වෙබ් ලිපිනය:

Sunday, November 25, 2018

ක්වෝ වොරන්ටෝ: කවර වරයකින්ද?


මහින්ද රාජපක්ෂ විසින් නීති විරෝධී ලෙස අගමැති සේ කටයුතු කිරීමත්, වෙනත් අය නීති විරෝධී ලෙස කැබිනට් ඇමතිවරුන් සේ  කටයුතු කිරීමත් වළක්වමින් ක්වෝ වොරන්ටෝ රීට් ආඥාවක් ප්‍රදානය කරන සේ ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභියාචනාධිකරණය වෙත ගොස් ඇති බව වාර්තා වී තිබෙනවා. මොකක්ද මේ ක්වෝ වොරන්ටෝ කියන්නේ?

ක්වෝ වොරන්ටෝ රීට් ආඥා විශේෂයක්. මේ රීට් ආඥා එන්නේ ඉංග්‍රීසි නීතියෙන්. ලංකාවේ නීතිය මූලිකවම රෝම ලන්දේසි නීතිය මත පදනම් වූවක් වුවත්, එහි බොහෝ අංග පසුව ඉංග්‍රීසි නීතියෙන් එකතු වූ ඒවා. රීට් ආඥා එකතු වී තිබෙන්නේත් ඒ විදිහටයි.

රීට් ආඥා වල ප්‍රභවය එංගලන්ත රජුගේ ලිඛිත නියෝගයි. රීට් (writ) යන වචනයේ තිබෙන්නේ ලිඛිත යන අදහසයි. අද වන විට මේ රීට් ආඥා බොහෝ රටවල මූලික නීතියේ කොටසක්. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත සේ පැවති රටවල.

රීට් ආඥා ප්‍රභේද විශාල ගණනක් තිබෙනවා. ඒ අතරින් රීට් ආඥා ප්‍රභේද හයක් ගැන ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඇමරිකාව, ඉන්දියාව වැනි වෙනත් රටවලත් මේ රීට් ආඥා ප්‍රභේද හය සමඟ අතිපිහිත වන හා නොවන රීට් ආඥා ප්‍රභේද කිසියම් ප්‍රමාණයක් පිළිගැනෙනවා.

බොහෝ රටවල රීට් ආඥා ගැන සඳහන් වෙන්නේ මූලික අයිතිවාසිකම් හා අදාළව වුවත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ගැන හා රීට් ආඥා පිළිබඳව වෙන් වෙන්ව සඳහන් වෙනවා. මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් වුවත්, රීට් ආඥාවක් ප්‍රදානය කරන මෙන් ඉල්ලමින් අභියාචනාධිකරණය වෙත යන්න පුළුවන්. පසුව අවශ්‍යනම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන්නත් පුළුවන්. මීට අමතරව, දහතුන්වන සංශෝධනයෙන් පසුව එකතු වූ 154ග(4) අනුව්‍යවස්ථාව අනුව, පළාත් සභා ලැයිස්තුවේ ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් රීට් ආඥා නිකුත් කිරීමේ බලය අදාළ පළාත් මහාධිකරණයටත් තියෙනවා.

ලංකාවේ අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය හෝ පළාත් මහාධිකරණයක් වෙත ගොස් ඉල්ලා සිටිය හැකි රීට් ආඥා වර්ග හය පහත ඒවායි.

1. සර්ටියෝරාරි
2. තහනම්
3. ප්‍රොසිඩෙන්ඩෝ
4. මන්ඩාමුස්
5. ක්වෝ වොරන්ටෝ
6. හේබියස් කෝපුස්

මා මේ වචන ලියා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ තිබෙන අක්ෂර වින්‍යාසය අනුවයි. වෙනස් ආකාර වලින් මේ වචන උච්ඡාරණය කරනවා. මේ රීට් ආඥා අතරින් අවසන් වර්ගය ගැන 141 අනුව්‍යවස්ථාවේත්, අනෙක් වර්ග පහ ගැන 140 අනුව්‍යවස්ථාවේත් සඳහන් වෙනවා.

මේ අතරින් හේබියස් කෝපුස් ආඥාවකින් ඉල්ලා සිටින්නේ නීතිය අනුව ක්‍රියාකිරීම සඳහා කිසියම් පුද්ගලයකු අධිකරණය හමුවට පමුණුවන ලෙස හෝ රජයේ හෝ පෞද්ගලික අත් අඩංගුවේ නීති විරෝධී ලෙස රඳවාගෙන සිටින පුද්ගලයෙකු අධිකරණය හමුවට පමුණුවන ලෙසයි. 1988/89 කාලය මෙවැනි හේබියස් කෝපුස් නඩු ගැන නිතර අහන්න ලැබුණු කාලයක්. ඒ කාලයේ මහින්ද රාජපක්ෂගේ නම කියැවුනේ මෙවැනි නඩු හා අදාළව කටයුතු කළ නීතිඥයෙකු ලෙසයි.

ලැයිස්තුවේ මුලින් තිබෙන රීට් ආඥා වර්ග දෙක තරමක් සමානයි.  සර්ටියෝරාරි ආඥාවක් මගින් යම් රජයේ නිලධාරියෙක් හෝ වෙනත් පුද්ගලයෙක් විසින් සිදු කළ නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් බල රහිත කරවා ගත හැකියි. තහනම් ආඥාවක් මගින් එවැනි ක්‍රියාවක් අනාගතයේදී සිදු කිරීම වැළැක්විය හැකියි. ප්‍රොසිඩෙන්ඩෝ ආඥාවක් කියන්නේ ඉහළ උසාවියකින් පහළ උසාවියකට දෙන ආඥාවක්. කිසියම් අයුරකින් විභාග වීම නැවතී තිබෙන නඩුවක් විභාග කර තීන්දුව ලබා දෙන මෙන් එමඟින් විධානය කෙරෙනවා.

මන්ඩාමුස් රීට් ආඥාවකින් කෙරෙන්නේ කිසියම් රජයේ නිලධාරියෙක් හෝ වෙනත් පුද්ගලයෙක් සතු නීතිමය වගකීමක් හෝ යුතුකමක් පැහැර හැර ඇති අවස්ථාවකදී එම වගකීම හෝ යුතුකම ඉටු කර ගැනීමේ නීතිමය අයිතිය ක්‍රියාත්මක කරවා ගැනීමයි. පළාත් සභා මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමිසමට ආඥාවක් නිකුත් කරන සේ ඉල්ලමින් අභියාචනාධිකරණයට යන බව පසු ගිය කාලයේ පොදුජන පෙරමුණ පැත්තෙන් කියවුනා.

ක්වෝ වොරන්ටෝ ආඥාවක් මඟින් කරන්නේ කිසියම් ව්‍යවස්ථාපිත හෝ රජයේ පොදු තනතුරක් දරන අයෙකුට එම තනතුර දැරීමට ඇති සුදුසුකම විමසා බලා අදාළ තනතුර දැරීම වැළැක්වීමයි. මේ ලතින් වචන වල දළ වචනාර්ථය "කවර වරයකින්ද?" කියන එකයි.

ඇතැම් වාර්තා වල තිබෙන පරිදි මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ක්වෝ වොරන්ටෝ ආඥාවක් ඉල්ලා සිටිමින් ගොනු කර තිබෙන්නේ ඒ ආකාරයේ පළමු නඩුව නෙමෙයි. මෙවැනි නඩුවකට මෑතකාලීන නිදසුනක් ලෙස බුවනෙක ලලිත ඇතුළු පස් දෙනෙකු විසින් ගීතා කුමාරසිංහට එරෙහිව ගොනු කළ නඩුව සඳහන් කළ හැකියි. එම නඩුවේ තීන්දුව අනුව ඇයට ඇගේ මන්ත්‍රී ධුරය අහිමි වුනා. අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව රජිත් කීර්ති තෙන්නකෝන් විසින්ද මෙවැනි නඩුවක් ගොනු කළ බව පසුගිය කාලයේ වාර්තා වී තිබුණා.

(Image: https://srilankatwo.wordpress.com/2017/05/04/geetha-kumarasinghe-loses-her-m-p-post-piyasena-gamage-replaces-her-upfa-loses-one-more-m-p/)

2 comments:

  1. කෙලින් හිටගන්න බැරි
    නැගිට ඇවිදින්න බැරි
    මට මහළු වයසේ
    කුමට අගමැතිකමක්
    මෙලෙසේ

    ලොකු පුතා හිරේයයි
    පොඩිපුතා සමගින්ම
    ලොකු මල්ලි හිරේයයි
    පොඩිමල්ලි හට වුවද
    නොමැත ගැලවීමක්

    බිරිඳ ගත්තත් නොමැත
    ඇයට ගැලවීමක්
    මට වුවද කිසිදාක
    නොමැත සැනසීමක්




    ReplyDelete
  2. අගමැති මහින්ද ඇතුළු ඇමැති මණ්ඩලයට එරෙහි පෙත්සම සළකා බැලීම 30 දා
    (තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)





    එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් අද (26) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී අදාළ පෙත්සම ලබන 30 වැනිදා සහ මීළඟ 3 වැනි දා සළකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය නියම කළේය.

    එම දිනට පෙර නඩුවට අදාළ ලේඛන වගඋත්තරකාර පාර්ශවය වෙත ලබාදීමට පියවර ගන්නා මෙන් ද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත දන්වන ලදී.

    පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි.

    මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව 13 වැනි සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව පෙත්සම්කරුවන් කියා සිටියේය.

    මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කර ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    මෙහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු නම් කර තිබේ.


    http://www.lankadeepa.lk/news/%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94-%E0%B6%87%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8-%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8-30-%E0%B6%AF%E0%B7%8F/101-541016

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: