වෙබ් ලිපිනය:

Sunday, October 28, 2018

ශ්‍රී ලංකා රාජ්‍යයේ අනාගතය කුමක්ද?


මම හිතන විදිහට මෑතකාලීන ඉතිහාසයේ ශ්‍රී ලංකා රාජ්‍යය මුහුණ දුන් ලොකුම අර්බුදයටයි මේ වන විට මුහුණ දී තිබෙන්නේ. ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ අඛණ්ඩ ඉතිහාසය නිදහස ලැබෙන්නත් පෙර සිට පැවත එන්නක්. ඊටත් පෙර සිටම ලංකාවේ රාජ්‍ය පාලනය හා අදාළ බල හුවමාරුව සිදු වුනේ තත්කාලීනව පැවති නීති හා සම්ප්‍රදායයන්ට යටත්ව. වෙන එකක් තබා ඉංග්‍රීසින්ට උඩරට රාජ්‍යය භාර දුන්නෙත් ගිවිසුමක් හරහා.

ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබුණාට පසුව දිගින් දිගටම ලංකාවේ රාජ්‍ය පාලනයේ බලය හුවමාරු වුනේ රටක උත්තරීතර නීතිය ලෙස සැලකෙන තත්කාලීනව පැවති ව්‍යවස්ථාව අනුවයි. ඇතැම් පාලකයින් තමන්ගේ වාසියට ව්‍යවස්ථාව වරින් වර සංශෝධනය කරගත්තා. නමුත්, කිසිවෙකු පවතින ව්‍යවස්ථාවට පිටින් යන්න උත්සාහ කළේ නැහැ.

නිදහසින් පසු ශ්‍රී ලංකා රාජ්‍යය විවිධ අභියෝග වලට මුහුණ දුන්නා. ජවිපෙ මුල් වී දෙවරක්ම බලහත්කාරයෙන් රාජ්‍ය බලය උදුරාගන්න උත්සාහ කළා. එල්ටීටීඊ සංවිධානය ප්‍රධාන තවත් දෙමළ සංවිධාන ශ්‍රී ලංකා රාජ්‍යයේ අධිකාරී බලයට සෑහෙන කාලයක් තිස්සේ අභියෝග කළා. නමසිය හැට දෙකේදී හමුදා කුමන්ත්‍රණයක් හරහා රාජ්‍ය බලය උදුරා ගැනීමේ උත්සාහයක් තිබුණා. නමුත්, මේ අභියෝග සියල්ලටම මුහුණ දෙන්න හැකි තරමට ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයක් රටේ තිබුණා.

මුලින් කිවුවා වගේම, ලංකාවේ රාජ්‍ය බලය හිමි කරගත් ඇතැම් පාර්ශ්වයන් විසින් වරින් වර තමන්ගේ වාසියට රටේ ව්‍යවස්ථාව වෙනස් කරගත්තා.

සමගි පෙරමුණු ආණ්ඩුව තමන්ගේ ආණ්ඩු කාලය වසර දෙකකින් දිගු කරගත්තා. එහි ප්‍රතිඵලය වුණේ ඊළඟ මැතිවරණයේදී එම ආණ්ඩුව දැවැන්ත පරාජයකට පත් වීමයි. ජේආර් සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ එජාපයේ වාසියටයි. එහි ප්‍රතිඵලයක් ලෙස එජාපයට විශාල කාලයක් විපක්ෂයේ ඉන්න සිදු වුණා. මහින්ද රාජපක්ෂට තෙවන වරට ජනාධිපති වීමට තිබුණු බාධාව ඉවත් කර ගැනීමට දහඅට වන සංශෝධනය සම්මත කරගත්තත් ඔහුට ඒ වාසිය භුක්ති විඳින්න ලැබුණේ නැහැ.

කිසියම් ව්‍යවස්ථා සංශෝධනයකින් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්වන බව පෙනුණු හැම විටකම ලංකාවේ ඡන්දදායකයා සවිඥානිකව එයට එරෙහිව ප්‍රතිචාර දැක්වූවා. නමුත්, මේ කියූ අවස්ථා එකකදීවත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය බිඳ වැටුනේ නැහැ. ඔය සියළුම සංශෝධන ගෙන ආවේ තත්කාලීනව පැවති සම්මත ක්‍රමවේදය තුළ ඉඳගෙනයි. වඩා නිවැරදිව කියනවානම් පැවති ව්‍යවස්ථාව අනුව කටයුතු කරමිනුයි.

සම්ප්‍රදායට පිටින් යාමේ උත්සාහයන් අතර මීට පෙර දැකිය හැකි වූ ලොකුම සිදුවීම හිටපු අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ සිද්ධියයි. රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් පෙළ ගැහෙන්න ප්‍රධාන උත්තේජකයක් සැපයූවේ මේ සිද්ධිය කියා කියන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට යහපාලන ආණ්ඩුව බලයට පත් වුණා.

දහනවවන සංශෝධනය හරහා සිදු කෙරුණේ ප්‍රධාන වශයෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්ගේ ඉල්ලීම්. මෙහිදී සිදු වූ ප්‍රධානම වෙනස්කම විධායක ජනාධිපතිගේ බලතල කප්පාදුවට ලක් කිරීමයි. සංශෝධනය නිසා ජනාධිපතිට ව්‍යවස්ථාදායකය මත තිබුණු අධිකාරී බලය සෑහෙන තරමින් සීමා වුණා. තමන්ගේ අභිමතය පරිදි අගමැතිව ඉවත් කරන්න ජනාධිපතිට තිබුණු හැකියාව නැති වීම මේ සංශෝධනය හරහා සිදු වුනු ප්‍රධානම වෙනස් කමක්.

දහනව වන සංශෝධනය හරහා ලංකාවේ රාජ්‍ය ආකෘතියේ ඔය තරම් ලොකු වෙනසක් සිදු වූවත් ඒ වෙනසට රටේ කී දෙනෙක් සංවේදීද කියන එක ප්‍රශ්නයක්. දැන් මතු වෙලා තිබෙන ප්‍රශ්නයේ මුල එයයි.

රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්න නීති තිබීම පමණක් මදි. ඒ සඳහා රටේ පුරවැසියන්ගෙන් විශාල ප්‍රතිශතයක් නීති ගැන දැනුවත් වී තිබීමත් වැදගත්. විශේෂයෙන්ම ව්‍යවස්ථා නීතිය ගැන. ව්‍යවස්ථාවට හැමදාම සංශෝධන ගේන කොට මිනිස්සුන්ට රටේ පවතින නීතියත් එක්ක යාවත්කාලීන වෙන්න බැරුව යනවා.

පහුගිය අවුරුදු දෙසිය තිහටම ඇමරිකානු ව්‍යවස්ථාවට සංශෝධන ගෙනත් තියෙන්නේ දාහතක් පමණයි. හැත්තෑ හතේ හදපු ලංකාවේ ව්‍යවස්ථාවට මේ වන විට සංශෝධන දහනවයක්. ඔය කාලය ඇතුළත ඇමරිකාවේ ව්‍යවස්ථාව සංශෝධනය කරලම නැහැ.

පහුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඡන්ද ලක්ෂ 28ක් ගත්තා. මුළු ඡන්ද ප්‍රමාණයෙන් 2.1%ක්. නමුත්, ජනාධිපති වුණේ ට්‍රම්ප්. එහෙම වුනා කියලා අවුරුදු දෙසීයකට වඩා පරණ ඇමරිකාවේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න යන්නේ නැත්තේ පවතින ක්‍රමයට මිනිස්සු පුරුදු වෙලා ඉන්න නිසයි.

ලංකාවේ ගොඩක් අය රනිල්ව ඉවත් කර මහින්දව පත් කිරීම දිහා බලන්නේ දිමු ජයරත්නව ඉවත් කරලා රනිල්ව පත් කරපු විදිහටමයි. ඒ අතර සිදු වුනේ කොයි තරම් ලොකු වෙනසක්ද කියන එක ගැන මිනිස්සු දැනුවත් නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ තරම් ලොකු වෙනසක් වෙලා තියෙද්දී මිනිස්සුන්ව, අඩු වශයෙන් රජයේ සේවකයින්ව හා ආරක්ෂක සේවා සාමාජිකයින්ව නිසි පරිදි දැනුවත් නොකිරීම ආණ්ඩුව පැත්තෙන් සිදු වූ අඩුපාඩුවක්. අද රනිල්ගේ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්නයට එයත් හේතුවක්.

මේ විදිහටම රටේ ආර්ථිකය හා සම්බන්ධව ගන්න තීරණ ගැන වුවත් ආණ්ඩුව මිනිස්සුන්ව දැනුවත් කළේ නැහැ. ඒ නිසා, ආණ්ඩුව හා මිනිස්සු අතර විශාල දුරස්ථ බවක් ඇති වෙලයි තිබුණේ. පහුගිය ආණ්ඩුව කාලයේ ආණ්ඩුව මොනවා කළත් මිනිස්සු එක්ක සම්බන්ධය තියාගෙනයි එය කළේ. ඊට පෙර තිබුණු එජාප ආණ්ඩු කටයුතු කළෙත් ඒ විදිහටයි.

සමහර විට ලංකාවේ මිනිස්සුන්ට එහෙම ඇඟිල්ලෙන් ඇනලා කියා දෙන්න අවශ්‍ය නැති බව ආණ්ඩුවේ ප්‍රධානීන් හිතන්න ඇති. කොහොමත් රනිල් වික්‍රමසිංහ හා ඔහු එක්ක ඉන්න අය හිතන ආකාරයේත් රාජපක්ෂලා හිතන ආකාරයේත් ලොකු වෙනසක් තියෙනවා.

රාජපක්ෂලා ජනබලය ගැන විශ්වාසය තියන අය. මිනිස්සු තමන් එක්ක ඉන්නවනම් නීතිය කඩන්න අමාරු නැති බව ඔවුන් දන්නවා. අනික් අතට රනිල්ලා හිතන්නේ නීතියට හා සම්ප්‍රදායට අනුකූලනම් මොනව කළත් ප්‍රශ්නයක් නැති බව.

මහ බැංකු සිද්ධිය කියන්නේ රනිල්ගේ හැරුම් ලක්ෂ්‍යය. මදුරුවෙක් මැරීම හා හරකෙක් මැරීම කියන දෙකම එක සමාන ප්‍රාණඝාත දෙකක් විදිහට සිංහල බෞද්ධයින් නොසලකන බව හිතන්න බැරි තරම් ඔහු ලංකාවේ සාමාන්‍ය සමාජයෙන් දුරස්. ඒ නිසා නීතිය යටතේ මදුරුවාත් හරකාත් සමාන ලෙස සිතමින් ඔහු කටයුතු කළා. වැඩේ පත්තු වුණා.

මෛත්‍රීපාල සිරිසේන කරලා තියෙන්නේ ව්‍යවස්ථාවට පටහැනි දෙයක්. ඒ හේතුව මත ඔහුගේ ජනාධිපති ධුරයට වුවත් අභියෝග කළ හැකියි. නමුත්, එය කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. මේ වෙලාව රනිල්ට තුනෙන් දෙක තියා දෙකෙන් එකවත් ෂුවර් නැති වෙලාවක්.

වැරැද්ද කරලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන විසින් වුවත්, මේ වෙලාවේ රනිල් ක්‍රියාකරන්නේ කොහොමද කියන එකත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව ඉතාම තීරණාත්මක කරුණක්. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම හෝ නොපෙන්වීම මේ වෙලාවේ වැදගත්ම දෙය නෙමෙයි.

විධායකය ක්‍රියා කරලා තියෙන්නේ වැරදියටනම්, අදාළ ක්‍රියාවේ වින්දිතයා වී ඉන්නේ  ව්‍යවස්ථාදායකයනම් ව්‍යවස්ථාදායකයට පමණක් තනිව ප්‍රශ්නය විසඳා ගැනීම අසීරුයි. මේ වෙලාවේ කළ යුත්තේ අධිකරණයේ සහයෝගය ලබා ගැනීමයි. සහයෝගය ලබා ගැනීම කියන එකෙන් අදහස් කළේ රනිල්ට දිගටම බලයේ ඉන්න සහයෝගය ලබා ගැනීම නෙමෙයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ බලතල අර්ථනිරුපණය කර ගැනීම හා ජනාධිපති වැරදියට ක්‍රියාකර ඇත්නම් ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැනගැනීමටයි අදහස් විමසිය යුත්තේ. යම් විදිහකින් රනිල්ව ඉවත් කිරීම ව්‍යවස්ථාව අනුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතයනම් පාර්ලිමේන්තුව රැස් වූ පසු අලුත් ආණ්ඩුව පරාජය කරන්න උත්සාහ කිරීම දෙවනුව සලකා බැලිය යුතු කරුණක්.

රනිල්ගේ ආණ්ඩුව බිඳ වැටීම හෝ මහින්ද බලයට පත්වීම දේශපාලනික කරුණක්. නමුත්, විධායකය විසින් ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම හා ව්‍යවස්ථාදායකය හා අධිකරණය විසින් එයට ඉඩදීම ඊට වඩා ගොඩක් බරපතල කරුණක්. එයින් අදහස් වෙන්නේ එතැනින් එහාට ලංකාවේ නීතියේ පාලනයක් නැහැ කියන එකයි. රටේ ව්‍යවස්ථාව නොසලකා කටයුතු කරන පාලකයෙකුට නොකළ හැකි දෙයක් නැහැ.

මේ මට්ටමේ කරුණකදී ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකරනවා කියන්නේ ලංකාවේ රාජ්‍ය ව්‍යුහයට බලපාන මූලික මට්ටමේ කරුණක්. රාජ්‍ය ව්‍යුහයට හා ජනතා පරමාධිපත්‍යයට මේ වෙලාවේ සිදුවන හානියේ වගකීම ජනාධිපති සිරිසේනට වගේම ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වන රනිල්ටත්, මොනවා හෝ බලපෑමක් කළ හැකි අනික් හැම දෙනෙක්ටමත් තියෙනවා.

20 comments:

  1. "මෛත්‍රීපාල සිරිසේන කරලා තියෙන්නේ ව්‍යවස්ථාවට පටහැනි දෙයක්."

    මොකක්ද පටහැනි ?

    කබිනට් මණ්ඩලය තියනතාක් විතරයි අගමැති දුරයෙන් ඉවත් කරන්න බැරි, කැබිනට් මණ්ඩලය අහෝසි උනහම අගමැති දුරයෙන් ඉවත් කරන්න වලංගු භාවයක් 19 වෙනි සංශෝධනයෙන් ලැබෙනවා.

    ReplyDelete
  2. Anonymous October 28, 2018 at 1:33 AM

    රනිල් මේ වෙලාවේ යා යුත්තේ අධිකරණයට, ව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ බලතල අර්ථ නිරුපණය කර ගැනීම හා ජනාධිපති ව්‍යවස්ථාවට පටහැනි දෙයක් වැරදියට ක්‍රියා කර ඇත්නම් මොකක්ද පටහැනි, ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැන ගැනීමයි.

    යම් විදිහකින් රනිල්ව ඉවත් කිරීම ව්‍යවස්ථාව අනුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නම් පාර්ලිමේන්තුව රැස් වූ පසු අලුත් ආණ්ඩුව පරාජය කරන්න උත්සාහ කිරීම කළ හැකි දෙයක්.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මැති වරණයකින් පසු අගමැති වරයකු පත්කිරීම නම් අරඹන්නේ 42 (4) අනු-ව්‍යවස්ථාවෙන්. ඒ අනුව ජනාධිපති වරයාට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ලැබිය හැකි මන්ත්‍රීවරයා අගමැති ලෙස පත් කළ හැකියි. මෙහි වැදගත් වචන වන්නේ "තම මතය අනුව" හා "විශ්වාසය" යන්න. මෙහි කියැවෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ උපරිම ඡන්ද බලය ඇති අය අගමැති කළ යුතු ය කියා. ජනාධිපති තීරණය කරන්නේ තම මතය අනුව, එපමණක් නොව පත් කරන්නේ තම විශ්වාසය දිනා ගත හැකි අයකු පමණයි.

    ජනාධිපති විසින් අගමැති පත් කිරීමෙන් පසු 43 (1) හා (2) අනුව අගමැතිගේ අදහස් විමසා උපදෙස් මත අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යවරුන් ද පත් කළ යුතුයි. මෙහි දී අපි තවත් අනු-වයස්ථාවක් දක්වමු. ඒ 43(3) යි. ඒ අනුව ජනාධිපතිට කවර අවස්ථාවක දී වුව ද අමාත්‍යවරුන්ගේ කාර්ය භාරයද, අමාත්‍ය මණ්ඩලයේ සංයුතියද වෙනස් කරන්න පුළුවන්, ඒ අගමැති විමසන්නේ නැතිව. ඊළඟට අපට වැදගත් වන්නේ 46(1) (අ) හා (ආ), ඒ අනුව ඇමතිවරුන් සංඛ්‍යාව 30 නොඉක්ම විය යුතු අතර අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 නොඉක්ම විය යුතුයි. එහෙත් 46 (4) (1) අනුව (ඊනියා) ජාතික ආණ්ඩුවක් ඇති විට ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් ආදීන්ගේ සංඛ්‍යාව පාර්ලිමේන්තුව තීරණය කළ යුතු ය.

    දැන් අපට ප්‍රශ්නය වන්නේ අගමැති වරයකු හා ඇමති මණ්ඩලයක් සිටින විට නව අගමැති වරයකු හා නව ඇමති මණඩලයක් පත් කරන්නේ කෙසේද යන්න, 'ජාතික ආණ්ඩුව'ක් තිබේද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක් වන්නේ නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැති අස්කරන්නත් බැහැ, 19 පෙර අගමැති අස්කරන්න පුළුවන්කම තිබුණා, එබැවින් "පත් කළ තැනැත්තාට ඉවත් කළ හැකිය" යනුවෙන් ඇති අර්ථ දැක්වීම් ආඥා පනත අදාළ වන්නේ නැහැ. එමෙන්ම (ඊනියා) ජාතික ආණ්ඩුවක් තිබී ඉන් එක් පක්‍ෂයක් ඉවත් වුවත් අගමැති ඉවත් වන්නේ නැහැ. එක් පක්‍ෂයක් ඉවත් වුවොත් සිදුවන්නේ ඇමති නියෝජ්‍ය ඇමති ආදී සංඛ්‍යාවලට සීමා පැමිණවීම පමණයි. අගමැති පත් කෙරෙන්නේ 42(4) යටතේ. ඇමති වරුන් ආදීන් පත්කෙරෙන්නේ අගමැති පත් කිරීමෙන් පසු 43(1) හා (2) යටතේ. ඊනියා ජාතික ආණ්ඩුවක් අහෝසි වීමෙන් පසු ඉන්න අගමැතිගේ උපදෙස් මත ඇමතිවරුන් 30 දෙනකු ආදී වශයෙන් පත් කරන්න වෙනවා. ඒ කියන්නෙ රනිල්ගෙ උපදෙස් මත තිස්දෙනකුගෙන් යුත් නව ඇමති මණ්ඩලයක් පත් කිරීම, අද කෙරී ඇත්තේ එය නොවෙයි. දැන හෝ නොදැන හෝ වෙනත් දෙයක්. ඊනියා ජාතික ආණ්ඩුවෙන් අස්වීම යන්න වැඩකට නැති කොන්දේසියක්. කටයුතු සිදු වී ඇත්තේ ඒ කොන්දේසිය අනුව කටයුතු කිරීමෙන් යැයි කවුරුන් කීවත් එය වැරදියි. එසේ සිතා ගැනීමට වුවමනාවක් තිබෙනවා නම් එසේ කිරීමට හැකියි, ඒ වෙනුවට 43(3) යොදා ගෙන ඇමතිවරුන්ගේ කාර්ය හා සංයුතිය වෙනස් කිරීම, (43) (3)න් කියන්නේ අගමැතිගේ කාර්යද වෙනස් කරන්න පුළුවන්. 2015 ජනවාරි 09 දි මු ජයරත්න සිටිය දී රනිල් ද, 2018 ඔක්තෝම්බර් 26 රනිල් සිටිය දී මහින්ද පත්කරනු ලැබුවේ ද ඒ අනුවයි. දි මු ගේ කාලයේ දහනවයට පෙර ඒ අනුව්‍යවස්ථාව 44(3) වූවා. අංකය කුමක් වුවත් දෙකෙන් ම කෙරුණේ එකම කාර්යයක්. වත්මන් 43(3) යොදා ගැනීමේ දී පළමුව ඉන්න අගමැති වෙනුවට වෙනත් අගමැතිවරයකු පත් කර දෙවනුව ඒ නව අගමැතිගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩලය පත්කර ගත හැකියි. අද මෙහි පළමු පියවර ඉටු වී අවසන්. මහින්ද අගමැති ලෙස පත් කෙරිලා. දැන් ඇත්තේ දෙවැනි පියවර ඒ මහින්දගේ උපදෙස් මත නව ඇමති මණ්ඩලයක් පත් කිරීම. මෙය ඊනියා ජාතික ආණ්ඩුවක් නොවන බැවින් ඇමතිවරුන් සංඛ්‍යාව 30 නො-ඉක්මවිය යුතුයි.

    යම්තාක් නිසා මෙහි ව්‍යවස්ථා අවුලක් අර්බුදයක් නැහැ. කළ යුත්තේ 43(3) හා 42(4) යොදා ගැනීම පමණයි. ඒ අනුව්‍යවස්ථා හා 46 (2) හැරෙන්න වෙනත් ව්‍යවස්ථාවක් සලකා බලන්න අවශ්‍ය නැහැ. 46 (2)න් කියන්නේ අමාත්‍ය මණ්ඩලය පවත්නා තාක් 46 (2) හි (අ) හා (ආ) ට යටත්ව අගමැති ස්වකීය ධුරය දරන බව. එහෙත් 43(3) යොදා ගෙන ඒ තත්වය නොසලකා සිටිය හැකියි. 43 (3) අනුව රනිල් සිටිය දී මහින්ද අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථා විරෝධී නැහැ. 43(3) යටතේ මහින්ද අගමැති ලෙස පත් කළ විගස රනිල්ගේ අගමැති කම අහෝසි වෙනවා. රනිල් හැකි ඉක්මණින් අරලියගහ මැදුරෙන් පිටව අධිකරණයට යායුතුයි.

    ReplyDelete
    Replies
    1. //ඒ වෙනුවට 43(3) යොදා ගෙන ඇමතිවරුන්ගේ කාර්ය හා සංයුතිය වෙනස් කිරීම, (43) (3)න් කියන්නේ අගමැතිගේ කාර්යද වෙනස් කරන්න පුළුවන්.//
      මේ උපුටනයේ අදාළ හා වැරදි කොටස තමයි උඩින් තියෙන්නේ. පහතින් තියෙන්නේ 43(3) අනුව්‍යවස්ථාව.

      "ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමද කරනු ලැබිය හැක්කේය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේය."

      මේ අනුව ජනාධිපතිවරයාට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකි වුවත් ඒ හේතුව නිසා අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම නැති නොවන බව පැහැදිලිව කියා තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම තිබෙන තාක් අගමැතිවරයා සිය ධුරය දරන බව 46(2) අනුව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන්ව තිබෙනවා. පහත තිබෙන්නේ එයයි. මේ අනුව නීත්‍යානුකූල ආණ්ඩුවේ බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමේ උත්සාහයක් මිස මෙහි කිසිදු ව්‍යවස්ථා අවුලක් පෙනෙන්න නැහැ.

      "අග්‍රාමාත්‍යවරයා-

      (අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත්, හෝ
      (ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවුවහොත්, හෝ

      මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේ ය."

      උඩ තර්කය ගෙන එන්නේ එහි "අමාත්‍ය මණ්ඩලය" කියන වචනයට අගමැතිවරයාත් අයත් කියන අදහසින්. 43(3) අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයා විසින් දරන ඇමතිකමක් වෙනත් අයෙකුට පවරන්න හැකි බව පෙනුනත් අගමැතිකම වෙනත් අයෙකුට පැවරීමේ හැකියාවක් නැහැ.

      ව්‍යවස්ථාවේ වගේම පණත් වලත් එක් එක් අනුව්‍යවස්ථාව (ඡේදය) ඉදිරියේ එය අදාළ වන්නේ කුමන කරුණු අරභයාද කියන එක කෙටියෙන් සඳහන් වෙනවා. 42 අනුව්‍යවස්ථාව තිබෙන්නේ "අග්‍රාමාත්‍ය වරයා සහ අමාත්‍ය මණ්ඩලය" කියන කෙටි මාතෘකාව යටතේ. එයින් පැහැදිලි වෙනවා "අමාත්‍ය මණ්ඩලය" කියන වචනයට අගමැති වරයා සහ ජනාධිපතිවරයා ඇතුළත් නොවන බව. නමුත්, 43 අනුව්‍යවස්ථාව තිබෙන්නේ "අමාත්‍යවරයන් සහ ඔවුන් විෂය සහ කාර්ය" කියන කෙටි මාතෘකාව යටතේ. එයට අගමැතිවරයා ඇතුළත් නොවන බව ඉතාම පැහැදිලියි. ඒ නිසා, ඔය උඩ තර්කය පුහු තර්කයක්. ව්‍යවස්ථාවේ දිගින් දිගටම අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්, අමාත්‍ය මණ්ඩලයේ නොවන ඇමතිවරුන් හා අගමැතිවරයා ගැන වෙන වෙනමයි කතා කරන්නේ. ඇමති මණ්ඩලය 30කට සීමා කළ යුතු බව කියද්දීත් එසේ කියන්නේ ජනාධිපති හා අගමැති අත් හැර. ඒ නිසා, ඔය තර්කය කිසිම පදනමක් නැති එකක්. දිමුව ඉවත් කළේ එවකට තිබුණු බලතල අනුවයි.

      Delete
    2. අගමැති ඉවත් කිරීමේ ප්‍රශ්නයේ දී වැදගත් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 42(4), 43(3), 46(2) වගන්ති. 42(4) යටතේ ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසයක් උපරිම වශයෙන් ඇති මන්ත්‍රීවරයා අගමැති ලෙස පත්කරන්න පුළුවන්. මෙහි කොතැනකවත් "මෙය පාර්ලිමේන්තුව පත් වූ විගස පමණක් කළ යුතුය" කියා සඳහන් වන්නේ නැහැ. 2015 අගෝස්තු 17 මැතිවරණයෙන් පසු ඒ අවධියේ ජනාධිපති හිතන්න ඇති රනිල්ට තමයි පාරලිමේන්තුවේ උපරිම විශ්වාසය තියෙන්නෙ කියලා. එකල සංධානයත් දෙකට බෙදිලා. ජනාධිපතිට 42(4) යටතේ පුළුවන් ම්නෑම අවස්ථාවක තම මතය අනුව පාර්ලිමේන්තුවෙ උපරිම විශ්වාසය තියෙන අය අගමැති කරන්න පුළුවන්. අද තියෙන්නෙ 2015 අගෝස්තු 17 වැනි දා තිබූ තත්වය නොවෙයි කියලා ජනාධිපතිට කියන්න පුළුවන්. විශේෂයෙන් ම පෙබරවාරි 10 වැනි දාට පසු තත්වය වෙනස්. ඒ නිසා සංධානයේ අයෙකු අගමැති කරනවා කියලා ඔහුට දිවුරුම් දෙන්න සලස්සන්න පුළුවන්. (මෙහි දී නීතිපතිගෙන් කරුණු විමසීම මෝඩකමක්.)

      ජනාධිපතිට 43(3) යටතේ ඇමති මණ්ඩලයේ සංයුතිය ඕනෑම අවස්ථාවක වෙනස් කළ හැකීියි. "සංයුතිය" යන්නට අගමැතිත් අයිතියි. එවැනි වෙනස්කිරීම් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට (කන්ටින්‍යුටි) බල පාන්නේ නැති බව 43(3) ම සඳහන් වෙනවා.

      තරමක පරස්පරයක් පෙනෙන්න තියෙන්නෙ 46 (2) ඒ අනුව ඉල්ලා අස් නොවුණහොත් හරි මන්ත්‍රී ධුරය අහෝසි නූණොත් හරි මිසක් අමාත්‍ය මණ්ඩලය පවතින තාක් අගමැති තම තනතුර දරනවා.

      දැන් ප්‍රශ්නය වන්නේ "අමාත්‍ය මණ්ඩලය පවතින තාක්" යනු කුමක් ද යන්නයි. දැන් ගිවිසුම අහෝසියි ඒ නිසා 'ජාතික ආණ්ඩුව' අහෝසියි, ඒ නිසා අගමැති අහෝසියි යන තර්කය වලංගු වන්නේ නැහැ. ගිවිසුම අහෝසි වුණත් ආණ්ඩුව අහෝසි වන්නේ නැහැ. ඒ නිසා තර්කය එතැනින් එහාට යන්නේ නැහැ.

      එහෙත් 43(3) යටතේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය එහි අඛණ්ඩතාවයට බලපාන්නෙ නැති විධියට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නෙ එවිට අමාත්‍ය මණ්ඩලය පවත්නේ නැති බවයි. එවිට අගමැතිකම නැති වෙනවා. එමෙන් ම 42(4) යටතේ ජනාධිපතිට ඕනෑම අවස්ථාවක අගමැති කෙනකු පත් කරන්න පුළුවන්. මෙහි කිසිම ව්‍යවස්ථා අර්බුදයක් නැහැ.

      පුහු තර්ක යටතේ රනිල් හා නීතිඥයන් ව්‍යවස්ථා අර්බුදයක් මවනවා. ජනාධිපතිට දැන් සංධානයේ අයෙකු අගමැති ලෙස පත් කිරීමට කිසිම බාධාවක් නැහැ.

      Delete
    3. The relevant section of Sri Lanka’s 19th amendment to the constitution is reproduced below:

      CHAPTER VIII
      THE EXECUTIVE
      The Cabinet of Ministers

      Prime Minister and the Cabinet of Ministers

      42.
      (1) There shall be a Cabinet of Ministers charged with the direction and control of the Government of the Republic.
      (2) The Cabinet of Ministers shall be collectively responsible and answerable to Parliament.
      (3) The President shall be a member of the Cabinet of Ministers and shall be the Head of the Cabinet of Ministers.
      (4) The President shall appoint as Prime Minister the Member of Parliament, who, in the President’s opinion, is most likely to command the confidence of Parliament.

      Tenure of office of the Prime Minister, and the limitation of numbers and tenure of office of Ministers and Deputy Ministers

      46.

      (1) The total number of–
      (a) Ministers of the Cabinet of Ministers shall not exceed thirty; and
      (b) Ministers who are not members of the Cabinet of Ministers and Deputy Ministers shall not, in the aggregate, exceed forty.

      (2) The Prime Minister shall continue to hold office throughout the period during which the Cabinet of Ministers continues to function under the provisions of the Constitution unless he –
      (a) resigns his office by a writing under his hand addressed to the President; or
      (b) ceases to be a Member of Parliament.

      (3) A Minister of the Cabinet of Ministers, a Minister who is not a member of the Cabinet of Ministers and a Deputy Minister, shall continue to hold office throughout the period during which the Cabinet of Ministers continues to function under the provisions of the Constitution unless he–
      (a) is removed from office under the hand of the President on the advice of the Prime Minister;
      (b) resigns from office by a writing under his hand addressed to the President; or
      (c) ceases to be a Member of Parliament.

      (4) Notwithstanding anything contained in paragraph (1) of this Article, where the recognized political party or the independent group which obtains highest number of seats in Parliament forms a National Government, the number of Ministers in the Cabinet of Ministers, the number of Ministers who are not Cabinet of Ministers and the number of Deputy Ministers shall be determined by Parliament.

      (5) For the purpose of paragraph (4), National Government means, a Government formed by the recognized political party or the independent group which obtains the highest number of seats in Parliament together with the other recognized political parties or the independent groups.

      Dissolution of the Cabinet of Ministers

      48. (1) On the Prime Minister ceasing to hold office by death, resignation or otherwise, except during the period intervening between the dissolution of Parliament and the conclusion of the General Election, the Cabinet of Ministers shall, unless the President has in the exercise of his powers under Article 70, dissolved Parliament, stand dissolved and the President shall appoint a Prime Minister, Ministers of the Cabinet of Ministers, Ministers who are not members of the Cabinet of Ministers and Deputy Ministers in terms of Articles 42, 43, 44 and 45:

      Provided that if after the Prime Minister so ceases to hold office, Parliament is dissolved, the Cabinet of Ministers shall continue to function with the other Ministers of the Cabinet as its members, until the conclusion of the General Election. The President may appoint one such Minister to exercise, perform and discharge the powers, duties and functions of the Prime Minister, and the provisions of Article 47 shall, mutatis mutandis, apply.

      (2) If Parliament rejects the Statement of Government Policy or the Appropriation Bill or passes a vote of no-confidence in the Government, the Cabinet of Ministers shall stand dissolved, and the President shall, unless he has in the exercise of his powers under Article 70, dissolved Parliament, appoint a Prime Minister, Ministers of the Cabinet of Ministers, Ministers who are not members of the Cabinet of Ministers and Deputy Ministers in terms of Articles 42, 43, 44 and 45.

      Delete
    4. //එහෙත් 43(3) යටතේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය එහි අඛණ්ඩතාවයට බලපාන්නෙ නැති විධියට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නෙ එවිට අමාත්‍ය මණ්ඩලය පවත්නේ නැති බවයි. //

      තිබෙන අමාත්‍ය මණ්ඩලය පවත්නේ නැති වී අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත් වීමත්, අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩතාවය දිගටම පැවතීමත් එකවිට සිදු විය හැකි ආකාරය සමහර විට චතුර්කෝටිකය යොදාගෙන පැහැදිලි කරන්න පුළුවන් ඇති. නමුත්, රටේ නීතිය හා අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ චතුර්කෝටික තර්ක මත පදනම්ව නෙමෙයි.

      Delete
    5. https://www.youtube.com/watch?feature=youtu.be&v=7IXfdAIusUQ&app=desktop

      Delete
    6. සමසමාචයෙන් පටන්ගෙන සිරිකොතින් ඉවරවුන මෙයාගේ දේශපාලනය ගැන දුකයි. රනිල් ගේන පින් මන්ති කමක් ලබාගෙන මොකක් හරි කියලා ගානක් ගන්නවා. මෙයාගේ නීති දැනුම :D �� අිනුවණ්ඩුව නැතිවුන විට ඇමති මණ්ඩලය විසිරෙන්නේ නැහැ. ඇමති මණ්ඩලය 35 ට වැඩිවුනේ ඡාතික ආණ්ඩුව නිසා ඡාතික ආණ්ඩුව නැති්ඩුවු ටිට ඇමති මණ්ඩලය නැති වන බවවත් නොදන්න ඡනාධිපති නීතිඥ කෙනෙක්.

      Delete
  3. අගවිනිසුරු ගැන රනිල්ලගේ විශ්වාසයක් නැතුව වගේ ඒ කල්පය ගැන සඳහන් නොකරන්නේ, නව අගවිනිසුරු පහල උසාවියේ සිට කෙමෙන් කෙමෙන් ඉහලට ආ කෙනෙකු ලුනේ, ලංකාවේ පහළම සිට ඉහලටට පැමිණිය හැක්කේ දුෂණයට ඉඩ දෙන එයට සම්බන්ද අයට පමණයි. මැතක ශ්‍රේෂ්ඨාකරණයට නිර්දේශකරපු විනිසුරුවරුන් දෙදෙනාත් තවම දිවුරුම් ඩි නැහැ නේද, ඔවුන් දිව්රුම් දීමට පෙරයි ජනාධිපතිවරයා ක්‍රියාත්මක වි ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. අධිකරණය දූෂිතයි කියන එක අධිකරණය මග හැර යාමට නිදහසට කරුණක් නෙමෙයි. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බල ගැටුමක් ඇති වූ විට අධිකරණය ඉන්නේ මොන පැත්තේද කියන කරුණ ඉතාම තීරණාත්මකයි.

      Delete
    2. ඉකොනොමැට්ටා

      /අධිකරණය දූෂිතයි /

      ලංකාවේ අධිකරණයේ විවිධ අඩුපාඩුකම් තිබුණද සරත් නන්ද සිල්වා 1999දී එම ධුරයට පත්වන තෙක් අධිකරණය සිය ගෞරවය හා ස්වාධීනත්වය කිසියම් විශාල ප්‍රමාණයකට ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගියේ යැයි කිව හැකිය. අධිකරණයේ ස්වාධීනත්වයේ හා ගුණධර්මවල ලොකු බිඳ වැටීමක් ඇතිවී එය හිමිකරගෙන තිබූ ස්වාධීනත්වයේ හා ගෞරවයේ ලොකු බිඳ වැටීමක් ඇතිවීම ආරම්භවන්නේ සරත් නන්ද සිල්වාගේ පාලන කාලයේදීය. ඉන්පසු එම තනතුරට පත් කිසිම අගවිනිසුරුවරයකු අධිකරණයේ ඇතිවී තිබුණු පිරිහීම නැති කොට නැවත අධිකරණයට අවශ්‍ය ස්වාධීනත්වය හා ගෞරවය හිමිකර දීමට ක්‍රියා කළේ නැත.

      ව්‍යවස්ථා සභා ක්‍රමයක් හා ඒ යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇතිකර ගන්නා ලද්දේ අධිකරණයද ඇතුළුව වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේදී පාලකයන්ට හිතුවක්කාරී ලෙස ක්‍රියා කිරීමට තිබෙන හැකියාව නැති කිරීම සඳහාය. ඒ ක්‍රමය ඇති කොට පවත්වාගෙන යෑම සඳහා ලොකු අතිරේක වියදමක් දරන්නට සිදුවී ඇතත් ඒ මගින් අපේක්ෂා කළ අරමුණ සපුරා ගැනීමට හැකිවී තිබෙන බවක් පෙනෙන්නට නැත. නව අගවිනිසුරුවරයාගේ පත්වීමද විවාදයට හේතුවී තිබෙන බව පෙනේ.

      මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සලකා බලන ලද්දේ ඔවුන් අධිකරණ සේවයට එකතු වූ දිනය පදනම් කොටගෙන නොව, ශ්‍රේෂ්ඨාධිකරණයට තේරී පත්වූ දිනය පදනම් කොටගෙනය. අගවිනිසුරු ධුරයේ සිටි පියසත් ඩෙෆ් මහතා විශ්‍රාම යනවිට අගවිනිසුරු ධුරයට තේරී පත්වී සිටින නලින් පෙරේරා මහතා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ සකස් වී තිබුණේ පහත සඳහන් ආකාරයටය.

      1. ගරු ඊවා වනසුන්දර මහත්මිය. ශ්‍රේෂ්ඨාධිකරණයට තේරී පත්වූයේ 2012 ජූනි 07 වැනිදාය.
      2. ගරු බුවනෙකබාහු අලුවිහාරේ මහතා 2013 දෙසැම්බර් 04 වැනිදා.
      3. ගරු සිසිර ආබෲ මහතා 2014 මැයි 07 වැනිදා.
      4. ගරු ප්‍රියන්ත ජයවර්ධන මහතා. 2014 මැයි 07 වැනිදා.
      5. ගරු නලින් පෙරේරා මහතා. 2016 මාර්තු 3 වැනිදා.

      ඒ අනුව ජ්‍යෙෂ්ඨත්වය අනුව බලතොත් අගවිනිසුරු ධුරයට පත්වී සිටින නලින් පෙරේරා මහතා සිටියේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පස්වැනි ස්ථානයේය. ඒ අනුව බැලූ බැල්මට පෙනෙනුයේ වඩා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් සිව්දෙනකු අබිබවා යන ආකාරයට ඒ මහතා පත්කර තිබෙන බවය. ඒ මගින් එළැඹිය හැකි නිගමනය වනුයේ ඒ මහතා අගවිනිසුරු ධුරයට පත් කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වයට අදාළ නිර්ණායකය නොසලකා ක්‍රියා කර තිබෙන බවය.

      Delete
    3. නව ව්‍යවස්ථා සභාව පුද්ගලයන් තනතුරුවලට පත්කිරීමේදී වරදක් සිදුවීම වැළකීම සඳහා යොදාගත යුතු නිර්ණායකයන් ව්‍යවස්ථා සභාවට තිබිය යුතුය. ලංකාවේ මෑත කාලයේ සිටි විශිෂ්ටතම ගණයෙහිලා සැලකිය හැකි නීතිවේදියකු අවංක පුද්ගලයකු හා නොබියව අදහස් පළ කළ පුද්ගලයකු ලෙස සැලකිය හැකි එච්.එල්. ද සිල්වා මහතා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකුව සිටියදී ව්‍යවස්ථා සභාව විසින් වැදගත් තනතුරුවලට පුද්ගලයන් තෝරා පත්කිරීමේදී ප්‍රයෝජනයට ගත යුතු නිර්ණායකයන් පද්ධතියක් සකස් කළ බව ප්‍රකාශ වී තිබුණි. එම නිර්ණායකයන් මොනවාද? ඒ මහතා එම තනතුර අත්හැර ගිය පසු ඒ නිර්ණායකයන්ට කුමක් වීද?

      අගවිනිසුරු ධුරයේ පුරප්පාඩුවක් ඇතිවී එම පුරප්පාඩුව පිරවීමේදී විශ්‍රාම යන අගවිනිසුරුවරයාගේද අදහස සැලකිල්ලට ගන්නා සම්ප්‍රදායක් ඉන්දියාවේ ක්‍රියාත්මක වේ. එම සම්ප්‍රදාය ලංකාවටද අදාළ කරගන්නා බව යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ප්‍රකාශකයකු යහපාලන ආණ්ඩුව බලයට පත්වූ මුල් කාලයේදී කී බව මතකය. පුරප්පාඩුව පිරවිය යුතු පුද්ගලයා පිළිබඳව විශ්‍රාම යන අගවිනිසුරුවරයාගේ නිර්දේශ ලබාගැනීමක් සිදුවීද? එය එසේ වී නම් ඔහු අගවිනිසුරු ධුරයට නිර්දේශ කළ පුද්ගලයා කවුද?

      ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බලයට පත්වූ අවස්ථාවේදී ඔහු 78 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආයුධයක් කරගනිමින් හිතුවක්කාරී ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය වෙනස් කළේය. පරණ ආණ්ඩුවට පක්ෂපාතව ක්‍රියා කළ අය ලෙස පෙනුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ තත්ත්වය පහත් කොට තමන්ට පක්ෂපාත ලෙස පෙනුණු අයට උසස්වීම් ලබා දුන්නේය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එම විනාශකාරී ක්‍රියාදාමය පිළිබඳව ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, 1978 වසරේදී Socialist Nation පත්තරයට කදිම ලිපි 4ක් ලියන ලද අතර එම ලිපි හතර එකතු කොට සමසමාජ පක්ෂයේ අධ්‍යාපන බියුරෝව Monkeying with the Judiciary නමින් පොත් පිංචක්ද පළකර තිබේ. ජේ.ආර්. ජයවර්ධන අගවිනිසුරු ධුරයට පත් කළේද අධිකරණයේ කෙනකු නොව නීතිඥයන් අතර සිටි ඔහුගේ හිතමිතුරකු ලෙස සැලකිය හැකි නෙවිල් සමරකෝන්ය.

      එහෙත් නෙවිල් සමරකෝන් මහතා එම තනතුරට පත් මොහොතේ සිටම ජනාධිපතිවරයාට තිබුණු හිතවත්කම අතහැර අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය වෙනුවෙන් පෙනී සිටින හා ඒ වෙනුවෙන් සටන් කරන පුද්ගලයකු බවට පත්විය. මෙම ඓතිහාසික මොහොතේ ලංකාවේ අධිකරණයේ පවතින ගරා හැලීම ජයගැනීම සඳහා අවශ්‍ය වන්නේද නෙවිල් සමරකෝන් වැනි අගවිනිසුරුවරයෙකි.

      නව අගවිනිසුරුවරයා ගැන විවිධ අදහස් පළවෙමින් තිබෙන අතර ඒ අදහස් මහජනයා දැනගත යුතුය. අධිකරණ නිලධාරීන්ට ඔවුන් ක්‍රියාවට නගන අධිකරණ බලය ඔවුන්ට ලැබී තිබෙන්නේ මහජනයාගේ පරමාධිපත්‍යය බලයෙනි. ඒ නිසා අධිකරණයේ සිදුවන දේවල් දැනගැනීමේ හා පරීක්ෂා කිරීමේ බලය මහජනයා සතුය. ඒ නිසා නව අගවිනිසුරුවරයා ආශ්‍රයෙන් මතුවී තිබෙන ප්‍රශ්න දැනගැනීමේ අයිතියක් මහජනයාට ඇත්තේය.

      Delete
  4. ඇමරිකාවේ එ.ජා.ප. නායක ඉකොනොමැට්ටාගේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සිය දේශපාලන ජීවිතයේ ඇතිව තිබෙන අසීරුම තත්වයේදී ඔහු වෙනුවෙන් සියලු එජාප මන්ත්‍රීවරුන් සැලකිය යුතු මට්ටමකින් පෙනී නොසිටීම ගැන ඉකොනොමැට්ටාගේ පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්වයක් හටගෙන ඇත.

    විශේෂයෙන්ම හිටපු ඇමතිවරුන් වන රවි කරුණානායක සහ විජේදාස රාජපක්ෂද මෙම තත්ත්වයේදී දැඩිලෙස මුනිවත රැකීම හේතුවෙන් ඉකොනොමැට්ටාගේ එජාප මන්ත‍්‍රී කණ්ඩායම දැඩි වික්ෂිප්ත භාවයට පත්ව සිටී.

    රවි කරුණානායක එ.ජා.ප. මන්ත්‍රීන් විශාල පිරිසක් සමඟ නව ආණ්ඩුවට වෙනත් කණ්ඩායමක් ලෙස සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බව ඇතැම් තහවුරු නොකළ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    තහවුරු නොකළ වාර්තා විජයදාස රාජපක්ෂද මහින්ද රාජපක්ෂ සමඟ එක්වනු ඇති බවට සඳහන් කරයි.

    අරලිය ගහ මන්දිරය මේ දිනවල බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින එජාප මන්ත්‍රීවරුන් සිය පාක්ෂිකයන්ට ආණ්ඩුව රැක ගැනීමට එන්නැයි ආරාධනා කිරීම දිගින් දිගටම කළ ද මෙම හිටපු ඇමතිවරුන් දෙදෙනා කිසිදු සාධනීය මැදිහත්වීමක් ඒ සම්බන්ධයෙන් නොකිරීම නිසා එජාප මන්ත‍්‍රී කණ්ඩායම තැති ගන්මකින් සිටින්නේ යයිද සදහන්ය.

    එජාප මන්ත‍්‍රී කණ්ඩායම රනිල් රැකගන්න අරලිගහ මන්දිරයට එන්නැයි පාක්‍ෂිකයන්ට දිවා රැයේ ආරධනා කලද එහි මංගල උත්සව ශාලවෙන් අඩක් හෝ පිරෙන්නට ජනතාව නොපැමිණීම ගැන ද මන්ත‍්‍රී පිරිස විස්සෝපයෙන් සිටිතැයිද මේ අතර දැනගන්නට ඇත. ඇමරිකාවේ එ.ජා.ප. නායක ඉකොනොමැට්ටාත් ලංකාවට ඇවිත් රනිල් සහ පක්ෂය බේරාගැනීමට දිවිහිමියෙන් කැපවී ක්‍රියාකරනු ඇතැයි ලංකා එ.ජා.ප. පාක්ෂිකයෝ බලා සිටිති.

    ReplyDelete
    Replies
    1. මේක ශ්‍රී ලංකා රාජ්‍යය නිදහසින් පසු මුහුණ දී තිබෙන අසීරුම අවස්ථාව. නායකත්වය අවශ්‍ය වෙන්නේ මේ වගේ වෙලාවකයි. මේ වෙලාවේ රනිල්ගේ නායකත්වය පරීක්ෂාවට ලක් වෙමිනුයි තිබෙන්නේ. එජාපයේත් බොහෝ දෙනෙකුට තත්ත්වයේ ගැඹුර ගැන අදහසක් නැහැ කියන එක ඇත්තක්. අවසන් ප්‍රතිඵලය කුමක් වුවත් මේ වෙලාවේ හරි දෙය වෙනුවෙන් පෙනී සිටින හා සක්‍රිය ලෙස ක්‍රියාත්මක වෙන චම්පික හා රාජිත වගේ අය අවසානයේදී උඩට මතු වෙයි.

      Delete
  5. It is a very logically and analytically written piece of writing. Keep up the good work.

    ReplyDelete
  6. පසුගියකාලේ සිරිසේන වැඩකලේ පල්හොරෙක් සහ ගජමිතුරු රැළක් එක්ක. දැන් වැඩ කරන්න හදන්නේ හොර පවුලක් එක්ක. කොහොම කළත් උත්තරය එකයි. මෙදාපොටේ සිරිසේනත් කපෝති! සිරිසේනගෙ පවුලත් කපෝති!!

    ReplyDelete
  7. මොකද්ද මේ වැඩේ හරි පැත්ත කියල හොයමින් ඉන්දෙද්දි තමයි ඔබේ ලිපිය ඇස ගැටුනෙ . මීට වඩා හොඳ පැහැදිලි කිරීමක් දකින තුරු ඔබේ මතය පිළිගැනීමට සිතා ගත්තා.
    මමත් හිතන්නෙ මේකෙන් අන්තිමේදී නැතිවෙන්නෙ සිරිසේන බවයි.
    චීනය සහ ඉන්දියාව අදින දාම් අතක අපි ඉත්තෙක් පමණක් බවයි මගේ වැටහීම. චීනය ප්‍රසිද්දියෙ ඉදිරියට ඇවිත් පෙන්නුවා- මේක අපි කැමති විදියෙ වැඩක්, අපි අලුත් ආණ්ඩුවට සපෝර්ට් ' කියල. දැන් ඉන්දියාව නිකන් බලා ඉඳියි කියල හිතන්න අමාරුයි.
    අනික, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, UK වගේ අය කිව්වොත්, ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ ඇමතිලට /නිලධාරීන්ට අපි වීසා දෙන්නේ නෑ කියල, හුඟක් අය තෝරගන්නේ වීසා මිසක් සිරිසේනගෙ ආණ්ඩුව නෙවෙයි.

    ReplyDelete
  8. 2015 ජනවාරි ඉලෙක්ශන් ඉවර වෙමින් පවතින රාත්‍රියෙ , මහින්ද රනිල්ට අරලියගහ මන්දිරයට එන්න කියල, කිව්වා 'මට තව අවුරුද්දකට වඩා කාලේ ඉතිරිවෙලා තියෙනවා, මං ඒ කාලෙ ඉවරඋනාම තමයි යන්නෙ ' කියල. රනිල් - ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි, ඔයාගෙයි සිරිසේනගෙයි ප්‍රශ්නයක් - වගේ අහගෙන ඉඳල, එලියට බැහැපු ගමන්ම US , ඉන්දියා තානාපතිලට කෝල් කරල කියනව සීන් එක. එතන ඉඳල පොඩි වෙලාවයි යන්නෙ මහින්දට 'යා යුතු මඟ ' ගැන උපදෙස් ලැබෙන්න.

    ඒ වෙලාවේ නම් එයා තීරණය කළා ගෙදර ගිහිල්ල සාමකාමීව ඉතිරි කාලය ගතකරනවයි කියල.
    අතරමං වෙච්ච හොරුටික ගිහින් එයාව අවුස්සල ගත්තේ නැත්නම්, මහින්ද මැදමුලනට වෙලා හොඳ grandparent කෙනෙක් විදියට සතුටින් ඉන්න තිබුන.

    ReplyDelete
  9. මේ අවස්ථාව රනිල්ගෙ පැවැත්ම පිළිබඳ තීරණාත්මක (අවසාන) අවස්තාව නිසා, රනිල් මේක කොහොම හරි ගොඩ දා ගන්න චාන්ස් එකක් තියෙනවා. නමුත්, එහෙම උනත්, ඉන් පස්සෙත් රනිල් ළඟ තියා ගන්නෙ පහුගිය කාලේ හිටිය සෙට් එකම මිස, අද එයාට සපෝර්ට් එකට ළඟ ඉන්න කට්ටිය නෙවෙයි.

    මේ අවස්තාවෙ පේන තව දෙයක් තමයි, සුදු කර පටි හොරුන් සහ මං පහරන හොරු න් අතර හැසිරීමේ වෙනස. අඳින්නේ එකම ඇඳුම උනාට කතා කරන සිංහල වෙනස්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: