ඒ පසුගිය පෙබරිවාරි මාසයේ මැද දිනයකි. ග්රේස් ඇගේ පෙම්වතා වන කේර් සමඟ තවත් සතියකින් පසු පැවැත්වීමට නියමිත ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය ගැන කතා බහක යෙදී සිටිද්දී හිටිවනම ඇගේ දුරකථනය නාද විය.
"අම්මගෙන් කෝල් එකක්"
ඇය සිය ජංගම දුරකථනයෙන් සිය මව හා සම්බන්ධ වූවාය.
"මම ගත්තා ඔයාගේ වෙඩින් එකට අඳින්න ලස්සන ලේස් ගවුමක්. කළු ලේස් අල්ලපු නිල් පාට එකක්."
ග්රේස්ගේ මව සිසිලියාට ගවුම ගැන කියන්නට මහ ගොඩක් විස්තර තිබේ.
"හරි හරි ඕකේ ෆොටෝ එකක් අරන් එවන්නකො අපිටත් බලන්න."
ග්රේස් ඇගේ දුරකථන ඇමතුම අවසන් කර කේර් සමඟ පිළිසඳරට නැවත එක් වී වැඩි වෙලාවක් යාමට පෙර ඇගේ දුරකථනයට මවගේ අළුත් ගවුමේ ඡායාරූපයක් යොමු විය. ඒ දෙස බලා සිටි ඇගේ මුහුණ වෙනස් වේ.
"ඇයි? මොකද ප්රශ්නේ?" කේර් අසයි.
"මේ බලන්නකෝ අනී. අම්ම ගත්තයි කිවුවේ කළු ලේස් අල්ලපු නිල් පාට ගවුමක්නේ. දැන් මේ ෆොටෝ එකේ තියෙන්නේ රත්තරන් පාට ලේස් අල්ලපු සුදු ගවුමක්."
ග්රේස්ගේ අම්මගෙ රෙද්ද නිල් වුනත්, සුදු වුනත් කේර්ට ඇති අමාරුවක් නැත. ග්රේස් සමඟ විවාහ උත්සවයේ අනෙක් දේවල් සම්බන්ධව වාදවිවාද කර දැන් කේර්ට ඇති වෙලාය. ඒත් මේ වෙලාවේ ඕවා කියන්න යනවාට වඩා ෆොටෝ එක බොරුවට හෝ උනන්දුවෙන් බලන එක ශරීර සෞඛ්යයට ගුණදායකය.
ගවුමේ ඡායාරූපය දෙස වරක් බැලූ කේර් ඒ දෙස නැවත නැවතත් බැලුවේය.
"ඉතිං මේක කළු ලේස් අල්ලපු නිල් පාට ගවුමක් තමයිනේ!"
ග්රේස් දුරකථනය නැවතත් අතට ගත්තේය.
"අනේ මන්දා? අම්මයි ඔයයි කතා වෙලා මාව අන්දවන්න හදනවද?"
"ඔයාව දැන්ම අන්දවන්නෙ මොකටද? ඒකට තව සතියක් තියෙනවනේ..."
"මටනම් පේන්නෙම රත්තරන් පාට ලේස් අල්ලපු සුදු ගවුමක්!"
ඡායාරූපය දෙස කොයිතරම් වෙලා බලා සිටියත් දෙන්නාට පෙන්නේ පාට දෙකකි. මේ නිසා ඡායාරූපය ඔවුන්ගේ යහළු යෙහෙළියන් කිහිප දෙනෙකුටද පෙන්වනු ලැබුවත් එයින් වුනේ ප්රශ්නය තවත් උග්ර වීම පමණි. ඇතැම් අයට මෙය නිල්-කළු ගවුමකි. තවත් අයට රන්-සුදු ගවුමකි. සමහර අයට වෙන වෙන පාටත් පෙනේ. තවත් අයට මෙය පාට වෙනස් වන මැජික් ගවුමකි.
ග්රේස් මේ ගැන සිය මවට කීවාය. ග්රේස්ට යැවූ ඡායාරූපය දෙස නැවත බැලූ ඇයට ග්රේස්ට මෙන්ම එය රන්-සුදු ගවුමක් සේ පෙනේ. එහෙත්, මේ ඡායාරූපය ගත් ඇගේ සහකරු පෝල් මෙය ඔහුට පෙනෙන්නේ නිල්-කළු ගවුමක් ලෙස බව දිවුරා පවසයි.
මේ රන්-සුදු නිල්-කළු වාදය ග්රේස්ගේ විවාහ මංගල දිනයේත් නැගලා ගියේය. විවාහ උත්සවයට සංගීතය සැපයූ කණ්ඩායමද ග්රේස්ගේ අම්මගෙ රෙද්ද අරභයා දෙපිලකට බෙදුණු අතර පසුව මේ ඡායාරූපය අන්තර්ජාලයටද එක් කෙරිණි.
ග්රේස්ගේ අම්මගෙ රෙද්ද ජාත්යන්තර ප්රශ්නයක් වීමට වැඩි වෙලාවක් ගියේ නැත. මේ ප්රශ්නය සමාජ ජාල හරහා පැතිරෙන්නට වූයේ අසුරු සැනෙකිණි.
දින හතර පහක් ඇතුලත මේ පිළිබඳව ටම්බ්ලර්හි පළවූ ආරම්භක සටහන කියවා තිබුණු වාර ගණන මිලියන 73 ඉක්මවීය. එය පලකළ පෙබරවාරි 26 දින පස්වරු 10.30-11.30 අතර පැයේදී විනාඩියකට මෙය කියවූ ගණන 140,000ක් පමණ වේ. එමෙන්ම දිනක් යන විට වැටුණු කමෙන්ට්ස් ගණන 483,000කි.
සැණෙකින් මෙය අනෙකුත් සමාජජාල වෙතද ව්යාප්ත විය. ප්රසිද්ධ නළු නිලියන්, ගායිකාවන් සහ ක්රීඩකයින්ද අදහස් දැක්වීමට පටන් ගැනීම නිසා වැඩේ තවත් නැගලා යන්නට විය.
මේ පිළිබඳව කෙරුණු එක් අන්තර්ජාල මත විමසුමක ප්රතිඵලය අනුව මිලියන 2.3කට (68%) මේ ගවුම රන්-සුදු ලෙසත්, මිලියන 1.1කට කළු-නිල් ලෙසත් (32%) පෙනුණේය.
ෆේස්බුක් දත්ත විද්යාඥයින් වන මයික් ඩෙවලියන් සහ ඒඩ්රියන් ෆ්රිජරි විසින් වත්පොත් සටහන් ඇසුරෙන් සිදුකළ විශ්ලේෂණයකට අනුව වත්පොතේ රන්-සුදු පක්ෂයේ ප්රතිශතය 58%ක්ද කළු-නිල් ප්රතිශතය 42%ක්ද වේ. එමෙන්ම, පිරිමින්ට සාපේක්ෂව ගැහැණුත්, තරුණයන්ට සාපේක්ෂව වයස්ගත අයත්, පරිගණක ඇසුරින් වත්පොත් යන අයට වඩා ජංගම දුරකථන මඟින් පිවිසෙන අයත්, රාත්රියේ මෙය දකින අයට වඩා දවල් කාලයේ දකින අයත් ග්රේස්ගේ අම්මගෙ රෙද්ද රන්-සුදු ලෙස දකිති. මෙහි ප්රතිවිරුද්ධ පාර්ශ්ව එය නිල්-කළු ලෙස දකිති.
ඔබට ග්රේස්ගේ අම්මගෙ රෙද්ද පේන්නේ මොන පාටින්ද?
මේ වනවිට මේ ඡායාරූපය මුල් කරගත් ශාස්ත්රාලීය පර්යේෂණ ගණනාවක් සිදු කෙරී ඇති අතර Current Biology විමර්ශිත ජර්නලය මේ හා අදාල පර්යේෂණ පත්රිකා කිහිපයක්ම ළඟ ළඟ පළ කර තිබේ. මේ එයින් කිහිපයකි.
1. Lafer-Sousa, Rosa, Katherine L. Hermann, and Bevil R. Conway. "Striking individual differences in color perception uncovered by ‘the dress’ photograph." Current Biology (2015).
2, Gegenfurtner, Karl R., Marina Bloj, and Matteo Toscani. "The many colours of ‘the dress’." Current Biology (2015).
3. Brainard, David H., and Anya C. Hurlbert. "Colour Vision: Understanding# TheDress." Current Biology 25.13 (2015): R551-R554.
4. Winkler, Alissa D., et al. "Asymmetries in blue–yellow color perception and in the color of ‘the dress’." Current Biology (2015).
Wednesday, November 25, 2015
Monday, November 23, 2015
තැඹිලි තැඹිලි පාටද? (දෙවන කොටස)
පෙර ලිපියෙන් සාකච්ඡා කළ පරිදි අපේ දෘෂ්ඨි පරිපථ වලට ග්රහණය කර ගත හැක්කේ විද්යුත් චුම්භක වර්ණාවලියේ සීමිත පරාසයකි. මේ පරාසයේ ඉහළ හා පහළ සීමාවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවද ඒ සාමාන්යයෙන් සුළු වශයෙනි. අප එකිනෙකා ලෝකය දකින ආකාරය වැඩිපුරම වෙනස් වන්නේ මේ පරාසය තුළ ඇති විවිධ වර්ණ වෙන්කර හඳුනාගන්නා ආකාරය අනුවය.
භෞතික ගුණාංග අනුව වර්ණ එකිනෙකින් වෙනස් වන්නේ ඒවායේ තරංග ආයාම අනුවය. දැන් අපි ශුද්ධ කහ පැහැය ලෙස නිශ්චිත තරංග ආයාමයක් හඳුනා ගනිමු. මේ තරංග ආයාමය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව මොහොතකට අමතක කරමු.
මේ තරංග ආයාමය සහිත විද්යුත් චුම්භක තරංග අපේ අක්ෂි කාචය විනිවිද දෘෂ්ඨි විතානය මත පතිත වූ විට (පෙර ලිපියෙන් හඳුන්වා දුන්) අපේ කේතු සෛල තුන් වර්ගයෙන් රතු (දිගු) සහ කොළ (මැදි) කේතු සෛල දෙවර්ගයම උපරිමයට තරමක් කිට්ටු වන තරම් (90% පමණ) ප්රතිචාර දක්වන අතර නිල් (කෙටි) කේතු සෛල ප්රතිචාර නොදක්වන තරම්ය. මේ ප්රතිචාර සංයෝගය අපේ මොළය විසින් කහ පැහැය ලෙස හඳුනා ගනී.
යම් හෙයකින් කහ වර්ණයට වඩා කෙටි තරංග ආයාමයක් ඇති කොළ පැහැයට හුරු එළියක් සහ දිගු තරංග ආයාමයක් ඇති රතු පැහැයට කිට්ටු එළියක් එක තැන, අපේ ඇස් වලට වෙනස් ස්ථාන දෙකක් ලෙස හඳුනාගත නොහැකි තරම් කිට්ටුවෙන් තිබුණොත් කුමක් වේද? රතු තරංගය අපේ රතු කේතු සෛල 90% මට්ටමට සංවේදී කරවන අතර කොළ තරංගය කොළ කේතු සෛල 90% මට්ටමට සංවේදී කරවයි.
මේ ප්රතිචාර සංයෝගය කහ පැහැය හමුවේ මොළයට ලැබෙන ප්රතිචාර සංයෝගයට සමාන නිසා මොළය දැන් දකින්නේ කහ පැහැයයි. එහෙත්, භෞතික වශයෙන් මෙහි ඇත්තේ වෙනස් තරංග දෙකකි. ඔබේ රූපවාහිනිය, පරිගණක තිරය මෙන්ම වර්ණයෙන් මුද්රිත ඡායාරූපයක් හෝ පුවත්පතක් ඔබේ මොළය රවටන්නේ වර්ණ දැකීමේ ක්රියාවලියේ ඇති මේ දුර්වලතාවය උපයෝගී කරගනිමිනි. වර්ණ මුද්රණයේදී බොහෝ විට මූලික භෞතික වර්ණ වන රතු, කොළ සහ නිල් වල අතරමැදි වර්ණ වන මැජෙන්ටා, සියැන් සහ කහ වර්ණ මිශ්ර කෙරේ.
එක් එක් කේතු සෛල වර්ගයේ ඇති වෙනස් සංවේදිතා මට්ටම් සියයකට වැඩි ප්රමාණයක් හෝමෝ සේපියන් මොළයක දෘශ්ය පරිපථ වලට වෙන් වශයෙන් හඳුනාගත හැකිය. එනම්, රතු පාට මට්ටම් සියයක්, කොළ පාට මට්ටම් සියයක් සහ නිල් පාට මට්ටම් සියයක් වශයෙනි. මේ අනුව, වෙනස් වර්ණ (100x 100x 100) මිලියනයකට වැඩි ප්රමාණයක් සාමාන්ය දෘෂ්ඨියක් ඇති කෙනෙකුගේ මොළයට හඳුනාගත හැකිය. මේ වර්ණ ප්රමාණය මිලියන 2.3-10 දක්වා ප්රමාණයක් ලෙස විවිධ පර්යේෂකයින් විසින් ඇස්තමේන්තු කර තිබේ.
ශක්තිය ඉතිරි කර ගැනීමේ උපායක් ලෙස මෙසේ එකතු කරගන්නා දත්ත ඒ ආකාරයෙන්ම සැකසුම් නොකර තරංග ආයාම සංවේදීතාව අනුව එක ළඟ පිහිටි කේතු සෛල දෙකක වෙනස අනුව සැකසුම් කෙරේ. මේ අනුව, රතු සහ නිල් කේතු සෛල වල සංවේදිතා මට්ටම් ඒ අතර පිහිටි කොළ කේතු සෛල වල සංවේදිතා මට්ටම සමඟ සැසඳේ. රතු සංවේදීතාව වැඩිනම් රතු පැහැයත් අඩුනම් කොළ පැහැයත් තෝරා ගැනේ. මේ අයුරින්ම, නිල් පැහැය වැඩිනම් නිල් පැහැයත් අඩුනම් කහ පැහැයත් තෝරාගැනේ. (සැසඳීමේ ප්රතිඵලයක් ලෙස දැන් කහ පැහැයක්ද තිබේ.)
ඇසේ කේතු සෛල වලින් වෙන් වශයෙන් හඳුනා ගන්නා මූලික 'භෞතික' වර්ණ තුන ඇසුරෙන් මොළය විසින් හඳුනා ගන්නා ඉහතින් සඳහන් කළ වර්ණ හතර ප්රාථමික 'මානසික' වර්ණයි. මෙහිදී පහසුවට රතු, කොළ ලෙස නම් කළත් ඇත්තටම මේ මූලික මානසික වර්ණ වල ඇත්තේ රතු සහ කොළ පැහැයන්ට ආසන්න වර්ණ දෙකක් මිස හරියටම රතු සහ කොළ වර්ණ නොවේ.
ප්රාථමික 'මානසික' වර්ණ
|
|||
රතු (සරිස්)
|
කහ
|
කොළ (ඇක්වා)
|
නිල්
|
අවසාන වශයෙන් අප දකින පැහැය මෙසේ තෝරා ගැනෙන වර්ණ දෙකේ එකතුවකි. සැසඳීමේදී සංවේදිතා මට්ටම් සමානනම් සුදු ආලෝකය මිස වර්ණයක් එකතු නොවේ. එවිට අපට පෙනෙන්නේ එක සැසඳීමකින් එකතුවන වර්ණයයි. සැසඳීම් දෙකෙන්ම ප්රතිපල සමානනම් අපට අවසාන වශයෙන්ද සුදු පැහැය පෙනේ.
ප්රාථමික 'මානසික' වර්ණ මිශ්රණ
. කහ − මැදි + නිල් .
කොළ කොළ
+ +
මැදි මැදි
− −
රතු රතු
. කහ − මැදි + නිල් .
. කහ − මැදි + නිල් .
කොළ කොළ
+ +
මැදි මැදි
− −
රතු රතු
. කහ − මැදි + නිල් .
(source: http://midimagic.sgc-hosting.com/huvision.htm)
දැන් මේ ක්රියාවලිය සිදුවන ආකාරය අනුව සාමාන්ය පුද්ගලයෙකුට එකවර රතු සහ කොළ වර්ණ දැකිය නොහැකිය. මොළයට සංවේදී වන්නේ මේ වර්ණ දෙක අතර වෙනසයි. මෙයින් අදහස් වන්නේ රතු සහ කොළ වල අතරමැදි වර්ණ ගැන නොවේ. කහ සහ නිල් පැහැයන්ට අදාලවද මෙය මෙසේමය. එමෙන්ම, මෙහිදී මා සාමාන්ය පුද්ගලයෙකු ලෙස හඳුන්වන්නේ ඇසේ කේතු සෛල වර්ග තුනක් ක්රියාකාරිව ඇති අයෙකි. මෙවැනි කේතු සෛල වර්ග තුනකට අඩුවෙන් ක්රියාකාරිව ඇති වර්ණාන්ධ අය මෙන්ම කේතු සෛල වර්ග හතරක් ක්රියාකාරිව ඇති අයද යම් ප්රතිශතයක් සිටිති. ඒ ගැන පසුව කතා කරමු.
සාමාන්ය හෝමෝ සේපියන් මොළයකට වෙනස් වර්ණ මිලියන ගණනක් වෙන් කර හඳුනාගත හැකි වුවත් මේ වර්ණ මතක තබා ගන්නේ එසේ හඳුනාගන්නා තරමේ නිරවද්යතාවක් සහිතව නොවේ. වර්ණයක් මතක තබා ගන්නේ මොළය විසින් හඳුනාගන්නා 'සැබෑ' වර්ණයට කිට්ටුවෙන් ඇති 'දන්නා කියන' වර්ණයක් වශයෙනි. බොහෝ විට කෙනෙකුට සාරියක පැහැය මතක තබා ගෙන ගොස් සාප්පුවකින් ඒ පාටම සාරියක් තෝරා ගත නොහැකිය. එහෙත්, සාරියේ කොනකින් කෑල්ලක් කපා ගෙන ගියහොත් ඉතා නිවැරදිව සසඳා ඒ තේරීම කළ හැකිය.
මෙසේ යමෙකුගේ මතකයේ ඇති 'දන්නා කියන' වර්ණ ප්රමාණය උපන්දා ලෙස ලැබෙන පුහුණුවෙහි ප්රතිපලයකි. උපතින් පුර්ණ අන්ධව සිටි කෙනෙකුට පසුකාලීනව පෙනීම ලැබුණු වහාම කිසිවක් 'නොපෙනෙන්නේ' මේ නිසාය.
දැන් ඔබේ මනස දකින නිල් පැහැය මා දකින නිල් පැහැයමද? එය එසේ විය යුතු නැත.
උදාහරණයක් ලෙස යමෙකු දකින මූලික මානසික වර්ණ වල ධ්රැවීයත්වය මාරු වූයේයයි සිතමු. දැන් මා දකින නිල් ඔබ දකින කහ පැහැයයි. මා දකින කොළ පැහැය ඔබ දකින රතු පැහැයයි. මේ උදාහරණයේදී මූලික වර්ණ හතරම හරියටම අනිත් පැත්ත ගසා ඇති නිසා ඔබේ මනසට පෙනෙන්නේ මට පෙනෙන ලෝකයේ නෙගටිව් පිටපතකි. ඔබට තැඹිලි වල්ලක් පෙනෙන්නේ මට ඉහතින් ඇති තැඹිලි වල්ල පෙනෙන අයුරිනි.
මෙය කිසිවෙකුට නිරීක්ෂණය කළ හැකිද? එසේ කළ නොහැකිය. මා උඩින් ඇති තැඹිලි වල්ලේ රූපය ඔබට පෙන්වා ඔබට එය පෙනෙන්නේ කෙසේදැයි ඇසුවොත් ඔබ කියනු ඇත්තේ ඔබට පෙනෙන්නේ තැඹිලි වල්ලක නෙගටිව් ඡායාරූපයක් වන නිල් පැහැ තැඹිලි වල්ලක් බවයි. මගේ නිල් පැහැය ඔබට පෙනෙන්නේ මගේ තැඹිලි පාටිනි. එහෙත්, මගේ තැඹිලි පාට ඔබේ නිල් පැහැයයි. එය ඔබ දකින තැඹිලි පාට හෝ තැඹිලි වල පාට නොවේ.
මෙහිදී වෙන්නේද, මා පෙර ලිපිවල සඳහන් කළ අකුරු උඩු-යටිකුරු ලෙස පෙනෙන විට සිදුවන සංසිද්ධියමය. මෙහිදී අපි දකින වර්ණ රාමු වෙනස් වුනත් ඒවා හරියටම ගැලපේ. ඒ නිසා, අප ලෝකය අනෙකාට විස්තර කරන ආකාරයන්හි කිසිදු නොගැලපීමක් සිදු නොවේ.
උදාහරණයක් ලෙස ඉහතින් ඇති මූලික මානසික වර්ණ හතර ඔබට පෙනෙන්නේ මට පේන ආකාරයෙන්දැයි මට දැනගත නොහැකිය. එහෙත්, මේ ලිපියේ මා ඉදිරිපත් කරන කරුණු ඔබට තේරුම් ගැනීමට එය බාධාවක් වන්නේ ඔබ ත්රිවර්ණ-සංවේදී දැක්මක් නොමැති අයෙක්නම් පමණි. ලේ වල පාටත්, ස්ට්රෝබෙරි ගෙඩියක පාටත් (ආසන්න වශයෙන්) සමාන බවට සහ කෙහෙල් දල්ලක පාට එයට වඩා වෙනස් බවට අපට එකඟ වීමට රතු පාට සහ කොළ පාට ඔබට ඇත්තටම පෙනෙන ආකාරය බාධාවක් නොවේ.
පාට යනු එකිනෙකාගේ පෞද්ගලික හැඟීමකි. එහෙත්, අපි එකිනෙකාට එකඟ විය හැකි නිශ්චිත තරංග ආයාමයක් ඇති භෞතික 'කහ පාටක්' (සහ වෙනත් පාට) ඇත්නම් මේ හැඟීම කවරක් වුවත් අපට වර්ණ හා අදාලව එකඟ විය නොහැකි තැනක් නොතිබිය යුතුය.
කෙසේ වුවද, බෝජනා දකින ලෝකයේ ඇතැම් දේ පමණක් උඩු යටිකුරු වී ඇති අයුරින් අපේ වර්ණ හඳුනාගැනීමේ රාමුවල ඇතැම් කොටස් පමණක් වෙනත් අයට වඩා වෙනස් ලෙස පෙනේනම් අපට අප එකිනෙකාගේ දැකීමේ ඇති වෙනස්කම් අවබෝධ කර ගත හැකිය. එමෙන්ම විද්යාත්මක ලෙස පරික්ෂා කර තහවුරු කිරීමටද පුළුවන.
පළමු කොටසේ සාකච්ඡා කළ පරිදි ඇත්තටම තත්ත්වය මෙසේය. අපේ කේතු සෛල වල සංවේදිතා වක්ර සමාන නොවන නිසා අපේ වර්ණ විසංයෝජනය කරන රාමුද සමාන නැත. ඒ නිසා එකම වස්තුව දකින අප දෙදෙනෙකුගේ මොළයට යැවෙන සංඥා එක සමාන නැත. ඇත්තෙන්ම අපේ ඇස් දෙකෙන් වෙනවෙනම යවන සංඥා දෙක වුවද හරියටම සමාන නැත.
(මගේ ලිපි උපුටා වෙනත් තැනක පළ කරන්නේනම් කියවන්නාට අවශ්ය විටෙක මුල් ලිපිය ඇති තැනට පහසුවෙන් ලඟා විය හැකි පරිදි සම්පුර්ණ ලින්ක් එකක්ද සමඟ පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නොකිරීම වැඩිදුර තොරතුරක් දැනගැනීමට කැමති අයෙකුට කරන අසාධාරණයකි.)
Friday, November 20, 2015
තැඹිලි තැඹිලි පාටද? (පළමු කොටස)
උදේ පාන්දරම පටන්ගන්නේ මැටි ප්රශ්නයකිනි. තැඹිලි පාට කියන්නේ තැඹිලි වල පාටයි. හරියට කොළ පාට කියන්නේ කොළ වල පාට වගේය. එහෙනං ඒක තැඹිලි පාට නොවී වෙන පාටක් වෙන්නෙ කොහොමද?
හරි තැඹිලි තැඹිලි පාටයි කියමුකෝ! දැන් මේ මට පේන තැඹිලි පාටමද අනිත් අයටත් පේන්නේ?
මේ ප්රශ්නය විශ්ලේෂණය කරන්නටනම් මුලින්ම පෙනීම යනු කුමක්දැයි සාකච්ඡා කළ යුතුය. ඉතාම සරලව පෙනීම කියන්නේ එක්තරා පරාසයක විද්යුත් චුම්භක තරංග වලට අපේ මොළ දක්වන ප්රතිචාරයයි.
විද්යුත් චුම්භක තරංග ඒවායේ තරංග ආයාමයේ දිග අනුව ගැමා කිරණ, එක්ස්-කිරණ, පාරජම්බුල කිරණ, දෘශ්ය ආලෝකය, අධෝරක්ත කිරණ, ක්ෂුද්ර තරංග (මයික්රෝවේව්), රේඩියෝ තරංග ආදී ලෙස අපේ පහසුව සඳහා අපි වර්ග කරන්නෙමු. මෙහිදී තරංග ආයාමය කියන්නේ ඉහළ රූපයේ ඇති පරිදි තරංගයක හැඩය නැවතත් ඒ ආකාරයෙන්ම දැකිය හැකි තැන් දෙකක් අතර දුරයි.
(http://science-edu.larc.nasa.gov/)
හෝමෝ සේපියන් මොළයකට සාමාන්යයෙන් ග්රහණය කර ගත හැක්කේ නැනෝමීටර 400 සිට 700 දක්වා පමණ පරාසයක විද්යුත් චුම්භක තරංගයි. නැනෝමීටරයක් කියන්නේ මිලිමීටරයක් කොටස් මිලියනයකට බෙදූ විට ඇති දුරයි. මීට වඩා ඉතා කෙටි තරංග ආයාම ඇති ගැමා කිරණයක තරංග ආයාමය මැනිය හැක්කේ නැනෝමීටරයක් තවත් කොටස් මිලියනයකට බෙදූ විට ඇති ඒකක වලිනි. එමෙන්ම, රේඩියෝ කිරණයක දිගු තරංග ආයාම කිලෝමීටර ගණනක් දිග විය හැකිය. මෙවැනි පරාසයක ඇති විද්යුත් චුම්භක කිරණ වලින් අපට ග්රහණය කරගත හැකි ඉහත මුළු පරාසයම ඉතාම සොච්චමකි.
අප විවිධ වර්ණ ලෙස දකින්නේ අපේ ඇස් වලට සහ මොළයට ගෝචර වන ඉහත පරාසයේ විද්යුත් චුම්භක තරංග වල විවිධ තරංග ආයාමයන්ය. අපට පෙනෙන දිගම තරංග ආයාමයන් රතු පැහැයෙන්ද, කෙටිම ඒවා නිල් පැහැයෙන්ද පෙනේ. ඒ අතර පරාසයේ දේදුන්නේ ඇති, අපට පෙනෙන සියළු පාට තිබේ.
රතු පාටට වඩා දිග තරංග ආයාම අධෝරක්ත කිරණ ලෙසත්, නිල්/දම් පැහැයට වඩා කෙටි තරංග ආයාම පාර ජම්බුල කිරණ ලෙසත් හැඳින්වේ. මේවා සාමාන්යයෙන් හෝමෝ සේපියන්ස්ලාට පෙනෙන්නේ නැත. ද්රශ්ය ආලෝකයේ මේ අවම සහ උපරිම සීමා වලදී විද්යුත් චුම්භක තරංග වල භෞතික ලක්ෂණ වල විශේෂ වෙනසක් වෙන්නේ නැත. විද්යුත් චුම්භක තරංග අතරින් මේ කුඩා පරාසය පමණක් අප විසින් ග්රහණය කරගන්නේ පෙනීම හා අදාලව අපේ ඇති ජීව විද්යාත්මක සීමාවන් නිසාය. එමෙන්ම මෙසේ අපට ග්රහණය වන විද්යුත් තරංග රතු, නිල්, කොළ ආදී ලෙස වෙන්කරගැනීමද අපේ මොළය විසින් කරන දෙයකි.
අපේ පෙනීම වෙනුවෙන් වැදගත්ම කාර්ය භාරයක් කරන්නේ අපේ ඇස් වල ඇති ආලෝක සංවේදී සෛලයි. යෂ්ඨි සෛල සහ කේතු සෛල ලෙස හැඳින්වෙන මෙවැනි සෛල වර්ග දෙකක් තිබේ. ඒවා එසේ නම්කර ඇත්තේ හැඩය අනුවය. මේවායින් යෂ්ඨි සෛල පාට වෙන්කර හඳුනා ගැනීමට උදවු නොකරයි. ඒවා උපකාරී වන්නේ ආලෝකය සහ අඳුර වෙන්කර ගැනීමට පමණි. වර්ණ දැකීමට උදවු වන්නේ කේතු සෛලයි.
යෂ්ඨි සෛල මිලියන 90-120 පමණ තිබුණත් කේතු සෛල ඇත්තේ මිලියන 6-7ක් පමණි. මේ නිසා, කේතු සෛල වල සංවේදීත්වය මොළයට ප්රමාණවත් ලෙස දැනෙන්නට හොඳ ආලෝක තත්ත්වයක් අවශ්ය වේ. යෂ්ඨි සෛල ප්රමාණයෙන් වැඩි නිසා මඳ අඳුරේදී වුවද ප්රමාණවත් සංවේදීතාවක් දක්වයි. ඒ නිසා හොඳින් ආලෝකය නැති අවස්ථාවලදී අපට පෙනීමට උපකාරී වන්නේ යෂ්ඨි සෛලයි. දිවා කාලයේදී වර්ණවත් ලෙස පෙනෙන දේවල් රාත්රියේදී කළු-සුදු ලෙස පෙනෙන්නේ කේතු සෛල හොඳින් ක්රියාත්මක නොවන නිසා සහ යෂ්ඨි සෛල වලට පාට වෙන්කර හඳුනාගැනීමට උපකාරී විය නොහැකි නිසාය.
සාමාන්යයෙන් හෝමෝ සේපියන් ඇස් වල වෙනස් කේතු සෛල වර්ග තුනක් තිබේ. මේ එක් එක් වර්ගය වෙනස් ආකාර වලින් විවිධ තරංග ආයමයන්ට ප්රතිචාර දක්වයි. ඒවා සාමාන්යයෙන් වැඩිපුරම ප්රතිචාර දක්වන තරංග ආයාමයට අදාල පැහැය අනුව රතු, කොළ සහ නිල් ලෙස හැඳින්විය හැකිය.
ඇත්තටම මේ හැඳින්වීම සමාන කළ හැක්කේ අලි ඇඟක් තිබෙන නිසා අලියාට අලියා කීමටය. වර්ණ අර්ථදැක්වෙන්නේම මේ සෛල වල සංවේදීතාව අනුව බැවිනි. ඒ නිසා වඩා නිවැරදි වන්නේ දිගු, මැදි සහ කෙටි ලෙස හැඳින්වීමය. පහසුව තකා මා පෙර හැඳින්වීම යොදාගනිමි.
මොළයට වර්ණ වෙන් කර හඳුනාගත හැක්කේ මේ තෙවර්ගයේ කේතු සෛල ප්රතිචාර දක්වන ආකාරය සැසඳීමෙනි. උදාහරණයක් ලෙස රතු (දිගු) සහ කොළ (මැදි) කේතු සෛල එක සමානව සංවේදී වන අතර නිල් (කෙටි) කේතු සෛල සංවේදී නොවේනම් අපට පිරිසිදු කහ පැහැය පෙනේ.
ඉහත සඳහන් කළ කේතු සෛල තෙවර්ගය වෙනස් තරංග ආයාමයන්ට ප්රතිචාර දක්වන 'සංවේදීතා වක්ර' පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. උදාහරණයක් ලෙස විශේෂිත තත්ත්ව රැසක් දැනට අමතක කළත්, සාමාන්ය පුද්ගලයෙකුගේ මේ වක්ර උපරිම සංවේදීතාවක් දක්වන තැන් වල තරංග ආයාම නැනෝ මීටර 564–580 (රතු), 534–545 (කොළ) සහ 420–440 (නිල්) ලෙස විචල්ය වේ.
මේ අනුව, රතු හා කොළ කේතු සෛල වල සංවේදතා සමාන වී, නිල් කේතු සෛල වල සංවේදීතාව ශුන්ය වී ශුද්ධ කහ පැහැයක් පෙනෙන තරංග ආයාමය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඇතැම් විට කෙනෙකුට තමන්ගේ සංවේදිතා වක්ර වල ස්වභාවය අනුව ඇතැම් වර්ණ නොපෙනෙන්නටද පුළුවන. විශේෂයෙන්ම, සාපේක්ෂව එක ළඟ පිහිටි රතු සහ කොළ කේතු සෛල වල සංවේදීතා වක්ර බොහෝ සෙයින් සමාන වූ විට යමෙකුට රතු සහ කොළ පැහැයන් වෙන් වශයෙන් හඳුනා ගැනීම අසීරු වේ.
අපට යම් වස්තුවක් වර්ණවත්ව පෙනෙන්නේ එහි වැටෙන දෘශ්ය පරාසයේ විද්යුත් චුම්භක තරංග වලින් කොටසක් පමණක් අවශෝෂණය කරගෙන ඉතිරිය ආපසු හරවා එවූ විටය. මේ තරංග සියල්ලම අදාල වස්තුව විනිවිද ගියහොත් අපට වර්ණයක් නොපෙනේ. වාතය හෝ වීදුරු මෙනි. එමෙන්ම දෘශ්ය පරාසයේ තරංග සියල්ලම අවශෝෂණය කර ගතහොත් කේතු සෛල හෝ යෂ්ඨි සෛල කිසිවක් ප්රතිචාර නොදක්වන බැවින් අපට කළු පැහැය පෙනේ. දෘශ්ය පරාසයේ තරංග ආයාම සියල්ල එකවර ලැබුණහොත් කේතු සෛල තෙවර්ගයම උපරිමයටම සංවේදී වන නිසා (overload) මොළයට ඒවායේ වෙනස සැසඳිය නොහැක. එවිට අපට සුදු පැහැය පෙනේ.
තැඹිලි ගෙඩියේ පාට අපි කාටත් තැඹිලි පාටමය. එහෙත්, ඔබ දකින තැඹිලි පාට මා දකින තැඹිලි පාටම නොවේ. (ඔබ දකින තැඹිලි ගෙඩිය මා දකින තැඹිලි ගෙඩියමද?)
මේ ඊළඟ ලිපිය පළකරන තුරු පොඩි හෝම්වර්ක් එකකි. පහත රූපයේ ඔබට වෙනස් පාට කීයක් පෙනේද?
Tuesday, November 17, 2015
ඔබ දකින්නේ මා දකින ලෝකයමද? (තෙවන කොටස)
(පළමු කොටස)
(දෙවන කොටස)
පසුගිය සටහනෙන් කතාකළ පරිදි අපි අකුරු ලියන්නේ අපිට අකුරු පෙනෙන හැටියටය. අපිට ලෝකයම උඩුයටිකුරු වී පෙනේනම් අපි අකුරු ලියන්නේත් අපිට පෙනෙන හැටියට උඩුයටිකුරුවය. කෙසේ වුවද, ලෝකය උඩුයටිකුරුව දකින කෙනෙකු උඩුයටිකුරුව ලියන අකුරු දෙස ලෝකය කෙලින් අතට පෙනෙන කෙනෙකු බලා සිටියොත් මේ අකුරු කෙලින් ලියන බව පෙනේ.
මේ ආකාරයටම, වම දකුණ මාරුවී ලෝකය පෙනෙන කෙනෙකු වම දකුණ මාරුකර ලියන අකුරු වෙනත් කෙනෙකුට පෙනෙන්නේ තමන්ට ලෝකය පෙනෙන හැටියටය. මේ නිසා ලෝකයම කවර හෝ නිශ්චිත ආකාරයකට යමෙකුට පෙනේනම් ඒ පුද්ගලයාට හෝ බාහිර නිරීක්ෂකයෙකුට කිසිදු වෙනසක් නොපෙනේ. ඒ නිසා ඔබට පෙනෙන්නේ මට පෙනෙන ලෙසද නැද්ද යන්න මට නොපෙනේ.
කෙසේ වුවද, පසුගිය සටහන සමඟ පලකළ වීඩියෝවේ පෙනෙන පරිදි දෘෂ්ඨිය උඩුයටිකුරු කරනු ලැබූ අයෙකු උඩුයටිකුරුව අකුරු ලියනු අපට පෙනේ. මේ තැනැත්තියගේ දෘෂ්ඨිය උඩුයටිකුරු කරවීමට පෙර ඇය 'නියම විදිහට' අකුරු ලියන හැටි දැන සිටියාය. ඒ නිසා දැන් ඇයට පෙනෙන අකුරු උඩුයටිකුරු වී ඇති බව ඇයට 'තේරේ'. මේ නිසා ඇය ඇයට පෙනෙන පරිදි 'නියම විදිහට' අකුරු ලිවීමට උත්සාහ කරයි. ඈ එසේ ලියන අකුරු අපට උඩුයටිකුරු වී පෙනේ. එමෙන්ම, අපි 'නියම විදිහට' ලියන අකුරු ඇයට පෙනෙන්නේ උඩුයටිකුරුවය. මේ නිසා ඇය උඩුයටිකුරුකර පුවත්පත් බලන්නීය. එවිට ඇයට එහි අකුරු 'නියම විදිහට' පෙනේ.
ඉහත සංසිද්ධිය වෙන්නේ මෙසේ දෘෂ්ඨිය උඩුයටිකුරු කරනු ලැබූ අයෙකු 'නියම විදිහට' අකුරු ලිවිය යුතු ආකාරය 'දන්නා' බැවිනි. එහෙත්, උපන්දා සිටම උඩුයටිකුරු දෘෂ්ඨියක් ඇති කෙනෙකු මෙසේ හැසිරීමට ඉඩක් නැත. එවන් අය කොපමණ සිටීදැයි දැනගැනීමට වුවද පහසු නැත. මේ අනුව, බෝජනා ප්රහේලිකාවකි. ඇයගේ සැබෑ ප්රශ්නය ඇතැම් දේවල් පමණක් වෙනස් අයුරකින් පෙනීමයි.
එක්කෝ ඇයට කෙලින් පෙනෙන ලෝකයක උඩුයටිකුරු වූ රුපවාහිනී සහ පත්තර පෙනේ. එසේ නැත්නම්, උඩුයටිකුරු වූ ලොවක කෙලින් අතට ඇති රුපවාහිනී සහ පත්තර පෙනේ. මේ නිසා ඇයට ඇගේ රුපවාහිනී තිරය සහ පත්තර ආදී ඇතැම් දේ පමණක් උඩුයටිකුරු කරගැනීමට සිදුවී ඇත.
මේ තත්ත්වය පැහැදිලි කරගැනීමට ඇයට වෙනස්ව පෙනෙන දේ දෙස බැලිය යුතුය.
- පත්තර
- පරිගණක තිරය හා යතුරු පුවරුව
- රූපවාහිනිය
- ජංගම දුරකථනය
මේවා බොහොමයක් අක්ෂර හා සම්බන්ධය. අපි දකින වෙනත් දේ සහ අකුරු අතර වෙනසක් තිබේ. අපේ ඇස් ගහක්, ගලක්, බල්ලෙකු හෝ පුසෙකු දකින විට මේ දකින්නේ සැබෑ ලෝකයක ඇති සැබෑ භෞතික වස්තුවක් බව අපේ මොළය 'දනී'. මේ භෞතික වස්තුව අපේ අනෙකුත් ඉන්ද්රියයන් එකකට හෝ කිහිපයකටද ගෝචර වන්නකි.
(www.wordworld.com)
උදාහරණයක් ලෙස හොඳින් ඉදුණු අඹ ගෙඩියක් අපේ ඇසට අමතරව නහයට, දිවට මෙන්ම ස්පර්ශේන්ද්රියටද ග්රහණය වේ. මොළයට කරන්නට ඇත්තේ මෙසේ ලැබෙන සංවේදන මෙයට පෙර මෙසේ ලැබී අපේ මතක ගබඩා වල ඇති සංවේදන සමඟද සසඳා අපට අඹ ගෙඩිය ගැන අවබෝධයක් ලබා දීමයි. වෙනත් ඕනෑම 'සැබෑ' වස්තුවක් දුටුවිටද සිදුවන්නේ මෙයයි.
එහෙත්, අඹ ගෙඩියක රූපයක් හෝ 'අඹ ගෙඩිය' යන අකුරු දුටු විට සිදුවන්නේ මේ දෙයම නොවේ. මෙහිදී අප දකින්නේ 'සැබෑ' වස්තුවක සංකේතයකි. 'සැබෑ' වස්තුව වන අඹ ගෙඩියේ රූපය හෝ 'අඹ ගෙඩිය' යන අකුරු අපට එතරම් වැදගත් නැත. අපට වැදගත් සැබෑවක් නොවන බව අප දන්නා සැබෑ අඹ ගෙඩියකි. මේ අයුරින්ම, අලියා යන අකුරු තුන දකින විට අපට මේ අකුරු තුනට අමතරව 'සැබෑ අලියෙක්' පෙනේ. ඒ සමඟම මේ 'සැබෑ අලියා' සැබෑ අලියෙක් නොවන බවද අපට පෙනේ.
බෝජනා පුවත්පතක් බලන විට ඇයට දකින්නට අවශ්ය එහි ඇති අකුරු නොවේ. එයින් විස්තර කරන පුවතයි. ඇය රූපවාහිනිය නරඹන්නේද මේ රූප සැබෑ රූප බව නොදැන නොවේ. පුවත්පතේ හෝ රූපවාහිනියේ ඇති සැබෑ නොවන සංකේත තුලින් සැබෑ ලෝකය දකින්නට තවත් වැඩිපුර දත්ත සැකසුමක් අවශ්යය. මෙහිදී පත්තරයේ නැති බව හොඳින්ම දන්නා 'සැබෑ අලියා' යමෙකුට දැකීමට අවශ්ය අවසාන ඉලක්කයයි.
කතරගම යන විට පාර හරස් කරගෙන පලතුරු ඉල්ලන්නේ ඒ සැබෑ අලියා මිස පත්තරයේ ඇති අලියාගේ රූපය හෝ 'අලියා' යන අකුරු තුන නොවේ. පත්තරයේ ඇති අලියාගේ රූපය හෝ 'අලියා' යන අකුරු තුන 'සැබෑ අලියා' දැකීමේ ක්රියාවලියේ අතරමැදි පියවරකදී උපකාරී වන අවසාන වශයෙන් තේරුමක් නැති සංකේත පමණි.
මේ සංකේත මොනවා වුණත් අවසාන දැකීමට බාධාවක් නැත. 'අලියා' කියා සඳහන් වුවත් 'elephant' කියා සඳහන් වුනත් 'யானை' කියා සඳහන් වුනත් (මේ වචන තේරුම් ගන්නා ආකාරයට සාපේක්ෂව වෙනස්කම් තිබිය හැකි වුවත්) යමෙකු දකින්නේ එකම දෙයකි. ඒ ඔහුගේ මතක ගබඩාවේ කාලයක් තිස්සේ බටකොළ කන සැබෑ අලියාය.
මෙහිදී සිදුවන දත්ත සැකසුම පාර අයිනේ සිට වාහන නවත්වා පලතුරු ඉල්ලන සැබෑ අලියෙකු දුටු විට සිදුවන ප්රාථමික දත්ත සැකසුමෙන් වෙනස්, එයට අමතරව සිදුවන ද්වීතියික දත්ත සැකසුමකි. ඒ සඳහා අවශ්ය වන්නේ කවර හෝ නිශ්චිත සංකේතයකි. මේ අතරමැදි සංකේතය 'ʇuɐɥdǝlǝ' වුවද එමඟින් සැබෑ අලියෙකු දැකීමට බාධාවක් නැත.
මා සිතන පරිදි බෝජනාගේ මොළයේ වෙනස් ලෙස සිදුවන්නේ මේ ද්වීතියික දත්ත සැකසුමයි.
Sunday, November 15, 2015
ඔබ දකින්නේ මා දකින ලෝකයමද? (දෙවන කොටස)
(පළමු කොටස)
අපේ දෙනෙතින් අප දකින ලෝකය අපේ මසැස් වල ඇති යාන්ත්රික උපාංග වල නිර්මාණයක්ද? එසේ නැතහොත් අපේ මනසේ (මොළයේ) ඇති මෘදුකාංග මඟින් සිදුකරන දත්ත සැකසුම් ක්රියාවලියේ ප්රතිඵලයක්ද?
මනෝවිද්යා පර්යේෂකයෙකු වූ ජෝජ් මැල්කම් ස්ට්රැටන් මේ කරුණ මුල්වරට පරීක්ෂා කරන්නේ විසිවන සියවස එළඹීමටත් පෙරය. ඔහු මෙසේ සිදුකළ එක් පරීක්ෂණයක් වූයේ ඇසට පෙනෙන රූප උඩුයටිකුරු කර පෙන්වන කණ්නාඩියක් එකදිගට දින අටක් පැළඳ සිටීමයි. සිවුවන දින දක්වා ඔහුට ලෝකය උඩුයටිකුරු ලෙස පෙනුනත් පස්වන දිනයේදී පෙර පරිදිම සාමාන්ය පරිදි රූප පෙනෙන්නට විය. කෙසේ වුවද, තමන් රූප උඩුයටිකුරු කරන කණ්ණාඩියක් පැළඳ සිටින බව සිහිකළ වහාම නැවතත් ඔහු දකින දසුන් උඩුයටිකුරු ලෙස පෙනිණි. දින අටකට පසු මේ කණ්ණාඩි ඉවත් කිරීමෙන් පසුවද පැය ගණනක් යනතුරු ඔහුගේ ඇස් වලට ලෝකය සාමාන්ය පරිදි 'පෙනුණත්' ඔහුගේ මොළය දුටුවේ උඩුයටිකුරු වූ ලෝකයකි.
ස්ට්රැටන්ගේ නිරීක්ෂණ මඟින් පෙන්වා දුන්නේ ඇස පිටුපසට ප්රක්ෂේපණය වන රූප වෙනත් අයුරකින් ප්රක්ෂේපණය වුවද ඒ රූප 'නිවැරදි' ලෙස සංජානනය කිරීමට කෙටිකලකින් පුරුදු වීමේ හැකියාව මොළයට ඇති බවයි. ඇසට ලබා දෙන රූප විවිධ අයුරින් 'වෙනස්' කරමින් මෙසේ කෙටිකලකින් අළුත් තත්ත්වයට පුරුදු වීමට මොළයට ඇති හැකියාව ස්ට්රැටන් විසින් පෙන්වා දෙනු ලැබීය.
ස්ට්රැටන්ගේ පරීක්ෂණ සිදුකර ගත වුනු පසුගිය වසර එකසිය විසිපහ තුල මේ පර්යේෂණය විවිධ වෙනස්කම් සහිතව නැවත නැවතත් සිදුකර තිබේ. පසුගිය සියවසේ මැද භාගයේදී තියඩෝර් එරිස්මාන් ඔහුගේ සහායක කෝලර් යොදාගෙන වම-දකුණ මාරු කරමින්ද, උඩ-යට මාරු කරමින්ද ස්ට්රැටන්ගේ නිරීක්ෂණ තහවුරු කළේය.
මේ පිළිබඳව තරමක් මෑතකදී සිදුකළ පරීක්ෂණයකින් සොයා ගැනුනේ මෙසේ වෙනස් තත්ත්වයකට හැඩගැසීමේදී ඇසට ලැබෙන රූප විද්යුත් චුම්භක තරංග බවට පරිවර්තනය කරන ආකාරය ඇත්තටම වෙනස් නොවන බවයි. උඩුයටිකුරු කණ්නාඩි පැළඳ දින ගණනකට පසුවද මොළයට ලැබෙන්නේ වෙනස් සංඥාවන් නොවේ. එහෙත්, ලෝකය ඇත්තටම පවතින්නේ 'නියම අතට' බව නිරීක්ෂකයා තේරුම් ගන්නා නිසා ඔහුට එය එසේ 'දැකිය' හැකිය. මෙහිදී තමන් පමණක් 'ඔලුවෙන් හිටගෙන' සිටින බව නිරීක්ෂකයාට දැනේ.
ස්ට්රැටන්ගේ එක් පරීක්ෂනයකදී ඔහුගේ ඇස් වලට ලැබෙන රූප විකිපිඩියාවෙන් ලබාගත් පහත රූප සටහනේ පරිදි අංශක අනූවකින් හරවනු ලැබීය. දැන් ඔහුට 'පෙනෙන' ලෝකයට සහ ඔහුගේම සිරුරට සාපේක්ෂව ඔහුට 'දැනෙන' ඔහුගේ සිරුර ඇත්තේ අහසේ පාවෙමිනි. මේ තත්ත්වයට පුරුදු වූ විට ඔහුට දැනුනේ තමන්ගේ සිරුරෙන් බැහැරව සිටින්නාක් මෙනි. බොහෝ තැන් වල වාර්තා වී ඇති ඇතැම් මරණාසන්න අත්දැකීම් වලට හේතුව මෙවැන්නක් විය හැකිය.
ඇස් වල විශේෂ තත්ත්වයක් නැති අප කාගේත් මොළයට ඇස් වලින් සම්ප්රේෂණය කරන්නේ උඩුයටිකුරු වූ ද්විමාන රූපයි. මේ රූප වල විවිධ වස්තූන්ගේ සාපේක්ෂ පිහිටීම හැර ඒවාට ඇති නිශ්චිත දුර හෝ දිශාව පිලිබඳ තොරතුරු සටහන්ව නොමැත. දිශාව සහ දුර පිළිබඳව අපට දැනෙන්නේ ඇස් වලින් නොවේ. මෙය චලනය හා අදාල අපේ ස්පර්ශ ඉන්ද්රියන්ට සම්බන්ධ දෙයකි. උදාහරණයක් ලෙස ඇස් පියාගෙන සිටියත් අපට ගුරුත්වය දැනේ. එමෙන්ම ඇස් වල ක්රියාකාරීත්වය බොහෝ දෙනෙකුට සාපේක්ෂව නිසි පරිදි සිදු නොවන (පූර්ණ දෘශ්යාබාධිත ලෙස සාමාන්ය වහරේදී හඳුන්වන) පුද්ගලයෙකුටද ලෝකයේ දිග පළල සහ දිශාවන් තේරුම් ගත හැකිය.
අපේ මොළය මඟින් මේ සංවේදන දෙවර්ගය යම් කිසි ආකාරයකට සම්බන්ධ කරයි. තවමත් ලොකුවට පර්යේෂණ සිදුකෙරී නැතත් අළුතින් මෙලොවට බිහිවන ළදරුවෙකු දකින්නේ උඩුයටිකුරු වූ ලෝකයක් බව සැලකේ. මේ ළදරුවා තමන්ගේ ඇස් වලින් ලබාදෙන රූප සිය ස්පර්ශ ඉන්ද්රිය මඟින් ලැබෙන සංවේදන සමඟ සසඳමින් ටික කලක් යද්දී ලෝකය කෙලින් අතට දැකීමට පුරුදු වේ. මොළයට මේ 'දත්ත සැකසුම' කිරීමට සුළු වුවත් යම් කාලයක් ගතවේ.
කෙසේ වුවද, කෙනෙකු දිගටම ලෝකය දකින්නේ උඩුයටිකුරු ලෙස වුවද මෙහි අවුලක් නැත. මේ ලෝකය ඔහුට හෝ ඇයට පෙනෙන පරිදි සාමාන්ය ලෝකයයි. එහි කටයුතු සාමාන්ය පරිදි සිදුවේ. එහෙත්, වරෙක ලෝකය උඩුයටිකුරු ලෙසත්, වරෙක කෙලින් අතටත් පෙනේනම් වැඩේ අවුල්ය. ඇසට ලැබෙන රූප මොළය මඟින් තේරුම් ගැනීමේදී මෙසේ වරින්වර 'උඩ-යට මාරුවීම' සහ 'උතුර-දකුණ මාරුවීම' දුර්අක්ෂරතාව (Dyslexia) හා සම්බන්ධය.
ලෝකයම උඩුයටිකුරු වී පෙනෙන අයෙකුට අකුරු පෙනෙන්නේත් උඩුයටිකුරු ලෙසිනි. යමෙකු සාමාන්යයෙන් අකුරු ලියන්නේ තමන්ට ඒ අකුරු පෙනෙන ආකාරයටය. එසේනම් එවැන්නෙකු අකුරු ලියන්නේත් උඩුයටිකුරු ලෙසද?
මෙවැනි පුද්ගලයෙකු (අපට පෙනෙන පරිදි) උඩුයටිකුරු කර අකුරු ලිවුවොත් ඒ අකුරු ඒ පුද්ගලයාට පෙනෙන්නේ කෙළින් අතටය. මෙය ඔහුට හෝ ඇයට අනුව අසාමාන්ය දෙයකි. එවැන්නෙකු තමන් දකින අයුරින්ම අකුරු ලිවුවහොත්, ඔහුගේ හෝ ඇයගේ දෘෂ්ඨිය උඩු-යටිකුරු වුවත්, වම-දකුණ මාරු වූ එකක් වුවත් අපට පෙනෙන පරිදි මේ ලිවීම සාමාන්ය ක්රමයමය. මේ නිසා යමෙකුට උඩ-යට මාරුවී පෙනුණත්, වම-දකුණ මාරු වී පෙනුණත් උපන්දා සිටම තත්ත්වය එවැන්නක්නම් ඒ පුද්ගලයාට හෝ බාහිර සමාජයට වෙනසක් නොපෙනේ.
කෙසේ වුවද, උඩින් ඇති වීඩියෝවේ පෙනෙන පරිදි උඩු-යටිකුරු කළ කණ්ණාඩියකින් ලෝකය දැකීමට අළුතින් පුරුදු වෙන අයෙකු අකුරු ලියන්නේ උඩුයටිකුරුවය. බෝජනා අකුරු ලියන්නේද ඒ අයුරිනි. ඒ ඇයි?
මෙය පසුව කතාකරමු.
Friday, November 13, 2015
ඔබ දකින්නේ මා දකින ලෝකයමද? (පළමු කොටස)
"ඔව් සර්..."
"එහෙනං තව ටිකකින් එන්නකෝ .."
ඒත් එක්කම මගේ මේසය දිහා බැලුව සෞම්යා නැගුනු හිනාවක් ආයාසයකින් යටපත් කරගන්නවා වගේ මට දැනුනා. අතින් කට වගගත්තු සෞම්යා එලියට ගියේ ලස්සන ඇස්දෙකෙන් හිනාවෙන ගමන්.
ෆෑන් එකේ ටක ටක සද්දේ ආයෙත්.
මට පිටුපාලා යන සෞම්යා දිහා බලාගෙන හිටපු මම පියවි සිහිය ලැබුවේ එයා දොරත් වහලා ගියාට පස්සේ මම හිතන්නේ. මේසේ දිහා බලපු මට තරු විසි වුනා. මම හෙන බිසී වගේ පේන්න හිටියට ෆයිල් එක තියාගෙන ඉඳලා තියෙන්නේ ඔලුවෙන් හිටවලානෙ. ශේහ් වස විලි ලජ්ජාවයි.
***
ටයිපෝ කිහිපයක් පමණක් සදා උඩින් පළකර ඇති උධෘතය ඉවාන්ගේ ප්රතිලෝම කෙටිකතාවේ කොටසකි. දැන් මේ කතාවේ සෞම්යා නැගුනු හිනාවක් ආයාසයකින් යටපත් කරගන්නේ ඇයි? ඇගේ ආයතන ප්රධානියාට විලිලැජ්ජා හිතෙන්නේ ඇයි?
වැඩ අධික බව බොරුවට පෙන්වීමට මේ කතාවේ ආයතන ප්රධානියා හදිසියේ අතට ගන්නා ලිපිගොනුව ඔහු තබාගෙන සිටින්නේ ඔලුවෙන් හිටවලාය. සාමාන්යයෙන් පුද්ගලයෙකු ලිපිගොනුවක් ඔලුවෙන් හිටවා තියාගැනීම සම්මතය නොවේ. ඒ නිසා සෞම්යාට මේ දසුනේ විහිළු සහගතබවක් දැනේ. ඇයට හිනා යන්නට එන්නේත්, සිදුවී ඇති දෙය අවබෝධ වනවිට ආයතන ප්රධානියාට විලිලැජ්ජා හිතෙන්නේත් ඒ නිසාය.
බොහෝදෙනෙක් ලිපිගොනුවක් ඔලුවෙන් හිටවා තබානොගෙන කෙලින් තබාගෙන කියවන්නේ එසේ කියවීම වඩා පහසු නිසාය. එසේ කියවීම වඩා පහසු වී ඇත්තේ කුඩා කල සිටම ලේඛණයක් මේ අයුරින් කියවීමට අප හුරුවී ඇති නිසාය.
අප බොහෝ දෙනෙකු කෙලින් තබාගෙන පොතක්, පත්තරයක් කියවූවත් එසේ නොකර සාමාන්යයෙන් ඔලුවෙන් හිටවා පත්තර බලන අයද සිටිති. සර්බියාවේ බෝජනා ඩැනිලොවික් එවැන්නියකි. ඇය ඔලුවෙන් හිටවා බලන්නේ පොත්, පත්තර පමණක් නොවේ. ඇගේ පරිගණක තිරයද උඩුයටිකුරු කළ එකකි. එමෙන්ම ඇගේ පරිගණකයේ යතුරු පුවරුවද තබා ඇත්තේ විරුද්ධ අතටය. උසයිස් නගර සභාවේ සේවය කරන ඇය වැඩ නිමකර නිවසට ගොස් උඩුයටිකුරු කර තබා ඇති රූපවාහිනිය නරඹන්නීය.
බෝජනාගේ මනස දකින ලෝකය අපදකින ලෝකයට සාපේක්ෂව උඩුයටිකුරු වූ එකකි. වෙනත් බොහෝ දෙනෙකු දකින ලෝකය බෝජනාට සාපේක්ෂව උඩුයටිකුරු වූ එකකි.
"අනෙත් අයට මෙය මහා පුදුම දෙයක් වගේ පෙනුනත් මටනම් මෙය ඉතාම සාමාන්ය දෙයක්. මා ඉපදුනේම මේ විදිහටයි. මේ තමයි මා ලෝකය දකින ආකාරය." බෝජනා කියයි.
***
අපට සැබැවින්ම ලෝකය දැකිය හැකිද? මෙය මතුපිටින් පෙනෙනවාට වඩා සංකීර්ණ ප්රශ්නයකි.
අපේ ඇස් වල ඇති කාච මඟින් කැමරාවකින් කරන්නාක් මෙන් බාහිර වටපිටාවේ 'ඡායාරූපයක්' මොළයට ග්රහණය කරගත හැකි සංඥාවක් බවට හරවයි. මේ සංඥාව විශ්ලේෂණය කරන්නේ මොළය විසිනි. ඇස් වලින් ලබාගන්නා සංඥාවේ යම් බාහිර වස්තුවක් පිහිටි ස්ථානය පිලිබඳ නිශ්චිත තොරතුරු අඩංගු නොවේ. එහි ඇත්තේ වෙනස් වස්තු ලෙස අප විසින් හඳුනාගන්නා දේවල් වල පිහිටීම් පිලිබඳ සාපේක්ෂ තොරතුරු පමණි. උදාහරණයක් ලෙස පරිගණක තිරය ඇත්තේ යතුරු පුවරුවට වඩා දුරින් බව මිස කොතරම් සෙන්ටි මීටර් ගණනක් දුරින්ද යන තොරතුර මේ සංඥාවේ නැත.
දුර පිලිබඳ අදහසක් මොළයට අවශ්ය වන්නේ අපේ චලනයන් සම්බන්ධීකරණය කර ගැනීම සඳහාය. උදාහරණයක් ලෙස මගේ මේසය මත ඇති පෑන ග්රහණය කර ගැනීමට කුමන දිශාවට කෙතරම් දුරක් මා මගේ අත චලනය කල යුතුද? මේ සඳහා මගේ ඇසෙන් ලබා ගන්නා රූප සහ මගේ චලනයන් අතර තිබිය යුතු සම්බන්ධතාවය මොළය මඟින් නිවැරදිව ක්රමාංකනය කරගත යුතුය. කෝප්පයක් අල්ලන්නට පුරුදු වන කුඩා දරුවෙකු කරන්නේ මෙයයි. මේ ක්රමාංකනය එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි.
අපේ ඇස පිටුපසට ඇසේ කාචයෙන් ප්රක්ෂේපණය කර සංඥාවක් බවට හරවන රූපය ඇත්තටම උඩුයටිකුරු වූ එකකි. එය 'ඇති හැටියෙන්' දකින්නේ මොළයයි.
බෝජනාගේ ඇස් වල කිසිදු ආබාධයක් නැත. ඇගේ ඇස් වලින් බාහිර පරිසරයේ උඩුයටිකුරු කළ පිළිබිඹුවක් මොළයට ලබාදේ. වෙනස ඇත්තේ ඇගේ මොළය මෙසේ ලබාගන්නා දත්ත සැකසුම් කරන ආකාරයේය. බොහෝදෙනෙකුගේ මොළයන් මෙවැනි උඩුයටිකුරු වූ පිළිබිඹු නැවත උඩයට හරවා 'නිසි ලෙස' ග්රහණය කරගත්තත් බෝජනාගේ මොළය එසේ කරන්නේ නැත.
කෙසේ වුවද, මෙසේ උඩුයටිකුරු ලෙස ලෝකය දැකීම කෙනෙකුට ප්රශ්නයක් නොවේ. එවැනි අයෙකු උපතේ සිටම දකින ලෝකය උඩුයටිකුරු වූ එකක් බැවින් එවැන්නෙකු කුඩා කල සිටම මේ උඩුයටිකුරු වූ ලෝකයේ ජීවත් වන්නට පුරුදු වේ. අවුලක් වුනොත් වෙන්නේ වෙනත් අයෙක් මේ ලෝකය කෙළින් සිටවන්නට හැදුවොත් පමණි.
යමෙක් ලියන්නට ඉගෙනගන්නේ තමන් දකින ආකාරයටය. මේ නිසා උඩුයටිකුරු වූ අකුරු දකින අයෙකු එසේම ලියන්නටද පෙළඹීමට ඉඩතිබේ. මෙවැන්නන් පිළිබඳව බොහෝ කලක සිට වාර්තා වී තිබේ.
කෙසේ වුවද, මේ අයුරින් උඩුයටිකුරු වූ ලෝකයක් දකින බොහෝ අයට තමන්ට රිසි ලෙස උඩුයටිකුරු කර ලියන්නට, කියවන්නට සමාජයෙන් ඉඩ නොලැබේ. වමත් හුරු දරුවන්ට දකුණත හුරු කරවන්නාවක් මෙනි.
අපේ මොළයේ ඇති අනුගතවීමේ ඇති හැකියාව පුදුම සහගතය. යමෙකුට විශේෂ කණ්ණාඩියක් පළඳවා ලෝකය උඩුයටිකුරු ලෙස එක දිගටම පෙනෙන්නට සැලැස්වුවහොත් සතියක් යන විට ඔහු හෝ ඇය මේ අළුත් තත්ත්වයට පුරුදු වේ.
බෝජනාගේ සැබෑ ගැටළුව ලෝකය උඩුයටිකුරු ලෙස පෙනීම නොවේ. ඇතැම් දේවල් එසේ නොපෙනීමයි.
මගේ ලිපි සාමාන්යයෙන් දිග වැඩි නිසාත්, මේ හා අදාල වෙනත් කරුණු රැසක් ඇති නිසාත් මේ ලිපිය කොටස් වශයෙන් පළ කෙරෙනු ඇත.
Tuesday, November 10, 2015
අත්වැරදීම්, පෞද්ගලිකත්වය සහ සමාජ ජාල
සරසවියක් අසල බස් නැවතුමක පෙරේරා යුවල බසයක් එන තුරු රැඳීසිටිති. එහි සිටින, අතේ ඇති පොත් වලින් සරසවි සිසුවෙකු බව පෙනෙන, කෙට්ටු තරුණයෙකු පෙරේරා මහත්තයා වෙත ලංවේ.
"අංකල්, වෙලාව කීයද?"
පෙරේරා මහත්තයා කතාවක් නැතුව බුම්මාගෙන සිටී.
"අංකල්, වෙලාව කීයද දන්නෑ?"
තරුණයා නැවතත් අසන්නේ තමාගේ ප්රශ්නය හරියට නොඇසුණේ හෝ නොපැහැදිලි වූයේයැයි සිතමිනි. ඒත් පෙරේරා මහත්තයා තවමත් බුම්මාගෙනය. දුර්මුඛ වන තරුණයා පැත්තකට වෙයි.
"මහත්තය මොකැයි අර ඉලන්දාරියට වෙලාව නොකිවුවේ? ඒක හරි නෑ නේද?"
ගෙදර ගොස් ටික වෙලාවකින් පෙරේරා නෝනා අසයි.
"නෝනට මේ දේවල් තේරෙනව මදි!"
"ඒ කිවුවේ?"
"ඒ කිවුවේ, දැන් මම වෙලාව කිවුවනං ඔය ඉලන්දාරියා අපිත් එක්ක කතාවට වැටෙයි. හොඳයි නැද්ද?"
"ඔවු, එහෙම වෙන්න පුළුවන් තමයි!"
"සමහර විට අපේ ගෙවල් දොරවල් තියෙන තැන් ගැන විස්තර උනත් අහන්න බැරි නෑ."
"ඔවු, සමහර විට!"
"ඕව අහගෙන අපේ ගෙදර උනත් වෙලාවක එන්න බැරිකමක් නෑ."
"මමනං හිතන්නේ නෑ. හැබැයි ඉතින් බැරිකමක් නෑ!"
"දැන් අපේ චූටි මැණිකේ ඇහැට කණට පේන කෙලී. ඔය ඉලන්දාරියගේ ඇහැවැටුණාම දුර දිග යන සම්බන්ධයක් ඇතිවෙන්න බැරිද?"
"ඔවු ඉතිං ගින්දරයි පුළුනුයි එකට තියන්න බෑ තමයි. ඒත් ඉතිං දීග දෙන වයසෙ ඉන්න ඒ ළමයට එහෙම හරි යමක් කෙරෙනවනං මොකක්ද තියෙන වැරැද්ද? කැම්පස් ළමයෙක්නේ..."
"නෝනනං කියයි! මං කොහොමද අතේ වෙලාව බලන්න ඔරලෝසුවක්වත් නැති ඉලන්දාරියෙකුට හිත හදාගෙන අපේ කෙලීව දෙන්නේ? දැන්වත් තේරුණාද ඇයි මං ඒ වෙලාවේ වෙලාව නොකීවේ කියලා"
(කතාවනම් බොහොම පරණ එකක් තමයි!)
මටනම් දීග දෙන වයසේ දූවරු නැත. පහුගිය දවස්වල ගුරුවරුන්ගේ දඬුවම් දීම් ගැන ඇති වූ සංවාදයටත්, එයට අදාලව පසුව ඇති වූ සංවාද වලටත් සක්රියව සහභාගී විය නොහැකි වූයේ කාර්යබහුල වූ නිසාය.
මා නිවසේ සිටින විට සාමාන්යයෙන් සම්පූර්ණයෙන් නිරුවත්ව ඉන්නේ නැත. එහෙත්, සරමක් පමණක් හැඳ උඩුකය නිරුවත්ව සිටින විට දැනෙන සැහැල්ලුවට මම කැමතිය. ශීත රටක, ශීත සමයක නිවෙස් උණුසුම් කිරීමේ ඉහළ පිරිවැය හමුවේ වුවද මේ සැහැල්ලුවට මගේ ඇති කැමැත්ත සම්පූර්ණයෙන් මැඬ පැවැත්විය නොහැක. කෙසේ වුවද, මේ අයුරින් අමුත්තෙකු හමුවන්නට මා සූදානම් නැත.
බටහිර රටක අමුත්තෙකු නොදන්වා පැමිණීම සුලභ සිදුවීමක් නොවේ. එසේ පැමිණේනම්, බොහෝ විට ඒ පාර්සලයක් භාර දීමට පැමිණෙන ෆෙඩෙක්ස් වැනි සමාගමක සේවකයෙකු හෝ ආගම් ප්රචාරයට පැමිණෙන මිෂනාරියෙකි. මෙවැන්නෙකු අනපේක්ෂිත අවස්ථාවක දොර සීනුව නාද කළහොත් මට උඩුකය වසාගැනීමට අමතරව සරම වෙනුවට සුදුසු ඇඳුමක් ඇඳීමටත් සිදුවේ.
මට පෞද්ගලික ජීවිතයක් තිබේ. සමාජ ජීවිතයක්ද තිබේ. අතිපිහිතවීම් බහුල වුවද මේ දෙක දෙකකි. සමාජ ජීවිතය කියන්නේම එක්තරා රඟපෑමකි. මේ රඟපෑම හොඳින් කරන්නට මගෙන් බාහිර සමාජය මා තුලින් දැකීමට අපේක්ෂා කරන්නේ කවර ආකාරයේ පුද්ගලයෙක්ද යන්න දැන සිටිය යුතුය. එය දැනගෙන සමාජයට අවශ්ය පරිදි, වෙනස්ම පුද්ගලයෙකු ලෙස මා හැසිරෙන බව එයින් අදහස් නොකෙරේ. එහෙත්, සමාජය ඉදිරියේ හැසිරීමේදී යම් තරමකට නම්යශීලී වීමක් අනිවාර්යයෙන්ම සිදුවේ. මගේ අදහස පරිදි සෑම පුද්ගලයෙකුටම වාගේ 'ස්වභාවික' පෞද්ගලික ජීවිතයක් සහ තරමක් දුරට හෝ ස්වභාවිකත්වයෙන් දුරස්ථ සමාජ ජීවිතයක් තිබේ.
පුද්ගලයෙකු බාහිර සමාජය ඉදිරියේ නිරාවරණය කරන ශරීර කොටස් මෙන්ම එසේ නොකරන කොටස්ද තිබේ. මේවා යම් නිශ්චිත කාල-අවකාශයකට සාපේක්ෂ, තැනින් තැනට සහ කලින් කලට වෙනස්වන සම්මුතීන්ය. (බුරිය වසා ගැනීමේ අවශ්යතාවයක් මෙතෙක් කල් ලංකාවේ තිබුණේ නැත.) සමාජ සම්මුතියට යටත්ව කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය නිරාවරණය කරන ප්රමාණය ඒකීය පුද්ගල තෝරාගැනීමකි.
සමාජ ජීවිතය තුල, මේ ඒකීය පුද්ගලයින්ට වැරදීම් සිදුවේ. කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ අදාල පුද්ගලයාට සාපේක්ෂව සමාජයට නිරාවරණය නොකළ යුතු කොටසක් හදිසියේ නිරාවරණය වීම එවැනි වැරදීමකි. එසේ වූ විට, එවැන්නෙකු වහාම කරන්නේ අදාල කොටස නැවත ආවරණය කර ගැනීමයි. මේ සඳහා මුලින්ම වැරදීමක් වූ බව දැනගත යුතුය. ඇතැම්විට වෙනත් අයෙකු වැරැද්ද දකින්නට පෙර වැරදුනු බව තමන්ටම තේරේ. ඇතැම්විට වැරැද්ද අවබෝධ වන්නේ වෙනත් කෙනෙකු පෙන්වා දුන් විටය.
වෙනත් කෙනෙකුගේ වැරැද්දක් මා දකින්නේ මගේ හරි-වැරදි රාමුවට සාපේක්ෂවය. ඇතැම් විට, වෙනත් අයෙකුට අත්වැරදීමක් වී ඇති බව මට පෙනීයයි. එහෙත්, එය අත්වැරදීමක් නොවන්නටත් පුළුවන.
උදාහරණයක් ලෙස කොට සායක් ඇඳ සිටින කාන්තාවක් කකුල් තරමක් පළල් කරගෙන වාඩිවී සිටී. බොහෝ දෙනෙක් මේ විවරය දෙස කට ඇරගෙන බලා සිටිනු මට පෙනේ. මා කළ යුත්තේ කුමක්ද? (පිරිමියෙකුගේ කලිසමේ සිපරය විවර වී තිබීම වුවද සැලකිය හැකිය.)
-මේ ඉරියවුව ප්රසිද්ධියේ විවේචනය කළ හැකිය. මෙය හොඳ හෝ නරක විවේචනයක් විය හැකිය.
-මෙය හිමිහිට තට්ටුවක් දමා පෙන්වා දිය හැකිය.
මා සිතන පරිදි, හොඳම දෙය ඇයට හිමිහිට තට්ටුවක් දමා වී ඇති දෙය පෙන්වා දීමයි. සිදුවී ඇත්තේ අත්වැරදීමක්නම් එය නිවැරදි කර ගැනීමට එයින් ඉඩක් ලැබේ. එහෙත්, මෙහි පොඩි පරහක්ද තිබේ. ඇගේ මේ ක්රියාව අත්වැරදීමක් නොවේනම්? ඇයට අවශ්ය මේ ඉරියවුවෙන් සිටිමින් අවධානය ලබාගැනීමටනම්?
ඉහත කරුණ නිසා මා මෙලෙස තට්ටුවක් දමා කෙනෙක්ව දැනුවත් කිරීම සිදුවන්නේ අදාල පුද්ගලයා සහ මා අතර ඇති සම්බන්ධතාවයේ හෝ බැඳීමේ ප්රමාණයටය.
මා අතින් සිදුවන අත්වැරදීමක් යමෙක් මෙසේ පෙන්වා දෙනවානම් මා කැමතිය. එවිට, එය නිවැරදි කරගැනීමට හෝ එය වරදක් නොවේයැයි මා සිතන්නේ ඇයිදැයි පැහැදිලි කිරීමට මට අවස්ථාවක් ලැබේ. දෙවන මාදිලියේ ප්රතිචාරයක් අවංක එකක් නොවේනම් එය හත්පොලේ ගාගැනීමකින් කෙළවර වන්නටත් පුළුවන.
කෙසේවුවද, උඩින් ඇති වීඩියෝවේ ඇති පරිදි ප්රසිද්ධ වේදිකාවකදී රෙද්ද ගැලවුණු විට ලැජ්ජාවට පත්වී හෝ වෙනත් හේතුවකට එය වසා ගන්නට කෙනෙකු හදනවානම් එයින් අදහස් වන්නේ සිදුවී ඇත්තේ අත්වැරදීමක් බවයි.
යසනාත් ධම්මික බණ්ඩාර ඔහුගේ විවේචනයට පාත්ර වූ සටහන ඉවත් කරගෙන තිබේ. ඔහුට සිදුවී ඇති අත්වැරැද්ද ඔහුගේ පෞද්ගලිකත්වයේ සමාජයට නිරාවරණය කරන්නට අවශ්ය නැති කොටසක් හදිසියේ නිරාවරණය වී තිබීමයි. ඔහුගේ සටහන ඔහු සැබෑවටම සිතන ආකාරය වුවද ඒ හේතුවෙන් එය අත්වැරැද්දක් නොවන්නේ නැත.
ගැලවුණු රෙද්ද නැවත ඇඳගත් පසු ඒ ගැන නැවත නැවත කතා කිරීම (දැන් මා ඉහත වීඩියෝව කෙරෙහි නැවත අවධානය යොමු කරවන්නාක් මෙන්) ආචාර-ධාර්මිකව එතරම් සුදුසු නැතැයි මට සිතේ. එහෙත්, අනෙක් අතට මේ වීඩියෝව ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි එකක් නිසා එසේ කිරීමේ වරදක් නැතැයි මට තර්ක කරන්නටත් පුළුවන. ආචාර-ධාර්මික ගැලපීම කෙසේ වුවත් සමාජ ජාල වල කටුක යථාර්තය මෙයයි.
කලාකරුවන්, දේශපාලකයින් වැනි බොහෝ ප්රසිද්ධ පුද්ගලයින්ට ඔවුන්ගේ සමාජ ජීවිතයෙන් පරිබාහිරව පෞද්ගලික ජීවිතයක් පවත්වා ගැනීම ඉතා අසීරුය. මෙහිදී ඔවුන් යම්තාක් දුරකට 'පොදු පුද්ගලයින්' බවට පත්වේ. යසනාත් නමැති දේශපාලන සත්ත්වයා හානියක් කරගත් විට යසනාත් නමැති ගේයපද රචකයාටත්, යසනාත් නමැති වෛද්යවරයාටත් තුවාල සිදුවේ. මේ තිදෙනා වෙන්කර ගැනීමට තරම් සමාජය පරිණත වී නැත.
ඉතා මැතක් වනතුරු සීමිත පිරිසකට පමණක් පැවති මේ ප්රශ්නය සමාජ ජාල මඟින් අප කාගේත් ප්රශ්නයක් බවට පත්කර තිබේ. සමාජ ජාල හා සම්බන්ධ වූ වහාම පුද්ගලයෙකු පොදු පුද්ගලයෙකු බවට පත්වේ.
බ්ලොග්කරුවෙකු හෝ කමෙන්ට් කරන්නෙකු විසින් සටහන් කළයුත්තේ ඒ පිටුපස සිටින රචකයා විසින් ප්රසිද්ධියේ කීමට සූදානම් දේවල් පමණක්යැයි මා සිතන්නේ නැත. මේ මාධ්යයේ ඇති විශේෂත්වයම ප්රසිද්ධියේ කිව නොහැකි අදහසක් වුවද ප්රකාශ කිරීමට ඇති හැකියාවයි. එමෙන්ම, ලේඛකයෙකු විසින් තමන්ගේ පෞද්ගලිකත්වයෙන් වෙනස් අනන්යතාවන් එකක් හෝ කිහිපයක් ජීවත් කරවීමද සියවස් ගණනක සිටම සිදුවන්නකි.
මට පෞද්ගලිකව ප්රශ්නයක් ඇති වී නැතත්, බ්ලොග් සටහනක ලියවෙන දේවල් ලේඛකයාගෙන් වෙන්කර නොදැකීම නිසා ප්රශ්න මතුවන අවස්ථා ඕනෑතරම් මා දැක තිබේ. දැන් අපට අපේ 'අත්වැරදීම්' වලින් ගැලවෙන්නට පහසු නැත. දැනට අපට කළ හැක්කේ මේ අළුත් තත්ත්වයට ප්රතිචාර දක්වමින් සමාජය සකස්වන ආකාරය දෙස බලා සිටීමයි.
මා මේ සටහන ලිවුවේ ව්යංගයෙන් හෝ කිසිවකු ඉලක්ක කරගෙන නොවේ. මගේ කාර්ය බහුල කාලසටහන සමඟ මා බ්ලොග් සටහනක් ලියන්නේ ඉතා හදිසියෙනි. එය කිහිපවරක් කියවා නිවැරදි කිරීමට මට කාලය වැයකළ නොහැක. පසුගිය දිනවල සිදුවූ ඇතැම් සිදුවීම් මෙහි ඇති අවදානම ගැන සිතන්නට මාව පොළඹවා තිබේ.

Subscribe to:
Posts (Atom)