වෙබ් ලිපිනය:

Wednesday, November 20, 2019

පහ පාස් නැති අයගේ ප්‍රශ්නය


ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසුවත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව දිගටම පවත්වා ගැනීම ප්‍රායෝගිකව ඉතා අසීරු දෙයක්. අමාරුවෙන් ආණ්ඩුව තව මාස කිහිපයක් ඇද ගත්තා කියා කළ හැකි දෙයක් ඇත්තේත් නැහැ. යහපාලන ආණ්ඩුවේ "ඓතිහාසික කාර්ය භාරය" දැන් අවසන්. ඒ නිසා, අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම රනිල්ට මේ වෙලාවේ කළ හැකි හොඳම දෙය බව ඉතාම පැහැදිලියි. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලින් පසුව මෙවැනි තත්ත්වයක් ඇති වී තිබුණේ නැහැ. ඒ වෙලාවේ පොදුජන පෙරමුණට ලැබුණේ 40.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

රටේ ජනමතය වෙනස් වී ඇති බව පැහැදිලි වුවත්, ඒ හේතුව මත මහ මැතිවරණයකට යාම අනිවාර්ය නැහැ. නියමිත කාලයට මහ මැතිවරණය තැබීමේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හරිනවානම් එය කරන්න වෙන්නේ නියමිත ක්‍රමයටයි. නියමිත ක්‍රමයට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිනම් එහි ඇති වරදකුත් නැහැ. මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ඔය දෙකෙන් එකක්වත් ගැන නෙමෙයි.

වාර්තා වී තිබෙන ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන එක ගැන රනිල්ගේ විරුද්ධත්වයක් නැහැ. නමුත්, පාර්ලිමේන්තුවේ සිටින නවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වීම ගැන සලකා බලා පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමට රනිල් හා ගෝඨාභය එකඟ වී ඇති බව වාර්තා වෙනවා. කෝටි දෙකකගේ ජීවිත වලට විශාල ලෙස බලපාන තීරණයක් ගැනීමේදී පුද්ගලයින් හතළිස් දෙනෙකුගේ අනාගතය සුරක්ෂිත කිරීමේ  අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය ලැබීමේ පැහැදිලි අවුලක් තිබෙනවා. මේ මෙවැන්නක් සිදුවන පළමු අවස්ථාව නෙමෙයි. බොහෝ විට අවසන් අවස්ථාව වන එකකුත් නැහැ.

ප්‍රසිද්ධියේ මොනවා කිවුවත් මහජන නියෝජිතයින් කියන බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ පළමුව තමන් දෙවනුව රට කියන පදනමින් බව රහසක් නෙමෙයි. එය සාමාන්‍ය මිනිස් ස්වභාවය. මේ තත්ත්වය යොදා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට බලපෑම් කිරීම ජනාධිපතිවරුන් කිහිප දෙනෙක් විසින්ම කළ දෙයක්. දහනවවන සංශෝධනයෙන් පසුව තත්ත්වයේ වෙනසක් සිදු වී තිබෙනවා. කළින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියමින් නවක මන්ත්‍රී වරුන් බිය ගන්වා ඔවුන්ගේ තීරණ වලට බලපෑම් කළ හැකි වුනා. දැන් එය කළ නොහැකි නිසා රටටම බලපාන තීරණයක් ගැනීමේදී ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික අභිලාශ වලට මුල් තැන දෙනවා. ඔය දෙකෙන් එකක්වත් හොඳ දේවල් නෙමෙයි.

පස් අවුරුද්දක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන අයෙකුට ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් ලැබීම හා පස් අවුරුද්ද සම්පූර්ණ නොකළ අයට එය නොලැබීමෙන් මන්ත්‍රී වරුන් ගන්නා "ස්වාධීන" තීරණ වල විශාල විකෘතියක් ඇති වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීමටත් මෙහි සම්බන්ධයක් තිබෙනවා. මේ විකෘතිය කවදාවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ස්වේච්ඡාවෙන් නිවැරදි කරන්නේ නැහැ. විවිධ මත දරන පක්ෂ වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙවැනි කටයුත්තකදී ක්‍රියා කරන්නේ වෘත්තීය සමිතියක සාමාජිකයින් ලෙසයි. තත්ත්වයේ වෙනසක් විය හැක්කේ ඔවුන් මත බාහිරින් පීඩනයක් ඇති වුනොත් පමණයි.

සාමාන්‍යයෙන් කිසිම රැකියාවක් කරන කෙනෙකුට වසර පහකින් පසුව ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් හිමි වන්නේ නැහැ. ඒ නිසා, මේ විශ්‍රාම වැටුප මුළුමනින්ම අහෝසි කළ යුතුයි කියා කෙනෙකුට තර්ක කළ හැකියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුත්තේ මන්ත්‍රීකම නැති වූ පසු කිසිදු රැකියාවක් කළ නොහැකි නිකමුන් පිරිසක් නොවන බවත් කෙනෙකුට කියන්න පුළුවන්. අනෙක් අතට සී. ඩබ්ලිවු. ඩබ්ලිවු. කන්නන්ගර වැනි පුද්ගලයින්ට අවසන් කාලයේ ජීවත් වීමට ක්‍රමයක් නොතිබුණු බව වැනි ප්‍රතිවිරුද්ධ තර්ක ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ එක්කම, හැත්තෑ හතට පෙර මන්ත්‍රීවරුන් හා ඉන්පසු කාලයේ මන්ත්‍රීවරුන් අතර වෙනස සසඳමින් කන්නන්ගර උදාහරණය අදට නොගැලපෙන බව කියන්නත් පුළුවන්. ඔය මොන තර්ක ඉදිරිපත් කළත් තමන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර ගැනීම සඳහා ඔය පිරිස අත උස්සන එකක් නැහැ.

වඩා හොඳ හා ප්‍රායෝගික ක්‍රමයක් වන්නේ මන්ත්‍රී විශ්‍රාම වැටුප දායක විශ්‍රාම වැටුපක් බවට පරිවර්තනය කිරීමයි. සෑම මන්ත්‍රීවරයෙකුගේම මාසික වැටුපෙන් යම් ප්‍රතිශතයක් කපා ගෙන, සමානුපාතිකව තවත් මුදලක් එකතු කර විශ්‍රාම වැටුප් අරමුදලකට යොමු කිරීමෙන් මෙය කළ හැකියි. ඉන් පසුව, එක් එක් පුද්ගලයාට තමන් කැමති විශ්‍රාම වයසකින් පසුව මාසිකව මේ අරමුදලින් විශ්‍රාම වැටුපක් ලබා ගත හැකියි.

අරමුදලේ ඇති මුදල් ප්‍රමාණය හා විශ්‍රාම ගන්නා වයස අනුව මසකට ලැබෙන මුදල නිර්ණය කිරීමෙන් ගෙවීම් හා ලැබීම් අතර ආයුගණක සමතුලිතතාවය පවත්වා ගත හැකියි. මේ ක්‍රමය අනුව ජීවිත කාලයම මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කරන අයෙකු සතුව සැලකිය යුතු මුදලක් එකතු වන අතරම වසර කිහිපයක් පමණක් මන්ත්‍රී ධුරය දරන අයෙකුට වුවත් යම් මුදලක් ලැබෙන නිසා පහේ සීමාව ජාතික වැදගත් කමක් තිබෙන තීරණ වලට බලපාන එක අවම කර ගත හැකියි.

(Image: https://lankainformation.lk/news/business-news/item/8639-15-20-new-draft-bills-on-sri-lanka-economy-to-be-presented-in-parliament-soon)

33 comments:

  1. අගමැති පදවියෙන්
    රනිල් සමුගෙන ගිහින්
    පැන්ෂන් රහිත රැලද සමගින්
    මහින්දට හැක
    රට පාලනය යහතින්

    ReplyDelete
    Replies
    1. කොහෙද අද, මංගල
      පාච ද සමඟින්
      වික්ටර් අයිවන්..

      දෑස් අඳ ඉන්දික
      දුටු දේ නොදුටීද
      දෙස්පල් සුරුවන්..
      බැරිවීද කරණමක්..

      Delete
  2. /* ප්‍රසිද්ධියේ මොනවා කිවුවත් මහජන නියෝජිතයින් කියන බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ පළමුව තමන් දෙවනුව රට කියන පදනමින් බව රහසක් නෙමෙයි. */

    මා හිතන පරිදි මහජන නියෝජිතයින් ලෙස ඡන්දයෙන් පත්වෙන අය අයථා අන්දමින් මුදල් උපයන බව ඡන්දදායකයින් දන්නවා පමණක් නොවේ, ඔවුන් ඒවා අනුමත කරනවා!

    එනිසා පැන්ෂන් කතාව සුළු දෙයක්!

    ReplyDelete
  3. ජනාධිපති විසින් වසර හතරාමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියයොත් ඔය කියන වැටුපට ඔය මන්ත්‍රීවරු සුදුසුකම් ලබනවද?

    මේ කතාව ඇත්තක්නම් ගෝඨාභය ආරම්භයේදීම කළු පැල්ලමක් ඇතිකරගෙනද කියලත් හිතෙනවා.. කොහොම නමුත් ඔය පස් අවුරුදු මන්ත්‍රී විශ්‍රාම වැටුප අතීතයටත් බලපාන පරිධි අහෝසි කරලා ජනාධිපතිට සිතුවිලි පහල වේවායි පතනවා !

    ReplyDelete
    Replies
    1. 1. පාර්ලිමේන්තුව කළින් විසුරුවා හැරියොත් විශ්‍රාම වැටුප් නැති වෙනවා.

      2. විශ්‍රාම වැටුප අහෝසි කරන්න ගෝඨාභයට (ජනාධිපතිවරයා ලෙස) හැකියාවක් නැහැ.

      Delete
    2. ඒ කියන්නෙ ව්‍යවස්ථාවෙන්මද ප්‍රතිපාදන තියෙන්නෙ. කව්ද ඕකේ නිර්මාතෘ? Jr ද?

      Delete
    3. පළමුව කිව යුත්තේ දේශපාලනය ගැන කතා කරනවානම් එහි ඉතිහාසය හැදෑරිය යුතුයි. දේශපාලනය ගැන මෙලෝ දැනුමක් නොමැතිව තමන්ගේ විග්‍රහයන් කිරීම අද විලාසිතාවක් වී ඇත. ඒවායේ පල විපාක අනාගත පරපුර විඳිනු ඇත.
      පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට විශ්‍රාම වැටුප් ඇරඹුණේ සිරිමාගේ යුගයේ. විශේෂයෙන්ම පැස්කුවල් වැනි විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට පිහිට වීමටයි. එවකට මන්ත්‍රී ධුරය බඩගෝස්තරය සොයාගන්නා ඉල්ලමක් නොවේ. නමුත් JR එය මුළුමනින්ම වෙනස් කළා . දැන් මන්ත්‍රීධුරය සල්ලි ඉල්ලමක්. එසේ නම් විශ්‍රාම වැටුපක් අවශ්‍ය නොවේ.
      එයටත් වඩා හොඳම විසදුම විය හැක්කේ මන්ත්‍රීධූර ස්වෙච්චා සේවාවන් කිරීමයි. එහෙත් එයට අකමැති වන අය අතර සිටින්නේ මන්ත්‍රීවරු පමණක්ම නොවේ ...ජනතාවද ඒ අතර සිටී.....

      Delete
  4. පැන්ශන් එකේ ප්‍රශ්නය හැම මන්ත්‍රී කෙනෙක්ටම බලපානවා. දන්නා තරමින් පාර්ලිමෙන්තුවේ සිටිම අවුරුදු ගනන අනුව විශ්‍රාම වැටුප වැඩි වෙනවා.අනිත් කාරනය මේ විශ්‍රාම වැටුප මන්ත්‍රිගේ පෞද්ගලික කාර්‍ය මන්ඩලයේ 2,3 කටත් ලැබෙන බව අසා ඇත. වැරදිනම් නිවැරදි කරන්න.

    ReplyDelete
  5. ඔබ ජීවත් වන ඇමරිකාව තුළ මෙය ක්‍රියාත්මක වන්නේ කුමන ආකාරයකින්ද කරණාකර පැහැදිලි කරන්න.ඊට වෙනස් ක්‍රම වෙනත් රටවල භාවිතා කරනවානම් එය ද ඉදිරිපත් කරන්න.එය අපට බොහෝ වැදගත් වේවි.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ කොන්ග්‍රස් විශ්‍රාම වැටුප් ක්‍රමය ඉතාම කෙටියෙන් මෙහෙමයි. ගොඩක් සංකීර්ණ මාතෘකාවක් නිසා මූලික කරුණු හැර අවශේෂ කරුණු සියල්ල ලියන්නේ නැහැ.

      මේ විශ්‍රාම වැටුප් ක්‍රමය මූලික කරුණු අතින් ඇමරිකාවේ සියල්ලන්ටම තිබෙන සමාජ සංරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමයට හා ෆෙඩරල් සේවකයන්ට තිබෙන රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් ක්‍රමයට සමාන දායක විශ්‍රාම වැටුප් ක්‍රමයකි.

      - අලුතෙන් තේරී පත්වන මන්ත්‍රීවරයෙකු විශ්‍රාම වැටුප් වෙනුවෙන් මාසික වැටුපෙන් 6.2%ක් සමාජ සංරක්ෂණ අරමුදලටත්, 3.1%ක් රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් අරමුදලටත් ගෙවිය යුතුය.

      -විශ්‍රාම වැටුප් ලැබෙන වයස :
      1. අවම වසර පහක් නියෝජනය කර ඇති අයෙකුට වයස 62 සම්පූර්ණ වූ පසු විශ්‍රාම වැටුප් හිමි වේ.
      2. අවම වසර 20ක් නියෝජනය කර ඇත්නම් වයස 50 සම්පූර්ණ වූ පසු විශ්‍රාම වැටුප් හිමි වේ.
      3. අවම වසර 25ක් නියෝජනය කර ඇත්නම් වයස නොසලකා විශ්‍රාම වැටුප් හිමි වේ.

      ලැබෙන මාසික වැටුප:
      -ලැබෙන විශ්‍රාම වැටුප තීරණය වන්නේ නියෝජනය කර ඇති කාලය හා වැඩිම වැටුප් ලැබූ මාස තුනේ සාමාන්‍යය මත පදනම්වයි. වසර 5ක් පමණක් නියෝජනය කළ අයෙකුට ලැබෙන්නේ සාමාන්‍ය වැටුපෙන් 8.5%ක් පමණි. එයද වයස අවුරුදු 62 සම්පූර්ණ වූ පසුවය. වසර 25ක් නියෝජනය කළහොත් සාමාන්‍ය වැටුපෙන් 39%ක් ලැබේ.

      -නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ධුර කාලය වසර 2ක් පමණක් නිසා අවම විශ්‍රාම වැටුප ලබන්නටනම් තෙවරක්වත් තේරී පත් විය යුතුය.

      Delete
    2. දැනට ක්‍රියාත්මක ජේආර්ගේ ආණ්ඩුවෙන් හඳුන්වා දුන් ලංකාවේ ක්‍රමය අසාමාන්‍ය ක්‍රමයක් නෙමෙයි. එය ලෝකයේ වෙනත් රටවල් ගණනාවක මන්ත්‍රී විශ්‍රාම වැටුප් ක්‍රම සමඟ සෑහෙන තරමකින් සැසඳෙනවා. එය ප්‍රශ්නයක් වන්නේ ලංකාවට සුවිශේෂී ඇතැම් තත්ත්වයන් හා එක්ව ගත් විටයි.

      ඇමරිකාවේ මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගැන වැඩි තොරතුරු හා වෙනත් රටවල් 78ක තොරතුරු අවශ්‍යනම් economatta@gmail.com ලිපිනයට ඊමේල් එකක් දමන්න. සියලු විස්තර මෙහි ලිවීම කියවන හැම දෙනෙකුටම වැදගත්යැයි මම හිතන්නේ නැහැ.

      Delete
  6. http://www.lankadeepa.lk/sunday_news/%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%87%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A--%E0%B6%B1%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%BA%E0%B6%B1--%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA/53-528942

    ReplyDelete
    Replies
    1. අපේ මැති ඇමැතින් නඩත්තුවට යන ජාතික ධනය-ලංකාදීප, 2018 මැයි 16

      Delete
  7. ඇරඹුම හොඳයි, නව වෙනසක් පෙන්වනවා
    පිලිනුවීම ඉක්මනටම ඇරඹෙනවා
    වගේදෝ කියාලත් විටකදී සිහි වෙනවා
    ඉස්සර වගේ දැන් බොරු බැහැ, එළිවෙනවා!

    ReplyDelete
  8. //නමුත්, පාර්ලිමේන්තුවේ සිටින නවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වීම ගැන සලකා බලා පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමට රනිල් හා ගෝඨාභය එකඟ වී ඇති බව වාර්තා වෙනවා. ///
    මේක නම් පදනම් විරහිත කථාවක්..ඒ වගේ එකඟතාවයකට ආවයි කියලා කොහෙවත් කියවුනේ නෑ....අනිත් එක ගොඨාභය මහින්ද රජයක, දේශපාලන් තීන්දු ගන්නේ මහින්ද බවත්, විධායකයට අදාල රජයේ යාන්ත්‍රනය මෙහෙයවන්නෙ ගෝඨභය බවත් පෙර එකඟතාවයක් තියෙනවා...එහෙම තියෙද්දී ගෝඨාභය පාර්ලිමේන්තු විසිරවීම ගැන ඔහොම තීරනයක් යෝජනා කරයි කියලා කියන්න කොහොමත් බෑ..

    අනිත් එක පාර්ලිමේන්තුව ගැන මහින්දගේ යෝජනාව උනේ, පාර්ලිමේන්තුව විසුරවලා වහාම මහ මැතිවරණයකට යන්න ඕනේ කියලා.

    මේ මාස තුනේ මේ පාර්ලිමේන්තුව තබා ගැනීම තනිකරම යුඑන්පී උවමනාවක්...මොකද හදිසි මැතිවරණයකට යනවයි කියන එක එජාප යට ගෝඩක් දේශපාලිනකව අවාසියි..අනෙක් එක යුනෙපි එකෙන් ආව නවක මන්ත්‍රීවරුන්ට නැවත පාර්ලිමේන්ට්තු මැතිවරනයකින් පාර්ලිමෙන්තුවට එන්නත් අමාරු වේවි..
    ///
    මහජන තීරණයට අභියෝග කරමින් පාලිමේන්තු විකෘතිය පවත්වාගෙන යන්නෙ යුඑන්පි උවමනාවට...ඒ පවු ගෝඨාගෙ ඇගේ ගහන්න හදන්නේත් ඉකොනොමැට්ටගෙ තියෙන යුඑන්පි ගැති බවය වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මෙය කීප තැනකම වාර්තා වී තිබෙනවා. බොරුවක්ද නැද්ද කියා මට ස්ථිරවම කියන්න බැහැ.

      "පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 2/3 බලය ලබාදී නව ආණ්ඩුවක් පත්කරවන මහමැතිවරණයකට දැන්ම නොයාමට ජනපති ගෝඨාභය සමග පැවති සාකච්ඡාවේදී අගමැති රනිල් එකගවූයේ විශ්‍රාම ගැනීමට සිටින 40 කට වැඩි නවක මන්ත්‍රීවරුන් අමාරුවේ නොදමන අදහස මුල්කරගෙනයි. එම තීරණය ගෝඨාභය හා රනිල් එක්ව ලබාගෙන තිබූ අතර ඒ අනුව එකම විකල්පය වූයේ පවත්නා රාමුව තුළම ආණ්ඩුවක් තැනීමය."

      https://www.gossiplankanews.com/2019/11/prime-minister-ranil-resigned.html#more

      Delete
    2. මේ වගේ ගොසිප් සයිට් වල තියෙන ඒවා රිෆර් කරනවට වඩා තාර්කික බුද්ධිය පාවිව්වි කලොත් වටිනවා..


      මේ වෙලාවේ මහ මැතිවරණයකට යන එක යූඑන්පී එකට දේශපාලන සිය දිවිනසා ගැනීමක්..පුළුවන් තරම් කල් ගැනීමයි ඔවුන්ගේ අපේක්ෂාව..

      ඒ වගේම මේ ‍රැල්ලත් එක්ක මහමැතිවරණයකට යන එක තමයි පොහොට්‍ටුවට වාසී..ඒත් ඒක කරන්න ව්‍යවස්ථාව අනුව යුඑන්පී සහයෝගය නැතිව බෑ..

      මෙතනදී යූඑන්පී සහයෝගය දෙන්නේ නෑ...ඒකට හේතුව දේශපාලන අවාසිය. නමුත් ඒක ජනතාවට කියන්න බෑ..ඒකට දාන හේතූව ඔය අවුරුදු පහේ නවක මන්ත්‍රී කේස් එක..

      ඇත්තටම ගත්තොත් මන්ත්‍රී පඩිය 65000. එකේන් විශ්‍රාම වැ‍ටුප හැටියට එන්නේ කොටසක් . ඒ කියන්නේ රු 25000 ක් වගේ..ඔය 25 000 කට නහින්න තරම් බහුතර මන්ත්‍රීවරු හිඟන්නො නෙවෙයි.

      ඒ හින්දා යූඑන්පී එකේ දේශපාලන උවමනාව, නවක මන්ත්‍රීලගේ පෙන්ශන් එක පිටින් දාලා, මහජන මථයට විරුද්ධ දෙයක් කරන්න.

      මේ වගේ පෝස්ට් උනත් අර ඇත්ත දේශපාලන උවමනාව යටපත් කර වෙන බොරු හේතු උලුප්පනවා.

      Delete
    3. Mayya, ඔබ නියම පොහොට්ටුවාදියෙක් ලෙස සටහන් තබනවා. එයට අපි කියන්නේ අධිකාරීවාදයයි .
      එනම් ඔබේ මතය අන්‍යයන් මත පැටවීම. ඔබ තේරුම් ගත් ආකාරයට වඩා වෙනත් ආකාරයට තවත් කෙනෙක් තේරුම් ගන්න බැරිද? ඉකොනෝ... හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්....
      ශීලාචාරකම වන්නේ ඔහුගේ මතය දැරීමට ඔහුට ඇති අයිතියට ගරු කිරීමයි. එය පිළිගෙන ඔබේ මතය කියන්න. ශිෂ්ටවන්න.

      වාසුදේව නා ...කියාසිටියේ රනිල්ගේ කැලැන්ඩරයට අනුව මැතිවරණය පැවැත්විය නොහැකි බවයි. එය තීරණය කරන්නේ තම කඳවුර බවයි.උදය ගම් .. කියා සිටියේ වහාම මැතිවරණයක ඉඩ සලසන ලෙස unp යෙන් ඉල්ලා සිටින වගයි.
      එතකොට එම කඳවුරේම ඒකමිතියක් නොමැති බව නොපෙනේද ?

      අදහස් විවිධ විය හැකිය. ඒවාට ඉඩ සැලසීම දේශප්‍රේමය තරම් නොවටිනේද?

      Delete
    4. MayyaNovember 21, 2019 at 1:21 AM

      මේ ලිපියේ අරමුණ පවතින දේශපාලන තත්ත්වය විග්‍රහ කිරීම නොවන බව පැහැදිලි විය යුතුයි. මේ ප්‍රශ්නය චන්ද්‍රිකාගේ කාලයේ සිට වරින් වර ඇති වී තිබෙන ප්‍රශ්නයක්. මම කතා කළේ ඒ දිගුකාලීන ප්‍රශ්නය ගැනයි. මෙය පවතින දේශපාලන වාතාවරණය මත මේ වෙලාවේ ඇති වී තිබෙන තත්ත්වයක් පමණක්නම් එහි ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. ගොසිප් සයිට් එකේ තිබෙන දේ ලිපිය ලිවීමට උනන්දුව ඇති කළ හේතුව පමණක් නිසා එය ඇත්තක්ද බොරුවක්ද කියන එක විශාල ප්‍රශ්නයක් නෙමෙයි. සමහර විට එය බොරුවක් වෙන්න පුළුවන්. නමුත්, තර්කානුකූලව බැලූ විට ඇත්තක් වෙන්නත් පුළුවන්.

      දැන් තත්ත්වය ඔබ කියනාවක් මෙන් එජාපයට අවාසිදායක වුවත්, තව මාස කිහිපයක් මහින්දට ආණ්ඩුව කරන්න දීමෙන් පසුව එජාපයට වාසිදායක තත්ත්වයක් ඇතිවේයැයි මම හිතන්නේ නැහැ. එවිට තත්ත්වය එජාපයට තවත් අවාසිදායක වෙන්නත් පුළුවන්.

      ඉදිරි මාස කිහිපය තුළ දේශපාලන වාතාවරණයේ සිදුවන වෙනස්කම් නිසා ඔබ කියනා ආකාරයට එජාපයට දැන් තිබෙන අවාසිදායක තත්ත්වය යම් තරමකින් අඩු වේයැයි උපකල්පනය කළත්, එවැනි සුළු වාසියක් මැතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් කරයි කියා මම හිතන්නේ නැහැ. එජාපයට වාසියක් වෙන්නනම් මේ මාස කිහිපයේ රාජපක්ෂලා හොඳටම පිස්සු කෙළින්න ඕනෑ. ඔවුන් ඒ තරම් මෝඩයින් කියා මම හිතන්නේ නැහැ. අලුත් ආණ්ඩුව 2015 ජනවාරියට පෙර තිබූ ආණ්ඩුවේ දිගුවක් හෝ දින 51 ආණ්ඩුවේ දිගුවක් නොවන බව පෙන්වන්න ඔවුන් දැනටමත් උත්සාහ කරනවා. දිගු වශයෙන් විග්‍රහ කළ යුතු දෙයක් කෙටියෙන් කියනවානම්, සහෝදරයින් වුවත් මහින්ද හා ගෝඨාභය දෙන්නෙක්. රාජපක්ෂලා මහ මැතිවරණයට පෙර පුළුවන් තරම් ලකුණු දමා ගනු මිස පිස්සු කෙළින එකක් නැහැ.

      ඒ වගේම, ඔබ කියන තර්කය අනුව යනවානම් එජාපයට මැතිවරණයකට යාමට වඩාත්ම වාසිදායක තත්ත්වය තිබුණේ දින පනස් එකේ ආණ්ඩුව වැටුණු අවස්ථාවේ. ආණ්ඩුව වැටෙන්න පෙර පොදුජන පෙරමුණ විසින්ද මැතිවරණයක් ඉල්ලමින් සිටි නිසා ඔවුන්ටත් එවැනි ඉල්ලීමකට එකඟ වෙන්න වෙනවා. ඒ වෙලාවෙත් එය සිදු නොවීමට එක් හේතුවක් වුනේ පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නයයි.

      මැතිවරණ පරාජයකින් පසු සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයක් ගරා වැටීමටකට ලක් වෙනවා. එජාපය සැලකූ විට එහි රනිල් හා සජිත් කණ්ඩායම් අතර ගැටුමක් ඇති වී පක්ෂය දෙකට කැඩෙන්න පවා යම් අවදානමක් තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් පිල් මාරු කරන්න ඉඩ තිබෙනවා. මේ හැම දෙයකම වාසිය ප්‍රතිවිරුද්ධ පිලටයි.

      මේ කරුණු අනුව, ඔබ කියන දෙය අනික් පැත්තට තර්ක කරන්නත් පුළුවන්. හැබැයි මම ඔබ කියන කරුණු හැම එකක්ම බැහැර කරන්නේ නැහැ. පාර්ශ්ව දෙකක් අතර එකඟතාවයක් ඇති වන්නේ දෙපාර්ශ්වයටම වාසි ඇත්නම් පමණයි.

      "ඔය 25 000 කට නහින්න තරම් බහුතර මන්ත්‍රීවරු හිඟන්නො නෙවෙයි." කියන කරුණ "බහුතර" කියන වචනය නිසා නිවැරදි විය හැකි වුවත් ජීවිත කාලයටම මාසිකව ලැබෙන මුදලක් සේ සැලකූ විට මේ මුදල බොහෝ දෙනෙකුට සැලකිය යුතු මුදලක්.

      Delete
    5. ප්‍රස්තූතයට අදාලව කථා කරනවා නම් නැවතත් සදහන් කිරීමට ඇත්තෙ, ඔබ නැවත නැවතත් සදහන් කරන පරිදි 'එකගතාවයක්' මෙතැන නැති බවයි..

      මෙතැන ඇත්තේ රනිල්ගේ තිරණයක් පමනයි..එය පොදු ජන තීරනයට පිටුපා ගිය ප්‍රාජාත්‍රන්ත වීරෝධී දේශපාලනයක් පමනි.

      අනෙක් වල්බූත් මාගේ ප්‍රස්තූතයට අදාල නොවන බැවින් පිලිතුරු නොබදිමි.

      Delete
    6. මට රනිල් සමඟ හෝ ගෝඨාභය සමඟ පෞද්ගලික සම්බන්ධතා නැති නිසා ඔවුන් අතර එවැනි එකඟතාවයක් ඇත්ද නැත්ද යන්න ස්ථිරව කිව නොහැකිය. මා දන්නේ වාර්තා වී ඇති දේ පමණි. මා ඉහත පැහැදිලි කර ඇති පරිදි, තර්කානුකූලව විමසීමෙන් පමණක් මේ තොරතුර බොරුවක් බව ස්ථිරව නිගමනය කිරීමේ හැකියාවක් නැත. ඔබ ඒ දෙදෙනාගෙන් අයෙකු සමඟ සම්බන්ධ අයෙක්නම් ඔබ සතුව වඩා නිවැරදි තොරතුරු තිබෙනවා වන්නට පුළුවන. මෙය හරියටම දැනගැනීම මට සාපේක්ෂව වැදහත් කරුණක්ද නොවේ. වත්මන් එකඟතාවය ඇත්තක් වුවත් බොරුවක් වුවත් ලිපියේ අවධානය යොමු කර ඇති ප්‍රශ්නය එසේම තිබේ.

      Delete
    7. අනෙක් කරුණ මෙහි සාමාන්‍ය බුද්ධිය (කොමන් සෙන්ස්) පිළිබඳ ප්‍රශ්නයක් මිස ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම හා රටේ නීතිය අනුව බලනවානම් පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීමේ අවශ්‍යතාවයක් නැත. මන්ත්‍රීවරුන් තේරී පත් වී සිටින්නේ වසර පහක ධුර කාලයක් සඳහාය. ප්‍රශ්නයක් තිබෙන්නේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නය නොවන්නට ඔවුන් කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අත ඔසොවන්නට සූදානමින් සිටියානම් හා විශ්‍රාම වැටුප ඒ තීරණයට බලපෑමක් කළේනම් පමණි.

      Delete
  9. මෙය එකගතාවයක් නොවන්නේ මෙහි එක් පාර්ශවයක්, එනම් ඔබ සදහන් කර ඇති ආකාරයට නම්, ගෝටා ට මෙ සදහා කිසිම බලයක් නැති වීමයි.

    අනෙක් අතින් රනිල් ට, ඔහුගේ තීරනය හා කැමැත්ත මත පාර්ලිමේන්තු 2/3 මත එය කල හැකියි. මහින්ද එයට කැමති බව ඔහු ප්‍රකාශ කලා.

    ඒ නිසා මෙය එකගතාවයක් නොව බල ලෝහී රනිල්ගේ තීරනයක්....පොදු ජන මතය නිරූපනය නොවන විකාරරූපි පාර්ලිමේන්තුවක්

    ReplyDelete
    Replies
    1. //අනෙක් අතින් රනිල් ට, ඔහුගේ තීරනය හා කැමැත්ත මත පාර්ලිමේන්තු 2/3 මත එය කල හැකියි.//
      මන්ත්‍රීවරුන් 2/3ක් කැමති නැත්නම් රනිල්ට මෙය කළ නොහැකිය. (මහින්දටද එසේමය.) ඔහු එසේ කරනවානම් කළ හැක්කේ මන්ත්‍රීවරුන්ගේ ස්වාධීන මතයට බලපෑම් කිරීම මඟින් පමණි. මේ අවස්ථාවේදී රනිල්ට එසේ කිරීමේ හැකියාවද සැක සහිතය.

      Delete
    2. //ඒ නිසා මෙය එකගතාවයක් නොව බල ලෝහී රනිල්ගේ තීරනයක්//
      බලලෝභී කම නිසා පුද්ගලයෙක් ස්වේච්ඡාවෙන් අගමැතිකමෙන් ඉල්ලා අස්වී විපක්ෂයේ අසුන් ගන්නා අවස්ථාවක් ගැන අහන්නට ලැබුණු පළමු අවස්ථාවයි. විපක්ෂ නායකකම අගමැති කමටත් වඩා බලගතු තනතුරක් බව නොතේරෙන්නේ මගේ තර්ක බුද්ධියේ අඩුවක් නිසා විය යුතුය. ඔබේ තර්ක බුද්ධියෙන් මෙය පැහැදිලි කිරීම පිළිබඳව ස්තුතියි!

      Delete
  10. ගෝඨාට පාර්ලිමෙන්තුව විසිරවීමට කිසිම බලයක් නැතුව තිබියදී ඔහු එය රනිල් සමග එකතාවයකින් සිදු කලා යැයි කියන්නේ ඔබගේ තර්ක බුද්දියේ අඩුවක් නිසා බව මා විශ්වාස කිරමේ වරදක් මට නොපෙනෙ

    ReplyDelete
    Replies
    1. මගේ තර්ක බුද්ධිය ඔබට වඩා බොහෝ අඩු මට්ටමේ එකක් වන්නට පුළුවන. ඒ ගැන කිසිදු විවාදයක් නැත. ගෝඨාභය අතින් රහසින්වත් පවක් සිදු විය නොහැකි බවත්, රනිල් කළොත් කරන්නේම හොර වැඩක් බවත් මට නොතේරෙන්නේ මගේ තර්ක බුද්ධියේ අඩුවක් නිසා විය යුතුය. මගේ තර්ක බුද්ධියේ සීමාවන්ට යටත්ව, ඔබේ තර්කය අනුව බලනවානම් පාර්ලිමේන්තුව විසුරුවීමේ බලයක් රනිල්ටද නැත. එකඟතාවයක් ඇතිව ඇත්නම් එය සිදු වී තිබෙන්නේ තම තමන්ගේ පක්ෂ වල නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අත ඔසොවන ලෙස අනිසි බලපෑම් නොකර පවතින තත්ත්වය යටතේ සහයෝගයෙන් කටයුතු කිරීමට වන්නට පුළුවන. පෙරද ලියා ඇති පරිදි මෙවැනි යම් එකඟතාවයක් ඇත්ද කියා හරියටම දැනගැනීම මට සාපේක්ෂව වැදහත් කරුණක් නොවේ. ලිපිය ලියා තිබෙන්නේ එවැනි එකඟතාවයක් ගැන කතා කරන්නටද නොවේ.

      Delete
    2. අයියෝ වලිගය පා නොගන්න.. මා කර ඇත්තේ අප දෙදෙනාගේ තර්ක බුද්ධිය සංසන්ධනයක් නොවේ...

      මා කියා ඇත්තේ ඔබ මේ කාරණයෙදී, ඔබ ඔබේ තර්ක බුද්ධියට ඉඩ නොදී, වෙනත් හිතළුවක් ලියා ඇති බවයි..

      මා විශ්වාස කරන්න්නෙ එය ඔබ හිතා මතා යම්කිසි දේශපාලනක් නිසා එසේ කරන බවයි..ඔවු ඔබේ රනිල් නිවැරදියි..පෙන්ශන් එකට් කෑදර නවක මන්ත්‍රීවරු හා ගෝඨා වැරදියි..

      ඔබට සතුටුයිද දැන්....

      Delete
    3. තවද ඔබට මේ කාරණය වැදගත් නැත්තං, මේ කාරණය උදෙසා මෙතරම් යුණිකෝඩ් කොටන්නේ ඇයිද යන්න මගේ තාර්කික බුද්ධියට නොවැටහේ..

      සමහර විට එය ඔබෙගේ ඊගෝ ඉශූ එකක් වීමට පුළුවන්...සංසුන්ව මදක් කල්පනා කර බලන්න.

      Delete
    4. සංසුන්ව කල්පනා කරල බලන්නම්! මනෝ විශ්ලේෂණයට ස්තුතියි!!

      Delete
    5. ඉකොනෝ.. රටට ආදරේ දේශප්‍රේමියෙක් වන්නට අවස්ථාවක් ඇත.
      මයියා කියන දෙයට yes කියන්න. එවිට ඔබ රටට ආදරේ කරන බැංකු කොල්ලයට විරුද්ධ දේශප්‍රේමියෙක් වනුඇත.

      Delete
  11. 113 හදාගන්න මන්ත්‍රී හොරු කිහිප දෙනෙක් මිළදී ගන්න මහින්දට සිද්ධ වෙනවා. දින 52කේ ආණ්ඩුව හදපු වෙලාවෙ ඒක කරගන්න බැරි උනේ ලංසුව කෝටි පහට ගිය නිසා බව සිරිසේනම ප්‍රසිද්ධ කලා.පැත්ත මාරු කරන්න එකවර කෝටියක් ගත්තත් ලාබයි.විශ්‍රාම වැටුප ලෙස මාසෙකට රු.25000.00 ගානේ ඒ මුදල හොයන්න අවුරුදු 33ක් යාවි. වැඩේ අමාරු ලන්සුව වැඩි නිසා වෙන්න ඇති.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: