වෙබ් ලිපිනය:

Friday, February 14, 2020

දේවානි ජයතිලක, ආණ්ඩුව සහ නිහඬ බහුතරයේ හඬ


මාධ්‍ය වාර්තා අනුව පෙනෙන්නේ ආණ්ඩුව දේවානි ජයතිලක වෙනුවෙන් පෙනී සිටින්නට තීරණය කර තිබෙන බවයි. කාට හරි අවශ්‍යනම් එතකොට සනත් නිශාන්ත වෙනුවෙන් පෙනී සිටි අය ආණ්ඩුවට අයිති නැද්ද කියා අහන්න පුළුවන්. ඒ වගේම, මේ පෙනී සිටීම කොයි තරම් අවංකද කියන එක ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත්, වැදගත් වන්නේ පොදු වශයෙන් ආණ්ඩුවේ ඉහළ ස්ථරය ඉතා පැහැදිලි ලෙසම දේවානි ජයතිලක වෙනුවෙන් පෙනී සිටීම කියන කරුණයි.

දේවානි ජයතිලක වෙනුවෙන් ආණ්ඩු විපක්ෂ භේදයක් නැතිව හැම දේශපාලන පක්ෂයකම අය පෙනී සිටියා. ආණ්ඩුවට හිතවත් යම් පිරිසක් සනත් නිශාන්ත වෙනුවෙනුත් පෙනී සිටියා. ඔවුන් දේවානි ජයතිලකගේ කවර හෝ වැරැද්දක් හොයා ගන්න උත්සාහ කළා. නමුත්, ඒ වැඩේ සාර්ථක වුනේ නැහැ.

දේවානි ජයතිලක සනත් නිශාන්ත හමුවේ නීතිය වෙනුවෙන් පෙනී සිටින්නේ ඇය ආණ්ඩු විරෝධී දේශපාලන පක්ෂයකට හිතවත් නිසා නොවන බව පැහැදිලියි. ඇයට යම් හෙයකින් එවැනි හිතවත්කමක් තිබුණානම් ඒ හේතුව නිසා ඒ වෙලාවේ ඇය ක්‍රියා කළ ආකාරය අගය කළ නො යුත්තේද නැහැ.

මේ සිද්ධියෙන් පසුව, ඇතැම් ආණ්ඩු හිතවාදීන් විසින් ක්ෂණිකවම ඇගේ අතීතය ගැන හොයා බලා තිබෙන බව පේනවා. එසේ කරන්න ඇත්තේ ඇගේ කුමක් හෝ දේශපාලන සම්බන්ධයක් හරි, වෙනස් ආකාරයකින් කටයුතු කළ අවස්ථාවක් හරි හොයා ගන්න වෙන්න පුළුවන්. නමුත්, එවැනි සොයා බැලීම් කළ අයට හෙළිදරවු වෙන්න ඇත්තේ මේ සිදු වීම අහම්බයක් නොවන බවයි. ඇය මීට පෙරත් කියන්න තිබෙන දෙය මේ විදිහටම කාට වුනත් බය නැතිව කියා තිබෙනවා. මෙවර සිදු වුනු එකම වෙනස අදාළ සාකච්ඡාව සමාජ මාධ්‍ය වල හිට් වීමයි.

සමහර වෙලාවට හදිසියේ සිදු වන අහඹු සිදු වීම් සමාජ මාධ්‍ය වල හිට් වෙනවා. නමුත්, අහඹු සිදු වීම් කියන ඒවා සිදු වන්නේ අහඹු පසුබිමක නෙමෙයි. කිසියම් අහඹු සිදු වීමක් සිදු වන්නේ එවැන්නක් සිදු වීමට ඉඩ තිබෙන පසුබිමකයි. මෙහිදී වී තිබෙන්නේත් එවැන්නක්. වීඩියෝ නොකළ හා ඒ නිසා වැඩි දෙනෙක් නොදන්නා දේවානි ජයතිලක හා සම්බන්ධ මෙවැනි සිදු වීම් තවත් සිදු වී තිබෙනවා විය හැකියි. ඒ වගේම, දේවානි ජයතිලක හැර තවත් මෙවැනි රාජ්‍ය නිලධාරීන්ද ඕනෑ තරම් ඇති.

අනෙක් පැත්තෙන් ගත් විට මේ සිද්ධිය සනත් නිශාන්ත හා සම්බන්ධ මෙවැනි එකම සිද්ධිය වෙන්න විදිහක් නැහැ. ඔහු රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි බලපෑම් කිරීම බොහෝ විට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම, පක්ෂ විපක්ෂ භේදයක් නැතිව මහජන නියෝජිතයින් බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ මේ වෙලාවේ සනත් නිශාන්ත කටයුතු කර තිබෙන ආකාරයටයි. ඔවුන්ට දේවානි ජයතිලක වැනි කෙනෙක් සම්මුඛ වෙන්නේ කලාතුරකින්. වෙනස් විය යුත්තේ ඒ තත්ත්වයයි.

දේවානි ජයතිලක වෙනුවෙන් මේ වෙලාවේ බොහෝ දෙනෙක් පෙනී සිටියේ ඇයි? බොහෝ දෙනෙක් කියා කිවුවේ ආණ්ඩුව ගැන නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු ගැන. ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රතික්‍රියාවක් පමණයි.

විවිධ හේතු මත මිනිස්සු දේවානි ජයතිලක වෙනුවෙන් පෙනී සිටියා. ඒ අතරින් සැලකිය යුතු පිරිසක් එසේ කළේ ඈ පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීම අගය කරමිනුයි. පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීම හා පරිසරය රැක ගැනීම වෙනුවෙන් වූ නීති වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ වෙනස් කරුණු දෙකක්. මෙහිදී සනත් නිශාන්ත විසින් කරන වැරැද්ද පරිසරය රැක ගැනීම වෙනුවෙන් පෙනී නො සිටීම නෙමෙයි. ඔහු එසේ කළ යුතුම නැහැ. ඔහු කරන වැරැද්ද පරිසරය රැක ගැනීම වෙනුවෙන් වූ නීති වෙනුවෙන් පෙනී නො සිටීමයි. (ක්‍රියාවෙන් මෙසේ වුවත්, සනත් නිශාන්ත පාර්ලිමේන්තුවේදී හා මැතිවරණ ප්‍රචාරණයේදී පෙනී සිටින්නේ පරිසරය රැක ගැනීම වෙනුවෙනුයි.)

දේවානි ජයතිලකට කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ අනන්‍ය වූ මතවාදයක් නැතුව ඇති. එවැන්නක් තිබුණත් මෙහිදී ඇය එය තමන්ගේ රාජකාරිය සමඟ පටලවාගෙන නැහැ. එහෙත්, ඇයට පරිසරය හා සංවර්ධනය සම්බන්ධ තමන්ගේම වූ මතවාදයක් තිබෙන බව පෙනෙනවා. රාජ්‍ය නිලධාරිනියක එවැනි තමන්ගේ පෞද්ගලික මතවාදත් රාජකාරිය සමඟ පටලවා ගත යුතු නැහැ. මේ වෙලාවේ ඇගේ රාජකාරිය ඇගේ පෞද්ගලික මතවාදය සමඟ හොඳින් පෑහෙනවා. ඒ නිසා ඇය බොක්කෙන්ම තමන්ගේ රාජකාරිය කරනවා.

කඩොලාන රැක ගැනීම ලංකාවේ නීතිය අනුව දේවානි ජයතිලක විසින් කළ යුතු දෙයක්. එහෙත්, මතවාදයක් ලෙස සැලකූ විට එය තවත් එක් මතවාදයක් පමණයි. වෙනත් අයට මේ හා අදාළ වෙනත් මතවාද දැරීමේ අයිතියක් තිබෙනවා. කඩොලාන වලට වඩා පිට්ටනිය වටින මිනිස්සු ඕනෑ තරම් ඉන්න පුළුවන්. සනත් නිශාන්ත විසින් නීතිය නැවීමට බලපෑම් කිරීම වැරැද්දක් වුවත් ඔක්සිජන් අවශ්‍ය නැතැයි සිතන මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමේ වැරැද්දක් නැහැ.

ඔහුට අවශ්‍යනම් ඒ මිනිසුන් වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස කඩොලාන කපා පිට්ටනියක් ඉදි කිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකියි. එය හරිද වැරදිද කියා තීරණය කිරීම ඔහුට ඡන්දය දෙන හෝ නොදෙන ඡන්දදායකයින්ගේ වැඩක්. යම් හෙයකින් එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත්, කවර මහජන විරෝධතා තිබුණත්, රාජ්‍ය නිලධාරිනියක පෙනී සිටිය යුත්තේ කඩොලාන කැපීම වෙනුවෙනුයි. ඒ වගේ වෙලාවක, දේවානි ජයතිලක වැනි රාජ්‍ය නිලධාරිනියකගේ පෞද්ගලික මතවාද හා රුචි අරුචිකම් ඇගේ රාජකාරිය සමඟ ගැටෙන්න පුළුවන්.

මේ වෙලාවේ සනත් නිශාන්ත නියැලී සිටියේ ජනප්‍රියවාදී දේශපාලනයකයි. ආණ්ඩුව සනත් නිශාන්ත වෙනුවෙන් පෙනී නොසිට දේවානි ජයතිලක වෙනුවෙන් පෙනී සිටින්නේත් ජනප්‍රියවාදී පදනමක සිටයි. මහින්ද රාජපක්ෂ විසින් අවුරුදු දහයක් තිස්සේ ආණ්ඩු කළේත් ජනප්‍රියවාදය මත පදනම්වයි. ජවිපෙ වැනි පක්ෂත්, සජිත් වැනි අයත් කරන්නේ එයමයි. රනිල් අසාර්ථක වුනේ ඔහු ජනප්‍රියවාදියෙකු නොවූ නිසා. දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු ජනප්‍රියවාදියෙකු වීමේ වැරැද්දක් නැහැ. එය මහජන මතය සමඟ අනුගත වීමක්.

රාජපක්ෂ දශකය ඇතුළත රාජපක්ෂලාගේ ජනප්‍රියවාදය තුළ බොහෝ විට සිදු වුනේ සනත් නිශාන්තලා වැනි මහින්ද රාජපක්ෂ වටා සිටි පිරිසක් මහින්ද රාජපක්ෂ විසින් සතුටු කිරීම සහ සනත් නිශාන්තලා වැනි අය විසින් ඔවුන් වටා සිටි තවත් පිරිසක් සතුටු කිරීමයි. අර ඔක්සිජන් අවශ්‍ය නැති පිරිස ඒ පිරිසයි. මේ පිරිසගේ හඬ වැඩි නිසා ඔවුන්ගේ මතය රටේ බහුතර මතය මෙන් පෙනෙන්නට තිබුණත්, ඇත්තටම ඔවුන් සුළුතරයක්. ඔවුන්ට ජනප්‍රියවාදී දේශපාලනය තුළ බලපෑමක් කිරීමට ශක්තිය ලැබී තිබුණේ රටේ නිහඬ බහුතරයකගේ නිහඬකම විසිනුයි. මේ නිහඬ බහුතරය තමන්ගේ හඬ අවදි කළේ වසර කිහිපයකට වරක් එන මැතිවරණයකදී පමණයි.

දේවානි ජයතිලක සිද්ධියේදී වුනේ සමාජ ජාලා හරහා නිහඬ බහුතරයේ හඬ මතු වීමයි. ජනප්‍රියවාදී ආණ්ඩුවකට බහුතරයේ හඬ නොසලකා ඉන්න බැහැ.

ගෝඨාභයට කොහොම වුනත් මහින්දට සනත් නිශාන්ත කටයුතු කළ ආකාරය ගැන ප්‍රශ්නයක් තියෙනවා කියා හිතන්න අමාරුයි. සනත් නිශාන්ත සමඟ ඉන්න මිනිස්සු ටික සතුටු කිරීමට මහින්ද, ගෝඨාභය හෝ වෙනත් ඕනෑම ජනප්‍රියවාදී දේශපාලනඥයෙකු පැකිලෙන එකක් නැහැ. හැබැයි එසේ කිරීමෙන් තමන් වඩා විශාල පිරිසක් අතර අප්‍රසාදයට පත් වීමට නියමිත බව පෙනේනම් කවුරුවත් එවැනි දෙයක් කරන්නේ නැහැ.

මේ වෙලාවේ වුනේ ඒකයි. සමාජ ජාලා හරහා නිහඬ බහුතරයේ හඬ මතු වීම නිසා ඔක්සිජන් අවශ්‍ය නැති කණ්ඩායමේ හඬ යටපත් වී ගියා. මිනිස්සු හරි තැන ඉන්නවානම් ඕනෑම ආණ්ඩුවකට හරි තැනට එන්න වෙනවා.

5 comments:

  1. සනත් නිශාන්ත මේ සිද්ධියෙන් පස්සේ කරපු ප්‍රකාශ ගැන මිනිස්සු අවධානය යොමු නොකිරීම ත් වැරදියි.

    "ධීවර ජනතාව අධ්‍යාපනයක් නැති ඕන දේකදී වලි දාගන්න කට්ටියක් නිසා ඒ අයත් එක්ක කටයුතු කිරීමේදී පරිස්සමෙන් වැඩ කරන්න ඕන". මේක සමස්ත ධීවර ප්‍රජාවටම කරපු අගෞරවයක්.

    "මම මැදිහත් උනේ නැත්නම් , ඒ නිළධාරිනියට ප්‍රදේශයේ ධීවර ජනතාව පහර දෙනවා " මේ රැස්වීමේ පොලිස් නිලධාරීනුත් වාඩිවෙලා ඉන්න ආකාරය විඩියෝ එකේ තියෙනව . එවැනි වාතාවරණයක් ආවා නම් ඇයි ඒ අය ක්‍රියාත්මක නොවුනෙ ? රජයේ නිලධාරියෙකුගේ රාජකාරි වලට භාධා කිරීම ගැන දැන් උනත් ඒ අය ගැන කටයුතු කරන්න පොලිසියට පුළුවන් වෙන්න ඕන.

    හැබැයි ඒ එක්කම මතක් කරගන්න ඕන, මහින්දගේ හොඳ ගෝලයො වෙන මර්වින් (හිටපු) , ජොන්ස්ටන්, ප්‍රසන්න (රණවීර) වගේ කෙනෙක් ගෙ රැස්වීමක මෙහෙම සිද්දියක් උනා නම්, ඒ නිලධාරිනිය ඔය විදියට බේරිලා යන්නේ නැති බව. ඒ අතින් නිශාන්තගෙ සෙට් එක අහිංසකයි.

    ReplyDelete
  2. මේ වගේ දේ තව තවත් අගය කරන එකත් මේ වගේ දේශපාලකයින්ට අනුව නීති වෙනස් නොකරන නිලධාරීන් දිරි ගන්වන එකත් සමාජ මාධ්‍යවල වගකීමක්. මොකද සියළු මාධ්‍ය තම තමන්ගේ න්‍යාය පත්‍ර වලට වැඩ කරන හින්ද මේ වගේ දේ එළියට එන්නෙ නැති නිසා.

    ReplyDelete
  3. අලියා තිරිසනෙක් වුණත් ඌට කරන කෙනෙහිලි අමතක නොකර හිතේ තියාගෙන ඉඳලා තමයිලු රිටර්න් එක දෙන්නේ. දේශපාලක තිරිසන්නු ඊට හපන්. දේවානි වෙනුවෙන් සමාජයෙන්ම ආරක්ෂක පවුරක් ඉදිවීමයි විය යුත්තේ.....

    ReplyDelete
  4. මීගමුව යනු ආර්‍ය ශීලයන් රක්ෂා නොකරන, මිත්‍යා දෘෂ්ඨි ගත්, ගැහැනුන් පවා මත්පැන් පානය කරන පට්ට සාටර් පලාතකි (මාකස් ප්‍රියන්ත නම් මහතකුගේ අප්‍රකට ලියවිල්ලකින් උපුටා ගන්නා ලදී).
    ඒ නිසා මීගමු වැසියන්ගෙන් එම නිලධාරිණියට අයුක්තක් විය හැකියි. ඇමතිවරයා තැත්තලේ එය වලක්වන්න විය හැකියි.

    ReplyDelete
  5. දේවානි හඬ නඟන කල
    යුක්තියම ඉල්ලා
    එදෙසම බැලුවෝය ජනයා
    තම දෑස් දල්වා

    ඒ අල්ලපනල්ලේ
    රතනටත් කොකා පෙන්නා
    දුන්නයි නගර සභාවක්
    සයින්දමරදු පුරයටත්
    අපේ මහරජානෝ

    යෝනක චන්දයද
    මේ ලෙස හිඟන්නේ
    කුවේට් බෙර පදයටද
    මේ හැටි නටන්නේ!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: