වෙබ් ලිපිනය:

Thursday, November 29, 2018

ඊයේ ඩොලරය පහළ ගියේ ඇයි?


දිගින් දිගටම දිනපතා කීයකින් හෝ ඉහළ යමින් තිබුණු ඇමරිකන් ඩොලරයක මිල අද දිනයේ (29 බ්‍රහස්පතින්දා) පොඩ්ඩක් අඩු වුනා. ඒ ඇයි? ජනාධිපතිවරයා හා කතානායකවරයා අතර සාකච්ඡාවෙන් පස්සෙද? නැත්නම් මහ බැංකු මැදිහත්වීමක් නිසාද?

ඇත්තටම වුනේ රුපියල ශක්තිමත් වීම නෙමෙයි. ඩොලරය පොඩ්ඩක් දුර්වල වීමයි. මෙය සිදුවුනේ ඊයේ (28 බදාදා) ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ජෙරමි පවල් විසින් කළ ප්‍රකාශයක් නිසයි.

පහුගිය කාලයේ ඩොලරයේ මිල ඉහළ යන්න හේතු වුනේ ඩොලරය ශක්තිමත් වීම බව මාස කිහිපයකට පෙර මහ බැංකුව පැත්තෙන් ඇහුනු දෙයක්. එය සම්පූර්ණ ඇත්තක් නොවුනත් අර්ධ සත්‍යයක්. මේ ගැන මා ඒ දවස් වල පැහැදිලි කළා.

පසුගිය ආර්ථික අවපාතයෙන් පසුව ඇමරිකන් ආර්ථිකය නැවත උඩට ගැනීම පිණිස පොලී අනුපාතික හොඳටම අඩු කළා. 2008 දෙසැම්බර් මාසයේදී  ෆෙඩරල් පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වාම අඩු කළා. එතැන් සිට වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතුනේ 0-0.25% මට්ටමේ. මේ කාලය තුළ ප්‍රාග්ධනය විශාල ලෙස ඇමරිකාවෙන් පිටත වැඩි පොලී අනුපාතික තිබුණු තැන් වලට ගලා ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකන් ඩොලරය ක්‍රමයෙන් දුර්වල වුනා. ඒ කාලයේ ඩොලරයක මිල ඉහළ යාමේ ප්‍රශ්නය හෝ විදේශ ප්‍රාග්ධනය ආකර්ශනය කර ගැනීම ලංකාවට ලොකුවට බල නොපෑවේත් ඒ නිසයි.

මෙසේ ශුන්‍ය මට්ටම ආසන්නයේ වසර හතක් පැවති පොලී අනුපාතික 2015 දෙසැම්බරයේදී 0.25-0.50% මට්ටම දක්වාත්, තවත් වසරකට පසු 0.50-0.75% දක්වාත් ආදී වශයෙන් ක්‍රමයෙන් ඉහළ නැංවුනා. ඉන්පසුව 2017දී තෙවරක් හා 2018දී මේ වන තුරු තෙවරක් ෆෙඩරල් පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා. දැන් තිබෙන්නේ 2.00–2.25% මට්ටමේ.

සමාන අවදානමක් තිබෙන වෙනත් රටවලට සාපේක්ෂව රටක පොලී අනුපාතික ඉහළ යන විට ඒ රටට විදේශ ප්‍රාග්ධනය ආකර්ශනය වෙනවා. එවිට, විණිමය අනුපාතිකය ශක්තිමත් වෙනවා. පසුගිය තෙවසරක පමණ කාලය තුළ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ සාපේක්ෂව ඉහළ පොලී අනුපාතිකයි.

රටක මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමන්නේ උද්ධමනය පාලනය කිරීමටයි. එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය අඩු වෙනවා. රටක ආර්ථික වර්ධනය අඩු කෙරෙන ප්‍රතිපත්ති වලට රාජ්‍ය පාලකයින් එතරම් කැමති නැහැ. ජනාධිපති ට්‍රම්ප් හා අදාළව වුවත් මෙහි වෙනසක් නැහැ. ඔහු සවුදි අරාබියට බලපෑම් කරමින් තෙල් මිල පහළින් තබාගන්න උත්සාහ කරන්නෙත් තෙල් මිල අඩුවන තරමට ඇමරිකන් ආර්ථික වර්ධනය වේගවත් වන නිසයි.

ජෙරමි පවල්ගේ බදාදා ප්‍රකාශයෙන් අදහස් වුනේ පසුගිය තෙවසර තුළ සිදු කෙරුණු පොලී අනුපාතික ඉහළ දැමීම තව වැඩි කලක් මේ ආකාරයට සිදු නොකෙරෙනු ඇති බවයි. පොලී අනුපාතික අවශ්‍ය මට්ටම කිට්ටුවටම පැමිණ තිබෙන බව ඔහු විසින් පැවසීමෙන් බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ තවත් වරකට නැත්නම් දෙකකට වඩා පොලී අනුපාතික ඉහළ දමන්නට ඉඩක් නැති බවයි.

ඉදිරි කාලයේදී පොලී අනුපාතික දිගින් දිගටම වැඩි වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ඇමරිකාවට ප්‍රාග්ධනය ගලා එන එක සීමා වෙනවා කියන එකයි. ඒ කියන්නේ ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන ප්‍රවණතාව වෙනස් වෙනවා කියන එකයි. පවල්ගේ ප්‍රකාශය සිදු වූ ඊයේ ඇමරිකන් ඩොලරය බ්‍රිතාන්‍ය පවුම, යුරෝව, යෙන් මුදල, චීන යුවානය, ඕස්ට්‍රේලියානු හා කැනේඩියානු ඩොලර්, ඉන්දියන් රුපියල ඇතුළු ලෝකයේ ව්‍යවහාර මුදල් බොහොමයකටම සාපේක්ෂව දුර්වල වුනා.

අද ඇමරිකන් ඩොලරයක රුපියල් මිල තරමක් අඩු වෙන්න හේතු වී තිබෙන්නේත් ඉහත ප්‍රකාශයයි. බ්‍රිතාන්‍ය පවුම, යුරෝව, යෙන් මුදල ආදී අනෙක් විදේශ ව්‍යවහාර මුදල් බොහොමයකට සාපේක්ෂව අද දිනයේත් රුපියල පිරිහී තිබෙනවා.

පවල්ගේ ප්‍රකාශයට ඇමරිකානු කොටස් වෙළඳපොළත් ප්‍රතිචාර දැක්වූවා. ඊයේ කොටස් වෙළඳපොළ දර්ශක සැලකිය යුතු ලෙස ඉහළ ගියා. පොලී අනුපාතික වැඩි වීම නවතිනවා කියන්නේ ආර්ථික වර්ධනය ඉහළ යනවා කියන එකයි. එවිට සමාගම් වල ලාබ ඉහළ ගොස් කොටස් හිමියන්ගේ ලාභාංශ ඉහළ යනවා. ඒ නිසා, පොලී අනුපාතික සීමා වෙන්න යන ප්‍රවෘත්තියට කොටස් ඉල්ලුම වැඩි වී කොටස් මිල ඉහළ යනවා.

ජෙරමි පවල්ගේ ප්‍රකාශය නිසා කොටස් වෙළඳපොළේ හා විනිමය වෙළඳපොළේ ඊයේ ඇති වූ තිගැස්ම සුළු හා තාවකාලික එකක්.  ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිගේ කටින් පනින මෙවැනි කෙටි අදහස් දැක්වීමක් පවා ලෝකය පුරාම විශාල බලපෑමක් කරනවා.

(Image: https://www.moneycontrol.com/news/business/markets/opinion-jerome-powell-spoke-like-a-dove-but-appearances-can-be-deceptive-2886351.html)

5 comments:

  1. ඔබේ ලියැවිලි අසාවෙන් කියවනවා . සමහරුන්ට දිරවන්නේ නැති උනත් ඒවායේ ඇති තොරතුරු පොහොසත් සහ සත්‍ය ඒවා . වෙලාවකට මට හිතෙනවා දහසකුත් එකක් වැඩ රාජකාරි මැද්දේ පිට රටක වෙසෙන ඔබ නිතර මෙච්චර ලියන්නෙ හොහොමද කියලත් . නිතර ප්‍රතිචාර නොලිව්වත් හැමදාම ඔබේ අළුත් ලියවිලි බලාගෙන ඉන්නවා .

    ReplyDelete
  2. ඔබ මට දෙන සහයෝගයට ස්තුතියි . පුළුවන් නම් ඕස්ට්‍රේලියාවේ , එංගලන්තයේ , ඉතාලියේ සහ මැද පෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මගේ බ්ලොග් ලියමන් කියවන්න, අහන්න සහ බලන්න ඔවුනට ලගාවිය හැකි විදිහක් කියන්න . එය මටත් මා සමග කැනඩාවේ සිට නිර්මාණකරණයේ යෙදෙන අනෙකුත් සාමාජික යන්ටත් අනෙකුත් ජීවන කටයුතු මැද්දේ මහන්සියෙන් කරන නිර්මාණ වෙනුවෙන් ප්‍රතිචාර ලබාගැනීම සදහා පිටුවහලක් වෙතැයි හිතනවා .

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: