වෙබ් ලිපිනය:

Sunday, November 18, 2018

ඉඟුරු දී මිරිස් කුඩු ගැනීම


මේ වෙලාවේ ලංකාවේ ආණ්ඩු බලයට අයිතිවාසිකම් කියන පාර්ශ්ව දෙක අතර තියෙන්නේ ගල උඩ සටනක් බව මා පෙර ලිපියේ සඳහන් කළා. අර්බුදය පටන් ගත්තේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැතිවරයාව තනතුරෙන් ඉවත් කිරීම හේතුවෙන්. ජනාධිපතිවරයාට එසේ කිරීමට තිබුණු ප්‍රතිපාදනය දහනවවන සංශෝධයෙන් ඉවත් කෙරුණා. ඒ නිසා, ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට අගමැති ඉවත් කිරීමේ බලයක් නැහැ. ඔහුට තමන් අභිමත අයෙකු අගමැති සේ පත් කළ හැකි වුවත් එසේ කිරීම සඳහා අගමැති ධුරය පුරප්පාඩු වී තිබිය යුතුයි.

දැන් මෙහි "ව්‍යවස්ථා විරෝධී ලෙස" කියා මා ඉදිරිපත් කරන්නේ මගේ මතයයි. එසේ කියන්නේ ඇයි කියා මෙය සිදු වූ ඔක්තෝබර් 26 දිනම මා ලියා තිබෙනවා. මේ මතය එජාප, ජවිපෙ, ද්‍රවිඩ සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල්ගේ, විදේශ රටවල් ගණනාවක මෙන්ම තවත් ස්වාධීන පුද්ගලයින් ගණනාවකගේ මතයයි. මේ වන විට ව්‍යවස්ථාදායකයේ නිල මතය ද එයයි. මේ ලිපියේ අරමුණ මේ මතය තහවුරු කිරීම වෙනුවෙන් තර්ක කිරීම නෙමෙයි. මගේ අරමුණ මේ වන විට ලංකාවේ පවතින දේශපාලනික හා නීතිමය තත්ත්වය පැහැදිලි කිරීම පමණයි.

මා ඇතුළු ඉහත සඳහන් කණ්ඩායම් වල මතය ඉහත පරිදි වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(2) අනුව්‍යවස්ථාව නොසලකා හරිමින්, ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීම ව්‍යවස්ථානුකූල බව එහිම වෙනත් අනුව්‍යවස්ථා ගෙන හැර දක්වමින් පෙන්වා දෙන අයද ඉන්නවා. එසේ කියන අය අතර පොදුවේ එජනිස හා පොදුජන පෙරමුණේ සාමාජිකයින් මෙන්ම නීතිපතිවරයාද සිටිනවා. මා දන්නා තරමින් කිසිදු පාර්ශ්වයක් විසින් මේ හා අදාළ අධිකරණයේ මතය විමසා නැහැ.

මේ ලිපියේ අරමුණ අගමැතිවරයා ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දීම නොවූවත් ඒ බව පිළිගන්නා විශාල පිරිසක් රටේ හා රටෙන් පිටත ඉන්න බව පැහැදිලිව පෙන්වා දිය යුතුයි. ඒ පදනම අනුව, මහින්ද රාජපක්ෂ කිසි විටෙකත් ලංකාවේ අගමැති වී නැහැ. අගමැති වී නැති අයෙක්ව විශ්වාස භංගයකින් පරාජය කිරීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවයක් නැහැ. දැන් පවතින අවුල තේරුම් ගැනීමටනම් මේ තත්ත්වය පැහැදිලිව අවබෝධ කර ගත යුතුයි.

අනෙක් පැත්තෙන් බැලුවොත්, අගමැතිවරයාව වසර හතරහමාරකට පෙර තනතුරෙන් ඉවත් කළ නොහැකි බවට වන අනුව්‍යවස්ථාව අදාළ නොවේනම්, ජනාධිපතිවරයාට අගමැති ඉවත් කර අලුත් අගමැතිවරයෙකු පත් කළ හැකියි. ඒ අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති වීම මත පාර්ලිමේන්තුවේදී විශ්වාස භංගයකින් පරාජය වීම ද්වීතියික කරුණක්. එසේ පරාජය වන තුරු අලුත් අගමැති වන්නේ මෙසේ අලුතින් පත් කළ අගමැතිවරයායි.

මේ දෙවනු කී පදනම මත මහින්ද රාජපක්ෂ නීත්‍යානුකූලව ලංකාවේ අගමැති වී තිබෙනවා. ඔහුගේ තනතුර අහිමි වී ඇති සේ සැලකිය හැක්කේ විශ්වාශ භංගයකින් පරාජය වීම නිසි පරිදි සිදු වී ඇත්නම් පමණයි. මහින්ද-මෛත්‍රී පාර්ශ්වයේ මතය වන්නේ විශ්වාස භංගය නිසි සේ ඉදිරිපත් කර නොමැති නිසා තවමත් අගමැති මහින්ද රාජපක්ෂ බවයි.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වය නිවැරදිනම් රනිල් තමන් තවමත් අගමැති සේ පෙනී සිටීම නීති විරෝධී කටයුත්තක්. ජනාධිපතිවරයාට මේ හා අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඔහුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළ හැකි වුවත් එවැන්නක් සිදු වී නැහැ. එම පාර්ශ්වයේ වෙනත් අයෙකු විසින් මේ කරුණ හා අදාළව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමක් කරලාත් නැහැ. ඒ වගේම නීත්‍යානුකූල අගමැති රනිල්නම්, ඒ කරුණ මත පදනම්ව වෙනත් අයෙකු (මහින්ද රාජපක්ෂ) අගමැති සේ පෙනී සිටීම වළක්වමින් රනිල් පාර්ශ්වයේ කිසිවෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු වුවත් එසේ ගිහිනුත් නැහැ. අඩු වශයෙන් නාගානන්ද කොඩිතුවක්කු හෝ වෙනත් "මධ්‍යස්ථ" පුද්ගලයින් කිසිවකු විසින් හෝ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කරලත් නැහැ. එසේ සිදු නොවීම මේ මොහොතේ ලංකාවේ පවතින දේශපාලනයේ ස්වභාවය අනුව සිදු වූවක් බව මගේ නිගමනයයි. ඒ ගැන වැඩිදුර විග්‍රහ කිරීම් පසුවට තියමු.

ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක වෙත නැවත ආවොත් මේ මොහොතේ කණ්ඩායම් දෙක විසින්ම උත්සාහ කරන්නේ ව්‍යවස්ථාදායකයේ බලය අල්ලා ගැනීමටයි. නැත්නම් පවත්වා ගැනීමටයි. එසේ උත්සාහ කරන්නේ විධායකය වගේම ව්‍යවස්ථාදායකයත් බලවත් නිසා.

සැබෑ හේතුව නොවුණත්, මහින්ද-මෛත්‍රී කණ්ඩායම විසින් කියන්නේ විශ්වාස භංගය නිසි ආකාරයට ඉදිරිපත් කර නැති බවයි. මේ කතාව ඇත්තක්. ඒත් ඒ ඇත්ත ගොඩක් අය හිතාගෙන ඉන්න දෙය නෙමෙයි. මෙතැන තියෙන්නේ ස්ථාවර නියෝග නොපිළිපැදීමේ හා ශබ්දයෙන් ඡන්දය නොවිමසීමේ ගැටළුවකට වඩා ගැඹුරු දෙයක්. පෙර කී කරුණු දෙක ඉදිරිපත් කරන්නේ සැබෑ කරුණ යටපත් කිරීම සඳහා පමණයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග කියන්නේ එහි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව ඇති කරගත් එකඟතාවයක් පමණයි. වැඩි දෙනෙකුගේ කැමැත්තෙන් ස්ථාවර නියෝග අත්හිටවීම ස්ථාවර නියෝග අනුවම කළ හැක්කක්. එසේ කිරීම සඳහා හඬින් ඡන්දය විමසීමත් ස්ථාවර නියෝග අනුවම කළ හැක්කක්. මෙසේ කිරීමෙන් පසුව තවදුරටත් ස්ථාවර නියෝග ක්‍රියාත්මක නොවන නිසා ඉන්පසුව සිදුවන කටයුතු ස්ථාවර නියෝග අනුව සිදුවීම හෝ නොවීම වැදගත් කරුණක් නෙමෙයි. වඩා වැදගත් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසකගේ එකඟත්වය තිබේද යන්නයි. එය තිබේද යන්න අවසාන වශයෙන් තීරණය කරන්නේ කථානායකවරයා විසින්. ඒ තීරණයට වෙනත් කිසිවෙකුට, අධිකරණයට පවා, අභියෝග කළ නොහැකියි (වඩා නිවැරදිව කිවුවොත් ඉතාම අසීරුයි).

පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව පූර්ණ බලධාරියා වන්නේ කථානායකවරයා. නමුත්, ඒ අධිකාරී බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු හා අදාළව පමණක් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු සභා ගර්භයේදී වෙනත් අයෙකුට හානියක් කළොත් (පිහියකින් ඇන තුවාල කළොත් හෝ ඇස් වලට මිරිස් කුඩු ගැහුවොත්) සාමාන්‍ය නීතිය අනුව කටයුතු කළ හැකියි. මා දන්නා තරමින්, එවැනි අවස්ථා වලදී පවා කථානායකවරයාට දැනුම් දීමක් කළ යුතුයි.

පාර්ලිමේන්තුවේ සම්මත වූ විශ්වාස භංග යෝජනාව ස්ථාවර නියෝග අනුව අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් සම්මත කර නැහැ. එසේ වුවත්, එය සම්මත කර ඇති ආකාරයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී කැමැත්ත තිබී ඇති බව පැහැදිලියි. අත්සන් ලේඛණය ගැන ජනාධිපතිවරයාට සැකයක් ඇති බව කියතත්, එහි අත්සන් තැබූ කිසිවකු විරෝධතාවක් දක්වා නැහැ.

මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විශ්වාස භංගය සම්බන්ධව දක්වන විරෝධයේ සැබෑ පදනම වන්නේ එය සම්මත කරගත් ක්‍රමවේදය අවුල් සහගත වීම නෙමෙයි. සැබෑ ප්‍රශ්නය තිබෙන්නේ සම්මත කරගත් යෝජනාවේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබෙන්නේ සම්මත විශ්වාස භංග යෝජනාවක් නෙමෙයි.

මහින්ද රාජපක්ෂට එරෙහිව සම්මත ක්‍රමයට සම්මත විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමටනම් පළමුව මහින්ද රාජපක්ෂ අගමැති සේ පිළිගන්න වෙනවා. නීත්‍යානුකූලව පත් වී නොමැති අගමැතිවරයකුව විශ්වාස භංගයකින් පරාජය කරන්න දෙයක් නැහැ. ජවිපෙ විසින් ඉදිරිපත් කළ යෝජනාවෙන් හෝ දෙවනුව ඉදිරිපත් කළ සංශෝධිත යෝජනාවෙන් මහින්ද රාජපක්ෂව අගමැති සේ නීත්‍යානුකූලව පත් කර ඇති බවක් පිලිගෙන නැහැ. එයින් පිළිගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස එවැනි පත්වීමක් කර ඇති බව පමණයි. ව්‍යවස්ථාදායකය විසින් අභියෝගයට ලක් කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් එසේ සිදු කර තිබෙන පත්වීම මිසක් මහින්ද රාජපක්ෂව නෙමෙයි. ඒ නිසා මේ සම්මත වී තිබෙන්නේ දැනට සිටින අගමැතිවරයෙකු ඉවත් කිරීම සඳහා ගෙන එනු ලබන සම්මත විශ්වාස භංග යෝජනාවක් නෙමෙයි.

නිසි ක්‍රමවේදය අනුගමනය කළත් දැනට සම්මත වී තිබෙන ආකාරයේ යෝජනාවක් පිළිගැනීමේ හැකියාවක් මහින්ද-මෛත්‍රී පාර්ශ්වයට නැහැ. පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාව ජනාධිපතිවරයා විසින් පිළිගන්නවා කියන්නේ ඔහු විසින් අගමැති ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව තමන් විසින්ම පිළිගැනීමක්. ඒ එක්කම ඉන් පසු ගත් තීරණ බොහොමයක් නීති විරෝධී වෙනවා. ඒ වගේම සිදු වී තිබෙන බොහෝ දේ රාජ්‍ය විරෝධී කටයුතු සේ තීරණය වෙන්නත් පුළුවන්.

මහින්ද පාර්ශ්වයට මේ වෙලාවේ බලය අතහරින්න අමාරු වී තිබෙන ප්‍රධාන හේතුව ඉහත කරුණයි. පවතින තත්ත්වය හේතුවෙන් දවසෙන් දවස මහින්දලාගේ ජනපදනම දියවෙන බව ඔවුන්ට නොත්රෙන්න හේතුවක් නැහැ. මහින්දව අගමැති සේ පත්වීම ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය විසින් පිළිගෙන, පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති වීමේ පදනම මත ඔහුව අගමැති ධුරයෙන් ඉවත් කරන්න යෝජනාවක් ගෙනාවොත් මහින්දලා වහාම තනතුරු හැර යයි. එවිට, නීතිය අනුව මෙතෙක් ඔවුන් වරදක් කර නැහැ. මේ විදිහේ යෝජනාවක් සම්මත වුනොත් එය සිදුවුනේ ස්ථාවර නියෝග අනුවද නැද්ද එහෙම නැත්නම් හඬින්ද අත් ඔසොවාද වගේ ප්‍රශ්න මතු වෙන එකක් නැහැ.

නමුත්, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයට මේ වෙලාවේ ඉහත ආකාරයේ ස්ථාවරයකට පැමිණීම අසීරුයි. ඔවුන් එසේ කළොත්, මුල සිටම ඔවුන් දැක්වූ විරෝධය නිකම්ම පුස්සක් වෙනවා. ඒ වගේම, එවැනි එකඟත්වයකට පැමිණියහොත් එය ඔවුන් විසින් ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාවේ නැති බලතල රැසක් ඔහු සතුව ඇති බව පිළිගැනීමක් වෙනවා. වරක් එසේ කිරීම නැවත එසේ කිරීම සඳහා ඉඩක් සපයනවා. ඒ නිසා මේ වෙලාවේ තියෙන්නේ ගල උඩ සටනක්. බිම වැටෙන පාර්ශ්වයට මාරාන්තික තුවාළ සිදු වීම වලක්වන්න අමාරුයි.

ප්‍රශ්නය විසඳෙන්න පුළුවන් එක් ආකාරයක් වන්නේ කවර ආකාරයකින් හෝ මහින්දලා 113 හදා ගැනීමයි. එවිට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ හඬ යටපත් වෙනවා. නමුත්, එවැනි තත්ත්වයක් යටතේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය විසින් මෙතෙක් ප්‍රයෝජනයට නොගත් විකල්පය වන අධිකරණය වෙත යනු ඇතැයි සිතිය හැකියි. අනෙක් ක්‍රමය පාර්ශ්ව දෙක අතර යම් එකඟතාවයක් ඇති වීමයි. එහෙම වෙන්නනම් එක් පාර්ශ්වයකට හෝ දෙපාර්ශ්වයටම තවත් සටන් කළ නොහැකි තරමට තුවාල සිදු විය යුතුයි.

දැනට පවතින තත්ත්වය අනුවනම් මිරිස් වී තිබෙන ඉඟුරු තත්ත්වය නැවත ඉඟුරු වීම ඉක්මණින් වේදැයි සැක සහිතයි. ඒ නිසා, කොකා කෝලා හා ලෙමනේඩ් වලින් මිරිස් කුඩු හදනවා වගේ නව නිර්මාණ ඉදිරි සතිය තුළත් බිහි වෙන්න ඉඩක් තිබෙනවා.

(Image: http://vegananimal.co.za/index.php/2015/09/21/curry-powder-ginger-and-red-chillies/)

9 comments:

  1. මෙච්චර දෙයක් තෙරුන් ගන්න පුලුවන්නම් ඉතින් අපේ මිනිස්සුන්ට මොනවා කරන්න බැරිද..
    මම මුලින් කිව්වත් වගේ එජාපෙ මේ වෙලාවේ මේක ඇදන් යන්න ඕන. එක එජාපෙ දැනගෙන කරනවද නැද්ද දන්නේ නැහැ. හැබැයි ශ්‍රේෂ්ටදිකරනෙට යනවට වඩා වාසියි.

    ReplyDelete
  2. මේ අවස්ථාවේ රටේ ආර්ථිකයට වන බලපෑම මොකද්ද ඉකොන්?

    ReplyDelete
  3. unp ය දන්නවා රජයේ සේවකයන්ට ජනවාරි පඩිය නොලැබුනොත් මහින්ද, මෛත්‍රී, සිංහල ජාතිය සහ සිංහල බෞද්ධකම යන සියල්ලම කපොති වග.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත :-)

      Delete
  4. ඇත්තට නිදාගෙන ඉන්න මිනිහා අවදි කරන්න පුළුවන්. බොරුවට නිදාගෙන ඉන්න සිරිසේන කොහොම අවදිකරන්නද?

    ReplyDelete
  5. රනිල් බලයට පත්වුනෙතු්
    රනිල් දැන් හැසිරෙන්නේ තනිකරම බටහිර තානාපති කාර්යාලවලින් ලැබෙන අපදෙස් අනුවයි. එජාපයේ අයට තනියම හිතලා වැඩ කරන්න මොලය නෑ
    මේ තත්වය තුල නැවත රනිල් අගමැති වුනොත් ඉදිරි කාලය තුල ඔහු දෙමළජාතිවාදා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතකර සිංහල ජාතියේ අභිලාශය විනාශ කරයි.

    අනිත් අතට මහින්දත් මේ නාඩගම පටන්ගත්තේ ඉන්දියා සංචාරයෙන් පසුයි. එහි දී ඔහු කුමක් පොරොන්‍දු වුනාදැයි දන්නේ නෑ. ඒ නිසා මහින්ද ගැනත්පමණට වඩා විශ්වාසය තැබිය යුතු නැ
    නමුත් මහින්දගේ එකම වාසිය ඔහු තරමක් හෝ ජනමතයට කන්දෙනවා.

    ආර්ථික ගැන කියනවා නම් පරම කාරුණිකයානන් වන අල්ලාහ් කාන්තාවන් ආර්ථික වගකිම් වලින් නිදහස්කර ඇති ආකාරයටම සිංහල අප සිංහල දේශපාලඥයන් ආර්ථික වගකීම්වලින් නිදහස්කල යුතුයි.

    ReplyDelete
  6. මේ මොහොතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කල්තබා, ජනමත විචාරණයක් කැඳවන්න බැරිද? ව්‍යවස්ථාවෙන් ඒකට බාධාවක් තියනවද?

    මුන්ට මේක සෙල්ලම් වුනාට රට විනාශ වෙනවා තව ටිකක් මේක ඇදගෙන ගියොත්..

    එහෙම වුනොත්, පාට පක්ෂ නොබලා ඔක්කොම මිනිස්සුන්ට එකතු වෙන්න වෙන දවසක් එයි බොහොම ඉක්ක්මනට මුන් ඔක්කොවනවම මකබාවලා දාන්න.. ඒකියන්නේ මහජනතාව Vs 226..

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න තමයි ඕන.
      නැතිනම් ලංකාවේ සිංහල කාලකන්නින්ගේ කාල තියෙන ඔලු හදන්න බැහැ. ජනවාරි අන්තිම වෙනකන්වත් ඇදගෙන ගියොත් ගොඩ.

      Delete
    2. http://economatta.blogspot.com/2018/11/blog-post_17.html?showComment=1542586851151#c132222617601691099

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: