වෙබ් ලිපිනය:

Saturday, March 25, 2023

ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර


රජය ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර දිගටම කරගෙන යාමේ වැරැද්ද කුමක්ද කියලා කිහිප දෙනෙක්ම අහලා තිබෙනවා. රජය ව්‍යාපාර කිරීම ප්‍රශ්නයක් වෙන්නේ එම ව්‍යාපාර පාඩු ලබන නිසාම නෙමෙයි. 

රජය විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම හා විකිණීම යන සියල්ලම කිරීම සමාජවාදී ආර්ථික ක්‍රමයයි. ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ රජය විසින් වෙළඳපොළට මැදිහත්වීමක් කරන්නේ වෙළඳපොළට විසඳිය නොහැකි ප්‍රශ්න ඇත්නම් ඒවා විසඳීමට පමණයි.

ඉහත කී සමාජවාදී ආර්ථික ක්‍රමය අසාර්ථක බව මේ වන විට සමාජවාදී අදහස් දරන බොහෝ දෙනෙක් පවා පිළිගන්නා දෙයක් නිසා ඒ බව අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා, පැරණි සෝවියට් දේශයේ සිට කියුබාව හා උතුරු කොරියාව දක්වා ඓතිහාසික හා ජීවමාන නිදර්ශන ඕනෑ තරම් තිබෙනවා. වංචා, දූෂණ, හොරකම්, නිලධාරීවාදය, අලසකම, ඥාති සංග්‍රහය ආදිය මේ ක්‍රමයේ නෛසර්ගික ලක්ෂණ. මේවා ගැන ලාංකිකයින්ට අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. 

ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය බොහොමයක් සමාජවාදී ආර්ථික දැක්මක් ඇතුව හදපුවා. ඊට අමතරම පෞද්ගලික අංශය විසින් නොකරන දේවල් ලෙස හඳුනාගෙන කළ දේවල් මෙන්ම ජාතිකවාදී හා ආරක්ෂණවාදී පදනමකින් කරපු දේවලුත් තිබෙනවා. මේ අරමුණු එකට සම්බන්ධ වී ඇති නිසා ඉරි ගහලා වෙන් කරන්න අමාරුයි.

නිදහස ලබද්දී පෞද්ගලික අංශය හරහා හොඳින් ක්‍රියාත්මක වූ තෙල් කර්මාන්තය, වැවිලි කර්මාන්තය, බස් කර්මාන්තය ආදිය ජනසතු කෙරුණේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අනුවයි. නමුත් අන්තිමට ඉතිරි වුනේ වංචා, දූෂණ, හොරකම්, නිලධාරීවාදය, අලසකම, ඥාති සංග්‍රහය එක්ක පාඩු පමණයි. මේ ඇතැම් අංශ පසුව නිදහස් වුවත්, ලංකාවේ රජය තවමත් පෞද්ගලික අංශයට කළ හැකි බොහෝ දේ කරනවා. 

සෝවියට් පන්නයේ සමාජවාදී ආර්ථික ක්‍රමයක් දැන් තිබෙනවානම් තියෙන්නේ උතුරු කොරියාවේ පමණයි. අනෙකුත් බොහෝ සමාජවාදී රටවල් විසින් එක්කෝ සමාජවාදී ක්‍රමය එකවර අතහැර තිබෙනවා. නැත්නම් ක්‍රමයෙන් අත හරිමින් සිටිනවා. චීනය දෙවන ක්‍රමයට උදාහරණයක්. සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් (socialist market economy) ලෙස හඳුන්වන චීන ක්‍රමයේදී රජයේ (කොමියුනිස්ට් පක්ෂයේ) මධ්‍යගත සැලසුම හා අනුගත වන පරිදි වෙළඳපොළ ක්‍රමයෙන් නිදහස් කෙරෙමින් තිබෙනවා. ඒ එක්ක චීනයේ වේගයෙන්  බිලියනපතියන් බිහිවෙනවා. ඒ සමහර අයනම් හිටපු ගමන් අතුරුදහන් වෙනවා.

මෙයින් වෙනස්ව ධනවාදී රටකදී රජයක් වෙළඳපොළට මැදිහත් වෙන්නේ පෞද්ගලික අංශය විසින් නොකරන දේවල් කරන්න පමණයි. අනෙක් ගොඩක් දේවල් කරන්නේ ලාබ ලැබීම අරමුණු කරගත් පෞද්ගලික ව්‍යවසාය විසින්. ඒ අතර ආදායම් විෂමතා අඩු කිරීම වැනි සමාජවාදී අරමුණු, වෙනත් ජාතික අභිලාශ ආදිය වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීම් සිදු වෙනවා. 

කිසියම් ව්‍යාපාරයක් කිරීමෙන් ලාබ ලැබිය හැකිනම් පෞද්ගලික ව්‍යවසායකයෙක් බොහෝ විට වැඩේට අත ගහනවා. එහෙම නොකළොත් අවදානම වැඩිකම, විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම වැනි හේතු නිසා පමණයි. ඒ කියන්නේ, ධනවාදී ක්‍රමයක් ඇතුළේ රජයකට ව්‍යාපාර කරලා ලාබ ලබන්න අමාරුයි කියන එක. මොකද එහෙම පුළුවන්කමක් තිබෙනවානම් රජය ඒ වැඩේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා, රාජ්‍ය ව්‍යවසාය පාඩු ලැබීම ඒ නිසාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

රාජ්‍ය ව්‍යවසායයක් අනිවාර්යයෙන්ම පාඩු ලැබිය යුතුයි කියන එක මෙයින් අදහස් වන්නේ නැහැ. ආර්ථික ලාබ නැතත් රාජ්‍ය ව්‍යවසායක් ගිණුම්කරණ ලාබ ලබන්න පුළුවන්. ආර්ථික ලාබ නැතුව ගිණුම්කරණ ලාබ තිබුණු පමණින් පෞද්ගලික අංශය ව්‍යාපාරයකට අත ගහන්නේ නැහැ. නමුත් රජයකට එවැනි ව්‍යාපාර පවත්වා ගෙන යන්න පුළුවන්. ඒ වගේම, ලාබ නොලබන පදනමකින්, එහෙත් පාඩු නැතිව, ව්‍යාපාර පවත්වාගෙන යන්නත් පුළුවන්. මෙහිදී ගිණුම්කරණ පාඩුවක් නැතත්, ආර්ථික පාඩුවක් වෙනවා. මෙයිනුත් ඔබ්බට ගිහින් ගිණුම්කරණ පාඩු එක්කම වුනත් ආයතනයක් පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම කරන එකේ ඒ හේතුව නිසාම වැරැද්දක් නැහැ.

පෞද්ගලික අංශය විසින් නොකරන, ආර්ථික ලාබ නැති කටයුත්තකට රජය අත ගහද්දී එසේ කිරීමේ පිරිවැය පැහැදිලිව හඳුනාගත යුතුයි. මොකද එම පිරිවැය දරන්න වෙන්නේ බදු ගෙවන්නන්ටයි. ගිණුම්කරණ පාඩු ඇත්නම් මේ පිරිවැය වහාම දරන්න වෙනවා. ගිණුම්කරණ පාඩු නැතුව ආර්ථික පාඩු පමණක් ඇත්නම්, යම් කාලයක් ලැබෙන නමුත්, අවසානයේදී බදු ගෙවන්නට පිරිවැය දරන්න වෙනවා. ඒ නිසා, රජය විසින් යම් වැඩකට බදු මුදල් යොදවද්දී එයින් ආර්ථික ලාබ නැත්නම් ඒ වෙනුවට ලැබෙන ආර්ථික නොවන වාසි මොනවද කියන එක පැහැදිලි ලෙස බදු ගෙවන්නන්ට දැනුම් දිය යුතුයි.

කොහොම වුනත් පෞද්ගලික අංශයට කරලා ලාබ ගන්න පුළුවන් දෙයක් රජය විසින් කරමින් පාඩු ලබනවානම් එය විශාල ප්‍රශ්නයක්. පාඩු නොලබන නමුත් ප්‍රමාණවත් ලාබ නොලබනවානම් ඒකත් ප්‍රශ්නයක්. ප්‍රමාණවත් ලාබ ලබනවාම වුනත් තරඟ තීරකයා වන නියාමකයා තරඟකරුවෙකුද වූ විට එහි පැහැදිලි බැඳියා පිළිගැටුමක් තිබෙනවා. 

බැංකු, රක්ෂණ, හෝටල්, විදුලි සංදේශ, ජනමාධ්‍ය වගේ අංශ දැනටත් පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් ලංකාව තුළ හොඳින් ක්‍රියාත්මක වෙනවා. නියාමනය කරනවා හැරෙන්න රජයට මැදිහත් වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මෙම අංශ වල පෞද්ගලික ව්‍යවසායකයින් ආකර්ශනය වන තරමේ ලාබයක් වගේම ප්‍රමාණවත් තරඟයකුත් තිබෙනවා. 

කාලයකට පෙර ලංකාවේ විදුලි සංදේශ සේවාවන් සැපයුණේ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඒකාධිකාරය යටතේ. පසුව විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සංස්ථාවක් වී ඉන්පසුව සමාගමක් වුනා. ශ්‍රී ලංකා ටෙලිකොම් ලෙස නම වෙනස් වුනා. දැන් මෙය කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක්. 

කෙසේ වුවත්, තවමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 49.5%ක කොටස් අයිතියක් මහා භාණ්ඩාගාරයට තිබෙනවා. ඒ හරහා, රජයට, විශේෂයෙන්ම පවතින ආණ්ඩුවට, මෙම ආයතනයට බලපෑම් කළ හැකියි. උදාහරණයක් ලෙස කලකට පෙර මෙම ආයතනයේ සභාපති සේ පත් කෙරුණේ එවකට හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයා. රජය ව්‍යාපාර කරද්දී ඔය වගේ දේවල් වෙනවා. මේවා අදාළ පුද්ගලයින්ගේ ප්‍රශ්න වුනත්, පුද්ගලයින්ට මේ වගේ දේවල් කළ හැකි වන්නේ ක්‍රමය තුළයි. 

ස්ථිර සම්බන්ධතා දුරකථන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් අයිතිය නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ආරම්භයේදී අනෙක් තරඟකරුවන්ට නැති වාසියක් තිබුණා. නමුත් මෙම වෙළඳපොළ මිය යමින් තිබෙන වෙළඳපොළක්. තමන්ගේ සම්ප්‍රදායික වෙළඳපොළ අහිමි වෙද්දී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සාර්ථක ලෙස ජංගම දුරකථන හා දත්ත සේවා සැපයුම් වෙළඳපොළට පිවිසුනා. මෙම ආයතනය පාඩු ලබන ආයතනයක් නෙමෙයි. සාමාන්‍යයෙන් හැම වසරකදීම ලාබ ලබනවා. 

ආයතනයක ලාබ පරීක්ෂාවට ලක් කළ හැක්කේ යොදවා ඇති කොටස් ප්‍රාග්ධනයට සාපේක්ෂවයි. මෙය ප්‍රතිලාභ අනුපාතය ලෙස හැඳින්වෙනවා. පහත තිබෙන්නේ 2012-2021 අතර වසර දහයක කාලය තුළ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රතිලාභ අනුපාතයි. 

2012- 7.00%

2013- 9.06%

2014- 9.39%

2015- 5.71%

2016- 6.97%

2017- 5.52%

2018- 6.71%

2019- 8.09%

2020- 9.35%

2021- 12.94%

වසර දහයක සාමාන්‍ය අගය 8.1%ක්. ආසන්න වසර පහේ සාමාන්‍ය අගය 8.5%ක්. රටේ සාමාන්‍ය උද්ධමනය 5% ලෙස සැලකුවොත් මූර්ත ප්‍රතිලාභය 3%කට ආසන්නයි. මෙය ප්‍රමාණවත් වුවත් ආකර්ශනීය ප්‍රතිලාභ අනුපාතයක් නෙමෙයි.

අදාළ වකවානු තුළ ඇමරිකාවේ කොටස් වෙළඳපොළ ආයෝජන වල සාමාන්‍ය ප්‍රතිලාභ 14.83% (2012-2021) හා 17.04 (2017-2021) වූ බවත්, ඇමරිකාවේ සාමාන්‍ය උද්ධමනය පවත්වා ගන්නේ 2% මට්ටමේ බවත් සැලකූ විට මෙම ප්‍රතිලාභ අනුපාතිකය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම්හි තරඟකරුවෙකු වන ඩයලොග් සමාගමේ ප්‍රතිලාභ අනුපාතික පහත තිබෙනවා. එම අගයන්හි සාමාන්‍යය 15.04%ක්. 

2017- 17.8%

2018- 11.2%

2019- 14.2%

2020- 14.2%

2021- 17.8%

කොටස් ආයෝජනයක් සැලකෙන්නේ දිගුකාලීනම බැඳුම්කරයකටද වඩා දිගුකාලීන ආයෝජනයක් ලෙසයි. ශ්‍රී ලංකා රජයට 8% පොලියට දිගුකාලීනව අරමුදල් ලබා ගැනීම කළ නොහැක්කක් නොවුනත් ඉතා අසීරු දෙයක්. විශේෂයන්ම මේ අවස්ථාවේදී එය කළ නොහැකියි. දිගුකාලීන පොලී අනුපාතික 15% මට්ටම දක්වා අඩු වනු ඇතැයි සිතුවත්, 15%කට ණයට ගෙන 8% පොලියට ආයෝජනය කිරීම මෝඩ වැඩක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. 

ඊටත් අමතරව මෙහි ද්‍රවශීලතා ප්‍රශ්නයක් තිබෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම්හි ලාභ සියල්ල කොටස්හිමියන් අතර බෙදා හරින්නේ නැහැ. එයින් වැඩි කොටසක් නැවත එම සමාගම තුළම ආයෝජනය කෙරෙනවා. කොටස්හිමියන්ට ලැබෙන්නේ ආසන්න වශයෙන් ලාබයෙන් තුනෙන් එකක් පමණ.

වසරකට 8%ක පමණ ප්‍රතිලාභ ලැබෙන නිසා ශ්‍රී ලංකා ටෙලිකොම් තුළ මුදල් ආයෝජනය කිරීමෙන් බදු ගෙවන්නන්ට පාඩුවක් නොවන බව අපි හිතමු. මෙම ප්‍රකාශය සත්‍ය වන්නේ ආයෝජනය කරන්නට තරම් ප්‍රමාණවත් අතිරික්ත වත්කම් රජය සතුව ඇත්නම් පමණයි. රජයකට බදු මුදල් සියල්ල වැය නොකර කොටසක් ඉතිරි කර ගැනීම මගින් එවැනි වත්කම් හදාගන්න පුළුවන්. 

සිංගප්පූරුව වැනි රටවල රජයයන් බදු මුදල් ඉතිරි කර ගැනීම මගින් එවැනි වත්කම් හදාගෙන තිබෙනවා. ඒ වත්කම් ආයෝජනය කර තිබෙනවා. නිදහස ලැබෙන තුරු ලංකාවේ තිබුණේත් එවැනි ක්‍රමයක්. ජාතික සමාජවාදී ප්‍රතිපත්ති නිසා ක්‍රමයෙන් විනාශ වී ගියේ එසේ වැය නොකළ බදු ආදායම් ලෙස එකතු කරගත් ධනයයි. 

නමුත් දැන් ලංකාව නහයටත් උඩින් ණය වී ණය පැහැර හැර ඇති රටක්. ශ්‍රී ලංකා රජය සතු කවර හෝ වත්කම් ඇත්නම් එම වත්කම් දැනටමත් ණය හිමියන්ට අයිති වී අවසානයි. තිබෙන වත්කමක් මුදල් කර ණය ගෙවනු හැර මුදල් හිර කර තැබීමේ හැකියාවක් මේ වෙලාවේ ශ්‍රී ලංකා රජයට නැහැ. 

12 comments:

  1. පාඩු නැතත් ටෙලිකොම් ආයතනයෙ වැඩ
    කෙරෙන විදිහ දැන් දැන් පිරිහෙනා හැඩ
    තිබෙයි, නොගත්තොත් හනිකට ඒව මැඩ
    යනවා නියතමයි ටෙලිකොම් කොටන් උඩ!

    ReplyDelete
  2. මම අහලා තියන විදිහට සිංගප්පූරුවේ බහුල වශයෙන් ක්‍රියාත්මක වන්නේ ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය.මෙය ඇත්තක්ද?මෙය ඇත්තක් නම් ඉහත තර්ක අභියෝගයට ලක් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. //සිංගප්පූරුව වැනි රටවල රජයයන් බදු මුදල් ඉතිරි කර ගැනීම මගින් එවැනි වත්කම් හදාගෙන තිබෙනවා. ඒ වත්කම් ආයෝජනය කර තිබෙනවා.//

      Delete
    2. මාගේ ගැටලුව එය ඔවුන් කළ ආකාරය ගැන නොවේ.රාජ්‍ය ව්‍යවසාය ඉතා සාර්ථකව සිංගප්පූරුව තුල ක්‍රියාත්මක විම සහ රාජ්‍ය වාවසාය ඉතා අසාර්ථක ක්‍රමයක් ය යන තර්කයේ ප්‍රති විරෝධතාවය ගැනයි.

      Delete
    3. පළමුව, රාජ්‍ය ව්‍යවසාය අසාර්ථක ක්‍රමයක් කියා කියන එකෙන් හැම තනි රාජ්‍ය ව්‍යවසායයක්ම හැම විටම අසාර්ථකයි කියන එක අදහස් වෙන්නේ නැහැ. දුම්බීමෙන් පිළිකා හැදෙනවා කිවුවත් දුම්බොන සියල්ලන්ටම පිළිකා හැදෙන්නේ නැහැ වගේ. දෙවනුව, සිංගප්පූරුවේ රාජ්‍ය ව්‍යවසාය වුනත් ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලික සමාගම් ආකෘතියේ. බොහෝ විට රජයට අමතරව දේශීය හා විදේශීය කොටස් හිමියන් ඉන්නවා. රජය කියා කිවුවත් රජයට අයිති ආයෝජන සමාගමක් හරහා ගොඩක් දේවල් වෙන්නේ. එම සමාගම හරහා අයවැය අතිරික්තය කොටස් ආයෝජන බවට පත් වීමයි වෙන්නේ.

      Delete
    4. ඒ කියන්නේ සිදුකරන ලද ආකෘතිමය වෙනසක් තුලින් ඉතා කාර්යක්ෂම හොඳින් ලාභ ලබන රාජ්‍ය වාවසායන් නිර්මාණය කර ගත් රටවල් තිබෙන බවයි.

      Delete
    5. ඔව්. සිංගප්පූරුව මේ සඳහා තිබෙන හොඳම උදාහරණයයි. රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂම වීම සඳහා අවශ්‍ය පළමු පූර්ව කොන්දේසිය ව්‍යවසාය නොවන රජයේ අනෙකුත් කටයුතු කාර්යක්ෂම ලෙස සිදු කර බදු ආදායමට වඩා අඩුවෙන් වියදම් කිරීම මගින් අතිරික්ත ප්‍රාග්ධනයක් එක්රැස් කර ගැනීමයි. වෙන විදිහකින් කිවුවොත් රටේ ආදායමට හා ආනයන පරිමාවට සාපේක්ෂ විශාල සංචිත ප්‍රමාණයක් එක්රැස් කර ගැනීම. එවිට මුදල් තමන්ගේ බැවින් පෞද්ගලික අංශය මෙන්ම අවදානමක් ගෙන එම මුදල් ආයෝජනය කර ලාබ ලැබිය හැකියි. සිංගප්පූරුව සතුව එවැනි විශාල ඉතිරි කරගත් බදු මුදල් ප්‍රමාණයක් තිබෙනවා. වසරෙන් වසර එම සංචිතයට තවත් බදු මුදල් එකතු වෙනවා. වත්මන් සිංගප්පූරුව තරමටම නොවුණත් නිදහස ලබන විට ලංකාවේ රජය සතුවත් මෙවැනි සංචිත තිබුණා. සමාජවාදී හා ජාතිකවාදී ප්‍රතිපත්ති නිසා වසර 15ක් යද්දී එම සංචිත අවසන් වී රට හිඟමනට වැටුණා. එතැන් සිට තවම කරන්නේ අලුත් ණය වලින් පරණ ණය ගෙවන එක. ඊට අමතරව තව තව ණය වීම. ණයට සල්ලි අරගෙන ආයෝජනය කර ලාබ ගන්න අමාරුයි. එහෙම පුළුවන්නම් ලංකාවේ රජයට ණය දෙනවා වෙනුවට ණය දෙන අයම එම ආයෝජනය කරනවා.

      සමස්තයක් ලෙස පෞද්ගලික ආයතන කාර්යක්ෂම වෙන්න ප්‍රධානම හේතුව පාඩු ලබන ආයතන වැසී යාම. එවිට ඉතිරි වන්නේ ලාබ ලබන හා ලාබ ලැබිය හැකි ආයතන පමණයි (මෙහි ලාබ කියන්නේ ආර්ථික ලාබ- ගිණුම්කරණ ලාබ නෙමෙයි). එහෙම නැතුව තනිව ගත් විට පෞද්ගලික ආයතන සියල්ලම හැම විටම කාර්යක්ෂම බව නෙමෙයි. රාජ්‍ය අංශයේ වගේම අකාර්යක්ෂම ඒවා ඕනෑ තරම් තියෙනවා. නමුත් ලාබ නැතිව ඒවා දිගටම පවත්වාගෙන යන්න බැරි නිසා ස්වභාවික ලෙසම වැසී යනවා. ස්වභාවික ලෙසම කියා කිවුවත් ලාබ නැති හෝ ලාබ මදි නිසා කොටස් හිමියන් විසින් වසා දමනවා. එවිට ඉතිරි වන්නේ වඩා කාර්යක්ෂම ඒවා පමණයි.

      ලංකාවේ රජය වැනි රජයක් බොහෝ විට මෙය කරන්නේ නැහැ. පාඩු ලබන ආයතනද බදු මුදල් යොදවමින් නඩත්තු කරනවා. මෙහි උපකල්පනය එම ආයතන කවදා හෝ ලාබ ලබන ආයතන වනු ඇති බවයි. නමුත් ප්‍රායෝගිකව කවදාවත් ඒක එහෙම වෙන්නේ නැහැ.

      සිංගප්පූරු රජය එසේ කරන්නේ නැහැ. පාඩු ලබන ආයතන නොපැකිළ අතහැර දමනවා. වෙනත් විදිහකින් කිවුවොත් රාජ්‍ය ආයතන නිරන්තරයෙන් ප්‍රතිව්‍යුහගත කරනවා. ඒ වගේම පවත්වා ගෙන යන්න විශේෂ හේතුවක් නැති පාඩු ලබන ආයතන ක්‍රමිකව පෞද්ගලීකරණය කරනවා. පාඩු නොලබන ආයතන වුවත් තවදුරටත් රජය විසින් කරගෙන යාම අනවශ්‍යනම්, පෞද්ගලික අංශයට කළ හැකිනම්, එයින් ඉවත් වෙනවා. ඒ නිසා සිංගප්පූරුවේ රාජ්‍ය ආයතන එක්කෝ ලාබ ලබනවා. එසේ නැත්නම් මුදල් නොවන වෙනත් සමාජ ප්‍රතිලාභයක් වෙනුවෙන් පවත්වා ගෙන යනවා. සිංගප්පූරුවේ රාජ්‍ය ආයතන වලට වෙනම නීති නැහැ. එම ආයතන වලට බලපාන්නෙත් සමාගම් නීතියයි. ඒවා පාලනය කරන වෘත්තිකයින්ට පෞද්ගලික අංශය හා සමානවම වැටුප් හා ප්‍රතිලාභ ගෙවනවා. පොඩි රටක් වන සිංගප්පූරුවේ රජය කටයුතු කරන්නෙත් සමාගමක් ලෙසයි. එම සමාගම් වල විදේශිකයින්ටද සේවය කළ හැකියි. ඒ වගේම විදේශිකයින්ට ආයෝජනයද කළ හැකියි. එහෙම නැතුව ආරක්ෂණවාදයක උදවුවෙන් ලාබ ගන්නවා නෙමෙයි. තරඟ කරන්නෙත් ලෝක වෙළඳපොළේ මිසක් රට ඇතුළේ නෙමෙයි.

      සිංගප්පූරුව වැනි රටක ලාබ ලබන ආයතනද රජය විසින් පවත්වාගෙන යන්නේ අවදානම වැඩි නිසා පෞද්ගලික අංශය අත ගහන්න මැලි වන තත්ත්වයන් යටතේ. ලාබ ලැබිය හැකි වුවත් ඒ වෙනුවෙන් රජයකට තරම් අවදානමක් පෞද්ගලික අංශයට ගන්න අමාරු අවස්ථා තිබෙනවා. ඇමරිකාවේ වුවත් එවැනි තත්ත්වයන් තිබෙනවා. මොඩර්නා එන්නත වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකාවේ රජය මැදිහත් වූ ආකාරය උදාහරණයක්. ඇමරිකාවට සාපේක්ෂව, සිංගප්පූරුව වැනි පොඩි රටක මෙම අවශ්‍යතාවය වඩා වැඩියි.

      වැඩි විස්තර අවශ්‍යනම් සිංගප්පූරු ක්‍රමය වෙනුවෙන් පෙනී සිටින අයෙකුගේ පහත ප්‍රකාශනය කියවන්න.

      "In Singapore, the state acts as an entrepreneur. The management of state-owned enterprises is based on the principles of the market and effectiveness. Loss-making enterprises are not saved but closed."

      "...Singaporean state capitalist sector is always restructuring. The government decided to partially or wholly privatize companies not only because they were loss-making entities, but also if the participation of the state was no longer needed in a specific sector."

      A Successful Model of State Capitalism: Singapore - Katalin Völgyi

      https://www.jstor.org/stable/10.7829/j.ctv138wqt7.13?seq=3

      Delete
    6. හොඳ සංවාදයක් ඉකොනො නමුත් මේ නිව්ස් එක ගැන ඔබ හිතන්නේ මොකක් ද?

      //ලංකාවට පිටරටින් ඉන්ධන ආනයනය හා විකිණීමට සිපෙට්කෝ සහ අයිඕසී සමාගම් වලට අමතරව තවත් තවත් විදෙස් සමාගම් තුනකට ජනාධිපති රනිල්ගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබ දී තිබේ.
      විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ චීනයේ සිනොපෙක්, අමෙරිකානු ආර්.එම්. පාක්ස්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම් සදහා මෙම අවසරය හිමිව ඇති බවයි. මෙය පසුගිය නන්දසේන රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී ගත් තීරණයක් නමුත් හිටපු බලශක්ති ඇමති ගම්මන්පිල සහ වීරවංශ ඇතුළු නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් සහ නිදහස් සේවක සංගමය ප්‍රධාන සියලුම වෘත්තීය සමිති වල දැඩි විරෝධය නිසා කල් ගිය නමුත් දැන් ජනතාවගේ දැඩි විරෝධය නොතකා ක්‍රියාත්මක වන බව මාධ්‍ය වාර්තා කරයි.

      දැනට ඛනිජ තෙල් සංස්ථාව පවත්වාගෙන යන ඉන්ධන පිරවුම්හල් 450 ක් මේවාට ලබාදෙන අතර කොෆී ෂොප්, ඩ්‍රයිව් වේ, නව සුපිරි වෙළඳසල් ඇතුළු සියලුම පහසුකම් සහිත විශාල ප්‍රමාණයේ නව ඉන්ධන පිරවුම්හල 50 ක් ද ස්ථාපිත කිරීමට නියමිත බවත් ඔහු පැවසීය.

      මෙයට දැඩි ලෙස විරෝධය පළ කරමින් රනිල් සහ රාජපක්ෂ හවුල් රජය ලංකා කණිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමට එරෙහිව තෙල් සංස්ථා වෘත්තීය සමිති විසින් දීප ව්‍යාප්තව පවත්වාගෙන යාමට දැවැන්ත සත්‍යග‍්‍රහයක් ආරම්භ කර ඇත. රජය වහාම මෙය නවතා දැමීමට තීරණය නොකළොත් නම් ජීවිත පරිත්‍යාගයෙන් රට පුරාම මාරාන්තික උපවාස මාලාවක් ආරම්භ කරව බවද වෘත්තීය සංගම් ඉතා දැඩි ස්වරයෙන් කියා සිටී. මේ නිසා ඉදිරි මාස කිහිපයේදී ලංකාවේ තත්ත්වය ඉතාම භයානක තත්වයක් බවයි පැවසෙන්නේ.//

      ලංකාවේ ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාර සමග මම හිතන්නේ මේ කියන දේවල් කරන්න අමාරුයි වගේ නේද පේන්නේ?

      Delete
    7. අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. හොඳ තීරණයක්. නමුත් කොයි තරම් හොඳ තීරණයක් වුවත් ගත යුත්තේ මහජන අනුමැතිය ඇතිවයි. හොඳ නරක තනි පුද්ගලයෙක්ට තීරණය කරන්න බැහැ. බහුතරය ඉන්නේ විනාශකාරී මතයක් එක්කනම් එය ඔවුන්ට පැහැදිලි කර දිය යුතුයි. එසේ පැහැදිලි කිරීමෙන් පසුවද ජනමතය වෙනස් නොවේනම් ඔවුන්ට අවශ්‍ය දෙය සිදුවිය යුතුයි.

      Delete
  3. ආන්ඩුවට සල්ලි නැති නිසා (සබෑවටම) ලාබ ලබන ආයතනයක් විකුනලා එකපාරක් විතරක් ලැබෙන සල්ලි ටිකෙන් කරන්න පුකුවන් දෙයක් තියෙනවද? මේ වගෙ අවස්තාවක ලාබය වැඩි කරගන්න ක්‍රියාමර්ග ගැනීම රජයට අර්බුදයෙන් ගොඩයන්න වඩා පලදායී නැද්ද

    ReplyDelete
    Replies
    1. //මේ වගෙ අවස්තාවක ලාබය වැඩි කරගන්න ක්‍රියාමර්ග ගැනීම රජයට අර්බුදයෙන් ගොඩයන්න වඩා පලදායී නැද්ද//

      ඕනෑම ආයතනයක් ලාබ වැඩි කරගැනීම සඳහා කළ හැකි දේ කරනවනේ. පසුගිය අවුරුදු ගණනාවක ගිණුම් වාර්තා බැලුවහම, ආණ්ඩු වෙනස් වෙවී යද්දී, ලැබෙන ලාබ යන්නේ කිට්ටුවෙන්නම් දැන් එක පාරට මැජික් එකකින් ලාබ වැඩි කරන්න බැහැනේ.

      Delete
    2. @ ලංකා

      ඔය රජයේ තෝරාගත් වැදගත් ආයතන විදේශ ආයෝජකයන්ට විකුණලා දාන්න කියලා කියන්නේත් අයි එම් එෆ් ණය උගුල වගේම තවත් උගුලක්, ඔබට අවශ්‍ය නම් ලංකාවේ 1980 ගණන් වල මුල පටන් පෞද්ගලික අංශයට විකුණලා දාපු රජයේ කම්හල් කර්මාන්ත සේවා ආයතන වලට වෙලා තියෙන්නේ මොකද කියලා හොයල බලන්න. ගොඩක් ඒවා ඒවාසතු වත්කම් වලටත් වඩා ඉතාමත් නොවටිනා ගණන් වලට විකුණලා එම වත්කම් විකුණලා ආයතන වසා දැමුණු අතර පෞද්ගලික අංශයට විවෘත වුණ ගමනාගමනය, පෞද්ගලික සෞඛ්‍ය අධ්‍යාපන වෙනත් සේවා වලත් හරිහමන් දියුණුවක් නෑ ටෙලිකොම් ක්ෂේත්‍රය වුණත් සාපේක්ෂව ඉන්දියාවේ තත්ත්වයට වඩා මදි.

      ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වගේ ආයතන ලංකා හොස්පිට්ල් වගේ ඒවා නැවත රජයට අත්පත් කරගෙන තියෙනවා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම එමිරේට්ස් යටතේ හැකිලීමට ලක් කර එහි වත්කම් වු ගුවන් යානා රාශියක් විකුණලා බොරු බයිලා ලාබයක් පෙන්වා ඒ වෙනුවට එම ලාභදායී රූට් වලට එමිරේට්ස් ගුවන් යානා දාගෙන ඒක හැදුනා, කලාපයේ සහ ලොව පුරාම නමක් තිබුණූ එයා ලංකා එක නැතිකරලා ශ්‍රී ලංකන් කියලා නමක් දාලා මාකට් එක හැකුළුවා, 2008 එමිරේට්ස් එක තවදුරටත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එක එපා කියලා මගැරියා, නමුත් ලංකාවේ කටකතාවක් ගියේ නාකි මයින කියන ගස් බල්ලා ඒක බලෙන් අත්පත් කරගත්තා කියලා, වුණේ නාකි මයින කුලප්පු වෙලා කොහොමත් ආපහු බාරදෙන එකේ හෑන්ඩ් ඕවර් ඩේට් එක ඉක්මනින් කරපු එක සහ කොහොමත් යන්න හිටපු සීරීඕව ටිකක් කලින් රිලීස් කරපු එක

      📌පාස්කු ප්‍ර්හාරය අමතකයි නේද?
      📌මොනාද ලංකාවට හා ලෝකයෙ
      වෙන්නෙ 🚨🚨🚨👁👇

      📌චීන්නුන්ගෙ ආසියානු මැදිහත්වීමයි චීන්නුන්ගෙ ලෝකෙ මැදිහත්වීමයි නවත්වන්නයි චීන්නුන්ව ආර්ථිකය වශයෙන් විනාශ කරන්නයි චීන්නුන්ගෙ(Belt and Road) (Silk route) වගෙ දාලා තිබෙන ව්‍යාප්ති ටිකයි කඩාකප්පල් කරන්න ඔය රටවල්වල් ටික බංකොලොත් කරන්න ඕනද? සමහර උදවියට? දෙනට ලංකාව බංකොලොත් කරා එතුලට රිංගුවා ඉදිරියට බංකොලොත් කරන්න තිබෙන රටවල් ආසියාවේ පලමුව පකිස්තානය(Imran khan නිලයෙන් පහත්කිරීම)දෙවනුව නේපාලය...අෆ්‍රිකාවෙ ඉතියෝපියා නමීබියා සාම්බියා වගෙ තවත් රටවල්...

      📌ජපානයට කරා වගේම චීන්නුන්ගෙ දියුණුව දරාගන්න බැරුව කුහකකමින් ඔන්න චීන්නු නුඹලාගෙ රට අල්ලනවා debt trap කියාගෙන ලෝකෙටම මවා පෙන්නුවා ඔහුන්ගෙ මාද්‍යවලින් හා ඔහුන්ට අයිති Youtube කාරයන් ටිකක් යොදාගෙන හරියට(MCC තිස්සයි කටු ඇනිච්ච නංගියි කැලණි නයයි කරා වගෙ)👁🎭

      📌IMF කියන්නෙත් සමහර උදවියගෙ debt trap එකක් ඉදිරියට තේරුම් ගන්න පුලුවන් වේවි මොනාද මෙ වෙන්නෙ කියලා අපෙ රටතුළ👁🎭

      📌චීන්නුන්ට එරෙහිව පලමු වෙඩිමුරය පත්තු කරෙ ලංකාවෙන් එය තමා පාස්කු ප්‍ර්හාරය අපෙ අහිංසක අසරණ ජීවිත ටික විනාශ කිරීම අපෙ රජයෙ අනුග්‍රහයෙන් මම කියන දේවල් ආපස්සට ගිහිං සොයා බලපල්ලා ගැඹුරෙන් තේරුම් ගනීවි ගොඩක්ම දේවල් රටතුළ වෙන😔

      📌මට මුන් 🇺🇸🇨🇳දෙගොල්ලගෙන්ම වැඩක් නැහැ මුහුදෙ ඕනතරම් ඉඩකඩ තිබෙනවා කාලකණ්ණියන්ට මරාගෙන මැරිලා යන්ඩ නමුත් මට තිබෙනවා වෛරයක් කෝපයක් මගෙ ආදරණිය අහිංසක අසරණයන් ටික මරා දෙමුවා ඔහුන්ගෙ ආර්ථික යුද්ධයට😔

      🛑Script එක👁🎭
      📌පාස්කු ප්‍ර්හාරය💥
      📌සුලයිමානි ඝාතනය💥
      📌කොරෝනා වයිරසය🇺🇸🕵️
      📌රුසියානු උක්‍රේන යුද්ධය💥

      📌උන් හොරාගෙන කාපු උන්ගෙ වැරැදි ප්‍ර්තිපත්තිවලින් විනාශ කරපු රට උන්ටික බේරිලා අහිංසක අපෙන්ම බදු(Tax)කියන නමින් සූරාගෙන කාලා ඉදිරියට යන්න බලනවා මුන්ට එරෙහිව සටන්කරපල්ලා මුන් නුඹලාගෙ රට කෑලි කෑලිවලට විකුණනවා🛑

      📌අපෙ රටතුළ මෙ ක්‍රියාත්මක වෙන්නෙ සමහර උදවියගෙ කුමන්ත්‍රණයක් පරිස්සමෙන් මුන් ඔක්කොම නුඹලාව මෙ ගොනාට අන්දවමින් කරගෙන යන්නෙ උන්ගෙ කොන්ත්‍රාත්තුව🛑

      Geopolitics 👁🎭
      Trade war 🇺🇸 🇨🇳👁🎭👎

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: