වෙබ් ලිපිනය:

Saturday, November 17, 2018

ගල උඩ හටන


විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ඇති වී තිබෙන ගැටුම තවමත් විසඳී නැත්තේත්, බොහෝ දෙනෙකු සිතා ඉන්නා ආකාර වලින් නොවිසඳෙනු ඇත්තේත්, අර්බුදයට අදාළ පාර්ශ්ව පිස්සන් සේ හැසිරෙන නිසා හෝ වෙනත් පුද්ගල සාධක මත නිසා නෙමෙයි. ඇති වී තිබෙන අර්බුදයේ ස්වභාවය නිසායි.

අතුරු තහනම් නියෝගය ගැන ලිවුවට පස්සේ එක ඇනෝ කෙනෙක් ලියල තිබුණා "එහෙම කියන්න එපා ඉකොනො.... අතුරු තහනම් නියෝගයක් කියන්නෙ සෝමාලියාවට පාන් දැම්ම වගෙ.....!!!" කියලා. ඔව්, ඇත්ත. අතුරු තහනම් නියෝගය නිසා ගොඩක් දේවල් වෙනස් වුනා. නෛතිකව කෙසේ වෙතත් ප්‍රායෝගිකව එයින් සිදු වූ බලපෑම ඉතා විශාලයි. හැබැයි ඒ නිසා වුනේ ප්‍රශ්නය එක් අදියරකින් මුලට යාම පමණයි.

කථානායකවරයා කටයුතු කරන්නේ අත්තනෝමතිකව හා පක්ෂග්‍රාහී ලෙස බව මහින්ද පාර්ශ්වයේ ඇතැම් අය කියනවා. කොහොමටත් කථානායකවරයෙකු කියන්නේ කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු මිස නිර්පාක්ෂික පුද්ගලයෙකු නෙමෙයි. නිර්පාක්ෂිකයැයි කියන අයගේත් පෞද්ගලික රුචිඅරුචිකම් තිබෙනවා. ඒ නිසා, වඩා වැදගත් වෙන්නේ කථානායකවරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරනවාද යන්නට වඩා ඔහු නීතියට පිටින් කටයුතු කරමින් තමන්ගේ කණ්ඩායමට වාසිදායක ලෙස කටයුතු කරනවාද යන්නයි.

මා හිතන ආකාරයට කථානායකවරයා කටයුතු කරන්නේ තමන්ට කටයුතු කළ හැකි සීමාව ඇතුළේ සිටයි. ස්ථාවර නියෝග කියන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ රීති මාලාවක් පමණයි. අවශ්‍ය අවස්ථාවක මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැත්තෙන් ස්ථාවර නියෝග වලින් එකක්, කිහිපයක් හෝ සියල්ලම අත් හිටවීමට අවශ්‍ය ප්‍රතිපාදන ස්ථාවර නියෝග වලම තිබෙනවා.

ස්ථාවර නියෝග හදාගෙන තිබෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමිනුයි. මේ සම්ප්‍රදායයන් බටහිර රටවල  සාමාන්‍ය මිනිස්සුන්ටත් පුරුදුයි. අපේ අසල්වැසි සංගමය වැනි කුඩා එකතුවක වුවත් කටයුතු සිදු වන්නේ මේ ආකාරයටයි. එජාප නායකත්වය මුල සිටම කටයුතු කරන්නේ බටහිර රටවල් සමඟ යම් සහයෝගීතාවයක් පවත්වා ගනිමින් හා තමන් කරන දේ ගැන බටහිර රටවල් දැනුවත් කරමින් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණු කරුණක්.

එජාපය ඇතුළු ඔවුන් හා එකඟව කටයුතු කරන අනෙකුත් පක්ෂ වල ආරම්භක චෝදනාව වුනේ විධායකය ව්‍යවස්ථා විරෝධීව කටයුතු කර ඇති බවයි. ඔවුන්ගේ දුක් ගැනවිල්ල කෙරෙහි බටහිර රටවල අනුකම්පාව හිමි වුනා. තමනුත්, ව්‍යවස්ථා විරෝධීව කටයුතු කර ඒ අනුකම්පාව නැති කර ගන්න ඔවුන් පෙළඹෙයි කියා හිතන්න අමාරුයි.

සදාචාරාත්මකව, සම්ප්‍රදාය අනුව හා නෛතිකව නිවැරදි වීම කියන්නේ එකිනෙකට වෙනස් දේවල්. රහසිගතව අත යටින් කරන මුදල් ගනුදෙනුවක් හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පක්ෂපාතීත්වය වෙනස් කර ගැනීම සදාචාරාත්මකව නිවැරදි නොවුනත් නෛතික වරදක් සිදු වී ඇති බව පෙන්වීම ඉතාම අසීරුයි. නීතියේදී සම්ප්‍රදායට සැලකිල්ලක් ලැබෙන නමුත් එසේ වන්නේ නීතිය පැහැදිලි නැති අවස්ථා වලදී පමණයි. පැහැදිලි නීතියක් ඇති විට සම්ප්‍රදාය ද්වීතියික කරුණක්. උදාහරණයක් විදිහට පාර්ලිමේන්තුව කල් තබන්න කලින් කථානායකවරයා දැනුවත් කළ යුතු වීම, මගේ අදහස පරිදි, සම්ප්‍රදාය පිළිබඳ කරුණක් මිසක් නෛතික අවශ්‍යතාවයක් නෙමෙයි.

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායකය සතුව විශාල බලයක් සංකේන්ද්‍රනය වී තිබෙන බව අප කලින් කතා කර තිබෙන දෙයක්. ඒ අතරම, ව්‍යවස්ථාදායකය හා අධිකරණය සතුවත්, විධායකයේ බලයට අභියෝග කළ හැකි, විශාල බලයක් තිබෙනවා. එය දහනවවන සංශෝධනයට පෙර සිටම පැවති තත්ත්වයක්. රනිල් ප්‍රධාන එජාපය මුල සිටම කටයුතු කළේ ව්‍යවස්ථාදායකය සතු බලය පිළිබඳව විශ්වාසය තබමිනුයි.

රාජ්‍ය යාන්ත්‍රනය මෙහෙයවන යන්ත්‍රය විධායකය වුවත් ඒ යන්ත්‍රයට තෙල් දමන්නේ ව්‍යවස්ථාදායකයයි. විධායකයේ මෙන්ම අධිකරණයේත් කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්නේ ව්‍යවස්ථාදායකය විසිනුයි. ව්‍යවස්ථාදායකයට පවතින නීති වෙනස් කිරීමට හා අළුත් නීති හැදීමට බලයක් තිබෙනවා. එවිට ඒ නීති අනුව කටයුතු කිරීමට විධායකය මෙන්ම අධිකරණයද බැඳී සිටිනවා. කෙසේ වුවත්, එසේ අළුතින් නීති හැදිය හැක්කේ පවතින නීති රාමුවේ, විශේෂයෙන්ම ව්‍යවස්ථා නීතියේ, ප්‍රතිපාදන අනුවයි.

විධායකයට ව්‍යවස්ථාදායකයේ බලයට අභියෝග කළ හැකි වූ ලොකුම මෙවලම වූයේ ජනාධිපතිවරයාට සිය කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණු නිදහසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය වහාම ව්‍යවස්ථාදායකය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වෙනවා. දහනවවන සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව මුල් වර රැස් වී වසරකට පසුව එය විසුරුවා හැරිය හැකි වුනා. දහනවවන සංශෝධනයෙන් මේ කාලය වසර හතරහමාරක් දක්වා දිගු කෙරුණා.

ඉහත සංශෝධනයෙන් සිදු කෙරුණු වෙනස් කම් නොසලකා හරිමින් ජනාධිපති සිරිසේන විසින් වසර හතරහමාරක් කල් ගතව නොතිබුණු පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඔහු වෙනුවෙන් පෙනී සිටින අයට අනුව, ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් එසේ කිරීමට බලය ලැබෙනවා.

ලංකාවේ නීතිඥයින් බොහෝ දෙනෙකු හදාරා ඇති තරමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය හදාරා ඇතත් මා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයෙක් නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය වැඩි දුර හදාරා ඇති හා වසර ගණනක් එම ක්ෂේත්‍රයේ නීති වෘත්තියේ යෙදී ඇති බොහෝ දෙනෙක් මේ කරුණ හා අදාළව අදහස් දක්වා තිබෙනවා. වෙනත් අයත් අදහස් දක්වා තිබෙනවා. මේ කරුණේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සේ සැලකිය හැකි අය අතර පවා අතර පවා ඒකමතිකත්වයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මගේ පෞද්ගලික මතය මෙහිදී වැදගත් නැහැ.

කිසියම් කරුණක නෛතික නිරවද්‍යතාවය නිර්ණය කිරීම කියන්නේ අදාළ ලිඛිත නීති තර්කානුකූලව හෝ තමන්ගේ විශ්වාසය මත පදනම්ව විශ්ලේෂණය කර මතයක් ඉදිරිපත් කිරීම පමණක් නෙමෙයි. මේ කරුණටම ආවොත් ව්‍යවස්ථාවේ සියළු වගන්ති හැදෑරීම වුවත් ඒ සඳහා ප්‍රමාණවත් නැහැ. කිසියම් කරුණක නෛතික නිරවද්‍යතාවය නිර්ණය කිරීමේදී පැරණි නඩු තීන්දු වලට විශාල වැදගත්කමක් ලැබෙනවා. වරක් තීන්දුවක් දී ඇති ආකාරයේ නඩු නිමිත්තක් නැවත මතු වූ විට පෙර තීන්දුවට වඩා වෙනස් තීන්දුවක් ලබා දීම ඉතා අඩුවෙන් සිදුවන දෙයක්.

නඩුවක තීන්දුව ලබා දෙන විට අධිකරණය විසින් නීතියක් අර්ථදැක්වීමට අමතරව කිසියම් ආකාරයක නීති හැදීමකුත් කරනවා. එසේ වන්නේ වත්මන් අධිකරණ තීන්දු විසින් අනාගත අධිකරණ තීන්දු වලට පූර්වාදර්ශ සපයන නිසයි. නීතියේ සමානාත්මතාව මූලධර්මයක් කරගත් මූලික අයිතිවාසිකම් නඩුවකදී මේ කරුණට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා. මේ වන විට අධිකරණය හමුවේ විභාග වන ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට බලය තිබේද යන්න ලංකා රාජ්‍යයේ මූලික ස්වභාවය නිශ්චය කෙරෙන ඉතා තීරණාත්මක නඩුවක්. එවැනි නඩු තීන්දුවක් ආවාට ගියාට හෝ හදිසියෙන් ලබා දීමේ හැකියාවක් නැහැ.

ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර ඇති බව කියන පාර්ශ්ව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥයින් වගේම ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයින්ද සිටිනවා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන ලියැවිලි (සබ්මිෂන්ස්) පැරණි නඩු තීන්දු විශාල ගණනක් ඇමුණුම් සේ එකතු කර ඇති පිටු ගණනාවක ලියැවිලි විය යුතුයි. මෙවැනි කරුණකදී අනෙකුත් රටවල අදාළ තීන්දු පවා සලකා බැලෙනවා. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයින් කලින් දැන නොසිටි මේ කරුණට අදාළ නඩු තීන්දු ඕනෑ තරම් තියෙන්න පුළුවන්. ඒ නිසා, දෙපාර්ශ්වය විසින්ම ඉදිරිපත් කරන කරුණු ඉතා සැලකිල්ලෙන් පරීක්ෂා කර බැලිය යුතුයි. එය කාලය අවශ්‍ය වැඩක්.

කොහොම වුනත්, රටේ අනෙක් බොහෝ දෙනෙකු නිගමන වලට පැමිණීමේදී සලකන සරල කරුණු පමණක් විමසමින් ඉක්මන් නිගමනයකට එන එක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙකුටත් කරන්න පුළුවන්. බොහෝ විට කිසියම් කරුණකින් පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇත්ද නැත්ද යන්න එක වරම පැහැදිලිව පෙනෙනවා. මූලික අයිතිවාසිකම් පෙත්සම් බොහොමයක්ම වැඩිදුර විභාගයට නොගෙන මූලික විරෝධතා අදියරේදීම නිෂ්ප්‍රභා වෙනවා. එවැනි නඩුවක් තවදුරටත් ඉදිරියට ගෙනයන්නේ කිසියම් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇති බව පෙනෙන්නට තිබේනම් පමණයි.

මේ නඩුවට සම්බන්ධව සිටින නීති විශාරදයින් අතරින් දේශපාලනිකව බෙදී සිටින ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙක හැරුණු විට ඉතිරි බොහෝ දෙනෙක් ඉන්නේ ජනාධිපතිවරයා වැරදියි කියන මතයේ. අනෙක් කණ්ඩායම් කොහොමටත් තමන්ගේ සේවාදායකයාගේ මතය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ජනාධිපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන ඇතැම් නීතිඥයින් පවා තමන්ගේ සේවාදායකයාගේ නිරවද්‍යතාවය විශ්වාශ නොකරන හෝ සැක කරන බව මා පෞද්ගලිකව දන්නා තොරතුරු අනුව පෙනෙනවා. කෙසේවුවත්, ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටිය යුතු, රජයේ සේවකයෙක් වන, නීතිපතිවරයා ඉන්නේ ජනාධිපතිවරයා නිවැරදියි කියන මතයේ.

මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් ආරම්භයේදී අතුරු තහනම් නියෝගයක් ලබා දීම අත්‍යවශ්‍යම කරුණක් නෙමෙයි. මේ වෙලාවේදී එවැනි නියෝගයක් ලබා දීමෙන් පෙනෙන්නේ ජනාධිපතිවරයා ක්‍රියා කර ඇති ආකාරය නිවැරදි නොවන බවට විනිසුරු මඩුල්ල දළ නිගමනයකට පැමිණ ඇති බවයි. පෙර ගැසට් පත අනුව පාර්ලිමේන්තුවට රැස් වීමට ඉඩ සලසමින් මේ අතුරු තහනම් නියෝගය ඉතා ඉක්මණින් ලබා දීමෙන් ඒ අදහස තහවුරු වෙනවා. අවසන් තීන්දුව මෙයම වීමට වැඩි ඉඩක් තිබුණත් එය එසේම විය යුතු නැහැ. අතුරු තහනම් නියෝගයට එරෙහිව කරුණු ඉදිරිපත් කිරීමට කාලය දීමේ සිට දෙපාර්ශ්වයටම කරුණු ඉදිරිපත් කිරීමට අදියර කිහිපයක් යටතේ (සාමාන්‍යයෙන් මෙවැනි නඩු විභාගයකදී සිදු වන ආකාරයට) ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබෙන නිසා අවසන් තීන්දුව ලබා දෙනු ඇත්තේ සියළු කරුණු කාරණා සලකා බැලීමෙන් පසුවයි.

දැනට අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබෙන නිසා අවසන් තීන්දුවෙන් පෙත්සම් නිෂ්ප්‍රභා වුවහොත් ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතු වූ දින සිට පාර්ලිමේන්තුවේ සිදු වූ කටයුතු වලංගු නොවීම සිදුවිය යුතුම නැහැ. ඒ වගේම, ජනවාරි පස් වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමත් සිදු විය යුතුම නැහැ.  යම් හෙයකින් පෙත්සම් නිෂ්ප්‍රභා කෙරුනොත්, මේ කරුණු හා අදාළව කටයුතු සිදු විය යුතු ආකාරය පිළිබඳවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උපදෙස් දෙයි කියා මා හිතනවා.

අවසන් තීන්දුවක් නොවුනත් අතුරු තහනම් නියෝගය නිසා ව්‍යවස්ථාදායකය නැවත සක්‍රිය වුනා. අවසන් තීන්දුවෙන් පෙත්සම් නිෂ්ප්‍රභා වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න වෙනවා. එසේ වුවත්, ව්‍යවස්ථාදායකය එතෙක් කර ඇති කිසිවක් ඒ නඩු තීන්දුව හේතුවෙන් ව්‍යවස්ථා විරෝධී හෝ නීති විරෝධී කටයුත්තක් බවට පත් වන්නේ නැහැ. ඒ වගේම, විධායකය කටයුතු කර ඇති ආකාරය ව්‍යවස්ථාවට අනුකූල බව තහවුරු වෙනවා. අනෙක් අතට, යම් හෙයකින් නඩු නිමිත්ත කලින් අහෝසි නොවුවහොත් බොහෝ විට සිදු විය හැකි පරිදි, අතුරු තහනම් නියෝගය ස්ථිර නියෝගයක් බවට පත් වුවහොත් ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී සේ කටයුතු කර ඇති බව තහවුරු වුවත් එය චේතාන්විතව කර ඇති බව තහවුරු වෙන්නේ නැහැ. තමන් මෙය ව්‍යවස්ථානුකූල බව සද්භාවයෙන් විශ්වාස කළ බව ජනාධිපතිවරයාට කියන්න පුළුවන්. ඒ නිසා, දැනට අධිකරණය හමුවේ විභාග වන නඩුව ගල උඩ හටනක් නෙමෙයි. ගල උඩ හටන වෙනම එකක්!

නීතිමය තත්ත්වය එසේ වුවත්, තමන් කරන දේ නිවැරදි බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වය විසින් සැබෑවටම විශ්වාස කළා කියා මා හිතන්නේ නැහැ. එවැනි විශ්වාසයක් තිබුණානම්, ඔහුට කළින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැකිව තිබුණා. ඔහු එසේ නොකිරීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පිළිබඳව ඔහුට සැකයක් තිබී ඇති බවයි.

කොහොම වුවත් දැන් නැවතත් ව්‍යවස්ථාදායකය සක්‍රිය වී තිබෙනවා. ව්‍යවස්ථාදායකයේ බලය මහින්ද-මෛත්‍රී පාර්ශ්වය විසින් කිසි විටෙකත් අවතක්සේරු කළේ නැහැ. ඔවුන්ගේ සැලසුම වුනේ විධායකයේ බලය අල්ලා ගැනීමෙන් පසුව ව්‍යවස්ථාදායකයේත් බලය අල්ලා ගැනීමයි. පාර්ලිමේන්තුව කල් දමමින් උත්සාහ කළේ එයටයි. වැඩේ කරගන්න අමාරු වුනේ කරුණු දෙකක් නිසා. එක පැත්තකින් රනිල්ගේ කණ්ඩායම ඇතුළු මහින්ද-මෛත්‍රී විරෝධී කණ්ඩායමට මහින්ද-මෛත්‍රී කණ්ඩායම විසින් කලින් නොසිතූ තරමේ, ඇත්තටම රනිල්ගේ කණ්ඩායම පවා නොසිතූ තරමේ, ජන සහයෝගයක් ලැබුණා. ඒ හේතුවෙන් මන්ත්‍රීවරයෙකු තමන්ගේ පැත්තට ගැනීමේ මිල ඉහළ ගියා. අනෙක් පැත්තෙන් ජනාධිපති සිරිසේන මත විශාල ජාත්‍යන්තර පීඩනයක් ඇති කරන්න රනිල්ගේ කණ්ඩායම සමත් වුනා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මේ තත්ත්වය හමුවේ දැක්වූ ඉක්මන් ප්‍රතිචාරයක් මිස සැලසුම්සහගතව කළ දෙයක් විය නොහැකියි.

මහින්ද-මෛත්‍රී විරෝධී කණ්ඩායමට ආරම්භයේ සිටම ව්‍යවස්ථාදායකයේ බලය තිබුණත්, එය කොයි වෙලාවේ හෝ ඔවුන් අතින් ගිලිහෙයිද කියන බය ඔවුන්ට තිබුණා. ඔවුන්ට අවශ්‍ය වුනේ ඊට පෙර පාර්ලිමේන්තුව නැවත රැස් කර ගන්නයි. කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව රැස් කරන බවට වහසිබස් ඇහුණත් මහින්ද-මෛත්‍රී විරෝධී කණ්ඩායම එවැනි දෙයකට යොමු වුනේ නැහැ. එසේ කළානම් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරනවාය කියමින් ජනාධිපතිවරයාට චෝදනා කර බටහිර රටවල අනුකම්පාව දිනාගෙන සිටින ඔවුන්ට එම රටවල සහයෝගය තවදුරටත් ලබා ගැනීම අසීරු වෙනවා. ඒ හේතුව නිසාම දැනටත් ඔවුන් කටයුතු කරන්නේ පොතේ හැටියටයි. ගැලරියේ සිට බලා සිටින බටහිර රටවල නියෝජිතයින්ට ඔවුන් ඒ බව  පෙන්වනවා.

දේශපාලන අර්බුදය ආරම්භ වුනේ ජනාධිපතිවරයා විසින් අගමැති ඉවත් කර අලුත් අගමැතිවරයෙකු පත් කිරීමෙන්. මෙය ව්‍යවස්ථා විරෝධී බව කොටසක් කියනවා. කොටසක් එසේ නැතැයි කියනවා. මේ කණ්ඩායම් දෙක බෙදී සිටින්නේ දළ වශයෙන් ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනට විභාග වන නඩුවේ නඩු නිමිත්ත හා අදාළව බෙදී සිටින ආකාරයටමයි. වැදගත්ම කරුණ මේ පළමු තීරණය ප්‍රශ්න කරමින් මේ වන තුරුත් කිසිවකු අධිකරණය වෙත ගොස් නොතිබීමයි.

යම් හෙයකින් එජාපය මුලදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියානම්, අවසන් තීන්දුව දෙන්න කලින්, රනිල් තාවකාලිකව අගමැති ධුරයේ සිටිය යුතු බවට අතුරු තහනම් නියෝගයක් ලැබෙන්න ඉඩක් තිබුණේ නැද්ද? එහෙම තිබුණානම් රනිල්ගේ පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නොගියේ ඇයි?

ගල උඩ සටනට තවම ආවේ නැහැ. නමුත්, දැනටම ලිපිය ගොඩක් දිග නිසා අදට නවතිමු.

(Image: https://www.etthawitthi.com/news/amended-no-faith-motion-against-pm-and-govt-passed-speaker)

15 comments:

  1. මම හිතන්නේ අගමැති ඉවත් කිරීම හරිද වැරදිද කියා ශ්‍රේෂ්ටදිකරණයෙන් විමසීම මේ වෙලාවේ කලයුතු දෙයක් නෙමෙයි. ඊට වඩා පාර්ලිමේන්තුවේ දේශපාලන සටන එජාපයට වාසිදායකයි.
    අනික අගමැති ඉවත් කරන එක හරිද වැරදිද කියන තීන්දුවට වඩා පාර්ලිමේන්තුව ඕන වෙලාවක විසිරුවන්න පුලුවන්ද කියන එක සමාජයට දැනෙන දෙයක්. මුලින් සමාජේ තිබිච්චර රනිලනේ, ඔන්න ඔහේ ඕකෙන් අයින් කලාම මොකද කියන එක පාර්ලිමේන්තුව විසිරවීමත් එක්ක එහෙමපිටින්ම කණපිට හැරුන. කොච්චර උනත් මිනිස්සු රාජන්දුවකට කැමති නැහැනේ. මේ විදියට දිගටම ඇදගෙන යන්න තියෙන්නේ.

    ReplyDelete
  2. නිර්පාක්ෂික කථානායක කියනකොට මතක් වෙන්නේ 2015 ජනවාරි වල ආපු නිර්පාක්ෂික ජනාධිපති.
    යකඩ මල්ලටත් ගුල්ලෝ ගහල නම් හාල් මල්ල නොබලාම උසික්ක කොරපිය කිව්වලු!
    (කොහොමද අලුතෙන් ආපු මාධ්‍යවේදී නිරෝෂන් ප්‍රේමරත්නගෙ හැසිරීම)

    ReplyDelete
  3. මල්ලි වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේද?

    ReplyDelete
  4. ""යම් හෙයකින් එජාපය මුලදීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියානම්, අවසන් තීන්දුව දෙන්න කලින්, රනිල් තාවකාලිකව අගමැති ධුරයේ සිටිය යුතු බවට අතුරු තහනම් නියෝගයක් ලැබෙන්න ඉඩක් තිබුණේ නැද්ද? එහෙම තිබුණානම් රනිල්ගේ පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නොගියේ ඇයි?""
    මේ ඉහත ප්‍රශ්නයට මම දන්නා හැටියට පිළිතුරක් දෙන්නම්. මාත් ව්‍යවස්ථාව ගැන විශේෂඥයෙකු නොවන අතර, මට, දේශපාලනය කියන්නේ, කාපු වෙලාවට ඩෙසර්ට් එක හැටියටත්, බීපු වෙලාවට බයිට් එක හැටියටත් ගන්නා දෙයක් මිස ගහමරා ගන්නා දෙයක් නොවේ.
    ව්‍යවස්ථාව අනුව ''බහුතර කැමැත්ත ඇතැයි ජනාධිපති විශ්වාස කරන තැනැත්තා" අගමැති කිරීමට බලය තියනවා. මහින්ද මහතා අගමැති ලෙස පත්කිරීම ව්‍යවස්තානුකුලව වැරදි නැහැ. ඒ නිසා මහින්ද අගමැති කිරීම 'ව්‍යවස්ථා විරෝධීයි' කියා, රනිල් පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියානම් ඔවුන්ගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ඉතා ඉහල සමභාවිතාවයක් තිබුනා . නමුත්, එසේ පත්කළ අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකිවීම පාර්ලිමේන්තුවේ (ව්‍යවස්ථාදායකයේ ) ප්‍රශ්නයක් මිසක් විධායකයේ ප්‍රශ්නයක් නොවේ.
    ඒ වගේම යහපාලනය ආරම්භයේදී බහුතරයක් නොතිබුන රනිල්, අගමැති කල හැකි නම්, වර්තමානයේ බහුතරයක් නොමැති මහින්ද, අගමැති කල හැකි බවටත් තර්ක කරනවා. ඒක වැරදි තර්කයක්. විධායක ජනපති(19 සංශෝධනයට පෙර) කෙනෙකුගේ බලය යටතේ, සුළුතරයක් තිබුන රනිල් අගමැති උනත් ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවේ බහුතරයට නැගී සිටීමට පුළුවන් කමක් (හෝ අවශ්‍යතාවයක්) තිබුනේ නැහැ. ඒ නිසා රනිල්ගේ සුළුතර ආණ්ඩුව හා මහින්දගේ සුළුතර ආණ්ඩුව (19 සංශෝධනයෙන් පසු) සමාන කල නොහැකියි.
    PS .
    ඉකොනෝ ට දේශපාලන මතයක් තිබුනත් නැතත්, ඒක මොකක් උනත්, හරවත්ව දේශපාලනය ගැන ලියන නිසායි මම පිළිතුරක් ලිව්වේ. එහෙම නැතිව
    ලංකාවේ බොහෝ දේශපාලන සංවාද වලදී දේශපාලකයින්ගේ ප්‍රතිපත්ති වලට වඩා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට පහර ගැසීම ලංකාවේ මිනිසුන්ගේ සිරිතක් . හරවත් දේශපාලන සංවාදයක් කියන්නේ දේශපාලකයන්ට දරුවන් නොමැතිකම, ලිංගික (නො ) හැකියාව ,සමලිංගික තාවය, වැනි අතිශය පෞද්ගලික කරුණු ගැන අසභ්‍ය වචන භාවිතා කොට ලිවීම නොව ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් විවේචනය කිරීම බව තේරුම් නොගන්නා උදවිය සමග දේශපාලනය ගැන වාද කිරීමට වඩා නිශ්ශබ්දව සිටීම හොඳයි.

    ReplyDelete
    Replies
    1. //ව්‍යවස්ථාව අනුව ''බහුතර කැමැත්ත ඇතැයි ජනාධිපති විශ්වාස කරන තැනැත්තා" අගමැති කිරීමට බලය තියනවා. මහින්ද මහතා අගමැති ලෙස පත්කිරීම ව්‍යවස්තානුකුලව වැරදි නැහැ. //
      මම හිතන්නේ මේ මහත්තය ඉකොනොගේ මුල් ලිපි කියවල නැහැ. කවුරුවත් කියන්නේ නැහැ ජනාධිපතිට කැමති කෙනෙක් පත් කරන්න බැහැ කියල (ව්‍යවස්ථාව වචනාර්ථයෙන් ගත්තොත්).
      එජාප කඳවුරෙන් කියන්නේ රනිල්ව අයින්කරන්න ජනාධිපතිට බලයක් නැහැ කියල. මුල් ලිපි කියවන්න.

      Delete
  5. ඉකොනෝ, ජනාධිපතිට පුලුවන්ද ජනමත්විචරනෙකට යන්න මහමැතිවරණයක් ඕනද එපාද කියල අහල? හැමෝම එහෙම පුළුවන් කියල හිතන් ඉන්නවා වගේ පේන නිසා ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. ජනතා පරමාධිපත්‍යය අනෙක් සියල්ලටම වඩා ප්‍රධාන නිසා එසේ කළ හැකියි කියා මම හිතනවා. එය කිරීමට කිසියම් නීතිමය බාධාවක් තිබේද යන්න මා සොයා බලා නැහැ. දන්නා තරමින්නම් නැහැ. නමුත්, දැන් තියෙන ප්‍රශ්නය මහ මැතිවරණයක් තියන්න අවශ්‍යද කියන එක නොවන නිසා එය පවතින අර්බුදයට විසඳුමක් වෙන එකක් නැහැ. පවතින අර්බුදය වන්නේ මේ මොහොතේ නීත්‍යානුකූල ආණ්ඩුව කුමක්ද කියන එකයි. එය විසඳා ගැනීමෙන් පසු කොහොමටත් මහ මැතිවරණයකට යන්න වෙයි. ඒ වගේම ඒ සඳහා සියලු පක්ෂ කැමති වනු ඇති නිසා ජනමතවිචාරණයක් අවශ්‍ය වෙන එකකුත් නැහැ. නමුත්, පවතින අවුල් සහගත තත්ත්වයත් එක්ක ජනමතවිචාරණයකට හෝ වෙනත් ඕනෑම මැතිවරණයකට යනවා කියන්නේ දැන් පාර්ලිමේන්තුවේ තියෙනවා වගේ තත්ත්වයක් රට පුරාම ඇති වීමක් වෙන්න පුළුවන්.

      Delete
    2. එක හරි. නමුත් මට දැනගන්න ඕන උනේ ව්‍යවස්ථාමය පැත්ත.
      ව්‍යවස්ථාවේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ 2/3 නැතුව ජනමත විචාරන කරන්න බැහැ කියල නේද?
      ජේආර් 82 ජනමත විචාරනෙට ගියෙත් 2/3 අරගෙනනනේ.

      Delete
    3. 86 අනුව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමක් ඇති කරුණක් සම්බන්ධව ජනමතවිචාරණයක් පැවැත්වීමට බාධාවක් නැහැ කියලයි මම හිතන්නේ.

      Delete
  6. නමුත් 86 කියල තියෙන්නෙ 85 ට යටත්ව කියල නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත් 85 කතා කරන්නේ පණත් හා අදාළව නිසා එය මේ කරුණට අදාළ වෙනවා කියා නිශ්චිතව කියන්න අමාරුයි.

      Delete
    2. ඔය විදියට බලනකොට 2/3 නැතිව උනත් විධායක ජනපතිකම අහෝසි කරමුද, උතුරු නැගෙනහිරට වෙනම රටක් දෙමුද වගේ ඒවත් කෙලින්ම අහල දාන්න තියෙන්නේ ජනතාවගෙන්. අනාගත ජනාධිපතිවරයෙක් යටතේ පුළුවන් වෙයි.

      Delete
    3. ව්‍යවස්ථාවේ පළමු කොටසේ අනුව්‍යවස්ථා වල සඳහන්ව තිබෙන රාජ්‍යයේ මූලික ස්වභාවය හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සමඟ ගැටෙන අවස්ථා වලදී (Articles 1, 2, 3, 6, 7, 8, 9, 10 and 11) හා පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධුර කාලය වැඩි කර ගැනීමට උත්සාහ කරන අවස්ථා වලදී 2/3 හා ජනමතවිචාරණයක් අවශ්‍යයි. ඒ නිසා, ඔබ කියන දෙකරුණ ජනමතවිචාරණයකින් පමණක් කළ නොහැකි බව පැහැදිලියි. නමුත් කාලය අඩු කර ගැනීමට දන්නා තරමින් එවැනි බාධාවක් නැහැ. 83 අනුව්‍යවස්ථාව බලන්න.

      Delete
    4. ඒ ඉතින් ව්‍යවස්ථාවේ එක වගන්තියකින් අනික සීමා වෙනවා කියල හිතුවොත්නේ. බයි ලොගික් වලින් ගත්තොත් ජනාධිපතිගේ මතය අනුව අහන්න පුලුවන්නම් එච්චරයි. අනිත් තැන වල මොනවා ලියල තිබ්බම මොකද..

      Delete
  7. ඒ ඉතින් ව්‍යවස්ථාවේ එක වගන්තියකින් අනික සීමා වෙනවා කියල හිතුවොත්නේ. බයි ලොගික් වලින් ගත්තොත් ජනාධිපතිගේ මතය අනුව අහන්න පුලුවන්නම් එච්චරයි. අනිත් තැන වල මොනවා ලියල තිබ්බම මොකද..

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: