වෙබ් ලිපිනය:

Monday, April 6, 2026

තෙල් මිල කොයිබටද?


මහ බැංකුවේ දෛනික වාර්තා අනුව, මැද පෙරදිග යුද තත්ත්වය ඇති වීමෙන් පසුව, 2026 පෙබරවාරි 27 සිට 2016 අප්‍රේල් 2 දක්වා කාලය ඇතුළත, පිරිපහදු කළ ඉන්ධන බැරලයක මිල (Singapore Platts) වැඩි වී තිබෙන්නේ පහත ආකාරයටයි. 

පැට්‍රෝල්: ඩොලර් 79.30 සිට 139.35 දක්වා 

ඩීසල්: ඩොලර් 91.39 සිට 287.04 දක්වා 

භූමි තෙල්: ඩොලර් 93.45 සිට 229.40 දක්වා 

මිල වැඩි වීමට හේතුව ඉරාන යුද තත්ත්වය බව අපි කවුරුත් දන්නවා. යුද්ධය අවසන් වන දිනයක් ගැන අපි කවුරුවත්ම හරියටම දන්නේ නැහැ. ඒ ගැන විශ්ලේෂණය කරන එක යුද විශේෂඥයින්ට ඉතිරි කරමු. 

ඉන්ධන මිල වැඩි වීම හෝ අඩු වීම මත යුද තත්ත්වයේ බලපෑම ඉතාම පැහැදිලියි. ඉන්ධන මිල බොහෝ ව්‍යාපාරික තීරණ හා ක්‍රියාකාරකම් කෙරෙහි බලපානවා. ඒ නිසා අනාගතයට බලපාන ව්‍යාපාරික තීරණ ගනිද්දී ඉන්ධන මිල පිළිබඳ යම් පුරෝකථනයක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව, ලෝක ඉන්ධන මිල ලංකාවේ සාර්ව ආර්ථික තුලනය කෙරෙහිද විශාල බලපෑමක් කරනවා. 

ලෝක ඉන්ධන වෙළඳපොළේ සිදු වන ගනුදෙනු එතැන් ගනුදෙනු සහ ඉදිරි සුරැකුම් ගනුදෙනු ලෙස වර්ග කළ හැකියි. එතැන් ගනුදෙනුවක් කියන්නේ මේ මොහොතේ සිදු වන සාමාන්‍ය ගනුදෙනුවක්. සරලව කිවුවොත්, අද සල්ලි ගෙවලා අද තෙල් ලබා ගන්නා ගනුදෙනු. ඉහත මහ බැංකු දත්ත වල තිබෙන්නේ එතැන් ගනුදෙනු සිදු වන මිල ගණන්.

ඉදිරි සුරැකුම් ගනුදෙනු යන්නෙන් අදහස් වන්නේ අනාගතයේ දවසක තෙල් ලබා ගැනීම සඳහා අද කරන ගනුදෙනුවක්. මේ ගනුදෙනු වලදී අද මිල එකඟතාවයකට පැමිණියත් ගනුදෙනුව සිදු වන්නේ අනාගතයේ දවසකයි. මේ දවස මාසයකට, දෙකකට හෝ අවුරුද්දකට පසු දවසක් වෙන්න පුළුවන්.

මාසයකට පසුව කරන ගනුදෙනුවක් හා අදාළව අද ඇති කරගන්නා එකඟතාවයක් මගින් පෙන්නුම් කෙරෙන්නේ මාසයකට පසුව තෙල් මිල තිබිය හැකි මට්ටම පිළිබඳව ගනුදෙනුවේ දෙපාර්ශ්වය අද සිතන ආකාරයයි. මාසයකට පසුව ඇත්තම මිල වෙනකක් විය හැකි වුවත්, මාසයකට පසුව මිල පිළිබඳව අද තිබෙන වෙළඳපොළ මතය මෙවැනි ඉදිරි සුරැකුම් ගනුදෙනු වල මිල ගණන් මගින් පෙන්නුම් කරනවා. 

උදාහරණයක් ලෙස, මාසයකට පසුව පැට්‍රෝල් බැරලයක මිල ඩොලර් 120 දක්වා අඩු වේයැයි කවුරු හෝ විශ්වාස කරනවානම්, එවැන්නෙකුට මාසයකට පසුව ඊට වඩා වැඩි මිලකට පැට්‍රෝල් ලබා දීම සඳහා එකඟ වෙමින් අද වෙනත් අයෙකු සමඟ ගිවිසුම් ගත වෙන්න පුළුවන්. ඒ මිල ඩොලර් 130ක් කියා හිතමු. මාසයකට පසුව පැට්‍රෝල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ඉහළ යනු ඇතැයි සිතන කෙනෙක් මෙවැනි ගනුදෙනුවකට එකඟ වෙන්න පුළුවන්. 

මෙවැනි ගිවිසුමකට යන අය ඇත්තටම තෙල් විකුණන්න අවශ්‍ය නැහැ. අදාළ දිනයේ ඇත්තම තෙල් මිල සහ එකඟ වූ මිල අතර වෙනස පාඩුව සිදු වන පාර්ශ්වයට ලබා දීම පමණයි කළ යුත්තේ. ඒ නිසා, තමන්ට ඇත්තටම තෙල් අවශ්‍යද කියන එක වුනත් අදාළ කරුණක් නෙමෙයි. 

අනාගත තෙල් මිල හා අදාළව විවිධ අයට විවිධ පුරෝකථන තියෙන්න පුළුවන්. ඉදිරි සුරැකුම් ගිවිසුම් සිදු වන මිල ඒ පුරෝකථන වල මැදි අගයක් සේ සැලකිය හැකියි. මේ වෙද්දී 92 පැට්‍රෝල් බැරලයක ඉදිරි සුරැකුම් ගිවිසුම් (Singapore Mogas 92 Unleaded (Platts) Futures) සිදු වන මිල ගණන් පහත පරිදියි. 

අප්‍රේල් 2026 - ඩොලර් 142.95

මැයි 2026 - ඩොලර් 129.59

ජූනි 2026 - ඩොලර් 117.27

ජූලි 2026 - ඩොලර් 107.68

අගෝස්තු 2026 - ඩොලර් 101.23

සැප්තැම්බර් 2026 - ඩොලර් 96.10

ඔක්තෝබර් 2026 - ඩොලර් 91.42

නොවැම්බර් 2026 - ඩොලර් 87.88

දෙසැම්බර් 2026 - ඩොලර් 85.24

මේ මිල ගණන් වලින් පෙන්නුම් කරන්නේ යුද තත්ත්වය අවසන් වීම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවන් සහ ඉන්ධන මිල මත එහි බලපෑම කියා කියන්න පුළුවන්. වෙළඳපොළ අපේක්ෂාවන් අනුව, 2026 පෙබරවාරි 27 දින පැවති මට්ටම දක්වා නැවත පැට්‍රෝල් මිල පහත වැටිය හැක්කේ 2027 ඔක්තෝබර් වන විටයි.

ඩීසල් මිල හා අදාළවද මේ තත්ත්වයේ වැඩි වෙනසක් නැහැ.

අප්‍රේල් 2026 - ඩොලර් 230.50

මැයි 2026 - ඩොලර් 165.56

ජූනි 2026 - ඩොලර් 138.50

ජූලි 2026 - ඩොලර් 125.23

අගෝස්තු 2026 - ඩොලර් 118.86

සැප්තැම්බර් 2026 - ඩොලර් 115.09

ඔක්තෝබර් 2026 - ඩොලර් 111.63

නොවැම්බර් 2026 - ඩොලර් 108.22

දෙසැම්බර් 2026 - ඩොලර් 104.89

වෙළඳපොළ අපේක්ෂාවන් අනුව, 2026 පෙබරවාරි 27 දින පැවති මට්ටම දක්වා නැවත ඩීසල් මිල පහත වැටිය හැක්කේ 2028 අප්‍රේල් වන විටයි.

වෙළඳපොළ අපේක්ෂාවන් හැම විටම නිවැරදි නැහැ. නමුත් මේ වෙළඳපොළ අපේක්ෂාවන් වැරදියැයි සිතන කෙනෙකුට, තමන් ගැන ඊට වඩා විශ්වාසනම්, පහසුවෙන් ලාබයක් ලැබීමේ අවස්ථාවක් තිබෙනවා. එවැනි අය එක පැත්තක පමණක් සිටීනම් මේ අපේක්ෂිත මිල ගණන්ද වෙනස් වෙනවා. මේ මිල ගණන් වලින් නිරූපණය වන්නේ අනාගත මිල ගණන් ගැන විවිධ අය හිතන විදිහ හරි මැදින් බෙදන තැන. 

මේ තත්ත්වය ලංකාවට බලපාන්නේ කොහොමද?

පළමුව, තවත් කාලයකට ලෝක  තෙල් මිල අඩු වෙන්නේ නැහැ. යුද්ධය අවසන් වුනත් යම් කාලයක් යන තුරු කලින් එකඟ වූ ඉදිරි සුරැකුම් ගිවිසුම් වල බලපෑම තිබෙනවා. මේ තත්ත්වය එක්ක ලංකාවේ තෙල් මිල ගණන් බොහෝ විට තවත් ඉහළ දමන්න වෙනවා. එසේ නැත්නම්, බදු අඩු කිරීම් හෝ සහනාධාර මගින් පාඩුව රජයට දරා ගන්න සිදු වෙනවා. 

පාඩුව රජය විසින් දරා ගත්තොත්, යම් සීමාවකින් එහාට යද්දී, රාජ්‍යමූල්‍ය ඉලක්ක තුළ රැඳී ඉන්න අමාරු වෙනවා. ඒ නිසා, පසුව හෝ මිල වැඩි කරන්නම වෙනවා. අනෙක් අතට පාඩුව රජය විසින් දරා ගන්නවා කියන්නේ පසුව ලෝක තෙල් මිල අඩු වෙද්දීත් ලංකාවේ තෙල් මිල අඩු නොකර ඒ පාඩුව අල්ල ගන්න වෙනවා කියන එක.

තෙල් මිල වැඩි වීම, විදුලි ගාස්තු හා ප්‍රවාහන ගාස්තු ආදියටත් බලපාන නිසා මේ හේතුවෙන් උද්ධමනය ඉහළ යනවා. බොහෝ විට මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ඉක්මවීමක් සිදු වෙන එකක් නැහැ. යම් හෙයකින් එසේ වුවත්, මහ බැංකුවට කළ හැකි දෙයකුත් නැහැ. 

මහ බැංකුවට කළ හැක්කේ දේශීය ඉල්ලුම පාලනය කරන එක පමණයි. නමුත් ලෝක තෙල් මිල ඉහළ ගොස් තියෙන්නේ ලංකාවේ දේශීය ඉල්ලුම වැඩි වීම නිසා නෙමෙයි. ඒ නිසා ලංකාවේ දේශීය ඉල්ලුම පාලනය කිරීම මගින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. කරන්න පුළුවන් එකම දෙයයි. ඒ මෙතෙක් කල් මහ බැංකුව විසින් කරමින් සිටි දේශීය ඉල්ලුම වැඩි කර "උද්ධමනය හදන එක" නවත්වන එක. ඒ සඳහා මහ බැංකුව විසින් දැනටමත් යම් පියවර අරගෙන තිබෙනවා.

ලෝක තෙල් මිල වැඩි වීමේ බලපෑමට අමතරව ඒ නිසාම විනිමය අනුපාතය මතද පීඩනයක් ඇති වෙනවා. මේ දවස් වල ඩොලරයක මිල දිහා බලද්දී කාට වුනත් ඒ තත්ත්වය පැහැදිලිව පේනවා. ඩොලරයක මිල ඉහළ යාම නිසාත් ඉන්ධන පිරිවැය ඉහළ යාමක් වෙනවා. ඒ නිසා, ප්‍රායෝගිකව රජයට තව දුරටත් ඉන්ධන මිල ගණන් වැඩි කරන්නම වෙනවා. 

1 comment:

  1. අනේ මන්දා ඉකොනෝ ඉස්සරහට ලංකාවේ ජීවිතය හරිම අමාරුයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යාම සහ භාණ්ඩ හිඟය නිසා Alternative Value Engineering මැටීරියල් හොයන්න වෙලා

    ඒ අස්සේ මැදපෙරදිග රටවල් එක්සත් ජනපදය අතහැර දමා වෙනමම සංධානයක් හදන්න හදනව යුරෝපීය සංගමය බරපතල ආර්ථික අවපාතය නිසා යුරෝපීය රටවල ආණ්ඩු වෙනස් වෙලා රුසියාව එක්ක එකතු වෙලා සංධානයක් හදන්න යන බවක් පේනවා ඒ වගේම ඊශ්‍රායලය ගැන දැන් දැන් ලෝකේ මතය වෙනස් වෙමින් යන්නේ. මේච්චර කල් victim වගේ හිටියට මේ වෙද්දි ලෝකේ ගොඩක් රටවල ඒ මතයදැන් වෙනස් වෙලා. විශේශයෙන්ම යුරෝපේන්.

    කෝම හරි මේ අනීතීක යුද්දේ ඉවර වෙන්නේ ඇමරිකාවේන් ප්‍රෙට්‍රෝ ඩෝලරය ගලවලා චීනයට ප්‍රෙට්‍රෝ යූවාන් කරවලා දීලා වගේම ඇමරිකාවයි, ඉශ්‍රායලයයි ආර්ථික අහේනියට පත් කරලා, බොහෝ විට ආර්ථික සම්බාධක ගොඩකුත් දාගේන.

    කෝම උනත් මොන ආගම අනුව උනත් කල පව් ගෙවන්න ඕනේ. රටක දරු පරපුරක් ඉලක්ක කරගෙනම මිසයිල යවන මොනම කෙනෙක්වත් රටක නායකත්වයකට සුදුසු නෑ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: