වෙබ් ලිපිනය:

Saturday, October 11, 2025

ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන


රටක ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර තිබෙන්නේ කවර ආකාරයේ සම්බන්ධයක්ද? මේ ප්‍රශ්නයට 1987දී නොබෙල් ත්‍යාගය දිනූ රොබට් සොලෝ විසින් න්‍යායාත්මක පිළිතුරක් ලබා දී තිබෙනවා. 2021 පෙබරවාරි 4 දින පළ කර ඇති "රටවල් දියුණු වෙන්නේ කොහොමද?" ලිපියෙහි මෙම සොලෝ ආකෘතිය තාක්ෂනික (ගණිතමය) ලෙස විස්තර කර තිබෙනවා. මෙය ඊට වඩා බොහෝ සරල, වැඩි දෙනෙකුට තේරුම් ගත හැකි වත්පොත් සටහනකට වඩා ගැලපෙන, පැහැදිලි කිරීමක්. 

රටේ ප්‍රාග්ධන සංචිතය වර්ධනය වෙනවා කියන්නේ රටේ නිෂ්පාදන හැකියාව ඉහළ යනවා කියන එකයි. මෙහිදී ප්‍රාග්ධන සංචිතය යන්නෙන් අදහස් වන්නේ ශ්‍රමය (මානව ප්‍රාග්ධනය) හැර නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන අනෙකුත් නිෂ්පාදන සාධක සියල්ලයි. යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, යටිතල පහසුකම් ආදී සියල්ල එයට ඇතුළත්. ඒ වගේම පරිගණක මෘදුකාංග වැනි අරූපික (අස්පර්ශනීය) දේවල් තියෙන්නේත් මේ  ප්‍රාග්ධන සංචිතය ඇතුළේ. ප්‍රාග්ධන සංචිතය වැඩි කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රාග්ධනය (මුදල්) අවශ්‍ය වන නමුත් මෙහිදී ප්‍රාග්ධනය යන්නෙන් (සීමිත සන්දර්භ වලදී හැර) මූල්‍ය ප්‍රාග්ධනය අදහස් වන්නේ නැහැ. 

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන තරමට ආර්ථිකයද වර්ධනය වෙනවා. නමුත් ආර්ථිකය වර්ධනය වන්නේ ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන වේගයට වඩා අඩු වේගයකින්. කාලයක් තිස්සේ නැවත නැවත කර ඇති නිරීක්ෂණ අනුව, වෙළඳපොළ ආර්ථිකයක් තිබෙන බොහොමයක් රට වල මෙම අනුපාතය ආසන්න වශයෙන් 30%ක් පමණ. මෙයින් අදහස් වන්නේ රටක ප්‍රාග්ධන සංචිතය 10%කින් වර්ධනය වෙද්දී ආර්ථිකය 3%කින් වර්ධනය වනවා යන්නයි. 

කෙසේ වුවද, ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම කිසියම් නිශ්චිත රටක ආර්ථික වර්ධන වේගය කෙරෙහි දායක වන ආකාරය ඒ රටේ ආර්ථිකයේ ප්‍රමාණයට (දදේනියට) සාපේක්ෂව ප්‍රාග්ධන සංචිතය කොපමණද යන්න අනුව වෙනස් වෙනවා. අඩු ප්‍රාග්ධන සංචිතයක් ඇති රටකට ප්‍රාග්ධනයේ වටිනාකම වැඩියි. 

මෙය පැහැදිලි කර ගැනීම පිණිස, එක සමාන ප්‍රමාණයේ ආර්ථිකයන් ඇති (ඩොලර් බිලියන 100ක), එහෙත් වෙනස් මට්ටම් වල ප්‍රාග්ධන සංචිත ඇති (පිළිවෙලින් ඩොලර් බිලියන 50, 100 හා 200), රටවල් තුනක් සලකමු. ඩොලර් බිලියන 10කින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යාම මේ එක් එක් රටේ ආර්ථික වර්ධනය කෙරෙහි බලපාන්නේ කෙසේද?

පළමු රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 50

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 20%

ආර්ථික වර්ධන වේගය = 6%


දෙවන රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 10%

ආර්ථික වර්ධන වේගය = 3%


තෙවන රට: 

ආර්ථිකයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 100

ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය = ඩොලර් බිලියන 200

ප්‍රාග්ධනය සංචිතය ඉහළ යාම = ඩොලර් බිලියන 10

ප්‍රාග්ධනය සංචිතයේ වර්ධන වේගය = 5%

ආර්ථික වර්ධන වේගය = 1.5%


මෙහිදී අප විසින් සලකා බලා තිබෙන්නේ ආර්ථික වර්ධනය කෙරෙහි ප්‍රාග්ධනය සංචිතය වර්ධනය වීමේ බලපෑම පමණයි. වෙනත් හේතු නිසාද ආර්ථිකය වර්ධනය වීමට හෝ හැකිලීමට හැකි වුනත්, අපේ අරමුණ ආර්ථික වර්ධනය හා ප්‍රාග්ධන ආයෝජන අතර සම්බන්ධය තේරුම් ගැනීම බැවින් ඒ අනෙකුත් කරුණු සලකා බලා නැහැ. 

ඉහත කාල්පනික උදාහරණ අනුව, පෙනී යන්නේ රටක දදේනියට සාපේක්ෂව (දදේනියෙහි ප්‍රතිශතයක් හෝ ගුණකයක් ලෙස) ප්‍රාග්ධන සංචිතය ඉහළ යන තරමට අමතර ප්‍රාග්ධනය එකතු වෙද්දී එමගින් ආර්ථික වර්ධනය කෙරෙහි ලැබෙන දායකත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වන බවයි. 

මේ අයුරින් ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීම ආර්ථික වර්ධන වේගය ඉහළ දමන අයුරින්ම ප්‍රාග්ධන සංචිතය අඩු වෙද්දී ආර්ථික වර්ධන වේගය අඩුවීමද සිදු වෙනවා. අනෙකුත් සාධක වලින් ආර්ථිකය වර්ධනය නොක‍රන්නේනම්, ප්‍රාග්ධන සංචිතය අඩු වීමේ ප්‍රතිඵලය වන්නේ ආර්ථිකය හැකිලීමයි. එනම්, ආර්ථික වර්ධන වේගය සෘණ වීමයි. මෙම බලපෑමද ප්‍රාග්ධන සංචිතය දදේනියට සාපේක්ෂව අඩු රටකදී වඩා වැඩියි. 

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වන්නේ හෝ හැකිලෙන්නේ කෙසේද?

කිසියම් රටක් විසින් දැනටම එක්රැස් කරගෙන තිබෙන ප්‍රාග්ධන සංචිතය හැමදාම දිගටම ඒ මට්ටමේම තියෙන්නේ නැහැ. සෑම වසරකදීම ප්‍රාග්ධනය යම් තරමකින් ක්ෂය වෙනවා. උදාහරණයක් ලෙස ප්‍රාග්ධන සංචිතයට අලුතෙන් පරිගණක පද්ධතියක් එක් කළහොත්, ප්‍රාග්ධන සංචිතය ඉහළ යන නමුත් වසර හතරක් පමණ යද්දී මේ පරිගණක කල් ඉකුත් වෙනවා. මහාමාර්ගයක් හෝ ගොඩනැගිල්ලක්නම්, මේ සඳහා වසර විස්සක හෝ තිහක කාලයක් යා හැකියි. නමුත් කිසියම් වේගයකින් ප්‍රාග්ධනය ක්ෂය වෙනවා.

රටක ප්‍රාග්ධන සංචිතය වර්ධනය වීමටනම්, ප්‍රාග්ධනය ක්ෂය වන වේගයට වඩා වැඩි වේගයකින් ආයෝජන සිදු කළ යුතුයි. ආයෝජන සිදු වන්නේ ඊට වඩා අඩුවෙන්නම්, එහිදී සිදු වන්නේ ප්‍රාග්ධන සංචිතය පහළ යාම හේතුවෙන් ආර්ථිකයේ ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වීමයි. 

ප්‍රාග්ධනය ක්ෂය වන වේගය බොහෝ දුරට තාක්ෂණික ලෙස තීරණය වන, භෞතික දෙයක්. පරිගණකයක්, ගොඩනැගිල්ලක්, යන්ත්‍රයක් හෝ අධිවේගී මාර්ගයක් කොපමණ කාලයක් ප්‍රයෝජනයට ගත හැකිද යන්න මිනිස් හැසිරීම් මත වෙනස් වෙන්නේ නැති තරම්. ඒ නිසා, එය අපට සලකන්න සිදු වෙන්නේ වෙනස් කළ නොහැකි දෙයක් ලෙසයි. මීට සාපේක්ෂව බලන විට ආයෝජන සිදු වන ප්‍රමාණය කිසියම් රටක මිනිසුන්ගේ චර්යාවන් මත වගේම, රාජ්‍ය ප්‍රතිපත්ති මතද වෙනස් වන දෙයක්. 

විදේශ ආයෝජන දැනට පැත්තකින් තිබ්බොත්, ආයෝජන කියා කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පරිභෝජනය නොකර ඉතිරි කරන කොටස. ආයෝජන සිදු වෙන්නේ රාජ්‍ය මැදිහත්වීමකින් වුනත්, සෘජුව පෞද්ගලික අංශය හරහා වුනත්, මෙහි වෙනසක් නැහැ. ඒ නිසා, පරිභෝජනය සීමා වන තරමට ආයෝජනය ඉහළ යනවා. පරිභෝජනය යන්නට රජයේ "පරිභෝජන" වියදම්ද ඇතුළත්. ඒ කියන්නේ පුනරාවර්තන වියදම්. 

සාමාන්‍යයෙන් කිසියම් රටක ජනතාවගේ පරිභෝජන නැඹුරුව සංස්කෘතික සාධක ඇතුළු බොහෝ කරුණු මත තීරණය වන දෙයක්. සමාජයක චර්යාවන් දිගුකාලීනව වෙනස් වන නමුත් කෙටිකාලීනව ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. රජයේ පුනරාවර්තන වියදම් සැලකුවත්, දිගුකාලීනව මිසක් කෙටිකාලීනව ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් පරිභෝජනය නොකර ඉතිරි කරන කොටස, ඒ කියන්නේ කිසියම් රටක දේශීය ඉතුරුම් අනුපාතය, කෙටිකාලීනව විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. නමුත් රටරටවල් අතර දේශීය ඉතුරුම් අනුපාතයන්හි විශාල වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම, කිසියම් නිශ්චිත රටක වුනත්, කෙටිකාලීනව යම් ප්‍රමාණයක් විචලනයන් සිදු වෙන්න පුළුවන්.

අපි හිතමු රටක සාමාන්‍ය දේශීය ඉතුරුම් අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක් කියලා. ඒ කියන්නේ දදේනියෙන් 20%කට සමාන ආයෝජන සිදු වෙනවා. එපමණකින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යනවා. ඩොලර් බිලියන 100ක ආර්ථිකයක් සැලකුවොත් වසරකට ඩොලර් බිලියන 20කින්. 

දැන් මේ විදිහට ඩොලර් බිලියන 20කින් ප්‍රාග්ධන සංචිතය ඉහළ යාම නිසා ආර්ථික වර්ධනයට සිදු වෙන බලපෑම තීරණය වෙන්නේ එමගින් ප්‍රාග්ධන සංචිතය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියන එක මතයි. 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 40%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 20%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 10%කින් 

නමුත් අනෙක් අතට තිබෙන ප්‍රාග්ධන සංචිතයෙන් යම් ප්‍රමාණයක් ක්ෂය වෙනවනේ. අපි හිතමු මේ අනුපාතය සාමාන්‍ය අගයක් ලෙස 5%ක් කියලා. ඒ කියන්නේ සාමාන්‍ය අගයක් ලෙස වසර 20ක් ප්‍රාග්ධනය ආර්ථික කටයුතු සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියන එක. ක්ෂය වීමත් සැලකිල්ලට ගත්තට පස්සේ ප්‍රාග්ධන සංචිතය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වෙනවද?

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 35%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 15%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 5%කින් 


මේ අනුව ආර්ථිකය වර්ධනය වෙන්නේ කොහොමද?

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 50නම් 10.5%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100නම් 4.5%කින් 

- ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ඩොලර් බිලියන 200නම් 1.5%කින් 


ඔය විදිහට ආර්ථිකය වර්ධනය වෙද්දී ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම දිගටම තිබුණත් එහි ප්‍රමාණය ආර්ථිකයත් එක්ක වර්ධනය වෙනවා. එසේ වර්ධනය වීම නිසා ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය ටිකෙන් ටික ඉහළ යනවා. ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය අඩු වූ තරමට මේ වැඩේ වඩා වේගයෙන් සිදු වෙනවා. නමුත් ප්‍රාග්ධන සංචිතය වැඩි වන තරමට එය වර්ධනය වන වේගය වගේම ප්‍රාග්ධනය වැඩි වීම නිසා ආර්ථිකය වර්ධනය වන වේගයද එන්න එන්නම අඩු වෙනවා. 

අපි හිතමු ආර්ථිකයේ ප්‍රමාණය ඩොලර් බිලියන 100 වන රටක ප්‍රාග්ධන සංචිතය ඔය විදිහට වැඩි වෙලා ඩොලර් බිලියන 400 මට්ටමට ආවා කියලා. ඉතුරුම් අනුපාතය 20%යි. ඒ කියන්නේ ඩොලර් බිලියන 20ක ආයෝජන සිදු වෙනවා. රටේ ප්‍රාග්ධන සංචිතයේ ප්‍රතිශතයක් ලෙස එය 5%ක්. නමුත් ක්ෂය වන වේගයත් 5%ක්. ඒ කියන්නේ දදේනියෙන් 20%ක් ආයෝජනය කළත්, එයින් වෙන්නේ රටේ ප්‍රාග්ධන සංචිතය දැනට තිබෙන මට්ටමේම පවත්වා ගෙන යා හැකි වීම පමණයි. ප්‍රාග්ධන සංචිතය තව දුරටත් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසාම ප්‍රාග්ධනය ආර්ථික වර්ධනයට දායක වෙන එකත් නවතිනවා. රොබට් සොලෝ විසින් පෙන්වා දුන්නේ ඔන්න ඔය කාරණාව.

කිසියම් වසරක ඉතුරුම් අනුපාතය 20% සිට 21% දක්වා ඉහළ ගියොත් එහි උදවුවෙන් ආර්ථිකය තරමක් වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම, ඉතුරුම් අනුපාතය 19% දක්වා පහත වැටුනොත් ආර්ථිකය තරමක් හැකිලෙන්නත් පුළුවන්. රටේ ප්‍රාග්ධන සංචිතයේ ප්‍රමාණය තීරණය වෙන්නේ සාමාන්‍ය ඉතුරුම් අනුපාතය මතයි. එම අනුපාතය කොපමණ වුණත්, එය එකවර විශාල ලෙස වෙනස් වල අවස්ථාවකදී හැර, ආයෝජන හරහා ලැබෙන ප්‍රාග්ධනය නිසා ආර්ථිකය දිගුකාලීනව වර්ධනය වෙන්නේ හෝ හැකිළෙන්නේ නැහැ. 

රටේ සාමාන්‍ය ඉතුරුම් අනුපාතය කිසියම් හේතුවක් නිසා විශාල ලෙස වෙනස් වුවහොත්, උදාහරණයක් ලෙස 20% සිට 40% දක්වා වැඩි වී ඒ මට්ටමේ දිගටම පැවතුනොත්, යම් කාලයක් යන තුරු ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. එහිදී රටේ ප්‍රාග්ධන සංචිතයද මුලින්ම වේගයෙන් ඉහළ යනවා. නමුත් කාලය යද්දී ඒ  වේගය අඩු වෙනවා. ඒ නිසා, ආර්ථික වර්ධන වේගයද ක්‍රමයෙන් අඩු වෙනවා. 

ප්‍රාග්ධන සංචිතය යම් මට්ටමකට ආවට පස්සේ මේ 40% ඉතුරුම් අනුපාතයෙන් වුනත් කළ හැක්කේ ක්ෂය වන ප්‍රාග්ධනය නැවත සපයන එක පමණයි. ඒ නිසා, ඉතුරුම් අනුපාතය වැඩි කළා කියලත් ආර්ථිකයක් දිගින් දිගටම වර්ධනය කරන්න බැහැ. නමුත් ඉතුරුම් අනුපාතයේ මෙවැනි විශාල වැඩිවීමක් සිදු වුනොත් දශක කිහිපයක් පුරා ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. චීනය, දකුණු කොරියාව වගේ රටවල ඔය වැඩේ සිදු වුනා. පසුව වර්ධන වේගය අඩු වුනත්, ඒ කාලය ඇතුළත රටට වෙනම ලෙවල් එකකට යන්න පුළුවන්. 

දැන් ඔය වැඩේ වෙන්නේ රටේ දේශීය ඉතුරුම් අනුපාතය වැඩි කරලා ආයෝජන අනුපාතය වැඩි කළ විටනේ. ඊට අමතරව විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීම මගින් දේශීය ඉතුරුම් අනුපාතය වැඩි නොකර ආයෝජන අනුපාතය වැඩි කරන්න පුළුවන්. ලංකාව කාලයක් තිස්සේම කළේ ඔය වැඩේ. උදාහරණයක් විදිහට දේශීය ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම තියෙද්දී, තව 5%ක විදේශ ප්‍රාග්ධනය රටට ආවොත්, ආයෝජන අනුපාතය 25% දක්වා උස්සගන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් විදිහට ආර්ථික වර්ධන වේගයද කෙටිකාලීනව ඉහළ යනවා. 

නමුත් මේ විදිහට විදේශ ආයෝජන වල උදවුවෙන් වැඩිපුර ප්‍රසාරණය කරපු ආර්ථිකය ඒ මට්ටමේ තියා ගන්නනම් දිගටම ආයෝජන අනුපාතය 25% මට්ටමේම තියා ගන්න වෙනවා. ඒක කරන්නම් සෑම වසරකදීම දදේනියෙන් 5%කට සමාන විදේශ ප්‍රාග්ධනය රටට පැමිණිය යුතුයි. නැත්නම් වෙන්නේ අර කලින් වර්ධනය වූ වේගය අඩු වෙන එක පමණක් නෙමෙයි. රටේ ආයෝජන අනුපාතය පහත වැටීම නිසා, විදේශ ප්‍රාග්ධනයේ උදවුවෙන් වර්ධනය වූ කොටස නැවත හැකිලෙනවා.

රටකට විදේශ ප්‍රාග්ධනය එන ක්‍රම දෙකක් තිබෙනවා. ඒ ණය ලෙස සහ සෘජු විදේශ ආයෝජන ලෙස. ගොඩක් වෙලාවට රජය මැදිහත් වෙලා කරන්නේ විදේශ ණය ගන්න එක. එහෙම විදේශ ණය අරගෙන ප්‍රාග්ධන ආයෝජන කිරීම මගින් ක්ෂණිකව ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න පුළුවන්. නමුත් ගත්ත ණය ආපසු ගෙවන්න වෙද්දී ඒ වර්ධනය වූ ප්‍රමාණය නැවත හැකිලෙනවා. එය වලක්වා ගන්නනම්, ඒ ණය ගෙවීම සඳහා නැවතත් විදේශ ණය ගන්න වෙනවා. 

එහෙම තවත් විදේශ ණය ගත්තත් ආර්ථිකය තව දුරටත් වර්ධනය කරන්න බැහැ. කරන්න පුළුවන් ආර්ථිකය හැකිළෙන එක වලක්වා ගන්න පමණයි. විදේශ ණය වල උදවුවෙන් ආර්ථික වර්ධනය වේගය දිගටම ඉහළ මට්ටමක තියාගන්නනම් පරණ ණය ගෙවන්න අලුතෙන් ණය ගන්නවාට අමතරව තවත් වැඩි වැඩියෙන් විදේශ ණය ගන්න වෙනවා.

අපි හිතමු දේශීය ඉතුරුම් අනුපාතය 20% මට්ටමේම තියෙද්දී, විදේශ ණය අරගෙන ඉතුරුම් අනුපතාය 21% දක්වා ඉස්සුවා කියලා. වැඩිපුර 1% විදේශ ණය. දැන් ආර්ථික වර්ධන වේගය කලින් වේගයට වඩා වැඩියි. නමුත් ඊළඟ අවුරුද්දේ ඔය වැඩි වූ වේගය තියාගන්නනම් අලුතෙන් 2%ක් විදේශ ණය ගන්න වෙනවා. පරණ ණය ගෙවන්න 1%ක් සහ වර්ධන වේගය තියා ගන්න තවත් 1%ක් විදිහට. තුන් වන අවුරුද්දේදී විදේශ ණය ප්‍රමාණය 3% දක්වා වැඩි කරන්න වෙනවා. මේක තනිකරම පිරමිඩ් ක්‍රමයක් කියන එක පැහැදිලියිනේ.

ඉහත විස්තර කළ පරිදි 1%,  2%, 3% ආදී වශයෙන් විදේශ ණය ගැනීම් වැඩි කරන්න වෙන්නේ වසරකින් පසුව ණය ආපසු ගෙවිය යුතුනම්. නමුත් සාමාන්‍යයෙන් විදේශ ණය ගන්නේ ඊට වඩා දීර්ඝ කාලයකට නිසා ඔය පිරමිඩය යම් කාලයක් පවත්වා ගෙන යන්න පුළුවන්. හැබැයි කොයි වෙලාවේ හරි කඩා වැටෙනවා. විදේශ ණය වල උදවුවෙන් ආර්ථිකය වර්ධනය කරන එක කිසිසේත්ම තිරසාර ක්‍රමයක් නෙමෙයි. උදාහරණයක් ලෙස 2005-2014 කාලයේදී ණය ලෙස රටට පැමිණි විදේශ ප්‍රාග්ධනය නිසා ආර්ථික වර්ධන වේගය ඉහළ ගියත්, ඒ වර්ධන වේගය පවත්වා ගත හැකි පරිදි දිගින් දිගටම ණය වැඩි වැඩියෙන් ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා, පසුව ආර්ථිකය හැකිලෙන්න පටන් ගත්තා. 

විදේශ ණය වලට සාපේක්ෂව සෘජු ආයෝජන වල තිබෙන වාසිය වන්නේ, විශේෂ හේතුවක් නැත්නම්, සෘජු ආයෝජන ලෙස ලැබෙන විදේශ ප්‍රාග්ධනය, විදේශ ණය මෙන්, නැවත ආපසු යන්නේ නැති වීමයි. ඒ නිසා, ප්‍රාග්ධන සංචිතයේ හා දදේනියේ ස්ථිර වැඩිවීමක් සිදු විය හැකි වුවත්, මේ ක්‍රමයෙන් වුවත් වර්ධන වේගය දිගින් දිගටම ඉහළ මට්ටමක තියා ගන්න බැහැ. 1977න් පසුව ඉහළ ගිය වර්ධන වේගය දිගටම ඒ ඉහළ මට්ටමේ නොපැවතුණේ ඒ නිසා. 

ලංකාවේ ආර්ථිකය තිරසාර ලෙස වර්ධනය කිරීමේ ක්‍රමෝපාය ගැන හිතන්න වෙන්නේ මේ තත්ත්වයන් එක්කයි. ක්‍රමෝපාය වලට එද්දී ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාවට දේශපාලනය සම්මුඛ වෙනවා. ආර්ථික විද්‍යාව විසින් මාර්ගෝපදේශනයක් පමණක් සිදු කරන, එහෙත් නිශ්චිත පිළිතුරක් නොසපයන ප්‍රශ්න වලට විකල්ප පිළිතුරු එකකට වඩා තියෙන්න පුළුවන්. මම දකින විකල්පය වන්නේනම්, විදේශ ප්‍රාග්ධනය පස්සේ පන්නන එක වෙනුවට දේශීය ඉතිරි කිරීම් වැඩි කරගැනීම ගැන හිතන එක. 

මෑතකදී වේගවත් වර්ධනයක් පෙන්වා ඇති ආසියානු රටවල් බොහොමයක වර්ධනයට හේතු වුනේ දේශීය ඉතුරුම් අනුපාතය විශාල ලෙස ඉහළ යාම සහ ඒ ඉහළ අනුපාතය කාලයක් එම ඉහළ මට්ටමේ පවත්වා ගැනීමට හැකි වීමයි. ගයනාව වැනි සමහර රටවල් වලට ඇදුනු "ලොතරැයි" නිසා දේශීය ඉතුරුම් අනුපාතය ක්ෂණිකව ඉහළ ගොස් තිබෙනවා. ඒවා අහම්බ. එවැනි අහම්බ සිදු නොවේනම්, මේ සඳහා නිවැරදි රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියක් දිගටම පවත්වාගෙන යාම වගේම සංස්කෘතික, චර්යාමය වෙනසකුත් අවශ්‍ය වෙනවා.

රටක ආයෝජන අනුපාතය දේශීය ඉතුරුම් අනුපාතයට වඩා වැඩිනම්, එයින් අදහස් වන්නේ ඒ වෙනස විදේශ ප්‍රාග්ධනය ලෙස මූල්‍ය ගිණුම හරහා රටට ඇවිත් කියන එක. මහ බැංකු මැදිහත් වීමක් නැත්නම්, මූල්‍ය ගිණුම හරහා ප්‍රාග්ධනය රටට ඇවිත් කියන්නේ ජංගම ගිණුම හරහා ඊට සමාන විදේශ විණිමය ප්‍රමාණයක් රටෙන් එළියට ගිහින් කියන එක. ඒ කියන්නේ ජංගම ගිණුමේ හිඟයක් තිබෙනවා කියන එක. මේ හේතුව නිසා, දේශීය ඉතුරුම් අනුපාතය ඉක්මවා ආයෝජන කරන රටකට ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්න සිදුවීම අනිවාර්යතාවයක්. 

තිරසාර ලෙස රටේ ජංගම ගිණුමේ අතිරික්තයක් තියා ගන්නනම්, රටක ආයෝජන අනුපාතය දේශීය ඉතුරුම් අනුපාතයට වඩා පහළින් තියාගන්න වෙනවා. ආයෝජන අනුපාතය අඩු වීම, අඩු වශයෙන් කෙටිකාලීනව හා මැදිකාලීනව, ආර්ථික වර්ධනය බාල කරනවා. ඒ නිසා, ජංගම ගිණුමේ අතිරික්තයක් තියාගෙන රටේ විදේශ අංශය ස්ථාවරව තියා ගන්නා අතරම, ආර්ථික වර්ධන වේගයද ඉහළ මට්ටමක තියාගන්න පුළුවන් එකම ක්‍රමය දේශීය ඉතුරුම් අනුපාතය වැඩි කරගන්න එක. රජයේ පැත්තෙන්, රටේ පුනරාවර්තන වියදම් පහළ මට්ටමක තියා ගැනීම මගින් මෙයට දායක වෙන්න පුළුවන්. ඉතිරි කොටස තියෙන්නේ රටේ සාමාන්‍ය පුද්ගලයින්ගේ අතේ. 

පහත තිබෙන්නේ 2023දී තෝරාගත් රටවල් කිහිපයක දේශීය ඉතුරුම් අනුපාත දදේනි ප්‍රතිශත ලෙස.

සිංගප්පූරුව - 58.41%

චීනය - 43.24%

වියට්නාමය - 36.84%

ඉන්දුනීසියාව - 38.12%

කාම්බෝජය - 33.60%

දකුණු කොරියාව - 32.17%

ඉන්දියාව - 29.51%

මාල දිවයින - 31.50%

බංග්ලා දේශය - 25.8%

ශ්‍රී ලංකාව - 22.40%

4 comments:

  1. ඉකොනොමැට්ටාගේ මේ පෝස්ට් එක අසම්පූර්ණයි නේද? විශේෂයෙන්ම ලංකාවේ ආර්ථිකය ඔබ කියන ලෙස ​2005 සිට 2014 දක්වා කාලය ඇතුලත එක කොටසකදී ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසයේ සුවිශේෂී යුගයක් සටහන් වෙනවා. මෙම කාලසීමාවේදී (විශේෂයෙන් 2009 යුද්ධය අවසන් වීමෙන් පසු), රට ඉතාම සාර්ථක මට්ටමක ආර්ථික වර්ධනයක් අත්කර ගත්තා, ඒ කාලය තුල දේශපාලන වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හීමිකම් වගේ දේවල් වලින් රට එතරම් හොඳ තැනක හිටියේ නෑ, පවුල් පාලනය ඥාති සංග්‍රහ වගේ විකාර තිබුණත් ආර්ථික වශයෙන් ගත්තාම 2010 - 2015 පමණ කාලය තුල ලංකාවේ ආර්ථිකය ​වර්ධන වේගය සාමාන්‍ය වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය (GDP) වර්ධන වේගය 6% – 8% අතර ඉහළම මට්ටමක පැවතුණා.

    ලෝකයේ සංවර්ධිත ආසියාතික රටවල් විශේෂයෙන්ම ජපානය දකුණු කොරියාව සිංගප්පූරුව වගේ ගොඩක් රටවල් සංවර්ධනය වුණේ එකදිගටම වසර 20ක් පමණ කාලයක් මේ වගේ 7%-8% වගේ වේගවත්ම ආර්ථික වර්ධනයක් හරහායි.

    ලංකාවේ යටිතල පහසුකම් ගත්තාම යුද්ධයෙන් පසු ඉතාමත්ම සාර්ථකව යටිතල පහසුකම් සංවර්ධනයට (මාර්ග, වරාය, ගුවන්තොටුපොළ වැනි) රජය දැවැන්ත ලෙස ආයෝජනය කළ අතර, එය දැවැන්ත සංවර්ධනයකට සහ ආර්ථික වර්ධනයකට මග පෑදීය.

    එම කාලය තුල ​ආයෝජන තුල දේශීය ආයෝජන අනුපාතය ඉහළ ගිය නමුත්, මෙම වර්ධනයට ප්‍රධාන ඉන්ධනයක් සැපයූයේ 2007 පමණ සිට ඩොලර් බිලියන පහක පමණ කෙටිකාලීන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) සහ විදේශීය ව්‍යාපෘති ණය ගැනීම්, නමුත් මේ නිසා, රටේ ණය බරත් යම් තරමකට ඉහළ ගියා

    ​ණය ශ්‍රේණිගත කිරීම් (Credit Ratings) විශ්ලේෂණය කළොත් 2005–2014 කාලය තුළ ශ්‍රී ලංකාව යුද්ධය අවසන් කිරීමෙන් පසු රටක් ලෙස ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය ක්‍රමයෙන් දිනා ගත්තේය. එමෙන්ම, 2007 දී පමණ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නිකුත් කිරීම ආරම්භ කිරීමත් සමඟ, රටේ ණය ශ්‍රේණිගත කිරීම් (Ratings) යම් මට්ටමක පවත්වා ගත්තා. මේ කාලය තුල ලංකාවේ ආර්ථිකය Fitch rating, S&P, Moody's වැනි ප්‍රධානම ශ්‍රේණිගත කිරීම්වල ඉතාම ඉහලින් සටහන් වී තිබුණා B+ වගේ ඉහළම මට්ටමක, ඊට පසුව 2015 - 19 කාලයේ මේ ණය ශ්‍රේණිගත කිරීම්වල පහලට යාම ක්‍රමයෙන් පටන් ගත්තේ, දැන් 2025 මේක ඉතාමත්ම පහළ තැනක පවතින්නේ.

    ඒ වගේම 2005–2014 යුගයේදී රට යම් තරමකට විදේශ ණය මත වුවත්, ඩොලර් බිලියන පහක පමණ ISB ණය සහ ඩොලර් බිලියන තුනක පමණ දිගුකාලීන ආඩු පොළී ව්‍යාපෘති ණය එක්ක ඉතාමත්ම හොඳ ආර්ථික ස්ථාවරත්වයක් සහ හොඳ වර්ධන අපේක්ෂාවක් පවත්වා ගෙන ගිය නිසා, ණය ලබා ගැනීමේ හැකියාවත් ඉහළ මට්ටමක තිබුණා.

    නමුත් 2025 දී රට සිටින්නේ ණය පැහැර හැරීමෙන් පසු නැවත ණය ලබා ගත නොහැකි, ඉතාමත්ම පහළම මට්ටමකයි. (SD/RD Selective/ Restricted Default, Moody's Ca/C වගේ පහත් තත්ත්වයකයි)

    ReplyDelete
    Replies
    1. ​ඒ වගේම ඉකොනොමැට්ටා මේ පෝස්ට් එකේ ලංකාවේ ආර්ථික වර්ධනය, ඉතුරුම් සහ ණය ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කරුණු සමහරක් නිවැරදි නමුත්, ඒවා අර්ථ දැක්වීමේදී සහ නිගමනවලට එළඹීමේදී ඉතාමත්ම දැඩි ආර්ථික විද්‍යාත්මක නොදැනුවත්කමක් පෙන්නුම් කරන බවයි අපට හිතෙන්නේ

      උදාහරණ;

      ​A. පිරමිඩ ක්‍රමය (Pyramid Scheme) පිළිබඳ වැරදි සංකල්පය

      ​“විදේශ ණය අරගෙන ඉතුරුම් අනුපතාය 21% දක්වා ඉස්සුවා කියලා... මේක තනිකරම පිරමිඩ් ක්‍රමයක් කියන එක පැහැදිලියිනේ.”

      මේක ඉතාමත්ම වැරදියි: රටක ආයෝජන අනුපාතය (Investment Rate) දේශීය ඉතුරුම් අනුපාතයට (Domestic Savings Rate) වඩා වැඩි නම්, එම අතිරික්තය පියවීමට සිදුවන්නේ විදේශ ණය හෝ විදේශ ආයෝජන (ආනයන හිඟයක් ලෙස) හරහායි. මෙය ජාතික ගිණුම්කරණයේ අත්‍යවශ්‍ය මූලධර්මයකි (Savings-Investment Identity): I = S + (M-X).

      රටක ආයෝජන අවශ්‍යතාව පියවා ගැනීමට රටක් ණය ගැනීම 'පිරමිඩ ක්‍රමයක්' නොවේ. පිරමිඩ ක්‍රමය යනු පැරණි සාමාජිකයන්ට අලුත් සාමාජිකයන්ගේ මුදල් ගෙවීම මත පදනම් වූ වංචනික ක්‍රමයකි. රටක් ණය ගන්නේ ව්‍යාපෘති සංවර්ධනය සඳහා වන අතර, එම ණය කාලයක් පුරා ගෙවනු ලැබේ. ණය ගැනීම අවදානම් වුවද, එය ආර්ථික විද්‍යාවේදී වංචාවක් ලෙස හඳුන්වන්නේ නැහැ. අනෙක ලංකාව ගත් සියලුම ණය රටේ අදාල නිලධාරීන්ගේ විශ්ලේෂණ සහ ආර්ථික සහ මූල්‍ය ශක්‍යතාව වගේ දේවල් හොඳට හදාරලා නීත්‍යනුකූල විදියට ගත් ණය මිසක පිරමීඩ ක්‍රම වගේ හොරට ගත්ත ණය කියන්නේ ආර්ථික විද්‍යාව ගැන මූලික දැනුමක් නැතිව හෝ රටේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියා කරන ආකාරය ගැන නොදැන කරන මෝඩ ප්‍රකාශයක් පමණයි.

      ​B. ණය සහ ආර්ථික වර්ධන වේගය පිළිබඳ වැරදි අර්ථකථනය

      ​“පසුව ආර්ථිකය හැකිලෙන්න පටන් ගත්තා... 1977න් පසුව ඉහළ ගිය වර්ධන වේගය දිගටම ඒ ඉහළ මට්ටමේ නොපැවතුණේ ඒ නිසා.”

      මෙතන 1977 පසුව සහ 2005-2014 කාලයේ ආර්ථිකය හැකිලීමට පටන් ගත්තේ 'දිගින් දිගටම ණය වැඩි වැඩියෙන් ලබා ගැනීමේ හැකියාවක් නොතිබුණු නිසා' යන තර්කය සම්පූර්ණ අසත්‍යයක්. සත්‍යය නම්, එම කාලයේදී ratings ඉහළ නිසා තවත් ඕනෑතරම් ණය ලබා ගැනීමට හැකියාව තිබුණා.

      ආර්ථිකය හැකිලීමට හේතු වුණේ 1980 දශකයේ සිට තිස්වසරක යුද්ධය, සහ වෙනත් කලබල නිසාම සංචාරක ව්‍යාපාරය කඩා වැටීම, ආයෝජකයන් රටට පැමිණීම අඩාල වුණේ ගුවන්තොටුපලවලට මහබැංකුව WTC ඇතුලු ආයතන වලට බෝම්බ ප්‍රහාර එල්ල වීම වැනි කඩාකප්පල්කාරී වැඩ නිසායි

      2015 න් පමණ පසු නම් ප්‍රධාන හේතුව වූයේ පසුකාලීනව බලයට පත්වන රජයන්ගේ වෙනත් ප්‍රතිපත්ති නිසා රටේ ​ණය කළමනාකරණයේ දුර්වලතා සහ ණය ලබා ගත් ව්‍යාපෘති වල ප්‍රගතිය දුර්වල වීම සහ එම ව්‍යාපෘති වල ප්‍රතිලාභ බලාපොරොත්තු වූවාට වඩා අඩු වීම (Non-revenue generating) වගේ දේවල් නිසයි.

      රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දේශීය ප්‍රතිපත්තිමය දුර්වලතා සමග අපනයන තරඟකාරීත්වය අඩුවීම සහ විනිමය අනුපාතය කෘතිමව පාලනය කිරීම වගේ දේවල් නිසාත් එසේ සිදුවු බව හිතන්න පුළුවන්.

      ඊට පසුව පැමිණි ​දේශපාලන අස්ථාවරත්වය නිසාත් 2015-2019 කාලය තුළ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය සහ ඊට පසුව ඇති වූ අධික බදු බර වැනි අතාර්කික ප්‍රතිපත්ති නිසා රටේ ඉතිරිකිරීම් තවත් දුර්වල වුණා.

      වර්තමානය වන විට අධික බදු බර විශේෂයෙන්ම වාහන ආනයන බදු ඉහළ යාම, ආදායම් බදු සහ ඍජු බදු මෙන්ම වක්‍ර බදු නිසාත් රටේ ඉතිරිකිරීම් දුර්වල කළා.

      Delete
    2. ඒ වගේම ඉකොනොමැට්ටා මෙතන ​සෘජු ආයෝජන (FDI) පිළිබඳවත් වැරදි මතයක් කියනවා

      ​“විශේෂ හේතුවක් නැත්නම්, සෘජු ආයෝජන ලෙස ලැබෙන විදේශ ප්‍රාග්ධනය, විදේශ ණය මෙන්, නැවත ආපසු යන්නේ නැති වීමයි.”

      ආර්ථික විද්‍යාව අනුව මෙයද සම්පූර්ණයෙන්ම වැරදි මතයකි. සෘජු ආයෝජන (FDI) යනු ස්ථිර ආයෝජන (කර්මාන්තශාලා, යන්ත්‍රසූත්‍ර) වුවද, ඒවායින් ලබන ලාභ (Profits) ආපසු රට යයි. එමෙන්ම, විදේශීය ආයෝජන සහිත සමාගම් දේශීයව ව්‍යාපාර නතර කළ විට හෝ ව්‍යාප්තිය අඩු කළ විට, එම ප්‍රාග්ධනය ආපසු යෑම සිදුවේ. සෘජු ආයෝජනවල වාසිය වන්නේ ඒවා දිගුකාලීනව ආර්ථික ව්‍යුහය ශක්තිමත් කිරීම මිස, මුළුමනින්ම රටේ ස්ථිරවම රඳා පැවතීම නොවේ.

      ​දේශීය ඉතුරුම් සහ ජංගම ගිණුම (Current Account) පිළිබඳ වැරදි කරුණු

      ​“දේශීය ඉතුරුම් අනුපාතය ඉක්මවා ආයෝජන කරන රටකට ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්න සිදුවීම අනිවාර්යතාවයක්.”

      ඇත්තටම මෙම කොටස තාක්ෂණික වශයෙන් නිවැරදි ආර්ථික මූලධර්මය (I > S \implies X < M) පෙන්වා දෙයි. නමුත් මෙහි අවධාරණය කරන පරිදි, දේශීය ඉතුරුම් වැඩි කිරීම යනු ආර්ථිකය තිරසාර ලෙස වර්ධනය කිරීමේ ප්‍රධාන හා ප්‍රබලතම ක්‍රමෝපායයි. සිංගප්පූරුව (58.41%), චීනය (43.24%) වැනි රටවල ඉහළ ඉතුරුම් අනුපාත එම රටවල වේගවත් වර්ධනයට මග පෑදූ බව සත්‍යයකි. ශ්‍රී ලංකාව (22.40%) අද මුහුණ දෙන අභියෝගයට විසඳුම වන්නේ රජයේ පුනරාවර්තන වියදම් අඩු කිරීම සහ පුද්ගල ඉතුරුම් දිරිමත් කිරීම හරහා මෙම අනුපාතය ඉහළ නැංවීමයි.

      මෙය කිරීමට නම් රජයේ ප්‍රතිපත්ති තුල අධික ආනයන බදු, විශේෂයෙන්ම වාහන වලට ඇති අධික ආනයන බදු, අධික ආදායම් බදු, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය වලට ඇති අධික ආනයන බදු, ඉඩම්වලට දමා ඇති අධික මුද්දර ගාස්තු ආදී රටේ වැඩකරන ජනතාව විශේෂයෙන්ම තරුණ ශ්‍රම බලකායේ ආදායම් සූරාකෑම නවතා රජයේ ආදායම් වැඩිකර ගැනීමට විකල්ප මාර්ග සොයාගත යුතුය. රජයේ වියදම් පාලනය කිරීමට රාජ්‍ය අංශයේ සේවකයන් අඩුකර පාඩු ලබන රාජ්‍ය ආයතන හැකිතාක්දුරට පෞද්ගලික අංශයට විකිණීම හෝ වසා දැමීමට තීරණය කළ යුතුයි.

      කෙටියෙන් කිව්වොත් මේ පෝස්ට් එකේ නිවැරදිව පෙන්වා දෙන එකම කරුණ නම්, දේශීය ඉතුරුම් අනුපාතය වැඩි කිරීම (වර්තමාන 22.40% මට්ටමේ සිට ඉහළට) තිරසාර ආර්ථික වර්ධනයකට ඇති ප්‍රබලතම සහ අත්‍යවශ්‍යම ක්‍රමෝපාය බවයි.
      ​මේ සඳහා අවශ්‍ය වන්නේ:

      ​රජයේ වියදම් පාලනය:

      රාජ්‍ය අංශයේ සේවකයන් අඩු කිරීම සහ පාඩු ලබන රාජ්‍ය ආයතන කාර්යක්ෂමව පුද්ගලීකරණය කිරීම හෝ වසා දැමීම.

      ​ප්‍රතිපත්තිමය වෙනස්කම්:

      අධික ආනයන බදු, අධික ආදායම් බදු සහ අනෙකුත් ඉතුරුම් දුර්වල කරන බදු පීඩනය අඩු කර, රජයේ ආදායම් වැඩි කිරීමට විකල්ප මාර්ග සෙවීම වගේ දේවල්. නමුත් ඉකොනොමැට්ටා මේ වගේ දේවල් ගැන අවබෝධයක් නෑ නේද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: