වෙබ් ලිපිනය:

Friday, March 31, 2023

හැංකී යන උද්ධමනය සහ දේශීය ණය


මේ වන විට ස්ටීව් හැන්කිගේ උද්ධමන පුවරුවේ ලංකාව නැහැ. ඔහුගේ උද්ධමන පුවරුවට රටක් ඇතුළු වන්නේ උද්ධමනය අවම වශයෙන් 25% මට්ටම ඉක්මවන්නේනම් පමණයි. පසුගිය කාලයේ බොහෝ දෙනෙකු විසින් "මහ පොළොවේ උද්ධමනය" ලෙස හඳුනාගත්තේ ස්ටීව් හැන්කිගේ උද්ධමනයයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ නිල උද්ධමනය මාර්තු මාසයේදීද අඩු වී ඇතත් ඒ ඉතා සුළු අඩුවීමක්. පෙබරවාරි මාසයේදී 50.6% මට්ටමේ තිබුණු උද්ධමනය මාර්තු මාසයේදීද 50.3% මට්ටමේ තිබෙනවා. 

විදුලි ගාස්තු වල පෙර නොවූ වීරූ ඉහළ යාම නොවන්නට මාර්තු මාසය තුළ උද්ධමනය මීට වඩා අඩු විය හැකිව තිබුණා. උද්ධමනය ගණනය කිරීම සඳහා යොදා ගන්නා භාණ්ඩ පැසෙහි මිල විදුලි ගාස්තු ඉහළ යාම නිසා පමණක් මාසය තුළ රුපියල් 6133.31කින් ඉහළ ගොස් තිබෙනවා. එහෙත් අනෙකුත් මිල ගණන් බොහොමයක මිල අඩුවීමක් සිදුව ඇති බැවින් සමස්ත මිල ඉහළ යාම රුපියල් 5086.06ක් පමණයි. විශේෂයෙන්ම ආහාර පැසෙහි මිල රුපියල් 1371.07කින් පහළ ගොස් තිබෙනවා. 

ස්ටීව් හැන්කිගේ උද්ධමන දර්ශකය උද්ධමනය මනින නිවැරදිම හා සම්මත ක්‍රමයක් නොවන බවත්, එයින් පෙන්වන උද්ධමනය මෙම මාර්තු මාසයේදී විශාල ලෙස අඩුවන බවත් අප විසින් පෙන්වා දී තිබෙන්නේ මේ ගැන කතාබහක් ඇති වූ මුල් කාලයේදීමයි. වසරකට පමණ පසුව දැන් ඒ බව තහවුරු වී තිබෙනවා. කෙසේ වුවත්, මෙම අධි-සංවේදී උද්ධමන දර්ශකය නිල උද්ධමනයට කලින් උද්ධමනයට "වෙන්න තිබෙන දේ" පිළිබඳව පෙන්වන දර්ශකයක් සේ සැලකිය හැකියි.

අපේ පුරෝකථන අනුව ඉදිරි මාස තුන තුළ මසකට 10% පමණ බැගින්වත් උද්ධමනය පහත වැටෙනු ඇති අතර අප්‍රේල් මාසයේදී 40%ට වඩා අඩු මට්ටමකටත්, මැයි මාසයේදී 30%න් පහළටත්, ජූනි මාසයේදී 15-20% අතර මට්ට්මකටත් උද්ධමනය පහත වැටීමට නියමිතයි.

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව පැවති සැක සංකාවන්ද මේ වන විට මුළුමනින්ම මෙන් දුරු වී තිබෙනවා. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හැර භාණ්ඩාගාර බිල්පත් කිසිවක් ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ නැහැ. සේවක අර්ථසාධක අරමුදල සහ බැංකු වැනි විශාල ආයෝජකයින්ට ස්ව කැමැත්තෙන් ඔවුන්ගේ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රති-ආයෝජනය කිරීමක් කළ හැකි අතර, ඒ අනුව බලහත්කාර ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වීමේ ඉඩක් නැහැ. 

ඉතා කෙටිකලක් තුළ පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම නිසා රාජ්‍ය සුරැකුම්පත් ආයෝජකයින්ගේ ගිණුම් වල "සිදු විය හැකි අලාභ (unrealized losses)" එකතු වී තිබුණා. පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටෙද්දී මේ තත්ත්වය ආපිට හැරී මෙම සිදු විය හැකි අලාභ "සිදු විය හැකි ලාභ (unrealized gains)" බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් බැංකු ඇතුළු සුරැකුම්පත් ආයෝජකයින්ගේ ලාභ අපේක්ෂාවන් ඉහළ යමින් තිබෙනවා. තැන්පතුකරුවන්ගේ පැත්තෙන් ගත්තොත් බැංකු වල මූල්‍ය ස්ථාවරත්වය වඩා හොඳින් තහවුරු වෙමින් තිබෙනවා. කෙසේ වුවත්, මෙම අවදානම් මුළුමනින්ම පහව යනු ඇත්තේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වීමෙන් පසුවයි. ඒ සඳහා යම් කාලයක් ගත විය හැකියි.

3 comments:

  1. ඉකොනෝමැට්ටා,

    මේක දැක්කද?
    ලින්ක්

    අද දවල් ඔහොම තිබ්බේ. ඩොලරය රුපියල් 236 වෙලා. දැන් ඒක යේ වෙනස් වෙලා.

    ReplyDelete
  2. වියදම පහත වැටෙනව නං හරි හොඳය
    ආදායමත් වැඩි වෙයි නං තව හොඳය
    අය-වැය පරතරය ගෙදරක හරි ලොකුය
    කියා දිය හැකිද එය පියවන ක්‍රමය

    ReplyDelete
  3. "මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව පැවති සැක සංකාවන්ද මේ වන විට මුළුමනින්ම මෙන් දුරු වී තිබෙනවා. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් හැර භාණ්ඩාගාර බිල්පත් කිසිවක් ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ නැහැ. සේවක අර්ථසාධක අරමුදල සහ බැංකු වැනි විශාල ආයෝජකයින්ට ස්ව කැමැත්තෙන් ඔවුන්ගේ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රති-ආයෝජනය කිරීමක් කළ හැකි අතර, ඒ අනුව බලහත්කාර ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වීමේ ඉඩක් නැහැ."
    මේ කථාව දැන් වෙනස් වෙලා නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: