Tuesday, October 30, 2018
දේශපාලන අර්බුදය කොයිබටද? (දෙවන කොටස)
පවතින දේශපාලන අර්බුදය ගැන, විශේෂයෙන්ම ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාව ඉවත් කිරීම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න ගැන, මගේ පෞද්ගලික මතය මම දැනටමත් සටහන් කරලා තිබෙනවා. නමුත්, මේ හා අදාළ මගේ පෞද්ගලික මතය කිසිසේත්ම වැදගත් කරුණක් නෙමෙයි. ඒ නිසා අපි එය පැත්තකින් තබමු.
මේ කටයුත්තේ නෛතිකත්වය පිළිබඳව විවිධ අය දරන අදහස් වල පැහැදිලි බෙදීමක් තිබෙනවා. ජනාධිපතිවරයා කියන ආකාරයට ඔහු කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුකූලවයි. මේ ගැන මහින්ද රාජපක්ෂගේ පැහැදිලි කිරීම මෙවැන්නක්.
"පැවති රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් වීම හේතුකොට ගෙන එම සභාග රජය අහෝසි විය. ඒ සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ආණ්ඩුවක් පත්කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරුණි. ජනාධිපතිවරයා නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය තනතුර භාර ගන්නා ලෙස මට ආරාධනා කර සිටියේය."
මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය අනුව, ජනාධිපතිවරයාට අගමැති ඉවත් කර නව අගමැතිවරයෙක් පත් කරන්න ඉඩ ලැබී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශ්වය පැවති රජයෙන් ඉවත් වීම නිසයි. ජනාධිපතිවරයාගේ තීරණයේ නෛතිකත්වය වෙනුවෙන් පෙනී සිටින වැඩි දෙනෙකුගේ තර්කය වන්නේත් ජාතික ආණ්ඩුවෙන් එජනිසය ඉවත් වීම හේතුවෙන් පැවති ආණ්ඩුව අහෝසි වූ බවයි. නීතිපතිවරයා ඉන්නේත් මේ මතයේමද යන්න පැහැදිලි නැහැ.
ඉහත මතයට වඩා වෙනස් මතයක් ඉදිරිපත් කරමින් තීරණයේ නෛතිකත්වය වෙනුවෙන් පෙනී සිටින්නේ (මා දන්නා තරමින්) නලින් ද සිල්වා (සහ ඔහුගේ මතය පිළිගන්නා වෙනත් අය) පමණයි. ඒ මතයේත් සෑහෙන අඩුලුහුඬුකම් තිබෙනවා. ඒ ගැන වැඩිමනත් අදහස් ඉදිරිපත් කිරීමට මේ වෙලාවේ කාලය යෙදවීමේ තේරුමක් තියෙනවා කියා මා හිතන්නේ නැහැ. මේ හා අදාළව මා හිතන ආකාරයේ වැදගත්කමක් නැහැ.
අනෙක් අතට, ජනාධිපතිවරයාගේ තීරණයේ නෛතිකත්වයට අභියෝග කරන අය අතරත් විවිධ පාර්ශ්ව සිටිනවා. ඇතැම් අයට ප්‍රශ්නයක් සේ පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය තිබෙන පුද්ගලයා බව තහවුරු කර නොගෙන අගමැති සේ පත් කිරීමයි. මේ මතය දරන අය ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත් කිරීමට ඇති අයිතිය ප්‍රශ්න කරන්නේ රනිල් වික්‍රමසිංහට තවමත් පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය තිබෙනවාය යන පදනමින්.
මේ තර්කයත් පුහු තර්කයක්. මේ කරුණ මත ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කර ඇති බවක් කියන්න බැහැ. 42(4) අනුව එය ඉතා පැහැදිලියි. 2015 ජනවාරියේදී පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් තිබුණු (මතක විදිහට) රනිල් වික්‍රමසිංහව අගමැති සේ පත් කළේත් එසේ කළ හැකි නිසා.
මා ඇතුළු බොහෝ දෙනෙක් ජනාධිපතිවරයාගේ තීරණයේ නෛතිකත්වය ප්‍රශ්න කරන්නේ ව්‍යවස්ථාව අනුව ඔහුට අගමැතිවරයාව ඉවත් කිරීමේ හැකියාවක් නැතිය යන පදනමින්. ව්‍යවස්ථාවේ තිබෙන පරස්පර නිසා මේ හා අදාළව විවිධ තර්ක ගේන්න පුළුවන්. මගේ නිගමනය මත මා තවමත් රැඳී සිටින්නේ අලුතින් මතු වී තිබෙන තර්ක ද ඇතුළුව ඒ සියලු තර්ක විතර්ක කරුණු කාරණා ආදිය කිරා බැලීමෙන් පසුවයි.
පදනම කුමක් වුවත් මෙහිදී වැදගත් වන්නේ ජනාධිපතිවරයාගේ තීරණය ව්‍යවස්ථානුකූලද නැද්ද යන්නයි. මේ දෙකෙන් එකක් මිස දෙකම එක වර වෙන්න විදිහක් නැහැ. ලංකාවේ වලංගු නීතියට චතුර්කෝටික තර්ක හරියන්නේ නැහැ. ඒ නිසා එක්කෝ මේ තීරණය ව්‍යවස්ථානුකූලයි. එසේ නැත්නම් නැහැ.
මේ අනුව, එකවර අගමැතිලා දෙන්නෙක් ඉන්න බැහැ, එක්කෝ අගමැති මහින්ද රාජපක්ෂ. නැත්නම් රනිල් වික්‍රමසිංහ. අගමැති රනිල් නොවේනම් මේ වන විට හිටපු ඇමති වරුන් සියලු දෙනාගේම ඇමති ධුර අහෝසි වී අවසන්. අගමැති රනිල්නම් ඔවුන් තවමත් ඇමතිවරු. එහෙමනම් අලුත් ඇමති පත්වීම් කිසිවක් වලංගු නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දෙන තුරු හෝ පාර්ලිමේන්තුව රැස් වන තුරු මේ අවුලේ කෙළවරක් දකින්න ලැබෙන එකක් නැහැ.
දැනට පෙනෙන අයුරින් කිසිදු පාර්ශවයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමේ සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. දෙගොල්ලන්ම බලා ඉන්නේ පාර්ලිමේන්තුව හරහා ප්‍රශ්නය විසඳා ගන්නයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවත් ඒ සඳහා මාස දෙකක් දක්වා කල් ගන්න ව්‍යවස්ථාවෙන් ඉඩ තිබෙනවා. ඒ නිසා, පාර්ලිමේන්තුව හරහා ප්‍රශ්නය විසඳා ගැනීම නරක අදහසක් කියන්න බැහැ. එය වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කියා කියන්නත් පුළුවන්.
මේ වන විට පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දක්වා කල් තබලයි තියන්නේ. ඊට පෙර පාර්ලිමේන්තුව කැඳවන මෙන් එජාපය, ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථාව අනුව බැලුවොත්, කිරීමේ හෝ නොකිරීමේ හැකියාව තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. පාර්ලිමේන්තුව රැස් වීමෙන් අනතුරුව ප්‍රශ්නය සමථයකට පත් වෙනු ඇතැයි සිතිය හැකි වුවත් ඒ වන තෙක් පවතින අරාජිකත්වය හේතුවෙන් සිදුවන විනාශය තව දුරටත් එසේමයි. ඊට අමතරව, පාර්ලිමේන්තුව රැස් වී ප්‍රශ්නය සමථයකට පත් වීමෙන් පසුවත් ඉතිරි වන දිගුකාලීන ගැටළු ගණනාවක් තිබෙනවා.
යම් හෙයකින් ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථානුකූල බව පසුව තහවුරු වුනොත්, පෙර සිටි ඇමතිවරුන් දැන් ගන්නා තීරණ කිසිවක් වලංගු නැහැ. එහි අනිත් පැත්ත වුවහොත්, ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථානුකූල සේ සලකා ගත් තීරණ කිසිවක් වලංගු නැහැ. උදාහරණයක් ලෙස පොලිස්පතිවරයා විසින් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව අඩු කිරීමට ගත් තීරණය.
ජනාධිපතිවරයා ඔහුගේ ධුරයේ සිටියදී ගන්නා තීරණ හා අදාළව ඔහුට මුක්තියක් තිබෙනවා. නමුත්, ඔහුගේ වැරදි තීරණයක ප්‍රතිඵල මත පත් වන අයෙකුගේ නියෝග ක්‍රියාත්මක කරන අයෙකුට පසුව ඒ වෙනුවෙන් වගවෙන්න සිදුවිය හැකියි. මේ හේතුව නිසා ව්‍යවස්ථාව තම තම නැණ පමණින් විග්‍රහ කර ගන්නා රාජ්‍ය නිලධාරීන් අවදානම් තීරණ නොගෙන ඉන්න ඉඩ තිබෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ පාර්ලිමේන්තුව රැස් වන තුරුම රාජ්‍ය යාන්ත්‍රනය අකර්මන්‍ය වීමයි. ආර්ථිකයට දැනටමත් දිගුකාලීන හානි රැසක් හානි සිදු වී අවසන්. කවුරු ආණ්ඩුව පිහිටවූවත් එහි හානිය රටටයි.
ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට කතානායකවරයාව වෙනස් කිරීමට හෝ ඔහුගේ තීරණ වලට බලපෑම් කිරීමට හැකියාවක් නැහැ. දහනවවන සංශෝධනයෙන් අලුතින් එකතු කර තිබෙන 33අ අනුව්‍යවස්ථාව අනුව "ස්වකීය බලතල, කාර්ය හා කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම හා යථා පරිදි ඉටුකිරීම සම්බන්ධයෙන්" ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. නමුත්, පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට යටත් නැහැ.
මේ තත්ත්වය යටතේ, විධායකය තමන්ගේ සීමාවෙන් ඔබ්බට අඩිය තැබීම නිමිත්තක් කර ගනිමින් ව්‍යවස්ථායකයත් ඉදිරියට පැන ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පෙනෙන්න තිබෙනවා. වත්මන් ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායකය වඩා බලවත් බව පෙනෙන්න තිබුණත් අවසාන වශයෙන් එය තීරණය වන්නේ ප්‍රයෝගික භාවිතාව තුළයි. මේ වෙලාවේ සිදුවන සිදුවීම් අනාගතයට පූර්වාදර්ශ සපයනවා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තබා තිබීම නොසලකා හරිමින් පාර්ලිමේන්තුව රැස් වුවහොත් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට එයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයක් ඇතැයි මා සිතන්නේ නැහැ. රාජ්‍යය කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියන කොටස් තුනම මිසක් එයින් එක් කොටසක් නෙමෙයි. රාජ්‍යයක ස්ථාවර භාවය පිණිස මේ අංශ අතර සාමකාමී සහජීවනයක් අවශ්‍ය වන්නේ ඒ නිසයි. මේ අංශ දෙකක් අතර ගැටුමක් කියන්නේ රාජ්‍ය ව්‍යුහයේ අර්බුදයක්. ඒ වගේ වෙලාවක විදේශ රටකට වුවත් අත පෙවීමක් කරන්න පහසුයි.
කතානායකවරයා මේ වන විට අගමැති සේ පිළිගෙන සිටින්නේ රනිල් වික්‍රමසිංහවයි. ඒ නිසා, රනිල්ට තමන්ට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ඇති බව පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුට කැමතිනම් ස්වේච්ඡාවෙන් ආණ්ඩුවට සහාය පළ කිරීමේ යෝජනාවක් සම්මත කරගත හැකියි. රනිල්ට 113 තිබේනම් පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයාට එරෙහි විශ්වාස භංගයක් වුවත් එන්න පුළුවන්.
පවතින තත්ත්වය යටතේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව පරාජය කිරීම සඳහා 113 පෙන්වන්න සිදු වන්නේ මහින්ද-මෛත්‍රී පාර්ශ්වයටයි. මහින්දව අගමැති සේ පිළිගන්නා මෙන් කථානායක වරයාට බලපෑම් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නැහැ. එය කළ හැකි එකම ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථදක්වා ගැනීමයි. මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට මාස දෙකක් දක්වා කල් ගත හැකියි. ඒ වගේම අර්ථදැක්වීම ලබා දෙන තුරු දැනට ගත් තීන්දු අත්හිටවීමේ ඉඩක් තිබෙනවා. එසේ වුනොත් මහින්ද-මෛත්‍රී පාර්ශ්වයේ සැලසුම් අවුල් වෙනවා. මම හිතන විදිහට ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නේ නැත්තේ ඒ නිසයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරිපත් නොවී, පාර්ලිමේන්තුව රැස් වෙන්න පෙර තත්ත්වයේ වෙනසක් වෙන්නේ කථානායකවරයා විසින් කල් පසුවී හෝ ජනාධිපතිවරයාගේ ක්‍රියාවේ ව්‍යවස්ථානුකූල බව පිළිගත්තොත් පමණයි. ඔහුට තමන්ගේ හෘද සාක්ෂිය හා නීති උපදෙස් අනුව එසේ කිරීමට හෝ නොකිරීමට පුළුවන්කම තිබෙනවා. යම් හෙයකින් ඔහු ජනාධිපතිවරයාගේ ක්‍රියාවේ ව්‍යවස්ථානුකූල බව පිළිගත්තොත් ඒ වහාම තවත් ගොඩක් දේවල් වෙනස් වෙනවා. රනිල්ට අරලියහ මන්දිරයේ ඉන්න තිබෙන අයිතිය නැති වෙනවා. එජාපයට 113 තිබුණත් හදන්න වෙන්නේ අලුත් ආණ්ඩුවක්. එහෙම වුනොත් එජාපය මෙතෙක් ගෙන ආ තර්ක සියල්ල පුහු තර්ක වෙනවා. ඒ නිසා, එය සිදුවෙන්න බැරි නැතත්, වෙන්න තිබෙන ඉඩකඩ අඩුයි.
පවතින තත්ත්වය යටතේ, මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින් 113 හොයා ගත්තොත් ඔවුන්ට කළ හැක්කේ විශ්වාස භංගයක් මගින් ආණ්ඩුව පරාජය කිරීමයි. එය යම් ආකාරයකින් නැවත මුලට යාමක්. මෙතෙක් කරපු දේවල් වලින් ඔවුන්ට ලැබෙන වාසිය 113 හොයා ගැනීම වඩා පහසු වීම පමණයි. එය සුළුපටු වාසියක් නොවන බවත් කිව යුතුයි.
මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට තවමත් මන්ත්‍රීවරුන් 113කගේ සහයෝගය ඇති බවක් පෙනෙන්නේ නැහැ. එසේ තිබේනම් ඔවුන්ට පාර්ලිමේන්තුව රැස් නොකර ඉන්න හේතුවක් නැහැ. ඒ අතරම, රනිල් පාර්ලිමේන්තුව ඉක්මණින් රැස් කරගන්න උත්සාහ ගනිමින් සිටීමෙන් පෙනෙන්නේ මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින් 113 හදාගැනීමේ උත්සාහය වැළැක්වීමේ අරමුණයි. මහජන නියෝජිතයින් ගෙම්බෝ වගේ දෙපැත්තට පනින ආකාරය අනුව අන්තිමට කවුරු කොයි පැත්තේ සිටීද කියන එක ගැන අනාවැකි කියන්න අමාරුයි.
මහින්ද-මෛත්‍රී පාර්ශ්වය 113 හදාගත්තොත් තාවකාලිකව ප්‍රශ්නය විසඳෙනවා. ඉන් පසුව, මහින්ද බොහෝ විට මැතිවරණයකට යන්න ඉඩ තිබෙන නිසා (මැතිවරණයෙන් දිනුවොත්) කලින් සිදු වූ දේවල් බොහොමයක් යට වෙලා යයි. අනික් අතට මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට යම් හෙයකින් 113 හදාගන්න බැරි වුනොත්, ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒමේ සිට තවත් ගොඩක් දේවල් වෙන්න පුළුවන්.
ඔය සියල්ලටම වඩා වැදගත් කරුණ නොවැම්බර් 16 දක්වා කාලය තුළ කුමක් වෙයිද කියන එකයි. විශේෂයෙන්ම රනිල්ව බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයෙන් ඉවත් කිරීම සඳහා ගන්නා උත්සාහයක් විශාල විනාශයකින් කෙළවර වෙන්න පුළුවන්. ඒ තරම් දුරකට මහින්ද-මෛත්‍රී පාර්ශ්වය යන බවක් දැනටනම් පෙනෙන්න නැහැ.
Subscribe to:
Post Comments (Atom)
කාලකන්නි රාජපක්ෂ මෛත්‍රී නඩය පන්නන්න ආපු ලක්ෂ සංඛාත ජනතාවට ආචාරය පල කරලා ගිහින් ඇමති කමක් ගත්තු දුනේෂ් ගන්කන්දගේ හැසිරිම, වසන්ත සේනානායක, වඩුවෙල් සුරේෂ් යන අයගෙ හැසිරීම බැලුවම යටින්, රනිල්ට අවාසි සහගත ලොකු ගේමක් යනවා කියලා හිතෙනවා..
ReplyDeleteසජිත් වචන තෝරන් බේරන් කතා කරන්නේ...
කතානායක ට තීරනයක් ගන්න කලින් ඕවත් සලකලා බලන්න වෙයි...
මේ වෙලාව ගොඩක් ගේම් යන්න පුළුවන් වෙලාවක්. මොන විදිහකින් හරි රට ඇතුළේ ප්‍රශ්නේ විසඳුනොත් ඒ ඇති!
Deleteජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් පරාජය කරන්න සරල බහුතරය ඇතිද, 2/3 ක් ඕනැද?
ReplyDeleteපරාජය කරන්න 2/3ක් අවශ්‍යයි- එය කෙරෙන දෙයක් නෙමෙයි. නමුත්, ඔහු ව්‍යවස්ථා විරෝධීව කටයුතු කර ඇති බව වැඩි ඡන්දයෙන් සම්මත කර අධිකරණයට යොමු කිරීමේ හැකියාවක් තිබෙනවා.
Deleteසිරිසේන ගේම ගහන්නේ 2020 ජනපතිකමට මහින්දගේ කරපිටින් එන්න බලාගෙන.මහින්ද ගේම ගහන්නේ අතේ තුරුම්පු නැතිව.හකීම්ගෙ හොරගල් ඇහිලිල්ල මටනම් අල්ලන්නේ නෑ. ගේම හොඳ එකක් නම් කාටත් කලින් පිල් මාරු කරන්නේ හකීම්. මහින්දගේ ප්ලෑන අප්සට් යයිද?
ReplyDeleteජාතික ගීය දෙමලෙන් ගැයීම - ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව බල්ලට දාපිය.
ReplyDeleteරනිල් ඉවත් කිරීම - මෙන්න ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථාව කඩනවෝ!!
ammata hudu.. muu ellwnna welak hoyaagena hoyaagena hoyaagena gihin ellila tiyena thena balapanko
Deleteඑළිපිටම මුදලට, ඇමති වරප්‍රසාදවලට ඡන්දය විකිණෙන හැටි අසික්කිතයි!
ReplyDeleteආණ්ඩුව ගෙදර යවපු විදිය ව්‍යවස්ථාවට එකඟද නැද්ද ප්‍රජාතන්ත්‍රවාදීද වගේ දරුණු ප්‍රශ්නවලට දැන් සෑහෙන පිරිසක් සංවේදී වෙලා. මෙතන ඇත්තටම හාමු බේර ගැනීමකට එහා සාර්ධර්ම ගැන කැක්කුමක් නෑ.
ReplyDeleteහරියටම 2015 වගේම තමයි, මේව ඇහුවෙ මොහාන් පීරිස්ව අසාද් සාලි කනෙන් ඇදල එලියට දාන කාලෙ. ඒ කාලෙ යහපාලන පෙරගමන් කරුවන්ගෙන් ලැබුන පිළිතුර තමයි "මේවට උත්තර දෙනවට වඩා ප්‍රමුඛත්වය දීල කරන්න වැඩ මේ වෙලාවෙ තියෙනව, දැනට දෙන්න පුලුවන් කෙටි උත්තරය විප්ලව අවස්ථාවලදී නීතිය ඇත්තේ දේශපාලනයට යටිනි" කියන එක විතරයි.
දැන් ප්‍රශ්නය තමන්ගෙ වෙලා ආවම ගලේ පහරපු බළලුන්ගෙ තත්වයට ඔවුන් පත් වෙලා තියෙනව. ව්‍යවස්ථාවෙ පිටු පෙරලල ඉස්පිලි පාපිලි හොයන්න, 62 ජනවරම ගැන කතා කරන්න දැන් ඒ ගොල්ලො සෑහෙන්න මහන්සි ගන්නව. ඔය කියන සාරධර්ම ඇත්තටම අගය කරන සවාධීන පිරිසක් නන් මේ අය, මේ පහත කියන අවස්ථාවලදි ඒවට මේ අය ප්‍රතික්‍රියා දැක්වූයේ කොහොමද කියල ඒ අයගෙම අතීතය දිහා හැරිල බලල ඕන කෙනෙක්ට තීරණය කරගන්න පුලුවන්?
1) මහබැංකු කොල්ලයේ පළමු කෝප් වාර්ථාව එලි දැක්වීම වැලැක්වීමට පාර්ලිමේන්තුව විසුරුවීම.
2) මගමැතිවරණයෙන් අයුතු වාසියක් රනිල්ට සැලසෙන ලෙස ජනාධිපතිවරය එලි පිට හැසිරීම ( ලේකම්ලා ඉවත් කිරීම, ඡන්දෙන් දිනුවත් අගමැති නොකරන බව පැවසීම etc.... )
3) සීමා නිර්ණයට මුවා වී වසර ගණනාවක් සියළුම ඡන්ද දින නියමයක් නොමැතිව කල් දැමීම.
4) පාර්ලිමේන්තුවෙන් පිට පැහැදිලි විපක්ෂය වූ ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ හිමි තැන අහිමි කිරීම.
5) ඒ අහිමි කිරීම නොයෙකුත් දුර්වල නීති තර්ක මගින් සාධාරණීයකරණය කිරීම.
6) පාර්ලිමේන්තුව මේ ආකාරයටම ජනාධිපතිවරයා විසින් කල් දැමීම (උදා : දෝෂාභියෝගය සමයේ).
7) කිසිවෙකුට නොපෙන්වූ මිල සූත්‍රයක් හරහා බදු රැස් කිරීම.
8) මිල සූත්‍රය පෙන්වන ලෙස කරන ලද ඉල්ලීම් තඹේකට මායිම් නොකර සිටීම සහ අවසානයේ සමච්චලයට "සූත්‍රයක්" පෙන්වීම.
9) පනත් කාරක සභා අවස්ථාවලදී වෙනමම පනත් බවට පත් කිරීම.
ලිස්ට් එක දිගට තියෙනව....
මේව හොඳ පූර්වාදර්ශ නෙමෙයි. නමුත් මේව මේ දේශපාලනයට එකතු කලේත් ඒවට සුදු හුණු ගෑවේත් මේ යහපාලිත ලම තමයි.
- චරිත කාරියවසම්