වෙබ් ලිපිනය:

Sunday, July 24, 2022

භාණ්ඩාගාර බිල්පත් හා සංචිත මුදල්


මෙය පසුගිය ලිපියට අටුවාවක් සේ ලියන සටහනක්. බොහෝ දෙනෙකු විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ ගිය විට එය සල්ලි අච්චු ගැසීමක් සේ වැරදියට අර්ථකථනය කරනවා. ඉතා පැහැදිලිවම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යාම හා සල්ලි අච්චු ගැසීම එකක් නොව දෙකක්. එහෙත්, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය දෙස බලා සල්ලි අච්චු ගැසීම පිළිබඳ යම් අදහසක් ගත හැකි නිසා එය නිරීක්ෂණය කිරීම නරක දෙයක් නෙමෙයි. එය චිත්‍රයේ එක කොටසක් පමණක් බව දැනගෙන මෙය කළ යුතුයි.

මහ බැංකුව විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ දෙකක් ප්‍රසිද්ධ කරනවා. එකක් එම බිල්පත් වල මුහුණත අගයන්හි (face value) එකතුවයි. අනෙක එම බිල්පත් වල ගිණුම් වල සටහන්ව ඇති වටිනාකමයි (book value). මේ ගිණුම් වල සටහන්ව ඇති වටිනාකම යනු අදාළ දිනයේදී එම බිල්පත් වල වෙළඳපොළ වටිනාකමයි (mark-to-market value). 

පසුගිය මාර්තු හා මැයි මාස අවසානයේදී මෙම අගයයන් පහත පරිදියි.

මුහුණත අගය අනුව බිල්පත් ප්‍රමාණය 

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,727.8

2022 මැයි 31- රුපියල් බිලියන 1,971.5

වැඩි වීම - රුපියල් බිලියන 243.7


ගිණුම් අගය අනුව බිල්පත් ප්‍රමාණය 

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,657.3

2022 මැයි 31- රුපියල් බිලියන 1,853.8

වැඩි වීම - රුපියල් බිලියන 196.5

බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය වෙනස් වීම සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය නොවන බව ඉතාම පැහැදිලියි. 

අපි හිතමු මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් කිසියම් දිනක රුපියල් මිලියන 100ක මුහුණත අගය ඇති භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගත්තා කියා. එහෙත් එයින් අදහස් වන්නේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක් මුදල් ගෙවූ බව නෙමෙයි. මිලියන 100 කියා කියන්නේ බිල්පත කල් පිරුණු විට ලැබෙන මුදලයි. අපි හිතමු එසේ ගෙවූ මුදල රුපියල් මිලියන 93ක් බවත් කල් පිරෙන කාලය දින 91 බවත්. බිල්පත සඳහා ලැබෙන පොලිය, එහෙමත් නැත්නම් ඵලදා අනුපාතය, තීරණය වන්නේ මෙසේ මිල දී ගත් මිල අනුවයි. එය අපට මෙලෙස ගණන් හැදිය හැකියි.

ඵලදා අනුපාතය = (100 - 93)*(365/91)/93 = 30.19%

ඒ කියන්නේ මහ බැංකුව මේ බිල්පත මිල දී ගනිද්දී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය රුපියල් මිලියන 100කින් ඉහළ යන නමුත් ඒ වෙනුවෙන් ගෙවන්නේ රුපියල් මිලියන 93ක් පමණයි. ඒ කියන්නේ, "සල්ලි අච්චු ගැසීමක්" වෙන්නේ රුපියල් මිලියන 93ක් පමණයි. ඒ නිසා, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය දෙස බලා සල්ලි අච්චු ගැසීම පිළිබඳ දළ අදහසක් ගත හැකි වුවත් පූර්ණ අදහසක් ගන්න බැහැ.

ඒ වගේම මේ බිල්පත කල් පිරුණු විට සිදුවන දෙයත් බලමු. එවිට මහ බැංකුවට රුපියල් මිලියන 100ක් ලැබෙන නිසා සංචිත මුදල් සැපයුම එපමණකින් පහළ යනවා. ඒ වගේම, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගයද රුපියල් 100කින් පහළ යනවා. එසේ වුවත්, කල් පිරෙන්න කලින් මහ බැංකුව මේ බිල්පත විකිණුවොත් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය රුපියල් 100කින් පහළ යන නමුත් එපමණකින් සංචිත මුදල් ප්‍රමාණය පහළ යන්නේ නැහැ.

එහෙමනම් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගය වෙනස් වීමෙන් සල්ලි අච්චු ගැසීම හරියටම නිරූපණය වෙනවද? 

දැන් මේ බිල්පත මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 93ක් ගෙවන්න වෙනවනේ. ඒ එක්කම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගයද එපමණකින් ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය හරියටම නිරූපණය වෙනවා. නමුත් වැඩේ අවුල් වෙන්නේ ඊට පස්සේ. 

මිල දී ගත් දවසේ ඉඳන් මේ බිල්පතේ වෙළඳපොළ අගය දිනෙන් දින වෙනස් වෙනවා. ඒ කියන්නේ ගිණුම් අගයත් වෙනස් වෙනවා. කල් පිරෙන දිනය වන විට එම අගය රුපියල් මිලියන 100ක් වෙනවා. හැබැයි ඒ අතර කාලයේදී සංචිත මුදල් ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගය වෙනස් වීම දිහා බලලත් සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය හරියටම නිගමනය කරන්න බැහැ.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම රජයට ණය දෙන එක ක්‍රමයක් පමණයි. මහ බැංකුව රජයට කෙළින්මත් ණය හා අත්තිකාරම් දෙනවා. ඒ වගේම සමහර වෙලාවට රජයේ මුදල් මහ බැංකුවේ තැන්පත් කරනවා. මේ හේතු නිසා, සංචිත මුදල් කෙරෙහි බලපාන්නේ රජයට මහ බැංකුව විසින් දුන් ශුද්ධ ණය ප්‍රමාණයේ වෙනස් වීම. ඒක ඔය කලින් කී දෙකෙන් එකක්වත් නෙමෙයි. සාමාන්‍යයෙන් රජය මහ බැංකුවෙන් අරන් තිබෙන ණය ප්‍රමාණය ඔය දෙකටම වඩා වැඩියි. එම ණය ප්‍රමාණයේ වෙනස්වීම අඩු හෝ වැඩි විය හැකියි.

රජයට මහ බැංකුව විසින් දුන් ශුද්ධ ණය ප්‍රමාණය

2022 මාර්තු 31 - රුපියල් බිලියන 2,682.5

2022 මැයි 31- රුපියල් බිලියන 2,904.8

වැඩි වීම - රුපියල් බිලියන 222.3

හැබැයි සල්ලි අච්චු ගැසීම හෙවත් සංචිත මුදල් වැඩි වීම කියා කියන්නේ ඔය විදිහට සල්ලි අච්චු ගහලා මොන ක්‍රමයෙන් හෝ රජයට දෙන මුළු රුපියල් ප්‍රමාණයත් නෙමෙයි. මහ බැංකුවෙන් එළියට රුපියල් යන හා ඒ රුපියල් ආපහු මහ බැංකුවට එන තවත් ක්‍රම ගණනාවක් තිබෙනවා. ප්‍රචලිතම ක්‍රමය ඩොලර් විකිණීම හා මිල දී ගැනීම. ඩොලර් මිල දී ගනිද්දී රුපියල් එළියට යනවා. විකුණද්දී නැවත ඒ රුපියල් මහ බැංකුවට එනවා.

2022 අප්‍රේල් 

විකිණු ඩොලර් ප්‍රමාණය - මිලියන 244.90

මිල දී ගත් ඩොලර් ප්‍රමාණය - මිලියන 140.95

2022 මැයි 

විකිණු ඩොලර් ප්‍රමාණය - මිලියන 222.73

මිල දී ගත් ඩොලර් ප්‍රමාණය - මිලියන 155.10

මාස දෙකේදීම මිල දී ගත් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඩොලර් විකුණලා තිබෙනවා. ඒ කියන්නේ රජයට ණය විදිහට දුන් රුපියල්  බිලියන 222.3න් යම් ප්‍රමාණයක් ඩොලර් විකිණීම හරහා නැවත මහ බැංකුවට ඇවිත් තිබෙනවා. මේ හේතුව සහ වෙනත් හේතු නිසා, ඔය මාස දෙක තුළ සංචිත මුදල් වැඩි වී තියෙන්නේ, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා තියෙන්නේ, රජයට ණය දුන් ප්‍රමාණයට වඩා අඩුවෙන්.

සංචිත මුදල් ප්‍රමාණය

2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,386.7

2022 මැයි 31- රුපියල් බිලියන 1,414.9

වැඩි වීම - රුපියල් බිලියන 28.3

7 comments:

  1. ඉකොන්

    මට මේ කතාව හරියටම තේරුනේ නැහැ නමුත් ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වල පොලිය 34% ක් විතර දක්වා ඉහළ ගිහින් නිසා කල්පිරීමේදී මේ පොළිය ගෙවන්න වෙනවා නේද? ඒ පොළිය ගෙවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා නේද? ඒ නිසා ආණ්ඩුව බදු වැඩි නොකර සල්ලි අච්චු ගහපු ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා සල්ලි අච්චු නොගසා බදු වැඩි කර ඊට අවශ්‍ය මුදල් සොයා ගැනීමට අවශ්‍යයි නමුත් බදු වැඩි කිරීමෙන් රටේ ආර්ථිකය දැඩි ලෙස හැකිලී යන නිසා රටේ ආයෝජන අඩු වෙනවා ඒ නිසා රටේ ආර්ථික වර්ධනය බිඳ වැටීම හමුවේ විශාල පිරිසකට රැකියා සහ ආදායම් අහිමිවීම් සමගම තවත් රට දුර්වල වීම දකින්නට පුළුවන් වේවි

    කෙසේ වෙතත් මේ හැම දෙයක්ම කරන්න ලංකාවේ සියලුම ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂවල සහයෝගය සහිත සර්වපාක්ෂික ආණ්ඩුවක් හදා ගන්න අවශ්‍යයි කියලයි මගේ අදහස

    මම හිතන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය හරහා කියන විදිහට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට කටයුතු කළොත් ලංකාවේ ගොඩක් ප්‍රශ්න විසඳන්න අවශ්‍ය මූලික පදනම දමා ගන්න පුළුවන් වේවි. ඒත් පක්ෂවල අය ජනප්‍රිවාදී ලාබයි සටන්පාඨ වල නොයිඳ යථාර්තය තෙරුම් අරන් ඒ අනුව රජයට අවශ්‍යය සහයෝගය ලබා දිය යුතු අතර රජය විශාල කිරීම පඩි වැඩි කිරීම බඩු මිල අඩු කිරීම ආදී ලාබ සටන් පාඨ සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි

    අද උදේ ලංකාවේ මාධ්‍ය වාර්තා කරලා තියෙන විස්තර අනුව පොදුජන පෙරමුණේ මෙන්ම, රනිල් වික්‍රමසිංහගේ ජනපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දුන් නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, රාවුෆ් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, රිෂාද් බදියුදින්ගේ ACMA පක්ෂය ඇතුළු පක්ෂවල හා කණ්ඩායම්වල විශාල පිරිසක් මෙම නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වීමට නියමිතය.

    ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සදහා එම පක්ෂවලට හා කණ්ඩායම් වලට ද ඉදිරියේ දී නිල වශයෙන් ආරාධනා කරාවි

    ඒ අනුව නව කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් විස්සත් තිහත් අතර පිරිසකගෙන් මෙන්ම එවැනිම පිරිසක් රාජ්‍ය ඇමතිවරුන් ලෙසද පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලංකාවේ ජනමාධ්‍ය විසින් වාර්තා කර තියෙනවා.

    තාවකාලික ලෙස දිනේෂ් ගුණවර්ධන නව අගමැති ලෙස දිවුරුම් දීමත් සමඟ හිටපු කැබිනට් මණ්ඩලයම අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ සිකුරාදා (ජූලි 22)දිවුරුම් දුන් අතර,ස්ථිර කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී, එම ඇමතිවරුන්ගේ විෂය පථයන් ද වෙනස් වනු ඇති බව පැවසේ. මේ ගැන ඔබේ අදහස් මොනවා ද?

    ReplyDelete
  2. හැමෝටම ඕන අනුන්ව වෙනස් කරන්න. සිස්ටම් චේන්ජ් කරන්න. වෙනස් කරන්න බැරි නම් ගහලා හරි මර්දනය කරන්න. අපේ කෙනෙකුට ගැහුවොත් ඒක අවුලක්. අනිත් මතය දරන කෙනෙකුට ගැහුවොත් ඒක වීරකමක්. අපි බුද්ධිමත්. අපි ප්‍රගතිශීලි. අනිත් අදහස් දරන උන් මුග්ධයි. උන් ප්‍රතිගාමීයි. අපි ආගමික විදිහට මතවාද පක්ෂ බදාගත්තට අපි නිදහස්. අනිත් මතයක් දරන උන් ඒ මතය වෙනුවෙන් පෙනී සිටීම වහල්කමක්. අපි ලියන්නෙ, වැඩ කරන්නෙ, හුස්ම ගන්නෙ පවා රට වෙනුවෙන්, අනාගතය වෙනුවෙන්. අපිට ප්‍රතිවිරුද්ධ අදහස් දරන උන් ලියන්නෙ හිතන්නෙ කුලියට. මුදලට. අපි ස්වභාවයෙන්ම සාධාරණ සහ සත්ගුණවත්. වෙනත් අදහසක් දරන උන් ස්වභාවයෙන්ම දුෂ්ටයි, දුර්ගුණයි.

    මේ නිසා අපි අනෙකාව වෙනස් කරන්න ඕන. අපි හිතන විදිහට හිතන්න ඌ මත බලය පාවිච්චි කරන්න ඕන. ඒක තමයි අද අපි දකින දේශපාලනය. අනෙකා වෙනස් කරන්න හදන තමන් තව කෙනෙකුට අනුගමනය කරන්න ආස හිතෙන තත්වයක් හෝ ගුණයක් නිරූපණය කරනවද කියන එක කාටවත් අදාල නෑ.

    අපි හොයන්නෙ සමානකම් නෙමෙයි. වෙනස්කම්. අනෙකාගෙන් වෙන්වීම තුල තමයි අපි ප්‍රබුද්ධ වෙන්නෙ. අපිට උවමනා පාලම් නෙමෙයි තාප්ප. ඒ තාප්පය ගොඩනැගීම තමයි වීරත්වය වෙන්නෙ. කරමින් ඉන්නෙ ප්‍රතික්‍රියා දැක්වීම් විතරයි. කිසි දෙයක් අලුතෙන් සාධනීයව නිර්මාණය කිරීමේ අදහසක් නෑ. නිශේධනාර්ථයන් තමයි වඩා ශ්‍රේෂ්ට විදිහට හඩ නැංවෙන්නෙ.
    සාධාරණත්වය යුක්තිය කියල අද අපි කතා කරන මූලික පිලිගැනීම්ම පාර්ශ්විකයි. ඒවා ස්වාධීන නෑ.

    'මට ඔබ වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, මට කළ හැක්කේ මා වෙනස් කරගැනීමට මහන්සි වීම පමණයි. ඔබට මා වෙනුවෙන් කළ හැකි කිසිවක් නෑ, ඔබට කළ හැක්කේ ඔබ වෙනස් කරගැනීම පමණයි'

    -රාම් දාස්.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස ඉතාම අගනේය. අපට හම විටම ඉතාම ලෙහෙසි දේ තමයි සියලු වැරදි අනිකා පිට පැටවීම. අමාරු දේ තමුන් වෙනස් වීම. ඊටත් වඩා අමාරු දේ නම් තමුන් වෙනස් විය යුත්තේ කෙසේද කියා තේරුම් ගැනීම.

      Delete
    2. @ රාම් සහ කෞෂල්‍යය,

      ඔබේ අදහස් සමග එකඟයි ලංකාවේ සෝ කෝල්ඩ් ඊනියා අරගලය සමග සම්බන්ධ නොවන නමුත් ස්ථිරසාර සැබෑ වෙනසක් බලාපොරොත්තු වන නිහඬ බහුතරය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විදියට මට කියන්න තියෙන්නේ මේ අර්බුදයට එකම විසදුම තවත් රට අස්ථාවර නොකර දැනටමත් සිටින ජනාධිපති රනිල් ගේ නායකත්වය යටතේ වසරක් වත් සර්වපාර්ශ්වික රජයක් පවත්වාගෙන යාමත් සාමූහිකව සියලු දේශපාලනික පක්ෂ බැරිම නම් අඩුම තරමින් ප්‍රධාන දේශපාලන පක්ෂ විපක්ෂ කණ්ඩායම් වල එකතුවක් සහිතව සාමූහික සැලැස්මක් සකස් කර එය ක්‍රියාවට නැංවීම බවයි.

      ඊළඟට 2022 ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ වන ඊළඟ ටුවරිස්ට් සීසන් එක හොඳින් සහ ඉතාමත් ප්‍රවේසමෙන් සැලසුම් සහගත අරමුණකින් යුතුව ඕගනයිස් කරලා සංචාරක කර්මාන්තය ඇමරිකානු ඩොලර් බිලියන පහක වාර්ෂික ඉලක්කයක් කරා යෑමට නැවත ස්ථාපිත කිරීමයි.

      ඒ වගේම රුපියල් වලින් ඉහළ පොලී අනුපාත යටතේ විශේෂ ඉතුරුම් ගිණුම් රජයේ මහ බැංකුව මූලික වෙලා වාණිජ්‍ය බැංකු හරහා ආරම්භ කරලා පහුගිය කාලෙ පුරාවටම අනුරලා එවන්න එපා කියලා විදේශ ශ්‍රමිකයන් බය කරලා රඳවන් ඉන්න ඩොලර් හැකී උපරිම වශයෙන් රටට ගෙන්වා ගැනීමයි. රටේ ඉඩම් යම් ප්‍රමාණයක් විදේශ ආයෝජකයන්ට බදු දීම හෝ විකිණීම, ආනයන සීමා රටේ ඩොලර් සංචිත වල ප්‍රමාණය සහ කර්මාන්ත අපනයන සහ සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතා සපුරා ගත හැකි ලංකාවේ පරිදි පවත්වාගෙන යාම, ණය ප්‍රතිවුහගතකිරීම, විදේශ රැකියා වලට තරුණ තරුණියන් මෙන්ම පළපුරුදු වෘත්තීයවේදීන් රජයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් උනන්දු කර පුහුණුව සහ අනුග්‍රහය දී යැවීම, මහාපරිමාණ ගොවිපොළ වල් ආරම්භය සඳහා අපනයන කෘෂිකර්ම නිෂ්පාදන සමාගම් වලට හැම ආකාරයකින් බදු සහන ඇතුළු සියලුම ආකාර සහන දීම, පාඩු ලබන රාජ්ය ආයතන (සිපෙට්කො, විදුලි බල මණ්ඩලය, ගුවන් සේවා ආදිය) පෞද්ගලිකකරණය (දේශීය ආයෝජකයන් සඳහා ප්‍රමුඛතා සහිතව විදේශ නවීනතම තාක්ෂණික දැනුම හුවමාරු ගිවිසුම්
      අනිවාර්ය කර විදේශ සමාගම් සමග ඒකාබද්ධව දේශීය සමාගම් වලට පාලන බලය හිමි වන පරිදි) හෝ restructure
      කිරීම ආදියයි.

      මෙය අප වැනි ලංකාවේ පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වල නිරත වූ සහ ලංකාවෙන් පිට රටවල් වල සේවයේ නියුතු ලාංකීය නිහඬ සාමාන්‍ය ජනතාව ගේ මතයයි. අපේ මතයට ලංකාවේ කිසිම තැනක් නෑ මේ වෙනුවෙන් අප සංවිධානය වී අවශ්‍ය බලපෑම් එල්ල කිරීමට අප සූදානම් වෙනවා මේ දවස් වල

      Delete
  3. ඉකොනොමැට්ටා මේ කාරණා ගැන කෙටි පැහැදිලි කිරීමක් කළ නොහැකි නම් මේ ගැන පෝස්ට් එකක් දාන්න

    Notes form Central Bank Governors speech yesterday at Colombo Club

    01. Foreign reserves essentially at “0”. Imf bail out is our ONLY hope, SL has been to IMF 16 times before, but this time will require significant restructuring to make us credit worthy again. Until we are, no foreign government will fund us.

    - 02. Central bank has raised interest rates to control inflation (this impacts businesses but recognize that inflation will kill business by increasing salaries and costs making you no longer competitive)

    - 03. This will result in the cooling off of the economy. The big businesses with financial health will survive, many will not.

    - 04. We will import of Essential items (Fuel, medicine, food) until imf approval expected end of year (was expecting IMF approval earlier but have had 3 gov changes in 3 months which has significantly slowed down negotiations. Currently negotiations paused due to political leadership vacuum, at least until there is a new stable government)

    - 05. Until then, we are dependent on bridge financing of $1B, and another $500M petroleum line of credit from India

    - 06. But india also holding back on approving bridge financing until outcome of elections. If India refuses Line of Credit, we need to plan for worst case scenario and “live with what we have” until imf approval

    - 07. What does “Live with what we have” look like? We are currently bringing in $1B a month via exports and but import spending amounts to $2B a month. Austerity measures on imports will reduce spending to $1.3B/month. Risk is that austerity measures impact export revenue negatively (because you need to import some to drive up exports, plus export business impact from high interest rates)

    - 08. These measures (import restrictions, increased tax rates) will significantly impact domestic business.

    - 09. Exports viewed as essential services since it will bring in $s, but if you don’t bring usd via the legal banking system, the whole economy will struggle, driving up inflation and eventually impacting exports as well.

    - 10. For example - it will impact our ability to import essentials such as fuel, gas, medicines and food and this will further accelerate social chaos

    - 11. Plea to export biz community: use legal banking system on USD earned

    - 12. Plea to private sector, domestic market and general public: curtail imports and spending. Spend only on essentials. Don’t use “black money” to buy things like cars, phones and commodities that can wait 6 months to buy. We just can’t afford these as a country right now.

    - 13. Government too will need to do its part on austerity measures. The government will Cut all infrastructure spending, and will need to cut public sector employees and salaries (1.5M employees) and consider removing or reducing subsidies on electricity and fertilizer.

    - 14. Government also needs to consider privatizing Sri Lankan Airlines, CPC, CEB which will require tremendous political will and courage by the new government. Government needs to educate the public and tell the truth. No government has been able to push for privatization because of large public sector (1.5M employees) impact and trade union impact. Restructuring could cost (lose) an election.

    මේ ගැන වැඩි විස්තර පැහැදිලි කිරීමක් කරන්න ඉක්මනටම බොහොම ස්තුතියි

    ReplyDelete
  4. ඉකෝන් ඔබ මොකද හිතන්නේ ලංකාවේ මහ බැංකුව විසින් ගෙවීම් පැහැර හැර ඇති ඇමරිකානු මූල්‍ය ආයතන වල ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ISB වලට එරෙහිව පවරා ඇති නඩු සහ එම තීන්දු වලට අනුව ලංකාවට මොනවගේ බරපතල ප්‍රශ්නවලට සහ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු වෙයි ද කියලා?

    මේක ඔබ දැක්කා ද?

    *Hamilton-SL pre-trial fixed for 26 August*

    - To be heard at US District Court for Southern District of New York
    - Clifford Chance submits Notice of Appearance on behalf of Sri Lanka
    - Plaintiff HRB to be represented by Bleichmar Fonti & Auld LLP

    http://www.themorning.lk/hamilton-sl-pre-trial-fixed-for-26-august/

    මෙයින් ලංකාවට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ නේ ද?

    ReplyDelete
  5. ඉකොනො

    මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට ලංකාවේ සිසුන් බඳවා ගැනීම නවතා දමා තියෙනවා, එක්සත් ජනපදයේ තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද දැන් තියෙන ලේටස්ට් තත්ත්වය ගැන?

    මේ නිසා ගොඩක් විදේශ විශ්ව විද්‍යාල වල 2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකික සිසුන්ගේ අයදුම්පත් බාර ගැනීම නවතා දැමීමට තීරණය කරලා තියෙනවා ලංකාව මුහුණ දී සිටින වත්මන් දුෂ්කරතා සහ විදේශ විනිමය සීමා කිරීම් හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇත්තේ ලාංකික සිසුන් බොහොමයක් නියමිත වේලාවට පාඨමාලා ගාස්තු ගෙවීමට අපොහොසත් වීම නිසා එම සිසුන් පාඨමාලාවෙන් ඉවත් කිරීමේ අවදානමකට මුහුණ දී සිටින බවත් බ්‍රිතාන්‍යයේ වීසා සහ ආගමන කාර්යාලයේ එම සිසුන් පිළිබඳ පැමිණිල්ලක් ගොනු වී ඇති පසුබිමක ඉතිරි පාඨමාලා ගාස්තුව ගෙවන ආකාරය ගැන පැහැදිලි පිළිගත හැකි සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බව ඔවුන්ට අණ කොට තියෙනවා. ලංකාවේ ඉන්න කට්ටියට පුද්ගලික විශ්ව විද්‍යාල නැහැ, පිටරටවල තියෙන ඒවලින් ඉගෙන ගන්න දෙන්න ඩොලරුත් නැහැ. පේන විදියට නම් ලංකාව එක තැන පල්වෙන්න හේතුව ඊනියා වාමාංශිකයින් සහ ජාතිවාදී බලවේග කියන එක මිනිස්සු දැන්වත් තේරුම් ගන්න ඕනෑ.

    ඒ වගේම හැම මගුලක්ම රාජ්‍ය ව්‍යවසාය යටතේ තියාගන්න ඕන කියන මෝඩයින් කෑ ගහලා උද්ඝෝෂණය කරලා මාරාන්තික උපවාස කරලා හැමදාම ලංකාවේ අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ නැවැත්තුවා. ඔය මෝඩයින් පාලනය කරන්න වෙනම අරගලයක් පටන් ගන්න ඕනෑ. එදාට තමයි ලංකාව හදන්න පුළුවන් වෙන්නේ...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: