වෙබ් ලිපිනය:

Wednesday, October 24, 2018

පඬුවස්දෙව්ගේ දරුවෝ


මහා වංශයට අනුව සිංහල අනන්‍යතාවය පටන් ගන්නේ විජයගෙන්. ඔය කතාවත් එක්ක මට ලොකු ප්‍රශ්නයක් නැහැ. තමන්ව  සිංහලයෙක් ලෙස හඳුන්වාගත් පළමු පුද්ගලයා විජය වෙන්න පුළුවන්. එය ජාතික අනන්‍යතාවයක්ද නැද්ද කියන එක වෙනම කරුණක්. ගොඩක් වෙලාවට එයින් අදහස් වෙන්න ඇත්තේ ඔහුගේ පරම්පරාව.

ඔය ආකාරයට තමන්ගේ පරම්පරාවේ අනන්‍යතාවයෙන් තමන්ව හඳුන්වා ගත්තු මිනිස්සු ඉතිහාසයේ ඕනෑ තරම් ඉන්න ඇති. නමුත්, මහා වංශ ඉතිහාසයේ විජයට ලැබී තිබෙන තැන ඒ වෙනත් අයට ලැබිලා නැහැ.

මහා වංශය ලියා තිබෙන්නේ (දළ වශයෙන්) විජයගේ කාලයෙන් සියවස් අටකට පමණ පසුව වුනත්, මහා වංශය ලියන්න පදනම් කරගෙන තියෙන කතා ඊට වඩා පැරණියි. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ ඉඳලා මේ ඉතිහාස කතා දිගින් දිගටම යාවත්කාලීන කරමින් කටින් කට ඉදිරියට ගෙනත් තිබෙනවා. ඒ විදිහට ගෙනත් තියෙන්නේ ලංකාවේ බුද්ධ ශාසනයේ ඉතිහාසය. මේ කතා වල රජවරුන්ට තැනක් ලැබෙන්නේ බුද්ධ ශාසනයේ ඉතිහාසයට ඔවුන් සම්බන්ධ වන තරමටයි.

මහාවංශ ප්‍රවාදය අනුව ලංකාවේ බුද්ධ ශාසනයේ ඉතිහාසය පටන් ගන්නේ දේවානම්පියතිස්ස රජුගේ කාලයෙන්. කතාවේ ඊට පෙර කොටස තිබෙන්නේ මගධය ඇතුළු වත්මන් ඉන්දියානු අර්ධද්වීපයට අයත් තැන් වල. ඒ කොටසත් එකතු කළොත් කතාව අඛණ්ඩව යාවත්කාලීන වෙන්න පටන් ගන්නේ බුද්ධ කාලයෙන්. නමුත්, මහින්දාගමනය තෙක් මේ විදිහට යාවත්කාලීන වී තිබෙන්නේ මගධයේ ඉතිහාසය මිසක් ලංකාවේ ඉතිහාසය නෙමෙයි.

මහින්දාගමනයට පෙර ලංකාවේ බෞද්ධයින් සිටි බව කාට හෝ මතක් කරන්න පුළුවන්. එය එසේ නොවෙන්න හේතුවක් නැහැ. නමුත්, ඒ බෞද්ධයින්ගේ යම් සම්ප්‍රදායයන් තිබුණානම් ඒවා එක්කෝ නැති වෙලා ගිහින්. එහෙම නැත්නම් අශෝක බුද්ධාගම ඇතුළේ දිය වෙලා ගිහින්. දැන් තිබෙන සම්ප්‍රදාය මගධයේ පරිණාමය වෙලා ලංකාවට ඇවිත් තිබෙන්නේ මහින්දාගමනයත් එක්කයි.

දේවානම්පියතිස්ස කියන්නේ මහා වංශයට මුල් වූ පූර්ව ඉතිහාස කතා අනාගතයට සම්ප්‍රේෂණය කරපු බෞද්ධ භික්ෂූන්ට මුහුණට මුහුණ හමු වූ චරිතයක්. නමුත්, විජය කියන්නේ ඒ විදිහට ඔවුන්ට හමු වූ අයෙක් නොවෙයි. මහා වංශයට විජය වැදගත් පුද්ගලයෙක් වෙන්නේ දේවානම්පියතිස්සගේ පරම්පරාවේ ලංකාව ඇතුළේ හඳුනාගත හැකි පළමුවැන්නා විජය නිසයි.

කොහොම වුනත්, දේවානම්පියතිස්ස කියන්නේ විජයගෙන් කෙළින්ම පැවත එය අයෙක් නෙමෙයි. විජයගේ දරුවන්ට ලංකාවේ සිහසුනට උරුමයක් ලැබෙන්නේ නැහැ. දේවානම්පියතිස්ස පැවත එන්නේ පඬුවස්දෙව්ගෙන්.

දේවානම්පියතිස්සගේ පියා මුටසීව. මුටසීවගේ පියා පණ්ඩුකාභය. පණ්ඩුකාභයගේ මව චිත්‍රා. චිත්‍රාගේ පියා පඬුවස්දෙව්. පඬුවස්දෙව්ගේ පියා විජයගේ සොහොයුරා.

විජය වගේම පඬුවස්දෙව් කියන්නෙත් පළමු පරම්පරාවේ සංක්‍රමණිකයෙක්. නමුත්, පඬුවස්දෙව් ලංකාවට එන්නේ විජය පැමිණියා වගේ අහම්බයකින් නෙමෙයි. ඔහුට ලංකාවට එන්න පසුබිම හදන්නේ විජය. ඒ නිසා, දේවානම්පියතිස්ස කියා පුද්ගලයෙක් ලංකාවේ බිහිවෙන්න අඩිතාලම වැටෙන්නේ විජය නිසා. බුද්ධාගම ලංකාවේ ස්ථාපිත වෙන්න අඩිතාලම වැටෙන්නේ දේවානම්පියතිස්ස නිසා.

දේවානම්පියතිස්සගේ පියා මුටසීවනේ. මහා වංශයට අනුව මුටසීවට දරුවන් දොළොස් දෙනෙක්. පුත්තු දහයක් හා දුවලා දෙන්නෙක්. මහා වංශයේ එකොළොස් වන පරිච්ඡේදයේ තියෙන්නේ මෙහෙමයි.

"ඒ රජහට උනුන් හිතෛෂී වූ පුතුන් දස දෙනෙක් වූහ. කුලයට සුදුසු කීකරු වූ දූන් දෙදෙනෙකුද වූ ය. දේවානම් පියතිස්ස (දෙවෙන පෑතිස්ස) යයි ප්‍රසිද්ධ වූ දෙවෙනි පුත්‍ර තෙමේ ඒ සියලු සහෝදරයන් ‍අතුරෙන් පින්පැණ ගුණෙන් අධික වී."

මුටසීවගේ සීයා පණ්ඩුවාසදේවත් දරුවෝ එකොළහක් හදලා තියෙනවා. පුත්තු දහයක් හා දුවෙක්. මහා වංශයේ නවවන පරිච්ඡේදයේ තියෙන්නේ මෙහෙමයි.

"ඒ මෙහෙසිතොමෝ පුතුන් දසදෙනෙකු හා එක් දුවකුදු වැදුවා. සියල්ලන් දෙටුපිත් අභය නම  කණිට්ඨිකා තොම චිත්‍රා නම."

මේ විස්තර අනුව පෙනෙන්නේ ලංකාවට සංක්‍රමණය වූ පඬුවස්දෙව්ගේ පරම්පරාව ඉතා වේගයෙන් ව්‍යාප්ත වී තිබෙන බවයි.

තවත් කරුණක් සමහර විට ඔබ නිරීක්ෂණය කරන්න ඇති. ඒ තමයි මේ පරම්පරාවේ පිරිමි දරුවන්ට සාපේක්ෂව ගැහැණු දරුවන් ඉපදිලා තිබෙන්නේ අඩුවෙන් බව. එහෙම වුනේ කොහොමද?

මේ ගැන ඉදිරි ලිපියකින් කතාකරමු.

5 comments:

  1. පණ්ඩුකාබයගෙ පියාත් ඉන්දියාවෙක් ආපු කෙනෙක්ද ?

    ReplyDelete
    Replies
    1. මහා වංශයට අනුව පණ්ඩුකාභයගේ පියා දීඝගාමිණී ලංකාවේ උපන් කෙනෙක්. නමුත්, දීඝගාමිණීගේ පියා දීඝායු සංක්‍රමණිකයෙක්.

      Delete
  2. ඉකොනො තවත් කරුණක්,

    ඒ තමයි ලංකාවේ එහෙම වුනත් ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින ලංකාවේ සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු රජයේ සුබ සාධන දීමනා මත යැපෙන බවත් ඔවුන් දේශීය ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා පැහැර ගන්නා බවත් එමනිසා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටින සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට මහත් බරක් සහ පීඩනයක් ගෙනදෙන බව පවසමින් ස්ථිර පදිංචිය සඳහා ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන වාර්ෂික සංක්‍රමණික ප්‍රමාණය (APMI - Annual Permanent Migration Intake) කප්පාදු කිරීමේ තීරණයත් සමග ඔස්ට්‍රේලියාවේ මහා භාණ්ඩාගාරය සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මෙම ප්‍රශ්නය පැහැදිලිව සඳහන් කළේය.

    ReplyDelete
    Replies
    1. ඔස්ට්‍රේලියාවේ රජය ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ගේ ප්‍රමාණය අවම කිරීමට ගත් තීරණයට බලපෑ තවත් එක් හේතුවක් ලෙස සංක්‍රමණික ප්‍රමාණය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනගහනය ශීග්‍ර ලෙස ඉහළ යාම බවද මේ හේතුවෙන් රටෙහි යටිතල පහසුකම් සහ නිවාස වැනි ක්ෂේත්‍ර සඳහා ප්‍රබල බලපෑමක් එල්ලවන බව ඔවුන් දක්වා තිබුණි.

      තවත් සෑහෙන ප්‍රශ්නයක් තමයි සංක්‍රමණික ඔස්ට්‍රේලියානුන් දෙමාපියන් හෝ පවුලේ නෑ හිතවතුන් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමේදී අදාළ වීසා අයදුම්පත්‍රය සමග පෙන්විය යුතු මුදල් ප්‍රමාණය පැරණි සීමාවට අනුව තම දෙමාපියන්ට මුල්‍ය අනුග්‍රහය දැක්වීම උදෙසා යුවලකගේ මුළු ආදායම් එකතුව වසරකට $45,185 ක් වූ නමුත් නව සීමාවට අනුව එය වසරකට $115,475 දක්වා ඉහළ දමා ඇත.

      මේ අභියෝගය ගැන ඉකොනොමැට්ටාගේ අදහස කොහොමද? මේ ගැන වැඩි විස්තර පසුව වෙනම ලිපියක ලියන්න.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: