වෙබ් ලිපිනය:

Wednesday, October 3, 2018

පර්මිට් සංහිඳියාව


ඉහත මාතෘකාව යටතේ වන ලිපියක් සරස තුමා විසින් ඔහුගේ මල්ලෙපොල් අඩවියේ පළ කරල තියෙනවා. ඒ එක්කම තිබෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සකස් කළ බව කියන ලේඛණයක ඡායාරූපයක්. පසුගිය කාලයේ මහජන නියෝජිතයින් විසින් තීරුබදු රහිතව ආනයනය කරපු වාහන ගණනාවක වත්මන් අයිතිකරුවන් මේ ලැයිස්තුවෙන් හඳුනාගන්න පුළුවන්.

සරස තුමා පෙන්වා දෙන්නේ මේ කටයුත්තේදී ලංකාවේ විවිධ ජාතික ආගමික අනන්‍යතා දරන පුද්ගලයින් කොයි තරම් සහයෝගයෙන් කටයුතු කරලා තියෙනවාද කියන එකයි. ඔහු විශේෂයෙන් සඳහන් නොකළත් මේ කටයුත්තේදී මිනිස්සුන්ට පේන්න වාද විවාද කිරීමෙන් නොනැවතී ගහ මරා ගන්න පවා නොපැකිළෙන ප්‍රතිවිරුද්ධ දේශපාලනික අනන්‍යතා දරන මහජන නියෝජිතයින් අතර කොයි තරම් පුළුල් එකඟත්වයක් තියෙනවද කියන එකත් ඉතාම පැහැදිලියි. ඔය එකඟතාවය රටට බලපාන ප්‍රතිපත්ති තීරණ වලදීත් පෙනෙන්න තියෙනවානම් කොයි තරම් හොඳද?

පහුගිය දවස්වල ඇතැම් දේශපාලනඥයින් ප්‍රසිද්ධියේම කිවුවේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදීම හේතුවෙන් රජයට පාඩුවක් නොවන බවයි. එයට හේතුව ලෙස ඉදිරිපත් කළ තර්කය වූයේ මේ වාහන නොගෙනාවා කියා රජයේ බදු ආදායම වැඩි වන්නේ නැති බවයි. ඒ තර්කයේ තිබුණු නිරර්ථක බව මම ඒ දවස් වලම පැහැදිලි කළා. එසේ පැහැදිලි කරමින් පළ කළ ලිපි වල වූ කරුණු මේ ලැයිස්තුවෙන් තහවුරු කරනවා.

මේ ලැයිස්තුවේ වාහන වැඩි ප්‍රමාණයක් ටොයෝටා ලෑන්ඩ් කෲෂර් රථ. ඉතිරි ඒවා මර්සිඩීස් බෙන්ස් 350 රථ. විවිධ අනන්‍යතා දරන මහජන නියෝජිතයින් විශාල පිරිසකගේ තේරීම වාහන මාදිලි දෙකකට පමණක් සීමා වීමෙන් පෙනෙන්නේ මේ අය කොයි තරම් සමජාතීය පිරිසක්ද කියන එකයි.

අටවන පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෙකුට හිමිවන තීරුබදු රහිත වාහන බලපත්‍රයේ යම් යම් සීමාවන් තිබෙනවා. ඒ අනුව වාහනයේ වටිනාකම, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු (CIF අගය) ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 62,500ක්, යුරෝ 55,000ක් හෝ යෙන් මිලියන 7ක් ඉක්මවන්න බැහැ. මේ ගොඩක් අයගේ වාහන වල එම අගය හරියටම උපරිම සීමාවට සමානයි. වෙනත් විදිහකින් කිවුවොත් මේ සියලු දෙනා විසින්ම කර තිබෙන්නේ තමන්ගේ වරප්‍රසාදයේ සීමාවට යටත්ව හැකි තරම් මිල අධික වාහනයක් ආනයනය කිරීමයි.

මේ වාහන තමන්ගේ නමින් ආනයනය කර තිබෙන මහජන නියෝජිතයින් කෙසේ වෙතත් ඒවායේ වත්මන් අයිතිකරුවන් මේ වාහන මිල දී ගන්න කැමැත්තෙන් සිට ඇති හා ඒ සඳහා ගෙවිය යුතු මිල ගෙවන්නන්ට තරම් වත්කමක් තිබී ඇති අයයි. ඔවුන් මේ වාහන සාමාන්‍ය ක්‍රමයට ආනයනය කළානම් එක් වාහනයක් වෙනුවෙන් අවම වශයෙන් ලක්ෂ 300 ඉක්මවන බදු මුදලක් රජයට ගෙවිය යුතුව තිබුණා. නමුත් දැන් සිදු වී තිබෙන්නේ ඒ බදු මුදල රජයට අහිමි වී බලපත්‍රලාභී මහජන නියෝජිතයා හා වාහනයේ වත්මන් අයිතිකරු අතර බෙදී යාමයි.

බලපත්‍ර හරහා ආනයනය කල වාහනය විකුණා දමා ඇති මේ මහජන නියෝජිතයින් කිසිවෙකු දැන් බස් එකේ හෝ කෝච්චියේ යන්නේ නැහැ. ඔවුන් දැන් භාවිතා කරන්නේත් මෙවැනිම හෝ ඇතැම් විට මීටත් වඩා වටිනා නිල වාහන වෙන්න පුළුවන්. ඒ වාහන සඳහා වැය කර තිබෙන්නේත් මහජනයාගෙන් අය කර ගන්නා බදු මුදල්.

මේ ලැයිස්තුව පිළියෙල කර ප්‍රසිද්ධ කර තිබෙන රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ටත් වාහන ආනයනය කිරීමේදී තීරු බදු සහන ලැබෙනවා. ඒ අය අතරින් වැඩි දෙනෙකුත් කොහොමටත් වාහනයක් මිල දී ගන්න ඉඩ තිබුණු අයයි. ඔවුනුත් රජයේ බදු ආදායම් පහළ ගොස් අයවැය පරතරය පුළුල් කිරීමට දායක වී තිබෙනවා.

ඊට අමතරව මේ සියලු තීරුබදු සහන බලපත්‍රලාභීන් ලංකාව දැන් මුහුණ දී සිටින ගෙවුම් ශේෂ ප්‍රශ්නයට, සරලව කියනවානම් ඩොලරයට සාපේක්ෂව රුපියල වේගයෙන් අවප්‍රමාණය වීමට, සෑහෙන තරමකින් පෞද්ගලිකව දායක වී තිබෙන අයයි.

අදාළ පෙර ලිපි:







(Image: http://mallepol.blogspot.com/2018/10/blog-post_2.html)

14 comments:

  1. ඉකොනො විදේශ විනිමය උපයන විදේශ රැකියා කරන අයට කවදද වාහනයක් ගෙන්න ගන්න පර්මිට් එකක් දෙන්නේ? මේ ගැන ඇයි කිසිම කෙනෙක් හිතන්නේ නැත්තේ ?

    රාජ්‍ය නිලධරයනට වාහන පර්මිට් එක අවුරුදු පහෙන් පහට දෙන්නේ නැතුව මුල් අවුරුදු පහෙන් දීලා අනෙත් එක දහයකට වරක් දුන්නට කමක් නැහෑ, අනිත් වාහන පර්මිට් ගන්න අයට වඩා ඉගෙන ගත්තු කොටසක් හින්දා

    ReplyDelete
    Replies
    1. එයටනම් අඩුවශයෙන් තර්කානුකූල හේතුවක් තිබෙනවා.

      Delete
  2. Why do the doctors make a big fuss? They also sell their permits. I have bought three permits or vehicles imported with permits from Doctors varying from 850,000 LKR to 2mn LKR.
    So they are a part of the scam and as the number of Doctors are large the state coffers loose more money than the parliamentarians.

    This is to show that Doctors are not working for the betterment of the country but with ulterior motive of gaining the benefit.

    ReplyDelete
  3. පර්මිට් ගන්න අයගෙන් දේශපාලුවෝ තරං රටේ සල්ලි කන්නේ නැහැ කව්රුවත්. ඩොක්ස්ල ඇතුලු අනිත් පර්මිට්ලාභීන් ඒ මුදලෙන් අප්ග්‍රේඩ් එකකට යනව මිසක් ලොකු බිසිනස් එකක් කරන්නෑ මං හිතන විදියට. අර යක්කුන්ට හැමදාම පර්මිට්.

    ReplyDelete
  4. මුන් ටික හරි කරුමයක්නෙ...

    ReplyDelete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
    Replies
    1. බ්ලොග් රෝලට එකතු කළා. පෝස්ට් ටික හිමිහිට කියවන්නම්.

      Delete
    2. ඔබේ එකතුවට මාව එක් කර ගැනීම ගෞරවයක් . නිවාඩු පාඩු වෙලාවක බලලා අහලා අඩුපාඩු කියන්න . හෙමින් හොද ගමනක් යන්න බලාගෙන ඉන්නවා .

      Delete
  6. ඉකොනොමැට්ටා,

    ආර්ථිකයේ සමස්ත බිඳ වැටීමක් අත ළඟ තිබියදී විද්වතුන් නිහඬව සිටීම කනගාටුවට කරුණක් -ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

    "රටේ ඩොලර් සංචිත තවත් ඉතිරිව ඇත්තේ ඉදිරි මාස දෙකක ආනයනයට පමණක් බවත්, ආර්ථිකයේ සමස්ත බිඳ වැටීමක් අත ළඟ තිබියදී විද්වතුන් නිහඬව සිටීම කනගාටුවට කරුණක් බවත් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

    ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුව විසින් ජාතික පුස්තකාල ප්‍රලේඛන ශාලාවේ ඊයේ (03දා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී අනිල් ජයන්ත එසේ පැවැසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

    "ශීඝ්‍රයෙන් සිදුවන රුපියල අවප්‍රමාණය වීම නවතාලීම සඳහා අපේ රටේ විදේශීය මුදල් සංචිත ඩොලර් මිලියන එකසිය අසූහතරක් මුදාහැරීමට මහ බැංකුව කටයුතු කර තිබෙනවා.

    මේක අතීසාරයට අමුඩය ගැසීම වැනි දෙයක්. විදේශීය සංචිත ඩොලර් තවත් ඉතිරිව ඇත්තේ මාස දෙකක භාණ්ඩ ආනයනයට පමණයි. ආහාර, ඉන්ධන, ඔෟෂධ වැනි අත්‍යවශ්‍ය දේවල් ආනයනය කිරීම අඩු කිරීමට සිදු වුණොත් අප මුහුණ දෙන තත්ත්වය ගැන සිතීමට පවා අපහසුයි."

    "රුපියල අවප්‍රමාණය වන්නේ ඇමෙරිකාවේ ආර්ථික ප්‍රතිපත්තියක් නිසාම නොවෙයි. අපේ රටේ වැරැදි ආර්ථික කළමනාකරණය නිසායි. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය වැඩි කරලා. අපනයනය සම්පූර්ණයෙන්ම දුර්වල කරලා. කෘෂි සහ නිෂ්පාදන ආර්ථිකය බිඳ දැමීමේ ආදීනව අපි දැන් අත්විඳිමින් සිටිනවා."

    "පසුගිය වසර තුනක කාලය ඇතුළත රුපියල සියයට විසි තුනකින් කඩා වැටිලා. ආණ්ඩුව සියයට නවයක් කියලා පෙන්වන්නේ වාර්ෂික කඩා වැටීම පමණයි. තායිලන්තය, වියට්නාමය, මැලේසියාව ඇතුළු බොහොමයක් රටවල මුදල් ඒකක කඩා වැටිලා නැහැ. හේතුව ඒ අයගේ අපනයන ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යෑමයි."

    "අපේ රටේ ආනයන වියදම අපනයනයට වඩා ඩොලර් මිලියන නව දහස් හයසීයකින් වැඩියි. කියන්න ලැජ්ජයි අපි මෙහෙම හරි බේරිලා ඉන්නේ දුප්පත් මිනිසුන් මැදපෙරදිග ගිහින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව එවන ඩොලර් මිලියන හය දහසකට අධික වූ මුදල් ප්‍රමාණය නිසයි. රට මේ වගේ තත්ත්වයක තිබියදීත් ඉතාම සුළු පිරිසක් සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. මහා පරිමාණ මූල්‍ය වංචාවන් බහුලව සිදු වෙනවා.

    පසුගිය දිනවල සිදුවූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා නිසා රුපියලේ කඩා වැටීම වේගවත් වුණා."

    "අපි ඉල්ලීමක් කරනවා දේශපාලන භේදයකින් තොරව සියලුම ආර්ථික විශේෂඥයන්ගෙන් මේ අවස්ථාවේදී එකතුවෙලා විසඳුමක් සොයන්න එන්න කියලා."

    ආර්ථික විද්‍යාඥ තුෂාර හෙට්ටිතන්ත්‍රිගේ හා ආචාර්ය චන්දන ජයලත් යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ."

    සපුමල් ජයසේන
    By mawbima
    2018-10-04

    ReplyDelete
  7. මේ පර්මිට් කතාවට මම නම් මුල ඉඳන්ම විරුද්ධයි. මෙය වහාම නැවැත්විය යුතුයි. රජයේ සේවකයෙක් වුන පමණින් වාහන පර්මිට් එකක් දෙන එකේ පදනම කුමක්ද කියන එකම විකාරයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. රටේ ආර්තික දියුනුවට වැඩි දායකත්වයක් දෙන පුද්ගලික අංශයේ හා විදේශ ගත ශ්‍රමිකයන්ට මොන පහසුකමක්වත් නෑ. අයිස්/කොමිස්/පගාව ගහන පල් හොරුන්ට ඔක්කොම පහසුකම්..

      Delete
  8. Is there any jvp parliamentarian...

    ReplyDelete
    Replies
    1. To my knowledge, they haven't sold their permits. They didn't import luxury vehicles either, just double cabs.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: