වෙබ් ලිපිනය:

Sunday, June 21, 2015

ලෝකයේ වෙනස් වුනේ මිනිහදෝ දෙවියදෝ?



"ලෝකයේ වෙනස් වුනේ මිනිහදෝ දෙවියදෝ?"

සංගීතා චිත්‍රපටියේ රඟපෑ විජයගේ මුවින්, ජෝතිගේ හඬින් ඇසුණු ප්‍රශ්නයකි. ඇත්තටම කවුද?

සහශ්‍ර ගණනක් තිස්සේ ජනශ්‍රතිය තුළ පරිණාමය වන හින්දු විශ්වාස අනුව විශ්වය පාලනය කරන බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර නම් වූ ත්‍රිමූර්තියකි. ඔවුහු පිළිවෙලින් ජනනයට, පැවැත්මට හා විනාශයට අධිපතියෝය. මෙයින් විෂ්ණු විවිධ ස්වරූප වලින් නව වරක් පොළොවේ පහළ වී ඇති අතර තවත් වරක් පහල වීමට නියමිතය.

විෂ්ණුගේ දස අවතාර පිළිබඳව ව්‍යාසගේ විෂ්ණු පුරාණයේ විස්තර කෙරේ.

සත්‍ය යුගය ඇරඹුණේය. විෂ්ණුගේ ප්‍රථම සම්ප්‍රාප්තිය සිදුවිය. මත්ස්‍යයෙකුගේ ස්වරූපයෙනි. දෙවනවරට පැමිණියේය. උභයජීවියෙකු වන ඉබ්බෙකු ලෙසිනි. තෙවන සම්ප්‍රාප්තියද සිදු විය. සිවුපා ක්ෂීරපායී සතෙකු වන ඌරෙකුගේ වෙසිනි. සිවුවන වරටද පැමිණියේය. මෙවර පැමිණියේ සිංහයෙකුගේ මෙන් ඉදිරියට දික් වූ, රෝම පිරුණු මුහුණක් ඇති මිනිසෙකු මෙන් දෙපයින් සිටගත් නරසිංහයෙකු ලෙසිනි. සත්‍ය යුගය අවසන් විය.

ත්‍රෙත යුගය ඇරඹුණේය. විෂ්ණු ආවේය. මිනිස් ස්වරූපයට තරමක් කිට්ටු වාමනයෙකුගේ වේශයෙනි. මේ විෂ්ණුගේ පස්වන සම්ප්‍රාප්තියයි. නැවතත් ආවේය. සයවන වරටය. මෙවර මිනිස් වෙසිනි. පරශුරාම නම් වූ ප්‍රාථමික අවියක් අතින් ගත් දඩයක්කාරයාය. මේ අවිය සොයා ගැනීමට පරශුරාමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. විෂ්ණු සත්වන වරටත් ආවේය. රාම නම් වූ තරමක් දියුණු අවි දැරූ සටන්කරු ලෙසිනි. රාම සිය මතවාද සහ විශ්වාස වෙනුවෙන් පෙනී සිටිමින් සටන් කළේය. ත්‍රෙත යුගය නිමා විය.

ද්වාපර යුගය ඇරඹුණේය. විෂ්ණු අටවන වරට පහළ විය. ක්‍රිෂ්ණා නම් වූ ගොපල්ලෙකුගේ වේශයෙනි. නවවන වරටද පහළ විය. බුද්ධ නම් වූ බුද්ධිමත් ජීවියා ලෙසය.

ද්වාපර යුගය අවසන් වී කලි යුගය ඇරඹීමට නියමිතය. එවිට කල්කී නම් වූ විෂ්ණුගේ දසවන සහ අවසාන ස්වරූපය දැකගත හැකි වනු ඇත.

ව්‍යාසගේ විෂ්ණු පුරාණය ව්‍යාසගේ පරිණාමවාදය ලෙස හෝ ඩාවින්ගේ විෂ්ණු පුරාණය ලෙස නැවත ලිවීමට බැරිකමක් නැත.

වසර මිලියන පන්සියයකට පෙර පැලසොයික යුගය ඇරඹුණේය. පළමුව මත්ස්‍යයෝද, දෙවනුව උභයජීවියෝද පහළ වූහ. තෙවනුව ක්ෂීරපායීන් බිහිවිය. පසුව වාමන විශේෂ පරිණාමය විය. සත්‍ය යුගය අවසන් විය.

වසර මිලියන හතරකට පෙර ඔස්ට්‍රලෝපිතකස් මානවයා බිහිවිය. පසුව හෝමෝ ගණයේ මිනිස් විශේෂ ඇති විය. මිනිස්සු විශාල පරිශ්‍රමයක් දරා ප්‍රාථමික ආයුධ සොයාගත්තේය. හෝමෝ සේපියන්ස්ලාද පරිණාමය විය. වඩාත් දියුණු ආයුධ භාවිතය ඇරඹිණි. චින්තන විප්ලවයද ඇරැඹී හෝමෝ සේපියන්ස්ලාගේ සංස්කෘතික පරිණාමය ආරම්භ විය. ත්‍රෙත යුගය නිමා විය.

වසර දොළොස්දහසකට පෙර කෘෂිකාර්මික විප්ලවය ඇරඹුණි. ජනාවාස ආරම්භ විය. දඩයම් ජීවිතයට සමුදුන් හෝමෝ සේපියන්ස්ලා බෝග වගාව හා සත්ත්ව පාලනය ඇරඹුහ. සම්පත් අතිරික්තයක් සමඟ හෝමෝ සේපියන්ස්ලාට සිතීමට ඇති අවකාශ පුළුල් විය. විවිධ දර්ශනවාද බිහිවිය.

තාක්ෂණය සීඝ්‍රයෙන් දියුණු වේ. ද්වාපර යුගය අවසන් වී කලි යුගය ඇරඹීමට නියමිතය. එවිට හෝමෝ සේපියන්ස්ලාගේ මීළඟ ස්වරූපය වන අනාගත මිනිසා බිහි වනු ඇත.

මිනිසා සමඟ දෙවියාත් පරිණාමය වී ඇත. එකම ආකාරයකටය.

දෙවියන්ව මැවුවේ මිනිසානම් ඔහු එය කර ඇත්තේ තමාගේ ස්වරූපයෙනි. අපට මවා ගත හැකි දෙවියා අප දැක ඇති පරිපූර්ණම මිනිසාය. නැත්නම් අප දන්නා වෙන් වෙන් පුද්ගලයින් හෝ සතුන් සතු හොඳම ලක්ෂණ වල එකතුවකි. අපිට දෙවිවරුන් මෙන්ම රජවරුන්ද ලැබෙන්නේ අපේ ස්වරූපයෙන් නිසා අපට පරිණාමය විය හැකිනම් දෙවිවරුන් මෙන්ම රජවරුන්ද ඉබේම පරිණාමය වෙනු ඇත.

අනෙක් අතට, මිනිසුන් සෙමින් පරිණාමය වෙද්දී විෂ්ණුට ඔවුන් හා සන්නිවේදනය කරන්නට ඔවුන්ගේ ස්වරූපය ගන්නට සිදු වූවා විය හැකිය. විෂ්ණුට වුනත්, රෝමයට යන්නට වෙන්නේ රෝමන් කාරයෙකු ලෙසිනි. දෙකේ පන්තියේ නංගිලා මල්ලිලා ගොඩ දාන්නටනම් තුනේ පන්තියටවත් බැසිය යුතුය. පවන රළු වැඩි බව තේරෙන විට සිංදු හෝඩියෙන් නැවතත් පටන් ගත යුතුය. ඔස්ට්‍රලෝපිතකස්ලාට උදවුවක් කළ හැක්කේ වාමන අවතාරයට හෝ වැඩිම වුනොත් පරශුරාමට මිස කල්කීට නොවේ.

නෙලුම්යායේ තලවකැලේ ට්‍රිප් එකට සුභපැතුම්!

10 comments:

  1. විෂ්ණුගේ දස අතවර??

    ReplyDelete
    Replies
    1. අවතාරයක් අතවරයක් වීමට අවශ්‍ය වන්නේ සුළු වෙනසකි. තාක්ෂණිකව නිවැරදිම වචනයනම් 'ආන්තික' වෙනසකි.

      Delete
  2. මේකේ තියෙන සමාර වචන වල තේරුං දන්නෑ. ද්වපර.. සත්‍ය යුගය..

    ReplyDelete
    Replies
    1. දේශ්: මේවා සම්ප්‍රදායික හින්දු දර්ශනවාදයේ එන වචනයි. (හින්දු ආගම නිශ්චිත ආගමකට වඩා ඇදහිලි සමූහයක එකතුවකි. එහි හරය සෑහෙන දුරකට වේද ග්‍රන්ථයන්හි සංක්ෂිප්තව තිබේ) මේ අනුව කාලය ක්‍රමයෙන් දිග අඩුවන අසමාන යුග හතරකට බෙදේ. සත්‍ය යුගය, ත්‍රෙත යුගය, ද්වාපර යුගය හා කලි යුගය ලෙසිනි. සත්‍ය යුගයේදී බිහිවන මිනිසා කලි යුගයේදී විනාශ වේ. (කලි යුගය පිලිබඳ ඇතැම් අදහස් හින්දු නොවන ලාංකිකයින් අතරද සමාජගත වී ඇත.)

      Delete
  3. "පවන රළු වැඩි බව තේරෙන විට සිංදු හෝඩියෙන් නැවතත් පටන් ගත යුතුය."

    ඉකොනොමැට්ටෝ තොප එසේ මෙසේ එකෙක් නෙවන බව මා හට වැටහේ, තා මුළුමහත් ජම්බුද්වීපයම කා සීනී නැතිව කිරි සයුරම බීපූ නරපණුවෙකී. කිව කිව.. තා හෝටල් කීයක වැඩ කොරලා තියෙනවද ?...දැනට හෝටල් කීයක් ඇරලා තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. 330000000/1: ජම්බු වලටනම් ආශා ඇතත් කොලෙස්ටරෝල් නිසා කිරිත් දියවැඩියාව නිසා සීනිත් සීමා කර ඇති බැවින් ක්ෂීර සාගරය තව දුරටත් සුරක්ෂිතව පවතිනු ඇත. ඉකොනොමැට්ටාගේ මේ හෝටලයද වෙනත් අයගේ වෙනත් හෝටල්ද හැර සිංහල කෑම හදන වෙනත් හෝටල් නැත. අනුන්ගේ හෝටල් වලනම් ඉකොනොමැට්ටා කවදාවත් පිඟන් හෝදා නැත.

      Delete
  4. දෙවියන් විසින් මිනිසා මැව්වාද... මිනිසා විසින් දෙවියන් මැව්වාද....?

    ReplyDelete
    Replies
    1. මිනිසුන් විසින් කාලයක් තිස්සේ මැවූ දෙවියන් රැසක් අතර මිනිසුන්ව මැවූ දෙවිවරුද සිටිති.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: