කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද -0.6ක අවධමනයක් වාර්තා වී තිබෙනවා. මේ එම දර්ශකය අනුව එක දිගටම අවධමනයක් වාර්තා වන දසවන මාසයයි. එහෙත් අපට විශ්වාසයෙන් යුතුව කිව හැක්කේ මෙම ජූනි මාසය අවධමන රැල්ල අවසන් කරන මාසය බවයි.
ශ්‍රී ලංකාවේ නිල උද්ධමන දර්ශකය වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. එම දර්ශකය අනුව ජූනි මාසයේදීද අවධමනයක් පෙන්නුම් කළත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මැයි මාසයේදීම අවධමනය අවසන් වී නැවත උද්ධමන තත්ත්වයක් ඇති වී තිබෙනවා.
අලුත් මහ බැංකු පණත මගින්, මුදල් ප්‍රතිපත්ති හා අදාළව, මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ, උද්ධමනය එකඟ වූ මට්ටමේ පවත්වා ගැනීම මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, උද්ධමනය එම මට්ටමේ නොපවතීනම් මහ බැංකුවට ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට සිදු වෙනවා.
මහ බැංකුව එකඟ වී තිබෙන්නේ උද්ධමනය 5% මට්ටමේ තියාගන්නයි. මෙහිදී උද්ධමනය සේ අර්ථ දක්වා තිබෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ කාර්තුවක හෙවත් මාස තුනක කාලයක සාමාන්‍ය අගයයි. එක දිගට කාර්තු දෙකක්ම එම අගය 3% මට්ටමෙන් පහළට වැටී ඇත්නම් හෝ 7% මට්ටමෙන් ඉහළට ගොස් ඇත්නම් මහ බැංකුව විසින් තමන්ගේ කාර්යය නිසි පරිදි ඉටු කර නැති සේ සැලකෙනවා.
මහ බැංකුව ඉහත කී උද්ධමන ඉලක්කය පවත්වා ගැනීමට එකඟ වී එම එකඟතාවය ගැසට් කළේ 2023 ඔක්තෝබර් මාසයේ 3 වෙනිදායි. ඉන්පසු එළැඹුණු පළමු සම්පූර්ණ කාර්තුව 2024 පළමු කාර්තුවයි. එනම්, ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුනයි. 2024 මාර්තු මාසයේදී උද්ධමනය 3% සීමාවෙන් පහළට ආවත්, මාස තුනේ සාමාන්‍ය අගය 4.4% මට්ටමේ පැවතුණා. ඒ කියන්නේ මහ බැංකුව එම කාර්තුවේදී උද්ධමන ඉලක්කය ලඟා කරගත්තා.
එහෙත් ඉහත තත්ත්වය දැකිය හැකි වුනේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය 1.4% දක්වා පහත වැටී 2024 තුන්වන කාර්තුවේදී 0.8% දක්වා තවත් පහත වැටුණා. ඒ කියන්නේ එක දිගටම කාර්තු දෙකක් උද්ධමන ඉලක්කය ගිලිහුණා. මෙය සැලකෙන්නේ නිල වශයෙන් මහ බැංකුව විසින් උද්ධමන ඉලක්කය මග හැරගැනීමක් ලෙසයි.
මේ අයුරින් කාර්තු දෙකක්ම ඉලක්ක පරාසයේ පහළ සීමාවෙන් පහළ තිබුණු උද්ධමනය 2024 හතරවන කාර්තුව වෙද්දී තවත් පහළට වැටී අවධමන තත්වයක් ඇති වුනා. හතරවන කාර්තුවේ සාමාන්‍ය අගය -1.5%ක්. එම අවධමන තත්ත්වය 2025 පළමු කාර්තුව දක්වා දිගු වුනේ -3.6ක අවධමනයක් වාර්තා කරමින්. මෙම මට්ටම ඉලක්කයට වඩා 8.6%කින් අඩු මට්ටමක්. කෙසේ වුවත්, මේ වන විට ප්‍රකාශිතව ඇති සංඛ්‍යාලේඛණ අනුව, 2025 දෙවන කාර්තුවේදී අවධමනය -1.1කට සීමා වී තිබෙනවා.
අවධමන රැල්ල මෙම (2025 ජූනි) මාසයෙන් අවසන් වීමට නියමිතව ඇතත්, තෙවන කාර්තුවේදීද උද්ධමනය 3% සීමාව ඉක්මවා නොයන්නට ඉඩ තිබෙනවා. එය සිදු වනු ඇත්තේ සිවුවන කාර්තුව තුළයි. මේ අනුව, දැනටමත් එක දිගටම කාර්තු පහක් තිස්සේ ගිලිහී ගොස් ඇති මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ඉදිරි කාර්තුව තුළද ගිලිහී යන්නට ඉඩ තිබෙනවා. කෙසේ වුවත්, මේ වෙද්දී මහ බැංකුව විසින් "උද්ධමනය නිපදවමින්" සිටින බැවින් සිවුවන කාර්තුව තුළ මහ බැංකුව විසින් ඉලක්කය කරා යාමට නියමිතයි.
"සල්ලි අච්චු ගැසීම" මගින් මහ බැංකුවට උද්ධමනය නිපදවිය හැකියි. සල්ලි අච්චු ගැසීම යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. සංචිත මුදල් යනු සංසරණයේ ඇති කාසි හා නෝට්ටු ප්‍රමාණයේත්, මහ බැංකුවේ ගිණුම් වල ඇති බැංකු සහ රජය සතු මුදල් ප්‍රමාණයේත් එකතුවයි.
මහ බැංකුව ස්වාධීන කිරීම යන්නෙන් අදහස් කෙරෙන්නේ "සල්ලි අච්චු ගැසීම" නවත්වා ඇති බව නොව, කොපමණ සල්ලි අච්චු ගැසිය යුතුද යන්න මහ බැංකුවට ස්වාධීනව තීරණය කළ හැකි බවයි. මහ බැංකුවක ව්‍යාපාරික කාර්යය මෙන්ම නිල කාර්යය වන්නේද "අවශ්‍ය පමණ" සල්ලි අච්චු ගැසීමයි. ලංකාවේ සන්දර්භයේදී මෙම "අවශ්‍ය ප්‍රමාණය" වන්නේ මහ බැංකුවට ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයයි. හරියටම කිවුවොත්, උද්ධමනය 5% මට්ටමේ තබා ගැනීම සඳහා අච්චු ගැසිය යුතු සල්ලි ප්‍රමාණයයි.
මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසිය යුත්තේ උද්ධමනය පහළ, ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් වුවත්, මහ බැංකුවේ ස්වාධීනත්වය නැති වීම හේතුවෙන් රජයේ අයවැය පියවීමේ අරමුණින් සහ රජයේ පිරිවැය අඩු මට්ටමක තබා ගැනීම සඳහා පොලී අනුපාතික පහළ මට්ටමක තබා ගැනීමේ අරමුණින් සල්ලි අච්චු ගසන්නට මහ බැංකුවට සිදු වුනා. එහි ප්‍රතිඵලය වූයේ උද්ධමනය පාලනය කර ගත නොහැකි මට්ටමකට ඉහළ යාමයි.
උද්ධමනය පාලනයෙන් ගිලිහුණු විට එය නැවත අවශ්‍ය මට්ටමට පහත හෙළා ගැනීම ඉතා අසීරුයි. මේ සඳහා හොඳම තත්කාලීන උදාහරණයක් වන්නේ මේ වන විටද 43.5% මට්ටමේ උද්ධමනයක් පවතින ආජන්ටිනාවයි. රාජ්‍යමූල්‍ය කළමනාකරණය යහපත් තත්ත්වයක පැවතියද, මෙම වසර අවසන් වෙද්දී පවා ආජන්ටිනාවට උද්ධමනය තනි අංකයකට අඩු කර ගැනීමේ හැකියාවක් පෙනෙන්නට නැහැ. එරට ණය පොලී අනුපාතික තවමත් 40% සිට 140% දක්වා වන ඉහළ පරාසයක විචලනය වනු දැකිය හැකියි.
එහෙත්, රාජ්‍යමූල්‍ය අංශයෙන් ලැබුණු සහයෝගයේ උපකාරයද ලබමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉතා කෙටි කලකින් ලංකාවේ උද්ධමනය පාලනය කර ගැනීමට සමත් වුනා. මෙහිදී මහ බැංකුව විසින් ඉතා දැඩි මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යනු දැකිය හැකි වූ අතර සල්ලි අච්චු ගැසීම මුළුමනින්ම වගේ නවත්වා දමනු ලබා තිබුණා. කෙසේ වුවත් මේ වන විට මහ බැංකුව විසින් නැවතත් "අවශ්‍ය ප්‍රමාණයට" සල්ලි අච්චු ගසමින් සිටිනු දැකිය හැකියි.
ජූලි මාසයට අදාලව අද (30) දින ඉන්ධන මිල සංශෝධනය වූ අතර, ඒ අනුව,
ReplyDeleteරුපියල් 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 305ක්.
රුපියල් 274ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක්.
රුපියල් 178ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289ක්.