වෙබ් ලිපිනය:

Monday, November 12, 2018

අධිකරණ තීන්දුව දෙස බලා සිටිමු!


මේ මොහොතේ අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින මූලික අයිතිවාසිකම් නඩු කිහිපය පිළිබඳව ලැබෙනු ඇතැයි සිතිය හැකි තීන්දු ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසය තුළ එසේ ගැනෙන වැදගත්ම තීන්දු කිහිපයක් වන්නට පුළුවන්. මතුපිටින් බැලූ විට සරල මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග සේ පෙනුනත් මේ තීන්දු වලින් තීරණය කෙරෙන්නේ මේ මොහොතේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වභාවයයි.

පසුගිය ඔක්තෝබර් 26 දින සිට ජනාධිපතිවරයා විසින් ගත් ආන්දෝලනාත්මක ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව මේ වන විට රට ඇතුළේ වගේම රටෙන් පිටතත් වෙසෙන බොහෝ දෙනෙකු තම තමන්ගේ මත වලට එළැඹ අවසන්. එසේ වුවත්, මෙසේ තමන්ගේ මත ඉදිරිපත් කරන බොහෝ දෙනෙක් එය කරන්නේ ව්‍යවස්ථාව සමස්තයක් ලෙස නොගෙන එහි තමන්ට අවශ්‍ය කොටස් පමණක් උපුටා ගනිමිනුයි. ඇතැම් අය එසේ කරන්නේ අවංකව නොවන බව පැහැදිලිව පෙනෙනවා.

ව්‍යවස්ථාවේ තිබෙන පරස්පර වලට බොහෝ දුරට හේතු වී තිබෙන්නේ දහනව වන සංශෝධනය ගෙන ඒමේදී සිදු වුනු වෙනස්කම්. 1978 ව්‍යවස්ථාව සැලසුම් කර තිබෙන්නේම විධායක ජනාධිපති ධුරය වෙත විශාල බලයක් සංකේන්ද්‍රනය වන අයුරිනුයි.

දහනව වන සංශෝධනය ගෙන ආවේ මේ බලතල සීමා කිරීම අරමුණු කරගෙනයි. එහෙත්, අධිකරණයේ මතය වූයේ ජනමතවිචාරණයක් නොපවත්වා ව්‍යවස්ථාවේ මූලික ආකෘතිය වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බවයි. ඒ අනුව, ව්‍යවස්ථාව සංශෝධනය කෙරුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් කළ හැකි තරමට පමණයි.

මේ ගැන ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා විසින් 2015 අප්‍රේල් 27 දින අපර භාග 12.10ට පාර්ලිමේන්තුවේදී සිදු කළ අදහස් දැක්වීම හැන්සාඩ් වාර්තාවේ සටහන් වී තිබෙන්නේ මෙහෙමයි.

"මේ දහනව වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වුණ වෙනස මොකක්ද කියලා අපි පොඩ්ඩක් හිතලා බලමු. අද සමාජයේ යම් යම් තැන්වල අදහසක් තිබෙනවා, මේ නිසා දැවැන්ත විපර්යාසයක් සිදු වුණාය කියලා. ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් සිදු වෙලා නැහැ."

එසේ කියන අතරම ඔහු මේ හරහා සිදු වී තිබෙන වෙනස්කම් ගැනත් අදහස් පළ කළා.

"මීට ඉස්සර තිබුණු තත්ත්වය අනුව පාර්ලිමේන්තුව තුළ මොකක් හරි අර්බුදයක් තිබෙනවානම්, ස්ථාවර ආණ්ඩුවක් පවත්වා ගෙන යන්න බැරි තත්ත්වයක් තිබෙනවා නම්, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිවරයාට පුළුවන්. එතුමාගේ හස්තයේ ඒ බලය තිබුණා. දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත හෙට දිනයේ දී සම්මත වුණොත් හෙට ඉඳලා ජනාධිපතිවරයාට ඒ බලය නැහැ. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒක ලොකු වෙනසක්. අවුරුදු හතරහමාරකට ජනාධිපතිවරයාගේ අත් බැඳලායි තිබෙන්නේ."

මේ විවාදයේදීම ගරු විමල් වීරවංශ මහතා පළ කර තිබෙන අදහස් මෙහෙමයි.

"ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, ජනාධිපතිවරයාව අයින් කරන්න පුළුවන් කම මේ දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙනවා. හැබැයි, අගමැතිතුමාව ඉවත් කරන්න පුළුවන් ක්‍රමයක් දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කියා නැහැ. අගමැතිතුමාට හිතිලාම ඉවත් වුනොත් හෝ එහෙම නැතිනම් මිය ගියොත් තමයි. අපි හිතමු ඉල්ලා අස් වෙන්නේත් නැහැ. මිය යන්නේත් නැහැ, මහජන නියෝජිතයින් 225 දෙනා අතරත් ඉන්නවා කියා. හැබැයි, අගමැතිතුමාට පිස්සු කියා හිතන්නකෝ. එහෙම වුණොත් මොකක්ද වෙන්නේ? ජනාධිපතිවරයාට අදාළව ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තිබෙනවානේ රෝගයක් හෝ මානසික රෝගී තත්ත්වයක් තිබෙනවානම් එතුමාව එම තනතුරින් ඉවත් කරන්න පුළුවන් ක්‍රමයක්. නමුත් අගමැතිතුමා ඉවත් කරන්න ක්‍රමයක් නැහැ. ඒක හරි ද?"

මා මේ කොටස් දැම්මේ දහනවවන සංශෝධනයෙන් පසුව ව්‍යවස්ථාදායකය හා විධායකය අතර බල තුලනය වෙනස් වුනේ කොහොමද කියන එක ඔක්තෝබර් 26 වෙනිදා වන තුරුම සියලු දෙනාටම වගේ පැහැදිලිව පෙනුණ කරුණක් බව කියන්නයි. අලියාගේ තැන් තැන් පෙන්වමින් අලියා ගැන විස්තර කරන අය හදිසියේම ප්‍රාදුර්භූත වුනේ පහුගිය සති දෙක තුන ඇතුළතයි.

හරි. කොහොම වුනත් දැන් ප්‍රශ්නය අධිකරණය දක්වා ගිහින්නේ තියෙන්නේ. අධිකරණයේ තීරණය කුමක් වෙයිද කියා මා දන්නේ නැහැ. ඒ වගේම, මේ කරුණේදී ලංකාවේ මිනිස්සුන්ගේ අදහස් ධ්‍රැවීකරණය වී තිබෙන ආකාරය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණායින් පසුව වුවත් ප්‍රශ්නයේ කෙළවරක් දකින්න ලැබෙයිද කියන එක සැක සහිතයි. තව වැඩි කාලයක් නැහැනේ. අපි බලා ඉඳිමු!

9 comments:

  1. 19වන සංශෝධනය ගෙන එනකොට, අධිකරණය විසින් ජනමත විචාරණයකට ලක් කොට අනුමැතිය ගත යුතුයි කියා නම් කළ වෙනස්කම් මොනවා ද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ඒව තමයි ඔය විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අයිතිව තිබිලා ජනමත විචාරණයකට යා යුතුයි කියලා අධිකරණයෙන් තීන්දු කළේ

      Delete
  2. දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ ම ජනාධිපතිවරයාගේ බලතල අවම කිරීමට කියායි. අද ලැබෙන අධිකරණ තීන්දු වලින් ජනාධිපතිවරයා වෙනත් අගමැතිවරයකු නම් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අනුමත කලාය කියන්නේ ව්‍යස්ථා සංශෝධනය සම්පාදනය කළ නීතිඥ අනුමත කළ පාලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම තමන්ගේ රාජකාරිය නිවැරදිව කිරීමට අසමත් වී ඇති බවයි.

    ඔවුන් සියලු දෙනා ම වරද පිළිගෙන තමන්ගේ සේවයෙන් වහාම ඉල්ලා අස්විය යුතු වෙනවා.

    ReplyDelete
    Replies
    1. පාර්ලි‌‌මේන්තුව විසිරවන එක හරි නං ඒ අය අයින් වෙන්න දෙයක් නෑ. කොහොමත් අයින් වෙනවනි. ඉතිං ආයේ ජන්දෙට ඉදිරිපත් වෙලා අලුත් ජනතා කැමැත්තක් සහිතව ආයේ පාර්ලි‌‌මේන්තුවට පත් වෙන එක හොදයි නේ. එකේ වැරැද්දක් නැහැනි.

      Delete
    2. මුට මිණි මරනකොට ඇඩෙන්නෙ නැ , පාර්ලි‌‌මේන්තුව විසිරවන එක ගැන කිවුවහම ඇඩෙනවා.

      Delete
  3. කාටුනයේ ඉන්න අලියාගේ හොඬවැල අල්ලාගෙන ඉන්නේ විමල් වීරවංස සහ වල්ගයේ එල්ලිලා ඉන්නේ මහාචාර්ය ජීඑල් පීරිස් කියලා හිතමු.

    ReplyDelete
  4. කොයි පැත්තට ගියත් මරාට හුලන්. සිරා හරි කියල තීන්දුව දුන්නොත්, මරාට උගේ බල්ලෙක් වගේ ඉන්න වෙනවා මෙලෝ රහක් නැති අගමැතිකමක් එක්ක. සිරා වැරදි කියල තීන්දු උනොත් පාර්ලිමේන්තුවේදී මරාගේ බෙල්ල ගහල යනවා ආයි ලොවෙත් නැතිවෙන්න. slow death or sudden death. which is more painful.. anyone's guess.

    ReplyDelete
  5. anna siraata kelawela.

    ReplyDelete
  6. ඉකොනොමැට්ටලගේ UNP / JVP ඔන්ලයින් මඩ බළකා වල වේකන්සි තියෙනවනම් පොඩ්ඩක් කියන්නකො. නයිට් ෂිෆ්ට් නම් හොදයි. 40,000ට වැඩි පඩියක් බලාපොරොත්තු වෙනව, පොටෝෂොප්, මඩ ගැසීම්. ඔන්ලයින් පජාත කිරීම් සම්බන්ධ වසර 3ක පළපුරුද්දක් තියෙනව.

    අමතර සුදුසුකම් වශයෙන් මට කීයක් හරි දෙන ඕන පක්ෂෙකට බැහැල ගොට්ට ඇල්ලීමේ හැකියාවක් තියෙනව.

    ඉකොනොමැට්ටා වේකන්සි තියේනම් ඉක්මනට කියන්න. (Give me email address or contact number)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: