වෙබ් ලිපිනය:

Saturday, October 20, 2018

ව්‍යවසායකයන් බිහි කරන්නේත් රජයද?


රටක ආර්ථිකය ඉදිරියට ගෙන යන්න ව්‍යවසායකයන් කොයි තරම් විශාල කාර්ය භාරයක් කරනවද කියන එක මා බොහෝ වර පැහැදිලි කර ඇති කරුණක්. ව්‍යවසායකයින්ට ඔලුව උස්සන්න තිබෙන බාධා අවම වන තරමට රටකට වේගයෙන් ඉදිරියට යන්න පුළුවන්.

දැන් මේ ව්‍යවසායකයින්ට තිබෙන බාධා මොනවාද? රටක නිදහස් වෙළඳාමට රජයේ බලපෑම් වැඩි වන තරමට ව්‍යවසායකයකත්වය අඩු වෙලා රජයේ වහල්ලු වැඩි වෙනවා. රජයේ ඇඟිලි ගැසීම් අඩු වන තරමට ව්‍යවසායකයින් වැඩි වැඩියෙන් බිහිවෙනවා.

ව්‍යවසායකයින් කියන්නේ අර්ථ දැක්වීම අනුවම පවතින වාතාවරණය යටතේ වෙනත් අයට කළ නොහැකි දෙයක් කරන පිරිසක්. ව්‍යවසායකයෙකු වෙන්න රජයෙන් උදවු බලාගෙන ඉන්න කෙනෙක්ට හොඳ ව්‍යවසායකයෙක් කියන්න බැහැ. ව්‍යවසායකයෙකු වෙන්න කවුරු හෝ රජයේ උදවු හොයනවනම් එය නිදහස් චින්තකයෙකු වෙන හැටි ඉගෙන ගන්න ටියුෂන් පන්තියකට යනවා වගේ වැඩක්.

පසුගිය අයවැයෙන් ලංකාවේ ව්‍යවසායකයින් දිරිගන්වන වැඩ පිළිවෙලක් යෝජනා වුණා. මේ වන විට එය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පේනවා. ව්‍යවසායකත්වය දිරි ගන්වන එකත් රජය විසින් කරන්න යාම තුළම මෙහි තිබෙන අවුල පෙනුණත් අඩු වශයෙන් අරමුණ හොඳ එකක් නේද කියන අදහසින් මම මේ ගැන ලිවුවේ නැහැ. වෙමින් තිබෙන්නේ මා හිතූ දෙයම බව දැන් දැනගන්නට ලැබෙන ආරංචි අනුව පැහැදිලියි.

මේ ව්‍යවසායකයින් දිරිගන්වන වැඩ සටහනේ ආකෘතිය කුමක්ද? මෙහිදී වෙන්නේ තමන් ව්‍යවසායකයෙකු බව රජයට පෙන්විය හැකි කෙනෙකුට වෙනත් අයට නොලැබෙන වාසියක් රජයෙන් ලැබෙන එකයි. ඒ වෙනත් අයට වඩා අඩු පොලියකට හා අඩු කොන්දේසි යටතේ ලැබෙන ණයක්. වෙනත් විදිහකින් කිවුවොත් ව්‍යවසායකයෝ වැඩේට බහින්නේ වෙනත් අයට නොලැබෙන වාසියක් ලබමින්.

ව්‍යවසායකයින්ට අඩු පොලියට ණය ලැබෙන විට පාඩු ලබන පිරිසකුත් ඉන්න ඕනෑනේ. දැන් මේ පාඩුව රාජ්‍ය බැංකු වලට හෝ රජයට. ඒ කියන්නේ මේ ව්‍යවසායකයින් බිහි කිරීම සිදු වෙන්නේ මහජන මුදල් යොදාගනිමිනුයි.

පහුගිය කාලයේ ලංකාවේ බැංකු වලින් වයස හැටක් වූ අයට වැඩි පොලියක් ගෙවන්න පටන් ගත්තා. මම හිතන්නේ මෙය තවමත් වෙනවා. මේ එක්කම වයස හැටක් නොවූ අය හැට පිරුණු වැඩිහිටියන්ගේ නමින් මුදල් තැන්පත් කරන්න ගත් බව මා දන්නා දෙයක්. එවැන්නක් වැළැක්වීමේ හැකියාවක් නැහැ.

ව්‍යවසායකයින්ට අඩු පොලියට ණය දෙනවා කියපු ගමන් වෙන්නේ මොනවා හෝ කතාවක් හදාගෙන ඔය ණය ගන්න කට්ටිය පෝලිමේ එන එකයි. ඔය නමින් නොවුනත් ඔයිට කලිනුත් ස්වයං රැකියා ණය කියා අඩු පොලියට ණය දුන් අවස්ථා තියෙනවා. ඒ වෙලාවල් වල වුනෙත් ඕකමයි.

රජයේ මැදිහත් වීමෙන් සහනදායී පදනමකින් ණය දෙන කොට අනිවාර්යයෙන්ම වෙන්නේ වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණයට වඩා වැඩි ණය ඉල්ලුමක් ඇති වීමයි. එතකොට මේ ඉල්ලුම්කරුවන් අතරින් ව්‍යවසායකත්වය වැඩි අය කවුද කියන එක තෝරන්න වෙන්නේ බැංකු නිලධාරීන්ටයි. ඔවුන් විසින් තෝරා ගැනෙන අයට මහජන මුදලින් වාසියක් සැලසෙනවා. තෝරා නොගන්නා අයට එය නැහැ. මේ වගේ වෙලාවක ණය පාස් කර ගැනීමේ ආට් එක දන්න අය තමයි අන්තිමට නියම ව්‍යවසායකයෝ වෙන්නේ.

තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වඩා සහනදායී පදනමකට ලැබෙන ණය මුදල ලබා ගැනීම ඉස්සර වුනොත් අවසන් ප්‍රතිඵලය එතරම් හොඳ එකක් නොවෙන්න පුළුවන්. බැංකුව මහජන මුදල් නාස්ති කරද්දී ණය ලබාගත් අය ඒ මුදල් වෙනත් කටයුතු වෙනුවෙන් යොදවලා ව්‍යවසායකයෝ කොහොම වුණත් ණයකරුවෝ බිහිවෙන්න පුළුවන්.

මේ ආකෘතියේ පොඩි වෙනසක් කළානම් අවුල ලිහාගන්න බැරි නැහැ. රජයේ බැංකු විසින් කළ යුත්තේ ඔවුන් හඳුනාගන්නා ව්‍යවසායකයින්ට ණය දීම වෙනුවට ඔවුන් පටන් ගන්න යන ව්‍යාපාරයක කොටස් මිල දී ගැනීමයි. උදාහරණයක් විදිහට ව්‍යවසායකයාට 60%ක් තියෙද්දී බැංකුවට 40%ක් කොටස් මිල දී ගන්න පුළුවන්. එවිට බැංකුවට තමන්ගේ ආයෝජනයෙන් වාසියක් ලබා ගන්න තිබෙන උනන්දුව වැඩියි. ව්‍යාපාරය බංකොලොත් වුනොත් ව්‍යවසායකයා ණයකරුවෙක් වෙන්නෙත් නැහැ.

මේ විදිහට මුදල් ආයෝජනය කරද්දී අවදානම අමතක කර වැඩේ ගොඩ ගියොත් විශාල ලාභයක් තිබෙන ව්‍යාපෘති පමණක් තෝරා ගැනීම වැදගත්. ව්‍යාපෘති දහයකින් නවයක් බංකොලොත් වුවත් ඉතුරු එකෙන් ඒ අලාභය ආවරණය වන බවට බැංකුව වගබලාගන්න ඕනෑ.

වඩාත්ම හොඳ විදිහ මේ විදිහට කරන ආයෝජන නැවත වෙනත් අයට විකුණන එකයි. ව්‍යාපෘති දහයක් පමණ එකතු කරලා ඒ සමස්ත ආයෝජනය කොටස් කරලා නැවත විකුණන්න පුළුවන්. වැඩි ප්‍රතිලාභ වෙනුවෙන් අවදානම් ගන්න කැමති අය ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා.

ඒ තරම් ලොකු වෙනසක් කරන්න අමාරුනම් දැනට ඔය ලබා දෙන ණය එකතු කරලා ඒ එකතුව කොටස් කරලා නැවත විකුණන්න උත්සාහ කරන්න පුළුවන්. බැංකුව ව්‍යවසායකයින් හරියට තෝරගෙනනම් ණය වෙනත් අයෙකුට ආපසු විකුණන එක අමාරු වෙන්න හේතුවක් නැහැ. එහෙම කරන්න බැරිනම් ඒ කියන්නේ ව්‍යවසායකයින් හඳුනා ගැනීමේ හැකියාවක් රජයේ බැංකු වලට නෑ කියන එකයි.

5 comments:

  1. Itn එකේ යනවා ඇත් පවුර කියලා වැඩසටහනක්. ඒකෙන් කරන්නෙ මේ ඉකොනො කියන ජාතියෙ වැඩත්... රටේ ප්‍රධාන ව්‍යාපාරිකයො කිහිප දෙනෙක් ඉදිරියෙ තමන්ගෙ ව්‍යාපාරය සහ එහි ප්‍රතිලාබ ගැන පැහැදිලි කිරීමක් කරන්නඕනා. තමන්ට වාසියක් ලැබෙයි කියලා හිතන ඒවට ඔවුන් ආයෝජනය කරනවා. ඒක සාර්තකයි මම හිතන්නෙ....

    ReplyDelete
    Replies
    1. මේක ලොකුම අවාසිය තමා මෙහි එන ව්‍යාපාරිකයො UNP සුප්පොර්ට් only. මෙ කට්ටිය පොඩි ගානක් ආයෝජනය කරනවා කරනවා... ආණ්ඩුවෙන් වැඩි වාසියක් ගන්නවා...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. As you correctly mentioned, business incubation and bunch of venture capitalists are absolutely needed than concession schemes

    ReplyDelete
  4. සුළු ව්‍යාපාරිකයො හදන්න නම්... ආණ්ඩුව නය දෙන්න වෙනවා...නමුත්
    "මේ වගේ වෙලාවක ණය පාස් කර ගැනීමේ ආට් එක දන්න අය තමයි අන්තිමට නියම ව්‍යවසායකයෝ වෙන්නේ" මේක නොවෙන්න ආණ්ඩුව වග බලාගන්න වෙනවා ...
    ලංකාවේ දේශපාලනය මේකට සම්බන්ද උනාම කොහ්මත් වැඩක් නැ...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: