වෙබ් ලිපිනය:

Friday, November 2, 2018

හේමන්තය මැද...


මේ දවස්වල මේ පැත්තේ පරිසරය හරිම ලස්සනයි කියා මා කිවුවනේ. රතු, කහ, තැඹිලි පාට වුණු ගස් නිසා පුදුම ලස්සනක් තියෙන්නේ. හැබැයි ඔය ලස්සන තව වැඩි දවසක් තියෙන එකක් නැහැ. සතියක් විතර යන කොට ඔය ගස් වල කොළ හැලිලා කෝටු විතරයි ඉතිරි වෙන්නේ.

ලංකාව වගේ සමකය කිට්ටු රටවල් වල නම් කවදා බැලුවත් එක වගේනේ. වෙනසක් කියලා දෙයක් පේන්නෙම නැහැ. නමුත්, සමකයෙන් ඈත රටවල් වල ජීවත් වෙද්දී තමන් ජීවත් වන වටාපිටාව වෙනස් වෙනවා කියන එක ඇඟට දැනෙනවා.

පහේ හයේ පන්ති වලදී මුලින්ම නිවර්තන සදාහරිත වනාන්තර ගැන ඉගෙන ගනිද්දී තිබිච්ච ලොකුම ප්‍රශ්නය වුණේ වනාන්තරනම් සදාහරිත නොවෙන්නේ කොහොමද කියන එකයි. සමකය කිට්ටු රටකින් එළියට නොගිය කෙනෙක්ට එහෙම හිතෙන එකේ පුදුමයක් නැහැ.

ඒ දවස් වල ක්‍රෝටන් වගේ කොළ පාට නැති කොළ තිබෙන ගස් ගෙවල් වල වවා තිබෙනවා දැක තිබුණත් ලංකාවේ කැලෑවල් වලනම් තිබුණේම කොළ පාට කොළ තියෙන ගස් විතරයි. කොළනම් ඉතිං කොළපාට වෙන්න එපායැ. කොට්ටම්බා වගේ ගස් වල කොළනම් හැලෙන්න කිට්ටුව තැඹිලි පාට වෙනවා. ඒත් මුළු ගහම එක පාර පාට වෙන්නේ නැහැ.

උත්තරාර්ධ ගෝලයේ රටවලට හේමන්තය පටන් අරන් දැන් සති පහක් පමණ ගිහින්. ඉංග්‍රීසි භාෂාවෙන් අනෙක් සෘතු වලට කියන්නේ එකම නම වුවත් හේමන්ත සෘතුවට Fall හා Autumn කියන නම් දෙකම භාවිතා වෙනවා. උතුරු ඇමරිකාවේ වචනය Fall. එංගලන්තයේ Autumn. ඇමරිකාව හා එංගලන්තය අතර හේමන්ත සෘතුවට කියන නමට අමතරව තවත් ගොඩක් වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම් වලට සංවේදී වෙන්න රටවල් දෙකම ගැන සැලකිය යුතු අවබෝධයක් තියෙන්න ඕනෑ.

ඇමරිකානු වචනය වන Fall කියන එකේ තියෙන්නේ වැටෙනවා කියන අරුත. ඔය සෘතුවේදී ගස් වල කොළ ලස්සනට පාට වෙන්නේ ඉක්මණින්ම වැටිලා යනවා කියන එක සංඥා කරන්නනේ. කොළ පාට කොළ හේමන්තයේදී කහ, තැඹිලි, රතු වෙනවා කියන්නේ ඔය කොළ වලින් පරාවර්තනය කරන ආලෝකයේ සංඛ්‍යාතය අඩු වෙලා තරංග ආයාමය වැඩි වෙනවා කියන එකයි. මිනිස්සු පරිණාමය වෙලා තිබෙන්නේ මේ වෙනසට විශාල සේ සංවේදී වන ආකාරයටයි. ඒ නිසා, කොළ, කහ, රතු පාට සෑහෙන්න වෙනස් පාට වගේ අපට පේනවා.

මේ විදිහට පාට වෙලා කොළ හැලිලා ගියාට පස්සේ ඔය ගස් වල ආයේ දළු දාන්නේ වසන්තයේදී. එතකම් ඉතිං පල නැති රුක් තමයි. ඇමරිකාවට මේ දවස් වල හේමන්තය වුනත් ඇමරිකාවට අනිත් පැත්තේ තියෙන රටවල් වලටනම් වසන්තය. ඒ පැත්තේ දැන් ගස් වල දළු දාගෙන එනවා ඇති.

ඊයේ වැස්ස අධික දවසක්. ලස්සනට පාට වෙලා තිබුණු ගස් වල කොළ වැස්සත් එක්ක එක පාරට හැලෙන කොට ටිකක් කණගාටුවක් දැනෙනවා. හැබැයි තවමත් කොළ වලින් ටිකයි හැලිලා තියෙන්නේ.

(Image: https://www.yoga-healing-nature.com/blog/2015/10/23/attuning-to-the-fall-season)

8 comments:

  1. ඉකොනො මෙදා සැරේ හේමන්තයේදී ලංකාවෙනෙ ඉන්න තිබුනේ. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙලා, ඔන්න මෙහෙත් කොළ හැලෙන්න පටන් අරං...

    සමහර කොළ ඉක්මනටම හැලිලා ගියා.. සමහර ඒවනම් බෑ කිය කිය ඉන්නවා..ඒත් සිසිරය ලංවෙද්දි හැලිලා යයි වගේ..

    ReplyDelete
  2. වසන්තේ නිදා උන්
    යොවුන් කෝකිලාවන්
    ගයන්නේ සුපෙම් ගීත
    හේමන්තයේදී......

    ReplyDelete
  3. විලාපෙන් විලා වී රැදී මං තලාවේ
    වැසී අන්ධකාරෙන් වැටී මං මුලාවේ
    වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
    ඔබෙන් නෙත් ලැබූවේ හේමන්ත කාලේ

    ReplyDelete
  4. ඉකොනො,

    සුසුම් ලා දිවා රෑ වෙලී හුදෙකලාවේ (ලංකාවේ)
    එපා වී සියල්ලන් පලා ආ වෙලාවේ (ඇමරිකාවට)
    තුෂාරෙන් උදා වූ සඳක් සේ නිශාවේ
    ඔබයි නෙත් සැදූයේ හේමන්ත කාලේ (රනිල් #)

    # රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ අනෙකුත් රාජකීය ආදි ශිශ්‍යයන් වන

    සජිත් ප්‍රේමදාස
    කබීර් හශීම්
    මලික් සමරවික්‍රම
    සාගල රත්නායක
    මංගල සමරවීර
    ගයන්ත කරුණාතිලක
    රවි කරුණානායක
    ස්වාමිනාතන්
    හර්ශ ද සිල්ල
    එරාන් වික්‍රමරත්න
    ලක්ශ්මන් කිරිඇල්ල
    රාවුෆ් හකීම්

    වැනි අය ගෙන් සමන්විත අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඇමති මංඩලය ......

    Am I incorrect?

    ReplyDelete
  5. මම ආසම කාලෙ තමයි මේ .....හරිම ලස්සනයි . ඒත් ඔබ කිව්වා වගේ කොළ හැලිලා ගියාම ඒ ලස්සන නැතිවෙනවා . ජීවිතේට කරදර වැඩි වුණත් අයිසිකල් හැදිලා හිම ගස් මුදුන් වල තියෙනකොටත් ලස්සනයි . ඔබේ ලියැවිලි ආසාවෙන් කියවනවා .

    ReplyDelete
  6. හේමන්තය විඳින්න පුළුවන් රටක ජීවත්වීම ඇත්තටම භාග්‍යයක්
    විචාරක දියණිය

    ReplyDelete
  7. ඉකොනොමැට්ටාට ලංකාව ගැන සැබෑ ආදරයක් තිබේ නම් අමු-අමුවේ ව්‍යවස්තාව උල්ලංඝණය කර සදාචාර විරෝදී ලෙස කුමන්ත්‍රණ කර රට අස්ථාවර වී ඇති මේ වෙලාවෙදි එම කුමන්ත්‍රණ කල MS, MR ඇතුලු ත්‍රස්තවාදීන්ගේ තුච්ච ක්‍රියාවලියට විරුද්දව තව post දාන්න.

    ජ.වි.පෙ./ TNA තම චන්දය MR ට විරුද්දව දිය යුතුයි. එසේ නැතිනම් ඔවුන්ද අවස්ථාවාදීන් වනු ඇත. මෙවැනි අවස්ථාවකදී පක්ෂ, පාට ගැන නොසිතා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ජ.වි.පෙ./ TNA ගත් තීරණය ප්‍රසංසනීයයි. ඉකොනොමැට්ටාට මේ ගැන තව තව post දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.

    ReplyDelete
  8. මෙල්බර්න් පැත්තට නම් දැන් වසන්ත කාලය. දළු දාන, මල් පිපෙන කාලය. අපිට හිම වැටෙන්නේ නම් නැති උනාට හේමන්ත කාලයක් තියෙනවා. බහුතරයක් ගස්වල කොළ ඔය වගේ පාට වෙලා හැලිලා යනවා. මාත් කැමතිම කාලේ හේමන්ත කාලේ!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: