කිසියම් ව්‍යාපාරයක නියැලෙන ආයතන බොහොමක් අපට ලාභ ලැබීම අරමුණු කරගත් ආයතන ලෙස වර්ග කරන්න පුළුවන්. මෙවැනි ආයතනයක ප්‍රධාන අරමුණ ආයතනයේ කොටස් හිමියන් වෙනුවෙන් හැකි ඉහළම ප්‍රතිලාභයක් ලබා දීම. වෙනත් ඕනෑම අරමුණක් ද්වීතියික අරමුණක්.
ලාභ ලැබීම අරමුණු කරගත් ආයතන වලට අමතරව ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතන ලෙස හඳුන්වන ආයතන වර්ගයකුත් තිබෙනවා. නමුත් මේ ආයතන ලාබ නොලබන ආයතන නෙමෙයි. ලාබ නොලබන ආයතනයකට දිගුකාලීනව පවතින්න බැහැ.
ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතන ලෙස ආයතනයක් හඳුන්වන්නේ ඒ ආයතනයේ ප්‍රධාන අරමුණ ආයතනයේ කොටස් හිමියන් වෙනුවෙන් හැකි ඉහළම ප්‍රතිලාභයක් ලබා දීම නොවන විටයි. එය වෙනත් කවර හෝ අරමුණක් වෙන්න පුළුවන්. නමුත්, අරමුණ කුමක් වුවත්, අරමුණට යා හැක්කේ ආයතනය පණ පිටින් තිබුණොත් පමණයි. ආයතනයක් පණ පිටින් දිගටම තියාගන්නනම් ලාබ ලබන්නම වෙනවා. ලාබ නොලබන ආයතනයක් වැහී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.
රජයට අයත් ව්‍යාපාරයක ප්‍රධාන අරමුණ කොටස් හිමියන් සඳහා ඉහළම ප්‍රතිලාභ ලබා දීම නොවෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවී, වෙන කවර අරමුණකින් ආයතනයක් පවත්වා ගෙන ගියත්, ආයතනයක් එක දිගට පාඩු ලබද්දී ඒ ආයතනය පවත්වා ගෙන යන්න අමාරුයි.
මෙහිදී ලාබ යන්නෙන් අදහස් වෙන්නේ ගිණුම්කරණ ලාබ නෙමෙයි. ආර්ථික ලාබ. ගිණුම්කරණ ලාබ කියන්නේ බොහෝ විට නීතිමය අවශ්‍යතාවයක් වෙනුවෙන් හදන අංකයක් පමණයි. ආයතනයක් ගිණුම්කරණ ලාබ ලැබූ පමණින් ආර්ථික ලාබ ලබන බවක් අදහස් වෙන්නේ නැහැ. නමුත් අවම වශයෙන් ගිණුම්කරණ ලාබ හෝ නැත්නම් එහි ආර්ථික ලාබයක් තිබීමේ ඉඩක් නැති තරම්.
උදාහරණයකින් පැහැදිලි කළොත්, ස්ථිර තැන්පතු පොලිය හෝ භාණ්ඩාගාර බිල්පත් පොලිය 7%ක්නම්, ප්‍රාග්ධනය හිමි කෙනෙක්ට වැඩි මහන්සියක් නොවී, වැඩි අවදානමක් නොගෙන ඒ 7% ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන්. ව්‍යාපාරයක් කරලා ලාබ ලබන එක ඊට වඩා ගොඩක් අවදානම් කටයුත්තක්. ඒ නිසා, අවම වශයෙන් තමන් යොදවන ප්‍රාග්ධනය වෙනුවෙන් 7%ක්වත් ලැබෙන්නේ නැත්නම් ප්‍රාග්ධනහිමියෙක් ව්‍යාපාරයක තමන්ගේ සල්ලි හිර කරලා තියන්නේ නැහැ. ව්‍යාපාරය යම් ලාබයක් ලැබුවත්, දිගුකාලීනව තමන්ගේ ආයෝජනය වෙනුවෙන් 7%ක්වත් ලැබෙන්නේ නැත්නම් ව්‍යාපාරය වහලා දමන එකයි කරන්නේ. කටුනායක නෙක්ස්ට් කම්හලක් වසා දැමීම මෑතකාලීන උදාහරණයක්.
ආයතනයක් දිගින් දිගටම පාඩු ලබද්දී වුනත් එය දිගටම පවත්වාගෙන යන යම් ව්‍යතිරේඛ තත්ත්වයන් තිබෙනවා. ඇමසන් සමාගම පසුගිය (2024) වසරේ අවසන් කාර්තුවේදී ලෝකයේ වැඩිම ආදායමක් ලැබූ සමාගම. අවුරුද්දම සැලකුවොත් වෝල්මාට් සමාගමෙන් පසුව දෙවැනි තැන. නමුත් 1995දී පටන් ගත් ඇමසන් සමාගම අවුරුදු අටක්ම දිවුවේ පාඩුවට. මුලින්ම ලාබ වාර්තා කළේ 2003දී. එක දිගටම පාඩු ලැබුවත් ඇමසන් ආයතනය අනාගතයේදී ලාබ ලබන බවත්, එවිට පරණ පාඩු සියල්ලටම හරියන්න ලාබ ලැබෙන බවත් එහි කොටස් හිමියන් විසින් විශ්වාස කළා. එය එලෙසම සිදු වුනා.
අලුතෙන් පටන් ගන්නා ව්‍යාපාරයකට ලාබ ලබන්න යම් කාලයක් යනවා. ඒ වගේම එවැනි ව්‍යාපාරයකට කරන ආයෝජනයක විශාල අවදානමකුත් තිබෙනවා.
දිවයින පුවත්පත අලෙවි කරන උපාලි පුවත්පත් සමාගම පටන් ගත්තේ 1981දී. උපාලි විජේවර්ධන ඒ වන විට ව්‍යාපාරික දැවැන්තයෙක්. නමුත් පුවත්පත් ව්‍යාපාරය අල්ලාගෙන හිටියේ ලේක්හවුස්, ටයිම්ස් සහ ස්වාධීන පුවත්පත් ආයතන තුන. එම ආයතන විසින් පිළිවෙලින් සිළුමිණ, ලංකාදීප සහ රිවිරැස ඉරිදා පුවත්පත් ප්‍රසිද්ධ කළා. ඔය පත්තර තුන වෙළඳපොළ අල්ලගෙනයි තිබුණේ.
උපාලි පුවත්පත් සමාගම පිහිටුවලා දිවයින ඉරිදා සංග්‍රහය බැස්සුවේ ඔය වගේ පසුබිමක. මේ විදිහට අලුත් පත්තරයක් බස්සන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ වෙනුවෙන් උපාලි සමාගම විශාල මුදලක් වියදම් කළා. එය අවදානම් ආයෝජනයක්.
පත්තරයේ මුල්ම කලාපය වෙළඳපොළට දමද්දී කොළඹ වගේම පිට පළාත් වල ප්‍රධාන නගර වලත් තාප්ප වැහෙන්න පෝස්ටර් පාරක් ගියා. පත්තරේ ගැහුවේ සම්පූර්ණයෙන්ම පරිගණක අකුරු වලින්. ඒ දවස් වල අනෙක් පත්තර සියල්ලම මුද්‍රණය කළේ පැරණි මුද්‍රණ තාක්ෂනය යොදා ගෙන අච්චු අකුරු වලින්. මුලින්ම ආපු අකුරු ටිකක් අමුතුයි. උදාහරණයක් විදිහට "ස" අකුර තිබුණේ "ය" අකුරට කෑල්ලක් එකතු කරලා.
ඔය කාලයේ පත්තර වෑන් වලින් අලෙවි නියෝජිතයින්ට පත්තර බෙදනවා. පත්තර වෑන් පාන්දරම එනවා. ඇණවුම් අනුව කඩ වලට පත්තර දමන ගමන් ඊළඟ සතියට ඇණවුම් එකතු කරගෙන යනවා. ඔය දවස් වල අනෙක් ප්‍රධාන පත්තර සමාගම් තුනේ තිබුණු සම්මතය අනුව, අලෙවි වුනේ නැත්නම්, ඇණවුම් කළ පත්තර ප්‍රමාණයෙන් 10%ක් ආපහු දෙන්න පුළුවන්. ඊට වඩා පත්තර ඉතිරි වෙලානම් පත්තර නියෝජිතයාට අතින් කයිට්. ඒ පත්තර පරණ පත්තර විදිහට කිලෝ ගාණට විකුණන එක පමණයි කළ හැකිව තිබුණේ.
ඔය විදිහට පත්තර ඉතිරි වීමේ අවදානම නිසා පත්තර නියෝජිතයෝ ඕනෑවට වඩා පත්තර ඇණවුම් කළේ නැහැ. පත්තරයක් එක දිගටම ගන්න කෙනෙක්නම් පත්තර නියෝජිතයාට කලින් කියලයි තියෙන්නේ. පත්තර කඩේට ආපු ගමන්ම ඒ පත්තර ටික වෙන් කරනවා. ඒ නිසා, හදිසියේ තීරණය කරලා ගන්න අයට පත්තර සුළු ප්‍රමාණයක් පමණයි ඉතිරි වෙන්නේ. ඒ ටිකත් ඉක්මණින්ම විකිණෙනවා.
සමහර සති වල පත්තර ඉල්ලුම ඉහළ යනවා. උදාහරණයක් විදිහට රටේ විශේෂ දෙයක් සිදු වූ සතියක. ඒ වගේ දවසක තමන්ට අවශ්‍ය ඉරිදා පත්තරය කඩේ නැත්නම් පත්තරයක් අවශ්‍ය කෙනෙක් බොහෝ විට වෙනත් පත්තරයක් මිල දී ගන්නවා.
හැමදාම ගන්න පත්තරේට ඇබ්බැහි වෙලා ඉන්න අය ගොඩක් වෙලාවට ඒ පත්තරේම හොයනවා මිසක් අලුත් පත්තරයක් ගන්නේ නැහැ. කොටස් වශයෙන් යන කතා, එක දිගට යන සංවාද ආදිය බලන්නනම් හැමදාම ගන්න පත්තරේම ගන්න ඕනෑ. ඒ නිසා, අලුත් පත්තරේකට එක පාරටම ලොකු ඉල්ලුමක් එන්නේ නැහැ.
දිවයින පටන් ගත්ත ගමන්ම අලෙවි නියෝජිතයින්ගෙන් ආපහු ගන්න පත්තර ප්‍රමාණය 25%ක් කළා. දැන් පත්තර නියෝජිතයින්ට ලොකු අවදානමක් නැතුව වැඩිපුර පත්තර ප්‍රමාණයක් ඇණවුම් කරන්න පුළුවන්. පත්තර ඇත්තටම කඩ වල ඉතුරු වුනා. නමුත් මොකක් හෝ පත්තරයක් ගන්න එන කෙනෙක් අනෙක් පත්තර නැත්නම් ඉතුරු වෙලා තියෙන පත්තරේ ගන්න නිසා දිවයින අලෙවිය ටිකෙන් ටික ඉහළ ගියා. ඒ එක්කම දිවයිනට ඇබ්බැහි වූ පිරිසකුත් ගොඩ නැගුණා. ආපහු ගන්න 25% නිසා කාලයක් වැඩිපුරම බඩු එතුනේත් දිවයින පත්තර වල. ඔහොම ටික කාලයක් යද්දී දිවයින ආවේ "දිවයිනේ වැඩියෙන්ම අලෙවි වන ඉරිදා පුවත්පත" ටැග් ලයින් එකකුත් එක්ක.
අනිවාර්යයයෙන්ම කාලයක් යන තුරු දිවයින ගැහුවේ පාඩුවට. එහිදී වුනේ අනාගත ලාබ දිහා බලාගෙන අවදානම ගැනීමක්. ඇමසන් කොටස්හිමියන් හැසිරුණු විදිහම තමයි.
ඔය ආසන්න කාලයේදී උපාලි සමාගමෙන් සබන් වර්ග දෙකක් එහෙමත් වෙළඳපොළට දැම්මා. සබන් ඒකාධිකාරය තිබුනේ පසුව යුනිලීවර් වූ ලීවර් බ්‍රදර්ස් සමාගමට. නමුත් සබන් වර්ග දෙකටනම් වෙළඳපොළ අල්ලා ගන්න බැරි වුනා. ගොඩක් ආයෝජකයෝ අනාගත ලාබ ඉලක්ක කරගෙන පාඩුවට ව්‍යාපාර පවත්වා ගෙන යනවා. නමුත් අරමුණ පුළුවන් තරම් ලාබ ලැබීමම තමයි.
වෙනත් හේතු මත පාඩුවට ව්‍යාපාර පවත්වා ගෙන යන අවස්ථාත් තියෙනවා. උදාහරණයක් විදිහට නීත්‍යනුකූල ලෙසම බදු අඩුවෙන් ගෙවීම සඳහා.
සමහර සමූහ ව්‍යාපාර සතුව සමාගම් දෙතුන් සීයක් තියෙනවා. නමුත් ඔය අතර ප්‍රධාන සමාගම් තියෙන්නේ කීපයක් පමණයි. ඒවා හොඳින් ලාබ ලබන සමාගම්. නමුත් සමූහ ව්‍යාපාරයේ ගොඩක් සමාගම් නමට වගේ තිබෙන කුඩා සමාගම්. ඒවා නඩත්තු වෙන්නේ ප්‍රධාන සමාගම් වල ලාබයෙන් පොම්ප කරන සල්ලි වලින්. බදු අය කරන්නේ සමාගමක ලාබ මත නිසා රජයට බදු සේ ගෙවන මුදලෙන් කොටසක් ලාබ නොලබන සමාගමකට පොම්ප කිරීම මගින් වියදමක් නැතිවම ඒ සමාගම් පවත්වා ගන්න පුළුවන්. හැබැයි අවසාන අරමුණ පුළුවන් තරම් ලාබ ලැබීමම තමයි. මේ විදිහට සල්ලි පොම්ප කිරීමක් වෙන්නේ එකම සංයුතියක කොටස් හිමිකාරත්වය තිබෙන සමාගම් දෙකක් අතරනම්, එයින් කිසිම කොටස්හිමියෙක්ට පාඩුවක් වෙන්නේ නැහැ.
ලංවිම වැනි රාජ්‍ය ආයතනයක් පවත්වා ගෙන යන්නේ පුළුවන් තරම් ලාබ ලැබීමේ අරමුණින් නෙමෙයි. අඩු වශයෙන් අනාගතයේදී හෝ එවැනි ලාබ ලැබීමේ අරමුණක් එහි නැහැ. නමුත් මෙවැනි ආයතනයක් වුවද, ලාබ නොලබා දිගුකාලීනව පවත්වා ගෙන යා හැක්කේ දිගින් දිගටම පිටින් මුදල් පොම්ප කරන්නේනම් පමණයි.
ලංවිම පාඩු ලබද්දී විදුලි පාරිභෝගිකයාට වාසියක් ලැබෙනවා. එහි බර වැටෙන්නේ බදු ගෙවන්නන් මත. රටේ හැමෝම වගේ විදුලි පාරිභෝගිකයෝ. ඒ වගේම රටේ හැමෝම වගේ යම් ආකාරයක බදු ගෙවන්නෝ. නමුත් සෛද්ධාන්තිකව විදුලි පාරිභෝගිකයා සහ බදු ගෙවන්නා කියන්නේ දෙන්නෙක් මිසක් එක්කෙනෙක් නෙමෙයි. ඊට හේතුව විදුලි පරිභෝජනය හා බදු ගෙවීම සමානුපාතික නොවීමයි.
ලංවිම ආර්ථික ලාබ නොලබනවා කියන්නේ අදාළ පාඩුව රටේ බදු ගෙවන්නට ගෙවන්න සිදු වෙනවා කියන එක. මෙය අනෙකුත් රාජ්‍ය ව්‍යවසාය වලටත් අදාළයි. රජය කියා කියන්නෙත් ආකෘතිමය ලෙස සමූහ ව්‍යාපාරයක් වැනි එකක් කියා සැලකුවත්, එහි එක් තැනක තිබෙන අරමුදල් ලංවිම වැනි තැනකට පොම්ප කිරීම මගින් එවැනි ආයතන දිගටම පවත්වා ගෙන යන්න පුළුවන්. එසේ කිරීම මගින් රජයේ "කොටස්හිමියන්" වන බදු ගෙවන්නට යහපතක් වෙනවානම් එහෙම කරන එකේ ප්‍රශ්නයක් නැහැ.
ඇත්තටම තියෙන ප්‍රශ්නය බදු ගෙවන්නන්ගේ අරමුදල් රාජ්‍ය ව්‍යවසාය වලට පොම්ප කරන එක නෙමෙයි. එහෙම නොකරන එක. හරියටම කිවුවොත් මූල්‍ය අරමුදල විරුද්ධ වෙන්නේ බදු ගෙවන්නන්ගේ අරමුදල් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වලට පොම්ප "නොකරන" එකට.
මේ කරුණ පැටලිලි සහගත බව මම දන්නවා. පැහැදිලි කරන්නම්.
කුමක් හෝ දේශපාලනික හෝ ප්‍රතිපත්තිමය හේතුවක් නිසා ලංවිම වැනි ආයතනයක් පාඩුවට පවත්වා ගෙන යා යුතුයි කියා අපි හිතමු. එහෙම අවශ්‍යද කියන එක වෙනම සාකච්ඡාවක්. එයටත් මම පසුව පිළිතුරු දෙන්නම්. ආයතනයක් පාඩුවට පවත්වා ගෙන යන්නනම් එහි පිරිවැය කවුරු හෝ විසින් දරන්නම වෙනවා. විදුලි පාරිභෝගිකයාගේ පිරිවැයෙන් කොටසක් බදු ගෙවන්නා විසින් දරනවානම්, බදු ගෙවන්නාගේ අරමුදල් යොදවා රජය විසින් ලංවිම සුබසාධනය කරනවානම්, මූල්‍ය අරමුදල එයට විරුද්ධ වෙන එකක් නැහැ. රාජ්‍ය ප්‍රතිපත්තිය එසේ කිරීම වෙන්න පුළුවන්.
මෙහිදී කළ යුත්තේ රාජ්‍ය අයවැයෙන් ලංවිමට කෙළින්ම මුදල් වෙන් කරන එක. ඒ මුදල බදු ගෙවන්නාගෙන් අය කර ගන්න වෙනවා. රජයෙන් ලැබෙන මුදල ආදායමක් සේ එකතු කළාට පස්සේ ලංවිම පාඩුව නැති වෙනවා. එවිට ලංවිම තව දුරටත් පාඩු ලබන ආයතනයක් නෙමෙයි.
නමුත්, මෙතෙක් කල් වුනෙත්, දැන් වෙන්නෙත් ඒක නෙමෙයි. රාජ්‍ය ආයතන සුබසාධනය කිරීම සඳහා අයවැයෙන් මුදල් වෙන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. එසේ තිබියදී, රාජ්‍ය ආයතන පාඩු ලබනවා. ඒ පාඩු ගිණුම් වල එකතු වෙනවා. යම් සීමාවක් දක්වා ආයතනයකට පාඩු එක්කම දුවන්න පුළුවන්. හිරවෙන තුරුම ඔය වැඩේ කළ හැකියි. නමුත් හිර වුනාට පස්සේ බදු ගෙවන්නන්ගේ මුදල් යොදවන්න වෙනවා.
අවසාන වශයෙන් කොහොමටත් බදු ගෙවන්නන්ගේ මුදල් යොදවා මේ ආයතන පවත්වා ගෙන යනවානම් මෙහි තිබෙන ප්‍රශ්නය කුමක්ද?
මෙහි තිබෙන ප්‍රශ්නය රජය විසින් ගෙවිය යුතු මුදලක් (ආපතික බැරකමක්) ගිණුම් තුළ සැඟවී යාමයි. එමෙන්ම, රජයේ ණය ප්‍රමාණය අඩුවෙන් පෙනීමයි. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වෙනුවෙන් අනාගතයේදී යෙදවිය යුතු බදු මුදල් කියා කියන්නේ රජය විසින් අනාගතයේදී ගෙවිය යුතු ණයකට සමාන දෙයක්.
ලංකාව මුහුණ දී තිබෙන්නේ ණය තිරසාරත්වය පිළිබඳ ප්‍රශ්නයකට. ඒ කියන්නේ ගෙවිය යුතු ණය හා පොලිය නියමිත දිනට ආපසු ගෙවීමට නොහැකි වීමේ ප්‍රශ්නයට. ස්ථායීකරණ වැඩ පිළිවෙළේ ප්‍රධාන අරමුණක් වන්නේ ණය තිරසාරත්වය ඇති කිරීමයි. ප්‍රාථමික අයවැය අතිරික්ත ආදී ඉලක්ක සකස් කර තිබෙන්නේ මෙම අරමුණ පෙරදැරිවයි. නමුත් රාජ්‍ය ණය යටතේ නොවැටෙන වෙනත් අනාගත ආපතික බැරකම් ගොඩ ගැසේනම් අවදානමේ වැටෙන්නේ රටේ ණය තිරසාරත්වයයි.
රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව විදුලි පාරිභෝගිකයින්ට සහනයක් දිය යුතුනම් කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය මුදල රාජ්‍ය අයවැයෙන් වෙන් කිරීමයි. එසේ අරමුදල් වෙන් කිරීමෙන් පසුවද අවශ්‍ය ප්‍රාථමික අතිරික්ත ඉලක්කය පවත්වා ගත හැකිනම් ණය තිරසාරත්වය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.
රජය මුල් වී යම් කණ්ඩායමක් සුබසාධනය කරන්නේනම් එම සුබසාධනයේ බර වෙනත් අයෙකුට දරන්නට සිදු වෙනවා. එසේ කිරීම හෝ නොකිරීම දේශපාලනික තීරණයක්. එහෙත් මෙහිදී සිදු වන්නේ එසේ සුබසාධනය වෙනුවෙන් මුදල් වැය කිරීමක් නොකර ප්‍රශ්නය යට ගැසීමක් සහ අනාගතයට කල් දැමීමක්.