වෙබ් ලිපිනය:

Tuesday, November 6, 2018

රනිල් එජාප නායකත්වයේ ඉන්නේ කාගේ හයියෙන්ද?


එජාපය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන හැම වෙලාවකම වෙනත් ඇතැම් අය එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. මේ කතිකාව ඇතුළේ ලොකුම තැනක් ලැබෙන්නේ රනිල් දිගින් දිගටම එජාප නායකයා වී සිටිනවාය යන කරුණට.

ඔය කතාව සෑහෙන්න පරණ කතාවක්. කතාවට අමතරව වරින් වර එජාපය ඇතුළේ අභ්‍යන්තර කැරළි ඇති වෙලත් තියෙනවා. නමුත්, ඒ හේතුවෙන් හෝ එජාපය දිගෙන් දිගටම මැතිවරණ පරාජය වීම හේතුවෙන් රනිල්ගේ එජාප නායකත්වය නැති වුනේ නැහැ.

ජනාධිපති සිරිසේනගේ කතාවේදී ඔහුම කියා තිබෙන විදිහට මහින්දව අගමැති කරන්න පෙර එජාප නායකත්වයට කරු ජයසූරිය ගෙනත් රනිල්ව ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක ඔහු යෙදී තිබෙනවා. නමුත්, කරු ජයසූරිය කරලා තියෙන්නේ සිරිසේනව රනිල්ට මාට්ටු කරලා දෙන එකයි.

පළවෙනි පාර මේ විදිහට ඇණ ගත්තට පස්සේ සජිත්ව යොදාගෙන නැවත ඒ දෙයම කරන්න ඔහු උත්සාහ කරලා තිබෙනවා. නමුත්, එයත් හරි ගිහින් නැහැ.

මෛත්‍රීපාල සිරිසේන මේ විදිහට උත්සාහ කරන්න ඇත්තේ මොන විදිහෙන් හෝ දෙවන වර ජනාධිපති වීමේ සිහිනය සැබෑවක් කර ගන්නයි. රනිල් ඉන්න තුරු ඒ අවස්ථාව ලබා ගන්න අමාරු බව ඔහුට තේරෙන්න ඇති. අන්තිමට ඔහු මහින්ද පැත්තට තල්ලු වී තිබෙනවා. එයින් ඔහු අපේක්ෂා කළ ප්‍රතිඵලය ලැබෙයිද කියන එක කාලය විසින් තීරණය කරයි.

රනිල්ගේ නායකත්වය ගැන කතාව දැන් ආයෙත් ඇහෙනවා. මේ විදිහට රනිල්ගේ නායකත්වය ප්‍රශ්න කරන බොහෝ දෙනෙක් මෛත්‍රීපාල වගේම එජාප සාමාජිකයින් නොවන වෙනත් අය. එයින් කියන්නේ එජාප සාමාජිකයින් අතර රනිල්ගේ නායකත්වය ප්‍රශ්න කරන අය නැති බව නොවෙයි. නමුත්, ඔවුන් එජාපය ඇතුලෙ සුළුතරයක් පමණයි. රනිල්ට දිගින් දිගටම එජාප නායකත්වයේ ඉන්න ඉඩ ලැබී තිබෙන්නේ රටේ බහුතරය කෙසේ වෙතත් එජාප බහුතරය රනිල් එක්ක ඉන්න නිසයි.

රනිල්ට කැමති හා අකැමැති කොටස් අතර කැපී පෙනෙන සංස්කෘතික බෙදීමක් තිබෙනවා. එය රනිල්ට විරුද්ධ පැත්තේ ඉන්න අය වගේම රනිල්ගේ පැත්තේ ඉන්න අයත් පිළිගන්න කරුණක්. කණ්ඩායම් දෙක මේ වෙනස දකින ආකාරයන් වෙනස් වෙන්නේ බරතැබීම් වලින් පමණයි.

පහත කොටස මා උපුටා ගන්නේ මතවාදීමය ලෙස රනිල්ට එරෙහි කණ්ඩායමේ අයෙක් ලෙස පැහැදිලිව හඳුනාගත හැකි නලින් ද සිල්වාගේ කාලය වෙබ් අඩවියෙන්.

"ඊයේ පැවති ජනමහිමය රැළියේ දී ජනාධිපති කළ කතාවෙන් පැහැදිලි වුණා අද රටේ ඇත්තේ දේශීයත්වය හා විදේශීයත්වය, දේශීය සංස්කෘතිය හා විදේශීය සංස්කෘතිය, මෙරට ස්වෛරිභාවය හා යටත්විජිතවාදය, ජාතිකත්වය විජාතිකත්වය, දේශීය සම්පත් රැක ගැනීම හා විකිණීම  සහ තවත් එවැනි දේ අතර ඇති සටනක් බව. අප හැමදාමත් කී පරිදි රනිල් වික්‍රමසිංහ මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය. ඔහු මෙරට බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ නියෝජිතයා නො වෙයි. ඔහු මෙරට ජීවත් වන්නේ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ."

දැන් මෙහි නලින් ද සිල්වා විසින් කළු සුදු ආකාරයේ සංකල්පීය බෙදීමක් කරනවා. දේශීයත්වය, දේශීය සංස්කෘතිය, ස්වෛරිභාවය, දේශීය සම්පත් රැක ගැනීම ආදිය සුදු පැත්ත. විදේශීයත්වය, විදේශීය සංස්කෘතිය, යටත්විජිතවාදය, දේශීය සම්පත් විකිණීම ආදිය කළු පැත්ත.

නලින් ද සිල්වා විදිහටම හිතන තවත් විශාල පිරිසක් රටේ ඉන්නවා. අඩු වැඩි වශයෙන් මහින්ද වෙනුවෙන් පෙනී සිටින්නේ ඒ අයයි.

ඔය ආකාරයේ සංස්කෘතික බෙදීමක් තිබෙන බව පිළිගන්නා නමුත් ඒ බෙදීම වෙනත් ආකාරයකින් අර්ථ දක්වන තවත් පිරිසක් ඉන්නවා.ඒ අය අතරේ ඉන්නේ රනිල්වාදීන් හෝ එජාප පාක්ෂිකයින් පමණක් නෙමෙයි. මේ කණ්ඩායම ජනාධිපති සිරිසේනගේ කතාව විග්‍රහ කර ගන්නා ආකාරය වත්පොතේ හා වෙනත් තැන්වල දකින්න පුළුවන්. එවැනි අය හිතන ආකාරය හරියටම ඔවුන්ගේම වචන වලින් නොවූවත්, නලින් ද සිල්වාගේ වාක්‍යයේ ආකෘතියට, මේ විදිහට ලියන්න පුළුවන්.

"ඊයේ පැවති ජනමහිමය රැළියේ දී ජනාධිපති කළ කතාවෙන් පැහැදිලි වුණා අද රටේ ඇත්තේ ගෝත්‍රිකත්වය හා සභ්‍යත්වය, දූපත් මානසිකත්වය හා ලෝකයට විවෘත වීම, බහුතරයේ ආධිපත්‍යය පැතිරවීම හා සුළුතරය වෙනුවෙන් පෙනී සිටීම, ඒකාධිපතිත්වය හා නීතියේ පාලනය, මහජන මුදල් වැය කරමින් අකාර්යක්ෂමතාවය නඩත්තු කිරීම හා ඒවා විකුණා දමා නිදහස් වීම සහ තවත් එවැනි දේ අතර ඇති සටනක් බව."

දෙවන කණ්ඩායම පළමු කණ්ඩායම තරම් විශාල නැති වුනත් සෑහෙන තරම් විශාල හා ක්‍රමයෙන් වර්ධනය වන කණ්ඩායමක්. මේ දෙවන කණ්ඩායම නගර වල සිට ක්‍රමයෙන් ගම් දක්වා පැතිරෙනවා. 2015 දී මේ දෙවන කණ්ඩායමේ මතවාදය ප්‍රමුඛ මතවාදය බවට පත් වුණා.

දෙවන කණ්ඩායම ඇතුළේ ඉන්න සියල්ලන්ම රනිල්ගේ මිනිස්සු හෝ අඩු වශයෙන් එජාප පාක්ෂිකයින් නොවූවත් රනිල් වටා ඉන්න ගොඩක් අය දෙවන කණ්ඩායමේ අය. ලිබරල් මතධාරීන් හිතන ආකාරය දෙවන ආකාරයට වඩා කිට්ටුයි.

එජාපය කියන්නේ ඓතිහාසිකව පුළුල් ජන පදනමක් තිබුණු දේශපාලන පක්ෂයක්. ලිබරල් මතධාරීන්ගේ ජනප්‍රිය තේරීම වුනේ එජාපය වුවත්, ලිබරල් මතවාදය කියන්නේ  රනිල් නායකයා වෙන්න කලින් එජාපය තුළ අඛණ්ඩව පැවති ප්‍රමුඛ මතවාදයක් නෙමෙයි. එජාපය වටා කාලයෙන් කාලයට විවිධ මතවාදී කණ්ඩායම් එකතු වී සිටියා. නිදහසින් පසුව, 1956දී හැර, 1994 දක්වාම පැවති මැතිවරණ වලදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් දේශපාලන පක්ෂය එජාපය වීමට එජාපයේ මේ පුළුල් පදනම උපකාරී වුනා.

කෙසේවුවත්, 1994 සිට තත්ත්වය වෙනස් වුනා. එජාපය ඒ කාලය තුළ වැඩිපුරම හිටියේ විපක්ෂයේ. රනිල් නායකත්වයට පත් වීමෙන් පසුව එජාපයේ ඡන්ද පදනම ටිකෙන් ටික දිය වී ගිය බව රහසක් නෙමෙයි. පසුගිය පළාත් පාලන මැතිවරණ වලදී එජාපයේ ඡන්ද ප්‍රතිශතය 29.4% මට්ටම දක්වාම පහළ ගියා. මෙය 1956 එජාප ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි වන්නේ 1.5%කින් පමණයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන විට එජාපය එහි මුල් දක්වාම දියවෙලයි තිබුණේ. වෙනත් විදිහකින් කියනවානම් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය කියන්නේ එජාපය වැටෙන්න ඉඩ තිබෙන පහළම තැන හෝ ඊට කිට්ටු තැනක්.

තවදුරටත් එජාපයේ ඉතිරිව සිටින්නේ කවුද?

එජාපය එක්ක තවමත් ඉන්න එක කොටසක් වන්නේ පක්ෂ යාන්ත්‍රනය හා කෙළින්ම සම්බන්ධව සිටින ගම් වල උදවිය. දකුණේ ගම් වල ඉතිරි බොහෝ දෙනෙක් මේ වන විට මහින්දගේ කණ්ඩායමට එකතු වෙලා අවසානයි.

නමුත්, නාගරික ප්‍රදේශ වල තත්ත්වය වෙනස්. ඉහත නලින් ද සිල්වාගේ ප්‍රකාශයේ කළු දේවල් ලෙස පෙන්වන කරුණු වෙනුවෙන්ම (කළු දේවල් සේ නොදකිමින් වුවත්) පෙනී සිටින විශාල පිරිසක් නාගරික ප්‍රදේශ වල ඉන්නවා. මේ වන විට එජාපයේ බහුතරය ඒ අයයි. රනිල්ට දිගින් දිගටම එජාපයේ නායකයා වී ඉන්න හැකි වී තිබෙන්නේ ඉතිරි වී සිටින එජාප පාක්ෂිකයින්ගේ අවශ්‍යතා නියෝජනය කරන හොඳම පුද්ගලයා රනිල් වීමයි.

රනිල් වෙනුවට එජාප නායකත්වය සඳහා යෝජනා වී තිබෙන නම් අතර කරු ජයසූරිය හා සජිත් ගැන සඳහන් වෙන්නේ ඔවුන් නලින් ද සිල්වාගේ බෙදුම් රේඛාවේ සුදු පැත්තට වෙන්න ඉන්න එජාප නායකයින් සේ ඇතැම් අය විසින් සලකන නිසායි. එහෙමනම්, මේ දෙන්නාගෙන් එක් අයෙක් එජාප නායකයා වුනොත් එජාපය නැවතත් දිගින් දිගටම මැතිවරණ දිනන්න පටන් ගනියිද?

පැහැදිලිවම එහෙම වෙන්නේ නැහැ. කලින් කී නිර්ණායකය අනුව මේ දෙන්නා ටිකක් සුදු වුනත් මහින්දට කිට්ටුවෙන්වත් තියන්න බැහැ. මේ දෙන්නා ටිකක් සුදුයි තමයි. හැබැයි මහින්ද කිරි සුදුයි. ඒ නිසා, කරු හෝ සජිත් එජාප නායකයා වුනා කියා මහින්දගේ ඡන්ද එකක්වත් එජාපයට කැඩිලා එන්නේ නැහැ. කරු හෝ සජිත් එජාප නායකයා කර ගැනීම මහින්ද පාක්ෂිකයින්ගේ සිහිනයක් වුවත් මේ වෙලාවේ එජාප පැත්තේ ඉන්න ගොඩක් දෙනෙක්ගේ සිහිනයක් නෙමෙයි.

කොහොම වුවත් එජාප පැත්තේ ඉන්න සැලකිය යුතු පිරිසක් හිතනවා නායකයා වෙනස් කළොත් එජාපය ගොඩ යයි කියා. මෙහිදී කියැවෙන වෙනත් නම් අතර කරු හා සජිත්ට අමතරව මංගල හා රාජිත වගේ අයත් ඉන්නවා. නමුත්, ඒ අනෙක් අය මහින්ද පාක්ෂිකයින්ගේ හා මහින්දව පරමාදර්ශය සේ සලකන අයගේ නිර්ණායක අනුව රනිල්ටත් වඩා කළු චරිත.

මහින්ද කියන්නේ මේ වෙලාවේ වගේම දැන් කාලෙක ඉඳලම ලංකාවේ වැඩිම දෙනෙක්ගේ ආකර්ශනය දිනාගෙන ඉන්න ජාතික නායකයා. මහින්ද වටා ආකර්ශනය වන අයගේ පරමාදර්ශය මහින්ද. එජාපයේ අනෙක් නායකයින්ට සාපේක්ෂව කරු හෝ සජිත් වඩා හොඳයි කියා හිතන ගොඩක් අය එසේ හිතන්නේ මහින්ද පරමාදර්ශය සමඟ සංසන්දනය කරමිනුයි. ඒ නිසා, කරුට හෝ සජිත්ට කවදාවත් මහින්දගේ ඡන්ද එජාපයට ආකර්ශනය කර ගැනීමේ හැකියාවක් නැහැ.

මහින්දගේ ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක් එජාපයට ආකර්ශනය නොවන තාක් කල් එජාපය ඇතුළේ ලිබරල් මතවාදයට තිබෙන ඉල්ලුම යටපත් කළ හැකි වෙනත් මතවාදයක් ඉස්මතු වෙන්නේ නැහැ. එජාපයේ ප්‍රමුඛ මතවාදය ලිබරල් මතවාදයව පවතින තාක් කල් එජාපයේ නායකයා වෙන්නේ ඒ මතවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටිය හැකි අයෙක්. මහින්දට රටේ තිබෙන ආකර්ශනය නැති වන තුරු රනිල්ගේ නායකත්වයට ලොකු තර්ජනයක් නැහැ.

(Image: http://www.lankatruth.com/home-2/index.php?option=com_content&view=article&id=10473:four-tyres-to-mahinda-from-ranil&catid=42:smartphones&Itemid=74)

13 comments:

  1. යුද්ධය රට දරුණු ලෙස ධ්‍රැවීකරණය කළා. ඊට පසුව හොරකම් වැනි දේ සාමාන්‍යකරණය වුනා. දැන් ඔය එළිපිටම කෙරෙන වෙන්දේසි ගැන කවුරු බලයට ආවත් කිසිම පරීක්‍ෂණයක් කෙරෙන්නේ නෑ.

    ආණ්ඩු මාරුවෙන්නේ කවුද වැඩියෙන් දුෂිත කියන නිර්ණායකය මතයි. මන්ත්‍රී වෙන්දේසියේ පමණක් නොව, මහ ඡන්දයේදීත් එහෙමයි. ඒකයි දුක!

    ReplyDelete
    Replies
    1. මෙහිදී අප විසින් මෙහි සියලු වැරැදි වලට වගකිව යුතු දූෂිත අසික්කිත රාජපක්ෂ නීලකාස කම්බා හොර කාලකණ්ණින් රැලට එරෙහිව ක්‍රියා කළ යුතුයි. කෙසේ හෝ ලංකාවේ පෙර පැවති කාලකණ්ණි වනචර මිනීමරු මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ පරාජය පිළිබඳව අදටත් හොටු පෙරමින් අඬන, එම වල් පරයින්ගේ හිටපු රජා හෝ කුණු නාශක යුව රජා කෙසේ හෝ ආපසු බලයට ගෙන ආ යුතු යැයි සිතා මෙලෝ සිහියකින් තොරව පිස්සු කෙළින, "රණවිරු" කියාගන්නා කුණුහබ්බ ලේබලයෙන් හෝ කහකඩ සිවුරු ලේබලයෙන් ඕනෑම දුෂණ, භීෂණ, මැර, ජඩ, මිනීමරු ක්‍රියාවක් වසා දැමිය යුතු යැයි මොර දෙන මනපහතයින් මෙහි වගකීම භාරගත යුතුයි. ඒ ජඩ කාලකණ්ණින් අතරේ, සිංහලබුඩ්ඩාගම රකින කාලකණ්ණින්, මුස්ලිම් කඩ වර්ජනය කරන, කඩන, පෝස්ටර් බෙදා හරින්නන්, නලින්ද සිලුවා වන්දනාවේ යෙදෙන අනාථ නාථ ඇබිත්තයින් වැනි පාහරයින්ද සිටින බව පැහැදිලිව පෙනේ.

      මෙම අමනයින් සම්පූර්ණයෙන් විනාශකර රාජපක්ෂ පවුලද සමගම සමූලඝාතනය කර දැමිය යුතුමයි.

      Delete
  2. එක්සත් ජාතික පක්ෂ කාර්යාලය අසලින් ඇරැඹි විරෝධතා ව්‍යාපාරයට එක්වූ පිරිස වීරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් හින්දු කෝවිල වෙත පා ගමනින් පැමිණ කනලවීවක නිරතවූ විරෝධතාකරුවෝ ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයට ශාප පතා දෙවියන් ඉදිරියේ පොල් ගැසීය.

    ඊයෙ පෙරේදා ගහපු පොල් වැඩකරලා වගේ..... දැන් පෝලිමට රනිල්ගෙ පැත්තට පැනපු අය එනවා..... මම රනිල්ට කැමති කෙනෙක්, සිරිසේන - මහින්ද කරපු මේ ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩේට රනිල් වෙනුවෙන් පෙනී සිටිනවා.... 62 සාපෙ වදිනවා සත්තයි මහින්දටයි, සිරාටයි නැත්නම් බුදුබණ බොරු..... මනූෂත් යන්තම් පවු සෝදා ගත්තා.

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා,

    ලංකාව අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා... රෝ, සී.අයි.ඒ. මේවා පිටුපස ඉන්නවා...

    විශේෂයෙන්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සියල්ලේදීම මේ කුමන්ත්‍රණය අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙනවා...

    උදාහරණයක් ලෙස පසුගිය පළාත් පාලන චන්දය කළේ ඒ සම්බන්ධ පනත සංශෝධනය කිරීමෙන් පසුවයි. එහිදී කොට්ඨාස ක්‍රමයේ වාසි පැත්ත පෙන්නමින් අස්ථාවරත්ව කුමන්ත්‍රණය ක්‍රියාත්මක උනා. මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ දැමීම, කාන්තා නියෝජනය වැඩි කිරීම වගේ දේවල් අපේ දේශීය අවශ්‍යතාවන් නෙවෙයි. ඒ කියන්නේ කාන්තා නියෝජනය වැඩි කරන්න අවශ්‍යයි කියන එක අපේ රටේ කාන්තාවන්ගේ ඉල්ලීමක් නෙවෙයි. කෘත්‍රිම ලෙස හොඳ පැත්ත පෙන්වා පලපුරුදු නායකයන් වෙනුවට කමකට නැති කාන්තාවන් එම ආයතන වලට නීතිය හරහා බලෙන් යැව්වා.

    19 වැනි සංශෝධනය හරහා බොරුවට ඇමති මණ්ඩලය 30කට සීමා කළයුතුයි කියා පෙන්වා ජාතික ආණ්ඩුවලට එම සීමාව ඉවත් කළා. ඒ හරහා සභාග ආණ්ඩු අස්ථාවර ආණ්ඩු ඇති වීමට අවකාශය ඇති කළා...

    ඉදිරියට එන ආණ්ඩුවලට මේවා සමග මූණ දෙන්න වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්ණ ගොඩකට... 2/3 නැතුව මේවා වෙනස් කරන්නත් බෑ..

    ReplyDelete
  4. මටනම් හිතෙන්නේ රනිල් නිල් ලිබරල්වාදියෙක්ය කියන කතාව දෘෂ්ඨි මායාවක්. රනිල් කරන්නේ තනිකරම ලෝක බැංකු නියෝජිතයින් හදන යෝජනාවලි ක්‍රියාත්මක කිරීමම පමණයි. ඉතින් ඕක කරන්න රනිල්ම ඕනෙද? එජාපයම ඕනෙද?

    රනිල් දිගටම එජාප නායකයා වීම පුද්ගල සාධක ඔස්සේ තේරුම් ගැනීමට උත්සාහ කිරීම වඩා සාර්ථක විය හැකියි. හදිසියේ රනිල් මලොත් එජාප පාක්ෂිකයන්ට ලොකු සැනසීමක් දැනෙයි.

    ReplyDelete
  5. ඔය ලිබරල් ජන්ද සැලකියයුතු ප්‍රමාණයක් ලංකාවේ නැහැ.unp එකේ දැන් ඉතුරුවෙලා තියෙන්නේ සිංහල කැපුවත් කොළ ජන්ද හා මුස්ලිම්/වතු දෙමල ජන්ද ටික. හැබැයි unp ඉහලම මට්ටමේ ලිබරල් බලය වැඩියි. ඒ හින්දා රනිල් ආරක්ෂිතයි.
    මහින්ද කියන්නේ ලංකාවේ ජන්දවල ප්‍රධානම සාධකය, පක්ෂ මහගොඩක් නැහැ. එක්කෝ මහින්ද විරෝධී නැත්තං මහින්දවාදී. 1994ට කලින් ලංකාවේ ප්‍රධානම සාධකය unp වගේ.

    ReplyDelete
    Replies
    1. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයන්ට තමන්ගෙ වැඩක් බලාගන්න කිව්වට දැන් ගේමට බැහැල ඉන්නෙ තානාපති කාර්යාල. මනුෂ නානායක්කාර මහගෙදරට ආපහු ආව වගේ DSගෙ මුණුපුරා වසන්ත සේනානායකත් ආපහු ඒවිද?

      Delete
  6. Anonymous November 7, 2018 at 12:15 AM

    ලාල් විජේනායක කොමිසම හරහා ආපු ව්‍යවස්ථා සංශෝධන යෝජනා කෙටුම්පත බලන්න.

    ෆෙඩරල් ව්‍යවස්ථාව ආවා නම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන තුනම අස්ථාවර වෙනව.

    ඔවුන් බුද්ධාගමට මුල්තැන වගේ බොරු දේවල් වෙනස් කරන්න යනවා වගේ පෙන්නලා, සාකච්ඡා කරල, රටේ අවධානය වෙනස් කරල, ඒ සඳහා මහානායකවරු, උගතුන්, වියතුන් කියන ආකාරයටම ව්‍යවස්ථාවෙන් ඔවුන් ඉල්ලන දේම දීල, අවසානයේ කාගේත් කැමත්තෙන් රට අස්ථාවර කරන රට කෑලි කැඩෙන ව්‍යවස්ථාවක් තව පොඩ්ඩෙන් අනුමත කර ගන්නවා.

    ReplyDelete
    Replies
    1. හෙට අනිද්දා දෙමල මුස්ලිම් ජන්ද නිසා මහින්ද පාර්ලිමේන්තුවේ පැරදුන කියල ඔවුන්ට හිරිහැර කොලොත්, රට කෑලි කරන්න ව්‍යවස්තා සම්මත කරගන්න ඕනි වෙන්නේ නෑ.

      Delete
    2. Ano 0101 AM

      1983 කෝලාහල ඇතුවූයේද 2018 කෝලහලය ඇති වූයේද කාලකනි යූඑන්පී බූරුවන් රට පාලනය කරන පාහර ක්‍රමය නිසාය​.

      සිංහල ජාතියට කෙනෙහිලි කම් කරමින් පරයන් හුරතල් කරන විට සිංහලයන් අතර අනරක්‍ෂිත බව හා කලකිරීම ඉහල යයි. එවිට ජනතව නීතිය අතට ගනී.

      (2018 සිධියේදී මුස්ලිම් දේශපලක ඌරන් ගේ බලපෑම මත මිනීමරු මුස්ලිම් ත්‍රී වීල් කාරයන්ව දින ගණනවක් යනතුරු අල්ලා නොගැනීම හා එයට විරුද්ධව උද්ගෝශනය කල සිංහලයන් ව විනාඩි කිහිපයක් තුල අත් අදංගුවට ගැනීමට නියොග දීම නිසා පසුව වෙන විනාසය).

      වත්මන් UNP + SLFP බූරුවන් විසින් සිංහල ජාතිය ට පාච්චල් කරමින් කරගෙන යන සංහිඳියා වේ ප්‍රතිඵලය තමයි තඹුත්තේගම හා අම්පාරේ ඇතිවූ සිද්ධීන්.

      Delete
  7. සාමාන්‍ය මිනිස්සු බොහොම නිහඩයි, ඔවුන්ට් මේ අවස්ථාවේ වෙනසක් ඕන වුනේ නෑ, ආයතන හැමකෙකම පිරිලා හිටිය හොරුන් තක්කඩින් නැවත බලවත් වෙනවට මිනිස්සුන්ගේ කැමැත්තක් නෑ. මයිත්රීට මාස තුනක් ඉවසගෙන ඉන්න හැකිවුනා නම් නැවත මහින්දගමනයක් වෙන්නේ නෑ. මහින්ද අවුරුදු 2ක් බලයේ හිටියොත් නැවත රැල්ලක් 2015ට වැඩිය විශාල රැල්ලක් එනවා, එක රැල්ලෙන් පැවතුනු ක්‍රමයක් සෝදා හැරුණු රටවල් කොහෙවත් නෑනේ.

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා,

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනමත විචාරණයක් පවත්වන්න පුළුවන් ද?

    මට නම් හිතෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පුළුවන් නම් පාර්ලිමේන්තුවේ 113 ලැබුණත් ප්‍රශ්නයක් වන්නේ නැහැ, ජනතා කැමැත්ත ඇත්නම් ඉන්පසු මහා වහා ම මැතිවරණයක් පවත්වන්න පුළුවන්.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද ක්‍ෂණික අවශ්‍යතාවක් වෙලා. ඒ සඳහා අවුරුදු හතර හමාරක් බලා ඉන්න බැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනතා කැමැත්ත විමසා බලන්න පුළුවන්. ජනතාවට තමයි පරමාධිපත්‍යය තියෙන්නෙ.

    1982 ජේ ආර් ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දමා ගත්තා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට තම මතය අනුව ජාතික වැදගත්කමකින් යුත් කරුණක් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන්න පුළුවන්. මෙහිදී ද වැදගත් වන්නේ ජනාධිපතිගේ මතය පමණයි. වෙනත් අයගේ , කතානායකගේ මහා කොමසාරිස්ලාගේ තානාපතිලාගේ මතය එහි දී වැදගත් නැහැ. අඩු තරමෙන් පාර්ලිමේන්තුවෙන් විමසන්නවත් ඕන නැහැ.

    ReplyDelete
  9. මහින්ද හින්දා රනිල් ඉන්නවා නෙමේ.. රනිල් හින්දා මහින්ද ඉන්නවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: