වෙබ් ලිපිනය:

Saturday, November 24, 2018

පෝලිමේ මැද... හිටියට පාඩු වෙනවද...


මේ සටහන ලියන්න පටන්ගත් පෙරේදා ඇමරිකාවේ ස්තුති කිරීමේ දිනය. එදින සිට ගත වන දින හතර බොහෝ දෙනෙකුට දින හතරක දිගු සති අන්තයක්. ඇමරිකාවේ සියල්ලන්ටම පොදු නිශ්චිත නිවාඩු දින කැලැන්ඩරයක් නැහැ. නිවාඩු දින එක් එක් ආයතනය අනුව වෙනස් වෙනස් වෙනවා. ඇතැම් අය ෆෙඩරල් නිවාඩු දින ඇමරිකාවේ පොදු නිවාඩු දින සේ සලකනවා.

නොවැම්බර් මාසයේ සිවුවන ගුරු දිනයට යෙදෙන ස්තුති කිරීමේ දිනය ෆෙඩරල් නිවාඩු දිනයක් මෙන්ම සෑම ආයතනයකම වාගේ නිවාඩු දිනයක්. ඉන් පසුව යෙදෙන කළු සිකුරාදා දිනය ෆෙඩරල් නිවාඩු දිනයක් නෙමෙයි. නමුත්, බොහෝ ප්‍රාන්ත වල ප්‍රාන්ත රජයේ නිවාඩු දිනයක්. ඒ වගේම බොහෝ පෞද්ගලික ආයතන වල සේවකයින්ට එදින වැටුප් සහිත නිවාඩු දිනයක්.

ආරම්භක අරමුණ කුමක් වුවත් මේ වන විට ස්තුති කිරීමේ සති අන්තය කියන්නේ සිල්ලර වෙළඳාම ප්‍රවර්ධනය කෙරෙන දිනයක්. බොහෝ සිල්ලර වෙළඳසැල් සමූහ විසින් මේ සති අන්තයේ විශාල වට්ටම් සහිතව භාණ්ඩ අලෙවි කරනවා. ඒ වගේම, මේ වට්ටම් පිළිබඳව විශාල පූර්ව ප්‍රචාරණයක් කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ස්තුති කිරීමේ සති අන්තයේදී විශාල සිල්ලර භාණ්ඩ අලෙවියක් සිදු වෙනවා. ඇමරිකාවේ වාර්ෂිකව සිදුවන සිල්ලර භාණ්ඩ වෙළඳාමෙන් 30%ක් පමණම සිදු වෙන්නේ ස්තුති කිරීමේ සති අන්තයේ සිට නත්තල දක්වා වන මසක පමණ කාලය තුළයි.

පසුගිය ලිපියට ප්‍රතිචාරයක් ලෙස එක් පාඨකයෙක් මෙවැනි ඉල්ලීමක් කළා.

"ඉකොනොමැට්ටා ජිවත් වන රටේ එදිනෙදා ප්‍රශ්න, ඒවා ගැන ඉකොනෝ ඒ රටේ පුරවැසියන් සමග කතා බහ කරන අයුරු, ඒවාට විසදුම් යෝජනා කරන විදිය ගැන එහෙම ලිපි පෙළකුත් ලියන්න."

ඇමරිකාවේ මේ වගේ එදිනෙදා ප්‍රශ්න මොනවාද කියන එක ගැනත්, ඒවාට විසඳුම් හොයන හැටි ගැනත් මා මීට පෙර ලිපි ගණනාවක් ලියා තිබෙනවා. හැබැයි එවැනි දේ වෙනුවෙන් මා වෙන් කර තිබෙන්නේ සීමිත ඉඩක්. ඒ හේතුවක් නැතුව නෙමෙයි.

මේ බ්ලොග් එක කියවන අයගෙන් බාගයක්ම ලංකාවෙන් පිට සිටින අයයි. ලංකාවේ සිටින මෙය කියවන අය අතරින් සෑහෙන දෙනෙකුත් බටහිර රටවල් ගැන හොඳින් දන්නා අය. සමහර අය ඇමරිකාවේ සිදුවෙන දේවල් අපටත් වඩා හොඳින් හා කලින් දන්නවා. හරියටම ලංකාවේ සිදුවන ඇතැම් දේවල් ලංකාවේ ඉන්න අයට කලින් අපට දැනගන්න ලැබෙනවා වගේ.

පළමුවන ලෝකයේ ප්‍රශ්න ගැන වෙනත් බ්ලොග්කරුවන් කිහිප දෙනෙකුත් කතා කරනු මා දැක තිබෙනවා. ඒ ප්‍රශ්න ලංකාව වගේ රටක ප්‍රශ්න සමඟ සසඳන්න බැහැ. ඇමරිකාව වගේ රටක ජීවත් වන කෙනෙක් ලංකාවේදී මෙන් ජීවත්වීම හා අදාළ මූලික ප්‍රශ්න වලට විසඳුම් හොයමින් දිනපතා විශාල කාලයක් නාස්ති කළ යුතු නැහැ. ලංකාවේ මිනිස්සු එදිනෙදා විසඳුම් හොයමින් සිටින ප්‍රශ්න ගණනාවකටම බටහිර රටවල් වල මීට පරම්පරා ගණනාවකට පෙර ජීවත් වූ මිනිස්සු විසඳුම් හොයලා අවසන්. ඒ නිසා මේ රටවල අද ජීවත් වන අයගේ ජීවිත බොහෝ පහසු වී තිබෙනවා.

කොහොම වුනත්, මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න කියන ඒවා විසඳුම් හොයා අවසන් කළ හැකි දේවල් නෙමෙයිනේ. ඒ නිසා, වඩා වැදගත් වන්නේ හැමදාම අලුත් ප්‍රශ්න නිර්මාණය කරමින් ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන හෝද හෝදා මඩේ දමන ක්‍රම වෙනුවට අලුතින් ඇති වන ප්‍රශ්න ඇතුළු මිනිස්සු මුහුණ දෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන ක්‍රමවේද තෝරා ගැනීමයි.

ලංකාවේ මිනිස්සු එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න වලින් විශාල ප්‍රමාණයක් සම්පත් බෙදා හැරීම පිළිබඳ ප්‍රශ්න විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ මේ ප්‍රශ්න ආණ්ඩුව විසින් විසඳිය යුතු බවයි. එහෙම හිතලා ඒ වැඩේ වඩා හොඳින් කරයි කියා හිතන ආණ්ඩු බලයට පත් කරගත්තත් වැඩි කලක් යන්න කලින් ආණ්ඩුව අවශ්‍ය දෙය නොකරන බව ඔවුන්ට පේනවා. එවිට කරන්නේ ආණ්ඩුව මාරු කරන්න උත්සාහ කරන එකයි. නමුත්, ප්‍රශ්නය පවතින්නේම ආණ්ඩු විසින් සම්පත් බෙදාහැරීම කළමනාකරණය කරන්න යාම තුළ නිසා ආණ්ඩුව මාරු කළා කියා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

තවත් අයෙක් අහලා තිබෙනවා "ඔබ ඇයි මෙතරම් එක්සත් ජාතික පක්ෂ ධනපති ජිවන විලාසිතාවට කැමති මහත්මයා?" කියලා. මේ කියන ජීවන විලාසිතාව කුමක්ද කියා අදාළ පුද්ගලයාගෙන් ඇහුවත් පිළිතුරක් දී නැහැ. ඔය කියන ජීවන විලාසිතාව කුමක්ද කියා මම දන්නේ නැහැ. හැබැයි පවතින ආණ්ඩුව කුමක් වුවත් නිදහස් වෙළඳපොළක් වෙනුවෙන්නම් මා පෙනී සිටිනවා.

ලංකාවේ මිනිස්සු එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයකට ඇමරිකානුවෙක් මුහුණ නොදිය යුත්තේ නිදහස් වෙළඳපොළ ක්‍රමය තුළ එවැනි ප්‍රශ්න වලට ස්වභාවිකවම විසඳුම් ලැබෙන නිසයි. ආණ්ඩුවකට කරන්න තියෙන්නේ නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයට තිබෙන බාධා ඉවත් කිරීම පමණයි.

ඇමරිකාවේ ජීවත් වන අයෙකුට තිබෙන විශාලම වාසියක් වන්නේ පෝලිම් වල නොසිට, තමන්ට අවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් නිවසට ආසන්න තැනකින් සාධාරණ මිලකට මිල දී ගන්න තිබෙන හැකියාව. ඒ නිසා, අමතර ප්‍රශ්න විසඳන්න නාස්ති කරන කාලය තමන් කරන රැකියාව හරියට කිරීමට යෙදවිය හැකියි. රැකියාව කර උපයන ආදායම වැය කරමින් ඉතිරි ප්‍රශ්න විසඳාගත හැකියි.

ස්තුති කිරීමේ සති අන්තය කියන්නේ ඇමරිකානු සිල්ලර වෙළඳසැල් විසින් සැලසුම්සහගතව නිදහස් වෙළඳපොළ ක්‍රියාකාරිත්වයේ වෙනසක් කරන දවස් කිහිපයක් කියා කියන්න පුළුවන්. ඇමරිකාවේ සාමාන්‍යයෙන් මිල පාලනයක් නැහැ. ඒ නිසා කිසියම් භාණ්ඩයක මිල කියා කියන්නේ ඒ සඳහා තිබෙන ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල. කිසියම් අයෙක් භාණ්ඩයක හෝ සේවාවක මිල මේ සමතුලිත මට්ටමට වඩා අඩු කළොත්, සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගිහින් සම්පත් බෙදාහැරීමේ ප්‍රශ්නයක් ඇති වෙනවා. අදාළ භාණ්ඩයේ මිල ගෙවා එය මිල දී ගන්න කැමති සියල්ලන්ටම ඒ අවස්ථාව නොලැබෙන නිසා පෝලිම් ඇති වෙනවා.

ස්තුති කිරීමේ සති අන්තය තුළ නිශ්චිත වෙලාවක් ඇතුළත ඇමරිකාවේ සිල්ලර වෙළඳසැල් බොහොමයක් විසින් තෝරාගත් භාණ්ඩ ගණනාවක මිල සෑහෙන තරමකින් අඩු කරනවා. නමුත්, මේ අඩු කළ මිලට ලබා දෙන්නේ සීමිත භාණ්ඩ ප්‍රමාණයක් පමණයි. ඒ වගේම, මෙවැනි භාණ්ඩයකින් එක් අයෙකුට මිල දී ගත හැක්කේ ඒකක සීමිත ප්‍රමාණයක්, බොහෝ විට එකක් පමණක් කියා නියමයකුත් තිබෙනවා.

ඉහත ආකාරයට කෘතීම ලෙස සැපයුම සීමා කර, මිල අඩු කර, ඉල්ලුම ඉහළ යන්න සැලැස්වූ විට අදාළ භාණ්ඩ තොගය ඉතා ඉක්මණින් විකිණෙනවා. ඒ නිසා, භාණ්ඩයක් හිමි කරගත හැක්කේ මුලින්ම පෝලිමට එකතු වූ අයට පමණයි. භාණ්ඩයේ මිල අඩු නිසා වාසියක් ලැබුණත්, ඒ වෙනුවෙන් උදේ පාන්දරින් අවදි වී පෝලිමේ ඉන්න සිදු වීමේ ආවස්ථික පිරිවැය දරන්න වෙනවා. එහෙම ඉඳලාත් අන්තිමේදී භාණ්ඩය මිල දී ගන්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා, අනෙක් අයට කලින් තමන්ට අවශ්‍ය භාණ්ඩය හිමි කරගන්න පාරිභෝගිකයින් විශාල පිරිසක් පොර කනවා. වසර කිහිපයකට පෙර ස්තුති කිරීමේ සති අන්තයකදී වෝල්මාර්ට් සේවකයෙකු පාරිභෝගිකයින්ට පෑගී මිය ගියේත් මෙවැනි පොරකෑමක ප්‍රතිඵලයක් ලෙසයි. මුල සිටම මේ බ්ලොග් එක නොකියවූ අය වෙනුවෙන් ඒ ගැන ලියූ පෙර ලිපියකට ලින්ක් එකක් පහත තියෙනවා.

පූජ්‍ය පක්ෂයට පමණයි!

ස්තුති කිරීමේ සති අන්තයේදී අඩු මිලට බඩු මිල දී ගත හැකි වුවත් ඔය තරඟයට හා රස්තියාදුවට මම කැමති නැහැ. නමුත්, ඒ ක්‍රියාවලියට සහභාගී වී සතුටක් ලබන අයත් ඉන්නවා. ලංකාව වගේ රටවල් වලින් ඇවිත් තියෙන අය පෝලිම් වල කටු කාල තියෙන හැටියට මේ පෝලිම් මොනවද? අනිත් එක සමහර අය, විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේ අය, අඩු මිලකට ලබා ගත හැකියැයි සිතන තමන්ට අනවශ්‍ය දෙයක් මිල දී (නො)ගැනීම වෙනුවෙන් පැය ගණන් සාප්පු වල රස්තියාදු වෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඒ වගේ දේවල් වලට එවැනි කෙනෙක්ගේ සමීපතම අයටත් අකැමැත්තෙන් හෝ කාලය නාස්ති කරන්න වෙන වෙලාවල් තිබෙනවා.

ඉතිං පහුගිය බ්‍රහස්පතින්දානම් මටත් උදේ පහට නැගිටලා පෝලිමකට එකතු වෙන්න වුනා. ඒ ගැන, පසුව කියන්නම්!

(Image: https://www.dailysignal.com/2014/11/26/thanksgiving-sales-dont-even-really-save-much-asking-work/)

20 comments:

  1. මම මේ කල්පනා කලේ ලංකාවෙ කොහෙද පෝලිම් තියෙන්නේ කියලා. (පෝලිමේ ඉන්නැති එක ගැන නෙමේ මම කිව්වේ). 78න් පස්සේ ඔය වගේ මොනවා හරි ගන්න සෑහෙන වෙලාවක් පෝලිමක හිටියනම් ඒ චැනල් කරපු දොස්තරකෙනෙක්ව හම්බෙන්න වගේ දෙයක් විතරයි මට මතක් වෙන්නෙ.. ඉන්ධන සේවකයන් වර්ජනය කළාමනම් පෝලිම් තියනවා ඒත් ඒවා ඉඳලා හිටලා හැදෙන ඒවනේ.. ඔය වගේ බඩු ගන්න පෝලිමේ ඉන්න තැනක් මතක් කරගන්න බෑ..

    මමත් පුද්ගලිකව කැමති නෑ පොඩි ලාබයක් වෙනුවෙන් වැඩි වෙලාවක් පෝලිමක රස්තියාදු වෙන්න..කොටින්ම පොඩි පොඩි ඩිස්කවුන්ට් පස්සේ දුවන එක කිසි තේරුමක් නැති දෙයක් කියලයි මගෙ විශ්වාසය..

    ReplyDelete
    Replies
    1. රජයේ මැදිහත්වීමක් නැත්නම් නිදහස් මිනිසුන් අතර ගනුදෙනු ස්වභාවික ලෙසම නියාමනය වෙනවා. එවිට පෝලිම් නැහැ. දැන් දශක කිහිපයකම සිට ලංකාවේ සිල්ලර වෙළඳාමට රජයේ මැදිහත්වීම් ඉතා අඩුයි. ඒ නිසා, බඩු මිල දී ගැනීම සඳහා වන පෝලිම් දකින්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්. නමුත්, රජයේ ඒකාධිකාර තිබෙන අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශ වල පෝලිම් දැකිය හැකියි. මේ පෝලිම් එකා පසුපස අනෙකා හිටගෙන සිටින උඩ ඡායාරූපයේ තිබෙන ආකාරයේ පෝලිම් නොවෙන්න පුළුවන්. රජයේ රැකියා පෝලිමත් මෙවැන්නක්.

      මිල පාලනයක් තිබුණත් ඒ හේතුව නිසා හැම විටම පෝලිම් ඇති වෙන්නේ නැහැ. පෝලිමක් ඇති වෙන්නේ රජයෙන් නියම කරන මිල සමතුලිත මිලට වඩා අඩුනම් පමණයි. එවැනි විටෙක මුලින් පෝලිම් හා පසුව භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. පෝලිම තිබෙන්නේ නියම කළ අඩු මිලට භාණ්ඩ මිල දී ගත හැකි තාක් පමණයි. ඉන් පසුව, එම මිලට වෙළඳපොළේ භාණ්ඩ නැතිව යන නිසා පෝලිම් පෙනෙන්න නැතිව යනවා.

      උදාහරණයක් ලෙස පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සහල් වලට පාලන මිලක් නියම කිරීම පෙන්වන්න පුළුවන්. ඒ වෙලාවේ නියම කළ මිලට හාල් මිල දී ගන්න ලැබෙන්න ඇත්තේ සීමිත පාරිභෝගිකයින් පිරිසකට පමණයි. ඉන්පසුව සිදු වුනේ සහල් හිඟයක් ඇති වීම හා අදාළ මිලට සැපයිය හැකි තත්ත්වයෙන් බාල හාල් වර්ග වෙළඳපොළට පැමිණීමයි.

      ඇත්තටම කියනවානම් දැන් ලංකාවේ රජයට මෙවැනි පාරිභෝගික භාණ්ඩයක් මත පාලන මිලක් පැනවීම වුවත් අසීරු දෙයක්. වෙළෙන්දන් පාලන මිලට විකුණන්න සූදානම් නැත්නම්, පාරිභෝගිකයින් වැඩි මිලක් ගෙවා භාණ්ඩය මිල දී ගන්නත් සූදානම්නම්, රජයට එය වැළැක්වීම ඉතා අසීරුයි. පසුගිය වසරේ සහල් මිල පාලනය ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි වූයේ ඒ නිසයි.

      මේ ආකාරයටම හැත්තෑ හතේ සිදු වූ වෙනසත් ජේආර්ගේ ආණ්ඩුව විසින් කළ වෙනසකට වඩා රටේ මිනිස්සුන්ගේ වූ ඉල්ලීම මත ජේආර්ටට කරන්නට සිදු වූ වෙනසක්. මුලින් නිදහස් වෙළඳපොළ ප්‍රතිපත්ති විවේචනය කළ ශ්‍රීලනිපයට එයින් වසර පහළොවකට පමණ පසුව එජාප ආර්ථික ප්‍රතිපත්තිම වැළඳගන්න වුනෙත් මේ හේතුවම මතයි. රටේ මිනිස්සු බහුතරයක් කිසියම් කරුණක් සම්බන්ධව දැනුවත්නම් ආණ්ඩුවකට මිනිස්සු හිතන ආකාරය නොසලකා කටයුතු කිරීම අසීරුයි. පසුගිය දශක කිහිපය තිස්සේ ලංකාවේ ආර්ථිකය මත රජයේ බලපෑම ක්‍රමයෙන් අඩුවීමත්, එයට සමාන්තරව රටේ ආර්ථික ක්‍රියාකාරකම් වඩා කාර්යක්ෂම වීමත් පැහැදිලිව පෙනෙන දෙයක්.

      Delete
  2. 'ලංකාව වගේ රටවල් වලින් ඇවිත් තියෙන අය පෝලිම් වල කටු කාල තියෙන හැටියට මේ පෝලිම් මොනවද?'

    ඔබ අදහස් කරන්නේ ලංකාවේ කොළඹ තියෙන තියෙන වාහන තදබදය නිසා විදින්න සිදුවන කට්ට ගැනද?

    මට දැන් අවුරුදු 30 යි, මට මතක ඇති කලෙක පෝලිමක ඉන්න උනා නං ඒ එක්කෝ තෙල් වර්ජනයක් වගේ එකකදී. එහෙම නැත්තං රෝහලේදී නැත්තං අවුරුදු දවස් වලට බස් එකක් ගන්න පිටකොටුවේදී වගේ තමයි. එහෙම ඇරෙන්න නං පෝලිමේ ඉදන් භාණ්ඩ මිලට ගන්න වෙන තත්වයක් ලංකාවේ මෑත දශක දෙක තුල තිබුනේ නෑ මම දන්නා හැටියට.

    ඒ ඇරෙන්න මට පෝලිමක ඉන්න වෙනවා නං ඒ වන්නේ එක්ස්ප්‍රස්වේ එකෙන් එලියට එන්න මුදල් ගෙවන්න වෙන කවුන්ටර් එක ලගදි. සාමාන්‍යයෙන් සතියේ දිනවල හවස වරුවේ මෙම කවුන්ටර් අසල වාහන වැඩියි.

    සාමානයෙන් වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියාම පෝලිමේ ඉන්න වෙන එක, වෙළදසැලකට ගිහින් භාණ්ඩ අරං බිල ගෙවන්න මදක් වෙලා පෝලිමක ඉන්න වෙන එක, බැංකුවට ගිහින් තමුන්ගේ වාරය එනකං ඉන්න වෙන එක ලෝකේ කොහෙත් තියෙනවා නේද? මේ වගේ වෙලාවල් වලදීත් පෝලිමේ ඉන්න වෙන අවස්ථා අඩු කරගන්න දැන් පුළුවන්. මොකද රජයේ රෝහල් වල පවා වෛද්‍යවරු දුරකථනයෙන් චැනල් කර අදාල වෙලාවට යන්න පුළුවන්. පුද්ගලිකව චැනල් කරන එක නං දැන් වසර ගානක් ඉදන් තියෙනවනි ලංකාවේ. මේකෙදිත් දැන් අදාල වෛද්‍යවරයා රෝහලට ආවම ඒ ආපු වෙලාව පවා දුරකතන පණිවිඩයක් මගින් රෝගීන්ව දැනුවත් කරනවා. ඒ අනුව රෝගීන්ට කාල වෙලාව කළමනාකරණය කරගෙන රෝහලට යන්න පුළුවන්. බැංකු වල පෝලිම් වල ඉන්න වෙන අවස්ථාත් දැන් අඩුකරගන්න පුළුවන් මුදල් ගැනීම, තැන්පත් කිරීම, බිල් ගෙවීම, චෙක් තැන්පතු වගේ සියලුම දෑ ස්‌වයංක්‍රිය මැෂින් මගින් පැය 24 ම කරන්න පහසුකම් තියෙන නිසා.

    ජපානය වගේ රටවල නං වෙළදසල් කිහිපයක් තියෙනවා කියලා දැක්කා භාණ්ඩ මිලට ගත්තම ඒවා ස්‌වයංක්‍රියව බිල් වෙලා අපගේ බැංකු ගිණුමෙන් මුදල් අඩුවන ක්‍රමයක් සහිත. ඒකත් තාම අත්හදා බැලීමේ තියෙන්නේ.

    ඔබ ලංකාවෙන් යන්නට ඇත්තේ 77 ට පෙර වෙන්න ඇති. ඒ කාලේ නං පාන් ගෙඩියක් ගන්නත් ලංකාවේ පෝලිම් යුගයක් තිබ්බා කියලා අහලා තියෙනවා. ඒ ඇරෙන්න වර්තමාන ශ්‍රී ලංකාවේ නං එහෙම පෝලිම් ක්‍රමයක් මම දැකලා නැහැ.

    ලංකාව කියන්නේ ඇමරිකාව වගේ පොහොසත් රටක් නෙමේ තමයි. හැබැයි මේක ගල් යුගයේ රටක් නෙමේ. ඈත ගම්වල උනත් ඕනි තරම් තාක්ෂනය පාවිච්චි වෙනවා. ඒවා භාවිතා කරනවා. ගම්වල තියෙන කම්යුනිකේෂන් වලින් පවා බිල් ගෙවීම, මුදල් යැවීම, ගෙන්වා ගැනීමේ පහසුකම් තියෙනවා.

    දැන් ඔබ හිතයි මම මේ ලංකාවේන් පිට ලෝකේ දැකලා නැතුව මෙහම කියනවා ඇති කියලා. මම වැඩ කරන්නේ එයාර්ලයින් එකක කැබින්කෘ එකේ. ජපානය, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, සවුදි අරාබිය, කටාර්, තායිලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව ඇතුළු රටවල් 25 කට පමණ යාමේ අවස්ථාව ලැබිලා තියෙනවා. )

    ReplyDelete
    Replies
    1. Agree with you mate. I also haven't experienced any que in day today life at SL.

      At airport, at highway exit & while drive in traffic jam sometimes. Very rarely the petroleum corp. strike like events make such ques but not sure that any que for purchase goods for a small amount of a discount, 25% - 30% etc.

      On the other hand, its funny to see that so called developed contries experience deaths of their citizens struggling to purchase goods for a discounted price. What a pity?

      Delete
    2. //ලංකාව කියන්නේ ඇමරිකාව වගේ පොහොසත් රටක් නෙමේ තමයි. හැබැයි මේක ගල් යුගයේ රටක් නෙමේ. ඈත ගම්වල උනත් ඕනි තරම් තාක්ෂනය පාවිච්චි වෙනවා.//

      ඔබ කියන එක ඇත්ත. අද ලෝකයේ කිසිම රටකට ගල් යුගයේ හිර වී සිටීමේ හැකියාවක් නැහැ. ලෝකයේ කොහේ හෝ රටක මිනිසුන් විසින් සම්පත් වැය කර නිර්මාණය කර ගන්නා වඩා කාර්යක්ෂම ක්‍රමවේදයන් තාක්ෂනය අතින් පසුපසින් සිටින රටවලට "නොමිලේම" ලබා ගැනීමට තිබෙන හැකියාව තාක්ෂනය හරහා සිදුවන ආර්ථික සංවර්ධනයේ මූලික අංගයක්.

      මෙහිදී "නොමිලේම" යන්නෙන් අදහස් කළේ කිසිදු පිරිවැයක් නොදරමින් කියන එක නෙමෙයි. තාක්ෂනය භාවිතා කිරීමේ ආන්තික පිරිවැය එය භාවිතා කරන සියල්ලන්ටම දරන්න වෙනවා. නමුත්, කිසියම් තාක්ෂණයක් වැඩි දියුණු කිරීමේ මූලික පිරිවැය හැම රටක් විසින්ම දැරිය යුතු නැහැ. එහි වාසිය තාක්ෂනය අතින් හා ආදායම් අතින් පසුපසුන් සිටින රටවලට තිබෙනවා. රජයයන් විසින් බාධා නොපමුණුවනවානම් තාක්ෂනය ඇති තැනකින් නැති තැනකට ගලා එන එක වලක්වන්න අමාරුයි.

      මේ හේතුව නිසා ආදායම් අතින් හා තාක්ෂනය අතින් පසුපසින් සිටින රටවල් වලට රෝදය අලුතින් හොයා ගන්න මහන්සි නොවී වඩා වේගයෙන් දියුණු වෙන්න අවකාශ සැලසෙනවා. ලියා තිබෙන ආකාරයට උඩ ඇනෝ වයස 30ක කෙනෙක්. ඔහුගේ හෝ ඇයගේ මතකයේ තිබෙන කාලය සේ මා හිතන පසුගිය වසර 25ක පමණ කාලය ගත්තත් ලංකාවේ ආදායම් මට්ටම් හා ජනජීවිතය ඉතා වේගයෙන් (හොඳ අතට) වෙනස් වූ කාලයක්.

      ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පසුව වේගයෙන් දියුණු වුනේ මේ විදිහට බටහිර රටවල් විසින් වැඩි දියුණු කර තිබුණු තාක්ෂනය හා ක්‍රමවේද මැනවින් උකහාගත් නිසයි. නමුත්, මෙය කළ හැක්කේ තාක්ෂනය අතින් ඉදිරියෙන් සිටින රටවල් වලට සාපේක්ෂව පසුපසින් සිටින රටකට පමණයි. එවැනි රටක් ඉදිරියට එන විට ඒ ආකාරයට තාක්ෂනය උකහා ගැනීමෙන් පමණක්ම තවත් ඉදිරියට යන්න අමාරු අවදියකට පිවිසෙනවා. එවිට අලුත් ක්‍රමවේද තමන් විසින්ම නිර්මාණය කරගන්න වෙනවා. ඒ අදියරට පැමිණි පසු ඉදිරියට යාම වඩා අභියෝගාත්මකයි. පසුකාලීනව ජපානයේ ආර්ථික වර්ධනය අඩු වුනේ ඒ නිසයි. චීනය හා ඉන්දියාව තවමත් වේගයෙන් වර්ධනය වෙන්නේ ඔවුන්ට අඩු වියදමකින් කාර්යක්ෂමතාව ඉහළ නංවා ගත හැකි ක්‍රමවේද තවමත් තිබෙන නිසයි. ලංකාවටත් මේ වාසිය තිබෙනවා.

      Delete
    3. Anonymous November 24, 2018 at 10:55 AM

      ///ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පසුව වේගයෙන් දියුණු වුනේ මේ විදිහට බටහිර රටවල් විසින් වැඩි දියුණු කර තිබුණු තාක්ෂනය හා ක්‍රමවේද මැනවින් උකහාගත් නිසයි. ///

      විහිළු කතා. ජපානය වේගයෙන් දියුණුවෙන් බලපෑ ප්‍රධාන සාධකය වුණේ අලුත් අදහස්වලට තැනක් දීම, ඔවුන් වැඩිපුර නව අදහස්වලට තැන දුන්නා. නව නිර්මාණ, අලුත් ක්‍රමවේද (ex. Toyota total quality mgt TQM) ආදියෙන් රටේ සෑම අංශයකම කාර්යක්ෂමතාව වැඩි කිරීමට කටයුතු යෙදුවා. ජපාන සමාගම්වලින්, පුද්ගලික අංශයෙන් පර්යේෂන සහ සංවර්ධන කටයුතුවලට (Research and development) මුදල් වැය කළා. (මම වැඩ කළ) හිතාචි (Hitachi) සමාගමත් මේ විදිහට නව පර්යේෂණවලට වැඩි කාලයක් මුදලක් වැය කළ සමාගමක්, යුද්දෙන් පස්සේ ජපන් අධිරාජ්‍යයා ඇමෙරිකාවෙන් සමාව ගත් නිසා ඇමෙරිකාවත් ජපානයේ සංවර්ධනයේදී පසු කාලීනව යම් සුළු සහයක් දැක්වූවා.

      යුද්දෙන් පස්සේ මුලින් ඇමෙරිකාවටත් ඕන වුණේ ජපානය පූර්ණ ප්‍රජාතන්තවාදී තත්ත්වයක දුවන්න. නමුත් මේ සමඟ වුණු දෙයක් තමයි ජපානයේ කම්කරු සංවිධාන ශක්තිමත් වීම, වාමාංශික කඳවුර ජපානය තුළ ශක්තිමත් වීම වගේ දේවල්. නමුත් එය දේශපාලනික වශයෙන් රුසියානු හිතකර පසුබිමක් නිර්මාණය වුණා. නමුත් ජපානයටත් ඇමෙරිකාවටත් මේ සඳහා අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මේ නිසා ඒ පසුබිම මුලින්ම පාලනය කළා.

      යුද්දෙන් පස්සේ ජපානය මේ සමඟ අනුගමනය කළ තවත් පියවරක් තමයි රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ලිහිල් නොකිරීම, විදේශයෙන් එරට විදෙස් සංචිත ආරක්සා කර ගන්න වැඩ කළා, භාණ්ඩ ආනයනය සීමා කළා. සල්ලි තිබුණත් මිනිස්සුන්ට ඕන විදිහට බඩු භාණඩ ගැනීමේ අවස්ථාවක් මුලදී තිබුණේ නෑ. ඔවුන්ට සලාක ක්‍රමයකට තමයි භාණ්ඩ මිල දි ගන්නට අවස්ථාව ලබා දුන්නේ.

      ජපාන පාරිභෝගියන් තමන් මාසෙකට වියදම් කරන්න ඕන මුදල වගේ දස ගුණයක් ඔවුන් ඉපැයිය යුතුය යන සංකල්පය ගෙනාවා. එයින් මිනිස්සු වැඩි වැඩියෙන් උපයන්න මහන්සිවෙලා වැඩ කරන්න ගත්තා.

      ජපානය අනෙක් අතින් රටේ කෘත්‍රිම ව උද්ධමනයක් ඇති කළා. මෙම උද්ධමන තත්ත්වය රටේ නිෂ්පාදිත භාණ්ඩ විදේශයන්ට විකිණීමේ දී අපනයන කරුවන්ට හිතකර තත්ත්වයක් අති වුණා, ජපාන කර්මාන්ත දියුණු කිරිමට අවශ්‍ය සියලු නව අදහස් සැලසුම් මේ අතරේ දියත් කළා.

      ඉකොනොමැට්ටා කියනවා ජපානය බටහිරින් කොපි කරනවා කියල. ඒක වැරදියි. ජපානය හැමවිටෙකම පවතින දෙයට වඩා උසස් දෙයක්/ දියුණු කළ දෙයක් තමයි ලෝකයට දෙන්නට බලන්නේ. ජපානය සාර්ථක වුණු සෑම ක්ෂේත්‍රයකම මෙම ලක්ෂණය තිබෙනවා.

      ජපානය දියුණුවට බලපෑ අනෙක් කරුණ සෑම භාණ්ඩයක් ම නිෂ්පාදනය කරද්දී අඩු වියදමකින් උසස්ම ගුණාත්මක බව ලබා දෙන්නට උත්සාහ කළා. ජපාන නව නිර්මාණ බොහෝමයක ඉලකක්ය වුණෙත් එයයි.

      ජපාන රටේ වැඩකරන තැන්වල බොහෝ අදහස් ක්‍රමවේද දියුණුවෙලා තිබෙන්නේ පහළ සිට ඉහළට. එයින් ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම ධුරාවලියක පහළ ම සිටින පුද්ගලයාටත් තමන් කරන කාර්යයේ බරපතලකම වගකීම ගැන අවබෝධයක් ඇති වෙනවා. ඔවුනුත් මේ ක්‍රියාවලියේ කොටස්කරුවන් කියන අදහස ඔවුන්ට තිබෙනවා.

      ජපානය අධ්‍යාපනයේදි වේවා, නිෂ්පාදන ක්‍රියාවලියේදි වේවා වාණිජ ප්‍රතිපත්ති හෝ ඕනැම ක්ෂේත්‍රයක ගැටලු නිසි ලෙස හඳුනා ගැනීමේ ඒවා වාර්තා කිරිමේ සහ ඊට අදාළ නිසි විද්වත් විසදුම් ප්‍රකාශයකට පත් කිරීමේ හොඳ යාන්ත්‍රනයක් ජපානයට තිබුණා. මේ නිසා ඉතා ඉක්මනින් ඕනෑ ගැටලුවකට සම්පූර්ණ විසඳුම ලබා ගන්නට පුළුවන් වුණා. එයත් ජපාන රටේ තිබුණු හොඳ ලක්ෂණයක්.

      අද ලබා ඇති විශාල දියුණුව තුළ ජපානය සංස්කාතිමකය වටිනාකම් ඔවුන් අදටත් තමන්ගේ සංස්කාතිය, එහි වටිනාකම් නිසි ලෙස ආරක්සා කරගෙන ජපාන සම්ප්‍රදායයන් රකිනවා. ලංකාවේ භූ ගෝලීය පිහිටීම අනුව බැලුවාම එය මීට වඩා බොහෝ දියුණු රටක්ව විය යුතුව තිබුණා. නමුත් මෙහිදී ජපානයෙන් ඉගෙන ගන්න ලොකුම දේ තමන්ගේ රටේ සංවර්ධන මාවත තමන්ට ගැළපෙන විදිහට තමන්ට අනන්‍ය වූ ආකාරයට සකස් කර ගැනිමයි. රටට තිබෙන අවස්ථාවලින්, සම්පත්වලින් උපරිම ප්‍රයෝජනයක් එන විදිහට මේ සැලසුම් සිදු කර ගත යුතුයි.

      Delete
    4. යකෝ ජප්පෝ මුලින් කොපි කරලා තමයි පටන් ගත්තේ. හරියට දැන් චීනේ වගේ. මේ යකා මාරු කියවනවා. ජප්පෝ කියන ඒවාට රැවටෙන්න එපා. උන් කැමති නැහැ උනුත් එක කාලෙක කොපිකැට්ස්ල වෙලා හිටිය කියල පිළිගන්න.

      Delete
    5. ජපානය අද ලබා ඇති විශාල දියුණුව ගැන රිසර්ච් කරපු සුද්දෝ කියන කතා;

      https://www.theatlantic.com/business/archive/2010/12/the-surprising-wealth-and-success-of-japan/67302/

      https://hbr.org/1981/01/behind-japans-success

      හාවර්ඩ් (HBR) උන් පැහැදිලිව කියනව ඇමරිකන් කාරයට වඩා සුපිරි උන්ගේ ටෙක්නික්ස් ගැන.

      1880 - 1970 Japanese growth;

      https://eh.net/encyclopedia/japanese-industrialization-and-economic-growth/

      Delete
  3. මේක කියවගෙන එද්දි මාත් කල්පනා කරේ පෝලිමක හිටිය දවසක් තැනක්. බැංකු ඇතුළු ලංකාවෙ ගොඩක් පුද්ගලික ආයතන පහුගිය අවුරුදු කීපය ඇතුළද සෑහෙන්න වෙනස්කම් කරලා තියෙනවා පාර්භෝගිකයින් රස්තියාදු වීම වලක්වන්න. මම ලංකාවට ආව කාලෙ මොබිටෙල් එකට ගියාම ලංකාවෙද ජපානෙද කියලා හිතාගන්න බැරි වුණා. යනකොටම අපිට උවමනා සේවාවට අදාල අංකයක් අරන් අපේ අංකයට අදාල කවුන්ටරේ කියනකල් පිටරටක වගේ පාඩුවේ වාඩි වෙලා ඉන්න පුළුවන්.

    ඉකොනො මෑත කාලෙදි ලංකාවට ඇවිත් තියෙනවනම් දකින්න ඇති අපේ කීල්ස්/කාගිල්ස් ෆුඩ් සිටි ඉස්සරට වඩා වෙනස් විදිහට පාරිභෝගියන් අද්දවා ගැනීමේ උපක්‍රම භාවිතා කරනවා.

    නිශ්චිත කාලයක් (සතියක්, සති අන්තයක් හෝ දින පරාසයක්) ඇතුලත තෝරාගත් භාණ්ඩ කීපයක මිළ 25% හෝ ඊටත් වඩා අඩු කරන එක ලංකාවෙ කාගිල්ස් ෆුඩ් සිටි සහ කීල්ස් සුපර් වල නිතරම තියෙනවා. මෙහෙම අඩු කරන්නෙ සාමාජික කාඩ්පත් හිමි අයට. ඊට අමතරව වසර පුරාම වරින් වර සමහර ක්‍රෙඩිට් කාඩ්පත් වලින් ගණුදෙනු කරන අයට 30%-40% වගේ වට්ටම් ලබාදෙන අවස්ථාත් තියෙනවා.

    පිටරටවල වගේම රෑ 8 න් පස්සෙ බේකරි කෑම වල මිල 50% අඩු කරනවා. සමහර එළවළු පළතුරුවල, fresh meat & sea food මිලත් එහෙම අඩු කරන අවස්ථා තියෙනවා. ඊට අමතරව සමහර ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා තෝරාගත් භාණ්ඩ වට්ටම් සහිතව (උපරිමයකට යටත්ව ) අවුරුද්ද පුරාම ලබාදෙනවා. උත්සව සමයෙදි රෙදිපිළි සාප්පු, හෝටල් අවන්හල් වගේ ගොඩක් තැන්වල මේ ක්‍රෙඩිට් කාඩ් වලට වට්ටම් දෙනවා.

    පහුගිය අගෝස්තුවේ එක සති අන්තයක් මාතර නගරයෙ නම් කරපු කඩ සාප්පු විශාල ගනනක් සම්පත් ක්‍රෙඩිට් කාඩ් වලට 25% වට්ටමක් දුන්නා, විසිදාහක උපරිමයකට යටත්ව.

    තව ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් තාමත් මෙහෙ ෆුඩ් සිටි වල බඩු ටික මලු වලට දාලා දෙන එක එයාලම කරන නිසා පුංචි පෝලිමක ඉන්න වෙන අවස්ථා තිබුණත් නුදුරු අනාගතේදීම අපි ගෙවල් වලින් ගෙනියන බෑග් එකකට/මිළදී ගන්නා පොලිතීන් බෑග් වලට අපිම බඩු පැක් කරගන්න ක්‍රමවේදය එයි කියලා හිතෙනවා.

    ජපානයේ එක සුපර් මාකට් එකක් තිබ්බා ඒකෙ ට්‍රොලියක් ගන්න අපි යෙන් සීයක් දාන්න ඕනි. අපි ආපහු ඒක් ට්‍රෙලි තියෙන තැනට ගෙනත් දැම්මම ආපහු යෙන් සීයක් වැටෙනවා. යෙන් සීයක් කියන්නෙ ලොකු මුදලක් නොවුනත් අපි කීයක් හරි ගෙවලා සේවාවක් ගත්තම ඒකට අගයක් තියෙන නිසා කවුරුත් ට්‍රොලිය නිසි තැනින් තියලා එනවා.

    ReplyDelete
    Replies
    1. //යෙන් සීයක් කියන්නෙ ලොකු මුදලක් නොවුනත් අපි කීයක් හරි ගෙවලා සේවාවක් ගත්තම ඒකට අගයක් තියෙන නිසා කවුරුත් ට්‍රොලිය නිසි තැනින් තියලා එනවා.//
      මෙහෙත් සමහර සුපිරි වෙළඳසැල් වල ඔය ක්‍රමය තියෙනවා. ඇතැම් ගුවන් තොටුපොළ වලත් ට්‍රොලියක් ගත හැක්කේ මුදල් ගෙවා පමණයි.

      Delete
  4. කසාද බැදපු දවසෙ ඉදන්ම ළමයි ඉස්කොලේ දාන්න පොලිමේ ඉන්න උන් අහනවා ලංකාවේ කොහෙද පෝලිං කියලා..

    ReplyDelete
    Replies
    1. ලංකාවේ පෝලිමකට හොඳ උදාහරණයක්.

      Delete
    2. ඉකොනොමැට්ටා,

      //ලංකාවේ පෝලිමකට හොඳ උදාහරණයක්.//

      හඃ හඃ හඃ. හිනා කාල මැරෙනව ඕයි. අහෝසි කාලෙන කජ්ජෙන පුහුලං කිව්වලු. ඈ ඉකොනොමැට්ටා, කෝ පුලුවන්නම් එහෙම පෝලිමේ ඉන්න ෆොටෝ එකක් ලින්ක් එකක් දාන්නකෝ අපිටත් ආසාවට බලාගන්න. ������

      ඔය කතාව කොච්චර සාධාරණද කියනම් දන්නේ නෑ, හැබැයි ගෙවුනු මාස 11 ට ඇමරිකාවේ පාසල් තුල වෙඩි තැබීම් වලින් මරණ 288 වෙලා කියලා කොහේ හරි තිබ්බා. ��

      https://www.cnn.com/2018/05/21/us/school-shooting-us-versus-world-trnd/index.html

      Delete
    3. Ano 2.03 am ඇමෙරිකාවේ තියෙන ලිහිල් තුවක්කු ප්‍රතිපත්ති නිසා සමූහ වෙඩි තැබීම් නිතරම සිදුවෙනවා, උදාහරණයකට ගන්න ඕන නවසීලන්තය, ස්වීඩනය, නොර්වේ වගේ රටවල්.

      මේ පෝස්ට් එක දාපු කෙනා (Economatta) දන් නැති උනාට ඇමරිකාවේ බහුලව මිනී මැරුම් වෙන රටක් බලන්න, පහුගිය කාලෙ කොච්චර මිනීමැරුම් උනාද කියල. සමහර මිනී මැරුම් වෙන්නේ පාසල් යන සිසුන් අතින්, ඇමරිකාව වැනි රටවල මානසික ආතතියෙන් පෙළෙන අය වැඩියි, ඒ අය නිසා වෙන මිනීමැරුම් සංඛ්‍යාව හොයා බලන්න, ඇමරිකාවේ එවැනි අය ප්‍රසිද්ධ ස්ථානයක ඇවිල්ලා විශාල පිරිසකට වෙඩි තියලා මරනවා වාහනවලින් හප්පල යන අවස්ථා අනන්තවත් දකින්න පුළුවන්, මේ පෝස්ට් එක දාපු කෙනා (Economatta) දැක්කේ නැති උනාට.

      Delete
  5. ඉකොනොමැට්ටාගේ මතය;

    "ලංකාව කියන මේ මෝඩ දූපතේ නැතුව අඟහරු වල බැක්ටීරියාවක් වෙලා ඉපදුනත් කමක් නෑ දෙයියනේ ���� "

    මා කියන එක ඇත්ත නේද?

    ReplyDelete
    Replies
    1. කෙනෙක් ඉපදෙන තැන ඉපදෙන අයෙකුගේ තේරීමක් කියා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා, ඉපදිය යුතු තැන ගැන මත පළ කිරීම තේරුමක් ඇති දෙයක් කියා මම හිතන්නේ නැහැ.

      Delete
    2. ඉකොනො,

      දැන් එතකොට ඉකොනොමැට්ටා (ගේ මතය) කියන්නේ ලංකාව දාල කල්ලතෝනියෙක් වගේ රට පැන්නම ඔක්කොම හරි කියලද?

      ඔය ඔසී, ඇමරිකා, යූකේ, කැනඩා වගේ රට වල ඉන්නල සංක්‍රමණික සිරිලංකන් කල්ලතෝනි පොල් බූරු මීහරක් රැල ගැන නම් කතා කරල වැඩක් නැහැ ඉකොනො.

      දැන් මේ ඔස්ට්‍රේලියාවට ආවත්, සම හරක් මන්ද-මානසික අපතයෝ, අර මාතේ කියන්නැහේ, ඔසී ආණ්ඩුවෙන් මයිනොරිටි කල්චර දියුණුව වෙනුවෙන් දෙන ආණ්ඩුවේ පින් ග්‍රාන්ට්ස් ටිකට කෙළලා සිංහල සාහිත්තිය සමිති හදාගන එව්වයෙ ඉස්ටේජ් උඩට නැගලා මෙලෝ රහක් නැති හිනා නොයන හිටං විහිලු කොරලා, තුන් වේලටම පානුයි ලුකයි දෙසාබාලා, පුලුවන්තරම් ඔස්ට්‍රේලියන් පුද්ගලික අංසයේ උන්ගේ ආදායමින් කපගන්නා බදුමුදලින් ඔසී ආණ්ඩුවේ රස්සාවක් කොරන් රජයෙන් ගන්න පුලුවන් පින් පඩිද, සියලුම ලාබ ප්‍රයෝජනද ගනිමින් ලංකාවත් ලංකාවේ ඉන්න අසරණයින්ටත් අසික්කිත විදිහට බැන බැන, කැත කතා කිය කිය කිය උපන් රටට කෙලවෙන කම් කටවල් උල්කරගෙන කට බලියාගෙන, තැඹිලි වගේ තඩි ගෙඩි, විසාල අතු හිටිගමන් කඩාවැටෙන ගස් යට බුදු වෙන්න පෙරුම් පුර පුර, බුකියේත්, බොගවලත් ජනප්‍රිය ගෲප්, පිටුවලට යටිකූට්ටු ගේම් දිදී, බුකියෙ ඉන්න දුප්පත් වැඩිය දැන උගත්කමින් අඩු ගැමි ටයිප් පොරවල් හෙන ශ්‍රද්ධාවෙන් අදහන ආගම් වලට අපහාස කර කර උන්ව අවුස්සා උන්ගෙන් කුණුහබ්බ අහ අහ ඉන්න එකයි කරන්නෙ. ආයෙ වෙන මක් කොරන්නද ඉකොනො සුද්දෝ මේ වගේ හැළි වළන් _න්නයින්ව පඩේකට ගණන් නොගන්න කොට?

      Delete
  6. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ මාර පෝලිම් ප්‍රශ්නයක් තියෙන්නෙ, ඒ අතින් ලංකාව සෑහෙන හොඳයි.

    ඔස්ට්‍රේලියාවේ නං කසාද බැදපු දවසෙ ඉදන්ම ළමයි ඉස්කොලේ දාන්න පොලිමේ ඉන්න වෙනව. ඔස්ට්‍රේලියාවේ පෝලිං පැනිල්ල නම් මට ඉවසන්නම බැරි දෙයක්, ඒ වගේම, මෙච්චර පෝලිමක් ඉන්න කොට පැනලා එන එවුන්ට සර්ව් කරන කවුන්ටර් වල ඉන්න එවුන් එක්කත් මල. මම කතා කරලා තියනවා, ඒත් ඔස්ට්‍රේලියාවේ ගොඩක් මිනිස්සු හැරිලා මගෙ මූන දිහා අමුතු සතෙක් විදිහට බලලා නිකං ඉන්නවා, මට පාන් උනත් මාත් ඉතිං නිකං ඉන්නවා. ඔස්ට්‍රේලියාවේ නම්, මම ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ ගෑණු අය තමා ඔය වැඩේ වැඩියෙන් කරන්නේ. පිරිමි නොකරනවා කියලා නෙමෙයි කියන්නේ. මම දැකලා තියෙන දේ. අනික තරුණ අයට වඩා මැදි වයසේ අය තමයි වැඩියෙන් පෝලිම් පනිනවා මං දැකලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, ඔස්ට්‍රේලියා අගමැති Scott Morrison නිව් සවුත් වේල්ස් කලා භවනේදී ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාර ගන්නා සංක්‍රමණිකයින්ගේ ප්‍රමාණය 30,000 කින් පමණ කප්පාදු කිරීමට අපේක්ෂා කරන බව කියන්නේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන තදබදය පාලනය කිරීම මෙහි මූලික අරමුණ බවද ඔහු එහිදී කියලා තියෙන්නේ.

      ඔස්ට්‍රේලියාවේ ජනගහනයට සමගාමීව මාර්ග ඉදි නොවන බවත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ඉහළ යන ජනගහනය නිසාම ඒවායේ වාහන තදබදය ක්‍රමිකව වර්ධනය වී ඇති බවත් අගමැතිවරයා පෙන්වලා තියෙන්නේ.

      ඔස්ට්‍රේලියාවේ නම්, පොදු ප්‍රවාහන සේවාවන් වල මගී තදබදයද ජනගහන වර්ධනය හේතුවෙන් දිනෙන් දින ඉහළ යන බවද ඔහු පැහැදිලි කලා.

      Delete
  7. මේවා ගැන ඉකොනොමැට්ටාගේ මතය?

    https://m.scmp.com/news/world/united-states-canada/article/2172016/us-voters-face-long-queues-machine-snafus-and-mosh

    https://www.businessoffashion.com/articles/news-analysis/black-friday-us-shoppers-brave-cold-in-hunt-for-deals

    මොකෝ කියන්නේ ඉකොනොමැට්ටා?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: