වෙබ් ලිපිනය:

Thursday, October 25, 2018

සැමන් මාළු, වලස්සු හා කණාමැදිරියෝ...


අභිජනනය පිණිස සැතපුම් සිය ගණනක් උඩු ගං බලා පීනන සැමන් මාළු ගැන කලින් ලිපියක ලිවුවනේ. එහි මා සඳහන් කළ පරිදි, මේ ගැන ලියන්න මාව උනන්දු කරමින් විශාල තොරතුරු ප්‍රමාණයක් විද්‍යුත් තැපෑලෙන් එවුවේ කැනඩාවේ ජීවත් වන පාඨකයෙක්. මම හිතන විදිහට මේ වගේ ගඟ ඉහළට පීනන සැමන් මාළු දැකලා ඔහුට ඇති වුනු සංවේදී හැඟීම එයට හේතු වෙන්න ඇති. පහළින් තිබෙන්නේ ඒ ගැන විස්තර කරමින් ඔහු වසරකට පමණ පෙර එවපු විද්‍යුත් ලිපියෙන් කොටසක්.

"වෙහෙසකර ගමනක නිරතවන මෙම සතුන් දුටු, අප සියලු දෙනා තුළම ඇතිවූයේ වචනයෙන් විස්තර කළ නොහැකි කිසියම් පාලු ගුප්ත භාවයකින් යුත් ඉතාමත්ම තද කණගාටුදායක කනස්සල්ලක් වන් තත්ත්වයකි. පිහිනන බොහොමයක් මාළුවන් තුළ දකින්න ලැබුනේ ඉතා දුර්වල වෙහෙසකර භාවයක්. සමහර සැමන් මාළු අඩි කිහිපයක් පිහිනා ගොස් පැත්ත පෙරැළී ටික වෙලාවක් හුස්ම ඇද ඇද සිටී..... තවත් තැනක ගල් මත පතිත වී සහ ගල් අතර සිරවී මියගොස් සිටින මසුන්..... හරිම හිත් කම්පා කරවන දර්ශනයක්. තවත් තැනක (අවසර දී ඇති ස්ථාන වල) බිලී පිති අමෝරාගෙන අහිංසක ගැබ්බර මාළුන් ඩැහැගන්න බලා සිටින පුද්ගලයෝ.....මේ අතර දකින්න ලැබුණ කුඩා ළමුන් සමග බිලි බෑමේ නිරතවන පවුල්..... අනේ සංසාරේ කියලා හිතෙනවා...  :(    ඊටත් වඩා..... දුක තවත් තීව්‍ර වන්නේ අනේ මේ මාළු යන්නේ තමාගේ අවසන් ගමන නේද කියලා හිතෙනකොට දැනෙන විස්තර කරන්න අමාරු කණගාටුව......"

මම හිතන්නේ මේ හැඟීම විස්තර කළ හැකි වචනය සහකම්පනය. අපේ පාඨක හිතවතා මේ අවස්ථාවේදී හදවතින් සැමන් මාළු එක්ක එක් වෙලා සැමන් මාළුන්ගේ වෙහෙසට, දුකට, කණගාටුවට සම්මාදම් වෙනවා. හැබැයි ඉතිං සැමන් මාළුවාට දැනෙන හැඟීම මේ දිහා බලා සිටින අපේ පාඨකයාට දැනෙන හැඟීමම කියා කියන්න බැහැ. ඇත්තටම ඔහු සම්මාදම් වෙන්නේ තමන්ගේම හිතේ ඉන්න සැමන් මාළු අහිනකගේ දුකටයි.

දැන් මේ විස්තරයේ තියෙන විදිහටම අමාරුවෙන් උඩු ගං පීනන මාළුන්ව වලසුන්ගේ වගේම මිනිස්සුන්ගේ පහසු ගොදුරු බවට පත් වෙනවා. ඒ වුනත්, සැමන් මාළු ගැන පමණක්ම නොහිතා පරිසර පද්ධතියක් සේ හිතුවොත් මෙහි ඇති "වැරැද්දක්" නැහැ. සැමන් මාළුන්ව ගඟ අයිනේ ජීවත්වන, ආහාර දාමයේ සැමන්ලාට වඩා උඩින් ඉන්න, වලස්සු වගේ සතුන්ට ගොදුරු වෙන එක ඒ සතුන්ගේ පැවැත්මට වගේම සැමන් මසුන්ගේ පැවැත්මටත් වැදගත් කරුණක්.

මේ විදිහට වලසුන්ට හා මිනිස්සුන්ට ගොදුරු වෙන්නේ සැමන් අහිනේ ඉන්න දුර්වලම සත්තු. බේරිලා යන්නේ ශක්තිමත්ම සත්තු. ඒ නිසා, අභිජනනය කර අළුත් සැමන් පරම්පරාවක් බිහි කරන්න දායක වෙන්නේ මාළු අහිනේ ඉන්න හොඳම මාළු ටික. හැම අළුත් සැමන් පරම්පරාවක්ම කලින් පරම්පරාවට වඩා ඉදිරියෙන්.

ඔහොම කාලයක් යද්දී සැමන්ලා ගොඩක් "ස්මාර්ට්" වෙලා මිනිසුන්ගෙන් හා වලස්සුන්ගෙන් බේරිලා යාමේ කුසලතාවය ඉහළ ගියොත් මොකද වෙන්නේ?

එවිට වෙන්නේ ගඟ අද්දර ඉන්න මිනිස්සුන්ගෙන් හා වලස්සුන්ගෙන් කොටසක් කන්න මාළු නැතුව මැරෙන එකයි. මේ විදිහට මැරෙන්නේ මාළුවෙක්වත් අල්ලගන්න බැරි දුර්වල මිනිස්සු හා වලස්සු. වඩා ශක්තිමත් මිනිස්සු හා වලස්සු කොහොම හරි මාළුවෙක් අල්ලගනියි.

ඔය කිවුවට මිනිස්සු හා වලස්සු කන්න මාළු නැතුව මැරෙන එකක්ම නැහැ. නමුත්, මාළුවෙක් අල්ලගන්නවත් බැරි පිරිමි මිනිහෙක්ට හෝ වලහෙක්ට ගැහැණු සතෙක්ව හොයා ගැනීම වඩා වඩා අමාරු වීම නිසා වර්ගයා බෝ කරන්න අවස්ථාව නැති වෙයි. එහි ප්‍රතිඵලයත් කලින් එකමයි. ඒ එක්කම, අළුත් පරම්පරාවේ වලස්සු හා මිනිස්සු පෙර පරම්පරාවට වඩා "ස්මාර්ට්" වීම නිසා මාළුන්ට ලැබුණු ඉන්ටවල් එක වැඩි කාලයක් පවතින්නේ නැහැ.

ස්වභාව ධර්මය පරිසර පද්ධති වල සමතුලිතතාවය පවත්වාගන්නේ ඔය විදිහටයි. හැබැයි ස්වභාව ධර්මයට වුනත් කරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. වලස්සු ඉන්නේ මේ සීමාව ඇතුළේ වුනත් මිනිස්සු ඉන්නේ ඒ සීමාවෙන් පිට වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයට ප්‍රතිචාර දක්වන්න කාලයක් නොදී ඉතා කෙටි කාලයක් තුළ පරිසර පද්ධතියකට විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් මිනිස්සුන්ට තිබෙනවා. නමුත්, ඒ විදිහට මිනිස්සුන්ට දිගින් දිගටම ස්වභාව ධර්මය අභිබවා යාමේ හැකියාවක් තියෙනවද?

මේ දවස් වල පෙන්වන කණාමැදිරියෝ ටෙලිනාට්‍යයේ මේ අදහස සාකච්ඡාවට බඳුන් කරනවා.

ස්වභාව ධර්මය හා මිනිසා අතර ගැටුම පිළිබඳ අදහස් විශාල පරාසයක පැතිරිලයි තියෙන්නේ. එක අන්තයක ඉන්න අය මිනිස්සු සහ මිනිස් නිර්මාණ අයින් කරලා ඉතිරි වෙන කොටස ස්වභාව ධර්මය ලෙස සලකමින් මිනිස්සු විසින් ස්වභාව ධර්මය විනාශ කිරීම ගැන කතා කරනවා. එතකොට මතුවන ප්‍රශ්නය ඇයි මිනිස්සු සහ මිනිස් නිර්මාණ පමණක් ස්වභාව ධර්මයේ කොටසක් නොවන්නේ කියන එකයි. වඩු කුරුළු කූඩුවක් ස්වභාව ධර්මයේ කොටසක් වෙද්දී, නෙලුම් කුළුන ස්වභාව ධර්මයේ කොටසක් නොවන්නේ කොහොමද? ස්වභාව ධර්මය කියන්නේ දෙවියන් විසින් මවපු ලෝකයේ මුලින්ම තිබුණු දේවල් ටිකද?

කණාමැදිරියෝ බලන්න ගත්තේනම් ඒක ඇතුලෙ තියෙන දාර්ශනික සංවාද නිසා නෙමෙයි. කුතුහලය තරමක් දුරට හෝ පවත්වා ගන්න පුළුවන් විදිහට කතාව ගෙනියන නිසයි. ඒ අතින් කූඹියෝ තිර රචනයට ටිකක් කිට්ටුයි.

කූඹියෝ ටෙලිනාට්‍යය වටා පෙළගැහිච්ච රසිකයෝ කොටස් දෙකක් හිටියනේ. කට්ටියක් කැමති වුණේ ඒකෙ තිබුණා කියා හිතාගෙන හිටපු දේශපාලනයට. කතාවේ තියෙන්නෙ තමන් හිතාගෙන හිටපු දේශපාලනය නෙමෙයි කියා තේරෙන කොට ඒ කට්ටිය හිමිහිට අයින් වුනා.

දෙවන කණ්ඩායම කූඹියෝ බැලුවේ එහි වේගවත් ගලා යාම හා ත්‍රිලර් ගතියට. අන්න ඒ ගතිය ටිකක් කණාමැදිරියෝ ටෙලි නාට්‍යයේත් තියෙනවා. නමුත්, කණාමැදිරියෝ බලන්න ලොකු රැල්ලක් හැදිලා නැති එකෙන් පේන්නේ කූඹියෝ වටේ වැඩිපුර ඉඳල තියෙන්නේ පළමු කණ්ඩායමේ අය බව. කූඹියෝ සහ ඒ එක්කම වාගේ විකාශනය වූ සහෝදරයා අතර සමානකම් දැක්කේ ඒ අයයි.

වේගවත් ගලා යාම කියා කියද්දී මිණිගංදෑළ මතක් වෙන එක නවත්තන්න බැහැ. අර කතාවක් තියෙනවනේ එකම ගඟ දෙවරක් දකින්න බැහැ කියලා. මුලින් උනන්දුවෙන් බලන්න පටන්ගත්ත මිණිගංදෑළ බලන එක ඒ දවස වලම නවත්තල නොදැම්මනම් ඔය කතාව පට්ට බොරුවක් බව ඔප්පු කරන්න තිබුණා. කොහොම වුනත් ඒ කාලය කණාමැදිරියෝ බලන්න ඉතිරි වුණා.

කණාමැදිරියෝ ගලාගෙන යන්නේ තාත්ත්වික සීමාවෙන් එපිට අන්ත දෙකක ඉන්න චරිත දෙකක් මැදින්. මුලින්ම හිතුනේ තිර රචකයා ප්‍රොෆෙසර් මහේන්ද්‍රගේ පැත්තේ කියලයි. කතාව තවම ඉවර නැතත්, යන විදිහට පේන්නේ මුලින් වෙන්න බැරි දේවල් වගේ පෙනුණු දේවල් වලට "විද්‍යාත්මක" පැහැදිලි කිරීම් එකින් එක එමින් තියෙන බවයි.

(Image: https://pgcpsmess.wordpress.com/tag/spawning-salmon-and-bears/)

3 comments:

  1. මට නම් හිතෙන්නේ කණාමැදිරියෝ අදින් ඉවර වෙයි කියලා.. අන්තිමට එකෙත් මහා ලොකු කතාවක් තිබුනේ නෑ.. බොරුවට අපිව තියන් දෙපැත්තට හෙල්ලුවා විතරයි..

    ගත යුත්තකට කියලා තිබුනේ ප්‍රොෆෙසර් සෙනරත් මිත්‍යාව ගැන කියන ටිකයි..ප්‍රොෆෙසර් මහේන්ද්‍ර පරිසරය ගැනයි කියන ටිකයි විතරයි...

    මට දැන් හිතෙනවා හැම දෙයක් පස්සෙම ඉන්න මහ මොළකාරයා ඉන්ස්පෙක්ටර් ජගත් ද කියලත්..

    ජගත් මනුවර්ණ, තිසුරි යුවනිකා, ශ්‍යාම් ප්‍රනාන්දුගේ රංගනය ඉස්තරම්..

    ReplyDelete
  2. කණාමැදිරියෝ බලන්න හිතුනා.ගොඩක් ටෙලිනාට්ටිය එපා වෙන්නේ ඕනෙවට වඩා දිගට අදින්න යන එකෙන්.ඕනෙම දේක අවසානයක් තියෙන්න ඕනෙනේ.මේවා දිගට අදින්න ගිහින් චුයිංගම් වගේ වෙලා.ඕනේ තරම් කාලයක් හප හප ඉන්න පුළුවන් උනාට රසයක් තියෙන්නේ මුල හරිය හපද්දී විතරනේ.

    ReplyDelete
  3. දැන් සති තුන හතරක්ම බැලුවේ "Jamal Khashogghi". ජීවත්ව ඉන්දදීම මේ මනුස්සයගේ ඇඟිලි කපපු හැටි මතක්වෙන කොට "කණාමැදිරි එළි" පිටඋනා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: