වෙබ් ලිපිනය:

Friday, November 16, 2018

කෙල්ල ගෙට ගං!


මා පෙර ලිපි වල දිගින් දිගටම ලිවුවේ මේ මොහොතේ කවර අභියෝග තිබුණත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පිළිබඳව මා තව දුරටත් විශ්වාසය තබනවාය යන්නයි. මේ ප්‍රකාශය සමඟ පසුගිය දින තුන ඇතුළත පාර්ලිමේන්තුවේ පැවති තත්වයන් ගලපන්නේ කොහොමද? විශේෂයෙන්ම පසු ගිය දින තුනේ පාර්ලිමේන්තුවේ සිදු වූ සිදුවීම් වල වීඩියෝ දර්ශන වලින් සැලකිල්ලෙන් තෝරාගත් කොටස් රූපවාහිනියේ ප්‍රචාරය වන විට විදේශගත ශ්‍රී ලාංකිකයෙකුට දැඩි අපහසුතාවයක් ඇති වන බව කියන්න දෙයක් නැහැ.

කොහොම වුනත්, මා මෙහිදී පවා දකින්නේ පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වී තිබෙන ආකාරයයි. දශක තුන හතරකට පෙර ගම් වල හිටපු මිනිස්සු ඔවුන් කැමති දේශපාලන පක්ෂ වල නායකයින් වෙනුවෙන් තමන්ගේ ළඟම ඥාතීන් සමඟ, නැත්නම් හදිසි ලෙඩ දුකකදී උදවුවට ඉන්න අසල්වැසියන් එක්ක, ගහ මරා ගැනීම දේපොළ විනාශ කිරීම ආදිය දුලබ දසුනක් වුණේ නැහැ. ගම් වල එහෙම වෙද්දී මේ දේශපාලන පක්ෂ වල නායකයෝ එංගලන්ත පාර්ලිමේන්තු සම්ප්‍රදාය අකුරටම පිළිපදිමින් සභා ගර්භයේ වාද විවාද කරලා පස්සේ පාර්ලිමේන්තු කැන්ටිමට ගිහින් හැඳි ගෑරුප්පු වලින් කාලා හොඳ යාලුවෝ වගේ ගෙදර ගියා.

මම සතුටු වෙන්නේ මෙදා සැරේ දේශපාලන අර්බුදය මේ තරම් ඔඩු දුවලා තියෙද්දීත් ලංකාවේ ගම් වල මිනිස්සු ඒ කාලේ වගේ කලබල නොවීම ගැනයි. සමහර අය ෆේස්බුක් එකේ මරා ගන්නවා තමයි. ඒ ගහ මරා ගැනීම් වලින් තුවාල වෙන්නේ නැහැනේ.

අනෙක් පැත්තෙන් රටේ ජනතාව ගහ මරා ගත්තේ නැති වුනාට පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් බටර් පිහි අරන් ගිහිං වෙනත් මහජන නියෝජිතයින්ට උරුක් කරන්නත්, කතානායක පුටුවට වතුර හලන්නත් කට්ටියනම් හිටියා. ගම් වල දේශපාලන විරුද්ධවාදීන්ට හූ කියන්න කවුරුත් නොහිටියත් පාර්ලිමේන්තුවේ හූ සද්ද වලින් අඩුවක් නැහැ. අන්න නියම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය!

අන්තිමේදී ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස් දරන මන්ත්‍රීවරුන්ගේ කණට ගහන්නත්, පුටු වලින් දමා ගහන්නත්, මන්ත්‍රීවරුන්ට හා පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ගහන්නත් තරමට ලංකාවේ මහජන නියෝජිතයින් දියුණු වෙලා තියෙනවා. දැන් ඡන්දදායකයෝ නිකරුණේ තමන්ගේ අසල්වැසියන් එක්ක ගහ මරා ගන්න ඕනෑ නැහැ. ඔවුන් වෙනුවෙන් ගහ මරා ගන්න ගැලපෙන නියෝජිතයෙක්ව පාර්ලිමේන්තුවට පත් කරලා යැවුවහම ඇති. ඒ අය නියමෙට වැඩේ කරයි. හැබැයි ඔහොම කිවුවට ඔය වගේ කට්ටිය මහ ගොඩක් පාර්ලිමේන්තුවේ නැති බවත් සිහියේ තබා ගත යුතු දෙයක්.

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා ලංකාවේ ඒකීය රාජ්‍යය බිඳ වැටිලයි තියෙන්නේ. එල්ටීටීඊ කාලයේදීත් ඔයාකාරයටම උතුරු නැගෙනහිර පළාත් වල සමාන්තර ඩි ෆැක්ටෝ රාජ්‍යයක් තිබුණා. නමුත්, ඒ රාජ්‍යයේ බලය රටේ සීමිත ප්‍රදේශයකට සීමා වෙලයි තිබුණේ.

දැන් පවතින තත්ත්වය වඩා බරපතලයි. රටේ නීත්‍යානුකූල රජය කුමක්ද යන්න ගැන රට ඇතුළේ පැහැදිලි එකඟතාවයක් නැහැ. එහෙම වුණාම රටෙන් පිට සිටින අයට එය තීරණය කිරීමේ අවස්ථාව ලැබෙනවා. එය රටකට එතරම් හොඳ දෙයක් නෙමෙයි.

පාර්ලිමේන්තුව ඇතුළේ ගහ මරා ගන්න කොට අපි වගේ රටෙන් පිට ඉන්න අයට අපහසුතාවයක් ඇති වෙනවා තමයි. නමුත්, ප්‍රශ්නය පාර්ලිමේන්තුවෙන් පිටතට යාමට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇතුළට සීමා වී තිබීම හොඳයි. දේශපාලන අර්බුදයේ ගැඹුර කෙතරම් වුවත් රට ඇතුළේ සාමාන්‍ය ජනතාව සාමකාමීව තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාම නිසා තවමත් ලොකු ප්‍රශ්නයක් ඇති වී නැහැ. නමුත්, ප්‍රශ්නය දිගින් දිගටම ඇදුනොත් කොයි වෙලාවක හෝ විනාශයකින් කෙළවර වෙන්න පුළුවන්.

ස්වාධීනව හිතා තීරණ ගත හැකි විශාල පිරිසක් මේ වන විට ලංකාවේ සිටින බව මා විශ්වාස කරනවා. ඔවුන්ගේ ශක්තිය මා තවමත් අවතක්සේරු කරන්නේ නැහැ. ලංකාවේ දැන් තියෙන්නේ කලින් රට අත් නොදුටු බොහෝ දේවල් වෙන්න පුළුවන් වාතාවරණයක්!

12 comments:

  1. මේ වෙලාවෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ උපෙක්ෂා ව අගය කළ යුතුයි.. ඔවුන් අතීතයෙන් පාඩම් ඉගනගෙන තියන බව දකින්න තියනවා.. සමහර ජඩ දේශපාලකයන් ඔවුන්ව උසිගන්වන්න උත්සහ කරමින් ඉන්නවා තමන්ගේ බලය වෙනුවෙන්..ටෙනිසන්ලගෙ ගොන් ජෝක් දිහා බලන් ඉන්න අපහාසයෙන්ම ජනතාව මුන් දිහා බලාගෙන ඉන්නෙ..

    මහින්ද පාර්ශවයෙ හැසිරීම තුච්චයි.. ඔවුන් තමන්ට තියන ජනතා ප්‍රසාදය සීඝ්‍රයෙන් අඩුකරගනිමින් ඉන්නවා...

    කතානායක අන්ත පක්ෂක්ග්‍රාහී පිලිවෙතක ඉන්න බවක් තමා පේන්නෙ.

    යා දෙක නොරත රත යහපාලනය අන්තිමේදී රටට සාපයක් වෙලා...

    ReplyDelete
    Replies
    1. පක්ෂග්රාහීද නැද්ද කියන එක ඉතින් තම තමන්ට දැනෙන විදියටනේ. රූල්ස් ඇතුලේ ප්ලේ කරනවානම් එච්චරයි. අනේ මටනම් බෑ මෙහෙම කරන්න. එතකොට මාව පක්ෂග්රාහී වගේ පෙනෙයි කියල කොහෙවත් ඉන්න මදාවියෝ සෙට් එකකට බලේ දීල බකන් නිලාගෙන ඉන්න ඒවා ඉතින් හඳේ තමයි.

      Delete
    2. ඇත්තටම එයා රූල්ස් ඇතුලෙද ප්ලේ කරන්නෙ? රනිල්ට විශ්වාසබංගය ආපු වෙලෙත් මෙහෙමද කෙරුවෙ?

      ⁣මේ ටික cnews එකෙන් උපුටා ගත්තෙ. හැබැයි ඒවා විමල්ගෙ හිතලු නෙමේ කියලා හිතුන හිංදා මෙතන දානවා රූල්ස් වගයක් වගෙ පෙනෙන නිසා...

      අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සදහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය.

      පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය.

      එම යෝජනාව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කතානායකතුමාට දැනුම් දිය යුතුය.

      එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුලත් කළ යුතුය.
      එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍ර‍ය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදා හැරිය යුතුය.
      වැඩකරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.

      පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍ර‍මුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුක්තකට දැයි තීරණය කළ යුතුය.
      (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කතානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍ර‍ධාන සංවිධායක ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් සමන්විත මන්ත්‍රීන් කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුලු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකද, නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තයේ සදහන් වී ඇති ආණ්ඩුවේ කටයුතු වල ප්‍ර‍මුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.

      මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුලත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.

      එම දිනයේ න්‍යාය පත්‍ර‍යට මෙම යෝජනාව ඇතුලත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.

      එම විශ්වාශභංගය විවාද කිරීම සදහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කළ යුතුය.

      අදාළ දිනයේදී විවාදය පවත්වා ඡන්දය විමසීම සහ එය ප්‍ර‍කාශ කළ යුතුය.

      එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබද හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.

      Delete
    3. ඕව ඔක්කොම අදාළ ස්ථාවර නියෝග තියෙනවනම් විතරයි. ස්ථාවර නියෝග අත්හිටෙව්වම ඕව අදාල නෑ. ස්ථාවර නියෝග අත්හිටුවන්න ඕනෙම වෙලාවක පුළුවන් සරල බහුතරෙන්. ස්ථාවර නියෝග කියන්නේ ව්‍යවස්ථාව නෙමෙයි. ගයිඩ් ලයින්ස් විතරයි සභාවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා.

      Delete
    4. ස්තූතියි පැහැදිලි කිරීමට..

      Delete
    5. ස්ථාවර නියෝග කියන්නෙ පාර්ලිමේන්තුව පවත් ගෙන යන ආයතනික නීති රීති මලාවයි. මෙය හරියට පාසලක විනය නීති මාලාව වගේ.
      -විදුලපතිට හා ගුරු මන්ඩලයට කීකරු වීම
      -ශිශ්‍ය නායකයින්ට අහුම් කන් දීම
      - නිල හැඳුමෙන් පාසලට පැමිනීම
      -බීමත්ව නොපැමිනීම
      -බටර් පිහි වැනි දෑ ගෙන පාසල් නොපැමිනීම
      - ම්ශ්‍ර පාසලක් නම් පාසල තුල ලව් නොකිරීම

      ඔය වගේ නීති රීති සමුදායක් මගින් තමා පාසල පවතින්නෙ. අපි වැඩ කරන ආයතනත් මේ වගේම නීති රීති පද්දතියක් මගින් තමා පාලනය වන්නේ. එම නීති රීති නොවන්නට ඒවා තවත් ගොඩනැගිලි කීපයක් පමනයි.

      ඉතිං තමුංගේ හිතවත් ශිශ්‍ය කන්ඩායමකට අවශ්‍ය පරිදි පාසලක විනය නීති මාලාව තාවකාලිකව අත් හිටවන්ඩ විදුහල්පති තුමා අවසරය දුන්නම පාසල තුල ඕනෑම තත්වයක් ඇති විය හැකියි. මිශ්‍ර පාසලක නම් විදුහල් පති තුමා ඉදිරිපිට පාසල් ලමුන් දෙදෙනුකු ලව් කලත් එතුමාට කොරන්නට දෙයක් නැත. ක_ පු_ දෙකම වසා ගෙන අහක බලා ගෙන සිටීමට සිදුවේ.

      එය දෙපැත්ත කැපෙන පිහියකි.

      Delete
  2. රනිල්ට රිසි නොවෙමි
    එනමුදු එකසිය දහතුන
    ඔහු සතුය

    මහින්දට කුමක් කියමිද
    දෙවියන්ගෙ දේ දෙවියන්ට
    සීසර්ගෙ දේ සීසර්ට!

    ReplyDelete
    Replies
    1. මහින්දට විරුද්දවත් 113 ට වඩා සිටී. රනිල්ට විරුදවත් 113 ට වඩා සිටි
      එක් අයෙකුටවත් පක්ශව 113 හෝ ඊට වඩා සිටින බවක් නොපෙනේ. (These are not mutually exclusive sets)

      රනිල්ට කරූගෙ චන්දයත් නැත. ඔහුටත් දැනට සිටින්නේ 100-101 ක් පමනි.
      අගමැති තීරනය වන්නේ TNA එකෙනි. එවිට තවත් ගෙම්බන් පිරිසක් නැවත පිලකින් පිලකට පනිනිනු ඇත

      Delete
  3. ඉකොනෝ, ජනාධිපතිට පුලුවන්ද ජනමත්විචරනෙකට යන්න මහමැතිවරණයක් ඕනද එපාද කියල අහල? හැමෝම එහෙම පුළුවන් කියල හිතන් ඉන්නවා වගේ පේන නිසා ඇහුවේ.

    ReplyDelete
  4. මිනිස්සු නිහඬයි, හැබැයි මළගෙදරක රතිඥාවක් ඇහුනත් හිත කලබල කරගන්නවා.වත්තට පැනපු වඳුරන් පන්න රතිඥාවක් පත්තුකරන්නත් බයයි, හදිසියේ එ මොහොතේ සිදුවුණා අලුත් දේසපාලන කලබගනියකට පක්ෂපතිවුන කියන චෝදනාව බොහොම බයානක වෙන්න පුළුවන් නිසා, ඒ ම ගැන.

    ReplyDelete
  5. බටහංිර ජනමාද වලට අනුව ඊජිප්තුව යනු මුස්ලිම් රටක් නෙමෙයි පිරමිඩ් තියෙන රට
    ඉන්දියාව යනු ශීක් ජාතිකයන්ගේ රට
    ලංකාව යනු දෙමළුන්ගේ රට.

    2003 දී ප්‍රංශයේ කෝලාහලයක් කලේ අරාබි කාරයෝ නෙමෙයි අප්‍රිකානුවො.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: