිම ලකුණු ගන්න 1%කට පමණක් ආධාර ලැබිය හැකි බවයි. මම හිතන්නේ වැඩි සිසුන් ප්‍රමාණයකට තේරුමක් නැති සුළු මුදලක් දෙනවට වඩා, වඩාත්ම දක්ෂ සීමිත සිසුන් ගණනකට ඔවුන්ගේ අනාගතය වෙනස් කරන්න තරම් ප්‍රමාණවත් මුදලක් දෙන එක වඩා හොඳයි කියලයි.
ශිෂ්‍යත්වය සමත් වන ඉතා දුප්පත් දරුවෙකුට මාසයකට රුපියල් 5000ක් දුන්නොත් ඒ මුදල දරුවාගේ පවුලේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් වැය කෙරෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. එහෙම වුනොත්, සිසුවාගේ අනාගතය වෙනස් කිරීමේ අරමුණ ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා, මේ මුදල් සෘජුව ලබා නොදී පාසැල් නේවාසිකාගාරයට හෝ ලියාපදිංචි පාසැල් ප්‍රවාහන සේවා සපයන්නෙකු වැනි අයෙකුට ගෙවීම වඩා සුදුසුයි.
ලංකාව වගේ රටක පවුලක ආදායම් මට්ටම හරියටම හොයන එකත් පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා, වඩා සුදුසු ක්‍රමය වන්නේ හරි වැරදි පරීක්ෂා කරනවා වෙනුවට තමාගේ ආදායම අඩු බව කියා ආධාර මුදල් ඉල්ලන සියලු සිසුන්ට මේ ආධාරය දෙන එකයි. ආධාරය දෙන්නේ කුසලතා පදනමින් නිසා එහි ඇති වැරැද්දක් නැහැ. කොයි තරම් ධනවත් පවුලක ඉපදුනත් පහේ පන්තියේ දරුවෙක් කියන්නේ ආදායම් උපයන්නෙක් නෙමෙයි. විශාල ආදායමක් උපයන සුළු පිරිසක් පමණක් ආධාරය නොගෙන ඉඳියි.
ඇත්තටම අවශ්‍යතාවය වන්නේ දක්ෂ දරුවෙක්ට තමන් කැමති පාසැලකට ගිහින් අධ්‍යාපනය ලබන්න ඉඩ සැලසීම නිසා ඒ සඳහා අවශ්‍ය සියලු වියදම් වෙන් කිරීමයි විය යුත්තේ. මේ මුදල දරුවාගෙන් දරුවාට වෙනස් වෙන්න පුළුවන්. පාසල් නේවාසිකාගාරයකට යන දරුවෙකුට ඒ වෙනුවෙන් වියදම් දරන්න වෙනවා. ගෙදර සිට යන දරුවෙකුට පාසැල් වෑන් රථ වෙනුවෙන් මුදල් වැය කරන්න වෙනවා. ඒ නිසා, වඩාත්ම හොඳ ක්‍රමය සියල්ලන්ටම රුපියල් 5000 ගානේ දෙනවා වෙනුවට එවැනි කිසියම් උපරිමයකට යටත්ව අවශ්‍ය වියදම් සියල්ල ගෙවන එකයි. ඒ වියදම් වලට පහත ආකාරයේ වියදම් එකක් හෝ කිහිපයක් ඇතුළත් විය හැකියි.
1. පාසැල් නේවාසිකාගාර ගාස්තු- කෙළින්ම පාසැලට, අවශ්‍යනම් ලියාපදිංචි නේවාසිකාගාර පහසුකම් සපයන්නන්ට. එවැනි සිසුන්ට වාරය මුල හා අග ඇතුළුව නියමිත වාර ගණනක් ගෙදර යන්න සහ ආපසු එන්න වියදම, වැඩිහිටියන්ගේ ප්‍රවාහන වියදම්ද ඇතුළත්ව.
2. ප්‍රවාහන ගාස්තු- ලියාපදිංචි ප්‍රවාහන සේවා සපයන්නන්ට
3. පාසැලෙන් සිසුන්ගෙන් අය කරන විවිධ ගාස්තු- කෙළින්ම පාසැලට
4. වාරයකට වරක් අමතර පොත් පත් ගන්න මුදලක්- පොත් වල බිල්පත් ඉදිරිපත් කළ යුතුයි. අවශ්‍යනම් මේ මුදලින් ක්‍රීඩා භාණ්ඩ වැනි දෙයක් ගන්නත් පුළුවන්.
ඔය වගේ ක්‍රමවේදයක් හැදුවොත් හැම සිසුවෙකු වෙනුවෙන්ම උපරිම මුදල ගෙවන්න අවශ්‍ය වන එකක් නැහැ. ශිෂ්‍යත්වය සමත් හෝ අසමත් ඉහළ ආදායම් ලබන පවුල් වල දරුවන් වෙනුවෙන් වැය කරන මුදල් ඔවුන්ගේ දෙමවුපියන්ගේ බදු ආදායමෙන් අඩු කිරීම වැනි සහනයකුත් දුන්නට කමක් නැහැ.
මගේ කාලයේ කෙසේ වුවත් ඊට ගොඩක් කලින් පහේ ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසුව ගමේ පාසැල් වලින් අලුත පිහිටවූ මධ්‍ය මහා විද්‍යාල වලට ඇතුළු වෙලා පසුව රජයේ ඉහළම මට්ටමේ නිලධාරීන්, සරසවි මහැදුරන් ආදීන් වූ අය ගැන මම දන්නවා. නමුත් මගේ කාලය වන විටත් පහේ ශිෂ්‍යත්වය මධ්‍යම පාංතික දරුවන්ට වඩා හොඳ පාසැල් වලට යන්න ඉඩ සලසන, දුප්පත්ම ළමයින් බැහැර කරන එකක් වී අවසානයි. ගෙවන ආධාර මුදල ප්‍රමාණවත් තරමින් වැඩි කරලා සීමිත පිරිසකට පමණක් මේ අවස්ථාව දුන්නොත් නැවතත් පහේ ශිෂ්‍යත්වයේ මුල් අරමුණ ඉටු වෙන්න පුළුවන්.
මීට අමතරව පහේ ශිෂ්‍යත්වය මේ වන විට පාසැල් වල හයේ පංතියට සිසුන් ඇතුළු කර ගැනීමේ ප්‍රධාන නිර්ණායකයක් වෙලාත් තිබෙනවානේ. ඒ අරමුණ වෙනුවෙනුත් ශිෂ්‍යත්වය යොදා ගැනීමේ වැරැද්දක් නැහැ. නමුත්, සිසුන් බඳවා ගැනීමේදී ශිෂ්‍යත්ව ලකුණුම නොබලා ශිෂ්‍යත්වය, ඇතුළත්වීමේ විභාගයක්, ඒ දෙකම, ඒ දෙකෙන් කැමති එකක්, වෙනත් නිර්ණායක ආදී ක්‍රමවේදයක් යොදා ගැනීමේ නිදහස එක් එක් පාසැලට ලබා දුන්නනම් වඩා හොඳයි කියලයි මම හිතන්නේ.
දැන් පවතින ක්‍රමයනම් වයස අවුරුදු දහයක පමණ දරුවෙකුට ඔරොත්තු නොදෙන තරම්. නමුත්, වෙනත් විකල්පයකුත් පේන්න නැති නිසාත්, ළඟම පාසැල හොඳම පාසැල වැනි ඉලක්ක කෙටිකාලීනව ලඟා කරගන්න අමාරු නිසාත්, ශිෂ්‍යත්වය මුළුමනින්ම අහෝසි කරන එක සුදුසුයි කියන්නත් බැහැ. ඒ නිසා, පහේ ශිෂ්‍යත්වයේ තිබෙන සාධනීය අංග තියාගෙන සිසුන් මත තිබෙන පීඩනය අවම කළ හැකි ප්‍රතිසංවිධානයකටයි යා යුත්තේ.
මේ මගේ සතපහ. පැරාගේ ලිපියට ලින්ක් එකක් පහළින්.
පහේ ශිෂ්‍යත්වය අධ්‍යාපන ක්‍රමයේ ගැටලුවක් ලෙස
(Image: http://www.hirunews.lk/149298/grade-5-scholarship-examination-cut-off-marks-announced-get-full-list)
ශිෂ්‍යත්ව විභාගෙට ඉල්ලුම් කරන කොටම ශිෂ්‍යාධාර අවශ්‍යද නැද්ද කියන එක දන්වන්න පුලුවන්නම් ප්‍රතිපල විදිහට ලකුණු විතරක් දෙන්න පුළුවන්. පාස්/ෆේල් කියලා කඩයිම් ලකුණක් දෙන්නේ නැතුව.
ReplyDeleteඔබේ කාලයට වඩා " ශිෂ්‍යත්වය සමත් දරුවෙක් මුදල් නොමැතිකම නිසා වඩා හොඳ පාසලකට නොයා සිටීම" අද වන විට බොහෝ දුර්ලභයි කියල හිතනවා. රජයෙන් දෙන ශිෂ්‍යත්ව ආධාර මුදලට අමතරව එවන් දරුවකුට උදව් කරන්නට ඉදිරිපත් වන්නන් වර්තමානයේ සොයාගැනීම අපහසු නැත. ඇතැම් ජනප්‍රිය පාසල් මගින්ම එවන් වැඩසටහන් සකස්කර තිබෙනවා.
ලංකාව තුල ජනප්‍රිය පාසලක ඉගෙනීමෙන් ලැබෙන සමාජ බලය ඉතා ඉහලයි. රැකියා සම්මුඛ පරීක්ෂණයකදී මෙන්ම විවාහයකදීද මෙය තදින්ම බලපායි.
//ඔබේ කාලයට වඩා " ශිෂ්‍යත්වය සමත් දරුවෙක් මුදල් නොමැතිකම නිසා වඩා හොඳ පාසලකට නොයා සිටීම" අද වන විට බොහෝ දුර්ලභයි කියල හිතනවා.//
Deleteඇත්තටම කියනවනම් අද වන විට මුදල් හිඟකම් තිබෙන දරුවෙකුට ශිෂ්‍යත්වය සමත්වීමම එදාට සාපේක්ෂව විශාල අභියෝගයක්.
//ලංකාව තුල ජනප්‍රිය පාසලක ඉගෙනීමෙන් ලැබෙන සමාජ බලය ඉතා ඉහලයි. රැකියා සම්මුඛ පරීක්ෂණයකදී මෙන්ම විවාහයකදීද මෙය තදින්ම බලපායි.//
මා කාලයක් ව්‍යාපාරික ලෝකය සමඟ ගැටෙමින් සිටියා. අගනුවර ආශ්‍රිත පාසලක ඉගෙන ගෙන තිබීම හෝ නොතිබීම එහිදී ලොකු බලපෑමක් කරනවා.
දැන් දුප්පත් දරුවෙකු ශිෂත්වය සමත් වීමත් එම දෙමාපියන්ට කරුමයක් වෙලා, ඒ සමත්වූ දරුවන්ගේ ඇතිහැකි දෙමාපියන් මුල්වී සංවිධානය කරන ගුරු උපහාර වලට නය තුරුස් වි හෝ දායක නොවුනොත් සිදුවන අබග්ගය නිසා.
ReplyDeleteස්තුතියි, ඇණයා!
Deleteඉකොනො,
ReplyDeleteඅගමැති රනිල් වික්‍රමසිංහ ඔහුට ලැබුණ චෙක්පතක් රැගෙන ප්‍රධාන රාජ්‍ය බැංකුවකට ඇතුළු වුයේ එය මුදල් කරගැනීමට ය. ඔහු ඉතා නිහතමානීව පෝලිමේ සිටියේ තම වාරය එනතුරු ය. ටික වෙලාවකට පසු ඔහු කවුන්ටරය වෙත ලඟා වී ඔහු අත තිබු චෙක්පත ඉදිරිපත් කළේය.
අගමැති : "මට කරුණාකරලා මේ චෙක්පත මාරු කරලා දෙන්න පුලුවන් ද ?"
කැෂියර්වරිය: "මට කරුණාකරලා සර් ගේ හැඳුනුම්පත දෙන්න"
අගමැති : "ඇත්තටම මට මගේ හැඳුනුම්පත ගෙන්න බැරි වුණා. ඒත් මම හිතන්නේ නෑ හැඳුනුම්පත ඕන වෙයි කියල.මාව හැමෝම දන්නවා..මම රනිල් වික්‍රමසිංහ..මේ රටේ අගමැති"
කැෂියර්වරිය: "මම සර් කවුද කියලා දන්නවා,. එත් බැංකු නීති සහ රෙගුලාසි අනුව හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕන."
අගමැති : "බැංකුවේ ඕනෑම කෙනෙක්ගෙන් අහන්න මම කවුද කියලා...හැමෝම මාව දන්නවා"
කැෂියර්වරිය: "සමාවෙන්න අගමැතිතුමා, මම බැංකු රෙගුලාසි අනුගමනය කරන්න ඕන"
අගමැති : "මම ඔයාට කියන්නේ කරුණාකරල මේ චෙක්පත මාරු කරලා සල්ලි දෙන්න! "
කැෂියර්වරිය: "සර් මේ අහන්න, දවසක් වික්ටර් රත්නායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතුව චෙක් එකක් මාරු කරන්න..අපි බෑ කිව්වා..ඊට පස්සේ එයා තොටුපල අයිනේ ගීතය ලස්සනට ගායනා කරලා පෙන්නුව ..ඒක ගායනා කරපු විදියෙන් අපි අඳුන ගත්තා ඒ වික්ටර් රත්නායකමයි කියල..ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා.. තව දවසක් අනුර කුමාර දිසානායක මහත්තයා ආවා හැඳුනුම්පත නැතුව චෙක් එකක් මාරු කරන්න..අපි බෑ කිව්වා.. ඊට පස්සේ එයා කට උල් කරලා ඇස් ලොකු කරලා "මහින්ද හොරා" කියලා තුන් පාරක් කිව්වා.. ඒ කියපු විදියෙන් අපි දැන ගත්තා ඒ අනුර කුමාර දිසානායකමයි කියලා.. ඊට පස්සේ අපි චෙක්පත මාරු කරලා එයාට සල්ලි දුන්නා...සර්ටත් ඒ වගේ මොනවා හරි කරලා ඔප්පු කරන්න පුලුවන් ද ඔබතුමා තමයි අගමැති කියලා ?"
(අගමැතිතුමා දිගු කල්පනාවකට වැටී පසුව කටහඬ අවධි කළේය)
අගමැති : "ඇත්තටම මගේ ඔලුවට කිසිදෙයක් එන්නේ නෑ. මට කරන්න පුළුවන් එක දෙයක් ගැනවත් හිතාගන්න බෑ"
කැෂියර්වරිය: "සර්ට ඕන 1000 නෝට්ටුවලින් ද 5000 නෝට්ටුවලින් ද ? "
:)
Deleteවිදුරව ඉස්සෙල්ල පාසලේ දැක්කෙත් සමිප වෙන්න අසීරු පුද්ගලයෙක් විදිහට.ඒ් අධයාපන කුසලතා මතයි.මෙච්චර පොඩි මිනිහෙක්ට මෙච්චර හැකියාවක් කොහෙන්ද කියල හිතපු කෙනෙක් මමත්.
ReplyDeleteමගෙ දුවත් ශිෂ්‍යත්වයෙන් 182 ක් ලබා ගත්තා.දැන් ඇය දේවී බාලිකාවෙ ඉගෙන ගන්නවා.ඒ මීට වසර දෙකකට පෙර තත්ත්වය.ඒත් මම හිතන්නෙ මේ ක්‍රමය තව දුරටත් නඩත්තු කිරීමෙන් දරුවන්ට අසාධාරණයක් වෙනවා.168 කඩඉම් ලකුණු වගේම තවත් අර්බූදය ඉහළ යන්නෙ ප්‍රසිද්ධ පාසලකට ඇතුලත් වීමට තිබෙන හැකියාව ඊටත් වඩා වැඩි ලකුණු ගණනකින් තීරණය වීම නිසයි.අනෙක් කාරණය දැන් අධ්‍යාපනය තීරණය කරන්නෙ මුදල්වලින් පෙරා ඉගැන්වීමකට.පංති පංති දිගටම සිදුවන්නෙ දරුවො පංති පසුපස එළවීම.ඒ හැකියාව නැති දරුවන් විභාගයෙන් හොඳ ප්‍රතිපල ගන්න එකත් අඩුයි.ඒක මම දුවගෙ පංතියෙදි අත්විඳින දෙයක්.ඉහළ රැකියාවන් කරන හොද ආර්ථිකයක් තියෙන පවුල්වල දරුවො තමයි සියලු දෙනාම පාහේ.මේකයි ගැටළුව අපි ශිෂ්‍යත්වය සමත්වෙන කොට අමාරුකම් මැද්දෙ ඉගෙනගත්තු ළමයි හිටියට අද ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තම ඉතාමත් අවමයි.ඉහළ පාසල්වල රැකෙන්නෙ මුදල් ඇති පංතියක්.අහුමුලුවල අපි වගෙ කිහිප දෙනෙක් ඉන්නවා.ඒවා නිකං පොළනකොට කුල්ලෙ ඉතිරිවෙන රොඩු ටිකක් වගේ.මීට පෙර මිට වඩා හොඳ තත්ත්වයක් තිබුණා.
විදුර මතු කරන තර්කය තුළම ඒ තත්ත්වය තියෙනවා.තාත්තාගේ රැකියාව නිසා ඔහුට ශිෂ්‍ය ආධාර හමුවන්නෙ නැහැ.ඒ වුණාට ඔහුට ලබා දෙන ලංකාවෙ ඉහළම පාසලට යවන්න තාත්තාට වත්කමකුත් නැහැ.එදා මේ වගෙ සිදුවිම් තිබුණාට වඩා අද අඩුයි.වෙනසකට තියෙන්නෙ එදා දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වන විදුර ගැන කතා කරන්න තැනක් නොතිබුණාට තරගෙට නිව්ස් හොයන අයට ශිෂ්‍යත්වය සමත්වෙන විවිධ වූ තත්ත්වයන්ගෙ අය ප්‍රවෘත්ති විදිහට මවලා ඉදිරිපත් කිරන්න ඉඩ තිබීමයි.ඒ නිසා එදා ඇහෙන්න තැනක් නොතිබුණු බැවින් නෑහුණුට අද ඒ තරම් නොවුණට ඇහෙන්න තැන් තිබෙනවා.
ඉතා ඉක්මණින් පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා ඒ ඒ පාසල සඳහා ඇතුළත්විමේ විභාග පවත්වා ලකුණු ක්‍රමයක් පවත්වාගෙන යායුතුයි.එහෙම වුණොත් ගමේ දරුවන්ට අඩුම තරමේ ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක දොර ඇරෙන ප්‍රමානය හරි වැඩි වෙයි.
අපි ශිෂ්‍යත්වයේ දරුවො...අපේ දරුවොත් එහෙමයි....ඒත් අද ඒ තත්ත්වය තව කෙනෙක්ට අත් විඳින්න තියෙන ඉඩට වඩා ඇහිරිච්ච ඉඩක් තියෙන තත්ත්වයක මේක වෙනස් වෙන්න ඕන කියන්නෙ නොතේරෙන දරුවන්ට වඩා තේරෙන දෙමව්පියන්ට මේකෙ දැනෙන වේදනාව කොච්චර ද කියල හිතෙන හින්දයි.
අනිත් දරුවො ගැන දෙමව්පියන්ට හිතන්න වෙලාවක් උවමනාවක් නැද්ද මම දන්නෙ නැහැ.මගේ පුතා විශේෂ අවශ්‍යයතා සහිත දරුවෙක් නිසා මම දන්නවා සමහර දරුවො ඉන්න අම්මල තාත්තල මගේ ඇස්වලට හදවතට කොයි තරම් දරුණු විදිහට රිදෙන්න කතා කරල තියෙනවද කියලා.ඒ වගේ තමයි ශිෂ්‍යත්වය සමත් දරුවන්ගෙ බොහෝ දෙමව්පියොත්.167 ක් ගත්ත එකා අවාසනාවන්තයෙක් කියන එක මීට හොඳම උදාහරණයක්.
ස්තුතියි, නිශ්මං.
Deleteසිස්සත්තේ පාස් උනා. ගෙදරින් පොඩි තල්ලුවක් තිබුණා. හැබැයි එක "ෆේල් උනොත් තෝව හම ගහනවා" වගේ නෙවෙයි. කොළඹ ඉස්කෝලෙකට අවා. ගවුමක් හින්දා පලවෙනි වතාවේ උ/පෙළ ඇන ගත්තා. එකට කාපු බීපු උන් බොහෝ දෙනා දැන් වි.වි යනවා. ලැජ්ජාව, පසුතැවීම, කෝපය උපරිමයි. හිතට අරන් දෙවැනි වතාවේත් ලියුවා. උඩින්ම පාස්. වි.වි ගියා. ඉන්ජෙක් උනා. ආපස්සට හිතුවම ගොඩ ගිහින් තියෙන්නේ සිස්සත්තේ නිසා. ගමේ ඉස්කෝලෙම හිටියනම් එහෙම නොවෙන්නත් තිබුණා. ඉකොන් කිවුවත් වගේ සිදු වූ දේ මිස සිදු නොවූ දේ දැන ගැනීමේ හැකියාවක් අපට නැහැනේ. කොහොම උනත් සිස්සත්තේ තියෙන්න ඕනේ කියන එකයි මගේ අදහස.
ReplyDeleteස්තුතියි, උදය!
Delete//ශිෂ්‍යත්වයේ තිබෙන සාධනීය අංග තියාගෙන සිසුන් මත තිබෙන පීඩනය අවම කළ හැකි ප්‍රතිසංවිධානයකටයි යා යුත්තේ.//
ReplyDeleteඅසරණයන්ට පිහිටවීම ඉතා හොද දෙයක්.... පුලුවන් තරම් කරන්න ඕන දෙයක්.. හැබැයි හම්බකරන හැටි කියල දෙන්න මිනිස්සු එකෙක් නෑ... හැබැයි වියදම් කරන්න කියල දෙන්න පට්ට ඔස්තාර්ලා ඉන්නවා...
මන් මේ ළගදි දැක්කා ABC මාධ්‍ය ජාලයේ හිරු TV ඉන්දියන් Cinema stars කෝටී ගනන් සල්ලි වලට ලංකාවට ගෙන්නලා.
මේ වියදම්කරන සල්ලි හිරු මාධ්‍ය ජාලයේ තමයි. හැබැයි ඒවා වෙලද දැන්වීම් මගින් හම්බ කරපු මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි. රජයට පුලුවන් වාරන පනවලා පිටටයනඑක නවත්වන්න. මේවගේ නාලිකා නොබලා ඉන්න මිනිස්සු වගබලා ගන්න ඕනෙ, විනිමය අර්බුදයකට රට මුහුණ දීලා ඉන්න වෙලාවේ වහාම මුදල් මහබැංකුව මෙම මුදල් සංසරණය පාලනය කරන්න ඕන. මේක ලංකාවේ තුල විතරක් සල්ලි සංසරණය උනානම් ප්‍රශ්නයක් නැ. නමුත් මෙ වෙලාවේ ලක්නාවේ සල්ලි පිටරටකටයි යන්නේ. නිකන් විනොදාස්වාදයට .
කෝපි කඩේ කුරුන් ගුරුන් බේත් ගන්නවත් සල්ලී නැතිව රජයේ රෝහලක බේත් ගන්න ඇවිත් ඉන්නවා. ලංකාවේ කළාකාරයෝන්ට එදාවේල කන්න නැතිව ඉන්න මේ කාලේ කෝටී ගනන් සල්ලි හොයන ඉන්දියන් කළා කාරයන්ට තවත් සල්ලි පුරෝනවා
උන්ව එච්චර සල්ලි වලට ලංකාවට ගෙන්නලා අපේ කළාකාරයෝන්ට අගයක් දෙනවලු, කාට කියන්නද මේ විහිලු?
ඉකොන් ඇමරිකන් ඩොලර් බිලියන 27 කට ආසන්න ආනයනයක් සිදු කරන රටකට රුපියල් කෝටි 255 ක් කියන්නේ 0.0002% වගේ... මේක රටක විනිමය අර්බුදය මැඩපැවැත්වීමට රුකුලක්, 2018 Land Rover Range Rover 5 ක් ගෙන්නුවත් එහෙනම් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව බහින්න ඕන.
අනික ඩයලොග් ආයතනය එක් ගිනුම් වර්ශයකට ආසන්නව රුපියල් මිලියන 75 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වියදම් කරනවා. ලාබය මූලික පරමාර්ථයක් හැබැයි වියදම් කරන මුදලින් ආයතනයේ සන්නම ලබන දීර්ගකාලීන ප්‍රතිලාභ ඉහලයි. ක්‍රිකට් කොහොම වුනත් ඒක දිරි ගන්වන්න කරන වෑයම වැදගත්.
ලංකාවේ ලොකුම අඩුවක් වුන quality cinema industry එකක් නැතිකම යන්තාක් දුරට හරි අඩු කරන්න ගන්න උත්සහය වැදගත්. මෙවැනි event එකක් කරනවිට යන දැවැන්ත පිරිවැය ආයතනය විසින් තනිව වියදම් කරන්න්න ඕනේ කියන එකයි මගේ අදහස, sponsoring is all about a win-win strategy.
ස්තුතියි, ඇනෝ!
Deleteශිෂ්‍යත්ව විභාගය නිසා ගමේ ඉස්කෝලෙන් ඈත්වෙලා වෙනස් ඉස්කෝලෙකට යන්න ඉඩ ලැබෙන එකෙන් සෑහෙන වෙනසක් වෙනවා. හැබැයි දැනට තියෙන කඩඉම් ලකුණු ප්‍රමාණය නම් විකාරයක් කියල හිතෙන්නේ... අඩුම තරමේ පාස් ෆේල් නැතුව ABC වගේ අකුරු ක්‍රමයක් දැම්ම නම් පොඩි ළමයින්ගේ හිත හරි හැදෙනවා.
ReplyDeleteස්තුතියි, පැතුම්!
DeleteTrust me Econ, getting good results is a good thing, not going to a Colombo school is is even better. I was in the same situation and went to boarding school in Colombo, it was hell on earth for few years. I have decided I will never send my kids out of my house no matter what. My brother was boarded in a relative's place, that's no different either.
ReplyDeleteThanks, Ano! I know that side of the story too.
Deleteශිෂ්‍යත්වේ ගැන මට තියන අත්දැකීම වෙනත්ම එකක්
ReplyDeleteපවුලේ හොදටම ඉගෙන ගන්න පුළුවන් එකා නිසා දෙමව්පියෝ ලොකු බලාපොරත්තුවක් තිබ්බා
මම පාස් වේවි කියල . හැබැයි ඒක ඒ විදියට උනේ නැහැ .
ඒ සමගම මගේ දෙමව්පියන්ගේ අවදානය යොමු උනේ මගේ සහෝදරිය වෙත , ඈත පළාතක බෝඩිම් කරගෙන ඇයට උගන්නුවා .
මං ගැන සොයන්න අඩුම වශයෙන් දරුවෙක් හැටියටවත් ඔවුන්ට උවමන්වක් තිබ්බේ නැහැ . එත් මොකක්දෝ
වාසනාවකට ඉතාමත් හොද ගුරුවරු මුණ ගැහුනා , ජීවිතේට මග පෙන්නපු .
කුඩ්ඩෙක් , හොරෙක් නොවුනේ කොහොමද කියල හිතනවා . අද මට ගණකාදීකරණය පිළිබද ලෝකේ ඉහලම ආයතන වලින් ලැබුන උපාදි කීපයකුත් සමග FORTUNE 500 කම්පැනි එකක සේවය කරනවා .
ඔය ශිෂ්‍යත්වේ නිසා දරුවන්ට ලැබෙන දේවල් වලට වඩා අහිමි වෙන දේ බොහෝයි .
ප්‍රථමික පාසලේ ඉගෙන ගන්න මගේ දරුවා විදින නිදහස දිහා දැක්කම මට මේ පොරයට වැටිලා ඉන්න ලංකාවේ අරුවෝ ගැන ඇතිවෙන්නේ පුදුම දුකක්